Friday, July 13, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |







මා ලොකු මාමාගේ නිවසට පැමිණි දා සිට මෙහි බුදු පහන තැබීමේ රාජකාරිය බාර වූයේ මට ය. වී වට්ටියක් පිරෙන්නට මල් නෙළමින් උන්නෙමි. රුවන් මල්ලී දෙතුන් වරක්ම කල්පනාබරව මා අසලින් එහෙ මෙහෙ ගියේය. මම ඔහු දෙස නැවතිල්ලේ බැලිමි. ඒ මුහුණේ වූයේ වේදනාවකි. නැතහොත් පසුතැවීමකි. 

“මල්ලි... ඇයි මේ...?”


ඔහු නැතැයි හඟවන්නට හිස දෙපසට සැලීය. හිතේ කිසියම් ගැටලුවක් නොවේ නම් ඔහු මෙසේ හැසිරෙන්නේ නැත. මට දුක සිතුනේ ඒ හින්දාමය.

“ඔයා දුකෙන් නේද..?”

මම නැවතත් ඇසුවෙමි.

“මගේ දුක ඔයාට තේරුම් ගන්න පුලුවන්ද අක්කා, කියන්න..?”

එය කියද්දී ඔහුගේ දෙනෙත්වලට කදුළු පුරා ආවේය. මගේ දෑසත් ඒ හා සමානව තෙත්ව යද්දී මම බිම බලා ගතිමි.

“ඔයා පහන තියන්න... මගේ දුක අඩුවෙයි..”

ඔහුගේ එම අරුත් සුන් වදන් මට වැටහුණා නොවේ. ඉතින් මා අසරණව බලා උනිමි. ඔහු එය නොදුටුවා සේ නිවසට වැදුණේය. මම බුදු පහන දල්වා තබා වුව ප්‍රාර්ථනා කළේ රුවන් මල්ලීගේ සතුටය.

රාත්‍රී අන්ධකාරය පරිසරය වැසී ගියද ඔහු කාමරයෙන් එළියට ආවේ නැත. මගේ සිතට පහදා දිය නොහැකි මහා බරක් දැනුණි.

“දෝණි දන්නවද වැඩක්....?”

රූපිකා නැන්දා සෙටියේ මා සමීපයෙන් ඉඳගනිමින් විමසුවාය. මම ඒ මුහුණ දෙස ප්‍රශ්නාර්ථයක් රැදි දෑසින් බැලිමි.

“අපේ චූටි පුතාට බෑන්ක් එකේ ජොබ් එක හරි ගිහින්.”

“ෂා නියමයිනේ නැන්දා..”

මට ඉබේටම කියවුණි. ඈ දයාබරව මදෙස බලා උන්නා ය. නමුත් මට දැන ගැනීමට අවැසි වූයේ එය නොවේ. මෙවන් සතුටු විය යුතු අවස්ථාවක ඔහු දුකින් ඉන්නේ ඇයිද කියා ය.

“ඒ විතරක් නෙමෙයි දූ... මාමටත් මේ වීක් එන්ඩ් එකේම ජපන් යන්න වෙලා.”

ඒ වදන් පවසද්දී නැන්දාගේ හඬ බිඳී ගියේය. මට ක්ෂණිකව අම්මාත්, තාත්තාත් සිහියට නැගුණි. ඔවුන් අතරත් මෙවන් බැඳිමක් වූයේ නම් මේ වන විටත් අපට සමගිව ඉන්නට තිබුණා නොවේද.?

“දෝණිත් පංති කරන්න උඩවත්තලගෙ ගෙදර ගියාම මේ ගේ පාළුවට යයි.”

“එහෙනම් මං නොගිහින් ඉන්නම් නැන්දා.”

“එහෙම කරන්න එපා දූ... ඔයා එනවා කියලා එයාලට කියලා ඉවරනේ.. අනික කෙනෙක්ගෙ ඇස් පාදන එක පිනක්.”

