Sunday, July 15, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |


දිනෙන් දින මසිත කෙතරම් දුලාජ් අයියාට ළං වූවා ද කියතොත් ඔහු හා දිනකට වතාවක් හෝ කතා කිරීමට මා පෙළඹී උන්නෙමි. ඔහුගෙන් ඇමතුමක් නොවූ දිනක සවස් යාමයේ අහේතුකවම සැදැල්ලට වී බලා හිඳීමට තරම් සිත නොසන්සුන් විය. ඒ ඉදුවර නුවන් එහා ඉමෙන් මතු වෙද්දී එතෙක් පැවති අඳුර හාත්පස වසාලද්දී මම ජංගම දුරකථනය ද රැගෙන සදැල්ලට ගියෙමි. දුලාජ් අයියාගෙන් ඇමතුමක් බලාපොරොත්තුව උන්න ද මට ඇමතුමක් ලැබුණේ මල්ෂාගෙනි.

අක්කා.. අපිට අනිද්දා ටෙස්ට් එකක් තියෙනවා.. ඔයාට හෙට උදෙන්ම එන්න පුළුවන්ද.?


හරි.. මං වෙනදා වෙලාවටම එන්නම්.

ඔයා මොකද කරන්නෙ.?

මොකුත් නෑ නංගා.. බැල්කනියට වෙලා ඉඳගෙන හිටියා.

ඈ හඬ නගා කෙළිලොල් ලෙස සිනහ නගන අයුරු මට ඇසුණි.

එහා ගෙදර ඉන්න කොල්ලා දිහා බලන් ඉන්නවා නේද.?

එම පැණයෙන් මසිත සැලී ගියේය. ඈ කෙතරම් දක්ෂ ලෙස එය අනුමාන කළේ දැයි සිතී මම පුදුම විමි.

ඔයා කොහොමද දන්නෙ..?

නැවතත් ඈ සිනා සෙද්දී මට වූ වරද ගැන ලැජ්ජාවක් දැනුණි. මගේ පැණයෙන් මා නොදැනුවත්වම ඇයට පිළිතුරු ලබා දී ඇත.

අක්කා බය වුණා නේද..? මං කාටවත් කියන්නෑ..

කියන්න තරම් දෙයක් මෙතන නෑ.

ඔතන නැතිවට ඔයාගෙ හිතේ තියෙනවනේ. කොහොමද කොල්ලා ලස්සනද.?

මල්ෂා එසේ අසද්දීම තුවායක් පමණක් හැඳ උන් දුලාජ් අයියාගේ රුව එහා ඉමෙන් මතුවිය. ගැහැණු ළමයෙකුගේ සිත වසඟයට ගත හැකි තරම් ඔහු ලස්සන නොවේදැයි මට සිතිණි. මා දුටු දුලාජ් අයියා කලබලයෙන් මෙන් නැවත හැරී කාමරයට දුව ගියේය. ඒ දුටු මට සිනහා නැගුණි.

ඔය හිනාවෙ තරමට නං එයා ගොඩක් ලස්සන ඇති.

එයා ලස්සනයි තමයි. ඒත් ඔයා හිතන තරම් දෙයක් ඇත්තටම අපි අතර නෑ නංගා.

හරි.. හරි.. දැනට මං අක්කව විශ්වාස කරන්නම්. ඉතිං එයාගෙ විස්තර කියන්නකො.

මං දන්නෙ නෑ.

මං නං දන්නවා. එයා අල්ලපු ගෙදර ඉන්නවා කියන රුවන් අයියගෙ යාළුවා නේද.?

ඔයත් එයාව දන්නවද.?

මගේ හඬ ඉක්මන් වන්නට ඇත. නමුත් මල්ෂා එතරම් වෙනසක් නොපෙන්විය.

මං නං දැකලා නෑ. රූපිකා ඇන්ටි විස්තර කියලා තියෙනවා. ඉතිං... එයා රුවන් අයියගෙම වයසෙද... නැත්තං ඔයාට වඩා වැඩිමල්ද..?

වැඩිමල්.

අවුරුදු කීයක්ද.?

දන්නෙ නෑ.

