Friday, July 13, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |






හුදෙකලාව තුළ මා තනිකර දමමින් තවත් දින කිහිපයක් ගෙවී ගියේය. ඒ ගෙවුණු සෑම දිනකම දුලාජ් අයියා මා දකිනු රිසියෙන් දිනකට කිහිප වරක්ම බැල්කනියේ හා ජනේලයේ හිස පොවනු මම දිටිමි. ඔහු දුටු සැනින් මා කළේ කාමරයට වැදී සැගව ගැනීමය. නමුත් දින සති ගෙවී යද්දී ඒ කඩවසම් සොදුරු රුව මා සිතට එබිකම් කිරීමට පටන් ගත් කල මම නොසන්සුන් වූයෙමි.

මා වඩාත්ම බියපත් වූයේ මගේ වෙනස බාහිර ලෝකයට පෙනේවි කියාය.


“එක්සෑම් ඉවර වෙලත් ගොඩදවසකින් දුලාජ් මේ පැත්තෙ ආවෙ නෑ.”

දිනක් සවස මා පිරික්සන අටියෙන් රුවන් මල්ලී කීවේය. මම එය නෑසුන සේ බිම බලා උන්නෙමි.

“ඒ ළමයට වැඩ ඇති පුතා. සීතා කිව්වා මේ ටිකේ ගෙදර ආවෙත් රෑ වෙලා කියලා.”

එය සත්‍යයක් නොවේ. සෑම සවසකම හය හමාර, හත පමණ වද්දී ඒ ගැඹුරු නෙත්සර සැදැල්ලෙන් පායා ඒ. මට යන්තම් සිනාවක් නැගුණි. ඒ දුටු රුවන් මල්ලීගේ මුහුණේ ඉරියව් වෙනස්ව ගියේය. අප අධීක්ෂණය නොකළ නැන්දා තවත් දොඩමළු විය.

“සීතා දැන් හරියට පුතන්ඩියට මගුල් හොයනවලු...”

“සීතා ඇන්ටිටත් පිස්සුනේ.. ඕකට කෙල්ලො හත අටක්ම ඇති..”

රුවන් මල්ලී ඒ කළේ නැන්දාට පිළිතුරු සැපයීමක් නොව මට වචනවලින් දමා ගැසීමකි. සැබැවින්ම එය අසා මසිත තදට රිදුනි. කාමරයට යෑම සදහා මම නැගිට ගත්තෙමි. නමුත් ඔහු පුටුව දොරට හරස් කළේය.

“ආ.. මේ කතා කරනකොටම ඇවිත් ඉන්නෙ..”

නැන්දාගේ හඩට අප දෙදෙනා එකවිටම මිදුලට එබී බැලුවෙමි. පැමිණ උන්නේ දුලාජ් අයියාය.

“අම්මේ... දැන් දකින්න තියෙන අමාරුව.”

රුවන් මල්ලී ඔහුව පිළිගත්තේ එසේ කියමිනි. නමුත් ඒ ඇස් යොමුව තිබුණේ මා දෙසටය.

“අද ටිකක් කලින් ආවා.. ඒකයි ඇවිත් යන්න ආවෙ..”

“උඹ දැන් ඕටී කපුටෙක් කියලා ආරංචියි.”

දුලාජ් අයියා කී දෙය නෑසුණ විලස මල්ලී වෙනතක් කීවේය.

“එහෙම තමයි හලෝ.. මේ කාලෙ නිදහසේ හම්බ කරලා තියාගන්න ඕනෙ. බැන්ද කාලෙක නිදහසේ ගෙදර ඉන්න පුළුවන් එතකොට..”

“ඒ කියන්නෙ උඹට බඳින්න අදහසකුත් තියෙනවා.”

“නැතුව.. නැතුව.. දැන් විසි පහත් ලැබුවනේ.. පවුල් පන්සල් වෙන්න කාලෙ හරි..”

ඉතින් ඔවුන් බොහෝ වේලා දොඩමළු වූහ. මා කළේ නැන්දා ළඝ දැවටී ඒවාට සවන් දීමය.

“අන්කල්ගෙ රට යන වැඩේ කොහොමද ඇන්ටි.... ඒක හරියයිද.?”

බොහෝ වේලාවකට පසුව මා නොදැන උන් කරුණක් දුලාජ් අයියා නැන්දාගෙන් විමසීය. මම කුතුහලයෙන් යුතුව නැන්දා දෙස බැලිමි.

“ඒක තව සති දෙක තුනකින් හරි යයි පුතා..”

ඇය පිළිතුරු බැන්දේ බොහෝ කල්පනාබරවය. මාමා ජපානයට යන්නේ මාස තුනකට බවත්, එය ඔහුගේ ආයතනික අවශ්‍යතාවක් බවත් මා දැනගත්තේ ඔවුන්ගේ කතාබහෙනි.

