Thursday, May 17, 2012

| ගල් කන්ද වලව්ව | ගයනා එස්. ලක්මාලි |






ළමාතැනීගේ පොත්පත් ඩයරි පිරික්සූ චේතියට වීරවර්ධන යන අයගේ මූලික තොරතුරු සොයාගැනීමට අසීරු වූයේ නැත.. ඔහු ළමාතැනීගේ පියා වූ මුහන්දිරම්තුමාගේ සමීප හිතවතෙක් වූ අතර ඔහුගේ පවුලේ නීතීඥයාද විය.. ඔහුගේ කොළඹ පිහිටි නිවසේ ලිපිනය සොයාගත් චේතිය එම නිසව සොයා යාමට සිතා.. ඊට පෙර නතාලිට ඇමතුමක් දුන්නේය..

"මල්ලි ඔයා ඔය වැඩේට කාලෙ යෙදෙව්වා දැන් හොදටම ඇති.. විභාගෙ ඇඩ්මිෂන් එන්නත් ළගයි නේද..? දැනට ඔය වැඩේ ටිකකට නතර කරලා මේ ටිකේ පාඩම් කරන්න.."


"මේ ගැන හෙව්වා කියලා මං පාඩම් වැඩ පාඩු කරගන්නෙ නෑ අක්කෙ.. අපිව දැන් කැඩෙටින් වලිනුත් රිලීස් කරලා තියෙන්නෙ.. දැන් ඉස්සර වගේ පාට් ටයිම් ජොබ් කරන්නෙත් නෑ.."

ඔහු කෙසේ හෝ කොළඹ ගමන යාමට අවැසි නිසා නතාලිට නිදහසට කරුණු පෑවේය..

"දැන් මොකටද පාට් ටයිම් ජොබ් කරන්නෙ.. අච්චර ආදායම් එන ඉඩමකුත් තියෙද්දි.."

ඈ ඒ සිහිපත් කලේ චේතියගේ මවට පිය උරුමයෙන් ලැබුණු විසල් භූමි භාගයයි..

"අපි මෙහෙම කරමු.. ඔයා ඔය ඇඩ්රස් එක විශ්වට දෙන්න.. එයා බයික් එකේ ගිහින් තැන හොයාගනියි.. චූටි කියපු විදියට විශේෂ ලියුමක් තියෙනවනං අපිට බැරියෑ පස්සෙ එයාව මීට් වෙන්න.."

උසස් පෙළ විභාගය ළග නිසා නතාලි සිය ඥාති සොයුරාව රස්තියාදු නොකර ඊට පිළියමක් යෙදුවාය..

"හරි අක්කෙ.. මං විශ්ව අයියට ඒ ගැන කතා කරලා ඩීටේල්ස් ටික දෙන්නං.. හැබැයි එයාගෙ ෆෝන් නම්බර් නං වැඩ කරන්නෙ නෑ.. ගිහිල්ලම තමයි බලන්න වෙන්නෙ.."

"එයා ඒක හොයාගනී මල්ලි.. වෙලාවක් තිබුණොත් මමත් යන්නං.. ඔයා මං කියපු විදියට වැඩ කරන්න.. මට ඕනෙ අපේ පරම්පරාවෙ මට පස්සෙ කැම්පස් යන කෙනා ඔයා වෙනවා දකින්නයි.."

ඇගේ ලෙන්ගතුකම චේතියගේ සිතේ ශක්තිය වැඩි කිරීමට සමත් විය.. එනිසා ඊට පිටින් වැඩ නොකළ ඔහු විශ්වට කතා කර එම වැඩය බාර දී අධ්‍යාපන කටයුතු වල නියැලුණි..

සති අන්ත නිවාඩු දිනයක විශ්ව ඔහුගේ මිතුරෙකු සමග මොරටුවේ පිහිටි එම ලිපිනයට හොයා ගියද ඔහුවන අදාල පුද්ගලයා හමු වීමට හැකි වූයේ නැත.. ඒ වන විට එම ලිපිනයේ පදිංචිව සිටියේ වීරවර්ධන මහතාගේ ඥාති පිරිසකි.. ඔවුන්ගෙන් වීරවර්ධන මහතාගේ නව ලිපිනය ඉල්ලා ගත් විශ්ව තවත් දිනක් වෙහෙසී කෙසේ හෝ ඔහුව මුණ ගැසුණි..

චේතියගෙන් ඉල්ලාගත් තොරතුරු අනුව ළමාතැනී ලෙස හැදින්වූ අමායා ඉද්දමල්ගොඩ මහත්මියගේ නම හා ගල් කන්ද වලව්ව ගැන කී සැනින් ඔවුනට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි..

"ඔයාලා මාව හොයාගෙන නාවත් මං ඔයාලව හොයාගෙන එන්න තමයි හිටියෙ.. ඒත් මට තව කාලෙ ඉතිරි වෙලා තියෙනවා.."

