Wednesday, May 30, 2012

| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර |






මව් කුසක් තුළ මොහොතින් මොහොත වර්ධනය වන දරු කළලයක් සේ මායාගේ හදවතෙහි තත්පරයක් තත්පරයක් පාසා සනිරු කෙරෙහි මුහුකුරා මෝරා වැඩෙන ප්‍රේමය පැවසීමට නොඉවසිලිව පෙරුම් පුරමින් සිටි අතර එදා දවසේ විවේකය උදා වීමට කල්පයක් ගත වූ බවක් ලෙසට ඇයට දැණුනේ පෙර දිනයේ අතපසු වූ විෂය කරුණු කිහිපයක් ඉගැන්වීමට ගත් අතිරේක අඩහෝරාව හේතුවෙනි..

නියමිත වේලාවට විවේකය ලැබුණු සනිරු තුෂාරිගේ සංතෘප්තිදායක ආරංචියෙන් මග බලාගෙන තත්පර ගනිමින් උන්නේ මායාගේ ආදරය ඇයගේ කට හඩින්ම දැන ගැනීමේ නොනිම් ආශාව සිත තුළ සමාධිගත කරගෙනය..


පොඩ්ඩක් හදිසි නැතුව හිටපං.. දැන් එයි.. සනිරුගේ මුහුණෙහි තිබුණු සතුට දැක චතුර ප්‍රකාශ කළේය..

තුෂාරි.. ඇයි දන්නෙ නෑ නේද මායා එන්න පරක්කු..?

මෙච්චර වෙලා හිටපු එකේ තව චුට්ටක් ඉන්න සනිරු.. මායා ඉක්මනට එයි..

මෙච්චර දවසක් බලාගෙන හිටපු එකේ මේ විනාඩි ගාණ මූට ඉවසන්න බැරිද..?

එහෙම තමයි ප්‍රදීප්.. මේක තමයි උච්චතම අවස්ථාව.. ඉතින් හදිස්සියක් නැතුව තියෙයිද..? සනිරු දෙස බලමින් දර්ශනී පැවසීය..

දැන් ඉතින් මායාගෙත් ගින්න ඇවිළිලා ඇත්තෙ.. එයාටත් එනකම් ඉවසුමක් නැතුව ඇති.. නැද්ද තුෂාරි..?

ඒක නම් ඇත්ත චතුර.. ඒත් ඇයි දන්නෙ නෑ මෙච්චර වෙල පරක්කු..?

සමහර විට ලෙක්චස් තවමත් ඉවර නැතුව ඇති..

සනිරු සහ තම යහළුවන් කතා කරමින් සිටියදී ඔවුන් අභියසට වෑන් රථයක් පැමිණ නතර කරවිය.. ක්ෂණයකින් ඉන් කොණ්ඩය කොටට කපා සිටි කිහිප දෙනෙක් සහ හිස් වැසුමක් පැළද සිටි කෙනෙකු තමන් වෙතට පැමිණියහ..

මචං.. මෙතන ඉන්නවද ඌ..? හිස් වැසුම පැළද සිටි පුද්ගලයා තම අනෙක් සගයෙකුගෙන් ඇසුවේය..

ඔව් රකිත.. ඔය ඉන්නෙ ඔය කෑල්ලට එහා පැත්තෙ.. ඔහු සනිරු දෙසට අත දිගු කළේ තුෂාරිද හාස්‍යයට ලක් කරමිනි..

රකිත යන නම ඇසෙනවාත් සමගම තුෂාරි සනිරුගේ අත අල්ලා ගනිමින් වෙවුලන්නට වූවාය.. මායා පැවසූ සෑම දෙයක්ම තුෂාරි සනිරුට පැවසුවත් මදාවියෙකු මෙන් සිටින රකිත දැකීම නිසා තුෂාරි තුළ අමුතුම බියක් ඇතිවිය.. එම මොහොතේ එකවරම සනිරු ඉදිරියට ගියේ ප්‍රශ්නයක් ඇත්නම් ඔහුත් සමග කතාබහ කොට විසදා ගැනීමේ අරමුණ ඇතිවය..

මමයි සනිරු.. ඇයි මොනවද මගෙන් දැනගන්න අවශ්‍ය..? කිසිදු රැඩිකල් ස්වරූපයක් සනිරුගෙන් දිස් නොවීය..

අවශ්‍ය නෙමෙයි යකෝ.. තොට මගේ ගෑනිත් එක්ක පෙම් කෙළින්ට හයියක් ආවෙ කොහොමද..? උඹ හිතුවද මට මේවා ආරංචි වේනනෙ නැති වෙයි කියලා..? රකිත සනිරුගේ කමීසයේ කොළරය අල්ලා ගත්තේය..

කමීසයේ කොළරයෙන් අත ඇරපන්.. මට උඹත් එක්ක රණ්ඩු වෙන්න උවමනාවක් නෑ.. සනිරුගේ සාමකාමී සිත රැඩිකල් වෙන්නට ගැනුණේ රකිතගේ මදාවි ක්‍රියා කලාපය හේතුවෙනි..

ඇයි අත ඇරියෙ නැත්නම් උඹ මට මොනවා කරන්නද..? ඈ යකෝ.. උඹ දන්නවද මම කවුද කියලා..? රකිත සනිරුගේ කම්මුලට පහරවල් කිහිපයක් ගැසුවේය..

උඹ මට කවුරු වුණත් මොකද..? සනිරු රකිතගේ අත අල්ලා ගනිමින් පැත්තකට තල්ලු කළේය..

ඒ.. අඩෝ තොපි හිතුවද අපි ගෑනු කියලා..?

රකිතගේ මුහුණට චතුර පහරවල් දෙක තුනවක් ගසමින් ඇසුවේය..

චතුරගේ අතපය රකිතට විරුද්ධව ක්‍රියාත්මක වෙත්ම රකිතගේ අනෙකුත් සගයක් පැමිණ චතුරට සහ සනිරුට පහර දුන් අතර ඔවුන් බේරා ගැනීමට ගිය ප්‍රදීප්ටද පහර දුන්හ.. කෝපයෙන් ඇවිළුණු රකිත නැවතත් සනිරුට තම වෑන් රථයේ තිබුණ යකඩ බටයකින් හිසට සහ උදරයට පහර දුන් අතර ඉන් බරපතල ලෙස තුවාල වූ සනිරු බිම ඇද වැටුණේ ඔහුට සිටගෙන සිටීමටවත් ශක්තියක් නොවුණු නිසාය..බිම ඇද වැටී සිටි සනිරුට අමනුෂ්‍ය වෙසින් සිහි විකල් වූ රකිත සිතෙහි වූ කෙළවරක් නොමැති කෝපය අවසන් වන තුරුම පහර දුන්නේය.. එහෙත් ඔහු එයින් සෑහීමකට පත් නොවූ අතර අවසානයේදී තම සගයන් ලවාද සනිරුට පහර දුන්හ..

