Friday, August 17, 2012

| අරුන්දිකා | සංජීවනී අටලුගම |


සතියක් පුරා රැකියාවට ගොස් ඉරිදා දවස උදාවෙනතුරු මා ඉන්නේ නොඉවසිල්ලෙනි. හරියාකාරව ගෙදර වැඩක් කිරීමට නිදහසක් ලැබෙන්නේ එදිනට පමණි. මා උදෑසනින්ම අවදිව ගේ අස්පස් කර නංගිලාගේත්, මගෙත් රෙදි සෝදා දමමි. අප්පච්චී ඇඳෙන් නැගිට ටිකක්වත් ඇවිදින්නේ ඉරිදායට. ඇඳටම වී එකම ඉරියව්වෙන් සිටින්න එපා යැයි දොස්තර මහතා කිව්වද කම්මැලිකමට අප්පච්චී ඇඳටම ගුලිවී සිටියි. නංගිලා දෙදෙනා දහම් පාසලට පිටත්ව ගියට පසු මම රෙදි ගොන්නත් රැගෙන ළිඳ අසළට ගියෙමි. අප්පච්චී මිදුලේ ලී බංකුව මත හිඳගෙන උන්නා මට මතකය. රෙදි සෝදමින් සිටි මම වියළි කොල පෑගෙන ශබ්දයක් ඇදුන නිසා ළිං බැම්මට උඩින් හිස ඔසවා බැලුවෙමි. ලිද අසළට එමින් උන්නේ ජනකය. ඔහු පැමිණීමේ අපේක්ෂාවක් මසිත වූයේ පෙරදින ඔහු දැවූ පැනය අසා ගැනීමට නොඉවසිලිමත්ව සිටි නිසාය.

“උදෙන්ම වැඩද..?”


ඔහු මුවග සිනාවක් දැකීම මසිතට යම් අස්වැසිල්ලක් විය.

“අපිට කොහෙද ඉතිං ඔයාලට වගේ නිවාඩු.. අද විතරනේ වැඩක් කරගන්නවත් නිදහස තියෙන්නෙ..”

ඔහු සිනාසෙමින් ළිං බැම්ම මත හිඳ ගත්තේය. මම ඉක්මනින් රෙදි සෝදන්නට සැරසුණෙමි. ළිං බැම්ම මත වූ ගල් ගැට ගෙන ජනක ඒවා ළිඳ තුළට දමන්නට විය. නොනවත්වා කරන ඒ ක්‍රියාව දෙස මා බලා සිටියේ විමසිල්ලෙනි. ඔහුගේ නිහඬ බව මසිත තුළ ඇති කළේ නොසන්සුන්කමකි.

“නැන්දල ගෙදරද ජනක..?”

ඔහු කතාවට එකතු කරගැනීමේ අදහසින් මම ඇසුවෙමි.

“ඔය හිටියෙ..”

ඕනාවට එපාවට මෙන් ඔහු ඉවත බලාගෙන පැවසුවේය.

“ඔයා අද හරි වෙනස්.. එදත් හරියට කතා කළේ නැ.. මාත් එක්ක තරහා වෙලාද..?”

එවර ඔහු මා දෙස බැලුවේය.

“ඔයත් එක්ක මොනවට තරහා වෙන්නද..?”

“එහෙනං..”

“මං දන්නෑ අරුණි..”

එසේ කී ඔහු ඉවත බලා ගත්තේය.

“ලොකු නංගිට විභාගෙ ළඟයි නේද..?”

“ඔව් ජනක.. මට හරියට වෙලාවක් නෑ ඒ ගැන බලන්නවත්..”

“මම පරණ පේපර්ස් ටිකක් හොයලා ගෙනත් දෙන්නම්..”

මා යළිත් රෙදි සෝදන්නට පටන් ගත්තේ ඔහු ප්‍රකාශයෙන් බැහැරව ගිය නිසාය. මට කිව යුතු දෙයක් නම් ඔහු මෙතරම් කල්ගන්නේ නැත. නොකියා හිඳින්නට තරම් බැරෑරුම් ප්‍රශ්නයක් ඔහුට ඇතැයි මම නොසිතමි. පාසලේ යම් ප්‍රශ්නයක් වන්නට ඇතැයි මට සිතුණි. හිස බිමට නැඹුරු කරගෙනම රෙදි සෝදමින් සිටි මම ජනකගේ සුසුමකින් තිගැස්සුණෙමි. ඒ තරම් අමාරුවෙන් හුස්ම ගැනීමට තරම් ඔහු රිදවන මේ පැනය කුමක්දැයි මම සිතුවෙමි.

“ඔයාට ප්‍රශ්නයක් නම්, මට කියන්න පුළුවන් දෙයක් නම් කියන්න ජනක.. විසඳුමක් හොයලා දෙන්න පුළුවන් නම් මම උත්සාහ කරලා බලන්නම්..”

ඔහු මදෙස බලා සිටියේ දුක්මුසු බැල්මෙනි. මහා දුකකින් ඔහු සිත පෙලනා බව මට පසක් වුණිද ඒ කුමක් නිසාදැයි යන්න මට නොවැටහුණි.

“මේක විසදුමක් හොයාගන්න බැරි ප්‍රශ්නයක්..”

බොහෝ වේලාවකට පසු සුසුමක් හෙලමින් ඔහු පැවසුවේය. මසිත පිච්චී ගියේ කවදාවත් නොමැති සේ ඔහුගේ විලාශය දැකීමෙනි.

“මට කියන්න බැරි දෙයක්ද..?”

මසිත නොසන්සුන් වූවා සේම නොඉවසිලිමත්ය.

“කියන්න පුළුවන්.. ඒත් ඔයාට තේරුම් ගන්න පුළුවන් නම් විතරයි..”

මසිත තිගැස්සිණි. ඒ ඇයිදැයි මම නොදනිමි.

“කියන්න ජනක.. මට තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් නම් මේ ජීවිතේ ඇතිවෙලා නෑ. අනික ප්‍රශ්නවලට මම බය නෑ.. මට දැන් හැම දෙයක්ම පුරුදුයි.. ඔයාට සැනසීමක් ලැබෙන දෙයක් නම් මම කොහොම හරි තේරුම් ගන්න උත්සාහ කරන්නම්..”

ඉන්පසු අප අතර යළිත් නිහැඩියාව රජවිය. ඔහු තවත් නිහඩ මන්දැයි මට නොවැටහේ. මේ ප්‍රශ්නය මෙතරම් බරපතල දෙයක් යැයි මම නොසිතුවෙමි. කවදාවත් නොමැතිව ඔහු බොහෝ සේ නොසන්සුන්ව උන්නේය.

“ඇයි ජනක..?”

ඉවසාගත නොහැකි තැන මම ඔහුට කතා කළෙමි.

“මම කොහොමද ඔයාට මේක කියන්නෙ..?”

ඔහු මදෙස බැලුවේ අසරණ විලාසයෙනි. මුවින් නොකී වේදනාව දෑස් මත රැදී තිබුණද ඒ එක්කවත් තෝරා බේරා ගැනීමට මට ශක්තියක් නොවීය. ඔහුගේ සිතට වඩා මසිත කැළඹී තිබුණි. බිමට නැඹුරු කරගෙන සිටි හිස ඔසවා ඔහු මදෙස බැලුවේය. විශ්වාස කරන්න. කිසිදින කඳුළක් නොදුටු නෙත් අඟ කඳුළු බිඳු දිලිසෙමින් තිබුණි.

“ජනක..”

හිඳගෙන සිටි තැනින් නැගී සිටි මම මඳක් ඔහුට ළංවිමි. ඔහු සිටියේ බිම බලාගෙනය. මා ළංවෙත්ම ඔහු හිස ඔසවා මදෙස බැලීය.

“ඔයා දැම්මම බයවෙලා අරුණි..”

මගේ විලාසය දැක ඔහුට එලෙස සිතෙන්නට ඇත.

“සත්තකින්ම මම බයයි ජනක..”

“එහෙනම් මම කොහොමද මේවා ඔයාට කියන්නෙ..?”

