Friday, August 31, 2012

| අරුන්දිකා | සංජීවනී අටලුගම |


අලුත් නිවසේ වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමට පහුගිය දින කිහිපයේම මා අතින් මග හැරුණි. දින කිහිපයක් අසනීපව සිටි නිසාවෙන්ද යම් තරමක මානසික පීඩනයකින් පෙළුන බැවින්ද ඒ සියල්ල අමතක විය. ඉරිදා දින ඒකාකාරී දිවියට ලැබුණු මද විවේකයේ මම උනන්දුවෙන් යුතුව ඒ වැඩකටයුතු සොයා බලන්නට සිතුවෙමි.

රත්පැහැ ගඩොලින් ඉහළට එසවුනු බිත්ත වලින් යුතු නිවස දැකීමෙන් මසිතට ඇතිවූයේ අප්‍රමාණ සතුටකි. නිවස බැඳි එක් එක් ගඩොලින් මගේ ජීවිතයේ නව ප්‍රාර්ථනවා අරමුණු ඇති වූයේ යැයි මම සිතමි.


මගේ සිතුවිලි මොහොතකට විසිරුනේ පිටුපසින් පැමිණි අප්පච්චී දැකීමෙනි. ඔහු දකිත්ම මම ජනෙල් පඩියෙන් නැගී සිටියෙමි.

අප්පච්චීගේ නෙත් දිව ගියේ විවෘතවූ වහලය වෙතය.

වහලෙට ලී ගන්න ඕන නේද අප්පච්චි..?

නිවස වටා දෙනෙත් යැවූ ඔහු මදෙස බැලුවේ පසුවය.

ඒක නම් එහෙම තමයි පුතේ.. ඒත් කොහොමද මේ ඔක්කොම කරන්නෙ..?

ඔහු මහා සුසුමක් හෙළමින් මදෙස බැලීය.


උදෑසන මා කාර්යාලයේ වැඩ කරමින් සිටියදී මහේෂ් වනිගසූරිය මා සොයා ආවේය. ඈත තියාම මා ඔහුව දුටුවද නොදුටුවා සේ සිටින්නට සිතිනි. ඔහු මා අසළටවිත් නැවතුන පසු මා හිස ඔසවා බැලුවේ කාර්යාලය වටපිටාවය. සියල්ලෝම තව වැඩකටයුතු වල නියැලුනහ. ඔශු පැමිණි කාරණය කුමක්දැයි සිතන්නට පවා මට නොහැකි වූයේ සිත තුළ පැවති නොසන්සුන්කම නිසාය. මෙසේ ඔහුත් මමත් නෙතු ඉදිරිපිට හමුවූයේ බොහෝ දිනකට පසුවය. බොහෝ අවස්ථාවල ඔහු දුටුවද මම නුදුටුවාසේ ඉවත බලා සිටියෙමි.

අරුන්දිකා මේ බිලත් චෙක් කරනවද..? ප්‍රඩක්ෂන් වැඩ නිසා මට වෙලාවක් නෑ..

පෙර තිබුණු නොසන්සුන් බව ඔහු වෙතින් බොහෝසේ පලාගොස් තිබුණි. මා ඉදිරිපිට සිටින්නේ මහේෂ් වනිගසූරියමදැයි මට සැක සහිත වූයේ ඔහු වෙතින් පෙනුන මහා සන්සුන්බව නිසාය. ඔහු වෙත තිබුණු නොහික්මුණු බැල්මද පලාගොස් තිබුණි. මිනිසුන්ට පුදුමාකාර වෙනස්වීමේ හැකියාවක් ඇතැයි මට සිතුණි. වරෙක මිනිසෙකු වීමටද, වරෙක තිරිසනෙකු වීමටද හැක්කේ ඒ හැකියාව නිසාය. මම කිසිත් කතාබහක් නොමැතිව ඔහු අත තිබූ බිල් පත්ටික ගත්තෙමි.

හවසට හදලා තියන්න..

මා බිල්පත් මත නෙතු යවමින් සිටි මොහොතේ ඔහු පැවසීය. තවත් වරත් මදෙස බැලූ ඔහු යන්නට ගියේය. පිටුපා යන ඔහු දෙස මා බලා සිටියේ හිස් බැල්මෙනි. ඒ බැල්ම දුරදිග ගියා වැඩිදැයි සිතුණ නිසා මම වටපිට බලමින්ම අතරැදි බිල්පත දෙසට නෙත් යොමු කළෙමි.

අරුන්දිකා මිස්..

මා අසල උන්නේ කාර්යාල සේවකයාය. අත රැඳි බිල්පත් සියල්ල පසෙකින් තැබූ මා ඔහු දෙස බැලුවේය.

ලොකු මහත්තයා මිස්ට එන්න කිව්වා..

බිල්පත් කිහිපය එක්කර ෆයිල් කවරයක් තුළට දමා මම හිඳගෙන සිටි පුටුවෙන් නැගී සිටියෙමි.

කාංචන මුදන්නායකගේ ඇමතුමක් කාර්යාලයේ සැමගේම සිත්වල ඇතිකරන්නේ මද තිගැස්මකි. වැරැද්දක් සිදු වී ඇත්නම් තරාතිරම නොසලකා ඔහු දොස් පවරයි. සෙමෙන් දොර විවර කළ මම කාමරයට නෙතු පෙව්වෙමි. ඔහු වැඩකර ඉවර වෙන තෙක් මට බලා හිඳින්නට සිදුවිය.

ඉඳගන්න අරුන්දිකා..

නොසන්සුන් වූ සිතින් මම පුටුවේ හිඳගතිමි.

ඔයාගෙ ලෝන් එක පාස් වෙලා..

අතරැදි පෑන පෑන් රඳවනයේ රදවමින් ඔහු පැවසීය. මසිතට මහා සැහැල්ලුවක් දැනුණි.

