Tuesday, July 17, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |


එදින දහවල් ආහාරය ගෙන අහවර වූ මා කාමරයට වැදී සිතේ දුක තුනී කරන්නට මෙන් නිසදැස් ලීවිමි. දුලාජ් අයියාට පිදූ ආදරය ඒ සෑම එකකම ඇතුළත්ව තිබුණි. නමුත් මට අවැසි වූයේ එය නොවේ. මගේ සිතේ දුක පත් ඉරු මත දිගහැරීමටය. ඉතින් මම තවත් වරක් උත්සාහ කළෙමි.

මුළු සිතම අවුළුවා
කෑ ගහා හඬන්නට
නෙත් කෙවෙනි හට සීත
කඳුළු කැට කොයින්දෝ...

රෑ පුරා නිදිවරා
උණුසුම්ව හෙළන්නට
පුංචි සිතකට මෙබඳු
සුසුම් වැල් කොයින්දෝ...


අඳුරු සිත එකළු කර
සිනහවක් මවන්නට
පාළු හදකට මිහිරි
සිහිනයක් හොයින්දෝ...

සසල වූ මගේ සිත
නිසංසල කරන්නට
කඳුළු හා සුසුම් වැල්
වලට හැකි වේවිදෝ...

එය ලියා අවසන් කළ ද සිත තෘප්තිමත් වූයේ නැත. ඉතින් මම එම කඩදාසිය ගුලි කර මේසයේ කොණකට දැමූවෙමි. එසැණින් පාත් වූ දිගැති අතැගිලි සහිත අතක් එය ග්‍රහණය කර ගත්තේය. මම වහා හැරී බලද්දී මට පිටුපස උන් රුවන් මල්ලී එම කොළය දිගහැර කියවන්නට විය.

හිත ඔය තරමටම සසල වෙලාද අක්කා..?

ඔහු ගැඹුරු  හඩින් අසද්දී මම දෙනෙත් දුරකට පා කළෙමි.

හැමදාම කරුවල නෑ. අමාවක ගෙවුණාම පුර හඳ පායන්න ගන්නවා. එතකොට ජීවිතේ එළිය වෙයි.

මල්ලිට කවි සිතුවිලි පහල වී ඇතුවා වැනිය. ඔවැනි සොඳුරු අදහස් ඔහු සතුව තිබුණයැයි මා දැන උන්නේ නැත.

ඔයා වෙනස් වෙලා මල්ලි..

ඔව්.. මං වෙනස් වෙලා.. ආදරේ නිසා වෙනස් වෙලා..

මට ඔහුව වැටහුණා නොවේ. කෙසේ වුව ද ඔහු පෙරට වඩා සතුටින් ඉන්නා වග පැහැදිලිය. ඉතින් ඔහු යමක් කියනා තුරු මා බලා සිටියෙමි.

මට ආදරේ දිහා සුභවාදීව බලන්න පුළුවන්..

ඒ කටහඩේ සතුටක් ගැබ්ව තිබුණි. ඔහු ආදරය දෙස සතුටින් බලන්නට උත්සාහ ගන්නා විට මගේ ආදරය මා හඬවමින් හිඳී. සෙනෙහස කොතරම් පුදුම සහගතදැයි සිතා බලද්දී මට මියුරු ගීයක් සිහිපත් විය.

ප්‍රේමය ලොව හැම තැනම ඇතී...
හැම දෙනටම හමුවෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී...

මල්ලී මගේ දෑසට එබෙද්දී මම පියවි සිහියට පැමිණියෙමි.

හැම වෙලේම දුක හිතෙන විදියට හැසිරෙන්න එපා. දැන් තාත්තා මග එනවලු. අපි පහළට යං...

මාස කිහිපයකට පසුව මාමාට මුහුණ දිය යුතු නිසා ව්‍යාජ සිනාවක් තොළගට ඇඳ ගතිමි. නමුත් එය සාර්ථක වූවාදැයි මා දැන උන්නේ නැත.

