Friday, August 31, 2012

| අරුන්දිකා | සංජීවනී අටලුගම |


මේ වන විට මාවෙත සැලකිය යුතු වැටුපක් ලැබුණි. කාංචන මුදන්නායකට පින් සිදුවන්නට ආර්ථිකමය ප්‍රශ්න වලින් පෙර තරම් පීඩාවක් නොවුණි. නංගිලා හා අප්පච්චීට අවශ්‍ය දේ මිලට ගැනීමට මා සතුව මුදල් විය. අප වෙසෙනා පුංචි ගෙපැල අසළින් තරමක විශාල ගෙයක් තැනීමට මට සිතුණි. අප ජීවත් වන ගෙපැළ මේ වන විටත් දිරාපත් වෙමින් තිබුණි. උත්සාහ කළොත් පුංචි නිවසක් ගොඩනගා ගැනීමට හැකිවේදැයි මට සිතුණි. මම පළමුව අප්පච්චීට ඒ ගැන පැවසුවෙමි. මගේ මේ උත්සාහයට ලොකු නංගීද, චූටි නංගීද සතුටු වූහ. අප්පච්චීගේ හිතවතෙකු වූ ගුනේරිස් මාමා සමග කතා බහ කර අවශ්‍ය උපදෙස් ලබාගත් මම එහි සියලු වැඩකටයුතු ඔහුට පැවරිමි. මා ඉතිරි කළ මුදල් යොදා නිවසට අත්තිවාරමක් දමන්නට කටයුතු කළෙමි. අප්පච්චී සියලු ලෙඩ දුක් අමතක කර දමා එක් අතකින් වුවද ඔහුට හැකි සේ උදව් කළේය. ඇඳට වී ලෙඩෙක් මෙන් සිටි අප්පච්චීගේ මේ හදිසි වෙනස්වීම මසිතට ගෙනාවේ සතුටකි. පෙර සිටි අප්පච්චී යළිත් දැකීමට පුළුවන්වීම නිසා මසිතට මහත් සේ සතුටක් දැනුණි.


නව නිවසට මුල්ගල තැබීමට මම දහවල් කෑම වේලාවේදී දිසානායක මහතාට ඇරයුම් කළෙමි. ඔහුටත්, ගීතිකාටත් හැර කාර්යාලයේ කිසිවෙකුට මම මේ පිළිබඳව නොපැවසූවෙමි. මද වේලාවක් ඔහු නිසොල්මන්ව සිටියේය.

මට වැඩිය හොඳ නැද්ද අරුන්දිකා මේකට මිස්ටර් මුදන්නායකට කතා කළොත්.. එයානේ අරුන්දිකාට මේ තත්වෙට එන්න උදව් කළේ..

දිසානායක මහතාගේ පිළිතුරෙන් මසිත ඇති වූයේ විමතියකි. ඔහු එතරම් දුරදිග මේ ගැන සිතාවියැයි මට නොසිතුණි. එසේම ඔහු කාංචන මුදන්නායක ගැන සදහන් කිරීම මසිත විශ්මයෙන් පුරවාලීය. ඒ මා ඔහු පිළිබදව නොසිතීම ගැනය.. දිසානායක මහතාගේ කීම අනුව මා කාංචන මුදන්නායකට ඇරයුම් කරන්නට සිතුවෙමි. නමුදු මගේ ආරාධනාවට ඔහු කුමන ප්‍රතිචාරයක් දක්වාවි දැයි යන්න මසිතට ගැටලුවක් විය.


නිවසට මුල්ගල තැබීමට සුදුසු වේලාවක් හා දිනයක් අප්පච්චී හදවාගෙන ආවේය. එදිනට අවශ්‍ය දේ මම දින කිහිපයකට පෙර සූදානම් කළේය. නැකත් දිනට දින කිහිපයකට පෙර මා කාංචන මුදන්නායකව සොයා ගියේ ඔහුට ආරාධනා කිරීමට සිතාගෙනය. මෙතරම් වැඩ රාජකාරි තිබියදී ඔහු සුළු ආරාධනයට පැමිණේදැයි සැක සහිතය.

ආ.. අරුන්දිකා.. මේ ලියුම් ටික ෆයිල් කරන්න..

ඔහුගෙන් ලිපි කිහිපයක් අතට ගත් මම විසිරුණු සිතින් ඔහු දෙස බැලුවෙමි.

ඇයි අරුන්දිකා මොකුත් ප්‍රශ්නයක්ද..?

මා හිස ඔසවා බැලුවේ ඔහුගේ කාරුණික හඩ දෙසය.

සර්ට ආරාධනාවක් කරන්න ආවෙ..

ආරාධනාවක්..!

ඔහු මදෙස බලා සිටියේ කුතුහලය පිරුණු දෑසිනි.

ඔව් සර්.. අපි පොඩි ගෙයක් හදන්න යනවා.. ඒ ගෙට මුල්ගල තියන්න සර්ට එන්න පුළුවන්ද..?

කවදද..?

හෙට උදේ දහයයි තිහට..

හා.. මම එන්නම්..

මා ඔහු අසලින් ආවේ සැහැල්ලු සිතිනි. ඔහුගේ නිහතමානීකම අරුමයක් නොවුණද ඔහුව තේරුම් ගැනීමට තරම් හැකියාවක් මවෙත නොවීය.


මම පසුව දා උදෑසනින්ම අවදි වුණෙමි. පෙරදින ගීතිකාද මා සමග අප නිවසට පැමිනීම මට ශක්තියක් විය. අප දෙදෙනා උදේ සිට වැඩ කරන අයට හා අමුත්තන්ට අහර පිසුවෙමු. මුල්ගල තැබීමට නැකත තිබුණේ උදේ දහයයි තිස් දෙකටය. නැකත් වේලාව ලංවන විට අප සියලු වැඩ නිමා කර ඊට සැරසුණෙමු. උදේ දහයට පමණ පොරොන්දු වූ පරිදි දිසානායක මහතා පැමිණියේය. ඔහු අප්පච්චී සමග වැඩ කරන අයට උපදෙස් දුන්නේය. මා දෑස් දල්වාගෙන සිටියේ කඩුල්ල වෙතය. අපේ ජීවිත වලට නව ආලෝකයක් ගෙන ඒමට ඔහුගේ දයාව කරුණාව ඉවහල් විය. මසිත ඔහු කෙරෙහි තිබුණේ ගෞරවයකි. දහය පසුවී විනාඩි කිහිපයක් ගිය පසු ඔහුගේ රතු පැහැති කාරය කඩුල්ල අසල නතර විය. අප සියලු දෙනා බලා සිටියේ සිනාවකින් මුව සරසාගෙන ඔහු දෙසය.

