Friday, August 31, 2012

| අරුන්දිකා | සංජීවනී අටලුගම |


සිහිනයෙන් සිදුවන සියල්ලක් සේ මම යටගියාව සිහි කළෙමි. තේරුම්ගත හැකි හෝ සිතා අවසන් කළ හැකි කිසිවක් මට නොපෙනේ.  මේ නිහඩ පිළිවෙත මා නොසන්සුන් කළේය. ඔහු මා පිළිබඳව කෙලෙස සිතන්නේදැයි මම නොදනිමි. ඔහු කෙරෙන් මේ වන විට කිසිදු අවිශ්වාසයක් මට නොපෙනුනේය. ඔහු බොහෝ සන්සුන්විය. මා නොසන්සුන් කළේද ඒ සන්සුන්කමය. ඔහු තේරුම් ගැනීමට කෙතරම් උත්සාහ කළද සිදුවූයේ මසිත විඩාපත්වීම පමණි. මට නර්මදා සිහිවිය. ඔහුගේ බිරිඳ වීමට සිටින නර්මදා කෙබඳු තැනැත්තියක්දැයි මම නොදනිමි. ඇය ඔහුට ආදරය කරනු ඇත. ඔහුද එසේම වන්නට ඇත. කාංචන මුදන්නායක  සියල්ලක් කළේ උදව්වක් ලෙසය. අසරණ අපේ ජීවිත දැක ඔහු අපට උදව් කරන්නට ඇත. මා ඒ පිළිබදව තවදුරටත් සිතට වද දීම නිෂ්ඵල ක්‍රියාවකි. ඔහු තේරුම් ගැනීමෙන් මා බලාපොරොත්තු වන දෙයක් නැත. එසේනම් මම තව තවත් පෙළෙන්නේ මන්දැයි මසිතින්ම විමසිමි. මසිත ඇත්තේ සිතිවිල්ලක් පමණි. මා ඊට නොසන්සුන් විය යුතු නැත. ඔහු ගැනත් නර්මදා ගැනත් සිතා මම සන්සුන් උනෙමි. මා ඔහුගේ රථයේ පැමිණි බව දන්නේ ඔහුත්, මාත්, දිසානායක මහතාත් පමණි. දිසානායක මහතා මා ගැන වැරදි ආකාරයෙන් නොසිතන බව මට විශ්වාසය.


මම සුපුරුදු ලෙස රැකියාවට ගියෙමි. සියල්ල සන්සුන්ය. එය සිතට සැනසීමක් විය. සියලු දේ අමතක කර දමා මම වැඩකටයුතු වල යෙදුණෙමි. දහවල් කෑම ගැනීමට මම ලන්ච් රූම් එක වෙත ගියෙමි. මා අහර ගනිමින් සිටියේ ජනෙල් අතරින් පෙනෙනා ඈත නගරය දෙස බලාගෙනය. පැහැදිළිව හඳුනාගත හැකි කිසිවක් දෙනෙත හසුනොවිය. අපහැදිළි දේ තෝරා බේරා ගැනීමට යාමෙන් සිදුවූයේ මසිත විඩාවට පත්වීම පමණි. කල්පනාව මසිත බොහෝ දුරට යාමට සමත්වේ. මා එතරම් සිතූ දෙයක්ද නොමැත. නමුදු ළඟ පාතක සිදුවන දෙයක්ද නොපෙනීමට තරම් සිත බොහෝ දුර ගිය බව මට දැනුණේය.

“ඔය තරම් හයියෙන් හුස්ම ගන්න එපා. මම ළඟට එන්න බයේ හිටියෙ මාවත් ඇදිලා යයි කියලා..”

මා පසුපසින් පැමිණි ඔහු දෙස මා බැලුවේ වික්ෂිප්ත වූ දෙනෙතිනි.

සිත තිගැස්සුණද වෙනසක් නොපෙන්වා ඉන්නට මම උත්සාහ කළෙමි. නොඑසේ නම් මගේ දුර්වලකම් ඔහුගේ ජයග්‍රහණයට හේතුවනු ඇත. මට පැරදිය හැකි නොවේ. එසේ වුවහොත් සිදුවන්නේ මා මංමුලාවීම පමණි. ජීවිතය අවුල් කරගත නොහැකිය. ඒ මා වෙනුවෙන් නොව අන් අය වෙනුවෙන් මා ජීවත්ව සිටිය යුතු නිසාය. ඔහුගේ නොසන්සුන් දෑස් මග හරින්නට මම දැඩි උත්සාහයක යෙදුණි. නමුදු මා පසුපස ආ ඒ දෑස් මා පෙළන්නට විය. මම සිනාසෙන්නට උත්සාහ කළෙමි. ඇතුලතින් දැවුනද මහේෂ් වනිගසූරියගේ විලාසය මා මුවගට සිනාවක් එක් කළේය. මා එතරම් තදින් හුස්ම හෙලුවේදැයි මම නැවතත් සිතුවෙමි.

“ඇති යාන්තම් හිනා උනා..”

