Wednesday, May 23, 2012

| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර |






වෙනදාට වඩා වේලාසනින් සනිරු කැම්පස් එකට පැමිණියේ හදවතේ තිබෙන මහ සාගරය තරම් වූ ප්‍රේමයේ වේදනාව තව දුරටත් විඳදරාගත නොහැකිව එය තම යහළුවන්ට හෝ පවසා අල්ප මාත්‍රයක තරම් හෝ සැනසුමක් සිතට ලබා ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය.. ඔහු තම යහළුවන් එනතුරු බංකුවක් මත වාඩි වී කල්පනා කරමින් උන්නේ තම හදෙහි ලැගුම් ගෙන සිටි මිහිරාවිය සදහටම සින්නක්කර හිමිකාරිය කර ගැනීමට හැකිවේදැයි සිතාය..


ප්‍රදීප් අර බලපං.. අද අරූ කලින් ඇවිත් මනෝ ගහනවා.. ඈතින් පැමිණි චතුර සනිරු දැක ප්‍රදීප්ට කීවේ තම දකුණත ඉණෙහි තබාගෙනය..

යකෝ.. මේකට මොනවද වෙලා තියෙන්නෙ..? මෙහෙම ගියොත් ඇත්තටම මූට පිස්සු හැදෙයිනෙ බං.. අද නම් කොහොම හරි මේ පිස්සුව මොකක්ද කියලා දැන ගන්න ඕනෙ.. වරෙන් යමං..

සනිරුගේ කල්පනාවට බාධාවක් නොකළ ප්‍රදීප් සහ චතුර ඔහු සමීපයට පැමිණ විනාඩි දෙකක් පමණ නිශ්ශබ්දව සිටියහ.. එහෙත් ඔහුට තම යහළුවන් පැමිණ සිටින බව මොහොතකටවත් නොදැණුනේය.. ඒ තරමටම කල්පනාව බලවත් විය.. සනිරුගේ මෙම ක්ෂණික වෙනස් වීමට හේතුවය කුමක්ද යන්න ඔහුගෙන් දැන ගැනීම ගලකින් පට්ටයක් ගලවා ගන්නාක් මෙන් අසීරු බව ප්‍රදීප් සහ චතුර දැන සිටියත් එය කෙසේ හෝ ඔහුගෙන්ම දැන ගැනීමට ඔවුන් පෙළඹුණහ.. කෙසේ නමුත් ඔවුන් සිතූ තරම්ම එය අසීරු නොවුනේ ඒ පිළිබදව පැවසීමට සනිරු තීරණය කළ නිසාය..

සනිරු මොකද මචං උඹට මේ වෙලා තියෙන්නෙ..? දැන් දවස් දෙකක් තිස්සෙ කල්පනා කරනවා.. ඔය තරම්ම කල්පනා කරන්න උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියපංකො..? ප්‍රදීප් ඔහු අසලින් වාඩි වෙමින් ඇසුවේය..

බලපං.. අපි දැන් මෙතන්ට ඇවිත් විනාඩි දෙකකටත් වැඩියෙන් හිටියා.. ඒත් උඹට නිකමටවත් දැනුණද..? ඇත්තටම උඹ මේ පියවි සිහියෙන් ගිහිං කොහෙද අතරමං වුණේ බං..? චතුරද ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය..

ඔව් මචං.. කියපං.. කියපං..

උඹලා දන්නවනේ.. මම උඹලට මොකුත් හංගන්නෙ නෑ කියල..

ඉතින් ඒකම තමයි අපිත් කියන්නෙ.. මොකක්ද ප්‍රශ්නෙ කියපං..? සනිරුගේ ප්‍රකාශයට ප්‍රදීප් පිළිතුරු දුන්නේය..

මේකයි මචං.. පෙරේදා මම හවස බස් එකේ යනකොට ගෑනු ළමයෙක් මට එයාගෙ බෑග් එක දුන්නා.. මමත් ඉතින් ගත්තා..

ඉතිං.. චතුර පුදුමයෙන් මෙන් ප්‍රශ්න කළේය..

විහිළු කරන්න එපා බං..

හරි.. හරි.. විහිළු නෙමෙයි මචං.. කියපංකො උඹගෙ කතාව..

මචං, මට එයා කතා කලේ අය "අයියා" කියලා.. ඇත්තමයි.. මීට කලින් මට කිසිම කෙනෙක් එහෙම කතා කරලා නෑ.. ඒ වචනය මගේ හදවතේ දෝංකාර දෙනවා.. අනික දැන් හැම මොහොතෙම ඒ රූපය මගේ ඇස් දෙක ඉස්සරහ ඉන්නව වගේ පේනවා.. ඉතින් මචං.. දැන් මට පිස්සු වගේ.. කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ..

ඒ කියන්නෙ.. අපේ තපස් රැක්ක උපාසකතුමාගෙ හදවත දැන් පත්තු වෙලානේ ඒ කියන්නෙ.. පුදුමයකින් සහ සතුටකිත් චතුර ප්‍රකාශ කළේය..

ඔව්.. ඔව්.. මචං පත්තු වෙලා නෙමෙයි.. අකුණු ගහලයි තියෙන්නෙ.. තවමත් මගේ  හදවත පිච්චෙනවා..

ඇත්තටම මචං.. ආදරය කියන්නෙ හිතා මතාම ඇතිවෙන දෙයක් නෙමෙයිනෙ.. කොයි මොහොතක හරි ඇතිවෙනවා.. දැන් බලපං.. එයාගෙ හෘරයාංගම වචනය උඹගෙ හදවතේ ඇති කරපු වෙනස.. උඹ හීනෙකින්වත් හිතුවද ඒ වගේ ආදරයක් ගැන.. ඒක තමයි කියන්නෙ.. ආදරය ජීවිත ජීවත් කරන ඹෞෂධයක් කියලා.. හැබැයි.. ඒ වගේම තමයි අනිත් පැත්තත්..

උඹ එයාගෙ නම, ඉන්නෙ කොහෙද, මොනවද කරන්නෙ කියලවත් ඇහුවද..? සනිරුගේ හදවතේ ඇතිවී තිබෙන ආදරයට උද්යෝගයක් ඇති කරමින් ප්‍රදීප් ඇසුවේය..

නෑ මචං.. බැරිවුණා.. එක පාරම එයා බස් එකෙන් බැහැලා කොහොට ගියාද කියල හොයාගන්න බැරිවුණා..

