Friday, August 31, 2012

| අරුන්දිකා | සංජීවනී අටලුගම |


අක්කේ... අක්කේ...

මම දෑස් හැර බැලුවේ ලොකු නංගීගේ කෑගැසිල්ලටය.

ඔයා වැඩට යන්නෙ නැද්ද..? හොඳටම දවල් වෙලා..

හතර වටින් යන්තමින් එළිය වැටෙමින් තිබුණි. මා නැගිටින්නට සැරසුණද ඇඟට දැනුනේ අපහසුතාවයකි. හිස පුපුරන්නට තරම් වේදනාවක් දැනෙන්නට විය. නළලට අතතියා බැලූ විට දැනුණේ ගින්දරක් තරම් රස්නයකි. මා යළිත් දෑස් පියා ගත්තේ නැගිටීමට තරම් ශක්තියක් නොවුණ නිසාය. චුට්ටී මා පසෙකින් නිදා උන්නද ලොකු නංගී පෙනෙන්නට නොසිටියාය. ටික වේලාවකින් කුස්සියේ ඇසුණු ශබ්ද නිසා ඈ අවදි වී ඇතිබව මම දැනගතිමි. ඉක්මනින් උයාගත්තේ නැත්නම් වැඩට යාමට ප්‍රමාද වේ. එසේම නංගිලා දෙදෙනාට පාසල් යාමට සිදුවන්නේ බඩගින්නේය. අපහසුවෙන් වුවද මම නැගී සිටියෙමි. හිස කැරකෙන්නට විය. මා කුස්සියට යන විට ලොකු නංගී හාල් ගරමින් සිටියාය.


ඉන්න ලොකු නංගි.. මම උයන්නම්.. ඔයා පොතක් බලාගන්න..

දැන් වෙලා නෑ අක්කෙ..

හිස කැරකෙන්නට වූ නිසා මම බංකුවේ හිඳගතිමි.

ඇයි අක්කෙ..?

ඔලුව රිදෙනවා..

ලොකු නංගී මා අසළට විත් නළලට අත තබා බැලුවාය. ඇගේ අත්ලේ සීතල මට දැනුණේ සනීපයකි.

දෙවියනේ ඔයාට හොඳටම උණ..

ඇගේ දෑස් විසල්ව තිබුණි.

ඔයා නිදාගන්න අක්කෙ මම උයන්නම්..

ඕන නෑ තව ටිකකින් අඩුවෙයි. වැඩට යන්න ඕනනේ..

අද වැඩට යන්න එපා.. ඔහොම කොහොමද වැඩට යන්නෙ..

තවත් හිස ඔසවා සිටීමට අපහසු වූ නිසා මම කාමරයට ගොස් පැදුරේ ඇලවුණෙමි.

අක්කේ.. අක්කේ..

යළිත් මා අවදිවූයේ ලොකු නංගීගේ හඩිනි. මම දෑස් හැර බැලූ විට හොදටම දවල් වී තිබුණි.

මම කොත්තමල්ලි ටිකක් තැම්බුවා.. බොන්න අක්කෙ..

ඔයාලා ඉස්කෝලෙ ගියේ නැද්ද තවම..?

මම ගෙදර ඉන්නම්.. චුට්ටිට යන්න කියමු..

එපා.. එපා.. ඔයා යන්න.. මම අඩු උනේ නැතොත් බේත් ගන්න යන්නම්.. ඔයාට විබාගෙත් ලඟයිනේ..

ඉක්මනින් හැද ගත් ලොකු නංගී පාසල් ගියේ අකමැත්තෙනි. මම අපහසුවෙන් නැගිට පැදුරේ හිඳගතිමි. කොත්තමල්ලී කෝප්පය දුම් දමමින් තිබුණි. එය අතට ගත් මම නහයට ලං කර සුවද බැලුවෙමි. නහයට දැනුණේ අපුලකි. දිවට දැනුණේ අධික තිත්ත රසය අපහසුවෙන් දරා ගනිමින් මම කොත්තමල්ලී කෝප්පය බිව්වෙමි.

මා නිසාවෙන් තැවෙන අප්පච්චී දෙස මම බලා සිටියේ ශෝකී සිතුවිල්ලකිනි.

අපි බේත් ටිකක් ගන්න යමු පුතේ..

අඩු උනේ නැත්නම් යමු අප්පච්චි..

නැගිට ඇවිද ගැනීමට හෝ හිස ඔසවා ගැනීමටවත් ශක්තියක් මවෙත නොමැති විය. ඔහු මා අසළින් ඉවත්වුන පසු මම යළිත් පැදුරේ දිගා උනෙමි. මා අසනීප වූ බව ෆැක්ටරියට දැන්වීමට මාර්ගයක් නොවීය. නොදැන්නුව හොත් කාංචන මුදන්නායකගෙන් බැනුම් අසන්නට වේදැයි මසිත බිය විය. නමුදු ඊට කළ හැකි දෙයක් නොවීය. ඊයෙ සිදුවුන දේ නිසා ගෙදර එන විට මගේ හිස හොඳටම රිදෙමින් තිබුණි. උණ ගැනුනේද උවමනාවටත් වඩා ඒ ගැන සිතූ නිසාදැයි මම සිතුවෙමි. සැබවින්ම මසිත බිය විය. මහේෂ් වනිගසූරිය මගෙන් පළිගනීවියැයි යනඅහේතුක බිය නිතර සිතට වදදුනි. මේ ප්‍රශ්නය කාට හෝ පවසා සිතට අස්වැසිල්ලක් ලබාගත යුතුව තිබුණද පැවසීමට කෙනෙක් නොවීය. ගීතිකාත් සමඟ කතා කිරීමට මගක් නොවූවේ ඔවුන්ට සවස් කාලයේද වැඩ කිරීමට නියමිතව තිබුණු නිසාය. මහේෂ් වනිගසූරිය සිහිවත්ම යළිත් මසිත අවුල්වන්නට විය. ඔහුට ආදරය කිරීමට තරම් නිරවුල් මනසක් මා සතුව නොතිබුණි. වරක් ආදරයේ වේදනා විදි මා තවත් වරක් ආදරය කිරීමට සැරසීම ජීවිතය අවුල් කරගැනීමට මුල පිරීමකි. එසේම මහේෂ් වනිගසූරිය විශ්වාසවන්ත පුද්ලගයකු නොවේ. ඔහුට ආදරය නොකර සිටියද ඔහුගෙන් ගැලවීමක් වේදැයි මට සිතුණි.

