Sunday, July 15, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |


එදින උදෑසන මම උඩවත්ත ඇන්ටිලාගේ නිවසට ගියේ දුරකථනයෙන් දුලාජ් අයියා හා කතා කරමිනි. ඒ දුටු මල්ෂා දුලාජ් අයියාගේ නම කියමින් මට විහිළු කිරීමට පටන් ගත්තාය.

දැන් ලව් එක නැගලා යනවා නේද.? බැල්කනියට වෙලා හොරෙන් බලනවා මදිවට පැය ගණන් කතාව.

එහෙම දෙයක් නෑ නංගි.. දුලාජ් අයියා දවස් කීපයක් මගේ ෆෝන් එකට සල්ලි දැම්මා. මං ඒකට බැන්නා.


අනේ පව්.. ආදරේටනේ දාන්න ඇත්තෙ. ඕකට බැනලා හරියනවද, තෑන්ක්ස් කරන්න එපෑය.

ඒත් මං ඒකට කැමති නෑ. ඒක මට බරක්.

මල්ෂාගේ ඇතැම් ගතිවලට මා කැමැති නොවූවද ඇය හා බොහෝ දේ කීමට මම පෙළඹී උන්නෙමි. ආශ්‍රය කිරීමට තරම් සමීප මිතුරියක නොමැතිකම සේම මල්ෂා ද ඇගේ පෞද්ගලික තොරතුරු මා හා පැවසීම එයට හේතු වන්නට ඇත. නමුත් පෙර දිනක රුවන් මල්ලී මල්ෂා ගැන දුන් අවවාදය ද මට මතක නැතුවා නොවේ.

මං ටක් ගාලා නාගෙන එනකල් අක්කා එයා එක්ක කතා කරන්නකො. අම්මද් උදේම ටවුමට ගියා.

කාමරයේ දොර මත වූ තුවායත් රැගෙන උරහිස මත දමාගන්නා අතරතුර ඇය කීවාය.

 ෆෝන් එකේ සල්ලි ඉවරයි නංගා.. යන ගමන් දාගන්න ඕන.

ඒ කියන්නෙ සල්ලි ටික ඉවර වෙනකල්ම ඔයා එයාට බැන්නද..? ආ... මේකෙන් අරන් යාළු කරගන්න.

ඈ මා අතට දුන්නේ ඔවුන්ගේ නිවසේ දුරකථනයයි. නමුත් මම එය ප්‍රතික්ෂේප කළෙමි.

එච්චර කතා කරන්න දෙයක් නෑ නංගා. ඔයා නාලා එන්නකො.

ආඩම්බර නොවී එයාගෙ අංකෙ කියන්න අක්කා.

මම එය නොකී තැන ඈ මේසය මත තිබූ මගේ දුරකථනය උදුරා ගත්තාය. පසුව ඉන් බලා දුලාජ් අයියාට ඇමතුමක් ගන්නා සැටි මම ඔරවාගෙන බලා උන්නෙමි.

හලෝ.. ඔය දුලාජ් අයියද..?

මල්ෂා දුරකථන මට දේවි යැයි බලා උනන්ද ඈ දුලාජ් අයියා සමග කතා කිරීමට පටන් ගත්තාය. සිතට කොතෙක් දුක දැනුණ ද කළ හැකි කිසිවක් තිබුණේ නැත.

මං මල්ෂා.. මීනු අක්කිගෙ යාළුවා..

ඈ බොරු සුරතලයක් මවා පාමින් කතා කරද්දී මම එය උදුරා ගැනීමට වෙර දැරුවෙමි.

මෙන්න අක්කා බයවෙලා මං ඔයා එක්ක කතා කරනවට..

එසේ කියා රිසිවරය මා අතට පෑ ඇය නාන කාමරයට වැදී දොර වසා ගත්තාය.

හලෝ..

මගේ හඬ ඉකිබිඳුමක් සරි වෙන්නට ඇතැයි මට සිතුණි.

හෙලෝ... කවුද බබා ඒ කටර් එක..?

