Sunday, July 15, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |


දින කිහිපයක් අවට ආලෝකය ගැන නිනව්වක් නොමැතිව හැගීම් දැනීම් නොමැති ප්‍රාණියකු සේ කල් ගෙවූ මට, උඩවත්ත නිවසට ගොස් මල්ෂාව මුණ ගැසීමේ සිතක් පහළ විය. යළිත් ඔවුන්ගේ නිවසට නොයමියි අදිටන් කරගෙන උන්නද මසිත එම සීමා බිඳ දැමුවේ ය. ඉතිං මා යුහුසුළුව හැඳ පළඳ ගතිමි.

දෝණි.. කොහෙ යන්නද මේ..?

මගේ ඇඳුම දෙස විපරමෙන් බැලූ නැන්දා විමසුවාය.


මම මල්ෂාව බලන්න යනවා..

හදිස්සීයේ..?

මගේ ක්ෂණික වෙනස ඇයටද ගැටලුවක් වන්නට ඇත.

හදිසියකට නෙමෙයි නැන්දා.. කාලෙකින් එයාව දැක්කෙන් නෑනෙ.

නමුත් මගේ පිළීතුරෙන් ඈ සෑහීමකට පත් වූවා නොවේ. හඬමින් දොඬමින් උන් මා හිටි හැටියේ නිවසින් එළියට බැසීම ඇගේ බිය දෙගුණ තෙගුණ කර තිබුණි.

එහේ තනියෙම යන්න එපා දූ.. උඩවත්තගෙ පුතත් රට ඉඳලා ඇවිත්ලු. ඔයාට යන්නම ඕනෙ නම් මමත් එන්නම්..

මම ඉක්මනට එනවා නැන්දා..

ප්‍රථම වතාවට නැන්දාගේ කීමට අකීකරු වී නිවසින් එළියට බැසිමි. හැඬිය නොහැකිකමට නැන්දා දෑසේ කඳුළු පුරවා මා යන මග බලා උන්නාය.

මල්ෂාගේ වැඩිමල් සොහොයුරා පැමිණ ඇතැයි කී බැවින් සිතට යම් චකිතයක් දැනුණද නොද්න්නා බලවේගයක් විසින් මා හසුරවමින් තිබුණි.

ඔවුන්ගේ නිවසට යන විට වෙනදා මෙන් නොව ඒ විසල් ගේට්ටු පළු දෙක විවෘත කර තිබෙනු දුටිමි. එයින් ඇතුළු වී මිදුලේ හරි අඩක් යද්දී සිතේ තිබූ එඩිතර ගතිය පහව ගියා වැනිය. ඉතින් මා බියපත් මුවැත්තියක සේ නිවසට පා නැගිමි.

කාව හම්බවෙන්නද..?

සුදු උස පිරිපුන් තරුණයකු කොට කලිසමකින් හා අත් රහිත බැනියමකින් සැරසී සෙටියේ වාඩි වී උන්නේය. ඔහුගේ හඬ ඇසී මම එතනම නතර විමි.

මල්ෂා ඉන්නවද..?

ඔයා කවුද..?

ඒ මල්ෂාගේ අයියා වන්නට ඇතැයි මා අනුමාන කළෙමි. කඩවසම් රුවක් උරුමව තිබුණ ද ඒ කටහඬෙහි කිසිදු දයාවක් නැත්තා සේ ය.

මම මීනු.. මල්ෂාගෙ යාළුවෙක්..

නංගට එහෙම නමක් තියෙන යාළුවෙක් නෑ..

ඔහු එසේ කීවේ පුටුවෙන් ගැගිටිනා අතරවාරයේ ය. මල්ෂා හෝ උඩවත්ත ඇන්ටී සොයන අටියෙන් මා නිවස සිසාරා බැලිමි.

ගෙදර කවුරුත් නෑ.. මං විතරයි ගෙදර ඉන්නෙ..

නැන්දාට අකීකරු වී පැමිණීමේ විපාක මා පෙරළා අත්විඳිමින් උන්නෙමි. මා හිස ඔසවද්දී ඒ තරුණයා පැමිණ මගේ ළගින් හිට ගත්තේය. කුමක්දෝ නුපුරුු විදේශිය විලවුන් සුවඳක් ඔහු ළගින් වහනය වුණි.

ඔයා මීනු කිව්වනේ.. මං පැහැසර.. මල්ෂාස් බ්‍රදර්.. නයිස් ටූ මීට් යූ..

පැහැසර.. ඔහුගේ ශක්තිමත් සුදුවන් දෑත මදෙසට දිගු වෙද්දී මමද හෙමීට අත දිගු කළෙමි.

