Friday, August 31, 2012

| අරුන්දිකා | සංජීවනී අටලුගම |


හෙන්දිරික්කා මල් වැට අද්දරට අඳුර ගලා එමින් තිබුණි. ඒ අඳුරට පෙර කාංචන මුදන්නායක පැමිණියේය. මසිත වේගයෙන් සැලුණි. ඔහු දැකීමට යන්නේදැයි නොයන්නේදැයි සිතින් විමසුවද ඔහු දෙසට මගේ දෙපා එසවුනේ නිරායාසයෙනි. කඩුල්ල අසලට වී මම බලා සිටියෙමි. කාරයේ හිඳගෙනම ඔහු ඉවත බලාගෙන සිටියේය.  ඒ දෙනෙත් වලින් පිටවූයේ නොසන්සුන් බවකි. මෙතරම් පීඩා විඳින්නට ඔහු ලැබූ සිත් තැවුල කුමක්දැයි මම සිතුවෙමි. එක්වර ඔහු මදෙස බැලුවේය. මසිත තිගැස්සුණි. කාරයේ දොර හැරගෙන ඔහු එළියට පැමිණීයේය. මගේ දෙපා වෙව්ලන්නට විය. මම කඩුල්ල අල්ලාගත්තේ ඇද වැටේවියැයි සිතුන නිසාය. කාරයේ ඉදිරිපසින්  ගොස් ඔහු අසළට ආවේ කෝපයෙන් පිරුණු නෙතිනි. ඒ නෙතු දෙස බලා සිටිය නොහැකි වූ නිසා මම නෙතු බිමට නැඹුරු කර ගතිමි. ඔහුගේ දෙපා මා අසළ නතර විය. මගේ කම්මුල් වෙව්ලන්නට විය.


කාගෙන් අහලද නර්මදාලගෙ ගෙදර ගියේ..?

ඔහු විමසුවේ මා කිසිසේත් අසන්නට අපේක්ෂා නොකළ දෙයකි. මගේ දෑස් කඳුලින් වැසී ගියේය. දිසානායක මහතා කෙරෙහි මසිත ඇති වූයේ අපැහැදීමකි.

කතා කරනවා.. කාගෙන් අහලද එහෙ ගියේ..?

මනෙතු කඳුළු ඉකියකින් මුවින් පිටවිය. මෙසේ මට බැන වැදීමට ඔහුට සිතුනේ ඇයිදැයි මම නොසිතුවෙමි. වරද මා අතයැයි ඔහු සිතනා ඇත. නෙතු පරා ගලා ගිය කඳුළු බිදු කම්මුලි දිගේ පහළට ගොස් බිමට වැටුණි. සියල්ලන්ම මගෙන් පළිගැනීමට සිතන්නේ ඇයිදැයි මට සිතුණි. ඔවුන් මගේ අසරණකමත් සමග සෙල්ලම් කරයි. සියල්ලෙන්ම දුක් විදින්නට සිදුව ඇත්තේ මටය. මට පමණක් නොව මගේ අප්පච්චීත්, නංගිලාටත් ඔහු අසළ මුනිවත රැක්කා මිස කියන්නට දෙයක් මුවට නොනැගුණේය.

මෙච්චර දවසක් කිසිම දෙයක් මට කිව්වෙ නෑ.. ඔයාට මිස්ටර් දිසානායකට තරම්වත්  මාව විශ්වාස නැතිවුණා..

ඔහු චෝදනාත්මකව තෙපලීය.. ඔහුගේ චෝදනාවෙන් අසළ අසරණ කමට වඩා කුමක්දෝ අහේතුක සිතුවිලි මා කෝපයට පත් කළේය. මේ සියල්ලටම වැරදිකරු ඔහු යැයි මගේ නොසන්සුන් සිත හඩ නගා පෑවේය. ඒ සිතුවිලි මට බොහෝ දේ අමතක කළේය. ඉකිබිදුම යටපත්ව මගේ නෙතු ඔහු දෙසට යොමු වූයේ නිරායාසයෙනි.

මට කාවවත් විශ්වාස කරන්න ඕන කමක් නෑ.. මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න.. මීට පස්සෙ මම කාටවත් කරදරයක් වෙන්නෙ නෑ..

