Saturday, July 14, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |


එදින උදෑසනම ආහාර ගෙන මම මල්ෂාලාගේ නිවසට යෑමට සූදානම් වූයෙමි. නමුත් මා එහි යෑමට පාර නොදන්නා නිසා යා යුතු වූයේ නැන්දා හෝ මල්ලී සමග ය.

“නැන්දා... ඔයා එනවද මාව එහෙට ගිහින් දාන්න.?”

කුස්සියේ වැඩක නිරතව උන් ඈ කරා ගොස් මම විමසුවෙමි. ඇය මොහොතක් කල්පනා කළාය.


“හෙට මාමට ගෙනියන්න ඇඳුම් ලැස්ති කරන්නත් තියෙනවා දෝණි. මං එක්ක චූටි පුතා එවන්නං.”

“නැන්දා කෝ මල්ලි...?”

“ඔය කාමරේට රිංගගෙන ඉන්නෙ. ගිහින් කතා කරන්නකො.”

“එහෙට යන්න ගොඩක් වෙලා යනවද.?”

“නෑ.. දූ.. බස් එකේ ගියොත් පැය කාලක්, විනාඩි විස්සක් විතර යයි. ත්‍රීවිල් එකක ගියොත් විනාඩි දහයෙන් එහේ.”

කුමක්දෝ නුහුරු හැඟීමක් සිත වසා පැතිරෙද්දී මම රුවන් මල්ලී මොයා ගියෙමි.

“මොකටද බස්වල ගාටන්නෙ... මං ඔයාව මගේ බයිසිකලේ ගිහින් දාන්නං.”

ඔවු විධානයක් දුන්නේය.

“මල්ලිට කරදරයක්ද.?”

“ඇයි අහන්නෙ.? තනියෙම යන්න දන්නවද.?”

ළගකදී හිඳ ඔහුට වචනයක් වැරදුණොත් තරහා එයි. එනිසා මම කිසිවක් නොකියා නිහඬව උන්නෙමි.

“හලෝ මේ.. පිස්සු කියවන්නෙ නැතුව ගිහින් කෑම කන්න.. මම ඇඳුමක් දාගෙන එන්නම්.”

මගේ තැතිගත් මුහුණ දැක ඔහුට දුක සිතුනා වන්නට ඇත. ඒ වෙස් පෙරළිය ගැන මට සිත යටින් සිනා නැඟුනි.

“දෝණි මං ඉඳිආප්ප හැදුවා. මේක කාලා යන්න.”

මම කුස්සියට යන විට නැන්දා මට කෑම බෙදා අවසන් ය. එතරම් බඩගින්නක් තිබුණේ නැතත් ඒ ප්‍රණිත සුවඳ සමග මම ඉඳිආප්ප හත අටක් කෑවෙමි.

“අක්කා කාලා ඉවරනං යමු. මං රෙඩී.”

“ඇයි ඔයා කන්නෙ නැද්ද.?”

“මට බඩගිනි නෑ. ඇවිත් කන්නම්.”

මම නැන්දා දෙස බැලිමි. ඇය ද වටහාගත නොහැකි බැල්මෙන් මල්ලී දෙස බලා උන්නා ය.

“මං එහෙනම් ගිහින් එන්නම් නැන්දා.”

“හරි දෝණි... ගොඩක් පරක්කු වෙන්න එපා.. මං දවල් වෙලා මල්ලිව එහෙට එවන්නං.”

නැන්දාට සමු දුන් අප දෙදෙනා මල්ලීගේ මෝටර් බයිසිකලයෙන් පාරට පැමිණියෙමු.

“මේ වෙලාවට ගිහින් වෙලා වැඩි නැද්ද අක්කා..?”

“ටිකක් කලින් ගියාම කලින් එන්න පුලුවන්නෙ.”

“ඒක හොඳයි.. ඒත්.....”

ඔහු කතාව අතරමග නතර කළේය. සුළං පාරේ වේගයට එය නෑසේවි යැයි බියෙන් මම කන්දීගෙනම උන්නෙමි. එතරම් සෙනඟක් නොගැවසුණ රූස්ස ගස් සහිත මං පෙතේ දී මල්ලී සයිකලය අයිනට කර නතර කළේය.

