Thursday, July 12, 2012

| මීනු | ගයනා එස්. ලක්මාලි |







එක දිගට ඇද හැළෙන ධාරාණිපාත වර්ශාව දෙස මා නෙත් නොසලා බලා උන්නෙමි. ඉඳහිට පුපුරන අකුණක රිදී පැහැ ආලෝකයෙන් කාමරය ආලෝකමත් වේ. පෙර දිනයක දී නම් මෙසේ අකුණු පුපුරා වැසි වසිනවාට මා බිය ය. නමුත් එදවස මෙන් මා ළග ඉන්නට, තුරුලට ගෙන සනසන්නට අයකු නොමැති බැව් සිත දන්නා නිසාදෝ බියක් දැනුණේ නැත. සුළගේ සීතල විද ගැනීමට අවැසි නිසා මා ජනෙල් පියන් මුළුමනින්ම ඇර දැමුවෙමි. එසැනින් ගලා ආ සීතල සුළග ජනෙල් රෙදි දසත විසුරුවමින් කාමරය පුරා හමා ගියේය.


“දෝණි ඇයි මේ වැස්සෙ ජනේලුත් ඇරගෙන.?”

ඒ ගැඹුරු හඩ තාත්තාගේ යැයි සැකයෙන් මම ක්ෂණිකව හැරී බැලුවෙමි. නොවේ, ඒ උන්නේ ලොකු මාමාය. තාත්තා සිහි වූ විගස මගේ දෙනෙත් මටත් හොරා කදුළු පුරවා ගත්හ.

“තාම හිත හදාගත්තෙ නැද්ද දෝණි.?”

ඔවුන්ගේ විසල් සෙනෙහස හදවතට කැන්දාගෙන ආවේ කුමක්දෝ බරකි. නමුත් මා වෙනසක් නොපෙන්වා උන්නෙමි.

“මෙතන තනියෙම ඉන්න එපා. ඔයත් යමු පහළට.”

ජනෙල් පියන්පත් වසා දැමූ ඔහු මගේ අතින් අල්ලා ඉස්සර විය. නැන්දා, රුවන් මල්ලී සමග සැටියේ වාඩි වී අප එන මග බලා උන්හ.

“ඔහොම මුළු ගැන්විලා ඉන්න එපා දූ. ඔයත් දැන් අපේ පවුලෙම කෙනෙක්. අපි ඔයාගෙ අම්මයි, තාත්තයි කියලා හිතන්න. මේ ඔයාගෙම මල්ලි කියලා හිතන්න.”

මගේ අත ගෙන ළගින් හිදුවා ගත් රූපිකා නැන්දා ඉතා දයාබරව කරුණු පැහැදිලි කරන්නට විය. ඔවුන් කෙසේ කීවත් මගේ තාත්තාට හිමි තැන කිසිදා වෙනකෙකුට ගත හැකි නොවේ. කවදත් මගේ ලෝකයේ වීරයා වූ ඒ පරමාදර්ශී චරිතය මේ වන විට මා හැර ලොවින් සමුගෙන ඇත. නෙත් පියල්ලේ ශේෂ වී තිබූ කදුළක් මා බලා උන් නැන්දාගේ රුව බොද කර දැම්මේ ය.

“දෝණිට කවදද සහතික ප්‍රදානෝත්සවයට යන්න තියෙන්නෙ.?”

මට මුළුමනින්ම අමතකව තිබූ කරුණක් නැන්දා සිහිපත් කළාය. වසර දෙකක් පුරාවට හැදෑරූ ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමාව සැබැවින්ම මගේ සිහිනයේ නොවූතරම්ය. මම කැලැන්ඩරය දිහා බලා සිතින් දින ගැන්නෙමි.

“අනිද්දා හවසට.”

“ඉතින් දූට සාරියක් තියෙනවයෑ.?”

“එකක් තියෙනවා. ඒක අදින්න පුළුවන්.”

නැන්දා තවත් මොහොතක් මා දෙස බලා උන්නාය.

“අපි හවසට ගිහින් එකක් ගමු.”

“එපා නැන්දා. ඒක හොදයි.”

“කමක් නෑ. මම අරන් දෙන්නම්. සාර් බ්ලවුස් එකත් මං හෙට මහලා දෙන්නම්කො.”

ඔවුන් මා ගැන අනවශ්‍ය ලෙස වද වෙතැයි මට සිතුණි. ඉතින් ඇගේ කැමැත්තට ඉඩ දී මා තව කිසිවක් නොදොඩා උනිමි. මහ වැස්ස මදක් අඩු වී ගත් නිසා මා නැවතත් ඔවුන්ගෙන් මිදී කාමරයට ආවෙමි. එහි ඇතුළත වූ සීතල ගතිය තවමත් එහෙමමය.

