Sunday, July 15, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |


කම්මුල්ගාය සම්පූර්ණයෙන්ම සුව වී මා නෑමෙන්ද අනතුරුව දිනක දුලාජ් අයියාගෙන් ඇමතුමක් ලැබුණි. පසුගිය කාල සීමාව පුරාම ඔහුගෙන් පණිවුඩයක් නොලද නිසා මම ඔහු හා උරණ වී උන්නෙමි.

මීනු.. ඇයි පහුගිය ටිකේ කෝල් එකක්වත් දුන්නෙ නැත්තෙ..?

මම ඇසීමට බලා උන් පැනය මට පෙර ඔහු ඇසුවේ ය. තරහා දැනුණ නිසා මම ඊට පිළිතුරු නොදී උන්නෙමි.


ඔයා දන්නවද මල්ෂා නංගි පහුගිය ටිකේ අසනීප වෙලා ඉඳලා. ඔයා එයාටවත් කෝල් කරලා නෑ.

මෙතෙක් දිනක් අසනීපව උන් මා ගැන සොයා නොබැලූ ඔහු මල්ෂාගේ අසනීපය ගැන කණගාටු වීම පුදුමයට කරුණකි. මල්ෂා අසනීප වූ බව ඔහු දන්නේ ඔහු මල්ෂාට කතා කර ඇති නිසා බව පැහැදිලි ය. මහා කලකිරීමකින් හා දුකකින් පපුව රිදුම් දෙද්දී මගේ ඇස් කොනික් කඳුළු වැල් දෙකක් ගලා ගියේය.

කාටවත් කතා කරන්න මගේ ෆෝන් එකේ සල්ලි නෑ.

හරි.. මංදැන් සල්ලි දාන්නම්. ඔයා එයාට ටිකක් කතා කරලා බලන්න. පව්! ඔයා කතා කළේ නැ කියලා කෙල්ල ඉන්නෙ දුකෙන්.

දුලාජ් අයියාට මල්ෂා ගැන අති වී තිබෙන අලුත්ම කැක්කුම කුමක්දැයි වටහාගත නොහැකි වුව ද ඔහු මල්ෂාගේ මායම්වලට අසු වී ඇති වග වටහා ගැනීමට අසිරු නොවිය. මා අසනිපයෙන් උන් බව ඇතැම් විට සීතා ඇන්ටි ඔහුට පවසන්නට ඇත. නමුත් පෙර දිනවල දිනකට ඇමතුම් හතර පහ දුන් ඔහු කෙටි පණිවුඩයක් හෝ එවා සුවදුක් නොවිමසීම පිළිබඳව මම දුක් විමි. දුරකථනය කණ තබා මා හඩමින් ඉද්දීම දුලාජ් අයියා ඇමතුම විසන්ධි කර දැමුවේය. මෙවන් වෙනසක් ඔහුගෙන් අපේකෂා නොකළ මා ඉකි බිඳ හැඩීමි.

මොහොතින් මොහොත දුලාජ් අයියා මගේ දුරකථනයට මුදල් එවා තිබුණි. බොහෝ වේලාවක් සිත හා තර්ක කරමින් හිද අවසානයේ මම මල්ෂාට ඇමතුමක් ගතිමි.

ඔයා එදා හතර වෙලා ගියපු විදියට මං හිතුවා මගෙත් එකක් ආපහු කතා කරන එකක් නෑ කියලා.

මල්ෂා සුපුරුදු සැහැල්ලු ස්වරයෙන් අමතද්දී ඇගේ අසනීපය බොරු එකක් වන්නට ඇතැයි මම අනුමාන කළෙමි. ඈ දුලාජ් අයියාගෙන් අනුකම්පාව ලබා ගැනීමට එවන්නක් පවසන්නට ඇත.

ඔයා අසනීපෙන් කිව්වා..

කවුද දුලාජ් අයියද.?

ඔව්, එයා තමයි. මොකක්ද ලෙඩේ..?

වෙනදා හුරුපුරුදු ලෙන්ගතු ස්වරය අමතක කර දමා මම ඕනවට එපාවට විමසුවෙමි.

පහුගිය ටිකේ වීස් එක වගේ ආවා අක්කා.

දැන් හොඳයිද..?

ටිකක් හොදයි...

එහෙනං මං තියන්නම්.

