Monday, April 30, 2012

| ගල් කන්ද වලව්ව | ගයනා එස්. ලක්මාලි |






උදා වූයේ සැමටම කාර්යබහුල දිනයකි.. අශේන් බේබිගේ උපන් දිනය නිසා එදින ගුණවතී උදෑසනම වල්වව්ට යා යුතු විය.. පුංචි මිහිරාවි සුපුරුදු පරිදි අසල්වැසි ඇලිසාට බාරවිණි.. නිවසේ සිටම සූදානම්ව ගියහොත් තමාව හදුනාගතැයි සිතුණ චේතියද සිය ඇදුම් පැළදුම් සියල්ල රැගෙන රංගගේ නිවසට ළගා විය..

“අද එතනට තද පොරවල් එහෙම එයි.. අශේනයගෙ කොල්ලො සෙට් එකට උනත් සෙකන්ඩ් වෙන්නෙ නැති විදියට අපිත් යං..”


එසේ කී රංග දුරකථන ඇමතුමක් දී කලනවද සිය නිවසට ගෙන්වා ගත්තේය.. දහවල් වන විට ඔවුන් තිදෙනා රංගගේ සොහොයුරා ගෙන් දුන් විදේශිය ඇදුම් වලින් සැරසුණි..

“උඹට ඔය බොරු කොණ්ඩෙ දාගෙන ජෙල් ටිකක්වත් ගාගන්න විදියක් නෑ නේද..?”

සුපුරුදු වේශ නිරූපණය දමාගත් චේතියගේ කොණ්ඩය අතගා කලන විහිළු කළේය..

“තව ටික දවසයි බං මෙහෙම යන්නෙ.. ඊට පස්සෙ මං වලව්වට පය තියන්නෙ මගේ සැබෑ ස්වරූපයෙන්..”

“එදාට තමයි හාමුවා උඹට ඉලපත ගන්නෙ..”

“ඌ කොහෙද බං එච්චර කෙරුමෙක් වෙන්නෙ..? කොහොමටත් තුරුම්පු ටික අතට ගන්නකල් මං හදිස්සි වෙන්නෙ නෑ”

රංග චේතියගේ කතාවට සවන් දෙන අතරතුර සිය අල්මාරියෙන් මිල අධික විලවුන් බෝතලයක් ගෙන සිරුර පුරා තවරා ගත්තේය.. 

“ආ.. ගාපං..”

ඔහු එවරද සිය පරිත්‍යාගහීලීත්වය පෙන්විය..

“අපිට එන්න කිව්වෙ දවල්ටද.. රෑටද..?”

කලන එම ප්‍රශ්ණය නැගුවේ සියළු දෙනා පිටත් වීමට සැරසුණ විටය..

“වෙලාවක් කිව්වෙ නෑ බං.. අනික අපේ අම්මා කිව්වා දවසෙම පාටිය තියෙනවා කියලා..”

“මලා..”

චේතිය කතා කරන අතරතුර රංග කලබලයෙන් සිය නළලට අත ගසා ගත්තේය..

“කවුද මලේ..?”

කලන ඇසුවේ සිනාසෙමිනි..

“අපි යන්නෙ බර්ත් ඩේ පාටියකටනේ බං.. කෝ ඉතිං තෑග්ගක්..?”

අනෙක් දෙදෙනාටද මෙතෙක් එය සිහිපත් වූයේ නැත..

“දැන් මොකද කරන්නෙ..? තෑගි හොයන්න යන්න වෙලාවකුත් නෑ.. අනික අශේනයා සෝබනකාරයා බං.. ඌට අපි දෙන තෑගි වැඩක් වෙන එකකුත් නෑ..”

චේතිය කීවේ අශේන්ගේ විස්තර ඔහු දැන උන් නිසාය..

“එහෙම කියලා අතපය වන වන යන්න බෑනෙ බං..”

එසේ කී රංග ඔහු සතුව තිබූ දවටනය ඉවත් නොකරන ලද විලවුන් බෝතලයක් අලුත්ම ඉටි බෑගයකට දමා ගත්තේය..

“මෙන මොනවා කරන්නද ඉතිං.. දැනට මේකවත් ගෙනියමු.. ඌ සෝබනේ දැම්මොත් ආපහු අරන් එමු..”

රංග කී දෙයට චේතියද හා කලනට සිනා නැගුණි..

“එහෙනං හරිනේ.. මං තාත්තට කිව්වා ටිකක් වෑන් එක එවන්න කියලා.. අපි ඒකෙ යමු..”

ඔවුන් දහවල් දොලහයි තිහ පමණ වන විට ගල් කන්ද වලව්වට ළගා වූහ.. පෙරදා දුටුවාට වඩා වලව්ව සෑහෙන වෙනස් මුහුණුවරක් ගෙන තිබීම ඔහුන්ගෙ මවිතයට හේතු විය..

