Sunday, July 15, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |


සෙනසුරාදා උදෑසන මා තරමක් වේලාසන අවදි වූයේ රුවන් මල්ලී සමග කළුතර යෑමට ඇති නිසාවෙනි. නැන්දාට නොකියා මෙම ගමන යෑමට මල්ලීට අවැසි වූ නිසා මමද කිසිත් නොකියා කරබා උන්නෙමි.

දූත් අද මල්ලිගෙ යාළුවගෙ පාටි එකට යනවද...?

මා මුහුණ සෝදා එනවිට නැන්දා ඇසූ පැනයෙන් මම වික්ෂිප්ත විමි. අද ගමනට බොහෝ වේලා ගතව නිසා මල්ලී වේලාසනම බොරුවක් පවසන්නට ඇත.


ඔව් නැන්දා.. මල්ලිට තනියෙම යන්න කම්මැලියි කිව්වා.

මම පිළිතුරු දුන්නේ නැන්දාගේ මුහුණ මග හරිමිනි. ඈ සැක සිතුවා නොවේ.

මටත් පුතා කිව්වා, ඔයත් කම්මැලිකමේ ගෙදර ඉන්න එකේ එක්කන් යන්නද ඇහුවා.

මං මල්ලි එක්ක ගියාට කමක් නැන්ද නැන්දා..?

සිතුවිලි පාලනය කරගත නොහැකි වද්දී මම ව්‍යංගයෙන් යමක් ඇසුවෙමි.

ඒකට මොකද දෝණි. ඔයා ගිහින් එන්න... හැබැයි යාළුවො එකතු වුණාම චූටි පුතාට බොන්න දෙන්න එපා..

කිසිවක් නොදන්නා අසරණ ඈ එසේ කියද්දී මගේ දෑසට කදුළු පිරුණි. මෙවන්හිතකට වදනකින් හෝ බොරුවක් කිරීමට මල්ලී පෙළඹුනේ ඇයිදැයි සිතාගත නොහැකි ය.

අක්කා.. ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි දාගන්න.. බයික් එකේ යන්නෙ.

මල්ලී පහළ සිට කෑ ගැසුවේය. නැන්දා මහිස අතගා ඉවත යද්දී මම ඇදුම් මාරුකර ගතිමි. නිල්පාට ඩෙනිම් කලිසමට කළු ටී ෂර්ටයක් හැඳි මා පඩිපෙල බැස එද්දී මල්ලී සාලයේ පුටුවකට බරව උන්නේ ය. ඔහු දුටු මගේ දෑස් ඉබේටම විසල් වෙද්දී මල්ලීද පුදුමයෙන් මගේ හිසේ සිට පාදාන්තය තෙක් බැලුවේය. ඔහු ද මා මෙන්ම හැඳ උන්නේ නිල් පාට ඩෙනිමක් හා කළු ටී ෂර්ටයකි.

මේ මොකෝ මේ.. පාටි එකට යුනිෆෝම් එකක් තියෙනවද..?

නැන්දා එසේ විහිළු කළේ අප දෙදෙනාම කතාකර එකම පාටින් හැඳි බව සිතා ය. නමුත් මෙය අහම්බයක් බව දැන උන්නේ අප දෙදෙනා පමණි.

ඒත් දූ... ඔයිට වඩා හොඳ එක් ඇන්දනං තමයි හරි..

මෙය උත්සව අවස්ථාවකට කිසිසේත් නුසුදුසු නිසා ඈ කීවාය. නමුත් මල්ලී ඊට එරෙහි විය.

විකාර කරන්න එපා අම්මා, මඟුල් ගෙදරකට වගේ යන්න ඕනෙ නෑ. ඕක හොදයි.

හරි.. හරි.. දෙන්නා එහෙනම් පරිස්සමින් ගිහින් එන්නකො..

අප දෙදෙනාම බයිසිකලයට නැගුණේ නැන්දාගේ දෙපා වැඳීමෙන් අනතුරුවය. නැන්දාට බොරුවක් කියා මෙසේ යෑමට සිදුවීම ගැන සමාවෙන්න යැයි මම සිතින් අයැදිමි.

ගාලු පාරට එනතෙක් එක වේගයට බයිසිකලය පදවාගෙන ආ මල්ලී එය අතුරු මාර්ගයකට දමා නතර කළේය.