දැන් මොකද කරන්නෙ..? ඇය සොයා ගැනීමට මෙන් චතුර කල්පනා කළේය..

අනේ මං දන්නෙ නෑ බං.. මට තේරෙන්නෑ.. මම දැන් හොයන එකම දේ එයා වුණත් මට එයාව හොයා ගන්න පුළුවන් වෙයිද බං..? 

පුලුවන් වෙයිද නෙමෙයි, පුලුවන්.. ජීවිතයට මොකක් හරි ලබා ගන්න අවශ්‍ය වුණොත් ඒ ගැන ධනාත්මකව හිතන්න පුරුදු වෙයන්.. ඒ දේ හීනයක් විදියට හැම මොහොතෙම දැකපන්.. ඒ හීනෙත් එක්ක ජීවත් වෙයන්.. ඒක භාවනාවක් විදියට විසි හතර පැයේම මෙනෙහි කරපන්.. ඒ දේ හිතේ දැඩි කර ගනින්.. එතකොට ඒ දේ ජීවිතයට ලැබෙනවාමයි.. සනිරුගේ සිත ප්‍රාණවත් කරන්නට තරම් ප්‍රදීප්ගේ වදන් ප්‍රබල වූයේය..

ඒක නෙමෙයි සනිරු.. උඹ ඊයෙ පරක්කු වෙලා එන්න හිටියෙ ඇයි..?

ඊයෙත් එයි කියලා හිතුණා.. ඉතින් ඒ බස් එකේ යන්න ඕන නිසයි මම උඹලත් එක්ක නාවෙ.. ඒත් වැඩක් වුණේ නෑ බං..

ඇයි මොකද වුණේ..? බස් එක ආවෙ නැද්ද..?

බස් එක නම් ආවා.. ඒත් එයා ආවෙ නෑ..

හරි.. හරි.. කමක් නෑ.. ඒ අවස්ථාව නිෂ්ඵල වුණාට අනෙක් හැම අවස්ථාවක්ම උඹට සතුටත් ගෙනදෙයි සනිරු.. දුක් වෙන්න එපා.. අපේ ජීවිත වලට මග හැරෙන හැම දෙයක්ම ආපහු අපට ලබා ගනන් බැරි වුණත් ඒ දේ වලින් දැඩිව අපි පෙරුම් පුරපු බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඉටුවෙනවා.. ඉතින්.. උඹගෙ ආදරයත් උඹට ලැබෙනවා සනිරු.. හැම තිස්සෙම අවංකව ඒ ගැන උඹ හිතන නිසා..

බංකුව මත වාඩි වී ප්‍රදීඵ් සමග කතා කරමින් උන් සනිරු ක්ෂණයකින් ඉන් නැගිට ඉදිරියට ඇදෙන ළමුන් දෙස ඉමහත් උනන්දුවකින් යුතුව තම දෙනෙත් ඒ වෙතට යොමා සිටියේ ශල්‍යකර්මයක් කිරීමට නිර්වින්දනය කොට සිටින රෝගියෙකු මෙන් නිසලව ඒ දෙස බලමිනි..

ඒ චතුර.. සනිරු අර බලන් ඉන්නෙ කොහෙද..? ප්‍රදීප් චතුරගේ අතට තට්ටුවක් දමමින් සනිරු දෙස බැලිය..

අනේ මන්දා.. බලපන්කො පිළිමයක් වගේනෙ..

නිහඩව නිසලව ඉදිරියට ඇදෙන ළමුන් දෙස බලා සිටි සනිරු මොහොතකින් තම යහළුවන්ට කතා කළේය..

ඒ.. ප්‍රදීප්.. ප්‍රදීප්.. මචං අරයා ගැන තමයි මම උඹලට කිව්වෙ.. උඹලට පේනවා නේද එයාව..? අර.. අර..

කෝකද මචං..? අර තනියම එන එකද..?

නෑ.. නෑ.. බං ඊට පිටිපස්සෙන් තව එක්කෙනෙක් එක්ක එන්නෙ.. අන්න එයා..

කවුද අර අළු පාට කැප් එකක් දාගෙන එන බෝයිට ඉස්සරහයින් එන කෙනාද..? ප්‍රදීප්ටද ඇය හදුනා ගැනීමට ඉවසුමක් නොවිය..

නෑ.. නෑ.. මචං අර මල් මල් දිග ගවුමක් ඇදගෙන එන ගර්ල් එක්ක ඉන්නෙ.. අර නිල් පාට කොට ස්කර්ට් එකයි රතුපාට බ්ලවුස් එකකුයි ඇදගෙන ඉන්නෙ.. අන්න එයයි.. සනිරු තම යහළුවන්ට ඇය පහසුවෙන්ම හැදින ගැනීම සදහා ඇය ඇද සිටි ගවුමද පාටද කීවේය..

හරි.. හරි.. මචං මම දැක්කා.. ඉටි රූපයක් වගේ අහිංසක කෙල්ලෙක්නෙ.. ඇයගේ මද සිනාවත් දිගට වැටී තිබෙන තද නිල් පාට කොණ්ඩයත් සමේ පාටට කැපෙන ඇද සිටි ඇදුමෙහි පාටත් නිසා තව තවත් ලස්සන වී සිටි ඇයගේ සුන්දරත්වය සංයමයකින් යුතුව ප්‍රදීප් ප්‍රකාශ කළේය..

ඒ කියන්නෙ සනිරු.. එයා අලුත් බැජ් එකේ කෙනෙක් වගේ.. මූණත් එක්ක ඇඹුල් කරගෙන එන හැටියෙන්ම කියන්න පුළුවන්.. ඇය දෙස බැලූ චතුර පැවසුවේය..

ඔව්.. ඔව්.. මචං අලුත් බැජ් එකේ වෙන්නැති.. අපි දැන් මොකද කරන්නෙ..? කුමක් කරන්නේද යන්න කියා සනිරුට සිතාගත නොහැකි විය..

පොඩ්ඩක් හිටපංකො.. හසිදි නොවී.. කල්පනා කරනකන්..

කැම්පස් එකට අලුතෙන් පැමිණි බැජ් එකේ කෙනෙකු බව දැන ගත් චතුර ඇයත් සමග කතා කිරීමට උපක්‍රමයක් කල්පනා කරන්නට වූවේ ඒ තුළින් ඇයත් සමග කතා කිරීමට සනිරු හට අවස්ථාවක් ලැබේයැයි සිතාය.. සනිරුගේ ආදරය වෙනුවෙන් ඇය කෙසේ හෝ කතාවට යොමු කර ගැනීමට තම සිතෙහි අධිනිෂ්චය වූ එකම උපක්‍රමය වූයේ ඇයට සහ ඇයත් සමග සිටින යහළුවාට රැග් කිරීමය..