නැවත දුලාජ් අයියා බැල්කනියට එනතුරු මම රොබෝවකු සේ මල්ෂාට පිළිතුරු දීගෙන ගියෙමි. කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසුණු ඔහු නැවතත් එබී බැලුවේය. ඒ සොඳුරු රුව දුටු මා කෙතරම් කලබල වීද යත් ඇමතුම පවා මාතින් විසන්ධි වී ගියේය. ඒ සැනින් දුරකථනය නාද විණි. එවර මට පෙනි පෙනීම ඇමතුම ගන්නා ලද්දේ දුලාජ් අයියා විසිනි.

කාත් එක්කද මෙච්චර වෙලා මල් කැඩුවෙ.?

ඇමතුම ගත් සැනින් ඔහු නොරිස්සුම් හඩින් කීය.

නංගි කෙනෙක් එක්ක.

අර ඔයා, පාඩම් කියලා දෙන්න යන ගෙදර නංගිද.?

මේ දිනවල අප බොහෝ සේ කුළුපගව උන් නිසා ඔහු මගේ බොහෝ විස්තර දැන උන්නේය.

ඔව්. එයා තමයි..

මීනු..

මෙතෙක් කතා කළ හඬ වෙනස් කර සංවේදී හඬකින් ඔශු විමසද්දී මම ඒ දෙනෙත් දෙසම බලා උන්නෙමි. අඬ අඳුරේ වුව ඒ තරු නෙත් දිලිසුණි.

මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා නංගි...

ඉතින් අහන්න.......

ඔයා තරහා වෙයි කියලා මට බයයි.

ඇයි ඒ...?

මට ඔයාගෙ යාළුකම හැමදාටම ඕනෙ..

නමුත් මේ වන විට අප දෙදෙනා නොදැනුවත්වම යාළුකමේ සීමා පසු කරමින් තිබුණි. එයට හේතුව දෙදෙනාම එකිනෙකාට ආදරය කරන බව දැන දැනම වචනයෙන් ඉස්සර නොවී හිඳීමය. එය උගුරට හොරා බෙහෙත් කෑවා වැනි යැයි කීවත් එහි වරදක් නැත.

ගොඩක් දේවල් කියන්න තියෙනවා නංගි.. ගොඩක් දේවල්......

කියන්න මං අහන් ඉන්නම්..

අම්මා මට මඟුල් හොයනවා.

ඉතිං....

ඇස් දෙකට පෙනි පෙනී මල් පිපෙද්දී අපි මොකටද මල් හොයාගෙන ඈතට යන්නෙ..?

ඉතිං ඇස් ඉස්සරහ තියෙන මලක් කඩාගන්න.

මල් ගොඩක් නෙමෙයි. සුවඳ හමන එක මලක් තියෙනවා. මට ඕනෙ ඒ මල.

ඔහු බොහෝ දේ නොකියා කීවා සේම මමද ඉන් බොහෝ දේ වටහා ගතිමි.

සීතා ඇන්ටිට කියන්න. එයා කඩලා දෙයි.

එයාට කිව්වොත් නං කොහොම හරි කඩලා දෙයි. අම්මා ඒ මලට ගොඩක් කැමතියි.

මුහුණින් මුහුණ බලා දුකරථනයෙන් කතා කළ ද ඒ වන විට අපට අපව නොපෙනෙන තරම් අඳුර දැඩි වී තිබුණි.

අක්කා....

නිවස තුළින් මල්ලීගේ හඬ ඇසෙද්දී මම දුලාජ් අයියාගෙන් සමු ගතිමි. මල්ලී සැදැල්ලේ විදුලි පහන් දල්වා මවෙත එද්දී දුලාජ් අයියා පෙනෙන්නට නොවී ය.

මොකද මේ කරුවලට වලො තනියෙම හිනා වෙවී ඉන්නෙ..?

මා මුහුණේ සිනාවක් වූවාදැයි මා පවා නොදත්තෙමි. දුලාජ් අයියලාගේ නවස දසෙට විමසුම් සහගත බැල්මක් හෙලූ ඔහු නැවත වරක් මගේ දෑස් සිසාරා බැලුවේය.

ඔය හිනාව හැමදාම රැදිලා තියෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.

