Wednesday, May 16, 2012

| ගල් කන්ද වලව්ව | ගයනා එස්. ලක්මාලි |






අශේන් ඇතුලු පිරිසට පහර දුන් සිද්ධිය චේතිය හා කලන රංගට කීවේ ඔහු තරමක් සුව ලැබුවාට පසුවය.. තමා වෙනුවෙන් තම මිතුරන් දෙදෙනා මෙතරම් අවධානමක් දරා තිබීම ගැන රංගගේ සිතේ ඇතිව තිබුණේ දැඩි පැහැදීමකි..

"උඹලා නොකිව්වට එහෙනං ගානට රිටන් එක දීලා නේද..? මං දන්නවා උඹලා මේ වගේ දේවල් කරන්නෙ මං හින්දා කියලා.."


රංග ඔවුනට මුව නොසෑහෙන ස්තුති කළේය.. කලන විශ්වගේ සැලැස්ම ගැන මා චේතියගේ විශිෂඨ ගණයේ පහාරය ගැන රංගට පුන පුනා පැවසිය..

"උඹලා ගුටි බැට හුවමාරු කර ගනිද්දි දන්නවද මං මොනවද කලේ කියලා.. මං මේ ටිකේම ඇදට වෙලා මෙන්න මේ පොත් ටික කියෙව්වා.."

රංග තම පොත් මේසය මත වූ පුනර්භවය හා සම්බන්ධ පොත් ගොඩක් ඔවුන්ට පෙන්වද්දී කලන හා චේතිය පුදුමයෙන් මුහුණට මුහුණ බලා ගත්හ..

"එතකොට උඹ දැන් ඔය පුනර්භවය විශ්වාස කරනවද..?"

කලන විමසුවේ රංග මෙතෙක් කලක් එය පිළිගැනීමට මැලි වූ හන්දාය..

"ඔව් මචං.. අපි හැමෝම මේ සංසාර චක්‍රය පුරාවට මැරි මැරී යළි ඉපදෙනවා කියන එක මං දැන් පිළිගන්නවා.."

"යකෝ.. මූ ගුටි කෑවට පස්සෙ හැදිලනෙ.. බලපංකො වචන ටික.."

කලන ඔහුට විහිළු කරද්දී රංග වෙනදා මෙන් ඔහු හා එකට එක කීමට ගියේ නැත..

"ඒක නෙමෙයි.. අපි විශ්ව අයියගෙ සෙට් එකටයි ත්‍රීවිල් රත්නෙවයි ගෙන්නලා හොද බෝජන සංග්‍රහයක් දෙමු.. මොකද කියන්නෙ..?"

එවන් අදහසක් චේතියගේ සිතෙත් තිබුණද එම යෝජනාව ගෙන ආවේ රංගය..

"මටත් ඕකම හිතුනා බං.. ඒත් කැම්පස් සෙට් එකකට කන්න දෙනවා කියන්නෙ නන්නත්තාර වෙන වැඩක්.. අනික ගෙවල් වල මිනිස්සු උනත් බලයි දන්නෙ නැති එවුන්ට අඩගහලා කන්න දෙන්න අපිට පිස්සුද කියලා.."

"එහෙනං අපි මෙහෙම කරමු.. විශ්ව අයියට සල්ලි දෙමු යාළුවන්ට ට්‍රීට් එකක් දෙන්න කියලා.. ඒක හොදයිනෙ.."

චේතිය කී දෙයට අනෙක් දෙදෙනාම එකග වූයේ එය බාහිර ප්‍රශ්න වලින් බේරීමට ඇති හොදම පිළිවෙත වන බව දැන උන් නිසාය.. ඊටත් වඩා අශේන්ගේ මැරයන් ටවුමේදී ගුටි කෑවේ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් බව මුළු කුරුණෑගලම දැන උන් නිසා එම පිරිස කැදවා සංග්‍රහයක් දීම අවධානමකට අත වැනීමක් වැනි විය..

"උඹලා දෙන්නා ඒකට සල්ලි වියදම් කරන්න ඕනෙ නෑ.. මං සම්පූර්ණ වියදම දෙන්නම්.."

රංග කීවේ තමාට මුදල් ඇති නිසා පමණක් නොව මිතුරන් දෙදෙනා ඔවුන්ගේ ජීවිත පරදුවට තබා තමාට වූ හානියේ පළිය ගෙන තිබූ නිසාය..

