Wednesday, May 16, 2012

| ගල් කන්ද වලව්ව | ගයනා එස්. ලක්මාලි |






චේතිය සිය මව සමග කළ කතා බහේ හඩ පටය නතාලිට ඇසීමට අවකාශ ලැබුණේ දින දෙක තුනක් ඉක්ම ගිය පසුවය.. තම පුංචි අම්මා ඇගේ හඩින්ම කරන ලද එම ප්‍රකාශයන් තුළ නතාලිට නම් සිතීමට බොහෝ කරුණු ගැබ්ව තිබිණි..

"පුංචි මේ අන්තිමට කරපු යෝජනාව ගැන බයවෙන්න දෙයක් නෑ මල්ලි.. චූටිගෙ තාත්තා ඇතුගල හාමු කියන එක අපි කාටවත් නොකිය ඉමු.. කිව්වත් වගේ ඒක දැනගත්තොත් නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.."


නතාලිව මුණ ගැසීමට නුවර ගිය චේතියට ඈ කීවේ වැව රවුම වටා ඇවිදයන විටය..

"ඒත් අක්කෙ අපි පන්සලේ පොඩි සාදුට පොරොන්දු උනානෙ මේ ගැන විස්තර හොයාගෙන පන්සලට එන්නම් කියලා.. ඒ නිසා මේ පුනර්භවය ගැන කතාව එක සැරේ යට ගහන්න බෑ.."

චේතිය කීවේ ඔවුන් පන්සලට යාමට දැනටමත් කල්පසු වූවා වැඩි බව සිහිපත් කරමිනි..

"ඒක යටගහන්න අවශ්‍ය නෑ මල්ලි.. මේක දැනට දන්නෙ අපි හතර පස් දෙනා විතරයිනෙ.. අපි අපි විතරක් එකතු වෙලා මේ ගැන හොයමු.. පිට අය දැනගන්නෙ නෑනෙ එතකොට.. අනික චූටිට හොස්ටල් එකක් බලන වැඩේ මං කරන්නං.. එයාව අපේ හයි ස්කූල් එකට දාන්න බැරිවෙන එකක් නෑ.."

"ඒක ඉක්මන් කරන එකනං කෝකටත් හොදයි අක්කෙ.. මමත් ඔය ගමේ ඉස්කෝලෙට යන කාලෙ අපේ දුප්පත්කමයි, අම්මගෙ මේ ප්‍රශ්නෙයි නිසා හරියට බැට කෑවා.. තාම චූටි පොඩි නිසා හොදයි.. එයාටත් තේරෙන වයස වෙද්දි ඔය ප්‍රශ්න අනිවාර්යෙන්ම එයි.. මං වගෙත් නෙමෙයි.. එයා කෙල්ලෙක්නෙ.."

චේතිය තම පුංචි සොයුරිය ගැන කීවේ දැඩි ආදරයකිනි.. ඒ බව වැටහුණු නතාලි ඔවුනට උදව් කිරීමට දැඩිව අදිටන් කරගත්තේය..

"ලබන සතියෙ මං අනිවාර්යෙන්ම පන්සලට යන්න එනවා.. ඔයා යාළුවො දෙන්නවත් එක්කගෙන එන්න.. පුළුවන් උනොත් අපි ගුණවතී පුංචිවත් ගෙනියමු.. එතකොට කාගෙ කාගෙත් හිත් සුද්ධයිනෙ.."

ඔවුන් දෙදෙනා කතා කරන අතරතුර නතාලිට දුරකථන ඇමතුමක් දුන් විශ්වද ඔවුනට එක්විණි.. ඔහු දුටු වහාම චේතිය කළේ සුහද ලෙස අත් අල්ලා ගැනීමය..

"ඉතිං මස්සිනා.. කොහොමද..? කාලෙකට පස්සෙ නේද..?"

චේතියට ඇසක් ඉගිමැරූ විශ්ව එසේ කීවේ ඔවුන් කුරුණෑගලදී මුණ ගැසුණු සිද්ධිය මෙතෙක් නතාලිට නොකී නිසාය..

