Wednesday, June 6, 2012

| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර |






සනිරුත් සමග තිබෙන සම්බන්ධය නතර කිරීමට ජයවර්ධන මායාට අවවාද කළත් එය ඔවුනගේ සංසාර ගත ප්‍රේමය මොහොතකට හෝ බිද දැමීමට තරම් ශක්තියක් නොවුණේ දෙදෙනා තුළ වූ නොබිදෙන බැදීම නිසාය.. නිරන්තරයෙන්ම මායාත් සනිරුත් මුණ ගැසීම, කතාබහ කිරීම, ගමන් බිමන් යාම සම්බන්ධයෙන් ජයවර්ධන පසු වූයේ ඉමහත් කෝපයෙනි.. එය ඔහුට දරාගත නොහැකි වූයේ තම පරම්පරාවෙන් පැවත එන අභිමානවත් නම්බුවට කැළලක් වේදැයි නිරතුරුම සිතෙන්නට පටන් ගත් හෙයිනි.. එබැවින් තම සිතට වද දෙන එම කාරණාව සැනසීමකට පත් කර ගැනුණේ මායා විශ්ව විද්‍යාලයට යාම තහනම් කිරීමට තීරණය කිරීමෙනි..


මම උඹට කී පාරක් කිව්වද ඔය සම්බන්ධය නවත්තපන් කියලා..? ඒත්.. උඹ සත පහකට ගණන් ගත්තෙ නෑ නේද..? දැන් ඉතිං, මම කියන දේ අහලා ඔය කැම්පස් යන එක නතර කරපන්.. ගෙදරට වෙලා ඉදපන්.. ඔය ඉගෙන ගත්තා හොදටම ඇති..

තාත්තා.. මොනවද මේ කියන්නෙ..? මම කොච්චර මහන්සි වෙලාද  විභාගෙ පාස් වුණේ..? මට නම් ඒක කරන්න බෑ.. මම කැම්පස් යනවා..

මායා.. උඹ මං කියන දේ අහපං.. මම උඹගෙ තාත්තා.. උඹ කැම්පස් යන්නෙ එක එකත් එක්ක නටන්නනෙ.. ඒක නිසා ගෙදරට වෙලා හිටපං..

අනේ..! අම්මේ.. තාත්තට තේරුම් කරලා දෙන්නකො.. මම කොහොමද මේ ගෙදරට වෙලා තනියෙම ඉන්නෙ..? මට පිස්සු හැදෙයි.. මායා අසල සිටි තම අම්මාට එලෙස පැවසූවේ සිය පියා විසින් පැන වූ තහංචිය ඉවත් කර ගැනීමට හැකි වෙතැයි සිතාගෙනය..

ඔව්.. උඹට පිස්සු හැදෙයි.. මටත් ඒක තේරෙනවා.. අරකගෙ මූණ බලන්නෙ නැතුව උඹට ඉන්න බැරි බව මම දන්නවා.. උමට පිස්සු හැදුණත් නැතත් මගේ තීරණේ වෙනසක් නෑ.. ඒක මතක තියාගනිං..

ජයේ.. ඔයාට මේ මොකද වෙලා තියෙන්නෙ..? අපිට ඉන්නෙ මේ දරුවා විතරයි නේද..? ඉතිං.. ඇයි මෙහෙම සලකන්නෙ.. ඉන්ද්‍රාණි මායා තම තුරුලට ගෙන පැවසීය..

ඒක නිසාම තමයි මාත් මේ කෑ ගහන්නෙ.. ජයවර්ධන උස් හඩින් පැවසීය..

ඇයි තාත්තෙ..! සනිරුට ඔය තරම් වෛර කරන්නෙ..? එයා දුප්පත් නිසාද..? එයාගෙ වැරැද්ද මොකක්ද..? ප්ලීස්.. අපි දෙන්නා වෙන් කරන්න හදන්න එපා.. පිං සිද්ධ වෙයි..

උඹ කොච්චර ගෙදිරි ගෑවත් දුවේ.. අපේ පරපුරට ගැලපෙන්නෙ නැති කෙනෙකුට මම උඹව දෙන්නෙ නෑ.. ඒක මගේ ප්‍රතිපත්තියක්..

අම්මේ.. මායා තම මව වැළදගෙන හඩන්නට විය..

දැන් ඉතින් ඇඩුවට වැඩක් වෙන්නෙ නෑ.. මම උඹට කලින්ම කිව්වනේ ඕක නතර කරපන් කියලා.. කෝ ඇහුවද..? හෙට ඉදන් කැම්පස් යාම තහනම්.. තේරුණානෙ.. ජයවර්ධන ඇගිල්ල දිගු කරමින් ප්‍රකාශ කළේය..

අඩන්න එපා දුවේ.. මම කියලා මොනවා කරන්නද..? දන්නවනේ තාත්තා මොනවා හරි කිව්වොත් ආයෙ දෙපාරක් හිතන්නෙ නෑ කියලා.. කිසිවක් කිරීමට නොහැකිව අසරණ වූ අම්මා පැවසීය..

ඒත්.. අම්මේ.. මම දැන් සනිරු හම්බවෙන්නෙ කොහොමද..? එයාට කතා කරන්නෙ කොහොමද..? අනේ.. අම්මෙ මොනවා හරි කරන්නකො..

මට සමාවෙන්න මායා.. මට තාත්තාගෙ තීරණ වලට විරුද්ධව මොකුත් කරන්න බෑ.. එහෙම වුණොත් තාත්තා මොනවා කරයිද දන්නෙ නෑ.. ඉන්ද්‍රණි මායාගෙන් වෙන්ව කාමරයට පිය මැණුවේ කිසිත් කිරීමට නොහැකි වූ බැවිනි..