අප පහළට යන විට නැන්දා මිදුලට වී මාමා එන පෙරමඟ බලා උන්නේය. මම ද ඈ ළගින්ම හිඳ මිදුල සිසාරා බැලිමි. මේ තිබේනනේ ලොකු මාමා විදෙස් ගත වීමට පෙර තිබූ ගෙමිදුල නොවේ. නොයෙක් මල් වර්ග හා විචිත්‍ර පැළ වලින් සමන්විත වර්ණ ගන්වන ලද මල් පෝච්චි පිරි ගත් ක්‍රමානුකූළ ගෙමිදුලකි. නැන්දා එය අතුගා ක්‍රමානුකූලව තබා ඇත. සුළඟට බරව දෙපසට වැනෙමින් තිබූ එක එක ප්‍රමාණයේ රෝස මල් සිතේ පහන් හැඟීමක් ඇති කරලීමට සමත් විය.

අම්මා.. එයාලා කෝල් කළාද..?

මල්ලී ඇසූ බහු වචනය මට වැටහුණේ නැත. පැමිණිය යුතුව තිබුනේ ලොකු මාමා පමණකි.

කවුද එයාලා.?

නැන්දා මල්ලී දෙස බලද්දී ඔහු තිගැස්සෙනවා මම දුටුවෙමි. ඔවුන් යමක් මගෙන් සඟවාගෙන ඉන්නවා යැයි මට මොහොතකට සිතුණි. එවෙලෙහි ම ගේට්ටුව ඉදිරිපස නතර කළ රථයක් නළාව ශබ්ද කරන්නට විය. නැන්දා ගේට්ටුව විවර කරද්දී මම ලොකු මාමා පිළිගැනීමට අඩියක් දෙකක් පෙරට ගියෙමි.

මගේ දෝණි... කොහොමද පුතේ..?

මාමා මල්ලීවත් මාවත් සිය තුරුලට ගනිද්දී මම ඔහුගේ උරහිසට උඩින් ඡායාවක් දුටුවෙමි. මට මගේ දෑස් විශ්වාස නැතුව ගියේය. රථයේ පසුපස දොර හැර බිමට බැස්සේ මා රට ඉන්නවායැයි සිතා උන් මගේම මවය. මම ඇසිපිය නොහෙලා ඈ දෙස බලද්දී ඇය දෑසට කඳුළු පුරවා මදෙස බලා උන්නා ය. මගේ හුස්ම ගැනීමේ වේගය වැඩිවෙනවාත් මගේ ඇඟ වෙව්ලනවාත් මට දැනුණි. ඒ දුටු මල්ලී මගේ ඉන වටා දෑත යවා මාව නිවස තුළට දැඳවාගෙන යෑමට උත්සාහ දරුවේ ය.

මාමා.. මෙයාව මොකටද එක්කන් ආවේ..?

මගේ හඬ බොහෝ දැඩි වන්නට ඇත. සැබැවින්ම මට මවකගේ සෙනෙහසක් අවැසි නොවේ. තාත්තාගේ මරණයත් සමඟ මම ඇයවද සිතින් මිහිදන් කළෙමි.

හරි අපි ගෙට ගිහින් කතා කරමුකො... චූටි පුතා. අක්කව ගෙට අරන් යන්න. රූපි ඔය බෑග් ටික ගන්න.

මාමාගේ අණට මම රොබෝවකු සේ අවනත විමි. මල්ලී මාව සාලයේ පුටුවකට බර කළේය.

නංගී.. ගෙට ඇවිත් වාඩි වෙන්න.

අම්මා ගෙට පය තැබුවේ මගේ මුහුණ දෙස චකිතයෙන් බලමිනි. මම ඇයව දවා අළු කර ගත හැකි මට්ටමේ බැල්මක් හෙළා දෑත් මිට මොලවා ගතිමි. මගේ වෙනස වටහාගත් මාමා පැමිණ මා ළඟින්ම හිඳ ගත්තාය.

දෝණි තරහින් කියලා මං දන්නවා. මේ වෙලාවෙ අම්මා මං එක්ක ආපු එකත් ඔයාට පුදුම ඇති.

ආපු ගමන් ඕවා ගැන කතා කරන්න ඕන නෑ. මුලින්ම චේන්ජ් එකක් දාගෙන ඉන්නකො.

