Saturday, July 14, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |


මල්ලී දින කිහිපයක් මට මුහුණ දී කතා කළේ නැත. එයට හේතුව මා ඔහුගේ ගෑනු ළයා පිළිබදව විමසීම වන්නට ඇතැයි කියා මම නිහඬව උන්නෙමි. දුලාජ් අයියා ද ඔහුගෙන් යමක් දැන ගන්නට උත්සාහ කර ඇතත් එය ද අසාර්ථක වී ඇත. ඔහුගේ මෙම වෙනස තව දුරටත් දරාගත නොහැකි වූ මා එය නැන්දාට කීවෙමි.

චූටි පුතා වෙනස් වෙලා කියලා මටත් තේරෙනවා දෝණි. ඒත් මේ ළමයා ඉස්සර වගේ මට කිසි දෙයක් කියන්නෙ නැහැනෙ.

මමත් දවස් ගාණක් ඇහුවා නැන්දා. ඒත් මල්ලි මග අරිනවා.


නරකද දුලාජ් පුතාගෙ මාර්ගයෙන් අහලා බැලුවොත්. ඒ දෙන්නා යාළුවො නිසා සමහර විට දුලාජ්ට කියයි.

නැන්දා බලාපොරොත්තු සහගතව මදෙස බලා උන්නාය. මට ඈ ගැන මහත් අනුකම්පාවක් දැනුණි.

දුලාජ් අයියත් අහලා නැන්දා. මල්ලි කියන්නෙ නෑලු.

මට තාමත් හිතාගන්න බෑ චූටි පුතා මේ තරම් පිස්සුවෙන් ආදරේ කරන කෙල්ල කවුද කියලා.

එය නැන්දාට පමණක් නොව මටද ගැටලුවකි. මා මෙහි පැමිණි කාලය තුළ දී ද මල්ලී කිසිම යෙහෙළියක ඇසුරු කරන වගක් දැනුණේ නැත. ඉතින් ඔහු කීවා සේ බොහෝ කලක පටන් ආදරය කරන ඇය කවුරුන් විය හැකිදැයි මම ද කල්පනා කළෙමි.

දූ.. සමහර විට මල්ෂා වෙන්න බැරිද..? චූටි පුතා එයාව ඉස්සර ඉඳලම දන්නවනේ.

වෙන්න බෑ නැන්දා.. එයාට මල්ෂාව පේන්න බෑ..

ඇයි ඒ.?

කටින් පිට වූ වදන්වල බරපතළකම දැනුණේ නැන්දාගේ පැනයත් සමගය. මම එයට පිළිතුරු නොදී බලා උන්නෙමි.

කමක් නෑ.. අපි තව ටික දවසක් බලමුකෝ.. හිතේතියාගෙන ඉදලා බැරිවෙන දවසට අපිටත් කියන්නෙ නැතෑ..

කියාගත නොහැකි යමක් සිරවී ඇත්තේ මල්ලිගේ සිතේ පමණක් නොවේ. එහෙයින් නැන්දාගේ කතාව මල්ලීට මෙන් මටද අදාළ විය.

නැන්දා මම හවස් වෙලා ටවුන් එක පැත්තට ගිහින් එන්නම්.

කතාව වෙනස් කිරීමට අවැසි වූ නිසා මෙන්ම හදිසියේ යමක් සිහි වූ නිසා මම කීවෙමි. ඈ පුදුමයෙන් මෙන් මදෙස බැලුවා ය.

මල් පැල ප්‍රදර්ශනයක් තියෙනවා කියලා පාරෙ පෝස්ටර් අලවලා තිබුණා.

එකල කළුතර මිදුල පුරා මල් වැවුණේ මා අතිනි. මා ඉතා කැපවීමනේ නඩත්තු කළ රෝස පාත්තිය හා ඇන්තූරියම් වගාව ඒ අතරින් විශේෂ විය. නැන්දා මදෙස දුක් බර ලෙස බලා උන්නේ එකල මා මල් සිටුවීමට දැක්වූ කැමත්ත සිහිවී වන්නට ඇත.