විශ්ව තමා චේතියගේ ඥාති සොයුරෙකු ලෙස හදුන්වා දුන් පසු වීරවර්ධන මහතා කීවේය.. ඒ ඇසි විශ්වගේ නෙතු පුදුමයෙන් විසල් වුණි..

"ඒ කිව්වෙ සර්..?"

වියපත් වුවද ප්‍රතාපවත් පෙනුමැති නීතීඥවරයාට විශ්ව ගරු සරුව ආමන්ත්‍රණය කළේය..

"මට සර් කියන්න එපා පුතා.. මං දැන් රිටයර් වෙච්ච ලෝයක් කෙනෙක්.. මට අන්කල් කියලා කතා කරන්න.."

විශ්වගේ පිටට තට්ටු කළ ඔහු කීවේ සුහද ලෙස සිනාසෙමිනි..

"අපිට මේ දේවල් තනියම කතා කරන්න බෑ.. මෙතන අනිවාර්යෙන්ම චේතිය පුතත් ඉන්න ඕනෙ.. මම කියන්නද මං ළගදි දවසක කුරුණෑගල පැත්තෙ එනව පොඩි පෞද්ගලික වැඩකට.. මං ඒ ගමන් ඇවිත් ඔයාලව මුණ ගැහෙන්නම්.. හැබැයි දරුවො මට ගුණවතීලගෙ ගෙදරට නං එන්න බෑ.."

මෙම නීතිවේදියා නතාලිගෙ පුංචි අම්මාගේ නම කී හුරුපුරුදු ආකාරයට විශ්වට පුදුම සිතුණි..

"අන්කල් කැමති නං අපි මෙහෙම කරමු අපි කට්ටිය එහෙ පන්සලේදි මුණ ගැහෙමු.."

"අන්න ඒක නං හොද අදහසක් පුතා.. කොහොමටත් ස්වාමින් වහන්සෙ නමක් වගේ කෙනෙක් සාක්කියට ඉන්න එක කෝකටත් හොදයි.. එතකොට අනාගතේ එන්න තියෙන ප්‍රශ්න බොහෝ දුරට අඩුවෙන්න පුළුවන්.."

"මට තේරෙන්නෑ අන්කල්.."

"ඒ ගැන දැන්ම තේරුම් කරන්න විදියක් නං නෑ දරුවො.. දැනට කියන්න පුළුවන් ඔයාගෙ මල්ලි චේතිය ගොඩක් වාසනාවන්තයි කියන එක විතරයි.."

විශ්වට තම නව දුරකථන අංක සියල්ල ලියා දුන් වීරවර්ධන මහතා විශ්වගේ සිතේ කුතුහලයක් ඉතිරි කර තබමින් සිය සාකච්ඡාව නිම කළේය..

                                             ****************************

සම්මානි ගැන දහසකුත් එකක් සොදුරු සිතිවිලි පහළ වුවද ඒවා සිත තුළම සගවා ගත් චේතිය පාඩම් වැඩ වලට මුල් තැන දුන්නේය.. ඇයත් මෙවර උසස් පෙළ විභාගයට සූදානම් වන නිසා ඔහු නිතර ඇයට දුරකථන ඇමතුම් දීමෙන්ද වැළකී සිටියේය.. නමුත් ඔවුන් දෙදෙනා අමතර පංතියේදි මුණ ගැසීම නම් නතර වූයේ නැත..

මෙසේ කාලය ගෙවී යද්දී චේතිය නොඉවසිල්ලෙන් බලා උන් දුරකථන ඇමතුම විශ්වගෙන් ලැබිණි.. ඔහු කීවේ එදින සවස වීරවර්ධන මහතා චේතියලාගේ පන්සලට පැමිණීමට නියමිත බවය.. තමාද නතාලි සමග එම අවස්ථාවට සහභාගී වන බව කී විශ්ව චේතියගේ මිතුරන් දෙදෙනාද රැගෙන එන ලෙස දැනුම් දුන්නේය.. කලනට හා රංගට පණිවිඩය දී ඉන් නොනැවතුණු චේතිය සම්මානිටද මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ආරාධනා කළේය..

"මචං අපි උඹලගෙ අම්මවයි නංගිවයිත් ගෙනියමු.. අපිට එතකොට පුළුවන්නෙ නංගි එයාව අදුරගනීද කියලා බලන්නත්.."

කලන කී කතාවට චේතිය කැමති වූයේ නතාලි සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.. මෙම පුනර්භව කතාව යට ගැසීමට බලාපොරොත්තු වන නිසා එය තවෙකෙකු දැන ගන්නවාට චේතිය අකමැති වුවද නතාලි එයට විරුද්ධ වූයේ නැත..

සවස තුනට පමණ චේතිය තම අම්මා හා නංගි සමගත්.. නතාලි විශ්ව සමගත්.. කලන රංග සමගත් පන්සල් භූමියට ළගා වූ අතර.. සම්මානි සුපුරුදු ලෙස ඇගේ රියදුරු වූ සිරිල් මාමා සමග පැමිණුනි.. පන්සලේ පින්කමකට සහභාගී වන බවට බොරුවක් කී හෙයින් ඈ පැමිණ තිබුණේ සුදු ඇදුමින් සැරසීගෙනය..