"එහෙනං මං විශ්ව අයියට කෝල් කරලා විස්තරේ කියන්නම්කො.. උඹ හෙට ඉස්කෝලෙ එනවනේ..?"

චේතිය සමුගැනීමට පෙර රංගගේ පිටට තට්ටුවක් දමා කියද්දී ඔහු ඊට පිළිතුරු ලෙස හිස සැලිය..

                                            ****************************

රංග චේතිය හා කලන සමග එක්ව පසුගිය කාල සීමාවේ ඔහුට මග හැරුණු පාඩම් සියල්ල සටහන් කර ගත්තේය.. උසස් පෙළ විභාගය අත ළගටම පැමිණ තිබූ නිසා ඔවුන් පාසල් ගියේ සතියට දින දෙක තුනක් පමණි.. අන් හැමදාකම ඔවුන්ගේ කාලය ගෙවුණේ අමතර පංති වලට හා නිවසට වී පාඩම් කිරීමටය.. මෙසේ නිවසේ ගත කරන කාලය වැඩි වීම නිසා චේතියට තම නැගණිය මිහිරාවි හා ගත කිරීමට ලැබෙන කාලයද වෙනදාට වඩා වැඩි වූයේය.. ඔහු පසුගිය දින කිහිපයේ තමාට මග හැරුණු නිරීක්ෂණයන් සදහා එම කාලය මිඩංගු කළේය..

"අම්මා.. ඔයා පිළි ගත්තත් නොගත්තත් අපේ චූටි කියන්නෙ ළමාතැනීගෙ පුනරුත්පත්තිය කියන එක මට සියට අනූවක් විතර විශ්වාසයි.. ඒත්.. මට ඉතුරු ටිකත් හරියට හොයා ගන්න ඕනෙ අපෙ අම්මා.. ප්ලීස්.. ඒකට මට උදව් කරන්න.."

නැගණිය හා ගෙවූ කාලයේදී බොහෝ කරුණු කාරණා එක්රැස්කරගත් චේතිය අවසානයේ ඔහුගේ ගැටලු සියල්ල නිරාකරණය කර ගැනීමට මවගේ සහය පැතුවේය..

"මේ විභාගෙ කටේ තියාගෙන මොකටද දරුවො ආයෙත් ඕවා හාර අවුස්සන්නෙ.. ඔන්න ඕවා අමතක කරලා දාලා පාඩම් කරහං.."

"මං පාඩම් කරනවනෙ අම්මා.. ඒත් මේ ප්‍රශ්නෙ මගේ ඔළුවට හරි බරක්.. ඒ නිසා අම්මා දන්න දෙයක් තියෙනවනං මට කියන්න.."

චේතියගේ කතාවට මද වේලාවක් කල්පමා කල ගුණවතී කුස්සි කෑල්ලේ තිබූ ලී බංකුව රැගෙන විත් පුතු අසලින් ඉදගත්තාය.. මව දිගු කතාවකට අර අදින බව වැටහුණු චේතිය තම ජංගම දුරකථනයේ පටිගත කිරීමේ බොත්තම එබුවේ එම සාකච්ඡාව නතාලි අක්කාටද වැදගත් වේ යැයි සිතුණ හෙයිනි..

"උඹ දවසකුත් මට කීවනේ චූටිගෙ ජාතකෙන් ඇති වැඩක් නෑ කියල කතාවක්.. මං එතනින්ම පටන් ගන්නම්කො.."

කතාවට මුල පුරද්දී චේතියට සතුටක් දැණුනේ තමා අපේක්ෂා කලාට වඩා වැඩි යමක් මවගෙන් කියවෙන බව වැටහුණු නිසාය..

"පුතාලගෙ තාත්තා නැතිවෙද්දි පුතාට අවුරුදු අටක් නවයක් විතර ඇති නේද..? ඒ කාලෙ පුතාටත් මතක ඇතිනේ.. එතකොටනං මට හැමෝගෙම කරුණාව ලැබුණා.. කොටින්ම අපේ අප්පච්චිත් ඉදලා හිටලා තිරික්කලෙන් ගෙදරට ඕන බඩු භාණ්ඩ එව්වා.. ඒත් උන්දැලානං ආවෙ නෑ.. වලව්වෙ වැඩට හිටිය අන්දිරිස් අයියා එක්ක ඉදලා හිටලවත් ඇවිත් ගියේ නතාලි දුව විතරයි.. මොනවා උනත් ඒ කාලෙ ගල්කන්ද වලව්වෙ ඇත්තො උඹටයි මටයි පිටුපෑවෙ නෑ.. ළමාතැනී අපි ගැන හරියට හොයල බැලුවා.. වැඩිය  ඕනෙ නෑ.. අපිට ඒ කාලෙ කෑම ටික පවා එව්වෙ ඒ ඇත්ති.."