දහවල් වන තුරුද උණ අඩු නොවූ නිසා මම බෙහෙත් ගැනීමට සිතුවෙමි. ටවුමට යාමට තරම් ඇගට ශක්තියක් නොවුණ නිසා හන්දියේ වෙදමහතාගෙන් අප්පච්චීත් සමග ගොස් බෙහෙත් ගත්තෙමි. ටවුමට ගොස් බෙහෙත් ගමු යැයි අප්පච්චී පැවසුවද මසිත මෙන්ම ගතද විඩාපත්ව තිබුණ නිසා ඒ අදහස ප්‍රතික්ෂේප කළෙමි. ගෙදර ආ විගස මම යළිත් පැදුරට වැටුණෙමි. අප්පච්චී කුස්සියට ගොස් කසාය උණු කරන්නට විය. එක් අතක් වාරු කරගෙන අප්පච්චී ඔහුට හැකි අයුරින් මට උවටැන් කළේය. සවස්වන විට උණ ගතිය බොහෝ අඩු වී තිබුනි. උදේ සිටම කෑමක් නොගෙන සිටි නිසා ඇඟට වාරු නැතිවිය. ලොකු නංගී රාත්‍රියකට කන්නට කව්වද කෑමක් ගැනීමට තරම් පිරියක් නොවුන නිසා නිරාහාරවම මම නින්දට වැටුණෙමි.


පසුවදා මම වැඩට ගියේ වෙනදාට වඩා බොහෝ සේ ප්‍රමාදවය. ගීතිකා මා එනතෙක් බලන් උන්නාය. මා දුටුවිට ඇගේ මුහුණේ පැතිර ගියේ පුළුල් සිනාවකි. මා ඈ අසළට යාමට පෙර ඇය මට ලංවිය.

මොකද උනේ.. ඇයි ඊයෙ ආවෙ නැත්තෙ..? පණිවිඩයක් දීලත් නෑ.. මම දිසානායක මහත්තයගෙන් ඇහුවා..

ඈ ප්‍රශ්න වැළක්ම අසාගෙන ගියාය.

මට උණ හැදුනා.. පණිවිඩයක් දෙන්න විදියක් තිබුණෙ නෑ..

දැන් හොඳයිද..?

ටිකක් හොඳයි..

ඈ මගේ නළලට හා ගෙලට පිටි අත්ල තැබුවාය.

තවම ඇඟ රස්නෙයි.. ඇයි ආවෙ අසනීප තියාගෙන..

මම නිහඩව සිටියෙමි.

මම යනවා පස්සෙ කතා කරමු..

ඇය ඉක්මන් ගමනින් දිව ගියේ වැඩ පටන් ගැනීමට වෙලාව ලංව තිබූ නිසාය. කාර්යාලය තුළට ගිය මම බෑගය පසෙකින් තබා මේසය වෙත ගොස් හිඳ ගතිමි. සියලු දෙනාගේම නෙත් යොමුව තිබුණේ මා වෙතය.

ඇයි අරුන්දිකා ආවෙ නැත්තෙ..?

දිසානායක මහතා මා අසළඨ ලං වී විමසුවාය.

උණ හැඳුණා..

දැන් හොඳයිද..?

ටිකක් හොඳයි..

බේත් ගත්තද..?

ඔව්..

සුපුරුදු ලෙස මම වැඩකටයුතු වල යෙදුනෙමි. ඊයේ අතපසුව තිබුණු වැඩද රාශියක් විය. අහම්බෙන් මගෙත් මහේෂ් වනිගසූරියගෙත් නෙත් එකට ගැටුණි. ඒ ඔහු කාර්යාලයට ආ මොහොතකදීය. මම අත රැදි ෆයිල් කවරයට ඉක්මනින් මුහුණ ඔබා ගතිමි. කිසිවක් සිදු නොවුනා සේ හිඳින්නට මම උත්සාහ කළෙමි.

මඳක් දහවල් වන විට කාංචන මුදන්නායක පැමිණියේය. පෙරදා වැඩට නොපැමිණීම ගැන ඔහු දොස් පවරතැයි එක්තරා බියක් මසිත විය. නොපැමිණීම ගැන දැන්වීම මගේ යුතුකමකි. මා පුටුවෙන් නැගී සිටියේ සිතේ ඇතිවූ අවිනිශ්චිත හැගීමෙනි. මා කාමරයට ඇතුලුවනු ඔහු දුටුවද නොදැක්කා සේ වෙනත් කර්යයක යෙදුනි. ඉන් මසිත බිය තවත් වැඩි විය. සිතට බියක් දැනුණද මම සෙමෙන් ඔහුගේ මේසයට ලංවිමි. තවමත් උණගතිය තිබුණ නිසාදෝ මගේ දෑත් වෙව්ලන්නට විය. ඔහු හිස ඔසවන තෙක් මම නිහඩව සිටියෙමි. තත්පර කිහිපයක් එලෙසම ගෙවුණි.

ඇයි..?

අසනීප වුණ නිසා ඊයෙ වැඩට එන්න බැරි උනා සර්..

මම අපහසුවෙන් වුවද වචන ගලපා ගතිමි.

හ්ම්.. යන්න..

එපමණකින් ඔහු නිහඬවිය. ආපසු හැරී මා ආවේ සැහැල්ලු සිතිනි.

එක දිගටවැඩ කළ නිසාදෝ දහවල් වන විට යළිත් හිස රිදුම් දෙන්නට විය. හිසට අත තියාගත් මම දෑස් වසාගෙන සිටියෙමි. නමුදු වේදනාවේ අඩුවක් නොවුණි. මා අත් බෑගයේ තිබුණු පෙනඩෝල් පෙති දෙකක්ද රැගෙන බිව්වේ යළිත් උණ ගැනේවියැයි සිතාය. යළිත් මම වැඩ කළෙමි. පසුව හිස රිදීම අඩු වුවද උණ ගතියක් දැනෙන්නට විය. දරාගැනීමට අපහසු වූ තැන මම මේසයට හිස ගසා ගතිමි. වැසී තිබුණු නෙත් පියළි අතරින් කඳුළු ගලා ආවේය.

අරුන්දිකා..

මම අපහසුවෙන් හිස ඔසවා බැලුවෙමි. නාලිකා මිස් හා දිසානායක මහතා මා වටකොට සිටියහ.

ඔයාට අමාරුද..?

නාලනී මිස් මගේ නළලට අත්ල තබමින් ඇසුවාය.

ටිකක් ඔලුව රිදෙනවා..

