Friday, August 31, 2012

| අරුන්දිකා | සංජීවනී අටලුගම |


නෙතු රිදවා ගලා ගිය කඳුළක් මම ඇගිලි තුඩු වලින් මිරිකා දැම්මෙමි. සුසුමක් හෙළා සිත සැහැල්ලු කරගැනීමට අනේකවර උත්සාහ කළද සිදුවූයේ සිත අවුල් වීම පමණකි. දින කිහිපයක් තිස්සේ හඩා වැටීමෙන් රත්පැහැ ගැන්වුණු නෙතු වේදනා දෙන්නට විය. එකවර නැගුණු මහා පාළුවකින් මුළු ජීවිතයම වැසී ගොස් යයි මට සිතුණි. කාංචනගෙන් සමුගෙන පැමිණ තෙදිනක් ගත වුවද ඒ අවසන් හමුවීම මොහොතකට පෙර සිදුවූවාක් මෙන් මට වඩාත් ළංව දැනුණි. ඔහුගේ සිත රිදෙව්වේ යයි මසිත දහස්වර හඩා වැටුණි. ලෝකයාට බියෙන් මා ජීවිතයෙන් පළායන්නේ යැයි මට සිතේ. අප්පච්චී හා නංගිලා දෙදෙනා වෙනුවේන මා කළ යුතු දේ බොහෝය. ඔවුන් හුස්ම හෙලන්නේ පවා මගේ වාරුවෙන් නොවේදැයි මට සිතුණි. තවදුරටත් ජීවිතයේ අභියෝගයට මුහුණ දීමේ ශක්තිය මවෙතින් ගිලිහී යන්නේ දැයි මා තුළ වූයේ බියකි.


තනිකම මසිත වඩාත් පෙළීය. මා කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳව වූවේ මහා ගැටලුවකි. ඉරුදින උදෑසනම මම දිසානායක මහතා හමු වීමට යාමේ අදහසින් නිවසින් පිටවුණෙමි. මගේ හැසිරීම් පිළිබඳ බොහෝ අවස්ථාවල අප්පච්චීත්, නංගිලා දෙදෙනාත් බැලුවේ බියපත් වූ විලාසයෙනි. එය මසිත වේදනා ගෙන දෙන්න හේතුවිය. මට අවශ්‍ය වූයේ මා පෙළන දුක් ඔවුන්ගෙන් සගවාලන්නටය. රැකියාවක් නොමැතිව තව දුරටත් නිවසේ රැදී සිටිය නොහැකිය. මා සතුව පැවතියේ තවත් සීමිත මුදල් ප්‍රමාණ්‍යකි. එය නොබෝ දිනකින්ම අවසන් වනු ඇත. රැකියාවකටත් වඩා මට අවශ්‍ය වූයේ අප්පච්චීෆග් හා නංගිලා දෙදෙනාගේ දෙනෙත්වලින් රතු වී ඉදිමුණු මගේ දෙනෙත් සඟවා ගන්නටය.

දිසානායක මහතා හෝ ගීතිකා, කාංචන මුදන්නායක ගෙනා යෝජනාව දනී නම් මට දොස් පවරනු ඇත. ඔහුගේ හව්හරණය මගේ මුළු ජීවිතයටම මහා ශක්තියක් වනු ඇත. නමුදු ඔහුට එකගවන්නට මසිත ඉඩ නොදෙන්නේ ඇයිදැයි මට නොවැටහුණි. මසිත වූයේ විශාල බියකි. ඒ මහේෂ් වනිගසූරිය හා නර්මදා පිළිබඳවය.

දිසානායක මහතාගේ නිවසේ විදුලි සීනුව දාන කළ මම මොහොතක් බලා සිටියෙමි. නිවස තිබුණේ පාර අද්දරට වන්නට වූ නිසා ඔවුන් පුරුද්දක් ලෙස  නිවසෙ ඉදිරිපස දොර වසා තබයි. ඇරුනු දොරින් එළියට පැමිණියේ දිසානායක මහතාය. දින ගණනාවකින් පසු ඔහු දැකීමෙන් මසිත වඩාත් සැහැල්ලු විය. ඒ මගේ අප්පච්චී තරමටම ඔහු මට සමීප වූ නිසා වන්නට ඇත. පුළුල් සිනාවකින් මුව සරසාගත් ඔහු මදෙස බැලුවේ පුදුමයෙන් මෙනි.