“නැන්දා තනියමනේ...”

මට ඈ ගැන දුක සිතුණි. පවුලේ යහපත් ගැන නිරන්තරව වෙහෙසස ඈ ස්වාමියාගේ හා පුතණුවන්ගේ සාර්ථකත්වය හමුවේ අසරණ වී ඇත.

“මල්ලිට කවදා ඉඳලද යන්න තියෙන්නෙ.?”

“පළවෙනිදා ඉඳලා. ඒ කියන්නෙ ලබන සතියෙ.”

ලබන මස පළමුවැනිදා වීමට තව ඉතිරිව ඇත්තේ දින පහකි. තව දින තුනකින් මාමාත් නික්ම යාමට නියමිතය. මිනිසුන්ගේ ජීවිත වෙනස් වීමට ගතවන්නේ කෙතරම් කෙටි කාලයක්දැයි සිතා මා පුදුම විමි.

“අනේ මන්දා.. තාත්තා රට යනවා කියලා අහපු නිසා ද දන්නැ චූටි පුතත් දුකෙන් වගේ..”

මා දුටු එම වෙනස නැන්දාත් වටහාගෙන ඇත. කීමට කිසිත් සිහි නොවූ නිසා මා කරබා උනිමි.

“මේ ළමයා කවදාවත් නැතිව හවස තේ එක බිව්වෙත් නෑ. අඩුගානෙ කන්නවත් එන්න කියන්න දූ..”

නැන්දාගේ අවසරයෙන් මම රුවන් මල්ලීගේ කාමරයට පිය නැගුවෙමි.ඔහු උන් දුක්බර විලාසය දුටු මට නැවත හරී යන්නට තරම් සිත් විය. ඇද විට්ටමට කොට්ටයක් බාගෙට හේත්තු කර එයට දිගා වී උන් ඔහුගේ නෙතු රැඳී තිබුණේ වහලේ සිවිලිම මත්තේය. මම මොහොතක් ඔහුගේ කඩවසම් රුව දෙස බලා උන්නෙමි. ඇතැම් විට ඔහුගේ මේ වෙනසට හේතුව කිසියම් ගැහැනු ළමයෙකු විය නොහැකිදැයි මට ක්ෂණිකව සිහියට නැගුණි. මා ඔහුගේ ඇඳ ළගටම ගියද ඔහුගේ අවධානය තිබුණේ වෙනතකය. ඉතින් මා නැවත ඒමට සිතා හැරෙද්දීම රුවන් මල්ලී ක්ෂණිකව මා අතක් තද කර අල්ලා ගත්තේය.

“ඔයාට මගේ ළගටම ආවත් කතා කරන්න දෙයක් නැද්ද අක්කා. ඇයි යන්න හදන්නෙ, මේ මල්ලිව එපාද..?”

ඔහු විමසන්නේ දුක හිතෙන දේවල්මය. මම ඒ හිසකේ අතර ඇගිලි යවා හිස මෘදුව පිරිමැදිමි. පෙර දිනවල මෙන් ඔහු මහා සැනසුමකින් දෑස් වසා ගත්තේය. නමුත් ඒ වැසූ දෑස් අගින් කදුළු පේළි දෙකක් දෙපසට ගලා යද්දී මා නෙතු විසල් විය.

“මාව කාටවත් තේරුම් ගන්න බෑ අක්කා. මං මහා පව්කාරයෙක්.”

“මල්ලි....”

මම ඔහුගේ මුව වැසිමි. ඔහු මා අත ගසා දැම්මේය.

“මාමා යන එක ඔයාට වගේම අපිටත් දුකක්. ඔයා ඔහොම අඬද්දී, නැන්දා වුණත් කොහොමද හිත හදාගන්නෙ..?”

“බම්බුව...”

මගේ කතාවට මල්ලීට තරහා නැගුණි. නමුත් මට හේතුව වැටහුණේ නැත.

