Sunday, July 15, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |


නැවත යෑමේ බලාපොරොත්තුවෙන් දින දෙකක කාලයක් සඳහා දුලාජ් අයියා කොළඹ පැමිණි වග සීතා ඇන්ටි කීවා ය. නමුත් ඔහු පැමිණි බව කීමට දුරකථන ඇමතුමක්වත් නොදුන් බැවින් මම පුදුම විමි. මා සාලයේ කුළුනකට බර දී කල්පනා කරමින් හිඳිද්දී රුවන් මල්ලී හැඳ පැළඳගෙන කාමරයෙන් පිටතට පැමිණියේය.

අක්කා ඔයා අර ලයිබ්‍රරි ෆෝම් එක පුරවලා ඉවරනං අද ගිහින් බාර දෙමු.


පොත් කියවීමට අවැසි නිසා පුස්තකාලයට බැඳිය යුතු බව කී විට මල්ලී අයදුම්පතක් ගෙනැවිත් දුන්නේය. මම එය පුරවා සම්පූර්ණ කර තිබුණි.

අද කොහොමද යන්නෙ.? ඔයා වැඩනේ.?

මම යන්නෙ ඒ පැත්තෙන්. ඔයාව මම පුස්තකාලය ගාවින් බස්සන්නම්. ඔයාට ආපහු බස් එකේ ගෙදර යන්න පුළුවන්නේ..

මේ දරුවට පාරවල් හොයාගන්න පුළුවන් වෙයිද චූටි පුතා..

නැන්දා මටත් වඩා බියපත්ව උන්නා ය. ඒ දුටු මට ඇය ගැන ඉමහත් ආදරයක් දැනුණි.

අක්කා බබෙක් නෙමෙයිනෙ අම්මා. මං එයාට එන්න ඕන විදිය කියලා දෙන්නම්.

නැන්දා කිසිත් නොකියා කල්පනා කරද්දී මල්ලී බලෙන්ම වාගේ මාව ගමනට හවුල් කර ගත්තේය.

අදත් මාව ගෙනියන්නේ කාට හරි මුණගස්සන්නද..?

බයිසිකලයටනැගුණු සැනින් මම විමසද්දී ඔහු සිනහ නැගුවේ ය.

එහෙම දේකට නෙමෙයි. ඒත් අක්කත් පාරවල් දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනේ..

අතුරු පාරවල්වලින් ඉක්මනින් යා හැකිව තිබුණත් මල්ලී බස් යන ප්‍රධාන පාරවල් ඔස්සේ ගමන් කළේ මට පාරවල් කියා දීමේ අරමුණෙනි. එම මාර්ගවල ගමන් ගන්නා බස් රථ හා බස් නැවතුම්පලවල් පිළිබඳව ඔහු මා දැනුවත් කළේය.

මේක තමයි දුලාජ්ගෙ ඔෆිස් එක.

කොළඹ හතේ ගාම්භීර ගොඩනැගිල්ලක් අබියස බයිසිකලයේ වේගය බාල කළ මල්ලී කීවේය. මම එදෙස ඉතා ඕනෑකමින් බැලුවෙමි.

පුස්තකාලෙ තියෙන්නෙ මේ පේන දුරින්.

මල්ලී මට පාරවල් විස්තර කිරීමේ යටි අරමුණ මට පැහැදිලි විය. ඔහුට අවැසිව ඇත්තේ මාවත්, දුලාජ් අයියාවත් ළංකර මසිත සතුටින් තැබීමට ය.

මේ තියෙන්නෙ පුස්තකාලෙ. අක්කා ඔය ෆෝම් එකයි අයි ඩී එකයි අතට ගන්න. ඔය ඉස්සර පේන බිල්ඩින් එකට ඕක භාර දීලා සල්ලි ගෙවන්න.

මට නැවත යා යුතු පාරවල් ද කියා දුන් මල්ලී මා අතට බලෙන්ම රුපියල් දහසක් දී යන්නට ගියේය. ඔහු නොපෙනී ගිය පසු මම පුස්තකාලයට පා තැබිමි.

අයදුම්පත භාරදී මුදල් ගෙවීමේ කාර්යයට ගත වූයේ පැය කාලකටත් අඩු සීමාවකි. පිටතට පැමිණි සැනින් මට දුලාජ් අයියා මුණ ගැසීමේ සිතක් පහළ විය. ඔහු දින දෙකකින් පසුව නැවත කෑගල්ලට පිටත්ව බව පෙරදා සීතා ඇන්ටි කීවාය. එබැවින් ඔහුගේ මුහුණ දැක ගැනීමේ ආශාවකින් මා නොසන්සුන් විමි.

