Monday, September 17, 2012

| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර |


කමෝන් අභිෂේක්... කමෝන් පියුමිකා..


අන්තර් පළාත් බැඩ්මින්ටන් තරගාවලියේ මිශ්‍ර ද්විත්ව තරගය සඳහා ක්‍රීඩාංගනයට පැමිණි අභිෂේක් සහ පියුමිකා වෙනුවේන සතර අතින්ම ඔල්වරසන් නැගුණි. ඔවුහු එකිනෙකා දෙස බලා මද සිනා පෑහ. ඒ සිනාවෙන් පළ වූයේ එකිනෙකා කෙරෙහි වූ විශ්වාසය සහ ජයග්‍රහණයේ බලාපොරොත්තුවය. ඔවුහු මේ වන විට මූලික වටයේ තරග පමණක් නොව අර්ධ අවසන් පූර්ව සහ අර්ධ අවසන් තරගද ජයග්‍රහණය කොට තිබිණි. පැවැත්වෙන්නට නියමිතව තිබුණේ අවසන් මහා තරඟයයි. එය ඉතා තියුණු තරඟයක් වන බවට පෙර ලකුණු පළ වී තිබුණි. ඔවුන් හා තරඟයට එළඹ සිටියේ නිතර දෙවේලේ බැඩ්මින්ටන් තරඟවලදී ඔවුනට හමු වන දක්ෂ ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවකි.

අපිට හොඳ ගේමක් දෙන්න වෙයි..

ක්‍රීඩාංගනයට බසින්නට පෙර අභිෂේක්, පියුමිකාට කීවේය.

සුපුරුදු ලෙසම සුදු කොට කලිසමින් සහ සුදු ටී ෂර්ටයකින් සැරසී කොණ්ඩය මුහුණට නොවැටෙන සේ නළල වටා පටියක් ද පැළඳ ගත් පියුමිකා අතිශයින් සුන්දර වූවාය. ඒ පෙනුමටම සරිලන සිනාවක් ඇගේ මුවග සිත්තම් විණි.

කොහොම හරි මේක දිනන්නම ඕන.. නැත්නම් අපි දෙන්නට මාර සවුත්තුවක් වෙන්නෙ..

ඇය කීවේ ක්‍රීඩාංගනයේ අතුරු සිදුරු නොමැතිව පිරී සිටින ජනකාය දෙස හොරැහින් බලමිනි. මෙයින් අඩකටත් වැඩි පිරිසක් පැමිණ සිටියේ ඔවුන් දෙදෙනා වෙනුවෙන්. ජනප්‍රිය යොවුන් නළුවකු සහ ජනප්‍රිය යොවුන් ගායිකාවක එක පසෙකට ක්‍රීඩා කරන බැඩ්මින්ටන් තරඟාවලියක් ඔවුන් කිසි දිනෙක නරඹා තිබුණේ නැත. මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පැමිණ සිටියේ එය ඔවුනට හොඳ ප්‍රවෘත්තියක් වූ බැවිනි.

ඔයාලට දිනන්න පුළුවන්.. හොඳට ප්ලේ කරන්න..

බැඩ්මින්ටන් පුහුණුකරු පමණක් නොව මාලිංග, උදාර සහ සජානී ද බලවත් විශ්වාසයෙන් යුතුව කීහ. ඒ සුබ පැතුම් ශක්තියක් වී අභිෂේක් සහ පියුමිකා අතර රැඳී තිබුණි.

අපි හුඟක් දේ වලින් දිනුවනේ අභී.. මේකෙනුත් දිනමු..

ඇය කීවේ ස්තිර හඬිනි. ඔහු මොහොතකට ඇගේ අත තරයේ මිරිකා අත හැරියේය.

මින් සය මසකට ඉහතදී නම් වැඩ්මින්ටන් තරගයකට ඉදිරිපත් වීම තබා යළි දෙපය බිම තබා ඇවිදින්නට හැකි වේදැයි සකයක් ඇති වෙන තරමටම අභිෂේක් ආබාධිත වී සිටියේය. යුවනිත් සමග කාරයේ ගමන් කරද්දී ඇති වූ බහින්බස් වීම කෙළවර වූයේ කාරය ගසක හැපීමෙනි. යුවනිට බරපතල තුවාල සිදු නොවූයේ වී නමුදු අභිෂේක් ගේ දකුණු කකුල තුන් පොළකින්ම කැඩී තිබිණි. එය යථා තත්වයට ගෙන ඒම පිණිස ශල්‍යකර්ම දෙකක්ම කරන්නට සිදු විණි. කකුලට දැමූ ප්ලාස්ටර් කැපුවේ මාසයකට පසුවය.

කාගෙ ඇස්වහක් කටවහක් ද මගේ පුතාට වැදුණෙ පුතේ..?

