Thursday, May 17, 2012

| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර |






පෙරදා මධ්‍යම රාත්‍රියත් ඉක්මවා නිද්‍රාගත වූ සනිරු පසුදා උදෑසන අවදි වීමට ප්‍රමාද වූයේ තමාගේ ජීවිතයට අලුතින් සපැමිණි සිතුවිල්ලක් නිසාය.. වෙනදා තමාම අවදි වනසනිරුට එදා අවදි වීමට කතා කරනු ලැබුවේ අම්මා විසිනි..

පුතේ..! අද යන්නෙ නැද්ද..? දැන් වෙලාවත් 6.10යි.. අද හොදටම පරක්කුයි ඕන් ඈ..


දෙඇස් දෙඅතින් පිරිමදිමින් සනිරු ඇදෙන් නැගිට්ටේ සිය අම්මාගේ කෑ ගැසිල්ල නිසාමය.. සිය සරම ගැට ගසමින් කුස්සියට ආ සනිරු වතුර කෝප්පයක් ගෙන කට සෝදා තේ කෝප්පය අතට ගැනුණේ තම අම්මා සමග කතා කරමිනි..

ඇයි පුතේ අද නැගිටින්න පරක්කු වුණේ.. ඊයෙ රෑ පාඩම් කළාද..?

ඔව් අම්මෙ, පොඩි වැඩ වගයක් තිබ්බා.. ඒකයි..

නෑ.. මම හිතුවෙ ඇගේ පතේ අමාරුවක්වත් තියෙනවද කියලා..

ආ.. අම්මෙ, අද මම එන්න ටිකක් පරක්කු වෙයි.. අම්මා බෙහෙත් ටික බීලා කෑම කාලා නිදාගන්න.. මම ඇවිත් කාලා නිදා ගන්නම්..

ඇයි පුතේ පරක්කු වෙන්නෙ..? ඊයෙත් රෑ වුණා නේද..?

මේ දවස් වල කැම්පස් එකේ දේශන වගයක් තියෙනවා.. අනික මේ තුනිවෙනි අවුරුද්දනෙ.. ඒවා මග අරින්න බෑනෙ අම්මෙ..

ඒ කියන්නෙ.. තව අවුරුද්දක් විතරද පුතේ තියෙන්නෙ..? දැනුණෙවත් නෑ අවුරුදු තුනක් ගෙවිලා ගියා..

ඔව්.. ඔව් අම්මෙ.. ඒත් කියන්න බෑ..

කියන්න බෑ කිව්වෙ පුතේ..?

මේකනේ අම්මෙ.. සමහර වෙලාවට කැම්පස් එකේ එක එක ප්‍රශ්න නිසා උද්ඝෝෂණ කරන්න වෙනවා.. පෙළපාලි යන්න වෙනවා.. එතකොට ඉතින් වෙන්නෙ කැමිපස් එක වහන එක.. ඉතින් අවුරුදු හතර පහ වෙන්නත් පුළුවන්..

මොනවා කරත් ඕවට මූණ දාගෙන වැඩ කරන්න යන්න එපා.. මොනවා හරි වුණොත් අපිට ඉන්නෙ කවුද..?

එහෙම මොකුත් වෙන්නෙ නෑ අම්මෙ.. බයවෙන්න එපා.. අනික එහෙම මුකුත් වුණේ නෑනෙ..

හරි.. හරි.. පුතේ, මං කිව්වෙ මොනව හරි වෙන්න කලින්..

මට තේරෙනවා අම්මෙ, අම්මා මං ගැන ගොඩක් හිතනවා කියලා.. අම්මගෙ හිතට දුක්ක දෙන කිසිම දෙයක් මම කරන්නෙ නෑ.. මොකද මට ඉන්නෙ අම්මා විතරනේ..

දැන් ඔය කතා කරා මැදෑ.. ගිහින් ලෑස්ති වෙන්න.. 

සනිරු ගෙදර ඒමට පරක්කු වන බව අම්මාට පැවසුවේ පෙරදා පැමිණි බසයේම පැමිණිමට අවැසි වූ බැවිනි.. තම හදවතේ ආදරයක් ඇති කළ ඒ යුවතියත් සමග වචනයක් දෙකක් නොව දහසකුත් දේ කතා කිරීමට තරම් සනිරුගේ සිතට ඉවසුමක් නොවුණේ ඒ තරමටම තම සිත ඇය වෙත ආකර්ෂණය වීමත් ඇය කවුරුන්ද යන්න කියා දැන ගැනීමට තම හදවත බලා හිදින නිසාත්ය..

බෙලෙක් වතුර බාල්දියක් ගෙන දත් මැද මුව දොවා තම කාමරයට පැමිණි සනිරු කැම්පස් එකට යාමට සූදානම් විය.. කැම්පස් එකට එන අනෙක් පිරිමි ළමුන් අදින පළදින ඇදුම් පැළදුම් මෙන් නොව සනිරුට තිබුණේ කලිසම් හතරක් සහ කමීස තුනක් පමණි.. ඒවාද තරමක් පරණ පාටට හැරී ගොස් තිබුණු ඒවාය.. ඊට අමතරව දුරින් නෑයෙක්ව සිටි අමරකෝන් මාමා දිනක් ඔහුට ලබා දුන් අලුත් නිල් පාට ඩෙනිම් කලිසම සහ සුදු පාට ටීෂර්ට් එක පරිස්සමි කර ට්‍රන්ක පෙට්ටියේ ආරක්ෂතව බහා තිබුණේ සුවිශේෂ අවස්ථාවකට ඇදීම සදහාය..

සනිරු පුතේ.. කෑම කන්නෙ නැද්ද..? මෙන්න බෙදලා තියෙන්නෙ..

බෑ.. බෑ.. අම්මේ වෙලා ගියා.. තමාට ඇති කොටන් දුඹුරු පාට කලිසම හා ළා කොළ පාට කමීසය අදිමින් අම්මාට කීවේය..

වෙලා ගියාට කමක් නෑ.. හිස් බඩ යන්නෙ නැතුව මේ කෑම ටික කාලා යන්ට..

අනේ අම්මෙ..! දැන් ආයෙ කන්න බෑ.. තේ එකක් බිව්වනේ.. මම ගිහිං මොනවා හරි කන්නං..

තේ එකක් බීව්වට ඔය බඩට ඇතිද..? අනික වෙනදා කාලා යන්ට පුළුවන් නම් අද විතරක් මොකද බැරි..?

නෑ.. නෑ.. අම්මෙ, අද වෙලා ගියානෙ.. නැතුව නොකා යන්නෙ ආසාවට නෙමෙයි..

එහෙනම් ටිකක් ඔහොම ඉන්න.. මම කෑම එක ඔතලා ගේන්නම්.. ගිහින් කන්න පුළුවන්නෙ..

ඉක්මනට..

තම අම්මාගේ ආදරණිය ඉල්ලීම පිළිගත් සනිරු අංජළිකරණිය කොට දණහිස් බිම තබා අම්මාට වැන්දේය..

මගේ පුතාට බුදුන්ගෙ සරණයි..! තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි..! අම්මා සනිරුට ආශිර්වාද කළේ තම පුතාට අබමල් රේණුවකවත් කරදරයක් නොවේවායි යන පැතුම සිත තුළ දැඩි සේ අදිටන් කරගෙනය..

වෙනදා මෙන් නොව එදා නැවුම්ම නැවුම් ප්‍රබෝධයකින් තම නිවසින් පිටමං වූ සනිරු ගම්මානයේ උදෑසන සිසිල් මද පවනින් පොහොසත් වූ පරිසරයේ චමත්කාරය සිත පුරා විද ගනිමින් කෙත්යාය මැදින් බස් නැවතුම්පළට පැමිණියේය.. විනාඩි විස්සකින් පමණ දිගන සිට මහනුවරට යන ජනතා සන්තක ප්‍රවාහන සේවයට අයත් බස් රථයක් පැමිණියේය.. බස් නැවතුම්පළේ සිටි මැදිවියේ වූ ගැහැනියෙකුට සහ පිරිමින් දෙදෙනෙකුට බසයට ගොඩවීමට ඉඩ දී ඉන් පසුව සනිරු බසයට නැංගේය..