මා කතාකළේ බොහොම අපහසුතාවෙනි. මගේ හිතුවක්කාර සිතුවිලි මෙසේ ඔහු අසළ කෝපයට හැරවිණි. ඔහු අසළින් මෑත්වුණ මම ඉක්මන් ගමනින් පැමිණ ගෙට ඇතුළු උනෙමි. ඔහු කුමක් සිතුවේදැයි මම නොදනිමි. මොහොතකින් ඔහුගේ කාරය පිටත්ව යනවා මට ඇසුණි. මසිතට කිසිදු සිතුවිල්ලක් නැගුණේ නැත.

හඩා වැටීමෙන් මනෙත් සේම මසිතද විඩාව පත්වති තිබුණි. බොහෝ වේලාවකට පසු මම ඇද මතින් නැගී සිටියෙමි. ජනේලය අදරදට ගිය මම කම්බි කූරු අතරින් පිටත බැලුවෙමි. ගනදුර මිස කිසිවක් දෑසට හසුනොවීය. මම කඩුල්ල අද්දරට දෑස් යැව්වෙමි. ඔහු පැමිණි වග මට මතකය. ඔහුට නොහික්මුණු සිතින් දොස් නැගුවා මතකය. රිදුනු සිතින් ඔහු යන්නට ඇත. මසිත ඊටත් වඩා රිදුනේය. හේතුවක් නැතුව මා ඔහුට දොස් නැගුවා නොවේදැයි මට සිතුණි. ඔහු වරදක් කළේදැයි මම සිතින් විමිසිම. අනේ ඔහු වරදක් කළේ නැත මසිත මට දොස් පැවරීය. මසිත හඩා වැටුණේය. ප්‍රථම වතාවට ඔහුවෙන්වෙන් මනෙතේ කඳුළක් නැගුණි. ඒ කඳුළට ඉබාගාතේ යන්නට ඉඩදී මම ජනේල් කූරු මත හිස ගසා ගතිමි.

හඩා වැටීමෙන් මනෙතු රිදෙන්නට විය. ඊටත් වඩා සිත රිදුනේ මා කුමක් කළයුතුදැයි මට නොවැටුහුණි. ලොකු නංගීත් චූටි නංගීත් මදෙස බලා සිටියේ බියපත් නෙතිනි. ඔවුන්ගේ අහිංසක සිත් පෑරුවේයැයි මසිත මට දොස් නැගීය. මා ජීවිතය පටලවා ගතහොත් වන්නේ ඔවුන්ගේ අසරණ ලෝකය බිඳ වැටීම පමණි. නමුදු මසිත බොහෝ සේ අසරණ විය. අප්පච්චී මා සොයා ආවේ නොසිතූ ලෙසය. ඔහු දෙස බලා සිටීමට අපහසුතාවයෙන් මම නෙතු බිමට බැඹුරු කරගතිමි.

මොක්කද පුතේ මේ වැඩේ තේරුම..?

ඔහු මදක් අඩු වේගයෙන් ඇසීය. ඒ හඩ මා නෙතු කඳුළු අළුත් කිරීමට සමත් විය.

හවස මොකටද අර මහත්තයා අවේ..?

ඔහු විමසුවේ කාංචන මුදන්නායක පිළිබඳවය.

නිකන් අප්පච්චි..

අප්පච්චීගේ හඩින් බිය පත්වූ නිසාම මගේ මුව විවර විය.

ඒ මහත්තයා ගිය වෙලාවෙ ඉඳන් අඩනවා.. මොකද වෙලා තියෙන්නෙ..?

අප්පච්චීට මේ සියල්ල තව දුරටත් සැඟවිය හැකිදැයි මම මදක් සිතුවෙමි. නමුදු මේ සියල්ල මා ඔහුට කෙලෙස නම් පවසන්නද..?

මම වැඩට ගියේ නැති නිසා බලන්න ඇවිත්..

ඇයි එන්නෑ කියලා දැන්නුවෙ නැද්ද..?

දැන්නුවා අප්පච්චි..

එහෙනම් ඇයි තවත් එන්නෙ..?

ඔහුට දිය හැකි පිළිතුරක් මවෙත නොවීය. නිරපරාදේ අප්පච්චී, කාංචන මුදන්නායක ගැන වැරදි ආකාරයෙන් සිතන්නට ඇත.

හොඳයි ආවදෙන්කො ආයෙමත්.. මම හොදට කතා කරනවා..

අප්පච්චී පැවසුවේ මා නොසිතූ දෙයක්ය. මසිත වේගයෙන් ගැහෙන්නට විය. සියල්ල පැටලී ඇත. මසිත අවුල් විණි.

අනේ අප්පච්චී ඒ මහත්තයා වැරැද්දක් කරලා නෑ..