“අපි කෑම කන්න යමු මල්ලි.”

“මට කෑම එපා. මැරිලා ගියාදෙන්.”

මේ නම් මා මෙතුවක් දැන උන් රුවන් මල්ලී නොවේ. ඔහු මෙසේ මුරණ්ඩු ලෙස හැසිරෙන්නේ නැත. ඉතින් මං ඔහු වෙතින් ඈත්ව දොර දෙසට පිය නැගුවෙමි.

“ආ..”

ඔහු අල්ලේ යමක් සඟවා සුරත මා වෙත දිගු කළේය.

“මොනවද...?”

“ඔයාට වටින දෙයක්.”

මම නැවත අඩියක් දෙකක් ඉදිරියට ගොස් අත්ල පෑවෙමි. මදෙස මොහොතක් බලා උන් ඔහු මා වෙත දිගුකර එය මුදා හැරියේය. මම අනන්තවත් තිගැස්සුණෙමි. හුස්ම හිරවී ගියා වගේය. මගේ අත්ල මත වූයේ පෙර දවසක මා දුලාජ් අයියාට ගෙන ගොස් බාරදුන් ඔහුගේ මකනයයි. එහි එක් පසෙක කළු පෑනකින් “දුලාජ්” යන නම ගැඹුරට කා වද්දා තිබුණි. ඉතින් එය කාගෙදැයි දැන ගැනීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.

“ඇයි බයවෙලා....?”

මගේ බියගත් මුහුණ හා විසල් වී ගිය දෙනෙත් දෙස බලා ඔහු ඇසුවේ ය. අත පසෙකට ගැනීමට තරම්වත් සිහියක් නොවූ මම එය විදහාගෙනම උන්නෙමි. බිය වූයේ අන් කිසිවක් නිසා නොවේ. දුලාජ් අයියා මෙය මා වෙත එවන්නේ නිකම්ම නොව පණිවුඩයක් සමග බව දත් නිසාය.

“අද හවස ඕක දෙපාරක් ඔයාගෙ දොරෙන් කාමරේ පැත්තට වැටුණා.”

“දෙපාරක්..?”

එවර නම් මගේ හඩ වුව බිදී යන්නට ඇත. රුවන් මල්ලී අමුතුම ආකාරයේ සිනාවක් පෑවේය.

“එකපාරක් ඔයාගෙ ජනේලෙ ගාව තියෙනවා දැකලා මං උගේ බැල්කනියට විසි කළා. ඊට ටිකකට පස්සෙ ආපහු ඇවිත් තිබුණා.”

දැන් නම් සිදු වී ඇති දෙය පැහැදිලි ය. ඔහු සියලු තොරතුරු සොයා ගන්නට ඇත. සැඟවී යා හැකි මගක් සොයන අටියෙන් මා වටපිට බැලුවෙමි.

“දුලාජ්ව මං පුංචි කාලෙ ඉඳලම දන්නවා. ඌ හොද එකා.”

වෙනතක් බලා උන්නද දෙකන් රැදී තිබුණේ රුවන් මල්ලීගේ කතාවටය. ඔහු දුක්බර ලෙස මදෙස බලා උන්නේය.

“සීතා ඇන්ටිත් ගොඩක් හොද කෙනෙක්.”

“ඉතිං ඇයි ඕවා මට කියන්නෙ...?”

“ඔයාට ඉස්සරහට ඕන වෙයි.”

මා දුලාජ් අයියා සමග සම්බන්ධකමක් පටන්ගෙන ඇතැයි ඔහු සිතන්නට ඇත. ඔහු මකනය සම දවටා එවූ පණිවුඩවල කුමක් සඳහන් වූවා දැයි නොදත් නිසා නිදහසට කරුණු කිව නොහැක.

“මං යන්නම්, ඔයා කන්න එන්න.”