අරුන්දිකා.. එන්න.. එන්න..

මම නිවසට ඇතුළු වුණේ ඇතුළත දෙස නෙත් යොමු කරමිනි.

කවුරුත් නැද්ද මිස්ටර් දිසානායක..?

වයිෆ් ඉන්නවා අරුන්දිකා.. අද දුවගෙයි පුතාගෙයි ටියුෂන් දවසනේ.. ඉන්නකො මම වයිෆ්ට කතා කරන්නම්..

සාලයේ තිබුණ පුටුවකින් හිදගත් මම අසළ වූ පුවත්පතක් අතට ගතිමි. එය පෙරලා බැලුවද කියවන්නට රුචියක් නොවූ නිසා යළි එලෙසම තැබිමි.

මම මේ බැලුවා කවුද කියලා.. මේ ළමයනේ.. හුඟ කාලෙකින්..

ඈ පෙර මෙන්ම දයාබරය.

කොහොමද..? අප්පච්චිලා සනීපෙන්ද..?

ඔව් හොඳින් ඉන්නවා..

ඔයාලා කතා කරන්නකො.. මම පොඩි වැඩක් කර කර හිටියෙ.. ඒක ඉවර කරලා එන්නම්..

ඇය පිටව ගිය පසු මම දිසානායක මහතා දෙසට හැරුණි.

කොහොමද අරුන්දිකා..

මම සිනාසුනා මිස කිසිත් නොකීවෙමි.

ෆැක්ටරියෙ ගොඩක් වෙනස්කම් සිද්ධ උනා..

මම දෙනෙත් විසල් කර ගනිමින් ඔහු දෙස බැලුවෙමි. ඔහු සුසුමක් හෙළමින් මොකක්දෝ කතාවකට මුළ පිරීය.

මිස්ටර් මුදන්නායක අයින් වුණා..

මගේ දෑස් වඩාත් විශාල විය. මසිත වේගයෙන්  ගැහෙන්නට විය. සියල්ල අතහැර ඔහු කොහේ සැගවෙන්නට ඇත්දැයි මසිත ඇතිවූයේ වේදනාවකි. මනෙතු කඳුළින් පිරී ගියේය. මේ සියල්ල සිදු වූයේ මා නිසාදැයි මසිත පිච්චී ගියේය.


ප්‍රධාන මාවතේ මද දුරක් ගොස් වැලි පාරට හැරුණු මම කළු පැහැති යකඩ ගේට්ටුව අසළ නතර වී දිසානායක මහතා පැවසූ ගෙය දෙස බැලිමි. කිසිදිනක නොපැමිණි ගමනක් වූ නිසා මදක් සසල විය. ගේට්ටුව අසළට ලං වූ මම උස් තාප්පයට ඉහළින් දෙමහල් නිවස දෙස බලා සිටියෙමි. මේ විසල් නිවසේ ඔහු කෙසේ තනිවම ජීවත් වන්නේදැයි මසිත ඇතිවූයේ විමතියකි. නොවිමසා පැමිණි ගමනින් ඔහු මා ගැන කෙසේ සිතාවිදැයි මසිත වූයේ නොසන්සුන්කමකි. ආපසු හැරී යන්නට තරම් සිත ශක්තිමත් නොවීය. එසේම මට නොකියාම ඔහු යන්නට සැරසෙන මේ ගමන නිසා මසිත වූ සසල වීම මදක්වත් අඩුව නොතිබුණි.