ප්‍රදීප්.. මේ දෙන්නට රැග් එකක් දෙමුද..? එතකොට නිකංම කතාවට අල්ලගන්න පුළුවන්නෙ..

නියමයි මචං.. නියමයි.. එහෙම කරමු..

මේ.. මේ.. එපා බං.. බලපන්කො මූණෙ තියෙන බය.. අනික අහිංසකකම දැක්කාම මට නම් කිසිම දෙයක් කරන්න හිතක් නෑ.. කොහොමද මචං ඒ අහිංසක මූණ දිහා බලාගෙන රැග් කරන්නෙ.. ඇය කෙරෙහි හදෙහි උතුරා යන ප්‍රේමයටවත් වේදනාවක් නොදෙන්නට සූදානම් සනිරුට ඇයට රැග් කිරීම බලා හිදින්නට නොහැකි විය..

මේ අහපං මෝඩයො.. රැග් කරන්නෙ නෑ.. ඒ මුවාවෙන් කතා කරන්නයි යන්නෙ.. උඹගෙ හිතේ තියෙන ආදරයට අපිට තේරෙනවා.. බය වෙන්න එපා.. හිත රිදෙන කිසිම දෙයක් නොකියා ඉමු.. හරිනෙ..

චතුර පලයං.. ගිහිං දෙන්නම මෙතෙන්ට එක්කන් වරෙන්.. ඉක්මන් කරපං.. හදිසිය පලකරමින් ප්‍රදීප් පැවසුවේය..

කිසිදු ලැජ්ජාවක් බයක් නොමැතිව චතුර ඇයට සහ ඇයගේ යහළුවාට කතා කිරීමට සූදානම් වූයේ වෙනත් ගැහැනු ළමයින්ට කතා කරනවාට වඩා හාත්පසින්ම සංයමයකින් යුක්ත තරමක රැඩිකල් ස්වභාවයෙනි.. රැග් කිරීමට පමණක් ඇයත් සමග කතා කිරීමට යන බව හැගවීමට එලෙස රැඩිකල් ස්වභාවයක් ආවේශ කරගත්තේය.. ඔවු ඔවුන් පැමිණෙන ඉදිරියට ගියේය..

ආ.. අලුතෙන් වගේ.. මොනවද වටපිට බල බල දගලන්නෙ..? කොහෙන්ද මෙහාට සම්ප්‍රාප්ත වුණේ..? චතුර ඇසූ ප්‍රශ්ණයට පිළිතුරක් දීමට සැරසුණු බවක් ඇයගේ අංග චලනයෙන් ඔහුට හැගී ගියේය..

මේ.. මේ.. අපි ආවෙ.. ඇය චතුර ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු දීමට වදන් පෙළගැස්සූ විගසම ඔහු ඊට බාධා කළේය..

හා.. හා.. මෙතන ඉදන් කතා කරන්න බෑ.. ඇයි හැමෝටම සේල් වෙන්න ආසද..? අතන්ට.. අතන්ට.. චතුර සැලසුම් කළ ආකාරයටම ඔවුන් සනිරු සහ ප්‍රදීප් සිටි ස්ථානයට රැගෙන යාමට සමත් විය..

තම අභියසට පැමිණි ඇය දෙස සනිරු බැලුවේ තරමක වේදනාවකිනි.. ඒ ඇය මුහුණ දීමට යන මොහොත බියපත්වී සිතෙහි ඇති බී තිබෙන තිගැස්ම ඇයගේ මුහුණින් සනිරුට දැනෙන්නට වූ නිසාය.. ඇයගේ මුහුණෙන් දනවන භීතිය සනිරුගේ හද ගැස්ම වේගවත් කරන්නට තරම් ප්‍රබල විය.. එහෙත් එම වේගවත් හද ගැස්ම සාමාන්‍යකරණයට පත් කිරීමට නම් කෙසේ හෝ ඇය තම ජීවිතයට සපැමිණි යුතු බව ඔහු දැඩි සේ විශ්වාස කළේය..

හරි.. දැන් තමුන් ගැන කිව්වා නම්.. ඉක්මණින්.. ඉක්මණින්.. ඇයගේ යහළුවාට කතා කිරීමට ප්‍රථමයෙන්ම අවස්ථාව ලබා දුන්නේ සැණින් ඇය එතැනින් පිටමං කිරීමේ බලාපොරොත්තුව ඇතිවය..

මගේ නම.. වසන්තිකා පෙරේරා..

ඇයි සම්පූර්ණ නම කියන්න බැරිද..? චතුර තරමක කෝපයෙන් මෙන් ඇසුවේය..

ඇය වෙවුළමින් පැවසුවේ වසන්තිකා පෙරේරා ඉද්දමල්ගොඩ යැයි තම සම්පූර්ණ නම පැවසීය..

නවාතැන්පල පිහිටා තිබෙන්නේ මොන පළාතෙද..? ප්‍රදීප්ද ස්වයං තෘප්තියක් ලබමින් ප්‍රශ්න කළේය..

මාතලේ ඉන්නෙ.. ඇය හිස පහතට කොට ප්‍රකාශ කළාය..

ඇයි ලැජ්ජද කතා කරන්න..? හ්ම්.. හ්ම්.. ඔලුව උස්ස ගත්තා නම් හොදයිනේ..

නෑ.. එහෙම දෙයක් නෑ.. හිස ඔසවමින් ඇය පැවසිය..

ආ.. එහෙම නම් හොදයි.. ලැජ්ජාවක් නැති එකේ දැන් සිංදුවක් කියමු නේද..? චතුර ප්‍රදීප් දෙස බලා ගනිමින් ඇයට ප්‍රකාශ කළේය..

අනේ..! මට සිංදු කියන්න බෑනෙ..

මොනවද බැරි..? විකාර නැතුව කියනවා.. අපි ඉස්සරහ කියනවද..? නැත්නම් හතළිහක් පනහක් ඉස්සරහ කියනවද..?

ඇය ගීතයක් ගායනා කිරීමට තීරණය කළේ සීමිත පිරිසක් ඉදිරියේ ගැයීම තමාගේ මානසිකත්වයට යෝග්‍ය යැයි සිතූ නිසාය..