“දුලාජ් මොකද කියන්නෙ, චෙස් අතක් අදිමුද..?”

රුවන් මල්ලී විමසද්දී ඔහු හිස දෙපසට සැලීය.

“අද බෑ... මං හෙට එන්නං...”

ඔහු පිළිතුරු සැපයුවේ රුවන් මල්ලීට වුවද බලා උන්නේ මදෙසය. මම වෙනසක් නොදැනෙන සේ කාමරයට රිංගා ගතිමි. තවත් පැය භාගයකින් පමණ පහළ මාලයෙන් ඇසුණු හඩ තුනී වී ගිය නිසා දුලාජ් අයියා යන්නට ඇතැයි මට සිතුණි.

*************************

“අක්කා... ඔයා නිදිද..?”

රුවන් මල්ලී දොරෙන් එපිට සිට කෑ ගැසුවේය.

“නෑ මල්ලි... එන්න ඇතුළට...”

ඔහු කාමරයට පිවිසියේ අතේ යමක් සඟවාගෙනය. මම ඔහු දෙස ඕනෑකමින් බැලිමි. පෙර වූ තරහ පෙනුම දැන් ඒ මුහුණේ නැත. ඔහු උන්නේ සිනාසෙමිනි.

“ඇයි මල්ලි.?”

ඔහුගේ හැංගිමුත්තං සෙල්ලම වටහාගත නොවුණු මගේ දෑස් විසල් විය.

“අක්කට පුංචි තෑග්ගක්...”

මෙතෙක් සඟවා උන් කුඩා පාර්සලය මදෙසට දිගු කළ ඔහු කීවේය. මම පුදුම වී බලා උන්නෙමි.

“ඔයා විභාගෙ පාස් වෙලා ගොඩක් දවස් තමයි. ඒත් මට අදයි සල්ලි හම්බවුණේ..”

ඔහු එය කී දුක්බර විලාසයට මට දුකක් දැනුණි. තවමත් ඔහු මදෙසට දිගුකරගෙන සිටි එම බෑගය මම අතට ගතිමි.

“ගොඩක් ස්තුතියි මල්ලි... ඒත් මම ඔයාලගෙන් තෑගි බලාපොරොත්තු වුණේ නෑ. ඔයාලගෙන් ලැබෙන මේ ආදරේ මට හොදටම ඇති.”

සිතාමතා හැඬුවේ නැති වුවද ඔවුන්ගේ දයාබරත්වය ඉදිරියේ සිත තද කරගත හැකි වූයේ නැත. ඒ පුංචි බෑගය පපුවට තුරුලු කරගත් මම ඇදේ පෙරළි හැඩුවෙමි. මා ළගින් ඉඳගත් මල්ලී බොහෝ වේලා යනතුරු මහිස අතගෑවේය.

“මට තේරෙනවා අක්කා.. අපි කවුරු හිටියත් නැන්දයි, සුදු මාමයි ඔයා ළග නැති අඩුව අපිට මකන්න බෑ.”

ඒ හඩ බිදී ගිය නිසා මම හිස ඔසවා ඒ නෙතු දෙස බැලිමි. ඒවා රතුවට හුරු බොර පැහැයකට හැරී තිබිණි.

“ඔයා දන්නවද..? අපේ අම්මා මටත් වඩා ඔයාට ආදරෙයි. ඒ ගැන හිතලවත් සතුටු වෙන්න.”

එය ඇත්තක් වුව ද හිත සතුටින් තැබීමට හැකි වූවා නොවේ. මට කොතෙකුත් තාත්තා සිහිපත් විණි. ඔහුගේ අහිංසක ලෝකයේ එකම පැතුම වූයේ මගේ සතුට පමණක්මය. බොහෝ අසීරුවෙන් හැඩුම තදකරගත් නමුදු ඉකිබිදුම සගවා ගැනීමේ වෑයම අසාර්ථක විණි. මදෙස තවත් මොහොතක් බලා උන් රුවන් මල්ලී ඇදෙන් නැගිට්ටේය.

“අඬන්නෙ නැතුව ඕක දිගෑරලා බලන්න අක්කා.. ඔයා කැමති වෙයි.”

එසේ කී ඔහු යන්නට ගියේය. කඳුළු පිසලූ මා ඇඳෙන් නොනැගිටම ඒ පාර්සලය ලිහා බැලුවෙමි. ඔහු කීවා සේම එය දුටු පමනින් මසිත ඇදී ගියේය. එහි වූයේ තනි වීදුරු කැටයමක් තුළ වූ බුදුහාමුදුරුවන්ගේ සන්සුන් ප්‍රතිමාවකි. එයටම අයත්ව තිබූ විද්‍යුත් අයිතමය මත එම ප්‍රතිමාව තබා මම ස්විචය ක්‍රියාත්මක කළෙමි. විවිධ වර්ණයන්ගෙන් යුත් එළියක් වීදුරු කැටය හරහා ගමන් කර ඒ බුදුරුව ආලෝකමත් කළේය. මෙතෙක් හැඩූ මසිත එම දසුනෙන් නිවී සැනහුණි.