මූට නැගිටින්න බැරිවෙන්න කෑම දීපන්.. එතකොට මම කවුද කියලා තේරෙයි..

තුෂාරි සහ දර්ශනී කෑ ගසමින් හඩා වැළපුණත් විශ්ව විද්‍යාලයේ කිසිවෙකු සනිරු බේරා ගැනීමට මැදිහත් නොවුණේ ඔවුන්ගේ ජීවිත වලටද පසුව එය බලපෑමක් වේයැයි සිතූ නිසාය.. තම විශ්ව විද්‍යාලයේ සිටින සාමාජිකයෙකුට මෙවන් ආකාරයට සාහසික ලෙසට වෙනත් පුද්ගලයින් පිරිසක් විසින් පහර දීම සම්බන්ධයෙන් ඔවුන් තුළ වූයේ බලවත් ශෝකයකි.. දුකකි.. එහෙත් ඔවුන් එම දුකෙන් ඇතිවන කෝපය වාවාගෙන උන්නේ බියගුලුකමකට නොව අසරණකමකටය.. නමුත් එම අසරණකමට සියලු දෙනාම වහල් වූයේ නැත..

රකිත, අර බලපං.. කොල්ලො සෙට් එකක් එනවා මචං..

ඇයි උඹලා බයද..? ආපුදෙන්..

උඹලා හිතන්නෙ අපිටත් අතපය හොලවන්න බෑ කියලද..? මේක අහපං.. මේක ඇතුලෙත් පණ නැති එවුන් ඉන්නවා.. ඒත් උඹලා හිතන්න එපා හැමෝම ඒ වගේ කියලා.. අපි එකතු වුණොත් උඹලගෙ කෑලි අහුලන්නත් බැරි වෙයි.. තේරුණාද..? දැන් ඉතිං බල්ලො වගේ පලයල්ලා..

ඇයි ඇහුණෙ නැද්ද..? පලයන් ඉතිං..

හරි බලාගමු.. උඹලා හිතන්න එපා බයකට යනවා කියලා.. රකිත ඇගිල්ල දිගු කරමින් කීවේය..

සනිරුගේ හිසින්ද, කන් වලින්ද, නාසයෙන්ද ලේ ගනන්නට විය.. අතපය සොලවමින් ලේ ගලමින් බිම වැටී උන් සනිරු වෙතට දිව ගිය තුෂාරිද දර්ශනීද ලේ වලින් නැහැවී තිබුණු හිස තම ඔඩොක්කුව මත තබා ගනිමින් වටපිට බලා කෑ ගසන්නට වූවාය.. රකිතට විරුද්ධව හඩ නැගූ සිසුන් රැසද සැණින් එතැනට දිව ආහ..

අනේ..! ඉක්මනට මෙයාව හොස්පිටල් එකට ගෙනියමුකො.. තුෂාරි හඩමින් පැවසීය..

තුෂාරිගේ හා දර්ශනීගේ කෑ ගැසීම නිසා බිම වැටී සිටි චතුර සහ පුදීප් කෙසේ හෝ වේදනාවෙන් නැගිට ඔවුන් හිදි තැනට හැකි ඉක්මනින් ආහ.. එවිට සනිරු රෝහලට ගෙන යාම සදහා අනෙක් සිසු පිරිස කටයුතු කරමින් උන්නාහ..

මචං ත්‍රීවිල් එකක් එනවා අත දාපන්..

හරි.. හරි..

ප්‍රදීප් කකුල් දෙකෙන් අල්ලපන්.. සනිරුගේ හිස පෙදෙසින් අල්ලා ගත් තවත් සිසුවෙකු පැවසුවේය..

මචං.. මායි චතුරයි හොස්පිටල් එකට යන්නම්.. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් උඹලා බලා ගනිං.. ත්‍රීරෝද රථය තුළ සිටි ප්‍රදීප් අනෙක් සිසුන්ට කීවේය..

බය වෙන්න එපා.. අපි ඒ ගැන බලා ගන්නම්..

ඔයාලා මායා එක්කරගෙන හොස්පිටල් එකට එන්න.. ත්‍රීරෝද රථය යන අතරතුරේ දී චතුර පැවසුවේය..

හරි.. හරි.. ඔයාලා ඉක්මනට යන්න.. අපි එන්නම්..


විවේකය ලැබුණු මායා සනිරු මුණ ගැසීමේ දැඩි වූ ආශාවෙන් තුෂාරි සහ දර්ශනී වෙතට දිව ආවාය.. අප්‍රමාණ වූ සතුටක් හදවතෙහි සිර කරගෙන ඇය පැමිණියේ සනිරුත් සමග එම සතුට සම සිතින් විදගෙන එය මුළු ජීවිත කාලයටම දෙදෙනා තුළ රදවා තබා ගැනීමේ අපේක්ෂාව සස්ථිර කර ගැනීමේ දිවුරුම එකිනෙකා විසින් පවසා ගැනීම සදහාය.. එහෙත් ඇය  හඩා වැළපෙමින් සිටි තුෂාරි සහ දර්ශනී දෙස අදහාගත නොහැකිව බලා උන්නේ එම සතුට සිත තුළ යටපත් කරගෙනය..

ඇයි තුෂාරි අක්කෙ අඩන්නෙ..? කියන්නකො.. මොකද වුණේ.. මායා තුෂාරිගේ දෑත අල්ලා ගනිමින් ඇසීය..

කිසිවක් නොපැවසූ තුෂාරි මායා වැළදගෙන හඩා වැළපෙන්නට වූවාය.. සනිරුට වූ අවාසනාවන්ත සිද්ධිය මායාට පැවසීමට තරම් ශක්තියක් නොමැති වූ තුෂාරි තව තවත්  හඩන්නට වූවාය.. ඇයගේ වැළපීම නිසා මායාගේ දෑසට ඉබේම කදුළු එන්නට විය.. කිසිවක් සගවා තබා ගැනීමෙන් ඵලයක් නැතැයි තේරුම් ගත් දර්ශනි සනිරුට සිදු වූ සියල්ලම මායාට පැවසීය.. දර්ශනි පැවසූ දෙයින් වික්ෂේපයට පත් වූ මායා එය ඉවසාගත නොහැකිව මහ හඩින් හඩන්නට වූවාය..

දෙයියනේ.. මගේ සනිරුට ගොඩක් අමාරුද..? ගොඩක් තුවාලද..? මම කිව්වා නේද තුෂාරි අක්කෙ මම නිසා සනිරුගෙ ජීවිතයට බලපෑම් වෙයි කියලා..? සනිරුට මොනවා හරි වුණොත් මම කොහොමද ජීවත් වෙන්නෙ..?