තම පියාගේ ඒකාධිපති තීරණ වලට, තහංචි වලට මැදි වූ මායා හට නිවසින් එළියට යාමට සම්පූර්ණයෙන්ම තහනම් විය.. ඇය සිරමැරදිරියකට එක්තැන් වූ රැදවියක ලෙස නිවසට කොටු විය.. තමන් සමග තම දෙමාපියන් සිටින බව දැනුණත් නෑදෑ හිත මිතුරන් සිටින බව දැනුණත් හදවතට දැනෙන පාළුව, තනිකම, හුදෙකලා බව ඒ කිසිවෙකුට නිවාලන්නට තරම් හැකියාවක් නොතිබුණි.. හදවත අභ්‍යන්තරයේ උපදින ඒ තනිකම ඇය තුළින් සියුම් වේදනාවක් කෙමෙන් කෙමෙන් බිහි කරන්නට තරම් ප්‍රබල විය..

හදවතට අවැසිව පවතින ආදරය, සෙනෙහස සංසාරය පුරාවටම විද ගැනීමට හිමිකම් කී ඒ උරුමක්කරුගෙන් වෙන්ව හුදෙකලාව සිටීම මායාට විදදරා ගැනීමට තරම් ධෛර්යක් නොවීය.. තම ජීවිතයට අරුණාලෝකයක් විත් සපැමිණි ඒ පෙම්බරාත් සමග එකදු වදනක් හෝ දෙඩීමට නොහැකිව ළතැවෙන ඇයගේ චිත්තාභ්‍යන්තරයෙහි තනිකම පාළුව හැරෙන්නට වෙනත් කිසි සංතෘප්තිදායක සිතිවිල්ලක් පිබිදෙන්නට තරම් ඉඩ ප්‍රස්ථාවක් නොතිබිණි..

හදවතේ දැවෙන විසල් අග්ලි ජාලාවෙන් කොටසක් හෝ නිවා දමන්නට හැකියාවක් ඇත්තේ තුෂාරිට සහ වසන්තිකාට බව මායාගේ මනස තුළ සටහන් විය.. ඇය සැණින් තුෂාරිගේ නිවසට දුරකථන ඇමතුමක් ගැනුණේ තම පියා විසින් පැන වූ තහංචිය පිළිබද පැවසීම සදහාය..

හලෝ.. ආන්ටි.. තුෂාරි අක්කා ඉන්නවද..? මම මායා කතා කරන්නෙ.. මායා හෙමීට කටහඩ පාලනය කළේ තම පියා නිවසේ සිටි හෙයිනි..

හා.. මායා දුවද..? පොඩ්ඩක් ඉන්න.. මම තුෂාරිට කතා කරන්නම්..

ආ.. මායා මොකද මේ හදිසියෙම..? මොකක්ද ප්‍රශ්නෙ..?

තුෂාරි අක්..කේ.. මායා හඩන්නට විය..

ඇයි මොකද මායා මේ අඩන්නෙ..? ප්ලීස්.. අඩන්නෙ නැතුව මොකද වුණේ කියලා කියන්නකො..

තුෂාරි අක්කෙ.. මට ආයෙ කැම්පස් එන්න වෙන්නෙ නෑ.. කවදාවත්ම.. මම ගෙදරට හිරවුණා තුෂාරි අක්කෙ..

මායා ඔයා මේ මොනවද කියන්නෙ..? ඇයි එන්න වෙන්නෙ නැත්තෙ..? කවුද ඔයාට තහංචි දැම්මෙ..?

තාත්තා අක්කෙ තාත්තා.. මට ගෙදරට වෙලා ඉන්නලු.. අනේ..! අක්කෙ.. මම දැන් මොනවද කරන්නෙ..?

මායා.. තාත්තට මේ එකපාරම මොකද වුණේ.. මට නම් හිතාගන්නවත් බෑ.. අංකල් ඔය තරමටම ආත්මාර්තකාමී කෙනෙක් කියලා..

එයාගෙ හිත කළු ගලක් වගේ දරුණුයි අක්කෙ.. සනිරුගෙයි මගෙයි සම්බන්ධෙ නැති කරන්නයි එයා එහෙම දෙයක් කළේ..

අම්මා මොකද කියන්නෙ මායා..?

අම්මට මොකුත් තීරණයක් ගන්න බෑ තුෂාරි අක්කෙ.. එයා ගොඩක් අසරණයි..

ඉතින්.. මායා දැන් මොකද කරන්නෙ..? සනිරු දැන ගත්තාම ගොඩක් දුක් වෙයි.. අනික දැන් සනිරු ඉන්න තත්වය දැක්කාම.. මට නම් තේරෙන්නෙ නෑ මායා..

ඒක තමයි අක්කෙ.. මටත් බය.. සනිරුට මොනවා හරි වුණොත් මට මගේ ජීවිතෙන් වැඩක් නෑ තුෂාරි අක්කෙ..

ඕන්.. ඕන්.. ආයෙමත් අඩන්න පටන් ගත්තා.. චුට්ටක් ඉවසන්න මායා.. මොකක් හරි විසදුමක් මේ ප්‍රශ්නෙට තියේවි..

මට අඩන්න ඇරෙන්න වෙන දෙයක් කරන්න ඉතුරු වෙලා නෑ අක්කෙ..

හරි.. හරි.. මායා මට තේරෙනවා.. ඔයා බයවෙන්න එපා.. මම කොහොම හරි සනිරුගෙ හිත හදන්නම්.. එයාට මේ හැම දෙයක්ම තේරුම් ගන්න පුලුවන් වෙයි..

ඒක නෙමෙයි මායා.. මම ඇවිත් අංකල් එක්ක මේ ගැන කතා කරන්නද..? සමහර විට එයාගෙ තීරණේ වෙනස් කරන්න පුළුවන් වෙයි..

අනේ.. තුෂාරි අක්කෙ..! ඒක කොච්චර ලොකු දෙයක්ද..? හැබැයි අක්කෙ දැන්ම එපා.. තව දවස් දෙක තුනකින් එන්න..

ම්.. හරි, මම බදාදා එන්නම්..

අක්කෙ..! සනිරුට කියන්න මම කොහොම හරි ඉක්මණට කැම්පස් එනවා කියලා.. මායා හෙමීට තුෂාරිට මිමිණිය..

හරි.. හරි.. පිස්සි.. මම කියන්නම්.. කලබල නොවී ඉන්නකො..

