Tuesday, May 1, 2012

| ගල් කන්ද වලව්ව | ගයනා එස්. ලක්මාලි |






නතාලිගෙන් ලැබුණු ජංගම දුරකථනය තම මවට පෙන්වූ චේතිය ඉන්පසු එය එළිපිටම පාවිච්චි කළේය.. ඇතැම් විට ඔහු නැගණියගේ කතා එහි පටිගත කිරීමටද අමතක කළේ නැත.. රංග, කලන හා චේතියගේ සම්බන්ධය තව වැඩි දියුනු කිරීමටද එය මහත් රුකුලක් වුනි..

“උඹටත් දැන් එහෙනං හෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා.. ආ.. එහෙනං දැන් සම්මානි එක්ක මල් කඩන්නත් බැරියෑ..”


මිතුරා දුරකථනය අත දරා බස් නැවතුමට එනු දුටු කලන ඔහුට විහිළුවක් කළේය..

“සම්මානි එක්ක මල් කඩන්න එකෙක් සේනාධීරයා හොයාල දුන්නනේ..”

චේතිය කීවේ තරහිනි..

“ඒ හොයලා දුන්නෙ සේනාධීරයනේ බං.. ඒක සම්මානි හොයාගත්තු එකක් නෙමෙයිනෙ..”

කලන එය කීවේ සිය මිතුරාගේ සිත හැදීමටය..

“ඒත් සම්මානිට කරන්න වෙන්නෙ ඒකම තමයි.. ඇතුගලයත් වැඩේට උඩින්ම කැමතියිනෙ..”

“එහෙනං මගුලටද එදා ඒකි උඹට තුරුල් වෙලා අඩ අඩා හිටියෙ..”

එම සොදුරු විනාඩි කිහිපය චේතියට සිහිපත් වුනි. ආදරය ගැන තියා සාමාන්‍ය යෙහෙළියක ලෙසවත් ඇසුරු නොකල සම්මානි තමාට ළංව ඉකි ගැසූ හැටි ඔහුට තවම සිහිනයක් සේය..

“ඔන්න.. ඔන්න.. ඒ පාර උඹත් හොට්ට පෙරන්න තියාගත්තා.. අන්න බස් එක..”

ඈතින් එන බසය දුටු කලන ඊට අත දමා හනික නැග ගත්තේය.. රංග ඔහු ළගින්ම අසුන් ගත්තද චේතියට අසුනක් ලැබුණේ පසුපසිනි..

“මචං එදා සීන් එක චේතියට නොකියා ඉන්න හොද නෑ.. උගේ ආත්මාරක්ෂාවට හරි ඌ ඒක දැනගෙන ඉන්න එක හොදයි නේද..?”

එදා වලව්වේදී ඔවුන් පැන ආ සිද්ධිය මෙතෙක් චේතියට වසන් කල රංග හා කලන එය ඔහුට කීමට තීරණය කළහ.. ඔහු එය නොදැන උනහොත් ඔහුට ලොකු අනතුරකට මුහුණ පෑමට සිදුවන බව සහතිකය..

“අශේනයගෙ සෙට් එක ඕක අතාරියි කියලනං හිතන්න බෑ තමයි.. අපි පුළුවන් තරම් චේතියව තනි නොකර ඌ එක්කම ඉන්න බලමු..”

කලනද එය අනුමත කළේ එය චේතියගේ ජීවිතයට පවා තර්ජනයක් බව දැන උන් හෙයිනි..

“අශේනයා අපේ ඔළුව අතගාලා ටොක්ක අනින්න හැදුවට ඌටත් රිටන් එක දෙන්න ඕනෙ.. අපි කොහොම හරි සම්මානිව චේතියට සෙට් කරමු.. අපේ එකාට සල්ලි විතරනේ බං අඩු.. නැත්තං ඌ අපිටත් වඩා හැන්ඩියනේ..”

දෙමිතුරෝ චේතිය ගැන කතා වෙවී පැමිණෙන අතර තුර චේතිය පෙරදා නතාලි කී දෑ ඔවුන් දෙදෙනාට කීමේ නොඉවසිල්ලෙන් පසු උනි.. ඊටත් වඩා සම්මානිව මුණගැසී අශේන් ගැන කතා බහ කිරීමටද ඔහුට අවැසි වී තිබිණි..