“බලපංකො බං සරසලා තියෙන හැටි.. හරියට මගුල් ගේකට වගේ..”

මිදුල පුරා විදුලි බුබුළු වැල් එල්ලා පුටු දමා ඉතා උත්කර්ශවත් ලෙස සරසා තිබිණි..

“මුගේ හැම උපන්දිනේම මේ වගේද..?”

කලන චේතියගේ කණට කර විමසුවේ මෙය අධික වියදමක් දරා සැලසුම් කර තිබූ උත්සවයක් නිසාය..

“දන්න තරමින් වෙනදට පාටි තිබුණෙ කොහේ හරි හෝටලේක.. මං හිතන්නෙ ළමාතැනී නැති උනාට පස්සෙ වලව්වෙ මේ තරම් ලොකු පාටියක් දාන පළවෙනි පාර..”

කතාවෙන් කතාව ඔවුන් පිරිස අතරින් ගල් කන්ද වලව්වේ ප්‍රධාන ද්වාරය කරා ළගා වූහ..

“කවුද මේ ඉලංදාරියා..?”

ඇතුගල හාමු මහතාට චේතිය ඇතුළු මිතුරන් දෙදෙන හදුනා ගැනීමට නොහැකි වී තිබිණි..

“හාමු මහත්තයා.. අපි අර බාල දක්ෂ..”

“ආ.. මතකයි.. මතකයි.. කොල්ලො තුන්දෙනා අද අදුරන්නත් බැරි තරම්නෙ..”

කලන සිය හදුන්වා දීම අවසන් කරන්නටත් පෙර ඇතුගල හාමු සිය කටහඩ අවදි කළේය.. එය ඔවුනට තරමක ආඩම්බරයක්ද විය..

“කෝ.. අශේන් බේබි නැද්ද..?”

අශේන්ව බේබි ලෙස හැදින්වීමට තරම් කැමැත්තක් නොවුනද රංගට මේ අවස්ථාවේ වෙන කල හැක්කක් නොවිය..

“හිටියා.. හිටියා.. ඔය යාළුවො ටික එක්ක ගල් තලාව පැත්තට ගියේ.. ඔය ළමයි ගෙට ගිහින් මොනව හරි බීලා ඉමුකො..”

පිරිස පිළිගැනීමට උපන්දිනකාරයා නොවුනද හාමු මහතාගේ ඉල්ලීම පිට ඔවුන් වලව්ව තුළට පිවිසයහ.. පැමිණ උන් සියළු අමුත්තන් වැදගත් පෙනුමැති ප්‍රභූවරුන් වුවද චේතියලා ඒ අතර හෑල්ලු වන මට්ටමේ නොවූහ.. විශේෂයෙන් චේතිය අන් දෙදෙනාටම වඩා මනා පෞරෂයකින් යුක්ත විය..

“වලව්කාරයෙක් වෙන්නත් පෙර පිං කරලා තියෙන්න ඕන බං.. බලපංකො අශේන්ට තියෙන සැප..”

“මේ මිනිහගෙ කී වෙනි උපන්දිනේද චේති..?”

“මං හිතන්නෙ විසි හතරක් විතර ඇති..”

ඔහු පිළිතුරු දුන්නේ අනුමාන වශයෙනි..

“ඒ කියන්නෙ මිනිහා අපිට වඩා අවුරුදු හයක් විතර වැඩිමල්..”

වලව්ව ඇතුළත ලොකු කවිච්චියක වාඩි ගන්නා අතරතුර කලන විමසිය.. එයට යමක් නොකී චේතිය වලව්ව ඇතුළත බැලුවේ තම මව පෙනෙන්නට සිටීදැයි දැන ගැනීමේ අරමුණෙනි.. ඒ අතරතුර රංගගේ ඇස් දිව ගියේ ළමාතැනීගේ පින්තූරය වෙතය.. ඔහු එදා කලන කී දෑ ඔස්සේ ළමාතැනීව හා චේතියගේ නැගණියව සිතින් සංසන්දනය කරමින් උන්නේය..

“මචං.. අරුන් තුන්දෙනාම ඇවිත්..”

මොහොතකට පසු උඩුමහලේ සිට බැස එන කොලු රෑන පෙන්වූ කලන රංගගේ කණට කර කීවේය.. චේතිය ඒ වන විට උප්පේ හේතුහාමි සමග කතාබහකය නියැලීගෙනය..

“කවුද තුන්දෙනා..?”

රංග ඇසුවේ කුතුහලයෙනි.. ඊට පිළිතුරු ලෙස කලන හිසින් පෙන්වූයේ අමතර පංතියේ සම්මානිගේ සිද්ධියට අදාල රස්තියාදුකාරයින් තිදෙනාවය.. ඔවුන් දෙදෙනෙකුගේම තුවාල කැළැල් තවම ඉතිරිව ඇත..

