Friday, August 10, 2012

| අරුන්දිකා | සංජීවනී අටලුගම |


පසුවදා උදෑසන අටට පෙර මම ෆැක්ටරියට ළඟා විමි. පළමු දවස නිසා වේලාසනින් යාමට මම සිතා උන්නෙමි. මුරකරුවා විසින් මා කාර්යාලය වෙත යොමු කළේය. ෆැක්ටරිය තුළ වැඩ කළේ ගැහැනු ළමුන් පමනි. රෙදි හා වූල් වලින් නිෂ්පාදනය කරන ලද සෙල්ලම් බඩු විශාල වශයෙන් දක්නට ලැබුණි. එහි පාලිකාව විසින් මා නිෂ්පාදන අංශය තුළට කැඳවාගෙන යන ලදී. මා අලුතින් පැමිණ නිසා අනෙක් ළමුන් මදෙස උනන්දුවෙන් බලන්නට විය. ඉන් මසිත ලැජ්ජාවක් මෙන්ම අවිනිශ්චිත බියක්ද ඇති කළේය. ජීවිතයේ පළමුවරට තනිකම පිළිබඳ හැගීම මට දැනෙන්නට විය.


“මොකක්ද ඔයාගෙ නම.?”

ප්‍රධාන පාලිකාව යන අතරමගදී මගෙන් විමසිය.

“අරුන්දිකා..”

ඇගේ සිනා නොමැති මුහුණ දෙස බලා මම පැවසුවෙමි.

“කොහෙද ඉන්නෙ.?”

“දෙනියකුඹුරෙ..”

එක් එක් මේසය මත සතුන්ගේ ශරීර කොටස් කැපූ රෙදි විය. එක් එක් අංශයට පැවරී තිබුණ කාර්යයන් විවිධ විය. සමහර තැනක සතුන් මැසූ අතර තවත් තැනක ඇස්, නාසය හා කට ඇල්ලීම, පැඩින් පිරවීම සිදු කළහ. ඇය ඒ සෑම ස්ථානයකටම මා කැඳවාගෙන ගියාය.

“මේ හැමදෙයක් ගැනම ඔයා ඉගෙන ගන්න ඕන.. ඒ නිසා අද හැමදේම හොදට බලාගන්න.. හෙට ඉඳන් එක තැනක වැඩ කරමු.”

ඇය සියල්ල පැහැදිලි කළ අතර මම ඊට උනන්දුවෙන් කන් දුනිමි. ජීවිතයේ පළමු වරට කරන රැකියාව නිසාදෝ මම කුතුහලයෙන් හා උනන්දුවෙන් සියල්ල නිරීක්ෂණය කළෙමි. උදෑසන තේ වේලාව පැමිණෙන විට මා සිටියේ මසා නිම කරන ලද සතුන්ගේ ඇතුළට පැඩින් පුරවන අංශයේය. අනෙක් ළමුන් කරන දේ බලා හිඳ මමද ඔවුන් අනුව ක්‍රියා කරන්නට විමි. මා අසළ සිටි යුවතිය මදෙස බලා මද සිනහවක් පෑවාය. මම ද ඇයට සිනාසිමි. ඇගේ සිනහව තනිවූ කතරක නවාතැන් පළක් හමුවූවාසේ මට දැනුණි. උදෑසන තේ වේලාව දැනුම් දුන් පසු ඈ මදෙස බැලුවාය.

“යමු තේ බොන්න..”

මම ඈ පසුපස ඇදුනෙමි. අනෙක් ළමුන් මදෙස බලනවාත්, එකිනෙකා රහසින් මා ගැන දොඩනවාත් මගේ දෑසට හසුවිය. තේ බීම සඳහා තිබුණු විශාල කාමරයේ මේස හා බංකු දමා තිබුණි. මා සමඟ සිනාසුණු යුවතියන් සමඟ මම එහි ගොස් හිඳගතිමි.

“ඉන්න මම ඔයාටත් එක්ක තේ ගේන්නම්..”

මා ඈ දෙස බැලුවේ දයාබර හැගීමෙනි. ඈ මෙසේ මා සමඟ නොදෙඩුවේ නම් මා තනිවෙන්නට ඉඩ තිබුණි. ඈ මා අසළට ලංවෙන තෙක්ම මා සිටියේ බිම බලාගනෙය.

“ආ.. ගීතිකා... ආව ගමන් ආගන්තුක සත්කාර කරනවද..? එයාටත් ඕවා පුරුදු වෙන්න කියපන්..”

අප අසළ සිටි ළමයෙක් ගීතිකාත් මා දෙසත් බලමින් එසේ කීවාය. මගේ සියොළඟම හිරිවැටුණි. බියක් වැනි හැඟිමක් මසිතේ ඇතිවිය. ඔවුන් මට බැණවදිතැයි මට සිතුණි. මා ගීතිකා දෙස බලා සිටියේ අසරණ හැඟීමෙනි. ඈ මසිත හැඳින්නාය.