ලබන සතියෙ මුදල් ලැබෙයි. බෑන්ක් එකට යවන්න ලියුම් වගයක් තියෙනවා. ඔයා ඒවා අත්සන් කරන්න ඕන.

මේසය මත වූ ලිපි කිහිපයක් අතට ගත් ඔහු ඒවා මාවෙත පෑවේය.

කොහොමද අරුන්දිකා ගෙදර වැඩ..?

මා අත්සන් කළ ලිපි දෙස බලමින් ඔහු විමසිය.

ගොඩක් වැඩ ඉවරයි සර්..

අරුන්දිකා කරන්නෙ පිරිමි කරන වැඩ..

ඔහුගේ වදන්වලට සිනාසුනා මිස මම මොකුත්ම නොකීවෙමි. අතරැදි ලිපි කිහිපය මේසය මත තැබූ ඔහු නෙතු බිමට නැඹුරු කරගෙන මොහොතක් නිහඩව සිටියේය. මගේ වැඩකටයුතු අහවර වූ නිසා මම පුටුවෙන් නැගී සිටීමට සැරසුණෙමි. කාංචන මුදන්නායක එක්වර මදෙස බැලුවේය.

මට ආසයි අරුන්දිකාගෙ ගේ බලන්න..

එවදන් මසිත නොසන්සුන් කළේය.

මම දෙනෙත් විසල් කරගෙන ඔහු දෙස බැලුවෙමි. ඔහු සිනාසුණේය. මසිත වේගයෙන් සැලුණි. ඔහු සිටින්නට ඇත්තේ බොහෝ සන්සුන්වය. මට නර්මදා සිහිවිය. ඈ කී සියල්ල අපැහැදිලිව සිතුවිලි වෙහෙසිය.

අරුන්දිකා..

ඒ හඩ බෙහෙවින් සන්සුන් විය.

ඔය තරම් ඇස් ලොකු කරලා මං දිහා බලන්න එපා.. ඔයා මාත් එක්ක කතා කරන්නවත් කැමති නෑ කියලයි එතකොට මට හිතෙන්නෙ..

සැබැවින්ම ඒ සොදුරු කතාබහට මසිත ඇතිවූයේ බියකි. ඒ මා ඔහුගෙන් එවැන්නක් අපේක්ෂා නොකළ බැවිනි.

ඔයා අකමැති නම් මම එන්නෙ නෑ..

නෑ සර්..

මට කියාගත හැකි වූයේ එපමණකි. මම ඉක්මනින් පුටුවෙන් නැගී සිටියෙමි. එය සාමාන්‍ය කතාබහක් යැයි සිතා සිත සැහැල්ලු කර ගැනීමට නොහැකිවූයේ මන්දැයි මම නොදනිමි. ඔහු බලා සිටියදී මම ආපසු පැමිණියෙමි.


නොසිතූ ලෙස ඉරිදා දිනක නර්මදා මා සොයා ආවාය. ඇගේ පැමිණිම අපේක්ෂා නොකළ දෙයක් නිසා මසිතට සතුටක් සේම නොසන්සුන් කමක්ද ඇති කරලීය.

සුපුරුදු ලෙස ඈ හිඳ ගත්තේ ලී බංකුවේය.

ඇය පැමිණි කිසිම දිනක ගෙතුලට නොආවාය. එය යම් තරමට මසිත පෙලන්නට වූ කරුණක් වුවද ඒ සිතුවිලි මසිතෙන් බැහැර කරන්නට මට පුළුවන් විය.

මම අද ආවෙ අරුන්දිකාව එක්ක යන්න..

මම දෙනෙත් විසල් කොට ඇය දෙස බැලිමි.

මාව.. ඇයි හදිසියෙ..?

හදිසියෙම නෙමෙයි.. මම දවසක් කිව්වෙ ඔයාව අපේ ගෙදර එක්ක යන්න ඕන කියලා.. අද මමීත් නෑ.. ගමනක් ගිහින්.. තනියෙම ඉන්න කම්මැලියි.. අනේ යමු අරුන්දිකා.. ප්ලීස්..

ඇය මගේ වමතින් අල්වා ගත්තීය. ඒ ආයාචනාත්මක හඩ නිසා ඇයට පිටුපෑමට මට සිත් නොවීය.

ඇය ලී බංකුවේ හිදියදීම මම අප්පච්චී අසලට ගියෙමි. ඔහු උනනේ අලුත් ගේ පිටුපසය. නංගිලා ගෙතුළ වන්නට ඇතැයි මට සිතුණේ පෙනෙන්නට නොසිටි නිසාය. නර්මදාට ලොකු නංගී දැක්වූ අකමැත්ත නිසාම ඇය නර්මදා දැකීමට නොපැමිණියාය. මම අප්පච්චී අසළට ගියේ ගමනට කැමැත්ත ලබා ගැනීමටය.

අප්පච්චී..

ඔහු උන්නේ මට පිටුපාය.

අප්පච්චී..

ඔහු හිස හරවා මදෙස බැලීය.

අප්පච්චී නර්මදා මිස් ඇවිත් ඉන්නෙ මාව එයාලගෙ ගෙදර එක්කගෙන යන්න..

ඔහුගෙන් අවසර ලැබේවිදැයි මසිත වූයේ සැකයකි.

ඒ මොකටද පුතේ..?

නිකං අප්පච්චි.. ඒ මිස් දවසකුත් කිව්වා මාව එහෙ එක්ක යන්න එනවා කියලා..

අනේ මංදා ඔය නාදුනන ගෙවල් වල යනවට මං කැමති නෑ පුතේ..

මසිත බලාපොරොත්තුවක් නොවුනද ඔහුගේ වදන් වලින් වූයේ සිතුවිලි වඩා වැටීමකි. මා යන්නට බැරි බව පැවසුවහොත් නර්මදා මා හා අපනාම වේ යැයි මට සිතුණි.