**************************

දිනක් නැන්දා කුස්සියට වී කේක් එකක් සාදමින් උන්නාය. මම ඈ අසල තිබූ පුටුවකට බර වී මොහොතක් බලා සිටියෙමි.

“ඇයි දූට මෙහෙ පාළුයිද...?”

නැන්දා එසේ අසන්නට ඇත්තේ මා අරමුණකින් තොරව ඇගිලි තුඩින් මේසයේ ඉරි අඳිමින් උන් නිසා වන්නට ඇත.

“මට ජොබ් එකක් කරන්න ආසයි නැන්දා..”

ඈ තිගැස්සී මදෙස බැලුවාය. මම සිනාසුනෙමි. නමුත් මගේ සිනාව හඩන්නට බැරිකමට වූ සිනාවක් වග ඇය තේරුම් ගන්නට ඇත.

“අනේ රත්තරනේ... අපි කොහොමද ඔයාව රස්සාවකට අරින්නෙ..?”

“මොකුත්ම නොකර මෙහෙම ඉන්නකොට මට ගෙදර මතක් වෙනවා.”

මම ඇත්තම කීවෙමි. ඒ ඇසූ නැන්දාගේ දෑස් බොඳව ගියේය. ඈ බීටරය ක්‍රියා විරහිත කර පැමිණ මා ළගින් හිඳ ගත්තාය.

“ලබන සතියෙ මාමා රට යනවා. මල්ලිත් ඉන්ටවිව් ගිය ජොබ් එක හරියයි වගේ. ඔයත් ගියාම මම තනියෙමනේ දෝණි..”

ඇය මවක තරම් දයාබරිතව මහිස අතගා කියද්දී මසිත අසරණ විය. මම හැගීම් විරහිතව දෙනෙත් දුරකට පා කළෙමි.

“හරි.. ඔයාගෙ පාළුව යන්න මං වැඩක් සෙට් කරන්නම්කො. සමහර විට අදම තීන්දු කරගන්න පුළුවන්..”

මට ඈ වැටහුණේ නැත. යමක් සිතේ සඟවා අමුතු බැල්මක් හෙළූ ඈ නැවතත් සිය කාර්යය කරන්නට ගත්තාය.

“ඇයි නැන්දා කේක් හදන්නෙ..? මොකක් හරි විශේෂයක්ද.?”

“අද හවසට මගේ යාළුවෙක් එනවා...”

නැන්දා සිය යෙහෙලියක ගැන ඔය කීවාමය. ඉතින් මා පුදුම විමි. නමුත් ඇය වැඩ කරන හුරුබුහුටි ආකාරය දුටු මට ඒ පිළිබඳ කිසිවක් අසන්නට අමතක විය. වැඩ අවසන් කළ ඈ තැටියක ඇතිරූ මිශ්‍රණය විදුලි පෝරණුවට දැමුවාය.

“දෝණි කේක් හදන්න දන්නවද....?”

“නිකං බටර් කේක් හදන්න පුළුවන්. ඒත් වැඩිය බෑ.”

“මම කියලා දෙන්නම්කො වෙලාවක.”

ඈ කුමක් හෝ කියා දෙන්නේ ඇගේ වැඩ වලට මා සම්බන්ධ කර ගන්නේ මගේ තනිකම පාළුව දුරලීමට බව මා දනිමි.

“අම්මේ... රූපිකා ආන්ටි පළාතම සුවඳයි..”

නහයත් දෙපසට විහිදුවමින් විකට ස්වරූපයක්  මවාගෙන කුස්සියට පැමිණියේ දුලාජ් අයියා ය.

“අපි මේ කේක් එකක්  හැදුවා පුතා..”

“රායිට්... බේක් වෙනකල් මම ඉන්නම්..”

පසෙක තිබූ ප්ලාස්ටික් පුටුවක් ඇද ඉඳගනිමින් ඔහු කීවේය. එයට නැන්දාගේ මුවේ හසරැල්ලක් නැගුණි.

“කොල්ලො මං මේ උඹෙන් අහන්නමයි හිටියෙ.”

නැන්දා යමක් කීමට ගොස් නැවතී මගේ මුහුණ දෙස විපරමෙන් බැලුවාය. නමුත් දුලාජ් අයියා ප්‍රශ්නාර්ථ රැඳි දෑසින් ඈ දෙස බලා උන්නාය.

“අහන්න ඇන්ටි ඕන දෙයක්..”

“කොල්ලා මේ දවස්වල හවසට හවසට බැල්කනියෙ ගැවසෙනවා වැඩියි වගේ.”