“ගණන් ගන්න එපා. මුලදි ඔහොම තමයි.. මොකක්ද ඔයාගෙ නම..?”

මට තේ කෝප්පයක් දෙමින් ඈ විමසියාය.

“අරුන්දිකා..”

“කොහෙ ඉඳන්ද එන්නෙ..?”

“දෙනියකුඹුරෙ ඉඳන්..”

“පළවෙනි රස්සාවද..?”

“ඔව්..”

ඇයත්, මමත් මොහොතකින් සමීප වීමු. එදා දවස තුළම ඈ මා සමීපයට වී උන්නාය. අනෙක් ළමුන් ද එකා දෙන්නා මා සමඟ වචන කිහිපයක් දෙඩූහ.

සවස වැඩ ඉවරවී දෙනියකුඹුර හන්දියෙන් මම බසයෙන් බැසිමි. හාත්පසින්ම අඳුර පැතිර යමින් තිබුණි. නංගිලා මොනවා කරනවාදැයි මම සිතුවෙමි. දෙපා ඉක්මන් කළ මම ගුරු පාරට හැරුණෙමි. වැල් ඇඳට වී අප්පච්චී දවස ගත කරන්නේ කම්මැලිකමෙනි. ඊටත් වඩා ඔහු සිත රිදවා ගනී. අප තිදෙනා ගැන සිතමින් ඔහු දුක්වන බව මම දනිමි. ඔහුට දුකක් නොදැනෙන්නට මා ඔවුන්ව බලාගත යුතුය යන හැගීම මසිතට වඩාත් දැනුණි. කල්පනා කරමින් පැමිණ මම දකුණු පැත්තෙන් වේගයෙන් විත් නතර කළ බයිසිකලය දැක තිගැස්සුණෙමි.

“මං බයවුණ තරමක්..”

“මොන ලෝකෙද හිටියෙ.. බෙල් කළා ඇහුණෙත් නෑ..”

ජනක බයිසිකලයෙන් බැස මට එකතුවිය.

“කොහොමද රස්සාව..?”

“වරදක් නෑ..”

“ඔයා හදන්නෙ ඔයාගෙ ජීවිතේ ෆැක්ටරියක් ඇතුළට දිය කරන්නද..?”

“මම වෙන මොනවා කරන්නද..?”

“මට ඔයා ගැන දුකයි අරුණි..”

“මං ගැන දුක හිතෙන්නෙ ඇයි..?”

“ඔයා දුක විඳලා ඉගෙන ගත්තෙ ඕකටද..?”

“ජනක මොකක් හරි දෙයක් කරන්න සිද්ධවෙලා තියෙනවා නම් ඒක කරන්නෙ නැතුව වෙන මොනවා කරන්නද..? මම ඉගෙන ගත්තා කියලා, මට රස්සාව ගැලපෙන්නෙ නැහැ කියලා මම ගෙදර ඉඳලා හරියනවද..?”

“කතා කරලා ඔයා හැමදාම දිනුම්.. මම පරාදයි..”

ඔහුගේ වදන්වලට මම තිගැස්සුනෙමි. ඒ ඔහුගේ වදන්වල නිසරු බවට නොව ඔහු එය කී ආකාරයටය. ඔහුගේ හිත රිදුනේදැයි මම සංතාපවිමි.

“ඇයි ඔයාට දිනන්න බැරිද..? ගුරුවරයෙක් වුණහම කතා කරන්නත් දැනගන්න ඕනනේ..”

මට අවැසි වූයේ විහිළුවක් කර ඔහුගේ රිදුණ හිත සැනසවීමටය.

“ළමයි එක්ක කතා කරන්න පුළුවන් වුණාට ඔයා එක්ක කතා කරන්න තවම ඉගෙන ගන්න බැරිවුණා..”

ඔහු සිනාසී මදෙස බැලීය.

ජනක, අප්පච්චිගේ එකම සහෝදරියගේ පුතාය. ඔහු පවුලේ එකම ළමයාය. ඔහු අපට වඩා වත් පොහොසත්කමින් ඉහළය. මාමා රජයේ රැකියාවක් කර විශ්‍රාම බලා සිටී. ජනක උපාධිය ගෙන ගුරු වෘත්තිය රැකියාව ලෙස කරයි. ඔහුත්, අපත් කුඩා කළ හැදුනේ වැඩුණේ එකටය. අප ඉගෙන ගත්තේ එකම පාසලේය. චූටි නංගී ලැබෙන්නට ගොස් අම්මා මියගිය පසුව අපි නැන්දාට මවකට මෙන් ළංවිමු. අම්මා නොමැතිව අප බලාගත්තේ ඇයයි. මාමා තරමක් සිත සැඩ පරුෂ ගති ඇතිවුවද අපට අනුකම්පා කරයි. නැතිබැරි බොහෝ අවස්ථාවල අපට උදව් උපකාර කරයි. ජනක මට වඩා වසර කිහිපයකින් වැඩිමල්ය. තරුණ වයසට එළඹෙත්ම අප අතර තිබුණු බැඳීම වඩාත් දැඩිවිය. ඔහු මෙන්ම මම ද එකිනෙකාට ලෙංගතු විමූ. අප හදවතින් එකිනෙකාට ආදරය කළෙමු. අපේ ගෙදරට මෙන්ම ඔහුගේ ගෙදරට ද අපේ සම්බන්ධය නොරහසකි.

