Sunday, July 15, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |


නිවසට පැමිණි මා නැන්දාට මුහුණ නොදී කාමරයට ගොස් දොර වසා ගතිමි. කාමරයේ වූ සියලු බඩු භාණ්ඩ මා වටා කැරකෙනවා වැනි හැගීමක් මසිතේ ඇතිවිය. භ්‍රමණය වන්නේ කාමරය ද සිත ද යන්න වටහා ගැනීමට මම වෙහෙසිමි. නමුත් දුලාජ් අයියාගනේ තොර කිසිවක් මට සිහිපත් වූයේ නැත. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයෙන් ඇරඹී අපේ හිතවත්කම මාස කිහිපයක් තුළ ශක්තිමත් වූ අයුරු චිත්‍රපටයක දර්ශන පෙළක් මෙන් මසිතේ පෙළ ගැසුණි..

දෝණි.. දොර අරින්න පුතේ..


නැන්දා දොරට ගසමින් හඬද්දී මම දොර විවර කළෙමි. ඈ ආදරය කරුණාව රැඳි දෑමින් මදෙස බලා උන්නාය.

උඩවත්ත කෝල් කරලා කිව්වා ඔයා කියන්නෙම නැතුව ගිහින් කියලා. මං බය වුණා දූ..

මං ආවා නැන්දා.. මං නැන්දා ළඟට ආවා..

මෙතෙක් සිරකරගනෙ උන් කඳුළු වැල් පිටාර ගලා යද්දී මම නැන්දාව වැළඳ ගතිමි. ඈ ක්ෂණයකින් මගේ ගෙල හා නළල අත තබා බැලුවාය.

අනේ දෝණි.. ඔයාට ගින්දර වගේ උණ.. ඇයි මේ..?

මට වැලඳුණ තද උණ ගතිය පිළිබදව නැන්දා මෙන් ම මමද පුදුම විමි. මල්ෂාලගේ නිවසින් පිට වද්දී මට උණක් තිබුණේ නැත. සිතේ ඇති වූ හදිසි කම්පනය ගතට ද දරුණු ලෙස බලපා ඇති සෙයකි.

ඔයාව ගැහෙනවා රත්තරං.. යං.. අපි ගිහින් බෙහෙත් ටික්ක අරන් එමු..

මට වැළදී ඇත්තේ මානසික ආබාධයක් මිස ශාරීරික අපහසුතාවයක් නොවන බව දැන උන් නිසා මම බෙහෙත් ගැනිම ප්‍රතික්ෂේප කළෙමි. නමුත් නැන්දා මගේ විරෝධය නොතකා ත්‍රීවිලරයක් කැඳවා ආවාය.

ඇයි දූ එහෙන් නොකියම ආවෙ.. උඩවත්ත කිව්වා ඔයා පැහැසර පුතා එක්ක හොඳට කතා කරකර හිටියා කියලා.

නැන්දා මඟ දිගටම මගෙන් හේතු විමසද්දී මම එය නෑසුන විලස ඉවත බලා උනිමි. පෙර දිනයක මා ඉකිගසා හඩද්දී මල්ලී ගොස් දුලාජ් අයියා සමග රණ්ඩු කිරීම ද අද මා මල්ෂා මුණ ගැසීමට ගොස් හඩා වැළපෙමින් නිවසට පැමිණිම ද ඇයට තේරුම් නොයන්නට ඇත.

වෛද්‍යවරයා මා පරික්ෂා කර බලා බෙහෙත් නියම කළ ද මා උන්නේ තෝන්තු ගතියෙනි. ඒ තරුණ වෛද්‍යවරයාගේ රුව තුළින් පවා මා දුටුවේ දුලාජ් අයියාගේ රුවයි.

ගෙදර ගිය ගමන්ම මේ බෙහෙත් ටික බොන්න. අඩුවුණේ නැත්නම් ආපහු එන්න.

නැන්දට තවත් මොනවදෝ උපදෙස් වගයක් දුන් වෛද්‍යවරයා අපි පිටත් කර හැරියේය.