මල්ෂා.. මම පාඩම් කියලා දෙන නංගි..

ම්.. ඔයාට වයස කීයද..?

ඔහුගේ පැනයෙන් මට තරහා නැගුණි. මල්ෂාගේ වයස ඔහුට කුමටද..?

ඇයි ඒවා අහන්නෙ..? ඔයාට මොකටද..?

අම්මෝ.. තරහා ගියා නේද..? මං නිකමට ඇහුවෙ. සොරි...

එයාට දහනවයයි.

අකැමැත්තෙන් වුව ද මම පිළීතුරු දුන්නෙමි. මල්ෂාගේ නැලවිලි කතාබහට ඔහු රැවටී ඇතුවා වන්නට ඇත.

මීනු.. මං මල්ෂා ගැන අහද්දි ඇයි ඔයාට තරහා ගියේ.. ආ බබා.. මට ඇත්ත කියන්න..

ඇතැම් විට එය ආදරය හා බැඳුණු ඊර්ෂීයාවක් වන්නට ඇත. නමුත් මෙතුවක් අප එළිපිට කතා නොකළ ආදරය යන මාතෘකාව අද ගැනීමට මම බිය විමි.

මම දැන් තියන්නම් අයියා. අපි රෑ වෙලා කතා කරමු.

මං බිස්කට් කනවා මීනු. ඔයාටත් එකක් දෙන්න.?

මා කී දෙය නෑසුණ විලස ඔහු දුරකථනය සමීපයට මුව තබා යමක් හපන හඩ ඇසුණි.

එපා.. ඔයා කන්න..

එපා කියලා බෑ.. ඔයත් ටිකක් වැඩිපුර කාලා තව චුට්ටක් මහත් වෙන්න..

ඒ මොකෝ..

තව චූට්ටක් මහත් වුණාම ඔයා තව ලස්සනයි.

විකාර.

මම දුරකථනය තැබුවේ එසේ කීමෙන් අනතුරුවය. ඔහු නැවත වරක් එයට ඇමතුමක් ගනිද්දී මම එය විසන්ධි කළෙමි. තව මොහොතකින් මල්ෂා ඇඳුම් මාරු කර පැමිණියාය.

කතා කරලා ඉවරද..? මං හිතුවා තාම මල් කඩනවා ඇති කියලා.. හැබැයි අක්කෙ දුලාජ් අයියගෙනං මාර වොයිස් එක. අහගෙන ඉන්න ආස හිතෙනවා.

මම විසල් කරගත් දෙනෙතින් ඇය දෙස බලද්දී ඈ මගේ කෙහෙරැලි අවුල් කර සිනාසුනාය.


දුලාජ් අයියා වැඩ කළ ශාඛාවක ගිණුම් වගයක් පරීක්ෂා කිරීඹට ඇතැයි කියා ඔහු සතියකට කෑගල්ල ශාඛාවකට මාරු කෙරුණි. ඉන් මසිත කොතෙක් දුක් ගත්තේද දැයි කියනවා නම් ඒ සතිය තුළ මා හරි හැටි කෑමක් බීමක් පවා ගත්තේ නැති තරම් ය. මසිත මඳක් හෝ සැනසුණේ විටින් විට රුවන් මල්ලී ගෙනත් දුන් නවකතා කියවීමෙනි.

මගේ මුලු අහසම අමාවකයි මීනු. ඇයි දන්නවද.? මේ ටිකේ මගේ අහසට හඳ පායන්නෙ නෑ. විශ්වයම නැතිවෙලා වගේ දැනෙනවා.

දුලාජ් අයියාගෙන් එම කෙටි පණිවුඩය ලැබුණේ මා ඇඳේ පෙරලී හුදෙකලාව උන් වෙලාවකය. මම සිතේ වූ නොසන්සුන්බව දුරලීම සඳහා කොළයක් හා පෑනක් සොයා යමක් ලීමට පටන් ගතිමි.