සිතට දිරිගත් මම ගැහෙන ඇඟිලිතුඩු වලින් ගේට්ටුවට සවිකර තිබුණු විදුලි සීනුව නාද කළෙමි. මසිත වේගයෙන් සැලෙන්නට විය. මේ වනවිටත් ඔහු පිටව ගොස් ඇත්නම් මුළු ජීවිත කාළයම පසුතැවිලි වෙමින් ජීවත් වන්නට මට සිදුවනු ඇත. එම සිතුවිල්ලත් සමගම නෙතට කඳුළු පුරා ආවේය. එය එසේ නොවේවායි මම සිතින් අයැදිමි. ගේට්ටුව සෙලවෙන හඬින් මසිත තිගැස්සුණි. විවර වූ ගේට්ටුවෙන් පිටතට එබී බැලුවේ වයස්ගත පුද්ගලයෙකි. ඔහු පිළිබඳව දිනක් නර්මදා මා හා පැවසුවා මට මතකය. විපරම් ඇසින් මඳක් නිහඬව ඔහු මදෙස බැලුවේය.

ඇයි කාව හම්බවෙන්නද..?

ඔහුගේ හඬ මදක් රළු විය.

මට කාංචන මුදන්නායක මහත්තයව හම්බවෙන්න පුළුවන්ද..?

ඔහුගේ දෙනෙතෙහි වූයේ කුතුහලයකි.

ඔය ළමයා කවුද..?

මම මහත්තයා වැඩ කල ෆැක්ටරියෙ වැඩ කරන්නෙ.. මහත්තයා ඉන්නවද..?

මසිත මෙතෙක් වේලා නොසන්සුන් කළ පැනය මම විමසුවෙමි.

ඔව්..

සීයෙ.. අරුන්දිකා ඇවිත් ඉන්නවා කියලා කියනවද..?

ඔහොම ඉ්නන.. මම මහත්තයට කියන්නම්..

ඔහුගේ විමසුම් බැල්මෙහි අඩුවක් නොවීය. ඔහුගේ හාම්පුතා මුණගැසීමට පැමිණි මා කවුදැයි ඔහුට ගැටළුවක් වන්නට ඇත. කාංචන සිටින්නේයැයි ඇසූ විට මසිත මදක් සැහැල්ලු විය. ඔහුගෙන් අවසන් වරට බැණුම් අසා හෝ යන්නට පැමිණි මේ ගමන මසිත ඇති කළේ බලාපොරොත්තුවකි.

අරුන්දිකා......

ඒ හඩ සන්සුන් වුවද මගේ හදවත තුළ මහා හඩක් නංවමින් දෝංකාර දුන්නේය. තිගැස්සුණු නෙතින් මම ඔහු දෙස බැලුවේ බියපත්වය. ඔහු බැණ වදිතැයි මසිත වේගයෙන් සැලෙන්නට විය. ඔහු දෙනෙත් විසල් කරගෙන මදෙස බලා සිටියේය.

තනියෙමද ආවෙ..?

ඔව්..

මට කෝල් කලා නම් මම එනවනේ..

එය චෝදනාවක්දැයි මම නොදනිමි.

මම ආව එක කරදරයක්ද..?

මට කරදරයක් නෙමෙයි.. ඔයාට හොඳ නෑ මෙහෙම ගමන් එන එක.. එන්න ඇතුළට.. අර සීයත් බයවෙලා වගේ බලන් ඉන්නවා.. ඔයා කවුද කියලා..

ඔහුගේ ආරාධනයෙන් මම ගෙවත්තට ඇතුළු වුණෙමි. ඔහු පසුපසින් මා ඇවිද ගියේ සිහිනයෙන් මෙනි. කුඩා ගෙවත්තකින් සෑදුණු නිවස මනහර විය. නමුදු සිතේ පැවති නොසන්සුන්කම නිසා එහි විසිතුරු බලන්නට මට සිත් නොවීය.

ඉඳගන්න අරුන්දිකා..

ආලින්දයට ගොඩ වැදුණු ඔහු අසුනක් පෙන්වමින් මදෙස බැලීය. මා හිඳගත් පසු අසළ වූ අසුනකට බර වූ ඔහු මදෙස බැලුවේ විමතියෙනි. මනෙතු බිමට නැඹුරු විය.

සමාවෙන්න මෙහෙම ආවට..

මට ඔයාව දැක්කම පුදුම හිතුනා..

මට එන්න හිතුනා..

ඒ ඇයි..?

මම දන්නෑ..