එසේ කියමින් ඔහු මා අසළ වූ පුටුවකින් හිඳ ගත්තේය. මා අවට බැලුවේ විමසිල්ලෙනි. කවුරුන් හෝ පැමිණියහොත් අප දෙදෙනා දුටුවිට කුමක් හෝ කතාවක් සාදනු නියතය.

“ඒ ගමන බයවෙලා.. ඇයි අරුන්දිකා..?”

මා සිනාසෙන්නට උත්සාහ කළේ මේ දෙබස ඉක්මනින් අවසන් කිරීමටය. නමුදු ඒ උත්සාහය නිරර්ථක වී මුව තුළම ගොලුවී ගියේය.

“තනියම කනවා නේ..”

ඔහු ගැන තැකීමක් නොමැතිව මම කෑම ගන්නට විමි. ඒ ඔහු මෙතනින් ඉක්මනින් පිටවේ යැයි සිතුණ නිසාය. නමුදු ඔහු ඉක්මනින් පිටව යන්නට නොආවා සේය. පෙර දිනක ඔහු මට බෙහෙවින් සමීප වන්නට උත්සාහ කළා මට මතකය. ඔහුගේ සිත නොරිදවා මම ඔහුව ප්‍රතික්ෂේප කළෙමි. මා සිතුවේ ඔහු පසුගිය දේ අමතක කරාවියැයි සිතාය. මා නොපෙලාවි යැයි සිතාය. සන්සුන් කරගන්නට වෙර දරන සිත නොසන්සුන් නොකරාවියැයි සිතාය.

“ඇයි මහේෂ් සර් කෑවෙ නැද්ද..?”

මම සන්සුන්ව සිටියෙමි.

“සර්... දැන් අරුන්දිකාගෙයි මගෙයි වෙනසක් නැහැනේ..”

ඔහු සිණාසුනේය.

“ඒත් මම ඉස්සර හිටපු අරුන්දිකාමයි..”

“ඒකනේ මම කැමති ඔයාට..”

අතටගත් පබත්පිඩ මුවතුලට දමාගත නොහැකිව මම ඔහු දෙස බලා සිටියෙමි. මගේ වෙනස  ඔහු දුටුවා වන්නට ඇත.

“ඔන්න ඉතින් බයවෙලා..”

කතාව තවත් දුර යාවියැයි මට බිය සිතුණි. ඔහුගේ වදන් හමුවේ මා අසරණ විය යුතු නැත. ඔහු ලස්සන දේ දෙඩීමේ දක්ෂයකු බව මම මේ වන විට දැන සිටියෙමි. ඔහුගේ කතාබහ වටින්නේ මා වැන්නියකට නොවේ. සුරලොවක ජීවත්වන යුවතියකටය. මා ජීවත් වන්නේ සැබෑ ලොවකය. මා පැතුවේද සැබෑ ලොව පය ගසා ජීවත් වීමටය.

බත්පතේ අඩක් තිබියදීම මම එය ගුලිකර කුණු කූඩයට දැම්මේය. මහේෂ් වනිගසූරිය මේ සියල්ල දෙස බලා සිටියේ විමතියෙනි.

“ඔයා කාලා ඉවරද..?”

ඒ හඩෙහි පසුතැවිල්ලක් පෙනෙන්නට තිබුණද මම එය එතරම් නොතැකුවෙමි.

“ඔව්..”

“මම ඇවිල්ලා අරුන්දිකා බඩගින්නෙ තිබ්බා..”

“නෑ සර්.. මම ඇතිවෙන්න කෑවා..”

ඔහුගේ මුවේ තිබුණේ අමනාපයකි..

“ඔය සර් කෑල්ල කවදද නවතින්නෙ..?”

මට සිනහා නැගුනේ ඔහුගේ විලාසයටය. ඔහුගේ දඟකාර කතාව ඔහුටම ගැලපෙන්නේ යැයි මට සිතුණි.

“මොකක් හරි ඇහුවොත් බය වෙනවා.. ආයෙමත් හිනා වෙනවා.. ඔයා නම් මහ පුදුම ළමයෙක් තමයි..”

පුටුවෙන් නැගී සිටි ඔහු මදක් මා අසළට ලංවීය. වතුර උගුරු කිහිපයක් බී වීදුරුව පසෙකින් තබා මම යන්නට සැරසුණෙමි. ඔහුගේ ඇස් මසිත ඇත් කළේ බියකි. මට අවශ්‍ය වූයේ ඉක්මනින් මෙතනින් පිටත්වන්නටය. ඔහු දෙස නොබලාම මම ආපසු හැරුණෙමි.

“අරුන්දිකා..”

මා පසුපස බැලුවේ විශ්මයෙනි. ඔහු පියවරක් ඉදිරියට විත් මා අසළ නතර විය. ඔහුගේ නෙතු බැල්මෙන් මිදී මම බිම බලාගතිමි.

“අරුන්දිකා..”

ඒ හඩ ඈත ලොවකින් පාව එන්නා සේ මට ඇසුණි. මගේ දෙපා වෙව්ලන්නට විය.