ආ.. තුෂාරි අක්කෙ.. මම හෙට අපේ ලෙටර් බොක්ස් එකට ලියුමක් දාන්නම්.. ඒක වසන්තිකාට අරගෙන සනිරුට දෙන්න කියලා කියනවද..?

ඇයි සනිරුත් එක්ක දවසක්වත් කතා නොකර ඉන්න බැරිද..? තුෂාරි මද සිනාවක් මුසු කරමින් ඇසීය..

දවසක් නෙමෙයි තුෂාරි අක්කෙ.. එක තත්පරයක්වත් ඉන්න බෑ.. ඇත්තටම අක්කෙ.. ඒ තරමටම මගේ ජීවිතය සනිරුට බැදිලයි තියෙන්නෙ..

අම්මෝ.. පුදුම ගැඹුරු ආදරයක්නෙ.. හරි.. ඒකත් මම කියන්නම්.. දැන් හරිනෙ.. එහෙනම් මායා මම දැන් තියන්නම්.. ගුඩ් නයිට්..

ගුඩ් නයිට් තුෂාරි අක්කෙ..

තම කාමරයේ එක් ජනෙල් පියනක් විවර කර එහි කම්බි කූරු තම දෑතින් අල්ලාගනෙ තාරකාවන්ගෙන් ආලෝකමත් වී තිබුණු අඹර දෙසට තම නෙතු පියන් යොමු කිරීඹට මායාට දැඩි සේ සිත් විය.. චන්ද්‍රයාගේ සොමි කැලුම් ක්ෂිර මගක් මෙන් මහ පොළවට පතිත වී එහි තුරු මුදුන් සිසාරා දැවටී තිබුණත් ඒ ප්‍රභාෂ්වර ආලෝකය තත්පරයෙන් තත්පරය අඩු වී යන්නට ගැනුණේ වළාකුළු රැසකින් සද ආවරණය වන්නට පටන් ගත් හෙයිනි..

සද රැසින් ආලෝකමත් වී චමත්කාරයෙන් පිරී තිබුණු පරිසරයේ සුන්දරත්වය සතුරෙකු විලසට පැමිණි වළාකුළු වලින් නැති කර දැමුවාක් මෙන් ආදරයේ සංතෘප්තියෙන්, මිහිරියාවෙන් ඉපිළ ගිය තම හදවත අන්ධකාරවෙන් පුරවාලන්නට සැරසෙන අප්‍රමාණ වූ බාධක කෙරේ මායා තැවුණත්, වේදනා වින්දත් එය ධෛර්යක් කර ගැනුණේ තම ආදරේ පැවැත්ම සදා කාලයක්ම පවත්වා ගැනීඹට අවැසි වූ බැවිනි..

සැණින් මායා තම මේසය වෙතට පැමිණ එහි පුටුවෙහි වාඩි වූවේ සනිරු වෙත යැවීම සදහා සිතා ගත් ලියුම ලිවීම සදහායි.. ඇය පෑන සහ කොළයක් රැගෙන ටික වේලාවක් කල්පනා කර ඉනික්බිතිව ලියුම ලිවීමට පටන් ගත්තාය.. තම හදවතට ගලාගෙන පැමිණෙන සියල් හැගීම් වචන වලට පෙරළා එකිනෙක සීරුවට පෙළගැස්වීමට මායා උනන්දුවක් දැක්විය.. වරෙක ඇය පෑන කොළය මත තබා තම හිස මේසය මත තබා ගනිමින් සුසුම් පොදක් හෙළීය.. තවත් විටෙක හදවතේ ගැබ්ව පැවති තනිකම කැටුව උපදින හැගීම් සමුදාය සටහන් කරමින් තිබුණු පෙම් හසුන තම ළයට තුරුළු කර ගත්තීය..

අකුරෙන් අකුර, වචනයෙන් වචනය, පේළියෙන් පේළිය, ජේදයෙන් ජේදය.. ලියැවුණු ලියුම සම්පූර්ණ වීමට හෝරා දෙකකට ආසන්න කාලයක් ගතවිය.. එපමණක කාලයක් ගත වූ බවක් මායාට නොදැනුණේ සනිරු ඇමතීමට ඇති එකම මාර්ගය ලියුමක් ලිවීම හැර වෙනත් ක්‍රමයක් නොතිබුණු බැවිනි.. එදින රාත්‍රියේම මායා එම ලියුම ගේට්ටුවේ සවිකර තිබූ ලියුම් පෙට්ටියට දැමීමට තීරණය කළේ පසුදා එය වසන්තිකාට ගැනීම සදහාත් තම පියාගෙන් ඒ බව සගවා ගැනීම සදහාත්ය..

මායා.. කොහේද මේ මහ රෑ එළියට යන්නෙ..? අවදියෙන් සිටි ඉන්ද්‍රාණි පැවසීය..

අම්මෙ මං.. මේ කියමින් ඇය තම අතෙහි හතරට නවා තිබුණු ලියුම දෙස බැලුවාය..

ආ.. මේකයි එහෙනම් එළියට යන්න හැදුවෙ.. ඉන්ද්‍රාණි මහත්මිය මායාගේ අතේ තිබුණු ලියුම දෙස බලමින් පැවසීය..

දුවේ..! මට මොකුත් හංගන්න හදන්න එපා.. ඇයි මාත් තාත්තා වගේද පේන්නෙ..?

නෑ අම්මෙ.. කවදාවත් මම එහෙම හිතන්නෙ නෑ.. අම්මගේ කරුණාව නිසයි මම මෙහෙම හරි ඉන්නෙ..

හරි.. ඒවායින් වැඩක් නෑ.. ඉක්මනට ඔය ලියුම බොක්ස් එකට දාලා නිදාගන්න යමු.. අර.. එකොළහටත් ළගයි.. අනික දැන් තාත්තා එහෙම නැගිට්ටොත් අපි දෙන්නට විසුමක් වෙන්නෙ නැතිවෙයි..

හා.. හොදයි අම්මෙ.. ඉක්මනට යමු..

එදින රාත්‍රියේ ජයවර්ධනගේ නිදි සුවය මොන තරම් සැපදායකද යන්න පවසනවා නම් මායා සහ ඉන්ද්‍රාණි අවදියෙන් සිටි බවක් පසුදාද නොදත්ය..