චේතිය කතාව අසා ඉන්නේදැයි දැන ගැනීමට මෙන් ඔහුගේ මුහුණ බැලූ ගුණවතී යලි කතාව ඇරඹිය..

"අපරාදෙ කියන්න බෑ ඇලිසත් ඒ කාලෙ හරියට උම ගැන හොයලා බැලුවා.. දැන් වගේ නෙමෙයි.. ඒ කාලෙ ඔය ඇතුගල හාමු හරියට ගං තුලානෙ කරක් ගහනවා.. ඒ යන ගමන තැඹිලි ගෙඩියක් එහෙම බීලා යන්න මෙහාටත් ගොඩ වැදුනු වෙලාවල් තිබුණා.. ඒත් අවුරුද්දක් දෙකක් යද්දි උන්දෑ මේ පැත්තෙ කැරකෙන එක තරමක් වැඩි උනා.. ඒ කාලෙ හාමු මහත්තයා ළමා තැනී එක්කත් හරි හරියට ගෝරි.. උඹටත් මතක ඇතිනෙ.."

චේතිය හිස සැලුවේ මවගේ කතාවේ බොහෝමයක් කරුණු ඔහුගේ මතකයේ ලාවට තැන්පත් වී තිබූ හන්දාය..

"ළමාතැනී එක්තැන් උනාට පස්සෙ අපි දෙන්නා වැඩියම හිටියෙ වලව්වෙනෙ.. එතකොට මට දැණුනා හාමු මහත්තයා මගේ වටේ කැරකෙන විත්තිය.. මං කෝකටත් කියලා ඒ ගැන හේතු හාමි අයියටත් කියලා තිබ්බා.. ඊට පස්සෙ හේතුහාමි අයියා මාව ආරස්සා කොරන්ඩ වගේ හැම වෙලේම හිටියෙ ඇහැ ගහගෙන.. හාමු මහත්තයට ටිකින් ටික තේරුණා වලව්ව ඇතුලෙ ඉද්දි හේතුහාමි අයියයි, ළමාතැනියි නිසා මට ළංවෙන්න බැරි විත්තිය.. පස්සෙ උන්දෑ රාත්තිරියෙත් අපේ මේ ගෙවල් පැත්තෙ බඩවැටි අස්සෙ රිංගන්න ගත්තා.."

සිදුව ඇති දේ ඉවෙන් මෙන් වැටහුණු චේතියගේ ගත වෙව්ලුම් කෑවේය.. ඒ නොදුටු ගුණවතී තම කතාව දිගටම කරගෙන ගියේය..

"මං මේ කියන දවස් වෙද්දි ළමාතැනිත් හොදටම ඔත්පල වෙලා හිටියෙ.. මට මතක විදියට ඒ සංධියෙ පුංචි හාමු උනත් හිටියෙ කොළඹ කොලීජියෙමයි.. නිකමටවත් අම්මව බලන්න කියලා ගමේ ආවෙ නෑ.. ඒ ඇත්තිට දරුවෙක් නැති අඩුව උඹයි මගෙ පුතේ.."

ඈ මදක් පහත් වී තම චීත්තයෙන් නෙත් කෙවෙනි පිසදාගෙන යළි කතාව ඇරඹිය..

"පාළු ගෙවල් වල වලං බිදින්න කවුරුත් බය නෑ කියන්න වගේ දවසක් මං මේ ගේ ඇතුලෙදිම හාමු මහත්තයට කොටු උනා මගෙ පුතේ.. මේ ගේත් වලව්වටම අයිති එකක් වෙච්චි.. උන්දැ ගමේ ලොකු හාමු වෙච්චි.. මං අසරණ උනා පුතේ.. කෑ කොස්සන් ගහලා උන්දැගෙ මූණෙ දැලි ගෑවා කියලා මොකෝ මට උඹවත් අරන් යන්න තැනක් තියෙන එකක්යෑ.. ඉතිං මං කට පියාගෙන උන්නා.. ඒත් ඒ පාහර මූණ බලන්න බැරි කමට මං වලව්ව පැත්තෙ නෑවිදින් හිටියා.. උන්දෑ හේතුහාමි අයියා අතේ කී දොහක්ම පණිවිඩ එව්වත් මං ඒවා ගාණකට ගත්තෙ නෑ.."