“පොඩ්ඩක් ෂේප් වෙලා ඉමු.. පිටදි වගේ නෙමෙයි.. මේ වගේ තැනකදි වලියක් ගියොත් අපිට පාඩුයි..”

රංගට අනතුරු ඇගවීමක් කළ කලන තම හිස පහතට හරවා ගත්තේය.. රැගෙන ආ තෑග්ගද තෑගි තැබීම සදහා වෙන් කර තිබූ මේසයෙන් තැබූ රංග මිතුරන් දෙදෙනා සමග මිදුලේ පුටු දමා තිබූ නිස්කලංක පෙදෙසකට ගමන් ගත්තේය..

“තේරු මෝරු අස්සෙ හාල් මැස්සො රිංගන්නෙ මොකටද බං..? අපි මෙන්න මෙහෙට වෙලා ඉමු.. අනික මුගේ අම්මා උනත් මේ පැත්තට එන එකක් නෑනෙ..”

රංගට ඇසක් වසා ඉගි කළ කලන එවි වාඩි ගත්තේ අර මැරවරයන් තිදෙනා මග හැරීමට බව චේතිය දැන උනනේ නැත.. ඔහු කලන කී දෑ ඔස්සේ සිය මව ගැන සිහිපත් කලේය.. තමා වටිනා ඇදුම් පැළදුම් වලින් සැරසී මෙම උත්සවයේ අමුත්තෙකු වී උන්නද තම මව මේ මොහොතේ වලව්වේ දාසියක වී කුස්සියේ කල් ගත කරන බව ඔහුට වාවාගත නොහැකි විය.. ඊටත් වඩා ඔහුගේ සිතට වද දුන් කාරණය වූයේ නැගණිය තම නිවසේ දමා තනිව රජ බොජුන් භුක්ති විදීමට සිදු වීමයි..

“කෑම බීම සේරම කේටරින් එකකට බාර දීලද කොහෙද..”

මිදුලේ මේසයෙන් මේසෙට ගමන් කරමින් සංග්‍රහ කරන වේටර්වරුන් දුටු රංග කීවේය.. එය නෑසුන චේතිය තවමත් උන්නේ කල්පනාබරවය..

“මොනවද බං අහස පොළව ගැටගහන්න වගේ කල්පනා කරන්නෙ..?”

ගල් කන්ද වලව්වට පා නගන සෑම විටම චේතිය කල්පනාවට යොමු වන නිසා කලන ඔහුගේ දැහැන බිද දැමුවේය..

“මං මේ කල්පනා කරන්නෙ අදින් පස්සෙ මොනව කියලද වලව්වට රිංගන්නෙ කියලා..”

“උඹත් බලන් යද්දි අම්මයි තාත්තයි වගේ ගල් කන්ද වලව්වටම කඹුරන්නද කොහෙද හිතන් ඉන්නෙ..” 

රංග සිතා මතා නොකිව්වාට චේතියගේ සිත බිදිණි.. ඔහු වලව්වට පැමිණියේ යටි සිතේ වූ කුතුහලයක් සන්සිදුවා ගැනීමට මිස වලව්වට දාසකම් කිරීමට නොවේ.. මිතුරන් නොමැතිව හෝ පැමිණ තම සිතැගි ඉටුකර ගැනීමට ඔහු මේ වන විට අදිඨන් කරගෙන උන්නේය..

“අපේ තාත්තා කාලයක්ම කළේ උඹ කිව්වා වගේ වලව්වට කඹුරපු එක.. සමහර විට හේතුහාමි එයා ගැන විස්තර දන්නවා ඇති..”

සුදු සරමක් හා අත් කොට ෂර්ටයක් හැද සෙනග අතරේ එහා මෙහා යන හේතුහාමි දෙස මොහොතක් බලා උන් චේතිය කීවේය.. ඒ ඇසි රංගට තමා කල වරද වැටහිණි..

“සොරි මචං.. මං උඹව කන්ඩෙම් කරන්න හිතාගෙන එහෙම දෙයක් කිව්වෙ නෑ.. ඒත් උඹ මේක අස්සටම රිංගන්න හදනකොට මට තරහා ගියා..”

මිතුරා තමාව පහත් කොට නොසලකන බව නම් චේතිය හොදින්ම දන්නේය.. නමුත් ඔහුට ඉවසුම් නොදුන්නේ රංග තමාව තේරුම් නොගැනීම පිළිබදවය..

“අපේ අම්මා.. තාත්තා.. මං.. චූටි.. අපි හැමෝම මොකක් හරි විදියකින් මේ වලව්වට සම්බන්ධයි.. එහෙම කියලා අපි හැමදාම මේ වලව්වෙ දාසයො වෙලා ඉන්න ඕනෙ නෑ බං.. මං මේ හදන්නෙ ඒ තත්වෙන් මිදෙන්න..”

