Thursday, July 12, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |






නැන්දා රැගෙන දුන් සාරිය ඇද මම ලොකු මාමාගේ වෑන් රියට ගොඩ වූයෙමි. ඔහු මොහොතක් මදෙස හැගීම් බරව බලා හිද දිගු සුසුමක් පිට කළේය.

“දෝණි අම්මා තරුණ කාලෙ හිටියටත් වඩා ලස්සනයි.”

මම එයට පිළිතුරු සැපයූවේ නැති නිසාවදෝ ඔහු නිහඩවම රිය ධාවනය කළේය. මා බැසගත යුතු වූයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රෙයනි.


“ඉවර වෙන්න කිට්ටු කරලා දෝණි මට කෝල් කරන්න. මං මෙතනට එන්නම්.”

“එපා මාමා... මට එන්න පුළුවන්.”

“නෑ.. නෑ.. ඔයා තනියම එන්න ඕන නෑ. මං ගන්න එන්නම්.”

ඔහුට සමුදුන් මා සෙනග අතරේ මගේ මිතුරියන් සෙවිමි. ප්‍රධාන දොරටුවෙන් ඇතුළුව ශාලාව දෙසට ගමන් ගත් මගේ අතේ කිසිවකු වෙළෙනු දැනුණි.

“හානේ ශාලි.. මං දැක්කෙත් නෑ..”

“උඹ තව ලස්සන වෙලා මීනු.. ඒත්..”

ශාලිකා යමක් කියන්නට ගොස් ගිල ගත්තාය. මම ගමන නතර කර ඒ මුහුණ මත්තේ නෙතු දිවෙව්වෙමි.

“තාම ඉන්නෙ දුකෙන් නේද..?”

මම තැනැයි කියන්නට හිස සෙලෙව්වෙමි. ඈ අනුකම්පා සහගත ලෙස සිනාසුනාය.

“මං හිත හදාගන්න උත්සාහ කරනවා ශාලිකා. මට ජීවිතේ ගැන අලුතින් හිනත්ත ඕන.”

“උඹලගෙ කුරුළු කූඩුව කැඩිලා. බිදිලා ගිය විදියට උම මෙහෙම ඉන්න එක ගැන මට සතුටුයි.”

අපි දෙදෙන ප්‍රධාන ශාලාවට ඇතුළු වූ පසු මිතුරු මිතුරියන් පිරිස පැමිණ අප වටකර ගත්හ. දෙවසරක් පුරා එකම අධ්‍යාපනය ආයතනයක උගත් ඔවුන්ගේ ඇසුර හමුවේ සියලු ප්‍රශ්න මොහොතකට අමතකව ගියේය.

“මීනු උඹ කළුතරින් ගියා කියලා ආරංචි වුණාම මූ කළු ගඟට පැනලා මැරෙන්න ගියා..”

පන්තියේ උන් කටකාර සිසුවෙකු අසේලව පෙන්වා කීවේය. ඔහු දෙවසර පුරාවටම ආදරය පතා මා පසුපස ආ අයෙකි.

“ඔය මුන්ගෙ බොරු මීනු..”

අසේල එය කී විලාසයට මට ඔහු ගැන දුක හිතුණි. මා ඔහු ප්‍රතික්ෂේප කළාට ඔහු නරක කොල්ලෙක් නොවේ. ඉතින් මා අසේලට දයාබර සිනාවක් පෑවෙමි. ඔහු වශීකෘත දෙනෙතින් මා දෙස බලා උන්නේය.

“වයිට් කැන්ඩියන් එකට මේකි ප්‍රින්සස් කෙනෙක් වගේ.”

දයාබර යෙහෙළියක මගේ කම්මුලක් ලාවට මිරිකමින් කීවා මතකය. නමුදු වැඩි වේලා එසේ දොඩමළු වෙන්නට ඉඩකඩ නොතිබුණි. උත්සවය ආරම්භ කළ බැවින් අප අසුන්ගත යුතු විය.

ගිණුම්කරණ විෂයේ ත්‍යාගය හා සමස්ත පාඨමාලාවේ හොදම සිසුන් තිදෙනාට වූ ත්‍යාගයක් ද මා නමින් වෙන්ව තිබිණ. විශේෂ සතුටක් සිතට නොදැනුණ ද මගේ මිතුරියෝ එම ජයග්‍රහණය ගැන මටත් වඩා උද්දාමයට පත්ව උන්හ.

