Friday, June 22, 2012

| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර |






මහනුවර රෝහලට රැගෙන ආ මායා වෛද්‍යවරුන් විසින් කඩිනමින් පරික්ෂා කළේ තව තවත් ප්‍රමාද වීමෙන් ඇයගේ ජීවිතයට අනතුරක් වන්නට ඉඩකඩ පැවති නිසාය.. වෛද්‍යවරුන් විසින් මායා ඉස්කෑනින් රූම් එකට රැගෙන යනු ලැබුවේ ඇයගේ උදරය අභ්‍යන්තය පරික්ෂා කිරීම සදහාය.. පැයක පමණ හෝරාවකින් අනතුරුව වෛද්‍යවරුන් ඉස්කෑනින් රූම් එක තුළින් ඉවතට පිවිසියේ වැදගත් කාරණයක් පැවසීමට බව ඔහුගේ මුවින් විද්‍යමාන විය..

මේ පේෂන් ඔයාලගෙ නෑදෑයෙක් එහෙම වෙනවද..? එළියට පැමිණි වෛද්‍යවරයා ඉස්කෑනින් රූම් එක දෙසට අත දිගු කරමින් ඇසුවේය..


නැහැ ඩොක්ටර්.. එයා අපේ යාළුවෙක්.. එයාට මොකද වෙලා තියෙන්නෙ..? තුෂාරි මායාට කිසිම අනතුරක් නැතැයි යන පිළිතුර බලාපොරොත්තුවෙන් වෛද්‍යවරයාගෙන් ඇසීය..

මේකයි.. වෙලාවෙ හැටියට මේක ඔයාලට කියන්න ම වෙනවා.. නැත්නම් එයාගෙ ජීවිතයට.. කියමින් වෛද්‍යවරයා විසින් පැවසීමට ගිය දෙය නතර කළේ සනිරු මැදිහත් වූ නිසාය..

ඇයි ඩොක්ටර්..? මායාට මොකද වෙලා තියෙන්නෙ..? ප්ලීස් ඩොක්ටර් කියන්න.. ප්ලීස්.. වෛද්‍යවරයාගේ දෑත අල්ලා ගනිමින් සනිරු මායාගේ තත්වය විමසුවේය..

සනිරු පොඩ්ඩක් ඉවසපං මචං.. බයවෙන්න දෙයක් නෑ.. ඩොක්ටර්ස්ලා ඉන්නවනේ.. අනික මායාට මොකුත්ම වෙන්නෙ නෑ.. සනිරුගේ කැළඹිලිසහගත සිත මදකට හෝ සනසන්නට ප්‍රදීප් උත්සාහ දැරුවේ වෛද්‍යවරුන්ට එය බාධාවක් වන හෙයිනි..

ඩොක්ටර්.. අපිට සමාවෙන්න..

ඒකට කමක් නෑ..

එයාට ඔපරේෂන් එකක් කරන්න වෙනවා.. හැබැයි ඒක කරන්න නම් ළගම නෑදෑයෙක් මේ පේපස් වලට අත්සන් කරන්න ඕන.. ඉතින්.. පුළුවන් ඉක්මණට එයාගෙ දෙමාපියන්ට මේ ගැන දැනුම් දෙන්න.. ප්ලීස්.. ඔයාලා විනාඩියක්වත් අපතෙ යව්නන එපා.. මොකද ඒක පේෂන්ගෙ ජීවිතයට බලපාන්න පුලුවන්.. වෛද්‍යවරයා අතැතිව තිබුණු ලියකියවිලි පෙන්වමින් ඔවුන්ට පැවසුවේය..

