Monday, August 13, 2012

| අරුන්දිකා | සංජීවනී අටලුගම |


මා එනතුරු නංගිලා දෙන්නා කඩුල්ල අසළට වී බලා උන්හ. ඒ මුහුණුවල සිනහව දකිනවිට මට ඇතිවූ සතුට අපමණය. මා වෙනදාට වඩා ප්‍රමාද වූ නිසා ඔවුන් විමසිලිමත් වන්නට ඇත. කඩුල්ලෙන් පැන්න මම අතරැඳි බෑක් දෙක එවුන් දෙදෙනා වෙතට පෑවෙමි.

මොනවද අක්කෙ මේ..? හරි බරයි..

ලොකු නංගී බෑගය අතට ගත්තේ පුදුමයෙන් මදෙස බලමින්ය.


යමුකො ගෙට..

මම ඔවුන් දෙදෙනා පිටුපසින් ගෙට ඇතුළු වුණෙමි. වැල් ඇඳේ දිගාවී සිටි අප්පච්චී ඇඳ මත හිඳ ගත්තේය.

ඇයි පුතේ පරක්කු වුණේ..?”

අද පඩි හම්බවුණා අප්පච්චි.. එන ගමන් කඩේට ගියා..

මං රත්වෙලා හිටියෙ.. කෙල්ලො දෙන්නව පාරට යවන්නත් බෑ.. ඒකයි කඩුල්ල ළගටවත් ගිහින් බලන්න කිව්වෙ..

මම අතරැඳි බෑගය විවර කර බ්‍රවුන්පේපර් කවරය අප්පච්චී අත තැබුවෙමි.

මොනවද පුතේ..?”

බලන්නකො අප්පච්චි..

ඔහු කවරය විවර කලේ අපහසුවෙනි. එක් අතකින් වැඩ කිරීම තවත් ඔහුට නුහුරු දෙයකි. අනෙක් අතේ වැලමිට දක්වා තිබුණද එහි තුවාලය තවම සුව වී නැත. කවරයේ තිබුණු කමීසය හා සරම දැක ඔහු සිනාසුනේය. නමුදු ඒ සිනහව එකවර අතුරුදහන් විය. ඒ සමගම මහා සුසුමක් හෙලීය. ඔහු මදෙස බැලුවේ අසරණ විලාසයෙනි. මසිත පිච්චී ගියේ ඔහුගේ දුක්බර නෙත් දැකීමෙනි. දන්නා කියන කාලයක ඔහු ඇඳුමක් මිලදී ගත්තේ නැත. රැකියාවෙන් ලද වැටුපෙන් ඔහු අපේ ඕනෑ එපාකම් සොයා බැලුවා මිස අඳින්නට තරම් දෙයක්වත් නොගත්තේය.

මට මොකටද පුතේ මේවා.. උඹටයි, නංගිලා දෙන්නටයි මොනව හරි ගන්න එපෑය..

නංගිලාට ගත්තා අප්පච්චි..

ලොකු නංගීටත්, චූටි නංගීටත් පොත්ද, මල් වැටුණු කුඩයක්ද, චුට්ටීට බෑගයක්ද මම මිලට ගතිමි. චූටි නංගී පාසලට ගෙන යන්නේ ලොකු නංගීගේ පරණ බෑගයයි. එහි මහන්නට තැනක් නොමැති තරම් මසා ඇත. මම එකින් එක ගෙන ඔවුන් වෙත පෑවෙමි. ඔවුන් දෙදෙනා ඉතා ආසාවෙන් එවා අත පත ගෑහ.

කෝ අක්කට..?”

මා කිසිවක් මා සඳහා මිලට ගත්තේ නැත. මට අවැසි වූයේ ඔවුන් වෙනුවෙන් බොහෝ දේ කරන්නටය. ඔවුන්ගේ සතුට අබියස සිනාසීමට පමණක් මම ප්‍රාර්ථනා කළෙමි.

මට මොනවත් ඕන නෑ ලොකු නංගි..

අක්කට වැඩට අඳින්න හරියට ගවුමක්වත් නැහැනේ..

ඔය තියෙන ඒවා ඇති.. පස්සෙ ගන්න බැරියෑ..

චූටි නංගී නම් ඇයට ලැබුණ දේ බලා සතුටු වෙයි. ඒත් ලොකු නංගීගේ සිත මා වෙනුවෙන් නැගුණ දුක් මුහුණේ පෙනෙන්නට විය. මම ඇයට සිනාසුණෙමි. ඒ මසිත තුළ පැවති සැහැල්ලුව පෙන්වීමටය.

