Friday, August 31, 2012

| අරුන්දිකා | සංජීවනී අටලුගම |


මහ මෙරක් තරම් දුක්ගිනි හිස දරා මා ජීවිත යාත්‍රාව පැද යා යුතුව ඇත. බාහිර බලවේගයන් මගින් ජීවිතේ බොහෝ දේ තීරණය කළද මා විසින් ඒ සියල්ල අභිබවා මගේ සිතුවිලි, අධිෂ්ඨාන වෙනුවෙන් වෙනස්විය යුතු, වෙනස් කළ යුතු බොහෝ දේ විය. හදවත කෙතරම් පීඩාකාරී වුවද නෙතු නොහඩා සිටින්නට උත්සාහ දැරීමට සිදුවිය. සියලු උත්සාහයන් සැමවිට සාර්ථක නොවුනද ආයාසයෙන් හෝ සිතුවිලි පාලනය කර ගැනීමට මම වෙර දැරුවෙමි. මගේ කියා ජීවිතයක් නැති වුවද අන් අයගේ ජීවත දෙස බලා යාන්තමින්වත් සැනසීමක් ලැබීමට මට පුළුවන් විය. අප්පච්චී හා නංගිලා දෙනෙතට හසුවන සෑම අවස්ථාවකදීම මගේය, මාය යන හැඟීම සිතින් ඈත්විය. අප සියල්ලන්ම යන සිතුවිල්ල සිතේ තැන්පත් විය.


මසිත දිග හැරීමට කෙනෙක් සිටියේ නම් ඒ ගීතිකා පමණි. මා කී සියල්ල ඈ ඉවසිල්ලෙන් අසා උන්නාය. මසිතට සැහැල්ලුවක් දැනුණි. ඒ සැහැල්ලුව දැනුණේ බොහෝ විට මොහොතකට පමණි. ඇගේ දයාබර වදන් මසිත සුවපත් කළද තනිවන මොහොතක් පාසා මසිත දැවුණි. පෙරදිනක ජනක මා අසළ උන් නිසා සැහැල්ලුවෙන් සිටියෙමි. නමුදු අද මා පමණක්ය. ඔහු නොමැත. යළි කිසිදින ඔහු මා අසළට නොඑනු ඇත. ඉතින් මසිතට සැහැල්ලුවක් නම් නොනැගෙනු ඇත.

“මොකද හූල්ලන්නෙ..?”

ගීතිකාගේ හඬින් මම තිගැස්සුනෙමි.

“මට බයයි..”

“උඹ මොකටද බය නැත්තෙ..”

ඇය සිනාසෙනවා සේ දැනුණි. එය සරදම් සිනහවක්දැයි මට නොපෙනුණේ මම ඉවත බලා සිටි නිසාය.

“අනාගතේට දැන්ම ඉදන් විසඳුම් හොයන්න එපා..”

ඈ වෙතින් මිදුණු දෙනෙත් මම බිමට නැඹුරු කර ගතිමි. ඈ මා අස්වසන බව මම දනිමි. නමුදු සිත පැවති නොසන්සුන් බව පහව නොගියේය.

“එකක් ඉවර වෙනකොට තව එකක්..”

මා පැවසූවේ පුදුම ලෙසිනි.

“ජීවිතේ කියන්නෙ ඒකට තමයි අරුණි. ඇරත් උඹ විතරක් අත් විඳින දෙයක් නෙමෙයි.”

“වෙන්න පුළුවන්.. ඒත් මං තරම් විදවන කෙනෙක් මුණ ගැහිලා නෑ..”

“උඹට බය මහේෂ් ගැනද..?”

ඈ එක එල්ලේ මදෙස බැලුවාය. මහේෂ් වනිගසූරියගේ නම පවා මසිත නොසන්සුන් කළේය.

“ඔව්..”

“සමහර විට එයා හොඳ කෙනෙක් වෙයි..”

“ඒත් මට ඒ හොඳින් වැඩක් නෑ ගීති.. දවස් වැටුණ වලේ රෑ වැටෙන්න මට බෑ..”

“එක්කෙනෙක් ඔහොම උනා කියලා හැමෝම ඒ වගේ කියලා හිතන්න එපා අරුණි..”

මම සිනාසුණෙමි.. ඒ ඇයට නොව ඇගේ වදන් වලටය.

“උඹ මට හිනාවෙනවා..”

ඈ කීවේ ඉවත බලාගෙනය. මසිත රිදිණි. ඒ ඇගේ සිත රිදුණා යැයි සිතුන නිසාය.

“උඹට නෙමෙයි.. උඹ කිව්ව එකට..”

මම සුසුමක් හෙළිමි. ඒ ආත්මානුකම්පාවටය.

“විශ්වාස කළ කෙනෙක් අතිනුත් විශ්වාසය බිඳුනා නං විශ්වාස කරන්න බැරි කෙනෙක් ගැන මං කොහොමද විශ්වාසයක් තියා ගන්නෙ..?”

මගේ හඬ නොබිදෙන්නට මම වග බලා ගතිමි. මේ හැඩිය යුතු වෙලාව නොවේ. හඬා වැටුණා කියා මා ලද දෙයක් නොමැත. නොඑසේනම් මා හඩා වැටුණ තරම් මුළු ලොවම මගේ වන්නට පුළුවන්කම තිබුණි.

“අපි බලා ඉමු අරුණි. කාලයට ඉඩදීලා බලන් ඉමු. දැන් විසඳුම් දෙන්නැති ප්‍රශ්න වලට කාලය විසඳුම් දෙනවා..”

ඈ ස්ථීර හඬින් පැවසුවාය. මම ඈ අනුමත කළෙමි. බොහෝ ප්‍රශ්න වලට කාලය විසඳුම් ලබාදෙනු ඇත. මට සිදුවන්නේ බලා හිඳීමට පමණි. නමුත් කාලය විසින් හැම ප්‍රශ්නයකටම නිවැරදි විසඳුම් ලබාදෙන්නේදැයි මම නොදනිමි. නිවැරදි හෝ වැරදි වුවද මා ඊට අවනත වනු හැර කළ හැකි කිසිවක් නොමැත.

අසනීප වීමෙප් පසුව මම සුපුරුදු ලෙස වැඩ කිරීඹට පටන් ගතිමි. පෙර දින සිහි වී වඩාත් ප්‍රවේශම් වීමට මම වග බලාගතිමි. නොඑසේනම් සියලු දේ විඳවන්නට වන්නේ මටය. ටික දිනක් යනතුරු මැෂිමේ වැඩ නොකිරීමට මම සිතුවෙමි. අනෙක් ළමුන්ද ඒ පිළිබඳ විරුද්ධත්වයක් නොනැගිය. එය මට යම් තරම්වත් සහනයක් ගෙනදුන්නේය. උදෑසන මා වැඩ කරන අසළට පැමිණි පබාලිකාව වූ මානෙල් මිස් මදෙස බැලුවේ නපුරු විලාසයෙනි. එය සිත රිදවීමට හේතු වුවද වරදක් වී නම් ඒ මගේ නොසැලකිල්ල නිසා සිදු වූ දෙයක් නිසාද මම නිහඬව සිටිමි. නමුදු හිත්පත්ල පුපුරුගසා වේදනා ගෙන දුන්නේය. මා ඈ දෙස බලා සිටියේ අසරණ දෑසිනි. නමුදු මා වෙනුවෙන් අනුකම්පාවක සේයාවක් ඈ කෙරෙන් දිස් නොවිය.

“සැළකිල්ලෙන් වැඩ කරන්න අරුන්දිකා. දවස් තුනක්ම ඔයා නෑ.. මේ දවස්වල ඕඩර්ස් වැඩියි.. පාඩු වෙන්නෙ අපිටනේ..”

ඈ කෙරෙන් දෙනෙත් මුදවා ගත් මම සුසුම් හෙළිමි. අතපසුවීම් කා අතිනුත් සිදුවිය හැකිය. එසේම රැකියාවට පැමිණි පසු මේ මා අතින් සිදු වූ පළමු වරදය. එය මෙතරම් දොස් ඇසීමට දෙයක්දැයි මට සිතුණි. ඈ මා අසළින් ඉවත්ව ගිය පසු මම හිස එසවිමි.

“ගණන් ගන්න එපා අරුන්දිකා.. ඔය ගෑණි බලන් ඉන්නෙ වැරැද්දක් හොයා ගන්නනේ..”

පෙර මා නොතැකූ බොහෝ දෙනා මා වෙනුවෙන් කතා කරන්නට විය. එය පෙර මසිත ඔවුන් වෙනුවෙන් නැගුණු නොපහන්කම ඈත්කරලිය. මම සියල්ල ඉවසා ගතිමි. නොඑසේ නම් සිත තව තවත් දුබල වන්නට තිබුණි.

දහයට පමණ මහේෂ් වනිගසූරිය මා අසළට පැමිණියේය. ඔහු ලංවන විට පෙර මෙන් මසිත නොසන්සුන් විය. මම ඔවු දෙස නොබලා සිටින්නට වෑයම් කළෙමි.

“අරුන්දිකා.. මිස්ටර් මුදන්නායක ඔයාට එන්න කිව්වා..”

එසේ කී ඔහු මා අසළින් ඈත් විය. ඔහු කුමක් කීවේදැයි යන්න පවා මට කල්පනා වූයේ බොහෝ වේලාවකට පසුවය. මසිත ගිනිගන්නට විය. උදෑසනම පාලිකාවගෙන් දොස් අසන්නට සිදු වූ නිසා මසිත පැවතියේ නොසන්සුන් කමකි. යළිත් පැමිණ ඇත්තේ එවැනිම අවස්ථාවක් විය හැකිය. වැරැද්දක් වූ බව සැබෑ වුවද එය හිතාමතා කළ දෙයක් නොවන බව දන්නේ මා පමණි. දොස් ඇසීමට මම බිය විමි.

