Wednesday, June 13, 2012

| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර |






ආර්ට් සෙක්ෂන් එකේ අභ්‍යන්තර පරිපාලනමය ගැටලුන් හේතුවෙන් සියලුම සිසු සිසුවියන්ට දින නියමයක් නොමැතිව අතිරේක නිවාඩුවක් ලැබුණේ නොසිතූ පරිද්දෙනි.. නොකඩවා අධ්‍යාපනික කටයුතු වල නිරත වෙමින් සිටි සිසුන්ගේ මනසට එය සහනයක් ගෙන දුන්නද සනිරුට සහ ඔහුගේ යහළුවන්ට එය බාධාවක් වූවේ ඔවුන් අවසාන අවුරුද්දේ ඉගෙනුම ලැබීමත් විභාග පැවැත්වීමත් හේතුවෙනි.. කෙසේ නමුත් ඔවුන්ටද එයට මුහුණ දීමට සිදුවූවේ ඊට විකල්ප පියවරක් නොමැති වූ නිසාමය..


මුන්ට පිස්සුද දන්නෙ නෑ.. ළමයි ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ.. විභාග වලට තව මාස කීයද..? තුෂාරිට ආවේශ වූ ආවේගයත් සමගම එම වචන ටික නිරායාසයෙන්ම පිටවුණි..

කියලා වැඩක් නෑ බං.. ඇත්තටම අපේ අධ්‍යාපනය මහ පිස්සුවක්.. දර්ශනී තුෂාරිගේ කියමන සනාථ කළේ තමන් ලබන අද්‍යාපනය පිළිබද කලකිරීමෙනි..

ඔව් දර්ශනී.. ඔයා කිව්වා හරි.. අපේ අධ්‍යාපනය පිස්සුවක් වෙලා තියෙන්නෙ නිකම්ම නෙමෙයි.. ඔය ලොකු ලොක්කො හින්දයි..

තමන්ට මුහුණ දීමට සිදුවන ඛේදවාවක වලට සනිරු දොස් පැවරුවේ බලධාරීන්ටය..

අපිටත් තියෙන්නෙ පාරට බැහැලා මේවට විරුද්ධ වෙලා කෑ ගහන්ටයි.. නැතුව මේවා නතර වෙන්නෙ නෑ.. එතකොට හරි තේරෙයිනෙ.. රැඩිකල් වදනින් ප්‍රදීප් මුව විවර කළේය..

පිස්සුද ප්‍රදීප්..? අපිටම තමයි තවත් වල කැපෙන්නෙ.. දැක්කනේ ගිය පාර වුණ දේ..? දර්ශනීට අතීතයේ සිදු වූ සිදුවීම් පෙළක් මතකයට නැගුණි..

එහෙම නම් ඉතිං.. අපිට බලාගෙන ඉන්න තමා වෙන්නෙ.. ප්‍රදීප් කලකිරීමෙන් මෙන් පැවසුවේය..

ඔව්, ඉතිං වෙන මොනවා කරන්නද.? දර්ශනී පැවසීය..

හරි.. හරි.. දැන් ඕක නවත්තපල්ලා.. දැන් කොහොමත් ඉතින් නිවාඩුනේ.. අපි මොනවා කරන්නද..? ආතල් එකේ ඉමු.. නැද්ද ප්‍රදීප්..? නිතරම සැහැල්ලුවෙන් සතුටෙන් ඕනෑම දෙයක් ගැන සිතන චතුර පැවසුවේය..

ඔව් බං.. චතුරගෙ කතාව ඇත්ත.. මේකෙ අපේ වැරැද්දක් නෑනෙ..

ආං.. මායා එහෙමත් එනවා.. එයාලට මේක එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. මොකද ඉතිං එයාලගෙ පළමු අවුරුද්දනෙ.. මායා සහ වසන්තිකා පැමිණෙන දෙස බලමින් තුෂාරි පැවසීය..

මොකද ප්‍රශ්නයක් නැත්තෙ..? මායට තමයි ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ.. චතුර සනිරු දෙස බලා සිනාසෙමින් පැවසුවේ සනිරුට මායා මුණගැසීමට මෙය බාධාවක් වන බව ඉගි කරමිනි..

තම යහළුවන් පැවසූ දේවල් සත්‍යයක් බවට සනිරුට වැටහුණත් එය එතරම්ම ඔහුට ප්‍රශ්නයක් නොවුණේ දෙදෙනා තුළ ඇති අප්‍රමාණ වූ ගැඹුරු බැදීම නිසා සෑම මොහොතකම එකිනෙකා තුළ එකිනෙකා ජීවමානව ජීවත් වන බව ඔහුත් ඇයත් හොදාකාරවම ද්නනා බව දත් නිසාය.. සෑම මොහොතකම සජීවීව දෙනෙතට එකිනෙකා නොගැටුණත් ඒ හැම තත්පරයකම හෙළන හුස්ම පොදෙන් ගැහෙන හදවතේ රාවයෙන් ඔහුත් ඇයත් එකට ළංව සිටියහ.. එකට බැදී සිටියහ..

එන්න.. එන්න.. මායා.. අපි මේ ඔයා ගැන තමයි කතා කර කර හිටියෙ.. මාර අප්සට් එක නේද..? නිවාඩුනේ.. තුෂාරි මායාගේ මැළවුණු මුහුණ දෙස බලමින් පැවසීය..

හ්ම්.. මොනවා කරන්නද..? මායා සනිරුගේ මුහුණ දෙස බලා නැවත තුෂාරිදසෙ බලමින් පැවසීය..

අම්මෝ.. සනිරු.. නිවාඩුයි කියලා කිව්ව වෙලාවෙ ඉදලා මායා හිටියෙ පිස්සුවෙන් වගේ.. වසන්තිකා තුෂාරි ළඝට යමින් මායාට කොනිත්තා පැවසුවාය..