උදේ දහයයි තිස් දෙකට තිබුණු සුබ නැකතට කාංචන මුදන්නායකගේ සුරතින් නව නිවසට මුල් ගල තැබුණි. මා එදෙස බලා සිටියේ කඳුළු පිරි නෙතිනි. කියාගත නොහැකි වූ සතුටක් නිසා මගේදෙනෙත් කඳුළින් තෙමෙන්නට විය. ඒ වේදනාවට ගැලූ කඳුළක් නොව හදවත  පිරීගිය සතුටට නැගුණු කඳුළු විය.


වැඩ අවසන්ව ගෙදර යාමට මම බස් නැවතුමට ගියෙමි. ගීතිකා මොහොතකට පෙර මගෙන් සමුගෙන පිටව ගියාය. පාරේ එකම හිස් ගොඩකි. කඩි ගුලක් ඇවිස්සුවා සේය. ඔවුනොවුන් හදුනාගත නොහැකි තරම් වේගයෙන් එකිනෙකා ගමන් කරයි. මේ ජීවන සටනේ තවත් එක් පැත්තකි. මගේ දෑස්ද වේගයෙන් දුවයි. නිශ්සිත තැනක් සොයා නොව මේ කලබලකාරී පරිසරය අතරටය. බසය තවමත් නැත. ගත මෙන්ම සිතද විඩාපත් කරන්නට  අදුර බලා සිටියි. මට අවශ්‍ය වූයේ අඳුරට පෙර ගෙදර යන්නටය.

අරුන්දිකා..

සවන් අසළින් නැංවුණු හඩ දෙසට මම නෙත් යැව්වෙමි. සිත තිගැස්සෙන්නට ඒ දසුනට ඇත්තේ ප්‍රබල හැකියාවකි. මා වටපිට බැලුවේ බියෙනි. ඔහු හමුවීම මහා පටලැවිල්ලකට මුල පිරීමකි. වඩ වඩාත් ඈත් වන්නට හදන විට ඔහු ලං වන්නට උත්සාහ කරන්නේය. ඔහුට මසිත නොවැටහේ. නොඑසේනම් ඔහු සියල්ල දෙස බලන්නේ සැහැල්ලුවෙනි. මා ඔහු දෙස බැලුවේ දයාබර දෑසිනි.

බස්නැවතුමේ සිටි කිහිපදෙනා අතරින් මා අසළට ලංවූයේ මහේෂ් වනිගසූරියයි. මගේ දෙනෙත් උවමනාවටත් වඩා අසරණ නොවන්නට මම වග බලා ගතිමි. ඔහු මුවග පැතිර ගියේ සිනහවකි. ඒ සිනාව මනෙතු බියට පත් කළේය. දෙපා වේවලුවේය. මසිත අසරණකම තේරුම් ගන්නේ නම් මොහු මෙලෙස මා පෙලන්නේ නැත. බසය පැමිණීමට තව විනාඩි දහයක් පමණ ඉතිරිව ඇත. නිවසට යාමට මා වෙත පැවතියේ නොඉවසිල්ලකි. මහේෂ් වනිගසූරිය දැකීමෙන් ඒ නොඉවසිල්ල තව තවත් වැඩි විය. ඔහු මා අසළට ලංවූ විට මට කරකියා ගත හැකි දෙයක් නොවීය.

අරුන්දිකා.. මම ඔයත් එක්ක කතා කරන්න දවස් කීයක ඉදන්ද බලන් ඉන්නෙ.. කෝ වෙලාවක් ලැබුණෙ නැහැනේ..

පෙරදා වූ සිදුවීම අමතකව ගියාක් මෙන් ඔහු කතා කරයි. මා විමසිල්ලෙන් වටපිට බැලුවේ මේ ඒකපාර්ශවීය කතාව කිසිවෙකුට හෝ ඇසේවි යැයි බියෙනි.

ඇයි අරුන්දිකා කතා කරන්නෙ නැත්තෙ..? මං එදා කිව්ව දේ ගැන ඔයා මොනවද හිතන්නෙ..?

මා සිතුවේ එකම දෙයයි යයි කියන්නට මට අවශ්‍ය වුවද ඊට ශක්තියක් නොවීය. මා බලා සිටියේ මහමග යන මිනිසුන් දෙසය. මේ කතාබහ ඉක්මනින් අවසන් කිරීමේ අවශ්‍යතාවක් මට දැනෙන්නට විය. මම ඔහු දෙස බැලුවේය.

මම දුප්පත් කෙනෙක්.. මට අප්පච්චි, නංගිලවයි බලාගන්න ඕන.. ඒ ගොල්ලන්ගෙ එකම බලාපොරොත්තුව මම. මට ජීවිතේ පටලවගන්න බෑ. මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න.. සර්ට මං වගේ කෙනෙක් ගැලපෙන්නෙ නැහැ..

මම ඔහුගෙන් මිදෙන්නට කිවහැකි තරම් දේ පැවසුවෙමි. ඔහු අසා උන්නේය. මගේ හඩ බිදෙන්නට ආසන්නය. පිරිමියෙක් අසළ මෙලෙස අසරණකම විදහා පෑම අනුවණකමක් වුවද මසිත කියාගත නොහැකි පරාජිත බවකින් පෙළෙන්නට විය. සිත හැඩුවද නෙතින් හඩා නොවැටීමට මම ප්‍රවේශම් විමි. නොඑසේනම් මේ සටනින් මා පරාජය වන්නට තිබුණි.

ඔය දේවල් ප්‍රශ්නයක් නෙමෙයි.. මට ඕනෙ ඔයාව..

ඇයි ඔයා ජීවිතේ ගැන ඔය තරම් බරට හිතන්නෙ.. මේ කාලෙ හුගක් සතුටින් ඉන්න ඕන කාලෙ..