බෙහෙත් බී ඇදට වැටුණ සැනින් මම ජංගම දුරකථනය ගෙන දුලාජ් අයියා අතීතයේ එවූ කෙටි පණිවුඩ එකින් එක කියවීමට පටන් ගතිමි. ඔහුගේ දයාබර වචන දඟකාර කතා නැවත වරක් මගේ කඳුළු අලුත් කරලිය. මුල්ම දිනවල මකන කෑලවල දවටා කාමරයට කොළ කෑලි එවූ හැටි මා දකින රිසියෙන් බැල්කනියට වී කල් ගත කළ හැකි කිසිදා අමතක කළ නොහැක. ඒ සුන්දර අතීථය නිමාවට පත් වූයේ මල්ෂා දුලාජ් අයියාව හඳුනා ගැනිමත් සමග ය.

දෝණි.. ඔය ෆෝන් එක පැත්තකින් තියලා ටිකක් නිදාගන්න.. මං මල්ලිටත් කෝල් කළා.. එයා සමහර විට ටිකක් කලින් එයි.

දුරකථනය පසෙක තැබූවද දුලාජ් අයියා මට නිදා ගැනීමට ඉඩක් දුන්නේ නැත. කොට්ටයේ හිස තබා තවත් කොට්ටයකින් මුහුණ වසා ගත්තද ඔහුගේ මතකය මගේ දෙනෙතට කදුළු ගෙනාවේය.

අක්කා.. මං ඉක්මනට එනවා.. ආවම සේරම විස්තර කියන්න.. එතකල් අඩන්නෙ නැතුව නිදාගන්න..

නැන්දාගේ ඇමතුමෙන් පසුව රුවන් මල්ලී ද කෙටි පණිවුඩයක් එවා තිබුණි. එය කියවා පසෙක තබා නිදන්නට කොතෙකුත් උත්සාහ කළ ද පැය ගණනාවක් ගතවන තෙක් මා උන්නේ අවදියෙනි.

සවස් වද්දී හිස පැලෙන තරමට රිදුම් දුන් අතර පපුව ද විටින් විට වේදනා ගෙන දුන්නේය. මම පපුවට අත තබා අසීරුවෙන් හුස්ම ගැනීමට වෙහෙසුනෙමි.

දෝණි.. මං හිතුවා නිදි කියලා.. ඇයි මේ අමාරුවෙන් වගෙ..

නැන්දා යළිත් වරක් කාමරයට පැමිණ උන්නා ය. මම ඇගේ දෝත තදින් අල්වා ගතිමි.

මගේ පපුව හිරවෙනවා වගේ නැන්දා.. හුස්ම ගන්නත් අමාරුයි..

තාමත් ඇඟ රස්නෙයි දූ..තව බෙහෙත් වේලක් බීලා බලමු..

එකෙණෙහි රුවන් මල්ලී කාමරයට ඇතුළු විය. ඔහූ උන්නේ බොහෝ කලබල වී වග ඒ මුහුණ දුටු මතින් මා වටහා ගතිමි.

අක්කට තාම අඩු නැද්ද අම්මා..? ඇයි මේ අමාරුවෙන් වගේ හුස්ම ගන්නෙ..

අක්කගෙ පපුව රිදෙනවලු චූටි පුතා..

ඉතිං මෙයාව ගෙදර තියාගෙන ඉඳලා හරියනවද..? හොස්පිට්ල් එකට ගෙනියමු..

ඔහු හැසිරුනේ බාල සොයුරෙකු ලෙස නොව පියෙකු තරම් පරිණත විලසිනි.. ඒ රතුව ගිය ඇස් සෘජුව බලා මම මගේ දුක ඔහුට නොකියා කීවෙමි.

අම්මා අක්කව ලෑස්ති කරලා ගන්න. මං ටක් ගාලා චේන්ජ් එකක් දාගෙන එන්නම්.

ආදරය මෙතරම් වේදනාකාරී යැයි මා දැන උන්නේ නැත. එයින් පීඩා විඳින්නේ ආදරය කරන පුද්ගලයන් පමණක් නොවේ. නැන්දා හා මල්ලී මා නිසා කරදරවන ආකාරයෙන්ම මම එය වටහා ගතිමි.

අම්මා වෑන් එකක යමු නේද.? ත්‍රීවිලර් එකක අක්කට යන්න අමාරුයිනෙ.