රුවන් මල්ලී පෙන්වා දුන් මග ඔස්සේ මා ඔවුන්ගේ කාර්යාලයට පා නැගුවේ තැතිගත් සිතින් යුතුවය. ඔහුව මුණ ගැසීමට පැමිණෙන්න යැයි දුලාජ් අයියා කොතෙකුත් කියා තිබුණද මා මේ ඔහු දැකීමට යන ප්‍රථම වතාවයි.

මිස් කාව හම්බවෙන්නද.?

ආරක්ෂක කුටියේ උන් නිලධාරියා පියකරු සිනාවක් පාමින් විමසුවේය.

ගිණුම් අංශයේ දුලාජ් මනුප්‍රියව මුණගැහෙන්න.

කුටියේ වූ දුරකථනයෙන් ඇමතුමක් ගත් ඔහු පසුව මාව කාර්යාලය තුළට කැඳවාගෙන ගියේය.

අර ඉන්නෙ මිස්.

විදුලි සෝපානයේ දෙවන මහලට ගිය පසු ඔහු දුලාජ් අයියා උන් කුටිය පේනවා පිටත් විය. මම වටපිට බලමින් එතුළට ඇතුළු විමි. අඩක් වීදුරු වලින් ආවරණය කර තිබූ එහි මේස දෙකක් පනවා තිබුණත් එහි එක් මේසයක් හා අසුනක්ව හිස්ව තිබුණි. එතුල වැඩ කරමින් උන්නේ දුලාජ් අයියා පමණි. මා දුටු ඔහු කටත් බාගෙ ඇරගෙන පුටුවෙන් අඩක් පමණ නැගී උන්නේය.

මීනු.. නංගා ඔයා මෙහේ..?

මගේ හදිසි පැමිණිම ඔහුගේ සිත කලඹා ඇති සෙයකි. ඔහුව පුදුම කර මම අහිංසක සතුටක් වින්දෙමි.

ඉඳගන්න..

ඔහු මේසය අද්දර තිබූ පුටුව පසෙකට ඇද මට ඉඳගැනීමට සැලැස්විය.

මං ඉක්මනට යන්න ඕනෙ.

ඇයි හදිසියෙම..?

ලයිබ්‍රරි එකට ආපු ගමන් ආවෙ..

බලන්න නංගි.. මට ආපහු අනිද්දා කෑගල්ලෙ යන්න වෙලා. තව මාසයක් විතර එහෙ ඉන්න වෙයි වගේ.

අයියා ආවා කියලා මට කිව්වෙත් නෑ.

මම බොරු තරහක් පෙන්විමි. ඔහු දුකගත් ඇසින් මදෙස බලා උන්නේය.

කියන්න තරං වෙලාවක් තිබුනෙ නෑ බබා. මං ඊයෙ හවස ආවෙ.

වෙනදා නම් දිනපතාම වාගේ මා අමතන ඔහු පෙරදා රාත්‍රියේ කෙටි පණිවුඩයක් හෝ එවීමට වේලාවක් නොවූ බව පිළිගත නොහැක. නමුත් මා ඔහු සමග තර්ක කරන්නට නොගියෙමි. එවෙලෙහිම මල්ෂාගෙන් මට ඇමතුමක් ලැබුණි.

අක්කා කොහෙද ඔයා ඉන්නෙ..?

ඇගේ පැනයට පිළිතුරු දීමට පෙර දුලාජ් අයියා දෙස බැලිමි. ඔහු වෙනතක් බලා උන්නේය.

මං ලයිබ්‍රරි එකේ නංගා.. හදිසියක්ද..?

ආ.. හරි හරි.. එහෙනං මං පස්සෙ ගන්නම්..

ඈ දුරකථනය විසන්ධි කළාය.

කවුද ඒ ගත්තෙ..?

වෙනතක් බලා උන්නද දුලාජ් අයියා මගෙ ඇමතුමට කන් දී ඇති වග මම වටහා ගතිමි.

මල්ෂා...

ඉතිං ඇයි බොරු කිව්වෙ..?

ඔහු ඒ ඇසුවේ මා පුස්තකාලයේ ඉන්නවා ඇයි කීම ගැනය. දුලාජ් අයියා ගැන අපගේ බැඳිම ගැන මින් මතුවට මල්ෂා හා නොකීමට මම තීරණය කරගෙන උන්නෙමි. මා බොරුවක් කීවේ එනිසාය.

එයා ඔයාට ගොඩක් ගරු කරනවා නංගි. ඒ නිසා ඒ ළමයට බොරු කරන්න එපා.. පව්..

ඔහුගේ වදනින් මා තිගැස්සී ගියේය. දුලාජ් අයියාගේ සිතේ මල්ෂා ගැන මෙතරම් හැඟිමක් වෙතැයි මම නොසිතුවෙමි.