"මේ අපේ බේබි හාමුට තීන්දු කරපු දැරිවි නේද පුතේ..?"

චේතිය සමග සුහදව කතා කරමින් උන් සම්මානි වෙත පැමිණි ගුණවතී විමසුවේ අදහාගත නොහැකි ලෙසය.. සේනාධීර මහතාගේ දියණිය තමාගේ ලේලිය ලෙස පිළිගැනීමට කැමතිදැයි චේතිය දිනක් ඇසූ අයුරු ගුණවතීට සිහිපත් උනි.. ඈ උන්නේ කිසිවක් වටහාගත නොහැකි ලෙස කැළඹීගෙනය..

චේතියගේ මවට සුහද සිනාවක් පෑ සම්මානි තම මිතුරාගේ නැගණිය වූ පුංචි මිහිරාවි සිය ඔඩොක්කුවේ හිදුවා ගත්තේය.. අශේන්ගේ උපන්දිනය දා මෙම පුංචි දැරිවි ඔහුගේ මුහුණ සිපගත් අයුරු සිහිවී සම්මානිගේ මුවේ සිනාවක් ඇදුනි..

"අන්න චේති හාමුදුරුවො වඩිනවා.."

සීලරතන ලොකු හාමුදුරුවන් හා හේමවංශ හිමියන් පිරිස අතරට ළගා වද්දී උන් තැනින් නැගිට හාමුදුරුවරු දෙපලට වැද නමස්කාර කළහ..

"වීරවර්ධන මහත්තයා තවම ආවෙ නැද්ද දරුවනේ..?"

කාරණාව දැන උන් ලොකු හාමුදුරුවෝ විමසද්දී පන්සල් භූමියට පැමිණි මෝටර් රථයක් තුරු සෙවනක නතර කරන ලදී.. ඉන් බැසගත් පුද්ගලයා හදුනාගත් විශ්ව ඉද උන් තැනින් නැගිටිද්දී සැවොම එදෙස හැරී බැලූහ.. ඉන්පසු සිදු වූයේ කිසිවෙකුත් අපේක්ෂා නොකල දෙයකි.. සම්මානිගේ ඔඩොක්කුවේ හිද උන් මිහිරාවි ක්ෂණයකින් බිමට බැස ගත්තාය.. රථයෙන් බැසි වීරවර්ධන මහතා දෙස මොහොතක් බලා උන් ඈ එදෙසට දිව ගියේ විශ්වද පසු කරමිනි..

"අන්කල්.."

පුංචි දැරිවිය වීරවර්ධන මහතාගේ සුරතේ එල්ළෙද්දී ඔහු තැති ගැන්මට ලක් වූ අතර බලා උන් පිරිස පුදුමයට පත්විණි..

"මාව මතක නැද්ද.. මං අමායා.."

ඒ ඇසි වියපත් නීතිවේදියාගේ පමණක් නොව ස්වාමින් වහන්සේලා දෙනමගේද මුව පුදුමයෙන් විවර විය.. මෙම පුනර්භව සිද්ධිය ගැන කිසිවක් නොදැන උන් ඔහු සිය තැති ගැන්ම මොහොතකට අමතක කර පුංචි දැරිවිය වඩාගත්තේ මෙය ඈ පුංචි කමට කළ හුරතල් වැඩක් ලෙස සිතමිනි..

"මහත්තයා මෙහෙන් ඇවිත් වාඩි ගන්නකො.. අපි නිවී සැනසිල්ලෙ කතා කරමු.."

හාමුදුරුවන්ට නමස්කාර කළ වීරවර්ධන මහතා තමා අත තිබූ ෆයිල් කවරය මේසය මත තබා මිටි අසුනක හිද ගනිද්දී මිහිරාවිද ඔහුට තුරුළුව ඒ අසලින්ම හිදගත්තාය..

"මේ පුංචි දරුවා කාගෙද අපේ හාමුදුරුවනේ.. මෙයාගෙ නමත් අමායලු නේද..?"

ඔහු නායක හාමුදුරුවන්ගෙන් විමසිය..

"මේ දැරිවි ඉස්සර අමායා.. දැන් මිහිරාවි.."

ඔහු නැවතත් පුදුම වී මිහිරාවිගේ මුහුණ දෙස පරික්ෂාකාරීව බැලුවේය.. ඔහුට සැනෙකින් අමායා ඉද්දමල්ගොඩ සිහියට නැගිණි.. අගේ ඡවි වර්ණය, මුහුණුවර, කැරලි හිසකේ.. ඒවා කිසිදු අඩුවක් නැතිව මැයටද පිහිටා තිබිණි..

"ඇත්තටම මේ කවුද හාමුදුරුවනේ..?"

"මේ තමයි මහත්තයො ඔය ගුණවතී නෝන මහත්මියගෙ දැරිවි.. මේ ඉන්නෙ චේතිය පුතා.."

