Friday, August 31, 2012

| අරුන්දිකා | සංජීවනී අටලුගම |


අක්කේ.. ඇයි ඔයා අද වැඩට ගියේ නැත්තෙ..?

කිහිප සැරයක් මදෙස බැලූ ලොකු නංගී අතරැදි පොත වසා මේසය මතින් තබමින් විමසිය. හේතුවක් නොකියා මම ගෙදර නැවතිමි. මා කිසිමදින අසනීපයක් නිසාවත් ගෙදර නතර නොවන බව ඇය දනියි. එසේ කල ඇයට අරුමයක් වන්නට ඇත.

කම්මැලි හිතුනා නංගි.. අද වරුවනේ වැඩ තියෙන්නෙ..


මා එසේ කීවේ ඇය විශ්වාස කරතැයි සිතුණ නිසාය. තවත් ඈ සමග දෙඩීමෙන් මසිත පාලනය කරගැනීම අපහසුවනු ඇත. ඇගේ සිතට මගේ ප්‍රශ්න ඇතුළු කිරීමට මම අකමැති විමි. ඉන් සිදුවන්නේ ඇගේ සිතට අනවශ්‍ය වේදනාවක් දීමය. මගේ පව්කාරකම් ඉවසාගත යුත්තේ මා විසින්මය. ඇගේ දෑසින් මිදී මම නැගී සිටියෙමි.

මට අවශ්‍ය වූයේ තනිවන්නටය. සිතීමට බොහෝ දේ ඇත. නමුදු ඉන් සිදු වූයේ සිත අවුල් වීම පමණි. මා වැඩට නොගොස් සිටීමෙන් කලේ අනුවන ක්‍රියාවක්දැයි මහේෂ් වනිගසූරිය සිතනු ඇත. නමුදු මා වරදක් කළා යැයි ඔහු තිරණය කර හමාරය. ඔහුගේ මේ තීරණය වෙනස් කිරීමට ශක්තියක් මවෙත නොවීය. මා කෙතරම් නිවැරදිදැයි පැවසූවද එය පිළිගන්නට තරම් මානසිකත්වයකින් ඔහු සිටින්නේදැයි මට අවිශ්වාසය. ඉතින් සියල්ලට එකම විසඳුම මා වැඩට නොගොස් හිඳීමදැයි මට සිතුණි.

සිත සන්සුන් කරගන්නට සිතුවද සිදු වූයේ සිත අවුල් වීම පමණි. මා ගෙය පසුපසින් මිදුලට බැසීමට සැරසෙත්ම කඩුල්ල අසල වාහනයක් නතර කරනවා ඇසුණි. මා උවමනාවෙන් ඊට කන් දුන්නේ සිතුවිලි තිගැස්සුණු නිසාය. තවත් මොහොතකින් වාහනයක් කිහිපවාරයක් හෝන් ගහනවා මට ඇසිණ.

අක්කේ..

මා සොයා දිව ආවේ ලොකු නංගීය.

අක්කේ.. වාහනයක් ඇවිත්..

ඇගේ නෙතු අග තිබුණේ කුතුහලයකි. ඒ කවුරුන් වන්නට ඇත්දැයි මසිත ඇති වූයේ තිගැස්මකි.

අවිනිශ්චිත වූ සිතින් මම නිවස ඉදිරියට ගියෙමි. අප්පච්චී ඉස්තෝප්පුවේ වැල් ඇදමත හිදගෙන සිටියි. ඔහු දෙස වරක් බැලූ මම කඩුල්ල වෙතට හැරුණෙමි. කඩුල්ල අසළ සුදු පැහැති කාරයක් නතර කර තිබුණි. පෙරදිනක නොදුටු මේ කාරයෙන් පැමිණ ඇත්තේ කවුරුන්ද..? තවත් සිත සිතා සිටීමෙන් පලක් නොවන නිසා මම කඩුල්ල දෙසට ගියෙමි. මා අසළට යන තෙක්ම කාරයේ රියදුරු අසුන පැත්තේ දොර විවර විය. මගේ දෑස් විසල්ව ගියේය. කාරයෙන් එළියට පැමිණියේ නර්මදාය. මේ සිදුවන්නේ කුමක්දැයි මට නොවැටහුණි. ඇගේ දෙනෙතින් පිට වූයේ කෝපයකි. ඒ දෙනෙත් මා බියට පත් කළේය. මා සෙමෙන් ඇය අසළට ගියේ අප්පච්චී හෝ නංගිලා දෙදෙනාට මේ දසුන අමුත්තක් විය හැකි නිසාය.

නර්මදා මිස්..

මම අපහසුවෙන් වචන ගලපමින් ඇය දෙස බැලුවෙමි. ඇගේ දෑසින් පිටවූ කෝපය මොහොතකින් මුවින් පිටවන්නට විය.

පට්ට බැල්ලි..

වේගවත් වූ වචනත් සමගම ඇගේ දකුණ අත මගේ කම්මුල දක්වා ඇදුණි. මම දෑස් පියා ගතිමි. කිසිවක් සිතාගැනීමට තරම්වත් වේලාවක් මවෙත නොවීය. අප්පච්චිත් නංගිලා දෙදෙනාත් මේ දසුන දකීවියැයි මසිත ඇතිවූයේ බියකි. පුපුරු ගසන කම්මුල වමතින් මිරිකමින් මම ඈ දෙස බැලුවෙමි.

මිස්.. කියන දෙයක් හිමින් කියන්න.. මගේ අප්පච්චියි නංගිලයි බයවෙයි..

දෙනෙතින් පිටවෙන්නට ආසන්න වූ කදුලක් වෑයමින් යටපත් කරගනිමින් මම ඈ දෙස බැලුවෙමි.

ඇයි උඹට ලැජ්ජද..? ලැජ්ජා නැති වැඩ කරන්න කලින් හිතන්න තිබුණනේ.. අනික උඹේ තරමට ඉදිමියන්.. උඹ දන්නවද කාංචන මැරි කරන්න ඉන්නෙ මම.. එයාව අයිති මට.. හිඟනිනි.. සිටුකුමාරියක් වෙන්නද කල්පනාව.. මම ඉන්නකම් උඹට කාංචන අයිතිකරගන්න බෑ.. ඒක හොඳට මතක තියාගනිං..

ඇය තවත් මොනවදෝ කියවාගෙන ගියාය. වැරදි නිවැරදි කරන්නට හෝ සත්‍ය තේරුම් කර දෙන්නට තරම් කල්වේලාවක් හෝ අවස්ථාවක් මවෙත නොවීය. එසේම මා කියනා දෙයක් ඈ අසාවිදැයි යන්න මට සැක සහිතය. කෙසේ වුවද වරද මා අත බැව් මම දනිමි. ඔහුගේ කාරයේ නැගී යාමෙන් මා කළේ වරදකි. ඇගේ කෝපය සාධාරණයැයි මට සිතුණි. කම්මුල් දිගේ කලායන කඳුළු පිසලමින් මම ඇය දෙස බැලුවෙමි. ඇගේ කෝපය මදක් හෝ තුනී වි ඇතැයි මට සිතුණි.

මිස් මට සමාවෙන්න.. කාංචන සර්ගෙ කාර් එකේ ගිහින් මම කළේ වරදක් කියලා මම දන්නවා.. ඒත් අපි අතරෙ එහෙම සම්බන්ධයක් නෑ.. මම දන්නවා මිස්ට මේවා කිව්වෙ කවුද කියලා.. ඒත් මිස් මගේ අප්පච්චියි, නංගිලා දෙන්නයි පල්ලා මගේ හිතේ එහෙම අදහසක් නෑ.. රස්ගෙ හිතෙත් එහෙම දෙයක් නෑ කියලා මට විශ්වාසයි..

ඈ මා කී සියල්ල අසා සිටියාය.

එදා කාංචනත් එක්ක කොහෙද ගියේ..?

ඇගේ තියුණු ඇස මවෙත එල්ලවිනි. තවමත් ඇගේ කෝපය අඩුවී නොතිබුණි.

එදා මට හොදටම අසනීප වෙලා හිටියෙ. ගෙදර යන්න බස්හෝල්ට් එකේ ඉන්නකොට සර් කොහෙද යන්න ආවා.. මාව දැකලා ගෙදරට ඇරලුවා එච්චරයි.. මාව විශ්වාස කරන්න මිස්.. අනුන්ට අයිති දෙයක් මම උදුර ගන්නෙ නෑ..්‍

මගේ හඬ බිදෙන්නට විය. මෙතරම් පව්කාරකමක් මවෙත ලැබුණේ ඇයිදැයි මම නොදනිමි. අප අතර මොහොතක් පැතිර ගියේ නිහඩතාවයකි. අප දෙදෙනාම උනුන් දෙස බලා සිටියෙමු.  මසිත ඈ කෙරෙහි කෝපයක් නම් නොවීය. ඇගේ සැකය සාධාරණයැයි මට සිතුණි. තමන් ආදරය කරනා කවුරුවත් අනුන්ගේ වනවා දැකීමට කවරෙකු හෝ කැමති නැත. වේදනාව මම හඳුනමි.

නිශ්ශබ්දතාව බිඳිමින් ඈ කටහඩ අවදි කළාය.

සොරි අරුන්දිකා.. මට තරහා ගියා.. මම දන්නෙ නෑ ඔයා මේ වගේ කෙනෙක් කියලා.. මම ඔයා ගැන හිතුවෙ වැරදියට.. මම විශ්වාස කරනවා ඔයා කියපු දේවල් ඇත්ත කියලා.. ඒත් මට මාව පාලනය කරගන්න බැරිව ගියා..

මොහොතකට පෙර මහා හයියෙන් බැණ වැදුනේ ඇයමදැයි මට විශ්වාස නොවීය. ඈ බොහෝ සන්සුන්ව ඇත. එය මසිත ඇති කලේ මහා අස්වැසිල්ලකි. ඉතින් සියල්ල විසඳී හමාර යැයි මට සිතුණි.

ඔයා මාත් එක්ක තරහද..?

සිනාසී මදෙස බලමින් ඈ විමසීය.

නෑ..

මම සිනාසෙන්නට උත්සාහ කළේ සිත සැහැල්ලු වූ නිසාය.

අරුන්දිකා මට පොරොන්දුවක් වෙන්න..

මා ඇය දෙස බැලුවේ විශ්මයෙනි.

කාංචනත් එක්ක එහෙම සම්බන්ධයක් ඇති කරගන්නෙ නැහැ කියලා..

ඔවුන් අතර ඇති විශ්වාසය කෙබඳුදැයි මට නොවැටහුණි. ඈ මගෙන් එලසෙ අයදින්නේ ඔහු කෙරෙහි විශ්වාසයක් නොමැතිවයැයි මට සිතුණි.