නැන්දා ඔහුව වළක්වා කියද්දී මම අඩියට දෙකට පියගැට පෙල නැගීමි. හැම විටම මගේ සෙවණැල්ල මෙන් වූ රුවන් මල්ලී මේ මොහොතේ ද මා පසුපස පැමිණ උන්නේය.

හදිසි වෙලා තීරණ ගන්න හදන්න එපා අක්කෙ. ඉස්සෙල්ලා එයාලට කතා කරන්න ඉඩ දෙමු. ඊට පස්සෙ අපි හොඳ විදියක් බලමු.

මල්ලී නොදන්නවා සේ උන්නාට ඔහු ද මේ කුමන්ත්‍රණයේ හවුල්කාරයෙකි. ඉතින් මට ඔහු කෙරෙහිද තරහක් ඇති වුණි.

මා මෙතෙක් සිතා උන්නේ අම්මා මැදපෙරදිග රටක රැකියාවට ගිය බවකි. එසේ වූවා නම් ලොකු මාමාට ඇය මුණ ගැසීමට අවස්ථාවක් නැත. ඇය ජපානයේ උන් බවක් හෝ රට ගිය පසු මාමා හෝ නැන්දා සමග සම්බන්ධඛමක් පැවැත් වූ බවක් මා නොදැන උන්නෙමි.

ඒ සියල්ලටම පෙර මට හරහා නැඟුණේ ඈ දැකීමත් සමගම මීට මාස ගණනකට පෙරාතුව මියගිය මගේ දයාබර තාත්තා සිහි වීමෙනි.

කල්පනා කරලා ආපහු ලෙඩ වෙන්න එපා. ටිකක් ඉවසීමෙන් වැඩ කරන්න..

මල්ලී කාමරයේ උන් වගක් මා සිහියේ තිබුණේ නැත. ඔහු මසිත කියවන්නට ඇති බව මට සිතුණි.


ලොකු මාමා නැවත එන තෙක් කොතෙක් බලා උන්නද අම්මලාගේ ආගමනයත් සමග මම මුළුගැන්වී සිටියෙමි. නමුත් රාත්‍රී කාලයේ මාමා මා සාලයට කැඳවා ගත්තේය.

නැන්දා අම්මා මෙන්ම රුවන් මල්ලීද සෙටියට වී කතා කරමින් උන් අතර මම දුටු සැනින් ඔවුන් නිහඬ වූහ.

හැමදේම හිත්වල තියාගෙන ඉඳලා වැඩක් නෑ. අපි හැමෝම විවෘතව කතා කරමු.

මාමා කතාව ආරම්භ කිරීමට පෙර කොන්දේසියක් පැනෙව්වේ ය. නමුත් මම නොදොඩා උන්නෙමි.

දෝණි හිතන් ඉන්නෙ ඔයාගෙ අම්මා ඔයාට ආදරේ නෑ කියලනේ. ඒක වැදියි දූ. ඔයා මෙහෙ ආපු දවසෙ ඉඳලා අම්මා ඔයා ගැන හෙව්වා බැලුවා. ඔයා වෙනුවෙන් සල්ලි එව්වා.

ඔච්චර ආදරේ නං ඇයි මාව දාලා ගියෙ.....?

සිතේ තරහා වැඩි කමට මම නැන්දාගේ කතාවට බාධා කළෙමි. අම්මා දෑසේ කඳුළු පරවා මදෙස අසරණ බැල්මෙන් බැලුවාය.

දාලා ගියා නෙමෙයි දූ.... එයාට යනන් උණා. මම මගේ නංගි නිසා මෙයා සුද්ධ කරනවා නෙමෙයි. අම්මා වැරැද්දක් කළා. ඒත් එයා ඔයා හිතන තරම් නරක කෙනෙක් නෙමෙයි.

මට නැන්දාගේ මෙන්ම මාමාගේ ද කතා වැටහුණේ නැත. ඔවුන් දෙදෙනා මගේ හිත හැදීමට මෙන් අම්මා නිදොස් කීමට උත්සාහ දරතී.

අම්මා අවුරුදු පහළොවේ ඉඳලා කෙනෙකුට ආදරය කළා දූ. ඒත් ඔයාගෙ ආච්චිවත්, සීයවත් ඒකට කැමති වුණේ නෑ. එයාලා අම්මගෙ අකමැත්තෙන් එයාව ඔයාගෙ තාත්තට බන්දලා දුන්නා.