දෝණි තනියම යන්න ඕන නෑ. මාත් එන්නම්.

ඉතින් ඈ කීවා සේම එදින සවස මා හා ටවුටම යෑමට පැමිණියාය. අලෙවි කුටි කිහිපයකට බෙදා තිබූ ප්‍රදර්ශන භූමියෙන් අපි නානා විධ පැළ වර්ග මිලදී ගතිමු. මා කැමති ඕනෑම වර්ගයක පැලයක් ගැනීමට ඉඩ හළ නැන්දා මා පසුපස පැමිණ ඒවාට මුදල් ගෙව්වා ය.

දැන් ඇති වෙයි නේද නැන්දා..?

ඔසවාගෙන යා නොහැකි තරමට පැළ ගණන වැඩි වෙද්දී මම කීවෙමි. නැන්දා මදෙස බලා දයාබරව සිනාසුනාය.

දූ එහෙ හිටවලා තිබුණා වගේ අපේ වත්තෙත් ලස්සන රෝස පාත්තියක් දාන්න.

මෙච්චර ගෙනියන්න බෑ නැන්දා.. අනික සල්ලි.

සල්ලි ගෙවන්නෙ මමනේ. ඔයා පැහෙන්නෙ නැතිව ගන්න.. අපි ත්‍රීවිලර් එකක යමු.

ඇගේ කැමැත්ත පරිදි විවිධ වර්ග හා පාට වලට අයත් රෝස පැළ බොහෝමයක් මා මිලදී ගතිමි.

ඔය ඇති නැන්දා. පොහොර පැකට් දෙකකුත් අරන් යමු.

මම කීව්වනේ... ඔයා ඕන දෙයක් ගන්න. හැබැයි මට ලස්සන මල් වත්තක් හදලා ඕනෙ..

ඇගේ එම අහිංසක ඉල්ලීම ගැන මට දුකක් දැනුණි. කිසිවකුගේ සහයක් නොමැතිව නිවසේ සියලු වැඩ කටයුතු කරන ඇයට මල් පැළ සිටුවීමට තරම් වෙලාවක් නොවන්නට ඇත. නමුත් ඈ තමන්ට හැකි පමණ මිදුල අලංකාරව තැබීමට ගන්නා උත්සාහය මා කොතෙකුත් දැක තිබේ.

මං ගෙදර ඉද්දි උදේට පැය දෙක තුනක් මල් පැළ වලට සාත්තු කරනවා. මම නැන්නදටත් මේ ටික හොඳට හදලා දෙන්නම්.

මගේ කෙල්ලට හොඳ අත්ගුණයක් තියෙනවා කියලා මං දන්නවා. ඉස්සර ඔයාලගෙ වත්ත මල් වත්තක් වගේ තිබුණා මට මතකයි.

කලකින් නොදුටු ඒ සොඳුරු බිම්කඩ යළිත් වරක් දැකීමේ ක්ෂණික ආශාවක් මසිතේ පහළ විය. නමුත් එහි උන් නිවැසියන්ගේ ජීවිත විනාශ වී ගියා සේම මල් වත්ත ද මියෙන්නට ඇත.

මම කල්පනාබරව ඉද්දී ඒ වෙනස වටහා ගත් නැන්දා ත්‍රීවිලරයක් කැඳවා මල් පැල සියල්ල දමා ගත්තාය. මම ඈ පසුපස ගොස් එයට ගොඩ වූයෙමි.

ඉස්සර අපේ ගෙදර තිබුණ පැළ ගොඩක් සාත්තුවක් නැතිව මැරිලා ගියා දූ. හිස් පෝච්චි ටික ගේ පිටිපස්සෙ මඩුවෙ ඇති. ඒවාත් අරන් මේ ටික හිටවන්න.

අපි දෙන්නම හිටවමු. මල් හිටවන එක... මල් පැළ වලට සාත්තු කරන එක භාවනාවක් වගේ නැන්දා.