ඔහු බලන්නට රෝහලට එන වාරයක් පාසා අම්මා හඬා වැටුණාය. නංගිලා දෙදෙනා ඇස්වල කඳුලු පුරවාගෙන බලා සිටියහ. හෘද රෝගියෙකු විත් තාත්තා මහමෙර සේ සියල්ල දරාගෙන සිටිය ආකාරය පුදුම සහගත වූයේය.

ඔය යකා උඩ පැන්නා වැඩි වුණා.. හොඳ වැඩේ.. ඔහොම වෙලා මදි..

තාරක මෙන්ම අංජන හා ඩිලාන් ද එසේ කියා තිබූ බව අභිෂේක්ට ආරාංචි විණි. එහෙත් ඔහු ඔවුන් කෙරෙහි තරහක් ඇති කරගත්තේ නැත.

පර්මනන්ට ඩැමේජ් එකක් නැතුව ඔහොම බේරුණා මැදැයි.. කාර් එක ඇක්සිඩන්ට් වෙලා තියෙන විදියක දැක්කම මට නම් පුදුමත් හිතෙනවා..

රෝහලට පැමිණි ජගත් කීවේය. තමා වැනි නවකයෙකුට ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් ලබා දී ක්ෂ්‍රේත්‍රයට ගෙන ඒමේ අභීයෝගාත්මක තීරණය ගත් මේ එඩිතර අධ්‍යක්ෂකවරයා දෙස අභිෂේක් බලා සිටියේ කම්පිත සිතින් යුතුවය.

මගේ හොඳම සොයාගැනීම කියලා දවසක මට ආඩම්බර වෙන්න ඉඩ දීපන් කොල්ලො..

ඔහුට ප්‍රධාන චරිතයක් දුන් දින ජගත් කීවේ එලෙසය. එම ඉල්ලීම ඉටු කරන්නට නොහැකි වෙනු ඇතැයි බියක් එදා නම් අභිෂේක් තුළ තිබිනි. එහෙත් ප්‍රථම ටෙලි නාට්‍යය විකාශය වෙන්නටත් පෙර තවත් ටෙලි නාට්‍ය කිහිපයක්ම ලබන්නට තරම් ඔහු වාසනාවන්ත වූයේය.

උඹ මගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කලා කොල්ලො..

අභිෂේක් දිනෙන් දිනම ජනප්‍රියත්වයට පත්වෙන විට ජගත් කිවේ ඉහ වහා ගිය සතුටින් යුතුවය.

මේ අනතුර සිදු වන විට අභිෂේක් සිටියේ ජනප්‍රියත්වයේ ඉහළ හිණි පෙත්තේය. ඔහු එක්තැන් වීම ක්ෂ්‍රේත්‍රයට අවාසි සහගත ලෙස බලපෑවේය. ඔහු පිළිබඳව බෙහෙවින් බලාපොරොත්තු තබාගෙන සිටි සියලු දෙනාම දුක් වූහ. සතුටු වූයේ ඔහු හා තරඟ කළ අතලොස්සක් පමණි. ඔහු බැලීමට රසික රසිකාවියන් පැමිණියේ බුරුතු පිටිනි. අවසානයෙදී රෝහල් කාර්ය මණ්ඩලයට අමුත්තන් සීමා කිරීමට සිදු වූයේය.

“හැම දේම සිද්ධ වෙන්නෙ සිද්ධ වෙන්න ඕන විදියට මිසක් අපට ඕන විදියට නෙමෙයි.. ඒ හින්දා හැම දේම වෙන්නෙ හොඳට කියලා හිත හදා ගන්න..”

ශල්‍ය කර්මයෙන් අනතුරුව අභිෂේක් වාට්ටුවට ගෙනා මොහොතමෙ ඔහු බලන්නට පැමිණි පියුමිකා කීවේ හැඟුම්බර හඬිනි. ඔහුගේ දෙනෙතට කඳුලු පිරිනි. තමාට මේ පඩිසන් දුන්නේ කිසිදු වරදක් නැති අය බඳු ආදරණිය යුවතියක හැර දමා දඟකාරියක වූ යුවනිට ළං වීමේ පාප කර්මය යැයි ඔහු කල්පනා කළේය. එහෙත් පියුමිකා සියල්ල පිළි ගත්තේ උපේක්ෂාවෙනි.

පෙම්වතා ඈත් වූ කල බොහෝ යුවතියන් කරන්න හඬා වැටෙමින් හෝ පෙම්වතාට ශාප කරමින් සිය ජීවිතයම අඳුරේ හෙළා ගැනීමය. එහෙත් පියුමිකා ඒ සුලබ යුවතියන් ගොන්නට වැටුණේ නැත. ඇය වේදනාව ශක්තියක් කරගෙන ප්‍රබල ලෙස නැගී සිටියාය. ඔහු ඇඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඈත් වූව ද පියුමිකා දිගටම එහි නියැලී ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලබා ගත්තාය. ඇය පිහිනන්නට යනවාට ඔහු අකමැති වූයේය. එම නිසා එයින් ඈත් වී සිටි පියුමිකා ඔහු වෙනස් වූ විගසම නැවතත් පිහිනුම් පුහුණුවට ගියාය. තරඟ වලින්ද ජය ලැබුවාය.