එහෙනම් මොකද අඬන්නෙ..?

අප්පච්චීගේ ප්‍රශ්න වලින් මිදෙන්නට හැකියාවක් මවෙත නොවීය. ඔහුට වසන් කිරීමෙන් සිදුවන්නේ තව තවත් ප්‍රශ්න වලට මුල පිරීමකි. ඒ නිසා වැඩට නොයාමට හේතුව ඔහුට පවසන්නට මට සිත් විය.

අප්පච්චිට මතකද මම අසනීප වෙලා දවසක් වෑන් එකක ආවා. එදා අපේ ගෙදර ආව මහත්තයා මතකද..?

අප්පච්චී හිස සැලුවේය.

ඒ මහත්තයා නිසයි මම වැඩට නොයන්නෙ.. මං ගැන වැරදි දේවල් නර්මදා මිස්ට කියලා.. ආයෙමත් වැඩට ගියොත් මට වෙන්නෙ එයාලට යටත් වෙලා ඉන්න..

අප්පච්චී සියල්ල නිහඩව අසා සිටියේය. ඔහු මා කී සියල්ල විශ්වාස කරන්නට ඇත. නමුදු මම ඔහුගෙන් බොහෝ දේ වසන් කළෙමි. ඒවා පැවසීමෙන් සිදුවන්නේ ඔහුගේ සිත තවත් රිදීම පමණි.

අප්පච්චි මම වෙන රස්සාවක් හොයාගන්නම්..

මම සුසුමක් හෙළුවේය.

මේ හැමදේම මට අත නැති වෙච්චි නිසා.. එහෙම නැත්නම් මම උඹව හම්බ කරන්න යවන්නෙ නෑ පුතේ..

ඔහු කියවාගෙන ගියේ වේදනාවෙනි.

අප්පච්චි ඒ ගැන හිතන්න එපා. දැන් ප්‍රශ්න ඉවරයිනේ.. මම වෙන රස්සාවක් හොයාගන්නම්..

එපමණකින් සියල්ල අවසන් විය. නමුදු මසිත පීඩාව අඩු නොවීය. සියල්ල අවසන් යැයි සිතුවද යටගියාව අමතක කර සන්සුන්ව හිදින්නට හැකියාවක් මවෙත නොවීය. කාංචන මුදන්නායකගේ සිත රිදෙව්වේ යැයි මසිත මට දොස් නැගීය. මා මගේ වේදනාව තරහව පිටකළේ වරදක් නොකළ ඔහුගෙනි. ඔහු මට බොහෝ උදව් කළේය. ඒ අන් කිසි බලාපොරොත්තුවකින් නොවන බව මම දනිමි. ඔහු එදා වගේම අද ද විශ්වාසවන්ත පුද්ගලයෙකි. මම බොහෝ පසුතැවිලි උනෙමි. එනිසාම මට සන්සුන්ව සියල්ල අමතක කර හිදින්නට නොහැකි විය. අවසන මම තීරණයක් ගතිමි. ඒ ඔහුගෙන් සමාව අයැදීමටය. ඉන්පසු මට සැනසිල්ලේ හිඳින්නට හැකිවනු ඇත. ඔහුගේ උදව් උපකාර වලට කෘතඤතාව පළකර ඔහුගෙන් සමුගත යුතුයැයි මට සිතුණි.

පසුදින උදේ හන්දියට ගිය මම තැපැල් කාර්යාලයට ගොස් ඔහුට දුරකථන ඇමතුමක් දුන්නෙමි. රිසිවරය කනට තබාගෙන මම ඒ හඩ අසන්නට බලා සිටියෙමි. එහා පැත්තෙන් දුරකථනය නාද වන්නට  විය. මසිත තිගැස්සුණි. අතරැදි රිසිවරය මම තදකොට අල්වා ගතිමි. ඔහුගේ හඩ ඇසෙන මොහොතේ මට මුළු ලෝකයම අමතක විය.

හලෝ..

ඒ හඬ ගැඹුරුය.. එහෙත් සන්සුන්ය..

කාංචන සර්.. මම අරුන්දිකා..

මම වචන ගලපා ගතිමි. මගේ හඩ වෙව්ලුවේය. ඔහු නිහඩවම සිටියේය. මගේ හදගැස්ම වැඩිවිය. ඔහු බැණ වදීවියැයි මට සිතුණි. වරදක් නොකළ ඔහුගේ නිහඩ බව මදවේලාවක් බිඳිණි.

ඇයි අරුන්දිකා..