“මම ඔයාට ආදරෙයි අරුන්දිකා..”

මසිත වෙව්ලා ගියේය. පියවර ඔසවන්නට දෙපා පණ නැතුවා සේ මම එලෙසම සිටියෙමි. ඔහුද එලෙසින්ම සිටි වග මට මතකය. ඔහු දෙස නොබලාම මම ආපසු හැරුණෙමි.

මා පුටුවේ හිදගත්තේ සිහිනයෙන් මෙනි. මුහුණ පුරා ගැනුණු දහදිය ලේන්සුවෙන් පිසදැමූ මම මේසය මත තිබුණු ලිපිගොනු දෙස බලා පියවි ලොවට එන්නට උත්සාහ කළෙමි.

සියල්ලෙන්ම තැවුනේ මාය. පටලැවුනේ මාය. ඔවුන් සිටියේ සැහැල්ලු සිතින්ය. මහමෙරක් තරම් දේ හිසමත තබාගෙන මා ජීවත්විය යුතුව තිබුණි.

ජනක විසින් මිහිදන් කළ ආදරයේ සොහොන් කොත අභියස හඩා වැටුණේ මා පමණක්ම යැයි මට සිතුණි. ඔහු සැහැල්ලු සිතින් ජීවත් වන්නට ඇත. නටඹුන් වූ ආදරය මැද තනි වූ මා පෙළෙන්නේද තනිවමය. මා අස්වසන්නට ඔහු කිසිදා නාවේය. අහම්බෙන් මගතොටදී හමුවුවහොත් ඔහු ශෝක වුනු බව සැබෑමුත් ඔහු වේදනාවෙන් පෙළුනේදැයි මම නොදනිමි.

මසිත හදුනාගත්තෝ නොවූහ. නොඑසේනම් මා අකමැති බව පෙන්වූ විටද මහේෂ් වනිගසූරිය මවෙත ලංවීමට උත්සාහ නොදරනු ඇත.

හැන්දෑවේ මා කඩුල්ල පනින විට හීන් වැහි පොදක් වැටෙන්නට විය. මිදුලට ආ මට දැකගත හැකි වූයේ ඉස්තෝප්පුවේ අප්පච්චීගේ වැල් ඇදේ පසකින් හිදගෙන සිටින නැන්දාය. මාස ගණනකින් නොව මතක ඇති කාලයක ඇය අපෙ ්නිවසට එන්නට ඇත්තේ අදය. අද මේ හදිස්සියේ ආවේ මන්දැයි මට සිතුණි. ඉස්තෝප්පුවට නැගුණු මම ඇය දෙස බලා සිනාසුණෙමි. ඇයද මා හා සිනාසුණාය.

“නැන්දා හුඟක් වෙලාද ඇවිත්..?”

“නෑ.. දැන් ටිකක් වෙලා..”

එසේ කී ඇය මගේ හිසේ සිට පාදාන්තය දක්වා බැලීය. වෙනදා චීත්ත ගවුම ඇද සිටි මා නව පන්නයේ ඇඳුමකින් සැරසී සිටීම ඇයට අමුත්තක් වන්නටඅ ැත. මා අසළ තිබූ ලී පුටුවේ හිදගත්තේ ඈ පැමිණීමට හේතුව දැන ගැනීමටය. ලොකු නංගීත්, චූටි නංගීත් උලුවස්සට හේත්තු වී බලා උන්නාය.

“ලොකු නංගි නැන්දට බොන්න මොකුත් දුන්නද..?”

මගේ දෑස් දිව ගියේ ලොකු නංගී වෙතය.

“ඔව්.. මම තේ බිව්වා..”

ඈ මදෙස යළිත් බැලුවාය.

“දුව දැන් හොඳ රස්සාවක් කරනවලු නේද..?”

ඇ සියල්ල දැනගන්නට ඇත්තේ අප්පච්චිගෙන්ය.

“ඔව් නැන්දෙ..”

මම එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ යැයි සිතමින් පැවසිමි. අප අතර මද නිහැඩියාවක් පැතිර ගියේය. නැන්දා යමක් පැවසීමට මෙන් සැරසුණද නැවත ඉවත බලා ගත්තාය. මා ලඟ උන් අප්පච්චී තදින් හුස්ම ගන්නා හඩින් මම ඔහු දෙස බැලුවේ විමසිල්ලෙනි. ඔහුගේ නෙත් අග කඳුළු බින්දුවක් දිළිසෙනවා අඬ අඳුරේ වුවද මට පෙනුණි. ඔහු මෙතරම් වේදනා විදින්නේ කුමකින්දැයි මට නොවැටහුණි. එක්වරම අප්පච්චී මදෙස බැලුවේය.

මසිත තිගැස්සුනේ අප්පච්චීගේ කඳුළු දැකීමෙනි. නෙතු අගට කඳුළක් පුරවන්නට තරම් ඔහුගේ හිත රිදුනේ මන්දැයි මම නොදනිමි. ඔහු වේදනාවෙන් දරා සිටිනා යම් දෙයක් වේයැයි මට සිතුණි.