ටිකක් නෙමේ හොඳටම ඇඟ රස්නෙයි.. ඔයා යන්න ගෙදර..

මටත් නොදැනිම නෙතු අතරින් කඳුළු වැටෙන්නට විය. හිස රිදුම් දුන්නට වඩා මසිත රිදුම් දෙන්නට විය.

හවස් වෙනකොට අඩුවෙයි..

මම ඇඟිලි තුඩු වලින් නළල පිරිමදිමින් පැවසිමි.

ඉන්න අමාරු නම් සර්ට කියලා යන්න අරුන්දිකා.. ඔහොම වැඩ කරන්න බැහැනේ..

දිසානායක මහතාගේ පෙරැත්තය නිසා මම කඳුළු පිසදා ගෙන නැගී සිටියෙමි. මේසය පුරා විසිර තිබුණු ෆයිල් කවර කිහිපය සකසා ලාච්චුවට දමා කාංචන මුදන්නායක සොයා ගියෙමි. වසා තිබුණු දොර හැරගෙන මම ඊට ඇතුලු උනේ නොසන්සුන් වුන සිතිණි. ඔහු මදෙස බලා සිටියේය. මනෙතු බිය කරන බැල්මෙන්ම බලා සිටියේය. අවුල්වුනු සිතින් මම ඔහුට ලංවිමි.

මගෙ ඔලුව රිදෙනවා.. මම ගෙදර යන්නද..?

ඔහු නිහඩව බලා සිටී. ගෙවෙන තත්පරයක් ගානේ මසිත සැලුණි.

ඉන්න අමාරු නම් යන්න.. තනියෙම යන්න පුළුවන්ද..?

පුළුවන් සර්..

ඔහුගේ අවසරයෙන් මම කාමරයෙන් එළියට පැමිණියෙමි. කාර්යාලයේ සැවොම මදෙස බලා උන්නේ විමසිල්ලෙනි. සැමගෙන් සමුගත් මම මහමගට පිවිසුනෙමි. අධික හිරුරැස් නිසාදෝ දෙඇස් රිදෙන්නට විය. බස් නැවතුමට ගිය මා අත් ඔරලෝසුව වෙත නෙත් යොමු කළෙමි. බසය පැමිණිමට තවත් විනාඩි විස්සක් පමණ ඇත. එතෙක් වේලා හිටගෙන සිටීම බොහෝ අපහසු විය. අපහසුවෙන් වුවද විනාඩි කිහිපයක් ගෙවුණි.

බස් නැවතුම පසු කරගෙන ගිය රතු පැහැති කාරයක් මදක් ඉදිරියට ගොස් නැවතුණි. අවශ්‍යතාවයක් නොවුණද මගේ දෑස් එදෙසට දිව ගියේය. රිය කවුළුවෙන් හිස දමා මදෙස බැලූ පුද්ගලයා දැකීමෙන් මසිත තිගැස්සුණි. කාංචන මුදන්නායකගේ රුව මසිත ඇති කළේ බැසැවින්ම බියකි. කිසිවක් සිතාගත නොහැකිව මම එලෙසම සිටියෙමි. මොහොතකින් කාරය මදක් පසුපසට විත් නතර විය.

අරුන්දිකා..

රිය කවුළුවෙන් හිස එළියට දමා ඔහු කතා කළේය. මට උන්හිටි තැන් පවා අමතක විය. නොසන්සුන් උන මම ඔහු අසළට ලංවිමි.

නගින්න..

කිසිවක් පැවසීමටද ඉඩක් නොතියා ඔහු ඉදිරිපස දොර විවර කළේය. මා සිටියේ පියවි සිහියෙන්දැයි යන්න පවා මම නොදනිමි. රියට නැගුණු මම දොර වසා ඔහු දෙස බැලුවෙමි.

අරුන්දිකා බෙහෙත් ගත්තද..?

ඔහු සිටියේ සන්සුන්වය. මසිතේ සැහැල්ලුවක් හෝ සන්සුන් බවක් නොවීය. ගෙවෙන තත්පරයක් ගානේ මසිත අවුල් විණි.

ඔව් සර්..

කොහෙන්ද..?

ගමේ වෙද මහත්තයගෙන්..

මොහොතක් නිහඩව සිටි ඔහු කාරය ආපසු හරවා ගත්තේය.

මම ගල් ගැසී ඔහු දෙස බැලුවෙමි. නමුදු ඔහු නිසලය. කිසිවක් හෝ අසන්නට සිත් වුවද මගේ මුව ගොළුව තිබුණි. මසිත වූයේ අසරණ කමකි. අපි මේ කොහි ය්නනේදැයි අසන්නට මට අයිතියක් තිබුණි. නමුදු මම නිහඬවම සිටියෙමි. ඒ ඇයිදැයි යන්න තෝරා බේරා ගැනීමේ හැකියාවක් මවෙත නොවීය. නොඑසේනම් අධික උණ ගතිය නිසා මට කිසිවක් කියා ගැනීමට පැහැදිළි මානසිකත්වයක් නොවීය. ඔහු නිහඩව රිය පදවයි. මම ද නිසොල්මන්ව සිටියෙමි. නිහඩ බව අතරින් මසිත හඬගෑවේය. කිසියම්ම හැගීමකින් තොරව මම රිය කවුළුවෙන් ඉවත බලාගෙන සිටියෙමි. විනාඩි දහයක පමණ ගමනකින් පසුව ඔහු රිය නතර කළේය. ඉදිරිපස බලා සිටියා මිස මම ඔහු දෙස නොබැලුවෙමි. ඒ මේ නිහඩ පිළිවෙත මසිත මුරණ්ඩු කළ නිසාය. මසිත මෙතරම් අසරණ කරන්නට ඔහුට සිතෙන්නේ මන්දැයි මම නොදනිමි. මෙය ස්වාමියා හා සේවකයා අතර පරතරය ඉක්මවා ගිය සමීපකමකි. ඔහු වෙතින් අවිශ්වාසයක් හෝ අනාරක්ෂිත බවක් මම නොදුටුවෙමි. ඔහු මට සැලකුවේ සහෝදරියකට මෙනි. නමුදු මෙලොව ජීවත් ව්නනේ අප දෙදෙනා පමණක් නොවේ. අප හදුනන කිසිවෙකු හෝ මේ දසුන දුටුවේ නම් එය මහා වියවුලක ආරම්භයකි. මට ජීවිතය පටලවාගෙන බැරිය. විවිධාකාර සිතුවිලි මසිතට නැගුණි. පීඩාකාරී බව හදවතට දරාගත නොහැකිවිය. මනෙතු කදුළු පුරා ආවේය. ඒ සිත තුළ ඇති අසරණ කමටය. නෙතු පුරා කදුළු ගලා ගියේය. නෙතට අහිමි කඳුලට ඉබාගාතේ යන්නට ඉඩදී මම නිසොල්මන්ව සිටියෙමි.

