Saturday, July 14, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |


මාමා විදෙස් ගතවී දින දෙකකින් පල්ලී නව රැකියාවේ වැඩ බාර ගත්තේය. ඉතින් නැන්දාත් මාත් ඒ විසල් නිවසේ තනි විමු. නමුත් මා දිනක් හැර දිනක් අනිවාර්යෙන්ම මල්ෂාට පාඩම් කියා දීමට උඩවත්ත නිවසට යන පුරුද්ද අතහැරියේ නැත.

දෝණි දැන් මල්ෂාත් එක්ක හරි එකතුයි නේද..?

දිනක් මා සූදානම් වන විට නැන්දා විමසුවාය. උඩවත්ත ඇන්ටී ඇයට යමක් පවසන්නට ඇතැයි මම අනුමාන කළෙමි.


නංගිට වැඩිය යාළුවො නෑනෙ නැන්දා. ඉතිං එයා මං එක්ක හැමදේම කියනවා.

හැමදේම කිව්වෙ.. මොනවා ගැනද.?

ඇගේ පැනයට මම බිය විමි. මල්ෂා බොහෝ විට කීවේ පිරිමි ළමුන් සම්බන්ධ දේවල් ය. නැතහොත් ඇගේ පෙම්වතා පිළිබඳවය. ඒ විස්තර නැන්දා හා පැවසිය නොහැකි නිසා මම නිහඬව උන්නෙමි.

ඇයි ඔයාලා කතා වෙන්නෙ අපිට කියන්න බැරි දේවල් ගැනද..?

එහෙම නෑ නැන්දා.. සාමාන්‍ය විස්තර තමයි ඉතිං..

නමුත් ඈ එය පිළිගත්තේ නැත. උඩවත්ත ඇන්ටී නැන්දාගේ මිතුරිය නොවුනානම් මට ඈ සමඟ බොහෝ දේ පැවසිය හැකිව තිබුණි. මගේ කතාවෙන් නැන්දා හරහා උඩවත්ත ඇන්ටීට ආරංචි වුණොත් මල්ෂා මා හා උරණ වනු නියතය.

දූ මට මොනවා හරි හංගනවා. කමක් නෑ... කමක් නෑ... ගිහින් එන්නකො.

ඒ අවසරයෙන් මා නැන්දාගේ දෙපා වැඳ පාරට පිවිසියෙමි. එවෙලෙහිම දුලාජ් අයියාගෙන් ඇමතුමක් ලැබුණි.

මීනු.. මට කම්මැලියි.

ඔහු එය පැවසුවේ පොඩි දරුවෙකු මෙන් ය. මම සිනාසී අසා උන්නෙමි.

ළමයො මොනවා හරි කියන්නකො. මට පාළුයිනෙ.

මම ගමනක් යන ගමන් අයියා. මේ දැන් පාරෙ ඉන්නෙ.

ඔයා කොහෙද යන්නෙ..? මාත් එන්නද ඔයා එක්ක යන්න..?

ඇයි ඔෆිස් එකේ වැඩ නැද්ද..?

අද වැඩ නෑ වගේ තමයි හලෝ. අද බොසා නිවාඩු.

ඔහුගේ කෙළිලොල් කතාබහ අසා ඉන්නට කම්මැලි නැත. ඇතැම් විට ඔහු කෙටි පණිවුඩයක් හෝ එවා මා හිනස්සයි.

මම යන්නෙ යාළුවෙකුගෙ ගෙදර. අයියා  වැඩ කරන්න දැන්.

කළුතර හැදුන වැඩුණ ඔයාට කොහෙද කොළඹ යාළාවො..?

ඔහු මගේ සියලු විස්තරයන් නැන්දාගෙන් හෝ රුවන් මල්ලීගෙන් දැනගන්නට ඇත. ඉතින් විහිළුවකටවත් බොරුවක් කීමට නොහැකිව මම ලතවිමි.

අයියා.. බස් එකක් එනවා. මම තියන්නම්.

දුලාජ් අයියාගේ බර සුසුම් හඩ දුරකථනය ඔස්සේ ගලා එද්දී මම එය විසන්ධි කළෙමි.