ඔහු මදෙස බලා ඇසුවේ අසරණ හඬිණි. අප සිව්නෙත් බොහෝ වේලා එක්ව තිබුණි. පෙරදිනක සෙනෙහස ගලා ගිය නෙත් අතර වේදනාවක් විය. මම නොහඬා සිටින්නට උත්සාහ කළෙමි.

“අරුණි කලබල වෙන්නෙ  නෑ කියලා පොරොන්දු වෙන්න..”

ඒ බැගෑපත් ඉල්ලීමට මම එකඟ වුණෙමි. මා සිතින් විඳවූ තරම් දන්නේ මා පමණි. නෙතු පුරා නැගී කඳුළු මම නෙතු තුළම සිර කරගතිමි.

“තාත්තා මට යෝජනාවක් ගෙනැල්ලා..”

“මොකක් ගැනද..?”

මසිත තිගැස්සුණද සන්සුන් වන්නට උත්සාහ කළෙමි.

“මට කසාඳ බඳන්නලු..”

මගේ දෙතොල් වෙව්ලා ගියේය.

“එයාගෙ යාළුවෙක්ගෙ දුවෙක්..”

සියල්ල ගලා ආවේ සිහින ලොවකිනි. මම සිටිවනම සිටියෙමි. ඔහු මදෙස බලා සිටියේය. නෙතු අතර වියළි ගිය එකම කඳුළක් හෝ යළි නොආවේය. කම්මුල් මතවූ කඳුළැල් මම දෑතින් පිසදමා ගතිමි. මසිත එක් ගැටළුවක් වූයේ මෙපමණ කලක් අප පිළිබඳව කිසිම ප්‍රශ්ණයක් නොනැගූ මාමා හිටිවනම මෙසේ වෙනස් වූයේ ඇයිදැයි යන්නය.

“ඇයි ජනක හදිසියෙම..?”

මගේ නොසන්සුන්කම ඔහු පුදුම කරන්නට ඇත.

“මටත් හිතාගන්න බෑ අරුණි. අපි ගැන දැනගෙන සද්ද නැතුව හිටිය තාත්තා වෙනස් වුණේ ඇයි කියලා මටත් තේරුම් ගන්න බෑ.”

“ඔයා මොකද කිව්වෙ..?”

මසිත යම් බලාපොරොත්තුවක් තිබුණේ නම් ඒ ඔහුගේ පිළිතුර මත පමණි. මා ඔහු දෙස බැලුවේ ඒ පිළිතුර මත මගේ ඉරණම විසඳේ යැයි විශ්වාසයෙනි.

“මම කොහොමද අරුණි කැමති වේනනෙ.. මම ඔයාට ආදරේ කළේ සෙල්ලමට නෙමෙයිනේ.. ඔයාලා ළඟින් ඉන්න ඕන කාලෙ මම කොහොමද ඈත් වෙන්නෙ..? මාමා මං ගැන මොනවා හිතයිද..?”

“නැන්දා මොකද කිව්වෙ..?”

“ඔයා දන්නවනේ තාත්තගෙ හැටි.. අම්මත් අසරණයි..”

තවත් කිසිවක් කතා කළ නොහැකිවා සේ අප දෙදෙනා ගොළු වී උන්නෙමු. ඔහු යමක් කියාවි යැයි බලා උන්නදු ඔහු නිහඬය. කීමට දෙයක් සොයාගත නොහැකිව මමද බලා සිටියෙමි. ජීවිතයේ ප්‍රථම වතාවට මා තනිවූයේ යැයි හැඟීමක් මට දැනුණි.

“ඔයා මොනවද කියන්නෙ අරුණි..?”

විසඳුමක් සොයා දෙන්නේ යැයි පොරොන්දු වූවද මා කෙසේ විසඳුමක් ලබාදෙන්නද..?

“මාව දාලා යන්න එපා කියන්න යුතුකමක්වත්, අයිතියක්වත් මට නෑ ජනක.. ඒ වගේම මාමාට කැමතිවෙන්න කියලා කියන්න තරම් ශක්තියක් මට නෑ..”

“ඔයා කිව්වොත් මට පුළුවන් වෙයි ඔයාව දාලා යන්නෙ නැතුව ඉන්න..”

විසඳුම මා අසළ ඇත්තා සේ ඔහු මගේ හිස මත විශාල වගකීමක් පැවරුවේය. මා අසරණ වූයේ එතනය. මට සිතිය යුතු දේ බොහෝ විය. එක් පාර්ශවයක් නොව මා දෙපැත්තකින් සිතිය යුතුය. කුඩා කළ සිට අප බලා ගත් නැන්දා, දුක් කරදරවලදී අපට උදව් කළ මාමා එක් පසෙකිනුත්, මගේ ආදරය, මගේ බලාපොරොත්තුව තවත් පසෙකිනුත් විය. මින් කුමන පැත්තක් තෝරාගන්නදැයි සිතීම දුෂ්කර විය. ජීවිතය මෙතරම් සරදම් කරාවි යැයි මම කිසිවිටක නොසිතුවෙමි. සියල්ල උඩු යටිකුරු වී ඇත. විසඳුමක් නැති ගැටළු වලින් අප සිත් ඔද්දල් කරමින් ජීවිතයේ දුක් කම්කටොලු හිස මත රඳවමින් ජීවිතය අපෙන් කුමක් බලාපොරොත්තු වන්නේ දැයි මම සිතුවෙමි.

“මොනවා හරි කියන්න අරුණි..”

හහ ඔහුගේ පිහිටද, ඔහු මගේ පිහිටද පැතුවෙමු. නමුදු අප දෙදෙනාටම අපිට පිහිටවිය නොහැකි බව මම තේරුම් ගතිමි.

“මට හිතන්න ඕන ජනක.. ඔයා යන්න.. මට තනියෙම ඉන්න ඕනි..”

මම ඔහුට ආයාචනා කළෙමි.

“මට පොරොන්දු වෙන්න කළබල වෙන්නෙ නෑ කියලා..”

“මම උත්සාහ කරන්නම්..”

මට කිව හැකි වෙන කිසිවක් නොවිය. ඔහු පිටුපා යන දෙස මා බලා සිටියේ කිසියම්ම හැඟීමකින් තොරවය. ඔහු නෙත් මානයෙන් ඉවත්ව ගිය පසු සදහටම ඔහු මා හැරගියේ යැයි මට සිතුණි.

මම පිටුපසින් ගෙට ඇතුලු වී ඉස්තෝප්පුවට ගියෙමි. අප්පච්චී මිදුල දෙස බලාගෙන පඩිය මත හිඳගෙන උන්නේය. මා එනවා ඔහුට නෑසුනා සේය. අප්පච්චී දුටු විට මසිත පිච්චී ගියේය. දුක් කරදර අප වෙල ගලා එන්නේ හිටිවනමය. නොසිතන වේලාවලය. එක් ප්‍රශ්නයකට විසදුමක් ලබාගත් පසු තවත් ප්‍රශ්නයක් ගලා එයි. මට සියල්ල උහුලාගත හැක. අසරණ අප්පච්චී මේ පිලිබඳව දැනගත් පසු කෙසේ උහුලාවිද..? ජනක පිළිබඳ විශාල බලාපොරොත්තුවක්, විශ්වාසයක් අප්පච්චී සතු විය. පිරිමි සහෝදරයෙකු නැති ගෙදරට ජනකගේ සෙවනැල්ල වැටී තිබීම ගැන ඔහු සතුටු විය. ඔහුගේ තවත් බලාපොරොත්තුවක් ඔහු වෙතින් ඉවත්වන්නට සූදානම් වන්නේ යැයි දැනගත් පසු ඔහු තවත් වේදනා විදින්නට ඇත. මනෙතු මා වෙනුවෙන් නොව අප්පච්චී වෙනුවෙන් හඬා වැටෙන්නට විය. ඔහුගේ රළු දෙපා බදාගෙන මහ හයියෙන් හඩා වැළපෙන්නට තරම් වේදනාවක් මසිත විය. මුවග නැගී ඉකිය දෝතින් තද කරගත් මම කාමරයට ගොස් ඉකිගසා හැඬුවෙමි. අප්පච්චීගේ දවල් බත් පිගාන අතට ගත් මම වතුර වීදුරුවද රැගෙන ඔහු අසලට ගියෙමි.