කවදාවත් එහෙම වෙන්නෑ මිස්.. අනුන්ගෙ දේවල් අයිති කරගන්න තරම් මම පව්කාරියක් නෙමෙයි..

ඈ ඉන් සැනසෙන්නට ඇත. ඈ පැමිණියේ බෙහෝ නොසන්සුන්වය. දැන් සන්සුන්ව සිටියි.

ඇයි අද ඔෆිස් ගියේ නැත්තෙ..? මම අද එහේ ගිහින් ආවෙ..

මට කම්මැලි හිතුණා..

මම සත්‍ය වසන් කළෙමි. ඈ පිළිගත්තාදැයි සිතීමට මට අවශ්‍ය නොවීය. මා නොගියේ මහේෂ් වනිගසූරියගේ අපහාස විඳිය නොහැකි නිසාය. මා වරදක් කලේ නම් ඒ සියල්ල ඉවසා ඉන්නට තිබුණි. ඔහු චෝදනා කරන්නේ සියලු වැරදි මා වෙත පවරාය. මා කියන්නක් විශ්වාස කිරීමට ඔහු සූදානම් නැත. ඔහු ඇස ගැටෙන මානෙක පවා හිඳීම මට අසීරු විය.

සඳුදා ඉඳන් ඔෆිස් යන්න.. ඔයාට ආයෙ ප්‍රශ්නයක් ඇතිවෙන එකක් නෑ..

ඈ සියල්ලක් තේරුම්ගෙන ඇත. ඈ එලෙස පවසන්නේ මහේෂ් වනිගසූරියගේ චෝදනා ගැනය. ඇය ඔහුට සියල්ල තේරුම් කර දෙනු ඇත. එවිට මට සැනසිල්ලේ හිඳීමට හැකිවනු ඇත.

මට අරුන්දිකා එක්ක ගොඩක් දේවල් කියන්න තියෙනවා. දැන් ඔයා මගේ යාළුවෙක්නේ.. පස්සෙ දවසක කතා කරමු.. දැන් මම යන්නම්..

ඈ අවසන් වරට සිනාසී මදෙස බලා කාරයට නැගුණි. ඈ පිටව යනතෙක් කඩුල්ල ළඟට වී මම බලා සිටියෙමි. එකවර මගේ මතකයට නැගුනේ මහේෂ් වනිගසූරියයි. සියලු වේදනාවන් යටපත්ව මගේ මුවට නැගුනේ සිනාවකි. මින්පසු ඔහුගේ අපහාස මා වෙත එල්ල නොවෙනු ඇත.

මා නිවසට ඇතුළු වූයේ නෙතු බිමට නැඹුරු කරගෙනය. මීට විනාඩි කිහිපයකට පෙර සිදු වූ කලබැගෑනිය අප්පච්චීට හෝ නංගිලාට ඇසී ඇද්දැයි මසිත පැවතියේ අවිනිශ්චිත බවක. අප්පච්චිගේ මුහුණ බැලීමට තරම් ශක්තියක් මට නොවීය. ලොකු නංගී දෙනෙත් විසල් කරගෙන මදෙස බලා උන්නාය. මම ඈ දෙස සුසුමක් හෙලිමි.

කවුද පුතේ..?

අප්පච්චී අසළින් මිදී පැන දුවන්නට සිතුණද ඔහුගේ හඬ මා නවතාලීය. කිසිවක් සිදුනොවුනාසේ හිඳින්නට උත්සාහ කරමින් මම ඔහු දෙස බැලුවෙමි.

ෆැක්ටරියෙ මිස් කෙනෙක් අප්පච්චි.. මම නොගියට බලන්න ඇවිත්..

ඔහු දෙස නොබලාම මම කියවාගෙන ගියෙමි. ඔහු කුමක් හෝ තේරුම් ගන්නට ඇතිදැයි මම නොදනිමි.

මොනවද හයියෙන් කතා කරනවා ඇහුනෙ.. බැන්නද වැඩට නොගියට..?

මම තිගැස්සී ඔහු දෙස බැලුවෙමි. නමුදු අප කතා කළ කිසිවක් ඔහුට ඇසී නැති බව මට විශ්වාසය.

නෑ අප්පච්චි බැන්නෙ නෑ..

එසේ කියමින් මම කෙගුළට ගියෙමි. ලොකු නංගී මා පසුපස විය. කුස්සියට ගිය මම ලී බංකුවේ හිඳගතිමි. ලොකු නංගී මදෙස බලා සිටියාය. ඇය කුමක් හෝ හොයන්නට මෙන් බලා සිටියේ විමසිල්ලෙනි.

අප්පච්චි අක්කා කියපු දේවල් විශ්වාස කලාට මම නම් විශ්වාස කරන්නෙ නෑ..

ඈ මට චෝදනාත්මක ස්වරයෙන් කියවාගෙන ගියාය.

ඔයා අඬලා.. ඔයාගෙ ඇස් දෙක ඉඳිමිලා..

වියලී ගිය කඳුළු ඇද්දැයි සෙවීමට මම කම්මුල් පිරිමැදිමි. කිසිවක් කියන්නට සිත් වුවද මම ආයාසයෙන් සිතුවිලි පාලනය කරගතිමි.

මොකුත් නෑ ලොකු නංගි..

සිනාසෙන්නට උත්සාහ කළද එය ව්‍යර්ථක විය.

එහෙනම් අඬලා තියෙන්නෙ ඇයි..?

මම ඇඬුවෙ නෑ..

බොරු කියන්න එපා අක්කා.. මුකුත් ප්‍රශ්නයක් නම් ඇයි නොකියන්නෙ..? ඒ ආව නෝනා කවුද..?

ඇගෙන් මිදෙන්නට හෝ මුසාවක් පවසා ඈ මුලා කරන්නට බැරිවෙතැයි මට සිතුණි. එසේ වුවද මා ඇය හා පවසන්නේ කුමක්ද..? සිදු වූ සියල්ල ඇයට පැවසිය හැකියි. ඒත් ඇය මේ සියල්ල කෙසේ තේරුම් ගනීද..? එසේම තවත් ප්‍රශ්නයක් අපේ ජීවිත වලට ලංවූවායැයි ඈ සිතින් දුක්වනු ඇත. මුළු ජීවිතය පුරා දුක් ඉහිලූ ඇයට මා තවත් බරක් වන්නේ කෙසේද..?

ඒ ෆැක්ටරිය අයිති මහත්තයගෙ දුව.. මං නොගියට බලන්න ඇවිත්..

ඔයාට බැන්නද..?

නෑ..

ඇයි අක්කා මට බොරු කියන්නෙ.. හැමදේම හිත ඇතුළෙ තියාගෙන දුක් විඳින්න එපා අක්කෙ.. මම පුංචි ළමයෙක් නෙමෙයිනේ.. ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න..

ඇගේ වදන් මනෙතු කඳුළින් පුරවාලීය. තව දුරටත් ඇයට මේ සියල්ල වසන් කිරීම ඇගේ සිත අවුල් කරාවි යැයි මට සිතුණි. ඒ නිසා ඇය සමග සියල්ල පැවසීමට මම තීරණය කළෙමි. එක හුස්මට වුවද පැහැදිළිව සියල්ල ඇයට පැවසීමට මට හැකිවිය. ඈ නිහඩව අසා සිටියේය.

ඔයා මාව විශ්වාස කරනවද ලොකු නංගි..?

සියල්ල පවසා අවසානයේ මම ඇය දෙස බැලුවෙමි..

මම ඔයාව විශ්වාස කරනවා අක්කෙ.. ඒත් මට බය ඔයාට කරදරයක් වෙයිද කියලා..

ඇය අවසන් වදන් කිහිපය පැවසුවේ සුසුමක් හෙලමිනි.

මම කාටවත් වරදක් කරලා නෑ.. ඔයා බයවෙන්න එපා..

කොහොම උනත් පරිස්සමින් ඉන්න..

ඇගේ සිතට මා වේදනාවක් වූවේදැයි මසිත පැවතියේ කණගාටුවකි. මට කාංචන මුදන්නායක සිහිවිය. ඔහුත් නර්මදාත් අතර පවතින සම්බන්ධය මට නොවැටහුණි. නර්මදා මා සමග කතා කිරීමට අවශ්‍ය බව පැවසුවේ ඇයි..? ඇය මගෙන් පොරොන්දුවක් කරවාගත්තේ ඇයි..? එපමණක්ම ඇය ඔහුව අවිශ්වාස කරයිද..? කාංචන මුදන්නායක සැබවින්ම යහපත් පුද්ගලයෙකි. එසේ කළ ඔහු වෙනස් වෙතැයි යන අහේතුක බියකින් ඇය පෙලෙන්නේදැයි මට සිතුණි. කාංචන මුදන්නායකගේ නිහඩබව වරෙක මසිත ඇතිකළේ විශ්මයකි. ඒ සමගම නර්මදා කාංචනට ගැලපෙන්නේ නැතැයි යන සිතුවිල්ල මසිත ඇතිවිය. මා එලෙස කරන්නේ ඇයිදැයි හරිහැටි තේරුම් ගැනීමට මට නුපුළුවන් විය.

මහේෂ් වනිගසූරියගේ ආදරය වෛරයකට හැරෙමින් පවතී යැයි මට සිතුණි. ඔහු වෙනුවෙන් මසිත නොනැගෙන ආදරයක් මා කෙලෙස පුදන්නේදැයි ඔහු තේරුම් ගන්නේ නැත. එය ඔහුගේත් මගේත් වරදක් නොවේයැයි මට සිතුණි. ලං නොවන සිත් දෙකක් ලඟ ආදරය කඳුලක් අරන් නතර වීම මහා පාපයකි. ඉන් පීඩා විඳින්නට සිදුවන්නේ අහිංසක සිත් වලටය. වරද ආදරයදැයි මම නොදනිමි.

නේක හැලහැප්පීම් නිසා මසිත දහස්වර රිදුම් දුනි. සිත තුළ පීඩනය උතුරා ගලා යන තැන නෙතු දරාගත නොහැකි විය.


සඳුදා උදෙන්ම මා වැඩට ගියේ ගීතිකාත් සමග කතාබහ කිරීමට සිතාගෙනය. තවදුරටත් සියල්ල සිත තුළ දරාගෙන පීඩාවිදීමට මට නොහැකි විය. ඈ දුටුවනම මසිත වූ වේදනාව තවත් වැඩිවිය. නෙතු පුරා නැගුණු කඳුළු ඇයට ප්‍රෙහේළිකාවක් වන්නට ඇත. ඈ මුව අයාගෙන මදෙස බලා සිටියාය.