මහිස අතගා කියද්දී මල්ලීගේ හඬ බිඳී ගියේය. ඔහු කිසියම් ප්‍රශ්නයකින් පීඩා විඳීදැයි දැන ගැනීමට මම ඒ මුහුණට එබුණි.

ඇයි ඔහොම බලන්නෙ..?

මගේ කරට අත දමා නිවස තුළට පිය මනින අතරතුර ඔහු ඇසී ය. ඒ ලෙන්ගතු පහස තුළ මහා රැකවරණයක් මසිතට දැනුණි.

ඔයා දුකෙන් නේද..?

දැන් ඉතිං මං හැමදාම දුකෙන් තමයි.

ඔයා දුක් වෙන්නෙ අර ගර්ල් නිසා නේද මල්ලි..?

එහෙමමත් කියන්න බෑ. එයා මට කවදාවත් දුකක් දීලා නෑ.

මල්ලී ඇයට වචනයකින් හෝ දොසක් නැගීමට අකමැතිය. කාමරයට පැමිණි මා ඇදෙන් ඉඳ ගනිද්දී ඔහු උළුවස්සට බර විය.

මට ගෙදර යන්න ආසයි මල්ලි.

මොහොතක් කල් යල් බලා මා සිත යට සැඟව තිබූ ආශාවක් මල්ලීට හෙළි කළෙමි. ඔහු දෑස් විසල් කර මදෙස බැලුවේය.

ඔයා මෙහේ ඉන්නෙ පිටතැන කියලා හිතාගෙනද අක්කා.? මේ ඔයාගෙම ගෙදර නෙමෙයි.?

මට සමාවෙන්න.

ඇයි හදිසියෙ එහේ යන්න හිතුනෙ.

ඒ ගෙදර අප්පච්චිගෙ සුවඳ තියෙනවා.

සුදු මාමාගේ සුවඳ අපේ හිත් වලත් තියෙනවා. අක්කා එහේ ගියාම වෙන්නෙ දුක වැඩි වෙන එක විතරයි.

ඔහු කීවා සේම අප්පච්චිගේ සුවඳ මසිතේ හැමදාමත් පවතී. අප්පච්චී මියගොස් ගත වූ මේ මාස කීපය තුළ මට ඔහුව සිහි නොවූ දිනයක් නොමැති තරම්ය.

ඔයාට ඕනෙමනං මං එක්ක යන්නං.

කවදද..?

සතුට වැඩිකමට මා ඇඳෙන් නැගිට්ටවී තිබුණි. මල්ලී දෑස් පුංචි කර මදෙස බැලුවේය.

කවදටද ඔයාට යන්න ඕනෙ.? මට නිවාඩු ගන්නත් අමාරුයි අක්කා.

අපි එන සෙනසුරාදා යමුද.?

හරි.. හරි.. බලමුකො.. හැබැයි අම්මට කියන්න එපා.

ඇයි ඒ..?

එතකොට එයත් එන්න හදයි..

ඉතින් හොඳයිනෙ මල්ලි..

එපා.. අපි දෙන්නා විතරක් යමු..

ඔහු එසේ කීවේ මන්දැයි වටහාගත නොහැකි වූවද මම කිසිත් නොකියා උන්නෙමි.

ඇතැම් විට කළුතර යෑමට අවැසි බව කීවොතින් නැන්දා එයට විරුද්ධ වන්නට පවා පුළුවන. එනිසා මල්ලීගේ යෝජනාව ක්‍රියාවට නැංවීම සුදුසු ය.


මම වෙදනාට වඩා තරමක් වේලාසනින් මල්ෂලාගේ නිවසට යන විටත් පුදුමයට මෙන් මල්ෂා පාඩම් වැඩ අරඹා තිබුණි. උඩවත්ත ඇන්ටී නිවසේ ඇතැයි ඒ දැක්මෙන් මම වටහා ගතිමි.

මොකද මේ සැබෑ වෙනසක්..?

මගේ හඬින් ඈ තිගැස්සී ගියාය.

හෙට ටෙස්ට් එක නිසා ටිකක් බයයි වගේ.

ඔය බය කලිනුත් තිබ්බා නම් මේ වෙද්දි ගොඩක් බ්‍රයිට්.

ෂ්... මොකුත් කියන්න එපා.. අම්මා ගෙදර.