අප්පච්චි එහෙ කවුරුත් නෑ.. නර්මදා මිසුයි අම්මයි විතරයි ඉ්නනෙ.. මම එන්න බැහැ කිව්වොත් එයා අමනාප වෙයිද දන්නෙ නෑ..

අප්පච්චී නිහඩව මොහොතක් සිටියාය.

තේරුමක් නැති ගමන් යනවට මම නම් කැමැත්තක් නෑ.. ඒත් කතා කරනවා නම් හොඳ නැහැනේ.. ගිහින් ඉක්මනට එන්න..

මසිත වූයේ සැහැල්ලුවකි. මා ඉක්මනින් කාමරයට ගියේ ගමනට සැරසීමට සිතාය. ලොකු නංගී මේසය අසළට වී පාසල් වැඩ කරමින් සිටියාය.

ලොකු නංගි මං නර්මදා මිස්ලගෙ ගෙදර යනවා..

මගේ වදන් අදහාගත නොහැකි වූවාක් සේ ඇය නෙතු විසල් කරගෙන මදෙස බැලුවාය. මම ලොකු නංගී සමග සිනාසිමි. ඇය සිනාවක් නොමැතිව මදෙස බැලුවාය.

ඇයි අක්කෙ එහෙ යන්නෙ..?

නිකං නර්මදා මිස් ඇවිත් මාව එක්ක යන්න.. මම ඉක්මනට ගිහින් එන්නම්.. හොඳ නෑනෙ ලොකු නංගි..

ඉක්මනින් ලෑස්ති වී මා ඉස්තෝප්පුවට ගියෙමි. ලොකු නංගීත්, චූටි නංගීත් මා පසුපසින් විය. අප්පච්චී මා අසළට පැමිණියේ මා මිදුලට ගිය පසුවය. කිසිවක් තේරුම් ගත නොහැකිවාක් සේ මෙන් ඔහු මදෙස බැලුවේය. අප්පච්චීගේ අකමැත්ත නිසා මට මේ ගමන නොගිහින් ඉන්න තිබුණායි මට සිතුණි. ඔහු කැමැත්ත දුන්නේ නොදී බැරුවාක් මෙනි. අප්පච්චීගේ සිත රිදී ඇත්දැයි මට සිතුනේ බොහෝ වේලාවකට පසුවය.

අප්පච්චි මම ගිහින් එන්නම්..

මම පහත්වී ඔහුගේ දෙපා වැන්දෙමි.

පරිස්සමින් ගිහින් එන්න පුතේ..

අප්පච්චී කවදාවත් නොමැතිව එසේ පැවසුවේය. මසිත තිගැස්සුණි. ඔහු එසේ වසන්නට ඇත්තේ මා කිසිදින නොගිය ගමනක් යන නිසා වන්නට ඇත. මාත් නංගිලාත් ගෙතුළට වී සිටියා මිස මෙසේ ගමන් බිමන් ගියේ කලාතුරකිනි. මා අප්පච්චීගේ දෙපා වැද නැගී සිටියේ මදක් පෑරුණු සිතිනි.

මගේ ළමයව පරිස්සමින් එක්කගෙන යන්න නෝනා..

අප්පච්චී නර්මදා දෙස බැලුවේ අසරණ දෑසිනි. මේ ගමන නොගිහින් ඉන්න මට සිත්විය.

බයවෙන්න එපා මම අරුන්දිකාව ගෙදරටම ගෙනත් බස්සන්නම්..

ඇගේ මේ කරුණාව නිසා මට ගමන නොගිහින් බැරිවිය.

ආ.. මට බඩුවක් දෙන්න බැරි උනානේ..

නර්මදා අත තිබුණු පුංචි පාර්සලයක් චූටි නංගී අතට දුන්නාය. මම විමසිල්ලෙන් ඇය දෙස බැලුවෙමි.

නංගිට මම චොක්ලට් එකක් ගෙනාවා..

චූටි නංගී ලැජ්ජාවෙන් එය අතට ගත්තාය.

අපි යමු අරුන්දිකා..

මම ඇය පසුපසින් ගොස් කාරය අසළ නතර වී ආපසු හැරී බැලුවෙමි. කවදාවත් නොමැතිව මා එසේ කළේ ඇයිදැයි මට නොවැටහුණි. ලොකු නංඝීගේ දෙනෙත්වල තිබුණේ යන ගමන පිළිබඳව අකමැත්තයි මට සිතුණි.

පැය භාගයක් පමණ ගමනින් පසු නර්මදාගේ නිවස ඉදිරිපිට වාහනය නතර විය. අලංකාර ඒ නිවස දෙස මා බලා සිටියේ විමතියෙනි. නිවස ඉදිරිපස මුදල නොයෙක් වර්ගයේ මල් වවා අලංකාර කර තිබුණි. ඉක්මන් ගමනින් ආ සේවකයෙක් ගේට්ටුව විවර කළේ හිස නමාගෙනය. නර්මදා පෝටිකෝව යට රිය නතර කර මදෙස බැලුවාය.

බහින්න අරුන්දිකා..

නිවස දෙස බලාගෙනම මම රියෙන් බැස්සෙමි.

එන්න අරුන්දිකා ඇතුළට..

නර්මදා පසුපසින් මම නිවසට ඇතුළු වුණෙමි. මාළිගාවකට පැමිණියායි මට සිතුනේ ගෙතුළ වූ අලංකාරය ඇසින් මැනීමට නොහැකි වූ නිසාය.

අරුන්දිකා ඉඳගන්න.. මම වොෂ් එකක් දාගෙන එන්නම්..

එසේ කී ඇය සාලය හරහා ගොස් මැණිකා යි කියා වේගයෙන් හඬගෑවාය. මොහොතකින් සාලයට පැමිණීයේ මදක් වයසැති කාන්තාවකි. ඇය යටහත් පහත්ව නර්මදා දෙස බැලුවාය.