මොකද මේ.. අරුනි.. ඇයි සෙනසුරාදා වැඩට ආවෙ නැත්තෙ..? මුකුත් ප්‍රශ්නයක්ද..?

ඇගේ මුවින් ප්‍රශ්න වැළක් ගලා ආවේය.

මගේ මුළු ජීවිතේම ප්‍රශ්නයක් ගීති..

නෙතු කඳුළු සිරකරගන්නට මම අසාර්ථක උත්සාහයක් ගත්තෙමි.

මට තේරෙන්නෙ නෑ.. එදා මෙනාවද මාත් එක්ක කියන්න තියෙනවා කිව්වෙ..

ඈ දෙනෙත් විසල් කරගෙන මදෙස බැලුවාය. මම එකින් එක සිදුවීම් ඇය ඉදිරියේ දිග හැලෙමි. ඈ සියල්ල නිශ්ශබ්දව අසා උන්නාය. සියල්ල පවසා අවසන මම හුස්මක් හෙලා සිත සැහැල්ලු කරගතිමි. මගේ එකම ගැලවුම්කාරයා ඈ යයි සිතා ඇගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් මම බලා සිටියෙමි.

මේ හැම ප්‍රශ්නෙකටම මුල මහේෂ් සර්..

බොහෝ වේලා නිහඩව සිටි ඇය එලෙස පැවසුවාය.

මම කාටවත් දොස් කියන්නෙ නෑ.. මේක මගේ පව්කාරකම..

විකාර දොඩවන්න එපා අරුණි. එක අතකට මහේෂ් සර්ට දොස් කියන්න බෑ..

ඇයි..?

කවුද දන්නෙ එයා ඇත්තටම උඹට ආදරෙයිද කියලා.. එයාට තරහා යන්න ඇත්තෙ ඒකනේ..

උඹ දන්නවනේ මගේ හිතේ එහෙම අදහසක් නෑ කියලා..

ඔය තරම් මනුස්සයෙක්ව අවිශ්වාස කරන්න එපා අරුණි..

මම දන්නෑ.. මට තේරෙන්නෑ.. ආයෙමත් දුක් විදින්න මට බෑ..

මසිත අවුල් වේදැයි මට බිය සිතුණි. තව දුරටත් ඔහු ගැන පැහැදිමක් ඇතිකර ගැනීමට මට නොහැකිය.

කාංචන සර් කළේ වරදක්..

ඇගේ වදන් වලින් මසිත තිගැස්සුනි.. ප්‍රථම වරට මසිත ඈ කෙරෙහි තරහක් ඇතිවිය.

එයා මැරි කරන්න කෙනෙක් ඉද්දි ඔයාව කාර් එකේ එක්ක ගිය එක වැරදියි. උදව්වක් කළත් අරුනි සැක හිතෙන එක සාධාරණයි..

ඇය පැවසුවේ චෝදනාත්මකවය.

මම දන්නවා මම එහෙම ගිය එක වැරදියි කියලා.. ඒත් මට නොගිහින් ඉන්න බැරි උනා.. මට බයයි මේ දේවල් ෆැක්ටරියෙ පැතිරෙයි කියලා.. මට වැඩට එන්න හිතෙන්නෙත් නෑ.. ඒත් මට තව යන්න තැනකුත් නෑ..

මසිත අවුල් විනි.. මා කළයුත්තේ කුමක්දැයි මට හරිහැටි නොවැටහුණි.

මට හිතෙන්නෙ නෑ මහේෂ් සර් මේවා කාටවත් කියයි කියලා.. කාංචන සර් මේවා දන්නෙත් නැතුව ඇති.. ඒත්.. මීට පස්සෙවත් කල්පනාවෙන් වැඩ කරපන්..

ඇගේ අවසන් වදන් කිහිපයෙන් මසිත තවත් බියට පත්වුණි.. ඈ මට අනතුරු ඇඟවීම් කරන්නේදැයි මට සිතුණි.

කාංචන මුදන්නායකගේ අත්සනින් බාර දිය යුතු ලිපි කිහිපයක් වූ නිසා මම උදෑසන සිටම ඒ කාර්යයේ නිරතවිමි. මූල්‍යමය ලැටළු විසදීමට තරම් සන්සුන් මනසක් නොමැති වුවද සියලු ප්‍රශ්න මොහොතකට අමතක කර දමා ඒ කෙරෙහි සිත යොමු කිරීමට මම අසාර්ථක උත්සාහයක යෙදුණෙමි. මා වෙහෙසට පත්වූයේ වරක් දෙවරක් නොවේ.

වීදුරු දොරින් මා ඇතුලු වූයේ නෙතු බිමට නැඹුරු කරගෙනය. ඔහු දෙස බැලීමේ යම් අපහසුතාවයක් මට ඇතිවිය. ඔහු දුටු මට සිහිවූයේ නර්මදාය. එය පෞද්ගලික ප්‍රශ්නයක්යැයි සිතා අමතක කරලීමට මට නොහැකි විය. මේ මගේ ප්‍රධානියා නොව නර්මදාගේ පෙම්වතාය යන හැඟීම එකවර මතකයට නැගුණි. මේ සියල්ල මතකයට නැගීම සිත තවත් පාරවා ගැනීමකි. අපහසුවෙන් වුවද ඒ සිතුවිලි මැඩපවත්වා නර්මදාගේ පෙම්වතා දෙස නොව මගේ ප්‍රධානියා දෙස මම නෙත් යොමු කලෙමි.

අරුන්දිකා.. කස්ටම් එක බාරදෙන්න ඕන ලිපි ටික හැදුවද..?

ඔව් සර්..

මම අත රැඳි ලිපි කිහිපය ඔහුවෙත පෑවෙමි. ලිපි දෙස වරක් නෙත් යොමු කළ ඔහු මදෙස බැලීය.

ඇයි සෙනසුරදා ආවෙ නැත්තෙ..?

මසිත තිගැස්සුණි.

එන්නෙ නෑ කියලා දැන්නුවෙවත් නෑ..

එවදන් මට චෝදනා කළේය. මහා අසරණකමකින් සිත පෙලුණි. මා නොපැමිණෙන්ට කාරණාව ඔහු දන්නේ නම් කුමක් සිතාවිදැයි මම නොදනිමි.

මම අසනීප උනා..

මම අපහසුවෙන් වචන ගැටගසා ගතිමි. ඔහු දෙස නොබැලීමට මම ප්‍රවේසම් විමි. ඔහු දෙස බලා මුසාවක් දෙඩීමට මතින නොනැමුණි.

අරුන්දිකාට මොකුත් ප්‍රශ්නයක් තියෙනවද..?

මොකක්දෝ හේතුවකට මනෙතු කඳුළු පුරා ආවේය. නර්මදා ඔහුගෙන් වසන් කරනා බොහෝ දේ ඇතැයි මට සිතුණි. ඇය මා ඉදිරියේ ඇගේ කෝපය පිට කළද කාංචන මුදන්නායකට මේ කිසිවක් නොපවසන්නේ ඇයිදැයි මට නොවැටහුණි. නෙතු කඳුලු පටලයකින් වැසී යද්දී සියල්ල ඔහුට පැවසීමට තරම් මසිත සිත්විය. මේ සියල්ලට වැරදි කරු ඔහු යැයි පවසීමට සිත් වුවද එතරම් ශක්තියක් මවෙත නොවීය.

නෑ..

මම හිස දෙපසට කලා නැතැයි කීවෙමි.

හිතේ තියාගෙන දුක් විඳින්නෙ නැතුව ප්‍රශ්නයක් තියෙනාවා නම් කියන්න.. ප්‍රශ්නයක් නැත්නම් කමක් නෑ.. ඒත් මම විශ්වාස කරන්නෙ නෑ ඔයා එහෙම කිව්වට..

ඔහුට මසිත කියවන්නට හැකි වූවේදැයි මම නොදනිමි.

මේ දවස් ටිකේ ඔයා හරියට වෙනස් වෙලා.. අසනීප වෙනවත් වැඩියි.. මොකද ගෙදර ප්‍රශ්නයක්ද..?

ඔහුගෙන් මිදී ඉක්මනින් යාමට මට අවැසි විය.

නෑ සර්..

එහෙනම් වෙන ප්‍රශ්නයක්ද..?

නෑ..

මට බොරු කියන්න එපා අරුන්දිකා.. ඔයාගෙ ඇස්වල කඳුළු පිරිලා.. හේතුවක් නැතුව ඇස්වලට කඳුළු එන්නෙ නෑ.. ප්‍රශ්න හිතේ තියාගෙන වැඩ කරන්න බෑ..

ඔහු කෝපයෙන් කියවාගෙන ගියේය. ඔහු මා පාලනය කිරීමට සැරසෙතැයි මසිත බිය විය. ඔහුගේ නපුරු මුහුණ දෙස බැලූ මෙනතු සැලුණි.

මම ඔෆිස් එකේ වැඩ අතපසු කරන්නෙ නෑ..

මා පැවසුවේ සත්‍යයකි. කොයි තරම් සිත නොසන්සුන් වුවද අපහසුවෙන් හෝ මම රාජකාරිය ඉටු කලෙමි.

මම කිව්වෙ ඔෆිස් එකේ කෙහෙම්මලක් නෙමෙයි. ඔයාට අඩන්න තරම් දෙයක් මම කිව්වෙ නෑ.. හැමදේටම නෑ.. නෑ.. කියනවා.. නිකරුනේ ප්‍රශ්න හිත ඇතුලෙ තියාගෙන හිතින් දුක් විදිනවා.. හිතුවක්කාර වෙන්න එපා අරුන්දිකා..

ඔහු තරහින් කියවාගෙන ගියේය. ඔහු කෝප වන්නට තරම් දෙයක් මා පැවසුවේ නැත.

සියල්ලන් රිදවන්නේ මසිතය. මගේ අසරණකම ඔවුන් විහිලුවකට ගෙන ඇතැයි වරෙක මට  සිතුණි. මසිත කියවන්නට හැකිවූයේ නම් ඔහු මෙලෙස මවෙත දොස් පවරන්නේ නැත. නමුදු ඔහු දෙස බලා ඔහු වැරදියි පවසන්නට මසිත නොනැමුණි. නෙතු අග පිරීගිය කඳුළැල් කම්මුල් දිගේ පහතට වැටුණි. ඔහු දෙනෙත් විසල් කරගෙන මදෙස බලා සිටියි. මසිතට මහා අසරණ කමක් දැනුණි.

මට බනින්න එපා..