උඩවත්ත ඇන්ටිලාගේ නිවසට ගොස් මට බොහෝ වේලා විදුලි සීනුව නාද කරන්නට සිදු විය. නමුත් ඒ ගේට්ටුව විවර වූයේ නැත. ඔවුන් කොහේ හෝ ගමනක් යන්නට ඇතැයි සිතා මම මල්ෂාගේ දුරකථනයට ඇමතුමක් ගතිමි. එයින් හැඟවුණේ ඇය තවකෙකු සමග ඇමතුමකට සම්බන්ධ වී ඇති බවකි. තවත් විනාඩි දහයක් පමණ එතන පමා වූ මා හැරී ඒමට මත්තෙන් තව එක් වරක් ගේට්ටුවට ගැසුවෙමි. ස්වල්ප වේලාවකින් මල්ෂා දුරකථනය අතැතිවම විත් එය විවර කළාය. සිතට සියුම් අමනාපයක් දැනුණමුත් මම එය පිට නොකර උන්නෙමි.

ඇවිත් ඉඳගන්න අක්කා.. මම ඉක්මනට එන්නම්.

ඇය නැවතත් දුරකථන සංවාදයේ යෙදෙමින් ගොස් කාමරයට වැදී දොර වසා ගත්තාය. මා උඩවත්ත ඇන්ටී සොයා කුස්සියට පිය නැගුවෙමි. නමුත් ඈ එහි උන්නේ නැත. කීප වරක් හඬ නැගුවද ඇගෙන් ප්‍රතිචාරයක් නොවිණි. ඉතින් ඈ නිවසේ නැතැයි සිතා මම සෙටියට බර විමි. මල්ෂා පැමිණියේ තවත් පැය කාලකට පමණ අනතුරුව ය.

අනේ සොරි අක්කා.. මම පරක්කු වුණා නේද..?

ඒකට කමක් නෑ.. කෝ අම්මා ගෙදර නැද්ද....?

අම්මා ලොකු අම්මලගෙ ගෙදර ගියා. එනකොට හවස් වෙයි.

ඈ බොහෝ ආසාවෙන් පැවසුවාය. මට ඈ ගැන සියුම් කලකිරීමක් දැනුණි.

අම්මා නිවසින් පිටවූ වහාම ඇය පිරිමි ළමුන් සමග දුරකථන සංවාද අරඹා ඇත.

ගිහාන් අයියා එක්ක කතා කර කර හිටියෙ. එයා මගෙත් එක්ක තරහා වෙලා අක්කා.

ඇයි ඒ....?

මට ඊයෙ එයත් එක්ක කතා කරන්න බැරි වුණා.. ඒකට.

ඒ කියන්නෙ ඔයා හැමදාම එයත් එක්ක කතා කරනවද.?

ඔව්. හැමදාම රෑට අම්මා නිදා ගත්තම කෝල් කරනවා. මගේ ෆෝන් එකෙන් නැත්නම් ගෙදර එකෙන්.

ඔවුන්ගේ ස්ථාවර දුරකථනයේ රිසිවරය වෝකිටෝකි එකක් මෙන් එහා මෙහා ගෙන යා හැකි වූවකි. ඇය ඉන් ඇමතුම් ගන්නවා දැක ඇති මම ඇගේ කතාබහ පිළිබඳ පුදුම නොවූයෙමි.

ගෙදර එකෙන් අරන් ඩිලීට් කරලා තිබ්බම අම්මට හොයන්න බෑ. අනික තාත්තිට කතා කරන නිසා කොහොමටත් අපේ ගෙදර බිල වැඩියි.

ඇය කතා කරන අතරතුර මට ක්ෂණිකව රුවන් මල්ලී සිහිවිය. මා මෙහි එන ප්‍රථම දිනයේදීම මල්ෂා පිළිබද අනතුරු ඇඟවීම් කළේය. එදින මා එය පිළිනොගත්තත් ඇය තරමක් කපටි කෙල්ලක බව මේ වන විට  ඔප්පු වී හමාරය. ඒ ආදරයේ ස්වභාවය විය හැකි යැයි සිතා මම එය ගැඹුරට නොසිතුවෙමි.

අම්මා එන්න කලින් ගිහාන් අයියව යාළු කරගන්න ඕනි. අනේ අක්කා තරහා නැතුව ඔහොට ටිකක් ඉන්න. මම ආපහු කෝල් එකක් අරන් එන්නම්.

එතකොට අද පාඩම් කරන්නෙ නැද්ද..?

මේක සෙට්ල් කරගෙන පස්සෙ පාඩම් කරමු.

ඇය පළමුව කෑලි කපන ලද කේක් එකක් හා බීම වීදුරුවක් මා ඉදිරියෙන් තැබුවාය. පසුව රූපවාහිනිය දමා දුරස්ථ පාලකය මා අතට දී කාමරයට වැදුණි. ඒ නුහුරු විසල් නිවසේ තනි වූ මා සිතේ වූ නොසන්සුන්තාව මග හරවා ගැනීමට රූපවාහිනී නාලිකා එකින් එක මාරු කරගෙන ගියෙමි. නමුත් බැලීමට තරම් යමක් එහි විකාශය වූයේ නැත. මම ගල් ගැසී බලා හිඳිද්දී රුවන් මල්ලීගෙන් කෙටි පණිවුඩයක් ලැබුණි.

