Tuesday, May 15, 2012

| ගල් කන්ද වලව්ව | ගයනා එස්. ලක්මාලි |





නිතර දුරකථනයෙන් අමතා සුවදුක් විමසන නතාලි අක්කාට රංගගේ සිදුවීම් චේතිය දැනුම් දුන්නේය.. ඒ ඇසුණු ඈ ඔහුට අවධාරණයෙන් කියා සිටියේ එම ගැටළුව සෘජුව මැදිහත් වී ප්‍රශ්න ඇතිකර නොගන්නා ලෙසය..

"එහෙම කියලා පැත්තකට වෙන්න බෑනෙ අක්කා.. ඌ ගුටිකෑවෙ මං නිසා.."


"උන් ඔයාගෙ පලිය අම්මගෙන් නංගිගෙන් එහෙම ගත්තොත් මොකද වෙන්නෙ..? ඒ නිසා මං කියන්නෙ කරන දෙයක් පරිස්සමින්.."

ඇය විස්තර කරද්දී කලන කීවේත් ඔය ටිකම‍ නොවේදැයි චේතියට සිහිපත් විය..

"උන් තාම ගේම අතෑරලා නෑ.. දැන් කලනගෙයි මගෙයි පස්සෙ පන්නනවා.. ඊළග පාර උන් ඉස්සර වෙන්න කලින් අපි ඉස්සර වෙන්න ඕනෙ අක්කා.." 

"අඩුව තියෙද්දි අත පුච්චගන්න ඕනෙ නෑනෙ.. මල්ලි අපි වෙන විදියක් බලමු.. මං විශ්ව අයියටත් කියන්නම්කො.."

ඈ කියූ අඩුව කුමකත්දැයි ඔහුට වටහා ගත හැකි වූයේ නැත.. කෙසේ වෙතත් ඈ එය කීවේ යම් සැලැස්මක් සිතේ තබාගෙන බවනම් ඔහුට වැටහිණි.. 

"දැන් කොහොමද චූටිගෙ වැඩේ..?"

"ඒ ගැන නම් අලුත් තොරතුරු මුකුත් නෑ.. අපි පන්සලේ හාමුදුරුවො එක්ක ඔය ගැන කතා කලා.. හාමුදුරුවො කිව්වා අක්කවයි චූටිවයි පන්සල පැත්තෙ එක්කගෙන එන්න කියලා.."

"ඒක හොයන එක කල් යවන්න එපා මල්ලි.. මම ළගදිම දවසක එන්නම්.. අපි පන්සලට යමු.."

"අක්කා අපේ ගෙවල් පැත්තෙ එන්නෙ නැද්ද ළගදි..?"

"පන්සලට එනවනං මං ඔය පැත්තෙ නෑවිත් ඉන්නවද ළමයො.. කොහොමටත් මං හිස් අතින් එන්නෙ නෑ.. ඔයාලට ලොකු තෑග්ගක් අරගෙනයි එන්නෙ.."

"ඒ කිව්වෙ..?"

ඔහුට ඇගේ කතාව වැටහුණේ නැත.. 

"හෝව්.. හොව්.. ඒක සප්‍රයිස් එකක්.. දැන්ම අහන්න එපා.."

"අයියා... නකාලි අක්කද..? මට කතා කරන්න දෙන්නකො.."

තම සුරතල් නැගණිය පසුපසින් විත් මුහුණට එබෙන තුරුම චේතියට ඇයව දුටුවේ නැත.. ඇගේ කැරලි කොණ්ඩය අතින් අවුල් කර ඔහු ඇයව තම උකුලට ගෙන නතාලි සමග කතා කිරීමට ඉඩ සලසා දුන්නේය..

එදින වෙනදාට කලින් පාසල් එන්නයි කලන දුන් දුරකථන ඇමතුමට අනුව චේතිය පැයකට පමණ පෙර පාසලට ළගා විය.. ඔහු යන විටත් පැමිණ උන් කලන ඉදිරියට ආවේ සිනා කටක් මුව රදවාගෙනය..

"ගුඩ් මෝනිං චේති.. උඹ අද නං වෙලාවටම ආවා.."

