Sunday, April 22, 2012

| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි |






අපි නයෝමිලගෙ ගෙදර ගිහින් ආවට පස්සෙ එයා ආපහු පන්ති ආවා.. ළමයි හැමෝම එයාට සැලකුවෙ වෙනදට වඩා ආදරෙන්.. එයත් ඉස්සරට වඩා වෙනස් වෙලා.. මුලදි අයියෙ කිය කිය වද දුන්න ඒකටත් හරියන්න දැන් කට පුරෝලා මල්ලි කියනවා..

අද ඒ ලෙවත් ප්‍රතිඵල එනවලු නේද..?


අපි පන්තියට ගොඩ උන ගමන්ම නයෝමි දුවගෙන ඇවිත් ඇහුවා.. ඒ ලෙවල් ලියන්න නංගියෙක්වත් මල්ලියෙක්වත් නැති එයා මොකටද ඒ ගැන හොයන්නෙ..?

ඇයි ඔයත් මේ පාර ඒ ලෙවල් කලාද..?

ප්ලූටො නෝන්ඩියට වගේ කෙල්ලගෙන් අහද්දි ඒකි ඇඹරෙන්න ගත්තා.. මං නං එදා සීන් එකෙන් පස්සෙ නයෝමිට විහිලුවටවත් දෙයක් කියන්න බයයි..

මට නෙමෙයි.. සමාධිට දැනගන්න ඕන වෙලා තියෙන්නෙ..

සමාධි ඒ ලෙවල් කලේ අපිටත් කලින්නෙ.. එයාට මොකටද ප්‍රතිඵල..

අපේ නංගි මේ පාර ඒ ලෙවල් කලා.. අද රිසාල්ට් ඉන්ටර්නෙට් එකට දාලලු.. මං බලලා එන්නම්..

පොත් ටික ඩෙස් එක උඩට දාපු සමාධි ඇදුම් මාරු කරන්නෙත් නැතුව ආපහු පාරට බැස්සා..

මචං අර රංගනය ගැන ප්‍රැක්ටිකල් පාඩමට ඇවිත් ඉන්නෙ මිස්ටර් දයාරත්න..

බඩා මට වැලමිටෙන් ඇනලා පෙන්නුවෙ දක්ෂ ප්‍රතිභාපූර්ණ නළුවෙක්ව.. මනුස්සයා පහුගිය අවුරුදු කීපයෙම දක්ෂතම නළුවා සම්මානය අරගත්තා.. ඒත් මං බැලුවෙ ඔය කියපු නළුවා දිහා නෙමෙයි සමාධි ගිය පාර දිහා.. අපිට වඩා වැඩිමල් උනත් කෙල්ල මගේ මුළු හිතම පිස්සු වට්ටලා..

සමාධි දවසක් කිව්වා නේද එයාට සහෝදර සහෝදරියො නෑ කියලා.. එතකොට ඔය කියන නංගි කවුද..?

මං මගෙන්ම අහගත්තා.. මේක මාර පටලැවිල්ලක් නේ..

සමහර විට අදුරන පුංචි අම්මා කෙනෙක්ගෙ දුවෙක් වෙන්න ඇති.. උඹ පැණි පෙරයි කියලා නොකියා ඉන්න ඇත්තෙ..

නංගිත් මේකි වගේම ලස්සන ඇති නේද බං..? බලපංකො මේකිගෙ උනත් ෆිගර් එක.. පට්ට නේ..

ප්ලූටොයි, චමිලයයි දෙන්නම සමාධිගෙ නොදන්නා නංගි ගැන කියවන්න පටන් ගද්දි සර් පන්තියට ආවා.. එයා ආවෙ චමිල පෙන්නපු දයාරත්න කියන නළුවත් එක්ක..

අද ඔයාලට පාඩම කරන්නෙ දයාරත්න සර්.. එයා රංගනය ගැන, කටහඩ පාලනය ගැන මටත් වඩා හොදට දන්නවා..

දයාරත්න සර් ගැන ලොකු වර්ණනාවක් දීපු අපේ සර් පිටිපස්සෙ තියෙන පුංචි කොරිඩෝවෙ පුටුවක් තියලා ඉදගත්තා..

සමාධි තාම ආවෙ නෑනෙ බං..

පාඩම පටන් අරන් පැයකට විතර පස්සෙ මං ප්ලූටොට කි්වවා..

ඒකි රිසාල්ට් බලලා ඒක කියන්න ඔය කියපු නංගිලගෙ ගෙදර යන්න ඇති.. අනික සමාධි නෑ කියලා උඹට අවුලක් නෑනෙ.. මෙන්න මේ පාඩම අහගනිං..