ඔහුගේ හොරය නැන්දාට හසුවී ඇති සෙයකි.

“මම මේ දවස්වල අලුත් ප්‍රොජෙක්ට් එකකට තරු රටා අධ්‍යනය කරනවා.”

ඔහු ඇඟටපතට නොදැනී බොරුවක් කීය. මම සිනාව තදකරගෙන උනිමි.

“හවස හය හත වෙද්දි කොහෙද තරු රටා...? ඊටත් තරු පායන්නෙ අපේ ගෙවල් පැත්තෙයෑ..”

නැන්දාගේ කතාවට අප තිදෙනාටම සිනා නැගුණේ එකවිටය.

“ආන්ටිලාගෙ පැත්තෙන් පායන්නෙ තරු නෙමෙයි හඳ.”

සිනාව මධ්‍යයේ වුවද ඒ කතාවට මා තිගැස්සී ගියේය.

“ඔහොම යමුකො.... අපිත් ඉන්නෙ අල්ලපු වැටේනෙ. හැබැයි පුතේ තරු පායනවා බලන්න ගිහින් අන්තිමට උඹට තරු පෙනෙයිද දන්නෑ.”

“බලමු.. කෝ..”

ඔහු එසේ කීවේ තාලයට ඇද පැදය. මම ඒ කතාවට සම්මාදන් නොවී මුනිවත රැකිමි.

“ඒක නෙමෙයි දරුවො. කේක් එක දැනුයි දැම්මෙ. තව පැය භාගයක්වත් ඉන්න වෙයි. ඉඳලා කාලා යනවද, නැත්තං මං අපේ දෝණි අතේ කෑල්ලක් එවන්නද..?”

දුලාජ් අයියාගේ මුවේ සිනාවක් විවර වෙද්දී මසිතට චකිතයක් දැනුණි. මා මෙතෙක් ඔවුන්ගෙ නිවසට ගොස් තිබුණේ නැත. නැන්දා මාව පත් කළේ සුලුපටු අපහසුතාවයකට නොවේ.

“අපේ ගෙදරටත් හඳ පායනවා නම් මං දැන් ගෙදර යන්නම්කෝ..”

ඔහු නැන්දාටත් ඇසක් වසා ඇසිල්ලකින් නැගිට ගියේය. මම ඔහු ගිය මග දෙසට නෙත් යොමා උනිමි.

“පිස්සු කියෙව්වාට ඌ හරිම හොඳ කොල්ලා. පුංචි කාලෙ ඉඳලම අපිට හරිම ලැදියි..”

නැන්දා මදෙස බලා කියද්දී මම ඒ රුව සිතින් මවා ගතිමි.

“ඌ ඔය හඳ කියලා කිව්වෙ දෝණිට..”

නැන්දාත් එය වටහා ගැනීම පිළිබඳව මට දැනුනේ ලැජ්ජාවකි. ඕ මගේ රතුව ගිය මුහුණ දෙස බලා සිනාසුණා ය. මුහුණ සඟවාගත් මම සෙමෙන් අඩි තබා ගොස් නතර වූයේ උඩුමහලේ මගේ කාමරයේ ය. ඇදේ ඉඳගත් මා විවර වූ ජනෙල් පියන් අතරින් දුලාජ් අයියාගේ බැල්කනිය දෙස බැලිමි. විශ්වාස කළ මැන. ඔහු දුරින් හිඳ වුව සෘජුව බලා උන්නේ මා දෙසය. සිතට දැනුණ අපහසුතාව වළක්වා ගැනීමට අවැසි වූ නිසා මා එක් ජනෙල් පියනක් වදා දැමුවෙමි. නමුත් සුළු මොහොතකින් අනෙක් ජනෙල් පියන හරහා ඇතුළට ආ යමක් අල්මාරියේ හැපී බිම නතර විය. එය සුදු පැහැ කොළ ගුලියකි.

මාකරයේ දොර මඳක් වැසූ මා වෙව්ලන අතැගිලි වලින් එය අහුලා වටපිට බැලිමි. කිසිවකු මදෙස බලා උන්නා නොවේ. ඉතින් මා එය විවර කෙළෙමි. තරමක් බරැති හතරැස් මක කෑල්ලක දවටා එවා තිබූ කොළ කැබැල්ලේ වූයේ මෙවැන්නකි.

“කේක් නැතිවට කමක් නෑ... හඳ ඇවිත් යන්න...”

දුලාජ් අයියා පිළිබඳ මහා අනුකම්පාවක් මසිතේ කොනක පැළපදියම් විය. ඔහුගේ එම පණිවුඩය ලියූ කොළ කැබැල්ල පොත් අතර සගවා ගත් මා මකනය සාක්කුවේ ලා ගතිමි.

“දෝණි... ටිකක් පහලට එන්න පුතේ..”