මම තාලයක් නම් හරියට දන්නෙ නෑ.. ප්ලීස් මොකුත් කියන්න නම් එපා..

හරි.. හරි.. අපි තාලයක් දෙන්නම්.. බය වෙන්න එපා.. 

මේ.. නගරය මා ඔබ මුණගැසුණු නගරයයි..
මේ.. නගරය මා ඔබ වෙන්කෙරුණු නගරයයි..
...........................................................

නියමයි.. අප්‍රමාණ සතුටුයි.. ඒත්.. නංගි බූට් එකක් කාලා වගේ ඉන්නෙ.. බයවෙන්න එපා.. මෙහෙ සැර බඹරුත් ඉන්නවා, සැර නැති බඹරුත් ඉන්නවා.. ඉතින් කැමති බඹරෙක් තෝරගන්න.. ලැජ්ජාවෙන් හිස නවාගෙන සිටි වසන්තිකාට ප්‍රදීප් පැවසුවේය..

හරි, දැන් ඔයාට යන්න පුළුවන්.. ආ.. අපිට ජ්‍යෙෂ්ඨ උතුමාණනි කියල කතා කරනවද..? නැත්නම් නම කියල කතා කරනවද..? එහෙමත් නැත්නම් අපිට තියෙන කැම්පස් නම කියල කතා කරනවද..?

ඔයාලා කියන දෙයක්..

නෑ.. නෑ.. ඔයාම තීරණය කරන්න..

එහෙම නම් නම කියල කතා කරන්නම්..

හරි.. කමක් නෑ.. මම ප්‍රදීප්.. මේ චතුර.. අර ඉන්නෙ සනිරු.. දැන් හරිනෙ..

හ්ම්.. හරි..

වසන්තිකාට රැග් කරන විට ඊට සම්බන්ධ නොවූ සනිරු තම සිහින මන්දිරයේ රජකම් කරන ඒ දිව්‍ය රැජිණ නිසොල්මන්ව තැතිගෙන බණ්ඩි කුරක්කන් පැසී පහතට නැමී තිබෙන්නාක් මෙන් හිස පහතට නවාගෙන සිටින අවිහිංසකභාවය දෙසම පමණක් බලා සිටියේය..

ආ.. දැන් ඔයාගෙ වාරෙ.. මොකද දැන්ම කැම්පස් එක එපා වෙලාද..? ඇය කතාවට යොමු කර ගැනීමට චතුර එලෙසින් පැවසුවේය..

චතුර ඕනෙ නෑ මචං.. එයාට යන්න කියපං.. පව් මචං.. මොහතෙකටවත් වචනයකින් හෝ ඇයට දුකක්, වේදනාවක් දෙන්නට අකමැති වූ සනිරු ඇයට නොඇසෙන ලෙස කීවේය..

පොඩ්ඩක් හිටපංකො.. මොකුත් කියන්නෙ නෑ.. නම, ඉන්නෙ කොහෙද කියල විතරයි අහන්නෙ.. එතනින් පස්සෙ උඹම කතා කරපං..

ඉන්නෙ..? සනිරු සහ චතුර කතා කරමින් සිටිය දී ප්‍රදීප් ඇසුවේය..

මා.. මාතලේ යැයි අදිමින් ප්‍රකාශ කළේය..

යාළුවා ඉන්නෙත් මාතලේ කිව්වා නේද..?

හ්ම්.. වචනයකින් පිළිතුරු නොදුන් ඇය ශබ්දයකින් පිළිතුරු දුන්නේය..

හ්ම් නෙමෙයි.. ඔව් කියන්න කට අරින්න බැරිද..? උස් හඩින් චතුර එලෙස පවසද්දී ඇය තිගැස්සී ගොස් කොපුල් දෑල සහ දෙසවන් රත් පැහැ විය..

චතුර.. උඹට පිස්සුද මචං..? ඇයගේ බියෙන් රත් පැහැ වූ දෙකොපුලින් පිටවුණු අනන්තයක් තරම් දුක් කන්දරාව තරංගයක් විලසින් පැමිණ සනිරුගේ හදවතෙහි පතිත වීමත් සමගම ඇති වූ ක්ෂණික වේදනාව හේතුවෙන් එලෙස උච්ච ස්වරයෙන් තම යහළුවාට කතා කරන්නට විය..

සනිරුගේ ක්ෂණික කෝපයෙන් ඇතිවූ වේදනාවෙන් පිටමං වූ වදන් නිසා තිගැස්සුණු චතුර නිශ්ශබ්දව පසෙකට වී සනිරු මොන තරම් ඇයට ආදරේ කරන්නේ දැයි කියලා මොහොතකට කල්පනා කළේය..

සනිරුගේ මැදිහත් වීම හේතුවෙන් ඇයට ලැබුණු අල්ප මාත්‍රයක තරම් වූ සැනසුම මොහොතකින් මහා සාගරයක් තරම් සුවිසල් සැනසුමක් බවට පත්වී ඇය තත්පරයක් දෙකක් සනිරු දෙස බලා හිදින්නට වූවාය.. කදුළු පිරී තෙත් වී ගොස් තිබූ ඇයගේ දෙනෙත් වලට සනිරුගේ මුව බොදව පෙනුණත් ඒ බොදව ගිය මුව ඇයට සුපැහැදිලි ලෙසට දැක ගන්නට කියා සිත ඇයුම් කළ නිසාදෝ ඔහු දෙසම ඇය බලා හිදින්නට වූවාය.. එක එල්ලේම ඇයගේ එම දෙනෙත් සනිරුගේ දෙනෙත් හා ගැටුණු විට ඔහු තුළ ඇය කෙරෙහි වූ ප්‍රේමය තවත් තීව්‍රර වන්නට විය.. ඇයගේ දෙනෙත් තුළින් ඇයගේ මුළු ආත්මයම විනිවිද දකින්නට හැකි වූවාක් මෙන් සනිරුට එම මොහොතේදී හැගී ගියේය..

අනේ දෙවියනේ..! මෙයාට මාව අදුරගන්න බැරිද..? මගේ රත්තරං.. මම එදා බස් එකේ හිටපු "අයියෙ" කියලා මට කතා කළේ ඔයා කියලා ඔයාට මොහොතකටවත් හිතෙන්නෙ නැද්ද..? සනිරු එලෙස මුමුණ මුමුණා ඇය දෙස බලා තම දෙනෙත් වෙනතකට යොමු කළේය..