"කාලෙකට පස්සෙ වෙන්නෙ කොහොමද..? ඇයි ඔයාලා ළගකදි කුංෆු ෂෝ එකකට සෙට් උනේ.."

නතාලි ගත් කටටම අසද්දී චේතියගේ පමණක් නොව විශ්වගේද ඇස් උඩ ඉන්දවිය.. එදා අශේන් ඇතුලු පිරිසට පහර දුන් සිද්ධිය ඈ දන්නවා ඇතැයි විශ්ව වුව නොසිතුවේය..

"මොකද දෙන්නා ඇස් ලොකු කරගෙන බලන් ඉන්නෙ..?"

"ඔයා මොන කුංෆු ෂෝ එකක් ගැනද කියන්නෙ බබා..?"

විශ්ව නොදරුවෙකු සේ නතාලිගේ මුහුණට එබුණු ආකාරයට චේතියගේ මුවේ සිනාවක් ඇදුණි..

"මං මෙච්චර කල් ඔයාගෙන්වත් ඇහුවෙ නෑ විශ්ව.. ඒත් ඔයාලා එකතුවෙලා කරපු ඒ වැඩේ මං දන්නවා.. මොකෝ මම වෙන කැම්පස් එකකයෑ.. මං ඔයාට මේ පොඩි එකාව සෙට් කරලා දුන්නෙ උදව්වක් කරන්න මිසක් යුද්ධෙකට ගෙනියන්න නෙමෙයි.. කොහොම උනත් ඒකෙන් උනේ හොදක් නිසයි මං මෙහෙමවත් කට වහගෙන හිටියෙ.."

නතාලි එම සිදුවීම ගැන බොහෝ තරහා ගෙන උන් බව දැනුණ චේතිය වදනක්වත් දෙඩුවේ නැත.. නමුත් විශ්වට නම් කට පියාගෙන ඉන්න නොහැකි විණි..

"අනේ.. මූ හොද පොඩි එකා.. ඔයා දන්නෑ නතාලි එදා මං ඇති ඇති කියද්දි මූ තමයි උඩ පැන පැන හතර අතට නෙලුවෙ.. අපේ කැම්පස් එකේ සෙට් එකත් කොරවෙලා බලන් හිටියෙ.."

විශ්ව එය කීවේ කේලමක් කීමේ අදහසින් නොවුණද නතාලි චේතිය දෙස රවා බැලුවේය..

"ඒ උනාට අක්කෙ ඒකෙන් පවක් උනේ නෑනෙ.. අපි නොදැන උනත් ගහලා තියෙන්නෙ පොලීසියට ඕනම කරලා හිටපු ගැන් එකකට.. උන් හෙන ජාවාරම් කාරයොලු.."

චේතිය සම්මානිගෙන් දැන ගත් තොරතුරු වීරයා සේ කීවද එම කරුණු සියල්ලම නතාලි දැන උන්නාය..

"ඒක තමයි මං කිව්වෙ ඒකෙන් උනේ හොදක් කියලා.. ඒත් නිකං හිතන්න.. උන් ඔය විදියෙ අය නම්.. උන් ළග ආයුධ මොනවහරි තිබුණා කියලා.. එහෙමනං මොකද වෙන්නෙ..? එහෙම උනානං විශ්ව මං මුලින්ම අල්ලගන්නෙ ඔයාව.."

නතාලි විශ්ව දෙසට දඹරැගිල්ල උලුක්කරද්දී විශ්ව දෑත් එකතු කොට ඇයට වැන්දේය.. චේතිය සිනා සිසි මේ සොදුරු යුවල දෙස බලා සිටියේ ආශාවෙනි..

"අපි මේ තරම් ප්ලෑන් කරලා ගේම දීලත්.. බලපං මස්සිනා.. අන්තිමට ක්‍රෙඩිට් එක ගියේ ත්‍රීවිල් පාර්ක් එකට.. කොහෙද අර රත්නෙ කියන එකා ඕනෙ නැති බහුශ්‍රැත ටෝකක් දැම්මනේ.."