නැන්දා පහළ මාලයේ සිට මා ඇමතුවා ය. මම ඉක්මන් අඩි තබා ඒ දෙසට යද්දී ඈ හතරැස් රෙදි කැබැල්ලකින් වසන ලද පිඟානක් අත තබා බලා උන්නා ය.

“දූට පුළුවන් නේද මේක දුලාජ් පුතාලගෙ දිහාට දීලා එන්න.”

“අනේ නැන්දා... මං එහේ ගිහින් නෑනෙ..”

“එහේ ඉන්නෙ සීතා ඇන්ටි. හරි හොදයි පුතේ. ඔයා දැකලත් ඇති.”

සැබෑය. දුලාජ් අයියාගේ අම්මා හෙවත් සීතා ආන්ටි රූපිකා නැන්දා සමග මිතුරුය. ඈ විශේෂ යමක් හැදූ විට නැන්දාගේ පංගුව වරද්දන්නේ නැත. ඉතින් මා නිහඬවම පිඟාන රැගෙන මිදුලට බැසිමි.

“දෝණි විගහට එන්න. මගේ යාලුවා දැන් මග එනවත් ඇති.”

නැන්දාගේ විශේෂ යාළුවා දැකීමට මා තුළ වූ උනන්දුව තවත් වැඩි විය. ඈ සිනාසී බලා හිඳිද්දී මම ගේට්ටුවෙන් පිටට පැමිණියෙමි. දුලාජ් අයියලාගේ නිවසේ ගේට්ටුව ඇර දමා තිබූ නිසා මම චකිතයකින් එදෙසට පිය නැගුවෙමි. මනාව නඩත්තු කරන ලද ගෙමිදුලේ සුදු පැහැ මේසයක් හා පුටු හතරක් තබා තිබුණි. ක්‍රමාණුකූලව තණ පියසෙන් හා නානාවිධ මලින් බර වූ ගස් කොළන් අතරේ නෙතු දිවයද්දී දුලාජ් අයියා සීතා ආන්ටි සමග මා අබියසට පැමිණියේය.

“මං බොරුද කිව්වෙ අම්මා.. හඳක් වගේ නෙමෙයිද......?”

මා දුටු වනම ඔහු සිය දඟකාර හඬ අවදි කළේය. තිගැස්සී ගිය මා වැටේ යැයි බියෙන් කේක් තසිම තද කර අල්ලා ගතිමි. සීතා ආන්ටි මොහොතක් දෙකක් මා මුහුණ දෙසම බලා උන්නා ය.

“රූපිකා නිතරම කියනවා දූ ගැන. මං දකින්න ආසාවෙන් හිටියෙ.”

ඈ දොඩමළු වූයේ බොහෝ කලක් පටන් දන්නා හඳුනන පරිසි මගේ අතකිනුත් අල්ලාගෙනය.

“මේක නැන්දා දෙන්න කිව්වා.”

මම තසිම දෝතින්ම ඇයට පෑවෙමි.

“මොකෝ හදිස්සි, යමුකො ගෙට... ගිහින් ඉඳගෙන කතා කරමු..”

සීතා ආන්ටිගේ කතාබහට දුලාජ් අයියාගේ නෙතු දිදුලන්නට විය. මම සීතල වූ වතින් ඈ පසුපස ඇදුනෙමි.

“අපේ පෙරේත කොල්ලා ගෙදරට ගිහින් කටින්ම ඉල්ලලා නේද...? රූපිකාටත් කරදරේ.”

තසිමේ වූ රෙදිකඩ පසෙකට කර එහි සුවඳ විදගත් ඇය පවසද්දී දුලාජ් අයියා අමුතු සිනාවක් පෑවේය.

“මට කිව්වට මොකෝ කේක් එවනකල් අපේ අම්මත් කෙල ගිල ගිල බලාගෙන හිටියෙ.”

ඒ ඇසී මට සිනා නැගුණි. ඔවුන් දෙදෙනාත්, නැන්දා හා රුවන් මල්ලී මෙන් බොහෝ සමීප ය.

“දූ ආපු ඵලවෙන් දවසනේ. තේ ඩිංගක් බීලා යමු.”

“එපා ආන්ටි.... නැන්දා ඉක්මනට එන්න කිව්වා.”

“හරි.. හරි.. විනාඩි පහයි.”

මගේ කීම නොසැලකූ ඈ කඩිනමින් කුස්සියට ගියාය. ඒ අවසරයෙන් දුලාජ් අයියා මා ඉදිරිපස අසුනට බර විය. මට මෙතෙක් සාක්කුවේ තිබූ මකනය සිහිවිය.

“ආ...”

ඔහු ඉදිරිපිටම සාක්කුවට අතයැවූ මා එය ඔහුට පෑවෙමි. ඔහු සිනාසී එය අතට ගත්තේය.

“මකනෙ විතරද ගෙනාවෙ...?”