“චේති.. අපි ක්ලාස් එක ළගට ත්‍රීවිලර් එකක යමුද..?”

බසයෙන් බැසි රංග කී කතාවට චේතිය පුදුමයෙන් මෙන් සිය ඔරලෝසුව දෙස බැලීය..

“මෙච්චර වෙලා තියෙද්දි මොකටත ත්‍රීවිල්.. මේක අපි හැමදාම යන පාරනේ.. ඔන්න ඔහේ පයින් යමු..”

මිතුරන් වද වෙන්නේ කුමක් ගැනදැයි චේතියට ඉවෙන් මෙන් වැටහුණි.. නැත.. බය වෙන්නට කාරණාවක් නොවේ.. මෙම පාර තමාට හොදට හුරු පුරුදුය.. මග දෙපස කඩ සාප්පු.. පාරේ ගමන් ගන්නා සිසුන්.. සැමදෙනා තමාගේ පැත්තටය.. එහෙයින් ඔහු දැඩි ආත්ම විශ්වාසයකින් මිතුරන් දෙසට හැරුණි..

“උඹලා කියන්න හදන්නෙ මොකක්ද කියලා මට තෙරෙනවා.. මේ චේති ඉන්න කල් බයවෙන්න එපා බං.. මං බ්ලැක් බෙල්ට් ගත්තෙ ගමේ ඉස්කෝලෙ යන කාලෙදිමයි කියලා උඹලට අමතක උනාද..?”

“අපිට බය අපි ගැන නෙමෙයි යකෝ.. උඹ ගැන.. උන් විශේෂයෙන්ම රිටන් එක දෙන්න ලෑස්ති වෙලා ඉන්නෙ උඹට..”

චේතියව බලෙන් මෙන් ත්‍රීරෝද රථයකට දමා ගත් රංග පංතියෙන් බැස ගත් පසු ත්‍රීරෝද රථ රියදුරාට පංතිය ඇරෙන වේලාවටත් පැමිණෙන ලෙස දැනුම් දුන්නේය..

“ඇයි මල්ලි.. මොකක් හරි ලෙඩක් දාගත්තද..?”

නිතර හන්දියේ දැක පුරුදු එම ත්‍රීවිල් රියදුරා විමසුවේ සුහද ලෙසිනි..

“එහෙම දෙයක් නෙමෙයි අයියා..”

එකවර කිසිවක් කිව නොහැකි නිසා කලන සැහැල්ලුවෙන් ප්‍රශ්නය මග හැරියේය..

“මේ වැයික්කිය අපේ මල්ලි.. පිට උන්ට මෙහේ චන්ඩිකං දාන්න දෙන්න බෑ.. අවුලක් උනොත් මට කෝල් කරන්න.. මං රත්නෙ..”

ඔහු නැවත ඉගිල යාමට මත්තෙන් දුරකථන අංකය ලියූ කොල කැබැල්ලක් කලනගේ අත තැබීමට අමතක කලේ නැත..

මැරවරයන් තිදෙනාගේ කතාව රංග චේතියට කීවේ ඔවුන් ආරක්ෂාකාරී ලෙස පංතියට ඇතුල් වූවට පසුවය.. මිතුරන් මේ තරම්ම බියපත් වූයේ ඇයිදැයි චේතියට වුව වැටහුණේ ඉන් අනතුරුවය..

“මං උඹලට එදා කිව්වෙ නැද්ද අශේනයා ගැන.. ඌ ඔහොම හිටියට ලෝක අංකූරා..”

“එහෙනං ඉතිං අර සම්මානිට දෙයියන්ගෙම පිහිටයි..”

කලන කීවේ සම්මානි පැමිණ ඇත්දැයි කියා විපරමින් බලමිණි..

“කෙල්ල තාම නෑ බං.. මටත් තියෙන බය ඒකමයි..”

ඔහුගේ සිතැගි වටහාගත්තාක් මෙන් චේතිය කීවේය.. තමා මෙතෙක් සම්මානිට ළං නොවූයේ තම දුප්පත්කම නිසා වුවද සම්මානි කොන්දේසි විරහිතව තමාව විශ්වාසයට ගෙන තිබීම චේතියගේ උනන්දුව වඩවා තිබිණි.. එනිසා ඈ වෙනුවෙන් අවසන් මොහොත දක්වා අශේන් සමග සටන් කිරීමට ඔහු අදිටන් කර ගත්තේය..