නැතුව.. නැතුව.. පිස්සු හැදෙන්නෙ නැති වෙයිද..? අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඕනි.. නැද්ද මචං..? ප්‍රදීප් චතුරට පැවසුවේය..

මේ.. මේ.. මට හොද අදහසක් ආවා.. අපි දවස් දෙකකට විතර දර්ශනීලගෙ ගෙදර යමු.. නිතරම විනෝදයට බරව කටයුතු කරන චතුර යෝජනාවක් කළේය..

ඒ කියන්නෙ.. නුවරඑළියෙ නේද..? අනේ..! නියමයි චතුර.. ඔයාගෙ අයිඩියා එක.. දර්ශනීගේ පිටුපසින් සිටි වසන්තිකා ඇයව වැළද ගනිමින් පැවසුවේ ඉමහත් ප්‍රීතියකිනි..

මාත් කැමතියි ඒකට.. තුෂාරිද එයට කැමැත්ත පළ කළාය..

මාත්.. කියමින් ප්‍රදීප් තම කැමැත්ත පළ කළාය..

චතුරගේ යෝජනාවට සියලුම දෙනා කැමැත්ත ප්‍රකාශ කළත් මායාගේ මුහුණින් ඊට අකමැත්තක් පිළිඹිබු වූවේ තම දෙමාපියන්ගෙන් ඊට කැමැත්ත ගැනීම අපහසුවක් බව දැනුණු හෙයිනි.. ජයවර්ධනගේ පීතෘ ආධිපතීත්වය හමුවේ මායාට තම ජීවිතය පිළිබදව කිසිත් තීරණයක් ගැනීමට නොහැකි විය..

ඇයි මායා යන්න කැමති නැද්ද..? මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ..? මායාගේ මුහුණින් විද්‍යමාන වූ කනස්සල්ල දුටු සනිරු ඇයගෙන් ඇසුවේය..

සනිරු.. මගේ නම් කිසිම අකමැත්තක් නෑ.. මොකද ඔයත් මගෙත් එක්ක යනවනෙ.. ඒත්.. අපේ ගෙදරින් මම කොහේවත් යනවට කැමති නෑ.. අනික අපි ගැන හැම දෙයක්ම ගෙදරිනුත් දන්නවනෙ.. මායාගේ කනස්සල්ලට හේතු වූ කාරණය සනිරුට පැවසුවේ එවැනි දෙයකටවත් තමාට නිදහසක් නැති බව ප්‍රකාශ කරමිනි..

මායා ඔයා බයවෙන්න එපා.. මම අංකල්ට මේ ගැන කියන්නම්.. අනික.. එතද් මම කියපු නිසානෙ ඔයාට ආපහු කැම්පස් එන්න ලැබුණෙ.. නැත්නම් තවම ඔයා ගෙදරනෙ.. තුෂාරිට ජයවර්ධනගේ කැමැත්ත ලබා ගත හැකි බවට ප්‍රත්‍යක්ෂ විය..

ඒ එදානෙ තුෂාරි අක්කෙ.. තාත්තා අනිවාර්යෙකන්ම දැන් දන්නවා සනිරුත් යනවා කියලා.. ඒක නිසා මට නම් ෂුවර් එකක් නෑ..

මොකද ෂුවර් නැත්තෙ..? මට නම් ෂුවර්ම ෂුවර්..

අනේ මංදා.. හුස්මක් හෙළමින් මායා මිමිණිය..

එදින සවසම තුෂාරි මායාගේ නිවසට ගිගේ මේ පිළිබදව ජයවර්ධනත් සමග කතිකා කර ගැනිමටය.. ඉන්ද්‍රාණි නිසැකයෙන්ම මීට කැමති වන බව මායාත් තුෂාරිත් දැන සිටියත් ජයවර්ධන ඊට කැමති වීම පිළිබදව ඔවුන් තුළ සැකයක් පැවතියේ ඔහුගේ දැඩි වූ තිරණ නිසාය.. කෙසේ වෙතත් ඔවුන්ගේ එක සැකය නැති කර දමමින් ජයවර්ධනගේ කැමැත්ත ඊට ලැබුණේ මායාගේ භාරකාරත්වය තුෂාරිට පැවරූ බව හගවමිනි..

හොදයි.. තුෂාරි දුවත් යන නිසා මම මායාට යන්න දෙන්නම්.. හැබැයි එකක් තියෙනවා දුවේ.. ජයවර්ධන මායා දෙස බලමින් පැවසුවේය..

ඒ මොකක්ද අංකල්..?

මේකයි.. දුව, අපේ මායා දුව ගැන විපරමෙන් ඉන්න ඕනෙ.. අනික අර සනිරු කියන හාදයා එහෙම ගියොත් දන්නවනේ..

නෑ.. නෑ.. අංකල් එයා යන්නෙ නෑ.. තුෂාරි ඉක්මන් වචනයෙන් පැවසුවේ සනිරුද ඔවුන් සමග යන බව සගවාගෙනය..

ජයවර්ධනගේ කැමැත්ත ලබා ගැනීම ගලකින් පට්ටයක් ලබා ගන්නා තරම් අසීරු කාර්යයක් බැව් තුෂාරිට මුල දී හැගුණත් එය එතරම් අසීරු නොවුණේ සනිරු නොයන බවට පැවසූ බොරුව නිසා බය ඇයටත් මායාටත් ඉනික්බිතිව වැටහෙන්නට විය..

පසුදා මහනුවරට රැස් වූ සියලු දෙනාම නුවරඑළියේ යාම සදහා ඉන්ටර්සිටි බස් එථයකට ගොඩවූවේ ගම්න පහසුව නිසාත් ගමන ඉක්මන්වීම නිසාත්ය.. සනිරු සහ මායා බස් රථයේ පිටුපස ආසනයට ඉදිරියෙන් වූ දකුණුපස ආසනයෙහි වාඩිවූහ.. සෙසු අය පිටුපස ආසනයේ වාඩිවූවේ සියල්ලන්ටම එකට යාමට අවශ්‍ය වූ නිසාය..


