Tuesday, April 24, 2012

| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි |






දිනක් අංජුලා සවස් භාගයේ සිතුමිණීගේ දෙමාපියන් මුණ ගැසීමේ අටියෙන් ඔවුන්ගේ නිවසට ගියාය.. පාසල් සමයේ නිරන්තරව ආගිය නිසාත් නිවෙස් දෙක ළග ළග පිහිටා තිබූ නිසාත් අංජුලාට මෙය තමන්ගේ නිවස තරමටම හුරුපුරුදු තැනක් විය..

“ආ.. මේ අපේ අංජු දුවනේ.. එන්න.. එන්න..”


සිතුමිණීගේ මව මූ මාලනී ඇයව පිළිගත්තේ සුපුරුදු සෙනෙහසිනි.. අංජුලා තම අතෙහි වූ පාර්සලය මාලනී අතට දී ඈ සමග නිවස තුළට ගියාය..

“ආන්ටි සිතූලගෙ ගෙවල් පැත්තෙ එහෙම ගියේ නැද්ද..?”

අංජුලාට අවැසි වූයේ ඇය සිතුමිණිලගෙ පවුලේ ජීවිතය ගැන කොතරම් දුරට දැනේදැයි අවබෝධයක් ලබා ගැනීමටය.. ටික වෙලාවක් කල්පනාබරව ඈත බලා හුන් මාලනී සිය හඩ අවදි කලේ නෙනෙතේ කදුළු පුරවාගෙනය..

“අර එදා දූලත් එක්ක උත්සවේට ගියාට පස්සෙ තාම යන්න බැරි උනා.. අනික අපේ දුව උනත් අපි එහේ එනවට වැඩි මනාපයක් නෑ.. කෝල් කලත් වචනෙන් දෙකෙන් ෆෝන් එක තියනවා..”

ඈ සිය දුක් ගැනවිල්ල කියාගෙන යන විට දෙනෙත් නළියමින් උන් කදුළු පොකුරු දෙකම්මුල් තෙමාගෙන ගලා ගියේය.. අංජුලා මහත් අනුකම්පාවකින් ඒ දෙස බලා උන්නාය..

“කෙල්ල තාම ටිකක් තරහින් ඉන්නෙ ආන්ටි.. ඕක ටික දවසකින්  හරි යයි..”

“දූ එහෙ ළගදි ගියාද..?”

“ඔව්.. එදා ආන්ටි දුන්න ෆෝන් එක දීලා එන්නත් එක්ක මං ගියා..”

සිතුමිණී අසනීපෙන් උන් බව හෝ ඔවුන් දෙදෙනා අතර ප්‍රශ්න ඇති බව නොකියන්නට අංජුලා වගබලා ගත්තාය.. එය දැනගත්තොත් මොවුන් දෙදෙනා වුව අසනීප වීමට ඉඩ කඩ ඇත..

“අපේ කෙල්ල හොදින් ඉන්නවද දුවේ..?”

“අපොයි ඔව්.. සිතූට එහෙ හොද සැප.. අර අයිරම්මා උනත් එයාට පණ ඇරලා ආදරෙයි..”

“ඒකි ඉතිං කවදත් සැර දැම්මෙ ගෙදර උන්ට විතරනෙ.. රටේ ලෝකෙ මිනිස්සු ළග පුංචි එකෙක් වගේ..”

තම නෑදෑයන් හෝ සිතුමිණීට වදනකින්වත් දොසක් නොකියන බව දැන උන් මාලනී කීවාය.. පාසලේ ගුරුවරියන්, හෙයෙළියන් වුවද සිතුමිණීට බොහෝ සේ ආදරය කළ බව අංජුලා සිහිපත් කලේ ඇගේ එම කතාවත් සමගය..

“කොච්චර මුරණ්ඩු උනත් ඉතිං මගේ බඩින් වදාපු එකීනෙ.. මටත් ගිහින් බලලා එන්න හිතෙනවා පුතේ..”

ඈ ගොස් සිතුමිණීගේ දුක සැප සොයා බැලීම හොද වුවද එහි ඇති ප්‍රශ්න දැක සිත පාරවා ගන්නවාට අංජුලා අමනාප නොවීය..

“ආන්ටි යන දවසක් කියන්න.. මමත් එන්නම්..”

අංජුලා අනවසරයෙන්ම ගමනට එක් වීම මාලනීගේ නොමද සතුටට හේතු විය..

“ආන්ටි සිතූගෙ හදහන ගෙදර තියෙනවද..?”