“අර ළමයා ආපු ගමන් ගියේ මොකද පුතේ..? ගෙට වත් ආවෙ නෑ..”

ඔහු මදෙස බලා අසන කල මම බිම බලා ගතිමි. ඔහු ජනක ගැන කතා නොකරන්නේ නම් මැනවයි මට සිතුණි.

“ගමනක් යන්න ඕන කියලා ගියා..”

මම සන්සුන් හඬින් පැවසුවෙමි. මගේ හඬ බිදේවි යැයි මම බියවිමි.

රාත්‍රීයේ නංගිලා පොත් පාඩම් කරනවිට මම කුස්සියට වැදී සිටියෙමි. ආහාර පිස අවසන් වූවද මට බංකුවෙන් නැගී සිටීමට සිත් නොවුණි. සන්සුන් වන්නට උත්සාහ කළද සිත බොහෝ සේ නොසන්සුන් විය. ඉවසාගෙන සිටිමියි සිතුවද මටත් හොරා කඳුළු එබුණාය. මගේ ඉරණම කෙසේ විසදේ දැයි මම සිතුවෙමි. මා වෙනුවෙන් තවත් කලක් බලා සිටීමට ජනකට පුළුවන්කමක් ඇතිවේ යැයි මම නොසිතුවෙමි. මාමා සමහර විට සියල්ල තීරණය කර ඇත. ඔහු දැඩි ගති ඇත්තෙකි. අපට අනුකම්පා කළද, මේ ප්‍රශ්නයෙදී ඔහුගෙන් අනුකම්පාවක් ලැබේවි යැයි මම නොසිතුවෙමි. ජනක පවුලේ එකම ළමයා නිසා ඔහුට හිතුවක්කාරවීමට නොහැකිය. ඒ නිසා ඔහු අසරණව ඇති බව මට වැටහේ. විවාහයක් පිළිබදව දැන්මම මට සිතිය නොහැක. මා ඉටු කළ යුතු යුතුකම් බොහොමයක් ඇත. මා මා ගැන සිතුවොත් අප්පච්චීට හා නංගිලාට කුමක් සිදුවේද..? එය සිතීම පවා පව්කාර. සියල්ල විඳ දරා ගනු හැර මට කළ හැකි කිසිවක් නොමැති බව මම තේරුම් ගතිමි.

“අක්කා...”

ලොකු නංගී එන බවක් මට නොදැනුණි. කම්මුල් තෙමා ගිය කඳුළු මම දෑතින් පිස දැමුවෙමි.

“අක්කා.. ඇයි මේ..?”

ඈ, මා අසළට ළංවිය.

“නෑ නංගි.. මේ ලිපට පිඹලා අළු ගියා..”

මම දෑතින් දෑස් පිරිමැදිමි.

“අක්කා බොරු කියනවා.. ඔයා මොනවද හංගනවා..”

මට කෑගසා හඬන්නට සිත්වෙයි. නමුදු එය මට අහිමි සිතුවිල්ලකි.

“නෑ ලොකු නංගි.. යමු.. ඔයාට මුකුත් අහගන්න තියෙනවද..?”

මම ඇයට පෙර කාමරයට ගියෙමි. ඈ මදෙස බලා උන්නේ විමසිල්ලෙනි. ඒ නෙත් මග හරින්නට මම උත්සාහ කළෙමි. ලොකු නංගීට කියා මසිත දවන සිතුවිලි නිවා ගන්නට සිත් වුවද ළඟ එන විභාගයට සූදානම් වන ඇගේ සිත තැලීමේ උවමනාවක් මවෙත නොවීය. මේ සියල්ල දරාගත යුතුව ඇත්තේ මා විසින්මය. ඉතින් මා ඇගේ අවිහිංසක සිත පාරන්නට සූදානම් විය යුතු නැත.

මසිත දුක පවසා සිත මදක් නිවාගත හැකි කෙනෙක් වූයේ නම් ඒ ගීතිකා පමණි. නිදහසේ කතා කරන්නටත්, නිදහසේ කඳුළු සලන්නටත් ඈ මට අවසර දුන්නාය. ඈ මා කී දේ අසා සිටියේ ඉවසිල්ලෙනි.

“අපිට ඕන විදියට හැමදේම සිද්ධ වෙන්නෙ නෑ අරුණි.. උඹ මෙච්චර කාලයක් ප්‍රශ්න වලට මූණ දුන්නා වගේ මේ ප්‍රශ්නෙ දිහාත් උපේක්ෂාවෙන් බලපන්. නැත්නම් අර පොඩි උන්ට යන කල මොකක්ද..? අප්පච්චී ලෙඩෙක්.. උඹට කවදාවත් වරදින්නෑ අරුණි..”

මම ඊට සිනාසුනෙමි..

“මට කවදද හරි ගියේ..?”

“එහෙම කියන්න එපා.. කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා..”

“කන්දක් නැග්ගම ප්‍රපාතයක් හම්බවු‍ණොත්..?”

“හැම දෙයක් ගැනම අසුබවාදී විදියට බලන්න එපා.. උඹට හැමදාම මම ඉන්නවා.. මට උඹ වෙනුවෙන් කරන්න පුළුවන් දේ ටිකයි.. ඒත් උඹ තනිවෙලා කියලා හිතන්න එපා..”

මසිත ඇය වෙනුවෙන් උපන්නේ දයාබර බවකි..

“උඹත් නොහිටියා නම් මට පිස්සු හැදෙයි..”

මා කීවේ සැබෑවකි. සිතේ දුක සඟවා දුක් විදිනවාට වඩා කාට හෝ පැවසුවහොත් සිතට අස්වැසිල්ලකි. වැඩ කරන අතරතුරද මම කිසිවක් නොසිතා ඉන්නට උත්සාහ කළෙමි. පෞද්ගලික ජීවිතයත් රැකියාවත් පටලවා ගැනීමෙන් නොයෙකුත් කරදර වන්නට පුළුවන. නමුදු තනිවන මොහොතක් මොහොතක් පාසා සිත නතරවුණේ එකම තැනය. සිත නොයෙකුත් වර හඬා වැටුණි. සිත හැඬුවද නෙතු වැඬිය යුතු නැතැයි මම සිතුවෙමි. එය අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ දීමකි. සිත තුළ පැවති මේ නොසන්සුන්කම නිසා මට සැම විටම අවශ්‍ය වූයේ තනිව හිඳින්නටය. ගෙදරදී ද නංගිලාගෙන් ඈත්ව හිඳින්නට මම උත්සාහ කළෙමි. මසිත නොසන්සුන්කම නොහඳුනන අය නිසා බොහෝ විට මට අසරණ වන්නට සිඳුවිය.

“අපි කිව්වනේ අරුන්දිකාට තටු එයි කියලා.. බලපංකො දැන් කතා කරනව තියා හිනාවනේනෙවත් නෑ..”

සියලු දුක් කරදර මා වටා පෙළ ගැසෙන්නට විය. සියල්ලෙන් තැවුනේ මසිතය. මා වරදක් නොකළද, නොකළ වරදකට වන්දි ගෙවන්නට සිදුවිය. නොහඩා සිටින්නට උත්සාහ කළද අනෙක් ළමුන්ගේ මේ වදන් විසා මනෙතු කඳුළින් තෙත්විය. සඟවා ගන්නට උත්සාහ කළද බොහෝ දෙනා එය දුටුවෝය.

“අපෝ යන්තම් ඇති.. ඒ ගමන අඬනවා..”

මා අසරණව බලා උන්නේ ගීතිකා දෙසය.

“හිටපන් මම හොඳට කතා කරන්නම්..”

මම ගීතිකාගේ අතින් ඇද්දෙමි. තව තවත් මේ කතාබහ දුර දිග යාම අප සෑමදෙනා අතර සිත් රිදවා ගැනීමකි. මේ සියල්ල ඉවසා විඳ දරා ගනු හැර කළ හැකි කිසිවක් නොවේ.

“එපා ගීති.. අපි අපේ පාඩුවෙ ඉමු.. රණ්ඩු කරගන්න යන්න එපා..”