කලන උන්නේ වෙනදාටත් වඩා සතුටිනි..

"හරි.. හරි.. දැන් කියපං මොකක්ද කියන්න තියෙන්නෙ කියලා.."

"මේකයි.. මං උඹෙන් රත්නෙ අයියගෙ නම්බර් එක ඉල්ල ගත්ත‍ට පස්සෙ මිනිහට කෝල් කරා.. ඌ හොයාගෙන තියෙනවා අශේනගෙ ගැන්සිය යන එන තැන්.. ඒ ගැන්සිය හැමදාම හවස හය හත අතරෙ ටවුන් එකේ ලයන් ක්ලබ් එක‍ට එනවලු.. ඒත් අශේනයා හැමදාම සෙ‍ට් වෙන්නෙ නෑලු.."

කලන රත්නෙගෙන් දැනගත් තොරතුරු චේතිය හමුවේ දිග හැරියේය..

"එහෙනම් අපි අශේන් ඉන්න දවසක උන් ටිකට ගේම දෙමු.."

චේතිය ගත් කටටම කීවේය.. කලනද හිස ඉහල පහල වැනුවේ එය අනුමත කරන නියාවෙනි..

"ඒක තමයි මමත් හිතුවෙ.. අපි බොරුවක් කරලා උන් ටිකව කොහෙට හරි ගෙන්නමු.. ඊට පස්සෙ බැරියෑ රංගයගෙ වාඩුව ගන්න.."

"ඔව් මචං.. මට අපේ නතාලි අක්කා විශ්ව අයියගෙ නම්බර් එක දුන්නා ඕන උනොත් උදව්වක් ගන්න කියලා.. ඕනම උනොත් අපි මිනිහවත් සෙට් කරගමු.."

චේතිය එය කීවේ සිතේ දහසකුත් දේ සැලසුම් කරමිනි.. 

"මිනිහා කැම්පස් කිව්වා නේද..? නියමයි.. කොහොමටත් චේති දැන් රංගයත් නැති නිසා උඹටයි මටයි විතරක් මේ ගේම දෙන්න අමාරුයි.. අපිට විශ්ව අයියගෙත් උදව් ඕන වෙයි.."  

"අපි මෙහෙම කරමු.. අශේනයා පණිවිඩයක් එව්ව විදියට උන් ටිකව ක්ලබ් එකෙන් එළියට ගමු.. ඒත්.. උන්ට වාහනයක් තියෙනවද දන්නෙ නෑ නේද..?"

කීමට ගිය දේ ගිලගත් චේතිය හරස් ප්‍රශ්නයක් නැගුවේ හොද හැටි සැලසුම් නොකර යමක් කීමෙන් තමන් අමාරුවේ වැටෙන බව දැන උන් නිසාය..

"උන් තුන්දෙනා එන්නෙ බයික් දෙකකින්ලු.. දවස් ගානක් උන් හන්දිය පැත්තෙ කැරකිලා කලර්ස් වගයක් දාලා තියෙනවා.. අනික උන් මේ කුරුණෑගල පැත්තෙ නෙමෙයිලු.."

"අ‍‍ශේනයා යන්නෙත් උන් එක්කමද..?"

"අශේන් ආවෙත් එන්නෙ ටිකක් පරක්කු වෙලාලු.. මොකද කරන්නෙ.. අපි අද හෙටම ගේමට බහිමුද..?"

"ෆිට් තමා.. මං විශ්ව අයියටත් කෝල් කරලා බලලා පුළුවන්නම් මිනිහවත් සෙට් කරගෙනම උඹලගෙ ගෙවල් පැත්තෙ එන්නම්.. උඹ පුළුවන්නම් රත්නෙ අයියව ගෙන්න ගන්න බලපං.. හැබැයි මචං.. දැන්ම මේක රංගයගෙ කණට යවන්න එපා.."

දැඩි විශ්වාසයකින් මිතුරාට පහක් දැමූ චේතිය කීවේ ඇසක්ද ඉගි කරමිනි..