“වක්කඩේ කැඩුවා වගේ ඔයාගෙ විස්තර හැම එකක්ම එයාලට කියන්න එපා.”

මම අසා උන්නෙමි. ඔහු එදා ද මල්ෂා ගැන අනතුරු ඇඟවීම් කළාය.

“අනික හෙට අපේ තාත්තා යන දවසනේ. එහේ එනවා කියලා පොරොන්දු වෙන්න එපා.”

එම කතාවේ යටි අරුතක් වේ යැයි මට මොහොතකට සිතුණි. මම ඔහුගේ දෑස් පිරික්සිමි. ඔහු වහා බිම බලා ගත්තාය.

“අපි යමු.”

ඔහු සයිකලය පණ ගන්වා ගද්දී මම ඒ උරහිස් තදින් අල්ලා ගතිමි. ඉන් පසු අප නතර වූයේ කළු පැහැ විසල් ගේට්ටුවක් අබියස ය. එහි අභ්‍යන්තරයේ වූ ගාම්භීර දෙමහල් නිවස උඩවත්ත ඇන්ටිලාගේ යැයි අසා මම පුදුම විමි.

“මේ තමයි ගේ. මම ඇතුළට එන්න ඕනද අක්කා.?”

“අනේ මල්ලි යමු.. මට බයයි.”

මට නොදැනිම ඔහුගේ අතක් අල්ලා ගැනුණි. සිනාසුණු මල්ලී නැවතත් සයිකලය පණ ගන්වා හෝන් කළේය. මොහොතකින් ගේට්ටුව විවර වූයේ කෙටි සායකින් හා අත් නැති ටී ෂර්ටයක් ඇඳ උන් මල්ෂා අතිනි. රුවන් මල්ලීගේ දැස් වරක් දෙකක් ඇගේ කෙටි ඇඳුම පුරා දිව යනවා මම දුටිමි.

“බයිසිකලේ ඇතුලට දාන්න අයියා. ඔයාලා එනකල් අපේ අම්මත් බලාගෙන ඉන්නෙ. යමු.”

“මට ඇතුළට එන්න බෑ මල්ෂා. ඔන්න මගේ අක්කව පරිස්සමින් බලාගන්න හරිද.?”

මාව මල්ෂාට භාරදුන් රුවන් මල්ලී බයිසිකලය හරවා ඒ විසල් ගේට්ටු පියන් අතරින් නොපෙනී ගියේය. මම මොහොතක් ඔහුගේ වදන් සිතින් ප්‍රතිරාවය කළෙමි.

“අක්කා ඇයි බය වෙලා. යමු ගෙට.”

ඇගේ සුරතේ වෙලී මම ඒ දෙමහල් මැදුරට පය තැබිමි. එවිටම වාගේ උඩවත්ත ඇන්ටීගේ මුහුණ ප්‍රධාන ද්වාරයෙන් මතු විය.

“ගුඩ් මෝනිං දූ. ඔයා එනකල් අපේ කෙල්ල පාන්දර ඉඳලා බලන් ඉන්නවා.”

මම සිනාසී ඇගේ අතක් අල්ලා ගනිද්දී ඇය මාව නිවස තුළට කැඳවාගෙන ගියේය.

“අක්කි... පාඩම් කරන්න කලින් කාලා ඉමු.”

“අනේ නංගා... මම කාලා ආවේ.. ඔයා කාලා එන්නකො.”

“මෙයත් උදෙන්ම කාලා ඉන්නෙ.”

එයට පිළිතුරු දුන්නේ උඩවත්ත ඇන්ටීය. නංගී මාව පහළ මාලයේ මැද වූ තරමක් විශාල කාමරයකට රැගෙන ගියාය. එහි පොත්පත් තැන තැන දමා බොහෝ අපිලිවෙළ ස්වරූපයක් දිස් විය.

“මේ තමයි මගේ ස්ටඩි රූම් එක. අපි දෙන්නට පාඩම් කරන්න වෙන්නෙ මෙතන.”