ඔහුට තරම් සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය දෙස බලන්නට මට පුළුවන් කමක් නොවීය. එක්ක පසුපස එක්ක එන අනේක වීධ දුක්ඛ දෝමනස්සයන් මා ඉවසා සිටියේ අපහසුවෙනි. ආදරය නිසා මම අපමණ වූ වේදනාවන් විදිමි. ඒ බව දැන දැනත් ප්‍රශ්න වල පටලැවීඹට මම අකමැති විමි. මහේෂ් වනිගසූරිය නවාතැන්පලක් සොයන්නේ ගමන් නිවීඹට මිස ලැගුම් ගන්නට නොවේ යැයි මට සිතුණි. සුළං කපොල්ලක කූඩු තැනීමට මට නොහැකිය.

අරුන්දිකාත් ගොඩක් දුර හිතනවා..

ඔහු මසිත වෙනස් කරන්නට උත්සාහ කරයි..

මට එහෙම හිතන්නැතුව බෑ..

මා පැවසූවේ සත්‍යයකි. දෙවියන්නට පින්සිදු වන්නට බසය ඈතින් එනු මම දුටුවෙමි.

බස් එක එනවා සර් මම යන්නම්..

අවසන් වරට මම ඔහු දෙස බැලිමි.

අරුන්දිකාගෙ තීරණය වෙනසක් නැද්ද..?

සර්ට මට වැඩිය හොද කෙනෙක් ලැබෙයි..

තවත් කීමට දෙයක් නොමැති නිසාවෙන් මම එලෙස පැවසූවෙමි.

ඒක තමුසෙ කියන්න ඕන නෑ..

මහේෂ් වනිගසූරියගේ කෝප ගැන්වුනු දෙනෙත් මසිත බියපත් කළේය. ඔහුට මෙලෙස තරහා යාවි යැයි මම නොසිතුවෙමි. මා පැවසුවේ සත්‍යයකි. ඔහුත් මාත් අතර කුමක්දෝ වෙනසක් මම දුටුවෙමි. ඔහු ජීවිතය දෙස බැලුවේ සැහැල්ලුවෙනි. මා ජීවත් වූයේ මහමෙරක් තරම් බර හිස මත පටවාගෙනය. අසරණ මසිත නොපෙළා ඔහුට ගැලපෙන කෙනෙකු සොයාගන්නට තිබුණි. මනෙතු කඳුළු පුරා ආවේය. ඔහු දෙස නොබලාම මම බසයට නැගුණෙමි.

ජීවිතය සැමදා දුක් වේදනාවෙන් පමණක් ගෙවන්නට සිදුවෙතැයි මට සිතුණි. සිදුවුනු හැම දෙයකින්ම සිත දැවුනා මිස සැනසිල්ලක් නම් නොවීය. මසිත යම් තරමින්වත් සතුටු වූයේ අප්පච්චී හා නංගිලා වෙනුවේන ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට හැකිවීම ගැන පමණි. මහේෂ් වනිගසූරිය පිටව ගියේ තරහිනි.

අක්කා බත් මුට්ටිය රොස් වෙනවා නේද..?

ලොකු නංගීගේ හඩින් මා තිගැස්සුණි. ලිපේ ගිනිදළු වේගයෙන් ඉහළ යමින් තිබුණි. ඉක්මනින් බංකුවෙන් නැගිටගත් මම ලිපේ ගින්දර එළියට ඇද දැම්මේය. ලොකු නංගී දෙස බැලීමේ අපහසුතාවයක් මට දැනුණි.

අක්කා..

කුමක් හෝ දෙයක් කීමට ඇය සරසෙනු මම දුටුවෙමි.

ගුනේරිස් මාමා කියලා ගියා හෙට ගඩොල් ගෙනැත් තියන්න කියලා..

ඇත්තද..? මට ඒකත් අමතක උනා..

අප්පච්චිට විස්තර කිව්වා.. අහන්නකො..

රාත්‍රී ආහාර පිස අහවරක් වී මම අප්පච්චී අසළට ලංවිමි. ගෙට දකුණු පසින් අත්තිවාරම් දමා තිබුණු අලුත් ගෙය දෙස බලාගෙන ඔහු කල්පනා කරමින් සිටියේය. අප්පච්චීගේ දෑස් ඔස්සේ මමද ඒ දෙසට නෙත් යොමු කළෙමි. ජීවිතයට නව බලාපොරොත්තුවක් එක් කරලීමට ඒ දසුන හිතට සමීපවිය.

අප්පච්චී..

ඔහුගේ දැහැන් බිඳ මම කටහඩ අවදි කළේය.

ගුනේරිස් මාමා මොකද කිව්වෙ..?

ඔහුගේ දෑස් වල පෙර නොවූ දීප්තියක් පෙනෙන්නට විය. ඒ දෙනෙත් මසිතට එක් කළේ අපමණ වූ සතුටකි.

අත්තිවාරමේ වැඩ ඉවරයි පුතේ.. හෙට ගඩොල් ගේන්න කිව්වා..

මම සල්ලි දෙන්නම් අප්පච්චි.. ඒත් කොහොමද ගේන්නෙ..?

ගුනේරිස් උදෙන්ම එයි.. මටත් යන්න පුළුවන්නේ.. හන්දියෙ කඩේ ලොරියකින් ගේනවා..

අප්පච්චිට බෑ ඕවා කරන්න.. ගුනේරිස් මාමට කියමු..

ඔහු මහන්සි වනවාට මා අකමැති වූයේ යළිත් අසනීප වේයැයි බියෙනි.

මට පුළුවනි පුතේ.. දැන් අත සනීපයිනේ.. අනික ඕවා හොදට හොයලා බලලා කරන්න ඕන..

ඔහුට වැඩක් කිරීමට බැරි බව පවසා මා ඔහුව අසරණ කළේ දැයි මට සිතුණි. අප්පච්චීට එය මදිකමක් වූවේදැයි මම පසුතැවුණෙමි. ඔහුගේ අතේ තුවාලය මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවපත්ව තිබුණි. ඔහු පෙර මෙන්ම ශක්තිමත්ව වැඩෙහි යෙදීම සිතට අස්වැසිල්ලකි. මසිත බිය වුවද එසේ සිතා පැත්තකට කර දමන්නට නොහැකිය. එසේ කිරීම ඔහුගේ සිත අසරණ කිරීමකි. මම ගල් පඩියට බැස මිදුලට ගියෙමි. මගේ දෙපා නිරායාසයෙන් ඇදී ගියේ නව නිවස ගොඩනගන ස්ථානයටය.  මෙතෙක් සිත තුළ පවතී දුක්ඛ දෝමනස්සයන් යටපත් වී මොකක්දෝ කියාගත නොහැකි වූ සතුටක් හදපත්ලෙන්ම පැන නැගුණේය.