කිසිදින සිකිවෙකුගෙන් බැනුම් අසා නැති මා අසරණ විය. අප්පච්චීත් කිසිදින මට බැණ නැත. මසිත රිදෙන බව දන්නේ මා පමණකි. මා පසුපස කරදර පැමිණෙන්නේ එක්වරය. මේ සියල්ල දරාගන්නේ කෙලෙසදැයි මම සිතුවෙමි. සිතේ පැවති දරාගත නොහැකි වූ පීඩනය පුපුරා නෙතු පුරා කඳුළු නැගෙන්නට විය. මා දෑස් තද කොට පියා ගත්තේ කවුරුන් හෝ දකීවිදැයි සිතාය. අනේ අප්පච්චී මට උහුලාගන්න බෑ.. මම සිතින් අප්පච්චී සොය ගියෙමි. මේ සියල්ල හැරදා යන්නට මට සිතුණි. එවිට මට රැකියාවක් නොමැත. අප්පච්චීට, නංගිලාට බඩගින්නේ සිටීමට සිදුවනු ඇත. සිතුවිලි වේගයෙන් ගලා යන්නට විය. මට පිටුපා ඇවිද යන මහේෂ් වනිගසූරිය දෙස මම නෙත් හෙලිමි. හේතු කුමක්දැයි ඇසීමටවත් ඔහු නොසිටියේය. මා රසිකා දෙස බැලුවේ බිය රැදි නෙතිනි. ඇයද මදෙස බලා සිටියේ විමතියෙනි.

“ගිහින් බලල එන්න..”

ඈ මට ලංව පැවසුවාය. අතරැදි රෙදි කැබැල්ල මේසය මත තැබූ මා සිහිනයෙන් මෙන් පිය නැගුවේ කාංචන මුන්දනායකගේ කාමරය වෙතය. ඔහුගේ නපුරු පෙනුමැති මුහුණ සිහිවී දෙපා ආපසු ඇදෙන්නට විය. ඔහුගේ කාමරය අසළට ගිය මම මොහොතක් හිටිවනම සිටියෙමි. ගැහෙන ඇඟිලි තුඩු වලින් දොර විවර කළ ම ඊට ඇතුල් විමි. ඔහු සිටියේ මේසයට නැඹුරු වී යම් කාර්යයක නිරත වෙමිනි. ඔහු හිස ඔසවා මදෙස නොබැලීය. දැන් දැන් ඔහු මට බැණ වදිතැයි මට බය සිතුණි. මා පැමිණි වගක් නොදුටුවාසේ ඔහු ඔහුගේ කාර්යයේ නියලුනි. හිනඩ බවින් මම තව තවත් පෙලුණෙමි. නිසල බව සසල බවේ ආරම්භය යැයි මම දැන උන්නෙමි.

සිතුවිලි පැටලෙන මොහොතක් පාසා හදවත ගැහෙන්නට විය. මා ඉපදුනේ දුක් ඉහිලීමටත්, අනුන්ගේ සිත් සතුටු කිරීමටත් පමණකැයි මම සිතුවෙමි. ඒ සියල්ලක් උහුලාගත හැකි උවද ඔවුන් මා තලා පෙලා සිත රිදවීම මට උහුලාගත නොහැකිවිය. අසරණවන සෑම අවස්ථාවකදීම මගේ තනියට හිටියේ මා පමණි.. මටද මා වෙනුවෙන් කළ හැකිදේ අල්ප විය. රිදෙස සිත සකසා ගැනීමට අනේකවර උත්සාහ කළද මසිත බිඳීගියේ මටත් නොදැනීමය.

දෙපා පණ නැතිව ඇද වැටෙන්නට යන්නාසේ මට හැගුණි. තවත් බැණුම් ඇසීමට තරම් මසිත ශක්තියක් නොමැත. ගෙවෙන තත්පරයක් පාසා මා දැවුණි. ඉක්මනින් මේ අවස්ථාවෙන් ගැලවීමට මට අවශ්‍ය විය. බැණුම් අසා හෝ ඉක්මනින් මෙතැනින් පලායාමට මට උවමනා විය. සිවිලිමේ කැරකෙන විදුලි පංකාවෙන් පෙරී ආ සුළඟට මගේ මුහුණේ නැගුණ දහදිය බිඳූ වියළන්නට නොහැකිවිය. දරාගත නොහැකි තැන මගේ මුවින් සුසුමක් පිටවිය. ඒ සුසුමේ හඬටදෝ ඔහු හිස ඔසවා මදෙස බැලීය. ඒ නපුරු පෙනුමැති මුහුණ දෙස බැලීමට නොහැකි නිසා මා බිම බලා ගතිමි.

“දැන් ඇඟිල්ල හොඳයිද..?”

“ඔව් සර්..”

මම හිස නොඔසවාම පිළිතුරු දුණි..

“වැඩ කරන්න අමාරුවක් නැහැනේ..”

“නෑ සර්..”

“හොඳයි යන්න.. ගිහින් ප්‍රවේශමෙන් වැඩ කරන්න..”

ඔහු දෙස නොබලාම මම ආපසු හැරුණෙමි. ඔහු වෙත යනවිට මසිත පැවති බිය මේ වන විට සම්පූර්ණයෙන්ම පහව යමින් තිබුණි. ඔහු බැණ වදිතැයි බිය වී සිටි මම ඔහුගෙන් වදන් අසා පුදුමයට පත් විමි. නොමිනිසුන් අතර මිනිසුන් සිටින බව ජීවිතේ පළමු වරට මම දුටුවෙමි.


සෙනසුරාදා දහවල් වැඩ අවසන් වූ නිසා ඉක්මනින් ගෙදර යාමට පුළුවන් විය. ගීතිකාගෙන් සමුගත් මම දෙණියකුඹුර බසයට ගොඩවිමි. දහවල නිසා බසයේ එතරම් සෙනග නොවීය. ටිකට්පත මිලදී ගත් මම හිස් ආසනයක් වෙත ගොස් හිඳගතිමි. බසය පිටත්ව යාමට තවත් මොහොතක් වේලා තිබුණි. වීදුරු කවුළුවෙන් පිටතට නෙත් යොමා සිටි මම පාරේ යන එනවුන් දෙස බලා සිටියෙමි. රථවාහන, ගොඩනැගිලි, මහමග යනවුන් මේ කිසිවක් හරි හැටි මගේ නෙතට හසුනොවිය. මා බලා සිටියේ කොහිදැයි යන්න පවා මම නොදනිමි.

“අරුනි..”

මගේ වම්පසින් ඇසුණු ඒ හඬ නිසා මම තිගැස්සී එදෙස බැලුවෙමි.. ජනක.. ඔහු මා අසළින් හිඳගත්තේය. බොහෝ කලකින් අද මම ඔහු දුටුවෙමි. සිත තුළ එකවර නැගී සතුට ඒ අසිල්ලකින්ම පලා ගියේය. ගතින් අප දෙදෙනා ළඟ සිටියද අප අයත් වූයේ ලෝකවල් දෙකකටය. මට ඔහුගේ ලොවේ වත්, ඔහු මගේ ලොවේවත් ලැගුම් ගන්නට දැන් අයිතියක් නැත. නමුදු සිත් පත්ල තුළ සැගවී සිටි මගේම වූ බවක් ඔහු දැකීමෙන් යළිත් විඳගතිමි. ඔහු මට අයිති නැතැයි සිතීමට මට නුපුළුවන් විය. නමුදු එය සත්‍ය දේ යැයි මසිත මට කොඳුරා පැවසුවේය.

“දැන්ද යන්නෙ..?”

“ඔව්..”

ඔහු වෙතින් මුදවාගත් නෙත් මම බිමට නැඹුරු කර ගතිමි.

“කොහොමද අරුණි.. අප්පච්චිලා සනීපෙන්ද..?”

ඔහු පෙරදින සතියට දෙතුන් වරක් අප බැලීමට පැමිණියේය. ඔහු යළිත් නොඑනු ඇත. එන්න කියන්න යැයි අයිතියක්ද නැත. සියල්ල අතීතයට පමණක් සිමාවූ දේවල්ය. වැළලූ අතීතයක් යළිත් ගොඩනගා ගැනීමට නොහැකිය. ඔහු ආත්මාර්ථකාමියෙකුයි සිතා ඔහුගේ සිත රිදවීමට මට නොහැකිය. දෙමව්පියන්ගේ බලපෑම් මත වැඩ කරන්නට සිදුවීම ගැන ඔහු වැරදි ආකාරයෙන් නොසිතිය යුතුය.

“හොඳින් ඉන්නවා..”

මා පැවසුවේ බොහෝ සෙමිනි. ඉන්පසු අප අතර පැතිර ගියේ දිගු නිහැඩියාවකි. කතා කිරීමට දෙයක් නොමැතිව මම ගොලු වී උන්නෙමි. ඔහුද එසේම වන්නට ඇත. ගෙවෙන තත්පරයක් පාසා හදවතින් මහා සුසුමක් පිටවිය. සිත තුළ පැවති නොසන්සුන්කම දරාගැනීමට කොතරම් උත්සාහ කළද මසිත අසරණ විය. හෙලන සුසුමක් ගානේ ජනක තිගැස්සී මදෙස බලනවා මම නෙත් කොනින් දුටුවෙමි.

“අරුණි.. ඇයි මේ..?”

ඔහු එකවරම මගේ දකුණත අල්ලා ගත්තේය. ඔහුගෙන් අත මුදවාගත් මම ඇඟල්ල ඔහුට නොපෙනේනනට වමතින් වසා ගතිමි. ඔහු මදෙස බලා සිටියේ විසල් කරගත් නෙතිනි. ඔහුගෙන් පළිගන්නට සැරසෙනවායැයි ඔහු සිතුවද ඊට කළ හැකි දෙයක් මවෙත නොවීය. මහපට ඇඟිල්ලේ මැහුම් පාරවල් තවම එලෙසම පවතී. මසන ලද තැන් උඩට ඉලිප්පී ඇත.