යමු.. මොනවා හරි උයන්න ඕනි..

මා ඔවුන් සමග කුස්සියට ඇඳුනේ රාත්‍රී ආහාරයට පිළියෙල කිරීමටය. ජනක එනතුරු මා සිටියේ නොඉවසිල්ලෙනි. බුදු පහන දල්වා අවනස්වන තුරුද ඔහු නොපැමිණියේය. රාත්‍රී ආහාර පිළියෙල කළ මම ඉස්තෝප්පුවට වී බලා සිටියෙමි. නංගිලා ගෙතුළ පාසල් වැඩ කටයුතු කරති. හෙන්දිරික්කා මල් වැටිය ළගට කළුවර ලංවන විට ජනක පැමිණියේය.

මොකද පාර බලාගෙන..?”

ඔහු සිනාසෙමින් ගෙට ඇතුළු විය.

මාමා නිදිද..?”

අප්පච්චී සිටියේ බිත්තිය දෙසට මුහුණ හරවාගෙනය.

නෑ පුතේ..

සිහින් කෙඳිරියක් නගමින් ඔහු අනෙක් පසට හැරුණේය.

මට එපාවෙලා පුතේ මෙහෙම ඉඳලා.. කොන්දත් රිදෙනවා..

ඔහු කතා කරන්නේ වේදනාවෙනි.

තුවාලෙ හොඳද මාමේ..?”

තව ටිකක් තියෙනවා.. දොස්තර මහත්තයා කිව්වා තව බේත් ටිකක්
බිව්වාම සම්පූර්ණයෙන්ම වේලෙයි කියලා..

ජනකත්, අප්පච්චීත් කතා බහ කරන අතරතුර මම කාමරයට ගොස් බ්‍රවුන් පේපර් කවරයේ දවටා තිබුණු පෑන රැගෙන ඉස්තෝප්පුවට පැමිණියෙමි. ඔහුට පිටුපසින් හිටගත් මම අත රැඳි පෑන ඔහුට දුණෙමි.

ජනක...

ඔහුගේ මුහුණේ පැතිර ගියේ කුතුහළයකි.

මොනවද..?”

බලන්නකො..

ඔහු බෑගය විවර කර එහි වූ පෙට්ටිය එළියට ගත්තේය. ඔහු යළිත් මදෙස බැලුවේ විමතියෙනි.

කාටද මේ..?”

ඔයාට..

ඒ මොකටද..?”

මම සිනාසුනෙමි. ප්‍රශ්නාර්ථයක් රැඳුණු බැල්මෙන් ඔහු මදෙස බැලීය.

අද පඬි හම්බවුණා..

ඔයාට පිස්සුද..?”

මසිත රිදිනි. වඩාති රිදිනි. ඔහු ඊට අකමැති නම් මගේ සතුට මට අහිමිවේ. මනෙතු කඳුළු නැගුණේ ඇයිදැයි මම නොදනිමි.

ඔන්න ඉතින් එල්ල ගත්තා.. මම අකමැතිව නෙමෙයි අරුණි.. ඔයා දුක් විඳලා හොයාගන්න එක නාස්ති කරන්න එපා..

ඔහු පැවසුවේ ලෙංගතු හඩින්ය. ඔහු එසේ පවසන බව මම දැන උන්නෙමි. මසිතේ සතුටක් ඇතිවිය. එය මේ යැයි කියා ගැනීමට නුපුළුවන.

මා රැකියාවට ගියද, අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වනුවුවද ලද වැටුපෙන් යන්තමින් හෝ ජීවිතය ගැටගසා ගන්නට පුළුවන් විය. අප්පච්චීට බෙහෙත් ගැනීමට, නංගිලා දෙදෙනාගේ පාසල් ගමනටද අවශ්‍ය දේ ගැනීමට මෙන්ම ගෙදර අඩුපාඩු සම්පූර්ණ කිරීමටද මම අපමණ වෙහෙසක් දරුවෙමි. කොතරම් දුක්ඛ දෝමනස්සයන් දැනුනද අප්පච්චීට හෝ නංගිලාට වෙනසක් නොදැනෙන ලෙස කටයුතු කරන්නට මම පුරුදු වුණෙමි. ෆැක්ටරිය මගේ ජීවිතයේ කොටසක් විය. එය මට මාහැඟි තැනක් විය. මගේ තත්වය තුළ සිටි කෙනෙකුට මීට වඩා දෙයක් බලාපොරොත්තු වීම නිෂ්ඵල දෙයක් හෝ එය පළ නොදරන බලාපොරොත්තුවක් වීම අසත්‍යයක් නොවේ. මා ජීවිතයේ සිහින නොදැක්කා නොවේ. එය රාත්‍රියේ දුටු සිහිනයක් වූවා මිස සැබෑ සිහිනයක් නොවීය. ඉතින් බලාපොරොත්තු හෝ ප්‍රාර්ථනා තුළ තව තවත් ජීවිතය මුලා නොකර සත්‍යයට මුහුණ දීමට සූදානම් විය යුතුය. ලද දෙයින් සතුටු වීමට මම කුඩා කළ සිටම පුරුදු වුණෙමි.