මා ඉරිදා ටවුමට ගියේ ගෙදරට අවශ්‍ය දෑ මිලට ගැනීමටය. ලොකු නංගී හෝ චුට්ටී රැගෙන ඒමට නොහැකි වූයේ අලුත් ගෙට වැඩකළ අයට සංග්‍රහ කළයුතුව තිබුණ නිසාය. ඇදීයන සෙනග අතරින් අතරැදී බෑග් දෙක අපහසුවෙන් රැගෙන මම ඇවිද ගියෙමි. එදින ටවුමේ පොළ දවස වූ නිසා එකම හිස්ගොඩක් විය. ඉදිරියට ඇවිදගිය මගේ නෙතු ගැටුණේ ජීවිතේ කවදාවත්ම දකින්නට අපේක්ෂා නොකළ දසුනකි.

මගේ දෙපා වෙව්ලන්නට වූයේ කුමන හේතුවකින්දැයි මට නොවැටහුණි. අතරැදි බෑග් දෙක තදින් අල්වා ගත් මම සිතට දිරිගෙන ඉදිරියට බැලුවෙමි. මසිත දැවී ගියේය. ඒ වේදනාවට යැයි මට සිතුණි. සියල්ල දරාගත හැකි යැයි සිත කිව්වද මසිත දුර්වල වග මට දැනුණි. මග හරින්නට හෝ නොදැක්කා සේ ඉවත බලා යන්නට හැකියාවක්ද මට නොවුණි. සැගව යන්නට තරම් මා කළ වරදක්ද නොවේ. නෙතට කදුලක් එක් කරලන්නට මට ඇවැසි නොවීය. හදවත පිච්චීගිය බව දැන උන්නේ මා පමණක්ය. නොඑසේ නම් මෙතරම් සන්සුන්ව ඔහුට සිනාසෙන්නට නොහැකිය.

මගේ ඉදිරියට පැමිණියේ ජනක සහ ඔහුගේ බිරිඳයි. ජනක ඈත තියාම මා දුටුවේය. සන්සුන් වන්නට උත්සාහ කරමින් මම  ඔවුන් දෙදෙනා දෙස බැලුවෙමි.

අරුන්දිකා..

කවදාවත් මගේ නම කියා කතා නොකළ ජනක පළමුවරට එසේ ඇමතුවේය. අරුනි නොකියා එසේ කතා කිරීම ගැන මම යම්තරමින් සතුටු උනෙමි. නොඑසේ නම් යටගියාව බොහෝ ලෙංගතු බූ බව මට සිහිවෙන්නට තිබුණි.

කොහෙ යන ගමන්ද..?

පොලට ආවා අයියෙ..

මා අසළ සිටි ඔහුගේ බිරිඳ කුතුහලයෙන් මදෙස බලන්නට විය. මම ඇයව සිතින් නිරීක්ෂණය කළෙමි. ලොකු නංගී කීවාක් මෙන් ජනකගේ හැඩරුවට ඇයගේ ගැලපීමක් නොවුණි. නැන්දාත් මාමාත් රැවටෙන්නට ඇත්තේ ඇයගේ මුදල් වලටය.

ආ.. නිරෝමිට කියන්න බැරි උනානේ.. මේ අපේ මාමගෙ දුව.. අරුන්දිකා.. අපේ වෙඩින් එකට මාමයි නංගිල දෙන්නයි විතරනේ ආවෙ..

ඔහු අවසන් වදන් කිහිපය පැවසුවේ මගේ දෙනෙත් දෙස එක එල්ලේ බලමිනි. මම ඔහුගෙන් දෑස් මුදවාගෙන නිරෝමි දෙස බලා සිනාසුණෙමි. ඇයද සිනාසුනේය.

ඒ පැත්තෙ එන්නවත් බැරි උනා නංගි.. පහුගිය දවස්වල වැඩ තිබුණා.. අප්පච්චියි නංගිලයි සනීපෙන්ද..?

ඔව් අයියෙ... හොදින් ඉන්නවා..

අපිත් පොළට යනවා.. එහෙනම් අපි යන්නම්..

හා අයියෙ..

මම සිනාසී ඔවුන් දෙදෙනාට සමු දුනිමි. ඔවුන් දෙදෙනා පිටව ගිය පසු මම මොහොතක් හිටිවනම සිටියෙමි. ජනක මා ගැන කිසිවක් නිරෝමි හා නොකියන්නට ඇත. එය එක්තරා අන්දමේ සහනයකි. නොඑසේ නම් මගතොටදී හමුවන විටවත් අපට මෙසේ සුහදව කතා කරන්නට නොහැකි වනු ඇත. ජනක ගැන පෙර මෙන් සිතීමට තරම් මසිත බොළඳ නොවීය. ඔහුට මම අද ද ආදරය කරමි. එය සහෝදරයකුට ආදරය කිරීමක් මිස පෙම්වතෙකුට සේ නොසැලකීමකි. ඔහු දකින සිත වේදනාවෙන් පිරුනු වග සැබෑය. නමුදු අන්සතු සිතකට සෙනෙහස පෑමට තරම් මසිත චංචන නොවීය.

මා බොහෝ විට සිහින මැව් වග මට දැනුණේ මෙසේ අනපේක්ෂිත ලෙස මගේ දිවිය වෙනස් වූ පසුවය. ජනක සිටියේ සැහැල්ලුවෙනි. කවදාවත් නොමැතිව ඔහු මට නංගී යි ඇමතුවේය. එය පුදුමයක්ද නොවේ. මා දැන් ඔහුගේ ලොවින් සදහටම වැලලුණු චරිතයකි. නමුදු සිත නොසන්සුන් වූ වග මම දනිමි. ඒ කිසිදින බලාපොරොත්තු නොවූ දසුනක් දුටු නිසාය. කෙනෙකු අයිති වූ බව ඇසූ දිනවත් මා මෙතරම් නොසන්සුන් වූයේ නැතැයි මට සිතුණි. ඒ එය සිතට පමණක් සීමා වූ දෙයක් නිසාය. සිතුවිල්ලකට වඩා දසුනකට සිත රිදවීමට ඇත්තේ ප්‍රබල හැකියාවකි. නෙතින් දකිනා දේ සත්‍යයක් යයි සිතා අමතක කරන්නට නොහැකිය. එහි ඡායාව පවා බොහෝ කල සිත තුළ තැන්පත්ව පවතී. නිරෝමි කෙරෙහි මසිත ඊර්ෂ්‍යාවක් නම් ඇති නොවීය.  එසේම ජනක පිළිබඳව තරහක්ද ඇති නොවුණි. මේ මා ජීවිතයෙන් ලබන්නාවූ දෙය ලැබෙන දෙය සිතින් බාරගනු හැර ඊට වැඩි යමක් බලාපොරොත්තු වීමට නොහැකිය.