“මැෂිමට අහුවුණා..”

කිසියම් හැඟීමක් නොමැතිව මම පැවසුවෙමි. බසය පිටත්ව යාමට සැරසුණි. එය සිතට යම් සහනයක් විය. ඉක්මනින් ඔහු අසළින් පලායාමට මට අවැසි විය. ලංව හිඳීමෙන් තැවෙන්නේද අප දෙදෙනාමය. බසය හන්දියට එනතුරු අප දෙදෙනා අතර කතාබහක් නොවීය. මා බසයෙන් බසිනතුරු ඔහු මට ඉඩදී බලා සිටියේය. ඔහු දෙස නොබැලීමට මම ප්‍රවේශම් උනෙමි. ගුරුපාර දිගේ බොහෝ දුර එන තුරුද අප කතා නොකළෙමු. මා හෙලූ සුසුම් සුළගේ ඈතට පලා ගියේය. ඈතින් පෙනෙන පොල් රුප්පාව දෙස මම නෙත් හෙලුවෙමි. වටපිටාව නිසලය. ඉදහිට මද සුළගට සෙලවෙන ගහකොළ අතරින් සිහින් ශබ්දයක් නැගෙයි. ඒ හඩ දුක්බරය. මේ ගුරු පාරේ අප දෙදෙනා කොතරම් ඇවිද යන්නට ඇත්දැයි මම සිතුවෙමි. අප අපට ආදරය කළ බව මේ ගහකොළට නුහුරු දෙයක් නොවන්නට ඇත. මොකක්දෝ හේතුවකින් අප දෙදෙනාම එක්වර උනුන් දෙස බැලුවෙමු. මට මෙන්ම මේ සියල්ල ඔහුටද වේදනාවක් වන්නට ඇත. දෙමංසලේදී ඔහු නතර විය. ඔහුට අනුව මටද නතර වන්නට සිදුවිය. මම බිම බලා ගතිමි. පෙර දින නම් මේ දෙමංසලේදී අප වෙන්වූයේ සතුටිනි. අදත් එදාත් අතර ඇත්තේ විශාල වෙනසකි. අද අප වෙන්වන්නේ වේදනාවෙනි. ඔහු අඩියක් පෙරට තබා මවෙත ලංවිය. මම හිස ඔසවා බැලිමි.

“අරුණි මාත් එක්ක තරහින්ද..?”

ඔහුගේ හඬ බිඳී තිබුණි. හදවතේ කොනක සිරකර තිබුණු වේදනාව පුපුරා හදවත රිදුම් දෙන්නට විය. ඇසිල්ලකින් නෙතු කඳුළින් වැසී ගියේය. නොහඬන්නෙමියි සිතා සිටියද කඳුළු බිදුවක් කම්මුල දිගේ ගලා ගියේය. ඔහුගෙන් වසන් කරන්නට සිතූ සිතුවිලි ඔහු දකින්නට ඇත. ඔහු මට අනුකම්පා කරන්නට ඇත. නමහුත් ඔහුගෙන් තවත් අනුකම්පාවක් මම බලාපොරොත්තු නොවුණෙමි. පිටි අත්ලෙන් කම්මුල් පිසදාගත් මම හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි.

“මං තරහා නෑ ජනක අයියෙ..”

මම අපහසුවෙන් වුවද වචන ගලපා ගතිමි.

“මං යන්නං..”

ඔහු බලා සිටියදීම මම දෙපා එසෙව්වෙමි. එක් වරක් හෝ ආපසු හැරී බලන්නට සිත් වුවද මම සිතුවිලි මැඩ ගතිමි.

නෙතු ඉකිගසා කීවේ හදවත රිදෙන වග නම් නෙතු නිසලවන වේලේ හදවත නොරිදුනේ යයි නිශ්චය කිරීමට නුපුළුවන්ය. නෙතු නොහඬා හදවත හැඬූ වාර අනන්තය. නමුදු දැවෙන හදවතින් නෙතු අගට සිනහවක් නංවා ගැනීමට අපහසුවෙන් වුවද මා උත්සාහ කළ යුතුව තිබුණි. ඉතිකින් මම නොහැඩුවෙමි. නෙතු අගින් නොවුනද හදවතින් නොවේ.


“ඊයෙ ජනක හම්බ උනා..”

සාමාන්‍ය සිදුවීමක් සේ මා පැවසුවද ගීතිකා නෙත් විසල් කරගෙන මදෙස බැලුවේය.

“කොහෙදීද..?”

“බස් එකේදි..”

“කතා කළාද..?”

“ඔව්..”

එපමණකින් නිහඩවන්නට මා උත්සාහ කළද තවත් යමක් දැන ගැනීමේ අදහසින් ඈ බලා සිටියේය. මම සුසුමක් හෙලා හදවත සැහැල්ලු කරගතිමි.

“මං එයත් එක්ක තරහින්ද ඇහුවා..”

මා එය පැවසුවේ මුවග මද සිනහවකින් යුතුවය.

“මං මොකටද තරහා වෙන්නෙ..”

මා එලෙස කියා ඉවත බලා ගත්තද ඈ සිටියේ විමසිල්ලෙනි.

“එයාට ඊට වැඩි දෙයක් කරන්න තිබුණා..”

ඈ කීවේ චෝදනාවක් ලෙසය. ජනක කෙරෙහි යම් අප්‍රසාදයක් ඇගේ සිතේ ඇති බව මම දැන උන්නෙමි. නමුදු ඔහු අසරණ බව දන්නේ ඔහුත් මමත් පමණි. ආදරයෙන් වේදනාවක් මිස වෛරයක් කිසිදින මසිත ඇති නොවීය.

“එයා අසරණයි ගීති..”

“උඹ හැමෝටම අනුකම්පා කරනවා.. උඹට වෙන අසාධාරණකම් කතා කරන්න කවුරුවත් නෑ..”

ඈ පැවසුවේ දයාබරත්වයෙනි. සැබැවින්ම ජනකට මා වෙනුවෙන් කරන්නට දෙයක් තිබුණේදැයි මම නොදනිමි. එය සිතීම පවා දැන් නිශ්ඵල දෙයකි. ඉන් සිදුවන්නේ තවත් මසිත පාරාගැනීම පමණි.

“කමක් නෑ ගීති.. මම මගේ හිත හදාගෙන ඉවරයි..”

මා පැවසුවේ සත්‍යයකි. හදවතින් නොයෙක් වර හඩා වැටුණද මා යම් තරමින් මේ වනවිට සුවපත් විමි. යමක් සිදුව්නනේ හඩා වැටීමටවත් සිනාසීමටවත් නොවන බව මම දැන සිටියෙමි. සතුට හෝ දුක රදාපවතින්නේ අප සිතුවිලි තුළ යැයි මට සිතේ. හඩා වැටී මා පීඩාවට පත්කරන්නේ මගේ ජීවිතය පමණක් නොව නංගිලාගේ හා අප්පච්චීගේ ජීවිතයය. ඔවුන් වෙනුවේන දුක්විය යුතු නැත. කවුරුත් මා අත්හැර ගියද ඔවුන් මා හා රැදී සිටී. ඔවුන්ගේ ජීවිත වල සතුට රදා පවතින්නේ මා ලඟය. ඔවුන් හඩා වැලපිය යුතු නැත.


උදෑසන මා අප්පච්චීගේ තේ කෝප්පය රැගෙන ඔහු අසළට යනවිට ඔහු සිටියේ සිහින් හඬින් කෙඳිරි ගාමින්ය. පෙරදින රැයේ ඔහුට අසනීපයක් නොතිබුණ නිසා මසිත ඇතිවූයේ බියක. වැල් ඇඳ අසලට ලංව මම ඔහු දෙස බැලුවෙමි. ඔහු සිටියේ හිසේ සිට දෙපතුල දක්වා පොරවා ගෙනය.

“අප්පච්චී..... ඇයි අප්පච්චිට සනීප නැද්ද..?”

ඔහු දෙනෙත් හැර බැලුවේය.

“මට උණ වගේ පුතේ..”

මම පිටි අත්ල නළලට තබා බැලුවෙමි.

“හොඳටම උණනේ අප්පච්චි.. අපි යමු බෙහෙත් ටිකක් ගන්න..”

“එපා පුතේ.. ඔයාට වැඩට යන්න බැරි වෙනවනේ.. මට කොත්තමල්ලි ටිකක් හදලා දුන්නොත් ඇති..”

ඔහු කතා කළේ අපහසුවෙනි.

“නෑ අප්පච්චි.. මම ටෙලිග්‍රෑම් එකක් ගහන්නම්..”

මම ඉක්මනින් ආහාර පිසුවෙමි. ඒ අතර ලොකු නංගී අවදිව කුස්සියට පැමිණියාය.

“ලොකු නංගි අප්පච්චිට හොඳටම උණ..”

“එහෙනම් බෙහෙත් ගන්න වෙයි..”

“ඔව් අද මම වැඩට නොගිහින් ඉන්නවා..”

“අක්කා යන්න.. මම ඉස්කෝලෙ නොගිහින් ඉන්නම්..”

“ඔයාට බෑ අප්පච්චි එක්ක යන්න..”

“අක්කා නොගියොත් බනීද..?”

පෙර දිනක අසනීපව වැඩට නොයාම ගැන නාලනී මිස් බැණ වැදුණ බව මා ඇයට පවසා තිබුණි. යළිත් මා වැඩට නොගියොත් බැනුම් අසන්නට වේයැයි ඇය සිතන්නට ඇත.

“නෑ.. මම නොයන්නෙ හේතුවක් ඇතිවනේ..”

