Wednesday, May 16, 2012

| ගල් කන්ද වලව්ව | ගයනා එස්. ලක්මාලි |






සතියේ දින කිහිපයක් එක දිගට පාසල් හා අමතර පංති ගිය චේතිය නිවාඩු ලද එම සෙනසුරාදාව යොදා ගත්තේ ගල් කන්ද වලව්වට ගොස් හේතුහාමි මුණ ගැසීමටය.. ඇතුගල හාමු හා අශේන් වලව්වේ නොමැති බව සැක හැර දැනගත් ඔහු එදින වලව්ව බලා පිටත් වූයේ මවටද පූර්ව දැනුම් දීමෙන් අනතුරුවය..

වෙනදා මෙන් බොරු කොණ්ඩ, උපන් ලප, ඇස් කණ්නාඩි වලින් තොරව සැබෑ ස්වරූපයෙන් පෙනී සිටීමට හැකි වූ නිසා ඔහුගේ සිතට යම් සැහැල්ලුවක් දැනෙමින් තිබුණි.. රංගලා සමග ගිය ලෙස වලව්වේ ඉදිරිපසින් නොගොස් ඔවු වලව්වේ වත්ත හරහා වැටී තිබූ අඩිපාර දිගේ පා එසවිය..


"කාවද ළමයො හොයන්නෙ..?"

පොල් වත්ත හරහා පැමිණි හේතුහාමිව ළගට එන තෙක්ම නුදුටු චේතිය තිගැස්සිණි.. ඔහු මොහොතක් හේතුහාමි දෙස බලා උන්නේ ඔහුට තමාව හදුනාගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමට වුවද හේතුහාමිට චේතිය හදුනාගැනීමට හැකි වූයේ නැත..

"මාමට මාව අදුරන්න බැරිද..?"

"මේ දරුවා.."

"මං ගුණවතීගෙ පුතා.."

"හප්පේ.. මට නිච්චි නැතිඋන තරමක්.. දැන් යස ඉලංදාරියෙක් නොවැ.."

හේතුහාමි ඔහුව සුහදව පිළිගනිමින් වලව්ව කරා රැගෙන ගියේය..

"උඹලගෙ අම්මා අද තාම මේ පැත්තෙ ආවෙ නෑ.."

"අම්මා දවල් වෙලා එයි මාමෙ.. මං මේ ආවෙ මාමව හම්බවෙන්න කියලා.."

වසර ගණනාවකට මෙම භූමියට පා නොතැබූ මොහු හදිසියේ පැමිණිම ගැන හේතුහාමිගේ සිතේ කුතුහලයක් ඉපදුණි..

"මේක නිකමට ආපු ගමනක් වෙන්න නං බෑ.. ළමාතැනීගෙ මරණෙන් පස්සෙ උඹ මේ පැත්තෙ නාවේ ඇයි පුතේ..?"

"ළමාතැනි නැතුව මට එහෙ එන්න හිතුනෙ නෑ මාමෙ.. අනික ලොකු හාමුයි අශේන් බේබියි උනත් එක විදියක්නෙ.."

චේතියගේ කතාවට මදක් සිනාසුන හේතුහාමි ඔහුව වලව්ව තුළට රැගෙන ගොස් පුටුවක හිදුවා තමාද ඒ අසලින් වාඩි ගත්තේය..

"උඹත් උඹලගෙ අප්පොච්චා වගේම මුරණ්ඩුයි.. උන්දෑ හාමු මහත්තයා එක්ක ඉන්න බෑ කියලා කාලයක් මේ ගම් පලාතත් දාලා ගියා නොවැ.."

හේතුහාමි සිය සමීපතම සගයා වූ ධර්මතිලක ගැන කතා කලේ සැබෑම ලෙංගතුකමිනි.. නමුත් ඒ පිළිබද දිගින් දිගටම කතා කිරීමට චේතිය මනාප වූයේ නැත.. ඔහුට අවැසි වූයේ ළමාතැනී මිය ගිය ආකාරය හා වීරවර්ධන යන තැනැත්තා ගැන දැනගැනීමට පමණි.. නමුත් එකවර කාරණය හෙළි කළ නොහැකි නිසා ඔහු මොහොතක් නිහඩව උන්නේය..

"මොකක්ද දරුවො ඔය හැටි කල්පනා කොරන්ඩ කාරණේ..? බය වෙන්න කාරි නෑ.. මං විතරයි දැන් වලව්වෙ ඉන්නෙ.. කියහං.."