කීයටද මචං මේ බස් එක යන්නෙ..? ප්‍රදීප් චතුරගෙන් විමසුවේය..

තව විනාඩි දහයකින් විතර යයි බං..

චතුර පැවසු විනාඩි ගණනින් අනතුරව බස් රථය ගමනාන්තයේ යෙදීමට එන්ජිම පණගන්වන්නට විය.. පැයක පමණ කාලයෙන් පසුව බස් රතය ගම්පොළ නගරය පසු කරමින් නුවරඑළිය මහ මාර්ගයට ප්‍රවිශ්ට වන්නට විය.. ගිරි දුර්ග ගෙවා දමමින් තේ වතු මධ්‍යෙය් සිට තේ දළු නෙළන කතුන්ගේ දර්ශනය නෙත ගැටෙමින්ද කදු මුදුන් සිසාරා තැවරුණු ශ්වේත මීදුම් දහරින් වැසී ගිය පර්වත පෙළද ගමනාන්තයේ යෙදුණු සියල්ලන්ගේ සිත ගත ආනන්දජනක හැගුමින් පුරවාලන්නට තරම් චමත්කාරයක් විය.. බස් රථය තලවාකැළේට ළගා වෙත්ම අධික සීතලක් දැඩිව මායාට දැනෙන්නට විය.. ඇතැම් විට මෙම සීතල බාහිර පරිසරයේ දේශගුණය නිසාත් බස් රථයේ යාම නිසාත් සෙනෙහසේ උණුසුම උත්සන්නව සනිරුට මායා හට කැප කිරීඹට නොහැකිව අසරණව ළතැවෙන නිසාත් ඇයට මෙලෙස සීතලක් ගතට මෙන්ට සිතටද දැනෙන්නට ඇත.. ඇය හැද සිටි කර කැපූ බ්ලවුසය හේතුවේන තව තවත් ඇයට දැඩිව සීතල දැනෙන්නට විය..

අනේ සනිරු..! මට සී..තලයි.. මායා අදිමින් මිමිණිය..

ඉතින්.. මගේ ළගට එන්නකො.. තම පපුවට තුරුළු කර ගනිමින් සනිරු පැවසුවේය..

දැන් හරිද..?

නෑ..

දැන්..?

තවම නෑ..

දැන්..?

කිසිත් නොකියූ මායා සනිරු දෙස බලා ඔහුගේ ලය මත මුව හොවා ගත්තාය..

සනිරුගේ පපුවට තුරුළු වූ මායාගේ දකුණු උරහිස සනිරු තම දකුණතින් පිරිමදිමින් ඇයගේ ගත උණුසුම් කරන්නට විය.. ඇයගේ දෑගිලිද සනිරු විසින් පිරිමදිනු ලැබුවේ වඩ වඩාත් ඇයගේ ගත උණුසුම් කිරීමටය.. ඇයගේ පිරිපුන් ළමැදට ඔහුගේ ළයෙහි උණුසුම දැනෙන්නට ඉඩ හැරියේය.. මායාද සනිරුගේ උණුසුමේ දැවටී තව වෙවුලන ගත සිත සෙනෙහසේ උණුහුමින් සනසා ගත්තාය..

බස් රථය නුවරඑළිය බස් නැවතුම්පළට ළගාවන විට උදෑසන එකොළහට පමණ විය.. ඒ වන තුරුත් මීධුම යන්තමින් යන්තමින් වගේ පෙනෙන්නට තිබිණි.. නුවරඑළියේ සිටි දර්ශනීගේ නිවස පිහිටා තිබූ ස්ථානයට යාමට කිලෝමීටර් හයක පමණ දුරක් විය.. එම මාර්ගයේ බස් ධාවනය අඩුවෙන් සිදුවන නිසා ඔවුන් කුලී රථයකින් ඇයගේ නිවසට යන්නට වූහ..

අපි වෑන් එකක යමුද තුෂාරි..? මේ වෙලාවට අපේ පාරෙ බස් නෑ.. දර්ශනී පැවසීය..

ඒකට කමක් නෑ.. එහෙම කරමු..

කුලී රථයකින් දර්ශනීගේ නිවසට පැමිණෙන විට දහවල් දොළහට පමණ විය.. වෑන් රථය දර්ශනීගේ නිවස සමීපයට ළගා වෙත්ම ඇයගේ කටහඩ අවදි විය..

ඔන්න යාළුවනේ.. අපි අපේ පුංචි බංගලෝ එකට ආවා.. ලස්සනයිද..? දර්ශනී තම නිවස පෙන්වමින් පැවසීය..

අනේ..! හරිම ලස්සනයි දර්ශනී අක්කෙ.. මට නම් හිතා ගන්නවත් බෑ නුවරඑළිය මේ තරම් ලස්සනයිද කියලත්.. අවට පරිසරයේ තිබෙන අනේකවිද මල් වල පාට, ගස් කොළන් වල හැඩහුරුව, බටිත්තන්ගෙන් නොකඩවා ඇසෙන කිචි බිචි නාදය, මීදුම අතරින් ඉගිල්ලී යන කුරුළු පැටවුන්ගේ දසුන් සේම මුළු මහත් පරිසරයේ තිබෙන චමත්කාරය තම දෙනෙතට එකිනෙක පෙනෙන්නට පටන් ගත්තාම මායා තුළ නැවුම් ප්‍රබෝධයක් ඇති කරන්නට විය..

සනිරු, බලන්න.. මායා මොන තරම් සතුටින්ද ඉන්නෙ කියලා.. මම නම් මීඨ කලින් මායා මෙහෙම ඉන්නවා දැකලා නෑ.. ඇත්තටම මට නම් හිතෙන්නෙ මේ හැම දෙයක්ම ඔයා නිසය් එයාට ලැබුණෙ කියලා.. තුෂාරි මායා විදින සතුට බලමින් සනිරුට පැවසීය..