අරුන්දිකා..

මා අසළින් ඇසුනේ ඔහුගේ හඬය.

ඇයි අරුන්දිකා..?

මම පිටි අත්ලෙන් කම්මුල් පිසදා ඔහු දෙස බැලිමි.

ඔයාට අමාරුද..?

නෑ..

ඇයි ඇඬුවෙ..?

ඔහුගේ දෙනෙතින් මිදී මම ඉවත බලා ගතිමි. ඔහුගේ පැනයට දිය හැකි පැහැදිළි පිළිතුරක් මවෙත නොවීය.

ඔයාට බේත් ටිකක් අරගෙන යමු..

ඔහුගෙන් මිදුනු මගේ නෙත් මවෙතට යොමුවිය.

මෙඩිකෙයා සෙන්ටර් සුදු පසුබිමේ රතු පාටින් ලියා තිබුණු දැන්වීම් පුවරුව මගේ නෙත ගැටුණි. මේ කිසිවක අගක් මුලක් සොයාගැනීඹට මට නුපුළුවන්විය.

බහින්න..

රියෙන් බැස මා අසළට ආ කාංචන මුදන්නායක රියේ දොර විවර කළේය. ඔහු දෙස නොබලාම මම බැසගතිමි. ඔහු ඉස්සරවිය. මා ඔහු පසුපස ඇදී ගියේ යන්ත්‍රයක් මෙනි.

ඔයා මෙතනින් ඉඳගන්න..

මට අසුනක් පෙන්වූ ඔහු කවුන්ටරය වෙත ගියේය. නික්ම යන ඔහු වෙත මගේ නෙත් යොමු විය. මේ සියල්ල සිහිනයකයැයි මට වරෙක සිතුණි. ඒ කිසිදින මෙවැන්නක් මා ජීවිතයේ බලාපොරොත්තු නොවුන නිසාය. මොහතෙකින් මා අසළට පැමිණි ඔහු මා පසෙකින් වූ පිටුවේ හිඳගත්තේය. මසිත වෙව්ලා ගියේය. හිස පුපුරා වේදනාදෙන්නට විය. අප හිදගෙන සිටි අසළ වූ කාමරයේ දොර විවර විය. හෙදියක් හිස පිටතට යොමා අපට අඩ ගැසීය.

යමු අරුන්දිකා..

කාංචන මුදන්නායක මදෙස බලා නැගී සිටියේය. මම ඔහු පසුපස කාමරයට ඇතුලු උනෙමි. වෛද්‍යවරයා ඔහු අසළ වූ පුටුව පෙන්විය. මම එහි ගොස් හිඳ ගතිමි. කාංචන මුදන්නායක අප අසළ වූ පුටුවේ හිඳගත්තේය.

මොකද මිස්ටර් වයිෆ්ට..?

වෛද්‍යවරයා එසේ අසත්ම මගේ කන්පෙති මුල හිරිවැටිණි. මනෙත් දිවගියේ ඔහු අසළටය. ඔහුද අපහසුවෙන් මෙන් මදෙස බැලුවේය. මම වහා ඉවත බලා ගතිමි.

උණ ඩොක්ටර්..

දවස් කීයක ඉඳන්ද උණ තියෙන්නෙ..?

වෛද්‍යවරයා උණ කටුව අතට ගනිමින් විමසිය.

දවස් දෙකක් විතර..

උණකටුව මගේ මුව තුළ තැබූ ඔහු අතබැඳි ඔරලෝසුව දෙසට නෙත් යොමු කළේය. උණකටුව අතට ගත් ඔහු වරක් එය  ගසා උවමනාවෙන් එදෙසට නෙතු යොමු කළේය.

බයවෙන්න එපා.. මම බේත් දෙන්නම්.. නම කියන්නකෝ..

අරුන්දිකා..

වයස..

අවුරුදු විසි දෙකයි..

ඔහු බෙහෙත් ලියන අතරතුර මම නෙතු බිමට නැඹුරු කරගෙන සිටියෙමි.

එහෙනම් මේ බේත් ගන්න.. අඩු උනේ නැතොත් එන්න..

කාංචන මුදන්නායක බෙහෙත් තුන්ඩුව අතට ගන්නවා මම නෙත් කොණින් දුටුවෙමි. පුටුවෙන් නැගී සිටි මම නිහඬවම ඔහු පසුපස ඇඳුනෙමි.

අපි ෆාමසි එකෙන් බෙහෙත් ටික අරන් යමු..

ඔහු මදක් මා අසළට සමීප වෙමින් පැවසුවේය. මම ඊට කිසිවක් නොකීවෙමි. කාරයේ දොර ඇරදුන් ඔහු මා හිදගත් පසු දොර වසා අනෙක් පසින් විත් කාරයට නැගුණි. එන අතරමගදී ඔහු නිහඩවම සිටියා මිස කිසිවක් නොකීවේය. මසිතට එය එක්තරා සහනයක් විය. වෛද්‍යවරයා පැවසූ දෙයින් ඔහු දෙස බැලීමටවත් හැකියාවක් මවෙත නොවීය. මා නිසා ඔහු පත්වූ අසීරුතාවය මට හොඳින් වැටහුණි. නමුදු ඊට කළ හැකි කිසිවක් නොවීය. තවත් මද දුරක් පැමිණි ඔහු කාරය පාර අයිනට වන්නට නතර කළේය.

මම බේත් ටික අරන් එන්නම්..

ඔහු අසළ වූ ෆාමසිය වෙත ගියේය. පිටව යන ඔහු දෙස මම බලා සිටියෙමි. මට අප්පච්චී සිහිවිය. නංගිලා සිහිවිය. මේ සියල්ල කාට හෝ පවසා සිත සැහැල්ලු කර ගැනීමට මට අවැසි විය. නමුදු අප්පච්චීට හෝ නංගිලාට මේවා පැවසිය නොහැක. ඔවුන් මේවා කෙසේ නම් තේරුම් ගන්නද..? තවත් විනාඩි කිහිපයකින් ඔහු පැමිණීයේය. ඔහුගේ දෑස නොගැටෙන්නට මම නෙතු බිමට නැඹුරු කරගතිමි.