පසුවදා සවස වැඩ අවසන්ව එන අතරමග මම ගීතිකාට මහේෂ් වනිගසූරිය ගැන පැවසුවෙමි. ඈ සියල්ල නිසොල්මන්ව අසා උන්නාය.  මහේෂ් වනිගසූරිය රටින් ආ බඩු වයක් ගේමට පිටව ගොස් තිබුණි. සවස් වන තුරුද ඔහු නොපැමිණියේය. ඔහු නොදැකීම සිතට මද අස්වැසිල්ලක් විය. මම සියල්ල පවසා අවසන ගීතිකා දෙස බැලුවෙමි. ඇය මොනවාදෝ කියන්නට සැරසී යළිත් නිහඬ වූවාය. මසිත නොඉවසිල්ලෙන් වූයේ ඈ කුමක් පවසාවිදැයි සිතුණ නිසාය.

මම මෙහෙම කිව්වට වරදවා තේරුම් ගන්න එපා අරුණි..

මසිත නොසන්සුන් විය.. ඒ ඇයගේ ස්වරූපයටය..

සමහර විට මහේෂ් සර් ඇත්තටම උඹට ආදරේ ඇති..

ඈ මදෙස බලා උන්නේ මගේ ප්‍රතිචාරය කුමක් විය යුතුදැයි දැන ගැනීමට සේය. ඇය කියන්නාසේ එය එසේ විය හැකිදැයි මම සිතුවෙමි. මහේෂ් වනිගසූරිය සත්‍ය වශයෙන්ම අවංක පුද්ගලයෙක්දැයි දැන ගැනීම තරම් කල්වේලාවක් මට නොවීය. මට ජනක සිහිවේ. කිසිදින නොවෙනස්වේ යැයි සිතූ ඔහුද වෙනස් වූයේ නම් මහේෂ් වනිගසූරිය නොවෙනස්ව හිදීවිදැයි මා කෙලෙස සිතන්නද..?

එයා දකින දකින කෙල්ලො දිහා බලන බව ඇත්ත. සමහර විට එයාට හිතට ගොඩල් ලංවුන කෙනෙක් මුණ නොගැහුන නිසා වෙන්න ඇති. මහේෂ් සර් කියන තරම් නරක කෙනෙක් කියලා අපි කියන්නෙ එයාගෙ බාහිර හැසිරීමෙන් නේ. සමහර විට එයාගෙ අභ්‍යන්තරය මීට වඩා හොද වෙන්න පුළුවන්. ඒ වගේම උඹ නිසා එයාගෙ ඔය පුරුදු අත්හැරෙන්න පුළුවන්.

ගීතිකා තවත් මොනවදෝ කියාගෙන ගියාය. මම නිසොල්මන්ව අසා සිටියෙමි. සිත තුළ පැවතියේ නොසන්සුන් තාවයකි. මා සුසුමක් හෙලුවේ හදවත තුළ රැදි පීඩනය උසුලාගත නොහැකි නිසාය. වෙනදා ඉන් තිගැස්සෙන ගීතිකා මා ගණනකට නොගත්තාය. ඇගේ දෙඩුම අවසන්ව නොතිබුණි. මා අසළක නොවුණා සේ ඇය කියවාගෙන ගියාය.

අරුනි.. උඹ මෙහෙම ඇවිත් අවුරුද්දකටත් ලං වෙන්න ආවා.. තවමත් මහේෂ් උඹ ගැන හිතනවා.. ඒකෙන්ම හිතන්න බැරිද එයා උඹට අවංකව ආදරය කරනවා කියලා..

ගීතිකා පවසන අවංකකම, ආදරය, විශ්වාසය, මේ සියල්ලක්ම මට සරදම් කළ වග මම දනිමි.

මම ගොඩක් විශ්වාස කළ කෙනෙක් අතින්ම ඒ විශ්වාසය බිඳුන ගීති..

ඈ මදෙස බැලුවේ එවදන් නොතකමින්ය.

මේ ලෝකෙ හැම කෙනෙක්ම ජනක කෙනෙක් නෙමෙයි අරුනි.. සමහර විට අපි නරකයි කියලා හිතන කෙනෙක් ගොඩක් හොද වෙන්න පුළුවන්.. විශ්වාස කරන්න බෑ කියලා හිතන කෙනෙක් අවංක වෙන්න පුළුවන්..

ඉන්පසු අප අතර පැතිරගියේ නිහැඩියාවකි. මසිත නොසන්සුන්කම වැඩිවන්නට විය. කුමක් කළ යුතු දැයි යන්න හරි හැටි නොවැටහුණි. මහේෂ් වනිගසූරිය ගැන සිතීම පවා මසිත ඇති කළේ විඩාවකි. ඔහු මගෙන් පළිගනීවිදැයි වරෙක මට සිතුණි. යළිත් ආදරයක් ගැන හිතන්නට තරම් මසිත සන්සුන් නොවිය. එසේම ජීවිතය පටලවාගෙන බැරිය. එසේ වුවහොත් අප්පච්චිටත්, නංගිලාටත් දුක් විදින්නට සිදුවනු ඇත. මහේෂ් වනිගසූරියගේ හිත නොරිදෙන්නට ඔහුගෙන් මිදිය යුතුය. තරහ ගිය පසු ඔහුගේ හැසිරීම නපුරුය. එසේ වුවහොත් ඔහු මගෙන් පළිගනු ඇත. ඔහු විශ්වාස කරන්න තරම් මම ඔහුව නොදනිමි.

මට ජීවිතේ පටලවගන්න බෑ ගීති..