හලෝ.. සනිරු ගුඩ් මෝනිං..! ඉතින් කොහොමද..? සනිරුත් සමග පාසලේ එකට ඉගෙන ගත් ජගත් බසයේ සිට සනිරුට කතා කළේය..

ගුඩ් මෝනිං ජගත් වරදක් නෑ.. හොදින් ඉන්නවා.. ඉතින් උඹට කොහොමද..?

මාත් හොදින්.. ඒක නෙමෙයි.. කොහොමද කැම්පස් එකේ වැඩ එහෙම..?

සනිරු සහ ජගත් මහනුවරට පැමිණෙන තෙක්ම එකිනෙකාගේ තොරතුරු පිළිබදව කතා කරමින් ආහ.. බස් රථය මහනුවරට පැමිණෙන විට උදෑසන 7.40 ට පමණ විය..

එහෙනම් මචං මං යනවා.. ජගත් සනිරුට අත වැණුවේ බසයෙන් බැස එළියට ආ පසුවය..

හරි මචං.. සීයූ..

ජගත්ගෙන් වෙන්ව සනිරු ක්ෂණයකින් දිව ආවේ මධ්‍යම වෙළදපොළ අසල නවතා තිබෙන පේරාදෙණිය, මහකන්ද බස් නැවතුම්පළටය.. එම මොහොතේ මහකන්ද බලා පිටත්ව යන පෞද්ගලික බස් රථයකට දිව ගිය සනිරු එහි දොරෙහි එල්ලුණේ ඊළගට ධාවනය වීමට ඇති බසය පැමිණිමට විනාඩි පහළොවක් පමණ ප්‍රමාද වන බව දත් නිසාය..

ගුටඹේ පන්සල ඉදිරියෙන් යන විට බසයේ සිට ගැටඹ විහාර භූමියේ වැඩ වාසය කරන බුදුනට නමස්කාර කිරීම සනිරුගේ අනිවාර්ය සිරිතක් විය.. එය ඔහු කෙදිනකවත් අමතක නොකළේය.. දිනපතාම ඔහු විසින් කරන ලබන නමස්කාරය තුළින් බලාපොරොත්තු වූයේ තම ප්‍රාර්ථනාවන් සහ සිහින ඉටු කර දෙන අනාගතයක් තමාට උදා කර දෙන්න කියාය.. බුදුන්ගේ ධර්මයට අනුව ජීවත් වීමට සනිරු හැඩගැසුණේ කුඩා අවදියේ සිටමය.. බුදුන්ගේ ධර්මයට අනුව ජීවත්වන්නෙකුට යහපත හා දියුණුව ළගා කර දෙන බව සනිරු දැඩි සේ විශ්වාස කළේය.. එය ඔහුගේ සිතෙහි වූ නොබිදෙන විශ්වාසයකි..

සනිරු කැම්පස් එකට පැමිණෙන විට 7.50 ට පමණ විය.. එවිට ඔහුගේ යහළුවන්ද පැමිණ සිටියහ..

ඒයි.. මොකද අද උඹ කලිං ආවේ..? ප්‍රමාද වූ බව සෘජුවම නොකියා චතුර එලෙස කීවේ විශාල සිනාවක්ද නගමිනි..

නෑ.. නෑ.. බං අද නැගිටින්න වෙලා ගියා.. අනික උඹලා දන්නවනේ උදේට ට්‍රැෆික් එක කියලා..

හා.. හා.. එහෙම හිතමුකො.. සනිරුගේ තවත් යහළුවෙකු වූ ප්‍රදීප් කීවේය..

උඹලා ඕන දෙයක් හිතපල්ලා.. මට කමක් නෑ..

හරි.. හරි.. ගණන් ගන්න එපා.. මොකක්ද බං උඹගේ ඔය මූඩ් එක..? හිනාවෙයන්කො.. ප්‍රදීප් අත දිගු කරමින් කීවේය..

හිනාවෙලා කන්නද බං..? අනික උඹලා හිනා වෙලා ඉන්න දෙනවයෑ.. ආපු ගමන්ම කිංඩියට මොනව හරි කියනවා..

කිංඩියට නෙවෙයි මචං.. උඹ නැගිටින්න වෙලා ගියේ ඊයෙ රෑ පාඩම් කළාද..? ඇස් දෙකත් එක්ක රතු වෙලා.. හොදටම නිදි මරලා වගේ.. කමක් නෑ මදං.. උඹටමනේ පාඩම් කළොත්..

පෙරදා රාත්‍රියේ නොනිදා සිටීමට හේතුව ප්‍රදීප් පැවසූ කාරණාව නොවුණත් එහි සත්‍යතාවය මෙය යැයි කියා පැවසීමට සනිරු හට එතරම්ම උවමනාවක් නොවිය..

අද ලෙක්චස් මොනවද බං..? සනිරු ප්‍රදීප්ගෙන් තරමක් මන්ද ස්වරයකින් ඇසුවේ විවේකීව සිටින අවස්ථාවන්හි දී ලෙක්චස් පිළිබද කතා කරනවාට චතුර අකමැති වූ බැවිණි..

අනේ මංදා මචං.. මට ගාණක් නෑ..

මේ වන විට වැල නොකැඩී කැම්පස් එක තුළට ළමුන් පැමිණෙන වෙලාවය.. ගැහැනු පිරිමි භේදයකින් තොරව සියලුම දෙනා සාමූහිකව පැමිණෙති.. රොබරොසියස් ගහ යට බංකුවක වාඩි වී සිටි සනිරු සහ යහළුවන් දෙදෙනා කතා කරමින් උන්නේ එදිනෙදා වැඩ කටයුතු පිළිබදවය.. එක වරම ඉදිරියට ඇදෙන ළමුන් දෙස බලා සිටි චතුර සනිරුගේ පිටට තට්ටු කළේය..

ඒයි.. එයි.. බලපන්කො අර කෑල්ල දිහා.. දෙනෙත් වෙනතකට නොයවා ඇය දෙසම බලා උන් චතුර කීවේය..

පිස්සුද බං උඹට..? සනිරු කීවේය..

පිස්සු හැදුනෙ නැත්නම් පුදුමයි මචං.. මාර වෝක් එකනේ.. බලපන්කො නටව නටව එන හැටි.. පිස්සු හැදෙන පාරක්නෙ මචං.. චතුර, සනිරුගේ කමීසයේ කොල(ර්)  එක අදිමින් පැවසුවේය..

පාරක්.. වැලි පාරක්ද..? තාර පාරක්ද..? නැත්නම් මඩ පාරක්ද..? හාස්‍යට ලක් කරමින් ප්‍රදීප් ඇසුවේය..

ඔය එක පාරක්වත් නෙමෙයි මචං.. මේක  හරියට සූකිරි පාරක් වගේ.. දිලිසෙන හැටි බලපංකො..

යකෝ.. ඒකත් අපි වගේම ඇට, මස්, නහර වලින් හැදිච්ච එකියක්.. උඹ හිතුවෙ මැණිකක් කියලද..? රිදී කියලද..? දිලිසෙන්න..

නෑ.. නෑ.. මචං, මම කිව්වෙ ඒකිගෙ ඇගපතේ තියෙන පාට ගැන.. හැඩහුරුව ගැන.. නැතුව වෙන කෙහෙල් මලක් නෙමෙයි..

අනේ මහ ලොකු පාට.. හැඩහුරුව.. අනිත් එවුමුත් ඔය වගේම තමයි.. සමහර සමහර දේවල් සමහර සමහර විදියට ටික ටික වෙනස් වෙනවා.. එච්චරයි..

හරි.. හරි.. බං, ඒ වුණාට මේ වගේ සුන්දර වස්තු අම්මලා තාත්තලා මොකට බිහි කරනවද දන්නෙ නෑ.. බලපංකො අපිනේ නිකං පිස්සු වැටෙන්නෙ..

උඹට නම් ඇත්තටම පිස්සු චතුර..

නැතුව.. නැතුව.. මට පිස්සු.. බලපං මචං මම ඒකිට කතා කරන හැටි.. ඔවුන් ඉදිරියට ගිය ඇයට කතා කිරීමට බංකුව මත වාඩි වී සිටි චතුර නැගිට්ටේය..