එසේ කියන අතරතුර ඇය මේසය මත වූ පොත් මිටියක් පසෙකට තල්ලු කර දමා ඉඩකඩ ලබා ගත්තාය. එය පුටු හයකින් සමන්විත තරමක් විශාල බිත්තර හැඩැති මේසයකි. කාමරය වටේ වේවැල් රාක්කයක් හා විශාල පොත් කබඩ් දෙකක් විය. ඉන් එකක පියන් වීදුරුවලින් නිම වී තිබිණි. අපිළිවෙල ලෙස පරිහරණය කර තිබුණ ද ඒවා මිල අධික ගෘහභාන්ඩ බව බැලූ බැල්මට පෙනුණි. කාමරය තුළ තරමක පුස් ගඳක් තිබූ නිසා මම අනවසරයෙන්ම එහි ජනෙල් පියන්පත් විවර කළෙමි. පොළොව මට්ටමේ සිටම බොහෝ උසට නිමවා තිබූ එම ජනෙල් දොරක් ලෙස පැති කොරිඩෝවට විවර වුණි.

“මේ මේසෙ උඩ තියෙන පොත් මොනවද නංගා.?”

“මෙතන එකවුන්ට්, ඉකෝන්, බී.එස්... පොත් ඔක්කොම තියෙනවා.”

“එතකොට කබඩ්වල... අර රැක් එකේ...?”

“ඒවායෙත් පොත් තමයි. ක්ලාස්වල ටියුට්, ඉස්කෝලෙ පොත් එහෙම තියෙනවා.”

ඇය බොහෝ සැප සම්පත් මැද අපිළිවෙලට හැදී වැඩුණු යුවතියක බව මම අනුමාන කළෙමි. මෙවන් කලබලකාරී අපිළිවෙළ පසුබිමක් තුළ සිත එකඟව පාඩම් කටයුතු කිරීම කෙසේවත් කළ නොහැක්කකි.

“මට හෙට ක්ලාස් එකට යද්දි කරගෙන යන්න හදිස්සි වැඩක් තියෙනවා අක්කා. අපි ඒක කරලා ඉවර වෙලාම අලුතෙන් වැඩ පටන් ගනිමු.”

ඕ ගිණුම්කරණ නිබන්ධනයක් දිග හරිමින් කීවා ය. එහි වූයේ ගිණුම්කරණ අනුපාත සම්බන්ධ ගණන් වගයකි. ඇයට ඒවා විසඳන ආකාරය කියාදුන් පසු පැයක් පමණ කාලයක් ඇතුළත ඇය එම වැඩය අවසන් කළාය.

“ආ.. දෙන්නා, වැඩ කරන ගමන් මේ බිස්කට් කාලා තේ බොන්න.”

ට්‍රේ එකක් අප අසලින් තැබූ උඩවත්ත ඇන්ටී අපට බාධා නොවන සේ වහා එතනින් නික්ම ගියාය.

“නංගි අපි පාඩම් කරන්න කලින් මේ මේසෙ උඩයි, කබඩ්වලයි තියෙන පොත් ටික පිළිවෙලකට අස් කරමුද.? මෙහෙම තියෙද්දි පොත් හොයා ගන්නත් අමාරුයිනෙ.”

“අනේ කොච්චර අස් කළත් හැමදාම හැඩිවෙනවා. මට ඕවා කරන්න තේරෙන්නෙ නෑ.”

ඇය එසේ කීවේ මහා කරදරකාරී ස්වරූපයකිනි. එය දුටු මට ක්ෂණිකව රුවන් මල්ලී කියූ කතාව සිහි විය.

“එහෙනං මං අස් කලාට කමක් නැද්ද.?”

මෙහි පැමිණි පළමු දිනම ඇයගේ අවසරයෙන් තොරව පොත් කබඩ් අස් කිරීම නොහොබිනා කමක් යැයි සිතූ මම ඇසුවෙමි.

“අනේ අක්කා ලොකු උදව්වක්. පුළුවන් නම් අස් කරලා දෙන්න. අපේ අම්මත් හැමදාම මට බණිනවා සේරම ඇදලා දාලා කියලා.”

ඉතින් ඇගේ අවසරය හා උදව්ව මත මා පළමුව මේසය මත තිබූ පතේ විෂයන්වලට වෙන් කළෙමි. දෙවනුව කබඩ්වල වූ පොත්පත් ද එළියට ගෙන ඒවාද එසේ බෙදා පංති පොත් හා පාසල් පොත් වෙන වෙනම තට්ටුවලට ඇතිරුවෙමි. ඉන් හිතුවාට වඩා කළඑළියක් සේම ඉඩකඩක් ද ලැබුණි.