මා එසේ කීවේ මාමාත් නොමැතිව ඈ දුකින් කලාය ගත කරන නිසාය. ඒ ඇසී ඈ මෘදුව සිනාසුනි.

ගෙදරට පහනක් වගේ කෙල්ලෙක් ඉද්දී මේ නාකි මං මොකට මල් හිටවනවද..? අනික මම අත ගැහුවොත් ඕක කොහොමටවත් හරියන්නෑ.

පැල සිටුවීමට වඩාත්ම යෝග්‍ය කාලය උදෑසනය. එහෙයින් මම පසුදා වනතුරු එම පැළ පරිස්සමට පසෙක තැබුවෙමි.

නැන්දා, මං මඩුවෙ තියෙන පෝච්චි ටික අරන් එන්නම්.

පරිස්සමට දෝණි.. ඒවා ඇතුලෙ සත්තු එහෙම ඉන්නවද දන්නෙ නෑ..

ඇය කීවා සේ ඇතැම් පෝච්චි අතර කූඹීන් හා පත්තෑයන් ද වූ අතර බොහෝමයක් ඒවා මඩින් දුර්වර්ණව තිබුණි. වියලි පොල් ලෙල්ලක් සොයාගත් මා එම පෝච්චි එකින් එක සුද්ද කිරීමට පටන් ගතිමි. නමුත් ගෙනා පැළවලට අවැසි තරම් පෝච්චි එහි නොවීය.

දැන් රෑ වේගෙන එනවා ළමයො.. ඕක තියලා ගෙට එන්න.

නැන්දා දෙතුන් විටක්ම කීවාය. එහෙත් පටන් ගත් වැඩය අතරමග නතර කර දැමීමේ සිරිතක් මට තිබුණේ නැත. රුවන් මල්ලී වැඩ ඇරී නිවසට එන විටද මා උන්නේ අවසන් පෝච්චි කිහිපය සුද්ධ කරමිනි. බයිසිකලයෙන් බැසි ඔහු මොහොතක් දෙක්ක මා කරන කටයුත්ත දෙස බලා උන්නේය. මම ඔහුව එතරම් තැකීමක් නොකර දිගටම වැඩෙහි නිරත උනෙමි. ඔහු නිවසට ඇතුළු වීමට ප්‍රථම දිගු හුස්මක් පිට කළේය.

ඔය ඇති දූ.. දැන්වත් කියන එක අහලා එන්න..

නැන්දාගේ හඬෙහි වූයේ අණ කිරීමක් නොව ආයාචනයකි. මා තනිව මිදුලට වී හිඳීම පිළිබද රුවන් මල්ලී නැන්දාට දොස් පවරන්නට ඇත. අන්තිම පෝච්චියත් කඩිමුඩියේ පිරිසිදු කළ මා නිවසට පැමිණියේ එම ස්ථානය අතුගා දැමීමෙන් ද අනතුරුවය.

අද දූට මහන්සිත් ඇති.. මල්ලිත් එක්ක කාලා ඉක්මනට නිදාගන්න යන්න.

අද තාම ලොකු මාමා කෝල් කලේ නෑ නේද.?

දිනපතාම නින්දට යන වේලාවට පෙර මාමාගෙන් ඇමතුමක් ලැබෙයි. අද එය පමා වූයේ මන්දැයි සිතමින් මම නැන්දාගෙන් විමසුවෙමි. මල්ලී ද ප්‍රශ්නර්ථයක් රැදී දෑමින් නැන්දා දෙස බැලුවේය.

ඔයා කීයෙ ඉඳළද එළියෙ ඉන්නෙ. මාමා කෝල් කළා..

එය නෑසුණේ මන්දැයි සිතමින් මම යළිත් වරක් ඔරලෝසුව දෙස බැලිමි.

මං කිව්වා අපේ කෙල්ල ලොකු වැඩකට අත ගහලා කියලා..