 
දිවා ආහාරයෙන් පසු මාත්, ගීතිකාත් මිදුලේ ගල් බංකුව මත හිඳ ගතිමි. බොහෝ දිනවල මෙතැනට වී අප දෙදෙනා අප ගැන කතා කළෙමු. ගීතිකා මගේ සොයුරියක් මෙන් මට සමීප විය.

අලුත් ආරංචියක් තියෙනවා අරුණි..

ඉදිරි මිදුලේ ගේට්ටුව දෙස නෙත් යොමා සිටි ඇය මා දෙස බැලුවේ විමසිල්ලෙනි.

මොකක්ද ගීති..?”

අපේ ලොකු මහත්තයා අයින් වෙලා වෙන කෙනෙක් එනවලු..

ඇයි ඒ..?”

එයා රට යනවලු බිස්නස් වලට. එයාගෙ නෑ කෙනෙක් එනවලු රට ඉඳන්..

උඹට කවුද කිව්වෙ..?”

මානෙල් මිස්..

අලුත් කෙනා කොහොම වෙයිද දන්නෙ නෑ..

ගීතිකා පැවසුවේ ඉවත බලාගෙනය.

දැන් ඉන්න ලොකු මහත්තයා වරදක් නෑනෙ..

ඈ මදෙස බැලුවේ කී දෙය එතරම් ගණන් නොගත්තා සේය.

 
හොඳයි නම් තමයි.. බටර් ගාගෙන ඉන්නවා වැඩ ටික කරගන්න.. අරුත් උඹට කරපු අසාධාරණේ මැදැයි..

ඒක මගෙ වෙලාව..

මොන වෙලාවද බං.. ඒ මිනිස්සු කැමති නෑ අපි වගේ පුංචි උන් හොඳ තැනකට එනවට.. දුප්පත් මිනිහා දුප්පත් වෙලාම ඉන්න ඕන.. අපි කරන්න දෙයක් නැතිකමට එනවා තමයි..” 

ඇය කතා කරන්නේ කලකිරීමෙනි. එහි අසාධාරණ බවක් නැතිවා නොවේ.

අනේ මංදා.. මට මේකවත් නැති වුණා නම් පිස්සු හැදෙන්න තිබුණා..

මා පැවසුවේ සත්‍යයකි. වතුරේ ගසාගෙන යන මිනිසාට පිදුරු ගසද සම්පතකි.

මට උඹ ගැන දුකයි අරුණි..

මම සිනාසී ඇය දෙස බැලුවෙමි. ඒ ලෙන්ගතු සිත මට සොයුරියක් සේ යෙහෙළියක් සිටින බව කියයි.

ඒක නෙමෙයි.. ඉස්කෝලෙ මහත්තයට කියපන්කො රස්සාවක් හොයල දෙන්න කියලා..

 ඉස්කෝලේ මහත්තයා යැයි පවසන්නේ ජනකටය.

එයත් කොහෙන් හොයන්නද..? ඇරත් ජනක කැමති නෑ මං මෙහෙ එනවට..

උඹ රස්සාවක් නොකර කොහොමද..?”

ඒකනේ මාත් කියන්නෙ.. මට රස්සාවක් කරන්න පිට පළාතකට යන්න බැහැනේ ගීති.. ගෙදර අප්පච්චිලා දාලා.. ඒකයි මම මෙහෙ ආවේ..

ජනකලගෙ ගෙදරින් දන්නවද උඹල ගැන..?”

ඈ එලෙස පැවසුවේ ඇයිදැයි මම නොදනිමි. නමුත් මසිත මදක් තිගැස්සුන බව සැබෑය. ඒ මන්දැයි මට නොවැටහේ. කෙනෙකු එවැනි දෙයක් විමසූ ප්‍රථම වතාව නිසා එසේ වන්නට ඇත. ජනකත් මාත් හඳුනන්නේ නොදරුවන් කළ සිටය. නැන්දාට හෝ මාමාට එය රහසක් නොවේ. අපේ අප්පච්චීට හා නංගිලාටද එසේමය. කිසිවෙකු කිසිදින ඒ ප්‍රශ්නය නැගුවේ නැත. ඉතින් අපට විරුද්ධ වන්නට කිසිවෙකු හෝ ඇතැයි මම විශ්වාස නොකරමි.