මම දන්නවා..  මමත් කැමති නෑ උඹට දුකක් වෙනවට.. අපි තව ටිකක් බලමු..

ඉන්පසුව අප අතර පැතිර ගියේ නිහැඩියාවකි. සිත නොසන්සුන් කළද තනිවීමේ අවශ්‍යතාවය මට වඩාත් දැනෙන්නට විය.

ගෙදර වැඩ කොහොමද අරුන්දිකා..?

දහවල ආහාර ගනිමින් සිටියදී දිසානායක මහතා මගෙන් විමසිය.

දැන් බිත්ති බඳිනවා..

හොඳයි.. මොනවා හරි උදව්වක් ඕන නම් කියන්න..

මම සිනාසී ඔහුට ස්තුති කළෙමි. දයාබර පියෙකු මෙන් ඔහු නිතරම අප ගැන විමසිය. ලන්ච් රූම් එකේ සිටියේ අප දෙදෙනා පමණි. මිසිස් මානෙල් හා මිස් නාලනී ඉක්මනින් දිවා ආහාරය ගන්නා අතර අප දෙදෙනා ප්‍රමාද වී ආහාර ගත්තෙමු. අප කතාබහ කරමින් සිටියදී දොරින් ඇතුළු වූයේ මහේෂ් වනිගසූරියයි. ඔහු දුටු මසිත තිගැස්සුනී.

මහේෂ් මහත්තයා තවම කෑවෙ නැද්ද..?

දිසානායක මහතා එලෙස අසනවිට මම බිම බලාගත්තෙමි.

අද වැඩ ගොඩක් තිබුණා අංකල්..

ඔහු අත සෝදාගෙනවිත් අප හිඳගෙන සිටි මේසයට ඉදිරිපස තිබුණ මේසයේ හිදගත්තේය. දිසානායක මහතා සිටියේ ඔහුට පිටුපාය. මහේෂ් වනිගසූරිය හිදගත්තේ මට ඉදිරියෙනි. මේ නිසා ඔහුගේ නෙත් වලින් මිදී සිටින්නට මට නොහැකි විය. ඔහු වරක් මදෙස බලා කෑම පාර්සලය අතට ගත්තාය. මමදෙනෙත් බිමට නැඹුරු කර ගතිමි. නමුත් එසේ හිදින්නට නොහැකි වූයේ දිසානායක මහතා වරින් වර කතාබහ කළ නිසාය. මහේෂ් වනිගසූරිය දෙස අහම්බෙන් බැලුවහොත් ඔහු මදෙස බැලුවේ මුහුණ නපුරු කරගෙනය.  ඔහුට මෙතරම් නපුරු වන්නට හැකිදැයි මම නොදැන සිටියෙමි. මම යළිත් හිස නොඔසවා සිටින්නට උත්සාහ කළෙමි. දිසානායක මහතා සමග කතාබහ කිරීඹට සිදු වූ සෑම අවස්ථාවකම මම හිස ඔසවා බැලිමි. ඒ සියලු අවස්ථාවකම මහේෂ් වනිගසූරියගේ ඇස් යොමුව තිබුණේ මා දෙසටය. මසිත බියක් ඇතිවිය. ඒ ඔහුගේ විලාසයටය. කෑම කා අවසන්ව මම නැගී සිටියෙමි.

අරුන්දිකා කාලා ඉවරද..?

දිසානායක මහතා අඩක් අවසන් කළ බත්පතද, මදෙසද බැලුවේ විමසිල්ලෙනි.

ඔව්..

මට අවශ්‍ය වූයේ ඉක්මණින් මෙතැනින් පිටවන්නටය. ඉතිරි වූ බත් ටික කුණු කූඩයට දැමූ මා අත සොදා ගතිමි.

මම යනවා..

දිසානායක මහතා දෙස බලා එලෙස පැවසූ මම හැරුණෙමි. මහෙෂ් වනිගසූරිය මදෙස බලා සිටිනවා මම නෙත් කොණින් දුටුවෙමි. සවස කාංචන මුදන්නායකගේ කාමරයට ගියවිට සිදුවූයේ අනපේක්ෂිත දෙයකි.

අරුන්දිකා.. මහේෂ් ළඟ ඊයෙ ගෙනාව ස්ටොක්වල බිල්ටික ඇති. ඒක පොතට ගන්නවද..? මට හදිසි වැඩක් තියෙනවා.. වරද්දගන්න එපා.. එයාගෙන් අහගෙනම ලියන්න..

මසිත හැදින්නේ නම් ඔහු මෙවැනි කාර්යයක් මා වෙත පවරන්නේ නැත. මහේෂ් වනිගසූරියගෙන් ඈත්වන්නට සිතනා විට සිදු වූයේ තවත් ඔහුට ලංවීමය. කාංචන මුදන්නායකගේ කාමරයෙන් මා එළියට පැමිණීයේ බරකර ගත් සිතිනි. ඉතින් ඔහු ළගට යන්නට මට සිදුව ඇත. එය රාජකාරියයි. ප්‍රතික්ෂේප කිරීමට හෝ පැහැර හැරීමට නොහැකිය. සිත තුළ පැන නැගියේ නොසන්සුන්කමකි. පුටුවේ හිදගත් මම අත රැදි පොත දෙස බලාගෙන සිටියෙමි. ඔහුගේ නපුරු මුහුණ මට සිහිවේ. සිත තිගැස්සුණි. වේගයෙන් ගැසුණු ඇහිපිය දුක්බර නොකිරීමට මම ප්‍රවේශම් විමි. මම හාත්පස බැලිමි. සියල්ලන්ම ඔවුනොවුන්ගේ කාර්යන්හී නිරතව ඇත. මා පමණක් නොසන්සුන් සිතින් හිදගෙන සිටිමි. හිසට ඉහළින් කැරකෙන විදුලි පංකාවට මුව පුරා ගැනුණු දහදිය වියළන්නට නොහැකි විය. මේ තරම් අසරණ වන්නට සිදුවන්නේ කුමන පවකටදැයි මට සිතුණි. තවත් ප්‍රමාද වුවහොත් කාංචන මුදන්නායකගෙන් බැනුම් අසන්නට සිදුවෙතැයි මට සිතුනි. මම යන්ත්‍රයක් සේ නැගී සිටියෙමි.