ඈ මදෙස බලා සිටියේ දුකිනි. නමුදු මගේ අසරණකමට පිහිට වීඹට ඇයට හැකියාවක් නැත. ළමුන් කුමක් කීවද මම ඒ සියල්ල නිහඬව අසා සිටියෙමි. ඔවුන් දන්නේ හැඬිමට සිටින කෙනාට ඇගිල්ලෙන් ඇනීම පමණි.. සේ සංසාරය පුරා මා බොහෝ සේ පව් පුරන්නට ඇත. නොඑසේ නම් මේ තරම් දුකකින් මා නෙපෙළෙනු ඇත.


කාන්චන මුන්දනායක නම් වූ නව පාලකයා යටතේ අප පෙර මෙන් වැඩ කළෙමු. හැරිස් විජේමාන්න මෙන් නොව ඔහු හැමවිටම සෑම දෙයක් ගැනම දැඩි අවධානයෙන් සොයා බැලුවේය. සීතල කාමරය තුළට නොවැදී ෆැක්ටරිය පුරා ඇවිදිමින් ඔහු කා සමගත් සුහදව කතාබහ කරමින් වැඩ කළේය. සියල්ල සොයා බැලුවේය. පෙරට වඩා ළමුන් යම් තරමට උන්නදුවක් ඇති වැඩ කිරීමට ඔහුගේ ක්‍රියාකාරීත්වයට හැකිවිය. ඔහු ළමුන් සමඟ කතාබහ කරමින් නිශ්පාදිත සෙල්ලම් බඩුවල අඩුපාඩු පෙන්වා දෙමින් වැරදි තැන් නිවැරදි කළේය. මේ නිසා සියලු දෙනාම පෙරට වඩා සැලකිල්ලෙන් වැඩ කිරීඹට පෙළඹුණේ යැයි එය දකින ඕනෑම කෙනෙකුට සිතෙනු ඇත.

දින කිහිපයක් ගතවුණිද ජනක අපේ ගෙදර නොආවේය. ඊළඟ ඉරිදා නැන්දා ආවේ මා නොසිතූ වෙලාවකය. ඈ දෙස බැලීමේ හැකියාවක් නොවුණා සේ මම බිම බලා ගතිමි. නංගිලා දෙදෙනා නොවීඹ මගේ සතුටට හේතු විය. ඇය පැමිණෙන්නට ඇත්තේ මේ ප්‍රශ්නය ගැන කතා කිරීමටය. නැන්දා, අප්පච්චී සමඟ කතා කරනතුරු මම කුස්සියට වී කේතලය ලිප තැබිමි. මේ කතාබහ කුමන විසඳුමක් බලාපොරොත්තුව දැයි මට නොවැටහුණි.

“මොකද ලොකු දුවේ කරන්නෙ..?”

මම හැරී බැලුවේ තිගැස්සෙමිනි. ඈ කුස්සියේ ලී බංකුව මත හිඳ ගත්තාය. මම ලිපට පිටුපා හිටගෙන ඇය දෙස බැලිමි. අප අතර කවදාවත් නොවූ ලෙස නිහඬ බවක් ඇතිවිය. ඒ නිහඬ බව අතර අප ඈත් වූ බවත් මට දැනුණි. ඈ සිටියේ ඉවත බලාගෙනය. මම ඒ මුහුණේ හැඟීම් නිරීක්ෂණය කිරීමේ අරමුණින් ඈ දෙසම බලා සිටියෙමි. කියාගත නොහැකි බොහෝ දේ ඒ දෑස් අතර ලියවී තිබුණි. ඇය මහා හයියෙන් හුස්මක් ගත්තාය. ඈ සිතස මසිත මෙන්ම දවනා බව ඒ සුසුම මට කියා පෑවේය. ඉවත බලා සිටි ඇය එකවරම හිස ඔසවා මදෙස බැලුවේය.

“පුතේ...”

ඒ හඩ එදා මෙන්ම දයාබරය. වෙනසකට ඇත්තේ වේදනාවක සේයාවක් ඉන් දිස්වීම පමණි.

“මං ආවෙ උඹෙන් ඉල්ලීමක් කරන්න..”

මසිත තිගැස්සුණි. ජීවිතේ පළමු වරට ඈ මගෙන් ඉල්ලන්නේ කුමක්දැයි නොදනිමි.

“අපේ පුතා කාරණාවක් කිව්වද..?”

සිත නොසන්සුන් වුවද මම සන්සුන් වන්නට උත්සාහ කළෙමි.

“ඔව්..”

“මේවා මගේ උවමනාවට වෙන දේවල් නෙමෙයි. උඹ දන්නවනේ මාමගෙ හැටි.. මාත් අසරණයි..”

ඈ අවසන් වචන කිහිපය පැවසුවේ සුසුමක් හෙළමිනි.. ඇගේ ඉල්ලීම මට පැහැදිලිය. ඈ උත්සාහ කරන්නේ ඒ ඉල්ලීම කිරීමට මගක් සොයා ගැනීමටය. මම ඇයට අනුකම්පා කළෙමි. ඈ මට මවක් මෙන්ය. අප නොවැදුවද අපේ සැබෑ මව් වූයේ ඇයයි.

“කොල්ලා ගෙදරින් යන්න හදනවා.. ඊයෙ රෑ එකම යුද්ධෙ.. මං අඬලා අඬලම නවත්ත ගත්තා..”

“ඇයි නැන්දෙ..?”

මසිත ඇති වූයේ බියකි. ඔහු කුමක් කරන්නට සූදානම් ව්නනේ දැයි මම නොදනිමි.

“පුතාට දුකයි උඹට මෙහෙම කරන්න..”

ඇගේ නෙත කඳුළක් දිලිසුණි.. ඒ මා වෙනුවෙන්ද ඇගේ ආදරණිය පුතු වෙනුවෙන්දැයි මම නොදනිමි. මා නෙතු මටත් හොරා හැඬුවේය. කඳුළ තව දුරටත් වසන්කර ගැනීමේ ඕනෑ කමක් මා සතු නොවීය. ඈ කඳුළු අතරින් කතා කළාය.

“මේක විසඳන්න පුළුවන් උඹට විතරයි පුතේ. මට ඉන්නෙ එක කොල්ලයි හැමදේටම.. මට උම ගැන දුකයි.. ඒත් උඹ මේ උදව්ව කරපන් පුතේ.. පින් සිද්ධ වෙනවා..”

ඇගේ දෙපාමුල වැටී ඇගේ කකුලේ හිස ගසාගෙන මම හැඬුවෙමි. ඈ සියල්ල ඉල්ලන්නේ මගෙන්ය. ඇගේ පුතු වෙනුවෙන් මගේ සතුට ඈ ඉල්ලයි. මසිත තලා පෙලා තරවටු කිරීමේ හැකියාවක් ඈ සතු වුවත් ඈ මගෙන් සිඟන්නියක සේ අයදියි. ඇය මවකි. ඇගේ දරු දුක මට වැටහේ. මේ සියල්ලේ ගැලවුම්කාරයා මමය. එක් වදනකින් ඇගේ සිතේ දුක්ගිනි නිවාලීමට මට හැකිය. නමුදු ඒ වදන මගේ මුළු ජීවිතයම හඬවන බව ඇයට නොවැටහේ. මසිත දුක් වුවද මසිත හැඬුවද ඇගේ සිත රිඳවීමේ පාපයට ලක් වන්නට මට නොහැකිය. මම හිස ඔසවා ඇය දෙස බැලිමි.

“මම ජනකට කියන්නම් නැන්දෙ.. එයාට හොඳක් වෙනවා නම් ඇයි මම අකමැති වෙන්නෙ..”

මම දෝතින් කම්මුල් පිසදා ගතිමි.

“මං උඹලව අමතක කරන්නෙ නෑ පුතේ.. මට උඹලත් මගේම ළමයි..”

නැන්දා පිටව යනතුරු මම ඉස්තෝප්පුවේ උලුවස්සට හේත්තු වී බලා සිටියෙමි. ඈ පිටත්ව ගියේ සතුටිනි. දුකින් පැමිණි ඈ සතුටින් ගියාය. මසිත සතුට උදුරාගෙන ගියාය. මම මගේ සතුට ඈට දන් දුනෙමි. මා තිගැස්සී හිස බිමට නැඹුරු කරගනෙ හඬා වැටෙයි. මගේ දෙපතුල් ඔහු දෙසට ඇඳී ගියේ නිරායාසයෙනි.