ප්ලීස් මායා.. කලබල වෙන්න එපා.. සනිරු හොස්පිට්ල් එකට අරන් ගියානෙ.. අනික සනිරුට කිසිම දෙයක් වෙන්නෙ නෑ..

අනේ අක්කෙ.. අපි ඉක්මනට හොස්පිට්ල් එකට යමු.. මට සනිරුව බලන්න ඕනි..

තුෂාරි සහ දර්ශනී මායාත් සමග පේරාදෙණිය රෝහලට පැමිණෙන විට දහවල් 1.00 ට පමණ විය.. ඒ වන විට සනිරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ හිස පෙදෙසට තදබල ලෙස පහර වැදීම් හේතුවෙනි..

චතුර, මට මගේ සනිරු බලන්න යන්න දෙන්න.. ප්ලීස්.. මට සනිරු බලන්නෙ නැතුව එක මොහොතක්වත් ඉන්න බෑ.. මායා චතුරගේ බෙල්ලේ එල්ලෙමින් කෑ ගසන්නට වූවාය..

මායා.. මායා.. පොඩ්ඩක් ඉවසන්න.. තවම සනිරුට සිහිය නෑ.. ඉක්මනටම සිහිය එයි.. අපිට ඔයාගෙ දුක තේරෙනවා.. පොඩ්ඩක් ඉවසන්න මායා.. චතුර කොතෙකුත් ඇය සනසන්නට උත්සහ කරත් ඇය පාලනය කිරීමට නොහැකි විය..

මම කොච්චර අවාසනාවන්තියක්ද..? පව්කාරියක්ද..? ආත්මාර්ථකාමියිද..? අද සනිරු මේ විදියට දුක් විදින්නෙ මම නිසයි..කොහෙවත් නැති කෙල්ලෙක් නිසයි.. මම නසිරුට කොච්චර දුකක්, වේදනාවක් දුන්නද..? ඊයෙ මම ඔයාගෙ  හදවත කොච්චර රිදෙව්වද සනිරු..?

ඔය දේවල් මතක් කරලා දැන් තේරුමක් නෑ මායා.. ඒකෙන් වේනනෙ ඔයාගෙ හිත රිදෙන එක..

රිදෙද්දෙන් තුෂාරි අක්කෙ.. මට මෙහෙම හරි දුකක් විදින්න දෙන්න.. එතකොට මට දැනේවි වේදනාව කියන්නෙ මොකක්ද කියලා.. මට ඒ වේදනාව සනිරු වෙනුවෙන් විදින්න දෙන්න.. මගේ සනිරු වෙනුවෙන් එතකොටවත් මගේ හදවතට සැනසීමක් ලැබෙයි..

මටත් ලස්සන හීනයක් තිබ්බා.. ඒ සනිරුත් එක්කයි.. මගේ අහිංසක සනිරුත් එක්කයි.. ඒත්.. ඒ හීනය මගේ හදවතේ මටත් හොරෙන් හැංගිලයි තිබුණෙ.. සැරින් සැරේ සනිරු කියපු වචන වලින් ඒ හීනය අවදි වෙන්න ගත්තත් මගේ ආත්මාර්ථකාමී අසරණ හිත ඒකට ඉඩ දුන්නෙ නෑ.. ඇයි මගේ හිත ඒ තරම් දරුණු වුණේ.. ඒත් දැන් මම ඒ හීනයත් එක්ක හැබෑවටම ජීවත් වෙනවා..

හදවත හඩවා දෙනෙත් තෙත් කර මනස කළඹා මායා පවසන දහසකුත් දුක් වේදනා විලාපයන් හුදකලාවම ඇයට විදවන්නට ඉඩනොදී එහි කොටස්කාරියක් වී ඇයගේ තැවුල් වේදනා අඩු කිරීමට උත්සහයක් වශයෙන් තුෂාරි ඇයව වැළද ගත්තේය..

දැඩිසත්කාර ඒකකයේ දොරටුව විවෘත කරමින් එළියට පැමිණ වෛද්‍යවරයා වෙතට සියල්ලෝම දිව ගියහ.. නමුත් වෛද්‍යවරයා සතුටුදායක ආරංචියක් පවසන බවක් ඔවුනට දැන ගන්නට නොලැබුණි..

ඩොක්ටර්.. ලෙඩාට කොහොමද..?

මේකයි ප්‍රශ්නෙ.. පේෂන්ගෙ ඔලුවෙන් ගොඩක් ලේ පිටවෙලා තියෙනවා.. ඒක නිසා එයාට ලේ දෙන්න වෙයි.. වෛද්‍යවරයා හදිසිය පෙන්වමින් එලෙස ප්‍රකාශ කළේ සනිරු බේරා ගැනීමට ඉක්මන් විය යුතු බව හගවමිනි..

ඩොක්ටර්.. සනිරුගෙ ලේ වර්ගය මොකක්ද කියලා කියන්න පුළුවන්ද..? ප්‍රදීප් තම රුධිරය දීමට සූදානම්ව ඇසුවේය..

වෛද්‍යවරයා අතැති වූ ෆයිල් එක දෙස බලමින් ඕ නෙගටිව් යැයි පැවසූවේය..

දැඩි සත්කාර ඒකකය නැමැති සංග්‍රාම භූමියේ ජීවිතයත් මරණයත් අතර සටන් කරන සනිරුගේ ජීවිතය බේරා ගැනීමට අවැසිව පවතින රුධිර වර්ගය තම යහළුවන් කිසිවෙකුත් සතු නොවීය.. එවැනි අභාග්‍ය සම්පන්න මොහොතක කතරක ගමන් කරන්නෙකුට හමු වූ ක්ෂේම භූමියක් වෙන් සනිරුට රුධිරය දීමට මායා සූදානම් වූයේ ඔහුට අවශ්‍ය ලේ වර්ගය ඇය සතු වීම නිසාය..

තම ශරීරයේ දිවෙන ලේ බිදුවකට වඩා සනිරුගේ ජීවිතයට ආදරය කරන මායා ඔහුට ජීවත් වීම සදහා  තම ශරීරයේ තිබෙන සෑම ලේ බිදුවක්ම වුවද පූජා කිරීමට කැමැත්ත ප්‍රකාශ කළාය.. තමා සනිරුගෙන් වෙන් කිරීමට කිසිම කෙනෙකුට මේ ආත්මභාවයට පමණක් නොව මතු ආත්ම භවයන්හිදී ද නොහැකි බව ඇයට හැගුණේ දෙදෙනාගේම ශරීර එකම ලෙයින් පවා බැදී දිවෙන බව දැණුනු හෙයිනි..

අනතුරුව වෛද්‍යවරුන් විසින් මායාගේ ශරීරයෙන් බලා ගත් සෑම ලේ බිදුවක්ම සනිරුගේ ශරිරයට ලබා දුන්හ.. සනිරුට ලේ බලා දුන්නද සිහිය පැමිණිමට හෝරා කිහිපයක්ම ගතවිය..