ඔහු තම සිතැගි මිතුරන්ට වටහා දෙන්නට උත්සාහ ගත්තේය.. ඒ අතරතුර එතනට පැමිණි අශේන් අනපේක්ෂිත ලෙස ඔවුන් ඉදිරියේ අසුන් ගත්තේය..

“ඔයාලා..?”

ඔහු ප්‍රශ්නාර්තයක් රැදි දෑසින් විමසුවේ තිදෙනා දෙසම තියුණු බැල්මක් හෙලමිනි.. නමුත් ඒ ඇස් වැඩි වේලාවක් රැදී තිබුණේ චේතියගේ මුහුණ මත්තේය.. 

“අපි බාල දක්ෂයො.. හාමු මහත්තයා තමයි අපිට අද එන්න කියලා ආරාධනා කළේ..”

කලන මවා පෑ සුහදත්වයකින් ප්‍රකාශ කර සිටියේය..

“රා..යිට් අප්පච්චි කිව්වා තමයි.. නයිස් ටු මීට් යූ..”

තිදෙනාටම අතදුන් අශේන් එතනින් ඉවත් වීමට ගොස් යළි හැරුණේය..

“හිතේ හැටියට එන්ජෝයි කරපං මචං.. ඔන්න රෑ වෙනකල් යන්න බෑ හරී..”

චේතියගේ පිටටත් පහරක් එල්ල කළ ඔහු යන්න ගියේය..

“හිතපු තරම් යකා කළු නෑ බං චේති..”

ඒ සුහදත්වය අදහාගත නොහැකි තරම් වූ රංග කීවේය..

“කතා කරලා පුළුවන්ද බං මිහිහෙක් තේරුම් ගන්න.. ඕකගෙ කෙරුවාවල් මං දන්නවා.. දෙකක් දා ගත්තම ඌට මතක නෑ ඌ කවුද කියලා..”

චේතිය කීවේ මිතුරන් නොදැන උන් යමකි.. රංග කෙසේ වෙතත් කලන නම් එය වටහා ගත් නිසාවෙන් හිස සැලුවේය..

දහවල් ආහාරයද සිත් සේ භුක්ති විදි චේතිය ඇතුළු පිරිස සවස් වන තුරු වලව් වත්තට වී සතුටු සාමිච්චියේ යෙදී උන්හ.. චේතියට විටින් විට තම මව සිහිපත් වුවද කුස්සියට ගොස් ඇය පිළිබද සොයා බැලීමට නුසුදුසු හෙයින් ඔහු ඉවසා සිටියේය..

“අශේනයා කිව්වට රෑ වෙනකල් ඉන්න බෑනෙ මචං.. අපි ගෙදර යං..”

සවස තුන හතර පමණ වෙද්දී කලන විටින් විට පැවසිය.. නමුත් චේතියට නම් දැන්ම පිට වීමේ අවශ්‍යතාවක් නොවිණි..

“එන තරමක් එන්නෙ ලක්සරි වාහනනෙ චේති..”

ගේට්ටුවෙන් ඇතුළු වූ නවීන පන්නයේ මෝටර් රථයක් පෙන්වූ කලන චේතියගේ අවධානය එදෙසට යොමු කළේය.. එදෙස මොහොතක් බලා උන් චේතියට ඉන් බසිනා රුව දැක සිය දෑස් අදහා ගැනීමට නොහැකි විණි.. ඔහු පමණක් නොව රංග හා කලනද එදෙස බලා උන්නේ පුදුමයෙනි..

“මොනවද බං මේ වෙන්නෙ..? මෙයා කොහෙද මෙහෙ..?”

සේනාධීර සමූහ ව්‍යාපාරයේ අධිපති නලින්ද සේනාධීර සමග රියෙන් බැසි සම්මානි මොහොතක් වටපිට බැලුවේ චකිතයෙනි.. අනෙක් පස දොර හැරි ඇගේ මවද රියෙන් බැස ගත්තාය.. අලුත්ම විලාසිතාවේ දිගු ගවුමක් ඇද උන් සම්මානි සිය වරලස මුදා හැර තිබිණි.. ඉන් ඇගේ සුන්දරත්වය වඩාත් කැපී පෙනුණි.. ඇදුමේ වර්ණයද ඇගේ සමේ වර්ණයට මනාව ගැලපුණේය..

“අයි කාන්ට් බ්ලීව් දිස්..”

රංග වදනක් හෝ දෙඩුවද චේතියගේ මුව අගුල් වැටී ඇත්තා සේය.. ඔහු දෙමාපියන් සමග වලව්ව දෙසට පිය නගන සම්මානි දෙස ඇසිපිය නොහෙලා බලා උන්නේය..

“එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ.. ඇතුගලලා සේනාධීරලා කියන්නෙ එක වල්ලෙ පොල්නෙ.. පොලිස් ලොක්කොයි ප්‍රාදේශිය සභාවෙ කට්ටියයි තව තදයොයි ආපු එකේ සේනාධීරලා නාවනං තමයි ප්‍රශ්ණෙ..”

තරමක් වේලා කල්පනා කල චේතිය සිදුව ඇති දේ අනුමාන කළේය.. නමුත් සම්මානිද ඇතුළුව සේනාධීර පවුලම මෙම සාදයට පැමිණීමේ යම් රහසක් ඇතැයි කලනට සිතුණි..

“අපෙත් වෙලාව නරක නෑ චේති.. ආපු එකෙ කෙල්ල හරි බලා ගත්තනේ.. බලපංකො ඒකිගෙ ලස්සන.. ජුහී චව්ලා වගේ..”

රංග තත්වය සන්සුන් කිරීමේ අරමුණින් විහිළුවක් කර සිනාසුනේය.. නමුත් ඒ සැහැල්ලු මානසිකත්වය ඔවුන් වෙත පැමිණියේ තවත් අඩ හෝරාවක් යන තුරු පමණි.. අමුත්තන් සියළු දෙනා වලව්ව තුළට කැදවූ හාමු කියා සිටියේ චේතියගේ සිතට ගිනි අවුලන කතාවකි..

“මං අද මේ උත්සවේ සංවිධානය කළේ විශේෂ අරමුණක් ඇතිව.. මං කැමතියි මගේ පුතා අශේන් ඇතුගලගෙ අනාගත සහකාරිය හෙවත් මගේ ලේලිව අද ඔයාලට අදුන්වලා දෙන්න..”

තරමක කෙටි දේශනයක් අවසානයේ එසේ කී ඇතුගල මහතා සම්මානිගේ අතක් අල්ලා තමුන් ළගට කැදවා ගත්තේය.. අනික් අත රැදී පැවතියේ අශේනගේ උරහිස මතය..

“මේ ඉන්න මිස් සම්මානි සේනාධීර තමයි මේ වලව්වෙ අනාගත හිමිකාරිය..”

චේතියට දැනුණේ තම පපුවට කවුරුන් හෝ ගිනි තැබූ බවකි.. වදනින් ප්‍රකාශ නොකළාට තමා දුර සිට රස විදි ඒ සොදුරු රුවට තම සිත කොයි තරම් ආදරය කර ඇත්දැයි චේතියට වැටහුණේ දැන්ය.. ඔහු කලනගේ අත තද කර අල්වා සම්මානිගේ දෑස් දෙස බැලුවේය.. එහෙත් ඈ උන්නේ මුහුණ බිමට බර කරගෙන බැවින් ඔහු ඇයගේ නෙතු දුටුවේ නැත..

“චේති.. එළියට යමු.. උඹලගෙ අම්මත් ඉන්නවා..”

සාලයේ සතුටු සාමිච්චිය ඇසුණු ගුණවතීද මුළුතැන් ගෙයි සිට සාලයට කර පොවා බැලුවේ තමානේ අනාගත ළමාතැනීගේ මුහුණු පොඩ්ඩ දැක ගැනීමටය.. නමුත් ඈ තිගැස්සී ගියේ තම පුතු වැනිම වූ දරුවෙකු සාලයේ සිටිනු දැකීමෙනි.. එහෙත් ඒ චේතිය විය නොහැකි බව ඈ අනුමාන කලේ ඔහුගේ කොණ්ඩය හා ඇදුම් පැළදුම් නිසා පමණක්ම නොවේ.. මෙවන් උත්සවයක අමුත්තන් අතරේ ගැවසීමට චේතියට හැකියාවක් නොවූ බව ඈ දැන උන්නාය.. එසේම චේතිය වලව්වට පැමිණීමට අකමැති බවද ඇයට සිහිවිණි..

“ආන්ටි අදුරගත්තද මංදා බං.. උඹ දිහා හොදට බැලුවා..”

කලන කොතරම් දෑ කිව්වත් ඒවා චේතියගේ කණට වැටුණේ නැත.. ඔහු උන්නේ තෝන්තුවාවෙනි.. 

“අ‍ශේනයට මේ ඉස්කෝලෙ යන කෙල්ලෙක්ව බන්දලා දෙන්න යන්නෙ සේනාධීරයට පිස්සු හැදිලද බං..?”

චේතිය කල්පනා කරන්නෙ කුමක්දැයි දැන උන් රංග සම්මානිගේ පියාට බැන වැදුණේය..

“වංසක්කාරකමයි සල්ලි එකතු උනාම අනිත් දේවල් ඒ තරම් වටින්නෙ නෑ රංග.. ඒ ෆැමිලි දෙක මැච් වෙනවා කියලා මහ උන්ට හිතෙන්න ඇති..”