“නියමයිනෙ අක්කා. මුළු රැක් එකම හිස් වුණා. වීදුරු කබඩ් එකෙත් තට්ටු දෙකම ඉතුරුයි.”

හිස් වූ විශාල වේවැල් රාක්කය හා කබඩය පෙන්වා ඇය කීවාය.

“වෙන කොහේවත් පොත් පත් තියලා නැද්ද ඔයා.?”

මම අසද්දී ඇය මොහොතක් කල්පනා කළාය.

“ඔව්නේ... කාමරයෙත් ටියුට් වගයක් තියෙනවා.”

“ඒ ටියුට් ටික අරන් ඇවිත් මේ වේවැල් රාක්කෙ යටින් තියන්න. හැබැයි එතකොට තව තට්ටු දෙකක් හිස්.”

“හරි අපි මැද එකේ පොත් බෑග් එක තියමු. ම්.. එතකොට උඩ එකේ...”

ඇය මොහොතක් කල්පනා කරද්දී මම බිස්කට් එකක් අතට ගත්තෙමි.

“රායි..ට්! මතක් වුණා..”

ඈ කලබලයෙන් මෙන් කාමරයනේ එළියට දිව ගියාය. ඇය එනතුරු මම තෙ එක අතට ගතිමි. ටික වේලාවකට පසු ඇය ආවේ පොත් බෑගය කරේ දමා තරමක සුරතල් වලස් පැටවුන් දෙදෙනෙක් ද කිහිලි ගහගෙනය.

තේ බොන අතරතුර මම ඇගේ ක්‍රියාව දෙස බලා උන්නෙමි.

“මේක මෙතන...”

කරේ හරහට දමන ආකාරයේ පාසල් බෑගය ඇය වේවැල් කබඩයේ දෙවන තට්ටුවේ පිළිවෙලකට තැබුවා ය. ඉන්පසුව රැගෙන ආ වලසුන් දෙදෙනා උඩම තට්ටුවේ හරි බරි ගසා ඉන්දෙව්වා ය.

“ෂා... දැන් නම් නියමයි.”

මම කීවෙමි. මා දෙස සිනාසී බැලූ ඇය ඉන් යමක් අලුතින් සිහිවූවා සේ නැවතත් කාමරයෙන් පිටතට දිව ගියාය. මම ඔරලෝසුව දෙස බැලිමි. මා මෙහි පැමිණ පැය දෙකහමාරකට අධික කාලයක් නික්ම ගොස් ඇත. එවළෙහිම මගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණි.

“බබා ඔයා ගෙදර එන්නෙ නැද්ද...?”

එහි වූයේ එපමණකි. එතරම් සමීප ලෙස මා අමතන්නට අයෙක් මගේ මතකයේ නොවුණි. ඉතින් මා ප්‍රශ්නයක පැටලී ගතිමි.

“තව ටිකකින් අපේ අම්මාට පිස්සු හැදෙයි.”

එසේ කියා කාමරයට දිව ආ මල්ෂා වහා දොර වසා දැමුවාය.

“ඇයි මේ...?”

ඇය තරමක් පරණ රෙදි කැබලි කිහිපයක් හා එයාෆ්‍රෙෂ්නර් බෝතලයක් මේසය මත තබද්දී මම ඇසුවෙමි.

“පොත් ටිකයි කබඩ්වල ඇතුළයි අස් කරලා ඉවරනේ. දැන් දූවිලි ටික පිහලා අතුගාලා දාමු.”

ඇය දැන් මටත් වඩා උනන්දුවෙන් කාමරය අස්පස් කරන අයුරු මම ආශාවෙන් බලා උන්නෙමි. අප දෙදෙනා එහි වූ අන්තිම දූවිලි පොදත් ගසා දමා කාමරය අතුගාද්දී උඩවත්ත ඇන්ටි දොරට තට්ටු කළාය.

“කෙල්ලො දෙන්නා මොනවද මේ දොරත් වහගෙන කරන්නෙ...?”

“ගිහින් දොර අරින්න නංගි...”

“පිස්සුද දැන්ම අරින්න බෑ.. තව වැඩ ටිකක් තියෙනවා.”