පසුදා තුෂාරි සනිරු බැලීමට රෝහලට ගියේ ජයවර්ධන විසින් මායාට පැනවූ තහංචිය පැවසීමටද බලාපොරොත්තු ඇතිවය.. එහෙත් සනිරුට එය පැවසීමට තුෂාරිගේ සිත එක එල්ලේම කැමති නොවුණේ ඔහුගේ ශරීර සෞඛ්‍යය එතරම් සුව මට්ටමක නොමැති වූ නිසාය.. නමුත් කෙසේ හෝ එය පැවසීමට තුෂාරි අදිටන් කර ගත්තේ මායාද එය සනිරු හට පැවසීමට කියූ හෙයිනි..

ආ.. තුෂාරි එන්න.. කෝ.. අද අනිත් අය ආවෙ නැද්ද..? වටපිට බැලූ සනිරු ඇසීය..

නෑ සනිරු.. අද මට කවුරුවත් හම්බවුණේ නෑ.. ඒක නිසා මම තනියෙමයි ආවෙ..

ආ.. එහෙමද..? මායත් තවම ආවෙ නෑ.. ඇයි දන්නෙ නෑ පරක්කු..

මේ.. සනිරු, පොඩි ප්‍රශ්නයක්.. තුෂාරි සනිරු නිදාගෙන සිටි ඇදෙහි යකඩ කම්බිය අල්ලා ගනිමින් පැවසීය..

ඇයි මොකක්ද ප්‍රශ්නෙ තුෂාරි..?

මේකයි, මායගෙ තාත්තා.. තුෂාරි වචන එක දෙක මිමුණුවාය..

ඔව්.. මායාගෙ තාත්තා.. මොකක්ද තුෂාරි ප්‍රශ්නෙ..?

ජයවර්ධන අංකල් මායාට කැම්පස් යන්න එපා කියලා.. ගෙදරට වෙලා ඉන්න කියලා..

මොකක්.. මේ මනුස්සයට පිස්සු හැදීගෙන එනවද..? ඇයි තුෂාරි එහෙම තීරණයක් අරගෙන තියෙන්නෙ..?

ඔයාගෙයි, මායාගෙයි සම්බන්ධය නිසා සනිරු..

අනේ..! මං දන්නෙ නෑ තුෂාරි.. මම නිසා ඒ කෙල්ලගෙ ඉගෙනීමත් ඉවර වෙන්නයි යන්නෙ..

තුෂාරි.. මායට කොහොමද දැන්..? එයා හොදින් ද..?

හොදින් නම් තමා.. ඒත්.. ඔයා ගැන හිත හිතා හැම වෙලේම අඩනවා.. මායා එයාගෙ ජීවිතේට වඩා ඔයා ගැනයි හිතන්නෙ සනිරු..

ප්ලීස් තුෂාරි.. තවත් මොකුත් මට කියන්න එපා.. තුෂාරිගේ වදන් සනිරුගේ හදවතට දරා ගන්නට නොහැකි විය..

 ආ.. අන්න වසන්තිකා එනවා.. කොරිඩෝවේ සිට තමන් දෙසට පැමිණෙන වසන්තිකා දුටු තුෂාරි පැවසීය..

තුෂාරි අක්කෙ.. දැන්ද ආවෙ..? ඇය පළමුවෙන්ම තුෂාරිට ඇමතුවාය..

ඔව්, නංගි.. දැන් ටිකකට කලින් ආවෙ.. තුෂාරි ඇයගේ ප්‍රශ්නයට පිළිතුරු බැන්දාය..

ඉතින්.. සනිරු දැන් කොහොමද..?

දැන් නම් හොදයි වගේ වසන්තිකා..

තුෂාරි පෙර දින රාත්‍රියේ පැවසූ ආකාරයටම වසන්තිකා මායාගේ නිවසට ඇතුළු වන ගේට්ටුවෙහි සවිකර තිබූ ලියුම් පෙට්ටියෙහි දමා තිබුණු ලියුම සනිරුට දීම සදහා රැගෙන ආවාය..

ආ.. සනිරු, මේ ලියුම මායා ඔයාට දෙන්න කියලා කිව්වා.. 

වසන්තිකා ඔයා ඒක ගෙනාවද..? මම හිතුවෙ ඔයාට ඒක ගන්න බැරිවෙයි කියලා.. මොකද මායාගෙ තාත්තා උදෙන්ම ඉන්නෙ ගේට්ටුව ළගනෙ..

ඉනික්බිතව වසන්තිකා විසින් ගෙන ආ ලියුම සනිරුට ලැබීමට කටයුතු සිදුකළ ආකාරයට තුෂාරි විසින් සුපැහැදිලි කළාය.. එබැවින් මායා මොන තරම් දුක් වේදනාවක් නිවසට සිරවී හුදෙකලාව විදදරා ගන්නවාද යන්න කෙරේ පිළිබද සනිරුගේ හදවත කම්පාවට පත්වූවේය..

එහෙනම් සනිරු, අපි දැන් යන්නම්.. ඔයා කලබල වෙන්න එපා.. මේ හැම දෙයක්ම විසදෙයි.. බයවෙන්න එපා.. වසන්තිකා සනිරුගේ සිතට ධෛර්යක් එක් කළාය..

ආ.. සනිරු මට කියන්න අමතක වුණා.. මායා කොහොම හරි ඉක්මනටම එනවා කියලා කියන්න කිව්වා..

තුෂාරිත් වසන්තිකාත් ගිය සැණින් මායා එවූ ලිපිය බැලීමට සනිරු දිග හැරියේය.. ඔවු වචන සංයමයකින් යුක්තව දෙතොලින් මුමුණන්නට පටන් ගත්තේය..

2012.02.06
සද නැති තරු නැති රැයක

මගේම සනිරු,

මට සමාවෙන්න සනිරු මේ විදියට ඔයාව ලිපියකින් ඇමතීමට වුණ එක ගැන.. ඒත් මං කියලා මොනවා කරන්නද සනිරු..?