මෙන්න වැඩක් අම්මා..

කිසිවක් නොවූවා යැයි කියූ නිවස තුළින් මල්ෂාගේ රුව මතු වූයේ මා පැහැසරගේ අතින් අල්ලාගෙන උන් වේලේ ය. මම වහා අත ඉවතට ඇද ගතිමි. ඇගේ හඬ ඇසුණු උඩවත්ත ඇන්ටීද ඉක්මන් අඩි තබා සාලයට පැමිණියාය.

දූ.. ගොඩ කාලෙකට පස්සෙ.. එන්න.. එන්න..

මම යළිත් වරක් පැහැසරගේ මුහුණ බලද්දී ඔහු මහා දඟකාරකමක් කළ එකෙකු සේ සිනාවක් පෑවේ ය.

අක්කා එයි කියලා මං හිතුවෙ නෑ.. ඉතිං..

ඈ මගේ අතින් අල්ලාගනෙම ඇගේ කාමරයට ඇතුළු විය.

අක්කා.. ඔයා එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මං දවසක එහෙන එන්න කියලා හිටියෙ.

ඉතින් අපි දැන් කතා කරමු..

ඈ දෑන් නටවමින් මගේ මුහුණ දෙස අමුතු බැල්මක් හෙළුවාය..

අක්කට දුලාජ් අයියා මොනවා හරි කිව්වද..?

මොනවා ගැනද..?

එයා මොනා හරි ගැන එයාට SMS කළාද..?

මේ දේවල් ඈ දන්නේ කෙසේ දැයි මම පුදුම විමි. නමුත් මල්ෂා හා දුලාජ් අයියා දුරකථනයෙන් කතා කරන බව මා දැන උන් නිසා මගේ සැකය දුරුවිය. දුලාජ් අයියා මට ආදර කරනා වග මල්ෂා හා කියන්නට ඇත. ඉතින් මම ද ඇයට සත්‍ය පැවසීමට අදිටින් කරගතිමි.

දුලාජ් අයියා ට ආදරෙයි කිව්වා..

මගේ කතාවට මල්ෂාගේ දෑස් පවා තිගැස්සී ගියේය. ඈ මගේ අතක් තදට අල්වා ගනිද්දී මම ඒ මූණට එබී බැලුවෙමි.

ඔය කතාව ඇත්තක්ද අක්කා. දුලාජ් අයියා ඔයාට ආදරේ කරලද, ඒත් එයා මට කිව්වෙ වෙන දෙයක්නෙ..

මොනවද..?

දුලාජ් අයියා කිව්වා ඔයා එයාට ආදරය කරනවා වගේ දැනෙනවලු. ඔයා නිතර නිතර එයාට කතා කරනවලු. එයාට සැරෙන් සැරේ SMS කරනවලු.

මං..?

නොවේ.... එය බොරුවකි. මට නිතර නිතර කෙටි පණිවුඩ එව්වේ දුරකථන ඇමතුම් දුන්නේ ඔහුය. මට ආදරේ කරනා වග නොකියා ඔහු කීවේය. නමුත් ඔහු එවන් බොරුවක් මල්ෂාට කීවේ ඇයිදැයි මට වටහාගත නොහැකි විය.

බොරු නං මේ මැසේජ් එක බලන්න නංගි.

බොරුකාරියක වීමට අවැසි නොවූ නිසා දුලාජ් අයියා මට ආදරය ප්‍රකාශ කර එවූ කෙටි පණිවුඩ කිහිපය මම මල්ෂාට පෙන්විමි. ඒ දුටු ඈ හිසේ අත ගසා ගත්තාය.

එයා ඔයාට මේක විතරද කිව්වෙ.? වෙන මොකුත් කිව්වෙ නැද්ද.?

එය කටින් කීමට තරම් දිරියක් නොවූ මා ඇයට දුලාජ් අයියා එවූ අවසාන කෙටි පණිවුඩය ද කියවීමට දුන්නෙමි. එය කියවා දුරකථනය මා අතට දුන් ඈ මොහොතක් නිහඩව සිටියාය.

ඒ කවුද කියලා ඔයා දන්නවද අක්කා.? ආ.. දුලාජ් අයියා ආදරේ කරන්නෙ කාටද දන්නවද..?

දෙනෙතට කඳුළු පුරා ආවත් මම දත් මිටි කා එය තදකරගෙන උන්නෙමි. මා දුලාජ් අයියාට ඇත්තටම ආදරය කළා යැයි මල්ෂා වුවත් දැනගත යුතු නැත.

එයා ආදරේ කරන්නෙ මට අක්කා....