ඇයත වත් යමක් කීමට පෙර මම ඇමතුම විසන්ධි කළෙමි. දුලාජ් අයියා මුදල් එව්වේ මල්ෂාට කතා කිරීමට කියමින් නිසා මම එය මාත්‍රිකව ඉටු කළෙමි. නමුත් සිතට සැනසුමක් දැනුණේ නැති තරම් ය.

මම හරි හැටි කෑමක් බීමක් පවා නොමැතිව කාමරයට වී හූල්ලද්දී නැන්දා කීප විටක් පැමිණ ඊට හේතු විමසුවාය. නමුත් ඇයට දීමට තරම් පිළිතුරක් මා සතු නොවුණි.

දූ.. මාමයි මායි කතා වුණා මාමා ලංකාවට ආවට පස්සෙ ඔයාට හොද කටයුත්තක් කරලා දෙන්න.

ඈ බොහෝ කල් යල් බලා පවසද්දී මම තති ගතිමි. මා සිහින මැව්වේ දුලාජ් අයියා ගැන පමණි. නමුත් සිතේ දහසක් බලාපොරොත්තු ඇති කළ ඔහු නොකියාම යන්න ගොස් ය.

දුවව අපිට බරක් නිසාවත් එලවන්න හිතාගෙනවත් ගත්ත තීරණයක් නෙමෙයි මේක. දූට කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට කියන්න. ඔයාට ඕනෙනං බැඳලා මෙහෙ වුණත් ඉන්න පුළුවන්.

නෙතු දුරක පා කර එය අසා උන්නා මිසක විවාහය පිළිබඳ තීරණ්‍යක් මසිතේ නොවී ය. මගේ අලසබව දුටු නැන්දා වුව ඒ පිළිබඳ වැඩිදුර කතා කළේ නැත.

බයවෙන්න එපා.. දෝණිගෙ කැමැත්ත නැතුව අපි කිසි දෙයක් කරන්නෙ නෑ.

ඈ මගේ හිස අතගා කියද්දී මම ඇගේ උරහිසකට හිස බර කර ගතිමි. ගලන්නට බලා උන් කඳුළක් මගේ නෙතින් ගිලිහී නැන්දාගේ උරහිස් මත සැඟව ගත්තේය.


අක්කා.. ඔයා කම්මැලිකමෙන් ඉන්න නිසා මං අලුත් නවකතා වගයක් ගෙනාවා.

සවස වැඩ ඇරී පැමිණි මල්ලී පොත් අකට පමණ එකතුවක් මා අත තැබුවේය. එහි මා වඩාත් ආස කළ කතුවර කතුවරියන්ගේ පොත් කිහිපයක්ම තිබුනි.

ඔයා මේ ටිකේ කල්පනා කරනවා වැඩී වගේ පෙනුණ නිසා ගෙනාවෙ. තව ඕන නම් කියන්න..

මගේ සුළු වෙනසක් පවා කල්පනාකාරීව වටහා ගන්න මල්ලී බොහෝ විට ඊට යහපත් ප්‍රතිචාර දක්වයි. පොත් මිටිය දී ඉවතට යන්නට ගිය ඔහු නැවතත් හැරී මගේ දෑසට එබී බැලුවේය.

දුලාජ් කතා කළාද ළඟදි..?

පිළිතුරු දුනහොත් හැඩේවියැයි සිතා මම හිස පමණක් දෙපසට සැලිමි.

අන්න මිනිහා ගෙදර ඇවිත් ඉන්නවා. ඕනෙ නං ගිහින් කතා කරන්න.

ඔහු කෑගල්ලේ සිට පැමිණ ඇති වගක් මා මෙතෙක් දැන උන්නේ නැත. මගෙ වෙනස තේරුම් ගිය මල්ලී දිගු සුසුමක් පිටකර යන්න ගියේය.

මම පොත් සියල්ල ඇඳ මත තබා අඩ අඳුරේ බැල්කනියට පිවිසියෙමි. මා නොසිතුවා වුව ද දුලාජ් අයියා ඔහුගේ කාමරයේ ජනෙල් කණ්ඩියකටබර වී මදෙස බලා උන්නාය. කලකට පසු දුටු ඒ සොඳුරු රුව සිතේ මෙතෙක් පැවති තරහා දුරලද්දී මම මහත් සෙනෙහසින් ඔහු දෙසහ බලා සිටියෙමි. නමුත් මල්ෂා මහා පවුරක් සේ අප දෙදෙනා අතර හිඳ සිතට වද දෙන්නට විය.  ඉතිං මම කවුළු පියන් පත් වසා කාමරයට පැමිණියෙමි. එසැනින් දුලාජ් අයියා කෙටි පණිවුඩයක් එවා තිබුණි.
;
ඔය අහිංසක හිත රිද්දනවට මට සමාවෙන්න රත්තරං. ඔයාව රවට්ටන්න බැරි නිසයි මං කතා නොකර හිටියෙ. ඔයා වගේ අහිංසක හිතටද ුකක් දීළා, පව් පුරවගන්න මටබ ෑ.