මායා දැන් බය වෙන්න දෙයක් නෑනෙ.. දැන්වත් මායා මොනවා හරි කන්නකො..

මට බඩගිනි නෑ.. සනිරුට සිහිය ආවම මම කන්නම්.. කෑමක් බීමක් පවා ගැනීමට මායාට අමතක වූයේ සනිරුට ඇයගේ හදවතේ තිබෙන ආදරය නිසාම බව තුෂාරිට වැටහිණ..

මායාත් සමග කතා කරමින් සිටි තුෂාරි අසලට පැමිණි හෙදියක් සනිරුට සිහිය ආ බව පැවසීය.. එම සුභ ආරංචිය මායාගේ දෙසවන්හී වැදෙත්ම නැවතත් ඇයගේ හෘදස්පන්දනය සප්‍රාණික විය.. එවිට සියලු දෙනාම සනිරු සිටි කාමරයට ගිය අතර මායා දොර සමීපයට විත් බිත්තයට හේත්තු වී තම හිස ඔසවා දිගු සුසුම් පොදක් හෙළීය..

මචං.. උඹට දැන් කොහොමද..? චතුර සනිරුගේ හිසෙහි වෙලා තිබුණු සුදු පාට වෙලුම් පටි මත අත තබාගෙන ඇසුවේය..

ඔලුව රිදෙනවා මචං.. හරියට නිකං ඉදිකටු වලින් අනිනවා වගේ.. හිස ඔසවා සියලු දෙනා දෙස බලා සනිරු කීවේය..

හරි.. හරි.. මචං උඹ ඔහොම රෙස්ට් එකේ හිටපං.. වැඩිය කතා කරන්න එපා..

කාමරය තුළ මායා නොසිටි නිසා ඉන් එළියට පැමිණි තුෂාරි මායාද සමග යළිත් කාමරය තුළට ගියහ.. එවිට සනිරු සිටි ආකාරය දුටු මායාගේ දෙනෙත් වලින් කදුළු පිටවන්නට වූවාය..

එහෙනම් සනිරු අපි යන්නම්.. ආයෙ හෙට උදේ තමයි එන්නෙ.. මායාට සහ සනිරුට හුදෙකලාව ඉන්නට දී යළුලුවන් ඉන් පිටව ගියහ..

මායාගේ කොපුල් තල මතින් ගලා හැළෙන කදුළි බිදු සනිරුගේ මාපටගිල්ලෙන් පිස දැමුවත් ඇයගේ එම කදුළු පිටවීම නතර වූයේ නැත..

ඇයි මායා ඔයා අඩන්නෙ..? අඩන්න එපා.. ඔයා අඩනකොට මටත් ඇඩෙනවා.. ප්ලීස්.. අඩන්න එපා..

මට අඩන්න දෙන්න සනිරු.. ඇති වෙනකම් මට අඩන්න දෙන්න.. මේ දවස් දෙකට මම ඔයාට මොන තරම් දුකක් දුන්නද..? ඉතින් මට ඒ දුක විදින්න දෙන්න සනිරු.. සනිරුගේ දෑත මායාගේ ළමැද මත තබා තදකර ගනිමින් පැවසීය..

ඔයා හිතලා නෙමෙයිනෙ එහෙම කළේ.. ඔයාගෙ අසරණකම හින්දනේ..  මම ඒවා අමතක කරලා දාලා ඉවරයි මායා.. ඔයත් ඒවා අමතක කරන්න.. ඒවා අතීතයට භාර දෙන්න.. මායාගේ ළමැදේ තිබුණු අත සනිරුගේ දෑත ඉවතට ගෙන ඇයගේ මුහුණ පිරිමදිමින් පැවසුවේය..

සනිරු ඔයා ඊයෙ කිව්වා නේද පුලුවන් නම් ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන මම ඔයාට ආදරේ කරන්නෙ නැහැයි කියලා කියන්න කියලා.. ඔව්, මට බෑ සනිරු එහෙම කියන්න.. කවමදාකවත් බෑ.. මොකද.. මං ඔයාට ආදරෙයි සනිරු.. මේ මිහිතලය මත ඉන්න කිසිම කෙනෙක් ඔයාට ආදරය කරන්නෙ නැති තරමට මම ඔයාට ආදරෙයි මගේ රත්තරං.. ඒ ආදරය මේ ආත්මයට විතරක් නෙමෙයි.. පෙර ආත්ම වලත් තියෙන්නෙ ඇති.. මතු ආත්ම වලත් තියේවි.. අපේ ආදරය සංසාරගත බැදීමක් සනිරු..

ඔව් මායා.. මගේ හදවත හැම මොහොතෙම කිව්වෙත් කියන්නෙත් ඔයා කිව්ව දේමයි.. ඇත්තටම අපි මේ ආත්මයට විතරක් හමුවුණු දෙන්නෙක් නෙමෙයි මායා..

මායා තම දෙනොළින් සනිරුගේ නළලත සිපගෙන ඔහුගේ පපුව මත තම හිස තබමින් තමා කෙරෙහි උපන් සෙනෙහස පිරී සනිරුගේ ළය පෙදෙස සිපගන්නට වූවාය.. එදා මුළු රාත්‍රියේම සනිරුත් සමග මායාට ගත කිරීමට හැකි වුවත් පැය ගණනක් ඔහුත් සමග හිද ගෙදර ගියේ සිය දෙමාපියන්ගේ අණසකට ගරු කිරීමක් වශයෙනි..

සනිරුට මුහුණපෑමට සිදුවූ මෙම හදිසි සිදුවීම සිය මවට සගවා සිට නැවත එය ඇයට ආරංචි වීම ඇය සිටින රෝගාතුර තත්වයට නුසුදුසු යැයි සිතූ සනිරු එය තම මවට දන්වන ලෙසට පෙරදා රෝහලේදී මායාට කීවේය.. සනිරුගේ එම ඉල්ලීම පිළිගත් මායා පසුදා උදෑසනම තුෂාරිත් සමග සනිරුගේ නිවසට ගියේ ඔහුගේ මවට එය දැන්වීම සදහාය..

ගෙදර කවුද..? තුෂාරි දෙපැත්ත වසන දොරටුවට තම ඇගිලි වලින් කිහිපවරක්ම තට්ටු කළාය..

නිවස තුළ සිටි සනිරුගේ මව උගුර පාදමින් හැද සිටි මල් මල් චීත්තය පිළිවෙලකට සකසුරුවම් කර ගනිමින් දොර විවෘත කළාය.. මායා සහ තුෂාරි දුටු සනිරුගේ මව තම දෑසෙහි නිදි ගැට මරමින් ටික වේලාවක් තම අභියස සිටි තරුණියන් දෙදෙනා දෙස බැලීය..

අම්මේ.. අපි මේ සනිරුගෙ යාළුවො.. තමන් දෙස බලමින් සිටි සනිරුගේ මවට තුෂාරි පැවසීය..