කිව්වත් වගේම රංගනය ගැන ඉගෙනගන්න ඕන අයට මාරසිංහ සර්ගෙ පාඩම් වලට වඩා දයාරත්න සර්ගෙ පාඩම් වටිනවා.. ළමයි සේරම වෙනදට වඩා උනන්දුවෙන් සර් දිහා බලාගෙන, මං නිකමට වගේ තව එක පාරක් පිටිපස්ස හැරිලා දොර දිහා බැලුවා.. මං දැක්කෙ මගේ ඇස් දෙකට අදහාගන්න බැරි දර්ශනයක්..
ඈත කොරිඩෝවෙ හිටපු මාරසිංහ සර් සමාධිව තුරුල් කරගෙන ඉන්නවා.. මට පුදුමයක්, තරහක්, කලකිරීමක් වගේ හැම දෙයක්ම හිතට දැනුණා.. මං දැක්ක සීන් එක වෙන කවුරුවත් දැක්කෙ නෑ.. හැමෝම හිටියෙ පාඩම අහගෙන..

පුංචි බෝනික්කෙක් වගේ අහිංසක විදියට හිටපු සමාධි මේ තරම් ජරා කෙල්ලෙක් කියලා මං හිතුවෙ නෑ.. මේකිට ලැජ්ජාව කියන එක ගෑවිලවත් නෑද්ද.. අනික තාත්තා කෙනෙක් වගේ ඉන්න සර් එක්ක ඔය විදියට ඉන්නෙ.. ඊටත් මේ තරම් ළමයි තොගයක් ඉන්න ප්‍රසිද්ධ ස්ථානයක..

මොකද උඹ හීනෙන් බය වෙලා වගේ..?

චමිල මගේ වැළමිටට අනිද්දිම තමයි මං පියවි සිහියට ආවෙ.. ඒත් මං දැකපු දේ කටක් ඇරලා කාටවත් කියන්න බෑ.. කිව්වත් කවුරුවත් විශ්වාස කරන එකක් නෑ..

මචං මට ගෙදර යන්න ඕනෙ..

මගේ කතාවට බඩා පුදුම උනා.. ඌ බලන්න ඇති මට වැහුණ යකා මොකාද කියලා..

මට පේන්නෙ කෙල්ල ආවෙ නැති එකට උඹ අප්සට් ගහලා වගේ.. උඹ ඒකිට ලව්ද..?

සර් ඉන්නව කියලා ගාණක්වත් නෑ වගේ චමිලයි, ප්ලූටොයි දෙන්නම මගේ දිහාට හැරුණා.. සමාධි ගැන මගේ හිතේ මොකක්දෝ නොතේරෙන ආදරයක් තිබුණා තමයි.. ඒත් මේදැන් ඇස් දෙකට දැකපු දේ නිසා ඒ දේ නැත්තටම නැතිවෙලා ගියා..

හිරූ.. ඇත්තටම මොකද උනේ කියපං.. මං මේ සීරියස් අහන්නෙ..?

මට ඉඩ චුට්ටක් දෙනවද..?..

ප්ලූටොගෙ ප්‍රශ්නෙට මං උත්තර දෙන්න කලින් සමාධි ඇවිත් බලෙන්ම වගේ මගේ පැත්තෙන් ඉදගත්තා.. මට නං ඒ මූණ දිහාවත් බලන්න හිතුනෙ නෑ.. ඒත් චමිලයා කෙල්ල එක්ක කතාවට බැස්සා..

කොහොමද නංගිගෙ ප්‍රතිඵලේ..?

පාස්.. ඒ තුනයි..

ඕනකමින් කන්දුන්නෙ නැතුවට කෙල්ලගෙ කටහඩ අමුතු වෙලා කියලා මට දැනුණා.. හරියට නිකං අඩලා වගේ.. මං ලාවට වගේ හැරිලා බැලුවා.. ඒ ඇස් රතුවෙලා.. සමහර විට මාරසිංහ සර් නරක යෝජනාවක් කලාද දන්නෙත් නෑ.. ඔය වගේ දේවල් මේ ක්ෂේත්‍රයෙ ඕනතරම් වෙනවනෙ.. ඒත් මං දන්න තරමින් සර් එහෙම නරක කෙනෙක් නෙමෙයි.. එයා අපිට උනවත් කතා කරන්නෙ පුතේ දුවේ කියලනේ..