උන්වහන්සේ පිරිස හදුන්වා දෙද්දී වීරවර්ධන මහතා චේතියගේ හිසේ සිට පාදාංතය දක්වා බැලුවේය..

"ගුණවතී නෝනවයි චේතිය පුතාවයි මං වරක් දෙකක් දැකලා තියෙනවා.. එතකොට පුතානං ගොඩක් පොඩියි මං හිතන්නෙ.."

"මහත්තයා මෙහෙ ඇවිත් ඇත්තෙ ළමාතැනි නැතිවෙන්න කලින්නෙ.. එතකොට නං චේතිය පුතා ගොඩක් පොඩියි තමයි.."

"මෙයාගෙ තාත්තා ධර්මතිලකනං මාව හොදට දන්නවා.. අමායගෙ තාත්තා ඉද්දමල්ගොඩ හාමු මෙහෙ ඉන්න කාලෙ මං නිතර ආව ගියා.."

ඒ කතා අතර තුර පුංචි මිහිරාවිය වීරවර්ධන මහතාගේ ෆයිල් කවරයේ වූ ලිපිගොනු පිරික්සනවා පොඩි හාමුදුරුවන්ගේ නෙත ගැටුණි..

"මොනවද දූ ඔයා හොයන්නෙ..?"

"මං අන්කල්ට දීපු ලියුම.."

ඇගේ පිළිතුරෙන් තෙවන වරටත් වීරවර්ධන මහතාගේ සිතේ කුතුහලයක් හට ගත්තේය.. ඔහුව තව දුරටත් වෙහෙස කිරීමට නොසිතූ සීලරතන හිමියන් ඇගේ පුනරුත්පත්ති කතාව ඔහුට කෙටියෙන් විස්තර කළේය..

"මේ වගේ කතා අහල තිබුණට.. පොත් පත්වලින් කියවල තිබුණට හැබැහින් මෙහෙම දෙයක් දකින්න වේවි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.. ඊටත් මගේ හොදම යාළුවගෙ දුව ගැන.."

ඔහුගේ වදන් අමතකව ගියා වැනිය.. සිය කණ්නාඩි කූට්ටම මදක් බුරුල් කර නෙත් කෙවෙනි පිසදා ගත් ඔහු තමාට ළංව හිද උන් මිහිරාවිය උකුලේ හිදුවා ගත්තේය..

"මං ඉස්සරත් ගල්කන්ද වලව්වට ආවම අමායා ඉදගත්තෙ මගේ ඔඩොක්කුවෙ.. එයාගෙ ම්ලලි චේතියට වඩා එයා මගෙත් එක්ක එකතුයි.."

"චේතිය..?"

නිහඩව සංවාදය අසා ඉන්නවා යැයි තමාටම සපථ වූ කලනගේ මුව ඉබේම විවර විණි..

"ඔව්.. චේතිය කියන්නෙ අමායගෙ ම්ලලි.. එයා තමයි ඉංග්ලන්ඩ් වලදි නැති වුණේ.."

චේතියගේ ඇගේ හිරිගඩු පිපුනේ ඔහුටත් නොදැනිමය.. ඔහු තමා ළග උන් රංගගේ අත තද කර අල්ලා ගත්තේය..

"ඒ බවක් මට නිච්චි නෑ මහත්තයො.. මං අපේ පුතාට නම තිබ්බෙ අපේ මහත්තයා කියපු නිසා.."

ගුණවතී දෙනෙතේ කදුළු පුරවා කියද්දී මිහිරාවි අමුතුම ඇසකින් සිය මව දෙස බැලුවාය..

"දරුවට ඒ නම තියන්න කියලා ධර්මෙට කිව්වෙ මම.."

මිහිරාවි කීවේ පුංචි දැරියකට උචිත නොවන ආකාරයේ ගාම්භීර ස්වරයෙනි..

"දූ දන්නවද මං අද ආවෙ ඇයි කියලා..?"

ඇය සැබැවින්ම මියගිය අමායා ඉද්දමල්ගොඩ නම් ඇයට මෙම කාරණය මතක ඇතැයි සිතූ ඔහු විමසුවේය.. ඔහුට අවැසි වූයේ මෙම කරුණ සැකයකින් තොරව ඔප්පු කර ගැනීමටය..

"අන්කල් ආවෙ අර ලියුම දෙන්නනෙ.."

ඈ කියු ලියුම කුමක්දැයි අනෙක් අය නොදැන උන්නද වීරවර්ධන මහතා නම් එය දැන උන්නේය..

"එහෙනං ඒක ඔය ෆයිල් එකේ ඇති.. හොයලා ගන්නකො.."

කරුණු කාරණා ඔප්පු වීමෙන් තොරව කිසිවෙක් පිළි නොගන්නා තීක්ෂණ දැනුමෙන් යුතු වූ නීතිවේදියා මිහිරාවි මෙතෙක් පිරික්සූ ෆයිල් කවරයනොව තුනට නවන ලද අනෙක් ෆයිල් කවරය ඇගේ අත තැබුවේය.. එහි වෙන වෙනම අමුණන ලද ලියකියවිලි හතරක් පමණද විශාල ප්‍රමාණයේ ලියුම් කවර දෙකක්ද විය..