මැණීකා අපිට බොන්න මොනවා හරි ලෑස්ති කරන්න.. මගේ යාළුවෙක් ආවා..

මැණිකා හිස නගා මදෙස බැලුවාය. මම මද සිනාවක් මුවට නගා ගතිමි.

හොඳමයි නෝනා..

ඇය නොපෙනී ගිය පසු යළිත් මගේ දෙත් දිව ගිවේ අලංකාර නිවස වෙතය.

අප සිසිල් පැන් පානය කළේ උඩු මහලේ වූ නර්මදාගේ කාමරයේ සිටය. ඇගේ කාමරය අපේ ගෙය තරම් විශාල විය. නර්මදා ඇඳ මත හිදගෙන සිටි අතර පුටුවේ හිදගෙන මම ඇගේ ඡායාරූප ඇල්බමය බැලුවෙමි. නර්මදා ඇගේ නොයෙක්  ඡායාරූප ගැන විස්තර කියමින් වරින් වර මට එක්වූවාය. ඇය කෙතරම් වාසනාවන්තදැයි මට සිතුනේ මේ සැපසම්පත් හා ඇය ගෙවන ජීවිතය දෙස බැලූ විටය. මිල මුදලින් පොහොසත් වූවා මෙන් ඇගේ අභ්‍යන්තරයද පොහොසත් වූනේ නම් ඇගේ ජීවිතය මීට වඩා වාසනාවන්ත වීමට තිබුණා නේදැයි මට සිතුණි.

අප නොයෙක් දේ ගැන කතා කරමින් සිටියදී නිවස ඉදිරිපිට වාහනයක් නතර කරනවා ඇසුණි. නර්මදා ඇඳ මතින් නැගී සිටියාය.

ඔයා ඉන්න මම බලලා එන්නම්..

නර්මදා ඉක්මන් ගමනින් කාමරයෙන්  පිටවිය. විජේමාන්න මැතිණිය පැමිණ ඇතැයි මට සිතුණි. නමුදු ඇය එන්නට බොහෝ ප්‍රමාද වන බව නර්මදා මා හා පැවසුවා මට මතකය. ඒ කවුරුන් වන්නට ඇත්දැයි මම මදක් සිතුවෙමි. ඒ නර්මදා හමුවන්නට පැමිණි අයෙකු වන්නට ඇතැයි මට සිතුණි.

නර්මදාගේ ඇඳ පාමුල බිත්තියේ වූ හඩා වැටෙන පුංචි දරුවාගේ පිංතූරය අසළ මගේ නෙත් නතර විය. ඒ ඡායාරූපයට නර්මදා ඇළුම් කළේ ඇයිදැයි මම නොදනිමි. නිතර සිනාසෙන ඇයට නොව හඩා වැටෙන නෙකක් හිමි මට ඒ රූපය සමීපයැයි මට සිතුණි. මොහොතකින් තරප්පු පෙළ දෙසින් නර්මදා එන හඩ ඇසුන නිසා ඡායාරූපයෙන් නෙතු ඉවතට ගෙන මම දොර දෙස බැලුවෙමි. මගේ දෙනෙත් මට අදහාගත නොහැකි විය. මසිත වේගයෙන් සැලුණි. මා දකින්නේ සිහිනයක්දැයි මට විශ්වාස නොවීය. මම දකින්නට අපේක්ෂා කළේ නර්මදාය. නමුත් මගේ නෙතු ඉදිරිපිට වූයේ මහේෂ් වනිගසූරියයි. නර්මදා සොයන්නට මනෙතු දිවගිය ඇය පෙනෙන්නට නොවීය. මා හිදගෙන සිටි අසුනින් නැගී සිටියා නොව ඉබේටම එය සිදුවිය. මහේෂ් වනිගසූරිය සිනාසුනේය. ඒ සිනාව මනෙතු බිය ගැන්වුවේය. මා කුමක් කළ යුතුදැයි  යන්න පවා නිනව්වක් නොවිය. ඔහු සිටියේ දොරකඩ අවුරාගෙනය. මම ඉදිරියට අඩියක් තබා ඔහු දෙස බැලිමි.

අරුන්දිකා.. කොහොමද ඉතිං..?

හිස ඔසවා බලන්නට මට සිත් නොවීය.

අද මම හොද වෙලාවට මෙහෙ ආවෙ... අරුන්දිකාට අද නම් පැනලා දුවන්න වෙන්නෙ නෑ..

මම මෙහි පැමිණියේ මගේ නරක වේලාවට යැයි කියන්නට සිත් වුවද එතරම් ශක්තියක් මවෙත නොවීය. නමුදු ඔහු ඉදිරියේ මුනිවත රැකීමෙන් පරාජය වීමට සිදුවන්නේ මටමය. නර්මදා මා වෙත ඒවි යැයි සිතුවද ඇය පෙනෙන්නට නොසිටියාය. මෙසේ මා තනිකර ඇය නොපැමිණියේ ඇයිදැයි මසිත වූයේ තරහකි. තවත් බලාසිටීමට නොහැකි වූ නිසා මම දොර අසළට ගියෙමි.  මහේෂ් වනිගසූරිය දෑස් දෙපසට විහිදුවා දොරටුව හරස් කළේය. මසිත වේගයෙන් සැලෙන්නට විය. මම දෑස් විසල් කරගෙන ඔහු දෙස බැලුවේ බියපත් නෙතිනි.

අරුන්දිකා.. අද නම් මම කියන දේවල් ඔයා අහන්නම ඕන..

එය ඉල්ලීමක් නොව අණ කිරීමක් විය.

මට යන්න දෙන්න..

මම අසරණ දෑසින් ඔහු දෙස බැලුවෙමි.