අංජුලාගෙ පැනය මාලනී කිසිසේත් බලාපොරොත්තු වූවක් නොවිය.. මේ හදිස්සියේ ඇගේ හදහන සිහි කිරීම නිසා මාලනී තුල හට ගත්තේ දැඩි නොසන්සුන්කමකි..

“ඇයි දරුවො.. කෙල්ලට මොකක් හරි ප්‍රශ්නයක්ද..?”

“අනේ නෑ ආන්ටි.. සිතූට මොන ප්‍රශ්නද..? අපිටනේ ප්‍රශ්න තියෙන්නෙ.. අපේ අම්මා කොහෙන්ද මංදා හොද තැනකින් මගේ හදහන බලවන්න යන්නෙ.. ඉතිං මට හිතුනා සිතුමිණීගෙ හදහනත් එතනට දීලා බලන්න..”

ඈ යමක් වසන් කරත්දැයි දැන ගැනීමට මෙන් මාලනි, අංජුලා දෙස තියුණු බැල්මක් හෙලුවාය.. සිත යට යම් චකිතයක් හට ගත්තද අංජුලා එය යටපත් කර සැහැල්ලු ලෙස සිනාසුනාය..

“මේ අල්ලපනල්ලෙ ඔය ළමයා ඇවිත් හදහන ඉල්ලද්දි මගේ හිත ගැස්සුනා.. ඉන්නකො.. ඒක ගෙයි ඇති.. මං ගෙනත් දෙන්නං..”

මාලනී ගෙයි කාමරයට ඇතුළු වෙද්දී අංජුලාට සැනසුම් සුසුමක් පිටවිය..

“ළගදිත් ගත්ත නිසා උඩින්ම තිබුණා..”

විනාඩි කීපයක් ඉක්ම යාමට මත්තෙන් ඈ හදහන රැගෙන විත් අංජුලාට දුන්නාය..

“ඇයි ආන්ටි ළගදි ගත්තෙ..? ළගදිත් සිතූගෙ වෙලාව බැලුවද..?”

“වෙලාව නෙමෙයි.. මංගල්ලෙට පොරොන්දම් බැලුවනෙ..”

“ඉතිං ඒකට මොකද කිව්වෙ..?”

සිතුමිණීත්, සංදීපත් කොතරම් දුරට ගැලපේදැයි හදහන් මගින් හෝ දැන ගැනීමට ඇය යුහුසුළු විය..

“ඒ දෙක නං අගේට ගැලපුනා.. කෙල්ලට ජීවිත කාලෙම රැජිනක් වගේ ඉන්න පුළුවං කියපු නිසයි අපිත් ඉක්මනට ඕක කරලා දුන්නෙ..”

අංජුලාගේ සිතට මද සහනයක් දැනුණි.. හදහන කෙසේ වෙතත් දෙදෙනා පෙනුමෙන් නම් මනාවට ගැලපෙන බව ඈ දැන උන්නාය..

“මං එහෙනං මේක සතියකින් විතර වගේ ගෙනත් දීලා යන්නං.. ආන්ටි අරෙහෙ යන දවසට මට කෝල් එකක් දෙන්න..”

සිතූගේ හදහන අතට ගත් අංජුලාට හැකි ඉක්මනින් පිටව යාමට අවැසි විය..

“හරි පුතේ.. අපේ එකී අපිට වැඩිය කතා කරන්නෙත් නැති එකෙ මොනවා හරි පණීවිඩයක් ලැබුනොත් ඔය ළමයවත් අපිට ඩිංගක් කියන්න..”

පිටව යාමට මත්තෙන් ඈ කල එම ඉල්ලීම අංජුලාගේ සිත පාරවාලීමට සමත් විය..

                                            ****************************

“ඒයි බලපංකො.. බැදලා මාසයක් නෑ.. මූ දැන්මම මූඩ් ගහන්න පටන් අරන්..”

කාර්යාලීය කෑම මේසයක් මත කල්පනාබරව බලා උන් සංදීපට ඔහුගේ ළගම මිතුරෙකු වූ තිලංක සරදමක් කළේය.. තිලංකගේ කෑ ගැසීමට සංදීපගේ කල්පනා දැහැන බිද වැටුණි..

“ඌට කල්පනා කරන්න දේවල් කොත්තර ඇත්ද බං..? උඹ මෙන්න මෙහෙට වෙලා ඉදපං..”