අක්කා ඔයා මල්ෂාලගෙ දිහාද..? ගොඩක් පරක්කු නොවී ඉක්මනට ගෙදර යන්න. බුදු සරණයි!

ඔහුගේ ලෙන්ගතු වචන තනිව උන් මේ මොහොතේ මා සිතට තදින් වැදුණි. ඔහු රැකියාවට ගියද දිනපතාම වාගේ දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවුඩයක් එවා තොරතුරු විමසයි. කිරීමට යමක් නොවූ නිසා මම ඔහුට තරමක් දිග ප්‍රති උත්තරයක් යැව්වෙමි.

ඔයා ඉන්නෙ සතුටින් නෙවෙයි නේද අක්කා. නැත්තං අසනීපයක්ද.? එහෙනං ඉක්මනට ගෙදර යන්න.

මගේ පණිවුඩය ලද ඔහු තරමක් කලබල වී ඇත. ඔහුගේ මේ දරාගත නොහැකි තරම් වූ සොයුරු පෙම පිළිබදව මම පුදුම විමි.

සුටූලයක් මත වූ නවකතා පොතක් මා ඇස ගැටුණේ ඒ මොහොතේ ය. ඉස්සර ගෙදර සිටිනා අවධියේ අම්මාගේත්, තාත්තාගේත් ගැටුම් අමතක කිරීමට මා භාවිතා කළ එකම ඖෂධය වූයේ නවකතා පොත් කියවීම ය. එකල ඇතැම් විට මා දිනකට පොත් දෙක තුන පවා කියවයි. නමුත් මෑතක කියවීමට තරම් පොතක් ලැබුණේවත් කියවීමට සුදුසු මානසිකත්වයක් තිබුණේවත් නැත. ඉතින් කලකට පසු හමු වූ ඒ නවකතාව මම ඉතා ආසාවෙන් කියවීමට පටන් ගතිමි.

ආ.. ඔයාට පොතක් හම්බවෙලා නේද.? ඒක හොඳයි. මම හිතුවා ඔයා මට බැන බැන ඇති කියලා.

මල්ෂාගේ ඒ හඬ ඇසුණේ තවත් පැයකට පමණ පසුව වන්නට ඇත. ඒ වන විට මා පොතෙන් භාගයකට ආසන්න පිටු ප්‍රමාණයක් කියවා තිබුණි.

ඔයාට අද පාඩම් කරන්න බැරි නම් මං ගෙදර යන්නම්.

ඇගේ මුහුණ දෙස සෘජුව බැලූ මා විමසුවෙමි. ඇය මොහොතක් කල්පනා කළාය.

අම්මා ආවොත් බලයි ඇයි ඔයා නැත්තෙ කියලා.

මල්ෂාට අවැසිව ඇත්තේ මා අහේතුකව එහි රඳවාගෙන ඇගේ කාර්යය ඉටු කර ගැනීමටය. එවිට උඩවත්ත ඇන්ටී පැමිණිය ද ඇයට ප්‍රශ්නයක් නොවනු ඇත. නමුත් මා එය නොරිස්සුවෙමි.

අම්මා එද්දි හවස් වෙයි කිව්වනේ. ඒක නිසා ඔයා නිදහසේ කෝල් කරන්නම. මං ගෙදර යන්නම්. අපේ නැන්දත් තනියෙමනේ.

කියවමින් උන් පොත පසෙක තැබූ මා නැගී උන්නෙමි. මල්ෂා මගේ දෑත් තද කර අල්වා ගත්තාය.

අනේ අක්කා අපේ අම්මටවත්, රූපිකා ඇන්ටිටවත් මොකුත් කියන්න එපා. මට මේ තියෙන නිදහසත් නැතිවෙයි.

ඇගේ හැඬීම්බර හඩ මා සිතේ වූ තරහා නිවා දැමුවේය. මම සිනාසී හිස සැලුවෙමි.

අක්කා මේ පොත අරන් ගිහින් කියවලා ගේන්න.

මා පසෙක තැබූ පොත මල්ෂා නැවතත් මා අතට දුන්නාය. මා එයත් රැගෙන මිදුලට බැස්සේ පැය ගණනක් නිකරුණේ නාස්ති වීම පිළිබදව පසුතැවිලි වෙමිනි.