මේක ගන්න අරුන්දිකා..

සුදු පැහැති ඉටි බෑගයක් ඔහු මවෙත පෑවේය. මම එය දෝතට මැදි කර ගතිමි. මසිත පැතිර ගියේ අසරණ කමකි. මේ ණය කෙසේ ගෙවන්නේදැයි මට සිතාගත නොහැකි විය. එසේම ඔහුගෙන් මෙවැන්නක් බලාපොරොත්තු වීමද මට හොදක් නොවේ. එපා කියන්නට හෝ නොපිළිගෙන ඉන්නට හැකියාවක් මවෙත නොවීය. ඔහු නිහඩවම රිය පැදවිය. මම ඉදිරි මාවත දෙසට නෙත් යොමු කළෙමි. වටරවුමෙන් රිය හරවද්දී ඉදිරියෙන් පැමිණි සුදු පැහැති වෑන් රථයේ වේගය කාරය අසළදී මදක් අඩුවිය. විශේෂත්වයක් නොවුවද මගේ නෙත් දිවගියේ නිරායාසයෙනි. වෑන් රථයේ ඉදිරිපස හිදගෙන සිටි පුද්ගලයා දුටු මසිත වේවලා ගියේය. මනෙතු දිවගියේ කාංචන මුදන්නායක වෙතටය. ඔහුද බලා සිටියේ වෑන් රිය දෙසය.

සියල්ල අවුල් වේදැයි මසිත පැටලිණි. මා නිසා ඔහුද ප්‍රශ්න ගණනාවකට මුලපුරතැයි මට සිතුණි. වෑන් රිය ඉදිරිපස ආසනයේ හිදගෙන සිටියේ මහේෂ් වනිගසූරියයි. ඔහු අප දුටුවා මට විශ්වාසය. ඉතකින් සියල්ල අවුල්වේයැයි මට සිතුණි. මසිත පැටලුණ නූල් බෝලයක් මෙන් විය. මම කාංචන මුදන්නායක දෙස බැලුවෙමි. ඔහු ඉදිරිපස බලාගෙනම රියපදවයි. බස්නැවතුම ආසන්න වන විට මම කටහඬ අවදි කලෙමි.

සර්..

ඒ නෙත් කල්පනාවෙන් බර විය.

මම මෙතනින් බහින්නම්..

ඇයි..?

මම බස් එකේ යන්නම්.. සර්ට කරදරේ මම නිසා..

කියන්න සිතුණ දෙයින් අංශු මාත්‍රයක්වත් ඔහුට අවබෝධ වූවේදැයි නොදනිමි.

මම ගේ ළගට ගිහින් දාන්නම්..

තවත් කිසිවක් කීමට මට සිත් නොවේ. ඒ ඔහුගේ සිත රිදේවි යැයි බියෙනි. එසේම ඔහුගේ සිතත් අවුල්ව ඇතැයි මට සිතුණි. ඔහුට මා නිසා ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවනු ඇත. මහේෂ් වනිගසූරිය අප ගැන කෙසේ සිතාවිදැයි යන්න මසිත අවුල් කළේය. නිසැකවම ඔහු මා ගැන වැරදි ආකාරයෙන් සිතන බව මට විශ්වාසය. ඔහු නර්මදාගේ ඥාතියෙකි. ඔහු මගෙන් පළිගනීවියැයි යන සිතුවිල්ල පවා මා බියට පත් කළේය. දරාගත නොහැකි සුසුමක් මුවින් පිටවිය. ඉදිරියෙන් පැමිණි වාහනයක ගැටෙන්නට ගිය කාරය මහ හඬින් තිරිංග තදකර ඔහු නතර කළේය. අප පසුකර ගිය වාහනයේ සිටි පුද්ගලයා රිය කවුළුවෙන් හිස දමා මොනවදෝ කියවාගෙන ගියේය.

අනේ සර්.. පරිස්සමින් යමු..

නොසිතාම මගේ මුවින් එවදන් පිටවිය. සිත නැගුණු බියටත් වඩා මසිතේ වූයේ පීඩාවකි.

බය වෙන්න එපා.. මම මරුණත් ඔයාට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ..

ඔහු සිනාසෙමින් පැවසුවද මසිත පිච්චී ගියේය.

මම මැරෙන්න බය නෑ..

මා පැවසුවේ සත්‍යයකි.

ඇයි ඔය තරම් අමාරුවෙන් හුස්ම ගන්නෙ.. ඔයා දිහා බලන්න ගිය නිසයි ඉස්සරහින් ආපු වාහනේ දැක්කෙ නැත්තෙත්..

ඔහු යළිත් කාරය පණගැන්වූයේ මසිත අවුල් කරවමිනි. සියල්ලෙහි වැරදිකාරයා මමය. ඔහුගේ සිතුවිලි අවුල් කරන්නේද මමය. මේ ප්‍රශ්න වලට කෙසේ මුහුණ දෙන්නේදැයි මට සිතුණි. ඔහු මා සොයා නාවා නම් මේ කිසිදු ප්‍රශ්නයක් ඇති වන්නේ නැත. එය මගෙ අවාසනාවකි. නිවස අසළට එනතුරුද අප ගොලුවන් සේ සිටියෙමු. කඩුල්ලට මදක් මෙහායින් ඔහු රිය නතර කළේය. ඒ නෙත් ගැටෙන මොහොතේ මම ඉවත බලා ගතිමි. නොඑසේ නම් අවුල් වන්නේ මසිතය. නමුදු කිසිවක් කියන්නට මසිත මුරගෑවේය. කොතනකින් ආරම්බ කළයුතු දැයි මට නොවැටහුණි.

මට සමාවෙන්න..

ඒ හඩ ඔහුට ඇසුණේදැයි මම නොදනිමි. රෝගී තත්වය නිසාම නොව මගේ සිත විඩාවට පත්ව තිබුණි.

ඇයි අරුන්දිකා සමාව ඉල්ලන්නෙ..?

මම නිසා සර්ට ප්‍රශ්න ඇතිවෙයි..

සිත තුළ පැන නැගි බොහෝ සිතුවිලි කෙටියෙන් මම හෙළි කළෙමි.

මට තේරෙන්නෙ නෑ ඇයි එහෙම කියන්නෙ කියලා..

එය මට විශ්වාස කළ නොහැකි විය.

මම සර්ට කරදරයක් වුණා..

මනෙතට කඳුළු පුරා ආවේය.

ඔයාට පිස්සු..