"මේ තියෙන්නෙ.."

ඈ අතට ගත්තේ වලව්වේ ළමාතැනී මිය යාමට පෙර ලියා තැබූ ඇගේ අන්තිම කැමති පත්‍රයයි.. ඒ දුටු චේතිය ඇතුළු පිරිට කුතුහලයක් දැණුනද වීරවර්ධන මහතාගේ දෑත් පවා සැලෙන්නට ගත්තේය.. ඔහුට දැන් නම් සැකයක් වූයේ නැත.. මේ තමාගේ මිතුරාගේ දියණියම බව.. අමායා ඉද්දමල්ගොඩගේ යළි ඉපදීම බව ඔහු සැකයකින් තොරව පිළිගත්තේය..

"ඔය ලියවිල්ල මොකක්ද මහත්තයො..? ඕක ඇත්තටම අපේ වලව්වෙ ළමාතැනි ලියපු එකක්ද..?"

මෙවන් සුවිසේෂී අවස්ථාවකට තමාගේ පැවිදි දිවියේදී පමණක් නොව තමාගේ මුළු ජීවිත කාලයේදීම මුහුණ නොදුන් සීලරතන හිමියන් පවා විමසුවේ සැලෙන හදිනි..

"මේක අමායා ඉද්දමල්ගොඩගෙ අන්තිම කැමති පත්‍රය අපේ හාමුදුරුවනේ.."

චේතිය ඉද උන් පුටුවෙන් නැගිට්ටෙන්නට ගිය තැන දෙපස උන් රංග හා කලන ඔහුව නැවත ඉන්දුවේය.. සිතට දැණුන වික්ෂිප්ත හැගීම දරාගත නොවුණු සම්මානි තමාගේ ළග උන් නතාලිව මෙතෙක් දැන හදුනාගෙන නොඋන්නද ඇගේ අත තද කර අල්ලා ගත්තේය..

"මෙතන සාක්ෂියට ඕනවටත් වඩා අය ඉන්න නිසා මට මේක කියවන්න අවසර තියනවා.. ඒත් මට අමායනං කිව්වෙ චේතිය පුතා ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනකල් හරි.. වෙන යම් විශේෂ සිදුවීමක් වෙනක්ල හරි මේක ප්‍රසිද්ධියට පත් කරන්න එපා කියලා.. කොහොමටත් මේකෙ කොපි අපේ සාක්ෂිකාරයො ළග විතරක් නෙමෙයි අමායගෙ අම්මා ළගත් තියෙනවා.."

ඔහු තම පියා ගැන සදහන් නොකළේ මන්දැයි සැක සිතුණු මිහිරාවි ඒ ගැන විමසා සිටියාය.. නමුත් ඇගේ පියා.. දැන් ජීවතුන් අතර නොමැති බව කීමට දිව නොනැමුණු ඔහු එය නෑසුනු විලස ලිපි ගොනුව දිග හැර ගත්තේය..

"අපේ හාමුදුරුවරු දෙනමත් සාක්කියට ඉන්න නිසා මං මේක දැනට කියවන්නං.. ඒත් මට මේ ලියකියවිලි නීත්‍යානුකූලව භාර දෙන්න පුළුවන් වෙන්නෙ මේ දරුවගෙ විභාගෙන් පස්සෙ.."

ඔහු අමායාගේ අවසන් ඉල්ලීමට පිටින් යා නොහැකි නිසා එය මූලිකවම ඉදිරිපත් කර සිටියේය..

"ඇයි මහත්තයො අමායා නෝනා අන්තිම කැමති පත්‍රයක් ලිව්වෙ..? අසනීපෙන් උන්නා මිකස ඒ ඇත්තිට ඒ හැටි වයසක් තිබුණෙ නැහැනෙ..?"

නතාලිගේ සිතේ මෙතෙක් කැකෑරෙමින් තිබූ පැනය වීරවර්ධන මහතාට ඉදිරිපත් වූයේ පොඩි හාමුදුරුවන්ගේ හඩිනි..

"ඔය ඇතුගල හාමුලා හරි එක විදියක අය හාමුදුරුවනේ.. අමායාගෙ දෙමව්පියො රට ගියාට පස්සෙ මං උනත් එහෙ ආවෙ ගියේ නැත්තෙ ඒ නිසා.. ඒ උනාට අමායා මට ඉදලා හිටලා කතා කරා..

අන්තිම කාලෙ ඔය ගාමිණී ඇතුගල අමායට නොසෑහෙන්න වද දීලා තියෙනවා.. කීප සැරයක්ම පහර දීලත් තියෙනවා.. කොයි වෙලාවෙ හරි එයාගෙ ජීවිතේ ගාමිණී අතින් නැතිවෙයි කියලා එයාට ලොකු බයක් තිබුණා.."