කම්මුල් පුරා ගැලූ කඳුළු පිටි අල්ලෙන් පිසලමින් අසරණ හඬින් මම පැවසිමි. තවත් ඔහු අසළ රැදීමේ නොහැකියාවෙන් මම ඔහු අසළින් මෑත් විමි.

මා ආපසු හැරුනේ නොසන්සුන් සිතිනි. කඳුළ හමුවේ හැමදාමත් සිදුවූයේ පරාජය වන්නටය. ඔහුගේ දයාබරත්වය මට මාව අමතක කරාවියැයි බය සිතුණි.

අරුන්දිකා..

මා දොර අසළට යත්ම ඔහු කතා කළේය. හිටිවනම නතර වී මම මොහොතක් එලෙසම සිටියෙමි. මා ආපසු හැරී බලන මොහොතේ ඔහුගේ දෙනෙත් මා පසුපස ඇදෙමින් තිබුණි. මා ඔහු දෙස බැලුවේ විසල් වූ නෙතිණි.;

මහේෂ් මොකුත් කිව්වද..?

ඔහු විමසන්නේ එදා සිදුවීම යැයි මම අනුමාන කළෙමි. එසේම ඒ පිළිබඳව දෙඩීමට සන්සුන් සිතක් මවෙත නොවීය. එසේම මා නිසාවෙන් ඔවුන් අතර අනවශ්‍ය ප්‍රශ්න ඇතිවේවි යැයි සිත බියවිය. දැන් සියල්ල විසඳී හමාරය. මම නර්මදාට පොරොන්දුවක් විමි. තව තවත් දෙඩීමෙන් සිදුව්නනේ සියල්ල අවුල් වීම පමණකැයි මට සිතුණි.

නෑ..

මා හිස දෙපසට සලා නැතැයි කිමි. මහා සුසුමක් හෙලා සිත සැහැල්ලු කරගන්නට මට පුළුවන් විය. මා ඉක්මනින් ඔහු අසලින් ඈත් වූයේ අහම්බෙන් හෝ මහේෂ් වනිගසූරිය මා දුටුවහොත් තව්ත සැකකරාවි යැයි සිතුනු නිසාය.

දෙනෝදාහක් අතර මා තනිවූවාක්සේ මට දැනුණි. මෙතරම් දුක් උහුලන්නට සිදුවූයේ ඇයිදැයි මම නොදනිමි. මවෙත ලංවූ සැම කෙනෙක්ම මසිත රිදවා ඈත් වූ වග නම් සැබෑය. නමුදු මා ඔවුන්ට වෛර නොකලෙමි. ඔවුන් ගැන නොසිතුවෙමි. රිදෙන බව දැන දැනත් අසරණ මසිත රිදවා ඔවුන් ලබන සතුටක් වේදැයි මම නොදනිමි. වරෙක මසිත අසරණ බව යටපත් වී නැගී ආවේ දැඩි බවකි. අනුන්ගේ දුක් කරදර මා මසිත රදවාගෙන දුක්විදිය යුතු නැතැයි වරෙක සිතුණි. මින්පසු කිසිම දිනක කාංචන මුදන්නායක හෝ මහේෂ් වනිගසූරිය අභියස මා අසරණ විය යුතු නැතැයි මට සිතුණි. ඉන් සිදුවන්නේ මසිත පෙලීම පමණකි.  ඔවුන්ගේ ඇසුර හඬන සිතුවිලි අලුත්වීමට මුල පිරීමකි. තනිකම ජීවිතයට එක්තරා සැනසීමක් යයි මට සිතුනේ ලංවීම ඈත්වීමක ආරම්භයක් බව දැන සිටි නිසාය.

සවස වැඩ අවසන්ව මම ගීතිකා එනතුරු ගේට්ටුව අසළට වී සිටියෙමි. කාර්යාලයේ සියලු දෙනාම පිටවගොස් හමාරය. ගේට්ටුව අසළ රැඳී සිටි මහළු ආරක්ෂක නිලධාරියා සමග මම වචනයක් දෙකක් දෙඩිමි. ඔහු අහිංසකයැයි මට සිතුණි. ඔහු දකින වාරයක් පාසා මගේ මතකයට නැගුණේ අප්පච්චීය. ඔහුද අප්පච්චීගේ වසයට සමාන වන්නට ඇත.

ඇයි මිස් බලාගෙන ඉන්නෙ.. කවුරු හරි එනකන්ද..?

මගේ යාළුවෙක් එනකන් ඉන්නවා..

ඔහු සිනාසී මා අසළින් ඈත් වූයේ ප්‍රධාන දොරටුවෙන් කාංචන මුදන්නායක එබී බැලූ නිසාය. ඔහු දුටු මසිත තිගැස්සුණි. මේ අසාමාන්‍ය වූ මිනිසා මසිත හොල්මන් කරන්නේ ඇයිදැයි මම නොදනිමි. නර්මදා සමග ඔහු ගැන දෙඩීමේ කුමක්දෝ ආශාවක් මසිත ඇතිවිය. ඒ ඇයිදැයි යන්න මට හරි හැටි නොවැටහුණි. රථගාල දෙසට ගිය ඔහු  ඔහුගේ රතු පැහැති කාරය අසළට ගොස් නතරවිය. මොකක්දෝ හේතුවකට ඔහු පසුපස හැරී බැලුවේය. වරදක් කර හදුවූවා සේ ලැජ්ජාවක් මසිත ඇතිවිය. මම ඉක්මනින් ඉවත බැලුවෙමි. ඉන්පසු ඇසුනේ රථය පණගන්වන හඬය.

තවත් මොහොතකින් ඔහු ගේට්ටුව අසළ විය. මහළු ආරක්ෂක නිලධාරියා ඉක්මනින් ගේට්ටුව විවෘත කළේය. ඔහුට ඉඩදී මම පසෙකට විමි. අහම්බෙන් හෝ ඔහු දෙස නොබලන්නෙමියි මම අධිෂ්ඨාන කළෙමි. නොඑසේනම් පැටලෙන්නේ මසිතය. ඔහුගේ නෙතු අතර සිර වී දුක්විදින්නේ මාය. ඈතින් එන ගීතිකා දුටු මසිත සැහැල්ලු විය. මම සිනාසෙමින් ඇය එන පෙර මගට ගියෙමි.

හරියට නියගෙට ඇඳ හැලෙන වැස්ස වගේ...

ඈ මට ලංව සිනාසෙමින් පැවසුවාය.

ඇයි ඒ..?

නෑ.. කාලෙකට පස්සෙ හිනාවක් දැක්කෙ..

මම ආයෙමත් අඬන්නෙ නෑ..

ඈ දෑස් විසල් කරගෙන මදෙස බැලීය.

ඒ මොකද එහෙම හිතුණෙ..?

හැමෝම හදන්නෙ මාව අඩවන්න.. මාව අඩවලා සතුටු වෙන්න.. ඒ සතුට ලබාගන්න මින් පස්සෙ මම ඉඩක් තියන්නෙ නෑ..

අන්න එහෙම හිටපං.. දැන් තමයි උඹට මොලේ පෑදිලා තියෙන්නෙ.. අනුන්ගෙ අත් උඩ නැටවෙන රූකඩයක් වෙන්න එපා..

මම නිවැරදියැයි නොදනිමි. නමුදු සිත ගලක් කරගැනීමට මට අවශ්‍ය විය.

කවුරු මං ළඟ හිටියත් මම තනිවෙලා ගීති.. ලංවෙන්න ලංවෙන්න සිද්ධ වෙන්නෙ ඉක්මනින් ඈත් වෙන එක විතරයි. ඈත් වෙන්නෙ වෙන බව දන්නවා නම් ලංනොවී ඉන්න එක හොඳයි..

උඹ කියන්නෙ කා ගැනද..?

මම දන්නෑ හරියටම කා ගැනද කියලා..

සිත බොහෝ සේ රිදුම් දුන්නේය. රිදුම් දෙන සිතුවිලි නැගුනේ කා නිසැදැයි හරිහැටි තෝරා ගැනීමට නොහැකිවිය. නමුදු කවුරුන්දෝ සිත රිදවූ වගනම් සැබෑය.

අපේ ජීවිතේ සතුට තියෙන්නෙ අපි ළගමයි.. කා ළඟවත් නෙමෙයි..

බොහෝ වේලාවකට පසු ගීතිකා සන්සුන් හඬින් පැවසුවාය.

ඒක හරියටම එහෙම වෙයිද ගීතිකා..

මම හිතනවා..

එහෙම වෙනවා නම් කොයි තරම් හොඳද..?

ඇයි උඹ හිතනවද ඒක එහෙම නෙමෙයි කියලා..

මම බොහෝ සේ සිතුවෙමි. සිතුවිලි අවුල් උනා මිස පැහැදිළි යමක් සොයා ගැනීමට නුපුළුවන් විය. වෙහෙසකාරී සිතුවිලි අග තැවුනේ මාය.

මම දන්නෑ.. මට තෙරෙන්නෑ..

තේරෙන්නෙ නැතුව නෙමෙයි.. උඹ තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නෑ.. අපි අපිවම රවට්ට ගන්නවා.. සත්‍ය ගොඩක් කටුකයි අරුනි.. ඒත් අපි ඒ සත්‍යයට මූණ දෙන්න ඕන.. අපි හිනාවෙනකොට අප ළඟ ඉඳන් හිනාවෙන්න අය හිටියට අපිට අඩන්න වෙන්නෙ තනියෙම.. කවුරුවත් නෙමෙයි.. උඹ ගැන හිතපන්.. මේවා කියන්නෙ උඹව රිදවන්න නෙමෙයි.. උත්සාහ කරපන්.. එතකොට ජීවත් වෙන්න ලේසියි.. නැත්නම් අපිට හැමදාමත් වෙන්නෙ අඩන්නයි..

ඈ බොහෝ දේ දෙඩුවාය. ඒ සියල්ලක් තේරුම් ගැනීමට මම අසාර්ථක උත්සාහයක යෙදුණෙමි. ඈ කී සියල්ල සත්‍ය බව මම පසක් කරගතිමි. නමුදු මායාවක් සත්‍යත් එක්තැන් වී සිතුවිලි පටලැවිය. සත්‍යයට ලංවෙන්නට උත්සාහ ගන්නා විට මායාව වඩාත් ලංවිය.

මාසය අග වැඩකටයුතු බහුලවීම නිසා මම පසුදින උදෑසනම කාර්යාලයට ගියෙමි. පසුගිය දින කිහිපයේ මා අතින් අතපසු වූ වැඩකටයුතු සියල්ල සොයා බලා ඉටුකළේ දිසානායක මහතාය. ඒ නිසා ඔහුගේ වැඩ කටයුතුවලට උදව් වීමට මම සිතුවෙමි. උදෑසන කාර්යාලය තුළ තිබුණේ දැඩි නිසංසල බවකි. මම අතරැදි ඔරලෝසුවට නෙතු යොමු කළේ දිසානායක මහතා තවමත් නොපැමිණි නිසාය.