“දැන්ම යන්න එපා අක්කා.... ටිකක් මෙතනින් ඉඳගන්න.”

ඔහුගේ බලකිරීම මත මම ඇඳේ කොණකින් ඉදගතිමි. කොට්ටයෙන් පහළට රූටා පැමිණි ඔහු මගේ කකුලේ හිස තබා ගත්තේය. මමම නැවත වරක් ඒ හිස ආදරයෙන් පිරිමැද්දෙමි.

“ඔයා මල්ෂලාගේ ගෙදර යනවා නේද..?”

“ඔව්.. අනිද්දා ඉඳලා යනවා ඇයි....?”

ඔහුට එක් වරම මල්ෂා සිහි වූයේ ඇයිදැයි නොදනිමි.

“මල්ෂා ඔයා හිතන තරම් හොද කෙනෙක් නෙවෙයි, පරිස්සමින්...”

“මල්ලී...?”

“මම කියන්නෙ ඇත්ත කියලා ඔයාට කවදහරි තේරෙයි..”

“ඔයා කොහොමද දන්නෙ.?”

“උඩවත්ත ඇන්ටි අපේ අම්මගෙ හොඳ යාළුවනේ. ඉතිං මං ඉස්සර ඉඳලම එයා දන්නවා.”

“ඒත් දැන් නොගිහින් බෑ මල්ලි. මං එනවා කියලා ඉවරනේ.”

“ගියාට කමක් නෑ. මං කිව්වෙ පරිස්සමින්.”

ඔහුගේ හිස නැවත ඔසවා කොට්ටය මතින් තැබූ මා කාමරයෙන් එළියට ආවෙමි. ඒ පෙරට වඩා බොහෝ බරකරගත් හිසින් යුතුවය.

“මොකද කියන්නෙ දෝණි...?”

මා එන මග බලා උන් නැන්දා විගස විමසුවා ය.

“එයා කන්න එයි නැන්දා.”

ඈ සමග කතාවට හසු වේ යැයි බියෙන් මා ඉක්මන් අඩි තබා කාමරයට පැමිණියෙමි. දැන්නම් මල්ලීට පමණක් නොව මට ද කෑම රුචියක් නොවූ තරමිය. කොට්ටයට හිස තබා කල්පනාබරව හිඳිද්දී මාවෙත ඉබේටම නින්ද ළගාවිය.

“දෝණි.. ඇයි මේ කන්නෙත් නැතිව නිදි.? නැගිටලා එන්න. අන්න මාමා කතා කරනවා.”

බොහෝ වේලාවකට පසු නැන්දාගේ හඩ සවන් අද්දර පතිත වද්දී මා අමාරුවෙන් දෑස් හැර බැලුවෙමි. ඈ මගේ ඇඳ අද්දර සිනාසී බලා උන්නා ය. මම ඈ සමග පඩිපෙළ බැස කෑම මේසය කරා ආවෙමි. ලොකු මාමා කෑමට වාඩි වී බලා උන්නද රුවන් මල්ලී එහි නොවී ය.

“කෝ චූටි පුතාවත් කතා කරගෙන එන්න.”

මම ලොකු මාමා අද්දරින් හිඳ ගනිද්දී නැන්දා මල්ලිගේ කාමරයට ඇතුළු විය. මම නිදිමතේම එදෙස බලා උන්නෙමි.

“දෝණි... ඔයා මෙහෙ සතුටින් නෙමෙයිද ඉන්නෙ..?”

ලොකු මාමා එසේ ඇසුවේ බොහෝ වේලාවක් මදෙස බලා හිඳිමෙන් අනතුරුවය.

“එහෙම නෑ මාමා, මම ඉන්නෙ සතුටින්.”

“ඉස්සර උඹේ අම්මත් ඔය වගෙයි දූ. හිතේ තියාගෙන ඉන්න දෙයක් මළාට පිට කරන්නෙ නෑ.”