නංගිලා දෙදෙනා පාසල් ගිය පසු මම අප්පච්චීට බෙහෙත් ගැනීමට ගියෙමි. ටවුමට යාමට බසය තිබීම සිතට සැනසිල්ලක් විය. නොඑසේ නම් අප්පච්චීට පයින්ම යාමට සිදුවනු ඇත. පයින් ගමන් කිරීමට තරම් ශක්තියක් ඔහුට නොතිබුණි. ටවුමට ගිය මම තැපැල් කන්තෝරුවට ගොස් ෆැක්ටරියට විදුලි පණිවුඩයක් යැවිමි. ඩිස්පැන්සරිය වෙත යන විට අප්පච්චී බෙහෙවින්ම විඩාපත්ව සිටියේය. අප්පච්චීව පරික්ෂා කළ විඟස වෛද්‍යවරයා ඔහුට බීමට බෙහෙත් පෙති කිහිපයක් දුන්නේය.

“බය වෙන්න දෙයක් නැහැ.. මේ බෙහෙත් දුන්නම අඩුවෙයි..”

බෙහෙත් තුන්ඩුව මා අතට දෙමින් ඔහු පැවසුවාය. මා බෙහෙත් ගන්නා තුරු අප්පච්චී ඩිස්පැන්සරියේ දිවානයක වැතිරී උනනේය. මම මුදල් ගෙවා බෙහෙත් රැගෙන ඔහු අසළට ගියෙමි.

“දැන් කොහොමද අප්පච්චී..?”

“ටිකක් අඬුයි වගේ පුතේ..”

“තව ටිකක් ඔහොම ඉඳලා යමු අප්පච්චි..”

ඔහු යළිත් දෑස් පියා ගත්තේය. මම ඔහු අසළ හිඳගෙන අවට බැලුවෙමි. බෙහෙත් රැගෙන යාමට ආ කිහිප දෙනෙක්ම අප්පච්චීත් මාත් දෙස වරින් වර බැලුවහ. සමහරෙක් බැලුවේ අනුකම්පාවෙනි. ඔවුන් කෙරෙන් මිදුණු මගේ දෙනෙත අප්පච්චී වෙත ඇදී ගියේය. සිහින් කෙදිරියක් ඔහුගේ මුවින් පිටවිය. ඔහුගේ විලාසය මගේ නෙතු කදුලින් පුරවන්නට සමත්විය. ඔහු අසනීප වනවා දැකීමට මම බිය විමි. අප තිදෙනාගේ සෙවනැල්ල ඔහුය. පෙර මෙන් ඔහු ශක්ති සම්පන්නව සිටින්නේ නම් මැනවැයි මට සිතුණි. එදවස් අපූරුය. සෑම දෙයක්ම නොඅඩුව ඔහු සොයා බැලුවේය. දැන් අප අසළ සිටින්නේ පෙර සිටි අප්පච්චී නොව ගතින් මෙන්ම සිතින්ද දුවලව ගිය පුද්ගලයෙකි. ඔහු දෑස් හැරියේය. මම වඩාත් ඔහුට ළංවිමි.

“ඇයි අප්පච්චී..?”

“අපි යමු පුතේ.. දැන් කලන්තෙ ගතිය අඩුයි..”

ඔහු හිස ඔසවා නැගී සිටියේය.

සෙමෙන් සෙමෙන් අප දෙදෙනා මාවතට පැමිණියෙමු. බස්නැවතුමට එනවිට වේලාව එකොළහයි හතලිහ පසුවී තිබුණි. මම අසළ සිටි පුද්ගලයා වෙතට ලංව බසය පිළිබදව විමසිමි.

“බස් එක දැන් ගියේ..”

මසිත ඇති වූයේ කණගාටුවකි. වේලාසනින් පැමිණියේ නම් බසයේ යන්නට තිබුණි. නැවත බසයක් පැමිණිමට පැයක් තිබේ. අප්පච්චීට පයින් යාමටත් අපහසුය. බස් නැවතුම අයිනේ අපහසුවේන හිදගෙන සිටි අප්පච්චී අසළට මා ගියේ දුක් බර සිතිනි.

“බස් එක ගිහිල්ලා අප්පච්චී..”

“අපි පයින් යමු..”

“අප්පච්චීට පයින් යන්න බෑ.. ඊළග බස් එක එනකම් ඉමු..”

“නෑ හිමීට යමු.. මට එච්චර අමාරුවක් නෑ..”

මා නවතිමු යැයි කියන්නට පෙරම ඔහු නැවතී සිටියේය. ඔහු ඇවිද ගියේ බොහෝ සෙමිනි. මා කුඩය එසවූවද ඔහුගේ මුහුණෙන් දාඩිය වැගිරෙන්නට විය.

“අප්පච්චිට ඔහොම යන්න අමාරුයි..”

“නෑ පුතේ මට ගියහැකි..”

ඔහු නිසොල්මන්ව ගමන් කළේය. මා වරින් වර ඔහු දෙස බැලුවේ ඔහුට අමාරුවක් වේදැයි බියෙනි. කලන්තයක් හැදුනහොත් ඔහු වැටෙතැයි මට බිය සිතුනි. මද දුරක් ගිය ඔහු පාර අයිනට වන්නට හිදගත්තේය.

“අමාරුද අප්පච්චි..?”

“නෑ.. කකුල් දෙක ටිකක් රිදෙනවා..”

අප්පච්චී හතිලමින් විඩා නිව්වේය. මා ඔහු දෙස බලා සිටියේ සොවිනි. අසරණකමින් අප්පච්චීට වඩා මසිත පීඩා ගෙන දුන්නේය. කෙඳිරි ගාමින් යළිත් ඔහු නැගී සිටියේය. මම ඔහුගේ වමත අල්වා ගතිමි. මට තිබුණේ බසය එනතුරු කොහේට හෝ වී නැවතී සිටින්නටය. ආපසු යන්නට ආ දුර වැඩිය. සිදුවූයේ අපහසුවෙන් වුවද අප්පච්චී සමග ඉදිරියට පය ඔසවන්නටය. මද දුරක් අප යනවිට ඉදිරියට ගිය වාහනයක් පාර අයිනට වන්නට නතර විය. මම ඒ පිළිබඳව විමසිලිමත් නොවිමි. රතුපැහැති කාරය අසළට යනතුරුද එය එලෙසම තිබුණි. මා අප්පච්චී සමග රිය පසුකර ඉදිරියට ඇදුණි.

“අරුන්දිකා..”

අප්පච්චීටද ඒ හඬ ඇසුණි.. ඔහු මදෙස බලා පාරෙන් අනෙක් පස බැලුවේය. මා එදෙස බැලුවේ කවුරුන්දැයි යන පුදුමයෙනි.

කාංචන මුදන්නායක දැකීමෙන් මසිතට බියක් ඇතිවිය. ඒ ඇයිදැයි තෝරා බේරා ගැනීමට මට නුපුළුවන්ය. අද වැඩට නොගොස් සිටීම ගැන දොස් අසන්නට සිදුවේයැයි යන අනියත බිය උදේ සිට මසිත පැවතුණි. මෙලෙස මහ මගදී ඔහු දැකීමෙන් යටපත්ව තිබුණු බිය යළිත් ඉස්මතුවිය. ඔහු රියේ කවුළුවෙන් නෙත් යොමාගෙන සිටියේය. මා බැලුවේ අප්පච්චී දෙසය. ඔහුගේ දෙනෙතේ කුතුහලයක් විය. මගේ නමින් ඇමතුවේ කවුරුන්ද යන්න ඔහුට ගැටළුවක් වන්නට ඇත.

“අප්පච්චි අපේ ෆැක්ටරියෙ ලොකු මහත්තයා..”

මම අප්පච්චීත් සමඟ පාර පැන ඔහු අසළට ගියෙමි. මසිත නොසන්සුන් වූයේ ඔහුගේ බැල්මටය. විටෙක ඒ බැල්මට මම බිය විමි.

“අප්පච්චීට උණ හැදුනා.. ඒ නිසා අද වැඩට එන්න බැරි උනා සර්..”

“ඇයි පයින් යන්නෙ..?”

“බස් එක ගිහින්..”

ඔහු මදක් නිසොල්මන්ව සිටියේය.

“යමු.. මම ගිහින් දාන්නම්..”

මම අප්පච්චී දෙසත් ඔහු දෙසත් බැලුවෙමි. මේ අවස්ථාව දෙවියන් විසින් ලබා දුන්නකි. නොඑසේනම් මේ විශාල දුර අප්පච්චීට පයින් යාමට සිදුවනු ඇත. නමුදු සිත පසුබා ගියේය. ඒ මන්දැයි මම නොදනිමි. කාරයෙන් පිටතට පැමිණි ඔහු පසුපස දොර හැර දුන්නේය. අප්පච්චී අපහසුවෙන් එහි හිඳගත්තේය. ඔහු අසළින් හඳගත් මම කාරයේ දොර වැසිමි.

අප රැගත් රිය ඉදිරියට ඇදුනේය. කිසිවක් සිතාගත නොහැකිව මා සිටියේ ඉවත බලාගෙනය. මද දුරක් නිහඬව ගිය අප්පච්චී අතේ තිබුණු තුවාය හිස වැසෙන සේ පොරවා ගත්තේය.

“ඇයි අප්පච්චී..?”

මා ඔහු දෙස බැලුවේ විමසිල්ලෙනි..

“සීතලයි පුතේ..”

රියේ වායුසමනය යන්ත්‍රයෙන් ගෙන ආවේ සිසිලසකි. අප්පච්චීට එය උසුලා ගන්නට නුපුළුවන් වන්නට ඇත. මනෙතු දිවගියේ කාංචන මුන්දනායක වෙතය. ඔහුගේත් මගේත් දෑස් එක්වර ගැටුණි. මොහොතනින් වායු සමනය ක්‍රියා විරහිත විය.