වෛද්‍යවරයා නැවත මායා සිටි කාමරයට ගිය අතර තුෂාරි මේ ගැන මායාගේ දෙමාපියන්ට පැවසීමට බිය වූයේ ඇයගේ පියා රෝහලට පැමිණ සනිරුත් සමග ආරවුලක් ඇති වීමට තුඩු දෙතැයි යන සංශය තම සිතට දැඩිව දැණුනු හෙයිනි.. ජයවර්ධනගේ සිතෙහි සනිරු කෙරෙහි ඇති අප්‍රමාණ වූ වෛරයක් කෝපයක් ඇති බැව් තුෂාරි හොදාකාරවම දන්නීය.. කිසි දිනක සනිරු කවුරුන් ද යන්න නොදැක උන් ජයවර්ධන හට ඔහු හැදින ගැනීමට මේ මොහොත කදිම අවස්ථාවක් වන බව තුෂාරිට හැගුණි.. එහෙත් මායාගේ ජීවිතය ජීවත් කරවීමට ඇයගේ දෙමාපියන් කැදවිය යුතුම බවද තුෂාරි දන්නීය.. ඇය දන්නීය.. ඇය අවසානයේ තීරණයකට එළඹිය.. ඇය මායාගේ ජීවිතය වෙනුවෙන් සනිරුගේ ජීවිතය වෙනුවෙන් එසේත් නැත්නම් දෙදෙනාගේම ජීවිත වෙනුවෙන් කෙසේ හෝ මෙය මායාගේ දෙමාපියන්ට පැවසීමට තීරණය කළේය..

වසන්තිකා.. ඔයාගෙ ෆෝන් එක ඉක්මනට දෙන්න.. මායාගේ ගෙදර නම්බර් එක තියෙනවා නේද..?

ඔව්.. ඔව්.. තියෙනවා.. සනිරු සමීපයේ සිටි වසන්තිකා තම ජංගම දුරකථනය තුෂාරි අතට දිගු කරමින් පැවසීය..

තුෂාරි.. ඉක්මනට මායාගෙ තාත්තාට කතා කරලා මේ ගැන කියන්න.. මායාගේ පියා තමාට අප්‍රමාණ ලෙස වෛර කරන බව දැන දැනත් ඇයගේ ජීවිතය වෙනුවෙන් තමා ගැන නොසිතා ජයවර්ධන හට කතා කරන්නට සනිරු පැවසුවේය..

රින්ස් යනවා.. රින්ස් යනවා.. තුෂාරි දුරකථනය කනෙහි තබා ගනිමින් පැවසීය..

හලෝ අංකල්.. මම තුෂාරි කතා කරන්නෙ.. අංකල්.. තුෂාරි ඒ ගැන එක වරම පවසන්නට තරම් ශක්තියක් නොවීය..

ආ.. තුෂාරි දුව.. මේ පාන්දරම..? මායා තවම නිදිද..? ජයවර්ධන සුහදශීලීව කතා කළේය..

අංකල් පොඩි ප්‍රශ්නයක්.. පුළුවන් තරම් ඉක්මනට නුවර හොස්පිටල් එකට එන්න.. අනේ පරක්කු වෙන්න නම් එපා..

නුවර හොස්පිට්ල් එකට..? ඔයාලා ගියේ නුවරඑළියෙ නේද..? ඇයි මායාට මොකද වුණේ..? තුෂාරි පැවසූ දෙයින් කුමක් හෝ දරුණු දෙයක් සිදුවී ඇතැයි සිතූ ජයවර්ධන මදක් කලබල වී ඇසුවේය..

අංකල් මොකුත් කිය කිය ඉන්න වෙලාවක් නෑ.. ඉක්මණට එන්න.. ඇන්ටිත් එක්ක එන්න.. තුෂාරි දුරකථනය විසන්ධි කළේ තව තවත් පරක්කු වීමෙන් මායාගේ ජීවිතයට යම් බලපෑමක් සිදුවිය හැකි නිසාවෙනි..