“ඒ ගමන මොනවද කල්පනා කරන්නෙ..?”

ඔහුගේ හඬින් මම පියවි ලොවට පැමිණියෙමි.

“එතන කොහොම තැනක්ද අරුණි..?”

“ඒ කිව්වෙ..?”

“මොනවද ඔයාට කරන්න තියෙන්නෙ..?”

මම එහි සිදුවන හැම දෙයක්ම දන්නා තරමින් ඔහුට පැවසුවෙමි. සියල්ල ඔහු නිහඬව අසා සිටියේය. මම ගීතිකා ගැනද ඔහුට පැවසුවෙමි. ඒ ඇය ගැන මසිත ඇතිවූ දයාබර හැගීම නිසා වන්නට ඇත.

“පරිස්සමින් ඉන්න.. ගේ ඇතුළෙ හිටිය ඔයා සමාජෙට ගියා විතරනේ.. අපි හිතන තරම් සුන්දර දේවල් ඒවයි නැහැ..”

“ඔයා මොනවා ගැනද හිතන්නෙ..?”

මා ඔහුගෙන් එසේ ඇසුවේ ඇයිදැයි මම නොදනිමි. නමුදු ඉන් ඔහු අදහස් කරන්නේ මොනවාදැයි දැන ගැනීමට මට අවැසි විය.

“ඔයා නොදන්න දේවල් ගොඩක් තියෙනවා අරුණි.. මිනිස්සු ආශ්‍රය කරනකොට ප්‍රවේසමෙන් ඉන්න ඕන..”

“ඔයා බයවෙලා.. ඔයා බයවෙන්න එපා.. මේ ලෝකෙ එහා කෙළවරේ හිටියත් මේ අරුණි අරුණිමයි..”

මම සිනාසුණෙමි. ඔහු මුවග අමනාපයක් විය. ඊට හේතුව මම නොදනිමි.

“ඔයා මහ පණ්ඩිතයෙක්නේ.. ඔයාලගෙ අප්පච්චි තමයි ඔයාව නරක් කරන්නෙ පුතේ කියලා කතා කරලා..”

“අම්මෝ.. ඔයාට තරහ යනවනේ.. වයසට යයි ඉක්මනින්ම..”

“ඉතින් එතකොට තමුසෙට කොල්ලෙක් හොයාගන්න බැරියෑ..”

“ජනක..”

විහිළුව අමනාපයට මුලපුරාවී යැයි මම නොසිතුවෙමි. ඔහුට ද සැබැවින්ම තරහ ගොස් ඇති බව දැනී මසිත බියවිය. දෙමංසල හමු වූ තැන අප දෙදෙනාම නතර විමු.

“මං යනවා..”

“ගෙදර එන්නෑ..?”

“බැහැ.. රෑවුණා.. අම්මා බලන් ඇති..”

ඔහු බයිසිකලයේ නැගී මද දුරක් ගියේය.

“ජනක..”

“ඇයි..?”

“තරහද..?”

“නෑ..”

ඔහුගේ සිනහව මසිත සුවපත් කළේය. අඳුර අතරින් ඔහු නොපෙනී යනතුරුම මම බලා සිටියෙමි.



පසුවදා මම සුපුරුදු ලෙස රැකියාවට ගියෙමි. පෙරදින සිට පැවති නොසන්සුන්කම මෙදින මදක් බැහැරව තිබුණි. මම අනෙක් අය සමග සිනහවී සුහද වන්නට උත්සාහ කළෙමි. ඔවුන්ගෙන් ඇතැමෙක් මාහා පෙරළා සිනාසුන අතර සමහරෙක් මදෙස බලා ඉවත බලාගත්හ. ඉන් මසිත යන්තමින් හෝ පෑරුනද ගීතිකා මා සමීපයේ සිටි නිසා සිතට අස්වැසිල්ලක් ලැබුණි. වැඩ කරන අතරතුර කතාබහ අපට තහනම් විය.

උදෑසන පෙර පරිදිම වැඩ ආරම්භ විය. මා ඉගෙන ගතයුතු දේ බොහෝ බැවින් උන්නදුවෙන් වැඩ කරන්නට සිදුවිය. වැඩ පටන් ගෙන ටික වේලාවකින් අප සිටි තැනට තරුණයෙක් පැමිණියේය. මම වැඩ කරමින් සිටි නිසා ඔහු කොහේ සිට පැමිණියාදැයි නොදුටුවෙමි.  ඔහු මා සිටි තැනට විත් නතර විය.

“ඔයාද අලුතින් ආවා කිව්වෙ..?”

“ඔව්..”