මේසය මත වූ දූවිලි පිසදමා මම පුටුවේ හිඳගතිමි. සිතට පිවිසි කම්මැලිකම නිසාම මම මේස ලාච්චුව හැර එය අස්කරන්නට විමි. මොහොතකින් කාර්යාලයේ වාසා තිබුණු ඉදිරිපස දොර විවර විය. ඒ දිසානායක මහතා වන්නට ඇතැයි සිතුන නිසා මම මුවගට සිනාවක් නගාගෙනම එදෙස බැලුවෙමි. නමුදු මගේ දෑස් ඉදිරියට පැමිණියේ මා බලා සිටි තැනැත්තා නොවේ. මසිත තිගැස්සුණි. සිතුවිලි වෙව්ලා ගියේයය. ඔහු වෙතින් දෑස් ඉවතට ගන්නට උත්සාහ කළද සිදුවූයේ බියපත් නෙතින් ඔහු දෙස බලා හිදින්නටය. ඔශු පුදුමයෙන් මෙන් මදෙස බලා සිටියේය. මම ඉක්මනින් නෙතු බිමට නැඹුරු කර ගතිමි. නොඑසේනම් පැරදීමට සිදුවන්නේ මටය.

මේසය මත වූ ලිපි ගොනුවට දෙනෙත් යොමා සිටියා මිස වෙනත් යමක් කරන්නට තරම් පැහැදිලි සිතුවිලි මා අසළ නොවීය. සෙමෙන් සෙමෙන් ඔහු ඉදිරියට පැමිණෙනු මම නෙත් කොණින් දුටුවෙමි. ඔහුගේ පාවහන් ශබ්දය මහා හඬ නංවමින් දෙසවන් වලින් හදවතට ඇතුලුවිය. ඔශු ඇවිද ගියේ මහ පොළව මත නොව වගේ හදවත පත්ලේ යැයි මට සිතුණි. ඔහු ඉක්මනින් පිටව යතැයි මට සිතුණේ අප අතර කිසිම මිත්‍රත්වයක් හෝ නොමැති වූ නිසාය. ඔහු වරක් මා පිළිකුල් කළේ ඉතාමත් අවිනීතවය. ඔහු තවමත් සිටිනුයේ මා සමග තරහින් විය යුතුය. කාර්යාලය හරහා ඇවිද ගිය ඔහු නිෂ්පාදන අංශයට ඇතුලුවන දොරටුව අසළට යනවිට මම සුසුමක් හෙලා සිත සැහැල්ලු කරගතිමි. නමුත් ඒ සැනසුම තිබුනේ මොහොතකට පමණි.. ඔහු එක්වර නතර විය. මම වහා නෙතු ඉවතට ගතිමි. ඔහු දෙස නොබලා හිදින්නට මම ප්‍රවේසම්විමි. මේසය මත වූ ලිපිගොනුවට හිස තබාගෙන මම එලෙසම හිටියෙමි. මොහොතකින් මගේ මේසය අසළට විත් ඔහු නැවතුණි. මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.

අරුන්දිකා..

පෙරදා මෙන් ඒ හඩ වේගවත් නොවීය. ඒ වෙනුවෙන් තිබුණේ මහා සන්සුන් කමකි. ඔහුගේ නොසන්සුන් කමට වඩා ඒ සන්සුන් කමට මම බිය විමි.

මාත් එක්ක තරහද..?

මොහොතකින් ඔහු එලෙස ඇසීය. තරහ වන්නට අපි යාලුවෙලා හිටියෙ නැතැයි කියන්නට සිතුවද අනවශ්‍ය කතාබහට යාම නුසුදුසුයැයි මට සිතුණි.

ඒ හැමදෙයක්ම මම හිතලා කරපු දේවල් නෙමෙයි. මම දන්නවා මම වැරදියි කියලා. ඒත් පහුගිය දවස්වල වුන දේවල් නිසා මට මාව පාලනය කරගන්න බැරි උනා.. ඔහොම සද්ද නැතුව ඉන්න එපා අරුන්දිකා.. එක්කො මට බනින්න..

මේ මහේෂ් වනිගසූරියදැයි මට නිනව්වක් නොවීය. මේ ඔහුගේ තවත් එක් රඟපෑමක්දැයි මට සිතුණි. ඔහු ඒ තරමට රඟපෑමට දක්ෂය. මම හිස ඔසවා ඔහු දෙස බැලුවේ ඔහුව දකින්නට නොව ඔහුව හඳුනාගන්නටය.

සර්ට උවමනා දේ දැනගන්න ලැබුනනේ.. දැන්වත් මට කරදරයක් නැතුව ඉන්න පුළුවනි..

ඔහු අසළ උවමනාවටත් වඩා අසරණවී දැයි මම නොදනිමි.

මම ඔයාට කරදරයක් කරන්න හිතුවා නෙමෙයි.. මේ හැමදේම සිද්ධ වුණේ ඔයා මාව තේරුම් ගත්තෙ නැති නිසා..

ඒකද මං ගැන නර්මදා මිස්ට කේලම් කිව්වෙ..?

ඔහු අපහසුවෙන් මෙන් ඉවත බලා ගත්තාය.

මට තරහා ගියා..

ඇයි..?

ඔයා වෙන කෙනෙකුට ලංවෙලා ඉන්නවා මට බලන්න බැරි වුනා..

කාගෙවත් වාහනේක ගිය පලියට ඒ මනුස්සයව කසාද බඳින්න යන්නෙ නෑ.. ඒ වගේම තව එකක් මතක තියාගන්න.. මිස්ටර් මුදන්නායකගෙ කාර් ඒකේ ගියේ වෙන අදහසකිනුත් නෙමෙයි..

මම වේගයෙන් කියවාගෙන ගියේ සිතට නැගුණ කෝපය නිසාය. ඔහු දෑස් විසල් කරගෙන බලා සිටියේය. මගේ සිතේ තිබුණු සියලු වේදනාවන් යටපත් වුණාදැයි මට සිතුනේ මේ සියල්ල මහේෂ් වනිගසූරියට කියා අහවර වූ පසුවය. සිත සැහැල්ලු විය. බොහෝ සෙයින් සැහැල්ලු විය.

අරුන්දිකා දැන්වත් පිළිගන්නවද..?

මොනවද..?

මම ඔයාට ආදරෙයි කියලා..

ඒකද මේ තරම් මට අපහාස කළේ..?

ආදරේ උනහම එහෙම දේවල් වෙනවා..

නෑ.. ආශාව වැඩි උනහම.. ආදරේ කරන්න ඕන ආපහු ආදරයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.. එහෙම බලාපොරොත්තු වෙනවා නම් එතන ආදරයක් නෑ..

හට තේරෙන්නෙ නෑ ඔයාගෙ තේරවිළි..

තේරුම් ගන්න උත්සාහ කරන්න.. තව එකක් ආදරේ කියන්නෙ බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි.. බලෙන් ලබාගන්න දේවල්වල අගයක් නෑ..

ඔහු ඉවත බලාගෙන සිටියේය. ඔහුට තේරුම් ගියාදැයි සැක සහිතය.

දිසානායක මහතා පැමිණියේ මේ මොහොතේදිය. ඉවත බලාගෙන සිටි මහේෂ් වනිගසූරිය එකවර මදෙස බැලීය.

මට ඕන දෙයක් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මම ගන්නවා.. ඒක ඔයාට වෙනස් කරන්න බැරි වෙයි..

වඩාත් මවෙතට ලංව ඔහු එලෙස පැවසුවේ නපුරු හඬිනි. මසිත යළිත් තිගැස්සුණි. ඔහු කළේ අනතුරු ඇඟවීමක්දැයි මම සිතුවෙමි. මහේෂ් වනිගසූරිය ඉක්මනින් පිටව ගියේය. වෙනසක් පෙන්වා අසළට ආ දිසානායක මහතා දෙස බලා මම සිනාසුනෙමි.

දිසානායක මහතා පුටුවේ හිදගත්තේ පිටව යන මහේෂ් වනිගසූරිය දෙස බලමිනි. ඔහු මා ගැන වැරදි ආකාරයෙන් සිතාවිදැයි එකවර මට සිතුණි. අප කතාබහ කළ දේවල් ඔහුට ඇසුණ බව නම් විශ්වාසය.

අරුන්දිකා උදෙන්ම ආවද..?

වෙනසක් නොපනේවා ඔහු ඇසුවේය.

මම ඇවිල්ලා විනාඩි දහයක් විතර ඇති.. මම හිත හිත හිටියෙ මිස්ටර් දිසානායක ඇයි ප්‍රමාද කියලා..

දන්නවනේ අරුන්දිකා බස්වල එන්න තියෙන අමාරුව..

ඔහු මොහොතකට පෙර සිදු වූ සිදුවීම් ගැන කිසිවක් නොවිමසීම ගැන මසිතට වූයේ එක්තරා අස්වැසිල්ලකි.

නොසිතූ මොහොතක නර්මදා මා සොයාගෙන ආවාය. මගේ සිත තුළ එකවර තිගැස්මක් ඇතිවිය. ඇය පැමිණීයේ සෙනසුරාදා හවසකය. මා හා කතා කිරීමට ඇය එනබව පෙරදිනක කියා තිබුණද ඇය ස්ථීරවම පැමිණේවියැයි මම නොසිතුවෙමි. ඇයට නිදහසේ මා සමග කතා කිරීඹට අවශ්‍ය යයි කියූ නිසා අප දෙදෙනා මිදුලේ ලී බංකුවට ගියෙමු.

අරුන්දිකා මාත් එක්ක තරහද..?

ඇය කතාබහ ආරම්බ කලේ එලෙසිනි.

ඇයි මිස් ඒ..?

මම එදා ඔයාට කතා කළ විදිය වැරදියි.. මම ඔයා ගැන හිතුව දේවලුත් වැරදිය..

මොනවද මිස් මං ගැන හිතුවෙ..?

මම ඇය දෙස බැලුවේ සිනාසෙමිනි..

ඔයාව දකිනකම් මම හිතුවෙ නෑ ඔයා මේ තරම් අහිංසක කෙනෙක් කියලා.. මම හිතුවෙ ඔයා මාත් එක්ක රණ්ඩුවට එයි කියලා..

ඇය මොහොතක් කතාව නතර කල උනන්දුවෙන් මෙන් මදෙස බැලීය.