හා.. මම ඉතින් මීට කලින් දූලා දැකලත් නෑනෙ.. මෙතනින් වාඩි වෙන්න.. අසල වේවැල් කැඩී ගොස් තිබුණු දිග පුටුවක් පෙන්වමින් ඈ පැවසීය..

හොදයි අම්මෙ.. තුෂාරි සම මායා එම පුටුවෙහි වාඩි වූහ..

සනිරුගේ නිවස මොන තරම් දුප්පත් වුණත් තමන් වාඩි වී සිටින පුටුව මොන තරම් දුප්පත් වුණත් සනිරුගේ ශිෂ්ටසම්පන්න හැදියාවේ තිබෙන කාරුණිකබව, නිහතමානිබව, හදවතේ තිබෙන අප්‍රමාණ වූ සෙනෙහස, දයාව මොන තරම් පොහොසත්ද යන්න මායාගේ හදවතට දැනෙන්නට වූවාය..

පුතේ..! අපේ කොල්ලා ආවෙ නැද්ද..? ඊයෙ එන්නෙත් නෑ කියලා නිකමටවත් මට කිව්වෙ නෑනෙ.. ඊයෙ සනිරු නේවාසිකාගාරයෙද හිටියෙ පුතේ..? සනිරුගේ මව තුෂාරිගේ සහ මායාගේ නිහඩ මුහුණු දෙස බලමින් ඇසීය..

ඒක තමයි අම්මෙ අපි මේ කියන්න ආවෙ.. පුටුවේ වාඩි වී සිටි තුෂාරි ඉන් නැගිට සනිරුගේ මව සමීපයට ගොස් පැවසීය..

මොක්කද පුතේ කියන්නයි ආවෙ කිව්වෙ..? තුෂාරිගේ මුහුණ දෙස බලමින් ඇය ඇසීය..

මේකයි අම්මෙ.. එකවරම කියා ගත නොහැකිව තුෂාරි මායා දෙස බැලීය..

අනේ පුතේ..! මොකක්ද.. මේකයි.. මේකයි කියන්නෙ..?

අම්මෙ.. අපි මේ කියන දේ අහලා කලබල වෙන්න එපා.. අනික දැන් කලබල වෙන්න දෙයකුත් නෑ.. මොකද දැන් ඒ තරම්ම අමාරුවක් නෑ සනිරුට..

අමාරුවක් කිව්වෙ.. මගේ කොල්ලට.. කියන දෙයක් වහෙන්ඔරොව නැතුව කියපල්ලා පුතේ..! ඇය බැගෑපත් වූවාය..

අමේමෙ.. ඊයෙ සනිරුට පොඩි කරදරයක් වුණා.. කැම්පස් එකේ ඉදලා.. ඒත් දැන්නම් බය වෙන්න දෙයක් නෑ අම්මෙ.. මායා සනිරුගේ මව සමීපයට පැමිණ ඇයගේ අතදෙක අල්ලා ගනිමින් පැවසීය..

දෙයියනේ..! මගේ අහිංසකයට මොකද වුණේ..? මායා විසින් අල්ලා ගැනුණු ඇයගේ දෑත් ඉන් ඉවතට ගෙන තම මුහුණෙහි තබාගෙන වැළපෙන්නට වූවාය..

අම්මෙ.. දැන් බයවෙන්න එපා.. ඒක අම්මගෙ සෞඛ්‍ය තත්වයට හොද නෑනෙ.. අනික සනිරුට දැන් එච්චරම අමාරුවක් නෑ.. ඇයගේ වැළපීම වැලැක්වීමට මායා වෑයම් කළාය..

ඔව් අම්මෙ, ඩොක්ටර්ලත් කිව්වා බයවෙන්න දෙයක් නෑ කියලා..

ඒත් පුතේ.. සනිරුට මොකද වුණේ..? මේ විදිහට ඉස්පිරිතාලෙ නවතින්න තරම්.. සනිරුට සිදුවූ කරදරය කුමක්ද යන්න පිළිබදව දැන ගැනීම සදහා ඇය ඇසීය..

ඇය සිටින රෝගාතූර තත්වය හේතුවෙන් සනිරුට සිදු වූ අවාසනාවන්ත ඛේදවාචකය එලෙසින්ම බරපතල ලෙස පැවසීම ඇයගේ ජීවිතයට අවධානමක් වේයැයි සිතූ තුෂාරි එය ඉතාම සැහැල්ලු ආකාරයෙන් පැවසීය.. එහෙත් එවැනි සිදුවීමක් වීමට හේතුව සනිරුගේත් මායාගේත් ආදරය බව ඇයට නොපැවසුවේ එය සනිරු විසින්ම තම මවට පැවසිය යුතු නිසාත් එය පැවසීමට මායාටත් තුෂාරිටත් ශක්තියක් නොතිබුණු නිසාත්ය..

අනේ..! මගේ කොල්ලට මේක කරපු එවුන්ට හොදක් නම් වෙන්න එපා දෙයියනේ..! කාටවත් කරදරයක් හිරිහැරයක් කරන්නේ නැති හින්දද මේ වගේ අපරාධයක් මගේ කොල්ලට කරේ.. සනිරුගේ මව ඔවුන්ට ශාප කළේ තම දෑත් අහස දෙසට දිගු කරමිනි..

ඔව් අම්මෙ.. සනිරුට මේ දේ කරපු අයට දෙවියන්ගෙන් විතරක් නෙමෙයි, නීතියෙනුත් ගැලවීමක් වේනනෙ නෑ.. තම මුවට ආවේශ වූ කෝපයත් සමග මායා පැවසීය..

මගේ කොල්ලා දැන් ඉන්නෙ මොන ඉස්පිරිතාලෙද..?

පේරාදෙණියෙ එකේ අම්මෙ..

කෑම එහෙම කනවද මන්දා මගේ කොල්ලා..

ඒ ගැන හිතන්න එපා අම්මෙ.. ඒ හැම දෙයක්ම සනිරු වෙනුවෙන් අපි කරනවා..

අනේ..! මගේ කොල්ලා මට බලන්ට යනට ඕනි පුතේ..

අම්මා කරදර වෙන්න එපා.. සමහර විට හෙට සනිරුගෙ ටිකට් කපයි.. අනික අපි හැමෝම ඉන්නවනේ.. ඇයගේ රෝගාතූර තත්වට පිළිබද සිතමින් තුෂාරි එලෙස පැවසීය..

ඒත්.. මට මගේ දරුවව බලන්නෙ නැතුව ඉන්න බෑ පුතේ..

අපිට තෙරෙනවා, අම්මගෙ හිතේ තියෙන දුක.. ඒත් අම්මා ගැනත් පොඩ්ඩක් හිතන්නකො අම්මෙ.. අපි කිසිම අඩුවක් සනිරුට කරන්නෙ නෑ..