ඇදේ පෙරළීගත් මට අහේතුකව අම්මා සිහියට නැගුණි. ඈ පෙර දවස මට කොතරම් ආදරය කළාද.? නමුත් ඒ සියල්ල වෙනස් වී ගියේ අප කිසිවකුටත් සිතාගත නොහැකි පරිද්දෙනි. ඈ මට පමණක් නොව ඇගේ දයාබර සැමියා වූ මගේ අහිංසක පියාටද වෙනස්කම් කිරීමට පටන් ගත්තාය. එහි අවසන් ප්‍රතිඵලය මෙසේ සිදු වෙතැයි අම්මා වුව නොසිතන්නට ඇත. අද.. මේ මොහොත වන විට හදිසි හෘදයාබාදයකට ගොදුරු වූ පියා සැනසුම සොයා ජීවිතයෙන් සමුගෙන ගොසිනි. වෙනතක බැදුණු අම්මා දුරු රටකට ඉගිලී ගොසිනි. ජීවිතයේ තනි වූ මා අම්මාගේ ලොකු මල්ලීගේ සෙවනේ කල් ගෙවයි. වරද කාගේ වුවද ඒ වරදට දඩුවම් ලබා ඇත්තේ අප තිදෙනාමය. නමුත් මසිත වඩාත් දුක් ගත්තේ මගේ තාත්තා පිළිබදවය.

“ඇයි අක්කා මේ...?”

රුවන් මල්ලී කාමරයේ දොරෙන් කර පොවා විමසිය. මම ප්‍රශ්නාර්ථයක් රැදුණු දෑසින් ඔහු දෙස බැලුවෙමි. මොහොතක් දෙකක් මදෙස එක එල්ලේ බලා උන් ඔහු පැමිණ මගේ ඇද පසෙකින් ඉද ගත්තේය.

“ඇයි හැම වෙලාවෙම ඉබ්බා කටුව අස්සෙ රිංගනවා වගේ කාමරේට වෙලා ඉන්නෙ.?”

“මට තනියෙම ඉන්න ඕන මල්ලි.”

“ඔයාව තනි කරන්න ඕනෙනං අපි මෙහෙ ගේන්නෙ නෑනෙ අක්කෙ. මේ බලන්න.. අම්මා කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නෙ. ඔයා දැන් අපේ පවුලෙ කෙනෙක්.”

මා මෘදුව සිනාසුනා පමණි. මල්ලී මහිස අතගා කාමරයෙන් නික්ම ගියේය.

ඉදින් එදින සවස නැන්දාගේ බලකිරීම මත ඈ සමග ටවුමට ගොස් සාරියක් ගෙන ඒමට මට සිදුවිය. අකමැත්තෙන් වුව යෑමට සිදු වූයේ ඇගේ සිත නොරිදවීම යුතුකමක් වූ හෙයිනි.

“මේක දෝණිට ලස්සනට තියෙයි. මං කැන්ඩියන් එකකට හරියන්න බෝරිච්චි කරපු බ්ලවුස් එකකුත් මහලා දෙන්නම්කො.”

“නැන්දා මං නිසා කරදර වෙනවා.”

“මොන කරදරයක්ද ළමයො... ඒ කාලෙ ඉදලම මං ආසාවෙන් උන්නෙ දුවෙකුට. ඒත් මට දෙයියො දුන්නෙ පුතෙක්.”

“ඉතින් නැන්දට දුවෙකුත් හදාගන්න තිබුණනේ.”

“හදාගන්න තිබුණා මං අසනීප නූනානං...”

“නැන්දා..?”

ඒ දෑසි කදුළු පටලයකි. නොමනා කතාවක් ඇද ඇගේ සිත රිදවීම ගැන මා කණගාටු වුණෙමි.

“ඔව් දෝණි, චූටි පුතා හම්බ වුණාට පස්සෙ මං සෑහෙන්න ලෙඩ වුණා. ඩොක්ටර්ස්ලා කිව්වා මට වෙන දරුවො හදන්න එපා කියලා. එදා ඉදලා මං බලාගෙන උන්නේ අපේ කොල්ලා ලොකු වෙනකල්.”

“ඒ ඇයි...?”

“ඇයි ඉතින් එයා කවදහරි මේ ගෙදරට දුවෙක් ගෙනාවම මට ඉබේම දුවෙක් ලැබෙනවනේ..”

සෑම අම්මා කෙනෙක්ම තම ලේලිය දුවක ලෙස දකින්නේ නම් ලෝකය කොතරම් සුන්දර වේදැයි මට මොහොතකට සිතුණි. ඒ අතින් ගත් කල නැන්දා උතුම් අදහස් ඇති ගැහැණියකි.

“රුවන් මල්ලිට තාම..”

“චූටි පුතාට තාම කවුරුත් නෑ.. මං හිතන්නෙ හිටියා නම් මට නොකියා ඉන්නෙ නෑ. අනික තාම වයසත් අවුරුදු විස්සයිනෙ.”

“මල්ලි හොද කෙනෙක් ගෙනාවොත් නැන්දට හොදයි.”

“අපොයි ඔව්, මාත් මේ බයේ ඉන්නෙ සක්කර වට්ටමක් කරගහ ගනීද කියලා..”