මම යන්න දෙන්නම්.. හැබැයි මම කියන දේවල් ඇහුවොත් විතරයි..

මට යන්න දෙන්න..

නොදුන්නොත්..?

මම කෑගැහනවා..

ඔහු මුවගට නැගුනේ සරදම් සිනාවකි. ඒ සිනාව මනෙතු බියපත් කළේය. මෙතැනින් පැන දුවන්නට මට සිතුණි. මම තවත් පියවරක් ඉදිරියට ගොස් ඔහු අසළ නතර විමි. මහේෂ් වනිගසූරිය කාමරයට ඇතුළු වී දොර වසා දැම්මෙ මා කිසිසේත් බලාපොරොත්තු නොවූ ලෙසය. මට අප්පච්චී සිහිවිය. නංගිලා සිහිවිය. ඔවුන් මා මේ පැමිණි ගමනට අසතුට පළ කලේ මා මහා ව්‍යාසනයකට මුහුණදෙන්නේයැයි සිතුණ නිසාදැයි මට සිතුණි.

දැන් තමුසෙගෙ ආඩම්බර කම් ඔක්කොම ඉවරයි..

ඔහු සරදම් හඩින් පැවසීය. මසිත පැතිර ගියේ මහා අසරණකමකි. ඒ අසරණකම නිසා හෙනු කඳුළින් වැසී ගියේය.

මම හිතන් හිටියෙ ඔයා හොඳ මනුස්සයෙක් කියලා..

මසිත ඇති වූ අසරණකම නිසාම එවදන් මුවගින් පිටවිය.

මට මනුස්සයෙක් වෙන්නත් පුළුවන්.. ඒ වගේම තිරිසනෙක් වෙන්නත් පුළුවන්.. ඒක හොඳට මතක තියාගන්නවා.. තමුසෙ නිසා මම මෙතරම් දවස් ඉවසුවා.. ඒත ්තමුසෙ හිතාගෙන ඉන්නෙ තමුසෙ මහ ලොකු කුමාරිහාමි කියලා..

මට යන්න දෙන්න.. නැත්නම් මම කෑගැහනවා..

ඉතින් කෑගහනවා.. මොකද බලාගෙන ඉන්නෙ.. තමුසෙගෙ උදව්වට මෙතන කවුරුවත් නෑ..

නර්මදා මිස් කෙරෙහි මසිත වූ පැහැදීම වෛරයකට පෙරලුණි. ඈ මේ සියල්ල සැලසුම් කර මා මෙහි රැගෙන එන්නට ඇතැයි මට සිතුණි. ඔවුන් දෙදෙනා එක්වී මා රවටා ඇත. මහේෂ් වනිගසූරියගෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වීම නිෂ්ඵලයැයි මට සිතුණි. මම තවත් ඔහු අසළ ලංවූයේ දොර ඇරගෙන ඉවතට දුවන්නටය. නමුත් මට පෙර ඔහු ක්‍රියාත්මක විය.

මසිත තිගැස්සුණි. මහේෂ් වනිගසූරිය මා අසළටවිත් මගේ උරහිස් මත දෑත් තැබීය. මම ගැහෙන සිතින් ඔහු දෙස බැලුවෙමි. මා කුමක් කළයුතු දැයි යන්න පවා මට නිනව්වක් නොවීය. දෑසින් ගලා හැලෙන කඳුළු නිසා මට වරෙක මහේෂ් වනිගසූරිය පෙනුනේ බොඳ වූ ඡායාවක් ලෙසටය. අසරණකම යටපත්ව මසිත එකවර ඇතිවූයේ ඔහුගෙන් මිදී යාමේ ශක්තියයි. මම වැරෙන් ඔහුගේ දෑත් අල්වා මගේ උරහිස් මතින් ඉවතට ගතිමි. ඔහුගේ ජයග්‍රහණයෙන් මිදුනු පසු පසු පසට ගොස් මා නතර වූයේ ඇඳ අසළය. මහේෂ් වනිගසූරිය මාවෙත ආවේ වේගයෙනි. ඔහුගෙන් මිදෙන්නට මම කාමරය තුළ එහාටත් මෙහාටත් දිව්වෙමි. ක්‍රියාත්මක විය යුත්තේ කොතැනින්දැයි මම මදක් සිතුවෙමි. නමුදු මට පෙර ඔහු ක්‍රියාත්මක විය. ආ අසළට පැමිණි මහේෂ් වනිගසූරිය වේගයෙන් මා ඇඳ මතට තල්ලු කලේය. ඔශු මා වෙතට පත්වෙත්ම මම ඇදේ අනෙක් පසින් නැගී සිටියෙමි. නමුදු ඔහු මා අසළට පැමිණ මා අල්වා ගත්තේය. අසරණ නෙතින් මම කාමරය දෙස බැලුවෙමි. මගේ දෑසට හසු වූයේ ඇඳ අසල ටීපෝව මත තිබුණ පිත්තල මල් බඳුනය. එය අතට ගත් මම වැරෙන් මහේෂ් වනිගසූරියගේ හිසට එල්ල කළෙමි. ඔහු මගේ ග්‍රහණය අතහැර දෑතින් හිස බදා ගත්තේය. ඔහුගෙන් මිදුනු මම ඉක්මනින් දොර වෙත ගියෙමි මගේ වාසනාවකටදෝ දොරේ අගුල දමා තිබුණේ නැත. මම තරප්පු පෙළ දිගේ පහළට දිව ගියෙමි. එකවර මා ඉදිරියට පැමිණියේ නර්මදාය. මම ඇය දෙස බැලුවේ කෝපයෙනි.

අරුන්දිකා.. මොකද මේ..? මොකක්ද උඩ ඇහුණ සද්දෙ..?

කිසිවක් නොදන්නවා සේ ඇය විමසීය. ඇය සමග තවදුරටත් කතාබහ කිරීමට දෙයක් මට නොවීය. මට අවශ්‍ය වූයේ මේ අපායෙන් ගැලවී යන්නටය.