සවස් යාමයේ වැඩ ඇරී නිවසට එන මල්ලී දිනපතා අඩුම තරමින් පැය භාගයක් හෝ මා සමග සංවාදයේ යෙදීම පුරුද්දක් කොට ගත්තේය. ඇතැම් දිනවල අප මිදුලේ කතාබහ කරමින් ඉන්නා විට දුලාජ් අයියා ද පැමිණ කතාවට එක්වෙයි. මේ හේතුව නිසා අප අතර වූ බැඳීම දිනපතාම සවිමත් විය. එහි අතුරුඵලයක් වූයේ මා සිත තව තවත් දුලාජ් අයියාට ළං වීමය. නැතහොත් මා සිත ඉතා තදින් ඔහුට ආදරය කිරීමය. රුවන් මල්ලී කිහිප දිනක්ම ඒ පිළිබදව මගෙන් විමසුවත් මම එය නොපිළිගත්තෙමි. නමුත් ඔහු එය විශ්වාස නොකළ බව ද මම දනිමි.

ඇත්තටම රුවන් උඹට තාම කෙල්ලෙක් නැද්ද..?

දිනක් අඳුර වැටෙන යාමයේ අප පිළිසදරේ යෙදී උන් විටක දුලාජ් අයියා මල්ලීගෙන් විමසිය.

උඹ අහන්නෙ මං කාත් එක්ක හරි යාළුයි කියලද..? නැත්නම් මං කාටහරි ආදරේ කරනවද කියලද..?

එය වටහාගත නොහැකිව මා ඔහු දෙස බලා උන්නෙමි. නමුත් ඒ අඩ අඳුරේ ඔහුගේ මුහුණේ වූ හැගීම් පැහැදිලිව වටහාගත නොහැකි විය.

ඔය දෙක දෙකක්ද..?

දුලාජ් අයියා විමසුවේය.

ඔව් දෙකක්. මං කාත් එක්ක හරි යාළුයි කියන්නෙ එකක්. මම කාට හරි ආදරේ කරනවා, ඒත් යාළුවෙලා නෑ කියන්නෙ තවත් එකක්.

හරි.. උඹ දැන් අයිති ඔය දෙකෙන් කොයි ගොඩටද.?

දෙවැනි ගොඩට.

මල්ලී එය පැවසුවේ බොහෝ කල් වේලා ගෙනය.

 “ඒ කියන්නෙ උඹ යාළු වෙලා නැතිවට කාට හරි ආදරේ කරනවා. එහෙමද.?

ඔහු පිළීතුරු දුන්නේ ඔව් කියා හිස සැලූ නිසා වන්නට ඇත. ඔවුන්ගේ කතාවට දායක වන්නට තරම් සිතක් නොවූ නිසා මා එය අසා උන්නෙමි.

රුවන්.. උඹ ඉස්සර ලස්සන කෙල්ලෙක්ව දැක්කත් ඒක මුලින්ම කියන්නෙ මට. ඉතිං ඇයි මේ තරම් දෙයක් මට නොකියා හිටියෙ.

කියන්න පුළුවන්කමක් තිබුණ නං මං ඒකත් මුලින්ම කියන්නෙ උඹට තමයි.

ඇයි ඉතිං කියන්න බැරි..? උඹගෙ කෙල්ලව මං දාගනියි කියලද.?

මල්ලී එයට පිළිතුරු දුන්නේ නැත. නිහඬතාව අතරේ දී මල්ලී ආදරය කරන ගැහැනු ළමයා කවුරුන් විය හැකිදැයි සිතන්නට මම වෙහෙසිමි.

කවුද ඒ.? උඹගෙ අළුත් බැංකුවෙ එක්කද.?

නෑ.. ඒත් උඹ දන්න කෙනෙක්.

අප දෙදෙනා එතන තනිකර දැමූ මල්ලී නැගිට නිවස තුළට ගියේය.

මූ මෙහෙම තදයා වගේ හිටියට මාර සෙන්සිටිව්. මං ඉතිං දන්නවනේ ඒ කාලෙ ඉඳලම.

දුලාජ් අයියා මදෙසට හැරී කීවේය.

ඒ ගර්ල් කවුද කියලා ඔයාටවත් හිතාගන්න බැරිද අයියා.

අනේ මන්දා.. මොනවා වුණත් මේකගෙ ආදරේ ප්‍රතික්ෂේප කරන කෙල්ල මහ මෝඩියෙක්.

ඇයි ඒ..?