"ඒ කියන්නෙ හේතුහාමි මාමා දැනං හිටියද අම්මට උන කරදරේ..?"

මව අසීරුවට පත්වන නිසා හරස් ප්‍රශ්න නෑසුවද චේතියට එයනම් නොඅසා සිටින්නට බැරිවිය..

"හාමු මහත්තයා කියලත් නෑ මගෙ හිතේ.. මං කියන්න ගියෙත් නෑ.. ඒ කාලෙ ඉදලම හේතුහාමි අයියට ඒ ගැන සැකයක් තිබුණා.."

"ඉතිං..?"

"මං වලව්ව මග හැරියට උඹ ඒ කාලෙ හිටියෙ වලව්වෙමයි.. කොටින්ම ළමාතැනීගෙ තුරුලෙ.. ගේ අස්සට වෙලා කන්නෙ බොන්නෙ නැතුව අඩ අඩා ඉද්දි තමයි මට තේරුනේ මගේ බඩට දරුවෙක් ඇවිත් විත්තිය.."

තවම පාසල් යන වයසේ පසු වූ තම පුතුට මෙවන් කතාවක් පැවසීම කෙතරම් අසීරුදැයි ගුණවතීට වැටහුණෙන් ඈ මදකට නිහඩ වූවාය.. දහසක් ප්‍රශ්න හිත තුල තෙරපෙද්දී චේතිය තම මවගේ මුහුණ බලා උන්නේ ඈ ඉතිරිය පවසන තෙක්ය..

"ඊට පස්සෙ මට මේ ජීවිතේ එපා උනා දරුවො.. මං නොකරපු වරදකට.. එක දවසකට උන දේකට.. මෙහෙම වෙයි කියලා මං හිතුවෙ නෑ.. මං ජීවිතේ නැති කරගත්තොත් උමට යන කල දසාවක් නැති වෙන හිංදා මට නිදහසේ මැරෙන්නවත් පුළුවන් උනේ නෑ.. අන්තිමට ටික දොහක් යද්දි ගමේ හැමෝම දැනගත්තා මං ගැබ්බරයි කියලා.. උන් නොයෙකුත් කටකැඩිච්ච කතා කියන්න ගත්තා.. මට එළියට බහින්න බැරි තත්වයක් තිබුණෙ.. එහෙම උන්නු දවසක තමයි උඹ අඩාගෙන ගෙදර දුවන් ආවෙ ළමාතැනී නැති උනා කියලා.."

මවගේ පැත්තෙන් ඈ මුහුණ දුන් සිද්ධිය නොදැන උන්නද චේතියට ළමාතැනී නැති වූ ඒ දවස අද මෙන් මතකය..

"ඊට පස්සෙ මට වලව්වට නොගිහින් බැරි උනා පුතේ.. හාමු මහත්තයා කරපු පාහර වැඩේට අර දේවතාවිගෙන් පළිඅරන් වැඩක් නෑනෙ ඉතිං.. මං මරණෙ වැඩ කටයුතු වලට සහභාගි උනා.. ඒත් පුදුමෙ කියන්නෙ ඊට පස්සෙ කවදාකවත් හාමු මහත්තයා නරක ඇහැකින් මං දිහා බැලුවෙ නෑ.. ළමාතැනිත් නැතිකොට උඹව බඩගින්නෙ තියන්න බැරි කමට මං ආපහු වලව්වටම සේන්දු උනා.. ඔය කාලෙ වෙද්දි මෙහෙ වෙච්චි කරුණු කාරණා අපේ අප්පච්චිලටත් ආරංචි වෙලා තිබුණා.. ඒකෙන් උනේ ඉදලා හිටලවත් එහෙන් ලැබිච්ච කෑම ඩිංගිත්ත නැති වෙච්ච එකයි.." 

"ඉතිං.. නංගි ලැබුණ විස්තර කියන්නකො.."

"කෙල්ල  හම්බවෙන්න අමාරු උනෙත් මං වලව්වෙ වැඩ කර කර උන්නු වෙලාවක.. එදා හාමු මහත්තයා තමයි මාව ඇලිසත් එක්ක ඉස්පිරිතාලෙට පිටත් කරලා ඇරියෙ.. කොහොමින් කොහොම හරි දහදුකක් විදලා අන්තිමට ඔය හුරතල් කෙල්ල හම්බඋනා..

