Sunday, July 15, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |


මල්ෂාගේ ක්‍රියා කලාපය ගැන මා දිනෙන් දිනම කලකිරෙමින් උන්නෙමි. ළග ඉන්නා විට පණ දෙන්නට මෙන් කතා කරන ඈ තවත් විටෙක හාත්පස වෙනස් වේ. ඈ දුලාජ් අයියා හා කතා කරන බව කිසිවිටෙකත් මට නොපැවසුවා මෙන්ම මමද එය දන්නා බව නොඇඟවිමි.

පළමු මාසයේ උඩවත්ත ඇන්ටී දුන් පංති ගාස්තුවෙන් හරි අඩක් ඈ ඉල්ලා ගත්තේ සතියකින් එය නැවත දෙන බව කියමින්. නමුත් මසකටත් වඩා අධික කාලයක් ගත වී ඇතත් ඇයට දැන් එය මතකවත් නැතුවා සේ ය.


අක්කා.. ඔයාට පුළුවන්ද අද යන ගමන් මගේ ෆෝන් එකට රුපියල් පන්සියක් දාගෙන යන්න..?

පෙර ගනුදෙනු ගැන වචනයකින්වත් සිහි නොකළ ඈ ලැජ්ජාවක් නොමැති ලෙස නැවත්ත එසේ අසද්දී මට තරහා නැගුණි.

මං ළඟ එච්චර සල්ලි නෑ නංගි. බස් එකට විතරයි තියෙන්නෙ.

හරි.. හරි.. අද යන්න කලින් අපේ අම්මා ඔයාට සල්ලි දෙයි..

ඈ කොතරම් කපටිදැයි වටහා ගැනීමට තවත් අටුවා ටීකා අවැසි නැත. අනික ජංගම දුරකථනයට මා මසකටවත් රුපියල් පන්සියයක් දමන්නේ නැති තරම් ය.

මම අදින්නට උදාර අයියව මීට් වෙනවා. එයා සල්ලි වගයක් ගෙනත් දෙන්නම් කිව්වා. ඒකෙන් මම ඔයාගෙ ණය බේරන්නම්.

උදාර අයියා කිව්වෙ..?

ගිහාන් අයියගෙ යාළුවා අනේ.. ඔයාට මතක නැද්ද..?

මට ප්‍රශ්ණයක් නැගුණේ එය මතක තිබූ නිසාවෙන්මය. ගිහාන්ගෙන් නොමැතිව උදාරගෙන් සල්ලි ගන්නේ කුමකටදැයි මට වටහාගත නොහැකි විය.

ඔයා උදාරව මීට් වෙනවා කියලා ගිහාන් දන්නවද..?

අපෝ නෑ.. දන්නවා නම් මට ඉන්න වෙන්නෙ නෑ. මට සල්ලි හදිස්සියක් තියෙන නිසයි එයාව මීට් වෙන්නෙ..

මෙතරම් නවීන පන්නයේ විසල් මැදුරක ජීවත් වෙන උඩවත්ත ඇන්ටීගෙන් ද ඇති තරම් මුදල් ලැබෙන ඇයට මෙතරම් සල්ලි අවශ්‍ය වන්නේ කුමකටදැයි සිතාගත නොහැකි විය.

උදාර අයියා මැණික් මුදලාලි කෙනෙක්ගෙ පුතෙක්. එයා ගිහාන් අයියා වගේ නෙමෙයි දෙයක් කියලා පහදන්න පුළුවන්.

නංගි..?

ඔව් අක්කා.. වෙලාවකට හිතෙනවා මං ඉක්මන් වුණා වැඩිද කියලා..

ඈ ආදරය මෙතරම්ම හෑල්ලු කරතැයි මා සිතුවේ නැත. කාලය කා දැමීම උදෙසා පිරිමි ළමුන් ඇසුරු කරනවා මිසක ඈ ආදරයට සංවේදී අයෙකු නොවේ. කතා කරමින් ඉන්න අතරතුර මල්ෂාගේ ඔඩොක්කුවේ දුරකතනය නාද විය. ඈ එහි සඳහන්ව තිබූ අංකය දෙස බලා එය මදෙසට පෑය.