රුවන් පුංචි කාලෙ ඉඳලම රූපිකා ඇන්ටිට මාර ආදරෙයි. ඌ ඒ කාලෙත් කිව්වෙ කවදා හරි යාලුවෙන කෙල්ලටත් ඒ වගේම ආදරේ කරනවා කියලා. ඉතිං මූ ඒ තරම් ආදරේ කරලත් ඒක නොතේරෙනවා නං ඔය කියන කෙල්ලව තියන්න වටින්නෙ නෑනෙ.

ඒ කතාවට මා ගත සීතල වී ගියේය. රුවන් මල්ලී කාට හෝ එතරම් තදින් ආදරය කරනවා යැයි කීම පුදුමය දනවන්නකි. මාමා විදෙස්ගත වීමට ආසන්න දිනක මල්ලී කාමරයට වැදී හඬා වැටුණේ ඒ ආදරය ප්‍රතික්ෂේප වීම නිසා වන්නට ඇතැයි මට සිතුණි.

මල්ලි පව්!

මගේ මුවින් ඉබේට පිටවිය.

දැන් ගෙට යන්න නංගා.. මං යනවා.

මා කී දෑ නෑසුණ දුලාජ් අයියා යන්නට පිටත් වූයේ මගේ හිසද පිරිමැදීමෙන් අනතුරුව ය.

මොනවද දෝණි කොල්ලා කියන්නෙ.?

සාලයේ පුටුවකට බරව උන් නැන්දා විමසුවාය.

එයාගෙයි මල්ලිගෙයි පොඩි කාලෙ විස්තර තමයි.

අපොයි ඔව්... මේ දෙන්නා ඒ කාලෙ ඉඳලම ඉඳිකට්ටයි, නූලයි වගේ තමා. අපේ කොල්ලා ඒ කාලෙ වැඩිපුර කවා ගත්තොත් සීතට කියලා.

නැන්දාගේ කතාවට සවන් දීමට තරම් සැහැල්ලු මානසිකත්වයක් මා කෙරේ නොවිණි. මට අවැසි වූයේ මල්ලී ළගට ගොස් ඔහුගේ දුක බෙදා ගැනීමටය.

කෝ නැන්දෙ මල්ලි..?

ඔය දැන් ඇවිත් ඇතුළට ගියේ.. සමහර විට කාමරේ ඇති.

මල්ලී දුකින් වග ඔහු කෙනෙකුට ආදරය කරන බව නැන්දා නොදන්නවා ඇතැයි මම අනුමාන කළෙමි. දැන උන්නා නම් ඈ එය ස්ථීරවම පවසයි.

මම මල්ලීගේ කාමරයේ දොර රෙද්ද පසෙකට කර එතුළට හිස පෙවිමි. ඔහු ඇදෙහි වාඩි වී කොට්ටයක් බදාගෙන උන්නේය. ඒ දුටු මට බියක් දැනුණි..

මල්ලී..?

මගේ හඩ ඇසුණ ද ඔහු හිස එසෙවූයේ නැත. මම සෙමෙින් අඩි තබා ඔහුට ළං විමි.

ඇයි මේ..?

හිස එසවූ ඔහු මා දනෛත් දෙස එක එල්ලේ බැලුවේය.

මං ආදරේ කරන කෙනා මට ආදරේ නෑ අක්කා. එයා ආදරේ වෙන කෙනෙකුට.

මල්ලීගේ ඒ හැඩුම්බර හඬ මා දෙනෙතට කදුළු පුරවන්නට තරම් දුක්බර විය. ඒ හිත සනසන්නේ කෙසේ දැයි නොදත් මා ඔහුගේ හිස වැරෙන් මා සිරුරට ළං කර ගතිමි.

මං එයාට ඉස්සර ඉඳන් ආදරේ ඛලා. දැන් ඊටත් වඩා ආදරේ කරනවා. ඒත්... ඒත්... එයා..

ඔහුගේ හඬ බිඳී ගියේය.

ඒ කවුද මල්ලි..? මට කියන්න..

ඔහු ඉකිබින්දා විනා එයට පිළිතුරු දුන්නේ නැත.

මට කියන්න පැටියො. මං ඔයාගෙ අක්කනේ. මං ඒ නංගි එක්ක කතා කරලා බලන්නම්.

දැන් පරක්කු වැඩියි.

එසේ කී මල්ලී මගෙන් මිදී කොට්ටයේ හිස තබා ගත්තේය. මේ කාමරයට පැමිණෙන දිනවලින් වැඩි හරියක්ම මා නික්මෙන්නේ කඳුළු සමගිනි. අදත් එසේම කදුළක් තුරුළු කරගත් මා ඉන් පිටතට පැමිණියෙමි.


 

No comments:

Post a Comment