එතකොට මං දැකපු දේ.. ඒක බොරුවක් වෙන්න බෑ.. චිත්‍රපට ටෙලිනාට්‍ය වගේ දේවල ප්‍රධාන චරිතෙ ගන්න ඕනවට නිෂ්පාදක, අධ්‍යක්ෂකවරු ළගට බලෙන්ම යන අය ගැනත් අපේ තාත්තා කියලා තියෙනවා.. සමාධිත් ඒ වගේ කෙනෙක්ද..?

හිරූ.. එක්කො පාඩම අහපං.. නැත්තං ගෙදර පලයං.. දැන් උඹව සර්ට මීටර් වෙනවා..

ඔව් බං.. මේ වගේ තැනක ඉදගෙන ඉන්නවට වඩා ගෙදර යන එක සැපයි..

මං සමාධිට වදින්නත් එක්ක හින්ට් එකක් ගැහුවා..

මොකක්ද ඔය තුන්වෙනි පේළියෙ යන කසු කුසුව..? පාඩමට සම්බන්ධ ප්‍රශ්නයක්ද..?

මෙච්චර වෙලා සර් පන්තියෙ හිටියා නේද කියලා මට මතක් උනේ ඒ වෙලාවෙ.. සර් තුන්වෙනි පේළියෙ කියලා ඇදින්නුවට කෙලින්ම බලන් හිටියෙ මගේ දිහා.. මං ඒ ඇස් මග ඇරලා බිම බලාගත්තා..

මං තොට කිව්වා.. දැන් ඉතිං දීපංකො උත්තර..

චමිලයා වෙලාවකට සර්ටත් හපන්.. උගෙන් බැනුම් අහගෙන මං හිටියෙ ඉන්ටර්වල් එක වෙනකල් විතරයි.. ළමයි කෑමට එළියට ගිය වෙලාවෙ මං සර්ලටවත් නොකියා පොත් ටිකත් අරන් එළියට ආවා.. ඒත් මං ආවෙ චමිලවයි, ප්ලූටොවයි පංතියෙ තියලා.. දයාරත්න සර් වගේ කෙනෙක්ගෙන් ඉගෙනගන්න දේවල් මට නැතත් උන් දෙන්නට වැදගත් වෙයිනෙ..

මං පන්තියෙන් ආවත් මගේ හිත හරි ගියේ නෑ.. අපේ තාත්තගෙ වැඩ වලට සම්බන්ධ නොවී මං මාරසිංහ සර් ළගට ගිහින් කලෙ මහ ගොන් කමක්.. ආපහු පංති යනවද නැද්ද කියලා මට දෙපාරක් හිතන්න ඕන උනා.. ඒ නිසාම මං සෙවනට ගියේ නැතුව කෙලින්ම ගියේ අපේ ගෙදර..

අනේ.. බේබිව දැක්ක කල්.. නිතරම ඇවිත් යන්නං කියලා ගියාට මොකෝ පළාතකවත් නෑනෙ..

මාව දැක්ක ගමන් යසෝ අක්කා බර බරේ දැම්මා.. ඒත් ඉතිං අම්මා වගේ ඉන්න මේ මනුස්සයට මොකක්වත් කියන්න මගෙ දිව නැමුණෙ නෑ..

කෝ බේබිගෙ යාළුවො.. අර මහත බේබියි.. හදේ බේබියි..?

කොච්චර අප්සට් මූඩ් හිටියත් යසෝ අක්කගෙ කතාවට මට හිනා ගියා.. එයා ප්ලූටොට තවත් ලේසි නමක් දාලා.. ප්ලූටො ග්‍රහලෝක ගැනම නැතත් ඌ නිතරම කතා කරන්නෙ පෘථීවියෙන් එපිට දේවල්නෙ.. ඉතිං ඒ නමත් මැච් වෙනවා..

උන් දෙන්නා පන්ති ගිහින්.. මට යසෝ අක්කව බලලා යන්න හිතුනා.. ඒකයි ආවෙ..

එහාගෙ හිත සුව පිණිස උත්තර දීලා මම කාමරේට රිංග ගත්තා.. මං ගෙදර නොහිටියත් යසෝ අක්කා කාමරේනං නියමෙට අස් කරලා තියෙනවා.. කිසිම ඇදක් කුදක් නෑ..

ඇගපත හෝදලා සැහැල්ලු ඇදුමකුත් දාගෙන මං කුස්සියට ආවා.. අම්මා මට කිරි කෝපි එකක් හදලා දුන්නා..

ගොඩක් දවසකින් මං අම්මගෙ කිරි කෝපි එකක් බොන්නෙ.. බණ්ඩයියගෙ කෝපි එක නම් ඒ තරම් රස නෑ..

අම්මට පොඩි බටර් පාරකුත් දාලා මං කෝපි එක අතට අරන් එක හුස්මට බීලා දැම්මා..