අරුන්දිකා..

ඈ මගේ වමතින් අල්ලා ගත්තාය. මම ඇගේ අත ගසා ගසා පඩිපෙළ දිගේ පහළට දිව්වෙමි. මා නතර වූයේ පාරට පැමිණි පසුවය. මහමගට පැමිණි මම මදක් නතරව පසුපස බැලුවෙමි. ඒ මහේෂ් වනිගසූරිය මා සොයා ඒවිදැයි බියෙනි.  මගේ දෑත් වේව්ලන්නට විය. මොහොතකට පෙර මුහුණ දුන් ඒ අසුන්දර සිදුවීම කුමක්දැයි යන්න පවා සිහිවූයේ බොහෝ වේලාවකට පසුවය. මගේ වාසනාවකටදෝ ඈතින් බසයක් එනු පෙනුණි.

නිවසේ කඩුල්ල අසල නතර වූ මම මොහොතක් හති ඇරියෙමි. සිදු වූයේ කුමක්දැයි සිතන්නට මම වෙහෙසුණෙමි. ඒ සියල්ල සිහිනයක්යැයි වරෙක මට සිතුණි. ඒ සිහින ලොවින් මා මිදුනේ මගේ ගෙපැල දුටු පසුවය. ඉතින් මෙහිදී මට කිසිවෙකුගෙන් කරදරයක් නොවන බව විශ්වාසය. මගේ රැකවරණයට අප්පච්චී සේම නංගිලා දෙදෙනාද සිටී. එය මගේ ශක්තියයි. මගේ හෙට දින ගැන සිහි වූ විට මසිතයට නැගුනේ අවිනිශ්චිත බවක. මා පැමිණි ගමන අතරමග නැවතීමට සිදුවූයේ නොසිතූ ලෙසය. එය මගේ වරදක්දැයි මම නොදනිමි. හිරු දුටු පිණි බිඳුවක් සේ සියල්ල මොහොතකින් මිලන වී ගියේ පුදුමාකාර ලෙසය. නංගිලාටත් අප්පච්චීටත් මුහුණ දේනනේ කෙසේදැය් යන්න මට මහා ගැටළුවක් විය. හෙටින් පසු මගේ ජීවිතය වෙනස් වනු ඇත.

අත රැදි ලේන්සුවෙන් මුහුණේ දහඩිය පිසදාගත් මම කඩුල්ල පැන ගෙට ඇතුලු උනෙමි. අප්පච්චීත් නංගිලාත් පෙනෙන්න නොසිටියහ. ඔවුනට වෙනසක් නොපෙන්වා සිටින්නට මම බොහෝ සේ වෙහෙසුනෙමි. මම කාමරයට එබී බැලුවෙමි. ලොකු නංගීත් චූටි නංගීත් එහි විය. අප්පච්චී එළියේ වන්නට ඇතැයි මට සිතුණී. මගේ පා හඩ ඇසී නංගිලා පසුපස හැරී බැලුවහ. මම ආයාසයෙන් මුවට සිනාවක් නගා ගතිමි.

අක්කා ඉක්මනට ආවද..? කෝ නර්මදා මිස් ආවද..?

ඔවුන් මතකයට නැගීමද මට උන්හිටි තැන් පවා අමතක වන්නක් විය.

නෑ නංගි.. මම තනියෙම ආවෙ.. මිස් මාව හන්දියෙන් දාලා ගියා..

ඇය දෙස නොබලාම මම ඇඳ මත හිඳ ගතිමි. මගේ උත්සාහය යම් තරමකට සාර්ථඛ වන්නට ඇත. නමුදු ලොකු නංගී මදෙස බලා සිටියේ කුතුහලය පිරි දෑසිනි. ඇගේ දෙනෙත් මඟහරිමින් මම නැගී සිටියෙමි.

මම තනිවිමි හුදෙකලාව, පාළුව, තනිකම සිතට පීඩා ගෙන දුන්නද අද දින මට හුදෙකලාව මහා සහනයක් විය. මම බොහෝ දේ සිතමි. කළහැකි අන්දෙයක් නැති නිසාම කාත් කවුරුත් නැති ඉසව්වකට වී මට බොහෝ දේ සිතන්නට උවමනා විය.

නැවත ෆැක්ටරියේ වැඩට යන්නට මවෙත හැකියාවක් නොමැත. නංගිලාගේ හෙට දින කෙසේ විසඳේවිදැයි මසිත වූයේ බියකි. මා කුමක් කළයුතුදැයි සිතීමත් සිතුවිලි වෙහෙසවිය. මහේෂ් වනිගසූරිය හෝ නර්මදා මා සොයා එතැයි මට සිතුණී. එසේම මහේෂ් වනිගසූරිය මගෙන් පළිගනීවියැයි මහා බියක් මසිත නැත්පත් විය. එසේ වුවහොත් අප්පච්චීත් නංගිලාත් තනිවනු ඇත. නමුදු ඔශු මගේ ජීවිතය විනාශ කිරීමට සිතුවේ කිසිදු අනුකම්පාවක් නොමැති අයෙකු සේය. ඔහුගේ ආදරය නොපිළිගැනීම නිසා ඔහු මගෙන් පළිගන්නට සිතුවේ මගේ ජීවිතය විනාශ කරමිනි. ආදරය කළ සිතකින් පළිගැනීමට තරම් හැකියාවක් වී නම් ඔහු  මට සැබැවින්ම ආදරය කළේදැයි මසිත වූයේ ගැටළුවකි. කොපමණ දේ සිතුවද සිදුවූයේ සිතුවිලි දැවීම පමණි. නෙතින් නොහඩා ගෙවන ත්තපරයක් ගානේ මම හදවතින් වැළපිමි.