කලන තම අදහස් පළ කළේය.. ඒ කිසිවකට සවන් නොදුන් චේතිය දැන් නම් උන්නේ නිවසට යාමේ හදිසියෙනි..

“මචං අරහෙන් ගුණවතී ආන්ටි.. අරහෙන් සම්මානි.. අනිත් පැත්තෙන් අරන මදාවි සෙට් එක.. මේකත් හරියට අර මරන තුනක් ඇති මිනිහා පැණී යෑය වගේ වැඩක්.. හොදම දේ දැන් මෙතනින් මාරු වෙන එක..”

කලන එය රංගට පැවසුවේ චේතියට නෑසෙන සේය.. එයට එකග වූ රංග පුටුවෙන් නැගිට්ටේ පිටව යෑමේ අරමුණෙනි..

“අශේන්.. අශේන්..”

පිරිස අතරින් ඇසුණු සිගිති කට හඩකට අමුත්තන් සැවොම එකවර හැරී බැලුහ.. ඒ කටහඩ හුරු පුරුදු වූ චේතිය හැරී බැලුවේ තිගැස්සුණු නෙතිනි..

“මචං.. චූටි..”

චේතියට උන් හිටි තැන් පවා අමතකව ගියේය.. තම නැගණිය තනිවම මෙහි පැමණීම ඔහුට අදහාගත නොහැක්කක් විය..

“උඹලගෙ නංගි කොහෙද මෙහේ..? අනික අශේන් හොයාගෙන..”

කලනගේද ඇස් ගෙඩි දෙක පුදුමයෙන් විසල් වී තිබිණි.. චේතිය මේ මොහොතේ පෙනී උන්නේ ගුණවතීගේ පුතු ලෙස නොවන නිසා ඔහුට සිය නැගණිය ළගට යාමේ හැකියාවක්ද නොවිය.. ඔහුට කල හැකි වූයේ මේ සිද්ධිය බලා සිටීම පමණි..

“ඔයා මාව නේද හොයන්නෙ..? ඇයි බේබි..?”

රැස්ව සිටි අමුත්තන් අතරින් මිහිරාවි ළගට ළං වූ අශේන් දණහිස නමා ඇය ඉදිරිපිට පාත් වූවේය..

“හැපි බර්ත් ඩේ..”

ඈ සැනෙකින් අශේන්ගේ කම්මුලක් සිප ගත්තේ සෑම නෙත් මත සිනහවක් විසිරුවමිණි.. එහෙත් චේතිය.. අශේන්.. පමණක් නොව ඇතුගල හාමුද උන්නේ මේ කිසිවක් වටහාගත නොහැකි ලෙසය.. පරණ ඇදුමක් ඇද පැමිණි මේ පුංචි රුවැත්තිය කාගේ කවුදැයි සැවොම විපරම් කරද්දී ක්ෂණිකව පැමිණි හේතුහාමි ඇයව වඩාගෙන වලව්ව තුළට රැගෙන ගියේය..

“උඹ නංගි ගැන කියලා තිබුණට මෙහෙම දෙයක් වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.. ඒත්.. උඹ කිව්වා නේද එයා ඇලිසා නැන්දලගෙ ගෙදර කියලා..?”

ඒවාට පිළිතුරු දීම වෙනුවට චේතිය කළේ වලව්වට පිටතින් මුළුතැන් ගෙය දෙසට පා තැබීමය.. රංග හා කලනද ඔහු පිටපසින් ආවේ චේතිය යම් කලබලයක් ඇතිකර ගනීදැයි සිතුණු හෙයිනි..

“ආං උඹලගෙ අම්මා නංගිව වඩාගෙන වත්ත පහළට දුවනවා..”

චේතිය කුස්සියේ ජනේල් වලින් ඇතුළට එබෙද්දී කලන අඩිපාර දිගේ දිව යන ගුණවතී පෙන්වූයේය..

“එහෙනං චූටි ඇවිත් තියෙන්නෙ අම්මට හොරෙන්.. ඒකයි අම්මා බයවෙන්න ඇත්තෙ..”

තම නිවස පිහිටි ඉසව්වට හනි හනිකේ පල්ලම් බසින මව දෙස බලා චේතිය කීවේ පැටළිල සහගතවය..

“අපි දැන් මොකද කරන්නෙ..? දැන්ම ගෙදර යමුද..?”

රංග විමසුවේ නිවසට දුරකථන ඇමතුමක් දී වාහනය ගෙන්වා ගතයුතු නිසාය..

“මට මේ විදියට එක පාරටම ගෙදර යන්න බෑ කලන.. අනික සම්මානි..?”

ඔහු උන්නේ කිසිවක් සිතාගත නොහැකිවය..

“දැන් කරුවලත් වැටීගෙන එනවනේ.. අපි තව පැය භාගයක් විතර ඉදලා මාරුවෙමු..”