එය කියවූ මා බොහෝ වේලාවක් යන තුරු එහි තේරුම වටහා ගන්නට උත්සාහ කළෙමි. නමුත් මට ඔවුව තේරුණා නොවේ. කෙසේ වුවද ඔහු මේ වන විටත් මගේ සිතට දුකක් දී හමාරය. ඔහුගෙන් කිසිදු පණීවුඩයක් නොලැබ මා ලෙඩ ඇඳට වී කල්ගත කළ සමයේ ඔහු මල්ෂා හා කුළුපඟ වී තිබීම සිතට කෙතරම් වේදනා ගෙන දුන්නේ දැයි ඔහු දන්නේ නැත.

මේ දේවල් මෙච්චර කල් හිතේ තදකරගෙන හිටියා ඇති කියලා මට හිතෙනවා බබා. ඔයා දන්නවද.. ඔයාට නොකිව්වට මං ඔයාට හුඟක් ආදරේ කළා.. ඒ වගේම අදටත් ආදරේ කරනවා.

කලකට පසුව හමු වූ.. කලකට පසුව කතා කළ දුලාජ් අයියා ප්‍රථම වතාවට ඔහුගේ ආදරය එළිපිටම ප්‍රකාශ කර එවා තිබුණි. ඒ දුටු මගේ සතුට නිම්හිම් නැතිව ගියේය. එම කෙටි පණිවුඩය මා ජීවිතයේ ලද සතුටුදායකම පණිවුඩය වූ බැවින් කට පාඩම් වනතුරු මම එය කියෙව්වෙමි. නමුත් ඒ අසීමිත සතුට රදා පැවතියේ විනාඩි කිහිපයක් පමණි. ඔහු පිට පිට එවූ තෙවන පණිවුඩය මා ජීවිතය කණපිට පෙරළා දැමුවේ ය. එහි වුයේ මෙවැන්නකි.

මෙහෙම කියනවට මට සමාවෙන්න පැටියො.. ඒත් මට මේක නොකියා බෑ. මං ඔයාට ආදරය කනවා වගේම තවත් කෙනෙකුට ආදරය කරනවා.

ඒ වදන් කිහිපයද ුටු මට කෑ ගසා හැඩුණි.. රුවන් මල්ලී නිතරම ගුණ වර්ණනා කළ දුලාජ් අයියා මෙවන් අයෙකු යැයි මම සිහිනෙකින්වත් නොසිතුවෙමි. හිසකේ දෑතින් අවුල් කර දමමින් මා විලාප දෙද්දී දුලාජ් අයියා එක දිගට මගේ දුරකථනයට ඇමතුම් ගත්තේය. නමුත් මම එය නෑසුණ විලද ඉකිබිඳ හැඬුවෙමි.

ඒ කෙනා කවුද කියලා ඔයාට දැනගන්න ඕනෙද නැද්ද..? ඇයි ෆෝන් එකට ආන්සර් කරන්නෙ නැත්තෙ..?

එම පණිවුඩය ලද විගස මම දුරකථනය ක්‍රියා විරහිත කර පසෙක තැබීමි. තවත් පාරා ගැනීමට සිතක් මා සතු නොවිණි.

අක්කා.. ඇයි මේ..?

මගේ හැඬුමඇසී රුවන් මල්ලී නැවත වරක් කාමරයට පැමිණ තිබුණි. ඔහු මා දෙඋරහිසින් අල්ලා සොලවද්දී මම මල්ලීව වැළඳ ගෙන හැඬුවෙමි. ඔහුද බොහෝ පරිස්සමට මා සිය පපුවට තුරුලු කරගෙන උන්නේය.

බය කරන්නෙ නැතුව කියන්න දෙයියනේ.. මොකද වුණේ.........?

මල්ලි හඬගා අසද්දි නැන්දා ද කාමරයටදිව ආවාය. අප දෙදෙනා උන් ඉරියව්ව දුටු ඈ නොසන්සුන් වන්නට ඇතැයි මා අනුමාන කළෙමි.