ඇයට සුමධුර හඬක් තිබිණි. ඇගේ තාත්තාට ඇති පදම් මුදලුත් තිබිණි. ඒ සම්පත්වලින් උඵරිම ප්‍රයෝජන ගත් ඇය ගීත සමුච්චයක් එළි දැක්වූවාය. නළුවෙකු ලෙසින් ඔහු මොන තරම් දුරකට පැමිණියේද, එපමණම නැතහොත් ඊටත් වැඩි දුරක් ගායිකාවක වශයෙන් යාමට ඇයට හැකි වූවේය. ඇය පිළිබඳව අභිෂේක් ආඩම්බර වූ තරම කිසිවෙකුත් දැන සිටියේ නැත.

යුවනි හැම විටම පියුමිකා හෙළා දුටුවාය. ඇය සම්බන්ධ කුමක් හෝ දෙයක් ඇදගෙන අභිෂේක් සමග බහින් බස් වූවාය. හදිසි අනතුර සිදු වූයේ ද සිනමා පුවත්පතේ පළ වී තිබූ අභිෂේක්ගේත් පියුමිකාගෙත් ඡායාරූපය දැක කෝපයට පත් යුවනි ඔහු හා ගැටුමක් ඇති කරගත් නිසාය. සිනමා පුවත්පතෙන් සංවිධානය කර තිබූ පිහිනුම් තරඟයෙන් ජය ගත්තේ පියුමිකාය. ඇයට ජයග්‍රාහී කුසලාන පිරිනමන ලද්දේ අභිශේක් විසිනි. එම ඡායාරූපය පුවත්පතේ පළ වෙන තුරුම ඔහු එහි ගිය බව යුවන දැන සිටියේ නැත. එය දුටු දා ඇය කෝපයෙන් වියුරු වැටුණාය. එම ආවේගය මොන තරම් වීද යත් ඇය උත්සාහ කළේ ඔහුගේ ගෙල මිරිකීමටය. ඔහුට කාරය පාලනය කර ගත නොහැකි විය. අවසානයෙදී සිදු වූයේ ඔහුට මාස කිහිපයක්ම එක්තැන් වී සිටීමට සිදුවීමය. ඒ කාලයේ සෙවනැල්ල මෙන් ළඟ ගැවසෙමින් ඔහුට ශක්තිය ධෛර්යය ලබා දුන්නේ පියුමිකාය.

“පියුම්, ඔයාට දුන්න දුක තමයි මට මේ පඩිසන් දෙන්නෙ..”

ඔහු දෑසේ කඳුළු පුරවාගෙන සිය දහස් වතාවක් එසේ කීවේය. එහෙත් පියුමිකා වදනකින්වත් ඔහුට දොසක් පැවරුවේ නැත. ඇය කීවේම සියල්ල සිදු වන්නේ යහපතට බවය.

“ඔයා දිව්ව වේගෙ ටිකක් වැඩි වුණා අභි.. මේක රෙස්ට් එකක් කියලා හිතන්න..”

ඇය කීවේම එසේය.

“ජනප්‍රිය වෙනකොට ඇක්ටර්ස්ල ඔක්කොටම මේ වගේ දේවල් වලට මූණ දෙන්න වෙනවා ද කියලා හිතෙනවා මචං.. බලපන් තාරකත් තවම එක තැන.. මටත් එහෙම වෙයි ද කියලා බය හිතෙනවා..”

අභෂේක් පැවසුවේ මාලිංගට හා උදාරටය. අභිෂේක් ක්ෂ්‍රේත්‍රයට එන්නට පෙර සිට ජනප්‍රියම නළුවා තාරකය. අභිෂේක් ගියේ තාරකත්, යුවනිත් ප්‍රදාන චරිතය රඟපෑ ටෙලි නාට්‍යයේ සහය කලා අධ්‍යක්ෂ වශයෙනි. එහි දී මෙට්ටයක් බිමට නොදා ඉහළ සිට පැනීම නිසා තාරක තුවාල ලැබුවේය. ඔහු රෝහල්  ගත කරන ලද අතර අභිෂේක්ට තාරක රඟ පෑ චරිතය හිමි වූවේය.

එම ටෙලි නාට්‍ය විකාශය වීමටත් ප්‍රථම අභිෂේක් ජනප්‍රිය චරිතයක් බවට පත් විණි. බොහෝ දෙනෙක් ඔහුට ඊර්ෂ්‍යා කළහ. තාරක ඔහු දුටුවේම තමාගේ තැන පැහැර ගැනීමට ආ සතුරෙකු ලෙසය. අංජන හා ඩිලාන් දෙදෙනා තාරකට උල්පන්දම් දුන්හ. එහෙත් ඔවුන් සිත යටින් තමාට ද ඊර්ෂයා කළ බව තාරක දැන සිටියේ නැත.