මේ.. මේ.. නිකං හිටපං.. උඹ හදන්නෙ චොර වෙන්නද..? චතුර නෝන්ඩි වේයැයි සිතූ ප්‍රදීප් කීවේය..

නිකං නොඉද කොහොමද..? වෙව්ලමින් වගේ චතුර කීවේය..

ආං.. අරූ යනවා.. ප්‍රදීප් චතුර දෙස බලමින් කීවාය..

බයවෙන්න එපා බං.. ඕකට ඒවා ගාණක් නෑ.. අනික පුරුදු නැති දෙයක්යෑ..

සනිරු සහ ප්‍රදීප් බලා උන්නේ චතුරගේ වික්‍රමාන්විත ක්‍රියා කලාපය පිළිබද නොව ඔහු ඇය ඉදිරියේ හාස්‍යයට ලක් වේදැයි කියාය..

හලෝ.. ගුඩ් මෝනිං.. චතුර ඇය බොහෝ සෙයින් අදුනන්නා ආකාරයෙන් ආමන්ත්‍රණය කළේය..

ගුඩ් මොනිං.. ඇයද චතුරට ආමන්ත්‍රණය කළේ ඉදිරියට ඇදෙමිනි..

ඇයි ඔච්චර හදිසි..? මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද..? 

මොනවද..?

එහෙම කියන්න බෑනෙ..

එහෙනම් කොහොමද..?

පොඩ්ඩක් ඔහොම ඉන්න..

අපෝ.. මට වෙලා ගියා.. මගේ යාළුවෙක් හම්බවෙන්න තියෙනවා..

එයාව පස්සෙ හම්බවෙන්න..

පිස්සුද..? අද එයාව මග ඇරුණොත් මගේ මුළු ජීවිතේම ඉවරයි..

ඒ කිව්වෙ..?

ඒ කිව්වෙ.. එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ්.. මම එයත් එක්ක තරහා වුණා.. අද කතා කළේ නැත්නම් හැම දෙයක්ම ඉවරයි.. දැන් ඔයාට තේරුණාද..? ඇය චතුර පසු කරමින් ඉදිරියට යන්න වූවාය..

ඒ.. අර බලපං අරූගෙ මූණ බෙරි කරගෙන එන හැටි.. ප්‍රදීප් සිනාසෙමින් කීවාය..

මොකද මචං.. උඹගෙ දිලිසෙන සූකිරි ළලනාවියට වුණේ..?

වැඩක් නෑ බං.. ඒකත් කාපු අඹ ගොට්ටයක්..

ආ.. එහෙමද..? දැන් උඹට සතුටු ඇතිනේ..

මොකද නැත්තෙ බං.. ඒ වගේ කෑල්ලක් එක්ක වචනයක් හරි කතා කරන්න ලැබුණනේ.. සිනාසෙමින් චතුර පැවසුවේය..

මේ වන විට බංකුව මත වාඩි වී සිටි සනිරු තම හදෙහි සිත්තම් වූ ඒ යුවතිය පිළිබදව කල්පනා කරමින් උන්නේය.. "අනේ දෙවියනේ..! ඊයෙ දැකපු ඒ රූපය ආපහු මට දකින්න ලැබේවිද..? එයා මොනවා කරන කොහේ ඉන්න කෙනෙක්ද..? මට ඊයෙ එයාට කතා කරන්නවත් බැරි වුණානෙ.." සනිරු තමාටම දොස් පවරා ගත්තේය..

ඒ.. මචං උඹ මොනවද කල්පනා කරන්නෙ..? මට වුණ දේ ගැනද..? සනිරු අසලට පැමිණි චතුර පැවසුවේය..

නෑ බං මොකුත් නෑ.. තිගැස්සෙමින් සනිරු පැවසුවේය..

මොකුත් නැතිවෙන්න බෑනෙ.. උඹ අද ආපු වෙලේ ඉදලා හිටියෙ හරිම අමුතුවෙන්.. සනිරුගේ හිතේ යමක් තිබේද එය දැනගැනීමේ උවමනාවෙන්ම ප්‍රදීප් ඇසුවේය..

නෑ.. නෑ.. මචං නෑ.. මොකුත් නෑ..

හරි.. හරි.. අපිට කියන්න ඕනෙ නෑ.. අපි උඹගෙ යාළුවො නෙමෙයිනෙ.. අනික උඹට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක හිතේ තියාගෙනම විදවපන්.. ආවේගශීලී තරහෙන් චතුර කීවේය..

උඹට ගෙදර ප්‍රශ්නයක්ද..? කියපං.. අපිට පුළුවන් උදව්වක් කරන්නම්.. ප්‍රදීප් මෙලෙස දිගින් දිගටම සනිරුගෙන් ඇසුවේ ඔහුගේ වෙනස් වීම පැහැදිලිවම හදුනාගත් නිසාය..

ඇත්තමයි මචං.. මම මේ කියන්නෙ මොකුත් ප්‍රශ්නයක් නෑ.. සනිරු උස් හඩින් කීය..

හරි.. ප්‍රශ්නයක් නැත්නම් කමක් නෑ.. ඒත්.. ප්‍රශ්නයක් තිබ්බොත් කියපං..

දැන් යමං.. ලෙක්චස් වලට කවුද දන්නෙ නෑ ඇවිත් ඉන්නෙ..?

සනිරු කුමන දෙය සගවා ගත්තද කුමක් හෝ තිබෙන බව ප්‍රදීප් දැඩි ලෙස විශ්වාස කළේ කුඩා කල සිටම සනිරුව ඇසුරු කළ නිසාය.. ඔහුගේ සිතේ කුමක් හෝ තිබෙන බව ප්‍රදීප් හොදාකාරවම දන්නේය.. එය සනිරු විසින්ම කියන බවද ප්‍රදීප් දන්නේය.. ගන්දබ්බ ජීවිතයක් ගත කරන සනිරු විටෙක හැගීම් වලින් ජීවත් වන අතරම තවත් විටෙක බුද්ධිමත්ව කටයුත් කරන බව වරෙක ප්‍රදීප් සනිරුටම පවසා තිබිණි.. මේ නිසාම හැගීම්බර වූ අවස්ථාවක තම සිතැගි දෙය කියනා බව ප්‍රදීප් නිසැකයෙන්ම දන්නේය..

සනිරු සහ යහළුවන් දෙදෙනා කලා අංශයේ ප්‍රධාන ශාලාවට යන විට අනෙකුත් සියලුම සිසුන් ආගමික වතාවත් ඉටු කිරීමට සූදානමින් සිටියහ.. මොවුන් තිදෙනාද සිය බෑග් පසෙක මේසයක් මත තබා ආගමානුකූලව යෙදීමට සැරසුණය.. 

ඒ.. චතුර කතා නොකර හිටපං.. ප්‍රදීප් තම වැලමිටෙන් ඇණ චතුරට කීවේ අනෙකුත් සියල්ලන්ම නිශ්ශබ්දව සිටින නිසාය..

හරි.. හරි.. සොරි මචං.. කියමින් චතුර නිහඩව සිටියේය..

ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව සනිරු, ප්‍රදීප් සහ චතුරට උදෑසනම තිබුණේ සිංහල සාහිත්‍යය පන්තියේ දේශනයකට සහභාගී වීමටය.. ඒ සදහා ඔවුන් සූදානමින් පන්තියට තුළට ගියහ.. පන්තියේ ඉදිරි අසුන් වල ළමුන් වාඩි වී සිටි නිසා මොවුන් තිදෙනා පන්තියේ මැද අසුන් වල වාඩි වීමට පිටුපසට ගියහ..

සනිරු ගුඩ් මෝනිං.. ඇයි අද එන්න වෙලා ගියේ..? සනිරු තම අසුනෙන් වාඩි වෙත්ම ඔහුගේ හොදම යෙහෙළිය වූ ඉදිරි අසුනේ සිටි තුෂාරි පිටුපසට හැරී ඇසුවාය..