මාමා රට ගිය පසු වෑන් රථය පාවිච්චියට ගත්තේ දින කිහිපයක් පමණි. රුවන් මල්ලීට එය ධාවනය කළ හැකි වුවද රියදුරු බලපත්‍ර නොමැති වීම ඊට හේතුවයි.

ඔයාට ලයිසන් එකත් නැතුව දුර ගමන් යන්න බෑනෙ පුතා. නරකද දුලාජ්ට වත් කිව්වොත්.

අනේ එපා මල්ලි. එයාට කතා කරන්න එපා.....

නැන්දා හරි විස්තරයක් නොදැන උන්නාට අපගේ ප්‍රශ්නය දැන උන් මල්ලී මගේ කීමට අවනත විය. කඩිමුඩියේ අප නංවා ගත් ඔහු රිය පාරට ගෙන ඉක්මනින් රෝහල කරා පැදෙව්වේ ය.

අම්මා ප්‍රයිවෙට් හොස්පිට්ල් එකකට ගෙනියමු. මහ ඉස්පිරිතාලෙ කාටවත් ළග ඉන්න දෙන්නෙ නෑනෙ. අනික මට වුණත් වැඩට ගිහින් ඇවිත් රෑ වෙලා එන්න පුළුවන්.

පපුවේ රිදුම වැඩි වූ නිසා ඔවුනට යමක් පැවසීමට තරම් ශක්තියක් නොවුණි. එහෙයින් මම නැන්දාගේ ඔඩොක්කුවේ හිස තබා නිහඬව උන්නෙමි.

මා රෝහලට ඇතුළත් කළ සැනින් ඉක්මන් ප්‍රතිකාර කළ අතර අවසානයේ මා දුර්වල වී ඇතැයි කියා සේලයින් ලබා දීමද සිදු කෙරුණි. ඒ සියල්ල දෙස දුක්බර ලෙස බලා උන් රුවන් මල්ලී ඉවත හරී කඳුළු පිසිනවා මම දුටිමි.

මෙයාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නෙ. කතා කරලා වෙහෙස කරවන්න එපා.

කරුණික පුංචි හෙදියක් පැමිණ නැන්දාට පවසනවා මා අසා උන්නේ ද තද නිදිමත ගතියෙනි. ඉන්පසු සිදු වූ කිසිවක් මගේ සිතේ තිබුණේ නැත.


දූ.. ඇස් අරින්න පුතේ.. දැන් ඔයාට අඩුද..?

නැන්දා මහිස අතගානවා දැනී මම දෑස් විවර කර බැලුවෙමි. රෝහල් කාමරය ඒ වන විට ආලෝකමත්ව තිබුණි.

දැන් වෙලාව කීයද නැන්දා..?

දහය පහුවෙලා දෝණි.. ඔයාට රෑ හොදට නින්ද ගියා.. එන්න ටිකක් මූණ සෝදගමු. දැන් ඩොක්ටර් එයි.

නමුත් නැගිට ගැනීමට තරම් ගතේ ශක්තියක් වූයේ නැත. මම නැන්දාට වාරු වී නැගී සිටියෙමි.

මල්ලී වැඩට ගියාද නැන්දා.?

ඔව්. එයා ගිහින් නිවාඩුවක් දාලා ආපහු ඉක්මනට එයි.

අපරාධෙනේ.

නැන්දා මගේ මුහුණ සෝදන අතර වාරයේ මම කීවෙමි. ඈ එය තැකිමක් නොකර සිනාසුණා ය.

මල්ලී ඔයාට ගොඩක් ආදරෙයි දූ. ඊයෙ රෑ මං ගෙදර යවා ගත්තෙ බලෙන් වගේ.

මාව සොදා පිරිසිදු කළ නැන්දා මගේ මුහුණ පිසදා වෙනත් ඇඳුමක් ද ඇන්දවිය. මවක විසින් කළ යුතු යුතුකම් සියල්ල ඈ නොපිරිහෙලා ඉටු කරද්දී මොහොතකට මට මගේ මව සිහිවිය.

මල්ලී ආවම මං ටිකකට ගෙදර ගිහින් එන්නම් දෝණි. ඔයාට තව ඇඳුම් දෙකකුයි, පොඩි බඩු වගයකුයි තියෙනවා ගේන්න.