“උඹ හරි ලකී මීනු.. කොළඹ, කළුතර, මහනුවර ක්ලාසස් තුනෙන්ම වැඩිම ලකුණ ගත්ත තුන්දෙනාට උඹත් ඉන්නවනේ.”

සමූහ ඡායාරූප ගැනීමෙන් අනතුරුව මම ලොකු මාමාට දුරකථන ඇමතුමක් දුන්නෙමි.

“හරි දෝණි. මම තව පැය කාලක් යද්දි ඔතනට එනවා. ඔයා පාර අයිනට ඇවිත් ඉන්න.”

ඉතින් කලකට පසු හමු වූ මිතුරු පිරිසට සමුදිය යුතු වේලාව පැමිණ ඇත.

“අපි නං සේරම ආවෙ රෝසා බස් එකක. උඹ යන්නෙ කොහොමද මීනු..?”

දමා යෑමට දුකෙන් මෙන් ශාලිකා නැවතත් මා අතේ වෙළුනාය.

“දැන් මාමා එනවා කිව්වා. ඔයාලා පරිස්සමින් යන්න.”

දෙනෙතේ කදුළු සගවා ගනිමින් මා ඔවුන්ගෙන් වෙන් විමි. මාර්ගය දෙපසටම වාහන තදබදය තිබූ නිසා මම පසෙකට වන්නට වී මාමා එන මග දෙසට නෙත් යොමා සිටියෙමි.

“නංගා ඇයි තනියෙම..? කෝ යාලුවො ටික ගියාද..?”

ඒ හඩට මම ක්ෂණිකව හැරී බලද්දී බොහෝ සොදුරු කඩවසම් තරුණයෙක් මා දෙස බලා උන්නේය. එය ඔහු සරදමට  ඇසූ ප්‍රශ්නයක් වන්නට ඇතැයි සිතා මම ඉවත බැලිමි.

“ඔයා රණසිංහ අන්කල් එනකල්ද ඉන්නෙ..?”

එවර නම් පුදුම නොවී සිටීමට මට නොහැකි විය. ඔහු ලොකු මාමාගේ නම් පවා දනී. මා විසල් දෙනෙතින් ඔහු දෙස බලා උන්නෙමි.

“ඔයා රුවන් මල්ලිගෙ ගෙදර නේද නතර වෙලා ඉන්නෙ..?”

පිට පිට තුන්වන වතාවටද ඔහු මගෙන් ප්‍රශ්න කළේය. මම හිස සලා ඊට පිළිතුරු දුනිමි.

“අයියා කවුද..?”

කුතුහලය මැඩගත නොහැකි නිසා අවසන මම ඇසුවෙමි.

“අන්න අන්කල් එනවා. ඔයා යන්න.”

ලොකු මාමාගේ රිය මටත් පෙර හදුනාගත්තේ ඔහුය. අප අබියස රිය නතර කළ ලොකු මාමා වාහනයෙන් බැස ආවේය. කොල්ලෙක් සමග තනිව කතා කරමින් හිද ඔහුට හසුවීම ගැන මම මහා අපහසුතාවයකට පත් විමි. නමුදු මාමාගේ සැහැල්ලු පෙනුමත්, තරුණයාගේ සිනහවත් මා සාමාන්‍ය තත්වයට පත්කරලිය..

“දුලාජ් පුතා කොහොමද අපේ දෝණිව අඳුන ගත්තෙ..?”

“මං මේ දැකලා පුරුදුකමට නංගි එක්ක කතා කළා. ඒත් එයා තාම මාව අදුරගත්තෙ නෑ අන්කල්.”

“හරි.. හරි.. දෙන්නම නගින්නකො. එහෙනම් අපි යන ගමන් කතා කරමු.”

ලොකු මාමා “දුලාජ්” කියූ තරුණයා ද රියට නංවා ගත්තේය.

“දෝණි මේ අයියව දැකලා නැද්ද..?”

“නැහැ මාමා..”

“මේ තමයිපුතේ අපේ ගෙදරට එහා ගෙදර ඉන්න කොල්ලා. අර පුතාගෙ කාමරේ බැල්කනිය පැත්තෙ තියෙන ගෙදර.”

දැන් ඔහුව දනිමි. මුහුණුවර හරියට නොදුටුවාද කවුදෝ ‍යෞවනයෙක් එහා ගෙදර බැල්කනියේ සිට මදෙස බලා උන්නා මතකය. මම නැවත වරක් ඔහු දෙස බලා සිනාසුනෙමි.

“මං දවස් ගාණක් අපේ බැල්කනියට වෙලා බලන් හිටියා අන්කල්. නිකමටවත් බැලුවෙ නෑ.”