ඔව් තුෂාරි.. ඔයා හරි.. මායා සතුටින් ඉන්නෙ මං නිසා වගේම මමත් සතුටින් ඉන්නෙ මායා නිසයි.. ඉතිං.. මම ප්‍රාර්ථනා කරනවා මේ සතුට හැමදාමත් අපේ ළග තියෙන්න කියලා..

බයවෙන්න එපා සනිරු.. ඔය දෙන්නගේ මේ සතුට කාටවත් උදුර ගන්න බෑ.. එහෙම කරන්න හැදුවත් ඒක එච්චර ලේසි වෙන්නෙ නෑ.. මොකද.. ඔය දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙයිනෙ..

සනිරු තුෂාරි පැවසූ දේවල් පිළිබදව සිතමින් මායා සමීපයට ගොස්, මායා.. මායා.. දැන් ඔය බැලුවා ඇති.. අපි ප්සසෙ ඇවිදින්න යමු කියමින් මායාද සමග නිවස තුළට යාමට සැරසුණහ..

මේ.. ඔයාලට බඩගිනි නැද්ද..? එන්න කෑම කන්න.. අපි පස්සෙ ඇවිදින්න යනවනේ.. නිවසෙහි දොර ළග සිටි දර්ශනී තම යහළුවන්ට කතා කළේ දිවා ආහාරය ගැනීමට පරක්කු වූ බව හගවමිනි..

එනවා එනවා.. අපිත් හිටියෙ කතා කරනකම්.. ඉන්න බෑ බඩගිනියි.. චතුර සිනාසෙමින් පැවසීය..

නිවසෙහි කෑම කාමරය තුළට පැමිණ එහි මේසය වටා හිද ගත් සියලු දෙනාම තම අම්මාට හා තාත්තාට හදුන්වා දීමට දර්ශනීට සිදුවූවේ තම දෙමාපියන් ඒ පිළිබදව විමසූ නිසාය..

පුතේ..! මේ ඉන්නෙ ඔයාගෙ යාළුවො කියලා නම් අපි දන්නවා.. ඒත් කවුද කියලා කිව්වෙ නෑනෙ.. තම මව අසල සිටගෙන සිටි දර්ශනීගෙන් තාත්තා ඇසුවේය..

ඒක තමයි.. දර්ශනීගේ මවද තාත්තා පැවසූ දෙය වචන දෙකකින් අනුමත කළේ දර්ශනීගේ මුහුණ දෙසට තම හිස ඔසවා බලමිනි..

ම්.. මේ ඉන්නෙ ප්‍රදීප්.. දර්ශනී ප්‍රදීප් දෙස බලමින් තම දෙමාපියන්ට හදුන්වා දුන්නාය.. මේ චතුර හරිම පිස්සෙක්.. දර්ශනී සිනාසෙමින් පැවසීය.. මේ තුෂාරි.. මේ වසන්තිකා.. ෆස්ට් ඉයර් එකේ නංගි කෙනෙක්..

එතකොට පුතේ මේ දෙන්නා.. කියමින් දර්ශනීගේ පියා තම මුහුණෙහි යමක් සගවාගෙන මෙන් විමසුවේය..

මේ දෙන්නා නේද තාත්තේ.. දර්ශනී සනිරු සහ මායා සමීපයට ගොස් මේ ඉන්නෙ සනිරු මේ මායා.. මේ දෙන්නා.. බදින්නයි ඉන්නෙ තාත්තේ කියමින් තම තාත්තා ළගට දිව ආවාය..

අනේ අංකල්..! දර්ශනි අක්කා ඔය කියන්නෙ.. කියමින් මායා දර්ශනී පැවසූ දෙය බොරුවක් බව පැවසීමට ගොස් එකවරම හදවත නතර වූයේ කෙදිනක හෝ එය සත්‍යක් වන බව හැගුණු නිසාත් එය බොරුවක් යයි පැවසූවොත් සනිරුට ඉන් වේදනාවක් ඇති වේයැයි සිතුණු නිසාත්ය..

ඉතින් මොනවද කියන්නෙ මායා..? ඇත්තනේ.. ලැජ්ජ වෙන්න එපා.. අපේ තාත්තා මොකුත් හිතන්නෙ නෑ.. දර්ශනී තම පියා අසල තිබූ පුටුවෙහි වාඩි වෙමින් පැවසීය..

ඔව් පුතේ..! ආදරය කරනවා නම් ඒ දෙ කියන්න පැකිළෙන්න එපා.. බයවෙන්න එපා.. අනික ඔය දෙන්නා බිම බලාගෙන ඉන්නකොට මට හිතුණා මොකක් හරි දෙයක් ඇති කියලා.. දර්ශනීගේ පියා සනිරු සහ මායා දෙස බලමින් ප්‍රකාශ කළේය..

හරි.. හරි.. දැන් ඔය කතාව නවත්තන්න.. පස්සෙ කතා කරන්න බැරියෑ.. දැන් මේ ළමයින්ට හොදටම බඩගිනි ඇති.. අනේ පුතේ..! ඔයාලා කන්න යැයි කියමින් දර්ශනීගේ මව සහ පියා ආලින්දයට ගියහ..

දිවා ආහාරය ගත් සියලු දෙනා පැය භාගයකට පසුව පමණ ගමන් විඩාව මග හරවා ගැනීම සදහාත් අවට සුන්දර පරිසරයේ චමත්කාරය ආශ්වාදනය කර ගැනීම සදහාත් දර්ශනීගේ නිවසට කිලෝමීටර් දෙකක් පමණ ඈතින් වූ නෙළුම් මලින් පිරී තිබුණු වැවක් සමීපයට ගියේ සීතලෙන් වැළකීම සදහා අවශ්‍ය වූ කබායන් ද හිස් වැසුම් ද රැගෙනය..