කවුද..?

ගියාන් අයියා..

ඉතින් මට දෙන්නෙ..

අරගෙන මම නානවා කියන්න.

අනේ මට බෑ නංගි.. ඔයාට බැරි නම් ආන්සර් නොකර ඉන්න.

අපේ පව් වලට මටද හවුල් විය නොහැක. ගිහාන් හා කතා නොකිරීමට තරම් ඈ වෙනස් වී ඇතැයි මම නොසිතුවෙමි.

ප්ලීස් අක්කා.. එහෙනං මට සනීප නෑ.. මං නිදි කියන්න.. නැත්තං දිගටම ගනී..

මෙය ප්‍රථම හා අවසාන අවස්ථාව යැයි සිතා මම ඇමතුම ගත්තෙමි.

හලෝ.. ඇයි බබා මාව මෙහෙම මගඅරින්නෙ..? ඔයාට මං දැන් කතා කරන එකත් වදයක් වෙලාද..?

මට වදනක් හෝ කතා කිරීමට අවස්ථාවක් නොදී ඔහු එහා ඉමෙන් කතා කරන හඩ මා අසා උන්නෙමි.

මම.. මම මල්ෂා නෙමෙයි මල්ලි.. මම මීනු..

අනේ සොරි අක්කා.. මල්ෂා මට ඔයා ගැන කියලා තියෙනවා.. කෝ දැන් එයා..?

නංගිට සනීප නෑ මල්ලි.. එයා නිදි..

අනේ ඇයි ඒ.? එයාට ගොඩක් අමාරුද.?

ගිහාන් මා සිතා උන්නාට වඩා බොහොම අහිංසක, සංවේදී තරුණයකු වග මම වටහා ගතිමි. ඉන් සිදු වූයේ මල්ෂා ගැන මසිතේ වූ කලකිරීම දෙගුණ තෙගුණ වීමය.

එච්චර අමාරු නෑ මල්ලි.. ටිකක් උණ වගේ.. ඔයා පස්සෙ වෙලාවක ගන්න.

තවත් බොරු කියා ඒ සිත රිදවිය නොහැකි නිසා මම කීවෙමි. නමුත් ගිහාන් දුරකථනය තැබුවේ නැත.

මට චුට්ටක් කතා කරන්න පුළුවන්ද අක්කා.? මල්ෂගේ හොඳම යාළුවා ඔයානෙ. මට කියන්න එයාගෙ වෙන සම්බන්දයක් තියෙනවද කියලා.

මා ඇගේ හොදම යාළුවා යැයි ඈ කීවද එය වචනයට පමණක් සීමා වූවකි. මල්ෂාගේ ගුප්ත ජීවිතයෙන් අඩක් හෝ මා දන්නේ නැත.

මං එහෙම දෙයක් ගැන දන්නෑ මල්ලි.

ඒ වුණාට එයා දැන් ඉස්සර වගේ නෙමෙයි. දැන් මාව මග අරිනවා. මං කතා කළාම ෆෝන් එක ගන්නෙ නෑ. ඒත් මගෙ යාළුවා එක්ක පැය ගණන් කතා කරනවා. මට මේකට හේතුව හොයාගන්න ඕන අක්කා.

එහා ඉමෙන් ගිහාන් සිය දුක් ගැනවිල්ල කියාගෙන යද්දී දුරකථනය තබන්නට යැයි මල්ෂා මට සංඥා කළාය. නමුත් එතරම් කුරිරු විය නොහැකි වූ මා දිගටම එය කනේ තබාගනෙ උන්නෙමි.

අක්කා ගොඩක් හොද කෙනෙක් කියලා මට මල්ෂා කියලා තියෙනවා. ඔයා මේවට හවුල් නෑ කියලත් මං දන්නවා. ඒත් මං මල්ෂට ඇත්තටම ගොඩක් ආදරේ කළා අක්කෙ. ඒ නිසා මට දුකයි.

මං දැන් තියන්නම් මල්ලි. ඔයා එයා එක්කම කතා කරලා ඔය ප්‍රශ්නෙ විසඳගන්න.