ඒ හඩ බොහෝ සන්සුන්විය. මා කොතනින් පටන් ගත යුතුදැයි මට නොවැටහුණි. නුමුදු උත්සාහයෙන් වචන ගලපා ගතිමි.

මට සමාවෙන්න සර්.. මම ඊයෙ සර්ට කතා කළ විදිහ ගැන පසුතැවෙනවා..

තත්පර කිහිපයක් නිහඉව ගෙවුණි. එය කල්පයක් තරම් දිගු විය.

අරුන්දිකා මාව විශ්වාස කරන්නෙ නැතුව ඇත.. ඒකනේ එහෙම කතා කළේ..

මසිත පිච්චී ගියේය. ඒ මා ඔහුගෙන් මෙතරම් සුහද බවක් අපේක්ෂා නොකළ නිසාය.

මේක විශ්වාසය ගැන ප්‍රශ්නයක් නෙමෙයි සර්.. මට සර් ගොඩක් උදව් කළා.. මම ඒවට ණය ගැතියි..

මට අරුන්දිකාට කතා කරන්න ඕන.. ඒත් ෆෝන් එකනේ බෑ..

මසිත  තිගැස්සුණි.

මම නිසා සර් ප්‍රශ්න ඇති කරගන්න එපා..

මං ගැන බයවෙන්න එපා අරුන්දිකා.. මට ප්‍රශ්න ඇතිකරගන්න කෙනෙක් නෑ.. මාව අහන්න අරුන්දිකා.. ඔයා කොහෙද ඉන්නෙ..?

පෝස්ට් ඔෆිස් එකේ..

මම එනවා දැන් ඔතනට.. ඔයා ඔහොම ඉන්න..

මම උන් හිටි තැන් පවා අමතක විය. සමුගන්න ආ ගමනේදී සිදුවූයේ යළිත් හමුවෙන්නටය. ඒ හමුවීම කෙතරම් දුරට සුදුසුදැයි සිතීමටවත් සන්සුන් සිතක් මවෙත නොවීය. එන්න එපා කියන්නට තරම් ශක්තියක් නොවීය.

අරුන්දිකා.. මම එනකම් ඉන්න..

එසේ කියා ඔහු රිසිවරය තැබුවේය. රිසිවරය දෑතේ සිරකරගෙන මම එලෙසම සිටියෙමි. මා සැරසෙන්නේ ජීවිය තවත් පටලවා ගැනීමටදැයි මම නොදනිමි.

තැපැල් කාර්යාලය තුළ වූ ලී බංකුවේ මම හිදගත්තෙමි. ඉන් පිටතට යාමට මට සිත් නොවුනේ අදුනන කවුරුන් හෝ මා දකීවියැයි බියෙනි. තැපැල් කාර්යාලයේ සිටියේ මහළු ස්ථානධිපතිවරයා පමණි. ඉදිහිට එහි එන යන එවුන්ගෙන් සැඟවීමට මම නෙතු බීමට නැඹුරු කරගතිමි. කවුරුන් හෝ මා මෙහි සිටින්නේ ඇයිදැයි විමසුවොතින් දියහැකි පිළිතුරක් නොවේ. මට අප්පච්චී සිහිවිය. කවදාව්ත නැතුව ඔහු මට සැරවුණේය. එය සිත් වේදනාවක් නොවුනද මා ඔහුට අකීකරු වූවේදැයි මසිත හඩ ගෑවේය. මට අවැසි වූයේ සියල්ල හොඳින් විසඳා ගන්නටය. නමුදු සිදුවූයේ සියල්ල අවුල් වීම පමණි.

කොපමණ වේලාවක් ගතවුණිදැයි මට නිනව්වක් නොවීය. පසුපසින් ඇසුණු පා හඩින් මගේ සිතුවිලි විසුරුණි. මසිත තිගැස්සුණි. ඔහුගේ නෙතු මා බියට පත් කළේය. මනෙතු බිමට නැඹුරු විය. මම හිදගෙන සිටි බංකුවෙන් නැගී සිටියෙමි. ඉන්නේ කොහිදැයි මට කල්පනාවක් වූයේ නැත. ඉන්නේ කොහෙදැයි කල්පනා වූයේ බොහෝ වේලාවකට පසුවය. මගේ ඇස් දිව ගියේ වටපිටාවටය.

අරුන්දිකා අපි යමු..