සනිරු.. අර බලන්න, අර නෙළුම් මල් දිහා.. හරිම ලස්සනයි නේද..? මායා තම දකුණත සනිරුගේ ඉණ වටා දමාගෙන වැවෙහි එකම උසට සුපිපුණු නෙළුම් මල් දෙසට තම වමත දිගුකර පෙන්වමින් පැවසීය..

ඔව් මායා.. ඇත්තටම ලස්සනයි ගොඩක්..

මායාගේ දෙනෙත් ප්‍රබෝධමත් කර දෑසට සිසිලසක් ලබා දුන් ඒ නෙළුම් මල් දෙස බැලූ සනිරුට හැගුණේ ටිකෙන් ටික හිරු රැස් නෙළුම් පත් මත පතිත වී එක එක පෙත්ත ගානේ හෙමීට හෙමීට දිග හැරී සහසක් පතින් පිරිපුන්ව විකසිත වී මෙලෙස දහසක් දෙනාගේ හදවත් වලට ආශ්වාදයක් ලබා දෙන්නාක් මෙන් තමාගේත් මායාගේත් උත්තුංග ආදරයට සැනසුම, සතුට පුංචි දිය පාරක් මෙන් ගලාගෙන විත් මහා සාගරය තරම් විසල්ව ප්‍රේමයේ කූඨ ප්‍රාප්තිජනක අසිරිය කෙදිනක හෝ උදාවන්නේ නම් මොන තරම් භාග්‍යක්ද යන්න පිළිබදවයි..

මොනවද සනිරු කල්පනා කරන්නෙ..? වැවෙහි නෙළුම් මල් දෙස බලමින් සිටි සනිරුගෙන් මායා ඇසීය..

මොකුත් නෑ මායා.. ඔයා කිව්ව අර ලස්සන නෙළුම් මල් දිහයි බලාන හිටියෙ.. මායා ඇසූ දෙයට පිළීතුරු දුන්නේ නැවත වැව දෙස බලමිනි..

ඇත්තමයි සනිරු.. ඔයා මගේ ළගින් ඉන්නකොට මට හිතෙන්නෙ මේ ලෝකයේ තියෙන හැම සතුටක්ම හැම සැපතක්ම මට ලැබුණා කියලා..  මට බයයි, ඒ සතුට කවුරු හරි මගෙන් උදුර ගනියි කියලා සනිරු.. අසල කොටයක් මත වාඩි වී සිටි සනිරු සමීපයෙන් වාඩි වූ මායා ඔහුගේ කකුල් දෙක මත තම හිස තබා ගනිමින් ප්‍රකාශ කළේය.

ඇයි මායා ඔයා ඔහොම හිතන්නෙ..? අපි අතර ආදරය, විශ්වාසය හැමදාටම තියෙනකන් කාටවත් අපිව වෙන් කරන්න බෑ.. අපේ සතුට උදුරගන්න බෑ.. සනිරු මායාගේ හිසෙහි පැළද තිබූ හිස් වැසුම ගලවා ඇයගේ සිනිදු කෙස් කෙල් කළඹ පිරිමදිමින් පැවසුවේය..

ඇත්තමයි සනිරු.. දැනුයි මට ජීවිතය දැනෙන්නෙ.. ජීවිතය විදිනවා කියලා දැනුයි තේරෙන්නෙ.. එහෙම ජීවිතය විදින්න සතුට දුන්නෙ ඔයයි.. ඒ සතුට හැමදාමත් හැම මොහොතේම මට දෙන්න සනිරු.. මගේම ළගට වෙලා ඉදලා..

මම හැම මොහොතකම ඉන්නෙ ඔයා ළගයි මායා.. ඔයාගෙ හදවත ළගයි.. ඔයාගෙ ඇස් දෙක ළගයි... ඔයාට ඒක දැනෙනවද..? පේනවද..?

මට දැනෙනවා සනිරු.. පේනවා.. ඔයා මගේ ළගම ඉන්නවා කියලා.. මගේ හදවතට විතරක් නෙමෙයි.. ඇස් දෙකට විතරක් නෙමෙයි මගේ මුළු ඇගටම දැනෙනවා..

ඔය ඇත්තමද මායා..?

ඇයි ඔයාට අවිශ්වාසද..?

නෑ.. නෑ.. මායා මට මගේ ජීවිතයටත් වැඩියෙන් ඔයාව විශ්වාසයි.. ඇත්තමයි..

අනේ සනිරු..! එහෙම කියන්න එපා.. මම ඔයාගෙ ජීවිතයට ගොඩක් ආදරයි.. ඒ ආදරේ ඇති වුණේ මට ඔයාව විශ්වාස නිසයි.. ඉතින් මට ඔයාගෙ ජීවිතය ගොඩක් වටිනවා..

මායා.. මගේ ජීවිතය ඔයාට වටිනවා වගේම මටත් ඔයාගෙ ජීවිතය වචනයකින් කියලා නිම කරන්නන බැරි තරම් වටිනවා.. ඉතින්.. ඒ ජීවිතයට අබ මල් රේණුවකින්වත් දුකක්, වේදනාවක් දැනෙනවට මම කැමති නෑ.. මොකද මගේ හුස්ම පොද රැදිලා තියෙන්නෙ එතනයි..

සනිරු.. මායා මිමිණිය..

මායා..

අපි දැන් යමුද සනිරු..? සනිරුගේ දෙපය මත හිස තබා ගනිමින් සිටි මායා සැණින් තම හිස එසවූවේ දර්ශනීගේ කටහඩ ඇසෙත්මය..