අමිල, තිලංකව තල්ලු කර දැමුවේ බලා ඉන්නවුන් සිනා සයුරේ ගිල්වමිනි.. නමුත් සංදීපට නම් සිනා නැගුණේ නැත..

“වයිෆ් කාලා ඇති බං දැන්.. උඹ කාපං..”

තිලංක කීවේ සංදීප තවම දිගෑරියෙවත් නැති බත් පත පෙන්වමිනි.. තමා නිවසේ සිටයදී වුවද තම කෑම බීම ගැන නොසොයන සිතුමිණී මේ වන විට ආහාර ගෙන අවසන් බව සංදීප හොදින්ම දැන උන්නේය.. ඔහු බත් පත දීගෑර ගත්තේ මිතුරන්ගේ වදෙන් බේරීමට නොහැකි නිසා මිස බඩගින්නක් තිබුණු නිසා නම් නොවේ..

“ෂා.. මුගේ බත් එක මාර සුවදයිනෙ.. ඔන්න බලපං මිනිස්සු බැන්දට පස්සෙ වෙනස් වෙන හැටි..”

සැබෑවටම සංදීපගේ බත් පතෙන් විහිදුනේ ප්‍රණීත සුවදකි.. එම වෙනස සිතුමිණී නිසා නොව අයිරම්මා නිසා සිදුවූවක් බව දැන උන්නේ සංදීපම පමණි.. මීට පෙර ඔහුගේ ආහාර පිළියෙල කලේ ඔහුගේ මවය.. නමුත් දැන් එය අයිරම්මා විසින් බාරගෙන ඇත.. ඈ මනා අත් ගුණයකින් යුතු තැනැත්තියක් වන අතර ඇයට ගම්බද කෑම ජාති පිළියෙල කිරීමටද හොද හැකියාවක් තිබේ..

“ඕකට ඉතිං සංදීපයට ඊරිසියා නොකර උඹත් කසාදයක් බැදගනිං.. එතකොට උඹටත් වළලු දාපු අතකින් කටට රහට කෑම වේලක් කන්න පුළුවන්..”

තිලංක එය කීවේ තවමත් අවිවාහකව උන් අමිලටය.. ඔහු තිලංකට දිව ඇදර කර විත් සංදීපගේ බත් පත ළගින් ඉදගත්තේය..

“ඒයි අමිලයො.. උඹ ඕක කන්න එපා.. උගේ වයිෆ් ඕක ඔතලා තියෙන්නෙ ආදරෙත් දාලා..”

මිතුරන්ගේ කතාවට සංදීපට යටි සිතින් සිනහා නැගුනේය.. සිතුමිණීගේ ආදරය.. ඔහුට එය සිහිනයක් පමණි..

“නෑ බං මං ආදරේ කන්නෙ නෑ.. ඒක අයින් කරලා බත් විතරක් කන්නං..”

“කට වහගෙන කාපං බං.. උඹලා මේ විකාර කියවනවා..”

සංදීපගේ හඩට අමිල තිගැස්සී බැලුවේය.. මිතුරාගේ මුහුණ මලානික වී ඇත.. ඔහු කුමක් හෝ ගැටලුවකට මැදිව ඇති සෙයකි.. තමා ඔහුව විහිළුවකට ගැනීම ගැන අමිලට දැඩි පසුතැවීමක් දැනෙන්නට විය..

“උඹ අවුලකද හිටියෙ..? සෙරි මචං..”

“නෑ.. මං වෙන කල්පනාවක හිටියෙ.. ඉට්ස් ඕකේ..”

“මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කියපං සංදීප..”

අමිල යනු ඕනෑම දෙයක් විවෘතව කතා කල හැකි ආකාරයේ පරම මිතුරෙකු බව සංදීප දැන උන්නේය.. නමුත් ඔහුට තිබුණේ මිතුරන්ට පවා කිව නොහැකි ආකාරයේ ගැටලුවකි..

“උඹ ළගදි ඉදලා කල්පනා කරනවා වැඩියි කියලා අපේ සෙට් එකටත් නෝට් වෙලා තියෙන්නෙ.. සිතුමිණීගෙ අවුලක් නෙමෙයි නේද..?”

“පිස්සුද බං.. සිතූගෙ මොන ප්‍රශ්නද..?”

ඔහු ඇගට පතට නොදැනෙන සේ බොරුවක් කීවද අමිල එය සියයට සියයක් විශ්වාස කළේ නැත..