එසේ තීරණය කරගත් ඔවුන් නැවත්ත පෙර උන් මේසය කරා පැමිණ අසුන් ගත්හ.. ඔවුන් පැය කාලක් විනාඩි විස්සක් පමණ එසේ උන්නද කිසිවෙක් එකිනෙකා සමග කතා කළේ නැත.. සැදෑ අදුර හාත්පස වෙලා ගනිද්දී මිදුලේ තිබූ පාට පාට විදුලි බුබුළු වැල් අලංකාරව දැල්වෙන්නට විය.. වලව්ව තුළින් ඇසෙන වේග රිද්ම ගී හඩට ඇතමුන් රංගනයේ නිරත වූ අතර පැමිණෙන අමුත්තන් සංඛ්‍යාවද ක්‍රමයෙන් ඉහළ ගියේය..

“සම්මානි අශේන් එක්ක ඇතුළෙ කතාවක්.. තව මෙතන ඉන්න එක තේරුමක් නෑ චේති.. අපි යමු..”

චේතිය බලෙන් නැගිට්ටුවාගත් රංග ඔවුන්ගේ වෑන් රිය පැමිණ ඇත්දැයි බලමින් ගේට්ටුව දෙසට පිය මැනිය.. ඒ අතර හඩාගෙන පැමිණි සම්මානී මිදුලේ නවතා තිබූ ඔවුන්ගේ මෝටර් රථයට නගිනවා චේතියගේ ඇස ගැටුණි.. ඔහු රංගගෙන් අත ගසා දමමින් ඒ දෙසට දිව යන්නට විය..

“චේති.. පිස්සු නටන්න එපා.. මෙහෙ වරෙන්..”

නමුත් ඔහු කලනගේ බසට අවනත වූයේ නැත.. සම්මානිලාගේ රථයේ පිටුපස දොර හැරගත් චේතිය ඇසිපිය හෙළන පමාවෙන් එයට නැගී දොර වසා ගත්තේය..

දෙඅත්ල මත මුහුණ හොවා ඉකි ගසමින් උන් සම්මානි තම රථයට ගොඩ වූ නන්නාදුනන පුද්ගලයා දැක කෑ ගසන්නට සැරසුණා පමණි.. චේතිය ඇගේ මුව වසා සිය බොරු කොණ්ඩය හා කණ්නාඩි කූට්ටම ගලවා ගත්තේය.. ඔහුව හදුනාගත් සැනෙන් සම්මානී කලේ ඔහුගේ උරහිසේ හිස හොවා ගැනීමය..

“මොකද උනේ සම්මානි..? ඇයි අඩන්නෙ..?”

අශේන් ගැන විමසීමට චේතිය සිතා උන්නද ඇගේ කදුළු අභියස එවැන්නක් ඇසීම උචිත නොවේ යැයි ඔහුට සිතුණි..

“අනේ චේතිය.. මට අශේන්ව බදින්න බෑ..”

ඇගේ ඉකි බිදුමට ඒ කටහඩ පවා අපහැදිලිය.. නමුත් චේතිය ඒ වදන් හොදින් ග්‍රහණය කර ගත්තේය.. ඔහු අනවසරයෙන්ම ඇගේ කර වටා අතක් යවනා අතරතුර වටපිට බැලුවේ කවුරුන් හෝ මේ ඉසව්වට පැමිණේදැයි දැන ගැනීමටය..

මේ අතරතුර රංග හා කලන වාහන නවතා තිබූ ඉසව්වේ එහා මෙහා සැරිසැරුවේ චේතියව හා සම්මානිව ආරක්ෂා කිරීමේ අරමුණෙනි..

“රංග.. මං මේ කාර් එක හරියෙ ඉන්නම්.. උඹ ගිහින් බලලා වරෙන් අශේනයයි සේනාධීර කාරයයි කොහෙද කියලා.. උන් මේ පැත්තට ආවොත් මාර අවනඩුවක් වෙන්නෙ..”

කළුවරේ නවතා තිබූ රිය තුළ ඉන්නා අයව පිටතට නොපෙණෙන බව සැක හැර දැනගත් රංග, කලනගේ උපදෙස් මත වලව්ව දෙසට පිය නැගිය.. ඔහු දිගු ආලින්දයට පිවිසියද එහි අශේන් පෙනෙන්නට නොවූ නිසා යළි පිටතට පැමිණියේය.. ඔහු ඉදිරිපස කාමරයේ ජනේලය අසලින් ගමන් ගනිද්දී අශේන්ගේ හා මිතුරන්ගේ කටහඩවල් ඒ තුළින් ඇසිණි.. වහා උස් කුළුණකට මුවා වූ රංග සිය ජංගම දුරකථනය අතට ගෙන එයට නෙත් යොමා ගත්තේ දුටුවන්ට සැක නොසිතෙන ආකාරයෙනි.. නමුත් ඔහුගේ දෙසවන් රැදී තිබුණේ කාමරය තුළ සිදුවන කතා බහටය..

