Tuesday, July 17, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |


මා රෝහලෙන් පිටව යෑමට නියමිතව තිබූ දින උදෑසනම මල්ෂා, රූපිකා නැන්දාගේ දුරකථනය ඔස්සේ මා ඇමතුවා ය.

හෙලෝ.. අක්කා.. ඔයාට මොකද වුණේ..?

ඈ කිසිත් නොදන්නා විලසින් තාලයට අසද්දී මට නොරිස්සුමක් දැනුණි.

මට පොඩි උණක් හැදුණා නංගි.. දැන් හොඳයි.


ඔයා බොරු කියන්නෙ. එදා අපේ ගෙදර ගිහින් ආවට පස්සෙලු නේද අසනීප වුණේ.?

නැන්දා ඇගේ යෙහෙළිය වූ උඩවත්ත ඇන්ටීට සියලු විස්තර පවසන්නට ඇත. එහෙයින් මා නිහඬව උන්නෙමි.

හරි.. හරි අපි පස්සෙ කතා කරමුකො. අක්කා ඉක්මනට සනීප වෙලා ගෙදර එන්න.

ඇයට කිසිත් නොකී මම දුරකථනය නැන්දාට දී ඇදේ පෙරළි ගතිමි. ඇය මල්ෂාට මොනවදෝ කියා ඇමතුම විසන්ධ කළාය.

දූ දැන් මල්ෂාට වැඩිය කැමති නෑ නේද...?

නැන්දා මගේ ඉරියව් හරහා යමක් වටහා ගන්නට ඇත. මම අසරණ සිනාවක් පාමින් නැන්දා දෙස බැලිමි.

දූ ආපහු එයාට පංති කරන්න යන්න එපා. අකමැතිනං ගෙදර ඉන්න.

නැන්දා මගේ බඩු භාණ්ඩ බෑග්වල අසුරද්දී රුවන් මල්ලී කාමරයට ඇතුළු විය. ඔහු පිටුපසින් පැමිණි පුද්ගලයා දුටු මගේ ඇසි පිය පවා තිගැස්සී ගියේය. ඒ වෙනකෙකු නොව.. මාව අතරමං කර දැමු දුලාජ් අයියා ය.

ආ.. දුලාජ් පුතත් ආවද..?

නැන්නාගේ හඬ ඔහුට නෑසුණා වැනිය. ඒ සොඳුරු දෑස්වල ආදරය පුරවා ඔහු මදෙස බලද්දී මම දෑස් පියා ගතිමි. තවත් ඒ මුලාවට හසුවිය යුතු නොවේ. ඔහු මල්ෂා දෙසද බලන්නේ ද ඔය වැනිම බැල්මකින් විය හැක.

අම්මා හරි තිබහයි. පහළ කැන්ටින් එකෙන් කූල් මොනා හරි ගේන්නකො.

දුලාජ් අයියාට සිය අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ හැර මල්ලී නැන්දාව උපායශීලීව පිටත් කර හැරියේ ය. ඈ යන්න ගිය පසු දුලාජ් අයියා මගේ ඇඳට එබී මා මුහුණ මත්තේ නෙතු දිවෙව්වේය.

මට ඔය තරම්ම ආදරේ කළාද බබා.. ආ.. ඔයා මට ඔය තරම්ම ආදරේ කළාද..?

ඔහු එය ඇසුවේ පිස්සුවෙන් මෙනි. මම මල්ලී දෙස බලද්දී ඔහු කාමරයේ වූ කුඩා ඇඳට බර වී ඉවත බලා උන්නේය.

මට සමාවෙන්න රත්තරං ඔය හිත රිදෙව්වට. මට සමාවෙන්න. මං කොයිතරම් මල්ෂට රැවටිලද කියලා රුවන් මට කියලා දුන්නා. ෂිට්.... මං වගේ මෝඩයෙක්.

ඔහු කොතෙකුත් සිය සිත නිරාවරණය කළද මා උන්නේ මළගිය ප්‍රාණියකු සේය. ඔහුගේ සමාව තබා ආදරයවත් මට දැන් අවැසි නොවේ.