නිදිමතේ උණ් නිසා ඔහු කී දෑ මට එතරම් වැටහුණේ නැත. ඒ අතරම රුවන් මල්ලීද විත් පුටුවකට කඩා වැටිණ.

“මොකෝ චූටි පුතා ඇසුත් රතු වෙලා. ඔයත් නිදා ගත්තද...?”

ඒ මුහුණේ වූයේ නිදිබර ගතියක් නොවේ. ලොකු මාමා කීවා සේම ඔහුගේ ඇස් රතු වී තිබිණි. මට පෙනුණේ ඔහු හඬා වැටී ඇති බවකි.

“අනේ මන්දා අද මේ ළමයි දෙන්නට මොනා වෙලාද කියලා.”

මා බත් පත බොහෝ වේලා අනමින් හිඳිද්දී නැන්දා ලොකු මාමාට කීවාය. මම රුවන් මල්ලී දෙස බැලිමි. ඔහු මා මෙන්ම කල්පනාබරව උන්නේ අවට ලෝකය ගැන වගක්වත් නැති ගාණටය.

“චූටි පුතාට අද එපොයිමන්ට් ලෙටර් එක ආවලු නේද.? කොහෙද බ්‍රාන්ච් එක.?”

මල්ලී පියවි සිහියට ආවේ මාමාගේ ඒ ගැඹුරු හඬත් සමගය. ඔහුගේ පිළිතුර අපේක්ෂාවනේ මම ද බලා සිටියෙමි.

“හෙඩ් ඔෆිස්... ක්‍රෙඩිට් ඩිවිෂන්.”

ඔහු පිළිතුරු දුන්නේ ඕනාවට එපාවට ය. නැන්දා ලොකු මාමාට ඔහුව පෙන්වා කුමක්දෝ ඉඟි කළාය.

“පුතා ඒකට යනවා නේද..?”

“ඔව් ඉතිං... යන්න එපැයි.”

“චූටි පුතාට මොකක් හරි ප්‍රශ්නයක්ද.?”

මල්ලී තිගැස්සී ගියේය. ඔහු හරිබරි ගැසී නැවතත් පුටුවට බර විය.

“මං තව දවස් දෙකකින් ලංකාවෙන් යනවා. ඊට කලින් ඔයාලා එක්ක ටිකක් කතා කරන්නයි එන්න කිව්වෙ. ඒත් දෙන්නම ඉන්නෙ අහන්න පුළුවන් තත්වෙක නෙමෙයිනෙ. ඒ නිසා ගිහින් නිදාගන්න.”

ඒ කතාවට මල්ලී ක්ෂණික ප්‍රතිචාර දැක්විය. කෑම පිඟාන එලෙසම තිබෙද්දී අත සෝදාගත් ඔහු කෑම මේසයෙන් ඉවත් වද්දී මම නොසෙල්වී උන්නෙමි.

“දෝණිටත් කන්න බැරි නම් අත සෝදලා ගිහින් නිදාගන්න.”

ලොකු මාමා මහිස අතගා දයාබරව පවසන්නට විය. මොහොතක් බලා උන් මා අත සෝදාගෙන මාමාගේ දෙපා මුල වැඳ වැටුණෙමි. ඔහු ඉක්මනින් පුටුවෙන් නැගිට්ටාය.

“බුදු සරණයි දූ! නැගිටින්න..”

නැගිටගත් මාව මාමා සිය පපුවට තුරුළු කර ගත්තේය. අහේතුකවම මට ඉකිබිඳිණ.

“දෝණි අද දුකෙන් වගේ. මං ගියාට පස්සෙ ඔයාගෙ හැම දෙයක්ම නැන්දට කියන්නකො.”

ඔහුගෙන් මිඳුණු මා නැන්දාගේත් දෙපා වැද සෙමින් අඩි තබා කාමරයට පැමිණ ඇඳට වැටුණි.


                                                                    

No comments:

Post a Comment