විශ්ව කීවේ මෙතරම් සමාජ සත්කාරයක් කලද එහි නම්බුව තම පිරිසට හිමි නොවීම ගැන සැබෑම ශෝකයෙනි..

"එහෙම උන එක හොදයි.. උන් මොන විදියකින් හරි ඉක්මනට එළියට එයි.. එහෙම ආපු දාක ඔය ක්‍රෙඩිට් එකේ රිටන් එකනම් වරදින එකක් නෑ.."

නතාලි කල්පනා කල තරම් දුර දිග විශ්ව කල්පනා කර නොතිබිණ.. ඔහුට ඇවැසි වූයේ තම කොලුකාරකම් ගැන කීමට මිස බොරු නම්බුනාම ලබා ගැනීමට නොවේ..

"හරි.. හරි.. ඔය දෙන්නා එහෙනං පාඩුවෙ මේ බංකුවක් උඩට වෙලා මරාගන්න.. මට පරක්කු වෙනවා.. මං යන්නම්.."

චේතිය දෙදෙනාගෙන් සමුගත්තේ සතුටිනි..

                                             ****************************

චේතිය පාසලේදී කලනට හා රංගට තම මව සමග ඇති වූ කතාබහේ සාරාංශය පැවසුවේ ඔවුන් දෙදෙන තම ප්‍රාණසම මිතුරන් වූ හන්දාම පමණක් නොව තම මව පියෙකු නැති දරුවෙක් බිහි කළාය යන කතාව නිසා චේතිය අපහසුතාවයට පත්වූ සෑමවිටකම ඔවුන් තම සහයට ළග උන් හන්දාය.. කොටින්ම නගරයේ පාසලෙන් එම කරුණ වසන් කිරීමට පවා උදව් දුන්නේ ඔවුන් දෙදෙනාය..

"ඒක මාර කතාවක්නෙ චේති.. එතකොට උඹලගෙ අම්මට නංගි හම්බවෙන්න ඉද්දි ළමාතැනී ජීවත්වෙලා තියෙනවා.. ඒ කියන්නෙ ළමාතැනී උඹලගෙ අම්මගෙ කුසේ ප්‍රතිසන්ධිය ලබලා තියෙන්නෙ කළලයට අඩුම ගානෙ මාසයක් දෙකක් ගෙවුනට පස්සෙ.."

චේතියගේ කතාවට බැරෑරුම්ව සවන් දුන් කලන කීවේ තරමක පුදුමයෙන් වුවද එවන් ආකාරයේ කතා කිහිපයක් ඔහු කියෙව්වාද ඔහුට මතක තිබුණි..

"ඔව්.. ඒක එහෙම වෙන්න පුළුවන් කලන.. ඒවගේ පර්යේෂණයක් ගැන මං කියෙව්වා මේ ළගකදි.. ඒකෙ ඒ ළමයා ඉපදිලා තිබුණෙ එක්දාස් නවසිය අනූ හතරෙදි.. ඒත් එයා ඒ පෙර භවය ගැන කියපු කෙනා මැරිලා තියෙන්නෙ එක්දාස් නවසිය අනූ පහේදි.. ඒක ටිකක් අස්වාභාවික තමයි.. ඒ උනාට ඒ ළමයා අර කලින් කෙනාගෙ විස්තර හරියටම කියලා තියෙනවා.. එයාගෙ ගේ තිබුණ තැන.. ගෙදරට යන පාර.. පවුලෙ අයගෙ නම් ගම්.. එයාලා ආස කරපු දේවල් පවා.. ඉතිං එහෙම බලාගෙන යද්දි ඒ ප්‍රතිසංධියෙ වෙනසක් තිබුණට ඒක බෙරුයි කියන්න බැහැ.. අනික මචං පුදුමෙ කියන්නෙ මේක ලංකාවෙම රත්නපුරේ පැත්තෙ වෙච්ච සිදුවීමක්.."

චේතියගේ කතාවට සාවධානව අසා උන් රංගද එය අනුමත කලේ තමාද මෑතක එවන් පොතක් ගැන කියවූවා සිහිපත් වූ බැවිනි..