අක්කා.. කළුතරට බයික් එකේ යන්න ගියොත් අමාරුයි.. දවල් වෙද්දි අව්වත් සැරයිනේ.. අපි ඉන්ටර්සිටියෙ යමු.

එතකොට බයික් එක..?

මේ එහා පැත්තෙ මං දන්න තැනක් තියෙනවා. බයික් එක අපි එහේ දාලා යමු.

මල්ලීගේ යෝජනාව ගැන මං මඳක් සිතා බැලුවෙමි. බයිසිකලය කළුතරට යන තෙක් පදවාගෙන යෑම හා ආපසු ඒම නිසා මටත් වඩා අපහසුතාවට පත් වන්නේ මල්ලීය. ඔහු කීවා සේම ආපසු එන විට තද අව්වක් ද තිබිය හැක.එහෙයින් මම ඔහුගේ අදහසට එකඟ විමි.

එම අතුරු පාරේ වූ ගරාජයකට බයිසිකලය දැමූ මල්ලී මා සමග බස් නැවතුම තෙක් ආවේය.

බයික් එක එතැන දැම්මට ප්‍රශ්නයක් නැද්ද..?

නෑ.. ඒක කරන්නෙ මගේ යාළුවෙක්ගෙ අයියා කෙනෙක්.

අප දෙදෙනා කතා කරමින්ම ගොස් කළුතර කොළඹ අධිවේගී බස් රථයකට ගොඩ විමු. එහි වූයේ පෙම්වතුන් ජෝඩු දෙක්ක හා තවත් පුද්ගලයන් දෙදෙනකු පමණි. මගේ අත අල්ලා ගත් මල්ලී පසුපසම අසුනේ කෙලවරක අසුන් ගත්තේය. මමද ඔහු සමීපයේ ඉඳ ගත්තෙමි.

අක්කා ඔයා අයිනට එන්න.

මල්ලී නැගිට මට අසුනේ කෙළවර පෑවේය. එහා ඉම තව දෙදෙනෙක් උන් නිසා මම ද ජනේලය අද්දරට ගියෙමි.

ඇයි මට මෙතන දුන්නෙ..?

හේතු දෙකක් නිසා.. එක්ක ඔයාගෙ එහා පැත්තෙ හිටියෙ කොල්ලෙක්.

අනික...?

අනික තමයි.. උන් දෙන්නා දිහා බැලුවොත් ඔයා කරන් වෙන්න පුළුවන්.

ඔහු පොඩි දරුවෙකු සේ කියා දෙද්දී මට සිනා නැඟුණි. පෙම්වතුන්ගේ ලෝකය බොහෝ දුරට සොඳුරු වන්නට ඇත. ඔවුන් වටපිට ගැන නිනව්වක් නොමැතිව තම තමන්ගේ ලෝකවල අතරමංව හිඳියි. මට මොහොතකට දුලාජ් අයියා සිහියට නැගුණි. මෙවන් අවස්ථාවක මා අබියස රුවන් මල්ලී වෙනුවට ඔහු උන්නා නම්.....

අක්කා මොනවද කල්පනා කරන්නෙ..?

මොකුත් නෑ..

මගේ සිත පිටතට විනිවිද පෙනෙන්නා සේ මට ලැජ්ජාවක් දැනුණි. මල්ලී ඉන් යමක් වටහා ගන්නට ඇත.

ඔයා දවසක මට ඔයාගෙ ගර්ල්ව මුණ ගස්වන්න..

මේ මොහොතේ සිතේ කොණකවත් නොවූ දෙයක් ක්ෂණිකව මගේ මුවින් පිට විය. මල්ලී දෑස් විසල් කර මදෙස බැලුවේය.

මොකද එක පාරටම එයාව මතක් වුණේ..?

නෑ ඔයාලා දෙන්නත් යාළු වුණා නම් ඔයාටත් මේ අය වගේ ආදරයෙන් ඉන්න තිබ්බා.

අසුනේ එහා කොනේ වූ යුවල පෙන්වා මම කියද්දී මල්ලී දිගු හුස්මක් පිට කර හිස හේත්තුකර ගත්තේය.

මගේ හිත නැවතිලා තියෙන්නෙ වැරදි තැනක අක්කා..

ඒ කිව්වෙ..?

මං වෙලාව ආවම කියන්නං.. එතකල් අහන්න එපා..

මට ඔයාව තේරෙන්නෙ නෑ මල්ලි.