“එහෙනම් මම යනවා මල්ලියෙ.. හතර දෙනාම එන්න..”

නැන්දා අවසන් වචන කිහිපය පැවසුවේ මදෙස බලමින්ය. මසිත ඇති වූයේ කුතුහලයකි. ඇය අපට එන්නට කියන්නේ කුමකටදැයි මම සිතුවෙමි. යමක් ඇසීමටවත් ප්‍රථම ඇය නැගී සිටියාය.

“මම යනවා ලොකු දුවේ..”

මම හිස සැලිමි. තවමත් වැහිපොද වැටෙමින් තිබේ. ඉස්තෝප්පුවෙන් බැස කුඩය ඉහළාගත් ඇය කඩුල්ලෙන් පැන නොපෙනී යනතෙක්ම මම බලා සිටියෙමි. අඳුර අතරින් ඇය නොපෙනී ගියාය. ඈ නොපෙනී ගිය පසු මම අප්පච්චී දෙසට හැරුණෙමි. ඔහු සිටියේ බිම බලාගෙනය.

“ඇයි අප්පච්චි නැන්දා අපිට එන්න කියලා කිව්වෙ..?”

අප්පච්චීගේ නිහඩ බව මා නොසන්සුන් කරන්නට සමත්විය. ඔහු අසළට ගිය මම ඔහුගේ පසෙකින් හිඳගත්තෙමි. ඔහුගේ දෑස් අඟ දිළිසුණු කඳුළු බින්දුවක් පුපුරා ගිලුනු කම්මුල් දිගේ ගලා ගියේය. මසිත පිච්චි ගීයේ ඔහුගේ විලාසයටය.

“අප්පච්චී.....”

බිඳුණු හඬින් මම ඔහු ඇමතිමි. ඔහු වචන පෙළ ගසන්නට උත්සාහ කළේය.

“ජනක ළමයා ලබන දහතුන බඳිනවලු..”

මා සුසුම් ලෑවේ ලැබුණු ආරංචිය නිසා නොව අප්පච්චීගේ වේදනාව දරාගත නොහැකි වූ නිසාය. මා ඔහු දෙස බැලුවේ උහුලාගත නොහැකි වූ පිය සෙනෙහස නිසාවෙන් නැගුනු කඳුළු නෙතිනි.

“අප්පච්චි දුක් වෙන්නෙ ඇයි ඒ ගැන..?”

“මම හිතුවෙ නෑ ජනක අපිව තනි කරයි කියලා..”

“අප්පච්චිට හිතෙනවද අපි තනිවෙලා කියලා.. අප්පච්චි බයවෙන්න එපා මම ඉන්නකම් අප්පච්චිලවත් නංගිලවත් තනි වෙන්නෙ නෑ..”

හිත ගිනි ගත්තද නෙතු මතින් පිට නොකිරීමට මම ප්‍රවේසම් විමි. මට අවශ්‍ය වූයේ ඊට වැඩි යමක් කියා අප්පච්චීගේ සිත සැනසීමටය. බිඳුනු හඩ ඊට ඉඩ නොදුන්නේය.

කාමරයට වැදුනු මම ඇඳ මතට වී බොහෝ වේලාවක් උන්නෙමි. සියල්ල නිශ්චිතව සිදුවී හමාරය. තවත් පසුතැවීමෙන් හෝ දුක්වීමෙන් පලක් නොවේ. මේ දෛවය නම් මා ඊට මුහුණ දිය යුතුව ඇත. ජීවිතය යනු අප බලාපොරොත්තු වන දෙය නොව අපට ලැබෙන දෙයයි. එය දැන දැනත් බලාපොරොත්තු මත ජීවිතය ගොඩනගා ගැනීම අනුවණකමකි. මා සංතාප නොවුණාම නොවේ. ජීවිතයේ ප්‍රථම වතාවට මා සෙනෙහස පිදුවේ නම් ඔහුට පමණි. එය ජීවිතය ඇතිතුරා පවතීයැයි සිතුවද එසේ නොවීය.

ලොකු නංගීත්, චූටි නංගීත් මදෙස බලා උන්නේ නෙතු විසල් කරගෙනය. ඔහුන් මා ගැන කුමක් සිතනවා ඇත්ද..? ඔවුන්ගේ දසුන මගේ සංතාපය දුරු කළේය. මා තනි නොවිය යන හැඟීමක් මට ඇතිවිය. මම සිනාසෙන්නට උත්සාහ කරමින් ඔවුන් දෙස බැලිමි. මම අසළට එන්නට බියෙන් මෙන් සිටි චූටි කඩිනමින් මා අසළට විත් හිඳගත්තාය. මම ඈ තුරුල්කර ගතිමි. අප දෙදෙනා දෙස බලා සිටි ලොකු නංගීද සිනාසෙමින් අප අසළට ලං වූවාය.

ජනකගේ විවාහය අසා මා හට අමුතු වේදනාවක් දැනුණේ නැත. මා එය එලෙස සිදුවන බව දැන උන් නිසා එසේ වන්නට ඇත. එය එක්තරා සිදුවීමක් ලෙස සිතා මම සන්සුන්ව හිදින්නට උත්සාහ කළෙමි.