“දැන් හරි අප්පච්චි..”

මා පැවසුවේ සෙමිනි. ඔහු තුවාය අතට ගත්තේය. කාරය හන්දියට පැමිණෙන තුරුද අප අතර පැවතියේ නිහඬතාවයකි. මෙතැන් සිට අපට යාමට ඇත්තේ මද දුරක් නිසා මම කාංචන මුදන්නායක දෙසට නෙත් යොමු කළේය.

“ඉස්සරහින් අපිව දාලා යන්න සර්.. අනික ටික පයින් යන්න පුළුවන්..”

“ගේ ළඟද අරුන්දිකා..?”

“ඔව්.. හන්දියෙ ඉඳන් ටිකක් දුරයි..”

“කමක් නෑ මම ගිහින් දාන්නම්.. ඔයාගෙ තාත්තට අමාරු ඇතිනේ..”

මසිත නොසන්සුන් විය. පෙරදිනක මහේෂ් වනිගසූරිය අප නිවසට ආදා මෙන්ම සිත නොසන්සුන් විය. අනේ ඔහු මුණගැසුනේ නැත්නම් යයි මම සිතුවෙමි. නමුදු එය සිදුවූයේ නැත. ඔහු කඩුල්ල අසළ රිය නතර කළේය. කාරය නවත්වා ඔහු මදෙස බැලුවේය.

“අරුන්දිකාලගෙ ගෙදර කවුරුවත් නැද්ද..?”

වසා දමන ලද දොර දෙස බලා ඔහු විමසිය.

“නෑ සර්.. මමයි නංගිලා දෙන්නයි අප්පච්චියි ඉන්නෙ..”

“අම්මා..?”

මම අප්පච්චී දෙස නෙත් හෙලිමි. ඔහු සුසුමක් හෙලා ඉවත බලා ගත්තේය.

“අම්මා මියැදිලා..”

මා පැවසුවේ සෙමිනි. ඔහු ඉදිරියෙන් බැසවිත් කාරයේ දොර විවර කළේය. මම අප්පච්චී වාරු කරගෙන ඉන් බැස ගතිමි.

“මහත්තයට මහන්සි ඇති. මොනවහරි බීලා යන්න තිබුණා ගෙට ගොඩ උනා නං..”

මා ඔහු දෙස බැලුවේ අපහසුවෙනි. ඔහු වැනි පුද්ගලයෙකු අපේ පැල්පතට පැමිණේවියැයි මම නොසිතුවෙමි. ඔහු පිටත්ව යාවි යැයි සිතුණ මුත් අප පසුපස ආවේය. මසිත නොසන්සුන්කම වැඩිවන්නට විය. අප්පච්චී වැල් ඇඳමත හිඳගත් පසු මම ලී පුටුව පිසදමා ඔහු අසළට ළං කළෙමි. ඔහු හිඳගත් පසු ගෙතුළට ගිය මම තැඹිලි ගෙඩියක් කපා වීදුරුවකට දැම්මෙමි. සිහිනයෙන් මෙන් මම ඔහු අසළට ගියෙමි. ඔහු නිහතමානීව එය පිළිගත්තේය.

“අප්පච්චීගෙ අත මොනවා වෙලාද..?”

ඔහු මදෙස බලා විමසිමි.

“ගල් වෙඩිල්ලක් වැඳිලා කැපුවා මහත්තයො.. මගේ කරුමෙ.. නැත්නම් මේ ළමයව මං හම්බ කරන්න යවන්නෙ නෑ.. විශ්ව විද්‍යාෙල යන්න පුළුවන්කම තියෙද්දිත් මම නිසා දුක් විඳනවා..”

ඔහු මදෙස බැලුවේ පුදුමයෙනි. මම බිම බලා ගතිමි.

මා සියල්ල සිදු කළේ බලාපොරොත්තුවකින් නොව අරමුණක් ඇතිවය. මගේ ලොව අරමුණ වී නම් මේ අසරණ ජීවිත ජීවත් කරවීමය.

“අරුන්දිකා කැම්පස් යන්න පාස්ද..?”

ඔහු විමසන්නට ඇත්තේ පුදුමයට පත්විමෙනි. මදෙස බලා ඇසූ පැනයට පිළිතුරු සැපයූයේ අප්පච්චීය.

“ඔව් මහත්තයා..”

මම හැමවිටම අප්පච්චී හා නංගිලා දෙදෙනා ගැන සිතිය යුතුව ඇත. එය මගෙ යුතුකමය.

“මට මේ රස්සාව හොඳයි..”

මා එලෙස පැවසුවේ අප්පච්චීටද, කාංචන මුදන්නායකටදැයි මම නොදනිමි. මොහොතකින් ඔහු පුටුවෙන් නැගී සිටියේය.

“මම එහෙනම් ගිහින් එන්නම්..”

ඔහු අප්පච්චී දෙස බලමින් පැවසීය. අප්පච්චී වැල් ඇඳෙන් නැගිට්ටේය.

“මහත්තයට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මේ කළ උදව්වට.”

ඔහු නිහඬවම සිනාසුණේය.

“මම යනවා අරුන්දිකා..”

මම හිස වැනිමි. මම ඔහු පසුපස කඩුල්ල දක්වා ගියෙමි. කඩුල්ල දක්වා නිහඬව ගිය ඔහු පසුපස හැරී මදෙස බැලීය.

“මං යනවා..”

කාරයට නැගුනු ඔහු මදෙස වරක් බලා යන්නට ගියේය. රිය ගුරුපාර දිගේ නොපෙනී යනතෙක් මම බලා සිටියෙමි.

“හරි හොඳ මහත්තයා නේද පුතේ..?”

මා ගෙට ඇතුළුවනවාත් සමඟම අප්පච්චී පැවසුවේය.

“හ්ම්....”

“පුතා කිව්වෙ නැද්ද විශ්ව විද්‍යාලෙ යන්න පාස් බව..?”

“නෑ අප්පච්චි.. කලින් මහත්තයා නෙමෙයි ඒ..”

සුසුමක් හෙලූ ඔහු වැල් ඇඳේ දිගාවිය.


ජීවිතය පිළිබඳ කුදුමහත් බලාපොරොත්තු මසිත නොවීය. ප්‍රාර්ථනා ජීවිතයෙන් පලා යද්දී පරාජය සතුටු සිතින් බාරගත යුතුව තිබුණි. මම සියල්ල අපේක්ෂාවෙන් වින්දෙමි. මගේ ලොව හෙටක් තිබුණේ නම් ඒ අප්පච්චී හා නංගිලා නිසාවෙන්ය. මගේ ලොව සරල විය. සැහැල්ලුවෙන් ගලා යතැයි සිතූ ජීවිතය සංකීර්ණ විය.

අසුරණ ලද පෙට්ටි වල මම ලේබල් අලවමින් උන්නෙමි. මහේෂ් වනිගසූරිය පැමිණියෙන් මගේ කාර්යය මොහොතකට නතර කරන්නට සිදුවිය. අලවන්න හැදූ ලේබලය අතැතිව මම ඔහු දෙස බැලුවෙමි.

“අරුන්දිකා, මිස්ටර් මුදන්නායක කතා කරනවා..”

මා ඔහු දෙස බැලුවේ විමතියෙනි. ඔහු දෑසේද ප්‍රශ්නාර්ථයක් විය.

“බලලා එන්න අරුන්දිකා..”

මහේෂ් වනිගසූරිය එලසෙ පවසන තුරු මා සිටියේ තෝරා බේරාගත නොහැකි වූ සිතිවිලි අතරය. මම අතරැදි ලේබලය පසෙකින් තැබුවෙමි.

මා දොර විවර කළේ සැලෙන සිතිනි. ඔහු හිස ඔසවා මදෙස බලා නැවත ඔහුගේ කාර්යයේ නිරත විය. දෙපා ගැහෙන්නට විය. ඔහුගේ මේසය අසළ වූ පුටුව තදින් අල්වා ගත් මම ඔහු දෙස බලා සිටියේය.

“අරුන්දිකා..”

ඔහු බොහෝ නොසන්සුන්ය..

“හැමදාම මැෂීමෙ වැඩ කරනවද..?”

මා බලාපොරොත්තු වූයේ රැකියාවක්ය. එය මට ලැබුණි. ලද රැකියාවේ වරදක් මම නොදුටුවෙමි.

“මට මෙහෙම හොඳයි..”

මා පැවසුවේ සත්‍යයකි. බලාපොරොත්තු කන්දක ජීවත් වනවාට වඩා ලද දෙයින් සතුටු වීම මැනවැයි මට සිතුණි.

“ඒ උනාට මට හොඳක් වෙන එකක් නෑ..”

ඔහු කතා කළේ වේගයෙනි.

“මෙච්චර ඉගෙන ගත්ත ළමයෙක් මං ළඟ මැෂිමක වැඩ කරනකොට මං හම්බකරන දේවල් වලින් වැඩක් වෙන එකක් නෑ..”

මම නිසොල්මන්ව සිටියෙමි. කීමට දෙයක් මවෙත නොවීය. ඔහු මා මුව ගොලු කර ඇත. ඔහුගේ වදන් මසිත විශ්මයෙන් පුරවාලීමට සමත්විය. නමුදු දෙන දේ සතුටින් භාරගනු හැර ඊට වැඩි යමක් ඉල්ලා පුරුද්දක් මට නොවීය. පුංචි දවස මම අප්පච්චී ගෙනත් දුන් දෙයට දෝත පෑවෙමි. මම කිසිදින අප්පච්චී ගෙනත් දුන් දේට වැඩි යමක් ඉල්ලා කරදර නොකළෙමි.

“හෙට උදේ වැඩට එන්න කළින් මිස්ටර් දිසානායක හම්බවෙන්න ඕන.. තේරුණාද..?”