මම ජනේලය ආවරණය කර තිබූ ඝන තිර රෙද්ද මදක් මෑත් කළෙමි. ඉන් බසය තුළ වූ අඳුරු ගතිය පහව ගියේය.

අක්කා.. ඔය කර්ට්න් එක වහන්න..

ඇයි...?

මම පුදුමයෙන් මල්ලී දෙස බලද්දී ඔහු මගේ කර වටා අත යවා එය නැවත ආවරණය කළේය. පසුව ඒ අත එලෙසම මා උරහිස මත්තේ රැඳවිය.

අපි ආදරේ නොකලට කමක් නෑ. ඒත් ආදරේ කරන අයට බාධා කරන්න එපා.

බසය ආලෝකමත් වද්දී පෙම්වතුන් සියලු දෙනා නොරිස්සුම් සහගතව හැරී බැලුවේ මන්දයි මම වටහා ගතිමි.

අක්කට එහෙන්ගේන්න දෙයක් තියෙනවද..?

මල්ලී කතාව මාරු කළේය.

එක දෙයක් කියලා නෑ මල්ලි. ගේන්න පුළුවන්නං මං හැමදේම ගේනවා. ඒත්...

බය වෙන්න එපා. ඒ ගේ අයිතිය තියෙන්නෙ ඔයාටනේ. ඉතිං හැම දෙයක්ම ඔයාට තමයි.

වෙලාවකට හිතෙනවා බනින්න හරි අම්මවත් හිටියනං කියලා.

ජනේලයේ පුංචි හිඩැස අතරින් මම නෙතු දුරකට පා කළෙමි. මීට වසර දහයකට පෙර අතීතයට නැවත ඉගිල යා හැකි නම් යැයි මට මොහොතකට සිතුනි.

සුදු මාමා නැතිවුණ එක අපි අමතක කරමුකො. ඒත් ඔයාට ඔයාගෙ අම්මා නැතිවෙලා නෑනෙ අක්කා. එයා තාම ඉන්නවනේ.

ඔව්.. අම්මා ඉන්නවා.. නමට විතරක්, ජීවතුන් අතර ඉන්නවා.

මම එය කීවේ අසිහියෙන් වගේය. මල්ලී මගේ උරහිස මත තිබූ අත තදකර මා ඔහු ළගට ළං කර ගන්නවා මට දැනුණි. හිස ඔසවා බලද්දී මගේ මෙන්ම ඔහුගේ නෙත්වල ද කදුළු ය.

නැන්දට වෛර කරන්න එපා අක්කා. එයා සමහර විට දැන් වෙච්ච දේවල් ගැන පසුතැවෙනවා ඇති. ලංකාවෙන් ගියෙත් අපිට මූණ දෙන්න බැරිකමට වෙන්න ඇති.

මල්ලී අම්මාව සාධාරණියකරණය කිරීමට උත්සාහ කළද මසිතේ නම් ඈ ගැන අනුකම්පාවක් ඇති වූයේ ම නැත. මසිත නිතරම කීවේ තාත්තාගේ මරණයට වගකිවයුත්තේ අම්මා කියාය.

අම්මා ඒ වගේ නපුරු උන් නැත්තං අදටත් මගේ තාත්තා ජීවතුන් අතර. එයා අපේ පවුල නැත්තටම නැති කළා මල්ලි.. නැත්තටම නැති කළා...

මට ඔයාගෙ දුක තේරෙනවා අක්කා. නැන්දා අපේ තාත්තාගෙ එකම සහෝදරී වුණාට අපි හැමෝම එයාට වඩා ආදරේ කළේ සුදු මාමට.

බිමට බර කරගෙන උන් නෙතු ඔසවා මම මල්ලී දෙස බැලිමි. ඔහු මා වටා වූ ගහණය තවත් දැඩි කළේය. ඔහුගේ ඒ විසල් උණුසුම ගතට පමණක් නොව සිතේ ද ගැඹුරටම දැනුණි.

ඔයාට තියෙන්නෙ සුදු මාමගෙ හැඩරුවයි, ගතිගුණයි තමයි..

එය නම් මා පුංචි කළ පටන්ම බොහෝ දෙනා කියූ කරුණකි. මම දෙනෙත් තදට වසා තාත්තාගේ රුව සිතින් මෙනෙහි කළෙමි.