ඔවුන් නිවසට යන විට හවස පහට පමණ විය.. ක්‍රමයෙන් අදුර වැටී අහසෙහි තරු කැට එක දෙක පායන්නට විය.. උදෑසන සිට සවස් වනතුරුම එහේ මෙහේ පියාසර කරමින් සෙල්ලම් කරමින් මල් මුදුන්හී මල් පැණි බොමින් සිටි සමනලයින්, බට්ටිත්තන් තම තම කැදලි කරා ඇදෙමින් සිටිතී.. මොහොතකින් මුළු අහසම තරු වලින් කළ සැරසිල්ලක් ලෙසට ඒකාලෝක කරන්නට පටන් ගත්තම සොමි කැලුම් දහරද තුරු ලතාවන් සිසාර පතිත වෙමින් සුන්දර රාත්‍රියක් උදාවන්නට විය..

සදරැස් තණ පත් මුදුන් හී ඇති පිනි බිදු හා පතිත වී බැබළෙන්නට පටන් ගත්තාම තව තවත් චමත්කාරජනක දසුන් පෙළක් එදින රාත්‍රියට එකතු විය.. සද රැසින් නැහැවුණු පරිසරයෙන් නැගුණු ආලෝකයෙන් කොතැනකවත් අදුර විදක්වත් නොපෙන්නෙන්නට වූවේ පුන්සද මඩල පායන්නට වූ හෙයිනි.. චන්ද්‍රයා වටා විහිදී පැවතියා වූ දීප්තිමත් ආලෝක ධාරාව ක්‍රම ක්‍රමයෙන් විශාල වී වැඩිවන්නට පටන් ගැනුණේ මුළු රාත්‍රිය පුරාවටම එයම ආකාස තලයේ තැන්පත්ව තිබෙන බවට ඉගි කරමිනි..

රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව දර්ශනී තම යහළුවන් රැගෙන ගියේ නිවස තුළ තිබූ ගිනි මැළය වෙතටය.. සීතල නිවා ගැනීම සදහා සාදා තිබූ එම ගිනි මැළයට වෙවුලමින් සිටි ඔවුන්ගේ ශරීරය සීතලෙන් නිවාලන්නට හැකි විය.. පිරමීඩාකාරයට තනා තිබූ එම ගිනි මැළය වටා හිද ගත් සියලු දෙනා තම දෑත් ඒ වෙතට දිගු කොට ගනිමින් ගත උණුසුම් කර ගත්හ..

කොහොමද.. තවත් සීතල දැනෙනවද..? පිළිතුරක් බලාපොරොත්තුවෙන් දර්ශනී විමසීය..

අපෝ.. දැන් නම් එච්චර නෑ.. වසන්තිකා ඊට පිළිතුරු දුන්නීය..

දර්ශනී මේ විදියට හැම ගෙදරකම ගිනි මැළයක් තියෙනවද..? වැඩි යමක් දැනගැනීම සදහා තුෂාරි විමසීය..

හැම ගෙදරකම නෑ.. ඒත් බොහොමයක් ගෙවල්වල තියෙනවා..

මොකද අර දෙන්නා කතා නැත්තෙ..? සීතලට ගල් වෙලාද..? නිහඩව සිටි සනිරු සහ මායා දෙස බලමින් චතුර පැවසුවේය..

ඒක තමයි.. මාත් බලාගෙන හිටියෙ වචනයක්වත් එළියට දාන්නෙ නෑනෙ.. ප්‍රදිප් ද චතුර පැවසූ දෙයට එකගව තවත් යමක් කීවේය..

නෑ.. නෑ.. මොනවා කියන්නද ඉතිං.. මායා චතුර සහ ප්‍රදීප් පැවසූ දෙයට කෙටි පිළිතුරක් ලබා දුන්නාය..

එහනෙම් තුෂාරි, අපි දැන් නිදා ගන්න යමුද..? අම්මයි තාත්තයි හොදට නිදි.. ඕන්.. ඇහෙනවා නේද ගොරවන සද්දෙ..?

ඔව්නේ.. හෙට ඇවිදින්න යන්නත් තියෙනවනෙ.. වසන්තිකා පැවසීය..

මෙයාට නම් ඇවිදින්නමයි ඕන.. කකුල් දෙකේ මීටරයක් බැන්දා නම් කොච්චර දුර ඇවිද්දද කියලා දැන ගන්න තිබ්බා.. තුෂාරි මද සිනාවකින් යුතුව කීය..

නැතුව තුෂාරි අක්කෙ.. මේ පැත්තෙ කොච්චර දේවල් බලන්න තියෙනවද..?

මායාගේ මුහුණ දෙස බැලූ සනිරු, අපි දේන්නා තව ටිකකින් නිදා ගන්නම් යැයි පැවසුවේය..

ඒකට කමක් නෑ.. හැබැයි ඉක්මනට නිදාගන්න.. නැත්නම් හෙට උදේට ඔය දෙන්නට වතුර ගහන්න වෙයි..

එහනෙම් අපි යනවා.. ගුඩ් නයිට් සනිරු.. ගුඩ් නයිට් මායා..

ගුඩ් නයිට් ෆ්‍රෙන්ඩ්ස්.. සනිරු සහ මායා ඔවුන්ටද සමු දුන්හ..

තම යහළුවන් යන විට ගිනි මැළය දෙපස සිටි සනිරු සහ මායා පසුව එක් පැත්තකට වී මද වේලාවක් යන තුරු නිහඩව සිටියහ.. ගිනි මැළය සමීපයේ සිටියත් මායාට දැඩිව සීතල දැනුණේ ඇය හැද සිටි නිරාවරණ සහිත රාත්‍රී ඇදුම නිසාය.. ඇයගේ දණහිස ළගට පමණ කඩා හැළෙන සුදුපාට ලේස් දෙකකින් පමණක් උරහිස් මතින් රැදී තිබුණු එම ඇදුමින් ඇයගේ සම්පූර්ණ ශරීරයම ආවරණය වී නොතිබුණත් සනිරු සමීපයේ ආගන්තුකයෙකු ලෙස නොසිටියේ දෙදෙනා තුළ වූ සමීපතම බැදීම නිසාය.. එම මොහොතේ ඔහුගේ මුවින් නැගුණු නිහඩ බවින් පැතිරුණු හුදෙකලා බව මායාගේ සිත අභ්‍යන්තරයේ සොදුරු හැගුම් සමුදායක් ඇතිවෙන්නට මුල පිරීය.. මායා සනිරුගේ දෙනෙත් දෙස බලා හිදිමින් තම සිත තුළ පිබිදෙන සිතුවිලි නිරායාසයකින් යුතුව ඉපදෙන්නට හඩ හැරීය..