"මේකයි හේතු හාමි මාමේ.. මට දැනගන්න ඕනෙ ළමාතැනී නැතිවුණේ කොහොමද කියලා.."

චේතිය ඉද්ද ගැසුවාක් මෙන් ඇසූ පැනයට හේතුහාමිගේ දෑස් විසල් විණි..

"ඒ ඇත්ති ගැන මොකටද උඹ හොයන්නෙ..? අනික පුතේ.. ළමාතැනී නැති උනේ උඹේ ඇස් පනාපිටමනෙ.."

"ඒක හරි මාමෙ.. ඒත් මං අහන්නෙ ළමාතැනීගෙ මරණෙට හේතුව.. ඒක ළමාතැනීගෙ අසනීපෙ නිසා උන දෙයක් නෙමෙයිනෙ.."

චේතිය විමසුවේ පෙර දිනක පන්සලේදී නැගණිය කී කතාවකි.. ඈ කීවේ මරණයට හේතුව ඇතුගල හාමු තමාට පහර දීම බවයි.. ඉතිං.. එවැන්නක් සිදු වූවා නම් වලව්ව තුළම උන් හේතුහාමි එය නොදැන ඉන්නට කාරණාවක් නැත..

එසේ චේතිය තමාගේ අන්තයෙන් මේ පිළිබදව සිතද්දී හේතුහාමි සිතින් අතීතය කරා ගමන් කරන්නට විය.. ඔහුට ළමාතැනී මිය ගිය දිනට පෙරදා රාත්‍රියේ ඇති වූ කලබගෑනිය යළිදු සිහියට නැගුණි.. තමා බඩ වියත රැකගෙන ජිවත්වෙන වලව්ව පාවා දීමට බැරිකමින් මෙන්ම තම දුකට සැපට ළග උන් සමීපතමයාගේ පුතුට බොරුවක් කීමට බැරිකමින් හේතුහාමි දෙලොවක් අතර තනි විය..

"හේතුහාමි මාමා ඔය තරමට කල්පනා කරන්නෙ ඒකෙ මොකක් හරි රහසක් තියෙන නිසානෙ.."

ඔහු කතාව කියනට හේතුහාමිව දිරිමත් කළේ මෙම කාරණය හරි හැටි දන්නා එකම පුද්ගලයා ඔහු පමණක් වූ බැවිණි..

"ඒ ඇත්ති නැති උන දාට කලින් දා රාත්තිරියෙ අපේ ලොකු හාමු බීගෙන ඇවිත් ළමාතැනී එක්ක රණ්ඩුවක් ඇල්ලුවා නං මට මතකයි පුතේ.."

"ඒ මොකටද..?"

"ඒ මේ ඉඩම් පලහිලව්වකට කොහෙද.."

ඔහු කීවේ මුසාවක් නොවේ.. දෙන්නා දෙමහල්ලන් රණ්ඩු වූ බැසෑ කරණය එය නොවුවද එය හේතුහාමි දැන උන්නේ නැත.. ඔහු දන්නේ උස්ව නැගුණු දෙසබ් වලින් තම කණට වැටුණු කොටස පමණය.. ඒ කතාබහේදී ගුණවතී, ධර්මතිලක, අශේන්, ඉඩම් වැනි වදන් කීපය කිහිපවරක්ම ඇසුනද ඒවා නිරවුල් නොවූ නිසා හේතුහාමි එය චේතියට කීවේ නැත.. මොහු තරුණ කමට ඇතුගල හාමු සමග රණ්ඩුවකට පැටලුනෝතින් එය තමාටද පාපයක් වනු ඇත..

"ඒකෙන් කමක් නෑ.. හාමු මහත්තයා ළමාතැනීට ගැහුවද..?"

මේවා චේතිය දන්නේ කෙසේදැයි මෙන් පුදුමයෙන් ඔහු දෙස බැලූ හේතුහාමි අවසානයේ එය අනුමත කිරීමට මෙන් හිස සැලුවේය.. සැබැවින්ම ඔහු ඕනවටත් වඩා විවෘත වූවා නොව.. කිසියක් අදෘශ්‍යමාන බලවේගයකින් ඔහු සියල්ල හෙලි කළා වැනිය..