“වැඩ කරන හැටි අහගත්තද..?”

“ඔව්..”

“දන්නෙ නැති දෙයක් තියෙනවා නම් අහගන්න..”

එසේ කී ඔහු අනෙක් මේසය අසළට ගොස් මසා තිබුණ රෙදි කැබලි පරික්ෂා කරන්නට විය. මා ගීථිකා දෙස බැලුවේ කුතුහලයෙනි. ඔහු ඊයේ දකින්නට නොවීය. ඇය මා හඳුනා ගත්තා සේ මදෙස බලා සිනාසිය.

“අපේ සුපවයිසර්.. ඊයෙ ආවෙ නෑ..”

මට වඩාත් ළංවී ඕ රහසින් මෙන් පැවසිය. ඔහු යළිත් අපේ මේසය පැත්තට හැරුණ නිසා ගීතිකාත්, මමත් දෙපසට විමු. නිල් පැහැති කලිසමකින් හා කහ පැහැති කමීසයකින් සැරසී සිටි ඔහු මුවග නිතර සිනහවක් විය. බොහෝ සුහැල්ලුවෙන් සිටින බවක් හා දඟකාරී බවක් ඔහුගෙන් දිස්විය. පැරණි යුවතියන් ඔහු හා කතා කළේ සුහදවය. ඔහු වැඩ පරීක්ෂකවරයෙකු වුවද සැර පරුෂ කෙනෙක් නොවන්නට ඇත.

හැරිස් විජේමාන්න මෙම ෆැක්ටරියේ අයිතිකාරුවා විය. මා ඉන්ටර්විව් කළේ ඔහුය. දිනපතා ඔහු ෆැක්ටරියට පැමිෆනයි. අවුරුදු පනහක් පමණ වයස්ගත බවක් ඔහුගෙන් දිස්විය. කිසිවිට සිනා නොවුණ ඔහු ෆැක්ටරිය පුරා එක් වරක් ඇවිදියි. පසුව ඔහුගේ කාමරයට වැදෙයි. අප වැඩ අවනස්ව යනතුරුද ඔහු එහි සිටියි. ඔහු ඉන්පසුව මා සමඟ නොදෙඩුවද මානෙල් මිස්ගෙන් මා පිළිබඳව විමසා ඇත. ප්‍රශ්නයක් තිබේ නම් ඔහුට පවසන්නටද කියා තිබුණි. අප ගැන බොහෝ විට සොයා බැලුවේ මානෙල් මිස්ය. ඇය කරුණාවන්තය. එසේ නොවන්නේද යන්න දැනගත නොහැකිවූයේ, ඇය බොහෝ විට ළමුන්ට බැණ වදුනද යළිත් සිනාසෙමින් කතා කරන නිසාය. නමුත් සමහර ළමයි ඇය එනවිට සෙමින් කොඳුරන හඬ වරෙක මට ඇසිණ.

“ඔන්න බෝම්බෙ එනවා..”

ඔවුන්ගේ වදන් වලින් මා ඇය ගැන එලෙස නොසිතන්නට හේතුවූයේ ඇය කෙබඳු තැනැක්තියක්දැයි නොදැන උන් නිසාය. මම ගීතිකාගෙන් ඇය පිළිබඳව විමසිමි.

“මුලදි ඔහොම තමයි.. හොදට කතා කරනවා.. ටිකක් පරණ උනහම ඇඟට කඩාගෙන පණිනවා.. කා ඒක්කවත් හිනාවෙන්න බෑ.. කතා කරන්න බෑ..”

“අපි අපේ වැඩ හරියට කරනවා නම් බයවෙන්න දෙයක් නැහැනේ..”

මම ඇය හා පැවසිමි.

“ඒක නම් එහෙම තමයි.. ඒත් බොරුවට කෑගහන එක තමයි පේන්න බැරි.. මොකද අපි වැඩ නොකර නිකන් ඉන්නවයෑ..”

කෙසේ වුවද මට මීටත් වඩා සැලකින්ලෙන් වැඩ කළ යුතු බව තේරුම් ගතිමි. එවිට කිසිවෙකුගෙන් බැන්ම් ඇසීමට අවශ්‍ය නැත. ඔවුන් නිකරුනේ දොස් පවරන්නේ නම් එය අසාධාරණ ක්‍රියාවකි. නමුත් අසාධාරණ හෝ සාධාරණ යැයි කියා ඔවුන් සමඟ තර්ක කිරීමට අපට අකැප දෙයකි. ඒ සියල්ලක්ම විඳ දරාගත යුතු තත්වයට අප පත්ව ඇත.

දිවා ආහාර පැයේදී ගීතිකාත් මමත් එකට හිඳ කෑම කෑවෙමු. පෙරදිනට වඩා ඇය මට වඩාත් සමීප විය. ඇයත්, මාත් අතර පැවතියේ සාමාණ්‍ය ගතිගුණ වුවද ඇය මා මෙන් කිසි දෙයකට බිය නොවේ.