"නොකියා රහසේ තියන් ඉන්නෙපා
ආදරේ
විදින්න දෙන්න මට කියා දෙන්නම්
ආදරේ
හුදෙකලා කුමරාණ
තනි රකින්නම් ඔයාට මං ආදරේ දැනෙන තුරා
ළගින් ඉන්න ඈතට නොයා මොහොතක්
දැනේවි ප්‍රේමයේ අබිදම් කුමරෝ
වස්සනායේ මල් පිපිලා පොද වැස්ස වැටී
හිම වැටෙනා මේ සෞම්‍ය රාත්‍රියේ
දැනෙනවා ද ඔයාට දැන්
නැතිවම බැරි ආදරේ රත්තරන්
බිදින්න තනිකම ඔයාගෙ, මම
සෙනෙහස පාන්නේ ආදරේ හින්දයි
දැන් ඉතින් පාන්න සෙනෙහස මට 
හුදෙකලා නොකර තවත් මගෙ ජීවිතේ
රත්තරන්"  

මොනවද හිතන්නෙ මායා..? නිසල ඉරියව්වෙන් සිටි මායාගෙන් සනිරු ඇසුවේය..

අනේ! සනිරු මාව ඔයාගෙ තුරුළට ගන්නකො.. මට සීතලයි.. දෙදෙනා අතර වූ නිහඩ බව බිදින්නට මායා සමත්විය..

ඉතින් ඕක හිත හිතා ඉන්න දෙයක්ද..? කෝ ඉතින් එන්න.. සනිරු තම දෑතින් මායා තුරුළට ගත්තේය..

සනිරු ඔයා ළග රස්නෙයි.. මායා සනිරුගේ පපු පෙදෙස පිරිමදිමින් පැවසීය..

ඉනික්බිතව සනිරු තම දෑතින් මායා ඔසවාගෙන අසල තිබූ දිගු පුටුවක් මත තබා ඇය කිට්ටුවටම වී හිද ගත්තේය.. සනිරුගේ දෙනෙත් දෙස බලා සිටි මායා ඔහුගේ මුහුණ තමා වෙතට පහත් කොට ඔහුගේ දෙතොල් සිපගන්නට වූවාය.. විනාඩි දෙකක් පමණ ඇයගේ තොල් පෙති අතරෙහි ඔහුගේ දෙතොල් සිරකර තබා ගැනුණේ සනිරුගේ ගතේ දැවෙන උණුසුම මායා වෙත ලබා ගැනීම සදහාය..

සනිරුගේ හදවතේ විඡ්ජූලතාවන් වාගේ පුපුරුම් දෙන ප්‍රේමයේ උත්කර්ශ හැගුම් සමුදාය මායාගේ හරීරය අභ්‍යන්තරයේ මුදාහරින්නට යැයි ඇයගේ මුවින් ඇවටිලි කළත් ඇය විසින් ආයචනා කරන එම ක්ෂනික සංහිදියාව පසුවට ඇයට විපතක් වනවාට අකමැති වූ සනිරු ඇයගේ එම අවිහිංසක ඉල්ලීම් සියල්ල ඇයට නොදැනෙන්නටම පාලනය කළේ අඹුසැමි කඩඉම තවම ඔවුන් පසුකොට නොමැති නිසාත් දෙදෙනාම තවම ඉගෙන ගන්නා නිසාත්ය..

සනිරු.. මට කවමදාකවත් දැනුණෙ නැති අමුතුම සතුටක් අද දැනෙනවා.. ප්ලීස් සනිරු, මාව තව තුරුළු කරගන්න.. මට ඔයා ළගම ඉන්න ඉඩ දෙන්න..

ඔයා ඉන්නෙ මගේ ළගම තමයි මායා.. මේ බලන්න.. අපි දේනනා කොච්චර ළං වෙලාද ඉන්නෙ..

ඔව් ඒක ඇත්ත සනිරු.. මට ඕනි මීටත් වැඩියෙන් ළංව ඉන්නයි.. මට ඔයාගෙන් වෙන්ව ඉන්න බැරි තරමටම..

මායා..

පුටුවෙහි වාඩි වී සිටි සනිරුගේ තුරුලෙහි වූ මායා ඉන් ඉවතට විත් පුටුවෙහි වාඩි වූ විට ඔහු ඇයගේ නිතඹ පෙදෙස තම දෑතින් අල්ලාගෙන ඔසවා ගත්තේය.. මායාගේ දෙළැම සනිරුගේ පපුවට ස්පර්ශ වෙත්ම ආයේමත් ආයේමත් සනිරුද මායාගේ තොල් පෙත් සිප ගත්තේය.. ඔහුගේන ඇයට ලැබෙන පහස නිසාමදෝ ඇයගේ දෙකකුල සනිරු වටා දමා තදකර ගත්තාය..

මුළු රාත්‍රියම නිහඩය.. නිසලය.. එදා රාත්‍රියේ සනිරුට මායාගෙනුත් මායාට සනිරුගෙනුත් වෙන්ව හිදීමට අපහසුවක් වූවත් දර්ශනීගේ දෙපාපියන් තුළ තමන් කෙරෙහි අපැහැදීමක් ඇති නොකරන්නට  අවැසි වූ නිසා දෙදෙනාම යහළුවන් සමග වෙන වෙනම නිදා ගන්නට ගියහ..