අහස පුරාවටම එළිය කරන් දුන්නු සද අදුරු පාට වළාකුළු වලින් මොහොතකින් වැහිලා ගියා.. මම එතකොට හිටියෙ ජනේලය ළග.. මුළු පළාතම අන්ධකාරයෙන් වැහෙන්න ගත්තා.. ඒත් පුංචි පුංචි තරු කැට නිසා මද එළියක් තිබුණා.. ඒ එළිය මට ආලෝකයක් විදියට පෙනුණෙ නෑ සනිරු.. මට  ඕනි.. හද එළියෙ ප්‍රභාෂ්වර ආලෝකයයි.. නැතුව තරු කැට නෙමෙයි.. සත්තයි මගේ රත්තරන්..! මට ඔයා නැතුව පාළුයි.. මං තනි වුණා කියලා මට දැනෙනවා.. ඉතින් කවුරු හිටියත් මට මගේ ජීවිතය දැනෙන්නෙ හුස්ම ගැනෙනවාද කියලා දැනෙන්නෙ ඔයා හිටියොත් විතරයි සනිරු.. ඉතින් සද නැතුව දාහක් තරු තිබුණට මට ඵලක් නෑ මගෙ සනිරු..

මම මේ විකාර දොඩවනවා නෙමෙයි සනිරු.. මගේ හදවතට දැනෙන හැගීම් තමයි මේ විදියට ලියවෙන්නෙ.. අපි දෙන්නා අපේම වෙන්න මේ ලෝකෙයේ පුංචිම පුංචි ඉඩක් තිබුණට අපි දෙන්නව වෙන් කරන්න මේ මුළු මහත් ලෝකයම බලාගෙන ඉන්නෙ සනිරු.. මට ඒක හොදටම දැනෙනවා.. ඒකෙ ආරම්භය මගේ තාත්තා තමයි පටන් ගන්නෙ.. ඇයි සනිරු මේ විදියට අපෙන් පළිගන්න හදන්නෙ..?

මාව ගෙදරට මේ විදියට එක්තැන් කරලා හිර කරලා තිබ්බට මගේ හදවතට අගුල් දාලා හැගීම් නැති කරන්න කාටවත් බෑ සනිරු.. මේ හදවතේ උපදින හැගීම් තේරුම් ගෙන සෙනෙහස පුදන්නත් ඒ හදවතම සදහට නිසල කරන්නත් අයිතියක් තියෙන්නෙ එකම එක හිමිකාරයෙකුට විතරයි.. ඒ සනිරු කියන ඔයාටම විතරයි මගේ රත්තරන්..

අපේ තාත්තගෙ මේ තහංචිය කවදා වෙනකම් මට බලපායිද කියලා දන්නෙ නෑ.. ඒත් මට ඒ තහංචියට විරුද්ධ වෙලා ඔයා ළගටම එන්න පුළුවන්කම තිබුණත් ඒක අපේ ආදරයට තවත් ශාපයක් වෙයි නේද සනිරු..? මම මේ හැම දෙයක්ම කොහොම හරි ඉවසන්නම්.. හැබැයි වසදෙනවා නම් විතරමයි.. නැත්නම් මගේ ජීවිතයම මට එපාවෙයි..

අපේ තා්තතා ඔයාට වෛර කරන තරමට මම ඔයාට ආදරය කරනවා.. මම මගේ මුළු ආත්මයම මගේ  සකල පන්චේන්ද්‍රියම ඔයාට පූජා කරලයි තියෙන්නෙ.. ඒ කිසිම දෙයක් ආයේ කවදාවත්ම මගේවත් කරගන්න බැරි වෙයි සනිරු.. ඒ තරමටම මම ඔයාට ආදරය කරනවා..

මම ඉක්මනටම එනවා සනිරු.. අපේ ආදරයට දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙනවා නම්, අපේ ආදරය සත්‍යයක් නම්, අපේ ආදරය ජීවමාන නම් ඉක්මණමට තාත්තාගෙ තීරණය වෙනස් වේවි සනිරු.. එහෙම වුණොත් අපිට කියත හැකියි අපේ ආදරය අමරණීයයි කියලා.. එහෙම නේද..?

හැබෑවට අපි දෙන්නා ළංව නොසිටියත් ගෙවෙන හැම තත්පරයක් පාසාම මම ඔයා ළගයි.. ඔයා මගේ ළගයි.. අපි දෙන්නා අපි ළගයි.. ඒ හදවතින් සනිරු.. ඒක ඔයාටත් මටත් දැනෙන සත්‍යයක්, විශ්වාසයක්.. ඉතින් මම දැන් නවතින්නම්..

බුදුසරණයි!

මීට,
ඔයාගෙම ආදර,
මායා.

ඇදෙහි හානිසි වී ලියුම කියවා අවසන් වූ සනිරු එය පපුවට තුරුළු කර ගැනුණේ එහි ලියැවී තිබුණු ඇයගේ වේදනාවන් හදවත සසල කරන්නට තරම්, හෘදස්පන්දනය වේගවත් කරන්නට තරම් කම්පනයක් ඇති කරන්නට ඉවහල් වූ හෙයිනි.. ඔහුගේ හදවතෙහි ඇති වූ වේදනාත්මක කම්පනය මොහොතකින් සකල ශරීරය සිසාර ාගමන් කරන්නට විය.. මස්, නහර, ඇට, මිදුලු හරහා ගමන් ගත් එම කම්පනය සැනින් නළියන්නට ගැනුණේ වේදනාව සපිරුණු රතු පාට ඇස් වලින් කදුළු බිදු නොකඩවා කඩා වැටෙන්නට පටන් ගත් සමගමය..

සනිරු එදා රාත්‍රියේ නින්දත් නොනින්දත් අතර අතරමං වී ගන්දබ්බයෙකු විලසින් රැය පහන් කළේ තම ශරීර සෞඛ්‍යය පිළිබදවද නොසතමිනි..

කැම්පස් නොයා ගෙදරට වී දවස් තුනක් පමණ මායා උන්නාය.. ඇයට තවත් එය ඉවසා ගත නොහැකි වූයේ තම අනාගතය හිතා මතාම විනාශ වන බව හොදාකාරවම දැනෙන්නට පටන් ගත් හෙයිනි.. එබැවින් ඇයට සිය පියාගේ දැඩි වූ තීරණයට විරුද්ධ වී ඉන් ඔබ්බට ගොස් ස්වාධීනව නිදහසේ තීරණ ගැනීඹට දැඩි සේ සිත් විය..