“උඹ දවස් දෙකක් පිට පිට ඉස්කෝලෙ නාව එක ගැන මහින්ද සර්ත් ඇහුවා චේති.. ඇත්තටම මොකද උනේ..?”

පංතිය පටන් ගැනීමට තවමත් කල් වේලා තිබූ නිසා නිවසේ වූ කතා බහ මිතුරන්ට පැවසීමට චේතිය අදහස් කළේය..

“පෙරේදා නතාලි අක්කා ආවා බං.. අපේ චූටිගෙ කේස් එක ගැන සෑහෙන දුරට කතා උනා..”

එසේ කී ඔහු එදින සාකච්ඡාව ඔහුට කිය හැකි උපරිමයෙන් මිතුරන්ට විස්තර කර පැවසීය.. නතාලි කී පුනර්භව කතාව අසා රංගගේ දෙනෙත් පුදුමයෙන් විසල් විණි..

“ඒක හරි පුදුම කතාවක්නෙ.. එතකොට නතාලි අක්කා කියන්නෙ උඹේ නංගි විදියට ඉපදිලා තියෙන්නෙ අශේන්ගෙ අම්මා කියලද..?”

රංග ඇසුවේ සමච්චල් සහගත සිනාවක් පාමිනි..

“එහෙම කියන්න එපා රංග.. මූට නොකිව්වට මටත් කල්පනා කරගෙන යද්දි ඕකම හිතුනා.. උඹලා දන්නවනේ මං ඉස්සර ඉදලම පොත් කියවන්න කැමතියි කියලා.. ඔය පුනරුත්පත්තිය කියන්නෙ මගේ ෆේවරිට් ෆිල්ඩ් එකක්.. ඒ පොත්වල තියෙන දේවල් මුගේ නංගිගෙ කතාවට සෑහෙන දුරට ටැලි උනා..”

චේතිය පුදුම වූයේ තමා.. නතාලි අක්කා.. පමණක් නොව කලනද එකම නිගමනයකට එළඹ මෙතෙක් කල් ඒවා සිත්හි සගවාගෙන ඉදීම පිළීබදවය..

“අපි කතා උනාට තාම බැරි උනානේ පන්සල පැත්තෙ ගිහින් එන්න. අපි අද හෙටම ගිහින් හේමවංශ හාමුදුරුවො එක්ක ඔය ගැන කතා කරමු.. උන් වහන්සෙ තමයි ඕකට හරියනම කෙනා..”

චේතියගේ කතාව කලන අනුමත කලද එය එක්වර පිළිගැනීමට මැලි වූ රංග විකල්පයක් ඉදිරිපත් කළේ ඒ තුළින් නිවැරදි තීරණයකට එළඹිය හැකි හෙයිනි..

“මමත් ඔය ගැන හිතුවා චේති.. හේමවංශ හාමුදුරුවො කියන්නෙ තනිකරම විශ්ව කෝෂයක්නෙ.. එයා ඔය ෆිල්ඩ් එක ගැන අපි නොදන්න දේවලුත් කියලා දෙයි.. ඕනෙමනං අපිට ලොකු හාමුදුරුවො එක්ක උනත් කතා කරන්න බැරියෑ..”

කලනද රංගගේ කතාව අනුමත කලේ මෙම ප්‍රශ්නය සාකච්ඡා කල හැකි හොදම තැනැත්තා පන්සලේ පොඩි හාමුදුරුවන් බව වැටහුණු නිසාය.. පුංචි කාලයේ දහම් පාසල් යන අවධියේ පටන් ගමේ පන්සල සමග ඔවුනට තිබුණේ ඉතා හොද සම්බන්ධයකි.. ඔවුන් වයසින් වැඩෙත්ම ලොකු හාමුදුරුවන් ඌ සීලරතන හාමුදුරුවන්ට වඩා හේමවංශ හාමුදුරුවන්ට නිතැතින්ම ළං වුනි.. පන්සලේ ඕනෑම විශේෂ වැඩකට ඔවුන් තමන්ගේ සම්පුර්ණ දායකත්වය ලබා දුන්නේ මෙම බැදීම නිසාය.. නමුත් මෑත කාලයේ ඔවුනට පන්සල පැත්තේ යාමට තරම් කල් වේලාවක් නොලැබුණි..