ඔවුහු අභිෂේක් සම්බන්ධ කොට විවිධ කට කතා පතුරුවා හැරයහ. ක්ෂේත්‍රයට නුපුරුදු කාලයෙදී ඔවු ඒවායින් බොහෝ සිත රිදුවා ගත්තේය. එහෙත් පසුව සියල්ල නොසලකා හරින්නට පුරුදු වූවේය.

තුන් පොළකින්ම කැඩී තිබූ කකුල ශල්‍ය කර්මයකින් සකස් කොට ප්ලාස්ටරයක් දැමූ විට අභිෂේක් කුඩා දරුවෙකු ලෙස ඉකි බිඳ බිඳ හැඬුවේය. මතක ඇති කාලයක ඔහු එලෙස හඬා වැටී තිබුණේ අන්තර් දිස්ත්‍රික් බැඩ්මින්ටන් තරඟාවලියකදී එක් ලකුණකින් පැරදෙන්නට සිදු වූ දාය. ඒ තරඟාවලියේ කාන්තා අංශය සමස්ත ලංකා ශූරතාවය දිනාගත්තේ පියුමිකාය.

“අපරාධෙ දෙන්නටම චැම්පියන්ස්ලා වෙන්න තිබුණ චාන්ස් එක..”

බැඩ්මින්ටන් පුහුණුකරුවා මෙන්ම මිතුරු මිතුරියන්ද එලසෙ කියද්දී ඔහුගේ සිතේ වූ වේදනාව දෙගුණ වූයේය.

“ගණන් ගන්න එපා අභි.. හැමදාම හැමෝටම දිනන්න බැහැනේ.. ඊළඟ සැරේ ට්‍රයි කරමු..”

එදාත් එලෙස කියමින් ඔහුගේ සිත සැනසුවේ පියුමිකාය. ඔහු නම් යුවනි හමු වූ දා සිටම පියුමිකාගේ සිත රිදවූවේය. ඒ පිළිබඳව මිතුරෝ පවා ඔහුට දොස් කීවේය. සත්තකින්ම ඔහුට උවමනා වී තිබුණේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට ඉණි මඟකි. එහෙත් මිතුරන්ටවත් එය පහදා දීමට ඔහුට පුළුවන්කමක් නොවුණි.

යුවනිට ළං වීමෙන් තමා කරගත් මෝඩකම ගැන පසුතැවිලි වුණ අවස්ථා රැසක් අභිෂේක් ගේ ජීවිතයේ තිබුණි. ඔහු කිහිප වරක්ම ඇයට සමාව ද දුන්නේය. එහෙත් හදිසි අනතුරින් පසුව නම් ඔහුට ඇය මුළුමනින්ම එපා වූවේය.

“මීට පස්සෙ මට පේන්නවත් එන්න එපා යුවනි. තවත් ඔයා එක්ක හිටියොත් මට මගේ ජීවිතේ ගැන තියෙන ආසාව අත් අරින්න වෙනවා..”

ඔහු යුවනිට දොස් පැවරුවේ ඇගේ අයියා රුවන් ඉදිරිපිටයමය. ජනප්‍රිය ලෙි නාට්‍ය නිෂ්පාදකයෙකු වූ රුවන් සිය ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස අභිෂේක් යොදා ගත්තේ එය අභියෝගයක් බව දැන දැනමය. එහෙත් ඔහු එය ද අමතක කොට දැමුවේය. ඒ තරමටම ඔහුට යුවනි පිළිබඳව දැනුණ කලකිරීම දැඩි වූවේය.

හදිසි අනතුර සිදු වූයේ හොඳටයැයි ඔහු කල්පනා කරන්නට පටන් ගත්තේ පියුමිකා ඔහු බැලීමට පැමිණි පසුවය. මුහුණවත් නොබලන තරමට ඔහුගෙන් ඈත් වී සිටි ඇය හදිසි අනතුර දැනගත් වහාම රෝහලට ආවේය. වේදනාව වැඩගෙන නැගුණ සතුටකින් ඔහු ඔද වැඩුනේය.

“ඔයා ළඟ ඉන්නවා නම් මගේ කකුල් දෙකම කැඩුනක් කමක් නෑ කෙල්ලෙ..”

ඔහු මුමුණා ගත්තේය.

ගායිකාවක වශයෙන් ජනප්‍රිය වීගෙන එන සමයේ බැවින් පියුමිකා බොහෝ සෙයින් කාර්ය බහුල වූවාය. එහෙත් දිනකට වරක් හෝ ඔහු බැලීමට පැමිණීමට ඇය අමතක කළේ නැත. ඒ පිළීබඳව ද සිනමාව සම්බන්ධ ඕපා දූපා තීරුවල පළ විණි. ඒවා දුටු විට යුවනි කෝපයෙන් වියරු වැටුණාය.

