Saturday, July 14, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |


පසුදා මා අවදි වූයේ තරමක් පමා වීය. ඒ වන විට නැන්දා හා මාමා පමණක් නොව රුවන් මල්ලීද අවදියෙනි. අද මාමා විදේශගතවන දිනයයි. එබැවින් මා ළහිලහියේ ඇඳෙන් බැස ගතිමි.

ගුඩ් මෝනිං අක්කා! මොකද අද උදෙන්ම නැගිටලා!

මා නාන කාමරයට දිව යද්දී මග හරස් කළ මල්ලී මගේ දෑසට එබී බැලුවේය. මට දැනුණේ ලැජ්ජාවකි.


ඊයෙ නින්ද ගියේ පරක්කු වෙලා මල්ලි. ඒ නිසා ඇහැරුණේ නෑ.

මොකෝ නින්ද නොගියෙ.. මල්ෂා නිසාද.. දුලාජ් නිසාද...?

ඔහුගේ අනුමානය නිවැරදි විය. මල්ෂා ගැන මෙන්ම දුලාජ් අයියා ගැන ද බොහෝ වේලාවක් යන තුරු මට සිහියට නැගුණි. ඒ සියල්ලටම වඩා මේ මොහොතේ මා කලබල වූයේ මල්ලී මා සිත කියවීම පිළිබඳවය. ඉතින් මම නාන කාමරයට වැදී දොර වසා ගතිමි. නමුත් මා එලියට එන විටත් ඔහු එතැනටම වී බලා උන්නේය.

අක්කා, තාත්තට බඩු වගයක් ගන්න ටවුන් එකට යන්න තියෙනවා. මාත් එක්ක යමුද..?

හා...

දෙවරක් නොසිතාම මම එකඟ විමි. ඒ අවසරයෙන් මල්ලී ඉවත ගියේය. මම බයිසිකලයේ යෑමට පහසු වන සේ ඩෙනිමක් හා සැහැල්ලු ටී ෂර්ටයක් ඇඟලා ගතිමි. දෑසේ කදුළු පුරවාගත් නැන්දා කාමරයට ඇතුළු වූයේ ඒ මොහොතේම ය. ඒ කදුළු දැක මගේ දෑස් වුව තෙත්ව යන්නට ඇත.

අද හවස මාමා යනවා දෝණි. අපි කවදාවත් මේ තරම් කාලයක් ඈත් වෙලා ඉඳලා නෑ.

ඈ මගේ දෑතින් අල්වාගෙන දුක කීවාය. සැනසිලි වදන් මුවග නැගුණේ නැති නිසා මම නිහඩ උනිමි.

අනිද්දා ඉදලා පුතත් රස්සාවට යනවා.. අනේ මන්දා...

ඈ ඒ නොකියා කීවේ තමන්ගේ අය ළග නොමැති විට දැනෙන වේදනාව නොවේද.? එසේ නම් එම දුක වැඩිපුර දැනෙන්නේ ඇයට නොව මටය. අම්මාත්, තාත්තාත් ළඟ නැති අඩුව කවදා නම් මැකේවිද..? නැන්දාගේ කඳුළු බර දෑස් දෙස බැලීම නිසා මෙන්ම තාත්තා සිහිවී නිසා මගේ දෑසින් කඳුළු වැල් දෙකක් ගලා ගියේය. මම ඉක්මනින් තුවාය මුහුණට තද කර ගතිමි.

අක්කා...

මල්ලීගේ හඬ පහළ මාලයෙන් ඇසෙද්දී නැන්දා කාමරයෙන් පිටව ගියාය. කොණ්ඩය එක මිටට අල්ලා කොණ්ඩ පටියක් ගැට ගැසූ මා මුහුණ පිසදා පඩිපෙල බැස ගතිමි.

පුතේ වරද්දන්නෙ නැතුව ඔය බඩු සේරම ටික ගේන්න.

නැන්දා තුණ්ඩුවක් ලීයා මල්ලී අතට දුන්නාය. එය සාක්කුවේ ලාගත් ඔහු මිදුලට බැද්දේ හෙල්මට් දෙකක් ද අතැතිවය. මම ද ඉක්මනින් ඔහු පසුපස ඇදුනෙමි.

නැන්දා.. අපි ගිහින් එන්නම්..

ආ.. දෝණිත් යන්නෙ පුතත් එක්කද..? මං හිතුවා ඔයා උඩවත්තලගෙ දිහා යනවා කියලා.