මම ඒ හැගීම්බර දෙනෙත් දෙස මොහොතක් බලා උන්නෙමි.

“මීනුට ඉලක්කෙට මකන විසි කරන්න බැරිද....?”

“බෑ..”

“මොනාද හලෝ.. කාමරේ ඇතුළටම එවන්න ඕන නෑ. බැල්කනියට වැටුණම ඇති. එතනට පොඩි දුරනේ.”

ඔහුට අවැසි මකනය නැවත බලා ගැනීමට නොව මා ලබා පණිවුඩ ගෙන්වා ගැනීමටය.

“මට ඔයාගෙ ෆෝන් නම්බර් එක දෙනවද...?”

ඔහු කුස්සිය දෙසට නෙත් යොමා බලා නැවතත් විමසුවේය. මම හිස දෙපසට වැනිමි.

“එහෙනං මගේ එක දෙන්නං ගන්නවද.?”

“ඒත් එපා..”

“මොනාද දූ එපා..?”

සීතා ආන්ටි ළඟටම එන තෙක් අප දෙදෙනාම දුටුවේ නැත. ඇයට පිළිතුරු දී ගත නොහැකිව මම දුලාජ් අයියා දෙස බැලිමි.

“මං මෙයාට කේක් කෑල්ලක් කාලා යන්න කිව්වා. ගෙදර තියෙන නිසා එපාලු.”

ඔහුට මෙසේ ක්ෂණිකව බොරු කොහෙන් කටට එන්නේදැයි මම පුදුම විමි. නමුත් ඔහුට ඒ ගැන වගක්වත් නැත.

“දූ බිස්කට් කාලා තේ බොන්නකෝ. ගෙදර ගිහින් කේක් කන්න බැරියෑ.”

ඔවුන් නසග සතුටු සාමිච්චියේ යෙදෙන අතරතුර මා උගුරට දෙකට තේ කෝපප්ය හිස් කළෙමි. නැන්දා මේ වන විට මා එනතුරු බලා ඉන්නවා ඇත.

“මේ ළමයා බයවෙලා වගේනෙ ඉන්නෙ.”

සීතා ඇන්ටි මහිස අතගා ආදරයේන කියද්දී මම පුටුවෙන් නැගිට ගතිමි.

“මම ගිහින් එන්නම් ආන්ටි.”

“හරි පුතේ ආපහු වෙලාවක එන්නකො.”

ඒ ඇසිල්ලෙන් මම දුලාජ් අයියාට සමු දෙන්නේවත් නොමැතිව මිදුලට බැසිමි.

නිවසට යන විට නැන්දාගේ සිනා හඩ අතර තවත් කාගේදෝ කටහඩක් ඇසුණි. ඉතින් ඔවුනට බාධාවක් නොවන සේ මා පසුපස දොරෙන් නිවසට ඇතුළු වූයෙමි. නමුත් කාමරයට යෑමට නම් සාලය හරයා ගොස් පඩිපෙළ නැග යා යුතුය. එබැවින් මා මොහොතක් පමා විමි. එවිටම නැන්දා කුස්සියට පැමිණියාය.

“ආ.. දෝණි ආවද..? ඇයි මේ කුස්සියට වෙලා.”

“නැන්දගෙ යාළුවා ඇවිත් නිසා මං මේ පැත්තෙන් ආවා.”

“අනේ දරුවො... එයා ඔය බලාගෙන ඉ්නනෙ ඔයා එනකල්.. යමුකො ඉ්සසරහට.”

බලෙන්ම මා අත ගත් නැන්දා මාව සාලයටම රැගෙන ගියාය. නැන්දාගේම වයසේ කාන්තාවක් හා අවුරුදු දහ අටක පමණ යුවතියක් සාලයේ හිඳ අප එන මඟ නෙත් යොමා බලා උන්හ.

“ආනේ... ආන්ටි කියපු අක්කි මෙයාද.? මං හිතන් හිටියට වඩා ගොඩක් ලස්සනයිනෙ...”

පෙර කී යුවතිය එය කීවේ පුටුවෙන් අඩක් නැගිටගෙන වාගේය. ඈ සිහින් සිරුරක් හිමි තලඑළළු එහෙත් ප්‍රසන්න පෙනුමැති අයෙක්. දුටුවනම මසිතේ ඈ කෙරේ කුමක්දෝ ලෙන්ගතු බවක් නැගුණි.

“ඔන්න යාළුවෙක් නෑ කියලා නහයෙන් අඬ අඬ හිටියනේ.. දැන් ඉන්නවා ෂෝක් අක්කෙක්.”

එය කීවේ ඇගේ මවය. ඇය ද නැන්දා මෙන් නිතර සිනාමුසුව සිටින අයකු වන්නට ඇතැයි මම අනුමාන කළෙමි.

“එහෙනං පුතේ දෙන්නා එළියට වෙලා ටිකක් කතා කරන්නකො.”