මායාගේ දෙමාපියන් ඉක්මනින් පැමිණීම අපේක්ෂාවේන බලා උන් සියලු දෙනාම මායා හට කුමක් වේද නොවේද යන්න පිළිබදව චණ්ඩ මාරුතයකට හසු වූ කුරුලු පිහාටුවක් මෙන් කැළඹිලි සහගතව එකිනෙකාගේ මුහුණ දෙස බලමින් උන්නාහ..

රකිත සිරගතවීම සම්බන්ධයෙන් ජයවර්ධන තුළ ද වූවේ සනිරු කෙරෙහි අමතක කළ නොහැකි තරමේ වෛරයකි.. කෝපයකි.. එය ඔහු තුළ මොහොතින් මොහොත ඇවිළෙමින් පවතින්නේය.. එබැවින් සනිරුගේ අවාසනාවකටවත් මායාගේ පියා ඔහු හදුනා ගතහොත් ජයවර්ධනගේ කෝපය ඇතැම් විට සනිරුගේ ජීවිතයෙන් කෙළවර වන්නට ඉඩ ඇතැයි සිතූ ප්‍රදීප් ඔහුගෙන් මගහැර ඉන්නට සනිරු හට ප්‍රකාශ කළේය..

සනිරු, මේ අහපං.. මායාගෙ තාත්තා ආවාහම උඹ එයාට පේන්නෙ නැති වෙන්න හිටපං.. උඹව දැක්කොත් මොනවයින් මොනවා වෙයිද දන්නෙ නෑ..

මොනවා වෙන්නද ප්‍රදීප්..? ඕනෙ නම් මට චණ්ඩිකම් පෙන්නයි.. අනික කවදා වෙනකම් මං හැංගිලා ඉන්නද..? සනිරු තම දෑත මිටි කොට බිත්තියට ගසමින් කීවේය..

සනිරු.. මේ වෙලාවෙ හැටියට පොඩ්ඩක් හිතපං, ආයෙමත් උඹට මොනාව හරි වුණොත් මායාට මොනවා වෙයිද..? මායා ගැන හිතපං..

දන්නවනේ.. මායා උඹ ගැන ඕනවටත් වැඩිය හිතනවා කියලා.. ඉතින් ඒකිට තවත් දුකක් දෙන්න එපා මචං..

මට තේරෙනවා මචං.. උඹ කියන දේ.. මම කොහොම හරි මායාගෙ තාත්තා මග ඇරලා ඉන්නම්.. මට මගේ මායාගෙ ජීවිතය මේ හැම දේකටම වඩා වටිනවා..

තමන් වෙතට පැමිණි හෙදියක එක්ස්කියුස්මී, ඔයාලගෙන් සනිරු කියන්නෙ කවුද..? ඇතුලෙ ඉන්න පේෂන් එයාට කතා කරනවා යැයි පැවසීය..

බිත්තියට ඔලුව තබා ගනිමින් සිටි සනිරුට හෙදිය පැවසූ දෙය තම දෙසවනෙහි වැදෙත්ම දෑසෙහි වූ කදුළු පිස දමා ගනිමින් මායා සිටි කාමරයට යන්නට සැරසුණේය.. මායා සමීපයට ගිය පසුව ඇය කුමන ප්‍රශ්නයක් අසයිද ඒවාට කුමනාකාරයේ පිළීතුරක් දෙන්නට තමාට හැකි වේද යන්න සම්බන්දයෙන් සනිරු තුළ යම් පසුබෑමක් ඇති විය.. එහෙත් තම පසුබෑම පසෙක දමා මායා වෙතට යාමට සනිරුට දැඩි සේ සිත් විය..

සනිරු ඉක්මණට එන්න.. දැන් මායාගෙ තාත්තා එහමෙත් එනවා ඇති.. නසිරු ළගට දිව ගිය තුෂාරි පැවසීය..

තුෂාරිට කිසිත් නොපැවසූ සනිරු නිහඩවම මායා සිටි කාමරය දෙසට ඇදුණේය..