"ඒ ඇත්ති මර ලතෝනි දෙන සද්දෙට මමයි මැද්දට පැනලා බේර ගත්තෙ.. හාමු මහත්තයා අර දහජරාව කටේ ගාගෙන මත් වෙලා හිටියෙ.."

ඇතුලග හාමු එලෙස ඇදේ උන් ළමාතැනීට යකඩ බටයකින් පහර දුන් අයුරු යළිත් සිහිපත් වද්දී හේතුහාමිගේ ගතේ හිරිගඩු පිපුණි..

"ඒකෙන් නේද ළමාතැනී නැතිවුණේ..?"

ඔහු රහස් පොලීසියෙන් විලස ප්‍රශ්න කරද්දී අසරණ වියපත් මිනිසා මදක් තැතිගත්තේය..

"එහෙමම කියන්න බෑ පුතේ.. ළමාතැනී ඒ කාලෙ කොහොමටත් දුර්වල වෙලානේ හිටියෙ.."

ඔහු පිළිතුරු දුන්නේ බයාදු ලෙසිනි.. නමුත් ඔහු ඇතුගල හාමුව සාධාරණීකරණය කිරීමට පිළිතුරු දුන්නද චේතියට ඊට වඩා තම නැගණියගේ කතාව විශ්වාසවන්ත විය.. ළමාතැනීගේ මරණයට හේතුව ඇතුගල හාමුම බව ඔහු මේ වන විට තදින් විශ්වාස කළේය..

"ළමාතැනි කළින් අසනීප උනේ ඇයි..? මං අහන්නෙ ඔය ඇදට වැටෙන්න තරම් ඔත්පල උනේ..?"

මිය යන විටද ලාබාල වියේ පසු වූ රූමත් ඇය අසනීප වූයේ ඇයි ද යන ගැටළුව චේතියගේ සිතේ කුඩා කාලයේ පටන්ම පැවතුණි..

"ඒකත් උනේ හාමු මහත්තයා නිසාමයි දරුවො.. ළමාතැනී කාමරේ මාරු කරලා පහළට ආ දා ඉදලම ගුටි බැට ඉවරයක් නෑ.. අම්මා තාත්තත් මේ රටේ නැතිව තනිවෙලා හිටිය ඒ ඇත්ති අන්තිම කාලෙ නරා දුක් වින්දෙ.."

"ඒ කිව්වෙ මාමෙ..?"

"දවසක් ඔය ගෑණු හුටපටේකට රණ්ඩු වෙලා ළමාතැනීට හොදටෝට කෑගැහුවා.. ඒ ඇත්ති කිව්වා නුවර ගිහින් ඇතුගල හාමුගෙ මහ උන්දැලට මේ ගැන කියනව කියලා.. එදා ඇතුගල හාමු දොර පොල්ලකින් ඒ ඇත්තිට ගහපු පාර තමයි කොදු ඇට පෙල ඔය විදියට බිදිලා තියෙන්නෙ.."

මෙතරම් වසර ගණනාවක් පැවති රහසක් තමා හෙළි කළේ මන්දැයි හේතුහාමිටම වටහා ගත නොහැකි වුවද ඔහුට චේතියගේ තේජස් බව ඉදිරියේ බොරුවක් කීමට දිව නැමුණේ නැත..

"බලං යනකොට හාමු මහත්තය කියන්නෙ මිනීමරුවෙක්නෙ.. ගෙදර රණ්ඩුවකට ඔය විදියට ගහන්න ඒ මනුස්සයා මහා දරුණු කෙනෙක් වෙන්න එපැයි.."

"රණ්ඩුවකට කියන්නෙ ළමයො.. ඔය ඇලිසා ඉන්නවා නේද.. උන්දැ තමයි ඒ කාලෙ උඹලගෙ අම්මා එන්නෙ නැති දාට වලව්වෙ ඉවුම් පිහුම් කලේ.. කොහොමින් කොහොම හරි ඒකි වලව්වට එන එක නතර කලේ බඩට දරුවෙකුත් ආවට පස්සෙයි.."

ඒ කතාවට චේතිය මහත් සේ තැති ගත්තේය.. ඒ දුටු හේතු හාමි චේතියගේ කණට ලංව මුමුණන්නට විය..

"ඇලිසගෙ ඔය බාල කෙලී අපේ හාමු මහත්තයගෙ කියල කටකතාවක් තියෙනවා.. උඹලගෙ අම්මත් ඕවා දන්නව මයෙ හිතේ.."