දන්නැද්ද තුෂාරි.. මේ අයත් එක්ක එන්ටත් එපායෑ.. තමා ගෙදර සිටම ඒමට ප්‍රමාද වූ බව නොකියා සිය යහළුවන් නිසා ප්‍රමාද වුනු බව මද සිනාවකින් යුතුව සනිරු කීවේය..

හා.. අපි හින්දද පරක්කු වුණේ..? මගේ කට අවුස්සගන්න එපා.. මූ කියන්නෙ බොරු තුෂාරි.. චතුර සනිරු දෙසට අත දිගු කරමින් උස් හඩින් කීවේය..

හරි.. හරි.. මමයි පරක්කු වුණේ.. දැන් හරිනෙ.. චතුරගේ මුහුණෙහි ව්‍යාජත්වයෙන් නැගුණු කෝපය නැති කරමින් පැවසුවේය..

මචං, සර් එනවා..ප න්තියේ ඉදිරිපස දොරටුව දෙස බලා හිදිමින් සිටි ප්‍රදීප්ගේ මුවින් නික්මුනු වචනයත් සමගම තුෂාරී ඉදිරියට හැරුණාය..

සියලුම දෙනා අසුන් වලින් නැගිට එක හඩින් "ආයුබෝවන් සර්" යනුවෙන් ආචාර කළහ.. ගුරුතුමාට ආචාර කිරීමෙන් අනතුරුව සියලු දෙනාම දවසේ වැඩ ආරම්භ කිරීමට සූදානම් වුවත් චතුරගේ විවේචනාත්මක කටහඩ අවදිවන්නට වූයේ තම යහළුවන්ට ඇසෙන ඉසව්වට පමණි..

බලපං මචං.. කැම්පස් ගුරුවරයෙක් කියලා මූට කියන්නත් පුලුවන්ද..? කිසිම මැනස් එකක් නෑ.. ළමයි ආයුබෝවන් කියලා කියනවා.. ඒත් මූ එක දවසක්වත් කියල තියෙනවද..? ඒ වුණාට දෙන මහ ලොකු හැදිච්ච උපදෙස්.. බල්ලන්ට හොදයි ඒවා..

උඹගෙ කතාව නම් ඇත්ත චතුර.. කිසිම සිරිතක් විරිතක්, චාරිත්‍රයක් දන්නෙ නැති මිනිහෙක්.. බලපන්කො ඉන්න හැටි.. කොච්චරවත් නහය හාර හාර ඉන්නෙ.. කමීසයෙ බොත්තමක් හරියට නෑ.. කිසිම ප්‍රසන්න ගතියක් නෑ.. ප්‍රදීප් ඔහු විවේචනය කළේ ඔහුගේ ගති ස්වභාවයද පිළිකුල් කරමිනි..

මේකනේ මචං.. සම්ප්‍රදායික දේවල් වලම ඇගී ගැලී හිටියාම ඔහොම වෙනවා.. කවමදාකවත් අලුත් විදියට හිතන්න උත්සාහ කරන්නෙ නෑ.. මොකද එහෙම කලොත් අවැඩක් වෙයි කියලා හිතෙනව ඇති.. මට නම් එපාවෙලා තියෙන්නෙ මේ හණමිටි ගුරාගෙ සිස්ටම් එක..

මොනවා කරන්නද..? තව අවුරුද්දනෙ..

අවුරුදු පනස් පහක පමණ සිංහල සාහිත්‍ය පිළිබදව ආචාර්යවරයෙකු වූ මොහු නමින් හදුන්වනු ලැබුවේ ඩී.එම්.එච් අබේරත්න ලෙසටය.. මහ ඩහින් කෑ ගසමින් සෑම දිනකම දේශන පවත්වන මොහු කිසිම දිනක් හෝ මයික්‍රෆෝනයකින් තම කටහඩ ළමුන්ට ඇසෙන්නට කටයුතු නොකළේ එය තමාට නුහුරු බවක් ලසෙට දැනුණු හෙයිනි.. මෙය ළමුන්ට බරපතල ගැටලුවක් වුවත් එයට විසදුම වූයේ ද ඔහුගේ සුපුරුදු කටහඩට සවන් දීම පමණි..

හොදයි.. අද අපි කතා කරන්න යන්නෙ සිංහල සාහිත්‍යයේ මුදුන් මල් කඩක් ලෙස සලකන ජාතක කතා පොත් වහන්සේ පිළිබදවයි.. තමා උගන්වන දේ පිළිබදව මූලික අවබෝධයක් ලබා දීම මොහුගේ පුරුද්දක් විය..

අප්පෝ.. මචං, අද නම් එපා වෙයි.. මහ කම්මැලි හිතෙන පාඩමක්නෙ.. අනික කියන දේවල් හරියට ඇහෙන්නෙත් නෑනෙ.. ජාතක කතා පිළිබද අප්‍රියක් දක්වන ප්‍රදීප් එලෙස කීවේ මූණ බෙරි කරමිනි..

කියලා වැඩක් නෑ බං.. මටත් එපා වෙනවා.. මේ.. මගේ රෙකෝඩර් එකෙන් රෙකෝඩින් කරගෙන නෝට් එක ලියා ගමු.. චතුර ද ප්‍රදීප්ට එකග වූයේ ඉගෙනීම එපා වෙලාම නොවේ..

හොදට රෙකෝඩින් වෙයිද මචං..? කියන දේවල් හරියට ඇහෙන්නෙ නැති එකේ..

අවුලක් වෙන එකක් නැතිවෙයි බං.. කවුරුත් සද්ද කරන්නෙ නෑනෙ..  

එහෙමනං ඉතිං ඕක ඔන් කරපං..

ඉතාමත්ම උද්යෝගයකින් යුතුව දේශනයට සවන් යොමු කරමින් සිටි සනිරු සිය පෑන කටේ කෙළවරේ තබා ගනිමින් මදක් තම හිස පහතට නවා ගනිමින් සිටි අතර ඔහුගේ අම අවධානය පාඩමටමද කියා ප්‍රදීප්ට සැකයක් වූයේ ඔහු සිටි ඉරියව්ව නිසාමය..

චතුර.. සනිරු දිහා පොඩ්ඩක් බලපං.. ප්‍රදීප්ට දකුණු පැත්තේ අසුනේ වාඩි වී සිටි චතුරට කකුලෙන් තට්ටුවක් දමා සනිරු දෙස බැලීමට කීවේ සංඥාවක් ද දෙමින්ය..

මචං මූට මොකක් හරි වෙලා තියෙනවා.. නැත්නම් මූ මෙහෙම නෙවෙයිනෙ ඉන්නෙ.. අනික ඊයෙ මෙහෙම නෑනෙ.. හොදට හිටියනේ.. චතුර ද සනිරු දෙස බලමින් ප්‍රදීප්ට එලෙස කීවේ ආචාර්යවරයා දේශනය පවත්වමින් සිටින අතරතුරේදීමය..

අනේ..! මං දන්නෙ නෑ බං සනිරුට මොනා වෙලාද කියලා.. මට නම් තේරෙන්නෙ නෑ.. මොකුත් ඇහුවට කියන්නෙත් නෑනෙ..

බලමු.. බලමු.. අපිටදැන ගන්නම ලැබෙයි.. සනිරු අපිට මොකුත් හංගන්නෙ නෑනෙ.. චතුර සනිරුට නොඇසෙන ලෙසට කිවේය..

සනිරුගේ කල්පනාව දිගින් දිගටම ගලා යන්නට විය.. ඔහුට එම කල්පනාවෙන් මිදී පියවි ලෝකයට එන්නට තරම් උනන්දුවක් එම මොහොතේ නොවීය.. එක වරම තම හිස බිත්තියේ තබා ගනිමින් මදක් හිස ඉහළට ඔසවා ගත් සනිරුගේ සිත තුළ ලැගුම් ගත් ඒ පුන් සදක් මෙන් දිදුලන ඇයගේ මුවමඩල ඔහු ඉදිරියේ සැරිසරන්නට  පටන් ගත්තේය.. මැවී පෙනෙන ඇයගේ මුවින් සනිරුගේ මුළු හදවතම ඒකාලෝක කරන්නට තරම් සැනසුමක් දැනෙන්නට විය.. මොහොතකට හෝ තම නෙත් මානයෙන් එපිටට නොයා රැදී සැරිසරන්නට ඇගේ රුවෙන් සැරසුණු සොදුරු කල්පනාවෙහිම අතරමං වන්නට සනිරුට සිත් විය..