මං කෑගල්ලෙ හිටපු කාලෙ මල්ෂා මට දවස ගානෙ කතා කළා නංගි. පැය ගණන් කතා කළා.. තනිවෙලා තිබුණ හිත එයාගෙ පැත්තට ගහගෙන ගියේ මටත් නොදැනිමයි.

දුලාජ්... මං උඹට කියලා එක්ක ආවෙ හරි...

මල්ලී දබරගිල්ල ඔසවා යමක් පවසද්දී දුලාජ් අයියා හිස සැලී ය.

හරි.. මට දැනගන්න ඕන මෙච්චරයි බබා. මං ඔයාට ආදරේ කළා වගේම ඔයත් මට ආදරේ කියලා මං දන්නවා. මං ඔය කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්නං. මගේ ආදරේ භාර ගන්නවද..?

ඔහු බැගෑපත් හඬින් විමසුවේය. මට මල්ෂා කී දෑ එකිනෙකට සිහිපත් වුණි. ඔවුන්ගේ සම්බන්ධය මගෙන් වසන් කිරීමට උත්සාහ දරා ඇත්තේ දුලාජ් අයියා ය. මා ඔහුට දුරකථනය ඔස්සේ නිතර කරදර කරන බව පවසා ඇත්තේ ද ඔහු ය. මා ඔහුට ඒකපාර්ශ්විකව ආදරය කරන බව ඇයට කියා ඇත්තේ ද ඔහුය. ඉතින් එවන් වංචාකාරයකුගේ සෙනෙහසින් මට ඵලක් නොවේ. මා දුලාජ් අයියාට කොතෙක් ආදරය කළද මම ඔහුව ප්‍රතික්ෂේප කළෙමි.

මං කැමති නෑ.. අයියා දැන් යන්න. ගිහින් මල්ෂාත් එක්ක සතුටින් ඉන්න..

මල්ෂා මාව රවට්ටලා නංගි..

ඉතින්... දැන්ද මාව ඕන වුණේ..?

නෑ.. මට ඔයාව ඕන වුණේ මල්ෂාව ඕන වෙන්න කලින්. මං ජීවිතේ මුලින්ම ආදරේ කළේ ඔයාට. බොරුනං මේ රුවන්ගෙන් අහන්න..

මට ඒවා වැඩක් නෑ. ඔයා දැන් යන්න.

දෑස් තෙත්ව යද්දී මම ස්ථීර හඩින් කීවෙමි. මොහොතක් දෙකක් මදෙස බලා හිඳ ඔහු යන්නට ගියේය.

අක්කා.. ඌ පසුතැවෙනවා වෙච්ච දේ ගැන. ඔයා හොඳට හිතලද ඔය තීරණේ ගත්තෙ...?

ඔව්...

මල්ලී ගැඹුරු හුස්මක් ගෙන ළය සැහැල්ලු කර ගනිද්දී නැන්දා කාමරයට ඇතුළු විය. අප කිසිවක් නොවුණ සේ උන්නෙමු.


දින කිහිපයක් රෝහලේ ගත ඛල මා නැන්දා හා රුවන් මල්ලී සමග යළි නිවසට පා තැබුවෙමි. මිදුලේ මල් පිපී පරිසරය සුන්දර වී ඇත. නමුත් ඒ පැල සිට වූ මාගේ මුළු ආත්මයම තිබුණේ රෝගාතුරවය.

රෝහලෙන් ලබා දී තිබූ බෙහෙත් බොහෝමයකට නිදිමත අධිකව දැනේ. ඉතින් නැන්දා බල කර බෙහෙත් දීමෙන් අනතුරුව මම පැය ගණන් නිදා වැටුණෙමි.

දෝණි.. ඔයා නිදිද..?

දිනක් නැන්දා කාමරයට හිස පොවා විමසද්දී මා උන්නේ අවදියෙනි.

මෙන්න ඔයාව බලන්න යාළුවෙක් ඇවිත්..

කවුද නැන්දා..?

මල්ෂායි, එයාගෙ අම්මයි..

නැන්දා පසුපසින් මල්ෂා මගේ කාමරයට පැමිණ උන්නාය. උඩවත්ත ඇන්ටී පහළ මාළයේ බැවින් නැන්දා කාමරයෙන් පිට වුණි. මල්ෂා සමග තිබූ තරහා නිසා ඈ දෙස නොබලා සිටීමට මම වෙර දැරුවෙමි.