පහුගිය දවස් වල ගොඩක් තීරණ ගන්න මට සිදුවුණා..

මම දන්නවා..

මම හෙට ආයෙමත් ඇමෙරිකා යනවා..

මගේ උගුරේ යමක් හිරවෙන්නා සේ දැනුණි. මා පැමිණි ගමනේ තේරුම කුමක්දැයි මම සිතිමි.

ඒ ගමන නොගිහින් ඉන්න බැරිද..?

මා එලෙස පැවසුවේ ඇයිදැයි යන්න පවා මට නොවැටහුණි.

ඇයි..?

මනෙතු කඳුළු පුරා ආවේය. ඒ ඔහුගෙන් සමුගන්නට මසිත දිරියක් නොවූ නිසාය.

මං වෙනුවෙන් ඒ ගමන නොගිහින් ඉන්න බැරිද..?

මනෙතු පුරා නැගුනු කඳුළැල් කම්මුල් දිගේ ඉබාගාතේ ඇදෙන්නට ඉඩදී මම ඔහු දෙස බලා සිටියෙමි. දින ගණනාවක් තිස්සේ හිත තුළ දැවෙමින් තිබුණු වේදනාව පිට කරන්නට මට අවැසි විය. ඔහුගෙන් කඳුළු සගවා ගන්නට පෙර දිනක සේ මට නොසිතුණි.


මම උතුරායන සතුටින් ඔවුන් දෙස බලා සිටියෙමි. ජීවිතය මේ තරම් සුන්දර වේ යැයි ඳුක් විදි කාලයේ මට නොසිතුණි. දිනක් මට ගීතිකා කී වදන් සිහිපත් විය. උඹට කවදාවත් වරදින්නෙ නෑ අරුණි එවදන් මසිත දෝංකාර දුන්නේය. මම කිසිවෙකුට හිංසාවක්, පීඩාවක් කරන්නට කිසිවිටෙක නොසිතුවෙමි. මට ඇවැසි වූයේ කාටවත් වරදක් නොවී, ලද දෙයින් සතුටුව ජීවත් වන්නටය. මගේ සතුට මා වෙනුවෙන් පමණක් නොව අප්පච්චී හා නංගිලා දෙදෙනා වෙනුවෙන්ද කැප කළෙමි. ඒ පරිත්‍යාගයෙන් මම බොහෝ දේ ලැබුවෙමි. මේ සියල්ලේම ගැලමුව්කාරයා මා ආදරණීය වූ ඔහු විය. අහම්බෙන් හෝ ඔහු මගේ ජීවිතයට එබී නොබලන්නට මා මෙතරම් වාසනාවන්ත නොවෙන්නට තිබුණි.


අද උදෑසන මම කාංචන මුදන්නායකගේ මනාලිය විමි. එය මා මේ ජීවිතයෙන් ලද එකම ත්‍යාගය විය. ඔහු මගේ පමණක් නොව අප්පච්චීගේත්, නංගිලාගේත් ජීවිත නව මගකට ළං කළේය. ඔහුගේ ඉල්ලීම පිට ගමෙන් පිටව ආ අපි ඔහුගේ නිවසේ නතර වුණෙමු. අප්පච්චී හා නංගිලා වෙනුවෙන් සියලු දේ කරන්නට ඔහු මට පොරොන්දු විය. මට ඔහු පෙනුනේ දෙවියකු ලෙසය.

අකාලයේ තම දෙමව්පියන් අහිමිවීම නිසා ඔවුන් වෙනුවෙන් අපේ ජීවිත බාරගැනීම ඔහු භාග්‍යයක් කොට සැලකිය.

අප දෙදෙනාගේ විවාහය වෙනුවෙන් පුංචි උත්සවයක් පැවැත්වුණි. ඒ සඳහා සහභාගී වූයේ අපේ සමීපතමයන් පමණි. නැන්දාත්, මාමාත්, ජනක අයියාත් ඔහුගේ බිරිඳත් විය. මගේ දයාබර මිතුරිය වූ ගීතිකා මට සැමවිටම සෙවනැල්ලක් විය. මට තවත් පියෙකු වූ දිසානායක මහතාත් මගේ පවුලේ අයත් මගේ සතුට අභියස සතුටු කඳුළු වැගීරූහ. තමාගේම ව්‍යාපාරයක් පටන් ගැනීමට කාංචන බලාපොරොත්තු විය. ඊට අවශ්‍ය සහය ඔහු මගෙන් පැතුවේ නිරහංකාරවය.