අක්කෙ.. මොනවද ඔය තරම් කල්පනා කරන්නෙ..?

මම තිගැස්සී පසුපස බැලිමි. මිදුලේ ලී බංකුව උඩ මා හිදගත්තේ බොහෝ වේලාවකට පෙරය. අදුර ගලාවිත් තිබුණි. රෑ බෝවී ඇතැයි මට සිතුණි.

මුකුත් නෑ නංගි..

කල්පනා කළ සියල්ල ඇයට පැවසීමට මවෙත හැකියාවක් නොවීය. ඒවා කීමට හැකිවූයේ නම් මා මෙතරම් සිතින් පීඩා විදින්නේ නැත. මා ඇගේ දෙනෙත්වලින් මිදුනේද අකීකරු සිතිනි. ඇය මගේ ඉිරියව් සියුම් ලෙස නිරීක්ෂණය කරනවාට මම අකමැති විමි.

අනේ මන්දා ඔයා ආපු වෙලාවෙ ඉදන් කල්පනා කරනවා..

අපි යමු ගෙට.. රෑ වුණා..

මට අවශ්‍ය වූයේ මා පෙළෙන වේදනාව ඔහුන්ගෙන් සඟවාගන්නටය. ඒ සියල්ලක් දන්නේ නම් ඔවුන්ගේ අහිංසක සිත් දහස්වර හඩා වැටෙනු නොඅනුමානය. ඒ සියල්ල පවසා අසරණ සිත් පෙලන්නේ මන්දැයි මම සිතුවෙමි. මට අවැසි වූයේ ඔවුන් සතුටින් තබන්නටය. ගෙවෙන තත්පරයක් ගානේ මම සිතුවේද ඔහුන්ගේ සැපතය.

දවසක් පුරාම සිතා අහවර වී මම එක් තීරණයකට එළඹුණෙමි. ඒ වෙනත් රැකියාවක් සොයා ගැනීමටය. ඒ සඳහා දිසානායක මහතාගෙන් උදව්වක් ලබාගැනීමට අවසානයේ මම සිතුවෙමි. මේ අවස්ථාවේ මට පිහිට විය හැකි එකම තැනැත්තා ඔහු යැයි මට සිතුණි. මට එකවර සිහි වූයේ කාංචන මුදන්නායකය. මේ සියල්ල ඔහුට පැවසිය යුතු යැයි වරෙක සිතුනද නර්මදාගේ හෝ මහේෂ් වනිගසූරියගේ සිතුවිලි වලට අත්තටු ලබා දීමට මට අවශ්‍ය නොවීය. පහුවදා හවස දිසානායක මහතා හමුවීමට යාමට මම සිතුවෙමි. අප්පච්චීත්, නංගිලාටත් මා පැවසුවේ දින කිහිපයක් නිවාඩු දැමූ බවය. ඔවුන් මා කී සියල්ල පිළිගනීවිදැයි මම නොදනිමි.  නමුදු ඒ පිළිබදව තවදුරටත් ප්‍රශ්න කිරීමක් නොවුන නිසා මසිතට වූයේ සහනයකි. නතිවුන බොහෝ අවස්ථාවල මම හඩා වැටුණෙමි. ජීවිතයේ එකින් එක පසුපස එන කරදරකාරී සිදුවීම් මසිත දහස්වර පෙළීය. මා ඉදිරියට යාමට එක් පියවරක් තැබූ විට පියවර දෙකක් පසුපසට යන්නට සිදුවිය. නමුදු සියල්ල දරාගත යුතු යැයි මට සිතුනේ අප්පච්චීත්, නංගිලාත් නිසාය.

දිසානායක මහතාගේ නිවසේ සීණුව නාද කළ මම දොර හැරෙන තෙක් බලා සිටියෙමි. මොහොතකින් දොර හැර එළියට පැමිණීයේ දිසානායක මහතාගේ බිරිඳය. ඇය මදෙස බලා සිටියේ කුතුහලය පිරුණු නෙතිනි.

අරුන්දිකා.. ඇයි මේ හවස්වෙලා.. ඔෆිස් ගිය ගමන්ද..?

මා හදිසියේ පැමණීම ඇගේ සිතට පුදුමයක් වන්නට ඇත.

මහත්තයා ඉන්නවද..?

ඇයට දියහැකි පිළිතුරක් සොයාගත නොහැකි වූ මම දිසානායක මහතා ගැන විමසිමි.

ආ.. මේ දැන් ආවෙ.. එන්න ගෙට මම මහත්තයට කතා කරන්නම්..

ඇය පසුපසින් මම ගෙට ඇතුළු විමි.

කෝ දුවයි, පුතයි නැද්ද..?

පුටුවක හිඳගනිමින් මා විමසුවේ ඔවුන් පෙන්නෙන්නට නොවූ නිසාය..

ඒ දෙන්නා හවස පංති ගිහින්..

ඇය මගෙන් සමුගෙන ගෙතුලට වැදුනාය. දිසානායක මහතා සමග කතාව ඇරඹිය යුත්තේ කොතනකින්දැයි මම මදක් සිතුවෙමි. සිතන්නට බොහෝ දේ විය. නමුදු සිතට එකම එක සිතුවිල්ලක්වත් නාවේය. ඒ සිතුවිලි පටලැවුණු නිසාය. කියන්නට බොහෝ දේ විය. මුවට වදනක් නගාගත නොහැකි ලෙස මුව ගොලු විය. කතා කළේ ඇස් දෙක පමණය. ඒ කඳුළිනි. කඳුළින් සිත්තම් කළහැකි අසුන්දර කතාවකට මම මුලපිරුවෙමි. මට අවැසි වූයේ සිතුවිලි කාට හෝ හෙළිකර සිතට සහනයක් ලබා ගැනීමටය.

අරුන්දිකා ඇයි මේ හදිසියෙ.. ඔයා ආවා කියලා නෝනා කිව්වාම මට පුදුම හිතුනා..