ඔයා තරහින්ද අක්කා..? මං ඔයාට කවදාවත් වැරැද්දක් කරන්න හිතුවෙ නෑ.

මම මල්ෂා දෙස බලද්දී මගේ දෑසේ කදුළු පිරී තිබුණා දැයි නොදනිමි. නමුත් ඈ පැමිණ මගේ ඇඳ ළගින්ම දණ ගසා ඉඳගත්තාය.

ඔයා දුලාජ් අයියට ආදරේ නෑ කියලා කියපු නිසයි අක්කා මං යාළු වුණේ..

දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ නංගි. මං ඔයාලා එක්ක තරහා නෑ.. ඔයාලා සතුටින් ඉන්න..

ඔයා ඔහොම කිව්වට මං කොහොමද සතුටින් ඉන්නෙ. දුලාජ් අයියා දැන් මට කතා කරන්නෙ නෑ. එයා මගේ මූණවත් බලන්නෙ නෑ.

ඒකට හේතුව මම නෙමෙයි. මං එයාට කිසි දෙයක් කිව්වෙ නෑ..

වෙන්න පුළුවන්. ඒත් එයා මට එහෙම කරන්නෙ ඔයා නිසා අක්කා. ඔයා එයාට ආදරෙයි කියලා දැන ගත්තම එයා මගෙන් ඈත් වුණා..

නමුත් මා දුලාජ් අයියාට ආදරය කරනා වග කිසිදා නොකීවෙමි. ඔහුගේ ආදරය ද මට දැන් අවැසි නොවේ.

ඕවට මාව ගාවගන්න එපා නංගි. ඔයාලා කතා කරලා ප්‍රශ්නෙ විසඳගන්න. මං ඔයාලා අතරට එන්නෙ නෑ.

ඒත් දුලාජ් අයියා එහෙම හිතන්නෙ නෑ අක්කෙ. එයා ඔයා ගැන කියනවා. එයාට මාව එපාලු. අනේ එයාට කියන්න අක්කේ මාව අමතක කරන්න එපා කියලා. මං එයාට ඇත්තටම ආදරෙයි.

ඇගේ පැනයෙන් මා අසරණ වුණෙමි. මේ තුන්කොන් ආදරය නිසා තිදෙනාටම සැනසීමක් නැත.

මට කරදර කරන්න එපා ප්ලීස්.. මට මගේ හිත හදාගන්න ඉඩ දීලා ඔයා දැන් යන්න....

මල්ෂාගේ දෑස්වල කදුළු නැගුණේ මගේ වදන් බර වැඩි වූ නිසා විය හැකිය. නමුත් ඈ දුලාජ් අයියාට දුරකථනයෙන් කතා කළ අයුරු, ඔවුන් දෙදෙනා මා රවටා මුණ ගැසුණු අයුරු සිහි නැගෙද්දී මසිතේ අනුකම්පාවක් නොඉපදුණි.

හරි.. ඔයා අකමැති නං මං යන්නං. ඒත් මම යන්න කලින් දෙයක් තියෙනවා කියන්න.

මල්ෂා බලෙන්ම වගේ මාව ඇඳෙන් නැගිට්ටුවා ගත්තාය. ඈ කුමක් කියන්නට හදන්නේ දැයි නොදැන මා බලා උන්නෙමි.

මට දුලාජ් අයියව ඕනෙ අක්කා. මට එයාව ළං කරගන්න උදව් කරන්න ප්ලීස්..

මා නොසිතූ මොහොතක මල්ෂා හඬා වැළලෙමින් මගේ දෙපා අද්දර ඇඳ වැටුණා ය. මම ඉන් ගල් ගැසී සිටියෙමි. ආදරය විහිළුවකට භාරගෙන උන් ඇය මෙසේ හඬා වැලපී ආදරයක් අයැදීම සැබැවින්ම පුදුමයට කරුණකි. කොතෙක් සිත තදකරගෙන උන්නද මල්ෂාගේ මේ වෙනස් හැසිරීම මගේ දෙනෙතට කදුළු ගෙනාවේ ය. ඉතින් එකම කොල්ලෙකුගේ ආදරය අහිමි වීමේ සොවින් අප දෙදෙනා එකිනෙකා බදාගෙන හඬා වැටුණෙමි.