ඔහු මාමාට නෝක්කාඩු ලෙස කීවේය. මාමා ඊට සැහැල්ලු ලෙස සිනාසුනේය.

“පුතා ගොඩ දවසකින් අපේ පැත්තෙ ආවෙත් නෑ. අපේ කොල්ලා ඒත් කියව කියව හිටියා චෙස් අදින්න කවුරුත් නෑ කියලා.”

“ඒක තමයි අන්කල්... පහුගිය ටිකේ එක්සෑම් නිසා මං පාඩම් කළා.”

“පුතා මොකක්ද කරපු එක්සෑම් එක..?”

“මේ නංගි කරපු එකම තමයි. ඒත් ඉතිං මං මෙයා තරම් බ්‍රයිට් නෑ.”

එසේ නම් ඔහු මා සමග සහතික ප්‍රදානෝත්සවයට සහභාගී වූ අයෙක් විය යුතුය. ඔහු ඒ නොකියා කීවේ මා ලබාගත් ත්‍යාගය ගැන වන්නට ඇත.

“ඇයි එහෙම කියන්නෙ..? පුතත් එක්සෑම් පාස්නේ..”

“පාස් තමයි.. ඒත් නංගි වගෙ වැඩිම මාක්ස් ගත්ත තුන් දෙනාට මම අයිති නෑ.”

“ෂා..! නියමයිනේ.. අපේ කෙල්ල එච්චර හපනෙක්ද.....?”

ඒ දෑස් දයාබරත්වයෙන් පිරී තිබිණ. මට මොහොතකට තාත්තා සිහි විය. ඔහු ජීවත්ව උන්නා නම් මගේ ජයග්‍රහණය වැඩිපුරම වටින්නේ ඔහුටය. දෑස් කදුළින් බරවෙද්දී මම හිස පහත් කර ගත්තෙමි.

“මේ නංගි කවුද අන්කල්.? කලින් ඇවිත් තියෙනවද මට මතක නෑ..”

“මේ මගේ නංගිගෙ එකම දරුවා. දැන් ඉතින් දිගටම අපේ ගෙදර තමයි ඉන්නෙ.”

මාමා ඉතා දිගු කතාවක් කෙටිකර කීවේය. එය වටහා ගත්තද, නොගත්තද දුලාජ් අයියා හරස් ප්‍රශ්න නෑසීම පිළිබදව මම සතුටු විමි.

“ඒක හොදයි. දැන් රුවන් විතරක් නෙමෙයි. මට යාලුවො දෙන්නෙක්ම ඉන්නවා.”

“පුතාට පුළුවන් වෙලාවක පොඩ්ඩක් අපේ දිහාට ඇවිත් මෙයා එක්ක ටිකක් කතා කරන්න. වෙලාවකට කාමරෙන් එළියට එන්නෙ නෑ.”

මාමාගේ කතාවට ඔහු සිනාසෙන නෙතින් මදෙස බැලුවේය. ඒ දයාබර බැල්මට මා තිගැස්සී ගිය තරම් ය.

“දෝනි මට තව පොඩි ගමනක් යන්න තියෙනවා. මං ඔයාව ගෙදරින් දාලා මෙහෙම්ම යන්නං. දූ නැන්දට කියන්න.”

මා නිහඩවම හිස සලා එය පිළිගතිමි.

“අන්කල් එහෙමනං අපිව පාර ළගින් බස්සලා කෙලින්ම ඒ ගමන යන්න. මං නංගිව ගෙදරට භාර දෙන්නම්.”

“කමක් නෑ පුතා.. මං ඔයාලා දෙන්නව ගෙදරට දාලා එන්නං. පොඩ්ඩ දුරනේ.”

“මාමට රස්තියාදු වෙන්න එපා කියන්න නංගා. අපි දෙන්නා ඒ ටික පයින් යමු..”

ඔවුන් දෙදෙනාගේ බල කිරීමට මැදිහත් නොවී මා නිහඩව උන්නද දුලාජ් අයියාගේ පැනයෙන් මම අසරණ වූයෙමි.

“මගේ දූට මේ අයියත් එක්ක පයින් යන්න පුළුවන්ද.? නැත්නං මං එන්නද..?”

මාමාගේ පැනයට මට බැලුණේ දුලාජ් අයියාගේ රුව දෙසය. ඔහු තරවටුවක බැල්මෙන් මදෙස බලා උන්නේය.

“අපි යන්නම්... මාමා යන්න...”