මල්ෂා බොහෝ සෙමින් නමුත් දැඩි හඬින් කියූ වදන් අසා මගේ දෙපා පණ නැතිව ගියේය. ඔවුන් දෙදෙනා කතා කරනා බව දැන උන්නද ආදරය කරනා වග මම සිහිනෙකින්වත් නොසිතුවෙමි. මා දැනුවත්ව මල්ෂා ආදරය කරන්නේ ගිහාන්ට හෝ උදාරයට. මා සිතා උන්නේ දුලාජ් අයියා ආදරය කරන්නේ ඔවුන්ගේ කාර්යාලයේ කෙනෙකුට කියාය.

මට සමාවෙන්න අක්කා. ඔයාට මේක නොකියා හිටියෙ වෙන මොකුත් නිසා නෙමෙයි. දුලාජ් අයියා කියපු නිසා.

එයා මොනවද කිව්වෙ.?

මගේ හඬ බොහෝ බිඳි ගොස් ඇති වග මටම වැටහුණි. සැබැවින්ම පපුව සත්කඩකට පැලී ගිය තරම් රිදුම් දෙන්නට විය.

එයා කිව්වෙ, ඔයා එයාට ආදරය කරනවා වගේ දැනෙනවා.. ඒ නිසා ඔයාට මොකුත් කියන්න එපා.. ඔයාට දුක හිතෙයි කියලා..

මා සිතා උන්නාට වඩා දුලාජ් අයියා දෙබිඩි චරිතයකි. ආදරේ යැයි වදනින් නොකීළුද ඔහු බොහෝ විට මට ආදරේ ගැන නොකියා කීවේය. මා බලාපොරොත්තු පොදි බැන්දේ ඔහු සමග එම විසල් සෙනෙහස අරබයා ය.

දුලාජ් අයියා එහෙම කියපු නිසා තමයි මං අක්කගෙන් දවස් ගාණක් ඇහුවෙ ඔයා දුලාජ් අයියට ඇත්තටම ආදරෙයිද කියලා. ඔයා නෑ කිව්වනේ. ඉති මං එයා එක්ක යාළු වුණා..

එතකොට ගිහාන්..?

ඒක කොහොමත් තිබුණට නෑ වගේනෙ අක්කා.. ගිහාන් අයියා කවදාවත් මාව තේරුම් ගත්තෙ නෑ..

ඇයට එතරම් පෙම් කළ ගිහාන්ගේ ආදරය මල්ෂා හෑල්ලුවට ලක් කරමින් කතා කළාය.

දුලාජ් අයියා ගිහාන් ගැන දන්නවද..?

නෑ අක්කා.. මං මොකුත් කිව්වෙ නෑ.. මං කිව්වා දැන් අවුරුද්දක දෙකක විතර ඉඳලා මගේ සම්බන්ධයක් තිබුණෙ නෑ කියලා. අනේ අක්කා ගිහාන් අයියා ගැනවත්, උදාර අයියා ගැනවත් එයාට කිසි දෙයක් කියන්න එපා. එයා මං ගැන වරදවා හිතයි.

මෙතරම් අහිංසක ලෙස ආදරය කළ මගේ සිත රැවටූ ඇයට දුලාජ් අයියා රැවටීම මහා දෙයක් නොවේ. දැන් සිදුවිය යුතු දේවල් සිදු වී හමාරය. ඔවුනට ඕනෑ දෙයක් කර ගැනීමට ඉඩ හැර ඊට වදනකින් හෝ මැදිහත් නොවී හිඳීමට මම තීරණය කළෙමි.

ඔය දෙන්නා යාළු වෙලා කොච්චර කල්ද..?

ඒවා ඇසීම පපුවට යවුල් අනින්නාක් මෙන් වුවද ඒ කටුක වේදනාව විඳිමට මා සැදී පැහැදී උන්නෙමි.

දැන් මාස හයක් විතර ඇති. අපි දෙන්නා මුලින්ම මීට් වුණේ ඔයාලගෙ ගෙදරදි..

අපේ ගෙදරදි..?

ඔව්. එදා ටියුට් එක ගෙනියන්න කියලා මං ආපු දවසෙ..

එදින ඔවුන් දෙදෙනා මිදුලේ සිනා සිසී කතා කරමින් උන් අයුරු මසිතේ ඇදී මැකී ගියේය.

ඒත් එදා ඔයාලා මුණ ගැහුණෙ අහම්බෙන්නෙ..?

නෑ.. එදා අපි දෙන්නා ආවෙ කතා වෙලා. මං ඔයාලගෙ දිහා එන්න ඕන කමට කලින් දවසෙ ඔයාගෙ බෑග් එකට මගේ ටියුට් එකක් දැම්මා. එතකොට රූපිකා ආන්ටි වුණත් සැක හිතන්නෙ නෑනෙ.