ඉතින් කළුතරට එන තෙක්ම අප අතර වැඩි කතාබහක් සිදු වූයේ නැත. මල්ලීගේ උණුසුමට මැදිව බසයේ එය අතරතුර දෙවරක්ම දුලාජ් අයියාගෙන් ඇමතුම් ලැබුණි. අප යන ගමන පිළිබදව කිසිවක් නොකී මා කෙටි සංවාදයකින් ඒවා නිම කළෙමි.

හැමදේම හිතේ තියාගෙන ඉන්නෙ නැතුව කතාබහ කරලා තීරණයක් ගන්න අක්කා.

දුලාජ් අයියා දෙවනවර අමතා අවසානයේ මල්ලී කිවේය. මම ඊට කිසිත් නොකියා උන්නෙමි.

කළුතරින් බැස අප දෙදෙනා ත්‍රීවිලරයක් ගෙන ඉතිරි දුර ගමන් කළෙමු. උඩවත්ත ඇන්ටී දුන් පන්ති ගාස්තුවෙන් මම එහි මුදල ගෙවා දැම්මෙමි.

ඔයාට සල්ලි කොහෙන්ද..?

උඩවත්ත ඇන්ටි දුන්නා..

මල්ලීට වැඩිදුර පිළිතුරු දීමට මසිත උනන්දු නොවූයේ සුපුරුදු වටපිටාව දැකීමෙනි. මීට මාස කීපයකට පෙරාතුව වුවද මට සෙවණ සැදුවේ මේ ගස්කොළන්ය. මේ වටපිටාවය. මම ඒ ලබැඳි වටපිටාවේ අතරමං වී ගතිමි.

ඇයි මේ ගැහෙන්නෙ.. ආ.. අක්කා..?

සතුටට..

මම කීවේ නිවසේ ගේට්ටුවේ වූ ලොක් එක පන්නා දමමිනි. කොළ වැටී දුර්වර්ණව තිබූ මිදුලත්, පාළු පැහැ ගැන්වී තිබුණු නිවසත් දෙනෙතට අළුත් කදුළක් එක් කළේය. සර සර හඬ නඟන ඒ වියළි කොළ මතින් පා තබා මම නිවස දෙසට ගියෙමි.

ඔයා නැතුවට ඔයාගෙ මල් පැල මැරිලා නෑ. මිදුල ටිකක් වල් වැදිලා විතරයි.

මල්ලී වත්තේ හාත්පස නෙත් යොමා කීවේය. මම දෑස් විදා බැලුවෙමි. ඔහු කීවා සේම බොහෝ පැල මලින් බරව තිබුණි. ඇතැම් විට එහා ගෙදර සිරිසේන මාමලා පැලවලට වතුර දැමුවා වන්නට ඇත. මෙතෙක් පසුම්බියේ බහා තිබූ යතුර ගෙන මම දොර විවර කිරීමට උත්සාහ කළ ද එය තරමක් අසීරු විය.

ගොඩක් කල් වහලා තිබුණ නිදා දොර හිරවෙලා අක්කා.

මල්ලී හැකි වෙර යොදා එය විවර කරද්දී නිවස තුළින් පුස් ගඳක් හමා ආවේය. එය නාසයට අපුලක් ගෙන ආවද දෙපා නතර නොවිණි. මම නිවසට ඇතුළුව එහි සියලු ජනෙල් දොරවල් හැර දැමුවෙමි.

හිතට හරි සැනසීමක් වගේම ලොකු දුකකුත් දැනෙනවා මල්ලි..

එසේ කියමින් මම සෙමින් අඩි තබා මගේ පුංචි කාමරයට පියමන් කළෙමි. මල්ලී ආරක්ෂකයෙකු සේ මා පසුපසම උන්නේය.

මේ බිත්ති හතර ඇතුළෙ මං ඕන තරම් අඩලා තියෙනවා. ඇති වෙනකල් හිනාවෙලා තියෙනවා. මගේ ජීවිතෙන් භාගයක්ම ගෙවුණෙ මේ බිත්ති හතර ඇතුලෙ මල්ලි.

ඉදිරියටත් මේ බිත්ති හතර ඇතුළෙ ඔයාට හිනාවෙන්න පුළුවන් අක්කා.

මල්ලීත්, මමත් හැකි පමණ වෙහෙස වී නිවසේ බඩු බාණ්ඩ මත තිබූ දූවිලි පිස දමා ඒවා පිරිසිදු කළෙමු. පසුව මම මුළු නිවසම අතුගා දැමුවෙමු. එකල තාත්තා නිතර වාඩි වී ඈත බලා උන් හාන්සි පුටුව නැවත්ත මා අතීතයට කැඳවාගෙන යෑමට වෙර දැරීය.