විසඳගන්න එයා කතා කරන්නෙ නෑනෙ. පෙරෙයිදා මගේ උපන්දිනේ තිබුණා. තෑග්ගක් දෙන්න තියා අඩු ගානෙ කෝල් එකක් දෙන්නවත් එයාට මතක තිබුණෙ නෑ. ඒත් මාසෙකට විතර උඩදී උදාරගෙ බර්ත්ඩේ එකට තෑග්ගකුත් අරගෙන එයා උන්ගෙ ඔෆිස් එකට ගිහින් තිබුණා.

මොනවා..

එය ඇසෙද්දී මා ඉඳඋන් පුටුවෙන් නැගිට්ටවී තිබුණා. මල්ෂා දෑස් විස්ල් කර මදෙස බලා උන්නාය.

මං කියන්නෙ ඇත්ත අක්කා. උදාරගෙ ඔෆිස් එකේ මගේ තව යාළුවෙක් ඉන්නවා. ඌ තමයි මට මේ සේරම කිව්වෙ. මං දැන් උදාරව ආශ්‍රය කරන්නෙ නෑ. මල්ෂා නිසා මට මගේ යාළුවත් නැති වුණා.

ඔයා ගැන මට දුකයි මල්ලි.

මල්ෂාට කියන්න අක්කෙ කොල්ලෙක්ගෙ වුණත් ඉවසීමෙ සීමාවක් තියෙනවා කියලා.

අපට තවත් කතා කිරීමට ඉඩ නොදුන් මල්ෂා මගේ අතින් දුරකථනය උදුර ගත්තාය. සිතේ වූ තරහා පිටකරගත නොහැකි වූ මා මගේ බෑගය ද රැගෙන උඩවත්ත නිවසින් පිට විමි.


සිතේ වූ තෝන්තු ගතිය මඟ හරවා ගත නොහැකි වූ මා පිට පිට දින කිහිපයක්ම මල්ෂාගේ නිවසට යෑමෙන් වැළකි උන්නෙමි. මටකම්මුල් ගාය වැලඳුනේ ඔය අතරේදිය. ඉදිමුණ කම්මුල් වේදනාවෙන් පුපුරු ගසද්දී නැන්දා මා ළගින්ම හිද අවශ්‍ය සියලු සත්කාරයන් ඉටු කළාය. රුවන් මල්ලීද නිවසට පැමිණි වේලේ පටන් උන්නේ මගේ කාමරයටවීදුක සැප සොයා බලමිනි. නමුත් ඒ දින වල දුලාජ් අයියාගෙන් එකම එක ඇමතුමක් හෝ ලැබුණේ නැත. මා දුකින් වග දැන උන් සීතා ආන්ටි මාර්ගයෙන් ඔහුගේ තොරතුරු සොයා මට කීවේය.

ඔයා මං ළඟට එන්න එපා මල්ලි. ඔයාටත් බෝ වෙයි.

රුවල් මල්ලි පිටත්කරගත නොහැකි ඇතැම් අවස්ථාවල මා එසේ කීවද ඔහු එය ගාණකටවත් ගත්තේ නැත.

මට හැදෙන්නෙ නෑ අක්කා. මට පොඩි කාලෙ හැදිලා තියෙනවලු. අනික මට ලෙඩ වලට බයත් නෑ.

දුලාජ් අයියාගේ ආදරය නොමැතු වුව ද රුවන් මල්ලීගේ විසල් රැකවරණය සිතට ශක්තියක් ගෙන ආවේය.

කම්මුල්වල බෙහෙත් ගැල්වීම නිසා ඉදිමුව තරමක් බැස ගිය ද නැන්දා මට එළි පෙහෙළියට යෑමට දුන්නේ නැත. ඉතින් මා නිවසට වී හිස මටා තුවායක් පැළද උන්නෙමි.

දෝණි.. උඩවත්ත කෝල් කළා ඔයා ආවෙ නැත්තෙ ඇයි කියලා අහන්න. මං විස්තරේ කිව්වාම දැන් ඔයා බලන්න එනවා කිව්වා.

පිස්සුද අම්මා.. මේවගේ ලෙඩක් හැදිල තියෙන වෙලාවට පිට මිනිස්සුන්ව ගෙට ගන්න හදන්නෙ, අක්කට අමාරුව වැඩිවෙයි.