“උඹ හින්දා තමයි මට අභිෂේක්ව නැති වුණේ.. එච්චර විතරක් නෙමෙයි මට මගේ නිදහසත් නැති වුණා.. මම උඹට කවදාවත් සමාවක් දෙන්නෙ නෑ..”

ඇය දත්මිටි කමින් මුමුණා ගත්තාය.

ඒ වන විට අම්මාත්, අයියාත්, විසින් යුවනිට ගෙදරින් එළියට බැසීම තහනම් කොට තිබිණි. රඟපාමින් සිටි ටෙලිනාට්‍යයෙන් පවා ඇය ඉවත්කොට ගනු ලැබිණි. ඒවායින් හා අභිෂේක් වෙතින් ප්‍රතික්ෂේප වීමෙන් අසහනයට පත් ඇය තුළ පියුමිකාගෙන් පලි ගැනීමේ චේතනාව දිනෙන් දින දළු ලෑවේය.

“අනේ අයියෙ ප්ලීස්.. මට එක දවසක් අභිෂේක්ව බලන්න යන්න දෙන්න..”

ඇය රුවන්ට ආයාචනා කළාය. එහෙත් ඔහු ලිහිලක් දැක්වූයේම නැත.

“එපා එපා.. ඒ කොල්ලට අමාරුයි.. තමුසෙ දැක්කම තරහ ගිහින් ඒ අමාරුව තවත් වැඩි වෙයි.. ඔය ඉන්න විදියට පාඩුවෙ ඉන්නවා..”

ඔහු තරයේ කීවේය.

අයියාගේ තීරණය වෙනස් කිරීමට ඇති අසීරුව දත් ඇය තව දුරටත් බල කරන්නට ගියේ නැත. ඇගේ සිත තරහින් පිරුණේ පියුමිකා කෙරෙහිමය. පියුමිකා ජනප්‍රියත්වයේ ඉහළම ගිණි පෙත්තට නගිද්දීත් තමාට පහළම හිණි පෙත්තටවත් ළඟා වීමට නොහැකි වීම මදිකමක් සේ ඇය සැලකුවාය. එපමණක් නොව පියුමිකා අභිෂේක්ද තමාගෙන් පැහැර ගත්තේය.

“මම උඹට නම් කවදාවත් සමාවක් දෙන්නෙ නෑ පියුමිකා..”

ඇය නිරතුරුවම සිතුවේය.

පියුමිකා අභිෂේක් සමඟ යුවනි ගැන නම් වචනයක්වත් කතා කළේ නැත. අභිෂේක් සිටියේත් යුවනි මුළුමනින්ම අමතක කොට දැමූ ලෙසිනි.

ඔහුට මාසයක්ම රෝහල් ගතව සිටින්නට සිදු විය. කකුලේ ප්ලාස්ටරය කපන ලද්දේ තවත් මාසයක අවෑමෙනි.

“මට නම් දැන් මේ ඉඳිල්ල එපාවෙලා පියුමි..”

ඔහු පියුමිකා සමඟ මැසිවිලි නැගුවේය.

“එපා වෙලා කියල කරන්න දෙයක් නෑනෙ අභී.. කවදා හරි සනීප වෙනකම් ඔහොම ඉන්න වෙනවා.. ”

පියුමිකා දයාබර හඬින් කීවාය. ඔහුගේ දෙනෙතට කදුළක තෙතමනය දැනුණි.

“මෙහෙම එක  තැන ඉන්න ගියාම කොච්චරක් දේවල් මිස් වෙනවද කියලා හිතෙනකොට..”

ඉතිරිය නොකී ඔහු තොල සපාගෙන සුසුමක් හෙළිය.

“එක තැන නොහිටියත් මිස් වෙන දේවල් තියෙනවා අභි..”

ඇය කීවේ රිදුණු හඬිනි.

එවදන් අභිෂේක්ගේ සිතේ ගැඹුරුම පත්ලේ තැන්පත් වූවේය. පියුමිකා එවදන් පැවසුවේ ඇනුම් පදයක් ලෙසින් යැයි ඔහුට සිතුණි. ඔහු ඇස පිය නොසලා ඇය දෙස බලාගෙනම සිටියේය. ලැජ්ජා සිතී දෝ ඇය ඉවත බලා ගත්තාය.

“මං කියන්නද අභි වැඩක්..? ඔය එක තැනට වෙලා නිකම් ගෙවන කාලෙන් මොකක් හරි වැඩක් ගන්න..”

මද වේලාවකට පසුව ඇය යෝජනා කළාය.

“එක තැන ඉඳගෙන මොනවා කියලා කරන්නද..?”

ඔහු විමසුවේ ආත්මානුකම්පාවෙනි.