මිතුරු දමේ ඉම පසු කරන්
සහෝදරත්වය පරයමින්
එහා ගියා වූ අපේ බැඳීමේ
අරුත කුමක්දැයි නොදනිම්...

ලෙන්ගතු වදනින් අමතමින්
සිතේ පාළු බව දුරලමින්
නිරන්තරයෙන් සිත අස්වසනා ඔබ
කවුද කියා තව නොදනිම්...

මැදියම් රැය නිදි වරමින්
සිතිවිලි ලොව සැරිසරමින්
සිටින විටදි ඔබේ රුව පමණක් මට
සිහිවන්නේ ඇයි නොදනිම්...

ඔබේ මිතුරියක් විලසින්
ඔබේම නැගණිය විලසින්
සදා ඔබ ළඟින් රැදෙන්න හැකිවෙද
කියා තවම මම නොදනිම්..

එම නිසදැස ලියූ කොලය පොත් අතර රඳවා මා රුවන් මල්ලී සොයා ගියෙමි. ඔහු කාමරය අබියසම හිඳ කතා කළ ද ඔහු ඇසෙන මානයේ නොවී්‍ය. ඉතින් මං සෙමින් අඩි තබා එහි ඇතුළු විමි.

බොහෝ පිරිමි ළමුන් හා සසදන කල්හී මල්ලී බොහෝ පිළිවෙල ය. ඔහුගේ කාමරය දෙස බැලීමෙන්ම ඒ බව මනාවට පැහැදිලි වෙයි. මම මල්ලීගේ ලියන මේසය අභියස හිඳ ඒ මත වූ නවකතා පොත් එකිනෙක පෙරළා බැලිමි. ඒ බොහෝමයක් මා කියවූ පොත් ය. විනිවිද පෙනෙන ෆයිල් කවරයක මල්ලීගේ දිගැටි අත් අකුරින් ලියූ පද පේලියක් විය. මම ඒ කොළය පිටතට ගතිමි.

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොළු වී තිබේ...
නැගුණු සෙනෙහේ කියනු බැරි වී
මගේ සිත වේඳනා විඳී

එහි වූයේ ඒ පද පේළි හතර පමණි. මල්ලී පිටතට නොපෙන්නුවාට ඔහු කොතරම් දුකක් සිතේ සඟවාගෙන ඇත්දැයි මෙයින් වටහාගත හැක. එය තීබූ තැනින්ම තබා මම නැන්දා ළඟට ගියෙමි.

දෝණි දන්නවද මාමා තව මාසයක් යන්න කලින් එනවලු.

නැන්දා සතුටින් ඉපිලෙමින් පවසද්දී ඒ සතුට මලානිකව තිබූ මසිතට ද දැනුණි. ඔහු නොමැතිව පසුගිය කාලයේ නිවසේ තිබූ අඩුව පැවසිය නොහැකි තරම් ය.

මාමා එන්න කලින් අපි තව මල් පැල ටිකක් එහෙම ගෙනත් මිදුල ලස්සන කරමු.

මම නැන්දාට තුරුළු වී එකඟතාව පළ කළෙමි.

මල්ලි ගෙදර ආවා නේද නැන්දා.? කෝ දැන්.?

ඔය බාත් රූම් එකට රිංග ගත්තෙ. තාම එයාගෙ වෙනසක් නෑ නේද දූ.

ඔව් නැන්දා.. මොකුත් කියන්නෙ නෑ. හැමදේම හිතේ හිරකරගෙන ඉන්නවා.

මටත් තාම තියෙන ප්‍රශ්නය මේකයි. මං කෙල්ලෙක්ට ආදරේ කරන දාට ඒක මුලින්ම කියන්නෙ අම්මට කියපු කොල්ලා ඇයි දැන් මේ නිශ්ශබ්ද..?

මටද මල්ලීව තේරුම් ගත නොහැක. විටෙක ඉතා සමීපව කතාකරන ඔහු තවත් විටෙක පුංචි දේටත් තරහා ගනී. නමුත් ඔහු හැම විටම මගේ ආරක්ෂාවට, සෙවණැල්ල මෙන් ළග උන්නේය. හැම ප්‍රශ්ණයකටම නොබියව පිළීතුරු සපයන මල්ලී ආදරය පිළිබඳව විමසද්දී නිහඬ වේ.