සියල්ලන්ගේම සතුටු කඳුළු අතරින් සමුගත් අප දෙදෙනා අපේ ලොවක් බලා පිටත් වුණෙමු. දිගු ගමනකින් වෙහෙසුණු මා නවාතැනට පැමිණි විගස සීතල වතුර නා ගතිමි. නා අහවර වී සැහැල්ලු ගවුමනික් සැරසී අපේ කාමරය ඉදිරිපස වූ සඳැල්ලට ගියෙමි. රත්පැහැ ගැන්වුණු අහසත් වේගයෙන් රළ පෙළ ඉහළ ඇදෙන මහ මුහුදත් මේ සොඳුරු බිම තවත් සොඳුරු කළේය. සැඳැල්ලේ සිමෙන්ති බැම්මට වැරුවුණු මා අවට සිරි නැරඹුවේ මුළු ලොවම අමතක වූවා සේය.

ගෙට පිටුපසින් දැනුණු උණුසුම් සුසුමින් මම තිගැස්සී පසුපස බැලුවෙමි. ඔහු මා අසළට එනවා මට නොදැනුණි. සැහැල්ලු කමීසයක් හා කලිසමකින් ඔහු සැරසී සිටියේය. ඔහු සිටියේද බොහෝ සේ සැහැල්ලුවය. මසිත ඔහු කෙරෙහි ඇති වූයේ ආදරණිය බැඳීමකි. මේ පරිත්‍යාගය කළ හැක්කේ දෙවිකෙනෙකුට මිස මිනිසෙකුට නොවේයැයි මට සිතුණි. මම ඇහිපිය නොසොල්වා ඒ ආදරණිය වූ රුව විදගතිමි.

මොකද මේ ඇස් ලොකු කරගෙන මං දිහා බලන්නෙ..?

මගේ දෑසට එබෙමින් ඔහු සිනාසුනේය. මුවගට වදනක් නගාගත නොහැකි වූයේ සිත සතුටින් උතුරා ගිය නිසාය. ඒ සතුට දෑසට කඳුළක් එක් කළේය.

අරුනි ඇයි මේ..?

මගේ උරහිස මත ඔහුගේ උණුසුම් දෑත් සිරවිය.

ඇයි ඔයා දුකින් වගේ..?

ඒ දෑස් දුක්බර විය. දුකක් නොවේ යැයි කියන්නට මම හිස පිටුපසට සැලුවෙමි.

එහෙනම්..

ඒ දෑස් සෙනෙහසින් පිරී තිබුණි.

සතුටට..

මම සෙමෙන් කටහඬ අවදි කළෙමි.

සතුටට..

හ්ම්..

අරුණි..

මම හිස නගා ඔහු දෙස බැලුවෙමි.

මට පොරොන්දුවක් වෙන්න..

මම නෙතු විමල් කරගෙන ඔහු දෙස බැලුවෙමි.

මීට පස්සෙ අඬන්නෙ නෑ කියලා.. සතුටටවත් දුකටවත් අඬන්නෙ නෑ කියලා.. මම ආස නෑ ඔයාගෙ ඇස්වල කඳුළු දකින්න..

මම ඔහුගේ උණුසුම් පපුතුරේ මුහුණ හොවා ගතිමි. නෙතු පුරා නැගි කඳුළැල් වල සීතල ඔහුගේ පපුතුරට දැනෙන්නට ඇත. නෙතු අගින් ගිලිහුණු එකම කඳුළක් කම්මුල් දිගේ පහළට ගලා ගියේය. මම දෑස් පියා ගතිමි.



2 comments:

  1. නියමයි සුපිරි කතාව,,,,

    ReplyDelete
  2. Aneeeee Harima Lassana adarshamath kathavak

    ReplyDelete