නැන්දාගේ හඬට මටත් පෙර නැගී උන්නේ එම නැගණියයි. ඈ මගේ අතැඟිලි අල්වා මිදුලට බැස්සේ පුරුදුකාරියක මෙනි.

“අක්කිගෙ නම කියන්නකො.”

“මම මීනු. එතකොට ඔයා.?”

“මම මල්ෂා.”

ඉතින් මා මල්ෂාගේ අතගෙන මිදුලේ සිමෙන්ති පඩියක ඉඳගත්තෙමි.

“අක්කි ගැන රූපිකා ආන්ටි අපේ අම්මත් එක්ක කියලා තියෙනවා.”

නැන්දා ඔවුන් සමග මොනාව කියා ඇත්දැයි නොදතත් නිසා මම මඳ සිනාවක් පමණක් පෑවෙමි.

“ඒ කිව්වටත් වඩා  ඔයා හරිම ලස්සනයි. අහිංසක පාටයි.”

“බොරු කියන්න එපා.. මං කොහෙද ඔයා තරම් ලස්සන.?”

ඈ සුහද සිතින් මගේ අත් අල්ලාගෙන දෙපසට පැද්දිය. මම ඈට ඉඩ දී ඔහේ බලා උනිමි.

“අපරාදෙ අක්කි මෙහෙ එන්න තිබ්බෙ මීට කලින්. එහෙනම් මටත් පාලු නෑ.”

“ඔයාලා නිතරම මෙහෙ එනවද...?”

“මමනං වැඩිය ඇවිත් නෑ. අම්මා නං නිතරම එනවා. මෙහෙ ආවත් ඉතිං කතා කරන්න ඉන්නෙ රුවන් අයියා විතරනේ. එයත් හරි ආඩම්බරයි.”

ඈ කටත් අමුතුකර එය කියූ තාලයට මට සිනා නැගුණි. රුවන් මල්ලී ආඩම්බරයි කියා මා ඔය ඇසුවාමය.

“අක්කි දන්නවද අද අම්මයි මායි ආවෙ ඇයි කියලා.?”

“නෑ...”

“ඔයාව හම්බවෙන්න.”

ඇය කියද්දී මට පුදුම වී සිටීමට නොහැකි විය. මා දෑසත් ලොකු කර ඒ මුහුණ දෙස හොඳින් බැලිමි.

“බය වෙන්න එපා. මේකයි කාරණාව.”

ඈ දිගු හුස්මක් ගෙන කතාවට මුල පුරද්දී මා හුස්ම නොගෙනම බිරාන්ත වී බලා උන්නෙමි.

“මං ඕ ලෙවල් කරන කාලෙ ඉඳලා මට ගණන් බෑ. ඕලෙවල් ගණන් පේපර් එක පාස් වුණෙත් පුදුම අමාරුවකින්. මගේ යාළුවො වැඩි දෙනෙක් කොමර්ස් කරන්න ගත්ත නිසා මමත් ගොන් කමට ඒකම තෝර ගත්තා. දැන්නං එරිලා ඉන්නෙ.”

“ඇයි ඒ...?”

“අනේ අක්කි මට එකවුන්ට්ස් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. ලබන අගෝස්තු වල එක්සෑම් එක. මොනා කරන්නද මන්දා..?”

“ඉතිං ඇයි මාව හම්බවෙන්න ආවෙ.....?”

“රූපිකා ආන්ටි කිව්වා අක්කි ගණන් වලට මාර බ්‍රයිට් කියලා. ළඟදිත් මොකක්ද එක්සෑම් එකකින් එකවුන්ට්ස් වල වැඩිම ලකුණු අරන් තෑගි හම්බ වුණාලු. ඉතින් අම්මා රූපිකා ආන්ටිගෙන් ඇහුවා මට එක්සෑම් වෙනකල් පාඩං කියලා දෙන්න ඔයාව එවන්න බැරිද කියලා.”

ඔවුන් මා ගැන කතාබහ කළ බව නොදත් මා ඕනෑකමින් ඒ කතාවට කන් දුනිමි. මේ වනතුරුම නැන්දා ඔය වගක් මා සමග කීවේ නැත.

“ඉතින් අද අම්මියි, මායි දෙන්නම ආවෙ අක්කිව මීට් වෙලා ඔයාට අපේ ගෙදර එන්න පුලුවන්ද කියලා අහන්න. මං ඇත්තටම ආසයි ඔයාගෙන් ඉගෙන ගන්න. ඔයා මොකද කියන්නෙ අක්කි..?”

“මට හරියට මොකුත් කියන්න බෑනෙ බබා. මං නැන්දගෙන් අහලා වචනයක් දෙන්නං.”

“රූපිකා ආන්ටි නං කොහොමත් කැමතියි. එයාටත් දැනගන්න ඕනෙ ඔයා කැමතිද කියලා.”