“මොකද කියන්නෙ.. අනිද්දා හවස් වරුවෙ පන්සල පැත්තෙ ගිහින් එමුද..? එදාට පංතිත් නෑනෙ..”

චේතියගේ යෝජනාවට දෙදෙනාම එකග වූයේ දෙවරක් නොසිතමිනි..

“අද සම්මානි එන පාටක් නෑ වගේ.. එනවනං කෙල්ල මේ වෙද්දි ඇවිත්..”

පන්තිය පටන් ගැනීමට ගුරුතුමා වේදිකාවටත් නැගුණ පසු රංග කීවේය.. ඒ ඇසි චේතියගේ මුහුණ මැලවුනි..

පංතිය අවසන්ව ඔවුන් පිටත්ව යාමට සැරසෙද්දී සම්මානිගේ මිතුරියක් කලබලයෙන් මෙන් චේතිය වෙත දිව ආවේය..

“චේතිය.. සම්මානි මේ නම්බර් එක ඔයාට දෙන්න කිව්වා.. පුළුවන් නම් රෑ දහයෙන් පස්සෙ ඕකට කෝල් එකක් ගන්න කියලත් කිව්වා..”

තවත් යමක් කීමට පමා නොවූ ඈ ඔවුන් ළගින් නික්ම ගියේ පැමිණියාටත් වඩා වේගයෙනි..

“ෂුහ්.. බලපංකො.. ඒකි නිකං නියුරෝනයක් වගේනේ..”

ඈ ගිය ගමට නෙත් යැවූ කලන ඇසක් ඉගිකර කීවේය..

“මොකක්ද මචං නියුරෝනයක් කියන්නෙ..?”

චේතිය අත තිබූ එම දුරකථන අංකයට එබෙන අතරතුර රංග විමසිය..

“මෙච්චර කල් බං මේ විශ්වයේ වේගයෙන්ම ගමන් කරන දේ විදියට අදුනගත්තෙ ආලෝකයනේ.. ඒත් මෑතකදි කැලිෆෝනියාවෙ විද්‍යාඥයො පිරිසක් කරපු පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා නියුරෝනය ආලෝකයට වඩා වේගයෙන් ගමන් කරනවා කියලා.. බලපං ඉතිං මේ කෙල්ලත් ඒ වගේ නෙමෙයිද කියලා.. ආවා.. කොලේ දුන්නා.. පණිවිඩේ කිව්වා.. දිව්වා.. අඩුම ගානෙ අපිට එක වචනයක් කියන්න ඉඩක් ලැබුනද.. නෑනෙ..”

කලනගේ පැහැදිලි කිරීමට සවන් දෙන අනරතුර චේතිය එම දුරකථන අංකය සිය ජංගම දුරකථනයේ සටහන් කර ගත්තේය..

“අනුමානයක් නෑ චේති කෙල්ල උඹට කැමතියි.. දාපන් පහක්..”

සම්මානි දුරකථන අංකය එවීම පිළිබදව සතුටට පත් වූ රංග සිය අත්ල දිහ හැර බලා උන්නේ චේතිය අත දෙන තුරුය..

“දැනට කැමති ඇති.. ඒත් ඒ කැමැත්ත ඉවර වෙන්නෙ මං කාගෙ කවුද කියලා ඒකි හරියටම දැනගත්ත දවසට.. මං ගල් කන්ද වලව්වෙ කුස්සි අම්මගෙ පුතා කියලා දැනගත්තම කෙල්ල ෆෝන් නම්බර් එකත් වෙනස් කර ගනියි..”

රංගට අත දීම වෙනුවට ඔහුගේ පිටට පහරක් ගැසූ චේතිය එය කීවේ තරමක් හැගුම්බරවය.. ඔවුන් පංතියෙන් පිටතට පැමිණෙන විට ත්‍රීවිලය පැමිණ තිබූ නිසා ඒ කතාව එතකින්ම නතර විණි..

                                            ****************************

එදින රාත්‍රිෙය් සම්මානි සමග කතා කිරීමට චේතිය බලා උන්නද රාත්‍රී එකොළහ පසුවන තුරුත් මව අවදිව උන් නිසා ඔහුට තම සිතැගි ඉටු කර ගැනීමට නොහැකි වුණි.. මව හා නැගණිය නිදන්නේද තමා නිදන ඇද පාමුල වීම ඔහුට තිබුණ අනෙක් ගැටළුවයි..