නංගි....

මා සීරුවෙන් වළකා උන් කදුළු වැල් දෙකක් කම්මුල් හරහා ගලා ගියේය. ඔවුන් දෙපළ මා නූලෙන් නැටවෙන රූකඩයක් සේ නටවා හමාරය. ඔවුන් නොහඳුනනවායැයි සිතා මා එකිනෙකා හඳුන්වා දීමේන් කර ගත්තේ ගොන් කමකි. දුලාජ් අයියාව හා මල්ෂා හරිහැටි තේරුම් ගත නොහැකි වී ඇත්තේ මටය.

ඔයත් මට බොරුවක් කළානෙ අක්කා..

මා ඇයට බොරු කර නැත. මා කළ එකම අහිංසක වරද මගේ ආදරය පිටත ලෝකයෙන් වසන් කර තබා ගැනිම පමණි.

ඔයා දවසක් දුලාජ් අයියව මීට් වෙන්න එයාගෙ ඔෆිස් එකට ගිහින් නේද..? මං ආහපුවාම ඔයා ලයිබ්‍රරි එකේ ඉන්නෙ කිව්වා..

කෙනෙකුට මෙතරම් ලැජ්ජා විය හැකිදැයි මා නොදනිමි. මා දුලාජ් අයියාව විශ්වාස කළ ද ඔහු මල්ෂාට මාව පාව දී ඇත. වේදනාව, පසුතැවීම, ලැජ්ජාව මෙන්ම තරහාද මගේ සිත තුළ කලනය වෙද්දී මම මල්ෂාගේ ඇඳෙන් නැගී උන්නෙමි. වාන් දොරට පිටාර ගලන තරම් කඳුළු ගංගාවක් සිත තුළ  තද කරගෙන උන් මට අවැසි වූයේ හැකිතාක් ඉක්මනට නිවසට ගොස් සිත් සේ හඩා වැළපීමට ය.

ඔයා යනවද අක්කා...? ප්ලීස්.. මං එක්ක තරහා වෙන්න එපා. මට අන්තිම වතාවට දෙයක් කියලා යනවද..?

මා නැවත මෙහි නොඑන්නට තීරණය කළ බව මල්ෂාට ද වැටහී ඇතුවා සේය.

අහන්න..

අක්කා ඇත්තටම කවදාවත් දුලාජ් අයියට ආදරේ කලේ නැද්ද..?

හදවත රිඳුම් දෙද්දී මම මොහොතක් කල්පනා කළෙමි. ඇත්ත පැවසීමෙන් වන්නේ මල්ෂාගේ සිත රිදීම පමණි. කොහොමටත් දැන් ඔවුන් එකිනෙකාට ආදරය කරනා බැවින් මගේ ආදරයට වටිනාකමක් නැත්තේ ය. ඉතින් අවසන් වරටද බොරුවක් කියා ඔවුන්ගෙන් සමුගැනීමට මම තීරණය කළෙමි.

නෑ.. මං ආදරේ කළේ නෑ නංගි.. කවදාවත් ආදරේ කළේ නැ..

ඈ මගෙ රතුව ගිය ඇස් දෙස විපරමින් බලද්දී කඳුළු සගවාගත නොවුණු මා ඇයව තදින් වැළඳ ගතිමි.

ඔයා දුකෙන් අක්කා..

ඈ යළිත් මුහුණට එබෙද්දී මම දෑස් තදින් පියා ගතිමි. යටි පතුල් වලින් ඇරඹී මහා වේදනාවක් සිරුර පුරා දිව යද්දී මල්ෂාගෙන් මිඳුණු මා බෑගය ද රැගෙන නිවසින් පිට විමි. පපුව පිච්චී යන තරම් දුකක් දැනෙද්දී දෙපා වාරු නැතිව යනවා මෙන් දැනුණි. නමුත් සිත ධෛර්යමත් කරගෙන බසයකට ගොඩ වීමට මට හැකි විය. සෙනග අතළොස්සක් වූ බසයට නැග සැණින් මම ඉදිරිපස අසුනට හිස ගසා වැළපුනෙමි. එම බසයේ වාදනය වෙමින් තිබූ ගිතය මගේ කඳුළු අළුත් කරලීය.

ඔබේ රුව රසදුනක් වූවට
කමක් නැහැ මට..
තවත් ඇසකට..
ඒත් ඔය සිත වෙනත් කෙනෙකුට
අයිති වනු බැහැ
දරා ගන්නට...



No comments:

Post a Comment