තවත් අඬන්න හේතු එකතු කරගෙන යන්න එපා අක්කා. කල්පනා නොකර වැඩ කරන්න.

මල්ලී ඉදල ගෙන හැඩිව තිබූ මිදුල යාන්තමට සුද්ද කළේය. මමගිනිගොඩක් ගසා කොළ රොඩි ගිනි තැබිමි. දැන් අතීතයේ තරමටම නැතත් නිවස බොහෝ දුරට කළ එළි විය.

දෝණි... දෝණි...

මිදුල ඉදිරිපසින් ඇසුනේ සිරිසේන මාමාගේ බිරිය වූ අමරා නැන්දාගේ කටහඬය. මම අඩියට දෙකට පා තබා හඬ ආ ඉසව්වට දිව ගියෙමි. මා දුටු ඈ පුදුමයෙන් කම්මුලේ අතක් තබා ගත්තාය.

කව්දෝ ආව සද්දයක් ඇහුණ නිසා කතා කළා මිසක දෝණි ආවයි කියලා නිච්චියක් තිබුණෙ නෑ.

අමරා නැන්දෙ.

මිදුලේ සිටම මා අගේ දෙපා වඳිද්දී ඈ මගේ උරහිස් වලින් අල්ලා නැගිට්ටුවා ය.

අපේ කෙල්ල හැම වෙලේම දොණිව මතක් කරනවා. අද ඇවිත් ගියා කියලා දැනගත්තොත් පපුව පැලෙන්න යයි.

බින්දු කෝ නැන්දෙ..?

පංති ගිහින්.. කවුද දෝණි මේ ඉලන්දාරියා..?

නිවස තුළින් මතු වූ මල්ලීව දුටු අමරා නැන්දා කලබල වූ වග ඒ මුහුණින්ම පෙනුණි. මම ඇය කැටුව නිවස තුළට ගියෙමි.

අමරා නැන්දට මතක නැද්ද මේ අපේ මාමගෙ පුතානේ.. තාත්තගෙ මරණ දවස්වල ඇවිත් හිටියෙ..

මට ඒ හැටි නිච්චියක් නෑ දරුවො.. මං හිතුවෙ දෝණි පෙළවහක් කරගෙන කියලා.

මම සිනාසී මල්ලී දෙස බලද්දී ඔහු බිම බලා ගත්තාය.

ගේ දොර එහෙම සුද්ද පවිත්‍ර කරලා තියෙන්නෙ දෝණි ආපහු මෙහේ පදිංචියට එන්නද..?

ඈ එසේ විමසන්නේ සුහදත්වයට මිස ඕපාදූප දැන ගැනීමේ වුවමනාවනේ නොවන වග විශ්වාසය. ඈ එදවස පටන් මට ඉතාමත් ලැදිය.

මේ දේවල් කොහොමටත් පාළු වෙන්න දෙන්න බෑ නැන්දෙ. මං ආපහු කවද හරි පදිංචි වෙන්නෙ මේ ගෙදර තමයි.

අනේ වාසනාවන්.

මගේ කතාවට අමරා නැන්දාගේ මෙන්ම රුවන් මල්ලීගෙත් දෑස් දිදුලන්නට විය.

මං කෑම රත් කරලා ඉවරයි. යන්න කලින් මේ දරුවත් එක්ක ඇවිත් බත් ඩිංගිත්තක් කාලා යන්න.

මල්ලී ලැජ්ජවෙන් මෙන් නිවස තුළට යද්දී අමරා නැන්දා ඒ මග ඔස්සේ නෙතු දිවෙව්වා ය.

හරි පින් පාට ඉලන්දාරියා.. දෝණිට යසට කැපෙනවා.

එයා මට වඩා බාලයි නැන්දෙ..

ඒකට මක් වෙනවද..? ඒ හැටි වෙනසක් නැතිව ඇතිනේ..

මල්ලී සමග මා තනිව පැමිණි නිසා ඈ අප වරදවා වටහා ගන්නට ඇත.

අපේ සිරිසේනත් නිතරම මේ වත්ත පිටිය සුද්ධ කරලා ගස්වලට වතුර එහෙම දානවා. හැබැයි දැන් කීප දොහකින් අතුගාන්න බැරිව ගියා.