අනේ... අම්මෙ..! මට තවත් නම් මේක ඉවසන්න බෑ.. මම කොහොමද මෙහෙම ගෙදරට වෙලා ඉන්නෙ..? මම කැම්පස් යන්නම් අම්මෙ..!

මට මොකුත් තීරණය කරන්න බෑ මායා.. මේ ගෙදර හැම තීරණයක්ම ගන්නෙ තාත්තා.. ඉතිං.. මම කොහොමද මේදේට විතරක් තීරණයක් දෙන්නෙ..?

අම්මෙ.. මම මෙහෙම ගෙදරට හිර කරලා තිබ්බට සනිරුට තියෙන ආදරය කවමදාකවත් නැති වෙන්නෙ නෑ.. ඇයි ඒ දේ තාත්තා තේරුම් නොගන්නෙ..?

මම ඒක දන්නවා දුවේ.. ඒත්.. ඒත්.. තාත්තට ඒක තේරෙන්නෙ නෑ.. මොකද එයා සල්ලි මත්තෙම ජීවත්වෙන කෙනෙක්..

ඔව් අම්මෙ.. සනිරුටත් හොදට සල්ලි තිබුණා නම් මේ විදියට මට දුක් විදින්න වෙන්නෙ නෑ..

තුෂාරි මායාට පැවසූ ආකාරයටම දවස් තුනකින් පමණ ඇයගේ නිවසට පැමිණියේ කෙසේ හෝ ජයවර්ධනගේ තීරණය වෙනස් කිරීමේ බලාපොරොත්තු ඇතිවය.. ජයවර්ධනගේ දැඩි වූ තීරණ වෙනස් කිරීමට ඉන්ද්‍රාණිට පවා නොහැකි බව තුෂාරි දැන සිටියත් සනිරුගෙන් මායා දුරස් කිරීම වැළැක්වීම සදහාත් මායාගේ ඉගෙනීම අඩපණ වීම වැළැක්වීම සදහාත් තුෂාරි විසින් එම භාරධූර කාර්යය බාර ගැනිණි..

ආ.. අම්මෙ.. තුෂාරි අක්කා එනවා.. එන්න අක්කෙ එන්න.. මායා තුෂාරි හට නිවස තුළට පැමිණෙන ලෙසට ඇරයුම් කළේය..

ඉතින් දුවේ..! කොහොමද..? ගොඩ දවසකටප ස්සෙ.. ඉන්ද්‍රාණි තුෂාරිට කතා කළාය..

වරදක් නෑ ඇන්ටි.. හොදින් ඉන්නවා.. තුෂාරි මායාගේ වම ඇසූ ප්‍රශ්නයට සම්පූර්ණ පිළිතුරක් කෙටියෙන් දුන්නාය..

කතා කර කර ඉන්නකො.. මම බොන්න මොනවා හරි අරගනෙ එන්නම්.. ඉන්ද්‍රාණි මුළුතැන්ගෙය වෙතට පිය මැන්නාය..

මායා.. කෝ.. තාත්තා නැද්ද..? පේන්න නෑනෙ.. තුෂාරි වටපිට බලමින් මායාගෙන් ප්‍රශ්න කළාය..

ඉන්නවා අක්කෙ.. ගේ ඇතුළෙ.. දැන් එළියට එයි.. මේ ඔයා කොහොම හරි තාත්තාගෙ තීරණය වෙනස් කරන්න බලන්න.. කොහොම හරි..

හරි.. හරි.. ට්‍රයි කරලා බලමු.. මොනවා හරි වෙයිනෙ.. ඔයා බය නැතුව ඉන්න.. මායා ළගින් වාඩි වී උන් තුෂාරි පැවසීය..

අක්කේ.. ඔයා ඊයෙ සනිරු බලන්න ගියාද..? මේ ගැන ඔයා එයාට කිව්වද..? සනිරු ඔයාට මොනවද කිව්වෙ..? මායා එක වරම තුෂාරිගෙන් ප්‍රශ්න කිහිපයක්ම විමසුවේ ඊට සැණින් පිළිතුරු ලබා ගැනීමේ අපේක්ෂාව ඇතිවය..

අයියෝ.. මායා එක එක ප්‍රශ්නෙ අහන්නකො.. පුදුම හදිසියක්නෙ තියෙන්නෙ.. තුෂාරි තම ඔලුවට අත තබා ගනිමින් පැවසුවාය..

ම්.. සනිරුට මේ හැමදෙයක්ම කිව්වා.. ඉතිං.. එයා ගොඩක් දුක් වුණා.. ඒත්, සනිරුගෙ හිත ගොඩක් ධෛර්යයි මායා.. මට හිතෙන්නෙ සනිරු මේ හැම දෙයක්ම ඉවසන්නෙ ඔයා නිසයි කියලා..

ආ.. ඔයා ලියපු ලියුමත් වසන්තිකා සනිරුට දුන්නා.. තත්පර දෙකක් කල්පනා කරමින් තුෂාරි පැවසීය..

ම්.. එච්චර තමයි මායා..

පුටුවෙහි වාඩි වී සිටි මායා සහ තුෂාරි එක වරම ඉන් නැගිට්ටේ කාමරයේ සිටි ජයවර්ධන තමන් වෙත එමින් උන් නිසාය.. ජයවර්ධන පැමිණෙනවාත් සමගම මායා තම කාමරය තුළට ගියේ ඔහුත් සමග සිත් අමනාපයෙන් සිටි බැවිනි..

ආ.. තුෂාරි දුව.. මොකද මේ හදිසියෙම මේ පැත්තෙ..? කාමරය තුළට යමින් සිටි මායා දෙස බලමින් ජයවර්ධන ඇසීය..

වාඩිවෙන්න.. වාඩිවෙන්න දුව.. ජයවර්ධන පුටුවෙහි වාඩිවෙමින් තුෂාරිට පැවසුවේය..