මම පොතත් රැගෙන ඔහු අසළට ගියේ ගැහෙන සිතිනි. ඔහු දුටු විට දෙපා වෙව්ලන්නට විය. අනෙක් ළමුන් උවමනාවෙන් මදෙස නොබැලුවද ගීතිකා මදෙස බලා උන්නේ විමසිලිමත්වය. මොහොතක් මා ඈඅසළ නතර විමි.

මොකද..?

ඊයෙ ගෙනාව බඩුවල බිල් ලියන්න කි්වවා කාංචන සර්..

පලයං.. අර ඉන්නෙ..

ඈ නෙත් කොණින් මහේෂ් වනිගසූරිය පෙන්වමින් පැවසුවාය. ඇගේ මුවග තිබුනේ මද හසැරැල්ලකි. මම ඇයට රැව්වේ ඇගේ බැල්ම මට සරදම් කළ නිසාය.

මට රවලා වැඩක් නෑ..

ඈ කට ඇද කරමින් සිනාසුනාය.

මට බෑ ගීති..

මම කෙඳිරි ගෑවෙමි.

මේක ෆැක්ටරිය.. අනික උඹ කරන්නෙ රාජකාරිය.. ඒවට පෞද්ගලික ප්‍රශ්න ගාවගන්න එපා..

මම නිසොල්මන්ව මොහොතක් ඈ දෙස බලා සිටියෙමි.

පලයං.. ළමයි බලයි මොකද කියලා..

මා ඇගෙන් මිදී ආවේ ඕනවට එපාවට මෙනි. මහේෂ් වනිගසූරිය අසළට ගිය මා හිටගතිමි. ඔහු මදෙස බලා නොදැක්කා සේ ඉවත බලාගෙන ඔහුගේ කාර්යයේ නිරත විය. ඔහු සිටියේ වූල් කපන අංශයේ ළමුන්ගේ වැඩ බලමිනි. ළමුන් විසින් කපන ලද පතරොම්වල අඩුපාඩු සකසමින් ඔහු මේසය වටේට ඇවිද ගියේය. මම නිසොල්මන්ව ඔහු දෙස බලා සිටියෙමි. මා එහි සිටි බවක්වත් ඔහුට මතක නැතුවා සේය. මේසයේ වැඩ කරමින් සිටි ළුන් සැරෙන් සැරේ මදෙස බලන්නට විය. ඉන් මසිතට දැනුණේ අපහසුතාවයකි. ඔහු තවමත් මා සමග තරහින් සිටියි. නිශ්ශබ්දව සිටීමෙන් පරාජය අත්වන්නේ මටමය. එසේම පැමිණි කාර්යය ඉක්මණින් ඉවරකර ගෙන පිටව යන්න මට අවශ්‍ය විය. ඔහු මා අසළට නොඑන බව දැනුණ නිසා මම සෙමෙන් ඔහු අසළට ගියෙමි. ඔහු සිටියේ මට පිටුපාය.

මහේෂ් සර්..

ඔහු හිස හරවා බැලුවේ උවමනාවෙන් නොවේ. ඒ දෙනෙත්වල තිබුනේ නපුරු බැල්මකි. මසිත බියට පත් කරන්නට ඔහුගේ බැල්ම සමත් විය. තවත් ඔශු දෙස බැලීමට ශක්තියක් නොවුන නිසා මා දෙනෙත බිමට නැඹුරු කර ගතිමි.

ඊයෙ ගෙනාව ස්ටොක්වල බිල් ටික ලියාගන්න ඕන..

මම හිස නොඕසවාම කියවාගෙන ගියෙමි.

මගේ මේසෙට යන්න.. මේක ඉවර කරලා එන්නම්..

ඒ හඩ පෙර මෙන් නපුරු නොවීය. මා ඔහුගේ මේසය වෙත ගොස් ඉදිරිපස තිබුණු පුටුවේ හිද ගතිමි.

ඔහු පැමිණියේ මට කල්පයක් තරම් දිගු වූ මිනිත්තු කිහිපයකට පසුවය. මා ඉදිරිපස පුටුවේ හිදගත් ඔහු මදෙස බැලීය. මම දෙනෙත් බිමට නැඹුරු කර ගතිමි. මේසය මත තිබුණු ෆයිල් එකක් දිගහැර ඔහු බිල්පත් පරික්ෂා කරන්නට විය. මම නෙත් කොනින් එදෙස බලා සිටියෙමි.

භාවනා කරනවද..?

තිගැස්සෙමින් මම ඔහු දෙස බැලුවෙමි. පෙර තිබුණු නපුරුකම කොහෙදෝ පලා ගොස්ය. අර දඟකාර සිනාවෙන් දෙතොල් විකසිතව ඇත. සිතට යම් අස්වැසිල්ලක් ගෙන ඒමට ඒ සිනාවට හැකිවිය.

ලියාගන්න.. මම කියන්නම්..

මම පොත දිගහැර අවසානයට ලියා තුබුණු තැනින් දිනය දා ලියන්නට පටන් ගතිමි. ඔහු එකින් එක කියවාගෙන ගියේය.

අරුන්දිකා මාත් එක්ක තරහද..?

මම විශ්මයෙන් ඔහු දෙස බැලුවෙමි. ඔහුගේ දෙනෙත් යොමුව තිබුණේ මගේ දෑස් වෙතය. අනේ මා නොසන්සුන් වූ තරම් දන්නේ මා පමණක්ය.

න්..නෑ..

මම හිස දෙපසට පොළවා පිළීතුරු දුනිමි.

මට එදා තරහා ගියා..

මම නිසොල්මන්ව පොත දෙසම බලා සිටියෙමි. මේ කතාබහ දුරදිග යාවියැයි සිතට ඇතිවූයේ බියකි. එසේ වුවහොත් අසරණ වන්නේ මසිතය. මම තවත් බිල්පතක් ගෙන ලියන්නට සැරසුණෙමි. එහි තිබුණු එක් ගණනක් කපා කොටා තිබුණු නිසා පැහැදිළි වූයේ නැත.

මේක පැහැදිළි නෑ..

ඔහු සිනාසෙමින් මදෙස බැලුවේය. මම හිස නොඔසවාම ලියාගනෙ ගියෙමි. අත්ලට දහදිය දැමී නිසා පෑන ලිස්සන්නට විය. මම එය තදකොට අල්වා ගතිමි.

ඇයි ඔයා බයවෙලා..?