“අප්පච්චී.. අනේ ඇයි අප්පච්චී මේ..?”

“අපිට මොකද පුතේ මේ වෙන්නෙ..?”

“අනේ ඇයි අප්පච්චි එහෙම කියන්නෙ..? අපිට මොකුත් වෙලා නෑ..”

“අපි තනිවුණා පුතේ..”

මසිත ඇවිලිණි.. කවදාවත් නොමැති ලෙස ඔහුගේ හැසිරීම ඉතා දුක්බරය. අතක් අහිමිව ගියද ඔහු මෙතරම් දුකින් සිටිනවා මම නොදුටුවෙමි. ඉවසාගත නොහැකි ලෙස ඔහු හඬා වැටුණි.

“නෑ.. අප්පච්චි.. මම ඉන්නකම් අප්පච්චිලා තනි වෙන්නෙ නෑ.. අප්පච්චි ඒ ගැන හිතන්න එපා..”

මම තවත් බොහෝ දේ කියා ඔහු සිත සනසන්නට අවැසි වුවද මගේ හඬ පටලැවෙන්නට විය. ඔහු වෙතින් මිදුණු මම කාමරයට ගොස් හඬා වැටුණෙමි.


රැකියාවට ගියද මා සිටියේ සිතින් බොහෝ ඈතකය. මසිත මා පටලවා රිදවන්නට විය. මටත් අයත් නොවූ සිතට ඉඩදී මම බලා සිටියෙමි. මැෂිමේ ශබ්ද පරදා හදවත ගැහෙන රාවය මට ඇසුණි. කොතරම් සන්සුන් වන්නට උත්සාහ කරත් සිත නොසන්සුන් වූ තරමට දෑත වෙව්ලුවේය. මා ප්‍රමාද වූවා වැඩි බව මට දැනුණේ මැෂිමේ ඉදිකටුව දෙතුන් වරක් දකුණතේ  මහපට ඇගිල්ල හරහා දිව ගිය පසුවය. ඉදිකටුව කැඩෙන ශබ්දයෙන් අසල සිටි දේවිකා මදෙස බැලීය.

“අරුන්දිකා..”

ඈ අසිල්ලකින් මවෙතට ළංවිය. සිදුවූයේ කුමක්දැයි මට නිනව්වක් නොවිය. ඇඟිල්ල පුරා වේදනාගෙන දෙන්නට විය. රත් පැහැ ලේ මැෂිම පුරා විහිදිණි.

“මහේෂ් සර්..”

ඈ මදක් ඈතින් සිටි මහේෂ් වනිගසූරියට අඬ ගැසීය. ළමයින් එකා දෙන්නා මා අසළට ලංවිය. ගීතිකා මදෙස බැලුවේ බියපත් නෙතිනි.

“මොකද වුණේ..?”

මහේෂ් වනිගසූරිය මගේ දකුණතින් අල්වා බැලීය.

“ඉක්මනින් යමු ඩොක්ටර් කෙනෙක් ළඟට.. කවුරු හරි එන්න අරුන්දිකත් එක්ක..”

ගීතිකා මගේ අතින් අල්ලා ගනිමින් ඉස්සර විය. මහේෂ් වනිගසූරිය හා ඉක්මනින් අප අසළට ආවේ කාංචන මුදන්නායකයි.

“මහේෂ්.. ඉක්මනට යන්න.. ගොඩක් ලේ එනවා වගේ..”

මහේෂ් වනිගසූරිය වෑන් රථයේ ඉදිරිපස දොර හැරදී අනෙක් පසින් ගොස් වෑන් රියට නැගුණි. ඔහු වේගයෙන් වෑන් රථය මාවතට ගනිද්දී මම ගීතිකාගේ උරහිසට වාරු උනෙමි.

“අරුණි.. අමාරුද ඔයාට..?”

“නෑ..”

වේදනාවක් දැනුණද මම සිත දැඩි කරගෙන සිටිමි. දෑත පුරා ගලා යන ලේ දැකීමෙන් මගේ හිස කැරකෙන්නට විය. එක්වර හාත්පස අඳුරින් වැසී යනවා මට පෙනුනි.
“අරුණි..”

ගීතිකා මා සොලවනවා මට යාන්තමට දැනුණි.

“අනේ සර් ඉක්මනට යමු..”

ඒ හඩ පාවී ආවේ ඈත ලොවක සිටය. සීතල වතුර බිඳු මුහුණ පුරා ගලා යනවා මට දැනුණි. මා දෑස් හැරියේ අපහසුවෙනි.

“අරුණි..”

ගීතිකා දෑස් විසල් කර මදෙස බලා උන්නාය. මා පසෙකින් මහේෂ් වනිගසූරිය විය.

“මොකද උනේ..?”

මා අපහසුවෙන් වචන ගලපා ගතිමි.

“ඔයාට කලන්තෙ හැඳුනා..”

“ඉක්මනට බහින්න..”

ගීතිකා මා වත්තන් කරගෙන වෑන් රථයෙන් බැස්සාය. ඩිස්පැන්සරිය තුළට ගිය මහේෂ් වනිගසූරිය අප අසළට ආවේ හෙඳියක් සමගය.

“යමු ඇතුළට..”

හෙදිය මා අල්වා ගනිමින් ඇතුළට රැගෙන ගියාය.

“මොකද මේ..?”

කාමරය තුළ ඉඳගෙන සිටි වෛද්‍යවරයා විමතියෙන් මා දෙස බැලුවේය.

“ඩොක්ටර් මෙයාගෙ අත මැෂිමට අහුවුණා..”

මහේෂ් වනිගසූරිය වෛද්‍යවරයාට පැවසිය.

“අර ඇඳට යන්න..”

ගීතිකාගේ උදව්වෙන් මම ඇඳට නැගුණෙමි. ලේ ගලා යන ඇඟිල්ල ගෙන දොස්තරවරයා එය පරික්ෂා කළේය.

“ඉඳිකටුවක කෑල්ලක් ඇතුළට ගිහින්..”

වේදනාව යටපත්ව මසිතට දැනුණේ බියකි.

“ඔය දෙන්නා මෙයාව ටිකක් අල්ල ගන්න..”

ගීතිකාත්, මහේෂ් වනිගසූරියත් මගේ දෙපසට විය.

“බයවෙන්න එපා ටිකක් ඉවසගෙන ඉන්න..”

වෛද්‍යවරයා මගේ මාපට ඇඟිල්ලෙන් අල්ලා ගනිමින් මදෙස බලා සිනාසුණේය. මම තදින් දෑස් පියා ගතිමි. ඉන්පසුව දැනුණු වේදනාව ඉවසාගත නොහැකි තැන මම මහා හඬින් කෑගැසුවෙමි.

“අනේ අප්පච්චී..”

මහේෂ් වනිගසූරියගෙන් මවත මුදවා ගැනීමට මම අසාර්ථක උත්සාහයක යෙදුණෙමි.

“ඉන්න අරුන්දිකා.. තව පොඩ්ඩයි..”

ඔහු දෙස බැලූ මට ඇතිවූයේ කෝපයකි. එය තරහක් නිසා නැගුණක් නොව වේදනාව නිසාම නැගුණ එකකි. මගේ අත අතාරින්න යැයි කියන්නට මට සිත්විය. පෙරදිනක මා ඔහුව පිළිකුල් කළද ඔහු කෙරෙන් දිස් වූ දයාබර බව මා අසරණ කළේය. වේදනාව ඉවසාගෙන මම දෑස් පියා ගතිමි.

“ඔන්න ඉවරයි.. දැන් හරි..”

වෛද්‍යවරයා සිනාසෙමින් මදෙස බැලීය.

“දවස් හතරකින් එන්න මැහුම් කපන්න..”

මා අසළට ලංවූ ගීතිකා ලේන්සුවෙන් මගේ දෑස් හා කම්මුල් පිස දැමීය. මහේෂ් වනිගසූරිය, වෛද්‍යවරයා සමග කතා කරන තුරු අප දෙදෙනා වෑන් රථයට නැගුණෙමු.