නැන්දලට ගොඩක් පින්. එහෙනං මල්ලියි මායි එහෙට ගොඩවෙලා යන්න එන්නං.

ඈ සමග කතාවට වැටුණොත් ඉක්මනින් යෑමට නොලැබෙන බව දත් නිසා මම එසේ කීවෙමි. ඉතින් ඈ නැගිට යන්න ගියාය.

තාත්තාගේ රාමු කළ ඡායාරූපයක් හා මල්ෂාට පාඩම් කියා දීමට අවැසි වූ පොත් කිහිපයක් බෑගයක දමාගත් මා ඒවා ඉදිරිපස දොර අබියස තැබිමි. නමුත් මල්ලී පෙනෙන්නට නොවීය.

මල්ලී...

මං මෙහේ..

ඔහු හඬ ගෑවේ අම්මාගේත්, තාත්තාගේත් විසල් කාමරයේ ජනේලය අබියස හිඳය. අතීත මතකයන්ට අගුළු ලා මම එහි පිය තැබිමි.

ඔයා අර ඇන්ටිට කිව්වෙ ඇත්තද..?

ඔහු ගැඹුරු හඬින් විමසද්දී මම පුදුම විමි.

මොනවද..?

ඔයා ආපහු මෙහේ පදිංචියට එනවද.?

හැමදාම මාමලට බරක් වෙන්න බෑනෙ මල්ලී. මං බැන්ද කාලෙක ආපහු මෙහෙ එනවා.

ඔහුගේ දෑස් රුදුරු වෙස් ගත්තේය. ඒ දැඩි අත් යුග මා උරහිස මත්තේ තදට රැදෙද්දී මම ඒ නෙතු දෙස සෘජුව බලා උන්නෙමි.

අහිංසක විදියට අපේ ගෙදරටම වෙලා හිටපු ඔයා හොරෙන් ප්ලෑන් කළේ ඕවද..?

මොනවද..?

අපිව දාලා යන හැටි.. ආ.. කියන්න අක්කා ඔයා අපිව තනිකරලා දාලා මෙහේ එනවද..?

මං ඔයාලව අමතක කරන්නෙවත්, තනි කරන්නෙවත් නැ මල්ලි.

ඔහු මා උරහිස් අතෑර නැවතත් ජනේලය සමීපයට ගියේය. මම ද පසුපස ගොස් ඔහුට ළං විමි.

ඔයා වගේම මමත් මේ ගෙදරට ආසයි අක්කා.

මං දන්නවා.

මා එය කීවා නොව කියැවිණි. ඔහු කුඩා කල පාසල් නිවාඩුවක් ලද විගස කළුතර ඒමට වෙර දැරූ හැටි මට අද ද මතකය. ලොකු මාමලා සමග සාමාන්‍යය දිනක මෙහි පැමිණියද නැවත යෑමට නොහැකි යැයි කියමින් ඔහු කෑ මොර දෙයි.

ඔයාට ඕන කරන දේවල් ගත්තනම් අපි යමු.

ක්ෂණිකව ඔහුගේ වෙස් පෙරළිනි. ඔහු කාමරයෙන් පිටතට එද්දී මම ද ජනෙල් දොරවල් සියල්ල වසා එළියට පැමිණියෙමි.

අර නැන්දලාගෙ දිහා ගිහින් බත් කටක් කාලා යමු මල්ලි. හොඳ නෑනෙ. එයාලා බලාගෙන ඇති.

එයට විරෝධයක් නොපෑ මල්ලී මා හා සමාන්තරව එහි ගමන් ගත්තේය. දහවල් ආහාරය ගැනීමෙන් අනතුරුව වැඩි වේලා නොරැඳන අප දෙදෙනා ඉන් පිටත් විමි. බස් නැවතුම් පළෙන් වායු සමනය කළ බස් රථයකට ගොඩ වූ මල්ලී මා ළං කොට හිඳ ගත්තා මිස කිසිත් දෙඬුවේ නැත.

ඔයා ඔය මගෙත් එක්ක තරහ වෙලාද..?

නෑ...

ඔහුගේ කෙටි පිළිතුර නිසා මම ද නිහඩ විමි. බම්බලපිටියෙන් බැස බයිසිකලයට නැගි අපට සවස් වීමට මත්තෙන් නිවසට ළඟා වීමට හැකි විය.



No comments:

Post a Comment