ඇත්තටම මගෙ පුතේ.. චූටිගෙ මූණ දැක්ක ගමන්ම මගේ මතකෙට ආවෙ ළමාතැනීව.. කෙල්ල උපන් දා ඉදලම ඒ වගේ.. මං හිතාගෙන උන්නෙ ඒකි බඩේ ඉන්න සන්ධියෙ මං කල්පනා කළේම ළමාතැනී ගැන නිසා කෙල්ල ඒ හැඩ හුරුකම ගත්තා කියලා.."

ගුණවතී ඒ කියමින් උන්නේ තම දුක්බර කතාවේදී ඈ ලද සොදුරුතම තිළිණය ගැනය..

"ළමාතැනි නැති උනාට පස්සෙ උඹ වලව්ව පැත්ත පලාතෙ ගියේ නෑ.. උඹ කැරකුණේම චූටිගෙ වටේ.."

"අම්මා එතකොට වලව්වෙ වැඩට ගියේ නැද්ද..? චූටිව එහෙ ගෙනිච්චෙ නැද්ද..?"

"කෙල්ලවනං ගෙනිච්චෙ නෑ පුතේ.. ඒකිගෙ සිරියාවන්තකම දැක්කම  ඒකිගෙ අප්පොච්චා වෙච්චි හාමු මහත්තයා කෙල්ලව ඉල්ලයි කියලා මට බය හිතුනා.. අනික ඉතිං කෙල්ලගෙ මූණවරත් උන්දැගෙ ළමාතැනී වගේනෙ.."

"එතකොට අපිට කෑම බීම..?"

චේතිය එදවස තමාට නොදැණුන බොහෝමයක් ගැටළු නිරාකරණය කර ගැනීමට තීරණය කළේය..

"කෙල්ල තරමක් ලොකු වෙනකල් වලව්වෙන් අඩුපාඩුකම් හම්බ උනා.. හේතුහාමි අයියා උනත් ගෙදරට බඩු මූට්ටු ටිකක් ගෙනත් දැම්මා.. අනිත් කෙනා ඇලිසා.. ඒකි විතරයි මගේ දුක සැප බලන්න ආව ගියේ..

ආ.. නතාලි දුව උනත් ඉදලා හිටලා කවුරු හරි එක්ක මේ පැත්තෙ ඇවිත් ගියා.. ඒකිත් පුංචි කමට ආවොත් කීයක් හරි මගේ අත මිට මොලෝනවා.."

චේතිය මවගෙන් ඇසීමට බලාපොරොත්තු වූයේ නැගණියගේ බාල කාලයේ වූ සිදුවීම් වුවද මව මේ වන විට ඔහු නොදැන උන් වෙනත් කරුණු රාශියක් හෙළිකරමින් උන්නාය.. ඇතුගල හාමුට දාව තම මවට ලැබුණු දරුවා.. ඇතුගල හාමුගේම මිය ගිය බිරිදගේ යළි ඉපදීම විය හැකිදැයි චේතියට මේ වන විට ගැටලුවක් පැන නැගී තිබිණි.. එවැන්නක් විමසනවා නම් විමසිය හැක්කේ පොඩි සාදුගෙන් බව වැටහුණු චේතිය එය මදකට අමතක කර දැම්මේය..

"උඹලා කොයි කවුරුත් කියනවා වගේ මගේ පුංචි එකීගෙයි ළමාතැනීගෙයි මොකක්දෝ සමානකමක් තියෙනවා කියලා මටත් ඒ කාලේ ඉදලම දැනුණා පුතේ.. ඒත් චූටිගෙ තාත්තා හාමු මහත්තයම නිසා ඒ කතා එළියට යනවට මං කැමති උනේ නෑ.. එහෙම උනොත් දවසක ඒකිට පාරෙ බැහැලා යන්න බැරි වෙනවා.. ඒකයි මං හැම වෙලාවෙම ඒවා යට ගැහුවෙ.. කෙල්ලව උනත් වලව්ව පැත්තෙ ඇන්න ගියේ නැත්තෙ.."

"එහෙම ප්‍රශ්නයක් වෙන්න මං ඉඩ දෙන්නෙ නෑ අම්මා.. මට චූටිගෙ එකම අයියා.."