එදා රාත්‍රියේ සනිරු ඇයගේ මුහුණ දැක බලා ගැනීමට හැකි වුණත් ඇය බසයේ සිටගෙන සිටි නිසාත් මිනිසුන් අතරෙහි සිට තමාගේ බෑගය දුන් නිසාත් සනිරුගේ මුහුණ දැක ගැනීමට ඇයට නොහැකි විය..

හරි.. ඔයාගෙ නම කිව්වෙ නෑනෙ.. ඇයගේ නම දැන ගැනීමේ උවමනාවෙන් ප්‍රදීප් විමසුවේය..

ප්‍රදීප් ඇසූ ප්‍රශ්නයට ඇය තමාගේ නම පැවසීමට තොල් පෙති සලසා ගත් විගසම ඈතින් මායා.. මායා.. මායා.. යැයි අමතමින් තුෂාරි අත වනනු ලැබුවේ කෑගසමිනි.. තුෂාරිගේ එම කටහඩ ඇසෙත්ම වික්ෂේපයට පත්වූ සනිරු, ප්‍රදීප් සහ චතුර ඇය දෙස පුදුමයෙන් මෙන් බලා සිටියහ..

මොකද උඹලා මාව කන්න වගේ බලන් ඉන්නෙ..? ඔවුන් සමීපයට පැමිණ තුෂාරි විමසිය..

තුෂාරි මේ.. ඔයාමේ.. මේ.. කිසිවක් නොකියූ චතුර තම හිසකෙස් පිරිමදිමින් පැවසීමට සූධානම්වූ දෙය අදින්නට වූයේය..

සනිරු.. මොකක්ද චතුර මේ.. මේ.. කියන්නෙ..?

මොකුත් නෑ තුෂාරි.. දන්නවනේ ඉතිං මෙයාගේ අමුතු අමුතු දේවල්නෙ තියෙන්නෙ.. සනිරුගෙන් ඇසූ ප්‍රශ්නයට ප්‍රදීප් පිළිතුරු දුන්නේ චතුර දෙස බලා කිසිවක් නොකියන ලෙසට ඉගි කරමිනි..

හරි.. හරි.. ඒවයින් දැන් වැඩක් නෑ.. මායා ඔයා මොකද මෙතන කරන්නෙ..? සනිරු අසල සිටි ඇයගෙන් තුෂාරි විමසිය..

කිසිවක් නොපැවසූ මායා තමාගේ සිතෙහි වූ තිගැස්ම පටපත් කොට තුෂාරි දෙස බලා මද සිනාවක් පෑවේය..

මේ අය ඔයාට රැග් කළාද..? ගණන් ගන්න එපා.. අමානුෂික වුණේ නෑ නේද..? මේ තමයි මට ඉන්න යාළුවො.. තුෂාරි එලෙස පැවසුවේ ඔවුන් දෙසට තම අත දිගු කරමිනි..

සනිරු මේ මගේ නංගිට මොකුත් කළේ නෑ නේද..?

නෑ තුෂාරි මොකුත්ම කළේ නෑ.. ඔයා ආවනේ.. සනිරු තුෂාරිට පිළිතුරු දෙන විට මායා ඔහු දෙස බලා සිටියේ ඔහු නිසා තමාට කිසිවක් නොවුණේය යන හැගීම සිත තුළ ඇති කරගනිමිනි..

මගේ නංගි කිව්වෙ තුෂාරි.. ඇය කවුරුදැයි කියා දැනගැනීමට සිතා ප්‍රදීප් විමසුවේය..

ඇයි ඊයෙ මම කලින් යනවා කිව්වෙ මේ නංගිත් එක්කනෙ.. ඔයාලට මතක නැද්ද..? මම කිව්වා..

තුෂාරි පැවසූ දෙය ඇසෙත්ම සනිරුගේ දෙනෙත් උඩ ගියේය.. ඔහුට එය අදහාගත නොහැකි වූවත් සිදුවී ඇත්තේ එයම බව ඔහුට දැන් දැන් වැටහෙන්නට විය.. එහෙත් පෙර දිනයේ ඇය වෙනුවෙන් තමා වේදනාවට පත්වූ ආකාරය සිහි වෙත්ම අදත් එය ඔහුට වේදනාවක් ලෙසට දැනෙන්නට විය..

දෙයියනේ..! ඒ කියන්නෙ මෙයයි ඊයෙ තුෂාරිත් එක්ක ගිහිල්ලා තියෙන්නෙ.. මම කොච්චර හෙව්වද..? මොන තරම් ළතවුණාද..? සනිරු ඒ පිළිබදව පසුතැවෙන්නට වුවත් ඇය නිසා එය සැනසුමක් බවට පත් කර ගත්තේය..

මතකයි.. මතකයි.. ඒත් අපි දන්නෙ නෑනෙ ඒ මෙයා කියලා..

ඔව්, ඒකත් ඇත්තනෙ..

හරි.. දැන් අපි අදුනගනිමුකො.. මේ තමයි මායා.. අලුත් බැජ් එකේ.. මායා මේ සනිරු.. මේ ප්‍රදීප්, මේ චතුර.. තුෂාරි තම යහළුවන්ට මායාත් මායාට තම යහළුවන්ද හදුන්වා දුණි..

ආ.. මේ එන්නෙ දර්ශනී.. ප්‍රමාද වී පැමිණි තම අනෙක් යෙහෙළියද මායාට හදුන්වා දුනි..

මායාගේ සිතෙහි තමා කෙරෙහි නිසැකයෙන්ම පැහැදීමක් ඇති බව දත් සනිරුට එය ආදරය නොවන බවත් එය හිතවත්කමක් පමණක් බවත් හැගී ගියේය.. කෙසේ වෙතත් එම හිතවත්මක කෙදිනක හෝ පූජනීය ආදරයකට පත්වන තුරු බලා හිදින්නට පසුබට නොවන බව තම හදවතේ දෝර ගලන සුපෙම් හැගුම් වලින් සනිරුට වැටහෙන්නට විය..

මේ අතර චතුර සහ ප්‍රදීප්ගේ අදහස වූයේ තුෂාරිගේ මැදිහත් වීමෙන් සනිරුගේ සිතැති ප්‍රේමය ඔහුට ලබා ගැනීමට මහමෙරක් තරමට උදව්වක් වේයැයි කියාය..