“රිදෙනවද අරුණි..?”

“හ්ම්..”

“මොකද උනේ..?”

“මම දන්නෑ..”

“මම කිව්වනේ වැඩ කරන වෙලාවට ඕවා ගැන හිතන්න එපා කියලා..”

“මම මොකුත් හිතුවෙ නෑ..”

මගේ හඬ බිඳුණි. මම ගීතිකාගේ උරහිසට වාරු වී ඉකි බින්දෙමි.

“අඬන්න එපා අරුණි..”

“මට ඉවසන්න බෑ ගීතිකා..”

“මට තේරෙනවා.. ඒත් ඉවසනවා ඇර වෙන මොනවා කරන්නද..?”

“මාව මැරිලා යයි..”

“පිස්සු.. විකාර කියවන්න එපා..”

ඈ සෙමෙන් මගේ හිස පිරිමැදීය. මම දෑස් පියා ගතිමි. ඒ සුවය මසිත සුවපත් කළේය.

“ආ ගීතිකා.. මේ බේත් ටික ගන්න..”

මහේෂ් වනිගසූරිය පැමිණීයෙන් මා හිස ඔසවා දෑස් පිසදා ගතිමි. රියදුරු අසුනේ හිඳගත් ඔහු මදෙස බැලීය.

“තාමත් රිදෙනවද..?”

“නෑ..”

“මොකද උනේ අරුන්දිකා..?”

රිය මාවතට ගනිමින් ඔහු එලෙස විමසුවේය. කිසිවක් නොදොඩා මම බිම බලා ගතිමි. මද දුරක් පැමිණි ඔහු ෆාමසියක් අසල රිය නතර කළේය.

“බේතක් ගන්න තියෙනවා.. මම අරගෙන එන්නම්..”

ෆාමසිය තුළට ගිය ඔහු පැමිණියේ බේත් වගයක් සමඟ සිසිල් පැන් බෝතල් දෙකක්ද රැගෙනය. එකක් ගීතිකාට දුන් ඔහු අනෙක මා වෙතට දිගු කළේය.

“ගන්න අරුන්දිකා..”

එය අතට ගන්නේදැයි නොගන්නේදැයි මම මොහොතක් සිතුවෙමි. ඔහු අප වෙනුවෙන් මෙසේ වියදම් කිරීම හොඳ නැතැයි මට සිතුණි. ඔහුගේ මේ හැසිරීම මා ද අපහසුතාවයට පත් කළේය. නමුදු ඔහු සිත රිදවන්නට නොහැකිය.

“ඇයි කල්පනා කරන්නෙ..?”

ඔහුගේ බැල්ම මසිත නොසන්සුන් කළේය.

“මාත් එක්ක තරහා වුණාට කමක් නෑ.. මේක ගන්න..”

මට මා පිළිබඳව කලකිරීමක් ඇතිවෙයි. ඔහු ගැන උවමනාවටත් වඩා වැරදියට සිතීම නොවටින්නකි. සිසිල් පැන් බෝතලය අතට ගත් මා ඉන් භාගයක් පමණ බී ඉතිරිය ආපසු ඔහුට දුනිමි. ඔහු අප අසලින් ඉවත්ව ගිය පසු ගීතිකා මදෙස බැලීය.

“මොකද උඹ ගත්තෙ නැත්තෙ..?”

“ඕවා බීලා වමාරන්න වෙයිද දන්නෙ නෑ..”

“ඒක නම් එහෙම තමයි.. ඒත් ඒ මනුස්සයා කරන හැම දෙයක් ගැනම සැක හිතන්න එපා..”

ගීතිකා පැවසූ දෙය ගැන මම තවදුරටත් සිතා බැලුවෙමි. නමුදු විශ්වාසවන්තයින් අපෙන් ඈත් වුණ කළ අන් අය ගැන කෙලෙස විශ්වාස කරන්නදැයි මම නොදනිමි. මහේෂ් වනිගසූරියගේ පැමිණීමෙන් මගේ සිතුවිලි විසිරිනි. ෆැක්ටරිය අසළට එනතුරුද යළිත් අප අතර කතාබහක් නොවීය. වෑන් රථයේ නලා හඬින් ආරක්ෂක නිලධාරියා ගේට්ටුව විවර කළේය. මිදුලේ වෑන් රථය නතර වූ පසු මාත්, ගීතිකාත් ඉන් බැස ගතිමු. කාර්යාලය අසලදී කාංචන මුදන්නායක අප කරා පැමිණියේය.

“බේත් දැම්මද..?”

“ඔව්.. මැහුම් හතරක් දැම්මා..”

මහේෂ් වනිගසූරිය ඔහුට පිළිතුරු දුන්නේය. ඔහු මදෙස බැලීය. නොසැලකිල්ලෙන් වැඩ කරනවා යැයි ඔහු බැණ වැදෙතැයි මට සිතුණි. මා නෙතු බිමට නැඹුරු විය.

“එහෙම නම් මහේෂ් මෙයාව ගෙදරට දාලා එන්න. සනීප උනහම වැඩට එන්න..”

මම ඔහු දෙස බැලුවේ අසරණ නෙතිනි. අහේතුක බියකින් මා පෙළෙන්නට විය. මට බසයෙන් ගෙදර යාමට පුළුවන් බව කියන්නට සිත් විය. ඇගිල්ලේ වේදනාව දැන් අඩුය. මම ගීතිකා දෙස බැලුවෙමි. ඇය නිහඬය.

“ඉන්න මම බෑග් එක ගෙනත් දෙන්නම්..”

ගීතිකාද මා සමග එවන්නේ නම් මැනවැයි මට සිතුණි. නොඑසේ නම් මහේෂ් වනිගසූරිය නිදහසේ මා සමග කතා කරන්නට උත්සාහ කරනු ඇත. එය නොසන්සුන් මසිත තවත් පටලැවීමට මුල පිරීමකි. මට ඇති කරදර උවමනාවටත් වැඩිය තවත් කරදර දරාගැනීමේ ශක්තිය මවෙත නොවේ. ගීතිකා මගේ බෑගයත් රැගෙන අප අසළට පැමිණියාය.

“ඔයාට අරුන්දිකාව දාලා ආපහු එන්න පුළුවන්නේ..?”

එවදන් මා ගලවා ගැනීමට සමත් විය. ඔහු බලා සිටියදීම අප තිදෙනා වෑන් රථයට නැගුණෙමු. නංගිලා දෙදෙනා පාසල් යාමට සැරසෙන වේලේ මම කාමරය තුළට වැදුණෙමි. මේ මා නිවසට වී ගෙවන දෙවන දිනයයි. ඇඟිල්ලේ වේදනාව අඩු වුවද මැහුම් කපනතුරු වැඩට යාමට නොහැකිය. ඇඟිල්ලේ තුවාලය නිසා මේ දිනවල ගෙදර කටයුතු කිරීමට සිදුවූයේ නංගිලාටය. එය මට තවත් වේදනාවකි. මා ලොකු නංගී අසළට ළංවූයේ චූටි නංගි ඉස්තෝප්පුවට ගිය පසුවය. ඇය කණ්නාඩිය ඉදිරිපිටට වී කොණ්ඩය පීරමින් උන්නාය.

“ලොකු නංගි..”

ඇය කණ්නාඩියෙන් නෙතු මෑත් කර මදෙස බැලීය.

“කාටවත් කියන්න එපා මට තුවාල වුණා කියලා..”

මා කාටවත් කියන්නට එපා යැයි කීවේ නොකිව යුතු පුද්ගලයා ගැන කීමට නොහැකි වූ නිසාය. මා පැවසුවේ කවුරුන් ගැනදැයි ඇයට වැටහෙන්නට ඇත. මම නිහඬවම ඇය දෙස බලා සිටියෙමි.

“ඊයෙ අපි ඉස්කෝලෙ ගිහින් එනකොට ජනක අයියා හම්බවුණා..”

“ඔයා කිව්වද..?”

“නෑ අක්කෙ..”