මොකද උඹ කල්පනා කරන්නෙ..?”

නෑ..

නැන්දලා දන්නවා.. අපේ අප්පච්චිලත් දන්නවා..

එහෙනම් කමක් නෑ.. කොහොමත් උඹලා දෙන්නා ඉන්න තත්වෙ අනුව ඒ වගේ කෙනෙක් නැතුව බැහැනේ. හදිසියකට දැන් අප්පච්චීට දුව පනින්න බැහැනේ..

මා තනිවී නැතැයි යන සිතුවිල්ල මට බොහෝ විට දැනුණේ ජනක සිහිවීමෙනි. අප්පච්චීටද, නංගිලාටද එසේම වන්නට ඇත. දුකේදී සැපේදී ඔහු මා ළඟින් සිටීවි යැයි දැඩි බලාපොරොත්තුවක් මසිත තුළ විය.

සවස වැඩ ඉවර වී මා ගීතිකාත් සමඟ බස් නැවතුමට ගියෙමි. පහේ බසය පැමිණිමට තවත් විනාඩි දහයක් පමණ ඇත. දෙනියකුඹුරට යාමට අපේ ෆැක්ටරියේ සිටියේ මා පමණකි. ගීතිකා හැමදාම බස් නැවතුම දක්වා මා සමඟ පැමිණ දකුණු පැත්තේ වූ පාර දිගේ නිවසට යයි. ඇගේ නිවස පිහිටා තිබුණේ ඇවිද යන දුරකය. බස් නැවතුම තුළ ගැහැනුන් හා මිනිසුන් කිහිප දෙනෙක් විය.

මම යන්නම් අරුණි..

ඇය අතබැඳි ඔරලෝසුව දෙස නෙත් යොමු කරමින් පැවසීය.

තව ටිකකින් බස් එක එයි.. උඹ පලයං..

මම සිනාසී ඇයට සමුදුනෙමි. ඉක්මනින් බසය පැමිණෙන්නේ නම් මැනවැයි මට සිතුණේ රෑ වීමට පෙර ගෙදර යාමට අවශ්‍ය නිසාය. ගීතිකා නොපෙනී ගිය පසු මගේ නෙත් දිව ගියේ ඉදිරි මාවත දෙසටය. පාරෙන් එහා පැත්තේ සිටි රුව දැකීමෙන් මසිත තිගැස්සුණේය. ඔහු නොදැක්කා සේ මම ඉක්මනින් ඉවත බලා ගත්තෙමි. ෆැක්ටරිය තුළදී ඔහු දින කිහිපයක්ම මා හා කතා කරන්නට උත්සාහ කළද මම ඔහුව මග හැරියෙමි. බසය එන්නේදැයි මම අනෙක් පසට හැරී බලා සිටියෙමි. මොහොතකින් මා පසුපසින් ඇසුණු හඬ නිසා මසිත වේවලා ගියේය.

අරුන්දිකා..

වෙනසක් නොපනේවා මා ඔහු දෙස බැලුවේ අවට සිටි මිනිසුන් මා ගැන කුමක් සිතාවිදැයි යන බියෙනි.

සර්..

බස් එක නැද්ද තාම..?”

දැන් එනවා ඇති..

ඔහු මට වඩාත් ලංවන විට මම මදක් පසුපසට ගියෙමි. බසය එන මග මා බලා සිටියේ ඔහුගෙන් ගැලවෙන්නට අන් මගක් නොවුණ නිසාය.

අරුන්දිකා..

අද නම් ඔහුගෙන් මිදී පලායාමක් නොමැතිසේය. ෆැක්ටරියේ කවුරුන් හෝ මෙය දකී නම් හෙට දින විසුමක් නොවනු ඇත. මේ කරදරයෙන් මිදීමට මගක් සොයමින් මම ලතැවුණෙමි.

මං අරුන්දිකා එක්ක කතා කරන්න බලන් ඉන්නෙ හුඟ දවසක ඉඳන්..

ඔහු සැහැල්ලුවෙන් කියවාගෙන ගියද මා සිටියේ උන් හිටි තැන් අමතකවය.

ඇයි ඔයා බයවෙලා වගේ..?”