පේනවද දුව.. මායාගේ හැසිරීම..? මේ දවස් වල මගෙත් එක්ක වචනයක්වත් කතා කරන්නෙ නෑ.. අඩුම තරමෙ මූණවත් බලන්නෙ නෑ..

අංකල්.. මම මෙහෙම අහනවට තරහා ගන්න එපා.. අනික මම මෙහෙම අහන්නෙ මායාගෙ යාළුවෙක් නිසයි..

මොනවද මේ අහන්නෙ තුෂාරි දුව..? මට නම් තේරෙන්නෙ නෑ.. තම තීරණය පිළිබදව තුෂාරි ප්‍රශ්න කිරීමට පෙළඹෙතැයි කියා ජයවර්ධනට සිතුණේය..

මේකයි අංකල්.. ඇයි මායාට කැම්පස් යන්න එපා කියන්නෙ..? මායාට හොදට ඉගෙන ගන්න පුළුවන්.. ඉතින්.. ඇයි ඒ දේ නැති කරන්න හදන්නෙ..? තුෂාරි වචන එක දෙක වැඩි කරගනිමින් ජයවර්ධන සමග කතා කරන්නට විය..

ඔව් දුව, මම දන්නවා මායාට හොදට ඉගෙනගන්න පුළුවන් කියලා.. ඒත්.. තාත්තා කෙනෙකුට තමන්ගෙ දරුවන් හිතුවක්කාර විදියට වැඩ කරනකොට බලාගෙන ඉන්න පුළුවන්ද..?

ඇයි අන්කල් එහෙම කියන්නෙ..? මායා හිතුවක්කාර ගෑනු ළමයෙක් නෙමෙයි.. මායා සනිරු කියලා කෙනෙකුට ආදරය කරන එක ඇත්ත.. ඒකෙ වැරැද්දක් නෑ නේද අංකල්..?

වැරැද්දක්.. කියමින් කෝපයෙන් මෙන් ජයවර්ධන පුටුවෙන් නැගිට්ටේය..

තුෂාරිට මේක තේරෙන්නෙ නෑ.. අපේ පවුලට කොහෙත්ම ගැලපෙන්නෙ නැති එකෙකුට මට කැමති වෙන්නද කියන්නෙ..? නෑ.. නෑ.. ඒක කොහෙත්ම වෙන්නෙ නෑ..

හරි, අංකල්.. ඒත් මායාට කැම්පස් යන්න දෙන්න.. ඒ දේ මායගෙන් උදුර ගන්න එපා.. මොකද ඒ මායාගේ අනාගතය නේද..?

දරුවො.. මායා කැම්පස් යන්න ග්තතොත් ඔය සම්බන්ධය කවදාවත්ම නතර වෙන්නෙ නෑ.. ඒකයි මම එහෙම තීරණයක් ගත්තෙ.. නැතුව මායාගෙ අනාගතය විනාශ කරන්න නෙමෙයි..

අනේ අංකල්..! පිං සිද්ධ වෙයි.. ඔය විදියට ආත්මාර්ථකාමී වෙන්න එපා.. මායාට කැම්පස් යන්න දෙන්න.. ප්ලීස්.. තුෂාරි ජයවර්ධන ඉදිරිගේ බැගෑපත් විය..

තම තීරණය වෙනස් නොකිරීමට ජයවර්ධන දැඩි සේ අදිටන් කරගෙන සිටියත් එය මායාගේ ඉගෙනීමේ කටයුතු වලට බලපාන බැව් දැනෙන්නට ගත් නිසා එය වෙනස් කිරීමට තරම් ඔහුගේ සිත මොළොක් විය..

හරි.. තුෂාරි දුව, මම මායාට කැම්පස් යන්න දෙන්නම්.. හැබැයි.. මේ සම්බන්ධය නතර කරන්න කියලා කියන්න.. මම මේ තීරණය ගත්තෙ එයාගෙ ඉගෙනීම ගැන හිතලයි..

හොදයි අංකල්.. කියමින් මායා සිටි කාමරයට ඇය ගියාය..

අක්කේ.. තාත්තා මොකද කිව්වෙ..? කාමරයට පැමිණි තුෂාරිගේ අත්දෙක අල්ලා ගනිමින් මයා ඇසීය..

අම්මෝ.. පුදුම තාත්තා කෙනෙක් තමයි.. ආපහු කැම්පස් යන්න නම් පුලුවන්.. ඒත්.. සනිරුත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කිව්වා.. නැත්නම්.. කියමින් තුෂාරිත් කිසිත් නොකියා ඇද වත වාඩි වූවාය..

නැත්නම් කිව්වෙ අක්කෙ..? මායාද තුෂාරි අසලින් වාඩි වූවාය..

නැත්නම් කිව්වෙ.. සනිරුත් එක්ක තියෙන සම්බන්ධය නතර නොකළොත් සනිරු ගැන බලාගන්නවා කිව්වා..

අනේ අක්කෙ..! මම කොහොමද සනිරුට තියෙන ආදරය නැති කර ගන්නෙ..? ඒක නම් මේ ආත්මයෙ තියා මතු ආත්මයකදිවත් කරන්න බෑ..

ඒත්.. තාත්තා සනිරුට මොනවා හරි කළොත්.. මම කොහොමද දරා ගන්නෙ..? මායා තුෂාරිගේ උරහිස මත හිස තබා ගනිමින් පැවසීය..

දැන් මායා තාත්තට කිසිම දෙයක් දැනගන්න තියන්න එපා.. පුලුවන් තරම් පරිස්සමින් ඉන්න.. මොනාවා හරි දැන ගත්තොත් එහෙම.. ඒක සනිරුගේ ජීවිතයටයි බලපාන්නෙ..

ආ.. ඇන්ටි එන්න.. කාමරයට පැමිණි ඉන්ද්‍රාණි දුටු තුෂාරි පැවසීය..

අම්මේ.. කියමින් ඉදිරියට පැමිණි ඉන්ද්‍රණි මායා විසින් වැළද ගත්තේ නිහතමානි වූ පුංචි සතුටක් සිතෙහි රදවාගෙනය..