ඇය කාමරයේ තුළ සිටම උඩවත්ත ඇන්ටිව හරවා යැව්වාය.

“ඔයාගෙ කාමරේ කොහෙද තියෙන්නෙ..?”

“උඩ තට්ටුවෙ... යමුද...?”

ඇය මහත් උනන්දුවෙන් විමසද්දී මම ඊට එකඟ විමි.

“දැන්ම දොර අරින්න බෑ.. අම්මව පුදුම කරන්න ඕනි. අපි මේ පැත්තෙන් යමු.”

විවරව තිබූ පැති දොරෙන් කොරිඩෝවට පිවිසි ඇය නැවත තවත් දොරකින් නිවස තුළට පිවිසියා ය. මමද ඒ මනරම් මැදුරේ සිරි නරඹමින් ඇය පසුපස ගියෙමි. ගෙයි මැද කොටස හරහා ගිය අප වක්‍රාකාර පඩිපෙළින් උඩු මහළට පිවිසියෙමු. එය නවීන ගෘහභාණ්ඩ කැටයම් තිර රෙදි ආදියෙන් සංකලනය වූ වෙනස්ම ලෝකයකි.

“මේ පැත්තෙ..”

පහළ මාලයද පෙනෙන ආකාරයෙන් නිවමා තිබූ පෙදෙසේ අත් වැට අල්ලාගෙන යන අතරතුර ඇය කීවාය. මම විස්මලන්තයේ අතරමං වූ ඇලිස් මෙන් ඒ මග ඔස්සේ ඇදුනෙමි.

ඇය මාව කැඳවාගෙන ගිය විසල් කාමරය සුවපහසු බඩු භාන්ඩ වලින් අනූන වුවද ඇගේ අධ්‍යනය කාමරය මෙන්ම අපිළිවෙළය. දිනක මෙය ද පිළිවෙළකට සකසා දිය යුතු යැයි සිතා මම නිහඩව උන්නෙමි.

“අර පෙන් හෝල්ඩර් එකක් නේද..?”

ඇගේ පියන් තුනේ අල්මාරිය උඩ හරහට වැටී තිබූ පෑන් රදවනය පෙන්වූ මම ඇසිමි. “ඔව්” යැයි කියා හිස වැසූ ඇය කණ්නාඩි මේසය ඉදිරිපිට තබා තිබූ පුටුවට නැග එය පහළට ගත්තාය.

“අපරාදෙනේ මේක නිකං දාලා තියෙන්නෙ. හරි ලස්සනයි. අපි මේකත් පහළට ගෙනියමු.”

මා එය රෙදි කඩකින් පිස අතට ගනිද්දී මල්ෂා පුංචි කබඩක් ඇර මල් කූඩයක් එළියට ගත්තාය.

“පරක්කු වෙනවා නංගි. විගහට යමු පහළට.”

තවත් පමා නොවී මා පෑන් රඳවනය හා මල් කූඩය රැගෙන ඈ සමග පහළ කාමරයට ඇතුළු වුණෙමි.

“පෙන් හෝල්ඩර් එක මේසෙන් තියලා මල් බන්ච් එක අර වීදුරු කබඩ් එක උඩින් තියන්න.”

මම යෝජනා කරන පමාවෙන් ඇය එසේ තබා එයාෆ්‍රෙෂ්නර් බෝතලය කාමරය පුරා ඉදින ලදී.

“දැන් නම් මේක ප්‍රොෆෙෂනල් ස්ටඩි රූම් එකක්.”

මම ඇයට කීවෙමි.

“ඒක නං ඇත්ත. දැන්නං මේකෙ ඉඳගෙන පාඩම් කරන්න ආස හිතෙනවා.”

ඇය කීවේ සතුටින් ඉපිළෙමිනි.

“හැමදාම උදේට ජනෙල් ඇරලා දාන්න. නැත්නම් පුස් ගඳ ගහනවා.”

උදේ මෙහි තිබූ පුස් ගඳ සිහි වී මම කීවෙමි. ඇය වරදක් කළ එකියක සේ මදෙස බැලුවාය.

“රූපිකා ආන්ටි ඔයාව මෙහෙ එවලා කළේ ලොකු පිණක්. ඔයා මුල් දවසෙම මාව වෙනස් කළා.”