පසුවදා වැඩ අවසන්ව ගීතිකාත් සමග මම මාවතට පිවිසුණෙමි. අප්පච්චීටත්, නංගිලාටත් මගුල් ගෙදර යාමට ඇඳුම් පැළදුම් හා ජනකටත් ඔහුගේ මනාලියටත් තැගී කිරීමට යම් දෙයක් ගැනීමටත් අවශ්‍ය විය.

“ගීති..”

මම අසළ උන් මිතුරිය දෙස බැලුවාය..

“ඇයි..?”

ඈ මදෙස බැලුවේ විමසිල්ලෙනි.

“කොහෙද..?”

“නංගිලාටයි, අප්පච්චිටයි ඇඳුම් වගයක් ගන්න  ඕන..”

“ඇයි හදිසියෙ..?”

මේ වෙනතෙක්ම මම ඇයට ජනකගේ විවාහය ගැන නොකීවෙමි. උදෑසන සිටම එය පැවසීමට මගක් සොයා ගැනීම මට දුෂ්කර විය.

“ජනක බඳිනවා ලබන දහතුන..”

මා පැවසුවේ එය සාමාන්‍ය සිදුවීමක් කියන ආකාරයෙනි. ඒ නිසාදෝ ඇය නෙතු විසල් කරගෙන මදෙස බලා උන්නාය. ඇය යමක් කීමට සැරසී යළිත් නිහඬවිය.

“උඹ යන්නෙ නැද්ද..?”

ඈ අවසන මදෙස බලා විමසිමි.

“අන්න අකමැත්තක් හරි බැරිකමක් හරි නෑ ගීති.. මම දන්නවා මම කවුද කියලා. ඇරත් ජනකට හොදක් වෙනවා නම් මම ඒ ගැන මොකුත් හිතන්නෙ නෑ.. එයාලා මං ගැන වැරදියට හිතයි.. ඒකට කමක් නැහැ..”

සුසුමක් හෙලා සිත සැහැල්ලු කරගැනීමට මට අවශ්‍ය විය.

“මට උඹ ගැන පුදුමයි..”

ඈ මදෙස බලා සිටියේ මා තේරුම් ගන්නට වන්නට ඇත.

“මටත් වෙලාවකට පුදුමයි මං ගැන. ඒත් අපි සත්‍යයට මූණ දෙන්න ඕන. ජනක නැතිවෙනවා කියලා මම ඒ මත්තෙම මැරෙන්න ගියා නම් අප්පච්චිටයි, නංගිලා දෙන්නටයි යන කල මොකක්ද..? මට දුකක් නෑ.. මට අරමුණක් තියෙනවා.. මම කොහොම හරි මේ ගමන යනවා..”

මම සිනාසෙන්නට උත්සාහ කරමින් ඈ දෙස බැලුවාය.

“මට සතුටුයි අරුන්දිකා.. උඹට වරදින එකක් නෑ..”

ඈ මගේ සුරත අල්වා ගත්තීය.

අප්පච්චීට හා නංගිලා දෙදෙනාට මගුල් ගෙදර යාමට අවශ්‍ය සියලු ඇඳුම් පැළදුම්ද, ජනකටත් ඔහුගේ මනාලියටත් දීමට වටිනා ත්‍යාගයක්ද මම මිලට ගතිමි. ඒ මගේ  හැකියාවන් පෙන්වීමට නොව නැන්දලාට හෝ ජනකට අඩුවක් හෝ ලැජ්ජාවක් නොවීමටය.

මා නොපැමිණි බව දැනගත් පසු ජනක කුමක් සිතාවිදැයි මට සිතුණි. මා ඔහු නිසා දුක් වෙනවායැයි ඔහු සිතනු ඇත. නොඑසේ නම් මා ඔහුටත් ඔහුගේ මනාලියටත් ඊර්ෂ්‍යා කරනවා යැයි ඔහු සිතනු ඇත. ඔහු ඕනෑම දෙයක් සිතුවාවේයි මම සිතමි.

දහතුන් වෙනිදා උදෑසන මම අප්පච්චීගේත්, නංගිලාගේත් ඇඳුම් පැළඳුම් සූදානම් කර වැඩට යන්නට සැරසුණෙමි. මගුල් කියා තිබුණේ උදෑසන නිසා නංගිලා පාසල් නොගියහ.

“එහෙනං අප්පච්චි නංගිලත් එක්ක යන්න.. මම ඇදුම්  ඔක්කොම ලෑස්ති කරලා ඇත්තෙ..”

ඔහු මදෙස බලා සුසුමක් හෙලුවේය.

“දුවත් ගියා නම් තමයි හොඳ..”

මෙපමණ වේලාවක් ඔහු කීමට සැරසුණේ මෙය යැයි මම අනුමාන කළෙමි.

“මේ දවස්වල නිවාඩු ගන්න බෑ අප්පච්චි.. දිසානායක මහත්තයත් නැහැනේ.. නැත්නම් මම නොගිහින් ඉන්නෙ නෑ..”