ඇතුගල හාමු සල්ලාලයෙකු යැයි දැන උන්නද ගමේ ගෑනුන්ව මෙතරම් අමාරුවෙ දැමූ වසලයෙකු බව චේතිය මේ වනතුරු දැන උන්නේ නැත.. ඔහු තම මවට කලා යැයි කියූ හානිය සිහිවී චේතියගේ සිතේ නැවත තරහක් ඉපදුනි..

"මාමා දන්නවද වීරවර්ධන කියලා කෙනෙක් ගැන..?"

තමාට නැගෙන තරහව හේතු කොටගෙන ඇතුගල හාමු පැමිණියෝතින් ප්‍රශ්නයක් වේයැයි හැගුණු චේතිය ඉක්මනින් පිටව යාමට තීරණය කළේය..

"වීරවර්ධන කීවේ..?"

චේතියගේ මුහුණ දෙස කුතුහලයෙන් බැලූ හේතු හාමි මදක් කල්පනා කළේය..

"නෑ මට මතකයි ඒ කාලෙ ළමාතැනී මං එක්ක එහෙම නමක් තියෙන කෙනෙක් ගැන කියලා තියෙනව.. මට එයාව හොයාගන්න ඕනෙ.."

තම නැගණිය වසන් කල චේතිය තමාගේ සිහියේ තිබූ කාරණයක් සේ හැගවිය..

"මට හරියටම නිච්චි නෑ පුතේ.. ඒත් මතක විදියට ඔය නම තියෙන හිතවතෙක් අපේ මුහන්දිරම් හාමුදුරුවන්ට නං උන්නා.."

හේතුහාමි නිවැරදි මගට පිවිසි හෙයින් චේතියගේ සිතට සතුටක් දැණුනද ඔහු එය එළිපිට ඇගවූයේ නැත..

"ළමාතැනී කියපු විදියට නං මිස්ටර් වීරවර්ධන එයාලගෙ පවුලෙ හිතවතෙක් තමයි.."

"එහෙනං ඒ මහත්තයා වෙන්ටැති.. දන්න තරමින් උන්දෑ නීතීඥයෙක්.." 

"එයා මේ පැත්තෙ කෙනෙක්ද..?"

"ගම් පළාත නම් මෙහෙ තමයි.. ඒත් රස්සාවල් කලේ කොළඹ රටේ.. ඉස්සර මුහන්දරම් හාමුදුරුවො ඉන්න කාලෙ නං නිතර මෙහෙ ආවා ගියා.."

චේතිය මොහොතක් කල්පනාවට වැටිණි.. ඔහු නීතීඥයෙකු නම්.. නැගණිය නිතර කී අර ලියුම කිසියක් නෛනික වටිනාකමකින් යුතු වූවක් විය යුතුය.. එනිසා ඔහුට කිසියක් සතුටුදායක කුතුහලයක් දැනෙන්නට විය..

"අනේ හේතුහාමි මාමෙ.. පුළුවන්නම් මට මිස්ටර් වීරවර්ධනගෙ ටෙලිෆෝන් නම්බර් එක හරි ඇඩ්රස් එක හරි හොයලා දෙන්න.. ලොකු උදව්වක්.."

ඔහුගේ ඉල්ලීමට හේතුහාමිද මද වේලාවක් කල්පනා කරන්නට වූ අතර අවසානයේ ඔහු ඉද උන් පුටුවෙන් නැගිට ගත්තේය..

"හරියටම කියන්න නං බෑ දරුවො.. ඒත් ඒක හොයලා දෙන එකෙන් මැරුනු ළමාතැනීමට සෙතක් වෙනවා නං මං උදව් කරන්නං.."

හේතුහාමි එය කීවේ ඉණ පටියේ ගසා තිබූ යතුරු කැරැල්ල සියතට ගනිමිනි.. ඔහු කන්තෝරු කාමරය දෙසට යතැයි චේතිය සිතා උන්නද හේතුහාමි ගමන් ගත්තේ ළමාතැනී අවසන් කාලයේ උන් පහළ මාලයේ කාමරය වෙතය..

"මේක නිතර අරින්න හාමු මහත්තයගෙන් මටවත් අවසර නෑ.. ඒත් කාරි නෑ පුතේ.. උඹට ඕන කරන දේ ඔය ලාච්චුවලින් හොයා ගනිං.."