“එහෙම හිතන්න එපා නංගි. ඔයාම උත්සාහ කළොත් හැමදාම මේ විදියට නීට් එකට ඉන්න ඔයාට බැරි වේනනෙ නෑ.”

ඇයට කියද්දීම මගේ දුරකථනය නාද වන්නට විය. එහි සටහන්ව තිබුණේ රුවන් මල්ලීගේ අංකයයි. මම එයට පිළිතුරු දෙද්දී මල්ෂා මෙතෙක් වසා තිබූ දොර විවර කළාය.

“ඔයාගෙ වැඩ ඉවරද අක්කා.”

රුවන් මල්ලීගේ දයාබර හඬ දුරකථනය ඔස්සේ ඇදී ආවේය.

“ඉවරයි මල්ලි.. ඔයා දැන් එන්න.”

“එන්න දෙයක් නෑ හලෝ.. මම ඇවිත් ගේට් එක ළග ඉන්නෙ. ඔයා එළියට එන්න.”

ඔහු කියද්දී මම පුදුම විමි. ඇමතුම විසන්ධි කර මම මල්ෂාව සෙවිමි. ඈ උඩවත්ත ඇන්ටීගේ අතින් ඇදකාමරය දෙසට එමින් උන්නා ය. කාමරයේ ඇතුළත නෙත් විදාලූ ඇන්ටී පුදුමයෙන් මල්ෂා දෙසත් මා දෙසත් බැලුවා ය.

“උදේ මේක තිබුණෙ අපායක් වගේනේ... මට නම් අදහගන්නත් බෑ.”

නංගී ආඩම්බරයෙන් බලා හිඳිද්දී උඩවත්ත ඇන්ටී මගේ දෝතම තද කර අල්ලා ගත්තාය.

“ඔයා නං ගෙදරකට පහනක් පුතේ..”

ඇය ඉන් බොහෝ දේ අදහස් කළාය. නමුත් මා ඒ පිළිබඳ වැඩිදුර සිතීමට උනන්දු නොවූයේ රුවන් මල්ලී මා එනතුරු බලා හිඳින නිසාවෙනි.

“මේ මං තනියම කරපු දෙයක් නෙමෙයි ඇන්ටි. නංගිත් උදව් වුණා.”

“අපොයි.. මං දන්නෙ නැද්ද මෙයාගෙ පිළිවෙල ගැන. ළගින් ගියොත් පළාතක්ම වැනසිලා.”

ඇය මල්ෂාට ඇද කරමින් කීවාය.

“මං දැන් යන්න ඕන ඇන්ටි. මල්ලි ඇවිත් ගේට් එක ළග ඉන්නවලු.”

මගේ කතාවට ඔවුන් දෙදෙනා මුහුණින් මුහුණ බලා ගත්හ. එහි සටහන්ව තිබුණේ මා ඉක්මනින් යෑම පිළිබඳ අකමැත්තයි.

“ඔයාටත් එක්ක කෑම ලෑස්ති කළා දුව... මල්ලිටත් එන්න කියන්න කාලා යන්න පුළුවන්..”

මල්ලී මෙහි පැමිණිමට එතරම් කැමැති නැති බව දන්නා නිසාවෙන් මම එය මග හැරිමි.

“අක්කා හෙටත් එනවා නේද.? මට ක්ලාස් තියෙන්නෙ හවස් වරුවෙ.”

මා සමග ගේට්ටුව තෙක් එන අතරතුර මල්ෂා විමසුවාය. හෙට මාමා රට යන බැවින් මෙහි නොඑන්නැයි රුවන් මල්ලී කළ ඉල්ලීම මට සිහි විය.

“මම අනිද්දා එන්නං නංගි. හෙට අපේ මාමා රට යනවනේ..”

ඇය එයට හිස සැලුවේ අකමැත්තෙනි. මම ඇයගෙන් සමුගෙන පාරට පිවිසෙද්දී රුවන් මල්ලී ගේට්ටුව අභියස බයිසිකලය නතර කරගෙන උන්නේය.

“මොනවද අක්කා මෙච්චර වෙලා කළේ..? මං මෙතනට ඇවිත් පැය භාගෙකටත් වැඩියි.”