මාමා දයාබරවත්, දුලාජ් අයියා ජයග්‍රාහී ලෙසත් සිනාසෙද්දී මම එය නුදුටු සේ ඉවත බලා ගතිමි.

“ඔන්න කොල්ලො අපේ රුවව පරිස්සමින් එක්කගෙන ගිහින් රූපිකාට බාර දෙන්න ඕන.”

“රයිට් අන්කල්... ෆිට් තමයි...”

අප වාහනයෙන් බැසගත් පසු ඔහු මහපටගිල්ල ඔසවා පෙන්වමින් කීය. ඉතින් ලොකු මාමා යන්න ගියේය. නුහුරු පෙදෙසක නොදන්නා අයෙක් සමග තනිව පාරක ගමන් කිරීමේ චකිතය නොඅඩුව මා සිතට වද දුන්නේය. මම පය ඉක්මන් කළෙමි.

“නංගා ඔයාගෙ නම මොකක්ද..?”

“මීනු..”

“මීනු විතරද..?”

“මීනු මන්දාකිණි.”

ඔහුට පිළිතුරු දෙන අතරේ වුව මට අවැසි වූයේ ඔහුගෙන් මිදී දුව යන්නටය. නමුත් ඔහු මා හා සමාන්තරව අඩි තබා මට තව තවත් ළං විය.

“මට බයේද ඔය දුවන්න හදන්නෙ..? ආ මීනු..?”

සැබැවින්ම ඔහුගෙන් මිදී දිව යෑමට අවැසි වූයේ මට නොව මා සිතටය. දුලාජ්.. ඔහුගේ කඩවසම් ප්‍රතිරූපය.. මා සිත ටිකෙන් ටික නතු කර ගනිමින් උන්නාය.

“ඔයා පාරෙ යන්නෙත් කල්පනා කර කර, බැල්කනියට වෙලා ඉන්නෙත් කල්පනා කර කර. මොනවද මීනු ඔය තරම් හිතන්නෙ..?”

තමන්ගේම කෙනෙකු තරම් ලෙන්ගතුබවක් ඒ හඩ තුළ ගැබ්ව ඇතැයි මට සිතුනි. මා මද සිනාවක් මුව රදවාගෙන ඒ දෙනෙත් සිසාරා බැලිමි.

“අනේ මන්දා ළමයො.. ඕන දෙයක් අහපුවාම හිනා වෙනවා. නැත්නං තනියෙම කල්පනා කරනවා.”

ඔහු හිස ඇල කර එය කී තාලයට සැබැවින්ම මට සිනහ ආවේය. මගේ සිනාව දෙස බලා උන් ඒ ඇස් දීප්තිමත් වන අයුරු මා දුටුවෙමි.

“ඒ මගේ හැටි වෙන්නැති අයියා.”

කිසිවක් කිව යුතු නිසා මම කීවෙමි. ඔහු මගේ දෑසට එබුණේ ය. සැබැවින්ම ඒ දෙනෙත් අද්දර මා සිත තිගැස්සිණි.

“මොනවා නැතත් ඔයාගෙ ඒ හැටියට මං කැමතියි.”

ලොකු මාමාගේ නිවස අද්දරටම පැමිණ පසු ඔහු මා සවනට සෙමින් එහෙත් ගැඹුරු හඩින් එසේ කීවේය.

“අයියා ගෙදර යන්න.. මම යන්නම්..”

ඔහුගේ නිවස පිහිටියේ මාර්ගයේ වම් පස අප නිවසට පෙර ය. නමුත් එතනින් නොනැවතුණ ඔහු මටත් පෙර ගොස් ලොකු මාමලාගේ විසල් ගේට්ටුව විවිර කළේය. මම පුදුම වී ඔහු දෙස බැලිමි.

“හිතුවද මම මග දාලා යයි කියලා.. මට රණසිංහ අන්කල් කිව්වෙ ඔයාව රූපිකා ආන්ටිටම බාර දෙන්න කියලා..”

අපේ හඩ ඇසී මිදුලට ආ නැන්දා මා සිය තුරුළට ගත්තාය.

“දෝණි.. ඇයි පුතේ මේ පයින්ම.. කෝ මාමා ආවෙ නැද්ද..?”

“ආවා නැන්දා. අපි පාර ගාවින් බස්සලා මාමා වෙන වැඩකට ගියා.”

“අනේ මන්දා මේ මනුස්සයට පිස්සුද කියලා. කරුවලත් වැටීගෙන එන වෙලාවෙ මේ දරුවා පයින් එවලා තියෙන්නෙ.”