ඈ කියන ලද වැඩය කුමක්දැයි වටහාගත නොහුණු මල්ලී අප දෙදෙනා දෙසම කුතුහලයෙන් බැලුවේය.

බලන්නකො චූටි පුතා තව ටික කාලෙකින් අපේ වත්තෙ ලස්සන.

ඇයි අක්කා මල් හිටවන්නද යන්නෙ..?

නැන්දාත් මාත් මුහුණින් මුහුණ බැලුවා විනා එයට පිළිතුරු සැපයූවේ නැත. මදෙස ඇස් කොණින් බලා උණ් මල්ලී නිහඩවම ආහාර ගන්නට විය.


පසුදා උදෑසනින් මා අවදි වූයේ මල් පැළ සිටුවීම සිහියේ තබාගනෙය. මිදුල අතගා පිරිසිදු කිරීමෙන් අනතුරුව සැහැල්ලු ඇඳමකින් සැරසුණු මා පඩිපෙල බැස එද්දී නැන්දා හා මල්ලී සාලයේ කතා කරමින් උන්හ.

දූ උඩවත්තලගෙ දිහා යන්නෙ නැද්ද.?

උදේ වරුවෙ නංගි ඉස්කෝලෙ වැඩකට යනවලු. මට හවස එන්න කියලා කිව්වා.

අද නිවාඩු දවසෙ කොහෙද ඉස්කෝලෙ..?

නැන්දා සැකයෙන් විමසද්දී රුවන් මල්ලී අමුතු සිනාවක් පෑවේය.

අම්මගෙ හොඳම යාළුවගෙ දුව වෙලා අම්මා තාම ඔය කෙල්ල ගැන දන්නෙ නැද්ද..?

මල්ලීගේ කතාවෙන් මට හැඟී ගියේ ඔහු මල්ෂා ගැන බොහෝ කරුණු දන්නා බවකි. ඔහු කීවා සේම ඇය අද පාසල් යන මුවාවෙන් යන්නේ ඇගේ පෙම්වතා වන ගිහාන්ව මුණ ගැසීමට ය.

කොයිකටත් උඩවත්තට කියන්න ඕන කෙල්ල ගැන ඔයිට වැඩිය හොයාලා බලන්න කියලා..

අනේ නැන්දා. මං ඔය කතාව කිව්වා කියලා උඩවත්ත ඇන්ටිට කියන්න එපා. මල්ෂා මාත් එක්ක රණ්ඩු කරයි.

ඔය පැන්නෙ බළලා මල්ලෙන් එළියට... ඔයත් මේවට හවුල්ද දෝණි..?

වරද කළේ මල්ෂා ය. නමුත් මේ මොහොතේ කට වරද්දා ගැනීම නිසා වඩාත් අසරණ තත්වයේ උන්නේ මා ය.

නංගි කියන දේවල් අහගෙන ඉන්නවා මිසක් මම කවදාවත් එයාට වැරදි වැඩ වලට අනුබල දෙන්නෙ නෑ නැන්දා.

මගේ හඬ බිදී යන්න ඇත. නැන්දා මට ළං වී මගේ හිස ආදරයෙන් අත ගෑවාය.

මට දෝණිව විශ්වාස නැතුව නෙමෙයි රත්තරං. උඩවත්තලා ලොකු සල්ලි කාරයො. ඒ නිසා අපි පරිස්සම් වෙන එක කොයිකටත් හොඳයි.

අම්මා තමයි මේ නැති ලෙඩක් දැම්මෙ.

එසේ කී මල්ලී මිදුලට බැස්සේ බයිසිකලයේ යතුරත් අතට ගෙනය. මම නැන්දාගෙන් මිදී මල්පැල සිටුවීමේ කාර්යය පටන් ගතිමි.

දෝණිට තනියම ඕක කරන්න පුළුවන්නේ. මං රෙදි ටික හෝදන්න යනවා.

පුළුවන් නැන්දා.