මචං ආං.. බලපං, අරු ෆෑන් එක රවුම් කීයක් කැරකෙනවද කියලා ගණන් කරනවා.. සනිරු සිටි පේළියට පේලි දෙකක් පිටුපසින් සිටි තවත් අයෙක් සිනාසෙමින් අනේකාට කීවේය..

ඔහුගේ ප්‍රකාශයෙන් ඔවුන්ට ඉදිරියෙන් සිටි පේලියේ සියලුම දෙනාද සනිරු දෙස බලන්නට විය.. මේ බව ප්‍රදීප්ට හා චතුරට දැනුණත් සනිරුට කිසිසේත්ම නොදැනුණේ ඒ තරමටම ඔහු කල්පනාව තුළ රැදී සිටි නිසාය..

සනිරු.. සනිරු.. සනිරු ඇත්තටම උඹට පිස්සුද කියපං..

සිහින වරුසාවක නැහැවෙමින් සිටි සනිරු බිත්තියෙහි තබාගත් හිස ඉන් ඉවතට ගැනුණේ ප්‍රදීප්ගේ කටහඩට තිගැස්සුණු හෙයිනි..

ඇයි..? ඇයි..? ප්‍රදීප් මොකද..? සිහිනයේ ගිලී සිටි කිසිවක් නොදත් සනිරු ප්‍රදීප්ගෙන් ඇසුවාය..

ඇයි..? බලපන් පිටිපස්ස.. සනිරු ප්‍රදීප්ගෙන් ඇසූ ප්‍රශ්නයට හිස මදක් පහතට ගෙන පිළිතුරු දුන්නේ චතුරය..

තම යහළුවාගේ වචනයට පිටුපස බැලූ සනිරුගේ මුහුණ රතු පැහැ විය.. දෙනෙත් ගිනි බෝල දෙකක් වගේ දිස් විය.. ලැජ්ජාවෙන් මෙන් පියවි සිහියට ආ නමුත් එහු තුල කෝපයක් ඇති වූයේ ද ඔහුටම නොදැනිය..

මොකද උඹලා මං දිහා දැකලා නෑ වගේ බලන් ඉන්නෙ..? මොළේ හෙල්ලිලාද..? සනිරු තමාට පිටුපසින් සිටි පේළි දෙකෙහි අයට බැණ වදින්නට විය..

සනිරුගේ ආවේගශීලී කෝපයෙන් නික්මුණු වචන ඇසුනු තුෂාරි අවධානයෙන් සිටි දේශනයටද සවන් නොදී පිටුපසට හැරුණාය..

අපේ නම් පොළේ හෙල්ලිලා නෑ.. ඒ වුණාට මොළේ හෙල්ලුණු පිස්සෙක් වගේ මනෝ ගහලා ඉන්නෙ කවුද දන්නෑ.. පිටුපස සිටි අයෙක් සිනාසෙමින් කීවේය..

මොකක්ද උඹ කිව්වෙ..? ආයෙමත් කියපං බලන්න.. සනිරු පිටපසට හැරී ඔහුගේ කමීසයෙන් අල්ලා ගත්තේය..

ඇයි උඹට ඇහුණෙ නැද්ද..?

නෑ, ඇහුණා.. පුලුවන් නම් තව සැරයක් කියපං බලන්න..

සනිරු.. සනිරු.. ඉස්සරහට හැරියං.. සර් එනවා.. ප්‍රදීප් සනිරුගේ දකුණු උරහිස මිරිකමින් ඉදිරිය දෙස බලා කීවේය..

පිටුපස බලා සිටි තුෂාරිද ඉදිරියට හැරුණේ ප්‍රදීප්ගේ කටහඩ ඇසෙත්මය.. කිසිත් නොකියා නොකර නිහඩව සිටි චතුර පිටුපස සිටි සියල්ලන් දෙස රවා බැලුවේ තම යහළුවාව හාස්‍යයට ලක් කිරීම නිසාය..

සනිරු ප්‍රදීප්ගේ අණ පිළිගත් සේම මීට පෙර ගුරුවරුන්ගෙන් කිසිත් බැණුමක් අසා නොතිබුණු නිසා ඉදරියට හැරුණේය.. සියලුම දෙනා නිශ්ශබ්දව සිටියත් ගුරුතුමා එතැනට පැමිණ සිය ඇස් කණ්නාඩිය නළලට ගෙන දෙනෙත් යට කර රවා බලා ගියේය..

12.45ට පමණ දේශනය අවසන් වූ අතර සියලුම දෙනා දිවා ආහාරයට සදහා එළියට එමින් සිටියහ.. සනිරු, ප්‍රදීප්, චතුර, තුෂාරි, දර්ශනි සහ තවත් ළමුන් කිහිපදෙනෙක් පමණක් ශාලාවෙහි ඉතිරි වෙන්නට අනෙක් සියලුම දෙනා ශාලාවෙන් එළියට ආහ..

සොරි මචං.. ගණන් ගන්න එපා.. උදේ උඹට විහිලුවක් කළේ.. සනිරුට විහිළු කල අයගෙන් කෙනෙක් සනිරුගෙන් සමාව ගත්තේය..

මචං මටත් සමාවෙයන්.. මටත් ඒ වෙලාවෙ ගොඩක් තරහ ගියා.. සනිරුද ඔවුන්ගෙන් සමාව ගැණුනේ නිහතමානී අයෙකු ලෙසිනි..

ඇත්තටම මචං, ඔය තරමටම උඹ මොනවද කල්පනා කරේ..?

නෑ මචං, මොකුත් නෑ.. මට හිසරදයක් තිබ්බා.. ඒකයි.. ඔවුන්ට මුසාවක් කීමට සනිරු පෙළඹුණේය..

සනිරු, ප්‍රදීප් සහ චතුරට කෑම පාර්සලයක් ගෙන ඒම සිරිතක් නොවිය.. ඒත් සනිරු එදා කෑම පාර්සලයක් ගෙනාවේ අම්මාගේ බල කිරීම නිසාය.. තුෂාරිට හා දර්ශනීට කෑම පාර්සලයක් සෑම දිනකම  ගෙන ඒම පුරුද්දක් විය..

තව චුට්ටෙන් අද සනිරු හොදටම සර්ගෙන් බැනුම් අහනවා.. ඇයි මොකද වුණේ සනිරු..? කිසිවක් නොදත් තුෂාරි ඇසුවාය..

මොකුත් නෑ තුෂාරි.. මගෝ ගගහා ඉදලා නෝන්ඩි වුණා.. වතුර බොමින් සිටි චතුර තුෂාරිගෙ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය..

අනේ චතුර..! මගෙන් මුකුත් අහගන්න එපා.. අතට ගත් බත් මිට නැවතත් බත් එකට දමමින් සනිරු කීවේය..

මේ චතුර.. කට පියාගෙන ඉන්නවකො.. මෙයාට කන්න දීලා.. තුෂාර සනිරුට පක්ෂපාතීව කතා කළාය..

මම නම් කාලා ඉවරයි.. අත සෝදමින් උන් ප්‍රදිප් කීවේය..

මමත් කාලා ඉවරයි.. මේ දෙන්නා තවම අල්ල අල්ලා ඉන්නවා.. තම කෑම කොළය නැවත ඔතා ඩස්බින් එකට දැමීමට යමින් උන් දර්ශනි පැවසීය..

මේ.. ඒක නෙමෙයි සනිරු.. අනේ නංගි කෙනෙක් කැම්පස් සිලෙක්ට් වුණා.. ඊයෙ තමයි තනියෙම ඉස්සරෝම ආවෙ.. ගෙදර යන කොට හොදටම රෑ වෙලා.. එයාගෙ අම්මයි තාත්තයි හොදටම බය වෙලයි ඉදලා තියෙන්නෙ..

අද එයාට දෙකට විතර ඉවර වෙනවා.. ඉතිං මම එයත් එක්ක යනවා.. ඔයාගෙ නෝර්ට් එක හෙට මට දෙන්න පුළුවන් වෙයි නේද..?