“ඔයා නොයන එක හොඳයි අක්කෙ.. ආඩම්බර බලන්න ඔයා යන්නෙ මොකටද..? මම යන්නෙ ඔයා කියන නිසා.. නැත්නම් කැමැත්තකින් නෙමෙයි..”

ලොකු නංගී තරහින් පැවසුවේ අප්පච්චීත් මා දෙසත් බලමින්ය. ඇගේ නොසන්සුන්කම ගැන මට අනුකම්පා සිතුණි. ඉන්පසු අප්පච්චීත් නිහඩ විය.

“ඒකට කමක් නැහැ ලොකු නංගි.. අපේ යුතුකමනේ යන එක..”

ඔවුන් දෙස වරක් බැලූ මම වැඩට යාමට මිදුලට බැස්සෙමි.

මා ජීවිතයේ බලාපොරොත්තු වූ දේ නොවීය. නමුදු නිදහසේ ජීවත් වන්නට මම ආසා කළෙමි. එය එකම ප්‍රාර්ථනයද විය. ඉහිලූ දුක් හෝ උහුලාගත යුතුව තිබූ දුක් ගැන මා පසුතැවුණේ නැත. නමුදු ජීළුිතය මට බොහෝ විට සරදම් කළේය.


මාසය අවසානයේ සේවකයින්ගේ වැටුප් පත්‍රිකා සෑදීමට මට දවසම ගත කිරීමට සිදුවිය. දිවා ආහාරයද නොතකා මා ඒ වෙනුවෙන් කාලය ගත කළේ ඉක්මනින් එය අවසන් කිරීමටය. දහවල් ආහාර ගෙන පැමිණි මිසිස් මානෙල් හා මිස් නාලනී මට සමීප වූයේ සිනාසෙමින්ය. මාද ඔවුන් සමග සිනාසී සළිත් මගේ කාර්යයේ යෙදුනෙමි.

“අරුන්දිකාට බඩගිනි නැද්ද..? දැන් දෙකටත් ළඟයි..”

“මේ ටික ඉවර කරලම කනවා..”

“අරුන්දිකාට මීට වැඩිය හොඳයි ෆැක්ටරියෙ වැඩ කළා නම්.. ඒක නිදහස්නේ මීට වඩා..”

මිසිස් පෙරේරා එය පැවසුවේ මගේ නිදහස ගැන සිතා නොව මා රිදවීමට බව මා දුටුවේ ඇගේ මුවග තිබුණු සමච්චලගත සිනහවෙන්ය. මගේ නෙතු බොඳවිය. මා මේ ලෙස අසරණ වන්නේ මන්දැයි මට නොතේරේ. මගේ නිහඩබව ඔවුන් මා තලා පෙලා දැමීමට ආයුධයක් කරගෙන ඇත. ඔවුන් මෙන් කතාවෙන් අනුන් පෙළිමට මට හැකියාවක් තිබුණේ නම් මට මෙලෙස අසරණ වන්නට සිදුනොවනු ඇත.

ඔවුන් මා සමග මෙතරම් උරනවන්නේ මන්දැයි මට නොතේරේ.

ජනකගේ විවාහ උත්සවයට ගොස් පැමිණි අප්පච්චී හෝ නංගිලා දෙදෙනා එහි කිසිම විස්තරයක් මා සමග නොකීහ. ඉන් මගේ සිත රිදේවියැයි ඔවුන් සිතුවා වන්නට ඇත. රිදීමට තරම් සිතක් මා සතුව තිබුනේදැයි යන්න මට සැක සහිතය. මගුල් ගෙදර තොරතුරු දැන ගැනීමේ උවමනාවක් නොවුණද, ආශාවක් මසිත උපන්නේය. රාත්‍රිෙය් නින්දට ගිය මා මගේ වම් පබැත්තේ හිදින ලොකු නංගී දෙසට හැරුණෙමි. ගණ කළුවරේ මා ඇය නින්දේදැයි දැන ගැනීමට දෑස් විවර කළෙමි.

“ලොකු නංගි නිදිද..?”

“නෑ අක්කෙ.. ඇයි..?”

ඈ මගේ පැත්තට හැරුණෙන් ඇසිය යුතු දේ ඇසීමට මසිත පසුබා ගියේය. නමුදු මා උත්සාහය අත් නොහැරියෙමි.

“මනමාලි ලස්සනද..?”

ඈ මොහොතක් නිශ්ශබ්දව සිටියාය.

“එච්චර ලස්සනක් නෑ..”

මනමාලි ලස්සනදැයි දැන ගැනීමට මසිත ඇතිවූයේ ආශාවකි. ඒ ඇයිදැයි යන්න පිළිබඳව නිශ්චිත හේතුවක් නොමැති වුවද ඈ එතරම් ලස්සන නොවීඹ ගැන මා යටි සිතින් සතුටක් ලැබුවේ මාද ගැහැණියක නිසා වන්නට ඇත.