මේ ටිකේ දුලාජ් පුතත් දුරක ගිහින්. සීතය් අර වැඩට ඉන්න ගෑනු කෙනයි විතරයි ගෙදර ඉන්නෙ.

මම අමතක කිරීමට උත්සාහ දරමින් උන් මාතෘකාවක් නැන්දා ඇද ගත්තාය.

දුලාජ් අයියගෙ තාත්තා කෝ නැන්දා..?

කොල්ලා පුංචි කාලෙදිමයි ඩග්ලස් නැති වුණේ.

ඒ කියන්නෙ එයාගෙ තාත්තා මැරිලද..?

එය මා මෙතෙක් නොදැන උන් කරුණකි. මා සිතා උන්නේ ඔහුගේ පියා ද ලොකු මාමා මෙන් විදෙස්ගතව ඇතැයි කියා ය.

ඇයි දෝණිට එයාලා කිව්වෙ නැද්ද..? දුලාජ් පුතාව ඉස්කෝලෙ එකේ පන්තියට භාරදීලා එන අතරෙ වුණ අක්සිඩන්ට් එකකින් තමයි ඩග්ලස් මැරුණෙ. එදා ඉඳලා මේ කොල්ලව හදන්න සීතා පුදුම ධෛර්යයක් ගත්තෙ.

ඉතින් සීතා ඇන්ටි රස්සාවක් කරන්නෙ නෑනෙ නැන්දා.

සීතා ඉස්සර ගුරුවරියක්. ඩග්ලස් නැති වුණාට පස්සෙ එයා රස්සාවෙන් අයින් වෙලා ටියුෂන් කරන්න ගත්තා. ඩග්ලසුත් ආණ්ඩුවෙ හොඳ රස්සාවක් කළේ. ඉතින් එයාගෙ පෙන්ෂන් එකත් සීතට ලැබුණා.

පව් නේද නැන්දා..?

පව් නේන්නං.. ඒත් සීතා හරි ධෛර්යවන්ත ගැහැනියක් දූ.. බලන්නකො දැන් කොල්ලවත් හදාගෙන ගේ දොරත් හදාගෙන ඉන්න ලස්සන.

එතකොට සීතා ආන්ටි දැන් පන්ති කරන්නෙ නැද්ද..?

කොල්ලා රස්සාවට ගියාට පස්සෙ පන්ති කරන එක නතර කළා..

මම සුරංගනා කතාවක් සේ එය අසා උන්නෙමි. හොඳ රැකියාවක් කර විසල් මැඳුරක උන්නද ඔහුද මා මෙන්ම තාත්තා නැති සොවින් පීඩා විඳිනවා ඇත.

දුලාජ් හොඳ කෙල්ලෙකුට බන්දලා දීපු දවසට සීතා නිදහස්.

සෑම අම්මෙක්, තාත්තෙක්ගේම අවසාන පැතුම වන්නේ දරුවන්ගේ අනාගතය යහපත් වනවා දැකීමයි. සීතා ඇන්ටිද දුලාජ් අයියාට විවාහ යෝජනා ගෙනෙන්නේ ඒ නිසා විය හැක.

රුවන් මල්ලී ඇඟ සෝදා කොට කලිසමකට මාරු වී සාලයට එද්දී මා උන්නේ දුලාජ් අයියාගේ පවුල ගැන නැන්දා කී දෑ මෙනෙහි කරමිනි. ඔහු රූපවාහිනී දුරස්ථ පාලකය ද නෙ මා ළගින්ම අසුන් ගත්තේය.

අක්කට මං පොඩි බඩුවක් ගෙනාවා. හොදද බලන්න.