එය අණකිරීමකි. මම හිස වැනිමි. මේ කිසිවක් මට නොතේරේ. ඒ අණට කීකරු වීම හැර  ඇසීමට හෝ කීමට යමක් මට නොවීය.

තෝරා බේරාගත නොහැකි වූ සිතුවිලි වල මා පටලැවෙන්නට විය. මසිතට බරක්වූ සියලු දේ ගීතිකාට කියා මම සිත සැහැල්ලු කර ගතිමි. ඇයත් නොමැති වී නම් තනිකමින් බොහෝ සේ පීඩා විඳින්නට තිබුණි. ජීවිතය තුළ කුමක් හෝ සිදුවෙමින් පවතින බව මට දැනුණි. නමුදු ඒ වෙනස් වීමට මම බිය විමි. මට උරුම ලොව දුටු මා ඉන් එහා ලොවක් දැකීමට අකමැති විමි.

ජීවිතයේ දුක්ගිනි අකුරු කළ මා සතුටක් දුටු මොහොතේ ඉන් සොම්නස් නොවිමි. සැහැල්ලු නොවී බියට පත්වූයේ මන්දැයි නොවැටහුණි.


පහුවදා වැඩට පැමිණි පසුවද මසිත බරව තිබුණි. කාර්යාලයේ වැඩ පටන් ගන්නේ උදේ අටයි තිහටය. වේලාව එනතුරු කාර්යාලය තුළ වූ පුටුවකට වී සුසුම් හෙලන්නට මට සිදුවිය. දිසානායක මහතා මෙහි ගණකාධිකාරී වරයාය. ඔහු පැමිණි පසු මා ඔහු අසළට ලං වූයේ කුතුහලයෙනි. මැදිවියේ උන් ඔහු මා අසළටයත්ම මුවපුරා සිනාසුණේය.

“ආ.. අරුන්දිකා.. මට මිස්ටර් දිසානායක ඔයා ගැන කිව්වා. අපරාධෙ ඔය ළමයා ඉගෙන ගෙනත් ෆැක්ටරියෙ වැඩ කළේ.. හොඳයි.. අද ඉඳලා මගේ වැඩ වලින් භාගයක් ඔයාට බාරයි. මම කරන්න ඕන දේවල් කියලා දෙන්නම්. ඔයාට තියෙන්නෙ හොඳට වැඩ ටික කරගෙන යන්න.”

මම විපිලිසර විමි. රෙදි කැබලි වලට ඉඳිකටුවට අත හුරු කරගෙන සිටි මගේ සුරතට පෑන හිමිවිය. සුළු සේවිකාවක් වූ මා කාර්යාලයේ සේවිකාවක් වීමට එතරම් කාලයක් නොගියේය. කාංචන මුදන්නායකගේ කාරුණික බව මසිත විශ්මයෙන් පුරවාලිය. මට හිටිවනම සිදුවූ මේ විපර්යාසය අනෙක් ළමුන්ට පුදුමයක් වනු ඇත. මසිත වූ නොසන්සුන්කමෙන් ගැලවීමට නිදහසක් ලද පසු දිසානායක මහතා අසළට විමි.

“මිස්ටර් දිසානායක..”

වචන පෙළ ගැසීමට මට උත්සාහ කරන්නට සිදුවිය.

“මොකද අරුන්දිකා ප්‍රශ්නයක්ද..?”

“නෑ.. මේ අනික් ළමයි බලනවා ඇති මට හිටි හැටියො මොකද උනේ කියලා..”

“මේ.. මේකද ඔය ප්‍රශ්නෙ..? ඇස් දෙක ලොකු කරන් එනකොට මම බය උනා.. ඔයා නම් පුදුම ළමයෙක් දරුවො. ඔයා පුංචි දෙයක් ගැන හිතන දුර.. එවා හැමදේම හරි.. ඔයා ඔයාගෙ වැඩ ටික කරගෙන යන්නකො..”

ඔහු සිතන තරම් මසිත සැහැල්ලු නොවීය. එය සුළුකොට තැකිය හැකි දෙයක්යැයි මම නොදනිමි. එකවර සිදුවුන මේ සිදුවීම නිසා අනෙක් ළමයි විමසිලිමත් වනු ඇත. ගීතිකාට නම් මා පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මා ඕනවටත් වඩා අනවශ්‍ය දේවල් සිතන්නේදැයි මට සිතුණි.

හිටිවනම සිදුවූ සිදුවීම අප්පච්චී හා නංගිලා දෙදෙනාට දරාගත නොහැකි තරම් සතුටක් විය. අප්පච්චී කාංචන මුදන්නායකගේ ගුණ වැයුවේය. නොදුටු මගේ ආයතන ප්‍රධානියාට ලොකු නංගී ගෞරව කළේය. අපේ මුහුණු වල සතුටු දුටු නිසා චුට්ටී සිනාසුනාය. මසිත සතුටක් නොවුණාම නොවේ. සතුට සිතට බරක් විය. රාත්‍රියේ ඉරුණු ගවුමක් මසමින් සිටි මා අසළට ලොකු නංගී ලංවිය. චුට්ටී මේ වන විට හොඳටම නින්දේය. ඇය වේලාසනින්ම නින්දට යයි. අප්පච්චී නිදන්නේ ඉස්තෝප්පුවේ වැල් ඇඳේය. එය ඔහුගේ පුරුද්ද විය. ලොකු නංගී මා පසෙකින් හිඳගත්තාය.

“අක්කේ..”

“හ්ම්..”

මම හිස ඔසවා ඇය දෙස බැලුවෙමි.

“ඔයාට දැන් ඔය පරණ ගවුම් ඇඳන් යන්න බැහැනේ.. ගවුමක් දෙකක් මහගන්න.. ඔයා දාන්නෙ පටි කැඩුණු සෙරෙප්පු මහලා, ඔහොම යනකොට අනිත් අය හිනාවෙයි..”

“අපි අපිට පුළුවන් විදියටනේ නංගි හැමදේම කරන්න ඕන..”

“එහෙම කියලා බැහැනේ.. අපි කැටේ කඩමු..”

“ඕන නෑ ලොකු නංගි.. මං ළඟ ඉතුරු කරපු සල්ලි ටිකක් ඇති.. පස්සෙ බලමු..”

“පස්සෙ නමෙයි.. ටවුමෙන් හෙට ඔයාට ඕන දේවල් අරන් එන්න..”

තත්වයෙන් උසස් වූ මට බාහිරින්ද උසස් වීමට සිදුවේ. නමුදු මා එදා අරුන්දිකා මුතුබණ්ඩාරම විය. කිසිවෙකු මා ගැන කෙසේ කතා කළද මා දෙස කෙසේ බැලුවද මා සිටියේ පෙර මෙන්මය. නතිකරලට ගෙතූ කොණ්ඩය එදා මෙන්ම පිට මැද්දට දමා පටියෙන් ගැට ගැසුවෙමි. එදා සේම මා ගත සැරසුවේ චීත්ත ගවුමය. ලොකු ළමයෙකු වූදා අප්පච්චී කනට දැමූ පුංචි තෝඩු දෙක දෙකන් සැරසීය. අත කර සැරසීමටට මුතු මාල මට නොවීය. ලොකු නංගී සිතන්නේ මා දැන් පෙරට වඩා හොඳින් ඇඳ පැළඳ යා යුතු බවය. එය එසේ විය යුතුද යන්න මට කල්පනා නොවීය. මම පෙර මෙන්ම රැකියාවට ගියෙමි.

සවස වැඩ අවසන්ව මාත් ගීතිකාත් බස්නැවතුම දක්වා පැමිණීයේ එකටය. ඇගේත් මගේත් මිතුදම කිසිවිටක වෙනස් නොවීය. මා පෙර සේම ඇයට සමීප විමි. සිතේ තෙරපෙන දහසක් සිතුවිලි මා ඇය සමඟ පවසා සිත සැහැල්ලුකොට ගතිමි. පෙර මෙන්ම ඇය මට ඔවදන් දුන්නාය. ඇය සවස වැඩ අවසන්ව එනතෙක් ගේට්ටුව අසළට වී මම බලා උන්නාය.

“අරුන්දිකා මිස් මම පරක්කු උනාද..?”

ඈ මට සමීපවන්නේ විහිළුවකින් මුව සරසාගෙනය.

“මේ.. ඕවා කියන්න ආවොත් තරහා වෙනවා..”

මා ඇයට තරවටු බැලුම් හෙලිමි. අනතුරුව අප දෙදෙනාම සිනාසුණෙමු.

“ඉතින් කොහොමද..?”

අවසන්ව යන සිනහව අඟ ඈ විමසුවාය.

“විශේෂත්වයක් නෑ ගීති..”

“දැන් ඉතින් කල්පනා කර කර හූල්ලන්න ඕන නැහැනේ.. හොද රස්සාවක් තියෙනවනේ.. හොඳ පඩියක් ලැබෙයි. ගෙදර ප්‍රශ්නත් ටික ටික විසඳගන්න පුළුවන්නේ..”

“ඒක නම් ඇත්ත ගීති..”

“කොහොම උනත් කාංචන සර් හොඳ කෙනෙක්..”

ඈ මදෙස බලමින් පැවසීය. ඔහු නොසිටින්නට මේ කිසිවක් මෙසේ සිදු නොවන්නට ඇත. ඔහු පිළිබඳව මසිත ඇත්තේ අප්‍රමාණ ගෞරවයකි. ඔහු මගේ ජීවිතයට පමණක් නොව අප්පච්චීගේ හා නංගිලාගේ ජීවිතද නව මාවතකට යොමු කළේය.

“ඒ ගමන කල්පනා කරනවා..”

මම ඇය දෙස බැලුවේ සිනහවෙනි.

“කොහොම උනත් උඹ පරිස්සමින් ඉඳපන් අරුණි. සමහරු උඹට ඊර්ෂ්‍යා කරයි.”