මායාට ශල්‍යකර්මයක් කරන බව පැවසුවහොත් නිසැකයෙන්ම ඇයගේ සිත කැළඹීමට පත් වන බැව් දැන් සනිරු කාමරයේ දොර එකවරම විවෘත නොකර ටිකෙන් ටික විවර කළේ මායා ඇදෙහි වැතිර සිටින ආකාරය තම දෑසට එක වරම බලන්නට තරම් ධෛර්යයක් නොතිබුණු නිසාය.. එබැවින් ස්වල්ප වේලාවක් සනිරු දොර අභියසට වී සිටියේය..

ඇයි සනිරු.. ඔයා ඔතන ඉන්නෙ..? මගේ ළගට එන්න.. මට බයයි සනිරු.. ඇදෙහි වැතිර සිටි මායා නැගිටින්නට වෙර දරමින් පැවසීය..

මායා නැගිටින්න එපා.. ඔහොම ඉන්න.. මායා ළගට පැමිණි සනිරු නැවත ඇයව ඇදෙහි දිගා කරමින් ප්‍රකාශ කළේය..

ඇයි සනිරු ඔයා දොර ළගට වෙලා හිටියෙ..?

නෑ.. මායා මම දොර ළගට වෙලා හිටියෙ නෑ..

බොරු කියන්න එපා සනිරු.. මම දැක්කා ඔයා ඉන්නවා..

හරි.. හරි.. ඒකට කමක් නෑ..

සනිරු දොර ළගට වී සිටි බවට හේතු සාධක දැන ගැනීමට මායාට අනවශ්‍යය විය.. සත්තකටම සනිරු දොර ළගට වී සිටියේ මයාගේ වේදනාත්මක මුවෙහි ස්වරූපය දැකීමට තම දෑසට නොහැකි බැවිණි..

අනේ සනිරු.. මගේ බඩ.. මායා එකපාරටම කෑ ගසන්නට විය..

ඇයි මායා ඔයාට අමාරුද..? පොඩ්ඩක් ඉන්න.. මම ඩොක්ටර්ට කියන්නම්..

එපා.. එපා සනිරු.. එකපාරටම මෙහෙම වෙනවා.. ඔයා.. ඔයා මගේ ළගට වෙලා ඉන්න මගේ සනිරු.. ඇය වේදනාව සගවාගෙන පැවසීය..

මගේ රත්තරන්.. ඔයාට කොච්චර වේදනාවක් තියෙනවද කියලා ඔයාගෙ ඇස් දෙකෙන් මට පේනවා.. ඒ වේදනාව මගෙන් ඔයාට හංගන්න බෑ මායා..

ඔයා අඩනවද සනිරු..? අනේ!! අඩන්න එපා.. ඔහුගේ දෑත තම දෑතින් වෙළා ගනිමින් මායාද හැඩුම් මුසුව පැවසීය..

මම අඩන්නෙ නෑ මායා.. මේ කදුළු එන්නෙ ඉබේටම.. මගේ හදවත ගලක් කර ගන්න හැදුවත් ඔයා මෙහෙම ඉන්නකොට මට දරා ගන්න බෑ මායා.. සනිරුගේ කම්මුල් දෑල මතින් කදුළු බිදු නොනැවතී කඩා හැලුණි..

සනිරු.. මට හැමදාටම ඔයාගෙ වෙලා ඉන්න බැරි වෙයි ද..? මට මොනාව හරි වුණොත්..

මායා මොනවද මේ ඔයා කියවන්නෙ..? පිස්සුද..? එහෙම මොනවා හරි වුණොත් මගේ ජීවිතයත් ඒත් එක්කම අවසන් වෙයි.. ඔයා නැතුව මේ ලෝකයේ මට ජීවත් වෙන්න බෑ මායා..