මම සැනසුම් සුසුම් හෙළිමි. නොඑසේ නම් ඔහු මා බැලීමට එනු ඇත. එය අනවශ්‍ය බැඳීමකට මුල පිරීමකි. ඔහුටත් මටත් අවශ්‍යව ඇත්තේ එකිනෙකා නොදැක සිටීමටය. එය කෙතරම් අසීරු වුවද අප ඊට එකඟ විය යුතුය. ඔහු මා පෙර දිනක යැවූ ලිපිය බලා හිත හදාගන්නට ඇත. නැන්දා මා හමුවීමට පැමිණ ගියායින් පසු මම ඔහුට ලිපියක් ලීවෙමි. එම ලිපිය ලිවීමට හැකියාවක් නොමැති වුවද අපහසුවෙන් හෝ ලිවිය යුතුව තිබුණි. ඉතින් ජනක යළිත් මා බලන්නට නොඑනු ඇත. ඔහු නොඑනවා නම් වඩා හොදය. එවිට මට අපහසුවෙන් හෝ හිත හදා ගැනීමට පුළුවන. නිතර නිතර දකින්නට වුවහොත් යලිත් මසිත බිඳෙනු ඇත. නොදොඩා සිටීමට සිදුවීම සිත පාරවන්නකි.

නංගිලා දෙදෙනා පිටව ගිය පසු මම ජනේලයෙන් ගුරු පාර දෙසට නෙත් හෙලීමි. අපහසුවෙන් වුවද මම ගුරු පාරේ කෙළවර දකින්නට උත්සාහ කළෙමි. නෙත දකින්නට ලොබ වූ රුව ගුරු පාරේ නොවීය. ඔහු යන්නට ඇත. නෙත් මායිමෙන් පමණක් නොව සිත් මායිමෙන්ද පිටව යන්නට ඇත. මගේ ලිපිය ඔහුගේ සිතුවිලි දමනය කරන්නට ඇත. ඒත් වචන කිහිපයකට ආදරණිය වූ සිතකට මෙතරම් ඉක්මනින් වෙනස් වීමට පුළුවන්වේ යැයි මම නොසිතුවෙමි. එපමණකින් ඔහු හිස හදාගත්තද මසිත නිදහස් කර ගැනීමට මට නුපුලුවන් විය. මා ලියූ දේ සිහිකර ගැනීමට මම උත්සාහ කළෙමි. එය මා ලියූවක් නොව බලහත්කාරයෙන් කවුරුන් හෝ ලියූවක්ය.

ආදරණිය ජනක.

ජීවිතයේ පළමු වරටත්, අවසන් වරටත් මම ඔබට ලිපියක් ලියමි. කෙසේ ආරම්භ කර කෙසේ අවසන් කළ යුතුද නොදැන වුවද මා මෙය ලිවිය යුතත්කි. කීමට දහසක් දේ වුවද ඒ දේවල් කියා ගැනීමට තරම් ශක්තියක් මවෙත නොවේ. ඒ නිසා ලිවීමට සිතුවෙමි. කීමට නොහැකි බොහෝ දේ ලිවීමට ශක්තියක් ඇත. එසේම පැහැදිලිව පැවසීමටද පුළුවන.

අප ගැන, අපේ ජීවිත ගැන පවසා තව තවත් මට හඬන්නට බැරිවාක් මෙන්ම නුඹ රිදවන්නට මට නොහැකිය. මන්ද යත් මේ වනවිට කඳුළේ අගයක් නොමැති තරමට මම හඬා ඇත්තෙමි. අප නොසිතූ ආකාරයෙන් සියල්ල විසඳී ඇත. ඉතිකින් නුඹටවත්, මටවත් ඒවා වෙනස් කළ නොහැකිය. අවසන් කළ හැකිවූවද අප ගැන නොව අන් අය ගැන සිතිය යුතුව ඇත.

නුඹේ මවත්, පියාත් මට මගේ මව්පියන්ය. එසේ කළ ඔවුන්ව පෑරීමේ ශක්තියක් මට නැත. එසේම මට මගේ ජීවිතයට වඩා අප්පච්චිලාත් නංගිලා දෙදෙනාත් ගැන සිතිය යුතුව ඇත. මේ සියල්ල නුඹට  වැටහේවි යැයි මම සිතමි. එසේම නුඹට යහපතක් වෙනවා නම් නුඹේ යහපත අගය කළ වුන් අතර මමද එක් තැනැත්තියක්මි.

ඉතින් අප වෙන්විය යුතුය. වෙන්වීමේ ආරම්භය හමුවීමය. හමු වූ කිසිවෙකුත් වෙන් නොවූවේ නැත. මම මගේ ආදරය නුඹේ මාපියන් වෙනුවෙන් පරිත්‍යාග කලෙමි. තව තවත් දේ ලියන්නට මට ශක්තියක් නැතිව සේම නුඹ වෙහෙසවන්නටද මම නොසිතමි. ජීවිතය පුරාවට මම නුඹට සොහොයුරෙකු සේ ආදරය කළෙමි. මෙතරම් කාලයක් මා අසළට වී මට දයාබර වූවාට නුඹට පින්පෙත් පතමි.

මං අරුන්දිකා..

නෙතු පලා කඳුළැල් ගලා ගියා මට මතකය. හදවතට දරාගත නොහැකි විය. කඳුළට ඉබාගාතේ ඇඳෙන්නට ඉඩදී මම බලා සිටියෙමි.


සෙනසුරාදා ඇඟිල්ලේ මැහුම් කැපීමට පුළුවන් විය. මම සඳුදා සිට වැඩට යාමට සිතුවෙමි. කුස්සියට වී ලිප දල්වමින් සිටි මා ලොකු නංගීගේ කටහඬින් හිස හරවා බැලිමි.

“අක්කේ..”

ඇගේ නෙත්වල වූයේ කුතුහලයකි.

“කවුද ඇවිල්ලා..”

“කවුද..?”

ලොකු නංගී නාදුනන කෙනෙක් අපේ නිවසට නොඑයි. එන්නේ නම් නැන්දලාගේ ගෙදරින් පමණි. එසේ කල මසිත ඇතිවූයේ කුතුහලයකි.

“අක්කා ඉන්නවද ඇහුවා.. මම කිව්වා ඉන්නවා කියලා..”

“කෝ..?”

“කඬුල්ල ළඟ..”

දෑත පුරා තිබූ සබන් සෝදාගත් මම තෙත් දෑතින් ගවුමේ පිසදමමින් නැගී සිටියෙමි.

“යමු බලන්න..”

කුතුහලය පිරුණු සිතින් මම ලොකු නංගීත් සමග ගෙදරට ගියෙමි. ඉස්තෝප්පුවේ සිටි අප්පච්චීද කඩුල්ල දෙස බලා සිටියේය.

“කවුද පුතේ..?”

“ඉන්න මම බලලා එන්නම්..”

මිදුලට බැස්ස මම කඩුල්ල දක්වා ගියෙමි. දෙවියනේ.. ඔහු මසිත බියක් ඇතිවිය. එසේම තිගැස්සුණි. ඔහු පැමිණියේ ඇයිදැයි මම සිතුවෙමි. ඔහු දැකීමෙන් සැබැවින්ම සිත තුළ පැන නැගියේ බියකි. එසේ වුවද මා ඔහු ගැන වැරදි ආකාරයට සිතීම නුසුදුසු යැයි මට සිතුණි. උවමනාවටත් වඩා මිනිසුන් සැන නොකළ යුතුය. ඕනෑම පුද්ගලයෙකු තුළ හොඳ කෙනෙකු ද ජීවත් වේ. තිගැස්සුණු සිතින් මම ඔහු අසළට ගියෙමි.

“සර්..”

ඔහු මුවග සිනාවක් වීද සිනාසීමට මට අමතක විය.

“අරුන්දිකා මං ආවෙ ඔයාව බලලා යන්න.. ඒත් ඔයා බයවෙලා වගේ ඇයි..?”

මගේ මුහුණේ කුමන විලාසයක් දිස්වූයේ දැයි මම නොදනිමි. නමුත් මම බියවී උන්නෙමි. ඔහු සැහැල්ලුවෙන් කතා කළද මා සිටියේ තිගැස්සුණු සිතිනි. මම සිනාසෙන්නට උත්සාහ කළෙමි. ඔහු පැමිණ ඇත්තේ අසනීප වූ මා බලා යාමටය. එසේ කළ ඔහු නොපිළිගැනීම නොවටිනා දෙයකි.