ගුට් නයිට් මායා..

ගුට් නයිට් සනිරු..

රාත්‍රී එකට පමණ ඉමහත් වේදනාවකින් කෙදිරිගාමින් මායා කෑ ගසන්නට විය.. ඇයගේ කෑ ගැසීම නිසා සනිරුත් අනෙකුත් යහළුවනුත් දර්ශනීගේ දෙමාපියනුත් අවදි වූවේ ඇයගේ වේදනාත්මක අදෝනාව හේතුවෙනි..

ඇයි මායා ඔයාට මොකද..? මොකක්ද අමාරුව..? අපිට කියන්න.. දර්ශනි මායාගෙන් එලෙස ඇසුවේ ඇය කෑ ගැසීමට හේතුව නොදත් නිසාය..

ඇයි තුෂාරි මායාට මොකද..? සනිරුද බියට පත්වෙමින් ඇසුවේය..

ඒක තමයි සනිරු.. අපිත් මේ මායාගෙන් අහන්නෙ.. අනේ මන්දා.. එකපාරටම..

ඇයි..? ඇයි..? දුව.. මොකද මේ හදිසියෙ මායා දුවට වුණේ..? හවස හොදට හිටියනේ.. දර්ශනීගේ පියා වික්ෂේපයට පත්ව විමසුවේය..

තුෂාරි අක්කේ.. මගේ බඩ.. බඩ.. කියමින් තව තවත් මායා වේදනාවෙන් තම උදරය අල්ලාගෙන හඩන්නට වූවාය..

ඔයාට මොකද වුණේ මායා..? මට කියන්න.. මායා වැතිර සිටි ඇදෙහි හිද ගත් සනිරු ඇයගේ අත්දෙක අල්ලා ගනිමින් ඇසුවේය..

සනිරු.. සනිරු.. සනිරු.. කිසිත් පැවසීමට ශක්තියක් නොවූ මායා තෙවරක්ම සනිරුගේ නම කීවාය..

පුතේ..! මේක බල බලා ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි.. මෙයාව ඉක්මණට අපි හොස්පිට්ල් එකට අරගෙන යමු.. ඉක්මණට මෙයාව වාහනයට අරන් යන්න.. දර්ශනීගේ පියා හැද සිටි කමීසයේ බොත්තම් දමමින් පැවසුවේය..

හරි.. තාත්තේ..

විනාඩි විස්සකින් පමණ නුවරඑළිය මහ රෝහලට මායා රෑ ගෙන ගිය අතර එසැණින්ම වෛද්‍යවරුන් විසින් ඇයව පරික්ෂා කරන්නට පටන් ගත්හ.. මායාගේ කෑ ගැසීම මධ්‍යයේ වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කළද ඇයගේ රෝගී තත්වය නිසියාකාරයෙන් සොයා ගැනීමට තරම් ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් රෝහලේ නොමැති වූවේ සියලු යන්ත්‍රෝපකරණ අඩපණ වී තිබූ නිසාවෙනි..

ඇයි ඩොක්ටර්.. මෙයාට මොකක්ද තියෙන අමාරුව..? දර්ශනීගේ පියා සංයමයකින් යුක්තව ඇසුවේය..

මේකයි.. පේෂන්ට නම් ගොඩක් අමාරුයි.. ඒත් අපි ළග කිසිම පහසුකමක් නෑ.. මෙයාට වෙලා තියෙන තත්වය දැන ගන්න.. ඒක නිසා අපි දැනට මේ බෙහෙත විදින්නම්.. ඔයාලා හොස්පිටල් ඇම්බියුලන්ස් එකෙන් පුලුවන් ඉක්මණට මෙයාව නුවර හොස්පිට්ල් එකට ගෙනියන්න.. කිසිවක් කිරීමට නොහැකි වූ වෛද්‍යවරුන් ඉතාමත්ම අසරණතාවයකට පත්ව ප්‍රකාශ කළේය..

අපි නර්ස්ලා දෙන්නෙකුත් එවනවා.. යන්න පුළුවන් අය ඉන්නවා නම් අම්බියුලන්ස් එකේම යන්න..

හා.. හොදයි ඩොක්ටර්..

පුතේ දැන් යන්නෙ කවුද..?

අංකල්.. අපි සනිරුත් එක්ක යන්නම්.. දර්ශනි, ඔයා හෙට එන්න.. ගිලන් රථයට ගොඩ වූ ප්‍රදීප් එලෙස පැවසුවේ මායාත් සමග සනිරු තනිවම යැවීම නොකළ යුතු දෙයක් බවට හැගුණු නිසාය..

ඔව් දර්ශනී.. ඔයා හෙට එන්න.. අපි දැන් යන්නම්.. තුෂාරි පැවසීය..

මායාගේ ශරීරයට ලබා දුන් ඉන්ජෙක්ෂන් එක හේතුවෙන් තාවකාලිකව ඇයගේ වේදනාව යටපත් වුවවත් යන අතර මග ඉදහිට යළිත් යළිත් කෑ ගසන්නට වූවාය..

මායා චුට්ටක් ඉන්නකො.. තුෂාරි බැගෑපත් ලෙසින් පැවසීය..

අනේ මට ඉවසන්න බෑ තුෂාරි අක්කෙ.. රිදෙනවා.. ඉන්න බෑ.. ඇය නොනවතින හැඩුමකට අවතීරණ විය..

නර්ස් පොඩ්ඩක් බලන්නකො.. සනිරු හෙදියකට ආයාචනා කළේය..

දැන් ඉන්ජෙක්ෂන් එකක් දීලනේ තියෙන්නෙ.. හෙදියක පැවසීය..

මායාගේ වේදනාවේ දුක්මුසු රාවය පිරුණු ගිලන් රථය මහනුවරට පැමිණෙන විට පාන්දර හතර පමණ විය..


 

No comments:

Post a Comment