එයා එනවා කිව්වෙ දූගෙ පංති ගාස්තුව දීලා යන්නත් එක්කලු. ආවට මං එයාව ගෙට ගන්නෙ නෑ. දූ කාමරයෙන් එළියට එන්න එපා. ඇතුළට වෙලා නිදා ගන්න.

නැන්දාගේත්, මල්ලීගේත් සෙනෙහස විටෙක දැරිය නොහැකි තරම් ය.

මල්ෂත් එනවලු ද නැන්දා..?

නෑ.. එයාට සනීප නෑ කියලා උඩවත්ත කිව්වා.

මල්ලීත් මාත් කාමරයේ හිඳිද්දී එසේ කියූ නැන්දා පිටව ගියාය.

ඒකිට කොහොමත් ඉස්සර ඉඳලා සනීප නෑ තමයි.. බහින්නෙ නැති උණක් තියෙන්නෙ.

මල්ලීගේ කතාවට සිනා නැගුණත් සිනාසීගත නොහැකි තරමට කම්මුල රිදුම් දේ. ඉතින් මං කොට්ටයක් ඇඳ විට්ටමට හේත්තු කර එහි දිගා විමි.

මං ආපහු එයාට උගන්වන්න යන්නෙ නෑ මල්ලි.

කම්මුලකට අතකුත් තබා මා අසීරුවෙන් පවසද්දී මල්ලි පුදුම වී බැලුවේය.

ඔයා පරක්කු වෙලා වුණත් ඇත්ත තත්වෙ තේරුම් ගත්ත එක නම් ඇති අක්කා. දැන් ඔයාට අමාරුනේ. මොකද වුණේ කියලා මට පස්සෙ කියන්න.

ඔයා කිව්වෙ ඇත්ත. මල්ෂා හරි අමුතුයි.

ඔයා මල්ෂා ගැන නොදන්න දේවලුත් මං දන්නවා. අක්කා දන්නවද මට මල්ෂා පෙන්නන්න බැරි ඇයි කියලා.?

මම නැතැයි හැඟවීමට හිස සලද්දී මල්ලී මොහොතකට කාමරයෙන් පිටව ගියේය. ඔහු නැවතත් පැමිණියේ අතේ යමක් සඟවාගෙනය.

මේක කියවලා බලන්න.

ඔහු මා අතට හතරට නවන ලද කොලයක් දී මගේ ඇඳේ කොණකින් හිඳ ගත්තේය. දිගහැර බලද්දී එය මල්ෂාගේ අත් අකුරින් ලියන ලද දිපියක් බව මම වටහා ගතිමි.

ආදර රුවන් අයියාට,

අයියේ.. මේ ලියුම ගැන වරදවා හිතන්න එපා. මට ඔයාව මීට් වෙන්න ඕනෙ. ඇතත්ම කියනවා නං මං ඔයාට ආදරේ කරනවා. ඔයාගේ හිතේ මං ගැන ආදරයක් තියෙනවා කියලා මං දන්නවා.. ප්ලීස්.. ඔයාට ෆ්‍රී දවසක් තියෙනවා නං මට කියන්න.

මීට ආදර මල්ෂා.

එය බොහෝ හදිස්සීයට හා අපිළීවෙලට ලියන ලද ලියුමකි. ඇගේ සිල්ලර ආදරය ගැන වටහාගෙන උන් මා මෙම ලිපිය ගැන පුදුම නොවිමි. නමුත්..

ඔයත් මල්ෂට ආදරේ කළාද මල්ලි. මේකෙ මේ ලියලා තියෙන්නෙ.?

පිස්සුද අක්කා. මගේ තුන් හිතකවත් එහෙම අදහසක් තිබුණෙ නෑ. එයා උඩවත්ත ඇන්ටි එක්ක ඉස්සර අපේ ගෙදර එන කාලෙ මමත් නිකමට කතා කළා. ඒකටයි ඔය වලිගෙ පාගගෙන තියෙන්නෙ.

ඒ වුණාට එයා ඔයාට ආදරේ කළා.