“දැන් සනීපද..?”

“ඔව් සර්.. උදේම මැහුම් කැපුවා..”

“කෝ ගෙදර කවුරුත් නැද්ද..?”

ඔහු නෙතු ඔසවා නිවස දෙස බැලුවේය.

“අප්පච්චිලා ඉන්නවා සර්..”

“මං හිතුවෙ නෑ කියලා.. අරුන්දිකා මට ගෙදරටවත් කතා කළේ නැහැනේ..”

මසිත පසුතැවීමක් ඇතිවිය. නමුත් යටි සිතේ පැවතියේ ආරාධනා කිරීමට නොහැකියාවකි. අමුත්තෙකු පිළිගැනීමට තරම් සුදුසු වටපිටාවක් අපේ ගෙදර නැත. හිඳ ගැනීමට ඇත්තේ ඉස්තෝප්පුවේ ඇති එකම ලෑලි පුටුවක් පමණි. නමුත් පෙර දිනක ඔහු නිවසට පැමිණි නිසා ඔහුගෙන් වසන් කිරීමට දෙයක් වේ යැයි මම නොසිතුවෙමි. එසේම මගේ දුප්පත්කම ලැජ්ජා වීමට තරම් දෙයක් නොවන බවද මම දනිමි. මා ඉපදුනේ දුප්පත් අප්පච්චිගේ පැලේ මිස මාළිගාවක නොවේ.

“ආයෙමත් කල්පනා කරනවා.. මං ආව එක කරදරයක්ද අරුන්දිකා..”

“අනේ නෑ සර්.. එන්න..”

ඔහු කඩුල්ල පැන මා පසුපසින් විත් ගෙට ඇතුළු විය. අප්පච්චීට, මහේෂ් වනිගසූරිය අමතක නොවන්නට ඇත.

“අප්පච්චී මේ එදා මාව එක්ක ආව සර්..”

මම නැවත ඔහුට මහේෂ් වනිගසූරිය හඳුන්වා දුනිමි.

“මට මතකයි.. ඉඳගන්න මහත්තයා..”

මම ලෑලි පුටුව පිස දමා ඔහු අසලට ළං කළෙමි.

“මං ආවෙ අරුන්දිකාට සනීපද කියලා බලලා යන්න.. මේ දවස් වල වැඩත් ටිකක් වැඩියිනේ.. හෙට වැඩට එන්න පුළුවන්ද කියලා බලන්නත්...”

ඔහු අවසන් වදන් පැවසුවේ මදෙස බලමිනි..

“මං හෙට ඉඳන් එනවා සර්..”

ඔහු එලෙස සිටියදී මා කුස්සියට ඇඳුණේ බීමට යමක් දීමටය. මා පසුපස ලොකු නංගීත් චුට්ටීත් විය.

“ඔයාගෙ වැඩපළේ කෙනෙක්ද අක්කෙ..?”

“ඔව්.. අපේ සුපවයිසර්..”

“එයා හොඳ කෙනෙක්ද..?”

ඇය එසේ ඇසුවේ ඇයිදැයි මම නොදනිමි. ඇයට දියහැකි පිළිතුරක් සොයාගැනීමට මට නොහැකි විය.

“හ්ම්..”

මම ඇය දෙස බලා නිහඬවිමි. කෙනෙකුගේ හොද නරක මැනීම අසීරු දෙයකි. එක පැත්තකින් හොඳ කෙනෙකු තවත් පැත්තකින් නරකය. එසේම ඕනෑම පුද්ගලයෙකු තුළම හොඳ නරක ගැබ්වී පවතී. මිනිසුන් විෂමය. එකම මිනිසා එක් එක් අවස්ථාවල වෙනස්වේ. එසේ කළ ඇගේ ප්‍රශ්නයට කෙසේ විසඳුම් දෙන්නද..?

“මොනවද ලොකු නංගි බොන්න හඳන්නෙ..?”

“තැඹිලි නං තියෙනවා..”

තැඹිලි ගෙඩි කිහිපයක් කුස්සියේ තිබුණු බව මට සිහිවූයේ එවිටය. තැඹිලි ගෙඩියක් කපා වීදුරුවකට දමා මම ඔහු වෙත රැගෙන ගියෙමි.

“බොන්න සර්..”

“අරුන්දිකා කරදර වෙලා..”

ඔහු මදෙස බලා සිනාසුනාය.

“ඕක මොකක්ද මහත්තයා.. මේ දුප්පත් ගෙදර මහත්තයට සලකන්න තරම් වෙන ක්‍රමයක් නෑ..”

මම ඉවත බලාගතිමි. අප්පච්චී එසේ නොකීවේ නම් මැනවැයි මට සිතුණි. දුප්පත්කම බැගෑපත්වීමට තරම් කාරණාවක් නොවේ. නමුදු අප්පච්චීට එය නොතේරේ. ඒ ඔහු සිතන ආකාරයෙනි.

“එහෙනම් මම යනවා..”

ඔහු හිස් වීදුරුව මවෙත පෑවේය.

“ගොඩක් ස්තුතියි සර් මාව බලන්න ආවට..”

වෙන කිවයුතු දෙයක් නොමැති නිසාවෙන් මම පැවසුවෙමි. එසේම ඔහුගේ පැමිණීම කුමන ආකාරයෙන් සිතිය යුතුදැයි මට නොවැටහුණි. කෙසේ වුවද එය සාමාන්‍ය සිදුවීමක් කර ගැනීමට මට උවමනා විය. ඔහුගේ පැමිණීම විශේෂත්වයකින් නොදකින්නට මම උත්සාහ කළෙමි.

“මම යනවා අංකල්..”

“හොඳයි මහත්තයා.. පුතා හෙට වැඩට එයි..”

ඔහු මදෙස බැලුවාය.

“මේ නංගිලද..?”

මට මුවාවී සිටි ලොකු නංගීත් චූටි නංගීත් යන්තමින් සිනාසුණහ.

“ඔව් සර්..”

“මං යනවා..”

ලොකු නංගීට අත රැදි වීදුරුව දුන් මම ඔහු පසුපස කඩුල්ල දක්වා ගියෙමි. මා එසේ කළේ අරමුණකින් තොරව වුවද ගෙදරට පැමිණි ඔහුට ගෞරව කිරීම මගේ යුතුකම යැයි මම සිතුවෙමි. සැබවින්ම ඔහු පැමිණ ඇත්තේ මගේ සුවදුක් විමසා යාමටය. කඩුල්ල පැන ඔහු යළිත් මදෙස බැලුවේය.

“අරුන්දිකා ගෙදර අය මුකුත් හිතයිද මං ආවට..”

“අනේ නෑ සර්.. සර් ආවෙ මට සනීපද කියලා බලන්නනේ..”

ඔහුගේ පැමිණීම උවමනාවටත් වඩා විශේෂත්වයකින් නොසලකන බව ඔහුට දැන්වීමට මට අවශ්‍ය විය. ඔහු නිශ්ශබ්දය. ඔහු සිතන්නේ මොනවාදැයි මම නොදනිමි. ඔහු පසුපස පැමිණ මා කළේ අනුවණ කමක්දැයි මම නොදනිමි. නමුත් එයට ප්‍රමාද වූවා වැඩිය. මහේෂ් වනිගසූරියගේ නිහඬ සිතුවිලි මාව නොසන්සුන් කළේය.

“අරුන්දිකා හෙට එනවනේ..”

“ඔව් සර්..”

ඔහු ඉක්මනින් යන්නේ නම් මැනවැයි මට සිතුණි. අප්පච්චී හා නංගිලා මා ගැන කෙසේ සිතනු ඇත්ද..? සැබවින්ම මම නොසන්සුන් විමි.

“මං යනවා..”

ඔහු මෝටර් සයිකලයට නැගුණේය. මසිතට මහා සැහැල්ලුවක් ඇතිවිය. යළිත් වරක් බැලූ ඔහු යන්නට ගියේය. මම ඉක්මනින් ගෙතුළට ගියෙමි.



No comments:

Post a Comment