“අරුන්දිකා දන්නවද..? අපේ සුපවයිසර් මහේෂ් සර් හරි කුකුළා.. පරිස්සමින් හිටපන් ටිකක්.. උඹ දිහා ඇස් කරකව කවා බැලුවා..”

ඇය කී දෙයින් මම අනවශ්‍ය ලෙස බිය නොවුණෙමි. ඔහු වැනි කෙනෙකුට මා නොමැති වුවද, ඕන තරම් ගැහැනු ළමයි ඇතැයි සිතුවද ගීතිකා කරන ලද අනතුරු ඇවීම මම සිත්හී තබා ගත්තෙමි. ඔහුගේ හැසිරීමෙන් මට යන්තමින් ඔහු ගැන එසේ සිතුණි. ඔහුගේ ගමන බිමන, කතාබහ කෙනෙක් තුළ එසේ සිතන්නට ඉඩකඩ වැඩිවිය.

සුපුරුදු ලෙස පාන්දර අවදිවන මම ආහාර පිස නංගිලාට හා මටද බත්මුල් බැ අප්පච්චීටත් පිගානකට බත් බෙදා තබා නංගිලාත් සමනිවසින් පිටත් වන්නෙමි. අප තිදෙනා අප්පච්චීගේ දෙපා නමදින විට ඔහුවේදනාවෙන් සුසුම් ලන්නේය. නංගිලා දෙදෙනා නොදුටුවද ඔහුගේ නෙත්වල කදුළු මම බොහෝ විට අවස්ථාවල දකිමි. ගහක් ගලක් සේ දුව පැන වැඩ කළ අප්පච්චී එක්තැන්ව මේ ගෙවන ජීවිතය කටුක බව මම දනිමි. ඔහුට එසේ සිදුවූයේ අපේ කරුමයට යැයි මට සිතේ. අම්මා නැති කළ අප ජීවත් කරන්නට අප්පච්චී දුක් වින්දේය. ඔහු අපට පියෙකුගේ සෙනෙහස පමණක් නොව මවකගේ සෙනෙහසද ලබා දුන්නේය. අම්මා නැති අඩුව අපට නොදැනුණේ ඔහුගේ කරුණාව නිසාය. අප්පච්චී හා නංගිලා දෙදෙනා වෙනුවෙන් ජීවිතේ සියලු දුක්ඛ දෝමනස්සයන් ඉවසීමට මම පුරුදු වූයෙමි.

රාත්‍රී කාලයේ මම නංගිලා දෙදෙනාගේ පාසල් වැඩ කටයුතු සොයා බැලුවෙමි. මට ජය ගන්නට නොහැකි වූ ලෝකය ඔවුන් දෙදෙනාටවත් ළගා කර දීම මගේ අපේක්ෂාව විය. ඔවුන් දෙදෙනාට මැදිව මම මේසයට ළංවිමි. කුප්පි ලාම්පුවේ එළිය මලානිකය. තෙල් තිබෙන්නේ කුප්පි ලාම්පුවේ අඩියේය. කුප්පියේ තොන්ඩුවෙන් ඇල්ලූ මම එහි දැල්ල ඇද එළිය වැඩි කළෙමි.

“ලොකු අක්කේ.. මගේ ගණන් පොත ඉවර වෙන්න ළගයි..”

චුට්ටී පොතෙන් නෙත් ඉවතට ගෙන මදෙස බැලීය.

“වෙන කොල නැද්ද චුට්ටියෙ..?”

“තව කොල දෙකයි..”

“මම අරන් දෙන්නම් මේ දවස් දෙක පහුවෙලා..”

මා එසේ කීවෙ කිව හැකි දෙයක් නොවූ නිසාය. ගේ ඇතුලේ සතයකුදු හෝ නැත. එසේ වූ විට මා චූටි නංගීට කෙසේ හෝ පොතක් අරන් දෙන්නද..? ලොකු නංගීට ද බොහෝ සේ අඩුපාඩු තිබෙන්නට ඇත. නමුත් ඇය කිසිවිටෙක ඇසුවද කිසිවක් කියන්නේ නැත. ලොකු නංගී ගෙදර අඩුපාඩුකම් තේරුම් යන වයසේය. චූටි නංගිට එසේ නොවේ. ඇයට අපේ අසරණ තත්වට නොවැටහේ.. ඇයට එය තේරුම් ගැනීමට තරම් වයසක් නැත. මසිත දුකක් උපදියි. අප්පච්චී වැඩට ගිය දවස්වල අපට මෙතරම් අඩුපාඩු නොවීය. ඔහු කෙසේ හෝ අපගේ උවමනා එපාකම් පිරිමැසුවේය.

“කවදද ලොකු අක්කෙ අරන් දෙන්නෙ..?”

ලොකු නංගීද එවර මදෙස බැලුවේය. අපේ සිව්නෙත් එකට හමුවන මොහොතේ ඈ බිම බලා ගත්තාය.