මට පරක්කු වෙනවා අයියා.. මං යනවා..

සිත රිඳුණු බැවින් මම නැගී උන්නෙමි..

මං හෙට නිවාඩු. හවසට එහෙ එන්නං..

මා දොර හැර පිටත් වන්නට හදද්දීම ඔහු කිවේය. එය නෑසුණු විලස මා ඉන් පිට විමි.


සවස් යාමයේ රුවන් මල්ලී නිවසේ උන්නේ නැත. ඉතින් මා නැන්දා සමග මිදුලේ බංකුවකට වී කතා කරමින් සිටියෙමි. පෙරදා කියූ පරිදිම දුලාජ් අයියා අප නිවසට පැමිණියේය.

කොහෙද දුලාජ් පහුගිය ටිකේ ගිහින් හිටියෙ..?

කෑගල්ල බ්‍රාන්ච් එකට යන්න උනා ආන්ටි..

ඔහු පැමිණ අසුන් ගත්තේ නැන්දා ළගම තිබූ පුටුවේ ය. මම ඒ සොඳුරු මුහුණ දෙස සෘජුව බැලිමි. නමුත් ඒ නෙතු මා නෙත් මග හැරියේ ය. ඔහුගේ කිසියම් වෙනසක් ඇතැයි යන්න ඊයේ මන්ම අද ද මා අනුමාන කළෙමි.

ඔය දෙන්නා කතා කර කර ඉන්න. මං බොන්න මොනවා හරි ගේන්නම්.

නැන්දා නැගී සිටීමට හඳද්දී දුලාජ් අයියා එය වැළැක්වූයේය.

දැන්ම එපා ආන්ටි.. මං දැන් ටිකකට කලින් කෑවෙ.

කෙතරම් සැහැල්ලු ලෙස හැසිරීමට තැත් කළ ද ඔහුගේ කිසියම් වෙනසක් විද්‍යමාන විය.

දූ අර ත්‍රීවිලර් එක ආවෙ මෙහෙටද..?

පාරේ අයිනටකර නැවැත්වූ ත්‍රීවිලරය දුටු නැන්දා නැගිට ගේට්ටුව දෙසට ගියාය. මම ද ඒ දෙස බලා උන්නෙමි.

ආ.. මේ ළමයනේ.. මොකද මේ හදිස්සියෙ..?

අනපේක්ෂිත ලෙස පැමිණ උන්නේ මල්ෂාය. මා මෙහි පැමිණි දා සිට මල්ෂා කිසි දිනක මෙහි තනිව පැමිණ නැත. ඉතින් ඇගේ පැමිණිම මට ගැටලුවක් විය.

ආ.. මේ මීනු අක්කි ඉන්නෙ. මං ආවෙ එයාව මීට් වෙන්න තමයි.

අප උන් සිමෙන්ති බංකුව දෙසට සිනහ නගමින් පැමිණි ඈ මගේ ඇඟට හේත්තු වී ඉඳගත්තාය. මම මඳක් පසෙකට විමි.

දුලාජ් අයියා කිහිප විටක්ම මල්ෂා දෙස බලමින් නැවත හිස හරවා ගත්තේය. මල්ෂාද ඔහුට අඩවන් සිනාවක් පානවා මම දිටිමි.

ඇයි නංගි මාව හම්බවෙන්න ආවෙ..?

මගේ ක්ලාස් එකේ ටියුට් එකක් නැති වෙලා. ඒක වැරදිලා හරි ඔයා ගෙනත්ද බලන්න ආවෙ..?

මා කිසිදා ඇගේ පොත්පත් රැගෙන ආවේ නැත. ඔය කියන නිබන්ධනය ද මා සතුව නොමැති බව දන්නා හෙයින් මම එය ප්‍රතික්ෂේප කළෙමි.

අක්කා චුට්ටක් බලන්න. එදා ගෙනාපු පොත් එක්ක වැරදිලාවත් ආවද දන්නෙ නෑ.

හරි මං බලන්නම්. ඒත් ඉතිං ඕක කෝල් එකක් දීලා අහන්න තිබුණනේ.. අපරාදෙ රස්තියාදු වුණේ..

මට ඒක හෙට උදේට ඕන අක්කා. ඒකයි මේ තකහනියක්ම ආවෙ.

නැන්දා නිවස තුළට ගිය අතර මම නිබන්ධනය පිරික්සන අටියෙන් කාමරයට යෑමට සැරසුණෙමි. එවිට දුලාජ් අයියා හා මල්ෂා එතන තනිවේ. මීට පෙර මුණ නොගැසී තිබූ ඔවුන් දෙදෙනා හඳුන්වා දීම මගෙ යුතුකමක් යැයි මම සිතුවෙමි.