ඈ එසේ කීවේ නිවසේ මුළුතැන්ගෙයි පිහිටි ඉසව්වට අතක් දිගු කරමිනි.

ආ.. ඔයා ආවද පුතේ.? කොහොමද ඉතිං.?

මා පුටුවක් ඇද මල්ෂා ළගින් අසුන් ගනිද්දී උඩවත්ත ඇන්ටී කාමරයට ඇතුළු විය. මම වහා පුටුවෙන් නැගී උන්නෙමි.

ඔයා ආවට පහුගිය ටිකේ කතා කරන්න තරම් නිදහසක් තිබුණෙ නෑනෙ.

ඔව්... නංගි කිව්වා ඇන්ටි ලොකු අම්මලගෙ දිහා ගියා කියලා.

ඔව්නෙ. අපේ කොල්ලා ඉඩම අරගත්තෙ අපේ අක්කලගෙ ගෙවල් කිට්ටුව. මේ දවස්වල ඒකෙ ගේ හදන්න පටන් ගත්තා. මට තමයි ඉතිං ඕවට රස්තියාදු වෙන්න වෙන්නෙ.

මල්ෂාට අසීරු පාඩමක් කියා දී අභ්‍යාසයක් පැවරූ මා ඇන්ටී සමග කුස්සියට ගියෙමි.

ඇන්ටි අද වත්තට යන්නෙ නැද්ද...?

යන්න ඕනෙ පුතේ, ටිකක් දවල් වෙලා. ඔයාට පුළුවන්නේ නංගි එක්ක ඉන්න. මං ඔයාලා දෙන්නටම කෑම ඉව්වා.

මං ගෙදර ගිහින් කන්නම්....

මෙහෙන් කාලා ටික්ක හවස් වෙලා යන්න. මං රූපිකාට කෝල් කරන්නම්.

මල්ෂාට හෙට විභාගයක් ඇතැයි කියූ නිසා මම හිත හදාගෙන නිහඩ වුණෙමි. උඩවත්ත ඇන්ටී බිස්කට් පැකැට්ටුවක් සමග තේ කෝපප්යක් මා ඉඳිරියේ තැබුවාය.

දූ මේක තියාගන්න.

අතේ ගුලිකරගෙන උන් යමක් ඈ මදෙසට දිගු කරද්දී මම ප්‍රශ්නාර්ථයක් රැඳි දෑසින් බැලිමි.

මොනවද ආන්ටි..?

ඔයාගෙ මහන්සියට පුංචි පඬුරක්..

ඈ එය මගේ ගවුමේ සාක්කුවට ඔබද්දී මම එය වැළැක්විමි.

ඔයාගෙන් කෙරෙන සේවය මේකට සම කරන්න බෑ.. ඒත් මේක ගන්න දරුවො. අඩු ගානෙ බස් එකටවත් තියා ගන්න.

මගේ අත්ල මත එය තබා ඈ ඉවත ගියාය. එහි වූ මුදල මම සිතින් ගැන බැලිමි. එහි රුපියල් හාරදහසක මුදලක් විය. මෙතරම් මුදලක් මා කීයටවත් අපේක්ෂා නොකළෙමි.

මට මේචචර වැඩියි ඇන්ටි...

උඩවත්ත ඇන්ටී දයාබරව සිනාසුණා ය.

ඔයාගෙ වටිනාකම ඕකටත් වඩා ගොඩක් වැඩියි දූ.. ඒ නිසා එපා කියන්න එපා.

මා එය අතේ ගුලි කරගෙන විත් මල්ෂා අභියස තිබූ මගේ පසුම්බියට දමා ගතිමි. එදෙස අවධානයෙන් බැලූ ඈ නැවතත් පාඩමට යොමු විය.

අක්කා ගිණුම්කරණ අනුපාත කියලා දෙන්නකො.

වෙනදා මෙන් මා වැඩ පවරනතුරු බලා නොඋන් මල්ෂා අද ඉතා උනන්දුවෙන් වැඩ අසා ගන්නා අයුරු දැක මට සතුටක් දැනුණි. හිස් සුදු කොලයක් රැගත් මා පළමුව ඇයට පෙනෙන සේ ගිණුම්කරන අනුපාත අනුපිළිවෙලින් ලියාගෙන ගියෙමි.