"උඹේ නංගිගෙ සිද්ධියෙදි අපි තාම දන්නෙ නංගි අශේන් ගැනයි වලව්ව ගැනයි කියන එකයි ලේස් ගවුම් වලට ආස එකයි වගේ සීමිත දේවල් ටිකක් විතරනෙ.. ඔය අපි පොත් පත් වල කියෙව්වා වගේ විශේෂ සිදුවීමක් මුකුත් නංගි කියන්නෙ නැද්ද..?"

අධ්‍යයනයට ඉතාම රසවත් වූ මෙම මාතෘකාව ඔස්සේ කරුණු සෙවීමට රුචි වූ කලන චේතියගෙන් විමසුවේය..

"මටත් ඔය ගැන හරියටම දෙයක් දැනගන්න පුළුවන් උනේ දැන් සතියකට දෙකකට විතර කලින් තමයි.. චූටි මහා පුදුම කතාවක් කියනවා බං.. කොටින්ම එයා පුංචි කාලෙ අපේ අම්මට කතා කලෙත් ගුණවතී කියලලු.. අම්මා තමයි බැනලා බැනලා ඒක හරි ගස්සවලා තියෙන්නෙ.. මටත් කීප දවසක්ම චූටි පුතේ.. සුදු පුතේ කියලා කතා කලා.. මං නං හිතුවෙ එහෙම කිව්වෙ අම්මා කතා කරනවා ඇහිලා වෙන්න ඇති කියලා.."

"වෙන.."

"චූටිව ඉස්කෝලෙන් ගන්න ගිය දවසක මට එයාගෙ පංතියෙ ටීචර් හම්බ උනා.. එයා කියනවා අපේ චූටිට අනික් ළමයින්ට නැති මට්ටමේ දියුණු ඉංග්‍රීසි දැනුමක් තියෙනවලු.. අනික එයාගෙ හැසිරීම් හරිම වෙනස්ලු.."

"මොන වගේ වෙනසක්ද..?"

කලන කුතුහලයෙන් විමසිය..

"එයා වෙන ළමයි වගේ වැඩිය දගලන්නෙ නැතිලු.. හරිම තැන්පත්ලු.. හරි වැදගත් විදියට හැසිරෙනවලු.. ඒ ටීචර් කියපු විදියට ඉස්කෝලෙ හැමෝම ගුරුවරු නංගිට මාර ආදරෙයිලු.."

"ෂා.. එහෙනං ගමේ ඉස්කෝලෙ උඹට තිබුණ තැන නංගි දෙක වසරෙදිම අයිතිකරගෙන වගේ.."

රංග එසේ කීවේ ඔවුන් තිදෙනාද ගමේ පාසලට යන කාලයේ චේතිය ගුරුසිත් දිනා ගැනීමට දක්ෂ වූ හන්දාය..

"ඒක නෙමෙයි චේති.. උඹ මුලදි වෙස් මාරු කරගෙන ගල් කන්ද වලව්වට ගියේ උඹට මොනවද දැනගන්න ඕනෙ කියලනෙ.. උඹ කිව්වෙ උඹලගෙ පවුලට සම්බන්ධ මොකක්ද රහසක් ඒකෙ හැංගිලා තියෙනවා වගේ දැනෙනවා කියලා.. දැන් ඒ කුතුහලේ හරි නේද..? දැන් අපි හැමදේම දැනගත්තනෙ.. උඹේ නංගිගෙ තාත්තා ඇතුලග කාරයයි කියලා.. නංගි ළමාතැනීගෙ යලි ඉපදීම කියලයි.."

"නෑ කලන.. එහෙම දෙයක් නෙමෙයි.. මට දැණුනෙ වෙනමම හැගීමක්.. ඒත්.. ඒක මෙහෙමයි කියලා මට විස්තර කරන්න තේරෙන්නෙ නෑ.."

කලන කියාගෙන ආ දෙය අතරමග නතර කල චේතිය තම සිතැගි පැවසුවේ තරමක් කල්පනා බරවය..