අක්කා අඩනවා අම්මෙ.. මොකුත් කියන්නෑ..

දෝණි.. ඇයි පුතේ.?

මට දුකයි නැන්දා.. ගොඩක් දුකයි..

මා හඩමින්ම කියූ දෙය ඔවුනට වටහාගත හැකි වූවාදැයි මා නොදනිමි. නැන්දා ඇඳෙන් වාඩි වී මා ඇගේ තුරුලට ගනිද්දී රුවන් මල්ලි වහා කාමරයෙන් පිටව ගියේය.

ඇයි දූ දුකෙන්..? මොකද එකපාරටම වුණේ..? අසනීපයක්ද..?

මා අසිරුවෙන් පපුවට අතක් තබා හුස්ම ගනිද්දී නැන්දා කලබල වූ බව පෙනුණි.

මට තනියෙම ඉන්න දෙන්න නැන්දා..

හරි අපිට කියන්න බැරි නම් නොකිව්වට කමක් නෑ. ඒත් අඬන එක නවත්තන්න දරුවො. ඔය තරම් අඩන්න හොද නෑ.

නැන්දා මා සනසද්දී පහළ මාලයෙන් කටහඩක් ඇසෙන්නට විය. එය සීතා ඇන්ටිගේ වන්නට ඇතැයි මම අනුමාන කළෙමි. නැන්දා පහළට දිව යද්දී මම ද කාමරයේන පිටතට පැමිණ එදෙසට පිය නැගිමි. නමුත් සීතා ඇන්ටී කියූ දෑ අසා දෙපා උන් තැනම නතර විය.

අනේ රූපිකා අපේ ළමයි දෙන්නට මොනවා වෙලාද මේ..? අන්න රුවන් පුතා ඇවිත් අපේ කොල්ලා එක්ක රණ්ඩු වෙනවා..

රණ්ඩු වෙනවා.. මේ එකපාරටම..?

මා පඩිපෙළේ මැද හරියේ පඩියක ඉඳගනිද්දී නැන්දා සීතා ඇන්ටි සමග නිවසින් නික්ම ගියාය.

මා ඇඩීමට හේතුව දුලාජ් අයියා වග මල්ලී වටහා ගන්නට ඇත. මගේ හැඬුම ඉවසා ගත නොහැකි වුණ ඔහු දුලාජ් අයියා මුණ ගැසීමට යන්න ඇත්තේය. ප්‍රශ්න සියල්ල එළිපිට දිගහැරීම නිසා නැන්දාට හා සීතා ඇන්ටීට මුහුණ දීගත නොහැකිව මා ළතවිමි. ඔවුන් නික්ම ගොස් පැයකට ආසන්න කාලයක් ගත වදේදී රුවන් මල්ලී නිවසට ඇතුළු විය. ඒ මුහුණ රතු වී කෙහෙරැලි අවුල් වී තිබිණි. ඔහු ඉක්මන් අඩි තබා පඩිපෙල නැගීමට සැරසෙද්දී අතරමැද හිඳගෙන අඩමින් උන් මා දුටුවේය.

අක්කා යමු කාමරේට.

නමුත් නැගිට ගැනීමට තරම් ශක්තියක් මගේ ගතේ ඉතිරිව තිබුණේ නැත. මල්ලී මාව වත්තන් කරගෙන කාමරයට ගියේය.

කෝ නැන්දා..?

මට අවැසි වූයේ මේ කතාවේ කොතරම් ප්‍රමාණයක් නැන්දා දන්නවාදැයි මල්ලීගෙන් අසා දැන ගැනීමට ය. ඔහු කාමරයේ දොරට අගුලු ලා මා ඇඳ ඉහත්තාවට බර විය.

අම්මා සීතා ඇන්ටි එක්ක එළියෙ ඉන්නවා.

ඇයි ඔයා එහෙ ගියේ මල්ලි..? ඇයි එයා එක්ක රණ්ඩු වුණේ..?

ඉකිබිඳුම් සඟවා ගැනීමට වෙර දරමින් මම විමසුවෙමි. නමුත් දෑස් පියන් අතරින් මටත් හොර කඳලු වැල් දෙකක් ගලා ගියේය. මල්ලි දුක්බර දෑසින් මගේ මුහුණට එබී බැලුවේය.

මේ හැම දේකටම වැරදිකාරයා මම කියලයි මට හිතෙන්නෙ අක්කෙ..

ඔයා..?