තුෂාරිගේ යහළුවෙක් වූ හෙයින් මායාගේ ආදරයට සනිරුට ලබා ගැනීමට පහසු වනු ඇතැයි සිතූ ප්‍රදීප් සහ චතුර ඒ බව කිසිවක් නොදත් තුෂාරිට පැවසීමට තීරණය කළහ.. එහෙත් ප්‍රදීප් ඊට තරමක අකමැත්තක් පෙන්නුම් කළේ සනිරු ඊට විරුද්ධ වෙතැයි සිතූ නිසාය.. නමුත් සනිරුගේ ජීවිතය වෙනුවෙන් ආදරය වෙනුවෙන් එම තීරණය නිවැරදියැයි සිතූ ප්‍රදීප් ඒ බව තුෂාරිට පමණක් පැවසීමට එකග විය..

තුෂාරි.. ඔයාට පොඩි කාරණාවක් කියන්න තියෙනවා.. ඒ දේ ඔයාට නොකියම බෑ.. සනිරුගේ සිතැති ප්‍රේමය තුෂාරිට පැවසීමට පළමු වදන් පෙළ ප්‍රදීප් පෙළගැස්සුවේය..

ප්‍රදීප් දැන් සර් එයිද දන්නෙ නෑ.. ශාලාව තුළ සිටි තුෂාරි ආචාර්යවරයා එතැයි සිතූ නිසා ප්‍රදීප් පැවසීමට සූදානම් වූ කාරණාව පසුවට ඇසීමට ප්‍රමාද කළේ එය ප්‍රතික්ෂේප නොකරය..

බයවෙන්න එපා.. අද සර් එන්න ටිකක් පරක්කු වෙනවනෙ.. සනිරුගේ කතාව පැවසීමට අත්‍යවශ්‍ය නිසාත් හදිසිය නිසාත් එලෙසින් ප්‍රදීප් ප්‍රකාශ කළේය..

මොකක්ද ප්‍රදීප් ඔය තරම්ම වැදගත් කාරණාව..? හරි.. කමක් නෑ.. එහෙම නම් අපි එළියට ගිහිං කතා කරමු..

ඔව්, ඒක හොදයි තුෂාරි..

ශාලාව තුළ සිටි ප්‍රදීප් සහ තුෂාරි ඉන් ඉවතට ගියේ එහි සිට නිදහසේ කතා කිරීමට ඉඩ ප්‍රස්ථාවක් නොවුණ නිසාත් අනෙකුන්ගේ දැඩි වූ ඝෝෂාකාරී වාතාවරණයත් නිසාය..

මොකක්ද ප්‍රදීප්, ඔය තරම්ම හදිස්සියෙන් කියන්න තියෙන කාරණාව..? ප්‍රදීප්ගේ මුහුණේ ගැබ්ව තිබුණු හදිසි ස්වභාවය නිසා තුෂාරිටද එම කාරණාව දැන ගැනීමට උනන්දුවක් ඇතිවිය..

තුෂාරි ඔයාට මතකද ගිය දවස් දෙක තුනේ සනිරු කල්පනා කර කර හිටිය කියලා..?

ඔව්.. ඔව්.. මතකයි.. අපි ඇහුවට මොකුත් කිව්වෙත් නෑනෙ.. තුෂාරිද ගෙවී ගිය දවස් දෙක තුනෙහි සනිරු ගත කළ ආකාරය මතක් විය..

මොකක්ද දන්නවද අපිට නොකියපු ඒ හේතුව..? ප්‍රදීප් තරමක් අදිමින් පැවසුවේය..

මොකක්ද..? මම දන්නෙ නෑ.. ඉතින් ඉක්මණට කියන්නකො ප්‍රදීප්..? ප්‍රදීප්ගේ අත අල්ලා ගනිමින් ඇය අසන්නට වූවාවය..

මේකයි තුෂාරි.. ඔයාගෙ අර නංගි කෙනෙක් අලුතෙන් ආවේ මායා කියලා.. ඉතින්.. සනිරු එයාට පිස්සු වැටිලා.. සනිරු එයාට ගොඩක් ආදරය කරනවා.. ප්‍රදීප් එකවරම එම වදන් පෙළ ප්‍රකාශ කළේය..

මොකක්.. මේ අපේ සනිරුට ආදරයක් ඇතිවෙලා.. පුදුමයි.. උපාසකයටත් එහෙනම් ආදරය කරන්න හිතිලා.. අදහාගත නොහැකිව වික්ෂේපයට පත්වූ තුෂාරිගේ මුහුණ සැනින් අදුරු පැහැ විය..

ඇයි මොකද තුෂාරි නිකං බයවෙලා වගේ..?

මොකුත් නෑ ප්‍රදීප්.. ඒත්.. මතකද මම ඔයාලට කිව්වා එයාගෙ තාත්තා මහ අමාරුකාරයා කියලා.. ඒකයි මම බය වුණේ..

හරි.. හරි.. ඒ තාත්තා දැන ගත්තොත්නෙ.. අනික දැන ගත්තත් මොකද..? ආදරය කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනිද තුෂාරි..? අනික ඒක මානව අයිතිවාසිකමක්.. මායාගේ පියාගේ බලසම්පන්න බව නොදත් ප්‍රදීඵ් ලෝකයේ පවතින සත්‍යය දේ පැවසුවේය..

ඔව්.. ඔව්.. මම දන්නවා ප්‍රදීප්.. ඒත් ආදරය කරන එක අයිතිවාසිකමක් වුණත් කාගෙවත් අවසරයක් ගන්න ඕනෙ නැති වුණත් මායගෙ තාත්තට ඒ කිසිම දෙයක් තේරුම් ගන්න අවශ්‍යයක් නෑ.. මොකද එයා හිතන දේ විතරයි කරන්නෙ.. ඔයාම කියන්න ප්‍රදීප්.. මායා සනිරුට ආදරය කරත් ඒ ආදරය මේ වගේ තාත්තා කෙනෙක් නිසා දිගටම තියාගන්න පුළුවන් වෙයිද..?

ඔයා කියන කතාව ඇත්ත තුෂාරි.. ඒත් ආදරයට මොන ලෝකයෙද මොන සමාජයෙද බාධා නැත්තෙ..? අතීතයෙත් තිබ්බා.. වර්ථමානයෙත් තියෙනවා.. අනාගතයෙදිත් තියෙයි.. ඔයා දන්නවනේ සාජාහන් මුන්ටාස් කතාව, සද්කොන් ප්‍රමිලා කතාව, රෝමියෝ ජුලියට් කතාව, රාමා සීතා කතාව.. ඒ අයට කොච්චර බාධා තිබ්බද.. ඒ බාධා නිසාම ජීවිතත් පූජා කළා.. ඒ ආදරය නිසයි තුෂාරි..