හැබැයි මම හිතුව එක දෙයක් හරි..

මසිත නැගුනේ කුතුහලයකි.

ඒ මොකක්ද..?

කාංචනගෙ විතරක් නෙමෙයි ඕන කෙනෙකුගෙ හිත ඇදිලා යන තරම් ඔයා ලස්සනයි..

ඇගේ වදන් වලින් මගේ සිනාව අතුරුදන් විය.

මිස් තවම මං ගැන හිතන්නෙ වැරදියට..

නෑ අරුන්දිකා.. මම දන්නවා ඔයා එහෙම කෙනෙක් නෙමෙයි කියලා.. ඒත්.. මට හිතුනා කාංචන ඔයා නිසා වෙනස් වෙලා කියලා..

ඇය මහා හඬින් සුසුමක් හෙලුවාය. ඇගේ මුහුණේ පැතිර ගියේ දුක්බර පෙනුමකි. පිටතින් ඈ කෙරෙන් නපුරු බවක් සේම දඟකාර කමක් පෙනෙන්න තිබුණද ඇගේ අභ්‍යන්තරය ඊට හාත්පසින්ම වෙනස්යැයි මට ප්‍රථම වරට සිතුණි.

එයා කවදාවත් මට ආදරේ කළේ නෑ අරුන්දිකා..

ඇගේ වදන්වලින් මසිතට ඇති වූයේ විස්මයකි. මට කාංචන මුදන්නායක සිහිවිය. ඔහු මහා පුදුමාකාර තැනැත්තෙකි. ඇය වැනි ධනවත්, රූමත් යුවතියකට ඔහු ආදරය නොකරන්නේ මන්දැයි මට සිතුණි. එසේම ඔවුන් දෙදෙනා විවාහ වීමට සිටින බව සැමට නොරහසකි. එසේ කළ  ඔහු ඇයට ආදරය නොකරන්නේ යැයි පැවසීම මහා පුදුමයකි. මසිත පැටලුණි. ඔහු මා නිසා වෙනස් වූයේ යැයි සිතීමට නොහැකිය. අප නිදහසේ දවස් කිහිපයක් අහම්බෙන් හමුවිය. ඒ එක් දිනක්වත් ඔහු ආදරය ගැන මා සමග කතා නොකළේය. එසේම ඒ නිදහසින් අයුතු ප්‍රයෝජන ගත්තේද නැත. ඔහු මා අසළ හැසිරුනේ මගේම සහෝදරයෙකු ලෙසිනි. මහේෂ් වනිගසූරියත්, කාංචන මුදන්නායකත් අතර ඇත්තේ විශාල වෙනසකි. ඒ නිදහස මහේෂ් වනිගසූරියට ලැබුණේ නම් මහා විනාශයක ආරම්භයකි.

මට මිස් කියන දේවල් විශ්වාස කරන්න අමාරුයි..

මා එසේ පැවසුවා නොව නොසිතාම කියවිණි. ඉවත රැදී තිබුණු ඇගේ නෙත් එකවර මවෙතට යොමුවිය.

කාංචන මහ පුදුම කෙනෙක් අරුන්දිකා.. එයාව තේරුම් ගන්න මට බෑ.. මගේ ආදරේ පිළිගන්න එයා සූදානම් නෑ.. මෙච්චර කාලෙකට මම කොල්ලෙක්ට පැරදිලා නෑ.. මට ඕන අකමැත්තෙන් හරි එයාව දිනා ගන්න.. එයා මහ ආඩම්බරයි.. කවදහරි ඒ ආඩම්බරකම මම නැති කරනවා..

ඇය අවසන් වදන් පැවසුවේ කෝපයෙනි.

ඔයා දන්නවනේ මට කොල්ලෙක් පස්සෙ යන්න ඕනෙ නෑ.. මේ තරම් වැඳගෙන.. මාත් එක්ක යාළුවෙන්න ඕන තරම් කොල්ලො ඉන්නවා..

නොලැබෙන ආදරයක් පසුපස ඇය මෙතරම් දුව්නනේ මන්දැයි මසිත ඇතිකළේ දැඩි විශ්මයකි. ආදරය පුදුමාකාරයයි මට සිතේ.. අප ආදරය කරන්නේ අපට නොලැබෙන දේවල් වලටමය. ආදරයෙන් හෝ අනාදරයෙන් අප කැමති දේවල් ලබාගැනීමට උත්සාහ කරන්නෙමු. නමුදු එය සැබෑ ජයක් යැයි තීරණය කරන්නේ කෙසේද යන්න ගැටලුවකි.

මිස්ට පුළුවනිනේ මිස් කැමති වෙන කෙනෙක්ට ආදරය කරන්න..

ඇය මගේ වදන් වලින් සිනාසුණාය.

ඉස්සර නම් මමත් හිතුවා.. දැන් මට ඕන කොහොම හරි කාංචනව දිනාගන්න.. මම ඒ තත්වෙට පත්වෙලා.. ඒ දවස උදාවෙනකන් මට සැනසීමක් නෑ..

මසිත තිගැස්සුනි.. ඒ මිනිසුන්ගේ සිතුවිලි මෙතරම් භයානකදැයි සිතුණ නිසාය.

ඔයාලා දන්නෙ නැති ගොඩක් දේවල් තියෙනවා..

ඇය කියන්නට සැරසෙන්නේ මොනවාදැයි මට නොවැටහුණි.

මසිත වඩාත් පැටලුණි. ඒ නර්මදා විසින් එකින් එක පෙළ ගසන බොහෝ දේ කිසිදින මා සිහිනෙන්වත් නොසිතූ දේවල් නිසාය.

කාංචනට කාත් කවුරුත් නෑ..

ඔහු ගැන දැනගැනීමේ උවමනාවටත් වඩා ඔහුගේ හැසිරීම සිතින් නිරීක්ෂණය කිරීමට මට උවමනා විය. නර්මදා කියූ දේවල් සිතට ඇතුලු වූයේ බොහෝ වේලාවකට පසුවය. ඒ මසිත අවුල්ව තිබුණ නිසා වන්නට ඇත.

එයාගෙ අම්මයි තාත්තයි මීට අවුරුදු පහකට විතර ඉස්සර ඇක්සිඩන්ට් එකකින් මැරුණා.. ඒ දවස්වල කාංචන හිටියෙ රට.. ඉගෙන ගන්න ගිහිල්ලා.. එයාගෙ පවුලෙ ඉන්නෙ එයා විතරයි.. කාංචනගෙ තාත්තයි, අපේ තාත්තයි හොඳ යාළුවො..

නර්මදා කියූ දේවල් නිසා කාංචන මුදන්නායක වෙත මසිත තිබුණු පැහැදීම මොකක්දෝ කියාගත නොහැකි දයාබරත්වයකට පෙරලුණි.

කාංචනගෙ තාත්තා මැරෙණකොට අපේ තාත්ති ළඟ හිටියෙ. හොස්පිට්ල් එකේදි අංකල් කාංචනව අපේ තාත්තිට බාර කළා. එයාව හොඳට බලාගන්න කිව්වා. එයාලට වෙන නෑදෑයෙක් හිටියෙ නෑ. කාංචනගෙ අම්මටත්, තාත්තටත් සහෝදර සහෝදරියො නෑ. කාංචන අම්මගෙයි තාත්තගෙයි අවසන් කටයුතු කරලා එයාලගෙ ගෙවල් දොරවල් විකුණලා ආයෙමත් රට ගියේ ඉගෙනීම අවසන් කරන්න. ඊට පස්සෙ තමයි අපේ තාත්ති ෆැක්ටරිය භාර ගන්න කිව්වෙ. කාංචන ගෙයක් අරගෙන වෙනම ඉන්නෙ.. එයාගෙ වැඩ කරලා දෙන්න සීයා කෙනෙක් ඉන්නවා. කාංචන අපේ ගෙදර එන්නෙ ෆැක්ටරියෙ උවමනාවකට විතරයි. තාත්ති රට ගියාට පස්සෙ ඉස්සර තරම්වත් එන්නෑ.. හැම වෙලාවෙම හදන්නෙ මාව මඟ අරින්න..

ඉතින් මිස්ගෙ අම්මයි තාත්තයි මොකද කියන්නෙ..?

ඒ දෙන්නා කියන්නෙ කොහොම හරි කාංචනව කැමති කරගන්නලු..

ඇයි ඒ..?

කාංචන ගොඩක් දක්ෂයි බිස්නස් වලට.. තාත්තිට ඕන දක්ෂ විස්වාසවන්ත කෙනෙක්.. තාත්තිගෙ බිස්නස් දියුණු කරන්න..

මසිත පැටලුණු නූල් බොලයක් මෙන් විය. නර්මදා පැමිණීමෙන් සිදුවූයේ මගේ සිතුවිලි අවුල් වීම පමණි. ඇය සැබවින්ම කාංචනට ආදරය කරන්නේ යැයි මෙතෙක් සිතුවද එය එසේමදැයි යන්න පිළිබඳව ප්‍රථම වරට මසිත ඇතිවූයේ ගැටළුවකි. දෙමාපියන්ට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ ව්‍යාපාර වලට දක්ෂ විශ්වාසවන්ත පුද්ගලයෙකි. නර්මදාට අවශ්‍යව ඇත්තේ ඔහුව දිනා ගැනීමේ එසේත් නැත්නම් යටත් කරගැනීමේ ආශාවකි. සියල්ල පවසා අවසානයේ ඇය මදෙස බැලුවාය.

අරුන්දිකාට පුදුම ඇති නේද මම කියපු දේවල් අහලා..

ඇත්තටම මිස්..

අරුන්දිකාට මොනවද හිතෙන්නෙ මේ දේවල් ගැන..?

මට එක දෙයක් කියන්න පුළුවන් මිස්..

ඒ මොකක්ද..?

මම නිසා කාංචන සර් වෙනස් වෙලා කියලා මිස් හිතන එක වැරදියි.. කාංචන සර් මිස්ට ආදරෙන් ඉඳලා වෙනස් උනානම් මිස් හිතන විදිය හරි..

ඔව් අරුන්දිකා.. මම වැරදියි.. ඒත් මේ සිද්ධිය ඇහුවාම මට ඊර්ෂ්‍යා හිතුණා. මොකද මම කාංචනගෙ කාර් එකේ කවදාවත් ගිහිල්ලා නෑ..

මොහොතක් නිහඩව සිටි ඇය කියූ දෙයින් මා යළිත් තිගැස්සුණි.

ඒ අයිතිය ලබා ගන්න වෙන කාටවත් ඉඩ තියන්නෙත් නෑ..