මම මොහොතක් කල්පනා කර බැලුවෙමි. නොදන්නා නිවසකට ගොස් පාඩම් කියා දීම දෙවරක් සිතා බැලිය යුත්තකි. මා ගැටලුවකට වැදි වූ බව දත් මල්ෂා නැවතත් දොඩමළු විය.

“ඔයා මේක පංති කිරිල්ලක් කියලා හිතන්න එපා අක්කි. තමන්ගෙ තැනකට එනවා කියලා හිතලා අපේ ගෙදර එන්න. දැනට ගෙදර ඉන්නෙ අම්මයි මායි විතරයි. තාත්ති ඉන්නෙ රට.”

ඈ කෙටි හැඳින්වීමක් කළාය. ඇගේ කතා විලාසය හා ප්‍රියමනාම හැසිරීම ගැන නම් මසිතේ පැහැදීමක් ඇතිවිය.

“අම්මි ඔයාට මාසෙට පංති ගාස්තුවක් වෙනම දෙයි.”

“අනේ නංගි... මට සල්ලි එපා.”

“එහෙම කියලා බෑනෙ අක්කි. අඩුගානෙ ඔයාගෙ මහන්සිය බස්  ගාස්තුවවත් කවර් වෙන්න ඕනෙනේ.. ඒත් මට නං ඔයාව ඒනෙ ටියුෂන් ටීචර් කෙනෙක් විදියට විතරක් නෙමෙයි. හොඳ යාළුවෙක් විදියට.”

ඈ සිය සුරත මදෙසට පෑවාය. එදෙස මොහොතක් බලා උන් මා ඇගේ සුරත තදින් අල්ලා ගත්තෙමි. ඒ දෑස් සතුටින් දිදුලන්නට විය.

“දෝණි.. ඔය නංගි එක්ක එන්න තේ බොන්න.”

නැන්දා මිදුලට පැමිණ කියද්දී අප උන් තැනින් නැගිට නිවසට ඇතුළු වුණෙමු. මගේ අත අතනොහැරම මල්ෂා ඇගේ මව සමීපයට ගියාය.

“අම්මි... වැඩේ හරි... අක්කා කැමතියි...”

ඈ එය කීවේ මහා වීරකමක් කළ එකියක මෙනි.

“ඇත්තද දූ..? ඔයා අපේ දිහා එන්න කැමති වුණාද..?”

ඊට පිළිතුරු නොදුන් මා නැන්දා දෙස බැලිමි. එහි අරුත ඈ වටහා ගන්නට ඇත.

“දෝණි කැමති නං අපිත් කැමතියි.”

“ඔයා බය වෙන්න එපා දූ. ඔයාට අපේ දිහා ඇවිත් ගෙදර වගේ ඉන්න පුළුවන්. ඔයාට කැමති ඕනම දවසක, ඕනම වෙලාවක එන්න.”

මල්ෂාගේ මව මගේ සිත නම්මා ගන්නට තවත් බොහෝ දේ කීවාය. නමුත් ඔවුන්ගේ නිවසට ගොස් ඇයට පාඩම් කියා දීමට මම ඒ වන විටත් තීරණය කර උන්නෙමි.

“අපි එහෙනං ගිහින් එන්නං දූ. ඔයා රූපිකා එක්කත් කතා කරලා මේ සතියෙම පණිවුඩයක් දෙන්නකො..”

ඔවුන් පිටත්ව ගියේ අවසන් වරටත් එසේ කීමෙන් අනතුරුවය. අධ්‍යාපනයට දුර්වල අයකු තමා යටතට ගෙන ජයග්‍රහණය ළඟා කර දීමට හැකි නම් එය කෙනෙකුගේ දක්ෂතාවයකි. එවන් දස්කමක් මා සතු වේදැයි දැන ගැනීමට මම නොඉවසිලිමත් විමි.

“දෝණි මං හැමදාම වගේ අදත් කියනවා. ඔයා දැන් මගේම දූ, ඔයාව නරක තැනකට මම කීයටවත් යවන්නෙ නෑ. උඩවත්තලා හොඳ වැදගත් පවුලක්. ඒකයි මං ඔයාව එහෙ යවන්න කතා කළේ. හැබැයි තීරණය දූට බාරයි.”

“ඒ නංගිත් හොඳයි වගේ නැන්දා. අනික නැන්දගෙ යාළුවොනේ.. මං යන්න කැමතියි.”

මගේ තීරණය ගැන ඈ සතුටු වූ වග ඒ දෙනෙත් දකිද්දී මට වටහාගත හැකි විය. නැන්දාගේ ගෙල වටා දෑත් යමා ඒ කම්මුලත් ලාවට සිපගත් මා ඇගේ තුරුලෙන් මිදී නිවසට පිය නැගිමි.                           


                                                                     

No comments:

Post a Comment