මායාගේ ප්‍රකාශයෙන් සනිරුගේ සප්‍රාණික හදවත අප්‍රාණික විය.. සුසුම් හෙළන්නට බැරිව සිර විය.. ඉහළට ගත් සුසුම් පොද පහළට හෙළන්නට තරම් ශක්තියක් නොවීය.. රුධිර ගමනාගමනය නතර වූවාක් මෙන් දැනෙන්නට විය..

ආ.. මායා දැන් ඔයාගෙ තාත්තා එහෙමත් එනවා ඇති..

ඇයි සනිරු ඔයාලා ගෙදරට කිව්වෙ..? අනික තාත්තා ඔයාව අදුන ගත්තොත්.. දන්නවනෙ එයාගෙ හැටි..?

ඔව් මායා මම දන්නවා.. ඒත්.. ඒත් ඔයාගෙ ගෙදරට කියන්නම වුණා.. බයවෙන්න එපා.. ඔයාට මොකුත් වෙන්නෙ නෑ මායා.. සනිරු මායාගේ නළලත තම දෙතොලින් සිපගෙන පැවසුවේය..

ඇයි සනිරු කියන්න වුණා කිව්වෙ..? මායා ප්‍රශ්න කරන්නට විය..

මේකයි.. මායා ඔයා හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරපු එක ගෙදරට නොකියා ඉන්න එක හරි නෑනෙ.. ඒකයි කිව්වෙ.. සනිරුගේ මුවට ආ බොරුව කීවේය..

ඩොක්ටර්ස්ලා මොනවද කියන්නෙ සනිරු..? මාව ස්කෑනිං හිටන් කරා.. මට මොකුත්ම කිව්වෙ නෑ..

ම්.. තව ටෙස්ට් වගයක් කරන්න තියෙනවා කිව්වා.. මම හිතන්නෙ.. ඊඪට පස්සෙ මොනවා හරි කියයි.. ශල්‍යකර්මයක් කරන බව නිකමටවත් ඇයට හැග වූවේ නැත..

මායා මම දැන් එළියට යන්නම්.. දැන් තාත්තා එනවා ඇති..

එළියට ගියාට යන්න එපා සනිරු..

මම කොහෙවත් යන්නෙ නෑ පැටියො.. ඔයාට හොද වෙනකම්ම මම ඔයාගෙ ළගමයි ඉන්නෙ..

සනිරු දොර සමීපයට විත් නැවත මායා දෙස බලා එළියට යන්නට විය..

අම්මෝ.. ඇති යන්තම් සනිරු එළියට ආවා.. එළියට පැමිණි සනිරු දුටු වසන්තිකා පැවසීය..

මම හිතුවෙ ඔයා මායාගෙ තාත්තා ආවට පස්සෙ එයි කියලා.. තුෂාරිත් ඉක්මන් වචනයෙන් කීවාය..

මට මායා ළගින් එන්න හිතක් නෑ තුෂාරි.. ඇත්තටම මායා නැතුව මගේ ජීළුිතය හරියට හබලක් නැති ඔරුවක් වගෙයි.. මට ඒක හොදට දැනෙනවා තුෂාරි..

ඔයාගෙ හිත පුළුවන් තරම් ශක්තිමත් කරගන්නන උත්සාහ කරන්න සනිරු.. එහෙම නොවුනොත් මායාගෙ හිත තවත් කඩා වැටෙන්න පුළුවන්..

අනික අපි මායාට මොනවද වෙලා තියෙන්නෙ කියලා තවම දන්නෙත් නෑනෙ..

ඔව් තුෂාරි.. ඔයා කියන දේ හරි..

මායාගේ දෙමාපියන් පැමිණෙන තුරු සියලු දෙනාම නොඉවසිල්ලෙන් බලා උන්නාය.. පැයක පමණ හෝරාවක් ගෙවී යාමෙන් අනතුරුව මායාගේ දෙමාපියන් රෝහලට පැමිණියහ.. ඔවුන් තවත් හෙදියක්ද සමග තුෂාරි සහ අනෙකුත් අය සිටි තැනට ඉක්මන් ගමනින් ආහ..