ඉන් මම කැළඹී ගියෙමි.

“ඇයි ගීති එහෙම කිව්වෙ..?”

“නෑ.. ඉතිං සමහරු කතාවෙන ඒවා දැනගන්න ලැබෙනවා..”

“මොනවද මං ගැන කතා වෙන්නෙ..?”

“ඔය ඉතිං.. කලබල වෙනවනේ.. අපේ ළමයි නෙමෙයි.. ඔෆිස් එකේ අය.. උඹ උඹේ වැඩ කරගෙන පලයන්.. කාටවත් බය වෙන්න ඕනෙ නැහැනේ..”

ගීතිකා පැවසූ දේ වලින් මසිත නොසන්සුන් වන්නට විය. ජීවිතය සැහැල්ලුවේ යැයි සිතූ තැන කැළඹීම් ඇතිවිය.

මා කිසිවෙකුට හෝ වරදක් නොකලද මට නපුරුකම් කරන්නන් විය. කාර්යාලයේ සියලුදෙනා සමගම මම සුහදව කතාබහ කලෙමි. ඉන් හා සමීපකමකට මම නොගියෙමි. මගේ පාඩුවේ වැඩ කරන මා පිළිබඳව ඔවුක් කුමක් කියයිද යන්න මසිත ඇතිවූයේ ගැටලුවකි. සැහැල්ලුවෙන් සිටිය යුතුයැයි සිතුවද එසේ සිටීමට මට ඉඩක් නොවීය. අසරණ මා රිදවීමෙන් ඔවුන් කුමක් බලාපොරොත්තු වේදැයි මම නොදනිමි.

කාර්යාලයේ මාත් සමග සිටියේ කාන්තාවන් තිදෙනෙකි. අනෙක් දෙදෙනා ඔවුනොවුනට සමීප වූ අතර බොහෝ විට මට තනිවන්නට සිදුවිය. එයින් පීඩා නොවින්දද මා නොමැති තැන ඔවුන් මා ගැන කතා කරන්නේද යන සිතුවිල්ල මසිත ඇතිවිය. දහවල් කෑම වේලාවෙදී මා බොහෝ විට කෑම ගත්තේ දිසානායක මහතා සමගය. ඔහු පියෙකු මෙන් මට සමීප විය. ඔහුට මා වැනිම දුවෙකු හා පුතෙකු සිටියි. ඔහු බොහෝ විට ඔහුගේ පවුලේ තොරතුරු මා සමඟ කතා කරයි. ඔහු මට ජීවිතයට ඔවදන් දෙන්නේය. මම ඒ ඔවදන් වලට ගෞරව කළෙමි.


කාංචන මුදන්නායක ෆැක්ටරියට නොපැමිණි දවසක මිසිස් විජේමාන්න හා ඇයගේ දියණිය එහි පැමිණියහ. හැරිස් විජේමාන්නගේ බිරිඳගේ ගාම්භීර පෙනුමක් විය. ඇයගේ ගමන් විලාසයද කතාබහද කුල කාන්තාවකගේ සිරි ඉසිලීය. ඇය කාර්යාලයේ කා සමගත් සුහදව කතාබහ කරයි. ඒ අතර තුර ඈ මා දුටුවාය. ඇය මිසිස් පෙරේරා ගෙන් මා ගැන විමසිය. ඔවුන් මට සමීපවත්ම මම හිදගෙන සිටි අසුනෙන් නැගී සිටියෙමි.

“මොකක්ද මේ ළමයගෙ නම..?”

“අරුන්දිකා..”

මම වරක් අසළ සිටි යුවතිය දෙස බලා සිණාසුනෙමි. ඈ ඉවත බලා ගත්තාය. මා සිනාසුණේ ඔවුනට ගෞරව කිරීමක් ලෙසය. එය වැරැද්දක්දැයි මට සිතුනේ ඇය ඉවත බලාගත් ආකාරයටය. ඔවුන් මා අසළින් ඈත් වූ පසු මම හිඳගතිමි. පෙරේරා මිස් ළඟට ගිය ඔවුන් තවත් මොනවදෝ මදෙස බලමින් කතාබහ කරනු මම දුටුවෙමි. ඇය මා ගැන කුමක් පවසන්නේදැයි මම සිතුවෙමි.

“කාංචන සර් මැරි කරන්න ඉන්න ගර්ල් ඒ..”

මිසිස් පෙරේරා මා අසළින් යන ගමන් එලෙස පැවසිය. ඈ මා අසළට ලංව එය පැවසුවේ ඇයිදැයි මම නොසිතුවෙමි.

හදිසියේම දිසානායක මහතා අසනීප විය. ඔහු නොමැති වීමෙන් සියලු වැඩකටයුතු කිරීමට සිදු වූයේ මටය. මා කල්පනාවෙන් කළයුතු දේ බොහෝ විය. ඒ සියල්ල නිවැරදිව කිරීඹට මම උත්සාහ කළෙමි.  අසනීප වූ දිසානායක මහතා බැලීමට යාමට මට අවශ්‍ය විය. ඉරිදා නිවාඩු දිනයක් වූ නිසා ඔහු බැලීමට යාමට සිතුවෙමි. පෙරදිනක ඔහු කිව් මාර්ගයේ ඔහුගේ නිවසට යාමට මට එතරම් අපහසුවක් නොවීය.
උදෑසන දහයට පමණ මම දිසානායක මහතාගේ සමගියට ලඟාවුණෙමි.  මා දුටු දිසානායක මහතාගේ බිරිඳ විමසිලි දෑසින් මදෙස බලා සිටියාය.

“මම මිස්ටර් දිසානායක වැඩ කරන තැන වැඩ කරන්නෙ.. නම අරුන්දිකා..”

ඉන්පසුව ඇගේ මුවගේ සිනාවක් පැතිරිණි.

“ආ.. ඔයාද අරුන්දිකා.. මහත්තයා ඔයා ගැන නිතරම කියනවා.. එන්න ඇතුළට..”

ඇය පසුපස ඇගේ දුවත් පුතාත් විය. ඔවුන් මා සුහඳව පිළිගත්හ. ඔවුනන්ගේ කරුණාව මසිතට සතුටක් එක් කළේය.

“ඉඳගන්න අරුන්දිකා..”

මම හිඳගතිමි. දිසානායක මහතාගේ දුව ඇතුල්ගෙට වැදුනාය. ඈ යළි ආවේ දිසානායක මහතා සමගිනි.

“අනේ අරුන්දිකා.. ඇයි කරදර උනේ..?”

ඔහු පුටුවකට බරවිය. ඔහුගේ මුහුණ ඇදීගොස් තිබුණි.

“මොකද උනේ මිස්ටර් දිසානායක..?”

“මට මේ ලෙඩේ කාලෙකට හැදෙනවා දරුවො.. පපුවෙ හතිය..”

ඔහු සිනාසෙන්නට උත්සාහ කළේය.

“ඉන්න මම බොන්න මොකුත් අරන් එන්නම්..”

දිසානායක මහතාගේ බිරිඳ අප අසලින් ඈත් විය.

“මේ ඉන්නෙ මගේ දුව නාලිකා.. මම ඔයාට කියලා තියෙනවනේ.. මේ පුතා රන්දීප.. තාම ඉස්කෝලෙ යනවා.. මම නාලිකාට ඔයා ගැන කියලා තියෙනවා..”

නාලිකා මට සමීපව සිනාසුණාය. ඔවුන්ගේ සුහද බවට මම ගෞරව කළෙමි. මගේ පැමිණීම ඔවුන් සියලුදෙනාගේම සතුටක් විය. අප කතාබහ කරන අතරතුර නිවස ඉදිරිපස වාහනයක් නවත්වන හඬ ඇසුණි. දිසානායක මහතාගේ පුතා ඉදිරියට ගිය අතර නිවසට පැමිණී අමුත්තා දොරින් එබුණේය. කාංචන මුදන්නායකගේ රුව දැකීමෙන් මසිත මදක් සසලවිය.

“එන්න සර්..”

දිසානායක මහතා අසුනින් නැගිට ඔහු අසලට ගියේය. මාද හිදගෙන සිටි අසුනින් නැගී සිටියෙමි. ඔහු සිනාසෙමින් අප දෙස බැලීය.

“අරුන්දිකත් ඇවිත් ඉන්නෙ..”

මම සිනාසෙන්නට උත්සාහ කළෙමි.

“දැන් කොහොමද මිස්ටර් දිසානායක..?”

“ටිකක් හොදයි සර්.. ලබන සතියෙ ඉඳලා වැඩට එන්න පුළුවන් වෙයි..”

“කලබල වෙන්න එපා.. සනීප වෙනකම් වැඩ කරන්න.. ගෝලයා වැඩ ටික කරගෙන යයිනේ..”

ඔහු මදෙසත් දිසානායක මහතා දෙසත් බලමින් සිනාසුණේය. සිනාසීමට මට අමතක කරන්නේ ඔහු කෙරෙන් එකවර නැගෙන සැහැල්ලු බවය. ඔහු සිනාසුනේ කලාතුරකිනි. ඔහුගේ මුහුණ දුටුවිට සිනාවක් නොහඳුනන පුද්ගලයෙකුගේ මෙන් පෙනේ. ඔහු සිනාසෙන්නේ මනෙතු බියට පත් කරවමිනි. ඔහුන් කතාබහ කරන අතරතුර මම නාලිකාත් සමග  සමීප විමු. ඇය මා පිළිබඳව සියලු තතු දිසානායක මහතාගෙන් දැනගෙන ඇත. ඇය මට ලෙංගතු විය. දහවල් වන විට කාංචන මුදන්නායක පිටත්ව යාමට සැරසුණේය.

“අරුන්දිකා දැන්ම යනවද..?”