මා ඉදිරියට ආවේ දිසානායක මහතාය. ඔහු දුටුවිට මගේ නෙතට කඳුළක් නැගුණි. අමනුෂ්‍යයන් අතර සැබෑ මිනිසුන් දැකීමට ලැබීම මම භාග්‍යයක් කොට සැලකුවෙමි. මම ඔහු දෙස බලා සිනාසෙන්නට උත්සාහ කළෙමි. දිසානායක මහතාගේ බිරිඳ ද මදෙස බලා සිටිවේ නොසන්සුන් සිතිණි. ඔවුන් දෙනෙනා මා අසල සෙටියේ හිඳගත්හ.

ඇයි අද වැඩට ආවෙ නැත්තෙ..?

ඔහු එලෙස අසන විට මම මොහොතක් ගොලු උනෙමි.

මුකුත් ප්‍රශ්නයක්ද අරුන්දිකා..

මගේ වෙනස ඔහු හදුනාගන්නට ඇත.

ඇයි අප්පච්චිටවත් අසනීපයක්ද..?

මම හිස දෙපසට සැලිමි.

එහෙනම්..?

මට මිස්ටර් දිසානායකට කියන්න ලොකු කතාවක් තියෙනවා..

කඳුළු අතරින් මම ඔහු දෙස බැලුවෙමි. මගේ මතකයේ තිබුණ සියල්ලක්ම මම නොවලහා ඔහුට පැවසිමි. ඔහුදෙනෙත් විසල් කරගෙන මදෙස බැලීය. සියල්ල පවසා අහවර වූ විට මට මසිත පාලනය කරගන්නට බැරි විය. මම දෑතින් මූණ වසාගෙන හඩා වැටුණෙමි. ඒ මා ගැන වූ ආත්මානුකම්පාවෙනි.

අඬන්න එපා දුව.. අපි ඉන්නවනේ ඔයාට.. මම ඔයාට වෙනත් තැනක රස්සාවක් හොයලා දෙන්න උත්සාහ කරන්නම්..

ඔහු බොහෝ දේ කියවාගෙන ගියේය. ඔහුගේ බිරිඳ මා අසළට විත් මගේ හිස අතගෑවේය. මට මහා සුවයක් සේම වේදනාවක්ද දැනුණි. ඒ අම්මා සිහි වූ නිසාය. ඇය සිටියේ නම් ඇගේ උකුලේ හිස ඔසවාගෙන මට හඬා වැටෙන්නට තිබුණි. එසේවී නම් මට තනිකමක්ද නොදැනෙනු ඇත.

මා ඔවුන්ගෙන් සමුගෙන පැමිණීයේ තරමක් සැහැල්ලු වන සිතිනි. කිසිවෙකුට මේ සිදුවීම නොපැවසීමට මම ඔහුව පොරොන්දු කරවා ගතිමි. මහේෂ් වනිගසූරිය ෆැක්ටරියට නොපැමිණි බව දිසානායක මහතා පැවසූ පසු මගේ සිතේ බිය තවත් වැඩිවිය. ඔහු කොයි වේලේ හෝ පැමිණ මා මරා දමතැයි මට සිතුණී.

සවස අප්පච්චීගේ තෝ කෝප්පය රැගෙන මම ඔහු අසළට ගියෙමි. ඔහුට යමක් පැවසීමට මෙතෙක් වේලා මම උත්සාහ කළෙමි. අපහසුවෙන් වුවද මම ඔහුට මුහුණ දිය යුතුව ඇත. ඔහුට කිවයුතු දේ සේම නොකීවයුතු දේ ද මම තෝරා බේරා ගතිමි. අප්පච්චීට තේ කෝප්පය දී මම ඉස්තෝප්පුවේ උලුවස්සට හේත්තු විමි.

අප්පච්චී..

මම සෙමෙන් කටහඬ අවදි කලෙමි.

අප්පච්චි මම ආයෙමත් ෆැක්ටරියෙ වැඩට යන්නෙ නෑ..

ඔහු මදෙස බැලුවේ විමතියෙනි. ඒ දෑස් මගහැර මම ඉවත බැලුවෙමි.

වැඩට යන්නෙ නෑ.. ඇයි පුතේ ඒ..?

මම වෙන තැනක රස්සාවක් හොයාගන්නවා..

ඇයි පුතේ මොකුත් කරදරයක්ද එතන..

නෑ අප්පච්චි.. මට ඊට වැඩිය හොඳ තැනක් ලැබෙයි..

ඇයි ඉතින් හදිසියෙම..?

මා කිවයුතු දෙයක් සෙව්වද කිසිවක් කල්පනා නොවීය. මගේ නිහඩ බව අප්පච්චීගේ සිත පෙලන්නට ඇත.

මගේ අතක් නෑ කියලා මම අසරණ වෙලා කියලා හිතන්න එපා පුතේ.. ඇයි මට මුකුත් කියන්නෙ නැත්තෙ..?

මගේ සිතුවිලි පුපුරා නෙතට කඳුළක් නැගුණි.

මම කැමති නෑ අප්පච්චි එතන වැඩට යන්න..

එපමණක් පවසා මම එතැනින් මෑත්විමි. කාමරයට පැමිණි මා ඇඳට වැටී කොට්ටයේ මුහුණ ඔබාගෙන හඩා වැටුණෙමි.

දවස උදාවූයේ බොහෝ උදාසීනවය. උදාවන දවසක් ගානේ සිතට ගෙනාවේ විඩාවකි. ජීවිතයේ පෙර තිබූ සතුට සැහැල්ලුව කොහෙදෝ පලා ගොස්ය.  යළිත් ඒ සැහැල්ලුව මවෙත ළගාවේදැයි මම නොදනිමි. මම විශ්වාස නොකලෙමි.



No comments:

Post a Comment