නෑ නැන්දා.. අද මං එන්නෑ කිව්වා. මටත් බඩු වගයක් ගන්න තියෙනවා. මං මල්ලි එක්ක ගිහින් එන්නම්.

දෝණි එහෙනං මේකත් තියාගන්න..

නැන්දා මා අතේ රුපියල් දහසක් මිට මෙලෙව්වාය. එය මා ප්‍රතික්ෂේප කළ ද ඈ මුදල යළි භාර ගන්නේ නැත.

අක්කා පරක්කු වෙනවා...

හරි.. හරි.. යමු..

හෙල්මටය හිසලාගත් මා බයිසිකලයට නැඟුනෙමි.

අක්කට ඇතත්ටම මොනවා හරි ගන්න තියෙනවද.?

ඔව්. පොඩි බඩු වගයක් ගන්න තියෙනවා.. ඇයි..?

එහෙනම් ඔයා ඒ ටික අරගෙන මේ සෙලියුලර් සෙන්ටර් එක ළගට එන්න. මං බෑන්ක් එකෙන් සල්ලි අරන් එන්නම්.

ටවුමෙන් මාව බැස්සූ රුවන් මල්ලී කීවේය. තනිව ඇවිද ගොස් බඩු ගැනීමට මම බිය විමි. නමුත් මට අවැසි දෑ ගැනීමට මල්ලී කැටුව යෑම ඔහුට ද වදයක් විය හැකි බැවින් අකැමැත්තෙන් වුව මා එයට එකඟ වද්දී ඔහු බයිසිකලය පණ ගන්වා ඉගිල ගියේය. දහසක් සෙනඟ අතරේ තනිවූ මුවැත්තියක මෙන් මම වටපිට බැලිමි. පසුපස සෙනග ගොඩ අතරින් එක්වරම මතු වූ දුලාජ් අයියාගේ රුව මා පුදුමයෙනුත්, පුදුමයට පත් කළේය. මේ අහඹු හමුවීම ඔහුට නම් විශේෂයක් නොවුණා සේ ය.

මං හිතුවා එන එක්ක නෑ කියලා..

දුලාජ් අයියා මා දුටුවනම පැවසූ වදන් මට වැටහුණේ නැත. මම ඔහු දෙස බැලුවේ වික්ෂිප්ත දෑසිනි. නමුත් ඒ මුහුණේ වූ ආකර්ෂණීය කඩවසම් පෙනුමට වචන අමතකව ගියේය.

ඇයි බයවෙලා. ඔයා හරි වෙලාවට ආවා මීනු.. හරියටම නවය හමාරයි.

මම දුරස්ථ පාලකයකින් වැඩකරන රොබෝවෙකු සේ ඔරලෝසුව දෙස බැලිමි. ඔහු මදෙස බලා දයාබරව සිනාසුනේය.

මට තේරෙන්නෙ නෑ අයියා.. ඔයා මේ මොනවද කියන්නෙ..?

ඒ කියන්නෙ ඔයා මේ ආවෙ මං එන්න කියපු නිසා නෙමෙයිද..?

ඔයා කවදද මට එන්න කිව්වෙ..?

ඇයි මං පෙරේදා කාමරේට එවපු කොලේක තිබුණෙ ඔයා ඒක බැලුවෙ නැද්ද.?

නෑ.. මං දන්නෙවත් නෑ..

ඔහු නළලේ අත ගසා ගත්තේය. මම මඳක් කල්පනා කළෙමි. ඇතැම් විට මෙය රුවන් මල්ලීගේ සැලැස්මක් වන්නට ඇත.

ඊයේ උදෑසන මල්ෂලාගේ නිවසට යන විට අද එහි නොවන බව පවසන්නැයි කීවේ ඔහු ය. උදෑසන ටවුමට ඒමට මට කතා කළේ ඔහු ය. පමා වෙන බව පවසමින් මාව ඉක්මනින් රැගෙන විත් හරියටම මෙම ස්ථානයෙන් බැස්සවූයේත් ඔහු ය. ඉතින් දුලාජ් අයියා එවූ කොළය කියවන්නට ඇත්තේ රුවන් මල්ලීම බව මම අවබෝධ කර ගතිමි. නමුත් දුලාජ් අයියා මා පිළිබඳ අවධානයේන පසුවන බව දැනගත් පසු අමනාපයෙන් උන් ඔහුම මෙසේ හැසිරීම පිළිබඳව මම පුදුම විමි.