ඈ නාන කාමරයට වැදුණු පසු මල්ලී බයිසිකලයට නැග ඉගිල ගියේය. ඔහු ගියේ කොහිදැයි සිතා ගත නොවුණු මා බලා උන්නා පමණි.

ගුඩ් මෝනින්... ළමයා උදේම වැඩ වගේ.

මල්ලී හැර දමා ගිය ගේට්ටු පළුව අතරින් මතු වූයේ දුලාජ් අයියා ය. අද නිවාඩු දිනයක් බැවින් ඔහු ද නිවසේ හිඳින්නට ඇත. දුලාජ් අයියා මෙහි එව්වේ මල්ලී යැයි මම අනුමාන කළ ද එය එසේ නොවුණි.

 කොහෙද අරූ අර පිඹගෙන ගියේ..? මං කතා කළාම බැලුවෙත් නෑ.

මට කිව්වෙත් නෑ අයියා..

සමහර විට උගේ කෙල්ල බලන්න යන්න ඇති.

ඔහු එය කීවේ මා මුහුණට එබීගෙන ය. එය නොදුටු සේ ගොස් මා මල්පැල ටික එළියට ගතිමි.

ඔයත් හරියට අපේ අම්මා වගේ මීනු.

ඇයි...?

එයත් දවස පටන් ගන්නෙ මල්පැලවලට සාත්තු කරලා...

එය සැබැවක් වන්නට ඇත. ඔවුන්ගේ මිදුල ඉතා ක්‍රමානුකූලව නඩත්තු කරන ලද එකක් බව බැලූ බැල්මට පෙනේ..

රූපිකා ඇන්ටි නම් ඒ තරම් මල් වලට කැමති නෑ නේද..?

සීතා ඇන්ටි තරම් නොවුණත් නැන්දා ද මල්  සිටුවීමට කැමතිය. ඉතින් දුලාජ් අයියා නැන්දාව පහත් කර කතා කරද්දී මට තරහා නැගුණි.

නැන්දා අකමැති නෙමෙයි. එයාට වෙලාවක් නෑ..

ඔයා රූපිකා ඇන්ටිට ගොඩක් ආදරෙයි නේද නංගා..?

ඊට පිළිතුරු දෙනවා වෙනුවට මා වැලි, පස් හා කොම්පෝස්ට් එක් කර පස් මිශ්‍රණය සෑදුවෙමි.

තරහා ගියාම ඔය මූණ ලස්සනයි.

එසේ කී ඔහු මගෙන් අනුමැතියක් නොමැතිව මා ගෙන තිබූ ගඩොක් කැබලි කුඩු කිරීමට පටන් ගත්තේය. වටේ නොවිසිරෙන සේ පොහොර ගෝනියක් මත තබා ඔහු එය කරන අපූරුව දෙස මම බලා උන්නෙමි. ගඩොල් කුඩු නිසා ඒ දිගට අතැඟිලි රන් පැහැ ගැන් වී ඇත.

මේ ටික ඇන්තූරියම් වලට නේද..?

හ්ම්....

සීතා ඇන්ටිත්, මල් සිටුවන නිසා දුලාජ් අයියාද ඒ පිළිබඳ දැනුමක් ඇත්තා සේය. කෙසේ වුව ද උදෑසනම ඔහු ළඟ හිදීමේ චමත්කාරය විඳගනිමින් මම වැඩෙහි නිරත වූයෙමි.

ඇයි උදේට මල් හිටවන්නෙ.? අපේ අම්මත් හවස සාත්තු කරනවා විතරයි.

ඔහු ඇසුවේ අපූරු පැනයකි.

එහෙම විශේෂයක් නෑ. ඒත් මතයක් තියෙනවා උදේට හිටුවන්න ඕනි මල් පිපෙන එවා, හවසට හිටුවන්න ඕනි අල බහින ඒවා කියලා..

මගේ පණ්ඩිත කතාවට දුලාජ් අයියාට බකස් ගා සිනහ ආවේය. ඒ සිනාසෙන දෑස් දෙස මම ආදරයෙන් බලා උන්නෙමි.