එම කතාවට සාවධානව කන් දුන් මිහිරාවි තමා මිය ගියේ ගාමිණි ඇතුගලගේ පහර දීමකින් බව ඔහුට හෙළි කළාය.. එම කතාව මීට පෙර දැන උන් අනෙක් අය පුදුම නොවුනද වීරවර්ධන මහතා ඉන් බොහෝ කැළඹුනි..

"මට ඔය ගැන නීතිය පැත්තෙන් කරන්න පුළුවන් හැමදේම මං කරනවා.. අමායා මට මගේ දරුවෙක් වගේ.. මං අනිවාර්යෙන්ම එයාට සාධාරණේ ඉෂ්ඨ කරනවා.."

"එහෙනං මහත්තයො ඕකෙ තියෙන කරුණු කාරණා කෙටියෙන් කියමුකො බලන්න.."

ලොකු හාමුදුරුවන්ට ගෞරව පූර්වකව හිස නැමූ වීරවර්ධන මහතා යළිත් එම ලියවිල්ලට දෙනෙත් යොමු කළේය..

"ඔය ඉද්දමල්ගොඩ හාමුලට මෙහෙ විතරක් නෙමෙයි ලම්පොල පැත්තෙත් ඉඩකඩම් තිබුණා.. තව මඩ ඉඩම් අක්කර ගණනාවකුත් තිබුණා.. ඒ දේවල් සේරම අයිති අමායගෙ අම්මා තාත්තට.. ඒ අම්මා තවම ජීවතුන් අතර ඉන්න නිසා අපිට දැන්ම ඒ ඉඩකඩම් බෙදීමක් කරන්න බෑ.. ඒත් මේ ගල්කන්ද වලව්වයි ඒ වලව්වට අයිති අක්කර ගණනාවක ඉඩමයි අමායගෙ විවාහයෙදි එයාගෙ දෑවැද්දට ලියලා දුන්නා..

ඇත්තම කියනවනං ලියලා දුන්නා නෙමෙයි.. දෙන්න උනා.. ගාමිණි ඇතුගලගෙ දෙමව්පියො මේ කසාදෙ කරෙත් මේ ඉඩකඩම් වලට තිබුණ තණ්හාවට තමයි.. කොහොම හරි අමායා අවුරුදු තිහක් වෙන්නත් කලින්ම එයාගෙ ස්වාමි පුරුෂයගෙන් ගුටි කාලා ඔත්පල උනා.. ඒ වෙලාවෙදි උනත් එයා මට නීතිමය පියවරක් ගන්න ඉඩ දුන්නෙ නෑ එයාගෙ පුතා ගැන හිතලා..

ඒත් ඒ දරුවත් උස් මහත් වෙද්දි අම්මව නොසලකා හැරියා.. එයා හැදුනෙ තාත්තගෙ පදේට.. කොටින්ම ඔය ගාමිණි ඇතුගල අමායගෙ නැති වැරදි කියලා පුතාගෙ මනසට විස පෙව්වා.. ඒකෙන් තමයි අම්මයි දරුවයි ඈත් උනේ.. එක්තැන් වෙලා හිටපු කාලෙ අමායගෙ ළගම ඉදලා සැප දුක බැලුවෙ ගුණවතී කියලා එයා මට කිව්වා.. එයාගෙ දරු දුක තුනී කරලා තියෙන්නෙ චේතිය පුතා.. තමන්ගෙ නැතිවුණු මල්ලිගෙ නම දාලා තිබුණ චේතිය පුතාට අමායගෙ හිතේ තිබුණෙ පුදුම ආදරයක්.. එයා ඒ කාලෙ එයාගෙ කුසින් වදාපු අශේන්ට වඩා ඔය දරුවට ආදරේ කළා.."

වීරවර්ධන මහතා එය කීවේ තමා දෙස ඇස පිය නොහෙලා බලා උන් චේතිය දෙසට හැරීය.. එම කතාවය මෙතෙක් නිහඩව අසා උන් මිහිරාවි එය අනුමත කිරීමට මෙන් හිස සැලිය..

"අමායා ලෙඩ ඇදේ හිටියා උනත් ගාමිණී එයා එක්ක රණ්ඩු අල්ලන එක නතර කළේ නෑ.. කොටින්ම ගාමිණි හරි සල්ලාල චරිතයක්.. එයා ගමේ ගෑණු පස්සෙ යන එකට තමයි අමායට වැඩිපුරම තරහ ගියේ.."

ඒ ඇසුණු ගුණවතී අන් අයට නොදැනෙන සේ තම හිස බිමට නැඹුරු කරගත්තාය.. තම පුංචි අම්මාගේ එම වෙනස දුටු නතාලිට ඈ ගැන දැඩි අනුකම්පාවක් දැණුනි..

"මේ ගල්කන්ද වලව්ව තියෙන්නෙ අමායගෙ නමට නිසා ගාමිණි අන්තිම කාලෙ අමායට හරියට කරදර කලාලු ඒක එයාගෙ නමට හරවන්න කියලා.. ඒවා දුරදිග යද්දි තමයි අමායා මට එන්න කියලා මේ අන්තිම කැමැත්ත ලිව්වෙ.. මේකෙ හැටියට.."