ළමාතැනී පරිහරණය කළ සියළු ලිපිගොනු විසල් බුරුත අල්මාරියක දමා අගුලු ලා තිබිනි.. චේතිය හේතුහාමි දුන් යතුරෙන් එය හැර හනිකට ලිපි පිරික්සන්නට විය..

"හාමු මහත්තයගෙ කාමරේ නැතුව ඇතිද මාමෙ.."

"ළමාතැනීගෙ සේරම දේවල් ඔතන තමයි තියන්නෙ.. විගහට බලන්න පුතේ.. දැන් හාමු මහත්තයලා මග එනවත් ඇති.."

හේතුහාමිගේ කතාවෙන් පසු චේතියගේ දෑත් වඩාත් කඩිසර විය.. ඔහු පොත් පත් සීරුවෙන් පිරික්සා බලා තමාට අවශ්‍යයැයි හැගුණු දිනපොත් දෙකක්ද දුරකථන අංක හා ලිපිනයන් සටහන් කරන ලද සී ආර් පොතක්ද විශේෂ පුද්ගලයන්ගේ දුරකථන අංක සදහන් ව්‍යාපාරික කාඩ් පත් ඇතුලත් කවරයක්ද සියතට ගත්තේය..

"මාමේ මං මේ පොත් දෙක තුන තව දවස් කීපයකින් ගෙනත් දෙන්නම්.. කමක් නෑ නේද..?"

චේතිය මෙතෙක් කතා බහ කල විලාසයෙන් මිදී ලෙන්ගතුලෙස විමසද්දී හේතුහාමිට එපා කීමට නොහැකි විණි.. ඒ අවසරයෙන් පොත් කිහිපය තුරුලු කරගත් චේතිය හේතුහාමිට මුව නොසෑහෙන සේ ස්තුති කර වලව්වෙන් නික්ම ගියේය..

                                            ****************************

චේතිය ඇතුළු මිතරන් දෙදෙන මේ වන විට තම විභාගයටත් වඩා උනන්දුවෙන් මිහිරාවිගේ පුනර්භවය ගැන පර්යේෂණ කරන්නට විය.. තිදෙනා පාඩම් පොත් වෙනුවට වැඩි වශයෙන් කියවුයේ යළි ඉපදීම ගැන සදහන්ව තිබූ පොත්පත්ය.. හේමවංශ මිහියන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් ඉඩ ලද සැනින් නැවත පන්සල කරා පා නැගුවේ මේ ගැන වැඩිදුර සාකච්ඡා කිරීමටය..

"එදා ඔයාගෙ නංගි කියපු දේවල් ගැන අපේ ලොකු හාමුදුරුවන්ට පුදුමයි මල්ලි.. උන්වහන්සෙ කිව්වා ආපහු ඔයාලා ආපු වෙලාවක උන්නාන්සෙට දැනුම් දෙන්න කියලා.. ඉන්නකො මං ගිහින් කියලා එන්නම්.."

සවස් භාගයේ පන්සල වෙත ළගාවූ මිතුරන් තිදෙනා සුහදව පිළිගත් පොඩි හාමුදුරුවෝ ඔවුන්ව බෝ මළුවේ රදචවා ගොස් ලොකු හාමුදුරුවන්ව කැටුව ආහ..

"මේ ළමයි ආපු එක හොදයි.. කොහොමද එදා සිද්ධියෙන් පස්සෙ ළමයගෙ වෙනසක් නෑ නේද..?"

චේතියගෙන් විමසූ ලොකු හාමුදුරුවන් ඔවුන් ආවාස ගෙය තුළට කැදවාගෙන ගියේ නිදහසේ කතා කිරීමේ අමරුණෙනි..

"එදා ගුණවතී උපාසක අම්මා කලබල නොවුනා නං අපිට ඔයිට වඩා දෙයක් ඒ දරුවගෙන් දැනගන්න තිබුණා.. චේතිය පුතා වෙන මුකුත් අහලා බැලුවෙ නැද්ද..?"

ලොකු හාමුදුරුවන් චේතියගෙන් විමසද්දී ඔහු නැතැයි හිස සැලිය..

"අපේ අම්මා ඒ ගැන හාර අවුස්සනවට කැමති නෑ හාමුදුරුවනෙ.."