මම තුෂාරිගෙයි තාත්තගෙයි කතාව අහගෙන හිටියෙ මායා.. තාත්තා එහෙම හරි තීරණය වෙනස් කරපු එක ගැන දූට සතුටු නැද්ද..?

සතුටුයි අම්මෙ සතුටුයි.. ඒත් බයකුත් හිතේ තියෙනවා..

ජීවිතය කියන්නෙ ප්‍රශ්න ගොඩක් මායා.. අපිට ඒ ප්‍රශ්න එක්කයි ජීවත් වෙන්න වෙලා තියේනනෙ.. ඉතින් ඔයාටත් මේ හැම දේකටම මූණ දෙන්න වෙනවා.. ඒ ගැන හිතලා බයවෙන්න එපා..

තුෂාරි දුව.. ඔය තේ එක බොන්න.. දැන් නිවිලත් ඇති..

ආ.. හරි ඇන්ටි.. මේසය උඩ තිබූ පීරිසිය සහිත තේ කොප්පය අතට ගනිමින් තුෂාරි පැවසීය..

තේ කොප්පයෙන් උගුරු දෙක තුනක් පානය කළ තුෂාරිගේ වේළි තිබුණු දිවකට සැණින් තෙත් වන්නට විය.. ඇය තේ කෝපපය මේසය උඩ තබමින් යාමට සූදානම් වූයේ මායා හට තවත් කාරණාවක් පවසමිනි..

මායා.. ඔයා හෙට උදෙන්ම එන්න සනිරු බලන්න හොස්පිට්ල් එකට යන්න.. මොකද ඔයාට ආපහු කැම්පස් යන්න ලැබුණ එක දැන ගත්තාම සනිරුට ගොඩක් සතුටු හිතෙයි..

එහෙනම් ඇන්ටි මම යන්නම්.. මායා මම යනවා.. හෙට උදේන්ම යන්න..

හොදයි තුෂාරි අක්කෙ..! ඔයාට කොහොම ස්තුති කරන්නද මංදා.. තැන්ක්යූ වෙරි මච් අක්කේ..

මේ.. මේ.. පිස්සුද මායා ඔයාට..? ඇයි මට තෑන්ක්ස් කරන්නෙ..? මම ඔයාලගෙ යාළුවෙක් නෙමෙයිද..?

එහෙනම් මම යනවා.. බායි..

බායි තුෂාරි අක්කේ..

දවස් තුනක් පමණ සනිරු බැලීමට නොහැකි වූ මායා පසුදා රෝහලට ගියේ ඉමහත් උනන්දුවකිනි.. උද්යෝගයකිනි.. මේ මිහිතලය මත තිබෙන අප්‍රමාණ වූ සප්‍රාණික, අප්‍රාණික දේ වලින් තම දෑසට වඩාත්ම පිය මනාප වූ, සුන්දර වූ, ලෙන්ගත් වූ, ආදරණීය වූ, සෙනෙහෙවන්ත වූ, අමිල වූ, ජීවමාන වස්තුව ලෙසට මායාගේ හදවතේ සේම මනසෙහිද අධිනිශ්චය වී තැන්පත්ව පැවතියේ එකම එක ප්‍රාණයක් පමණි.. ඒ ඇයගේ පෙම්බරා සනිරුය..

මායා.. මායා.. මේ ඔයාමද..? තමං ඉදිරියේ මායා සිටියත් එය සනිරුට අදහාගත නොහැකි විය..

ඔව්.. සනිරු.. මම මායා.. ඔයාගෙම මායා.. ඇයි ඔයාට විශ්වාස නැද්ද මම ඔයා ළග ඉන්නවා කියලා.. මේ බලන්න.. මම ඔයා ළගයි ඉන්නෙ.. ඇය තම දෑතින් සනිරුගේ මුව ස්පර්ශ කරමින් ප්‍රකාශ කළාය..

මායා මට නම් මේක හීනයක් වගෙයි.. ඇත්තමයි.. මේ දවස් තුනේ මම හිටියෙ කොහොමද කියලවත් මට හිතාගන්න බෑ..

මටත් එහෙමයි සනිරු.. මේ දවස් තුන මට හරියට අවුරුදු තුනක් වගේ.. මගේ ජීවිතේටම ඒ දවස් තුන මහා නපුරු කාලයක් වගේ දැනුණෙ.. කොටින්ම කියනවා නම් ඒ දවස් තුනේ මම හුස්ම ගත්තද කියලවත් මතක නෑ..

මායා ඔයා අර ලියපු ලියුමේ කියලා තිබුණා නේද අපි දෙන්නා ළංව නොසිටිවත් ගෙවෙන හැම තත්පරයක්ම අපි හදවතින් එකට ළංවයි ඉ්නනෙ කියලා.. ඇත්තටම ඒක කොච්චර ඇත්තක්ද..? මේ දවස් තුනේ ඔයාව මට දකින්න නොලැබුණත් ඒ හැම මොහොතකම ඔයා හිටියෙ මගේ හදවතෙයි මායා..

ඔය ඇත්තමද සනිරු කියන්නෙ..? මායා හෙමීට මිමිණුවාය..

ඔව්, මගේ මායා.. ඇත්තමයි.. අපිට පිහිට වෙන්න බුදුන් ගැන මම දිවුරන්නම්, දෙවියන් ගැන දිවුරන්නම්..

දිවුරන්න ඕන නෑ සනිරු, ඒක මට විශ්වාසයි..

සනිරු දැන් ඔයාට අමාරුවක් නෑ නේ..? තවම ඔලුව රිදෙනවද..?

දැන් මාරුවක් නෑ මායා.. දැන් නම් හොදටම හොදයි.. හෙට ටිකට් කපන්න පුළුවන් වෙයි කියලා කිව්වා..

මායා හෝරාවකට ආසන්න කාලයක් සනිරුත් සමග දොඩමලු වී කැම්පස් එකට ගියේ පෙර දිනයන්හී අතපසු වූ පාඩම් කොටස් තම යහළුවන්ගෙන් අසා දැන ගැනීමේ අපේක්ෂාව ඇතිවය..


 

No comments:

Post a Comment