මම ඇඳට වී ඈ කී දෑ අසා උන්නෙමි. නැන්දා පිටව යෑමට පෙර හෙදියක පැමිණ මට තවත් සේලයින් බෝතලයක් එන්නත් කළාය. සේලයින් කටුව රැදි අත රිඳුම් දෙද්දී මම දෑස පියා දුලාජ් අයියා සිහිපත් කළෙමි. එවිට රිදුනේ අත නොව සිතය.

අක්කට නින්ද ගිහින්ද අම්මා..? දැන් අඩුද..?

මල්ලීගේ කටහඩ ඇසෙද්දී මම දැස් සෙමින් විවර කළෙමි. ඔහු ඇඳ ළගට පැමිණ මගේ නිදහස්ව තිබූ අත අල්ලා ගත්තේය.

තාම ඔයාගෙ ඇඟ රස්නෙයිනෙ අක්කා..

ඔව් පුතා, මේ ළමයට උණ බහිනවයි නගිනවයිනේ.. පාන්දර උණ අඩු වෙලා තිබුණා.. දැන් ආයෙත් ටිකක් වැඩියි වගේ..

මල්ලී නැන්දාව බලෙන් පිටත් කර හැරියේය. වෛද්‍යවරුන් පැමිණ මාව පරික්ෂා කරද්දී ද ඔහු පසෙකට වී දුක්බර ලෙස බලා ඉන්නවා මම දුටුවෙමි. ඔවුන් නික්ම ගොස් මඳ වේලාවකට පසුව මල්ලී මා උන් ඇඳේ කොනකට බරව මගේ මුහුණට එබී බැලුවේය.

ඔයාට අමාරුද අක්කා..? මං එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද..?

මම කිසිත් නැතැයි කියා හිස සලද්දී මල්ලී කතාව ඇරඹිය හැකි තැනක් සොයා ගත නොහැකිව මෙන් දිගු සුසුමක් හෙළිය.

ඊයෙ මොකද වුණේ..? ඇයි යන්නෙ නෑ කියලා ආයෙම මල්ෂාව මීට් වෙන්න ගියේ.

මගේ හිත මට බලකළා මල්ලි. මං හදිසියෙ ගියේ ඒකයි.

හරි ඉතිං මොකද වුණේ කියන්න. පැහැසර ලංකාවට ඇවිත්ලු නේද..? උගෙන්වත් ඔයාට මොකක් හරි........?

මම ඔහුව නවතාලිමි. පැහැසර අයියා මාව විහිලුවකට ගත්තා විනා ඔහුගෙන් කිසිදු කරදරයක් වූයේ නැත. මට කරදරයක් සිදු වූයේ යෙහෙලියක හා සොයුරියක ලෙස ඇසුරු කළ මල්ෂාගෙනි.

මම දුලාජ් අයියා හා මා අතර ඇතිව තිබූ බැඳීම මෙන්ම මල්ෂා එයට මැදිහත් වූ ආකාරය පෙළින් පෙළ ඔහුට පහදා දුන්නෙමි. තරහා පිටකර ගත හැකි මගක් නොවුණ මල්ලී දෑත් මිට මොලවමින් එය අසා උන්නේය. නමුත් දුලාජ් අයියා ආදරය කරන අනෙක් තැනැත්තිය මල්ෂා බව කීමට මගේ දිව නැමුණේ නැත. වියැකී තිබූ කඳුළු වැල් හිස ඔසවද්දි. මල්ලි ළංව මගේ හිස අතගෑවේය.

දුක හිතෙනවානං කියන්න එපා අක්කා..

මේ ටිකත් ඔයා දැනගෙන ඉන්න එක හොදයි මල්ලි.. ඔයා දන්නවද දුලාජ් අයියා කාටද ආදරේ කරන්න පටන් අරන් තියෙන්නෙ කියලා.. මල්ෂාට..

බැල්ලී.......

ඔහු නැගී උන් ආකාරයට මට බිය සිතුණි. මම දෑස් පියා මොහොතක් නිහඩව හිඳිද්දී මල්ලී කෙටි රෝහල් කාමරය පුරා එහෙ මෙහේ ඇවිදිමින් සිටියේය.

මල්ෂා දන්නවද ඔයා දුලාජ්ට ආදරය කළා කියලා. දුලාජ් ඒක දන්නවද..?