මම ඔහුගෙන් දෙනෙත් ඉවතට ගතිමි. මා අසළ සිටි ගැහැනිය මදෙස බලනවා මම නෙත් කොණින් දුටුවෙමි. ඔහු දෙස නොබලා ඉන්නට මා උත්සාහ කළද මා ඉදිරියටම වී ඔහු සිටියේය. ඈතින් එන බසය දැකීමෙන් මගේ සිත මදකට සැහැල්ලු විය.

බස් එක එනවා.. මම යන්නම් සර්..

එපමණකින් ඔහුගෙන් ගැලවී මම බස් නැවතුමෙන් පිටතට පැමිණියෙමි..

අපි පස්සෙ කතා කරමු අරුන්දිකා..

ඔහු මා පසුපස ඇවිත් බව මා දැනගත්තේ එවිටය. ඔහු දෙස වරක් බැලූ මම ඉක්මනින් ඉවත බලා ගතිමි. බසයේ එනතුරු මා කල්පනා කළේ මහේෂ් වනිගසූරියගෙන් ගැලවීමක් ගැනය. ඔහු දිගින් දිගටම මෙසේ මා සමග කතා කරන්නට ගත්තොත් එය ෆැක්ටරිය පුරා පැතිර යනු ඇත. යළිත් ඔහු කතා කිරීමට පැමිණියහොත් ජනක ගැන පවසා මේ කතාබහ නැවැත්විය යුතු යැයි මම සිතුවෙමි.

රාත්‍රියේ මා වෙත නින්දක් ළඟා නොවීය. පැදුරේ එහාටත් මෙහාටත් පෙරළෙමින් සිටියා මිස නින්ද අහලකටවත් ළං නොවීය. ලොකු නංගී ළග එන අ.පො.ස සාමාණ්‍ය පෙළ විභාගයට පාඩම් කරයි. ඇය දිවා රෑ වෙහෙස වී වැඩ කරයි. එය අප හැමදෙනාටම සතුටකි. මා වෙත ළඟා නොවූ ජයග්‍රහණයක් කරා මා ඈ ලංකර යුතුය.

අක්කට නින්ද යන්නෙ නැද්ද..?”

 මදෙස බලමින් විමසිය.

නෑ.. ලොකු නංගි පාඩම් කරන්න.. මට නිදිමත නෑ..

කුප්පි ලාම්පුවෙ එළිය නිසාද..?”

නෑ.. නෑ.. ඔයා පාඩම් කරන්න..

මා අනෙක් පසට හැරුණේ ඇයට කරදරයක් වේ යැයි සිතුණ නිසාය. කුප්පි ලාම්පුවේ එළිය නිසා මට නින්ද නොයනවා යැයි ඇය සිතති. මගේ සිත කියවන්නට ඇයට හැකි නම් මා පෙලන වේදනාවට පිළිසරණ වෙනු ඇත. මා කල්පනා කරමින් උන්නේ මහේෂ් වනිගසූරියගෙන් ගැලවෙන ක්‍රමයයි.

ජීවිතය මේ යැයි මා හැඳින්නේ නොදරුවෙකු දා පටන්ය. අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් මා පෙලුවද කිසිදින සතුටක් සොයා යාමේ අවශ්‍යතාවක් මවෙත නොවීය. දුක හෝ සතුට සමසිතින් විඳ දරා ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලිය යුතු බව මම පසක් කරගෙන සිටියෙමි. නමුදු නෙතට හොරා ගලන කඳුළට මා අසරණ නොවුණා නොවේ. කෙසේ වුවද අප එක්තැන්ව සිටි කාලය අපටත් හොර රහසේ ගලා යයි.


පසුවදා මා රැකියාවට ගියේ ඔද්දල් වූ සිතිනි. ගේට්ටුවෙන් ෆැක්ටරියට ඇතුල් වූ මොහොතේ සිට මසිත පැවතියේ නොසන්සුන් බවකි. හිස ඔසවා වටපිට බැලීමේ ශක්තියක් මවෙත නොවීය. මැද මිදුලේ කොනක ගීතිකා සිටිනු දැකීමෙන් සිත මදක් සැහැල්ලු විය. මම ඉදිරියට හමු වූ ළමුන්ට සිනාසෙමින් ගීතිකා අසලට ගියෙමි.

ගුඩ් මොර්නින්

ඈ සීනාසුනද සිනාසෙන්නට තරම් සැහැල්ලු මනසක් මවෙත නොවීය.

මොකද මේ උදෙන්ම එල්ලගෙන..?”

නෑ.. මොකුත් නෑ..