අපෙත් පරණ රෝස ගස් වගයක් තියෙනවා. මල් පිපෙන්නෙ නැති එකේ ඒවා හාරලා බලන්න ඕනෙ අලවත් බැහැලද කියලා..

ඒ කතාවට නම් සිනා නොවී සිටිය නොහැකි විය. අප දෙදෙනාම සිනාසෙමින් හිඳිද්දී රුවන් මල්ලීගේ බයිසිකලය වත්තට ඇතුළු විය.

කොහෙද බං කතා කරද්දිත් දැක්කෙ නෑ වගේ කෙලගෙන ගියේ..?

හන්දියට...

හෙල්මටය ගලවා අතට ගත් මල්ලී නිවස තුළට යද්දීම ත්‍රීවිලරයක් වත්තට ඇතුලු විය. නමුත් බැලූ බැල්මට රියදුරු හැරුනු කොට එහි කිසිවක් වූයේ නැත.

ඇයි...?

මටත් පෙර එයට ළගා වූ දුලාජ් අයියා විමසුවේය.

සර් මේ මල් පෝච්චි ටික ගන්න..

මම එබී බැලුවෙමි. ත්‍රීවිලයේ පිටුපස සිමෙන්ති පෝච්චි විස්සක් පමණ වූවේ ය. රුවන් මල්ලී උදෑසන තකහනියක් හන්දියට ගොස් ඇත්තේ මා වෙනුවෙන් මල් පෝච්චි මිලදී ගැනීමටය. රියදුරා පෝච්චි සියල්ල බිම තබා ත්‍රීවිලය හරවා ගත්තේය.

අයියෙ.. සල්ලි..?

ආ.. ඒ සේරම හරි..

ත්‍රීවිලරය දූවිලි නංවමින් ඉගිල ගියේය. මම මල් පෝච්චි දෙසත් දුලාජ් අයියා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවෙමි.

මං එදත් කිව්වනේ මීනු.. රුවන් කියන්නෙ ඇත්තටම හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන කොල්ලෙක් කියලා.

මල්ලි පව්.. එයා වැඩට ගියාට තාම පඩියක්වත් හම්බවෙලා නෑ..

ඌ කවදත් ඔහොම තමයි. හැමදාම බලන්නෙ අනුන්ගෙ සතුට.

වයස් පරතරයක් වුවද දුලාජ් අයියා සහ රුවන් මල්ලී අපූරු මිතුරන් දෙදෙනෙකි. මල්ලී දුලාජ් අයියා ගැන කතා කරද්දී කියන්නේ ඔහුගේ හොද ගතිගුණ ගැනය. දුලාජ් අයියා ද එසේමය.

මෙතන පෝච්චි විසිපහක් තියෙනවා.

මම කල්පනා කරන අතර තුර දුලාජ් අයිය පෝච්චි ටික ගණන් කර ඇත. දැන් නම් පෝච්චි ප්‍රමාණය ඉහටත් උඩින්ය.

මේ ටික කොළ පාට තීන්ත ගාලා පාට කරන්න තිබුණා නම් නියමයි.

ඔයත් මාර ක්‍රියේටිව් කෙල්ලෙක්නෙ..

කඩිමුඩියේ නැගිටගත් ඔහු එසේ කියමින් යන්නට ගියේය. මම මිශ්‍ර කළ පස් උපයෝගි කර ගනිමින් රෝස පාත්තිය සැකසීමට පටන් ගතිමි.. නානා විධ වර්ණයන්ගෙන් යුතු රෝස පැළ මාරුවන් මාරුවට සිටුවීමෙන් වැඩි එළියක් ලබාගත හැක.

අක්කා ඇවිත් කාලා ඉන්න..

මම මේක කරලා එන්නම් මල්ලි.. ඔයා කන්න..

ඕක පැය දෙනෙක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයිනෙ.