හරි.. හරි.. දෙන්නම් තුෂාරි..

ඔයාගෙ නංගිට රැගේ එකක් එහෙම දෙමු නේද..? චතුර තුෂාරිගෙන් ඇසුවේ ප්‍රදීප් දෙස බලමිනි..

අයියෝ.. මගේ නංගියෙක් නෙමෙයි.. අපේ ගෙවල් ළග.. මාර විදියට එයාලට සල්ලි තියෙන්නෙ.. ඇස් දෙක ලොකු කරමින් තුෂාරි ඒ බව කිවේ ආඩම්බරයෙන් වගේය..

අනික එයාලට රැග් කරන්නත් ඉන්නෙ ඉතින් අපිමනෙ..

ඒ කියන්නෙ එයා ආර්ට් වලින්ද ආවෙ..? දෙන්නම් එයාටත් එහෙනම්.. චතුර තුෂාරිට කීවේය..

මේ.. මේ.. එයාට මොකුත් කරන්න යන්න එපා.. තාත්තා මහ අමාරුකාරයෙක්.. ඇයගේ පියාගේ බලසම්පන්න බව තුෂාරි පැවසුවේ මුහුණේ බයක් සගවා ගත්තාක් මෙන්ය..

ආ.. එහෙමද..? අපි එයාට මොකුත් කරන්නෙ නෑ.. අපි බය වුණා ඕන් ඈ.. තුෂාරිගේ වදන් විහිළුවකට ගනිමින් චතුර පැවසුවේය..

කිසිවක් නොකියූ සනිරු ප්‍රදීප් හා දර්ශනි බලා සිටියේ තුෂාරිගේ සහ චතුරගේ සංවාදය අවසන් වනතුරුය..

ආ.. ඉවරයිද..? යන්තම් ඇති.. තුෂාරි සහ චතුර හාස්‍යයට ලක් කරමින් ප්‍රදිප් කීවේය..

ශාලාවෙහි සිටි ඔවුන් සියලු දෙනා අනතුරුව ඉන් පිටතට පැමිණි අතර තුෂාරි සහ දර්ශනි අසල අරලිය ගස යට වූ බංකුවක් මත වාඩි වූහ.. චතුරද එහි පැත්තකින් වාඩි වූවේය.. සනිරු සහ ප්‍රදිප් පොලොවට සමාන්තරව තිබුණු අරලිය ගසෙහි වූ අත්තක් මත වාඩි වූහ..

ඊළග කෙල්චර් එක කීයටද..? දර්ශනී ඇසීය..

2.00ට විතරනෙ..

දැන් දෙකටත් ළගයිනෙ.. මම යන්නම්.. වනෙ වැඩ වගයකුත් කරගන්න තියෙනවා.. අර නංගිටත් අද දෙකට ඉවරයිනෙ.. තුෂාරි බංකුවෙන් නැගිට හදිසිය පෙන්වමින් කීය..

අනෙකුත් සිසුන් ක්‍රම ක්‍රමයෙන් ශාලාවට ඇදෙමින් සිටි අතර සනිරු, ප්‍රදීප්, චතුර සහ දර්ශනීද කතා බස් කරමින්ම ශාලාව තුළට ගියහ..

සෙනසුරාදා දවසක් නිසා එදා ලෙක්චර් 4.45ට පමණ අවසන් විය.. පෙර දිනයන්ට වඩා වේලාසනින් ලෙක්චස් අවසන් වීම සම්බන්ධයෙන් සනිරුට ගැටලුවක් වූයේ පෙර දිනයේ ඇය ගිය බස් රථයේ යාමට හෝරා දෙකහමාරක් පමණ බලා හිදීමට සිදුවන නිසාය.. පැය දෙකහමාර කෙසේ වෙතත් 7.10 ට මහකන්දේ සිට මහනුවරට යන බස් රථයේ යාමට සනිරු තීරණය කළේය..

එහෙනං බං මම යනවා.. උඹලා එන්න වෙලා යයිනෙ.. බායි.. දර්ශනී ලෙක්චස් අවසන් වූ සැනින්ම තම යහළුවන්ට සමු දී යන්නට වූයේ පෙරදා යන බසයට ප්‍රථමයෙන් යන බසයේ යාම සදහාය..

හරි.. හරි.. දර්ශනී.. බායි.. ප්‍රදීප් එලෙස ඇයට සමුදෙද්දී සනිරු සහ චතුර ඇයට අත වැණූහ..

සනිරු සහ යහළුවන් දෙදෙනා කැම්පස් ග්‍රවුන්ඩ් එක ළග පැයකට ආසන්න කාලයක් පමණ කතාබහ කරමින් සිටියහ.. තාර පාරට තරමක් පහතින් පිහිටා තිබුණ ග්‍රවුන්ඩ් එක කෙළවරේ සිට හමාගෙන එන සවස් වරුවේ මද සුළග සනිරුගේ සහ යහළුවන් දෙදෙනාගේ උදෑසන සිට වේලෙමින් තිබුණු ගතට නැවුම් වූ සිසිලසක් දනවන්නට විය.. බටහිර අහස් කුසින් බැස යමින් තිබුණු සූර්ය තපය නිසා එම සිසිල් පවනෙහි උණුසුමක් නොතිබුණු තරම්ය..

මචං.. මේ දවස් වල අලුතෙන් ළමයි එනවා.. මොනව හරි කරමුද..? අපිට දුන්නු ඒවා මතකනේ..? පළිගැනීමක් මෙන් චතුර එයප ැවසුවේ රැග් කිරීමේ අරමුණින්ම බව සනිරුට සහ ප්‍රදීප්ට ඔහුගේ මුහුණ දෙස බැලීමෙන්ම වැටහුණහ..

මට නම් ඕවා එපාවෙලා තියෙන්නෙ බං.. අකමැත්ත පළකරමින් සනිරු කීවේය..

අනේ නිකං හිටපං සනිරු.. උපාසකයෙක් වෙන්න හදන්න එපා.. චතුරගේ යෝජනාව ස්ථිරකරාක් මෙන් ප්‍රදීප් එයට කැමැත්ත පළ කළේය..

උඹට මොකද බං වෙලා තියෙන්නෙ..? ඊයෙ අපිත් එකක් හිටපු එකාමද මේ ඉන්නෙ.. මේ වගේ ආතල් වැඩකටවත් උඹ කැමති නැද්ද..?

නෑ.. නෑ.. මචං.. මගේ අකමැත්තක් නෑ.. කරන දෙයක් චාටර් නොවී කරමු.. තම යහළුවන් තුළ තමා කෙරෙහි ඇති වී තිබෙන සැකය තව තවත් වැඩි නොකරන්නට අවැසි වූ නිසා එලෙස පැවසුවේය..

අන්න එහෙම කතා කරපං සනිරු.. අපි චාටර් වෙන විදියට මොකුත් කරන්නෙ නෑනෙ බං.. පොඩි ආතල් එකක් ගන්න පුලුවන් විදිහෙ මොනවා හරි කරමු.. මුවට මද සිනාවක් නගා ගනිමින් චතුර කීවේය..

මේ.. තුෂාරිගෙ නංගි කෙනෙක් ඉන්නවා කිව්වා නේද..? අපි ඉස්සරෝම එයාට මොනව හරි කරමු.. මරු කුෂී ආතල් එකක් ගන්න පුළුවන්.. ප්‍රදීප් සනිරුගේ කරට අත තබමින් කීවේය..

ඔව්.. නියමයි මචං.. දැක්කනේ තුෂාරි එයාගෙ මහ ලොකු තාත්තගෙ බල පුලුවන්කාරකම උජාරුවට කිව්ව හැටි.. තම අතැති කුඩා ගල් කැටය විසි කරමින් චතුර පැවසුවේය..

හැබැයි.. තුෂාරිත් හිටියොත් තමා ප්‍රශ්නෙ..

එයා නැති වෙලාවක අපි අපේ වැඩේ කරමු..

කෝ.. බං සනිරු..?

ප්‍රදීප් සහ චතුර තමන්ගේ ඉදිරි විනෝදජනක වැඩ පිළිවෙල සාකච්ඡා කරමින් සිටිය දී සනිරු අසල තිබුණු කුඩා පැතලි ගලක් මත වාඩි වී අනන්තය සොයා පා නගන මගියෙකු මෙන් කල්පනා කරමින් උන්නේය..