ඔහු මට ලංව පැවසීය. මම නිහඩවම ඔහු පසුපස ඇදුනෙමි. ඔහුගේ රතු පැහැති කාරය තැපැල් කාර්යාලය ඉදිරිපිට නවතා තිබුණේය. ඉදිරිපස දොර විවර කළ ඔහු මදෙස බැලුවාය. මසිත නැගුනේ අසරණකමකි. නමුදු ඔහු ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් මවෙත නොවීය. මම අසුනේ හිදගතිමි. අනෙක් පසින් පැමිණි ඔහු රියදුරු අසුනේ හිදගත්තේය.

අප අතර පැවතියේ නිහැඩියාවකි. මම මගේ ලොවේ තනි වී සිටියෙමි. දහසක් සිතුවිලි සිතේ හොල්මන් කළේය. ඒ අතුර වූ තෝරා බේරා ගත නොහැකි සිතුවිලි අතර මා අතරමං විය. මේ යන ගමනේ තේරුමක් වේදැයි මට නොහැගිනි. නිහඩ බව මසිතට දරාගත නොහැකි තරම් විය. මා ආ ගමන පිළිබඳව පසුතැවීමක්ද මසිතේ ඇතිවිය. මා මෙතරම් අසරණ වන්නේ ඇයිදැයි මට සිතුණි. හේතුවක් නොමැතිව මගේ නෙත අග රැදුණු කදුළක් මම ඇගිලි තුඩින් පිසදැමිමි. නමුදු ඔහු එය දුටුවේය. පාර අයිනට වන්නට රිය නතර කළ ඔහු මදෙස බැලුවේය.

මම ආවෙ ඔයා අඬනවා බලන්න නෙමෙයි..

මහා සුසුමක් මුවගින් පිටවිය. නෙතුපුරා නැගුනු කඳුළු මම ඇගිලි තිඩු වලින් පිසදැම්මෙමි. ඔහු යළිත් කාරය පන ගැන්විය. මේ කොහි යන්නේ දැයි අසන්නට තරම් ශක්තියක් මවෙත නොවීය. තවත් විනාඩි ගණනාවක් ගෙවුනේ නිහඩවමය. දිසානායක මහතාගේ ගෙදර ගොස් එන අතර මගදී අප ගිය අවන්හල ඉදිරිපස ඔහු කාරය නතර කලේය.

අරුන්දිකා මම ඔයාව මෙහෙ එක්කගෙන ආවෙ කතා කරන්න ඕන නිසා.. නැත්නම් මම කැමති නෑ ඔයාව මේ වගේ තැන් වලට එක්කගෙන එන්න..

සියල්ල තීරණය කළේ ඔහුය. මගෙන් විමසීමක්ද නොවීය. ඔහුට අවනතවනු හැර කළ හැකි දෙයක්ද නොවීය.

අවන්හල තුළට ගිය අප දෙදෙනා කොනේම වූ රවුම් මේසය වෙත ගොස් හිද ගත්තෙමු. මගේ මුවින් මහා සුසුමක් පිටවිය.

ඔයා අකමැත්තෙන්ද මාත් එක්ක ආවෙ..

ඔහු විමසුවේ මනෙතු දෙස බලමිනි.

නෑ..

මම හිස දෙසපට සැලිමි.

එහෙනම් ඇයි ඔය තරම් හයියෙන් හුස්ම ගන්නෙ..? බයවෙලා වගේ ඇස් ලොකු කරන් මං දිහා බලාගෙන ඉන්නෙ..?

නිහඩවම හිටියා මිසක මම මුකුත්ම නොකිව්වෙමි. සුසුමක් හෙලමින් ඔහු ඉවත බලා ගත්තේය. මා ඔහුගේ සිත රිදවන්නේ යැයි මට සිතුණි.

මේ හැමදේටම වග කියන්න ඕන මම. මේ හැමදේම ඔයාට වුනේ මම නිසා අරුන්දිකා.. ඔයාට නර්මදාලගෙ ගෙදර නොගිහින් ඉන්න තිබුණා..

ඔහු අවසන් වදන් කිහිපය පැවසුවේ මා වරදක් කළ ආකාරයෙනි.

මම හැමෝමවම විශ්වාස කළා..

මා පැවසුවේ අසරණ හඬිණි.

මා නැතුව..

ඔහු මසිත රිදෙව්වේය. මම නෙතු බිමට නැඹුරු කරගතිමි. මා ඔවුව අවිශ්වාස කළේ නම් ඔහු සමග මෙවැනි ගමනක් එන්නේ නැත. නමුදු ඒ බව කියා ගැනීමට තරම් ශක්තියක් මවෙත නොවීය.