තුෂාරි.. තුෂාරි.. අර එන්නෙ මායාගෙ තාත්තද..? කොරිඩෝවේ කෙළවරින් පැමිණෙන උස මහත පුද්ගලයා පෙන්වමින් චතුර ඇසුවේය..

ඔව්.. ඔව්.. එයාලා තමයි.. සනිරු ඔයා වැඩිය නෝට් වේනනෙ නැතුව ඉන්න.. තමන් දෙසට ඉක්මන් ගමනින් පැමිණෙන ඔවුන් දෙස බැලූ තුෂාරි සනිරු දෙස බලා පැවසුවේය..

තුෂාරි දුවේ මොකක්ද ප්‍රශ්නෙ..? කෝ අපේ මායා..? එයාට මොකද..? මායාගේ අම්මා බිම බලා උන් තුෂාරිගෙන් විමසීය..

තුෂාරි කිසිත් නොපැවසුවාය..

ඇයි මායාට මොකද වුණේ කියන්නකො දුව.. ඉන්ද්‍රාණි ඇස් දෙකෙහි කිසියම් වූ භිතියක් රදවා ගනිමින් ඇසීය..

ඇයි තුෂාරි.. මොකුත් නොකියන්නෙ..? ජයවර්ධනගේ කටහඩ අවදි වූයේය..

අංකල්.. මායාට එකපාරටම.. තුෂාරි පැවසීමට ගිය දෙය නතර කළේ වෛද්‍යවරයා එතැනට පැමිණිමත් සමගය..

ඔයාලද මායාගෙ දෙමාපියන්..? වෛද්‍යවරයා ඔවුන් දෙස බලමින් ඇසුවේය..

ඔව් ඩොක්ටර්.. අපි තමයි මායාගේ දෙමාපියන්.. එයාට මොකද වෙලා තියෙන්නෙ..? කරුණාකරලා අපිට කියන්න ඩොක්ටර්.. මායාගේ දෙමාපියන් බැගෑපත් වන්නට විය..

කරුණාකරලා ඔයාලා මගෙත් එක්ක එන්න.. වෛද්‍යවරයා මායාගේ දෙමාපියන් ඔහුගේ කාමරයට රැගෙන ගියේය..

ඩොක්ටර්, දැන්වත් කියන්න මායාට මොකද වෙලා තියේනනෙ කියලා..? වෛද්‍යවරයා ඉදිරියේ පුටුවෙහි වාඩි වූ ජයවර්ධන ඇසුවේය..

ඇත්තටම මම මේ කියන්න යන දේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කොහොමවත් දරාගන්න බෑ.. ඒත් මායාගෙ ජීවිතය වෙනුවෙන් කියන්නම වෙනවා.. වෛද්‍යවරයා හිස පහත් කර ගනිමින් පැවසුවේය..

අනේ! ඩොක්ටර්.. මගේ දුවට ඒ තරම් අමාරු වෙන්න මොනවද වෙලා තියෙන්නෙ..? ඉන්ද්‍රාණි හැඩුම් මුසුව ඇසීය..

ඔව්.. ඩොක්ටර්, අපේ මායාට මොකක්ද තියෙන ලෙඩේ..? අපි දැනුවත්ව නම් මායාට කිසිම ලෙඩක් තිබුණෙ නෑ.. ජයවර්ධන පැවසුවේය..

වෙන්න පුළුවන් මිස්ටර් ජයවර්ධන.. බාහිරට නොපෙනෙන කිසිම ලෙඩක් මායාට නොතිබෙන්න ඇති.. ඒත්.. ඇග ඇතුළෙන් ලෙඩක් තිබිලා තියෙනවා..

මේ.. මොනවද ඩොක්ටර් කියන්නෙ..? අපිට කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.. පුටුවෙහි වාඩි වී සිටි ජයවර්ධන ඉන් නැගිට පැවසුවේය..