කිසිවක් නොවුනාසේ ඔහු සිනාසුනි. මා ඔහු දෙස බලා සිටියේ පුදුමයෙනි. ඔහුට මෙතරම් සැහැල්ලුවෙන් සිනාසෙන්නට හැකියාවක් ඇතැයි මම නොසිතුවෙමි.

ඔයා යන්න.. උවමනා නැති දේවල් හිතන්නෙ නැතුව බේත් බීලා වැඩට එන්න..

වැඩිහිටියෙකු කුඩා දරුවෙකුට ඔවදන් දෙන්නා සේ ඔහු කියාගෙන ගියේය. බෑග් දෙක අතට ගත් මම රියෙන් පිටතට පැමිණියෙමි. ඔහු බලා සිටියදීම මම ගෙදරට ගියෙමි.

මා වැඩට ගියේ තවත් දින කිහිපයකට පසුවය. උණ සම්පූර්ණයෙන්ම සුව වුවද වැඩට යාමට තරම් ශක්තියක් මවෙත නොවීය. අපහසුවෙන් වුවද හිත හදාගන්නට මම උත්සාහ කළෙමි. කාර්යාලයට ඇතුලුවන මොහොතේ මසිත පසුබා ගියේය. මා නොමැති වූ දිනයන් හී මොනවා සිදුවන්නට ඇතිදැයි මසිත පැටලිණි. මහේෂ් වනිගසූරිය කෙසේ මදෙස බලාවිදැයි මසිත පැවතියේ සැකයකි. ඔහු මා ගැන කාර්යාලයේ අය හා පවසා ඇත්දැයි මසිත බියවිය. නමුදු කළ හැකි අන් කිසිවක් නොවිය. මා වරදක් නොකළ විශ්වාසය පමණක් මසිත ඉතිරිව තිබුණි. ඒ සිතුවිල්ලේ ශක්තියෙන් මම හිස ඔසවා අවට බැලුවෙමි.

මා කාර්යාලයට ඇතුලු වන විට පැමිණ සිටියේ මිසිස් මානෙල් පමණි. මා ඇය දෙස වෙදනාටත් වඩා උවමනාවෙන් බැලුවේදැයි මට සිතුණි. ඒ ඇගේ ඉරියව් නිරීක්ෂණය කරන්නට සේය. ඈ සිනාසී දෙස බැලුවද සිනාසෙන්නට මට අමතක විය.

අරුන්දිකා.. දැන් සනීපද..?

ඈ මා අසළට ලංවී විමසුවාය.

ඔව්..

ඈ වෙතින් කිසිදු වෙනසක් හෝ දැන ගැනීමට නොහැකිය. එසේම ඈ යමක් දන්නේ නම් මෙලෙස මා සමග සුහදව කතා කරන්නේද නැත. කාර්යාලයෙන් මිදුනු මනෙතු දිව ගියේ ඈතින් පිහිට නිෂ්පාදන අංශය වෙතය. වැඩ පටන් ගැනීමට ආසන්න වූ නිසා ළමයින් ඉක්මන් ගමනින් එදෙසට ඇදුනහ. ඒ අතර ගීතිකාද විය. මා අදත් නොඑන්නට ඇතැයි ඇය සිතන්නට ඇත. නොඑසේ නම් ඇය මා සොයා කාර්යාලයට පැමිණෙයි.

මගේ නෙතු දිව ගියේ ඔහු සෙවීමටය. නමුදු දෑසට හසුවන මානයක ඔහු නොමැති විය. මහේෂ් වනිගසූරිය නොදැකීම සිතට එක්තරා අස්වැසිල්ලක් විය. මේසය අසළට ගිය මම අත්බෑගය පසෙකින් තබා හිඳගතිමි. පසුගිය දින වල අතපසු වූ වැඩ කිරීමට සන්සුන් වන්නට මම උත්සාහ කළෙමි.

අරුන්දිකා.. ෆයිල් ටික මම කලා.. අඩුපාඩු තියෙනවද කියලා බලන්න..

දිසානායක මහතා මා අතට ෆයිල් කවර කිහිපයක් දුන්නේය.

ගොඩක් ස්තුතියි මිස්ටර් දිසානායක..

ඕක මොකක්ද අරුන්දිකා.. දැන් සනීපද..?

දැන් නම් හොඳයි..

දහවල් වනතුරු හිස ඔසවා බැලීමට නොහැකි තරම් වැඩකටයුතු විය. මා ඒ සියල්ල කලේ කල්පනාවෙනි. සිත තුළ නොයෙක් පෙරලී ඇති වුවද මම ආයාසයෙන් ඒ සිතුවිලි වැඩ ගතිමි. අහේතුකව එක් ඇසිල්ලක මම හිස ඔසවා බැලිමි. ඒ මොහොතේ මනෙතු ගැටුනේ මහේෂ් වනිගසූරියයි. කාර්යාලයට පැමිණ ඔහු දෑස් යොමුව තිබුණේ මදෙසටය. ඒ දෑස්වල තිබුණේ කුමන හැඟීමක්දැයි මම නොදනිමි. ඔහුගේ නෙතු මා බියට පත් කිරීමට තරම් නපුරු විය. මසිත තිගැස්සුණි. ඔහු සෙමෙන් සෙමෙන් ලංවුනේ මා අසළටය. මගේ නෙතු බිමට නැඹුරු විය.

ඊයෙ බඩු වගයක් ගෙනාවා.. මෙන්න බිල්..

ඔහුගේ හඩ මට ඇසුනේ ඈත ලොවකින් පාව එන්නාක් මෙනි. ඔහු බිල්පත් කිහිපයක් මේසය උඩ තැබුවේය. එය තැබුවා නොව විසි කළේය. මනෙතු එක්වර ඔහු දෙසට යොමු විය. ඔහු මදෙස නොබලාම ආපසු හැරුණේය. ඔහු පිටව ගොස් බොහෝ වේලාවක් යනතුරුද මසිත පැවති බිය අඩුවක් නොවිය. ඔහු නිහඩව පවසන්නේ මා වරදක් කළ බවද..? ඔහු මා බියට පත් කරන්නේ ඒ වරදට පළිගැනීමට මෙනි. මගේ දෑත් වෙව්ලන්නට වූ නිසා අතරැදි පෑන මේසය මතට වැටුණි. විසිරී තිබුණු බිල්පත් අතටගත් මම මොහොතක් එදෙස බලා සිටියෙමි.