මොහොතකට කතාව නැවතූ වීරවර්ධන මහතා පිරිස දෙස නෙත් යොමා අවසානයේ මිහිරාවි දෙස බැලුවේය..

"මෙතන හේතුහාමිත් හිටියනං හරි.."

තමා දෙස බැලූ වීරවර්ධන මහතාට ඈ කී එම කතාව සැමගේ පුදුමයට හේතු වුණි.. ඇගේ කතාව තහවුරු කිරීමට මෙන් සිහ සැලූ ඔහු නැවත තම හඩ අවදි කළේය..

"මේකෙ හැටියට.. වලව්ව එක්ක තියෙන මේ ඉඩම අක්කර දහ හතරකට ටිකක් වැඩී.. මේකෙන් මේ පන්සල් වත්තට මායිම් වෙන කොටසින් අක්කර දෙක්ක පන්සලට ලියල දීලා තියෙනවා.. දැන් ඔය ගුණවතීලා පදිංචිවෙලා ඉන්න ගේත් එක්ක ඒ මායිමෙන් අක්කරයක් හේතුහාමිගෙ නමට ලියලා තියෙනවා.. අනික් අක්කර එකොළශයි ඔය ගල්කන්ද වලව්වයි.. සම්පූර්ණ නිරවුල් ඔප්පුවක් මගින් චේතිය පුතාට ලියලා තියෙනවා.."

සම්මානි හා නතාලි පුදුමයෙන් විවර වූ මුව තමන්ගේ දෑතින් වසා ගත්තේත් ගුණවතී ඉකි ගසා හඩා වැළපුනේත් එකම මොහොතකය.. චේතියනම් උන් හිටි තැන් පවා අමතකව ගල්ගැසී බලා උන්නේය.. රංග හා කලන තම මිතුරාට හදිසියේ ලද මෙම වාසනාව ගැන උද්දාමයට පත් වූ අතර ස්වාමින් වහන්සේලා දෙනම මේ සෑම අයෙක් දෙසම උපේක්ෂාවෙන් බලා උන්හ..

"එතකොට අන්කල් ඇතුගල හාමුටයි අශේන්ටයි..?"

තරමක් හෝ කතා කර ගත හැකි මට්ටමේ උන් විශ්ව ක්ෂණිකව ප්‍රශ්ණයක් නැගුවේය..

"අමායා ලියලා තියෙන විදියට කවදා හරි එයාගෙ අම්මා තාත්තගෙන් එයාට උරුම වෙන දෙයක් තියෙනවානං ඒ දේවල් එයාගේ ස්වාමියටයි පුතාටයි උරුම වෙන්න ඕනෙ.. කොහොමටත් ඉතිං නීතිය ඒකනේ..

ඒ මොනවා උනත් මේ ගල්කන්ද වලව්වට එයාලගෙ කිසිම අයිතියක් නෑ.. මේක දැන් නීත්‍යාණුකූලවම අයිති චේතිය පුතාට.. මේක බොහොම පැහැදිලිව පිරිසිදුව ලියපු ඔප්පුවක්.."

ඔහු වැඩිදුරටත් කරුණු පහදද්දී නතාලිට දැනුණේ ඉහවහා ගිය සතුටකි.. තමන්ගේ පවුලෙන්.. වලව් පරම්පරාවෙන් නෙරපා දැමූ තම ඥාතිවරයි හා ඇගේ පුතු දැන් ඊටත් වඩා විසල් වලව්වක හිමිකරුවන්ය..

 "ඒක තමයි අම්මෙ චූටි හැම වෙලේම කිව්වෙ මේ වලව්ව අපේ කියලා.. මට ඒක දැනුයි තේරෙන්නෙ.."

චේතිය තම සිගිති නැගණිය වඩාගෙන ඇගේ දෙකොපුල් තදින් සිප ගත්තේය..

"ඔයාලා බය වෙන්න එපා පුතා.. මං නීතිය පැත්තෙන් මේ හැමදේම නිරවුල් කරලා දෙන්නම්.. ඔය ඇතුගලලව වලව්වෙන් අයින් කරන එක මං කරන්නම්.. ඒත් දැන්ම නෙමෙයි.. ඔයාගෙ විභාගෙ ඉවර වෙලා.. මොකද තරහ කාරයො තියාගෙන.. ප්‍රශ්න ඇති කරගෙන විභාගෙ ලියන්න බෑ.. ඒ නිසා මේ හිටියා වගේ ඔය මාස දෙකත් ඉවසගෙන ඉන්න.."

එසේ කී නීතීඥවරයා තම ලියකියවිලි සියල්ල ෆයිල් කවරය තුළට දමා වසා පුටුවෙන් නැගිට ගත්තේය..