මට තේරෙනවා ප්‍රදීප්.. ඒත් අපි කියලා මොනවද කරන්නෙ..?

ඒක තමයි මටත් නොතේරෙන තැන.. සනිරු දුක් විදින එක යාළුවො හැටියට අපිට බලා ඉන්නත් බෑ.. අනේ මංදා..

මගේ නම් කිසිම අකමැත්තක් නෑ ප්‍රදීප්.. සනිරු වෙනුවෙන් ඕනම උදව්වක් මම කරනවා.. තුෂාරිද සනිරුගේ ආදර කතාවෙහි උදව්කාර පාර්ශවයේ කොටස්කාරියක් විය..

ඉතින් ප්‍රදීප් මායා මේ ගැන දන්නවද..? ඒ කියන්නෙ.. එයා සනිරුට ආදරෙයි කියලා..

නෑ තුෂාරි, තවම නෑ..

ඇයි ආදරෙයි කියලා කියන්න බයයිලුද..? නැත්නම් ලැජ්ජලුද..?

නෑ.. නෑ.. ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි..

එහෙනම්..?

තවම කතා කරන්න අවස්ථාවක් ලැබුණෙ නෑ..

සනිරුට අද කතා කරන්න තිබ්බනෙ.. අද තමයි නියම අවස්ථාව.. ඇයි කතා නොකර හිටියෙ..?

කතා කරන්න තමයි හිටියෙ.. ඒත් බැරිවුණා.. හැබැයි මායගෙ මූණ දිහා නම් බලාන හිටියා..

මටත් මතකයි ප්‍රදීප්.. මායත් සනිරු දිහා බලන් හිටියෙ.. මොකක් හරි දෙයක් හිතේ තියෙනව වගේ..

වෙන්නැති.. වෙන්නැති.. මොකද චතුර පොඩ්ඩක් සැරෙන් මායට කතා කරපු නිසා සනිරුට තරහ ගිහින් චතුරට කෑ ගැහුවා.. ඉතින් එහෙම එකේ සනිරු දිහා මායා නොබල ඉදීයෑ..

ඒකත් හොදට උනානම් එච්චරයි.. මම ඕන දේකට සනිරුත් එක්ක ඉන්නවා ප්‍රදීප්..

එහෙනම් තුෂාරි අපි ඇතුළට යමු.. සනිරුයි චතුරයි ඇතුළෙ ඉන්නෙ..

හරි.. හරි.. ඉක්මනට යමු.. දැන් සර් එනවත් ඇති..

ශාලාව තුළට ගිය ප්‍රදීප් තුෂාරි පැවසූ සියල්ල එකක් නෑර සනිරුට සහ චතුරට ප්‍රකාශ කළේය.. තුෂාරිට එය පැවසීම සනිරු තුළ විරුද්ධත්වයක් ඇති නොවූ බව ඔහුගේ ප්‍රකාශයෙන් ප්‍රදීප්ට සහ චතුට වැටහුණහ..

ප්‍රදීප්.. තුෂාරි මොකද කිව්වෙ..? චතුරට දකුණු පසින් සිටි සනිරු තම හිත පහත් කොට ප්‍රදීප්ගෙන් ඇසුවේය.. 

අවුලක් නෑ මචං.. තුෂාරිත් ඕන සපෝර්ට් එකක් දෙන්නම් කිව්වා.. හැබැයි.. මායාගෙ තාත්තගෙන් නම් පරිස්සම් වෙන්න වෙයි.. තුෂාරි පැවසූ ආකාරයෙන්ම මායගේ තාත්තාගේ බලපුලුවන්කාරකම භිතියකින් නොපැවසූවේ සනිරුගේ සිත කැළඹීමට පත්වෙතැයි සිතූ නිසාය..

එදා ඔවුනට විවේකය ලැබුණේ 11.30ට පමණය.. එහෙත් මායා අලුත් බැජ් එකේ අයෙකු නිසා ඔවුනට විවේකය ඊට පසුව ලැබුණි.. තම හදවතේ උත්පාදනය වන අසීමාන්විත ප්‍රේමයේ හැගුමන් වචන වලට පෙරළා ඇයත් සමග දොඩමළු වීමට අපේක්ෂාවෙන් සිටියත් විවේක කාලය ඊට හරස් විය.. තුෂාරිට එදා දිවා ආහාරයට ගැනීමට වඩා උනන්දුව තිබුණේ මායා පිළිබදව සනිරු සමග කතා කිරීමටය..

සනිරු.. අද උදේ ප්‍රදීප් කිව්ව හැම දෙයක්ම ඇත්ත නේද..? සනිරුගේ හදවතේ මායා පිළිබදව තිබෙන ආදරය ඔහුගෙන්ම දැන ගැනීම සදහා තුෂාරි විමසිය..

ඔව් තුෂාරි.. ඇයි ඔයාට මොකුත් සැකයක් තියෙනවද..? තුෂාරිගේ මුහුණ දෙස බලාගෙන සිටි සනිරු එලෙස ඇසුවේ තරමක පහත් හඩිනි..

අපෝ.. නෑ.. නෑ.. සනිරු.. මට ඕන වුණේ ඒ ගැන ඔයාගෙ කටින්ම දැන ගන්නයි.. නැතුව ඔයාව විශ්වාස නොකර නෙමෙයි..

මායා ඉන්නෙ තුෂාරිලගෙ ගෙවල් ළගද..?

ඔව් සනිරු.. අපේ ගෙවල් වලට කිලෝ මීටර් භාගයක් විතර දුරින් ඉන්නෙ.. එයාලගෙ පවුලට ඉන්නෙ එයා විතරයි.. එයාගෙ අම්මා මායට ගොඩක් ආදරේ වුණත් තාත්තා ඒ තරම්ම ආදරයක් පෙන්නන්නෙන ෑ..

ඒ මොකද..?

අනේ මන්දා.. හැබැයි සමහර විට මායා විතරක් එයාට ඉන්න නිසා වෙන්න ඇති..

මේ උඹලා දෙන්නා කන්නෙ නැද්ද..?

සනිරුගේ සහ තුෂාරිගේ කතාවට බාධා කරමින් දර්ශනි ඇසීය..

අපි පස්සෙ කන්නම්.. ඔයාලා කන්නකො.. තුෂාරි ඊට පිළිතුරු දුන්නාය..