නංගි මේ දුලාජ් අයියා. ඔයාට මතක ඇතිනේ. දවසක් කෝල් කළේ. මේ ඒ අයියා.

මල්ෂා බිම බලා උන්නත් දුලාජ් අයියාගේ කට කොනකට සිනාවක් නැගුණේ ය. ඔහුට මල්ෂා දුරකථනය ඔස්සේ වදයක් වූ හැටි සිහිපත් වන්නට ඇත.

ඔය දෙන්නා කතා කර කර ඉන්න. මං ටක් ගාලා ඔයාගෙ ටියුට් එක බලලා එන්නම්.

අකමැත්තෙන් වුව ද ඔවුන් දෙදෙනා එහි තනිකර දමා මම නිවස තුළට පිය නැගිමි. මල්ෂාගේ නිවසට යන විට මා රැගෙන යන පොත් කට්ටලය බෑගයක් මත එලෙසම තිබුණි. මම ඒ එකිනෙක පිරිස්සා බැලුවේ ඇගේ නිබන්ධනය මා රැගෙන නොආ බව ස්ථිරවම දැනගෙනය. නමුත් මා පුදුමයෙනුත් පුදුමයට පත් කරමින් ඇගේ ලා නිල් පැහැති නිබන්ධනයක් මගේ පොත් අතර විය. එය රැගත් මා හනික මිදුලට පිවිසියෙමි. දුලාජ් අයියා හා මල්ෂා මා සිනාසෙමින් සිට මා දුටුවනම එය නතර කරගත්හ. මම එය නොදුටු විලස උන්නෙමි.

ආ.. ඕක තමයි.. මං කිව්වෙ ඔයා ගෙනල්ලනේ..

ඇය මගේ අතේ තිබුණ නිබන්ධනය උඳුරා ගත්තාය.

ඒත් මං මෙහෙම එකක් ගෙනාවා මට මතක නෑ නංගි.

මා එය කීවේ වරදක් කර ගුරුවරයකුට හසු වූ සිසුවෙකු තම නිර්දෝෂීභාවය ප්‍රකාශ කරන අයුරිනි. එහෙත් මල්ෂා එය එතරම් බැරෑරුම්ව ගත්තේ නැත.

ඔයාට වැරදිලා පොත් එක්ක එන්න ඇති.

ඈ කීවේ එපමණකි. මම ඇස් පුංචි කර දුලාජ් අයියා දෙස බලද්දී ඔහු මල්ෂා දෙසට යොමුව තිබූ නෙත් වහා ඉවතට ගත්තේය.

මේක බොන ගමන් තුන්දෙනා කතා කරන්නකො එහෙනම්.

නැන්දා චොක්ලට් කිරි වීදුරු තුනක් රැගෙනැවිත් සිමෙන්ති මේසය මත තබා යන්නට ගියාය. දුලාජ් අයියා හා මල්ෂා බීම වීදුරු දෙක තොල ගාද්දී මම එය අතටවත් නොගෙන ඒ දෙස බලා උන්නෙමි. ඇවිලෙන ගින්දර නිවා දැමීමේ හැකියාවක් මේ සීතල බීම වීදුරුවට නැත.

මං යන්නං අක්කා එහෙනම්. ඔයාට රෑ වෙලා කෝල් කරන්නම්කො. ආන්ටි.. මං යනවා..

බීම පානය කරන අවසන් වූ වහාම මල්ෂා යෑමට සැරසුණාය. මම ද ඈ හා සමාන්තරව ගේට්ටුව ළගට ගියෙමි.

අයියා.. මං යන්නම්..

ගේට්ටුව ළඟටම ගිය මල්ෂා හැරී බලා පවසද්දී දුලාජ් අයියා ද අතක් ඉහළට ඔසවා එයට ප්‍රතිචාර දැක්විය. පැමිනි ත්‍රීවිලර් රථයෙන්ම මල්ෂා ගියප සු මම ගේට්ටුව වසා දැමීමට සූදානම් වුනෙමි. නමුත් දුලාජ් අයියා ද ගේට්ටුව අභියසටම පැමිණ සිටියේ ය.

මමත් යන්නම් නංගි. හෙට ගෙනියන්න බඩු වගයක් ලෑස්ති කරගන්නත් තියෙනවා.

මගේ මුහුණ මගහැරි දුලාජ් අයියා පිටව යද්දී මම දුක්ගත් ඇසින් එදෙස බලා උන්නෙමි. ඔවුන්ගේ නිවසේ ගේට්ටුව ළඟටම ගිය ඔහු ඊට ඇතුළු වීමට මත්තෙන් එක් වරක් හැරී බැලුවේය. හිත හදා ගැනීමට එයවත් සෑහේ යැයි සිතූ මා නිවසට ඇතුළු විමි. 



No comments:

Post a Comment