අප අසළ ළමුන් සිටි නිසා මම ඇයට කිසිවක් කීමට නොසිතුවෙමි. ගීතිකා මගේ වෙනස හොඳින්ම හඳුනාගෙන උන්නාය. ඈ මදෙස බලා සිටියේ විමසිල්ලෙනි. වැඩ පටන් ගැනීමට තවයත් විනාඩි කිහිපයක් විය. ඒ නිසා ළමුන් තැනින් තැනට වී කතාබහ කරමින් සිටියි. එය ඝෝෂාවක් සේ ඈතට ඇසෙන්නට විය. කතාබහ, සිනා හඬ මුළු මිදුලම වසාගෙන පැතිර ගියේය.

මෙහෙ වරෙන්..

ගීතිකා මාවත් ඇදගෙන ළමුන්ගෙන් මිදී ඈතට ගියාය. මා ඈ පසුපස ඇඳුණේ ඕනාවට එපාවට මෙනි.

මොකද උඹට වෙලා තියෙන්නෙ..?”

මා ඈ දෙස බැලුවේ අන් පිළිසරණයක් නොවූ නිසාය. මසිත දවන මේ පැනයට විසදුම් ලබාගත හැකි තැනැත්තිය ඇයම පමණක් වූ නිසාය. මම සෙමෙන් කටහඬ අවදි කළෙමි.
නිහඬව අසා උන්නාය.

උඹ කිනක් කලබල වෙලා.. ආයෙ කතා කළොත් කියපං උඹට කෙනෙක් ඉන්නවා කියලා.. ෆැක්ටරිය ඇතුළෙදි කතාවට යන්න එපා.. දන්නවනේ මේකෙ ඉන්න උන්ගෙ හැටි.. මග ඇරලා ඉඳපං..

වෙනස් විසඳුමක් නොවුන නිසා මම එසේ කීමට සිතා ගත්තෙමි. ඉන්පසුවත් මහේෂ් වනිගසූරියගෙන් කරදරයක් ඇති නොවේ යැයි මම සිතුවෙමි.

දිවා ආහාරය පැයේදී අපේ පාලිකාව වූ මානෙල් මිස් විවේකාගාරයට ඇතුළු වූයේ අලුත් තොරතුරක් රැගෙනය. එනම් ඊළඟ සතියේ හැරිස් විජේමාන්න ෆැක්ටරියෙන් ඉවත්වන බවත්, ඒ වෙනුවෙන් පුංචි උත්සවයක් පවත්වන බවත්ය. ළමුන් සියලු දෙනාගේම කැමැත්තෙන් හරිස් විජේමාන්න වෙනුවෙන් සමරු තිළිණයක් පිළිගැන්වීමට කතා කර ගත්තෙමු. එසේම මින් පසුව ෆැක්ටරිය පාලනය කරන පුද්ගලයාද එදිනට පැමිනෙණ බව ඇය දැනුම් දුන්නාය. සෙනසුරාදා උත්සවය පවත්වන නිසා එදින අපට නිවාඩු දිනයක් ලෙස නම් කර තිබුණි.

සවස වැඩ නිමකර ගුරු පාර දිගේ යන මට ජනක මුණගැසුණි.. දින කිහිපයකින්ම ඔහු අපේ ගෙදර නොආ නිසා ඔහු දැකීම මට සතුටක් විය.

මොකද හුඟ දවසකින් ඒ පැත්තෙ නාවෙ..?”

ඔහු ගමන් කලේ හිස බිමට නැඹුරු කරගෙනය. ඒ මුහුණේ මොකක්දෝ දොම්නස් බවක් ඇතැයි මට සිතුණි..

වැඩ වගයක් තිබුණා..

ජනක අපේ ෆැක්ටරියෙ ලොකු මහත්තයා අයින් වුණා.. වෙන කෙනෙක් එනවලු ලබන සතියෙ..

ඔහු මා කියනා දෙය අසා උන්නා මිස කිසිවක් නොපැවසූවේය. මද දුරක් එනතුරු ද අප දෙදෙනා අතර කතාවක් නොවීය. එය මට වදයක් වූයේ වෙනදාට වඩා ඔහු කෙරෙන් වෙසසක් දක්නට ලැබුණ නිසාය.

ඇයි ජනක..?”

ඔහු හිස ඔසවා මදෙස බැලුවේ සිහිනයෙන් අවදි වූවෙකු ලෙසය.

මුකුත් ප්‍රශ්නයක්ද..? මූණත් අමුතු වෙලා..

නෑ.. මුකුත් නෑ අරුණි.. මම ඉරිදට එහෙ එන්නම්..