“කෑ ගහන්න එපා චුට්ටි.. සල්ලි ලැබුණම අරන් දෙයි.. එතකම් මගේ පොතෙක් කොළ ටිකක් කඩල දෙන්නම්..”

ලොකු නංගී දෙස බලා සිටි චුට්ටි නිහඩව යළිත් ලියන්නට විය. ඔවුන් වෙතින් මිදුණු මා දොර ඇරගෙන ඉස්තෝප්පුවට පැමිණියේ අපේ කතාබහ අප්පච්චීට ඇසුනේදැයි දැනගැනීමටය. ඔහු සිටියේ තද නින්දේය. එය සිතට අස්වැසිල්ලක් විය. කොතරම් ගේ ඇතුළට කතා කළද අප්පච්චී  නිදියන්නේ ඉස්තෝප්පුවේ වැල් ඇඳේය. එය පෙර සිට සිදුවූ දෙයක් වුවද අසනීප වූවායින් පසුවවත් ඔහු ගෙ තුළ නිදියන්නේ නම් මැනවැයි මම සිතුවෙමි. කෙතරම් කීවද ඔහු නිදියන්නේ පෙර පුරුදු ලෙසටය. දොර වැසූ මම නැවත නංගිලා අසළට ගියෙමි.


සති කිහිපයක් යන විට ෆැක්ටරිය මට පුරුදු තැනක් විය. ගීතිකාත්, මමත් මේ කාලය තුළ එකිනෙකාට බොහෝ සේ සමීප විමු. මගේ පෞද්ගලික දේද ඇගේ තොරතුරුද මේ වනවිට අප දෙදෙනා දැන උන්නෙමු. මම තනි නොවිමි යන හැගීම මට දැනෙන්නට වූයේ ඇය නිසාය. දිනක් උදෑසන මා වැඩ කරන අසළට මහේෂ් වනිගසූරිය පැමිණියේය. මම ඔහු දෙස නොබලාම මගේ කාර්යයේ යෙදී උන්නෙමි.

දැන් වැඩ පුළුවන්ද..?

මම ඔහු දෙස මද සිනාවක් පෑවේය. ඔහු පිළිබඳව මා කෙසේ අසා තිබුණද සේවා ස්ථානයෙදී අසනා දෙයට පිළිතුරු දීමත්. ඔහු කියනා දේ ඇසීමත් මගේ යුතුමමය. මා පමණක් නොව අනෙක් ළමුන්ද එසේමය.

පුළුවන් සර්..

අරුන්දිකා කොහෙ ඉඳන්ද එන්නෙ..?

මා අසළ සිටි නිර්මලා මදෙස බලා සිනාසුණාය. ඇයටද ඔහු අසනා දේ හොඳින් ඇසෙන්නට විය.

දෙනියකුඹුරෙ..

නොසැලකිල්ලෙන් මෙන් මම ඔහු දෙස නොබලාම පිළීතුරු දුනිමි. මසිත නොසන්සුන් වූයේ මහේෂ් වනිගසූරිය පිළිබඳව අනෙක් ළමුන් දරන ආකල්පය නිසාය. ඔවුන් මා පිළිබඳව කෙසේ සිතාවිදැයි මසිතට බියක් එක් කළේය.

අරුන්දිකාලගෙ ගෙදර කවුද ඉන්නෙ..?

ඔහු සෑහීමකට පත් නොවුණා සේය. මසිත නොසන්සුන්කම වඩාත් දැනෙන්නට විය. මහේෂ් වනිගසූරිය යනු හැරිස් විජේමාන්නගේ නෑදෑයෙක් බව පෙරදා ගීථිකා මට පවසා තිබුණි. මා ඔහු නොසලකා හැරියොත් මේ රැකියාවෙන් සමුගෙන ගෙදර යාමට සිදුවෙතැයි මට සිතුණි. මම හිස ඔසවා වටපිට බැලිමි. අනෙක් ළමුන් ඔවුනොවුන්ට කොඳුරමින් සිනාසෙනවා මම නෙත් කොනින් දුටුවෙමි. එහා මේසයේ සිටි ගීතිකා මදෙස බලා ඔහුට රැව්වාය. එවර මට සිනා පහළ විය. නමුත් ඔහුට නොපෙනෙන්නට මම මුහුණ බිමට  නැඹුරු කරගතිමි. ඔහු පිළිතුරු අපේක්සාවෙන් මදෙස බලා සිටියි. මා හිස ඔසවා ඔහු දෙස බැලුවේ එය ඔහුගේ අවසන් ප්‍රශ්නය නම් එයට පිළිතුරු දී ඉක්මනින් ගැලවීමටය.

අප්පච්චියි, නංගිලා දෙන්නයි..

අම්මා..?

මසිත කෝපය යටපත් වී වේදනාවක් දැනෙන්නට විය. පෞද්ගලිකත්වය දෙඩීම විටෙක වේදනාවක් ගෙන දෙන්නකි. මතකය අලුත් වීමකි. දුක් වේදනා පෑරවීමකි.

අම්මා මියැදිලා..