"වෙන මොන මගුලක්ද බං.. තව මොනවද දැනගන්න ඕනෙ..? උඹලත් හදන්නෙ හොරෙන් හොරෙන් වලව්වට රිංගලා ඇතුගල කාරයගෙන් වෙඩි කන්නද..?"

රංග පැවසූවට චේතියගේ මුවේ සිනාවක් විසිරුණි..

"වෙඩි කන්න හරි මං මේ පාර යන්නෙ හොරෙන් නෙමෙයි.. කෙලින්ම ගුණවතීගේ පුතා විදියට.. ඇතුගලයට බෑ මට චැලේන්ජ් කරන්න.. ඌ මොනවහරි කිව්වොත් මං මිනිහගෙ පට්ටන්දරේ මුළු ගමටම කියනවා.."

"උඹ හදන්නෙ උඩ බලාගෙන කෙල ගහගන්නද චේති..?"

"එහෙම එකක් නෙමෙයි බං.. ගමේ මිනිස්සු හිතාගෙන ඉන්නෙ වලව්ව අයිති මිනිහට කියල.. අනික උගේ පුතාගෙ චරිතෙ ගැනයි.. මැරයන්ට ආරක්ෂා කරලා දීපු එක ගැනයි.. හැමදේම අපි දන්නවනෙ කලන.."

"මේ අහපං චේති.. උඹට දෙයක් දැනගන්න ඕනෙ නං ඔහොම වලියට බරවෙලා ගිහින් බෑ.. පොඩ්ඩක් දැහැමින් සෙමින් හොයලා බලපං.. එහෙම ගියොත් මිනිහා උඹට බකට් එක අදින එකක් නෑ.."

ඉක්මනින් තරහා ගන්න තම මිතුරා තවත් ප්‍රශ්නයක් දා ගනීවියැයි සැක සිතුනු දෙමිතුරෝ ඔහුව සන්සුන් කිරීමට උත්සහ දැරිය..

"දැන් මොනවද ඔය වලව්වට ගිහින් කරන්න හදන්නෙ..?"

"මං යන්නෙ හාමුව මීට් වෙන්න නෙමෙයි.. හේතුහාමි මාමව මුණගැහෙන්න.. එයා අපේ අම්මට තාත්තට විතරක් නෙමෙයි.. පුංචි කාලෙදි මටත් හරිම හිතවත්.. මට එක සැරයක් මිනිහව කතාවට අල්ලගත්තොත් ඇති.. මට එයාගෙන් දැනගන්න දෙයක්  තියෙනවා.."

කලන කුතුහලය මුසු දෑසින් චේතියගේ මුහුණට එබුණි..

"අපේ චූටි කීප සැරයක්ම වීරවර්ධන කියලා කෙනෙක් ගැන කිව්වා.. ඒත් එහෙම කෙනෙක්ව අපේ අම්මා දන්නෙ නෑ.. මට හේතු හාමිගෙන් දැනගන්න ඕනෙ ඒ කෙනා කවුද කියලා.."

"මොනවද නංගි කිව්වෙ..?"

"මිස්ටර් වීරවර්ධන හම්බවෙන්න යං කියලම කියනවා.. එයා ළග ලියුමක් තියෙනවලු.. ගිහින් ඒක අරන් එන්නලු.."

"ඉන්න තැනක් ගැන කියන්නෙ නැද්ද..?"

රංග දීප්තිමත් දෑසින් විමසුවේ කතාව කුතුහලාත්මක ඉසව්වක් කරා ගමන් කරන බැවිනි..

"ඉන්නෙ කොළඹලු.. කෝල් එකක් දීලා එන්න කියන්නලු.. ඒකයි මං හේතුහාමිගෙන් අහන්න යන්න හදන්නෙ.."

රංගට හා කලනට චේතියගෙන් දැන ගැනීමට අවශ්‍ය දෑ මෙන්ම චේතියට ඔවුන් දෙදෙනාට කීමට තිබූ දෑ ඔවුනොවුන්ගේ සිත් සතන් තුළම සගවා ගැනීමට සිදු වූයේ විවේක කාලය අවසන් වන සීනුව නාද වූ නිසාය.. 


                                      

No comments:

Post a Comment