දෙමංසලේදී ඔහු සුපුරුදු සිනහවෙන් මට සමුදුන්නද ඔහු සිත පෙලන යම් දෙයක් වේ යැයි මම අනුමාන කලෙමි. ඊට හේතුව සොයාගත නොහැකි වූවද මා අතින් ඔහුට වරදක් වී දැයි මම කල්පනා කලෙමි. ඔහුගේ සිත රිදෙන්නට තරම් මා කළ වරදක් නොවුණ නිසා මා තව තවයත් පැටලෙන්නට වූයේ ඊට හේතුව සොයා ගැනීමට යාමෙනි.

 
සිකුරාදා අපට පඬි ලැබුණි. අපි එයින් රුපියල් සියය බැගින් ලොකු මහතාගේ ත්‍යාගයට වෙන් කළෙමු. සවස වැඩ නිමවීමට ආසන්නයෙදී මානෙල් මිස් මා සොයා ආවේය.

අරුන්දිකා..

මිස්..

ඈ වෙනදාට වඩා ලෙංගතුකමින් ඇමතීම ගැන මම මදක් පුදුම උනෙමි.

අරුන්දිකා අපි කතා කරගෙන තියෙනවා ලොකු මහත්තයට තෑග්ග ඔයා අතින් දෙන්න. මොකද අපට වඩා ඔයාලා වගේ අයටනේ මේ ෆැක්ටරිය දැමීම වැදගත් වෙලා තියෙන්නෙ..

මා මේ සියල්ල අසා සිටියේ පුදුමයෙනි.

අනේ මිස්.. තව පරණ අය ඉන්නවනේ..

නෑ ළමයො.. අනිත් අයට වැඩිය ලස්සන නිසයි අපි ඔයාව තෝරගත්තෙ..

ඈ සිනාසුණද ඊට සිනාසෙන්නට තරම් හැකියාවක් මවෙත නොවීය. ඈ පිටව යන දෙස බලා සිටියේ මා ගල් ගැසීගෙනය. ගීතිකා මට ළංවෙමින් සිනාසුණාය..

මේ.. ලස්සනයි කිව්වා කියලා ආඩම්බර වෙන්න එපා..

විකාර..

මා එලෙස පැවසුවේ නොරිස්සුමෙනි. සැබැවින්ම අනෙක් ළමුන් මේ පිළිබඳව කෙසේ සිතාවිදැයි මම සිතුවෙමි. මා මේ ෆැක්ටරියට පැමිණී අලුත්ම ළමයාය. එය එසේ තිබියදී මෙවැනි දෙයකට මා තෝරා ගැනීම ගැන අනෙක් ළමුන්ගේ සිත නොපහන් බවක් ඇති නොවිය හැකිදැයි මට සිතුණි.

උඹ ඕනවට වැඩිය හිතනවා වැඩියි අරුණි.. මොකද උඹ කියල ඉල්ලගත්ත දෙයක්ද මේක..?”

අනේ මංදා..

අනේ මංදා නෙමෙයි බං.. හිනාවෙලා හිටපං.. හැමදේටම එල්ලගන්නෙ නැතුව..

ඈ සැහැල්ලුවෙන් පැවසූවද මසිත පැවතියේ නොසන්සුන් බවකි. වැඩ අවසන් වූ පසු බොහෝ ළමයින් මා අසළට පැමිණියේය.

අරුන්දිකාලු නේද හෙට සර්ට තෑග්ග දෙන්නෙ..?”

ඔවුන් විමසන කළ මම නිහඬවම සිටියා මිස මුකුත්ම නොකිව්වෙමි.

මීට පස්සෙ අරුන්දිකා අපිත් එක්ක කතා කරයිද දන්නෑ..

රසිකා අනෙක් ළමයින් සමඟ එසේ කියා සිනාසුණාය. මම අසරණව ගීතිකා දෙස බැලුවෙමි.

මොකද රසිකා එහෙම කියන්නෙ..?”

නෑ ඉතිං.. තටු එන්න ගත්තොත්..

අනේ පලයං රසිකා.. උඹගෙ ඉරිසියාව.. වෙන මොකුත් නෙමෙයි..

ඔව් ඉතිං.. උඹත් ආව ගමන් පාවඩ දාලා පිළිගත්තනේ..

මේ.. කට තිබුණ පළියට කතා කරන්න එපා..

ගීතිකාගේ වේගවත් ස්වරය දැක මම බියවිමි.

අනේ ගීති.. මොකුත් කියන්න එපා.. අපි යමු..

මා බියවූයේ මේ කතාබහ තවත් දුර යාවි යැයි සිතාය. මා නිසා ඇයද නිකරුණේ රණ්ඩුවට පැටලිණි..