ඇත්තමයි සනිරු.. මායට ඇති තරම් සල්ලි තිබුණට අනෙක් ගෑනු ළමයි වගේ කිසිම උඩගුකමක් නෑ.. හරිම අහිංසක ළමයෙක්.. ඒ අහිංසකකම නිසාම එයා කාටවත් දුකක් දෙන්න කැමති නෑ.. ඒ වගේමයි.. එයා දුකින් ඉන්නත් කැමති නෑ.. ඒ නිසා ඔයා ඉස්සරෝම එයාගෙ යාළුවෙක් වෙන්න.. ඊට පස්සෙ හෙමීට ඔයාගෙ ආදරය එයාට දැනෙන්න දෙන්න..

තුෂාරි.. මම අද මායට කතා කලොත් එයා කතා කරයිද..?

අනිවාර්යෙන්ම කතා කරයි.. බය වෙන්න එපා.. එයා අද මගෙත් එක්කනෙ යන්නෙ..

ඕ.. ෂිට්.. දැන් මොකද කරන්නෙ..?

හරි.. හරි.. මෙහෙමකරමු.. ඔයා එයාට කියන්න, මම අද හදිසියක් වෙලා යාලුවෙක් එක්ක කලින් ගියා කියලා.. මම ටිකක් වෙලා ගිහින් එන්නම්.. එතකොට හරිනෙ..

තෑන්ක්ස් තුෂාරි.. තුෂාරිගේ දෑත සනිරුගේ දෑතින් වෙලාගෙන ඇයට ස්තුති කළේය..

ප්‍රදීප්, චතුර සහ දර්ශනි කෑම ගෙන අවසන් වී සනිරු සහ තුෂාරි සිටි ස්ථානයට පැමිණියේ නැවතත් ඔවුන්ට දිවා ආහාරයට ගැනීමට මතක් කිරීම සදහාය..

උඹලා ඔය කතාව නවත්තලා දැන්වත් කාපන්කො.. මොකද බං උඹලට බඩගිනි නැද්ද..

හරි.. හරි.. කන්නම්.. මේක දැන් අහපල්ලකො.. අද හවස සනිරු මායත් එක්ක කතා කරනවා.. ඉතින් අපි උන් දෙන්නට තනි වෙන්න දීලා කොහොම හරි මගඅරින්න ඕනෙ.. තේරුණානෙ..

ඔව්.. ඔව්.. උඹ ඒ ගැන හිතන්න එපා.. උඹලා දෙන්නට බාධා වෙන කිසිම දෙයක් අපි කරන්නෙ නෑ.. උඹගෙ පහන කොහොම හරි පත්තු කරගනිං.. අපිට ඕනි එච්චරයි..

මේ බලපන්කො.. අද සනිරුගෙ මූණෙ තියෙන එළිය.. ඊ‍යෙ කොහොමද තිබ්බෙ..? දර්ශනි සිනාසෙමින් පැවසීය..

සූර්ය රශ්මියෙන් කුසුමන් පිබිදෙන්නා සේ චන්ද්‍ර රැස් ධාරාවන්ගෙන් අහස් කුස ප්‍රභාෂ්වර වන්නා සේ සනිරුගේ හදවතට අවැසිව පවතින මායාගේ ආදරය සෙනෙහස හිමි කරගැනීම තුළින් තම ජීවිතය ඒකාළෝක වන බව මොහොතින් මොහොත සනිරුට හැගෙන්නට විය.. එලෙස තම ජීළුිතය සරසවන ඒ හිමිකාරියගේ දිවි අරන පරසතු මදාරා කුසුමන්ගේ සරසා දිව්‍ය විමානයක වසන අප්සරාවක් සේ තම සුසුමෙහි සගවා ගන්නට තරම් අවැසිකමක් සනිරුට ඇතිවිය..

එදා හවසට දහසකුත් දේ ඇයත් සමග දොඩමලු වීමට තිබුණත් ඒ සියල්ලෙන් එකදු වචනයක්වත් ඇයට පැවසීමට හැකි වේදැයි සිතමින් සනිරු කල්පනා කරන්නට විය..

මොනවද සනිරු කල්පනා කරන්නෙ..? අද හවස ගැනද..? බයවෙන්න එපා.. මම කිව්වනේ එයා ගොඩක් හොද නෙකෙන් කියලා.. අනික ඔයාගෙ අහිංසක පෙනුමට එයා ඔයාට කතා නොකර ඉන්න එකක් නැති වෙයි.. තුෂාරි තව තවත් සනිරුගේ සිතට සැනසුමක් ලබා දුණි..

බයක් නෙමෙයි තුෂාරි.. එයා ඉස්සරදි මට කතා කරන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ..

හරි.. හරි.. උඹ ගොළුවෙක් වෙන්නෑ.. එයා ළගට ගියාම නිකම්ම කට ඇරෙයි.. ඒ ගැන වැඩිය හිතන්න එපා බං.. චතුර සනිරුගේ උරහිසට අත තබමිනි පැවසුවේය..

සැබැවින්ම සනිරුගේ සිතෙහි ඇයත් සමග කතා කිරීමට බියක් නොතිබුණත් ඔහුගේ සිත එක්තරා ප්‍රමාණයකට පසුබෑමට ලක්වූයේ ඇය කුමනාකාරයේ ප්‍රතිචාරයක් දක්වයිද යන්න පිළිබදවයි.. වරෙක ඔහුට ඇය ප්‍රගතිශීලී ප්‍රතිචාර දක්වමින් සුහදව තමා සමග දොඩමලු වෙතැයි සිතුණත් තවත් වරෙක ඊට ඉදුරාම වෙනස් වූ ප්‍රගතිගාමී ප්‍රතිචාර දක්වමින් හැසිරෙන ආකාරයක් පිළිබදව ඔහුට සිතෙන්නට විය.. කෙසේ නමුත් කුමනාකාරයේ ප්‍රතිචාරයක් ඇය දැක්වූවත් තම සිතෙහි දැඩි වූ ආදරය නිසා ඒ සියලු දේ විදදරා ගැනීමට ඔහු තම සිතත් සමග එකග විය..

දැන් හැම දෙයක්ම හරිනෙ.. ඉක්මණට කාලා ඇතුළට යමු.. කුසගින්නෙහි වූ තුෂාරිට තවත් එය ඉවසාගත නොහැකිව සනිරුට පැවසිය..

ඉක්බිතිව සියලුම දෙනා ශාලාව තුළට පිවිසියේ සවස් වරුවේ වූ දේශනයට සහභාගි වීම සදහාය..



No comments:

Post a Comment