ඔයාගෙ වැඩ හැම එකක්ම මාර නීට් අක්කෙ. ඔයා කටුවැඩ කරන කොළයක් වුණත් හරිම පිළිවෙලයි.

ඈ මගේ වැඩ අගය කරද්දී උඩවත්ත ඇන්ටී පිටතට යෑමට සූදානම්ව පැමිණියාය.

අක්කගෙ වැඩ දිහා බලාගෙන ඔයත් ඒ වගේ පිළිවෙලට හැදෙන්න.

ඉතිං අම්මා මං දැන් ඉස්සරට වඩා පිළිවෙලයිනෙ..

හරි.. හරි.. මං නෑ කිව්වෙ නෑනෙ. එහෙනං ඔය දෙන්නා පාඩම් කරන්න. චූටි දුව අක්කටත් එක්ක බත් බෙදලා දෙන්න. මං ගිහින් එන්නම්.

උඩවත්ත ඇන්ටී ගේට්ටුවෙන් නොපෙනී ගිය සැනින් මල්ෂාගේ වෙස් පෙරළිනි. ඈ පොත් සියල්ල වසා දමා දුව ගොස් ගුවන් විදුලිය ක්‍රියාත්මක කළාය.

මොකක්ද මේ කරන්න හදන්නෙ..? ඔයා පාඩම් කරලා ඉවරද..?

පැය දෙකකටත් වඩා පාඩම් කළානෙ අක්කා. ඔය ඇති. මං දැන් සිංදුවක් ඉල්ලන්න යන්නෙ.

ඔයා කරන වැඩ නිසා මමත් දවසක අමාරුවෙ වැටෙනවා නංගා. මොකක්ද මේකෙ තේරුම..?

මේ කිසි දේකට මං ඔයාව අහුවෙන්න ඉඩ තියන්නෙ නෑ. හෙට ගිහාන් අයියගෙ බර්ත් ඩේ එක. ඉතිං මං එයා වෙනුවෙන් සිංදුවක් ඉල්ලන්න හදන්නෙ.

කාගේ හෝ ආදරයකට අකුල් හෙලීම නොහොඹීනා කටයුත්තක් නිසා මං ඉවසා උනිමි. නමුත් මල්ෂාගේ සිතේ ගිහාන් ගැන ඇත්තේ සැබෑ ආදරයක් දැයි විශ්වාස කිරීමට අසීරු ය. ඈ ගිහාන් මෙන්ම ඔහුගේ හොඳම මිතුරා වූ උදාර සමඟ ද සමීප ඇසුරක් පවත්වාගෙන යයි.

අක්කා එහෙනං රේඩියෝ එකෙන් අහ්නන. මං කාමරේ ඉඳගෙන කෝල් කරන්නම්.

එය කීව තරම් පහසු කටයුත්තක් නොවිනි. ඇයට ඇමතුම සම්බන්ධ කරගත හැකි වූයේ පැය භාගයකටත් අධික කාලයක් උත්සාහ කිරීමෙන් පසුවය. මම ද සාලයට වී ඇගේ ගීත ඉල්ලීම අසා උනිමි. ඈ ඉල්ලුවේ අහස් ගැබේ තරු කැට ගානේ ගීතයයි.

හොදයි මල්ෂා.. ඔයා කාවද මේ ගීතයට එකතු කරගන්නෙ..?

නිවේදිකාවගේ පැනයට ඇය මොහොතක් කල්පනා කළාය.

ගිහාන් අයියවයි, උදාර අයියවයි, මීනු අක්කිවයි.

හරි එහෙනං.. අපි හැමෝම එකතු කරගෙන ඒ ගීතය අහමු..

ඇමතුම විසන්ධි වූ සැනින් මල්ෂා මවෙත දිව ආවාය.

අහගෙන හිටියද..? හොඳයි නේද..?

ඔයා මගේ නමත් කියයි කියලා මම හිතුවෙ නෑ.

නොකියා කොහොමද.? ඔයා මගේ හොඳම යාළුවනේ..?

ගීතය විකාශය වීමට පටන් ගත් බැවින් අපි දෙදෙනාම නිහඬ වී එය රස වින්දෙමු.