ඔවුන් සැලසුම් කරගත්තා සේම විශ්ව අයියාවත් මෙම වැඩේට හවුල් කරගැනීමට චේතිය ඔහුට දුරකථන ඇමතුමක් දුන්නේය..

"රායිට් මල්ලි.. මට නතාලි මුළු ස්ටෝරියම කිව්වා.. මට කොහෙටද එන්න ඕන කියන්න.."

"අයියට අද හවසට වැඩක් තියෙනවද..?"

"වැඩක් තිබුනත් නැතත් මස්සිනා වෙනුවෙන් ඒක කැන්සල් කරන එක මහ දෙයක් නෙමෙයිනෙ.. මල්ලි මට තැනයි වෙලාවයි කියන්න.."

ඔහු නතාලි අක්කාටම ගැලපෙන අයෙක් යැයි එම කතාවෙන් චේතියට වැටහුණි..

"හතරට විතර අපේ ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එක ළගට එන්න පුළුවන්ද අයියෙ..? මං ඒ වෙලාවට ඇවිත් ඉන්නම්.."

"ඕකේ.. මං ඇවිත් ඔයාට රින්ග් කට් එකක් දෙන්නම්.."

ඔහුගේ ඇමතුමෙන් පසුව චේතිය කාලය ගෙවා දැමුවේ ඉතාමත් අසීරුවෙනි.. සවස හතර වන තුරු පමා නොවූ  ඔහු අවසානයේ තරමක් වේලාසන නිවසින් පිට වුණේය..

ඔහු බස් නැවතුමට පැමිණ පැය කාලක් පමණ ගතවද්දී විශ්ව පැමිණ සිටියේය.. මීට පෙර දින දෙකක් පමණ නුවරදී නතාලි අක්කා සමග මුණගැසී ඇති බැවින් චේතියට ඔහුව හදුනා ගැනීමට අපහසු වූයේ නැත.. මොහොතක් සුහද කතා බහක නිරත වූ පසු චේතිය විශ්වට සිද්ධිය නැවත මුල සිට විස්තර කළේය..

"නගින්න මල්ලි.. අපි ඉතුරු ටික ගිහින් කතා කරමු.. අපි කොහෙටද යන්න ඕන..?"

ඔහු පැමිණි මෝටර් බයිසිකලයට චේතිය නංවා ගත්තේය..

"මේ ළගට අයියෙ.. මං පාර පෙන්නන්නම්.. යමුකො.."

නගරයේ සිට කලනලාගේ නිවසට වූ දුර බයිසිකලයෙන් ගෙවා දැමීමට විනාඩි දහයක්වත් ගත වූයේ නැත..

"යමු අයියෙ.. මේ මගේ යාළුවෙක්ගෙ ගෙයක්.."

"මේ ගුටි කාපු යාළුවගෙ ගේ නෙමෙයි නේද..?"

විශ්ව ඇසුවේ සිනාසෙමිනි..

"නෑ.. නෑ.. ගුටි කෑවෙ වෙන කෙනෙක්.."

ඔවුන් බයිසිකලයෙන් බසින විටම කලන විත් ඔවුන් පිළිගත්තේය..

"මේ තමයි අයියෙ මගේ යාළුවා කලන.. මචං මේ විශ්ව අයියා.. දන්නවනේ.." 

"අපෝ හොදට දන්නවා.. මේ අර නතාලි අක්කගෙ ඇම කාපු අයියා නේද..?"

"හරියට හරි මල්ලි.. දැන් ඒ ඇම ගලවගන්න බැරුව ඉන්නෙ.. උඹලා නං ඔය කෙල්ලන්ගෙ ඇම කන්න එපා.."

ටික වෙලාවක් යනතුරු සුහදව කතාබහක නිරත ඔවුන් තේ පානයෙන් පසුව ප්ලාස්ටික් පුටු තුනක් රැගෙන මිදුගේ අඹ ගස යටට ගියහ..

"අයියා අපේ මේ විස්තරේ දන්නවා ඇතිනේ.. අපි දැන් කොහොමද මේක ඉවරයක් කරන්නෙ..?"            

කෙතරම් සුහද ලෙස කතා කලද විශ්ව වැඩිහිටියෙකු නිසා කලන මුල් තැන දුන්නේය..