ඇයි මට කිසිදෙයක් නොකිව්වෙ..

ඔහු මගේ දෑසට එබුනේය.

නර්මදා ඔයාව හම්බවෙන්න ආපු පළවෙනි දවසෙම ඔයා මට ඒ දේවල් කිව්වා නම් මේ දේවල් වෙන්නෙ නෑ.. පණ්ඩිතකම් කරන්න ගිහින් ඔයාට කරදරයක් වුණා නම් ඔයා විතරක් නෙමෙයි ඔයාගෙ අප්පච්චියි, නංගිලයි අසරණ වෙනවා.. අනික මටත් හොදක් වෙන එක්ක නෑ..

ඔහු කියවාගෙන ගියේය. මම නිසොල්මන්ව අසා සිටියෙමි.

ගෑනු ළමයෙක්ට පිරිමි ළමයෙක් වගේ හැමදෙයක් ගැනම තනියෙම තීරණ ගන්න බෑ.. අරුන්දිකා ඔයා අහිංසක වැඩියි. මට ඔයා ගැන බය හිතෙනවා.. ඒකයි..

මසිත තිගැස්සුණි.. ඔහු සන්සුන්ව කතා කළේය. මසිත සන්සුන් නොවීය.

අවන්හල තුළ තිබුනේ දැඩි නිසංසල බවකි. එය මගේ හිත මදක් සන්සුන් කළේය. ඔහුද සිටියේ සන්සුන් සිතින් යයි මම විශ්වාස කළෙමි. නමුදු ඔහුගේ දෑසට එබී බැලූ මට දකින්නට ලැබුනේ ඒ දෑස් මත ලියවී තිබුනු වේදනාවයි. වේදනාව සඟවමින් ඔහු මදෙස තරවටු බැලුම් හෙලුවේය. මට බියක් සිතුනේ නැත. පෙරදිනක ඔහු අසලදී දැනුණ සසලවීම් යටපත්ව මොකක්දෝ නොතේරෙන හැගීමකින් මම ඔහුට සවන් දුනිමි. ඒ ඔහු කෙරෙහි සිත තුළ ඇති වූ සමීප බව නිසාය. නමුදු පසුගිය දිනයන් හී සිදු වූ අනේක විධි සිදුවීම් නිසා මගේ සිතුවිලි යටපත්ව උපන්නේ අසීමිත වූ අසරණ කමකි. වරෙක බියක් ඇති නොවුණාද නොවේ.

මේ වේදනාකාරී අත්දැකීම් වලින් මිදීමේ එකම මග සියල්ලෙන්ගෙන් ඈත් වීම යයි මට සිතුණි. එවිට සන්සුන්ව හිඳින්නට හැකිවෙනු ඇත. මහේෂ් වනිගසූරිය හෝ නර්මදා මට නපුරක් කරන්නට නොසිතනු ඇත. සියල්ලන්ගෙන්ම සමුගතයුතු කාලය එළඹ ඇතැයි මට සිතුණි. බොහෝ සේ වේදනාකාරී වුවද එය සිදුවිය යුතුව ඇත.

කාංචන මුදන්නායකගේ බැල්ම පවා නොසන්සුන් විය. ඔහු සිටියේ කුමක්දෝ ගැටළුවකට මැදිවයයි මට සිතුණි. මේ සියල්ලට වරදකාරිය මම යැයි මම සිතුවෙමි. මම ඔහුගේ ජීවිතයද අවුල් කර ඇත.

සර්..

මම සෙමෙන් කටහඬ අවදි කළෙමි. ඔහු මදෙස බලනවා මම නෙත් කොනින් දුටුවෙමි සියල්ල හොදින් විසදෙන්නේ නම් අප හැමගේම සිත් වලට සතුටක් ළඟවනු ඇත. මා ඒ වෙනුවෙන් කළයුතු දෙයක් නොපමාව කළයුතුය.

සර්ට කරදරයක් නැත්නම් මට රස්සාවක් හොයාලා දෙන්න.. සර්ට පින් සිද්ධ වෙයි..

මම ඔහු දෙස බැලුවේ පිහිටක් බලාපොරොත්තුවෙනි.

අරුන්දිකාට රස්සාවක් කරන්නම ඕනෙද..?

ඔහුගේ වදන් දෙස මා බලාසිටියේ පුදුමයෙනි. මේ තරම් මගේ ජීවිතය ගැන දැන සිටියදීත් ඔහු මෙවැන්නක් ඇසුවේ ඇයිදැයි මම නොදනිමි.