සෙටියේ කෙළවරක තිබූ පාර්සලයක් මල්ලී මා අතට දුනි. මම මල්ලී දෙස මොහොතක් බලා හිඳ එය විවර කළේ කුතුහලය මිශ්‍ර දෑතිනි. එහි වූයේ අලංකාර ඉන්දියන් සාරියකි.

මේ කොහෙන්ද මේ..?

ඉස්සර වෙලා හොඳයිද කියන්නකො..?

ඒ සතුටින් දිලිසෙන දෑස් බිමට හරවා ඔහු කියද්දී මම එය නාසයටළං කර ගතිමි.

ලස්සනයි.. ගොඩක් ලස්සනයි.. ඒත් ඇයි මල්ලි මේ..?

මට අද පඩි හම්බ වුණා..

ඔහු එය කීවේ අහිංසක ආඩම්බරයක් දෑසේ රදවාගෙනය. මම ඉතා පැහැදීමෙන් ඔහු දෙස බලා උන්නෙමි.

නැන්දට..?

අම්මටත් ගෙනාවා..

ඔහු තෝරා තිබූ අහස් නිල් වර්ණය මා කුඩා කල සිටම කැමැත්තක් දැක් වූ වර්ණයයි. එය ද සිත් හී තබාගෙන උන් මල්ලී ගැන දැඩි ආදරයක් මට දැනුණි.

දෝණි.. ඔයාගෙ ෆෝන් එක රින්ග් වෙනවා.

නැන්දාගේ  හඬ ඇසී මම සාරියද තුරුළු කර උඩුමහලට දිව ගියෙමි. දුරකථනයේ සඳහන්ව තිබුණේ දුලාජ් අයියාගේ අංකයයි. මම මදකුදු පමා නොවී ඇමතුම ගත්තෙමි.

හෙලෝ... බබා ඔයාගෙ යාලුවට පිස්සුද..?

මට එය බිඳක්වත් වටහාගත හැකි වූයේ නැත. ඔහු කුමන යාළුවෙක් ගැන කතා කරත්දැයි නොදැන උන් මා වික්ෂිප්ත වුණිමි.

කවුරු ගැනද අයියා ඔය අහන්නෙ..?

ඔයා උගන්වන්න යන අර මැන්ටක් කෙල්ල ගැන.. මල්ෂා ගැන.

ඇයි..?

ඔයා අද එහෙන් ආවට පස්සෙ එයා මට කෝල් කළා..

එදා ඔවුන්ගේ දුරකථනයෙන් ඇමතුමක් ගත් නිසා ඔහුගේ අංකය මල්ෂා දැන උන් බවක් මට මෙතෙක් අමතකව තිබුණි.

එයා මොනවද කිව්වෙ..?

ඔයා අද එහේ ආවලු.. හොදට පාඩම් කියලා දුන්නලු. දැන් ආපහු ගෙදර යන්න පිටත් වුනා කියලා මට කිව්වා.

සිතට දැනුණ දුක කෙතෙක්දැයි පැහැදිය නොහැකි වුවද මම ඉවසා එය අසා උනිමි.

ඊට පස්සෙ පැය ගාණකින් විතර ආපහු ගත්තා. අරන් කියනවා බය වෙන්න එපාලු. එයා ඔයාට කෝල් කළාලු. ඔයා පරිස්සමින් ගෙදර ගිහින්ලු.

දුක මෙන්ම තරහවද සිත තුළ වාන් දමද්දී වදනක් කෝ ගළපාගත නොහැකිව මසිත අසරණව සිටියේය. මල්ෂා කවදාවත් නොමැතිව අද මා ගෙදර පැමිණි සැනින් ඇමතුමක් දුන්නද මම වෙනසක් නොසිතිමි. නමුත් මා ඇයට රැවටී ඇති බව දැන් දැන් පැහැදිලි ය.

එයාට පිස්සුද නංගා. එයා මොකටද මට සැරින් සැරේ කෝල් කරන්නෙ.? වෙනදටත් මං විස්තර දැනගන්නෙ එයාගනේ අහලා නෙමෙයිනේ.. අනික.....