"එහෙම හිතන එක වැරදියි දරුවො.. ඒ ළමයා කියන දේවල් තරවටු කරලා නතර කරන එකෙන් වෙන්නෙ දරුවා අසනීප වෙන එක.. අනික කීයෙන් කී දෙනාටද තමන්ගෙ පෙර බවය ගැන කියන්න මතක තියෙන්නෙ.. ඒක හරිම දුර්ලභ දෙයක්.. ඒ විතරක් නෙමෙයි ලෝකෙ බොහෝමයක් පුනර්භව පර්යේෂණ වලදී ඔප්පු වෙලා තියෙනවා පෙර බවය ගැන සදහන් කරන දරුවො අනිත් අයට වඩා සහජයෙන්ම බුද්ධිමත් කියල.."

"මමත් ඕක චේතිය මල්ලිට පැහැදිලි කරා ලොකු හාමුදුරුවනෙ.. මිහිරාවි කියන්නෙ ඇත්තටම උසස් ගතිගුණ තියෙන දරුවෙක්.. දහම් පාසලේදි උනත් එයාගෙ දැනුම බොහොම ඉහළ මට්ටමක තියෙනවා.."

පොඩි හාමුදුරුවන්ද තම අදහස් කතාවට එක් කරද්දී ලොකු හාමුදුරුවෝ එය අනුමත කිරීමට මෙන් හිස සැලූහ..

"ඔය දරුවන්ට මතක ඇතිනෙ එදා ඒ දැරිවි එයාගෙ පෙර භවයෙ අම්මයි තාත්තයි ගැන සදහන් කරපු විදිය.. එයා කිව්වෙ මමී ඩැඩී කියල.. ඔය දරුවො දන්නවද දන්නෙ නෑ ඒ කාලෙ වලව්වෙ ළමාතැනී එයාගෙ දෙමාපියන්නට කතා කලෙත් ඒ විදියට.."

රංග හා කලනද එම කතාව සාවධානව අසා උනනේ මවිතයෙනි..

"ඒ කාලෙ ඔය වලව්වෙ ඇත්තො හැඩ ගැහිලා උන්නෙ ඉංශ්‍රීසි පන්නෙට.. මං දන්න තරමින් ළමාතැනී ඉගෙන ගත්තෙ ඉංශ්‍රීසි මාධ්‍යයෙන්.. පිටරටවල එයාලගෙ නෑදෑයො හිටියා.. ඒකනේ පොඩි දරුවගෙ අසනීපෙ වෙලාවෙත් එයාව අරන් රට ගියේ."

"ඒක වෙන්න ඇති හාමුදුරුවනේ නංගි දැනුත් ඉංශ්‍රීසි භාෂාවට මේ තරම් දක්ෂ.."

චේතිය සිය නැගණියගේ භාෂා දැණුම ගැන සීලරතන හිමියන්ට ප්‍රකාශ කර සිටියේය..

"පෙර ආත්මෙ දක්ෂතා, පුරුදු මේ ආත්මෙට ගේන දරුවෙ ඕන තරම් ඉන්නවා.. ඔය විදියෙ පර්යේෂණ වල සීයට අනූවක්ම දරුවො පෙර ආත්මෙ මොකක් හරි දේකට මේ ආත්මෙත් නැඹුරු වෙනවා.."

"ඒ කිව්වෙ අපේ හාමුදුරුවනෙ..?"

මෙම විෂයට ඉතා උනන්දුවක් දැක්වූ කලන ලොකු හාමුදුරුවන්ගේ ප්‍රකාශය සවිස්තරව විමසුවේය..

"මෙහෙමයි.. පෙර භවයෙ හමුදා නිලධාරීන් වෙලා හිටපු පුංචි දරුවො මේ ආත්මෙ කතා කරන්න පටන් ගන්න කලින් ඉදලම වෙඩි තියන හැටි පෙන්නන්න පුරුදු වෙලා තියෙනවා.. සමහරු බහ තෝරන අවධියට ආවම කියනවලු ඒ වෙඩි තියන්නෙ ටෙරාලට කියල.. ඒ විතරක් නෙමෙයි එයාලා ගෙදර තියෙන කොට්ට වට කරලා බංකර හදනවලු.."

"ඔවු හාමුදුරුවනෙ.. කලින් ආත්මෙ ආබාධිත වෙලා හිටපු අය මේ ආත්මෙ හොද නිරෝගි වෙලා ඉද්දිත් හැරමිටි, අත්වාරු වගේ දේවල් ඉල්ලලා තියෙනව.. සමහර බොද්ධ දරුවෙ ඔළුවෙ තොප්පි දාගෙන, බිම ලේන්සු එළලා යාඥා කරපු කතා තියෙනව.."