“පොත් කියවන්න..”

ඇය කියද්දී ඔහුගේ මුහුණ වෙනස් විය. ඔහු කියවීමට ප්‍රිය කළේම නැත. පුවත්පතක් පවා කියෙව්වේ උඩින් පල්ලෙනි. ඕනෑකමින් කියෙව්වේ සිනමා පුවත්පත පමණි.

“අනේ බබා.. මම ආස නෑනේ පොත් කියවන්න..”

ඔහු කීවේ කුඩා දරුවෙකු ලෙසිනි.

“මම ගෙනත් දෙන්නම්කො කියවන්න ආස හිතෙන විදියෙ පොත්..”

ඇය පොරොන්දු වූවාය.

පියුමිකා පොරොන්දු අමතක කරන හෝ කඩ කරන යුවතියක නොවේ. ඇය මනස සම්බන්ධයෙන් සරල බසින් ලියැවුණු පොතක් ගෙනැවිත් දුන්නාය. එහි විග්‍රහ කොට තිබුණේ විපතක් සිදු වූ කල එයට මුහුණ දෙන්නට සිත ශක්තිමත් කර ගන්නා අන්දමය. තිත්තම කසායක් බොනන්ට සිදු වූ කලෙක මෙන් අපුලෙන් අභිෂේක් පොත අතට ගත්තේ එය නොකියෙව්ව හොත් පියුමිකා අමනාප වෙනු ඇතැයි බිය නිසාය. එහෙත් මුල් පිටුව දෙක කියවන විටම එහි සිත් ගන්නා සුලු බව ඔහුට වැහිණි. ඔහු පැය දෙක තුනක් ඇතුළත පොත කියවා හමාර කළා පමණක් නොව එහි වූ කරුණු හොඳින් සිතට ගත්තේය. පියුමිකා එහි ඉතිරි පොත්  කිහිපයද වරින් වර ගෙනැවිත් දුන්නාය. එම පොත් පෙළ කියවා අවසන් වන විට ජීවිතය දෙස අලුත් ඇසකින් බලන්නට අභිෂේක්ට පුළුවන්කම ලැබී තිබිණි.

“හැමදේම වෙන්නෙ යහපතට..”

යනුවෙන් පියුමිකා නිරන්තරයෙන් පැවසූ වදන්වල සත්‍යතාවය පසක් කර ගන්නට ඔහුට පොත් කියවීම උපකාරී වූවේය.

“ඔයාට පින් කෙල්ලෙ.. මට දැන් අලුත් විදියට ජීවිතේ දිහාවෙ බලන්න පුළුවන්..”

ඔහු කෘතඥ පූර්වක හඬින් කියද්දී ඇගේ ඇස් සතුටින් දිලිසුනේය.

“එහෙනම් ඔයාට ඔයාගෙ තාත්තගෙ හීනෙත් සැබෑ කරන්න පුළුවන් වෙයි.. ඔයා ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකට පාඩම් කරන්න..”

ඇය යෝජනාවක හඬින් කීවාය. ඔහු දෙවරක් නොසිතාම එම යෝජනාව පිළිගත්තේය. ඔහුගේ පියාගේ සිහිනය වී තිබුණේ ඔහු නීතීඥවරයෙකු වෙනු දැකීමය. එහෙත් ඒ සඳහා අභීෂේක් යොමු කිරීමට තරම් ආර්ථික ශක්තියක් තාත්තාට නොතිබුණි. ඒ පිළිබඳව සිතා තාත්තා බොහෝ සෙයින් දුක් වෙන බව අභිෂේක් දැන සිටියේය. ඔහුටත් වඩා හොදින් පියුමිකා තාත්තා ගේ සිත හැඳින සිටියාය.

“ඒ දරුවා ගිය ආත්මෙ ඔයාගෙ සහෝදරියක් වෙලා ඉන්න ඇති පුතේ..”

අම්මා හැඟුම්බරව කීවේ ඔහු නීති ප්‍රවේශය සඳහා පාඩම් කරන්නේ පියුමිකා ගේ පෙළඹවීම මත බව දැනගත් පසුවය.

“සහෝදරියක් නෙමෙයි අම්මා.. ආත්මෙන් ආත්මෙ මගේ ජීවිතේම කොටසක් වෙලා ඉන්න ඇති..”

යනුවෙන් කියන්නට සිත් වුව ද ඔහු එවදන් ගිල ගත්තේය.

කකුලේ ප්ලාස්ටරය කැපුවාට පසුව කකුල ශක්තිමත් වීම සඳහා ව්‍යායාම කරන්නට අභිෂේක්ට සිදු විණි. ඔහු බැඩ්මින්ටන් ශූරයෙකු බව දැන සිටි වෛද්‍යවරයා කකුල වැඩි පුර නොවෙහෙසා එම ක්‍රීඩාවේ යෙදෙන ලෙස උපදෙස් දුන්නේය.