බොහෝ වේලාවක් මා ළගට වී නිහඬව උන් මල්ෂා නාන කාමරයට වැදී මුහුණ සොදා පහළ මාලයට ගියාය. නමුත් ඔවුන්ගේ සංවාදයට මැදිහත් වීමට සිතක් නොවුණ මා කාමරට වී උන්නෙමි.

දෝණිට මල්ෂා කිව්වද එයාලා ආවෙ ඇයි කියලා..?

එදින රාත්‍රියේ ආහාර මේසයෙදී නැන්දා විමසුවේ රුවන් මල්ලී අභියසදීමය. ඔහු නැන්දාගේ මුහුණ දෙස හොරැහින් බලනවා මම දුටුවෙමි.

උඩවත්ත කැමතියිලු අපිත් එක්ක මේ තියෙන යාළුකම නෑදෑකමකට හරව ගන්න.

ඒ ඇසූ මල්ලී කටට ගත් බත් පිඬ උගුරේ ගියේය. ඔහු එක දිගට කහිද්දී මම වතුර වීදුරුව දිගු කළෙමි.

මොකක්ද අම්මා ඒ කතාවෙ තේරුම..?

එක  හුස්මට වතුර වීදුරුව බී අවසන් කළ ඔහු ඇසුවේ තරහෙන් වගේය. නමුත් නැන්දා අමුතුම ආකාරයට සිනාසුණි.

ඔයා කලබල වෙන්න එපා.. යොජනාව ඔයාට නෙමෙයි අක්කට..

මට..?

එවර බිය වූයේ මල්ලී නොව මාය. උඩවත්ත ඇන්ටී යෝජනාව ගෙන ආවේ මල්ෂා හා රුවන් මල්ලී සම්බන්ධව වන්නට ඇතැයි මම සිතා උන්නෙමි.

පැහැසර පුතා අපේ දෝණිව දැකලා කැමති වෙලාලු.. මිනිහා ආපහු රට යන්නෙත් නෑ කියලා උඩවත්තට කිව්වලු. ඇවිත් අපිත් එක්ක මේ ගැන කතා කරන්න කියලා.

එක් ආදරයක් අමතක කළ නොහැකිව මා ළත වෙද්දී තවත් එකක් පැටලී ඇත. වසර ගණනාවක් විදෙස්ගතව උන් සල්ලිකාර කොල්ලන් ගැන මසිතේ පැහැදීමක් නොවුණ තරම් ය. එනිසා මම එය නෑසුණ විලස උන්නෙමි.

පැහැසර පුතා රට හිටියට හුඟක් හොඳට හැදුන ළමයෙක්. එයා මල්ෂා දුව වගේ නෙමෙයි.

ඇගේ කතාවට මල්ලීත් මමත් නැන්දා දෙස බැලුවේ එක වීටම වාගේය. නොකියා උන්නාට මල්ෂා ගැන තොරතුරු ඇය ද දැන ඉන්නට ඇත. නැතිනම් ඈ කිසිදාක එවැනි කතාවක් නොකියයි.

මේ ලෙඩ හැදිලා ඉන්න වෙලාවෙ අක්කගෙ ඔළුව අවුල් කරන්න එපා අම්මා. එයාට ටිකක් රෙස්ට් කරන්න දෙන්න.

රුවන් මල්ලී වැඩිහිටියෙකු සේ මා ගලවා ගැනීමට ඉදිරිපත් වද්දී නැන්දා නිශ්ශබ්ද විය. මසිත තේරුම් ගැනීම පිළිබඳව මම මල්ලීට සිතින් ස්තුති කළෙමි.

දෝණි දන්නවද.. හෙට මාමා ලංකාවට එනවලු..

කාලය ගත වූ ඉක්මන සිතාගත නොහුණු තරම් ය. මම සතුටින් නැන්දා දෙස බලද්දී ඇය දෙනෙතෙට නැගුණු කඳුළක් පිසදා ගත්තේය. හෙටින් පසු ඇගේ පාලුව කාන්සිය තුරන්ව යනු ඇත.




No comments:

Post a Comment