දූලා වගේ ගුණ යහපත් යාළුවො අපේ සනිරුට ඉන්න එක මොන තරම් එකක්ද..? ඇය මායාත් තුෂාරිත් පැවසූ දේවල් කෙරේ පැහැදීමට ලක්වූවාය..

මායා අපි දැන් යමුද..?

ඔව් තුෂාරි අක්කෙ, අපි යමු..

එහෙනම් අම්මෙ.. අපි දැන් යන්නම්.. සනිරු බලන්නත් ඕනි.. අම්මා බයවෙන්න නැතුව ඉන්න..

පරිස්සමින් යන්න පුතේ..

සනිරුගේ මවගේ දෙපා නැමැද මායා සහ තුෂාරි නිවසින් එළියට පැමිණියේ සිතෙහි දුකක්ද රදවාගෙනය.. ඒ තමන්ටවත් දරාගත නොහැකි දුක්ක ඇය අම්මා කෙනෙකු වශයෙන් කෙලෙස උහුලා ඉන්නේද යන හැගීම පිළිබද ඔවුන්ට සිතෙන්නට වූ නිසාය..

පේරාදෙණියට පැමිණි මායා සහ තුෂාරී සනිරුට සිදු වූ සිදුවීම පිළිබදව පැමිණිල්ලක් කිරීම සදහා පේරාදෙණිය පොලීසියට යාමට තීරණය කළහ..

තුෂාරි අක්කෙ, අපි මේ ගැන පොලීසියට පැමිණිල්ලක් කරමුද..? නැත්නම් ආයෙමත් සනිරුට කරදරයක් වෙන්න පුළුවන්.. රකිත කියන්නෙ මහ නරුමයෙක්.. මොනවා හරි දෙයකින් එක පාරකින් දෙපාරකින් සෑහීමකට පත් වෙන්නෙ නැති තිරිසනෙක්..

ඒක හොදයි මායා.. අපි මෙහෙම හරි දෙයක් නොකරොත් උගේ චණ්ඩිකම් කවදාකවත් නතර වෙන්නෙ නෑ.. තුෂාරිද මායාගේ තීරණයට එකග විය..

එහෙනම් අපි පොලීසියට යමු නේ..

ඒත් මායා.. ඔයාට ප්‍රශ්නයක් වෙයිද..? නැවතත් තුෂාරී ඉදිරිය ගැන සිතන්නට වූවාය..

ඌ මට මොනවා කරන්නද..? මම ඌට බය නෑ.. ඒත් සනිරුට මොනවා හරි වුණොත් මට මගේ ජීවිතෙන් තේරුමක් නෑ අක්කෙ.. සනිරු ජීවත් වුණොත් විතරයි මට මේ ලෝකෙ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන්නෙ.. ඉතින් ඒ වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා.. කාටවත් බය වෙන්නෙ නෑ..

පොලීසිය තුළට පැමිණි මායාගේ සහ තුෂාරිගේ හදවත නොසන්සුන් අයුරින් හෘර්දස්පන්දනය වූයේ කිසිදිනක පොලීසියට පැමිණ නොමැති වීමෙන් ඇති වූ නුපුරුදු බිය නිසාය.. එහෙත් තමන් පැමිණි අරමුණ ඉටු කර ගැනීම වස් කෙසේ හෝ සිත දැඩි කොට ගනිමින් සිදු වූ සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම පැමිණිලි සටහන් කරමින් උන් පොලිස් නිලධාරියාට පැවසූහ..

ඔය කියන්නෙ.. සූරියවංශ කාරියවසම්ගෙ පුතා ගැන නේද..? රකිතගේ නම ඇසූ පමණින් පොලිස් නිලධාරියා මායාගෙන් සහ තුෂාරිගෙන් විමසිය..

ඔව් සර්.. එයා තමයි.. එයා විතරක් නෙමෙයි එයාගෙ යාළුවොත් මේකට සම්බන්ධයි.. මායා තුළ රකිත කෙරෙහි තිබෙන වෛරය නිසා පොලිස් නිලධාරියා ඇසූ දෙයට විගසින් පිළිතුරු දුණි..

ඒත් මේ වගේ දෙයක් වෙන්න හේතුව මොකක්ද..?

මේකයි සර්.. මායාගෙයි සනිරුගෙයි අතර සම්බන්ධයක් තියෙනවා.. ඉතින් ඒකට ඔය රකිත කැමති නෑ.. මොකද මායා කසාද බන්දලා දෙන්න යන්නෙ එයාට.. ඒත් මායා එයාට කැමති නෑ.. ඒ නිසයි මේ විදියට මෙයාලට කරදර කරන්නෙ..

හරි.. හරි.. මට දැනුයි තේරෙන්නෙ.. කාරියවසම් පරම්පරාවෙම පුරුද්දක් තමයි.. හැම දෙයක්ම බලෙන් අයිති කරගන්න යන එක.. ඔයාලා බයවෙන්න එපා.. අපි මේ ගැන බලාගන්නම්..

ප්ලීස් සර්.. මොනවා හරි කරන්න.. රකිත කියන්නෙ යක්ෂයෙක් වගේ මිනිහෙක්.. මායා නැවත නැවත රකිතගේ නොමිනිස්කම පිළිබද කියන්නට වූවාය..

අපිත් දන්නවා ඒක.. මිනිහා මහ අමාරුකාරයා.. තාත්තට දෙවනි නෑ.. ඒත් අපේ රාජකාරිය අකුරටම කරනවා.. ඔයාලා බයවෙන්න එපා.. අපි දැන්ම හොස්පිට්ල් එකට ගිහින් ලෙඩාගෙන් කට උත්තරයක් ගන්නම්..

තැන්ක් යූ වෙරි මච් සර්.. පොලිස් නිලධාරියාගෙ අපක්ෂපාතී ප්‍රකාශ වලට ගරු කිරීමක් වශයෙන් මායා ඔහුට ස්තුති කළාය..

පොලීසියට ගිය මායා සහ තුෂාරී ඉක්මන් ගමනින් රෝහලට ගියේ සනිරු දැක ගැනීම සදහාය.. ඔවුන් යන විට ප්‍රදීප්, චතුර දර්ශනි සහ මායාගේ යෙහෙළිය වූ වසන්තිකාද පැමිණ සිටියහ..

අන්න.. මායා එනවා.. දර්ශනී පැවසීය..

සනිරු දැන් ඔයාට කොහොමද..? ඊයෙ රෑ ඔයාට නින්ද ගියාද..? අසලින් වාඩි වූ මායා ඔහුගේ හිස පිරිමදිමින් ඇසීය..

දැන් නම් අමාරුවක් නෑ මායා.. ඇයගේ අත අල්ලා ගනිමින් සනිරු පිළිතුරු දුන්නේය..