මෙතන කතා කරන්න බෑනෙ මීනු.. අපි මොනා හරි බොන්න යමුද..?

මට බොන්න බෑ.. දැන් මල්ලි මෙතනට එයි..

රුවන් දැන්මම එන එකක් නෑ ළමයො. ඌ හොඳ අන්ඩස්ටෑන්ඩින්ග් එකක් තියෙන කොල්ලෙක්.

මට බයයි අයියා.

මම ඇත්තම කීවෙමි. දුලාජ් අයියා හා කතාබහ කරන්නට, ඔහු සමඟ ගැවසෙන්නට සිත බලා උන් බව සැබෑවකි. නමුත් ඔහු මෙසේ තනිව මුණ ගැසීමට ඇරයුම් කළේ නම් මා කෙසේවත් මේ ගමන පැමිණෙන්නේ නැත. කෙසේ වෙතත් අප දෙදෙනාම නොදැනුවත්වම රුවන් මල්ලී අප මුණගස්වා ඇත. ඔහු දැන්ම මෙතනට නොඑන බව පසක් කරගත් මා දුලාජ් අයියා සමග සාප්පු සංකීරණයට  ඇතුල් වූයෙමි.

එතකොට ඔයා ආවෙ මාව හම්බවෙන්න නෙමෙයි නම් මොනවටද..?

මට බඩු වගයක් ගන්න තියෙනවා..

එහෙනං මමත් එන්න. අපි දෙන්නම ගිහින් ගමු.

අනේ මට බෑ.

ඔහු සිනාසෙමින් මගේ දෑසට එබුණේ ය. මම වහා ඉවත බලා ගතිමි.

මොකෝ.. මං එක්ක ගිහින් ගන්න බැරි දේවල්ද..?

මා ඊට පිළිතුරු නොදුන් නිසා ඔහු කතාව මාරු කළේය.

රයිට්... එහෙනම් එහෙනම් මොනවා හරි බොන ගමන් කතා කරමු.

ඔහු මගේ අතින් ලාවට අල්ලාගෙන වෙළඳසැලක් වෙත පිය නැගීය. අත ඉවතට ඇද ගැනීමට තරම්වත් සිහියක් නොවූ මා සීතල වතින් යුතුව ඔහු පසුපස ඇදුනෙමි.

මොනවද නංගා කන්න කැමති..?

බඩගිනි නෑ.

එහෙනං මොනවද බොන්නෙ..?

නෙස්කැෆේ එකක්.

මරුනේ... ඔයත් කැමති මං කැමති දේවල්වලටමයි.

ඔහු හැසිරුනේ බොහෝ සැහැල්ලුවෙනි. නමුත් මා උන්නේ දියෙන් ගොඩ දැමූ මාළුවෙකු මෙනි.

අයියට දෙයක් කියන්න තියෙනවා.

මම අසීරුවෙන් වඳන් ගළපා ගතිමි.

ඉතින් කියන්න.

ආයෙත් මගේ කාමරයට කොළ කෑලි විසි කරන්න එපා. මල්ලි දැක්කා වගේ දවසක නැන්දත් දකියි.

මා කී දෙය ඔහු සැහැල්ලුවට ගත්තේ නැත. එය අවබෝධ කරගත්තාක් මෙන් බැරෑරුම්ව හිස සලද්දී මට සතුටක් දැනුණි.

මටත් දෙයක් කියන්න තියෙනවා.

ඒ හඬ ඉතා දයාබරය. ඉතිං මා අසා උන්නෙමි.

මං ඔයාට කොළ එව්වෙ නරක හිතකින් නෙවෙයි. ඉස්සර ඕක රුවන්ගෙ කාමරේ. අපි දෙන්නා ගොඩක් වෙලාවට බැල්කනි දෙකට වෙලා කෑ ගගහා කතා කරනවා. අම්මලට හොරෙන් දෙයක් කරන්න ඕන වුණාම අපි කරන්නෙ කොළ විසි කරන එක..

මා ඒ කතාවට සවන් දුන්නේ ආසාවෙනි. ඔවුන් දෙදෙනා අතර වයස පරතරයක් ඇතත් ඔවුන් අතර හොඳ මිතුරුදමක් තිබෙන්නට ඇති බව මම වටහා ගතිමි.

දවසක් ඔය කොළ කෑල්ලක් නිමා මං මාර කෑමක් කෑවා..