"අමායා නැති උනාට පස්සෙ එයාගෙ ලාස්ට් වීල් එකක් තියෙනවද අහ අහා ගාමිණි මගේ පස්සෙන් ආවා.. එයා හැදුවෙ මට ලක්ෂ ගාණක පගාවක් දීලා මේක එයා අතට ගන්න.. ඒත් මං කවදාවත් මගේ යාළුවෙගෙ පවුලෙ අයට ද්‍රෝහි වුණේ නෑ.."

"තෑන්ක්ස් අන්කල්.. තෑන්ක්ස් අ ලොට්.."

සිය මෝටර් රථය වෙත පිය නගින වීරවර්ධන මහතා පසුපස ගිය මිහිරාවි තරමක් උස් හඩින් කීවාය.. ඇයට අත වැනූ ඔහු රථයට නැගී ඉහල ගියේ හැකි ඉක්මනින් යළි එන බව පවසමිනි.. 

ඔහු නික්ම ගිය පසු පන්සල තුළ නිර්මාණය වූයේ එකම සතුටු ලෝකයකි.. මෙතෙක් ගල්කන්ද වලව්වේ මෙහෙකාරිය වූ ගුණවතී මේ වන විට එහි නීත්‍යානුකූල හිමිකරුගේ මෑණියන් වී උන් අතර දුප්පත් චේතිය විසල් ධනයක උරුමකරුවෙකු වී සිටියේය..

"චේති.. උඹට මතකද අශේන්ගෙ උපන් දිනේ දවසෙ ඇතුගල හාමු කිව්වා සම්මානි කියන්නෙ මේ වලව්වෙ අනාගත හිමිකාරිය කියලා.. මොකද කියන්නෙ.. අපි ඒක ඇත්තක් කරමුද..?"

චේතියට සුභප තා තම රථය වෙත දිව ගිය සම්මානිව හිසින් පෙන්වූ කලන ඇසුවේ සැමදෙනාටම ඇසෙන පරිදිය..

"කොහොමටත් ඉතිං හිමිකාරිය එයා තමයි.. ඒත් ඉතිං තාම විභාගෙ ඉවර නෑනෙ.. ඒ නිසා ඒක පසුවට සලකා බලමු නේද..?"

මනමාල සිනාවක් මුව රදවා චේතිය කීවේ සැබෑවටමය.. මෙතෙක් තම දුප්පත්කම නිසා සම්මානිගෙන් ඈත් වීමට උත්සාහ දැරුවද තව දුරටත් එසේ කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැත..

"දැන් එතකොට උඹලගෙ ගෙදර අයිතිකාරයා හේතුහාමි මාමා නේද..?"

රංගද ළමාතැනීගේ අන්තිම කැමති පත්‍රයේ වූ කරුණක් සිහි කළේය..

"දැනට ඒ ගේ අපේ.. වලව්ව ඇතුගලගෙ.. මගේ විභාගෙන් පස්සෙ අපේ ගේ හේතුහාමි මාමගෙ.. එතකොට වලව්ව මගේ.."

"ඒකනෙ මං කවදත් කිව්වෙ.. ගුණවතී උපාසක අම්මා හරි වාසනාවන්තයි කියලා.. සංසාරගත බැදීම් නැග දැනං හිටියට මෙහෙම බැදීමක් මං කවදාවත් දැකල නෑ.."

චේතියගේ කතාවට සිනාසුන ලොකු හාමුදුරුවෝ එය කීවේ තවමත් කිසිවක් අදහාගත නොහැකිව කදුළු සලන ගුණවතීටය..

"එහෙනං මේ ඇත්තො ගිහින් එන්න.. දැන් රෑ බෝ වීගෙනත් එනවා.. අපි හෙට අනිද්දා දිහාට පිරිතක් කියලා කට්ටියට සෙත් සාන්තියක් කරගමු.."

හාමුදුරුවන්ට වැද නමස්කාර කළ ඔවුහු පන්සල් භූමියෙන් පිටවූයේ සිතේ සතුට දෙගොඩතලා යද්දීය..

"එහෙනං චේතිය හාමු.. අපිට යන්ඩ අවසර.."

පන්සලේ භූමියේ මායිමට වන්නට නතර කර තිබූ තම වෑන් රථය වෙත පැමිණි රංග තම මිතුරාට කීවේ එක් දණහිසක් පහත් කරගනිමිනි.. ඒ දුටු සැමට සිනහ පහල විණි..

"මං ඉතිං හාමු කෙනෙක් උනේ වෙන කවුරු නිසාවත් නෙමෙයි.. මෙන්න මේ පුංචි හුරතලේ නිසා.."

නතාලිගේ අතැගිල්ලක එල්ලී උන් තම පුංචි නැගණියව චේතිය දෑතින් ඔසවා ගත්තේ හද පිරි සෙනෙහසිනි..


           
                                                         

4 comments:

  1. Aththatama niyamai

    ReplyDelete
  2. Aneee tava poth dannakoooooo

    ReplyDelete
  3. තව කතා පොත් ටිකක් දැම්මොත් නරක ද ?? සැඟවුනු වික්‍රම කතා එහෙම

    ReplyDelete