මගේ දෑසට එබෙමින් ඔහු විමසුවේය. කිසිවක් නොපවසා මම බලා සිටියෙමි. ඔහුගේ වමත මේසය දිගේ ඇදී ආවේ මගේ දකුණත වෙතය. මම වහා අත ඉවතට ගතිමි. ඔහුට කුමක් සිදුවීදැයි මට නොවැටහුණි. මා වටපිට බැලුවේ කිසිවෙක් අප දෙස බලා සිටීදැයි බියෙනි.

මේක ෆැක්ටරිය..

මම තරමක් දැඩි ස්වරයෙන් ඔහුට පැවසුවෙමි. ඔහු සිනාසුණේය.. එය සරදමක්දැයි මට සිතුණි.

ඉතින් ඒකනේ මම එළියෙදි ඔයාට කතා කරන්න හැදුවත් ඔයා කැමති නැහැනේ..

ඔහුට වැරදී ඇත. මට පිටදී හෝ ඇතුළතදී ඔහුව අවශ්‍ය නැත.

ඔයාට පිස්සුද..? මම ඉක්මනට යන්න ඕන.. කියන්න..

සිතට නැගි නොරිස්සුම මම එලෙස පිට කළෙමි..

ඉතින් යනවා.. කවුද තමුසෙව අල්ල ගත්තෙ.. වෙන කොල්ලෙක් නම් මේ තරම් පස්සෙන් එන්නෙ නෑ.. තමුසෙගෙ ආඩම්බර බලන්න..

ඔහු කෝපයෙන් කියවාගෙන ගියේ මට රවාගෙනය. මම වටපිට බැලිමි. ඔහුගේ වදනින් නෙතු කඳුළු පුරා ආවේය. මා ඔහු දෙස බැලුවේ අසරණ දෑසිනි.

පින් සිද්ධ වෙයි ඔය ටික කියන්න මට ලියාගන්න.. අන්තිමට ඕක ලිව්වෙ නැහැ කියලා මට බැනුම් අහන්න වෙන්නෙ..

මගේ හඬ බිදෙන්නට ආසන්න විය. මගේ නෙතු අතර රැඳුන කඳුලු බිඳු ඔහු දකින්නට ඇත. මොහොතකින් ඔහු සන්සුන්විය. මම ඉක්මනින් බිල්පත් ලියා අහවර කළෙමි. අවසන් බිල්පතද ලියා අවසන්ව මම පොතත් රැගෙන නැගී සිටියෙමි. ඔහු පුටු ඇන්දට හේත්තු වී බලා සිටියේය. මම ඉක්මනින් ඔහු අසලින් ඈත්වී පැමිණීයෙමි.

ඉක්මන් ගමනින් එන මගේ ඉදිරියට පැමිණීයේ මානෙල් මිස්ය.

මොකද අරුන්දිකා දුවන්නෙ..?

මම සිනාසුණා මිස පිළිතුරක් නොදුන්නෙමි.

දාඩියත් දාලා කවුද පස්සෙන් එළෙව්වෙ..?

ඇය සිනාසෙමින් ඈත මෑත බැලීය.

ආ.. මිස්ටර් මහේෂ් ළඟ ඉඳන්ද එන්නෙ..?

මුවට සරදම් සිනාවක් මවා ගනිමින් එලසෙ කියා ඇය ඉවත්ව ගියාය. ඇගේ වදන් වල අරුත මට වැටහුණේ පසුවය. මුන්ගෙ ඔලු විකාර වෙලා යැයි මට සිතුණි. කවදාවත් නොමැතිව ඈ සරදම් කළාය. ඔවුන් හැම දෙනාටම මා සිනාසීමට තරම් කරුණකි. මා කළ වරදක් නොමැති වුවද ඔවුන් මසිත අවුල් කරයි. මහේෂ් වනිගසූරිය ගැන මසිත ඇතිවූයේ තරහකි. ඔහුගේ උවමනා එපාකම් පිරිමසා ගැනීමට ඔහුට ගැලපෙන කෙනෙකු ලංකරගත හැකිය. එසේ කළ අසරණ මසිත පීඩාවට පත්කරමින් ඔහු ලබන සතුට කුමක්දැයි මට නොවැටහේ. කාර්යාලය තුලදීද මා සිටියේ සතුටින් නොවේ. මිස්ටර් දිසානායක නොවන්නට මෙතැන මට අපායක් වනු ඇත. අනෙක් දෙදෙනාට මා හැරුණත් වැරදිය. හැමදෙනාගේම කතා අසමින් මම නිහඩවම සිටියෙමි. පරාජය වූයේ මාය. ඔවුන්ට බැණ වැදීමට තරම් ශක්තියක් මට නොවීය.

ජීවිතය අවුල් වේදැයි මසිත ඇතිවූයේ බියකි. මට කුමක් සිදුවීද අප්පච්චීට හෝ නංගිලාට දුක්ක දිය නොහැකිය. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව පිහිට මා පමණක් නම් ජීවිතය අවුල් කරගෙන බැරිය. යම් තරමින් ජීවිතය ජය ගන්නට උත්සාහ කරද්දී නොසිතූ ලෙස ප්‍රශ්න පැන නැගේ. ඔවුන් සතුටු වන්නේ වරදක් නොකළ මසිත තලාය. ඉන් ඔවුන් ලබන සතුට කුමක්දැයි මට නොවැටහේ. මම මේසය මත හිස ඔබාගත්තේ අවුල් වූ සිත පාලනය කරගැනීමටය. සන්සුන් වන්නට උස්තාහ කළද මසිත තව පටලැවුණි.

ඇයි අරුන්දිකා..?

මට වම් පසින් සමීපව සිටි නාලනී මිස් කතා කරන හඩ ඇසුණි. මම හිස ඔසවා බැලුවේ තවත් කතාවක් හදාවියැයි බියෙනි.

හිස ටිකක් කකියනවා..

වමතින් නළල පිරිමදිමින් මම ඇය දෙස බැලුවෙමි.

පැනඩෝල් එකක් ගෙනැත් දෙන්නද..?

එපා අඩුවෙයි..

එසේ කියමින් මම බිල්පත් ලියාගෙන ආ පොත දිග හැරියේ එක කාංචන මුදන්නායකට බාරදීමට පෙර අඩුපාඩු ඇත්දැයි බැලීමටය.



No comments:

Post a Comment