ආං.. බලපං චතුරයා අරකා ආයෙමත් කල්පනා කරනවා.. මොනවා කල්පනා කරනවද දන්නෙ නෑ.. තමන්ගෙ කතාව පසෙක දමමින් සනිරු දෙස බැලූ ප්‍රදීප් කෝපය සගවාගෙන පැවසුවේය..

මූට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රදීප්.. බලපන්කො.. අපි ඉන්නවද කියලා ගාණක්වත් තියෙනවද..?

චතුර, අපි මූට මොකුත් නොකියා ඉමු.. මොනව හරි කිව්වොත් තවත් අප්සට් යයි..

මට නම් තේරෙන්නෑ මූ මොන පිස්සුවක් හිතේ තියාගෙන ඉන්නවද කියලා..

මචං.. දැන් යමං.. හිත රිදෙන්න මොකුත් නොකියා ප්‍රදීප් සනිරුටකීවේය..

උඹලා පලයන් මම තව පොඩ්ඩකින් එන්නං..

උඹේ මොලේ කචල්ද..? දැන් වෙලාව කීයද කියලා බලපං.. හයට කාලයි.. යමං.. යමං..

මම කිව්වනේ උඹලා පලයන්.. සනිරු වාඩිවී සිටි ගල මතින් නැගිට කීවේය..

උඹට මොකද වෙලා තියෙන්නෙ බං..? උඹ මෙහෙම කවදාවත් හවස් වෙනකම් ඉදලා නෑනෙ.. ඉතින් අද විතරක් මොකද මේ..

මොකුත් නෑ බං.. මොකුත් නෑ.. මට තනියෙම ඉන්න දීපන්.. තම දෑත ගසා දමමින් සනිරු කීවේය..

හුදෙකලාව ඉන්නටතරම් සැහැල්ලු නිසල පරිසරයක් සනිරුට අවැසි වන්නට වූයේ කුමක් හෝ දෙයක් මනසෙහි වද දෙමින් තිබෙන නිසා බව ප්‍රදීප්ට ඔහුගේ එම ප්‍රකාශයෙන්ම ප්‍රත්‍යක්ෂ විය.. එය පිළිබදව ඔහු නිතර කල්පනා කරනබවද ප්‍රදීප්ට වැටහෙන්නට විය.. එහෙත් මේ තරම් සුළු කාල පරාසයකදී මේ තරම් ප්‍රමාණයට මනසින් විදවන දෙය කුමක්ද යන්න පිළිබදව ප්‍රදීප්ටද අදහාගත නොහැකි විය..

මූ එයි ප්‍රදීප්.. අපි යමු.. අන්න බස් එකක් එනවා.. සනිරු දෙස රවමින් චතුර ප්‍රදීප්ට කීවේ බසය නැවතීමට අත ද දිගු කරමිනි..

පොඩ්ඩක් හිටපං චතුර.. උඹට හදිසි නම් උඹ පලයං.. සනිරු තමන් සමගම කැදවාගෙන යාමේ අදිටනින් ප්‍රදීප් චතුරට එලෙස කීවේ බසය තමන් අසල නතර කරමින් සිටියදීය..

මට හදිස්සියක් නෑ බං.. ඒත් මූ මෙතන ඉදගෙන මොනවද කරන්නෙ..?

ඉක්මන් කරන්න.. ඉක්මන් කරන්න.. යනව නම්නැග ගන්න.. හදිසිය පළ කරමින් බසය තුළ සිටි කොන්දොස්තරවරයා කෑ ගැසුවේය..

හරි.. හරි.. අයියා යන්න.. බසයේ නොයන චතුර ප්‍රකාශ කළේය..

සනිරු.. එහෙනම් අපි තුන් දෙනාම ගලහා හන්දියටප යින් යමං.. එතකොට උඹට තව පොඩ්ඩක් ඉන්න ඕනි කිව්ව වෙලාව නිකම්ම ගෙවිලා යයිනෙ.. තම යාළුවා කෙරෙහි අප්‍රමාණ මිත්‍රත්වයකින් හෙබි ප්‍රදීප් කෙසේ හෝ සනිරු තමත් සමගම කැදවාගෙන යාමට සමත් විය..

සනිරු සහ යහළුවන් දෙදෙනා ගලහා හන්දියට පැමිණෙන විට සවස 6.30 ට පමණ විය.. පේරාදෙණියේ සිට මහනුවර දක්වා බස්රථ කිහිපයක්ම ධාවනය වුවද ඒවායෙහි යාමට ඔවුන් උනන්දුවක් නොදැක්වූහ.. කෙසේ හෝ පෙරදා ගියබසයේම යාමට සනිරුට අවශ්‍යව තිබුණත් තම යහළුවන් සමග යාමට සිදුවේදැයි කියා ඔහුට මොහොතකට සිතුණේ ඔවුන්ගෙන් තම සිතැති ආදරය සැගවීමටම නොවේ.. කෙසේ වෙතත් කුමන අවස්ථාවකට මුහුණ දීමට සිදු වුවත් එම බස් රථයේම යාමට සනිරු තීරණය කළේය..

ඒ මචං, අර බස් එකේ යමං.. ඉදිරියෙන් ඇදෙන බසය දෙස බලමින් ප්‍රදීප් කීවේය..

ප්‍රදීප්.. උඹලා පලයන්.. මම ඊළග බස් එකේ එන්නම්.. ප්ලීස්.. තරහා වෙන්න එපා.. 

අනේ මංදා බං.. මෙච්චර වෙලාවක් ඉදලත් තවමත් මොකට ඉන්නවද මං දන්නෙ නෑ.. හරි කමක් නෑ.. උඹගෙ කැමත්තනෙ.. අපි යන්නම්.. ඉක්මනට ගෙදර පලයන්.. ප්‍රදීප් සහ චතුර බසයට ගොඩවූයේ සිත සතුටිකින් නොවේ..

ප්‍රදීප් සහ චතුර ගලහා හන්දියෙන් යන විට වෙලාව හතට පමණ විය.. එවිට අන්ධකාරය ද වී තිබිණි.. සනිරුව අවශ්‍යව තිබුණු බසය පැමිණිමට තවත් විනාඩි පහළොවක් පමණ ඉතිරිව තිබිණි.. බස් හෝල්ට් එකේ තවත් මිනිසුන් කිහිප දෙනෙකු සිටි අතර සනිරු එකි කණුවකට හේත්තු වී සිටියේය..

ආන්.. බස් එකක් එනවා.. හෝල්ට් එකේ සිටි අවුරුදු හතළිහක පමණ පිරිමි අයෙකු තම බිරිදට කියන බව ඇසුණු සනිරුද එම බසය දෙස බැලුවේය..

තමා බලාපොරොත්තුවෙන් සිටි බසය එය බව සනිරු හදුනා ගත්තේ එහි සදහන් කර තිබූ නමින්ය.. දොරවල් දෙකේ බසයක් වූ එයට වෙනදා මෙන් නොව එදා ප්‍රථමයෙන්ම ඉදිරිපස දොරටුවෙන් සනිරු ගොඩවූවේය.. තමාට පුරුද්දක්ව තිබුණු ගැටඹේ පන්සලට නමස්කාර කිරීමට එදත් සනිරු අමතක නොකළේය.. පෙර දවසේ සේම එදත් අධික පිරිසක් බස් රථය තුළ සිටි නිසා සනිරුට සිටගෙන යාමට සිදුවිය.. ක්‍රමක්‍රමයෙන් බස් රථය ගැටමේ හන්දියට ළගාවිය.. ඒත් සමගම සනිරුගේ දෙනෙත් බස් රථය සිසාරා ගමන් කරන්නට විය..