මං දෙන්නගෙන් කාටවත් ඒක කිව්වෙ නෑ මල්ලි. දැන් කියලා වැඩකුත් නෑ. එයාලා සතුටින් ඉඳපුවාවි..

මල්ලි කලබලයක් ඇති කරතැයි බිය සිතුණ බැවින් මම ඔහුට සැනසිලි වඳන් කීවෙමි. නමුත් මගේ සිත සනසා ගැනීමට සඟක් නොපෙනෙන මානයක් විය.

මලක් වගේ පිරිසිදු ඔයාව අතෑරලා දාලා ඌ යාළු වුණේ කොයි වගේ එකියක් එක්කද කියලා මං ඕකාට කියලා දෙන්නම්..

අනේ මල්ලි දැන් ආපහු ප්‍රශ්න ඇති කරගන්න එපා. මං හිත හදාගන්නං..

හිත හදාගන්නෙ කොහොමද අක්කා. දුලාජ් මල්ෂාට ආදරෙයි කියලා අහපු එක දවසට ඔයා ලෙඩ වුණා.. ඌව දවස ගානෙ අල්ලපු ගෙදර දී දැක දැක ඔයා කොහෙමද හිත හදාගන්නෙ..?

හෙදියක එන්නත් කටු රහිත තැටියක් රැගෙන කාමරයට ඇතුළු වද්දී අපේ කතාව නතර විය. හෙදිය මගේ බාහුවට එන්නත් අතුළු කරන විට මම දත් මිටි සපා ගත්තෙමි. මල්ලී එදෙස දුක්බර ලෙස බලා උන්නේය.

හවස ඔයාගෙ තව ටෙස්ට් එකක් කරන්න තියෙනවා. ඩොක්ටර් ඇවිත් විස්තරේ කියයි.

එසෙ පැවසූ හෙදිය මල්ලී දෙසද බලා සිනාසී යන්න ගියාය. තව මොහොතකින් මට වැසිලිකි යාමේ අවශ්‍යතාවක් ඇති විය. මම ඉන් බොහෝ අසීරුතාවකට පත්විමි. සේලයින් බෝතලය සවි කර ඇති නිසා වැසිකිළි යෑමට තවකෙකුගේ සහාය අවශ්‍ය ය. නමුත් මල්ලීට එය පැවසිය නොහැකි බව මම ඇඳේ ඉඳගෙන බලා සිටියෙමි.

ඇයි අක්කා..?

මල්ලි නර්ස් කෙනෙකුට එන්න කියන්නකො..

ඒ මොකටද..?

ඔහු මදෙස විපරමෙන් බලද්දී මම බිම බලා  ගතිමි.

මට ටොයිලට් යන්න ඕනි..

මගේ හඩ නිකුත් වුයේ බොහොම සෙමින් වන්නට ඇත. මල්ලී ළගටම පැමිණ මගේ නිකටින් අල්ලා එසවිය.

මොකටද නර්ස් කෙනෙක්..? මේ මං ඉන්නෙ.. මට ඔයා වෙනුවෙන් ඔය වගේ පොඩි දෙයක්වත් කරන්න බැරිද අක්කා..?

සේලයින් බෝතලය ආධාරයනේ ගලවා ගත් මල්ලී එය වමතට ගෙන දකුණතින් මා වත්කම් කර ගත්තේය. මම ඔහුට වාරු වී වැසිකිළියට ගියෙමි.

මං මේක අල්ලන් ඉන්නම් අක්කා.. දොර ලොක් කරන්න එපා.. ඕන වුණොත් මට කතා කරන්න..

එසේ කියූ ඔහු මා එනතුරු දොර ළග රැදී උන්නේය. මල්ලී ගැන අනුකම්පා සෙනෙහසක් සිතට තුරුළු වද්දී මම ඔහුගේ උදව්වෙන් නැතව ඇඳට නැගුනෙමි.

ඔයාට දුලාජ් නැති වුණාට දුක් වෙන්න එපා අක්කා.. මේ මල්ලි හැමදාම ඔයා ළඟ ඉන්නවා.. තේරුණාද....?

ඔහු කීෆව් මගෙ දෑස් දෙස සංවේදීව බලමිනි. ඒ දයාබර පිරිමිකම හමුවේ මම වික්ෂිප්තව බලා උන්නෙමි.



No comments:

Post a Comment