සිත තුළ නොසන්සුන්කම නිසාම මට වේලාව ගතවෙනවා නොදැනුණි. කෑම වේලාවද ලංව තිබුණ බව මට වැටහුණේ ෆැක්ටරිය දෙසින් ඇසුණු ළමයින්ගේ කතාබහ නිසාය. මිස් නාලනී හා මිසිස් මානෙල් අසුන්වලින් නැගිටිනවා මම නෙත් කොනින් දුටුවෙමි. කෑම කන්නට තරම් පිරියක් හෝ කුසගින්නක් මවෙත නොවීය.

මේ සියල්ලෙන් මිදී කොහේ හෝ තනිවෙන්නට ඇත්නම් යයි මට අනේකවර සිතුණි. සියල්ල සිතට මහමෙරක් තරම් විය. මසිතට යන්තම් හෝ අස්වැසිල්ලක් වූයේ මා සොයා එන ගීතිකා දැකීමෙනි. ගෙවී ගිය දිනයන් හී ඇය සමග කතා කිරීමට තරම් කාලයක් නොවුණි.

ගීතිකා..

සිත දවාලූ නොයෙක් සිතුවිලි සියල්ල යටපත් කර සිනාසීමට මට ඇගේ දසුන සමීප විය.

කොහොමද ඉතින්.. මම හිතුවෙ අදත් එන්නෙ නැතුව ඇති කියලා.. මහේෂ් සර් ඔෆිස් එක පැත්තෙ ඉඳලා යනවා දැකලා මම ඇහුවා ඔයා ඇවිත්ද කියලා.. එයා අද උදේ අනිත් පැත්තෙන් නැගිටලද කොහෙද..? ඕනනම් ගිහින් බලාගන්න කිව්වා..

ඈ සිනාසෙමින් කියවගෙන ගියාය. මසිත තිගැස්සුණි. ඔහුගේ මේ වෙනස මා නිසා ඇති වූවක් බව මට විශ්වාසය. මගේ මුවින් නොදැනුවත්වම මහා සුසුමක් පිටවිය. දෙතොළඟ රැදුණු සිනාව වියැකී  ගියේය.

ඇයි අරුනි.. මොකද එක පාරටම උනේ..?

ගීතිකා මදෙස බැලුවේ විමසිල්ලෙනි.

නෑ මුකුත් නෑ..

මම ආයාසයෙන් මුවගට සිනාවක් නගා ගතිමි.

ඉතින් දැන් උණ සනීපද..?

ඈ මගේ ගෙලට පිටි අත්ල තබා බැලුවේය.

දැන් නම් හොඳයි.. පහුගිය දවස් ටිකේ නම් හරියට අමාරු උනා..

අරුන්දිකා ලන්ච් ගන්නෙ නැද්ද..?

දිසානායක මහතා පුටුවේ හිඳගෙනම විමසුවේය.

මිස්ටර් දිසානායක යන්න.. මම තව ටිකකින් එන්නම්..

ඔහුගෙන් මිදුනු නෙත් ගීතිකා වෙත යොමු විය.

අදත් හවස වැඩද..?

මේ සියල්ල ඇයට පවසා සිත සැහැල්ලු කරගැනීමේ අවශ්‍යතාවය මට වඩාත් දැනෙන්නට විය. සිතට සැහැල්ලුවක් නොලැබුණද සියල්ල පැවසීමට මට සිතුනෙමි. මා තනිවී ඇති සෙයක් මට දැනුණි. ඇගේ පිහිට මට අවශ්‍ය විය.

ගිය සතියෙ හදිසි ඕඩර් එකක් ආවා.. හවස ඉන්න  ඕනා.. ඇයි..?

මසිත කඩා වැටුණි. සියල්ල තව දුරටත් සිතේ සිරකරගෙන පීඩා විඳීමට මට නොහැකිය.

ඔයාට කියන්න කාරණාවක් තියෙනවා ගීති..

ඈ විමසිල්ලෙන් මදෙස බැලුවාය. ඒ දෑස් වල තිබුණේ ප්‍රශ්නාර්ථයකි.

ඇයි මොකක්ද..?

දැන් කියන්න බෑ.. නිදහසේ කියන්න ඕන.. පස්සෙ දවසක කියන්නම්..

ඈ මගෙන් මිදී ගියේ විසිරුණු සිතින් බව මට විශ්වාසය. මගේ දුක් කරදර ඇගේ දුක් කරදර කරගෙන ඈ බොහෝ සිතන බව මම දනිමි. එය වරෙක මට ඉහිලුම් නොදෙන්නක් විය. ඈ පෙර කලෙක මගේ සොයුරියක් වන්නට ඇතැයි මට සිතුණි. ඇය මවක් සේ මට ඔවදන් දෙයි. බොහෝ විට තැලුණු මසිත සුවපත් කරයි.. අම්මා..! මගේ උගුරේ යමක් හිරවෙන්නාක් සේ දැනුණි.. මේ සියලු වේදනාවන්ට හේතුව ඇගේ රැකවරණය අහිමිවීම නොවේදැයි මට සිතුණි. පෙරකල සිට මා බොහෝ පව් පුරන්නනට ඇත. ඇය වෙනුවෙන් හඩා වැටීමට මනෙතු අග තවත් කඳුළු බිදු තිබේදැයි මම නොදනිමි. නමුදු මගේ දෑස කඳුළු පටලයකින් වැසී ගියේය.

අරුන්දිකා.. ලන්ච් වලට යන්නෙ නැද්ද..?

මා පියවි ලොවට පැමිණියේ මිස් මානෙල්ගේ හඬින්ය. ඇයට නොපෙනෙන්නට කදුලු පිසදාගත් මම බත්පතද රැගෙන නැගී සිටියෙමි.

මම ලන්ච් රූම් එක වෙත ගියේ නොසැලකිල්ලෙනි. කෑමට තරම් පිරියක් මවෙත නොවීය. මා යන විට එහි උන්නේ දිසානායක මහතා පමණි.

මම කාලා ඉවරයි.. අරුන්දිකා කාලා එන්න..

ඔහුත් නැගී සිටියෙන් මම තනි උනෙමි. මම සිතුවිලි අතර වල්මත්ව සිටි වේලේ කාමරයේ දොර හැරෙනු යාන්තමින් දුටුවෙමි. මසිත තිගැස්සුණි. දොර හැරගෙන ඇතුළට එන්නේ කවුරුන්දැයි යන්න පවා සිතීමට මවෙත ඉඩක් නොවුණි.