මුලදී කියාගෙන ගිය දෙය අමතකව ගියාක් මෙන් ඔහු කතාව මාරු කළේය. නමුත් ඒ කතා විලාසයේ වූ රසවත්භාවය නිසා ඔහු කියන ඕනෑම දෙයකට සවන් දිමට මා සැදී පැහැදී උන්නෙමි.

මං ඒ ලෙවල් කරලා ගෙදර ඉද්දී ටවුටම අලුත් ෆිල්ම් එක්ක ආවා. මගේ යාළුවො එක්ක මමත් ඒක බලන්න යනවා කියද්දි රුවන්ටත් එන්න ඕනෙ කිව්වා. එතකොට මිනිහා ඕලෙවල් වත් කරලා නැහැ. ඉතිං මං යන වෙලාවයි, විස්තරයි කියලා මිනිහට කොළයක් එව්වා. ඒක උගේ ඔලුව උඩින් ගිහින් වැටුණෙ රණසිංහ අන්කල්ගෙ කකුල් දෙක ළඟ.

ඉතිං..?

ඉතිං තමයි... අන්කල් ඒ කොළේ අහුලද්දී මං හැංගිලත් ඉවරයි. ඒ වුණාට ඒ නිවුස් එක අපේ අම්මගෙ කණටත් ගිහින්.. එදා නං කෑවා මාර පරිප්පුවක්. ඒ විතරක්නං මැදෑ.. රුවන්ට තියා මටවත් ෆිල්ම් එක බලන්න යන්න බැරි වුණා..

ඔහු එය කී දුක්බර විලාසයට මට සිනහ නැගුණි. ඒ දෙනෙත් මා මුහුණ සිසාරා දුව ගියේය.

ඔයා හිනා වෙනකොට කම්මුල් වළ ගැහෙනවා. ඇස් හීනි වෙනවා.. හරිම ලස්සනයි මීනු.

බොරු කියන්න එපා. මට කලින් කවුරුවත් ඔහොම කියලා නෑ.

එහෙනං කවුරුවත් මීට කලින් ඔය ලස්සන මූණ දිහා ඕනකමින් බලලා නෑ.

මේසය මත තිබූ නෙස්කැෆේ කෝප්ප දෙක අප දෙදෙනාටම අමතකව ගියා වැනිය. මම ඉන් එකක් අතට ගනිද්දී එය තරමක් නිවී තිබිණි.

කතාවෙන් කතාවෙන් කියන්න හිතපු දේ අමතක වුණා ළමයො.

මොනවද...?

මීට පස්සෙ මං ඔයාට කොළ ගුලිවත් මකන කෑලිවත් එවන්නෙ නෑ. ඒත් ප්ලීස් ෆෝන් එකට රිප්ලයි කරන්න.

මගේ ෆෝන් එකට මං වැඩිය සල්ලි දාන්නෙ නෑ අයියා.

ඔහු මදෙස දුක්බර ලෙස බලමින් නෙස්කැෆේ උගුරක් තොල ගෑවේය. මම අසරණව එදෙස බලා උන්නෙමි.

ඔයා කොහොමද මගේ ෆෝන් නම්බර් එක හොයාගත්තෙ. ඒක ගොඩක් අය දන්නෙ නෑ.

දුලාජ් අයියාගේ මුහුණේ අමුතුම ආකාරයේ සිනාවක් ඇඳුනි.

ඔයා ගැන ගොඩක් අය නොදන්න දේවල් දැනගන්න මං කැමතියි නංගා..

එහි වූ සැබෑ අරුත වටහා ගත නොවුණු මා බලා උන්නා පමණි. මඳක් කල්පනාබරව ඈතක බලා උන් ඔහු ක්ෂණිකව නැවතත් කතාවට යොමු විය.

එදා ඔයාලා කේක් හද හද හිටපු දවසෙ මං ගෙට යද්දි ඔයාගෙ ෆෝන් එක සාලෙ තිබුණා. ඉතිං මං ඒකෙන් මගේ නම්බර් එකට මිස් කෝල් එකක් ගහ ගත්තා.

ඔයා කොහොමද ඒක මගේ ෆෝන් එක කියලා දන්නෙ..?