මාමා දිගු කතාවක් කෙටි කර පවසද්දී මම ඕනෑකමින් එයට කන් දී උන්නෙමි.

අම්මා නැති දුක දරාගන්න බැරිව එයා හමුදාවට ගියා. දවසක් එයා යුද්දෙන් දරුණු තුවාල ලැබුවා කියලා ආරංචි වුණා. ඔයාගෙ අම්මා වෙනස් වුණේ එදා ඉඳලා. නංගි.....?

කතාව මාමා අම්මාට බාර කළේය. එවර නම් මම තරමක් උනන්දුවෙන් එය අසා උන්නෙමි.

ඔව්.. මගේ අකමැත්තෙන් වුණත් මාව බන්දලා දීලා තිබුණෙ නියම වැදගත් මහත්තයෙකුට. ඉතිං අපි ආදරෙන් හිටියා. අයියා කිව්වා වගේ නලීන් බෝම්බයකට අහුවුණා කියලා ආරංචිය ආපු දවසෙ මගේ ඉහ මොළ රත් වුණා.

පරණ දේවල් අලුත් වුණේ එදා ඉඳලා. මම හැමෝටම හොරෙන් ආමි හොස්පිට්ල් එකට ආවා ගියා. ඒත් ඒකත් මගේ මහත්තයට ආරංචි වුණා. එදා ඉඳලා අපි අතරෙ නිතර රණ්ඩු ඇති වුණා. මට ඕන වුණේ ආපහු නලීන් ළගට යන්න නෙමෙයි. මං හින්දා ආමි එකට ගිහින් ආබාධිත වුණ එයාට මගේ යුතුකම ඉටු කරන්න.

ඒකෙන් අපේ පවුලෙ සමගිය නැත්තටම නැති වුණා. අපි තුන්දෙනා වෙන වෙනම ලෝක වල තනි වුණා.

අම්මා සිය පාපොච්චරාණය දිගහරිද්දී මම අතීත සිදුවීම් ඒ කතාව හා ගැළපීමට උත්සාහ දැරීමි.

අවුරුදු ගාණක් ඔය විදියටම කාලෙ ගෙවුණා. දවසක් නලීන්ට හොදටම අමාරුවෙලා ඉස්පිරිතාලෙ ඉඳලා පණිවුඩයක් ආවා. ඔය වෙද්දී එයාගෙ දකුණු කකුල කපලා තිබුණෙ

ඉතින්......?

මටත් නොදැනිම මගේ මුවින් එසේ පිටවද්දී අම්මාගේ දෑස් දීප්තිමත්ව යනවා මා දුටුවෙමි.

එයා ළග නවතින්නවත් කෙනෙක් එදා හිටියෙ නෑ. එයාගෙ නෑදෑයො කීප දෙනෙකුට පණිවුඩ දීලා බැරි වුණ තැන එදා මං නලීන් ළග නවතින්න තීරණය කළා. ඒක තමයි ජීවිතේ මං ගත්ත මෝඩම තීරණය.

අප සැම දෙනාම මීයට පිම්බා වගේ නිශ්ශබ්දව එයට කන් දී උන්නෙමු. අම්මා දිගටම කතාව කියාගෙන ගියාය.

මං එදා ගෙදර ආවෙ නැති එකට දූලගෙ තාත්තා කලබල වෙලා. එයා හිතලා තියෙන්නෙ මං නලීන් එක්ක පැනලා ගිහින් කියලා. ඒක දරාගන්න බැරිව තමයි එයාට පපුවෙ අමාරුවක් ඇවිත් තියෙන්නෙ.

අම්මා මොහොතක් දෙදණේ හිස හොවා හඬා වැටුණාය. නමුත් මසිතේ නම් ගණගාටුවක් ඇති නොවුණි.

එයා නැති වුණා කියලා දැන ගත්ත වෙලේ මං නලීන් බෝම්බෙකට අහුවුණා කියලා දැනගත්ත දවසට වඩා දුක් වුණා. මං මොන වැරැද්ද කළත් ඒ මනුස්සයා මට පුදුම විදියට ආදරේ කළා.