“හැබැයි අක්කා.. එයාලා සල්ලිකාරයො වගේ.. ඒ පැත්තෙ නෑදෑයො හරි ආඩම්බර පාටයි..”

“මාමලට ඕන සල්ලිනේ.. ඉතිං සල්ලිකාර පවුලක් හොයාගන්න ඇති..”

ඉන්පසුව අප අතර පැතිර ගියේ නිහඩතාවයකි. ලොකු නංගීත් කිසිවක් පවසාවියැයි බලා සිටියද ඇය සිටියේ නිහඩවමය.

“මං ගැන ඇහුවෙ නැද්ද..?”

මට අවශ්‍ය වූයේ එය දැන ගැනීමටය.

“ඇහුවා.. මම කිව්වා ඔයාට නිවාඩු ගන්න බැහැ කියලා.. නැන්දා මගෙයි, නංගිගෙයි ගවුම් අල්ලලා බලලා ඇහුවා කොහෙන්ද කියලා.. අක්කට කොහොමත් එන්න තිබුණෙ එයාලට පේන්න..”

මම ඊට කිසිවක් නොපැවසුවෙමි. ඇගේ සිතුවිලි ගැන මසිත ඈ කෙරෙහි අනුකම්පාවක් ඇතිවිය. ඇයට උවමනා මට රිදවූ ඔවුන්ට රිදවන්නටය. මසිතේ එලෙස ආශාවක් ඇති නොවීය. රිදුනේද, රිදවා ගත්තේද මා පමණක්ය. මම ජනක ගැන කිසිවක් ඇගෙන් නොවිමසුවෙමි. ඇයද කිසිවක් නොකීවාය. ඉන්පසු මම සැනසුමක් ලදිමි. යම් හෙයකින් ලොකු නංගී ජනක ගැන කියන්නට මගේ සිත රිදෙන්නට තිබුණි. මා එතරම් ඒ පිළිබඳව නොසිතුවද හදවතින් අනන්තව වැළපුණෙමි. නෙතු නොහැඩුවද හදවත බොහෝවර හඩා වැටුණි. සිතුවිලි වලට තවත් ඉබාගාතේ නොයන්නට සියල්ල අමතක කර දමා මම නිදන්නට උත්සාහ කළෙමි. නොඑසේනම් මේ රාත්‍රිය කඳුළින්, සුසුමින් ගෙවා දැමීමට සිදුවනු ඇත. හිත රවටාගෙන හෝ මා එසේ කළ යුතුව තිබුණි. සියල්ල අමතක කර දමා මම ඔහුට සුභ පැතුවෙමි. යහපත් ජීවිතයකට සුභ පැතුවෙමි.

දින කිහිපයක් යනතුරුද මහේෂ් වනිගසූරිය මා ඉදිරියට නොපැමිණියේය. අහම්බෙන් හෝ ඔහුගේ නෙත ගැටෙනවිට මම ඉක්මනින් ඉවත බලා ගතිමි. ඔහුගේ මේ වෙනස මට නොවැටහේ. නමුදු ඔහු යළිත් කතාබහට නොපැමිණීම ගැන මසිත ඇති වූයේ සැනසිල්ලකි.

කාංචන මුදන්නායක විසින් සහතික කළ යුතුව ලිපි කිහිපයක් රැගෙන මම ඔහු සොයා ගියෙමි. මා ගෙන ගිය ලිපි ඔහු නිහඩවම කියවන අතරතුර මම අසළට වී සිටියෙමි.  කාමරයේ දොරින් එකවර ඇතුළට එබුණේ නර්මදාය. මම වෙනසක් නොපෙන්වා එලෙසම සිටියෙමි.  නර්මදා දෙස වරක් බැලූ කාංචන මුදන්නායක යළිත් ලිපිය දෙස නෙත් හෙළීය. නර්මදා අසළට විත් නපුරු බැල්මක් හෙලා අසළ තිබුණු පුටුවේ හිදගත්තාය. කාංචන මුදන්නායක දෙස බැලූ මම කාමරයෙන් ඉවතට පැමිණියේ නර්මදා එවැනි නපුරු බැල්මකින් මදෙස බැලුවේ මන්දැයි සිතමිනි. අප දෙදෙනා මීට පෙර දැක තිබුණේ එක වරකි.

නාදුනන මට ඇය නපුරු වන්නේ ඇයිදැයි මම සිතුවෙමි. මිසිස් පෙරේරා හෝ වෙනයම් කෙනෙක් මා ගැන ඇයට කුමක් හෝ පවසා ඇත්දැයි මම සිතුවෙමි. නමුදු වරදක් නොකළ මා ගැන ඔවුන් කුමක් පවසන්නේ දැයි මට සිතුණි. නර්මදා පැමිණි විගස ආපසු යන්නට ගියාය. මට අයිතියක් නොවූ දේ නිසාද තැවෙන්නට සිදු වූයේ මටය.