"මල්ලිලා කැමතිනං මට පුළුවන් ඔයාලා දෙන්නා මැදිහත් කරගන්නෙ නැතුව මේක ඉවරයක් කරලා දාන්න.. ඔයාලා මොකද කියන්නෙ..?"

"එහෙම හරියන්නෑ අයියා.. උන් අපේ යාළුවට කරපු දේට මට මගේ අතින්ම උන්ට රිටන් එක දෙන්න ඕන.."

චේතිය කීවේ ඉක්මනින්ය.. කොහොමටත් රංගගේ තුවාල සිහිවන වාරයක් වාරයක් පාසා ඔහුගේ පපුව වෙව්ලුම් කෑවේය..

"උන් ඔයාලා තුන්දෙනාගෙම අතපය කඩන්න ලෑස්ති උනාලු නේද අ‍‍ශේන්ගෙ උපන්දිනේ දවසෙ.. හරි.. අපි එහෙනං මෙහෙම කරමු.."

විශ්ව තම පුටුව මිතුරන් දෙදෙනා ළගට ඇදගන්නා ගමන් හඩ බාල කර කීවේය..

"අපි හෙට රෑට ගේමට බහිමු.. අපේ කැම්පස් එකේ කොල්ලො සෙට් එකකුත් මං අරන් එන්නම්.. ඔයාලා කියපු විදියට අශේන් එක එන ෂුවර් නෑනෙ.. අපි ඒ නිසා දෙවිදියටම ලෑස්ති වෙමු.. උන් හය හතර අතරෙ ක්ලබ් එකට එනවනං අ‍ශේන් ආවත් එනවා ඇත්තෙ ඊට පහුවෙලානෙ.."

එය අනුමත කරන්නට මෙන් කලන හිස සැලුවේය..

"අ‍ශේන් එනවද බලන්න අපි ඔය වලව්වෙ ගේට්ටුව හරියෙයි තව මග කොතනක හරියි කොල්ලො දෙන්නෙක් දාමු.. මගේ යාළුවෙක්ගෙ වෑන් එකක් තියෙනවා.. ඒකෙ මං කට්ටිය දාගෙන එන්නම්.. තව දෙනේනෙක්ව ඔය කියන ක්ලබ් එක ඉස්සරහ තියමු.. අනික් සෙට් එක.. මං කිව්වෙ අපි ටික ඔය දෙක අතර මැද තැනක සෙට් වෙමු.. මේ ඔයාලා ත්‍රීවිල් එකක කෙනෙක් ගැන කිව්වා නේද..? එයා අද එන්නෙ නැද්ද..?"

විශ්ව ඇසුවේ කලන දෙස බලාය..

"එයාව දැන් උනත් ගෙන්නගන්න පුළුවං අයි‍යෙ.. මං මේ ටිකක් පරක්කු කලේ අපි ප්ලෑන් එකක් හදා ගන්නකල්.."

කලන එසේ කීවාට විශ්ව පැමිණ ඇත්තේ සම්පූර්ණයෙන්ම සැලැස්ම සිතේ ඇදගෙන බව චේතියට වැටහුණි..

"හරි.. අපි එයාව පස්සෙ ගෙන්නමු.. හැබැයි.. මල්ලිලාට මිනිහව ෂුවර් නේද..? මං කිව්වෙ මේ පාවා දෙන්නෙ නෑ කියලා..?"

"නෑ අයියෙ.. මිනිහා බොක්කෙන්ම සපොට් එක.. මේ ළගදි එයාලගෙ පාර්ක් එකේ මුස්ලිම් කොල්ලෙකුටත් උන් ටික ලොකු සද්දයක් දාලා.. දැන් පාර්ක් එකේ කට්ටියත් උන්ට ගේම දෙන්නලු බලන් ඉන්නෙ.."

කලනටත් පෙර චේතිය විස්තර කළේ ඔහු දැන් විශ්ව මුණ ගැසීමට එන අතර ත්‍රීවිල් පාර්ක් එකටද ගොඩ වැදුණ නිසාය..