එදා සංදීපගේ මධුසමය සදහා වෙන්කර තිබූ කණ්ඩලම හෝටලයට තිලංක හා දේවක ඔවුන්ගේ බිරියන් සමග යන බව කී විට අමිලද එම ගමනට එක්විය.. වසර දහයකටත් අධික කාලයක් තිස්සේ දැන හැදිනුම්කම් තිබු ඔවුන් සැබෑවටම හොද මිතුදමකින් බැදී උන්නේය.. ඔවුන්ගේ සමාගමට එක් වන නව සාමාජිකාව හදුනා ගැනීමට පිරිස සැදී පැහැදී උන්නද සිතුමිණී වැඩිය ඔවුනට මුහුණ දුන්නේ නැත.. ඈ පිරිසේ අනිත් සාමාජිකයින්ට වඩා වසර හය හතකින් පමණ බාල වීමද ඔවුන්ගේ පුදුමයට හේතු උනි..

සංදීප ළග නැති අතරේ ඔවුන් බොහෝ අදහස් හුවමාරු කර ගත් අතර සිතුමිණී හා සංදීප අතර කුමක් හෝ ගැටළුවක් ඇති බව ඔවුන්ට වටහාගත හැකි විය..

“උඹ ඔය අප්සට් මූඩ් එක දාගෙන කොල්ලො ඉස්සරහට එහෙම යන්න එපා.. අනිත්මට උන්ටත් සංදීප සර් බයිට් එකක් වෙයි..”

ආයතනයේ මානව සම්පත් කළමණකාරු ලෙස සේවය කළ සංදීපට සේවකයන් අතරේ ඉතා හොද පිළිගැනීමක් තිබිණි.. එය පළුදු වනවාට නම් අමිල කිසිසේත්ම කැමති වූයේ නැත..

“උඹ කියන දේවල් මට තේරෙනවා බං.. අපි ෆ්‍රී දවසක සෙට් වෙලා කතා කරමු..”

සංදීපට කතා කිරීමට තරම් යමක් වූ බව අමිල ඉන් වටහා ගත්තද ඔවු ඒ පිළිබදව කියනා තෙක් තමා නිහඩව සිටින්නෙමි අමිල අදිටන් කර ගත්තේය..

“මට කන්න බෑ මචං.. උඹ කාපං..”

සංදීප බත් පතෙන් කටවල් දෙක තුනකට වඩා කෑවේ නැත.. ඔහු එය අමිලට දී අත සෝදා ගනිද්දි එහා මේසයේ උන් තිලංකද පුදුමයෙන් මෙන් බලා උන්නේය..

“මොකක්ද බං මූට මේ වෙලා තියෙන්නෙ..? ඕන වෙලාවක බැලුවොත් අහස පොළව ගැටගහන්න වගේ කල්පනාව..”

සංදීප නැවත සිය කුටිය වෙත යන තෙක් බලා උන් අමිල, තිලංක දෙසට හැරී විමසුවේය.. ඔහු උන්නේද කිසිවක් වටහා ගත නොහැකි පරිද්දෙනි..

“මූ අපෙන් මොනවා හරි හංගනවා මචං.. මටත් තාම හිතාගන්න බෑ..”

තිලංක සැබැවින්ම සිටියේ දොලොවක් අතර අතරමං වීගෙනය.. එදින කණ්ඩලම හෝටලයට ගිය ගමනේද සිතුමිණීට ඇදුම් මාරු කර ගැනීමට උදව් වී ඇත්තේ තිලංකගේ බිරිද වන අතර ඈ බොහෝ සෙයින් සිතුමිණීගේ ගුණ වර්ණනා කල බව තිලංකගේ මතකයේ තිබිණි..

“සිතුමිණී අප්සට් කේස් එක්ක කියලා හිතන්නත් බෑ බං.. අපේ කල්පිට ලේසියෙන් කෙනෙක් දිරවන්නෙ නෑනෙ.. ඒත් එයා සෑහෙන්න සිතුමිණී ගැන හොද කිව්වා..”

අමිල දිගට හරහට සංදීපගේ බත් එක ගිල දමන අතර තුර තිලංක තම සිතැගි හෙළි කළේය..

“ඒකි කොහොමත් ජපන් බෝනික්කෙක් වගේ ඩයල් එකක්නෙ බං.. අපේ එකාට ඒ නිසා ගෙදර දාලා එන්න බයද දන්නෙත් නෑ..”