කෙටි කාලයක් තුල මෙම කේෂ්ත්‍රය ගැන මනා දැනුම් සම්භාරයක් එක් කරගත් රංගද කතාවට හවුල් විය.. මෙම මිතුරන් තිදෙනාගේ උනන්දුව ගැන මෙන්ම මෙම විෂය ගැන තිබූ පුළුල් දැනුම සීලරතන හිමියන්ගේ සිතට සතුටක් කැදවීමට සමත් විය..  

"ඔය ළමයිගෙ දැනීම ගැන මට හරිම සතුටුයි.. මං  හිතන්නෙ ඔයාලා තුන්දෙනාම ඉයන් ස්ටීවන්සන්, එඩ්ගාර් කේසි වගේ විද්වතුන් ගැන අහලා.. කියවලා ඇති..?"

එයට පිළීතුරු ලෙස තිදෙනාම හිස් සැලුවේ එවන් පොත්පත් රාශියක් මේ වනවිටත් ඔවුන් සතුව තිබූ නිසාය..

"ඔය ඉයන් ස්ටීවන්සන් කියන මහාචාර්යතුමා කීපවරක්ම ලංකාවට ඇවිත් ලංකාවෙ දරුවන්ගෙ පුනර්භව සිද්ධි ගැන පුළුල් ලෙස පරීයේෂණ කරලා තියෙනව.. එතුමා ජීවත් වෙලා හිටියනං මේ මිහිරාවි කියන දැරිවිගෙ පර්යේෂණේ උනත් අපිට සැකයකින් තොරව භාරදෙන්න තිබ්බා.."

හේමවංශ හිමියන් එසේ කීවේ මෙම පුනර්භව සිද්ධිය උන්වහන්සේට ඒ තරමටම විශ්වාසවන්ත එකක් වූ හන්දාය..

"මට පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ හාමුදුරුවනේ අම්මට චූටිව හම්බවෙන්න ඉද්දි තමයි ළමාතැනී නැතිවෙලා තියෙන්නෙ.. ඒක එහෙම වෙන්න පුළුවන්ද..?"

එවන් සිද්ධි තමා පොත පතින් කියවුවද එය තරමක් අස්වාභාවික වූ හන්දා චේතිය විමසා සිටියේය..

"එහෙම උන සිදුවීම් තියෙනව දරුවො.. දරුවෙක් පිළිසිදගෙන කළලයට මාස කිහිපයක් ගත වුනාට පස්සෙ විතරක් නෙමෙයි මේ ආත්මෙ දරුවා ඉපදුනාට පස්සෙ පෙර භවයෙ කෙනා මැරුනු වෙලාවල් වලදිත් අති සාර්ථක විදියට කරුනු කාරණා ඔප්පු වෙච්ච පුනර්භව පර්යේෂණ තියෙනවා.."

සීලරතන හිමියන් එය විශ්වාසයෙන් කියූ නිසා චේතියගේ සිතට යම් අස්වැසිල්ලක් දැණිනි..

"මට තේරෙන විදියට ඔය දරුවා පෙර බවයෙ මොකක් හරි රහසක් තවම හිතේ හංගගෙන ඉන්නවා.. ඒක ඒ දරුවට මතක නෑ නෙමෙයි.. මතකයි.. ඒත් කියන්නෙ නෑ.. සමහර විට ඒක දැනගත්තම කාගෙ හරි හිත රිදෙයි නැත්තං ප්‍රශ්න ඇතිවෙයි වගේ දේවල් ගැන එයා හිතනවද දන්නෙ නෑ.."

නායක හාමුදුරුවෝ අවධාරණය කර ගත් වටිනාම කාරණය උන්වහන්සේ චේතියලාට හෙළි කලේ ඔවුන්ව පුදුමයට පත් කරමිනි..

"මටත් ඒක කලේක ඉදලා හිතුනා අපේ හාමුදුරුවනේ.. ඔය ගල්කන්ද වලව්වෙ හැංගිච්ච මොකක් හරි රහසක් තියෙනව.. ඔබ වහන්සෙ කිව්වා වගේ සමහර විට ඒ ගැන අපේ නංගි දන්නවා ඇති.. මං ඒක කොහොම හරි හොයාගන්නවා.."