නර්මදා නොපෙනී යනතෙක්ම මම බලා සිටියෙමි. ඈ පිටව ගයෙ මගේ සිතට තවත් බරක් එක් කරමිනි. කියාගත නොහැකි සේ සිත තනිකමින් පීඩා විදින්නට විය. මිසිස් පෙරේරා පැවසුවා සේ මා නිෂ්පාදන අංශයේ වැඩ කළේ නම් මේ කිසිවක් සිදු නොවන්නට තිබුණි. එසේනම් කිසිවෙකු මා ගැන විශේෂයෙන් නොසලකනු ඇත. සියල්ල සිදුව්නනේ මගේ අවාසනාවටයැයි මට සිතුණි. සිත නිවාගන්නට උත්සාහ කළද ඉන් පලක් නොවීය. මසිත මටම රිදවන්නට විය.

කාංචන මුදන්නායකට දුන් ලිපිවල අඩුපාඩු තිබේ දැයි මම සැකසිය යුතුව තිබුණ නිසා මම නැවත ඔහු සොයා ගියෙමි. විවර වූ දොර අතරින් මා දුටුවේ ඔහුමදැයි මට විශ්වාස නොවීය. මොහොතකට පෙර සන්සුන්ව සිටි ඔහු සිටියේ දෑතින් හිස බදාගෙනය. ඔහුගේ දෑගිලි නොඉවසිල්ලෙන් හිසකෙස් අතර දිවයන්නට විය. මා බැලුවේ ඔහුගේ මුහුණ දෙසය. ඒ දෙනෙත් රතු වී තිබුණි. රතු වූ දෙනෙත් වල වේදනාවක් නොව කෝපයක් විය. මා ඔහු අසළට ලං වූයේ ගැහෙන සිතින්ය. ඔහු මෙතරම් කෝප වී ඉ්නනේ මන්දැයි මට සිතුණි. ආපසු යන්නට සිතුවද ආදුර වැඩි යැයි මට සිතුණි. ඔහු මදෙස බැලුවේ නපුරු බැල්මෙන්ය.

“ඇයි..?”

ඉදිරියට ගිය මා පසුපසට යැවීමට තරම් ඒ හඩ රළු විය.

“සර්.. ලියුම් ටික..”

මා වචන ගලපා ගත්තේ අපහසුවෙනි.

“ඔය ටිකත් අරන් මෙතනින් යනවා..”

කිසිවක් සිගාත නොහැකිව මේසය මත තිබුණු ලිපිත් රැගෙන මම ආපසු හැරුණෙමි. මගේ දෙපා ගැහෙන්නට විය. ඔහු මෙතරම් කෝප වී සිටිනවා මින් පෙර නොදුටුවෙමි. ඔශුගේ මේ නපුරුකම මගේ දෙනෙත් කඳුළින් පුරවන්නට සමත් විය. මා ඉක්මනින් දොර අසළට ළං වූයේ තවත් බැණ වදීවියැයි සිතුණ නිසාය.

“අරුන්දිකා..”

මා ඉදිරියට තැබූ දෙපා නතර වූයේ ඔහුගේ සන්සුන් හඩටය.

සියල්ලෙන් රිදවූයේ මසිතය. මේ සියල්ලත් නොසිදුවන්නට මට සිනාසෙන්නට පුළුවන් වනු ඇත. අම්මා මිය නොයන්නට අප්පච්චී අසරණ නොවන්නට මටද සන්සුන්ව හිඳීමට හැකිවනු ඇත. මසිත නොරිදවූ එකම පුද්ගලයාද මසිත පෙලීය. කඳුළු පිරී ගිය දෙනෙතින් මම ඔහු දෙස බැලුවෙමි. මේ වෙනස තෝරා බේරා ගන්නට යාමෙන් සිදුවූයේ මසිත විඩාවට පත්වීඹ පමණි.

“ඔය ටික ගේන්න...”

කිසිවක් සිතාගත නොහැකිව මම නැවත ඔහු අසළට ලංවිමි. ඔහු නිසොල්මන්ව ලිපි අත්සන් කරන්නට විය. ඔහුගේ නෙතු අතර සිරවී රිදුනේ මසිතය.  මොහොතකට පෙර නපුරු වූ ඔහු දැන් නිහඩය. සන්සුන්ය. ඔහුගේ කෝපය අසරණ මා වෙතින් පිට කරන්නට මා කළ වරදක් නොවීය. සියල්ලන් රිදවූයේ මසිතය. රිදවන්නට මා කළ වරදක් නොවීය. රිදෙනා බව දැන දැනත් රිදවූයේ වරදක් නොකළ මසිතය.

පසුවදා උදෑසන දිසානායක මහතා වැඩට පැමිණීයේය. ඔහු පැමිණීමෙන් මසිතට දැනුණේ අපමණ වූ සතුටකි. මට තිබුණු වැඩ අධික නිසා නොව වචනයක්වත් කතා කිරීමට සිටියේ ඔහු පමණක්ම නිසාය. පෙර මෙන් මට සැහැල්ලුවෙන් කතා කිරීමට සිනාසීමට යළිත් පුළුවන් විය. ඔහුගේ කරුණාව මා අසරණ කමින් මුදාලීය.



No comments:

Post a Comment