මම හිස නොඔසවාම පිළිතුරු දුනිමි.

සොරි අරුන්දිකා ඔයාගෙ හිත රිදුනා නම්..

එවර ඔහුගේ ස්වරය බොහෝ සන්සුන් විය. එම ප්‍රශ්නය නැගීම පිළිබඳව සමහර විට ඔහු කණගාටු වන්නට ඇත.

අරුන්දිකා අනිත් ළමයින්ට වැඩිය වෙනස්..

අපගේ සිව්නෙත් හමුවුනා මට මතකය. ඔහු එලෙස පැවසුවේ ඔහුගේ තවත් එක් රැවටිලි වදනක්ද, නොඑසේ නම් සැබැවින්මදැයි මම නොදනිමි. මා වෙනස් යැයි ඔහු අදහස් කළේ මා තුළ පැවති අසරණ විලාසයද, මා අනුකම්පාවට ලක්විය යුතු තැනැත්තියක යැයි සිතන නිසාදැයි මම නොදනිමි. නොඑසේ නම් අනෙක් ගැහැනු ළමුන් හා මා අතර වෙනස්කමක් මට නොදැනුණි. තවත් මොහොතක් මා අසළ සිටි ඔහු එතැනින් ඉවත්විය. මහා සුසුමක් ලෙශා මම හිත සැහැල්ලු කර ගතිමි. කරදරයකින් නිදහස් වූවා වැනි හැඟිමක් මට දැනුණි. එසේ වුවද අනෙක් ළමුන් මා පිළිබඳව කෙසේ කතාබහ කරයිද යන්න පිළිබඳව මසිත නොසන්සුන් විය. හැමවිටම වතුර ගලා ගියේ පහත් තැනින්ය.

පරිස්සම් වෙයන්.. මම දැක්කා උඹ දිහා ඇස් කරකව කව බලනවා..

මට ගීතිකා කී දෙය සිහිපත් විය. මසිතට අසරණ හැඟීමක් ඇතිවිය. ඔහු මා පිළිබඳව මෙසේ විමසිලමත් වූ පමණිත් මා බිය විය යුතු නැත. එකම සේවා ස්ථානයේ සිටිනව විට ඔවුනොවුන් පිළිබඳ තොරතුරු අසා දැනගැනීමේ සාමාණ්‍ය දෙයකි. නමුත් මහේෂ් වනිගසූරිය වැනි පුද්ගලයෙකු සමග ඕනවට වඩා දෙඩීම කතාවක් සෑදීමට මුල පුරන්නකි. මට ජනක සිහිවිය. ඔහුගේ වදන් සිහිවිය. ජනක සිහිවීමත් සමගම මහේෂ් කෙරෙහි සිත තුළ පැවති නොසන්සුන් බව නිමාවිය. මා බියට පත්ව ඇත්තේ සුළු සිදුවීමකටය. සියල්ල අමතක කර දමා මම සුපුරුදු කාර්යයෙහි නිරත විමි.

කෑම පැය දැනුම් දුන් විට ගීථිකා මා සොයා ආවාය. සුදුපාට පූසකුගේ ඇස් අලල්මින් සිටි මම එය නිමා කර ඇය දෙසට දිගු කලෙමි.

ලස්සනද..?

ලස්සනයි.. ඒත් බය හිතෙනවා..

ඇයි..?

උපාසක බළලෙක්ද දන්නෙ නෑනෙ..

ඇයත්, මමත් එකවර සිනාසුණෙමු. අප දෙදෙනාම විවේකාගාරයට ගොස් හිඳ ගතිමි.

උපාසක බළලා මොනවද කියන්නෙ..?

කවුද..?

මහේෂ් වනිගසූරිය..

ඇගේ වදන් මා මුවඟට සිනා නැංවිය. මම සියල්ල ඇයට පැවසුවෙමි. ඇය සියල්ල නිහඬව අසා සිටියාය.

අපි බලමුකො එයා මොකාටද එන්නෙ කියලා.. උඹ පාඩුවෙ හිටපං.. නිකන් කලබල වෙන්න ඕනෙ නැහැනෙ..

ඇගේ වදන් මසිත නිවීය.

මට බය  අනෙත් ළමයි මං ගැන මොනවා කතා කරයිද කියලා..

හැම අතටම නැමෙන දිවක් තියෙන නිසා එහෙම තමයි බං.. අපි හරි නම් බයවෙන්නෙ මොකටද..? උඹෙන් ඇහුවොත් කියපං උඹට කෙනෙක් ඉන්නවා කියලා..

සවස මා නිවසට යන විට නැන්දා ඇවිත් උණන්ාය. මා නිවසට ඇතුළු වූයේ සිනාසෙමින්ය. නංගිලා, අප්පච්චීගේ වැල් ඇඳට වී නැන්දා සමඟ කතා කරමින් උන්නාය.

නැන්දා දැන්ද ආවෙ..?

මම ඇවිත් ටිකක් වෙලා.. උඹවත් බලලා යන්න හිටියෙ.. හුඟ දවසකින් මේ පැත්තෙ එන්න බැරි උනානේ..