එදා ඔයා රණසිංහ අන්කල් එනකල් BMICH එක ළග ඉන්නකොට ඔයාගෙ අතේ තිබුණෙ ඒ ෆෝන් එක. අනික ඒ ගෙදර හැමෝගෙම අංක මගේ ළග තියෙනවා. ඉතිං මිස් කෝල් එක ඇවිත් තිබුණෙ දන්නෙ නැති අංකයකින් නිසා ඒක ඔයාගෙමයි කියලා කන්ෆර්ම් කරගන්න තවත් සාක්කි ඕනෙ නෑ. තේරුණාද..?

ඔහු මා ගැන කොතරම් අවධානයකින් උන්නාද කියා දැන ගැනීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත.

අපි දැන් යමු.

සිතට එකග නොවුණ ද මම පැවසුවෙමි. ඔහු මදෙස බලා දිඟු හුස්මක් පිට කළේය.

තව චුට්ටකින් යමු. තාම එච්චර වෙලා ගිහින් නෑනෙ.

මල්ලි ඇවිත් ඇති.

හරි.. හරි.. යමුකො එහෙනම්..

ඔහු එවර නැගී උන්නේ පෙර වතාවේ මෙන් නොව තදින් මා අත ග්‍රහණය කරගෙනය. ඒ පහසේ වූ ආකර්ෂණය අභිබවා සිතට ලැජ්ජාවක් දැනුණු හෙයින් මම අත ඉවතට ඇද ගතිමි.

සොරි..!

ඔහුගේ හැඟීම්බර හඩ ඇසුණේ දෙකන් අද්දරින්ම වාගේය. මම වහා හිස ඔසවා ඒ සංවේදී නෙතු යුග දෙස බැලුවෙමි.

මලක් වගේ හිනා වෙවී ඉන්න ඔයාව දාලා යන්න දුක හිතුනා.

ඒ හඬේ මෙන්ම ඒ බැල්මේද රැඳී තිබුණේ අසීමිත ආදරයකි.

ඔයා දැන් යන්න අයියා. මං මල්ලි එනවා කියපු තැනට යන්නම්.

මම ඔහුව මගහැර මල්ලී පෙන්වූ සෙලියුලර් සෙන්ටර් එක අබියසට පා නැගුවෙමි. රුවන් මල්ලී ඒ වනවිටත් ඇවිත් උන්නේය. මා බයිසිකලයට ළං වද්දී මල්ලී මදෙස ඕනෑකමින් බලනවා දුටුවත් මම ඒ දෑස් මග හැරිමි.

ඔයා ඇවිත් ගොඩක් වෙලාද මල්ලි..?

කෝ ඔයා බඩු ගත්තෙ නැද්ද..?

අප දෙදෙනාම ප්‍රශ්න නැගුවා මිස කතා කළේ නැත. මම බයිසිකලයට නගිද්දී මල්ලී වටපිට ඇස් හරවා බැලුවේය. ඔහු ඒ සෙව්වේ දුලාජ් අයියාව බව විශ්වාසය. නමුත් ඔහු කිසිවක් නොවිමසීම පිළිබඳව මම සතුටු විමි.

අක්කා ඔයාගෙ බඩු ටික ගන්න යමුද..?

දුලාජ් අයියා මුණ ගැසීම නිසා බඩු ගැනීමට නොහැකි වූ බව අනුමාන කළ මල්ලී නැවත විමසුවේය.

දැන් ඕන නෑ.. අපි අනිත් බඩු ටික ගමු..

ආ.. ඒ ටික හරි. මං ගිහින් ගත්තා.

බයිසිකලයේ හැඩලයේ එල්ලා තිබූ බෑග් දෙක දකිද්දී සිතට මහා පසුතැවීමක් දැනුණි. මා පිළිසදරේ යෙදෙන අතරතුර මල්ලී තනිව ගොස් අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන ඇත.  දුලාජ් අයියා අභියස මා එතරම් කාලයක් ගත කළා දැය් මම පුදුම විමි.

ඉන්පසු නිවසට පැමිණ බසිනතෙක්ම අප අතර කතා බහක් නොවිණි. නිවසට පැමිණි වහාම මා කළේ කාමරයට වැදී දොර වසා ගැනීමය. කල්පනා කිරීමට බොහෝ දේ තිබූ නමුත් කිසියක් නොසන්සුන්කමකින් මම පීඩා වින්දෙමි.

අක්කා... මේ දොර අරින්න ටිකකට.

රුවන් මල්ලී දොර අභියස හිඳ කෑ ගැසුවේය. නමුත් මා දොර විවර කළේ මොහොතක් දෙකක් පමා වීමෙන් අනතුරුවය.

මට ටිකක් කතා කරන්න පුළුවන්ද..?