ආ.. සනිරු, අපි මේ ගැන අම්මට කිව්වා.. ඒ බව පැවසීමට අමතක වී සිටි තුෂාරි එක පාරටම පැවසීය..

අම්මා බය වුණාද..? ඇඩුවද..? සිය අම්මාගේ තත්වය දැන ගැනීම සදහා සනිරු තුළ බියක් ඇතිවිය..

බය වුණා විතරක් නෙමෙයි සනිරු.. හොදටම ඇඩුවා.. ඒත් කොහොම හරි අම්මගෙ හිත හැදුවා.. අම්මා එන්නත් ලෑස්ති වුණා.. බොහෝම අමාරුවෙන් නතර කරගත්තෙ..

පව්.. මගේ අසරණ අම්මා.. මොන තරම් වේදනාවක් දැනෙන්න ඇත්ද..?

ඒ මම නිසයි සනිරු..

එහෙම කියන්න එපා මායා.. මේක අපි දෙන්නගෙම ප්‍රශ්නයක්..
 

වෙන්න පුලුවන් සනිරු.. ඒත්..

ඒත් නෙමෙයි.. එහෙමයි.. තේරුණාද..?

හ්ම්..

ඒක නෙමෙයි සනිරු.. අපි මේ ගැන පොලීසියට කිව්වා.. ඔයාගෙන් කට උත්තරයක් ගන්න ආවාම හැම දෙයක්ම කියන්න..

ඇයි මායා පොලීසියට කිව්වෙ..? ඔයාට මගෙන් අහන්න තිබුණනෙ..

ඔයාගෙන් ඇහුවනම්, එපා කියන නිසයි මම එහෙම කළේ..

ඒත්.. මායා, ඔයාට අර තිරිසනා මොනවා නොකරයිද..? මට මං ගැන නෙමෙයි බය.. ඔයා ගැනයි..

මට මොකුත් වෙන්න නෑ සනිරු.. ඔයා මගේ ළගින් ඉන්නකම්.. මායා සනිරුට ගෙන ආ සුප් එක හැන්දකින් පොවමින් පැවසීය..

හෝරාවකට ආසන්න කාලයක් සනිරු ළග සිටි මායා ඇතුළු අනෙකුත් යහළුවන් විශ්ව විද්‍යාලයට යන්නට සූදානම් වූයේ නැවත සනිරු බැලීමට පැමිණෙන බව පවසමිනි..

ඔවුන් රෝහලෙන් පිටවී පැය දෙකකට පමණ පසු පොලිස් නිලධාරීන් දෙදනෙක් සොයමින් රෝහලට පැමිණියේ මායා කළ පැමිණිල්ල හා සනිරුගෙන් කට උත්තරයක් ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය..

ඔයාද සනිරු ගුණසිංහ කියන්නෙ..? පැමිණ පොලිස් නිලධාරියෙකු ඇසීය..

ඔව් සර්, මමයි..

ඊයෙ ඔයාට රකිත කාරියවසම් මේ විදිහට පහර දීම සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නෙ..?

පොලිස් නිලධාරියා ඇසූ ප්‍රශ්නයට සනිරු කිසිම දෙයක් නොසගවා සෑම දෙයක්ම ඒ අයුරින්ම පැවසුවේය.. තමාත් මායාත් එකිනෙකාට ආදරය කරන බව පැවසූ සනිරු මායාගේ දෙමාපියන් බලහත්කාරයෙන්ම රකිතට මායා කසාද බන්දා දීමට උත්සාහ කරන බවද ප්‍රකාශ කළේය.. රකිත කෙරෙහි මායා තුළ අපැහැදීමක් තිබෙන නිසාත් තමා මායාට ආදරය කරන නිසාත් මෙවැනි දෙයක් සිදු වූ බව සනිරු පොලිස් නිලධාරියාට අවසානයෙදී පැවසුවේය.. තුෂාරි පැවසූ පැමිණිල්ලෙහි සදහන් වූ දේත් සනිරු දුන් කට උත්තරයේත් කිසිදු පරස්පරයක් දක්නට නොමැති බව තේරුම් ගත් පොලිස් නිලධාරියා ඒ පිළිබදව නීතිමය පියවර ගන්නා බවට සනිරුට ප්‍රකාශ කර සිටියේය..


එදා සවස සනිරු බැලීමට රෝහලට පැමිණිමට අවස්ථාව ලැබුණේ මායාට පමණි.. මායා විශ්ව විද්‍යාලයේ සිට බසයක නැග පේරාදෙණිය රෝහලට පැමිණෙන විට සවස 4.30 ත් පසු වී තිබිණි.. එදා දහවල් ද සනිරු බැලීමට එන්නට නොහැකි වූ මායා ඉක්මනින්ම සනිරු සිටි වාට්ටුවට ගියාය..

සොරි සනිරු.. මට එන්න විදියක් තිබුණෙ නෑ.. අද එක දිගටම ලෙක්චර්ස් තිබුණා..

ඒකට කමක් නෑ මායා.. ඔයාගෙ ලෙක්චර්ස් මග හැරගන්න එපා.. දවල් ප්‍රදීපුයි චතුරයිත් ආවනෙ..

ඒ අයත් අද මට හම්බවුණේ නෑ..

සනිරු ඔයාට බඩගිනිත් ඇති නේද..? මම එන්නත් වෙලා ගියා.. ඔහු ළගින් වාඩි වූ මායා ගෙන ආ පාර්සලයක් දිග හරිමින් කීය..

ඔයා මගේ ළගට වෙලා ඉන්නවා නම් මට බඩගින්නක් දැනෙන්නෙ නෑ මායා..

හා.. හා.. දැන් කතාව නවත්තලා මේ ඉදි ආප්ප ටික කන්න.. තමන්ගේ අතින්ම ඇනූ ඉදි ආප්ප මායා සනිරුට කැව්වේ පුංචි දරුවෙකුට කවන්නට මෙනි..

මායා ඔයාත් කන්න..

ඉස්සරෝම ඔයා කන්නකො.. ඊට පස්සෙ තමා මම කන්නෙ..

අනේ මායා..! දැන් නම් ඇති.. හොදටම බඩ පිරිලයි තියෙන්නෙ.. මායාගේ අත අල්ලා ගනිමින් සනිරු පැවසුවේ ඇත්තටම බඩ පිරී තිබූ නිසාය..

එහෙනම් ඒ ටික ඔයා කන්න.. දැන් මම කාලා ඉවරයිනෙ..

හ්ම්.. මම කන්නම්.. හැබැයි ඔයා මට කවන්න ඕනි.. නැත්නම් කන්නෙ නෑ..

මායා මිනිස්සු ඉන්නවනෙ.. වටපිට බැලූ සනිරු මුවට නැගුණු මද සිනාව සගවා ගනිමින් පැවසුවේය..