උඹේ ඔය ඕනවට වැඩිය අහිංසකකම තමයි වැරැද්ද.. උඹත් මොනවා හරි කියනවානං උන් එන්නෙ නෑ ඔය තරම් කියවන්න.. හැමදේම අහගෙන ඔලුව නවාගෙන හිටපං..

ඈ මවෙත දොස් පැවරුවාය. ඉතින් මින්පසු මට ඔවුන්ගෙන් ගැලවීමක් නැතැයි මට සිතුණි.
අසරණ මට මොවුන් හිරිහැර කරන්නේ මන්දැයි මම සිතුවෙමි. ඉතා සුළු දෙයින් පවා පෑරුණු මසිත මේ සිදුවීම නිසා බොහෝ නොසන්සුන් විය.


පසුවදා ෆැක්ටරියට යාමට මා සතුවූ හොඳම ඇඳුමකින් සැරසුණෙමි. ඒ මා සඳහා නොව අන්‍යයන්ගේ ඉල්ලීම සඳහායි. හැරිස් විජේමාන්නගේ සමුගැනීමේ උත්සවය ඉතා චාම්ව සංවිධානය කර තිබුණි. ෆැක්ටරියේ වැඩ කළ සියලු දෙනාම ඊට සහභාගි වීය. සියලු දෙනාගේම මුහුණුවල යම් ශෝකි බවක් දිස්විය. හැරිස් විජේමාන්නද, ඔහුගේ බිරිඳද, දුවද උත්සවයට පැමිණ සිටියහ. ඒ අතර ෆැක්ටරියේ මීළඟ පාලකයා වූ අප කවුරුත් දැක බලා ගැනීමට නොඉවසිලිමත් වූ තැනැත්තාද විය. පෙනුමෙන් අවුරුදු විසි පහක් පමණ ඇතැයි සිතෙන ඔහුගේ මුහුණේ තිබුණේ නපුරු පෙනුමකි. ඔහු කිසිවිටෙක සිනාසෙනවා මම නුදුටුවෙමි.

එයත් අරයා වගේමද කොහෙද..

මම ගීතිකාට ළංව සෙමෙන් පැවසූවෙමි. ඈ සිනාසී ඔහු දෙස බැලීය. හැරිස් විජේමාන්න විසින් සියලු දෙනාටම තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී. අනතුරුව ඔහු සැවොම අමතා පුංචි කතාවක් කළේය. එහිදී ඔහු ෆැක්ටරිය දැමීමේ අරමුණ පැහැදිලි කළේය. ඒ අතර දුප්පත් ළමුන් සඳහා සේවයක් කිරීමේ අරමුණෙන් බව පැවසීය. එසේම ඉදිරියේදී අපට වැඩ කළ යුතු වන කාංචන මුදන්නායකගේ පාලනයට යටත්ව තව තවත් මෙය දියුණු කිරීමට සහයෝගය දෙන මෙන් ඉල්ලා සිටියේය.

අපිට ආදරේට තමයි මේක දාලා තියෙන්නෙ..

ගීතිකා මට ලංව සිනාසෙමින් පැවසීය. මමද එයට සිනාසුණෙමි. ඉන්පසුව කාර්යාලයේ සේවය කළ සිදානායක මහතා, හැරිස් විජේමාන්නගේ ගුණ ගයමින් කතාවක් කළේය. සියලු කතාබහ අවසානයේ මට නියමිත වූ කාර්යයට ලංවිය. දිසානායක මහතාගේ ආරාධනයෙන් මම ත්‍යාගය රැගෙන ඔහු අසළට ගියෙමි. සියලු දෙනාගේම දෑස් මවෙත යොමු වී ඇතැයි මසිතේ තිගැස්මක් ඇතිවිය. ත්‍යාගය දෙඅතින් හැරිස් විජේමාන්නට පිළිගැන්වූ මම සම්ප්‍රධායික ලෙස ඔහුට දණ නමා වැන්දේය. පළමු වරට ඔහු මා හා සිනාසුණේය. මා ගීතිකා අසළට ගොස් හිඳ ගත්තේ මහා බරකින් නිදහස් වූවා වැනි හැඟීමෙනි. උස්තවයේ වැඩ කටයුතු අවසන් වූ පසු හැරිස් විජේමාන්න සියලු සේවකයින් අසළට විත් සමුගත්තේය. ඒ සමුගැන්ම බෙහෙවින්ම සියලු දෙනාගේම සිත තුළ සංවේගයක් ඇති කළේය.


 

No comments:

Post a Comment