ඔහු මා දුටුවනම බොරු අමනාපයක් මවා ගත්තේය. මම නිහඬවම බයිසිකලයට නැග ඉඳගතිමි.

“ඉතිං මල්ලි ඇතුළට එන්න එපැයි..”

“පිස්සුවටයෑ..”

එසේ කියූ ඔහු බයිසිකලය පාරට ගත් වේගයට මා විසිවී යන්න තරම් විය. මම ඔහුව තදින් අල්ලා ගනිද්දී තම වරද වැටහුණා මෙන් ඔහු වේගය බාල කළේය.

“අද එකෙක්ට නිවාඩු..”

මල්ලි එක්වරම කියූ එම කතාව මට වැටහුණේ නැත. මම මඳක් කල්පනා කළෙමි. මගෙන් ප්‍රතිචාරයක් නොවූ නිසාදෝ මල්ලී කතාව විස්තර නොකර උන්නේය.

නිවසට පැමිණ ඇඟ සෝදා ගත් සැනින් නැන්දා බත් බෙදා මටත් මල්ලීටත් ගෙන දුන්නාය. කෑම කන අතරතුර උඩවත්ත ඇන්ටිලාගේ නිවසට ගොස් කළ දෑ පිළිබඳව නැන්දාට විස්තර කරන්නට මට සිදුවිය. රුවන් මල්ලී නම් එය අසා සිටියේ අමනාපයෙනි.

“ඔයා මොකටද එහේ දූවිලි පිහින්නයි, අස් කරන්නයි ගියේ.. ඔයා උඩලවත්තලගෙ සර්වන්ට් වෙන්නද හදන්නෙ..?”

ඔහුගේ ප්‍රශ්න කිරීම් හමුවේ මම නිහඬ විමි. මල්ලී දෙස අමනාපයෙන් බැලූ නැන්දා ඉවත ගියාය. එසැනින්ම ටීපෝව මත තබා තිබූ මගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණි.

“කොහෙද ගිහින් හිටියෙ..? දැන්ද ආවෙ..?”

එසේ අසමින් පණිවුඩයක් එවා තිබුණේ උඩවත්ත ඇන්ටිලාගේ නිවසේ සිටියදී පණිවුඩය ලද අංකයෙන්මය. මගේ මෙම නව අංකය දන්නේ සීමිත පිරිසක් බැවින් මෙසේ පණිවුඩ එවන තැනැත්තා කවුදැයි අනුමාන කළ නොහැකි විය.

“කවුද..?”

මගේ කල්පනාබර මුහුණ දුටු රුවන් මල්ලී විමසද්දී මම නොදන්නවායි ඇඟවීමට හිස සලා ඔහුට දුරකථනය පෑවෙමි. ඔහු එම අංකය දෙස විපරමින් බලා මගේ මුහුණ දෙස ද නෙතු යොමු කළේය. ඔහු යමක් පවසතැයි මා බලා උන්නද දුරකථනය මගේ ඔඩොක්කුවට දැමූ ඔහු කුස්සියට පා නැගීය.

කෑමෙන් අඩ පැයකට පමණ පසු මම වික්ෂිප්ත සිතින් කාමරයට ගියෙමි. එසැනින් මා දුටුවේ ජනේලය පාමුල වැටී තිබූ කොළ ගුලියකි. මම ගැහෙන සුරතින් එය විවර කළේ දුලාජ් අයියා එවූවක් බව දැනගෙන ය.

“මේ විදියට සැරින් සැරේ කොළ විසි කරන එක ඔයාට ප්‍රශ්නයක් වෙයි කියලා හිතලයි එස්.එම්.එස් කළේ. කෝ ඉතිං.. ඒවටත් උත්තර නෑනෙ.. ඔයා උත්තර එවනකල් මං බලන් ඉන්නවා මීනු..”

මෙතෙක් සිත දවාලූ පැනයට පිළිතුරු සොයා ගැනීමට එම පණිවුඩය ප්‍රමාණවත් විය. එසේ නම් මට පනිවුඩ එවා ඇත්තේ ද දුලාජ් අයියා විසිනි. නමුත් ඔහු මගේ දුරකථන අංකය සොයාගත් අයුරු මට තවමත් ගැටලුවකි.



No comments:

Post a Comment