ඔහු තවත් යමක් කියන්නට හදද්දී මම පපුවට අතක් තබා ගතිමි.

මට හිතෙනවා මීනු එයා මං කියන දේවල් රෙකෝඩ් කරනවා කියලා. මට එහෙම දැනෙනවා.

එවර නම් දෙපා පවා පණ නැතිව ගියා සේ දැනුණි. දුලාජ් අයියාගේ හඬ ලස්සන බව අසා ඉන්නට ආසා හිතෙන බව දිනක් මල්ෂා කියූ හැටි මට අද මෙන් මතකය. ඇගේ මායම්වලට ගිහාන් හා උදාර මෙන්ම දුලාජ් අයියවද හසුකර ගැනීමට ඈ වෙර දරනවා ඇත. නමුත් මේ හැම දෙයක්ම දුලාජ් අයියා මා හා කීම පිළිබඳව මම සැනසුමෙන් යුතුව කල්පනා කළෙමි. මා දුලාජ් අයියාට සිතින් ආදරය කරනවා සේම ඔහු ද මට ආදරය කරන බව මසිත දනී. ඉතින් ඔහු මා හැර දමා ඇයට ආදරය නොකරනු ඇත.

මට බයයි අයියා...

ඇයි ඒ..?

මගේ බිය කුමක්දැයි දැන උන්නද ඔහු එය නොදැනුණා සේ ඇසුවේය. මම එයට පිළිතුරු නොදී උන්නෙමි.

ඔයා බය වෙන්න එපා නංගා. මම ඔයා එක්ක ඉන්නවනෙ.

අයියා කවදද එන්නෙ..?

අනේ මන්දා බබා.. මමත් මේ අප්සට් එකේ ඉන්නෙ. මට තව ටික කාලයක් මෙහේ ඉන්න වෙයි වගේ. මෙහේ එකවුන්ටන් ඇක්සිඩන්ට් වෙලා නිවාඩු ගිහින්.

අනේ...

මම දුක්ගත් හඬින් කියද්දී ඔහු දිගු සුසුමක් හෙළනවා ඇසුණි. එහි බර මගේ පපුවටද දැනුණා වගේය.

ඔයා මේ දවස්වල මොනවද කරන්නෙ..?

ආදරය කරනවා..

ඔහුගේ පැනයට මම ගත් කටටම පිළීතුරු දුන්නෙමි. ඔහු ඉන් බොහෝ සැලී ගියබ ව මම අවබෝධ කරගත්තේ එහා ඉමෙන් ඇති වූ නිහඩතාවයෙනි.

අයියා...

ඒ වාසනාවන්තයා කවුද නංගා..?

ඒ හඬ බොහෝ සේ බිඳී ගොස් ය. ඔහු ගැන සියුම්දුකක් මෙන්ම කුමක්දෝ රසබර හැඟීමක් ද සිතේ ඇති වී නැති වී ගියේය. එයට හේතුව වූයේ මා ආදරය කරන පුදගලයා ඔහුම වීමය.

ඒ කෙනා කවුරු වුණත් එයා ගොඩක් වාසනාවන්තයෙක්. ඒකනේ ඔයා වගේ හොඳ කෙල්ලෙක්ගෙ ආදරේ ලැබෙන්නෙ.

ඒ වාසනාවන්තයා වෙනකෙකු නොව ඔහුම යැයි මුවින් පිටවන්නට යද්දී මම එය තද කර ගතිමි.

මං ඔයාලා දෙන්නට සුභ පතනවා බබා. ඔයා වගේ අහිංසක ලස්සන කෙල්ලෙක්ව ලබන්න හැමෝටම පින නෑ.

මට කතා කරන්න දෙන්නෙ නැද්ද අයියා..?

මම එය අසද්දීත් ඔහු දුරකථනය තබා අවසානය. ඉතින් මා රුවන් මල්ලී දුන් සාරිය ද පපුවට තුරුළු කර ඇඳේ පෙරලුනෙමි.



No comments:

Post a Comment