ඔහුට ඇමතුම ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණේ පසුදා දහවල් පාසල් ඇරී නිවසට පැමිණියාටත් පසුවය..

“හෙලෝ.. සම්මානි.. මම චේතිය..”

ඔහු තමාව හදුන්වා දුන්නේ සියුම් තිගැස්මක් සමගිනි.. සම්මානිගේ මව හෝ පියා අසල සිටින්නේද යන ගැටළුවද ඔහුගේ සිතට වද දුන්නේය..

“ආ.. ඔව් චේතිය කියන්න.. මං ඔයා කතා කරනකල් ඊයෙ රෑ දොළහ විතර වෙනකල් බලන් හිටියා..”

මේ ඈ තමා සමග දුරකථනයෙන් කතා කරන පළමු අවස්ථාව වුවද ඇයට නම් එය වෙනසක් නැත්තා සේය.. ගැහැණු ළමයෙකු වූ ඈ මෙසේ නොබියව කතා කරන්නේ නම් තමා පැකිලෙන්නේ මන්දැයි සිතූ චේතිය දුරකථනයත් රැගෙන මිදුලේ පොල් කොටයක් මත හිද ගත්තේය..

“රෑට කතා කරන්න අමාරුයි සම්මානි.. අම්මා ළග ඉන්නවා..”

“අපෝ.. ඔයා තාම නිදියන්නෙ අම්මා ළගද..?”

ඈ කලේ විහිළුවක් වුවද තමාටත් අම්මාටත් නැගණියටත් නිදාගැනීමට නිවසේ ඇත්තේ එකම කාමරයක් පමණක් යැයි කීමට චේතියට සිතුණි.. නමුත් එයට දැන්ම කල් වේලා වැඩි බැවින් ඔහු ඉවසා උන්නේය..

“චේතිය.. ඔයාලා කොහොමද එදා ගල් කන්ද වලව්වෙ පාටියට ආවෙ..? ඔයාලා අශේන්ව දන්නවද..?”

“මේ ටවුන් එකේ කවුද අශේන්ව නොදන්නෙ.. අනික අපි එක ගමේනෙ.. ඒත් ඉතිං වැඩි හිතවත්කමක් නෑ.. කොටින්ම මට මිනිහව දිරවන්නෙ නෑ..”

“එහෙනං එදා ඇවිත් හිටියෙ..,?”

“දවසක් අපේ බාල දක්ෂ ටීම් එකේ කට්ටියක් ඔය වලව්වට ගියා.. එදා අපිට වලව්වෙ හාමු මහත්තයා පාටි එකට ඉන්වයිට් කලා.. අපි නොගියොත් ඉතිං ඉස්කෝලෙටත් හොද නෑනෙ.. ඒකයි අපි තුන්දෙනා එදා ආවෙ..”

“එහෙනං ඔයා ඇයි බොරු කොණ්ඩෙකුයි කණ්නාඩියි දාගෙන හිටියෙ..? ඔයා ක්ලාස් එකේදිවත් කණ්නාඩි දාන්නෙ නෑනෙ..”

ඇගේ පැනයට චේතිය මොහොතකට ගොළු විනි.. සම්මානි මෙතරම් සියුම් ලෙස ප්‍රශ්න කරාවියැයි ඔහු මොහොතකටවත් සිතුවේ නැත..

“ඒක මට කියන්න බැරි හේතුවක්ද චේතිය..?”

ඔහුගේ නිහඩතාවය හමුවේ ඈ නැවතත් අසා සිටියාය..

“ඔයාට කියන්න බැරි කමක් නෑ.. ඒත් මං වෙලාව ආවම කියන්නං සම්මානි.. ඒක ටිකක් දිග කතාවක්..”

කියනවානම් ඇයට උඩින් පල්ලෙන් කියා පලක් නැත.. එහෙයින් පසු දිනෙක තමාගේ සැබෑ තතු ඇයට හෙළි කිරීමට චේතිය අදිටන් කර ගත්තේය..

“කමක් නෑ ඔයා කියනකල් මං ඒ ගැන ආපහු අහන්නෙ නෑ..”