ඔහු මදෙසත්, දිසානායක මහතා දෙසත් බලමින් විමසිය. මා පත්වූයේ අසීරුතාවයකටය.

“අරුන්දිකාට සර් එක්කම පාරට යන්න තිබුණා.. නැත්නම් මේ ටික පයින් යන්න වෙනවනේ..”

මා සිටියේ කිසිවක් සිතා ගැනීමට නොහැකිවක් සේය. ඔවුන් තීරණය කළේය. ඔවුන්ගේ තීරණයට එකඟවීමට මට සිදුවිය. මා ක්‍රියාකළේ රූකඩයක් පරිද්දෙනි. සැමගෙන් සමුගත් මම කාංචන මුදන්නායකගේ රියට නැගුණෙමි. කාංචන මුදන්නායක මා වෙනුවෙන් විවර කළේ කාරයේ ඉදිරිපස දොරයි. නොසන්සුන් සිතින් මම අසුනේ හිඳගතිමි.  ඔහුගේ නිහඩ පිළීවෙත මා දවාලීමට සමත්විය. රියදුරු අසුනේ හිඳගත් ඔහු නිහඩවම කාරය පාරට ගත්තේය. මා සිටියේ ඉදිරිපස බලාගනෙමය. ඔහු රිය පැදවූයේ මද වේගයෙනි. මගදෙපස තිබූ දෑ පිළිබදව මතකයක් මවෙත නොවීය. අනේ ඔහු නාවා නම් යැයි මසිත කීවේය. එසේනම් සන්සුන්ව මේ මග යන්නට මට සිතුණි.

“කාංචන මුදන්නායක මැරි කරන්න ඉන්නෙ ඒ ගර්ල්..”

මට මිසිස් පෙරේරාගේ හඩ එකවර මතකයට නැගුණි. මසිත දැවුණි. මා කරන්නේ වරදක්ය යන සිතුවිල්ල සිත රිදවන්නට විය. නමුදු මම මෙය කලෙන් පැමිණි ගමනක් නොවූ නිසා ඒ සිතුවිලි සිතින් බැහැර කළෙමි. මද දුරක් ගිය පසු කාරයේ ගමන් මග වෙනස්වීම නිසා මම ඔහු දෙස බැලුවා නොව ඉබේටම බැලුණි. ඔහු බොහෝ නිසල විය.

නුඹ දැහැන් ගතය. මෙතරම් සන්සුන් බවක් මෙතරම් නිසල බවක් මින් පෙර මම නොදුටුවෙමි. නුඹේ නෙතු බැල්ම මා බිය නොකළේ නම්, අප අතර මීට වඩා සමීප බවක් ඇතිව තිබුණා නම් මට කෑගසා අසන්නට තිබුණි. නුඹේ දැහැන් බිඳ නුඹව කෝප කරන්නට තිබුණි. අනේ මා අසරණය. නුඹ මා මේ තරම් අසරණ කළේ මන්දැයි මසිත විමසයි.

ඉදිරිපස බලාගෙන කාරය පදවන කාංචන මුදන්නායකගේ නිසල වත දෙස මා බැලුවේ ඔහුව වටහා ගැනීමටය. එහි කිසියම්ම හැඟීමක් නොවීය. මගේ වෙනස දුටුවාක් මෙන් ඔහු එක්වර මදෙස බැලීය. මම බිම බලා ගතිමි. ඔහුගේ නිහඩ පිළීවෙත මා නොසන්සුන් කර ඇත. කිසිවක් අසන්නට හෝ කියන්නට තරම් ශක්තියක් මවෙත නොවීය. ජනාකීර්ණ මගින් මිදුණු කාරය කඳුකර මඟක් ඔස්සේ දිව ගියේය.  ඔහු කාරය නතර කළේ නිසංසල බිමක පිහිටා තිබුණ පුංචි අවන්හලක් අසළය. අප අතර තවත් තත්පර කිහිපයක නිහඩතාවයක් තබමින් ඔහු කතා කළේය.

“අරුන්දිකා හරි තිබහයි.. මොනව හරි බීලා යමු..”

ඔහුගේ කතා විලාසය සැහැල්ලුය. මසිත ගිණිගෙන තිබුණි. ඔහු මාව මෙතරම් අපහසුතාවයක පත්කරන්නේ මන්දැයි මට නොවැටහුණි. ඔහු සැහැල්ලුවෙන් සිතන දේ මට මහමෙර තරම් විය. ඔහු දොරහැර බිමට බැස්සේය. මම හිටිවනම සිටියෙමි. කාරයේ ඉදිරිපසින් මා සමීපයට ආ ඔහු දොර හැරියේය.

“එන්න..”

කිසිවක් සිතා ගැනීමටවත් මට නොහැකි විය. මා ඔහු පසුපස ඇදුනේ කිසියම්ම හැඟීමකින් තොරවය. අවන්හල තුළට ගිය මා අවට බැලුවේ විමසිල්ලෙනි. මා අහදුනන කිසිවකු හෝ නොසිටියද ජීවිතයේ පළමු වරට පැමිණි මේ ගමන මසිතට බියක් එක් කළේය. ඔහුට කීකරු වන්නට තරම් මසිත අසරණ වන්නේ මන්දැයි මට නොවැටහුණි.  මා ඇවිද ගියේ සිහිනයෙන් මෙනි. මේ සියල්ලම සිහිනයක් වන්නේනම් මැනවැයි මට සිතුණි. අවන්හලේ මිනිසුන්ගෙන් ඈත්වුණු තැනක් බලා ගිය ඔහු හිඳගත්තේය. මමද අසළින් හිඳගතිමි. මේ කිසිවක් තෝරා බේරා ගත නොහැකි වූ මම විපිලිසරව ඔහු දෙස බැලුවේය.

“අරුන්දිකා මොනවද බොන්නෙ..?”

මට අවශ්‍ය වූයේ මේ සියල්ලෙන් මිදී ඉක්මනින් ගෙදර යාමටය. අප්පච්චී හා නංගිලා දෙදෙනාම සිහිවිය. ඔවුන් මා ගැන කුමක් සිතාවිදැයි මම බියවිමි.  නලලත දහදිය බිඳු දෑතින් පිසගත් ඔහු දෙස බැලුවේ පැටලුණු සිතිණි. මොහාතකින් අප අසළට අවන්හලේ සේවකයෙකු ළංවිය. අතරැඳි මෙනුපත දෙස නෙත් යොමා සිටි කාංචන මුදන්නායක වේටර්වරයා වෙත හැරුණේය.

“ෆලූඩා දෙකක්...”

මම අවන්හලේ සිටි මිනිසුන් දෙස බැලුවෙමි. ඔවුන් සැහැල්ලුවෙන් සිනාසෙමින්, කතාබහ කරමින් සිටියහ. කිසිම දින මසිත සැහැල්ලුවක් ඇති නොවේයැයි මට සිතුණි. සරලව ගලාගිය මගේ ජීවිතය කාංචන මුදන්නායක විසින් වෙනස් නොකරන්නට මමද සැහැල්ලුවෙන් හුස්ම ගැනීමට හැකිවනු ඇත. ඔහු මසිත නොහදුනන්නේය. ඔහුගේ ක්‍රියා පිළිවෙත මා වෙනසකට පත් කර ඇත.

“අප්පච්චීට බෙහෙත් ගන්නවද අරුන්දිකා..?”

ඔහුගේ දයාබරත්වය මට ඉහිලුම් නොදෙන්නට විය.

“ඔව් සර්..”

“නංගිලට කොහොමද..?”

“හොඳින් ඉන්නවා..”

මසිත බිය, නොසන්සුන්කම පලායාමට ඔහුගේ මේ දබායරත්වය හේතුවිය. සේවකයා විසින් ගෙනෙන ලද ෆලූඩා දෙක මේසය මත තැබීය.

“බොන්න..”

ස්ට්‍රෝ එක මුවට ලංකළ මම ඉන් උගුරක් බීවෙමි. ෆලූඩා වීදුරුවේ සිසිලස මසිත නිවන්නට සමත්විය. ෆලූඩා බී අවසන්ව අප දෙදෙනා යළිත් කාරයට නැගුනෙමු. ඔහු රිය පැදවුයේ කල්පනා කරමින්ය. ඔහු මෙතරම් සිතන්නේ මොනවාදැයි යන්න මසිතට ගැටළුවක් විය. අප අතර තිබුණ නිහඬතාවය ගමට එනතුරුද තිබුණි. රිය ගුරු පාරට හැරවූ ඔහු මදෙස බැලුවේය.

“මම ගියොත් අප්පච්චි බයවෙයිද..?”

මසිත හඳුනාගත් කලෙක මෙන් ඔහු විමසිය. ඔහුගේ  මුවග සිනාවක් විය. මා නිහඩව සිටියේ පැවසීමට කිසිවක් සිතාගත නොහැකිවය. යළි රිය පණ ගැන්වූ ඔහු මද දුරක් ගොස් රිය නතර කළේය. මම නිහඬවම රියෙන් බැස්සෙමි. ඔහු මදෙස බලා හිඳී. මසිත නොසන්සුන් කරන ඒ බැල්මෙන් ම බලා හිඳී.

“මම යන්නම් සර්..”

ඔහු නිසලය. මම ඔහුගෙන් සමුගෙන ගුරුපාරේ ඉදිරියට ගියෙමි. මද දුරක් එනතෙක්ම ඔහු ඒ ඉරියව්වෙන්ම හිඳින්නට ඇතැයි මට සිතුණේ රිය එලෙසම තිබුණු හෙයිනි. කඩුල්ල දක්වා පැමිණි මා පසුපස බලනවිට කාරය ආපසු හැරවිණි. ගුරුපාර දිගේ ඈතට යන රිය දෙස මම බලා සිටියේ හැඟීමකින් තොරවය.



No comments:

Post a Comment