මම කොහොමද අප්පච්චියි නංගිලයි බලාගන්නෙ..?

මම උත්සාහ කරන්නම් අරුන්දිකා..

ඔහු පැවසුවේ ඉවත බලාගෙනය. ඉන් මසිත රිදිනි. ඔහුගෙන් එසේ නොඇසුවා නම් හොදයයි මට සිතුණි. ඒ ඔහු මගේ ඉල්ලීම නොතැකූ නිසාය.

සර්ට කරදරයක් නම් කමක් නෑ.. මම මිස්ටර් දිසානායකටත් කිව්වා..

ඇයි මගෙන් උදව් ගත්තොත් මදි කමක් කියලා හිතනවද..?

ඔහු පැවසුවේ තරහින් මෙනි. මම ඉක්මන් වූවා වැඩි දැයි මට සිතුණි..

සමාවෙන්න.. මම එහෙම දෙයක හිතුවෙ නෑ..

අප අතර වූ සුහද බව මේ කතාබහ නිසාවෙන් නැති වී ගියාදැයි මට සිතුණි. ඔහුගේ සිත තුළ නොපහන් බවක් ඇතිවන්නට ඇතැයි මට සිතුනේ ඔහු ඉවත බලාගෙන සිටි නිසාය. මේ සියල්ලෙන් මිදී තනිවී සිටිමේ අවශ්‍යතාවයක් මට වඩාත් දැනෙන්නට විය. අවන්හල තුළ තිබුණේ මහා සන්සුන් කමකි. ඒ මසිත තුළවූ පාළුව නිසාදැයි මම නොදනිමි. ඔහුත් මමත්  හැරෙන්නට එහි සිටිවේ දෙතුන් දෙනෙකි. ඉදහිටි එහා මෙහා යන සේවකයින් නිසා නිසල බව බිඳුනද එය සන්සුන්කමට බාධාවක් නොවීය. මා කාංචන මුදන්නායක දෙස බැලුවේ ඔහුට නොපෙනේනනටය. ඔහුට තිබුණේ තියුණු ඇසකි. නමුදු ඒ ඇස් සන්සුන් විය. බොහෝ දින වල මසිත සසල වූයේ ඒ තියුණු දෑස් දෙස බැලීමට නොහැකි වූ විටය. පෙර දිනක නොවූ විඩාබර ගතියක් ඒ දෑස් මත රැදි තිබුණි.

මේ සියල්ලේ වරදකාරිය මා යැයි මසිත මහා අනුකම්පාවක් ඇතිවිය. තවත් ඔහු වෙහෙස කරලීමට උවමනාවක් මවෙත නොවීය. සුසුමක් හෙලා මා ඔහු දෙස බැලුවේ සමුගන්නට වේලාව ළංවූයේ යැයි සිතමිනි.

මම ගෙදර යන්න ඕන..

එය ඉල්ලීමකට වඩා ආයාචනයක් විය. ඔහු තිගැස්සී මදෙස බැලුවේය.

මම තව ටිකක් ඉන්න කිව්වොත් ඔයාට ඉන්න පුළුවන්ද..?

ඔහු විමසුවේ මා අපේක්ෂා නොකළ දෙයකි. මනෙතු බිමට නැඹුරු විය.

අරුන්දිකා මං ගැන ගොඩක් දේවල් දන්නවා.. මම කවුද කියලා ඔයා තේරුම් අරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා.. අරුන්දිකා.. මම අවුරුදු ගාණක් ඉදන් කියන්න කියලා හිත හිතා හිටිය දෙයක් කියන්න දැන් අවස්ථාව ඇවිත් කියලා මට හිතෙනවා.. ඔයා අහගෙනද ඉන්නෙ..?

මම තිගැස්සී ඔහු දෙස බැලුවෙමි. මොහොතකට පෙර විඩාබරව තිබුණු ඒ ඇස් දීප්තිමත් විය.

හිසට උඩින් තිබුණු විදුල් පංකාවෙන් ආ සිසිලස පරදා මගේ උඩතොල මත දහදිය බිඳු නැගෙන්නට විය. ඇඟිලි තුඩු ගැහෙන්නට වූ නිසා මම වමතින් දකුණත මිරිකා ගතිමි. නෙතු හැර ඔහු දෙස බලන්නට තරම් ශක්තියක් මවෙත නොවීය. මින්පෙර කිසිම දිනක නොසිතූ මම ඔහු ගැන සිතන්නට උත්සාහ කළෙමි. ජීවිතය සිහිනයක් නොවූ බව දැන සිටි මා මේ සිහිනයක් නොවේදැයි කෙළෙස සිතන්නද..? ඔහු බොහෝ දේ කියවාගෙන ගියේයය. වෙනදා නොවුණාසේ ඔහු දොඩමලු වී ඇත. මම අසා සිටියෙමි.