යමක් සියුම් ලෙස නිරීක්ෂණය කිරීමටත් අවශ්‍ය වේලාවේදී නිහඩ වීමටත් දන්නා මැය වැන්නියක තම ජීවිතයට ළගාකර ගැනීමට හැකිනම් කොතරම් අගනේදැයි චේතියට යළිත් වරක් සිතුණේය..

“මාව ඔයාගෙ හොද යාළුවෙක් කරගන්න ඔයා කැමතිද චේතිය..? මගේ හිතේ තියෙන දේවල් කියන්න විශ්වාසවන්ත කෙනෙක් මං ළග නෑ..”

ඈ සිය රූපයටම සරිලන සුන්දර කට හඩකින් විමසා සිටියාය.. ඒ ඇසී චේතියට දැණුනේ පුදුම සතුටකි..

“ඇයි ඔයාගෙ පංතියෙ යාළුවො සෙට් එක..?”

“ඒ අය නරකයි කියලා මං කියන්නෙ නෑ.. ඒත් මට ඕනෙ මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්..”

“ඔයා හිතනවද සම්මානි මට ඔයාව තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා.. අනික ළගින් ආශ්‍රය කරපුවත් නැති මාව ඔයාට විශ්වාසද..?”

සම්බන්ධයක් ගොඩනැගීමට පළමුව අවශ්‍ය වන්නේ එකිනෙකා තේරුම් ගැනීම හා විශ්වාසය බව චේතිය ඇදහුවේය.. ඔහු සම්මානිගෙන් ඒ පිළිබද සෘජුව විමසා සිටියේ එහෙයිනි..

“අපි ළගින් ආශ්‍රය කරපු නැති බව ඇත්ත.. ඒත් අපි කාලයක් තිස්සෙ එකම ටියුෂන් පංතියට ආපු අය නේද..? කතා නොකලට අපිට අපේ මූණු මතක තිබුණා නේද..?”

තමාගෙ නිහඩ ආදරය සම්මානි වටහාගෙන ඇති බව චේතියට ඉවෙන් මෙන් දැණුනි.. තමා සැමදා ඇගේ රුව පෙනෙන තැනක අසුන් ගැනීම හා ඈ ගැන උනන්දු වන බව ඇය නිරීක්ෂණය කරන්නට ඇත..

“ඔයා මාව විශ්වාස කරනවානං ඒ විශ්වාසෙ රකින්න මං ලෑස්තියි සම්මානි.. ඔයාගෙ හිතේ තියෙන ඕනම දුකක් ඔයා මට කියන්න..”

වදනින් නොකීවාට ඈ තමාව විශ්වාස කරනා බව චේතිය දනී.. එදා ගල් කන්ද වලව්වේ තමාගේ තුරුළට වී ඉකි බින්ද ඇය 'මට අශේන්ව බදින්න බෑ චේතිය' යනුවෙන් කීවේ ඒ නිසාය..

“කියන්න මහ හුගක් දේවල් මේ හිතේ හිරවෙලා තියෙනවා.. මට ඒ හැමදේම කාටහරි කියලා මගේ හිත නිදහස් කර ගන්න ඕනෙ.. අපිට දවසක මීට් වෙලා කතා කරන්න බැරිවෙයිද චේතිය..?”

ඇයව මුණ ගැසී ඈ ළගට වී ඉන්නට හැකි නම් දවසක් දෙකක් නොව මුළු ජීවිත කාලයටම එය කල හැකි බව ඔහුගේ සිත කීවද ඔහු හදවතට නොව බුද්ධියට මුල් තැන දුන්නේය..

“මට එන්න නං බැරි කමක් නෑ.. ඒත් අපි එහෙම මුණ ගැහිලා කතා කරන එක ඔයාට හොද නෑ සම්මානි.. ඔයා කෙල්ලෙක්නෙ.. අනික අශේන්ගෙ චර පුරුෂයො හතර වටේම ඉදන් ඔයාට ඇහැ ගහගෙන ඇති..”

චේතියගේ කතාවට සම්මානිගේ සිතේ ඇතිවූයේ දැඩි පැහැදීමකි.. වෙනත් පිරිමි ළමයෙකුගෙන් මෙසේ ඇසුවේ නම් ඔහු තමා ගැන සිතීම පසෙකට දමා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනු ඇත..

“එදා ඔයාගෙන් ගුටි කාපු තුන්දෙනත් අශේන්ගෙ චරපුරුෂයො කියලා මං දැනගත්තෙ එදා පාටියෙදි තමයි..”