හදවතේ සේයා වී තිබෙන පෙරදා දුටු රුව ඇයගේ සොදුරු මුව මඩල බසය තුළ සිටින අය අතුරින් කොතනක සිටින්නේදැයි යන්න නොඉවසිල්ලෙන් මෙන් සනිරුගේ ප්‍රේමය පිරුනු ඇයගේ ජීවිතය දකින්නට පෙරුම්දන් පුරණ ඒ ආලවන්ත දෙනෙත් නිරීක්ෂණය කරන්නට වූයේය.. ඇසිල්ලක්වත් නොසලා තම හදවතේ මොහොතින් මොහොත මෝරා වැඩෙන ප්‍රේමයේ උරුමක්කාරිය තම නෙතු යුවලට නතු කර ගැනීමට මුළු බසයම සනිරු නිරීක්ෂණය කරන්නට විය..

ඉදිරිපස දොරටුවෙන් බසයට ඇතුල් වූ සනිරු ක්‍රමයෙන් මිනිසුන් අතරින් තෙරපෙමින් බසය මැද්දට ආවේය..

කොහෙද මල්ලි රිංගන්නෙ..? අපිත් ඉන්නෙ බොහොම අමාරුවෙන්.. පේන්නෙ නැද්ද..? බසය තුල සිටි මගියෙක් සනිරුට එලෙස ප්‍රකාශ කළේ තරමක කෝපයද ආරූඪ කරගෙනය..

සොරි අයියෙ..! රත් වූ ගිනි බෝල දෙකක් මෙන් කෝපයෙන් බැබලුණු නෙතින් යුක්ත එම මගියාට සනිරුගේ එකී වදන නිසා සැහැල්ලු බවක් දැනුණු බව ඔහුගේ ක්ෂණික වෙනස් වීමෙන් පෙනුණි..

බසය සුවසෙවන රෝහල අසලින් ගමන් කරනා විට රාත්‍රී 7.30 ට පමණ විය.. එහෙත් පෙර දවසේ සිට බලාපොරොත්තුවෙන් සිටි හෝරා ගණනාවක් තිස්සේ තම හදවත අපේක්ෂාවෙන් සිටි ඒ තරම්ම කාලයක් තම දෙනෙත් ඇය දකින්නට පෙරුම් පිරූ ඒ කුසුම් සුවද අප්සරාවිය බස් රථය තුළ නොසිටීම සනිරුගේ හදවතට පමණක් නොව මනසට පමණක් නොව මුළු ශරීරයටම වේදනාවක් ගෙන දෙන්නක් විය.. ඒ වේදනාව ඔහුගේ නහරයක් නහරයක් පාසා ගමන් කරන රුධිරය එක් තැනක නතර කොට මුළු ශරීරයම අඩපණ කරන්නට තරම් ප්‍රබල විය..

එනමුත් ශරීරගතව දිවෙන එම වේදනාව පරයා ගිය සංතෘප්තිදායක හැගුමින් සනිරුගේ හදවත ප්‍රේමයේ අරුණැසිවාදී සිතුවිලි මුහුකුරා ගියේ ඇයගේ සෙනෙහෙබර කාරුණික නෙතින් දීප්තිමත් සුපුද් මුවමඩල තම සෑස් අභිමුඛ පෙනෙන්නට වූ නිසාය..

ප්‍රේමණිය හැගුමින් මහමෙරක් තරමට සුපෙම් සිතුවිලි පොදි බැද ගත්තද තම මානසික සිහිනයේ දැවටී සිටින ඇයගේ රුව නොදැකීම නිසා තව තවත් තව තවත් සනිරුගේ හදවතේ නොමැකෙන නොමියෙන වේදනාව තීව්‍රර වන්නට විය.. ඉවරයක් නැති, කෙලවරක් නැති, අවසානයක් නැති තම හදෙහි උපදින වේදනාව මේ තරම්ම බලවත් වී පවතින්නේ, පබල ලෙසට දැනෙන්නේ ඒ තරම්ම ඇයට ආදරය පූජා කල නිසාය.. සෙනෙහස පාන නිසාය යන්න පිළිබදව සිතන විටත් සනිරුට ඇති වූයේ අවිහිංසක සතුටකි.. සැබැවින්ම එය වේදනාව තුළින් සැනසුම සොයන්නාක් මෙන් දැනෙන්නට විය.. පැය ගණනක් නොඉවසුම් බලාපොරොත්තුවෙන් තම හදවත සොරාගත් ඒ සිහින අප්සරාවිය දැක බලා ගැනීමට ගත කල මොහොත මතකය නැමති ග්‍රන්ථයෙහි අලුත් පිටුවක් තම හදවත අභ්‍යන්තරයට දෙනෙතින් ගලා ගිය කදුළෙන් සටහන් කළ බවක් ලෙසට සනිරුට හැගුණි..

කෙසේ වෙතත් තම යෙහෙළිය වූ තුෂාරි දන්නා හදුණන නැගෙණිය පෙර දිනයේ සනිරු දුටු ඒ යුවතිය බව ඔහුට මොහොතකටවත් සිතන්නට තරම් කල්පනාවක් නොවිය.. එසේ සිතන්නට හෝ ඔහුට හේතුවක් නොමැති වීමද සාධාරණය.. මන්ද ඔහු ඇය පිළිබදව කිසිත් නොදත් බැවිනි.. ඇය එදින තුෂාරිත් සමග වේලාසනින් කැම්පස් එකෙන් ආ බවද සනිරුට නොහැගුනේ ඇය තුෂාරිගේ යහළුවෙකු බව නොදත් නිසාය..

මහනුවරට පැමිණි සනිරු දිගන බසයක නැගී නිවසට එන විට රාත්‍රී 9.30 පමණ විය.. එදිනද තම මව පෙර සේම කුප්පි ලාම්පුවත් දෑතේ තබාගෙන දොර අද්දරට වී සනිරු එනතුරු බලා සිටියාය..

අම්මේ.. මම කිව්වනේ.. අම්මට අහැරිලා ඉන්න එපා කියලා.. ඇයි නිදාගත්තෙ නැත්තෙ..?

මට නින්ද ගියේ නෑ පුතේ.. ඒකයි උඹ එනකම් ඇහැරිලා හිටියෙ..

අම්මා කෑවද..? බෙහෙත් බිව්වද..?

ඔව්, කෑවා.. බෙහෙතුත් බිව්වා.. දැන් ඉතිං ගේ ඇතුළට වරෙන් පුතේ.. ඔය ප්‍රශ්න කොලා මැදෑ.. සනිරු අතැති බෑගය ගනිමින් මව කීවාය..

තමා කොපමණ වේදනාවකින් සිටියත් තම ආදරණිය අම්මාගේ සිත රිදෙන කිසිත් වදනක් හෝ ක්‍රියාවක් කිරීමට සනිරු නොපෙළඹුණේය.. ඔහු සෑම දුකක්ම වේදනාවක්ම සිය හදවත තුළ පමණක්ම මනස තුළ පමණක්ම රදවා ගැනුණේ තම ආදරය අවංක නම්, සත්‍යයක් නම් නිසැකයෙන්ම ලැබෙනාබ ව විශ්වාස කල නිසාය..

පුතේ කන්නෙ නැද්ද..? සනිරුගේ කාමරයට පැමිණි සිය මව ඇසුවාය..

මූන සෝදගෙන මම කන්නම් අම්මෙ.. අම්මා දැන් ගිහින් නිදාගන්න..

එහෙනම් මම නිදාගන්න යනවා පුතේ..

හා.. හොදයි අම්මෙ..

කෑම ගෙන අවසන් වූ සනිරු තම ඇදෙහි වැතිරුණේ ඇය පිළිබදව නොසිතන්නට සිතාගෙනය.. එහෙත් එලෙස සිය හදවත සිරකර තබන්නට තරම් ශක්තියක් ඔහුට නොතිබුණේ හදෙහි වූ සිව් කපාටයන්හීම ඇය තුළින් දුටු ජීවිතය විදින ආකාරය, සැරසෙන ආකාරය, සැනසුමින් පිරෙන ආකාරය ඉතිරී පිටාර ගලමින් තම හදවත පුබුදු කරන්නට වූ නිසාය.. සිය හදෙහි කොණකින් දුටු ඇය මේ තරම් ඉක්මනට තම මුළු හදෙහිම ජීවිතයේම කොටසක් වීම කෙරේ ඔහුට දැනුණේ දිවි දුටු පහන් කල හැගීමකි.. 

























 

No comments:

Post a Comment