එයා නැති ගෙදර තවදුරටත් ජීවත් වෙන්න බැරි නිසා තමයි මං තුන්මාසෙ දානෙ ඉවර වුණ ගමන් රට ගියේ.

අම්මා කතාව ඉවර කරද්දී මට අලුතෙන් සිතීමට යමක් ඉතිරිව තිබුණි. ඇය වරදට පෙළඹුණේ ඇගේ පළමු ආදරය නිසාය. ඈ නොදන්නවා වුව ද ඇගේ දියණිය ද මේ වන විට ප්‍රථම ප්‍රේමය නිසා දුක් විඳී.

හරි.. දෝණි බුද්ධිමත් ළමයෙක්නෙ. එයා හිතලා එයාට කැමති තීරණයක් ගනියි. නංගි ඔයාගේ අනිත් යෝජනාව දූවට කියන්න.

මාමා අම්මගේ කතාවට අනුබල දෙද්දී ඇය යළිත් මදෙසට හැරුණි.

මං නිතර රූපිකාට කතා කරලා ඔයාගෙ දුක සැප ඇහුවා දූ. ඔයාට මාව හම්බ වුණ දවසක කතා කරන්න කියලා මං මෙයාලට මගේ විස්තර දීලා තිබුණෙ.

දූ අසනීප වුණා කියලා ආරංචිය ආව ගමන් මං කලබල වුණා. රූපිකා කිව්වා වගේ ඔයා අමාරුවකින් ඉන්නවා කියලා. හැම වෙලේම දුකින් ඉන්නවා කියලා.. ඉතිං මං ලංකාවට ආවා.. නිකම්ම නෙමෙයි මගේ දුවව මගේ ළඟට ගෙනියන්න ඕන හැම දෙයක්ම ලෑස්ති කරගෙන.

ඒ කතාවට මගේ පපුව තිගැස්සී ගියා වගේය. නමුත් රුවන් මල්ලී මටත් වඩා කලබලව උන්නේය.

අනේ එපා නැන්දෙ.. අක්කව ගෙනියන්න එපා.. ප්ලීස්..

ඔහු දෑත් එක්කර වඳිමින් කියද්දී ඒ දෑස්වලින් කඳුළු කැට කඩා හැලුනි. මම ඒ විසල් සොඳුරු පෙම දෙස සංවේදීව බලා උන්නෙමි.

නැන්දටවත්, අක්කටවත් බල කරන්න එපා චූටි පුතා. එයාලට නිදහසේ තීරණ ගන්න ඉඩ දෙන්න.

මාමා මල්ලීව අම්මා ළගින් ඉවත් කරද්දී ඔහු පිස්සෙකු මෙන් හඬා වැළපෙන්නට විය. ඒ දුටු මගේ දෑසින් ද කඳුළු ගලා ගියේය.

අපිට කළුතර නවතින්න බැරිද අම්මා..?

බොහෝ කල් වේලා ගෙන මා ඇසූ පැනයට අම්මාගේ මෙන්ම මාමාගේ මුවෙහි විස්මයක් ඇඳුණි. මං අම්මා කෙරෙහි ළංවීම ඔවුනට පුදුමයක් වන්නට ඇත.

නමුත් සත්‍යය එය නොවේ. මට අවැසි වූයේ දුලාජ් අයියාව නෙපෙන මානයෙන් ඉවත් වී හිත හදා ගැනීමටය. ඔහුගේ සොඳුරු රුව අමතක කර දැමීමටය. අම්මාගේ සිතේ මා ගැන ආදරයක් ඉතිරිව තිබීම එයට පහසුවකි.

කළුතර ගියොත් ඔයාට වගේම මටත් හිත හදාගන්න බැරිවෙයි දෝණි. ඒ ගෙදර ඔයාගෙ තාත්තා ඉන්නවා වගේ මට දැනෙනවා.

එය නම් සැබෑවකි. රුවන් මල්ලී සමග කලකට පසු කළුතර ගිය දිනද මට තාත්තාගේ සුවඳ දැනුණේ ය. නමුත් මා ඒ නිවහනට ඒ වටපිටාවට ආසා කළෙමි.



No comments:

Post a Comment