ඔයාගෙ දුක් කරදර හැම එකක්ම බෙදාගන්න මම ආසයි අරුන්දිකා.. ඔයාට තනියෙම යන්න බැරි ගමනකට මං ළගින් ඉන්නවට ඔයා කැමතියිද කියලා මට දැනගන්න ඕන..

හිස ඔසවන්නට තරම් ශක්තියක් නොවූ නිසා මම එලෙසම සිටියෙමි. මට නර්මදා සිහිවිය. මහේෂ් වනිගසූරිය සිහිවිය. ඔවුන් මදෙස කෝපයෙන් බලා සිටින්නා සේ මට පෙනුණි. මේ සියල්ලේම වරදකාරිය මා යැයි ඔවුන් තීරණය කරනු ඇත. ඉන් සිදුව්නනේ මගේ අප්පච්චීටත්, නංගිලාටත් කරදර වීමටය. නර්මදාගේ හැසිරීම් අනුව ඈ මගෙන් පළීනොගනීවියැයි මා කෙලෙස සිතන්නද..? මට පමණක් නොව කාංචනටද පීඩා විදින්නට සිදුවනු ඇත. ඔහුගේ ආදරය කල්ප කාලයක් පෙරුම් පුරා බලා ගතයුතු තරම් පූජනීය වූවකි. නමුදු එහි හිමිකාරිය වීමේ භාග්‍යය මම නොලදිමි.

අරුන්දිකා.. ඇයි කතා කරන්නෙ නැත්තෙ..?

මම හිස නගා ඔහු දෙස බැලිමි. කිව යුතු කුමක්දැයි යන්න තෝරා ගැනීමට තරම් ශක්තියක් මවෙත නොවීය.

මම කවදාවත් හිතුවෙ නෑ සර් මේ වගේ දෙයක් කියයි කියලා..

අරුන්දිකා අකමැතිද මම කියපු දේට..

මම ඒ තරම් වාසනාවන්තියක් නෙමෙයි සර්..

ඇයි ඔයා එහෙම කියන්නෙ..?

පහුගිය දවස් වල සිද්ධ වෙච්ච හැමදෙයක්ම ඇත්ත කියලා පිළිගනියි හැමකෙනෙක්ම එතකොට..

අරුන්දිකා මුළු ලෝකෙම ගැන හිතනවා.. ඒත් මං ගැන හිතන්නෙ නෑ..

එය චෝදනාවක් නොවුණද ඒ හඩ මසිත වේදනාවක් ඇතිකරලීමට සමත්විය.  ඔහුගේ ආදරය පිළිගන්නට තරම් ශක්තියක් මවෙත නොවීය.

සර්ට මට වැඩිය හොඳ කෙනෙක් ලැබෙයි.. මට සමාවෙන් සර්..

ඔහු මහා සුසුමක් හෙලමින් ඉවත බලා ගත්තේය. හදවතින් නැගුනු වේදනාව නෙතු අතර සිරවී නෙතු බොඳ කළේය. මම හඩා වැටුණෙමි. ඒ ඔහු වෙනුවෙන් උපන් වේදනාවෙනි. ඔහුගේ සිත රිදවන්නට තරම් මම පව්කාරියක් විමි. නර්මදා හා මහේෂ් වනිගසූරිය ගැන හිතනවාට වඩා මසිත ඇති වන්නේ විශාල බියකි. එය ඔහුට තේරුම් කරන්නට මා උත්සාහ නොකළද ඔහුට ඒ බව හඟවන්නට මට අවශ්‍ය විය. ඉන් පසු මා ගැන වැරදි අවබෝධයක් ඇති නොකර ගනු ඇත.

අපි යමු අරුන්දිකා..

මනෙතු ඔහු දෙසට හැරුණි. ඔහු මගේ ඇස් මඟහරිමින් ඉවත බලා ගත්තේය. ඔහු පුටුවෙන් නැගී සිටියේද ඉවත බලාගෙනය. මා ඔහු පසුපස ඇවිද ගියේ සිහිනයෙන් මෙනි. මේ අපේ හමුවීමදැයි සිතන විට මසිත උපන්නේ විශාල වේදනාවකි.



No comments:

Post a Comment