දුලාජ් අයියා සිනාසී මදෙස බැලුවේය. ඔහුගේ පෙරැත්තය නිසා නොවන්නට මාමා කීයටවත් මා මග දමා නොයන වග විශ්වාසය.

“අන්කල්ට බණින්න එපා ඇන්ටි. මමයි කිව්වෙ මං නංගිව ගෙදරට ඇරලවන්නම්, අන්කල්ට ගිහින් එන්න කියලා.”

ඔවුන් දෙපලට කතා කිරීමට ඉඩ හැර නැන්දාගෙන් මිදී ගත් මම නිවස තුළට පා තැබුවෙමි. දොර අභියසම මදෙස බලා උන්නේ රුවන් මල්ලීය.

“අරූව කොහිදිද සෙට් වුණේ...?”

ඔහු කෝපගත් හඩින් ඇසුවේ දුලාජ් අයියා පිළිබදව වන්නට ඇත.

“කවුද දුලාජ් අයියද..?”

“ආ.. එහෙනම් මිනිහගෙ නමත් දැනගත්තා නේද.. හැබැයි අක්කා..”

එවර නම් ඔහුගේ හඩ බිදී ගියේය. මොහොතක් මදෙස බලා උන් මල්ලී ඉක්මන් අඩි තබා ඔහුගේ කාමරයට වැදී දඩාස් ගා දොර වසා ගත්තේය. මම උන් තැනම ගල් ගැසී බලා උන්නේය.

*********************

ඇග සෝදා සැහැල්ලු ඇදුමකට මාරු වූ මා තේ කෝප්පය රැගෙන බැල්කනියට පිවිසෙද්දී නැන්දා මා පසුපස පැමිණියාය.

“මාමා තාම ආවෙ නෑ නේද නැන්දා..?”

“මාමා තව ටිකකින් එයි දෝණි.. දැන් කෝල් කළා ඔයා පරිස්සමින් ආවද අහන්න.”

කුසෙන් වැදූ අම්මාවත් මා නොරැකි තරම් ආදරයෙන් මාමාත්, නැන්දාත් මා රැකීම පිළිබදව සිත උද්දාමයට පත්විය.

“ඉතිං.. දුලාජ් පුතා කිව්වෙ ඇත්තද..?”

“මොනවද....?”

මම බිය විමි. ඔහු නැන්දා සමග මොනවා කියන්නට ඇත්ද..? 

“දූට වැඩිම ලකුණු ගත්ත තෑග්ගකුයි, තව මොකක්ද තෑග්ගකුයි හම්බ වුණා කිව්වෙ..”

“ආ.. මේ.. ඒකද..?”

“ඔය තරම් වටින දේවල් අපිට නොකියා ඉන්නෙ අපි ගණන් ගන්නෙ නැතිව ඉදියි කියලා හිතලද..?”

නැන්දාගේ දයාබර හඩ මා සිත පාරවන්නට සමත් විය. ඔවුන්ගේ ආදරයේ තරම මා මේ වන විටත් වටහාගෙන උන්නෙමි.

“මම එහෙම හිතුවෙ නෑ නැන්දෙ. මට සමාවෙන්න.”

මම නැන්දගේ උරහිසේ හිස හොවා ගත්තෙමි. ඈ සිය අතැගිලි මා හිසකෙස් අතර දිවෙව්වාය.

“අපිට දෝණිව ගොඩක් වටිනවා. ඒ වගේම මාමටත්. දැන් ඔය ආපහු ගිහින් තියෙන්නෙ රෑට පොඩි පාටියක් දාන්න බඩු ගේන්න.”

“තාත්තා නැතිවෙලා දවස් කීයද නැන්දා. මොන පාටිද ඉතිං..”

එය මා හිතා මතා කීවා නොව, ඉබේම කියැවුණි ය. නමුත් ඉන් නැන්දාගේ සිත පෑරෙන්නට ඇතැයි මට සිතුණි. ඔවුන් වෙහෙසෙන්නේ මාව සතුටින් තැබීමටය.

“මේක පාටියක්ම නෙමෙයි දෝනි. මගේ දූ විභාගෙන් පාස් වුණ සතුටට පවුලෙ අය අතර විශේෂ රෑ කෑමක්.”

නැන්දා සමග කතා කරන අතරතුර එහා ගෙදර බැල්කනියට පැමිණි දුලාජ් අයියා කීපවරක් නැවත හැරී යනු මා දුටිමි. ඇතැම් විට නැන්දාත් එය දකින්නට ඇත.


                                                                                

No comments:

Post a Comment