“ඒකි ඇඩවට මට අවුලක් නෑ බං.. දැන් කිරිල්ලි මගේ අතේ..”

“එහෙනං අශේන් උම ගිහින් ඒකිව හොයාගනිං.. අපි දැන් අර වැඩේට සෙට් වෙන්නම්..”

ඇතුළත උන් පිරිස යම් යම් දෑ ඉගි කර ගන්නා අයුරු දැනුණද රංගට එය වටහා ගැනීමට අපහසු විය..

“දැන් කළුවරත් වැටිලා නිසා වත්ත පහළට ඇදගෙන ගියා නම් අතක් පයක් කඩලම දාන්න පුළුවන්.. උන් තුන්දෙනා තාම ගියේ නෑ කියලා උඹට ෂුවර් නේද..?”

“උඹලට ගැහුවෙ ඒ කොන්ඩෙ ක්‍රේල් උස පොර නෙමෙයි කියලා උඹලට ෂුවර්ද..?”

“නෑ බං.. ගහපු එකා ඊට වඩා වෙනස්.. ඒත් අනිත් ඩබලනම් එදා ඌ එක්ක හිටපු උන්ම තමයි..”

රංගගේ ඇගේ රෝම කූප කෙළින් වූයේ ඇතුළේ යන කුමන්ත්‍රණය හරි හැටි වැටහුණු නිසාය.. එසේනම් තමන්ව හදුනාගෙන ඇත.. චේතියගේ වෙස් ගැන්වීම නිසා ඔහුව හදුනා නොගත්තද දැන් නම් තිදෙනාටම ගුටි කෑමට සිදුවන බව රංගට වැටහුණි..

“මං උන්ට පොඩි බෝලයක් බස්සලා ආවෙ.. උන් ඒ නිසා ඉක්මනට යන එකක් නෑ..”

අශේන් යනු චේතිය කීවා සේම බැටළු හම පොරවා වෘකයෙකි.. ඔහු බොරු සුහදත්වයක් පෑවේ ඇයිදැයි රංගට වැටහුණේ මේ මොහොතේය..

“එහෙනං උඹම ගිහින් මොනව හරි කියලා උන්ව වත්ත පහළට අරන් වරෙන්.. අපි වැඩේ ඉතුරු හරිය ඉවරයක් කර ගන්නකම් උඹට බැරියෑ උඹේ රෝස කුමාරිව ෂේප් කරගන්න..”

එසේනම් සම්මානි පසුපස මේ ඔත්තුකාරයින් යොදවන්නට ඇත්තේත් අශේන්ම විය යුතුය.. දැන් තවත් සිත සිතා ඉන්නට වෙලාවක් නැත.. කළයුතු වන්නේ මිතුරන් දෙදෙනාත් රැගෙන හැකි ඉක්මනින් මින් පලා යාමය.. ඔහු හනිකට රථ ගාල දෙසට දිව යන්නට විය..

“මොකක්ද අවුල..? කවුරු හරි මේ පැත්තට එනවද..?”

කලබලයෙන් දිව එනු රංග දුටු කලන විමසුවේය..

“ලොකු අවුලක් මචං.. කිය කිය ඉන්න වෙලාවක් නෑ.. ඉක්මනට අරූවත් අරගෙන මෙතනින් මාරුවෙමු..”

කලන සම්මානිලාගේ රථයේ දොර හැර ඉක්මනින් චේතියව බිමට බස්සවා ගත්තේය..

“සම්මානි සොරි වෙන්න ඕන.. අශේන් ඔයාව හොයනවා.. අපි සෙනසුරාදට ක්ලාස් එකේදි මීට් වෙමු..”

රථයට එබුන රංග එසේ පවසා මිතුරන් දෙදෙනා සමග කඩිනමින් පාරට පිවිසියේය.. මේ කිසිවක් වටහාගත නොහැකි වූ චේතිය උන්නේ පුදුමයෙනි..

“මොකද උනේ කියපං..”

ඔහු රංග දෙසත් කලන දෙසත් මාරුවෙන් මාරුවට බලමින් විමසා සිටියේය..

“අශේනයා සම්මානිව හොයාගෙන ආවා බං.. තව පොඩ්ඩෙන් අතේ මාට්ටු..”

කලනට ඇසක් ඉගි කළ රංග චේතියගේ පැනයෙන් ලිස්සා ගියේය.. සිදුව ඇති දේ ඊට වඩා බරපතල බව කලනට ඉන් වැටහුණි.. නමුත් මේ මොහොතේ එය දැනගත නොහැකි නිසා ඔහු නිහඩව උන්නේය.. 




No comments:

Post a Comment