මගේ අත් දෙකේම පස්.

මම පුංචි එකියක සේ නිදහසට කරුනු කීවෙමි. මල්ලී මහත් සෙනෙහසින් මදෙස බලා උන්නේය.

හරි එහෙනම් ඔයා මල් හිටවන්නකො. මං කවන්නම්.

ඔහු ලුණු මිරිස් දමා අනන ලද කිරිබත් ගුලියක් මා මුවට ළං කළේය.

එපා මල්ලි.. මම බෙදාගෙන කන්නම්..

ඔයාට මං පිට කෙනෙක් නේද..?

මුහුණ රතුව යද්දී ඔහු කීවේය. ඒ නෙතු හැඬවිය නොහැකි නිසා මම මුව විවර කළෙමි. ඔහු මගේ මල්ලී වුව ද මා මේ පිරිමි අතකින් කන පළමු බත් පිඬය.

අම්මට හැරුණම මං මුළින්ම කවන්නෙ අක්කට.

ඔහුගේ එම කතාව පිළිගත හැකි මට්ටමේ තිබුණි. නමුත් මට ක්ෂණිකව රුවන් මල්ලී ආදරය කරන ගැහැනු ළමයා පිළිබඳව සිහි විය.

ඇයි ඔයාගෙ ගර්ල්ට තාම කවන්න බැරි වුණාද..?

ඈත ඉහත්තාවේ ඇස් රැඳවූ ඔහු බර සුසුමක් පිට කළේය. ඔහු ඒ මාතෘකාවට අකමැති හෙයින් මම ඒ ගැන තවදුරටත් නෑසුවෙමි.

ඔන්න බඩු හම්බවුණා..

දුලාජ් අයියා නැවත පැමිණියේ තීන්ත බාල්දි දෙකක් හා බුරුසුවක් අත දරාගෙනය. මල් පෝච්චි පාට කිරීම ගැන පැවසූ සැනින් ඔහු නැගිට ගියේ ඇයිදැයි මම වටහා ගතිමි.

ඔය මොන පාටද අයියා..?

කොලයි.. කහයි.. පෝච්චියට කොල ගාලා උඩ ලයින් එක වටේට කහ පාට ගාමු.. එතකොට ගති..

දුලාජ් අයියා අභියසදීම මල්ලී මට කිරිබත් කවා අහවර කළේය.

රුවන් අත හෝදගෙන වරෙන්කො.. අපි මෙයාට මේ පෝච්චි ටික පාට කරලා දෙමු.

මල්ලීද ඔහු සමග එක්ව පෝච්චි ටික පාට කරන අතරතුර රෙදි සේදීම අහවර කළ නැන්දා ද අපට එක් විය.

ඔය පෝච්චි ටික වේලෙනකල් දෝණි මේ පාත්තියේ පැල ටික හිටවන්න.

වල් වැදී තිබූ පාත්තියක් සුද්ද කළ නැන්දා කීවාය. ස්වල්ප වේලාවක් යද්දී අපේ මිදුල පුංචි ශ්‍රමදානනයක ස්වරූපයක් ගත්තේය. සීතා ඇන්ටිගෙන් ද අපට විවිධ වූ මල් පැළ රාශියක් ලැබුණි.

ඇන්ටි.. අද ඔයාලා උයන්න එපා.. අපේ අම්මා කට්ටියටම කෑම ලෑස්ති කරනවා..

නැන්දා ගෙතුලට යන්න හදද්දීම දුලාජ් අයියා කීවේය.

පිස්සුද ළමයො.. සීතාට නිකං වැඩ වැඩි වෙනවා. මං මොනවා හරි රත් කරලා ගන්නම්.

අප තර්ක කළ ද සීතා ඇන්ටි ඒ වන විටත් කෑම පිසීම අරඹා තිබුණි. එහෙයින් අපට කිසිදු බාධාවකින් තොරව වැඩය කරගෙන යාමට හැකියාව ලැබුණි.



No comments:

Post a Comment