"එහෙනං වැඩේ අපිට ලේසියි.. ඔය වගේ ගැන්සියක් මේ ටවුන් එකෙන් එළවලා දාන එකම සමාජ සත්කාරයක් කියලා හිතලා අපි මේක කරමු.. කොහොමටත් මල්ලි අපි ගේමට බහින්න ඕන කළුවර වැටුනට පස්සෙ.. මෙන්න මේකයි මගේ ප්ලෑන් එක.."

මිතුරන් දෙදෙනා දෙසට කඳ බර කරගත් ඔහු එය කීමට පෙර කලනගේ නිවස දෙසද හොද හැටි බැලුවාය.. එහි අරුත වටහා ගත් කලන ඔහුව දිරිමත් කලේය..

"අවුලක් නෑ අයියෙ.. අම්මා විතරයි ගෙදර ඉන්නෙ.."

"මෙහෙමයි මල්ල.. මං අර කලින් කිව්ව විදියට අපි කට්ටිය තුන හතරකට බෙදිලා ඒ ඒ තැන්වල ඉන්න ඕනෙ.. ඔය ක්ලබ් එක ළග ඉන්න දෙන්නා උන්ගෙ බයිසිකල් දෙකෙන් එකක හුළං යවන්න ඕනෙ.. එතකොට.. අපි හිතමු අශේන් එනවා කියලා.. මිනිහා වලව්වෙන් පිටත් උන ගමන්ම එතන දෙන්නා අපිට ඔත්තුව දෙනවා.. මගදි අශේන් ගැන බලාගන්න මං කට්ටිය සෙට් කරලයි තියෙන්නෙ.. ඒ ගැන බයවෙන්න එපා.."           

කලන චේතිය දෙස බැලුවේ විමතියෙනි.. එය නොතැකූ විශ්ව එය දිගටම පැහැදිලි කරන්නට විය..

"මෙහෙන් අශේන්ට වැඩේ දෙන අතරෙ ඔයාලගෙ වීල් අයියා ගිහින් ක්ලබ් එකේ තුන්දෙනාව එළියට ගන්න ඕනෙ.."

"ඒ කොහොමද..?"

චේතිය හරස් ප්‍රශ්නයක් නැගුවේය..

"එගෙන්ස් එකට ගියොත් වැඩේ කරගන්න අමාරුයි.. ඒ නිසා එයා අශේන් එව්ව කෙනෙක් විදියට එතනට යන්න ඕනෙ.. ගිහින් කියන්න ඕනෙ අ‍ශේන්ට පොඩි කරදරයක් වෙලා.. ඒ නිසා ඔය තුන්දෙනාව ඉක්මනට එක්කගෙන එන්න කිව්වා කියලා.."

"උන් ත්‍රීවිල් පාක් එකත් එක්ක ඇ‍ටෑක් නිසා අවුලක් නැතුව එයිද..?"

කලනට තරමක් සැක සිතුනේ වැ‍ඩේ ගැස්සුනොත් රත්නේ අයියාටද රංගට සිදුවූ ආනිසංසයමඅත්වේ යැයි සිතුණු නිසාය..

"ඒක තමා පොඩි අවුලකට තියෙන්නෙ.. මල්ලිලා දැන් කියනකල් මං දන්නෙ නෑනෙ උන් ත්‍රීවිල් පාර්ක් එකත් එක්ක කේස් එකක් දාගෙන කියලා.. ඒකයි මං එහෙම ප්ලෑන් කලේ.."

"ලොකු අවුලක් වෙන එකක් නෑ අයියා.. කොහොමත් ඔය වෙද්දි උන් ටිකක් වෙරි වෙලානෙ ඉන්නෙ.."

"අපි දැනට එහෙම හිතමු.. බැරි උනොත් එවෙලෙට වෙන විදියක් බලමු.. දැන් උන්ට ඔය රත්නෙ ගිහින් පණිවිඩේ කිව්වට පස්සෙ උන් බයිසිකල් වල එන්න ට්‍රයි කරයි.. රත්නෙට මුලින් හදිස්සි කරන්න එපා කියන්න.. අනික උන් වලව්වට කෝල් කලත් අශේන් වලව්වෙ නෑ.. මිනිහගෙ ‍මොබයිල් එකට ගත්තත් එවලෙ අශේන්ට ආන්සර් කරන්න වෙන්නෙ නෑ.."