ඇයි ඔයාට ලැජ්ජද සනිරු..? ලැජ්ජ වෙන්න එපා.. මම ඔයාට කැව්වෙ.. අනික ඔයා කැමති නෑ නේද ඔයාගෙ අත දෙකෙන් මට කවන්න.. සනිරු දෙස බලමින් සිටි මායා තම මුහුණ ඉන් ඉවතට ගෙන පුංචි තරහක් පෙන්විය..

අම්මේ.. මේ අහිංසක ආඩම්බරකාරිට තරහ ගියා නේද..? මම විහිළුවක් කළේ.. ඔයා මොනවද කියන්නෙ කියලා බලන්න.. මායා අත ඉතිරි වී තිබුණු ඉදි ආප්ප පාර්සලය ගෙන තමන්ගේම අතින් සනිරු මායාට කැව්වේය..

ලෙඩුන් බැලීමට වෙන් කර තිබූ පැයක පමණ කාලය අවසන් වීමට තවත් විනාඩි පහක පමණ සුළු වේලාවක් ඉතිරි වි තිබිණි.. මායාට සනිරු තනිකර දමා යන්නට හිත ඉඩ නොදුන්නත් කෙසේ හෝ එය කිරීමට සිදුවූයේ එය පිරිමි වාට්ටුවක් නිසාත් තම පියාගේ සැර පරුෂ බව නිසාත්ය..

සනිරු.. මම දැන් යන්නද..? ඔහු ළගින් වාඩි වී සිටි මායා හෙමීට ඇසීය..

මායාගේ අත් දෙක අල්ලා ගත් සනිරු පරිස්සමෙන් යන්න මායා යැයි පැවසීය..

දොරටුව ළගට පැමිණි මායා නැවතත් ආපසු හැරී සනිරු දෙස බලා ඉක්මනින්ම රෝහල ඉදිරිපිට වූ බස් නැවතුම්පළට පැමිණියාය.. විනාඩි කිහිපයක්ම බස් රථයක් එනතුරු බලා සිටි මායා අභියසින් සුදු පාට කාරයක් ඉදිරියට ගොස් නැවතත් එය ආපස්සට පැමිණ මායා සමීපයට විත් නතර කළේය.. එම කාරයේ රියදුරු ආසනයේ වාඩි වී සිටි පුද්ගලයා ඉන් බැස මායා සමීපයට පැමිණියේය.. එලෙස බැස ආ පුද්ගලයා දුටු මායාගේ මුහුණ ගිනි පුපුරක් මෙන් රත් පැහැ වී නළියන්නට විය.. ඒ වෙන කිසිවෙකුත් නොව රකිත විය..

තමුසෙ මොකද මෙතන කරන්නෙ..? අර තුට්ටු දෙකේ කැම්පස්කාරයා බලන්න ආවද..? රකිත මායාට කෑ ගැසුවේ ඇය ඔහුට සන්තක බූදලයක් මෙන් සිතාය..

තමුසෙට වැඩක් නෑනෙ මම කොතන හිටියත්.. ඔව්, මම ආවෙ තුට්ටු දෙකේ වුණාට මගේ හදවතේ ඉන්න සනිරුව බලන්න තමයි.. තමුසෙගෙ වැඩක් තමුසෙ බලාගන්නවා රකිත.. මායාද රකිතට බැණ වැදුණේ තම සිතේ තියෙන කෝපය පාලනය කර ගැනීමට නොහැකි වූ නිසාය..

ආ.. එහෙමද..? බලමුකො තවය කොච්චර කල් මේ නාඩගම නටයිද කියලා..

ඇයි තමුසෙ මට මොනවා කරන්නද..?

මොනවා කරන්නද..? මම මේ හැම දෙයක්ම තමුසෙගෙ තාත්තට කියනවා.. එතකොට බලමුකො.. රකිත මායාට තර්ජනය කළේ ඇයගේ පියාද තමාට පක්ෂපාතී බව දත් නිසාය..

කියනවා ඉතිං.. මම බය වෙන්නෙ නෑ.. තමුසෙ දැන් පොලිස් කූඩුවෙ ළගින්න බලාගෙන ඉන්නවා.. මායා රකිතට විරුද්ධව පොලීසියට ගිය බව ඉබේටම ඇගේ මුවින් පිටවිය..

මායා පැවසූ දෙයින් රකිතගේ මුහුණෙහි ගැබ්ව තිබුණු මදාවි උද්දච්ච ස්වභාවය ඔහුටත් නොදැනිම ලිස්සා යන්නට විය.. චන්ඩිකම තම මුහුණ බබළවා ගනිමින් සිටි රකිතගේ මුහුණ අන්ධකාර කරන්නට තරම් මායා පැවසූ දෙය ප්‍රබල විය.. එසැණින්ම පැමිණ බස් රථයට ගොඩ වූ මායා යන්නට වූයේ රකිතත් සමග කතා කිරීමට පවා අකමැති වූ හෙයිනි..

මායා කසාද බැදීමට රකිත මේ තරම් උනන්දුවක් දක්වන්නේ ඇයට තිබෙන ආදරය නිසා නොව පවුලේ සෑම දේපළක්ම මායාට අයිති වන බව දැනගත් නිසාය.. කෙසේ වෙතත් ඇය පැවසූ දෙය රකිත තුළ තිබෙන කෝපය උත්සන්න කිරීමට ප්‍රබල විය.. මායා කෙරෙහිත් සනිරු කෙරෙහිත් ඔවුන්ගේ ආදරය කෙරෙහිත් තම සිතෙහි රෛය පුරවාගෙන රකිත සිය නිවසට පැමිණෙන විට රාත්‍රි හතට පමණ විය..

නිවසට ඇතුළු වූ රකිතගේ කෝපය නැති වූවේ නිවස තුළ සිටි පොලිස් නිලධාරීන් දැකීමෙන් ඇති වූ බිය නිසාය.. මායා සදහන් කළ පැමිණිල්ල නිසාත් සනිරුගේ කට උත්තරය නිසාත් පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීහූ රකිත අත්තඩංගුවට ගැනීමට පැමිණ සිටියහ..

සනිරුට සහ ඔහුගේ යහළුවන්ට පහර දීම සම්බන්ධව වැරදිකරුවන් ලෙසට සාක්ෂි සහිතව ඔප්පු වූ රකිතට සහ ඔහුගේ යහළුවන්ට මාස තුනක සිර දඩුවමක් හිමි විය.. රකිතගේ පියා මන්ත්‍රීවරයෙකු වුවත් නීතිය සියතට ගෙන තම පුතාව සහ ඔහුගේ යහළුවන් නිදහස් කර ගැනීමට නොහැකි විය.. මේ නිසා රකිත තුළත් ඔහුගේ පියා තුළත් මායා සහ සනිරු කෙරෙහි වූයේ මහත් කෝපයකි..




No comments:

Post a Comment