ඒත් නෑ.. මල්ෂා කියන්නෙ ආදරේ කරන්න දන්න එකියක්ද..? ඒකිට තිබුණෙ වෙන වෙන අමාරුකං. හැමැයි සමහර කොල්ලො නං ඔය උණෙන් හොද ප්‍රයෝජන ගත්තා.

ඉස්සර අපේ අම්මා ලෙඩ වෙලා හිටපු දවසක උඩවත්ත ඇන්ටි මල්ෂාව අපේ අම්මගෙ තනියට කියලා උදේම මෙහෙ බස්සලා ගියා. උදේ ඉදලම ඔය කෙල්ල මගේ කාමරේ අස්සෙ රිංගගෙන. එදා රෑ ගෙදර යන වෙලේ තමයි  ඕක ලියලා මගේ අතට දාලා ගියේ.

ඉතිං..?

මං ඕක අපේ තාත්තට පෙන්නුවා.. පෙන්නලා එදා විස්තරේ කිව්වා. එදා ඉදලා අපේ තාත්තට මල්ෂාව පෙන්නන්න බෑ. ඒත් අම්මගෙයි, උඩවත්ත ඇන්ටිගෙයි යාළුකම නිසා මූණට මොකුත් කියන්න බැරිව ඉන්නෙ..

නැන්දා දන්නවද..?

මල්ෂගෙ නැටිල්ල ගැන අම්මා දන්නවා වුණාට මගේ කරේ එල්ලෙන්න හදවු එක එයා දන්නෙ නෑ. ඒ දවස්වල එයා ලෙඩින් හිටපු නිසා තාත්තයි, මමයි ඒ විස්තර මොකුත්ම කිව්වෙ නෑ.

මම දෑස් පියා තදින් හුස්මක් ගතිමි. මල්ලී හා මල්ෂා අතර මෙවන් කතාවක් සිදුව ඇතැයි මම සිහිනෙකින් වත් නොසිතුවෙමි. මල්ෂා රුවන් මල්ලී ගැන කතාකරන හැම විටකම ඔහු ආඩම්බර යැයි කියන්නේ ඒ නිසා වන්නට ඇත.

අපේ යාළුවො ඕකිට කියන්නෙ කාම ධේනුව කියලා

මෙතරම් ළාබාල වයසක දී පිරිමි ළමුන් අතර එවැනි නරක නාමයකින් හැඳින්වීම සිතාගත නොහැකි තරම්ය. මා නොදැන උන්නාට ඇගේ චරිතය සැබැවින්ම පළුදු කරගෙන ඇත.

එතරම් සුන්ර රූපයක් හෝ උරුමව නොතිබූ ඇයට පිරිමි ළමුන් ආකර්ෂණය වන්ගේ ඇගේ එම අනවශ්‍ය ආසාවන් නිසා විය හැක.

ඔයා කලින් කිව්වානං මං එහේ යන්නෙ නෑ.

ඔයා හොඳ හිතින් කරන්න පටන් ගත්තු වැඩේ නිසා මං බාධා කරන්න හිතුවෙ නෑ අක්කා. ඒත් විස්තර දන්න නිසයි මං කලින්ම අනතුරු අඟවලා තිබ්බෙ.

මල්ෂා මේ තරම් නරක් වෙලා තියෙන්නෙ ඇයි කියලා හිතාගන්නවත් බෑ.

වෙන මොකුත් නෙමෙයි. සල්ලි බලේ. ඒකි කොල්ලො අල්ලගන්නෙ සල්ලි විසි කරලා.

අප කතා කරමින් උන් අතරතුර නිවසේ සීනුව නාද වනවා ඇසුණි. මල්ලි වහා ඇඳෙන් නැගිට ගත්තේය.

උඩවත්ත ඇන්ටි ඇවිත්ද කොහෙද. දැන් ගොඩක් වෙලා කතා කරලා මහන්සිත් ඇතිනේ. අක්කා ටිකක් නිදා ගන්න.
මල්ලී පිටව ගියේ කාමරයේ දොරද බාගටෙ වසාගෙන ය. මම ඇඳේ පෙරළි දෑස් තදින් පියා ගතිමි.



No comments:

Post a Comment