තම මිතුරන් ලවා ඒ මොහොතේ අ‍ශේන් දුරකථනයට පිළිතුරු දීම වැලැක්වියට යුතු බව විශ්ව තරයේ සිතා ගත්තේය.. කලන හා චේතිය නම් පුදුමයෙන් අසා උන්නේ විශ්වගේ මෙම සැලැස්ම ඔවුනට අදහාගත නොහැකි වූ නිසාය..

"බයිසිකල් දෙකේම හුලං ඇරියොත් උං දන්නවා ඒක උගුලක් කියලා.. ඒ නිසා හුළං අරින්න ඕන එක බයිසිකලේක විතරයි.. දෙන්නෙක් ආපු එකේ හුළං අරිනවා නං වැඩිය හොදයි.. ඊට පස්සෙ වෙලාවෙ හැටියට උන්ට වීල් එකට නගින්න වෙනවා.. නැත්තං වෙන විකල්පයක් නෑනෙ..ඒකයි මං කිව්වෙ රත්නෙට වර්ඩ් එක දාන්න එපා කියන්න කියලා.. උන් වර්ඩ් එක දානකල් ඉන්න කියන්න.."

"එකෙක් හරි දෙන්නෙක් හරි බයික් එකේ එන්නම් කිව්වොත්..?"

චේතිය නැවත විමසුවේය..

"එහෙම වෙන එකක් නෑ.. අනික එහෙම උනත් ප්‍රශ්නයකුත් නෑ.. තුන්දෙනාම අන්තිමට එන්නෙ එකම තැනටනෙ.. මල්ලිලා මේ හරියෙ හොද ප්ලේස් එකක් කියන්න වැඩේට.. හරිද.. උන්ට කියන්න තියෙන්නෙ දැන් අ‍ශේන් මෙ‍තනට වෑන් එකකින් එනවා කියලා විතරයි.. කොහොමත් අපේ වෑන් එක ඔය කියන පරක්කුවට එතනට එනවා.. මොකද උන් සෙට් එක ක්ලබ් එක ළගින් පිට උන ගමන් එතන අපේ ඔත්තු බලන දෙන්නා.. මං කිව්වෙ බයිසිකලේ හුළං අරින දෙන්නා.. එයාලා අපිට මැසේජ් එක දෙනවා.."

"ෂුහ්... මාරයිනෙ විශ්ව අයියෙ.."

චේතිය විශ්වගේ දෑතින්ම අල්ලා ගත්තේය..

"එහෙම තමයි මස්සිනා.. මේවා ඉන්ජිනේරු මොල.. අනික වැඩේ අනාගන්නෙ නෑ කියලා ෂුවර් එකක් තියාගන්නත් පුළුවන් මේකට සෙට් වෙන්නෙ කැම්පස් කොල්ලො නිසා.."

"නතාලි අක්කට දෙයියන්ගෙම පිහිටයි.."

කලන කීවේ දෑත් එකතු කර වදින ඉරියව්වක් මවා පාමිනි.. ඊට විශ්වගේ මුහුණේ හිනාවක් ඇදී ගියේය..

"අනිත් ස්ටෙප් එක කෙරෙන්නෙ උඹලට ඕන විදියට මල්ලි.. අපි පාළු තැනකට කළුවර වැටිලා තියෙද්දි උඹලට හතුරො ටික ගෙනැල්ලා දෙනවා.. උඹලට තියෙන්නෙ හිතේ හැටියට උන්ගෙන් වාඩුව ගන්න.."

දිගු සාකච්ඡාවක් නිමා කල විශ්ව පුටුවේ පසුපසට හේත්තු වී සැප පහසුවට හිද ගත්තේය..

"දැන් කවුද අශේන්ට ගේම දෙන්න මගදි සෙට් වෙන්නෙ..?"