ඔව් මමත මයි.. මම ඔයාව දුලාජ්ට ළං කළේ.. මමයි එයා ගැන ගුණ වර්ණනා කළේ.. මමයි ඔයාටත් හොරෙන් ඔය දෙන්නව මුණ ගැස්සුවෙ..

ඇති මල්ලි ඇති..

නෑ අක්කෙ. මම තමයි මේ හැම දේකටම මුල. ඔයා අද දුක් විඳින්නෙ මම හින්දා.

ඔයා මොනවද ගිහින් දුලාජ් අයියගෙන් ඇහුවෙ..?

ඇහුවෙ ඔයා අඩන හේතුව මොකක්ද කියලා..

ඉතිං..?

ඌ කිව්වා ඔයා එක්ක කතා කළේ නෑ කියලා. ඒක වෙන්න බෑනෙ අක්කා. ඔයාට අඩන්න වෙන හදිස්සි හේතුවක් නෑ කියලා මං දන්නවනේ..

එයා කතා කළේ නෑ තමයි මල්ලි. ඒක ඇත්ත..

ඔයා තවත් ඌව සුද්ධ කරනවා නේද..? ඌ කතා කළේ නැති එක ඇත්ත. ඒත් ඌ ඔයාට SMS කළානේ.. මොනවද ඒකෙ තිබුණෙ අක්කා.. ඒක දැක්කා විතරයි ඔයාට නෙමෙයි මටත් පිස්සු හැදුණා..

මල්ලී මෙහි පැමිණ ඇත්තේ දුලාජ් අයියාගෙන් සියළු විස්තර දැනගෙනය. එහෙයින් මම කරබා උන්නෙමි.

දුලාජ් මුලදි මුලදි ඔයාට බැල්ම දානකොට මට තරහා ගියා තමයි. ඒත් ඔයත් එක්ට කැමතියි කියලා දැනගත්තට පස්සෙ මම ඔය දෙන්නට උදව් කරන්න තීරණය කළා. මාත් එක්ක කම්මැලිකමෙන් කතා කරන ඔයාගෙ ඇස් දුලාජ්ව දැක්කම එළිය වෙන හැටි මම දැක්කා. ඔයා දුලාජ්ට ආදරේ නෑ කියලා කොයි තරම් කිව්වත් මම ඒවා විශ්වාස නොකළේ ඒකයි.

මා දුලාජ් අයියාට මහා මෙරක් තරමට ආදරය කළ බව සැබෑවකි. නමුත් දැන් ඒ පිළිබඳව දිගින් දිගටම කතා කිරීමේ තේරුමක් නැත.

දැන් ඕවා කතා කරලා වැඩක් නෑ මල්ලි..

ඒක ඇත්ත.. ඒත් මං හිතුවෙ නෑ දුලාජ් ඔය තරම් බල්ලෙක් කියලා. අහිංසක කෙල්ලෙක්ගෙ හික් පිරෙන්න බලාපොරොත්තු දීලා තව කෙනෙකුට ආදරෙයි කියන්නෙ..

ඒක මගේ කරුමෙ වෙන්න ඇති මල්ලි..

ඕක ඔයාගෙ තියෙන කරුමෙ නෙමෙයි. උගේ තියන බලුකම. කෑගල්ලෙ ගිහින් මාසයක්වත් නෑ. ඒ ඩිංගට තව මගුලක් පටන් අරගෙන.

ඒ කෙල්ල කවුද කියලා ඔයාට කිව්වද මල්ලි..?

ඔහු මොහොතක් දෙකක් මදෙස බලා හිඳ නැතැයි කියාල හිස සැලීය. මම දිගු හුස්මක් පිට කර දුක තුනී කර ගැනීමට මගක් සෙවීමි.

නැන්දලා මේක දන්නවද මල්ලි..?

අපි කතා කරපුවා එයාලට ඇහුණෙ නෑ.. මං කිව්වා දුලාජ් ඔයාට බැනලා කියලා. ඒත් එයාලා ඒවා විශ්වාස කරයිද දන්නෙ නෑ..

මගේ සිත සැනසීමට බොහෝ දෑ කියමින් උන් මල්ලී කාමරයෙන් නික්ම ගියේ රාත්‍රි දහයත් ඉක්ම ගිය පසුවය. එසැනින් මා විදුලි පහන් නිවා දමා නින්දට සැරසුණෙමි. නමුදු රැය පහන් වූවා මිස මා වෙත නින්ද නම් ලඟා වූයේ නැත.



No comments:

Post a Comment