හර්.. මම තවත් ප්‍රමාද කරන්නෙ නැතුව මායාට වෙලා තියෙන දේ කියන්නම්.. හැබැයි ඔයාලා කලබල වෙන්න එපා..

මේකයි අම්මෙ.. මායාගේ ගර්භාසයේ (වූම් - Woom) ගෙඩියක් තියෙනවා.. ඒක දැන් හොදටම මෝරලයි තියෙන්නෙ.. 

මේ මොනවද ඩොක්ටර් කියන්නෙ..? වික්ෂේපයට පත් වූ ඉන්ද්‍රාණි වෙව්ළමින් ඇසීය..

ඔව් අම්මෙ.. ඉක්මණටම ඔපරේෂන් එක්ක කරලා ඒක අයින් කරන්න වෙනවා.. වෛද්‍යවරයා හිද සිටි පුටුවෙන් නැගිට තම දකුණත මේසය මත තබා ගනිමින් පැවසුවේය..

ඉතින් ඩොක්ටර්.. ඔපරේෂන් එක ඉක්මනට කරන්න.. සල්ලි ගැන වද වෙන්න එපා.. මට මගේ දුව වෙනුවෙන් ඕන තරම් වියදම් කරන්න පුලුවන්.. ගලක් වගේ හිතක් තිබෙන ජයවර්ධන මුදලින් හැමදෙයක්ම කරන්නට හැකියැයි සිතා පැවසුවේය..

මේකයි මිස්ටර්.. මෙතන සල්ලි ගැන නෙමෙයි ප්‍රශනෙ තියෙන්නෙ..

එහෙනම් මොකක්ද ප්‍රශ්නෙ ඩොක්ටර්..? නැවතත් ජයවර්ධන ඇසීය..

අපිට මායාගේ ජීවිතය බේර ගන්න නම්.. එයාගෙ ගර්භාසය (වූම් - Woom) අයින් කරන්න වෙනවා.. වෛද්‍යවරයාට කෙසේ හෝ පැවසීමට අවශ්‍යව තිබූ වචන ස්වල්පය තව තවත් ප්‍රමාද නොකර අසීරුතාවයෙන් මෙන් පැවසුවේය..

අනේ දෙයියනේ..! මගේ කෙල්ලට මොකද මේ වුණේ..? ඩොක්ටර් වෙන ක්‍රමයක් නැද්ද මගේ කෙල්ලව බේරගන්න.. ඉන්ද්‍රාණි වෛද්‍යවරයාගේ දෙඅත් අල්ලා ගනිමින් හැඩුම් මුසුව ප්‍රශ්න කරන්නට විය..

නැහැ.. කිසිම පිලියමක් කරන්න බැහැ.. මේක තමා එකම දේ කරන්න තියෙන.. තව තවත් අපි පරක්කු වුණොත් ඒක ලෙඩාට බලපාන්න පුළුවන්.. ඒක නිසා ඔයාලා ඉක්මනට මේ පේපස් වලට අත්සන් කරන්න..

වෛද්‍යවරයා විසින් තමන් වෙතට ඉදිරිපත් කල ලියකියවිලි අතට ගත් ජයවර්ධන ඒ සියල්ලටම අත්සන් කළේ මායාගේ ජීවිතය හෝ බේරා ගැනීමට වාසනාව ලැබීම පිළිබදව සිතා වේදනාව යටපත් කරගෙනය..

ලියකියවිලි වලට අත්සන් කිරීමෙන් පසුව මායා ශල්‍යාගාරයට රැගෙන ගිය අතර ඒ පිළිබදව කිසිත් ඇය නොදැන සිටියාය..

ජයේ.. අපේ මායාට මේ මොකද වුණේ..? මොන වරදක් කළාටද මේ වගේ දඩුවමක් ලැබුණෙ..? අනේ මගෙ දරුවා.. ඇය හඩන්නට විය..