චේතිය විශ්වගේ කතාවේදී සිත තබාගෙන උන් කරුණක් යළි විමසිය..

"ඒ ගැන ඔයාලා වොරි වෙන්න එපා මල්ලිලා.. ඒකට අශේන් එක්ක සාධාරණ තරහක් තියෙන පිරිසක් සැදී පැහැදී ඉන්නවා.."

"ඒ කවුද..?"

"ඔයාලා නොදන්නවා උනාට ඔය අ‍ශේනයා නුවර පේරාදෙණිය පැත්තෙත් ටිකක් ‍ෆේමස්.. මිනිහගෙ තාත්තගෙ මහ ගෙවල් තියෙන්නෙ එහෙනෙ.. ඌ නිතරම ආච්චිලා සීයලා බලලා යන්න නුවර පැත්තෙ එනවා.."

එය බොරුවක් විය නොහැකි බව චේතියට වැටහුණේ පෙර දිනක තම මව ඇතුගල වලව්ව ගැන කී කතාව නිසාය.. ඔහු එය කලනට හා රංගටද කියා තිබිණි..

"අ‍‍ශේන් අපේ කැම්පස් එකේ ෆස්ට් ඉයර් ගර්ල් කෙනෙක් එක්ක යාළුයි.. ඒ කෙල්ල මිනිහට රැවටිලා ඉන්නෙ.. අනික ඌ වලව්වාකරයෙක් කියලා දැනගත්තම අපේ මෝඩ කෙල්ලො නිකම්ම අහුවෙනවනෙ.. ඒ කෙල්ලගෙ අයියා පේරාදෙණියෙම අපේ බැජ් එකේ එකෙක්.. ඌ ‍අශේන් ගැන ටිකක් දන්නවා.. මං කිව්වා අශේන් ළගදි අපේ සේනාධීර ගෘප් එකේ දුවව බදින්න යනවා කියලා.. ඌ දැන් අ‍ශේන්ව මරන්න තරම් කේන්තියෙන් ඉන්නෙ.."

විශ්ව හෙළි කලේ චේතියලා මෙතෙන් නොදැන උන් කතාවකි..

"අයියත් මාරයිනෙ.. කොහෙන්ද මේවා හොයාගත්තෙ..?"

කලන පුදුම වී විමසිය..

"මට නතාලි විස්තරේ කියද්දි මං ටිකක් හොයලා බැලුවා.. කොහොමටත් අපේ එකා උගේ නංගිගෙ පලහිලව්ව නිසා ගල් කන්ද වලව්ව ගැන කියව කියව හිටියෙ.. මං මේ වැඩේ ගැන කිව්වා විතරයි ඌ අ‍ශේනයට ගේම දෙන්න සැදී පැහැදී ඉන්නෙ.."

"හැබැයි මට නතාලි අක්කා නම් කිව්වා ප්‍රශ්න ඇතිකරගන්නෙ නැතුව අයියත් එක්ක කතා කරලා මේක විසදගන්න කියලා.."

චේතිය කියද්දී විශ්ව අමුතු ආකාරයට සිනාවක් නැගිය..

"ඒ ගැන නං කියලා වැඩක් නෑ.. මටත් කිව්වෙ ඔය ටිකම තමා.. ඔය කෙල්ලො කියන විදියට බටර් ගාලා ප්‍රශ්න විසදගන්න බෑ මල්ලි.. උන්ට ඕවා තේරෙන්නෙ නෑ.. කොහොමටත් අපි මෙහෙම දෙයක් ප්ලෑන් කරා කියලා නතාලිට දැනගන්න තියන්න එපා.. අපේ ගෑණි මගේ ඔළුව කයි.."

විශ්ව කියද්දී කලන බොහෝ ආශාවෙන් ඔහුගේ හැසිරීම් දෙස බලා සිටියේය.. ඔහුට මේ අපූරු පුද්ගලයා ගැන දැඩි පැහැදීමක් දැනුනේය..

"එහෙනං අයියෙ අපි අර ත්‍රීවිල් එකේ රත්නෙ අයියට කෝල් කරලා එන්න කියන්නද..? එතකොට අයියටම පුළුවන්නෙ එයාට විස්තරේ කියන්න.."