ඇගේ සිතුවිලි ගැන මසිත ඇතිවූයේ අනුකම්පාවකි. එසේම ඒ සිදුවිල්ලෙන් ඇගේ අභ්‍යන්තරය මම නියමාකාරයෙන් හැඳින්නෙමි. මිල මුදල් සැප පම්පත් ඇති සෑම කෙනෙක්ම සිතන්නේ මිල මුදලට ලොව ඕනෑම දෙයක් ලබාගත හැකි බවය. එය කෙතරම් නිවැරදිදැයි යන්න ගැන මම තවත් වරක් සිතුවෙමි.

කාංචන මුදන්නායක නර්මදාට ගැලපෙන්නේ නැතැයි එක් දිනක් මම සිතුවෙමි. දෙවන වරටත් අද දින ඒ සමිතුවිල්ල වඩාත් මසිතේ තැන්පත් විය. නමුත් ඒ පිළිබඳව සිතීමටද මට අයිතියක් නොවේ.

නර්මදා හා මා අතර පැතිරුණු දිගු නිහඩතාවයෙන් පසුව ඈ බොහෝ උනන්දුවෙන් යමක් කීමට සැරසුණාය..

අරුන්දිකා කාටවත් ආදරය කරනවද..?

මසිත තිගැස්සුණද මම සන්සුන්ව ඇය දෙස බැලුවෙමි. අපහැදිළි රූප පෙළක් සිතේ ඇතිවී නැතිවී ගියේය.

ඉස්සර කෙනෙක් හිටියා.. දැන් නෑ..

මුවින් මහා සුසුමක් පිට වූයේ නොදැනුවත්වමය. ඉන් අදහස් වූයේ සිත තවමත් හඩනා බව නෙවේ. කාලයා නැමති ඔසුව බොහෝ තුවාල සුව කර තිබුණි.

ඇයි ඒ..?

එයා මැරි කළා..

ඔයා වගේ කෙනෙක් අමතක කරලා..

දුක යටපත්ව මුවගට නැගුනේ සිනාවකි.

එයාට එහෙම කරන්න උනා.. දෙමව්පියන්ගෙ ඉල්ලීමට.. මිල මුදල් වලට මිනිස්සු ඕනම දෙයක් අත් අරින්න සූදානම්..

අරුන්දිකා මටත් හිනාවෙනවද..?

අනේ නෑ මිස්.. ඒත් සල්ලි වලට කරන්න බැරි දේවල් තියෙනවා..

අරුන්දිකා ඒ අදහස මට පිළිගන්න අමාරුයි.. අරුන්දිකාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් වෙනස් උනේ සල්ලි නිසානේ..

එයා වෙනස් උනා කියලා මම හිතන්නෙ නෑ.. දෙමව්පියන්ට පිටුපාන්න බැරි උනා..

ඉතින් එයාලට ඔයාලගෙ සතුටට වැඩිය සල්ලි වැදගත් උනා.. ඒකනේ පොහොසත් ලේලි කෙනෙක් ගේන්න ඇත්තෙ.. මේ ලෝකෙ ආදරයක් කියලා දෙයක් තියෙනවා නම් ඒ මිනිස්සු ඔයාව වෙන් කරන්නෙ නැහැනේ..

එහි එක්තරා සත්‍යයක් වේයැයි මට සිතුණි. සියල්ලටම වඩා ආදරය බලවත් වූයේ නම් මේ ලෝකයේ වැඩිහිටි නිවාස, ළමා නිවාස, හිර ගෙවල් වැඩි වඩියෙන් ගොඩ නැගෙන්නේ නැත.

අරුන්දිකාට තවත් විශේෂ දෙයක් කියන්නයි මම ආවෙ..

ඈ මදෙස බලා සැහැල්ලුවෙන් සිනාසුණාය.. මෙතෙක් වේලා ඇය හා දෙඩීමෙන් මසිත ඔද්දල් වී තිබුණි.

අරුන්දිකා ඊට පස්සෙ ආදරයක් ගැන හිතුවෙ නැද්ද..?

මසිත තවත් පටලවමින් ඇය විමසිය.

ගිනි පෙනෙල්ලෙන් බැටකාපු කෙනා කණාමැදිරි එළියටත් බයයිලුනේ..

මම මුවගට සිනාවක් නඟාගෙන කිව්වෙමි.

එහෙම හිතන්න එපා අරුන්දිකා..

ඔයාට එයාට වැඩිය හොඳ කෙනෙක් ලැබේවි..

මට දැන් හිතන්න ඊට වැඩිය දේවල් තියෙනවා මිස්.. අප්පච්චියි, නංගිලා දෙන්නයි ගැන බලා ගන්න ඕන..

ඉතින් ඒක ආදරයට ප්‍රශන්යක් නෙමෙයිනේ..

මම මොහොතකක් නිසොල්මන්ව සිටියෙමි. නොදැනිම මගේ සිතුවිලි ඇය ඉදිරියේ එකින් එක පෙළ ගැසුණි.

ජනක මගෙන් ඈත් උනාම මම හිත හදාගත්තෙ ගොඩක් අමාරුවෙන්. බලාපොරොත්තුවක් තියාගන්න ඕන ඒ බලාපොරොත්තුව නැති උනොත් දැනෙන වේදනාව උහුලගන්න පුළුවන් නම් විතරයි.. මගේ හිත තවමත් දුර්වලයි..

අරුන්දිකාට විශ්වාසවන්ත කෙනෙක් ලැබුනොත්..

මම ජනකව මටත් වැඩිය විශ්වාස කළා මිස්..

හැමෝම එහෙම නෑ..

මමත් පිළිගන්නවා.. ඒත් ආයෙමත් කෙනෙක් ගැන විශ්වාසයක් ඇති කරගන්න මම බයයි..

මොහොතක් නිහඩව සිටි ඇය වඩාත් උනන්දුවෙන් මදෙස බැලීය.

අරුන්දිකා මහේෂ් ගැන මොනවද හිතන්නෙ..?

මසිත තිගැස්සුණි.. ඇය මෙතෙක් වේලා සැරසුණේ ඔහු ගැන කතා කරන්නදැයි එකවර මට සිතුණි. පිළීතුරක් සොයාගත නොහැකිව මම ලතැවුණි.

නර්මදා දෙස තව දුරටත් බලා සිටිය නොහැකි වූ තැන මම ඉවත බැලිමි. ඈ සිටියේ මගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනි. මහේෂ් ගැන කුමක් කියන්නදැයි මට තෝරා බේරා ගත නොහැකිවිය.

මම දන්නෙ නෑ මිස්..

ගැලවීමේ පහසු ක්‍රමය එය පමණක් විය.

මහේෂ් ඇත්තටම ඔයා ගැන හිතනවා..

ඇගේ නෙතු අතරින් මිදී මම ඉවත බලා ගතිමි. ඔහු ඇයත් සමග මා ගැන කතා කරන්නට ඇත. මගෙන් පිළිතුරක් නොලද නිසාවෙන් ඇය ලවා ඔහුගේ සිතුවිලි හෙළි කිරීම සිතුවා වන්නට ඇත..

මට දැන්ම ඒ ගැන හිතන්න බෑ..

වෙන යමක් කියා ඔහුන් දෙදෙනාගේම සිත් රිදවිය යුතු නැතැයි මම සිතුවෙමි.

අරුන්දිකා අනවශ්‍ය විදියට බයවෙලා.. ප්‍රශ්න ගැන ඔය තරම් හිතන්න එපා..

මිස්ලට වගේ සැහැල්ලුවෙන් හිතන්න අපිට බැහැනේ..

මහේෂ් වගේ කෙනෙක් ලැබුනොත් අරුන්දිකාට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි..

මගේ ජීවිතේ සතුට මනින්නෙ වත් පොහොමත්කම් වලින් නෙමෙයි මිස්..

මට ඔයා කියන දේවල් තේරෙන්නෙ නෑ අරුන්දිකා.. මහේෂ් ලස්සනයි, හරිම විනෝදෙන් ඉන්නෙ.. සල්ලි තියෙනවා.. ඉතින් ඒ මදිද සතුටින් ඉන්න..

ඇයත් සමග මේ දේවල් කතා කිරීමෙන් පලක් නොවේ යැයි මට සිතුණි. ඒ ඇගේ සිතුවිල්ලත් මගේ සිතුවිල්ලත් අතර ඇති පරතරය විශාල බැවිනි.

මහේෂ් මට කිව්වා ඔයාට මේ ගැන කියන්න කියලා. හැමදාම වද කරනවා.. තව ටිකක් හොයලා බලන්න අරුන්දිකා.. මහේෂ් ටිකක් දඟයි.. ඒත් ඒ කොල්ලන්ගෙ හැටි.. මහේෂ් වෙනුවෙන් මම ඔයාට ඕනම උදව්වක් කරන්නම්..

මම සිනාසුනා මිස ඊට කිසිදු පිළිතුරක් නොදුන්නෙමි.

නර්මදා පිටව ගිය පසු මා ගෙට ඇතුලු උනේ විසිරුණු සිතිනි. ඈ වෙන්ව ගියේ ඇගේ ජීවිතයට මගේ උපකාර වැදගත් වන බව පවසමිනි. නමුදු මට කළ හැකි දෙයක් වේදැයි ඇගෙන් විමසන්නට සිත් වුවද ඉන් ඇගේ සිත රිදේවියැයි ද මා ගැන වැරදි අවබෝධයක් ඇතිකර ගනියිද සිතුන නිසා මම සිතුවිලි යටපත් කරගතිමි. මහේෂ් වනිගසූරිය ගැන සිතීම සිතුවිලි අවුල් කරන්නට වූ නිසා අපහසුවෙන් වුවද මම ඔහුව සිතින් ඈත් කළෙමි.


කාමරයට එබී බැලූ මා සෙව්වේ නංගිලා කොයිදැයි කියාය. චූටි නංගී සුව නින්දකට වැටී සිටියාය. ලොකු නංගී සොයන්නට කුස්සියට ගියමුත් ඈ එහි නොවුණි. ලොකු නංගී ළිඳට වී රෙදි සෝදමින් සිටියාය. මම සෙමෙන් ඇය අසළට ලංවිමි. මගේ පා හඬ ඇසී ඇය හිස ඔසවා බැලීය.

ගියාද..?

මා දුටු ඇසිල්ලෙන් ඈ විමසුවේ නොරිස්සුමෙනි.

ඔව්..

මා ළිං බැම්ම මත හිද ගත්තේ ඇගේ තරහින් පිරුණු මුහුණ දෙස බලමිනි.

ඇයි ලොකු නංගි නර්මදා මිස්ට ඔය තරම් අකමැති..?