සිතුමිණීගේ රූ සපුව ප්‍රථම වරට දුටු විට තමාගේ  හදවත කම්පනය වූ බව අමිලට සිහිවිය.. ඔහු එදා එම හැගීම යටපත් කර ගත්තේ බ්‍රැන්ඩි බෝතලයක් හිස් කිරීමෙනි..

“කොහොමටත් ලාබාල ලස්සන ගෑණු ගත්තම පිරිමි අපි සැමදා දුකේ.. ඒ නිසා බදිනන් කලින් ඒ ගැනත් හිතපං..” 

තිලංක බොහෝ ඇසූ පිරූ ඇති අයෙකු සේ උපදෙස් දෙද්දී අමිලගේ මුවගට අමුතු සිනාවක් නැගී ආවේය..

නැවත සිය කුටියට ගිය සංදීපට සිත එකග කරගෙන වැඩක් කළ හැකි වූයේ නැත.. ඔහුට මිතුරන්ගේ කතා බස් නැවත නැවත සිහිපත් වීමට ගත්තේය..

“බලපං බැන්දට පස්සෙ මිනිස්සු දියුණු වෙන  හැටි..”

අමිලගේ වදන් තමාගේ සිතේ පත්ලට ඇනී ගියේ හී පහරක් සේ බව සංදීපට සිහිපත් උනද විවාහයට පෙර ජීවිතය හා මේ ගෙවන ජීවිතය අතර ලොකු වෙනසක් දැනුනේ නැත.. තමා විවාහ වීමට පෙර මීට වඩා සැහැල්ලුවෙන් සතුටින් උන් අතර දැන් එම සතුටද අහිමි වී තිබේ..

“මට නං කට පුරෝලා දුවේ කියන්න පුළුවන් දරුවෙක් ලැබුණා..”

ගෙට ගෙවදීමේ උත්සවය දා සිතුමිණී, සංදීපගේ මවට දණ ගසා වැදි මොහොතේ ඈ විසින් කියන ලද්දක් සංදීපගේ දෙසවන් වල රැවිපිළිරැව් දෙන්නට විය.. සිය බිරිද ලෝකය හමුවේ මෙතරම් අහිංසක වී තමාට පමණක් වෙනස්කම් කිරීම නිසා ඔහුට දැනුණේ දැඩි අනුකම්පාවකි.. මෙම තත්වය හමුවේ සිතුමිණිගේ සැබෑ ස්වරූපය කිසිවෙකුට පැවසීමේ හැකියාවක්ද නැත.. පැවසුවද ඔවුන් එය විශ්වාස නොකරන බවද ඔහු දනී..

                                           *****************************

අංජුලා ඇගේ මව සමග කන්දෙ විහාරයට ගොඩ වැදුනේ සිතුමිණීගේ හදහන බලවා ගැනීමටය.. මෙහි නායක හාමුදුරුවන් පලාඵල කීමෙහි දක්ෂයකු බව ඔවුන් අසා තිබිණි.. ඔවුන් දෙපලට හාමුදුරුවන් මුණ ගැසීමට ලැබුනේ පැය භාගයකට ආසන්න කාලයක් බලා සිටීමෙන් අනතුරුව වුවද තම දයාබාර යෙහෙළිය වෙනුවෙන් පැය භාගයක් අපතේ යාම අංජුලාට නම් ගැටළුවක් නොවිය..

“මේ හදහන මේ දැරිවිගෙ වෙන්න බෑ..”

කේන්දරය බලූ සැනින් උන් වහන්සේ කීවේ අංජුලා හා මව පුදුමයට පත් කරමිනි..

“එහෙමයි අපේ හාමුදුරුවනේ.. දුවගේ යාළුවෙක්ගෙ..”

අංජුලාගේ මව යටහත් පහත් ලෙස පිළිතුරු දුන්නේය..

“බොහොම සැප සම්පත් ඇත්තියක්.. වරක් බැලුවොත් දෙවරක් බලන්න සිතෙනවා..”

“එහෙමයි..”

“හැබැයි වෙලාවකට හිතුවක්කාරයි.. නමුත් ඒ යම් කාරණා සම්බන්ධයෙන් විතරයි..”

අංජුලා පමණක් නොව ඇගේ මවද උන් වහන්සේ දෙස බලා උන්නේ පුදුමයෙනි.. හෙතෙම මේ දේවල් පවසන්නේ සිතුමිණී දෙස බලා ඉන්නා ලෙසින්ය..

“මේ හදහනේ හැටියට නම් විවාහය බොහොම ඉක්මන්.. ඒත්..”