බෑගය පසෙකින් තැබූ මම උළුවස්සට හේත්තු වුණෙමි.

උඹ රස්සාවකට යනවා කිව්වෙ පුතේ.. හොඳඳ..?

නරකක් නෑ නැන්දෙ..

අනේ මංදා.. උඹ ඉගෙන ගත්ත එකත් අතරමග.. ඒත් මොනවා කරන්නද..?

නැන්දා තේ ටික්ක බිව්වද..?

මම නංගිලා දෙස බැලුවෙමි. මට අවශ්‍ය වූයේ මේ කතා බහ ඔස්සේ වැඩිදුර නොයන්නටය.

ඔව්.. ඔව්.. මම බිව්වා..

අක්කට රෑ වෙනවා..

අප්පච්චී අඳුර දෙසට නෙත් හෙළිය. හාත්පස මඳ අඳුර පැතිර යමින් තිබුණි.

ඔව්.. මම ගිහිල්ලා එන්නං.. මම උඹ එනකම් හිටියෙ..

ඈ ලී පුටුවෙන් නැගිට්ටාය.

පරිස්සමින් වැඩ කරගෙන පලයං.. උඹ විතරනේ දැන් මේවා බලන්න ඉන්නෙ..

මම ඇය දෙස බලා මඳ සිනාවක් පෑවෙමි. ඈ සැමදා මවක මෙන් අපට දයාබරය.

මම යනවා එහෙනං..

ඈ අප දෙස බලා ඉස්තෝප්පුවේ පඩියෙන් එළියට බැස්සාය. මම කඩුල්ල දක්වා ඇය සමග ගියෙමි. අඳුර අතරින් නැන්දා ඉක්මන් ගමනින් නොපනෙී ගියාය. කඩුල්ලේ උණ ලීය හරස් කළ මම ගෙට ඇතුලු විමි.

සතුට යනු කුමක්දැයි මා හැඳින්නේ අනුන්ගේ සිනහවෙනි. මා වටා සිටියවුන් සතුටු කර මම අපමණ සැනසිල්ලක් ලදිමි. ඔවුන්ගේ සතුට මගේ සතුට විය. ඒ මේ ජීවිතයේ මා ලද භාග්‍යකි. කඳුලු අතරින් නැගෙන සිනහව වඩාත් වටින්නේ යයි මම සිතමි. ඉතින් කඳුළු අතරින් සිනාසෙන්නට මම උත්සාහ කළෙමි. මා රැකියාවට ගොස් මාසයක් ඉක්ම ගියේ නොදැනීමය. මේ වනවිට රැකියා ස්ථානය මට හුරු පුරුදු තැනක් විය.  එහි සිටි අය අතර මමද පැරණි තැනැත්තියක් විය. ගීතිකා තරමට සමීප නොවුණද බොහෝ දෙනා මට හිතවත් විය. මාසයක් ඉක්ම යනවිට මමද අනෙක් ළමුන් මෙන් වැඩ කිරීඹට පුහුණුව ලැබුවෙනමි. එය සිතට අස්වැසිල්ලක් විය. කා සමගත් සුහදව සිටීමට මට පුළුවන් විය.

අද පඩි දිනයයි. සිත තුළ සතුටක් මොදු විය. ඒ ජීවිතයේ ප්‍රථම වරට මා දුක් මහන්සියෙන් යමක් උපයා ගැනීම නිසාය. එසේම අප්පච්චීත්, නංගිලා දෙදෙනාත් රැක ගැනීමට තරම් ශක්තියක් ලැබීමත්ය. සවස කාර්යාලයෙදී දිසානායක මහතා අතින් පළමු පඩි පැකැට්ටුව මා දෝතට ගතිමි. ගෙදර යාමට ප්‍රථම ගීතිකාත් සමග ටවුමට ගොස් ගෙදර සියලු දෙනාටම අවශ්‍ය දේ මිලට ගතිමි. මගේ පඩිපත සුළු මුදලක් වුවද එය මට බොහෝ වටින්නක් විය. ඉන් සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ නොහැකි වුවද මම අවශ්‍ය දේ මිලට ගතිමි. ඒ අතර ජනකට පෑනක්ද මිලට ගතිමි. ඒ හිතේ සතුටටය. එය දුන් විට සමහර විට ඔහු දොස් පවරනු ඇත. එසේ වුවද මසිත සතුටක් උපදියි. ඔහු රැකියාවට ගොස් ලබාගත් ප්‍රථම වැටුපෙන් මට ගවුම් රෙද්දක් ගෙනත් දුන්නේය. එදින ඔහු මුවග තිබූ සතුට මට සිහිවිය. එවැනි අහිංසක සතුටක් ලැබීමට මමද ආශා කළෙමි. ගීතිකාගෙන් සමුගත් මා බස් නැවතුම වෙත ඇඳුනේ ඉක්මනින් ගෙදර යාමටය.




No comments:

Post a Comment