එසේ කී චේතිය තම නැගණිය කී වීරවර්ධන ගැන කතාව හා තමා වලව්වට ගොස් හේතුහාමි සමග කළ කතාබහ පිරිසට හෙළිකර සිටියේය..

"දැන් ඒ පොත්පත් වලින් ඔය කියන තැනැත්තගෙ තොරතුරු හොයාගන්න පුළුවන් උනාද..?"

"අනුමාන කරන්න පුළුවන් විදියෙ ලිපිනයක් නම් හම්බවුනා හාමුදුරුවනේ.. මං හිතාන ඉන්නෙ නිවාඩු දවසක මේ දෙන්නත් එක්ක ගිහින් ඒ ගැන ටිකක් හොයල බලන්න.."

එම දිනපොත් වල තිබූ ඇතැම් කරුණුද ළමාතැනී ගැන තමා සොයාගත් අනෙකුත් කරුණුද හෙළිකල චේතිය තම මවට ඇගේ පවුලෙන් ලද ඉඩම් ඔප්පුව ගැනද හාමුදුරුවන්ට හෙළි කළේය..

"ගුණවතී උපාසක අම්මට ඒ දේවල් ලැබෙන්න ඕනෙ දරුවො.. ඒ මනුස්සයා ඔහොම මුළු ගැන්විලා හිටියට බොහොම උසස් පවුලක ගුණගරුක විදියට හැදුනු කෙනෙක්.. අනික  හරිම වාසනාවන්ත තැනැත්තියක්.."

ලොකු හාමුදුරුවෝ චේතියගේ මවගේ පවුල ගැන විස්තර දැන උන් බවක් ඔහු මෙතෙන් නොදැන උනි..

"ඇයි හාමුදුරුවනේ එහෙම කිව්වෙ..?"

"එහෙම කිව්වෙ ඒ තැනැත්තිට සැප සම්පත් භාග්‍යය පිහිටලා තියෙන නිසා.. බලන්න ගුණ ගරුක ස්වාමියෙක් ලැබුණා.. ඉගෙනීමට දක්ෂ හොද ජවයකින් යුතු පුතෙක් ලැබුණා.. වාසනාවන්ත දූ සිගිත්තක් ලැබුණා.. කාලයක් දුක් වින්දා තමයි.. ඒත් දැං ඉඩ කඩං වුනත් ලැබිලා තියෙනවනෙ.. ඒ ලැබීම ඔතනින් නතර වෙන්නෙ නෑ.. බලන්නකො තව ඉස්සරහට.."

තව ඉස්සරහට කුමක් වේදැයි නොපැවසුවද උන්වහන්සේ එය කීවේ දැඩි විශ්වාසයෙනි.. ඒ කතා බහෙන් අනතුරුව සමුගැනීමට මත්තෙන් චේතිය තම නැගණියට නේවාසිකව අධ්‍යාපනය සදහා යොමු කිරීමේ අදහසද පවසා සිටියේය..

"ඒකනං කාගෙ උනත් බුද්ධිමත් තීරණයක්.. උපාසක අම්මටත් අවශ්‍ය දරුවව ඔය මානසික තත්වයෙන් මුදවන්නනං කරන්න තියෙන හොදම දේ ඒක.. එතකොට ටික කාලයක් යද්දි ඔය හැමදේම දරුවට අමතක වෙලා යයි.. ඒ වගේම ඔය අනික් කයි කතන්දරත් ගම්මුන්ට අමතක වේවි.."

උන්වහන්සේ කී දෑ චේතිය මෙන්ම මිතුරන් දෙදෙනාද දැන උන් නිසා ඔවුන් හරස් ප්‍රශ්න ඇසුවේ නැත.. පිරිස පන්සලෙන් නික්ම යාමට සැරසුනේ සැදෑ අදුර පන්සල් භූමිය ගිල ගනිද්දීය..

"මේවට හිත යොමු කෙරුවය් කියලා පොතේ පතේ වැඩ මගහරිනවා එහෙම නෙමෙයි ඕං.. අක්කලා අයියලා වගේම ම්ලලිලා තුන්දෙනත් විශ්ව විද්‍යාලෙ යන්න ඕනෙ.."

"එහෙමයි හාමුදුරුවනෙ.."

ලොකු හාමුදුරුවන්ගේ අවසන් ඉල්ලීමද ඔවුන් එක සිතින් පිළි ගත්හ..


                                                                   

No comments:

Post a Comment