චේතිය එසේ කියද්දී ගුණවතීට සිහිපත් වූයේ අශේන් බේබි හෙවත් වලව්වෙ පුංචි හාමුය.. තම දියණියගේ සැබෑ සොයුරා මොවුන් දෙදෙනාගෙන් කවුදැයි ඈ සිතා බැලුවාය.. තමා චේතියගේ හා මිහිරාවිගේ මවය.. ඇතුගල හාමු අශේන්ගේ හා මිහිරාවිගේ පියාය.. එසේ නම් තම දියණියගේ සොයුරා අශේන් නොවන්නේද..? ඉතිං.. ඈ පැටලැවිනි..

"අම්මා හිතන දේ මට තේරෙනවා.. මට වඩා සම්බන්ධයක් අශේන්ගෙයි චූටිගෙයි තියෙනවා නේද..? අනික ඒක ගිය ආත්මෙ ඉදලා එන එකක්.. එයාලා කලින් අම්මයි පුතයි.. දැන් අයියයි නංගියි.."

චේතියගේ දෑසින් කදුළක් ගලා ගියේ ඔහුටත් නොදැනිමය.. ඒ කදුළ දුටු ගුණවතීගේ සිත සසැලිණි..

"නෑ මගේ පුතේ.. චූටි අශේන්ගෙ කවුරුවත් නෙමෙයි.. ඒකි හැමදාටම උඹේ නංගි.. ඒකයි මං උමට කියන්නෙ ඔය යටගිය කතා හාර අවුස්සන්න එපා කියලා.. ඒකෙන් අපිට කාටත් සිද්ධ වෙන සෙතක් නෑ.."

නමුත් දැන් පමා වැඩිය.. මෙම අතුරු කතා කිසිවක් නොදැන උන් චේතිය තම නැගණිය වලව්වේ ළමාතැනීගේ පුනරුත්පත්තිය බව තම සමීපතමයන් හා කතා කර තිබිණි.. එය දැනටමත් රංග, කලන, නතාලි හා පන්සලේ හාමුදුරුවන් වැන අය දැන උන්නාය..

"මේ වලව්වයි ගේයි දාලා යන්න පුළුවන් කමක් තිබ්බා නං මං යනවා පුතේ.. එහෙමනං මේ යටගිය ප්‍රශ්න ආපහු ඇතිවෙන්නෙ නෑ.. ඒත් අර පුංචි කෙල්ලවයි උඹවයි ජීවත් කරවන්නෙ කොහොමද මං.. ළිදට වැටිච්චි එකා ළිං කටින්ම ගොඩ එන්න ඕනෙ කියලා කියමනක් තියෙනවනෙ.. ඒකයි උඹ ලොකු මහත් වෙනකල් වලව්වට කඹුර කඹුර මං මේ පැලටම වෙලා උන්නෙ.."

ඈ දිගු හුස්මක් පිට කලේ තම මුවට පමණක් නොව සිතටද විරාමයක් අවැසි වූ හන්දාය..

"අම්මා බයවෙන්න එපා.. මේ දේවල් දන්නෙ මගේ යාළුවො දෙන්නයි නතාලි අක්කයි විතරයි.. එයාලා මට විශ්වාසයි.. ඒ නිසා අපි මේ ප්‍රශ්නෙ වෙන විදියකට විසදමු.. පුළුවන්නං චූටිට මේ දේවල් අමතක වෙන්න අපි එයාව මේ පරිසරයෙන් ඈත් කරමු.."

චේතිය එය කීවේ නැගණිය නුවර බාලිකාවක නේවාසිකව තැබීමේ දිගුකාලීන අරමුණක් ඇතිවය.. ඈ අම්මාට හා තමාට කොතරම් බැදී සිටියද ඇගේ අනාගතය සාර්ථක කිරීමට නම් එය නොකර බැරිය.. එයටද තමාට පිහිට පැතිය යුතු වන්නේ නතාලි අක්කාගෙන්ම බව ඔහුට වැටහුණි..

"චූටිට උඹයි මායි නැතුව ඇහැ පියවෙයිද මගෙ පුතේ.. මොනව උනත් ඒකි දකින දකින හැමෝගෙම හිත යන සිරියාවන්ත කෙල්ල.."

ඇගේ කතාවට චේතියට තම නැගණියගේ සුන්දර මුහුන මැවී පෙණුනි.. තම වියැකුණු කදුළ යළි අළුත් වන වග දැනුන චේතිය එය මවට වසන් කරනු පිණිස එතනින් නැගිට ගියේ ජංගම දුරකථනයේ පටිගත කල කතාවටද තිත තබමිණි..


 
      
                              

No comments:

Post a Comment