දැන් අඩලා වැඩක් නෑ ඉන්ද්‍රාණි.. අපි හිතපු දෙයක්ද මේ වුණේ..? ඉන්ද්‍රාණිගේ සිත සැනසීමට ඔහු සිනිදු ස්වරයෙන් පැවසුවේය..

අපි කොහොමද දැන් මේක මායාට කියන්නෙ..? අනිත මායා මේ දේ දැන ගත්තාම කොහොම ඉවසා ගනියිද..? එයාට මේක දරාගන්න පුලුවන් වෙයිද..? ඉන්ද්‍රාණිගේ වැළපුම් මුසු වදන් දිගින් දිගටම පිටවිය..

ඒක තමයි මාත් මේ කල්පනා කළේ.. තවම ජීවිතය පටන් ගත්තා විතරයි.. මොන ශාපයක්ද මේක.. ජයවර්ධන සිය නළලට දෑත තබා ගනිමින් පැවසුවේය..

අපේ එකම දරුවට මෙහෙම වෙන කොට අපි කොහොම වාව ගන්නද..? මගේ පපුව පැලෙන්න වගේ..

මගෙත් එහෙම තමා ඉන්ද්‍රාණි.. මායා මගේ දුව.. ඉතින් මටත් වේදනාව දුක දැනෙනවා.. තේරෙනවා..

ජයේ.. ඉන්ද්‍රාණි ජයවර්ධන වැළද හඩන්නට වූවාය..

ගැහැනියකගේ ජීවිතයට සතුට සැනසිල්ල වාසනාව එක් කරන දරු සම්පතක් පවා ලැබ එහි අසිරිය විදින්නට තරම් මායාට මේ ආත්ම භවයටම, ප්‍රාණය රැදී තිබෙන මේ ජීවිතයටම වරම් අහිමි විය.. සනිරුගේ ආදරය මූර්තියක් කර කැදැල්ලක් කතන්නට තරම් ඇයගේ දෛවයේ ලියැවී නොතිබුණේ මේ අවාසනාවන්ත ඛේදවාචකය ඇයට උරුම වී තිබුණ නිසාම වන්නට ඇත..

ගැහැනු සිතකට ආදරය දැනුණාම ප්‍රෙමය දැනුණාම සෙනෙහස දැනුණාම එම අවැසි ප්‍රේමය තම ජීවිතයට බද්ධ කර ගැන්මට විද ගන්නට මුළු ආත්මයම පමණක් නොව සත් ආත්මයක් නොව සහස් ආත්මයක් වුවද බලා හිදින්නට නොපසුබට වන්නීය.. ඒ ඇයගේ හදවත අභයන්තරයේ මොහොතින් මොහොත තත්පරයෙන් තත්පරය මෝරා වර්ධනය වන පාරිශුද්ධ වූ පෙම් හැගුම් නිසාවෙනි.. එවැනි හැගුම් වලින් සපිරුණු ගැහැනු පෙම් සිතකට නවාතැන්පළක් වන්නට සෙවණැල්ලක් වන්නට කාරුණික වූ ප්‍රගතිශීලී අවංක පිරිමි සිතක් ඈ ප්‍රාර්ථනා කරන්නීය.. එලෙස දහසකුත් පාරමිතාවන් පුරමින් මෙනෙහි කරමින් ලැබ ගත් ආදරය සර්වප්‍රකාරයෙන් සමෘද්ධිමත් කරන්නට ඒ පෙම් සිතට වරම් නොලැබේ නම් ආශිර්වාද නොලැබේ නම් මොන තරම් වූ කළකිරීමක් තම ජීවිතය කෙරේ දැනේවිද..? සත්තකින්ම මෙකී හැගීම මෙකී වේදනාව මායාටද දැනෙන්නීය.. එයින් ඇය ජීවිතය විදවන්නීය.. දැවෙන්නීය..



No comments:

Post a Comment