එයට විශ්වගේ අනුමැතිය ලැබුණු පසු ඔවුන් දුරකථන ඇමතුමක් ලබාදී රත්නෙ අයියාව ගෙන්වා ගත්තේය.. විශ්ව සම්පූර්ණ කතාවම ඔහු හමුවේ දිග නොහැර ඔහු‍ට අදාල රාජකාරිය පමණක් සවිස්තරව පහදා දුන්නේය..

"බය වෙන්න එපා සර්.. මං ඕන හෙල්ප් එකක් දෙන්නම්.. කොහොමටත් අපේ බජාර් එකේ සෙට් එක ඔකුන්ගෙ කොල බොක්ක අදින්න ලෑස්ති වෙලයි ඉන්නෙ.."

රත්නෙ බජාර් බාසාවෙන්ම කරුණු පැහැදිලි කලත් ඔහු විශ්ව හමුවේ ගරු සරුවක් පෑවේය..

"මට සර් කියන්න එපා අයියෙ.. මෙයාලට වගේම මටත් මල්ලි කියලා කතා කරන්න.. අනික ඔය මිනීමරාගන්න තරම් දැනට මේක දුරදිග ගෙනියන්න එපා.. ඒවා පස්සෙ බලමු.."

විශ්ව ඔහුව සන්සුන් කලේ ත්‍රීවිල් පාර්ක් එකෙන් ඔවුන්ට එවන් කරදරයක් කළහොත් එයත් චේතියලාගේ ගිණුමට වැටී නැති ප්‍රශ්න ඇතිවිය හැකි නිසාය.. අනික තමාගේ මිතුරාට කළ හානියේ පළිය ගැනීමට මිස මිනීමරාගැනීමේ අදහසක් නම් ඔවුන්ගේ තුන් හිතකවත් තිබුණේ නැත..

"උන්ට ගේම දෙන්න නම් මේ කට්ටිය මදි වෙයි සර්.. මං අපේ පාර්ක් එකේ උන්ට එන්න කියන්නම්.."

රත්නෙ කතා කලේට තරහටය.. චේතියලා මො‍හුව විශ්වාසවන්ත බව කීවාට මොහුව ගාවා ගැනීමෙන් ඔවුන් සියලු දෙනාම අමාරුවේ වැටෙයිදෝ බියක් විශ්වගේ සිතේ හට‍ගත්තේය..

"මේක දුරදිග ගෙනියන්න බෑනෙ අයියෙ.. එහෙම උනොත් අපේ මල්ලිලා ටික අමාරුවෙ වැටෙනවා.. අනික මුන් මේ පාර විබාගෙ ලියන්නත් ඉන්න ළමයිනෙ.."

විශ්ව බැරිම තැන තුරුම්පුවක් විසිකර බැලුවේ ඔහුගේ ප්‍රතිචාරය දැනගැනීමටය..

"ඔවු සර් මට තේරෙනවා.. අනික මටත් ඉන්නවා ඉස්කෝලෙ යන ළමයි දෙන්නෙක්.. බය වෙන්න එපා සර්.. මං සර් කියන විදියට කරන්නම්.."

කොතරම් එපා කීවත් රත්නේ විශ්වට කතා කලේ සර් කියාය.. ඔහු දැන්වත් සාමකාමී වීම ගැන විශ්වගේ සිතට සතුටක් දැනුණේය..

"එහෙනම් මල්ලිලා.. ඔක්කොම හරිනේ.. හෙට අපි ගේමට සෙට් වෙමු.. අපි කෝල් කරලා එන තැන් ඇරේන්ජ් කර ගමු.. මට කලන මල්ලිගෙන් නම්බර් එක දෙන්න.."

විශ්ව පිටව යාමට මත්තෙන් කලනගේ දුරකථන අංකයද ඉල්ලා ගත්තේය.. රන්තේ පළමුව පිටව ගිය අතර විශ්ව නුවර බලා ගියේ ‍චේතියවද නිවසට බැස්සවීමෙන් අනතුරුවය..


                                             

No comments:

Post a Comment