එසේනම් ඇයද එදින ඔවුන්ව දැක ඇත.. ඔවුන් පිරිස අශේන් සමග ඒක්වී තමන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සැරසුණු බව ඈ දන්නේ නම්.. නොවේ.. ඒ සියුමැලි සිත රිදිවිය යුතු නොවේ.. එහෙයින් ඔහු එය නොකියා සිටීමට තීරණය කළේය..

“ගෙදර කවුරුවත් නැද්ද සම්මානි..?”

ඔහු කතාව වෙනතකට හැරවුයේ ඇගේ සාමාන්‍ය ජීවිතය ගැන තමා කිසිවක් නොදන්නා නිසාය..

“තාත්ති නම් කොහොමත් මේ වෙලාවෙ ගෙදර නෑ.. අම්මිත් ඉතිං අර උත්සවේට යන්න ඕනෙ කියයි.. අරහෙ සමිතියක් කියයි.. මෙතන රැස්වීමක් කියයි.. එහෙම තමා එයාගෙ ජීවිතේ..”

“එතකොට ඔයා තනියෙමද ඉන්නෙ..?”

“නෑ.. ගෙදර වැඩ කරන සුමනා නැන්දා ඉන්නවා.. එයා තමයි මගේ කිට්ටුම හිතවතා.. ඒ ඇරුණම ගෙදර ඩ්‍රයිවරුයි මුර අන්කලුයි ඉන්නවා..”

අතට පයට වැඩකාරයන් උන්නද ජීවිතය කොතරම් නීරසදැයි වටහා ගැනීමට ඔහුට අසීරු නොවිණි..

“සල්ලි තිබුණට මං හිරකාරියක් වගේ චේතිය.. තාත්ති ළග වැඩ කරන මිනිස්සු නං දාස් ගානක් ඉන්නවා.. ඒත් මගේ හිතේ තියෙන දෙයක් කියන්න මට කෙනෙක් නෑ.. සුමනා නැන්දා මාව බලා ගත්තට හැමදේම එයා එක්ක කියන්න බෑනෙ..”

ඇය කීවට ඔහුගෙන් බර හුස්මක් පිටවිනි.. රජ මැදුරක කිරිල්ලියක් වූ ඈ සිය සිතැගි  පැවසීමට තමාව තෝරා ගැනීමට ඔහුට විශ්වාස කළ නොහැකි තරම්ය..

“ඔයා වගේ මං සල්ලිකාරයෙක් නෙමෙයි සම්මානි.. කොටින්ම මං ඔයා වගේ කෙනෙක්ට ආශ්‍රය කරන්න තරම්වත් සුදුසු කෙනෙක් නෙමෙයි.. ඒ නිසා..”

“ඇති චේතිය ඇති.. තව ඔය ගැන වචනයක්වත් කතා කරන්න එපා.. ප්‍රශ්නයක් ආවොත් මං ඒ ගැන බලාගන්නම්..”

ඔහුට සිය කතාව අවසන් කිරීමට ඉඩ නොදුන් ඈ එය කීවේ හැඩුම්බරවය. එය වටහාගත් චේතිය ඉන් එහා ඇගේ සිත රිදෙන කිසිවක් කීවේ නැත..

“ඔයාලගෙ තාත්තා ඔයාව අශේනට බන්දලා දෙන්න යන්නෙ එයා ගැන නොදැනද සම්මානි..?”

මාතෘකාවෙන් පිට පැන්න ඔහු විමසුවේ තමාට වැඩිපුරම නිරවුල් කර ගැනීමට අවැසි ඉසව්ව එය වූ බැවිනි..

“ඒ කියන්නෙ ඔයත් අශේන් ගැන දන්නවා.. එහෙම නේද චේතිය..? අපේ තාත්තිට ඔය ටික නොතේරෙන එකනේ කරුමෙ කියන්නෙ.. එයා ඇතුගල අන්කල් එක්ක හිතවත් නිසා එයාගෙ බොරු වංශක්කාරකමට රැවටිලා..”

“අපි පුළු පුළුවන් විදියට මේ ප්‍රශ්නෙ ඉවරයක් කරන්න බලමු සම්මානි..”

සම්මානිගේ සිත රිදවීමට මනාප නොවූ ඔහු කතාව එතෙකින් නතර කළේය..




No comments:

Post a Comment