මම හිස වැනිමි. ඉදින් ඔහු කාමරයේ පුටුවකට බර දී මා මුහුණ දෙස එක එල්ලේ බැලුවේය. ඒ කාන්තිමත් දෑස් මලානික වී ඇතැයි මට ක්ෂණිකව සිතුණි.

අද මං කළේ වැරැද්දක් කියලා ඔයා හිතනව නං මට සමාවෙන්න අක්කා..

ඒ කීවේ කුමක් ගැනදැයි දැන උන් මා කිසිවක් නොකියා උන්නෙමි.

මං ඔයාව එතන තනියම දාලා ගියා කියලා හිතනවා නං ඒක වැරදියි. වැඩිය හුරු නැති පැත්තක ඔයාව කොල්ලෙක් එක්ක තනියම දාලා යන්න මට බැරි වුණා..

මල්ලී..?

ඔව් අක්කා.. මං බැංකුවට යනවා කිව්වෙ බොරුවට. ඔයාලා ඇතුළට ගියාම මං ආපහු එතනට ආවා. ඔය දෙන්නව පේන හරියෙ ඉඳගෙන තමයි මං බඩු ටික ගත්තෙ.

එසේ නම් ඔහු අප දිහා බලා ඉන්නට ඇත. මසිතේ රුවන් මල්ලී ගැන මහා පැහැදීමක් ඇතිවිය..

මට නොකියා ඇයි එහෙම දෙයක් කළේ..?

මම හඬමින්ම විමසුවෙමි. මල්ලී මදක් ඉදිරියට නැමී මගේ දෑත් තදට අල්ලා ගත්තේය.

දුලාජ් ගොඩක් හොද කොල්ලෙක් කියලා මං දන්නවා අක්කා. ඔයාලා දෙන්නට දෙන්නා කැමතියි නං ඔයාලට පොඩි චාන්ස් එකක් අරන් දෙන්නයි මං එහෙම කළේ. ඒත් ඔයා අකමැති නං මං ආපහු කවදාවත් එහෙම වැඩ කරන්නෙ නෑ.

ඒ කටහඩේ වූයේ පසුතැවීමකි. නැතහොත් වේදනාවකි.

දුලාජ් අයියා ඒ එවපු කොළේ මම ඇහිලුවා නං මං කීයටවත් අද ටවුටම යන්නෙ නෑ.

ඒ කියන්නෙ අක්කා... ඔයා දුලාජ්ට කැමති නෑ..?

රුවන් මල්ලීගේ දෑස් දෙස සෘජුව බලා එයට පිළිතුරු දෙනන්ට මම අපොහොසත් විමි. නමුත් ඔහු පිළිතුරක් අපේක්ෂාවෙන් බලා උන්නේය.

මට කෙලින්ම කියන්න.. ඔයා දුලාජ්ට කැමතිද..? නැද්ද..?

මම තාම දුලාජ් අයියා ගැන දන්නෑ මල්ලි..

ඒත් අපි හැමෝම එයා ගැන දන්නවා. දුලාජුයි, මමයි පොඩි කාලෙ ඉඳලම එකට හැදුනෙ.

මට දැන්ම උත්තරයක් දෙන්න බෑ මල්ලි. අනික අපි කවදාවත් ආදරයක් ගැන කතා වෙලා නෑ.

මගේ කතාවට ඔහුට සිනහා නැගුණි.

ආදරේ කියන දේ කටින් කියන දෙයක් නෙමෙයි. ඒක හිතට දැනෙන දෙයක්.

මගේ හිතේ කා ගැනවත් ඒ විදියෙ ආදරයක් දැනිලා නෑ.

මා දුන් පිළිතුර සිතට එකඟ නොවූවකි. දුලාජ් ගැන ඇල්මක්, පැහැදීමක් සිතේ කොණක වූ බව සැබෑ ය. නමුත් ඒ ආදරයටදැයි මා පවා නොදත්තෙමි.

තමන්ගෙ හිතේ ආදරයක් නැතත් අනිත් කෙනාගෙ හිතේ තියෙන ආදරේවත් තේරුම් ගන්න උත්සාහ කරන්න.

තවත් වදනක් හෝ නොදෙඩූ රුවන් මල්ලී කල්පනා කිරීමට යමක් ඉතිරි කර යන්නට ගියේය. මම එතැනම ගල් ගැසී බලා උන්නෙමි.



No comments:

Post a Comment