“මල්ලිට හොද මොලයක් තියෙනවා නැන්දා. එයා ඒව ගේ කෙනෙක්ට කැමති වෙන්නෙ නෑ.”

“මං කැමතියි දෝණි වගේ අහිංසක ලස්සන කෙල්ලෙක්ව ගේනවා නම්.”

ඇගේ එම කතාවෙන් මසිත තිගැස්සී ගියේය. මා වැනි යුවතියක කීවේ මගේ ගතිගුණ ඇත්තියක මිස මා නොවන්නට ඇත. රුවන් මල්ලී මට වඩා දෙවසරකට පමණ බාලය.

“ඇයි දූ කතාව නැවැත්තුවෙ..?”

මගේ වෙනස ඈ වටහා ගත්තාය. නමුදු මා මුනිවත රැකිමි.

“දෝණිට කවුරුත් පිරිමි ළමයෙක් නැද්ද...?”

ඈ එය ඇසුවේ මා දෙසට එබීගෙන ය. මම නොබියව ඒ දෑස් දෙස බලා උනිමි.

“නෑ නැන්දා.. ඇත්තටම මං ආදරේට බයයි.”

“දෝණි...?”

“ඔව් නැන්දා, අපේ අම්මයි තාත්තයි කොච්චර ආදරේ කරලා බැදපු දෙන්නෙක්ද..? මං පුංචි කාලෙත්... ඒ කිව්වෙ මට අවුරුදු දහතුනක්, දාහතරක් යනකලුත් එයාලා ආදරෙන් හිටියනේ.. ඒත්......”

“ඔය ගැන අපි පස්සෙ වෙලාවක නිවාඩුපාඩුවෙ කතා කරමු. ඒත් ආදරේට බය වෙන්න එපා.”

අපි නිවස පෙනෙන තෙක් මානයට පැමිණි නිසා ඇය කතාව නතර කළාය. මම ඇදුම් බෑගය ද රැගෙන නිහඩව ඈ පසුකර ගියෙමි.

“මෙච්චර වෙලා කියව කියව ඇවිත් මාව දැක්ක ගමන් කටවල් වහගත්තා නේද.?”

රුවන් මල්ලී දොරකඩ සිට මා යන මග හරස් කළේය.

“අපි කියව කියව ආවෙ ඔයාගෙ ගෑනු ළමයා ගැන තමයි...”

“මගේ.. මේ මගේ.. ගෑනු ළමයා...?”

“නැතුව මගේයෑ..”

අම්මගේ හා පුතාගේ සුන්දර හැසිරීම් දෙස මා පසෙක සිට බලා උන්නෙමි. මල්ලී පසුපසින් ගොස් නැන්දාගේ ගෙළ වටා දෑත් යවා ඔහුගේ මුහුණ නැන්දාගේ මුහුණට හේත්තු කර ගත්තේය. මට මගේ අම්මාව සිහි වී දෙනෙතට කදුළු නැගිණ. අප අතර කිසිදා මෙවන් දයාබර හැගීමක් තිබුණේ නැත. මා යුවතියක වූ දා සිට අම්මාත්, මමත් කුමක්දෝ විකර්ශනයකට බදුන් විය.

“මට කෙල්ලෙක් ඉන්නවා නං මං ඒක මේ ලෝකෙ මුලින්ම කියන්නෙ ඔයාටනේ. මගේ අම්මා තාම ඒකවත් දන්නෙ නැද්ද.?”

මල්ලීගේ හඩට මා පියවි සිහියට පැමිණියෙමි. ඔහු නැන්දා සමග හුරතල් වෙයි.

“චූටි පුතා කැමති කොයි වගේ කෙල්ලෙක්ටද.....?”

“මේ මීනු අක්කා වගේ කෙල්ලෙක්ට..”

අම්මාගේ මුවින් පිට වූ වදන් ඒ අයුරින්ම පුතාගේද මුවින් පිටවද්දී මසිත නැවත වරක් තිගැස්සී ගියේය. මගේ මුහුණ දුටු නැන්දා හඩනගා සිනාසුණා ය.

“මේ කෙල්ලව බය කරන්න එපා පුතා..”

රුවන් මල්ලීට සියුම් පහරක් ගැසූ නැන්දා ගෙතුළට ගියාය. මම ද ඒ අවසරයෙන් කාමරය තුළට රිංගා ගතිමි. ඇදුම් බෑගය මේසය මත තබා හැරී බලද්දී රුවන් මල්ලී උන්නේ මා අභියසය.

“හලෝ මේ.. පොඩි බඩුවක් කියන්න ආවෙ..”

“මොකක්ද....?”

“මොන කතාවද මල්ලි..?”

“මං කැමති ඔයා වගේ කෙල්ලෙක්ට.”

“මට නංගිලා නෑනෙ ඉතිං. හිටියත් එයා මං වගේ වේවිද කවුද දන්නෙ...?”

“මැට්ටි...”

මගේ හිසට ටොක්කක් ඇණ ඔහු කාමරයෙන් නික්ම ගියේය. මම අසරණව බලා උන්නෙමි.



No comments:

Post a Comment