ඇය ඇගේ කාර්යයේ නියැලුනා මිස මට පිළිතුරක් නොදුන්නාය. පිළීතුරක් අපේක්ෂාවෙන් මා සිටියේ නොඉවසිල්ලෙනි.

මට එයාව අල්ලන්නෙ නෑ.. එක දවසක් ඇවිත් බැනලා ගියා. දැන් ඔයාගෙ උදව් ඉල්ලන්න එනවා.. එයාගෙ වැඩ එයාලට කරගන්න කියලා ඔයා පැත්තකට වෙලා ඉන්න අක්කෙ..

නිහඩවම මම ඇයට සවන් දුන්නෙමි. ඈ කියනා දේ සත්‍ය බව මම දනිමි.

ඒත් ලොකු නංගී මම කොහොමද උදව්වක් ඉල්ලගෙන ගෙදරට ආව කෙනෙක්ව පන්න ගන්නෙ..

ඔයාගෙ ඔය කරුණාව නිසා තමයි ඔයාට වැරදිලා තියෙන්නෙ..

ඇය කියවාගෙන ගියේ වේගයෙනි. මට ඇය කෙරෙහි ඇතිවූයේ දැඩි සහෝදරත්වයකි. මා දුක් විදිනවාට ඇය කවදත් අකමැතිය.

ඔයා කොහොමද එයාට උදව් කරන්නෙ..?

මා කළ යුත්තේ කුමක්දැයි හරිහැටි නොවැටහුණි.

ලොකු නංගීගේ ප්‍රශ්නය ඔස්සේ මම බොහෝ දේ සිතුවෙමි. නමුදු සිතුවිලි අවුල් උනා මිස පැහැදිළි පිළීතුරක් සොයා ගැනීමට අපහොසත් විය.

රෙදි සේදීම මොහොතකට නවතාලූ ඇය මදෙස බලා සිටියාය. ඇයගෙන් කිසිවක් සැඟවීමේ අවශ්‍යතාවක් මවෙත නොවීය. ජීවිතය ගැන යම් තේරුමක් ඈ සතුව ඇත. මේ සියල්ල වසන් කිරීමට තරම් නොමේරු බුද්ධියක් ද ඈ සතුව නොමැත. එනිසා නර්මදා විසින් මට මොහොතකට පෙර කී සියල්ල මම ඇය හා පැවසිමි.

එයාගෙ හිතේ තිබුණු සැකය දැන් නැති උනානේ.. ඉතින් එයාලගෙ ප්‍රශ්න විසඳගන්න කියන්න.. මහ පුදුම මිනිස්සුනේ..

එවර ඇගේ මුවගට නැගුනේ සරදම් සිනාවකි.

ඒ ඇයි..?

නෑ එයාලා හැමදේම ගන්න හදන්නෙ සල්ලි දීලා කඩේට ගිහින් බඩු ගන්නවා වගේ.. සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා සල්ලි කාරයො හිතන්නෙ..

ඒක සමහර විට ඇත්ත වෙන්න පුළුවන්..

ඇගේ තර්කය බොරුවක් නොවුණද ඇගේ සිතුවිලි දැන ගැනීමේ උවමනාවෙන් මම එලෙස කීමි.

ඇත්ත වෙන්නෙ කොහොමද අක්කෙ.. ඔයාලගෙ ඔය නර්මදා මිස් ගැන හිතන්න.. එයාට මොනවද අඩු.. ඒත්.. එයාගෙ හිතේ සතුට තියෙනවද..?

ඇගේ සිතුවිලි ගැන මගේ සිතේ ඇති කළේ එක්තරා අන්දමේ සතුටකි. ඒ ජීවිතය වැරදීමකින් තොරව දකින්නට තරම් ශක්තියක් ඈ සතුව තිබීම පිළිබඳවය.

කොහොම උනත් ඔයා එයාලගෙන් ඈත් වෙලා ඉන්න..

ඇයි ඒ..?

මට බයයි ඔයාට එයාලගෙන් කරදරයක් වෙයි කියලා..

මගේ සිත පිච්චී ගියේය. ඒ ඇගේ අසරණ හඬටය. කඳුළක් නොනගා වේදනාව පිට කරන්නට මට උවමනා විය.

නෑ ලොකු නංගි.. ඔයාලට කවදාවත් මාව නැතිවෙන්නෙ නෑ..


ගීතිකා මදෙස බැලුවේ විසක් කරගත් දෑසිනි. සියල්ල පවසා අහවර වී මහා සුසුමක් හෙලමින් මම සිත සැහැල්ලු කරගතිමි. වරෙක මා ගැන මසිතේ ඇතිවූයේ පුදුමයකි. කුඩා දෙයකටත් පවා අනේකවර තැවුනු මා මේ සියල්ල දෙස සැහැල්ලුවෙන් බැලුවේ අත්දැකීම් වලින් මම ජීවිතය සවිකරගත් නිසාදැයි නොදනිමි.

උඹ හිනාවෙන්නත් දන්නවද..?

මා මුවගට නැගි සිනාව සිත සැහැල්ලුවෙන් නැගුනක් බව මා මෙන්ම ඇයද තේරුම් ගන්නට ඇත.

ඇත්තටම අරුනි මේ දේවල් ගැන උඹ මොනවද හිතන්නෙ..?

මොනවා ගැනද..?

එක්ක.. කාංචන සර් අපි හිතන් හිටියට වැඩිය ගොඩක් වෙනස් කෙනෙක්.. ඒක වෙනසකුත් නෙමෙයි.. මට හිතෙනවා සර් ගොඩක් අසරණ වෙලා කියලා..

නෑ ගීති.. සර් අසරණ වෙලා නෑ.. අම්මා තාත්තා, නෑදෑයො නැති එක ඇත්ත.. එහෙම උනයි කියලා අසරණයි කියලා හිතන්නෙ ඇයි..?

මම දන්නෑ.. සර් ගැන හිතද්දි දුක හිතෙන්නෙ නැද්ද..?

මෙතෙක් වේලා මසිත හඩ ගෑවේද ඒ සිතුවිල්ලෙන් නොවේදැයි මට සිතුණි. සැබවින්ම මටත් හොරා ඔහු වෙනුවෙන් වූ  කුමක්දෝ වේදනාවකින් සිත විසිරුණේය. නමුද් ඒ දුක සිත පත්ලේ සිරකර ග්තතා මිස පිටතට හෙළි කිරීඹට තරම් ශක්තියක් මවෙත නොවීය. එසේ සිතීමටද මට අයිතියක් නොවේ.

එක අතකට අපි සර්ට අනුකම්පා කරන්නෙ ඇයි..?

මම ගීතිකාට උනන්දුවෙන් සවන් දුනිමි. ඒ ඔහු ගැන කතා කිරීමට යටි සිත කැමති වූ නිසාදැයි නොදනිමි.

සර්ට හොද රස්සාවක් තියෙනවා.. කාගෙවත් බලපෑම් වලට යටත් වෙන්නෙත් නෑ.. ඒ වගේම සල්ලිකාරයෙක් ළඟ කලාතුරකින් දකින්න ලැබෙන මනුස්සකම තියෙනවා..

ඒක නම් ඇත්ත තමයි ගීති..

හැබැයි අරුන්දිකා.. මහේෂ් සර් ලේසියෙන් පරදින කෙනෙක් නම් නෙමෙයි වගේ..


මහේෂ් වනිගසූරියගේ මතකය මගේ සිතුවිලි විසිරෙව්වේය.

මට එයාව පරද්දන්න ඕන කමක් නෑ..

ඒ කියන්නෙ උඹ එයාට දිනුම දෙන්න ලෑස්තියි..?

මසිත තිගැස්සුණි.. ඔහු පැරදවීමට අවශ්‍යතාවයක් නැතැයි පැවසුවා මට මතකය. එවදන් බොහෝ සේ බරපතල නොවේදැයි මට කල්පනා වූයේ බොහෝ වේලාවකට පසුවය. මම ගීතිකා දෙස බැලුවේ හොරහිනි. ඇය මා ගැන වැරදි අවබෝධයක් ඇතිකර ගනීවිදැයි මසිත පසුතැවිලි විය.

ජීවිතේ ගොඩක් වැදගත් දේවල් වලදි තීරණ ගන්න ඉක්මන් වෙන්න හොඳ නෑ..

වැරදි නිවැරදි කිරීමේ අවශ්‍යතාවයෙන් මම ඇයට පැවසුවෙමි.

අපි හිතනවට වඩා මහේෂ් සර් හොද කෙනෙක් වෙන්න පුළුවන්.. උඹ නිසා එයා හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරනවද දන්නෙ නෑ..

ඇගේ වදන් ඔස්සේ මම තවදුරටත් සිතුවෙමි. එය එසේම යැයි පිළිගැනීමට තරම් මසිත කාරුණික නොවීය. ඒ ඇයිදැයි මම නොදනිමි. විශ්වාසය නැගෙනුයේ හද පත්ලෙන් යයි මම සිතමි. එය බලහත්කාරයෙන් සිතට ඇතුලු කිරීමට නොහැකි දෙයකි.

මහේෂ් සර් ගැන විශ්වාසයක් ඇතිකරගන්න තරම් මගේ සිත එයාව පිළිගනියිද කියන එක ගැන තව සැරයක් හිතන්න වෙනවා..

ගීතිකාත් සමග කතා කිරීමෙන් පසු මගේ හිත මහා සැහැල්ලුවක් දැනෙන්න විය.  සිත පත්ලේ සිරකරගෙන පීඩා විදි බොහෝ සිතුවිලි පිටතට දැමීමෙන් සිත සන්සුන් විය. එය ජීවිතයේ තවත් අලුත් දිනකට ආත්ම ශක්තියෙන් යුතුව මුහුණ දීමේ ධෛර්යය ලබා දුන්නේ යයි මට සිතුණි.

මා කාර්යාලයේ වැඩ කරමින් සිටියදී කාංචන මුදන්නායක කාර්යාලය හරහා නිෂ්පාද අංශය වෙත කිහිප වරක්ම එහා මෙහා ගියේය. ඔහු දකින වාරයක් පාසා මසිත සන්සුන්කම මොහොතකට පලා ගියේය. ඔහු මෙතරම් නිසල පුද්ගලයෙකු වූයේ අකාලයේ ජීවිතයෙන් ඈත් වූ බොහෝ දේ නිසාදැයි මම නොදනිමි. නර්මදා සැරසෙන්නේ ඔහුගේ නිසල සිවි පෙවෙත අවුල් කිරීමට යැයි මට සිතුණි. ඔහු පරාජිත කිරීමට ඇයට ශක්තියක් වේදැයි සක සහිතය.



No comments:

Post a Comment