හෙට මං ගිහාන් අයියව මීට් වෙනවා.

ඒ කොහොමද..?

හවස ක්ලාස් කට් කරලා..

ඈ මේවා කියනවාට වඩා නොකියා උන්නා නම් හොඳය. ඒ ඇසීමෙන් සිදුවන්නේ සික කලකිරීම පමණි.

ඔයාට තරහා ගියා නේද අක්කා..? හෙට උපන්දිනේ නිසා නොගිහින් බෑනෙ.. අනික ප්‍රසන්ට් එකක්වත් දෙන්න එපැයි.

මොනවද දෙන්නෙ..?

ඒක තමයි ප්‍රශ්නෙ.. අතේ සල්ලිත් නෑ.. මං මේ අක්කගෙන් අහන්න හිටියෙ..

බොහෝ දුක්බර ලීලාවෙන් එලෙස කියූ ඈ හොර බැල්මෙන් මදෙස බැලුවාය. ඈ තවත් යමකට මා පටලවා ගැනීමට උත්සාහ දරතැයි මම බිය විමි.

ඔයාට අපේ අම්මා පංති පීස් දුන්නා නේද..?

මා සිතුවා නිවැරදිය. මා මුදල් දමා ගන්නවා සියැසුන් දුටු ඈ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහ දරයි. පිළීතුරු නොදුන් මා මොහොතක් නිහඬව උන්නෙමි.

මට රුපියල් දෙදාහක් දීලා යනවද අක්කෙ..? මම ලබන සතියෙ පොකට් මනි එකතු කරලා ඔයාට ඒක බේරන්නම්.

මම සිය දහස් වාරයක් ඈ ගැන කලකිරුණි. මා මුදල් ලබාගත්තේ ඇයට පාඩම් කීයා දීමෙන් බව සත්‍යයක් වුව ද ලද මුදලෙන් හරි අඩක්ම ඈ ඉල්ලා සිටීම නොහොඹිනා ක්‍රියාවකි.

අපේ අම්මට කියන්න එපා අක්කෙ. මං ෂුවර් එකට ලබන සතියෙ දෙනවා.

ඉතින් මා අසරණය. කළ හැකි කිසිවක් නොවූ කල මම පසුම්බිය හැර ඇයට මුදල් පැවෙමි.

තෑන්ක්ස් අක්කා.. මේ වෙලාවෙ ඔයා විතරයි මට උදව් කරන්න ඉන්නෙ.

ඉතා ගිජුකමින් එය උදුරා සාක්කුවේ දමාගත් ඈ බොරු සහදත්වයක් පෑවාය.

මං දැන් යන්නං නංගි. පුළුවන්නං තව ටිකක් ගණන් හදන්න පුරුදු වෙන්න.

නොසන්සුන් වූ සිත එකලස් කරගත නොහැකි වූ තැන මම නැගී උන්නෙමි.

අක්කා.. ඉඳලා කාලා යන්න. අම්මා ඔයාටත් එක්කනේ උයලා තියෙන්නෙ.

මං හිටියා කියලා ඔයා ආපහු පාඩං කරන්නෙ නෑනෙ. මං යනවා. මට බඩගිනි නෑ.

මා නතර කර ගැනීමට ඈ කොතෙක් උත්සහ කළ ද මම මල්ෂාගේ නිවසින් පිටවිමි. මග දිගට එන තෙක්ම  මා කල්පනා කළේ ඇගේ නොමනා ක්‍රියා කලාපය ගැනය. ඈ මෙසේ පාඩම් මගහරින බවක්, උඩවත්ත ඇන්ටී මෙන්ම නැන්දාද නොදනී. ඒ පිළිබඳව පැවසීමේ හැකියාවක් ද මට නැත්තේ ය. ඉතින් යම් දිනක ඈ විභාගය අසමත් වුවහොත් එහි දොෂාරෝපණයෙන් අඬක් මට ද භාර ගැනීමට සිදු වේ. අදක්ෂ ළමයෙක්ට පාඩම් කියා දී විභාගය ජය ගැනීමට උදව්දීමේ සිහිනය දෑස් පනාපිටම බොඳව යමින් තිබුණි.



No comments:

Post a Comment