“ගොඩක් උඩ පනින්නෙ, දඟලන්නෙ නැතුව හෙමින් හෙමින් ප්ලේ කරන්න..”

අභිෂේක්ට ඒ සඳහා උපකාරී වූයේත් පියුමිකාය. ඔවුන් මුල් දින වලදී පැය කාලක් පමණ ක්‍රීඩා කළේ ගෙදර මිදුලේදීමය. ඉන් අභිෂේක් ලද්දේ අප්‍රමාණ සතුටකි. යුවනි හමු වෙන්නට පෙර පියුමිකා හා මිතුරු මිතුරියන් සමග බැඩ්මින්ටන් ක්ෂේත්‍රයේ සැරිසැරූ අතීතය තුළ ඔහු ජීවත් වූයේය.

“ඔයාට පුළුවන් අභී..”

මුල් දින වලදී හරි හැටි කකුල හසුරුවා ගන්නට නොහැකිව අභිෂේක් මන්දෝස්සාදී වෙද්දී පියුමිකා ඔහු දිරිමත් කළාය. ඔහු තමාටත් වඩා ඇගේ වචන විශ්වාස කළේය.

සතියක් දෙකක් ගෙවෙද්දී ක්‍රීඩා කරන වේලාව වැඩි කර ගන්නට ඔහුට පුළුවන් විණි. කකුල ටිකින් ටික ශක්තිමත් වෙද්දී පියුමිකා ඔහු බැඩ්මින්ටන් ක්‍රීඩාංගනයට කැටුව ගියාය. සුපුරුදු පරිසරයේ සුපුරුදු මිතුරු මිතුරියන් අතරට වන් කල ඔහුට සියලුම වේදනාවන් අමතකව ගියේය. ටිකින් ටික සිය ජවයට පිවිසි සුපුරුදු ඉරියව්වෙන් ක්‍රීඩා කිරීමට ඔහුට ගත වූයේ මසක පමණ කාලයකි.

“එහෙනම් ඔයා ඒක කළා.. ඇත්තටම මට නම් මේක අදහාගන්නත් බැරි තරම් අභිෂේක්..”

වෛද්‍යවරයා ඔහුට ප්‍රශංසා කළේය. ඒ ප්‍රශංසාව හිමි විය යුත්තේ තමාට නොව පියුමිකාට යැයි අභිෂේක් සිතුවේ අවංකවමය.

“මේ සැරේ ඉන්ටර් ඩිස්ට්‍රික්ට් ටුවර්මන්ට් එකේදි අපි දෙන්නා මික්ස්ඩ් ඩබල්ස් ගහමු ද..?”

ඔහුගේ දක්ෂතාව දිනෙන් දිනම වැඩි දියුණු වෙන ආකාරය ඕනෑකමින් බලා සිටි පියුමිකා ඇසුවාය. සත්තකින්ම ඇය එසේ ඇසුවේ එය ඉටු වෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් නොවේ. ඔහුට තවමත් එතරම් වෙහෙසිය නොහැකි බව ඇය දැන සිටියාය.

“ගහමු..”

ඔහු ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුව කීවේය.

“මම විහිළුවට කිව්වෙ අභී.. මැච් එකක් ප්ලේ කරන්න තරමට තවම ඔයාට සනීප මදි..”

ඇය ඔහුගේ තීරණය වෙනස් කරන්නට උත්සාහ කළේය.

“කවුද කියන්නෙ මට සනීප මදි කියලා..? දැන් හොදටම සනීපයි.. අපි මික්ස්ඩ් බඩල් ගහමු.. එච්චරක් විතරක් නෙමෙයි.. අනිවා දිනමු..”

ඔහු කීවේ සිය අධිෂ්ඨානය වෙනස් කරන්නට කිසි සේත්ම සූදානම් නොමැති බව අඟවමිනි.

“මම හිතන්නෙ ඔයාට ඒක කරන්න පුළුවන්..”

බැඩ්මින්ටන් උපදේශකවරයා ද විශ්වාසයෙන් යුතුව කීවේය.

“මට නම් බයයි පුතේ.. සුළු පටු ඔපරේෂන් එකක් නෙමෙයිනේ කකුළට කලේ..”

ඔවුන් මිශ්‍ර යුගල තරඟයට ඉදිරිපත් වෙන බව ඇසූ අභිෂේක් ගේ අම්මා පැවසුවේ පියුමිකා ඉදිරිපිටදීය.

“බය වෙන්න එපා ආන්ටි.. මම අභිට මහන්සි වෙන්න දේනනෙ නෑ.. මං එයාව ඉස්සරහ තියලා හරි ප්ලේ කරන්නම්කො..”