මනෙතු බිමට නැඹුරු විය. ඔහු දෙස බැලීමට තරම් ශක්තියක් නිවැරදි බව දන්නේ මා පමණකි. ඔහුගේ සිතුවිලි නිවැරදි නොවේයැයි පවසන්නට මවෙත ශක්තියක් නොවේ. ඒ ඔහු දෑසින් දුටු දෙයක් සත්‍යයෙන් තොර යැයි නොපිළිගන්නා හෙයිනි. නමුදු ඔහු දන්නා සත්‍ය කුමක්ද..? එය පහදා දෙන්නට මගක් හෝ මවෙත නොවීය. එසේම තත්‍ය පහදා දෙන්නට තරම් මා ඔහු වෙත බැඳී නැත. එසේ කළ මා තවත් තැවෙන්නේ කුමකටදැයි මම සිතුවෙමි. එය එසේ වුවද සියල්ල සන්සුන් වෙතැයි මා කෙසේ සිතන්නද..?

කාමරයට පැමිණ මහේෂ් වනිගසූරිය කෑම පාර්සලය මේසය මත තබා අත සෝදනවා මම නෙත් කොනින් දුටුවෙමි. ඔහු අසළින් මිදී  පැන දුවන්නට සිත් වුවද ඔහු මඟ හැරීමට උත්සාහ කිරීමෙන් මා වරදක් කරා යැයි නිරායාසයෙන්ම ඔහු තීරණය කරනු ඇත. අපහසුවෙන් වුවද මම එලෙසම සිටියෙමි. මේසය අනෙක් කෙළවරේ මා ඉදිරිපටි තිබුණු පුටුවේ ඔහු හිඳගත්තේය. හිස ඔසවා නොබලන්නට මම තීරණය කළෙමි. ඔහු අද බොහෝ සන්සුන් යැයි මට සිතුණි. ඒ සන්සුන්කම නොසන්සුන්කමේ ආරම්භයදැයි මට නොවැටහුණි. මෙතෙක් වේලා අත ගගා සිටි බත්පත ගුලි කොට මම නැගී සිටියෙමි.

පැනලා දුවන්න හදන්න එපා..

ඒ හඩ වේගවත්ය. ඔහුට එතරම් වේගයෙන් කතා කිරීමට හැකි බව මම දැන සිටියද එලෙස කතා කිරීමට අයිතියක් තිබේදැයි මම නොදනිමි.

මම කාලා ඉවරයි..

කුමක් හෝ කියන්නට සිදු වූ නිසා ම එලෙස පැවසිමි.

මම දැක්කොත් තමයි බයේ දුවන්නෙ..

ඔහු සූක්ෂම ලෙස මාතෘකාවට පිවිසුනා යැයි මට සිතුණි. ඉතිකින් මේ සන්සුන් බවේ අනන්තය වන්නට ඇත. මා කුමක් කිව යුතු දැයි මට නොවැටහුණි.

මම දන්නවා සර් කියන්න හදන දේ..

මගේ හඬ බිඳිණි. මේ තරම් අසණ වන්නට සිදුව්නනේ මගේ පව්කාරකමටය. ඔහු මා පෙලන්නට සැරසෙන්නේද මගේ  අසරණකම දැනගෙනය. කෙසේ වුවද සියල්ල කියා අවසන් කළ යුතුයැයි මට සිතුණි. නොඑසේ නම් මට විඳවන්නට සිදුවනු ඇත.

සර්.. මොකුත් නොදැනයි මේ විදියට මට කතා කරන්නෙ..

නෙතට කඳුළු නොනැගෙන්නට මම ප්‍රවේශම් විමි.

මගේ ඇස් දෙකට දැක්ක දේවල් බොරු කරන්න හදන්න එපා.. තව එකක්.. මම දැක්ක නිසා හොදයි.. මේ ෆැක්ටරියෙ වෙන කවුරු හරි දැක්කා නම් අරුන්දිකා අද ඔලුව උස්සගෙන මෙහෙ ඉන්නෑ..

ඔහු සියල්ල තීරණය කර හමාරය. ඔහු දුටුවේ කුමක්ද..? ඒ කාංචන මුදන්නායකගේ කාරයේ පැමිණි බව පමණි. ඔහු සියල්ල තීරණය කර ඇත්තේ ඒ දසුණෙනි.

අරුන්දිකා දන්නවද කාංචන මැරි කරන්න ඉන්නෙ නර්මදාව..

මම දන්නවා..

දන්නවා නම් එයාගෙ කාර් එකේ ගියේ මොනාටද..?

මගේ අප්පච්චීත් මෙතරම් වේගයෙන් මට කතා කර නැත. මනෙතු කඳුලු පුරා ආවේය. නිකරුනේ ඔහු මා සැක කරයි.

සර් හිතන දෙයක් සිද්ධ වෙලා නෑ.. මට ඕනකමක් නෑ අනුන්ගෙ දෙයක් අයිති කරගන්න..

කඳුළු අතරින් මම එලෙස පැවසුවෙමි.

අයිති කරගන්න ඕන නෑ.. ඔහොම ගියාම ඇති..

ඔහු මේ තරම් අශීලාචාර පුද්ගලයෙක්දැයි මම නොදැන සිටියෙමි. මගේ නෙත කදුළු අලුත් වූයේ වේදනාවට නොව ඔහුගේ නොහික්මුණු කතාවටය.

මිස්ටර් මහේෂ් වනිගසූරිය.. පව් කතා කියන්න එපා..

මම කිසිදා මෙතරම් සැරෙන් කාටවත් කතා කර නැත. මසිත ඔහු පිළිබඳව ඇතිවූයේ කෝපයකි.

පව් වැඩ කරන්න හොඳයි.. කියන්න හොඳ නෑ..

ඔහුගේ දෙනෙතින් කෝපය පිටවිය. ඒ දෙනෙත් දෙස බැලීමට තරම් ශක්තියක් මට නොවීය. ඔහු දෙස නොබලාම මම කාමරයෙන් පිටතට පැමිණියෙමි. මගේ දෙනෙතින් කඳුළු ගලා හැලෙන්නට විය. මහා විනාශයක ආරම්භය එයදැයි මම නොදනිමි. කාංචන මුදන්නායක සොයා ගොස් බැණ වදින්නට තරම් මට සිත්විය. මේ සියල්ල වූයේ ඔහු නිසා නොවේ දැයි මට සිතුණි. මා ඔහුගේ උදව් ප්‍රතික්ෂේප නොකළේ මන්දැයි සිත දොස් නැගීය. පිටතින් සන්සුන් වන්නට උත්සාහ කළද මා දහස්වර සැලුණි.



No comments:

Post a Comment