අංජුලා බිය වී බැලුවාය.. ඇයට වඩාත්ම දැන ගැනීමට අවැසි වූ දෙයට උන්වහන්සේ ඒත් යැයි කීම ඇගේ සිත නොසන්සුන් කිරීමට සමත් විය..

“හිත ගිහින් තියෙන්නෙ වෙන තැනකට..”

“හාමුදුරුවනේ.. ඒ විවාහය අසාර්ථක වෙයිද..?”

තවත් බලා හිදීමට නොහැකි වූ ඇය හරස් ප්‍රශ්නයක් නැගුවාය..

“හිත ගිය කෙනා වගේ නෙමයි.. විවාහ වුන කෙනා බොහොම ගුණ ගුරුකයි..”

“එහෙමයි..”

“ඒ උනත් දරුවො.. මේ පවුල් ජීවිතේ ඇතුළෙ ඝට්ටන එමටයි.. මේ ගෙවෙන්නෙ දරුණු අපල කාලයක්..”

අංජුලා මවගේ අත දැඩිව ග්‍රශණය කර ගත්තාය.. ඇයට සිතුමිණී ගැන දැඩි බියක් දැනුණි..

“ලොකු හාමුදුරුවනේ.. ලොකු හාමුදුරුවනේ..”

ආවාස ගේ පිටුපස සිට හැල්මේ දුව ආ සාමනේර නමක් අංජුලා හා මව දැක ගල් ගැසී නතර විය..

“මොකද පොඩි නම හති දාගෙන..?”

“තිස්ස.. තිස්ස..”

පොඩි හාමුදුරුවෝ යමක් කියන්නට ගොස් යළි එය ගිලගත්හ..

“ඇයි.. තිස්සට මොකද වෙලා තියෙන්නෙ..?”

“තිස්ස හාමුදුරුවො.. අර..”

“ඔව් ඉතිං..”

“අර පහල අඹරැල්ල ගහෙන් බිමට වැටුණා..”

පොඩි නම තැති ගැන්මෙන් කියූ ඒ කතාවට අංජුලාට සිනහ පහළ විය.. නමුත් ලොකු හාමුදුරුවෝ බොහෝ කලබල වූ ලෙසින් නැගිට ගත්හ.. උන් වහන්සේ හදහන තිබූ ලෙසටම නමා අංජුලාගේ අතට දුන්නේ දැන් තමා පිටව යා යුතු බව ඇගවීමට මෙනි..

“මේ ඇත්තිලා විවේක වෙලාවක එන්නකො..”

හාමුදුරුවන්ගේ එවදන් ඇසුණු අංජුලා හා මව උන් වහන්සේට දණ නමස්කාර කලහ.. නමුත් තමා පැමිණි කාර්ණය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ නිසා අංජුලා උන්නේ තරම කනස්සල්ලෙනි..

“අපේ හාමුදුරුවනේ පඩුරු..”

උන් වහන්සෙ නැවත කුටිය දෙසට පිය මැනීමට සැරසෙනු දුටු අංජුලාගේ මව බුලත් කොළයක ඔතන ලද පන්සියයේ නෝට්ටුවක් අතට ගත්තාය..

“මේක මුදල් පරමාර්ථයෙන් කරන දෙයක් නෙමෙයි නෝනෙ.. මේක සේවයක්.. චීවරේ ඉදගෙන ව්‍යාපාර කරන එක අකැපයි..”

“සමාවෙන්න හාමුදුරුවනේ..”

තවත් එතන නොරැදුනු උන් වහන්සේ පොඩි හාමුදුරුවන් සමග ආවස ගේ පිටුපසට වඩිනු බලා උන් මව සහ දියණිය පිටත් වීමට සැරසුණහ..

“පොඩි හාමුදුරුවරු මොකට ගස් උඩ නගිනවද මංදා.. ඒකෙන් අපේ වැඩෙත් කරගන්න බැරි උනා..”

සිතේ තිබූ තරහව අංජුලාගේ මුවින් පිටවූයේ පාරට පැමිණියාටත් පසුවය..

“පව් දූ.. එහෙම කියන්න එපා.. චීවරේ දාගෙන හිටියට තාම සෙල්ලං වයසෙ දරුවොනෙ..”

මවගේ කතාව නිසා ඈ නිවසට එනතෙක් යළි කිසිවක් පැවසුවේ නැතුවාට ඇගේ සිත දොඩමළු වි තිබිණි..  



 

No comments:

Post a Comment