පියුමිකා කීවේ පොරොන්දුවක හඬිනි. ඇතැම් දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුගල තරඟවලට ඉදිරිපත් වෙන්නේ එතරම් දක්ෂ නැති සහයකයන් සමඟය. එවන් අවස්ථාවල ඔවුන් කරන්නේ සහයකයන් පන්දුව පිරිනැමීමට පමණක් යොදාගෙන ක්‍රීඩා කිරීමය. සහයකයාට ඇත්තේ පිත්තද අතැතිව බලා සිටීම පමණි.

“මට එහෙම අපහාස කරන්න එපා.. සමහර විට ඔයාව ඉස්සරහ තියලා මට ප්ලේ කරන්න වෙයිද දන්නෙත් නෑ..”

අභිෂේක් කීෆව් පියුමිකා පමණක් නොව අම්මාද නිසා ගන්වමිනි.

සැබැවින්ම පියුමිකා තුළ ජයග්‍රහණය පිළිබඳ වැඩි විශ්වාසයක් තිබුණේ නැත. ඇය කල්පනා කරමින් සිටියේ මූලික වටයේ තරඟ කිහිපයක් පමණක්වත් ජය ගන්නටය. එයින් අභිෂේක්ගේ ඉදිරි ක්‍රීඩා ජීවිතයට පන්නරයක් ලැබෙනු ඇතැයි ඇය සිතුවාය.

එහෙත් තමා ඇයටත් වඩා හොඳින් සෙල්ලම් කරන බව අභිෂේක් කියා තිබුණේ නිකම් කටට ආවාට නොවන බව පියුමිකාට පසක් වූයේ තරඟ ආරම්භ වූ කලය. ඔවුහූ මූලික වටයේ තරඟ ඉතා පහසුවෙන් ජය ගත්හ. අභීෂේක් ඉක්මනින්ම ඔහුගේ සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වී සිටීම එයට හේතුව විණි.

“මට ඔයා ගැන හරි ආඩම්බරයි අභි..”

පියුමිකා කිවේ අර්ධ අවසන් තරඟයෙන් ජය ලබා ගත් විටය. එය සෑහෙන අසීරු තරඟයක් විණි. ඔවු ජය ගත්තේ ලකුණු දෙකකිනි. එහෙත් අභිෂේක් සතුටට පත් වූයේ ඒ සා තියුණු තරඟයකින් ජය ලබා ගත් නිසා නොව පියුමිකා වෙතින් ලද ප්‍රශංසාව නිසාය. ඇය මෙලෙස දිරි ගන්වන්නේ නම් ජය ගත නොහැකි ඉලක්කයක් නැතැයි ඔහු කල්පනා කළේය.

අවසන් තරඟය ඉතා තියුණු වූවේය. දෙපිලම කරට කර ලකුණු ගනිමින් සිටියේය. අභිෂේක් සහ පියුමිකා වෙනුවේන නැගුණු ඔල්වරසනින් ක්‍රිඩාගාරය ගිඟුම් දුන්නේය.

“කෙල්ලෙ, මෙහෙම නම් හරියන එකක් නෑ.. දැන් පොඩ්ඩක් ඔළුව පාවිච්චි කරන්න.. අපි දෙන්නට දෙන චියර් පාර.. පැරදුනොත් සවුත්තුව..”

වතුර පානය කිරීම සඳහා තරඟය මඳකට නතර කළ විට අභිෂේක් පියුමිකාට කීවේය.

“එහා පැත්තෙ ගර්ල් බෝයිට වඩා ටිකක් වීක්.. ඒ හින්දා එයාටම අටෑක් කරමු..”

පියුමිකා දෑන් නටවමින් කීවාය. ඇගේ එම ඉරියව්ව ඔහුගේ සිත අමන්දානන්දයට පත් කළේය. අළුත් ධෛර්යයක් මුළු ගත පුරාම පැතිර යනු ඔහුට දැනුණි.

එවර ඔවුන් දෙදෙනාම ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කළේ එහා පැත්තේ ක්‍රීඩිකාවටය. ක්‍රීඩකයාට පිහාටු පන්දුව ලැබුණේ ඉඳ හිටය. ක්‍රීඩාංගනය පුරා එහා මෙහා දිවූ ක්‍රීඩිකාව බොහෝ සෙයින් වෙහෙසට පත් වූවාය. පළමු වටයේ දී වැඩි ලකුණු තුනකින් පමණක් ජය ගත් අභිෂේක් සහ පියුමිකා දෙවන වටයේදී අනෙක් පිලට ලබා දුන්නේ ලකුණු පහක් පමණි.

තරඟය ජය ගත් වහාම අභිෂේක් සහ පියුමිකා ක්‍රීඩාංගනය මැද එකිනෙකා වැළඳගෙන සතුට බෙදා ගත්තේය. ඔල්වරසන් හඬින් සහ අත්පොළසන් හඬින් ක්‍රීඩාගාරය ගිඟුම් දුන්නේය. කැමරාවල විදුලි එළි නිවි නිවී පත්තු වූවේය.



No comments:

Post a Comment