කෝ අම්මා, තාත්තා..? ෂූටින්ද..?

නෑ පුතා.. මේ ටිකේම ගියේ නෑ.. ඔය ඉන්නෙ කාමරේට වෙලා..

අපේ තාත්තා දවස් ගානක් කොහේටවත් නොගිහින් කාමරේට වෙලා ඉන්නවා කියලා මං ඔය ඇහුවමයි.. එක අතකට එයා ගෙදර ඉන්න එක හොදයි.. මට මාරසිංහ සර් ගැන විස්තර ටිකක් තාත්තගෙන් දැනගන්න පුළුවන්.. මං සද්ද නොකර තාත්තගෙ ඔෆිස් කාමරේට එබිලා බැලුවා.. එයා කැරකෙන උස පුටුවෙ වාඩිවෙලා ඔළුවත් හේත්තු කරගෙන ඉන්නවා.. සමහර විට නිදිද මං දා..

තාත්තේ..

මගේ කටහඩ ඇහුණ ගමන්ම එයාගෙ ඇස් ඇරුණා.. ඒ කියන්නෙ තාත්තා නිදි නෑ.. එහෙමනං මොකක් හරි වෙන ප්‍රශ්නයක් වෙන්න ඕන..

පුතා කොයි වෙලාවෙද ආවෙ..?

දැන් ටිකකට කලින් තාත්තා..

ඇයි අද පංති ගියේ නැද්ද..? කෝ බණ්ඩාරලා..?

පංති තියෙනවා.. මං ගියේ නෑ.. බණ්ඩයියා එහේ ගෙරද..

හ්ම්..

තාත්තා තව ප්‍රශ්න පත්තයක් විතර අහයි කියලා බලන් හිටියත් එයා වෙන මුකුත්ම ඇහුවෙ නැතුව ඔළුව වැනුවාඤ.. මේක නං ලෝක පුදුමයක්..

සුදු පුතා.. මෙහෙන් ටිකක් ඉදගන්න.. මට ඔයා එකක් කතා කරන්න දෙයක් තියෙනවා..

තාත්තගෙ ප්‍රශ්නෙ මොකක් උනත් ඒකට මං සම්බන්ධ නෑ කියලා මට ඉවෙන් වගේ දැනුණා.. අනික එහෙම උනා නං තාත්තා මට මේ තරම් ආදරෙන් කතා කරන්නෙත් නෑ.. ඒක නිසා මං පුරුධ ධෛර්යය අරගෙන තාත්තාගෙ ඉස්සරහ පුටුවෙන් ඉදගත්තා..

කොහොමද පංතියෙ වැඩ කටයුතු..? මාරසිංහ හොදට උගන්නනවනෙ..?

ඔව් තාත්තා වරදක් නෑ..

තාත්තා ඔළුව වටේ අත දාන්නෙ කොහෙ අල්ලන්නද දන්නෑ.. මාරසිංහ සර් ගැන කතාවක් මෙතනට අදාලා නෑ.. ඒත් ඉතිං කාරණේ තාත්තගෙ කටින්ම පිටවෙනකල් මං ඉවසා වදාරගෙන හිටියා..

පුතාට මතකද මගේ ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය..? අර මං එදා ඔයාලගෙ ඩ්‍රාමා එක බලන්නත් එක්කගෙන ආවෙ..?

ඔය කියන්නෙ නෙතුෂි ගැනනෙ.. මට එකපාරටම මතක් උනා කියලා අගවන්නෙ නැතුව ටිකක් කල්පනා කලා..

අර සුදු පුංචි කෙල්ල..

තාත්තා තවත් විශේෂණ එකතු කරනවා.. ඔච්චර කියන්න දෙයක් නෑ.. ඔය ආඩම්බරකාරිව මං නොදන්නවයෑ..

ඔව් තාත්තා මට ලාවට වගේ මතකයි.. ඉතිං..?

ඒ ළමයව මං සෑහෙන අමාරුවෙන් හොයාගත්තෙ.. ස්ටේජ් ඩ්‍රාමා වල එහෙම ඉදලා හොද ටැලන්ට් එකක් තියෙන කෙල්ලෙක්.. අනික සිනමාවට අලුත් මූණක්නෙ..

මෙයා හදන්නෙ මට නෙතුෂිව බන්දලා දෙන්නද දන්නෑ.. නැත්තං මොකටද මේ තරම් එයාගෙ ගුණ කියන්නෙ..?

ඒත් පුතා.. මං කීයටවත් හිතුවෙ නෑ මෙහෙම දෙයක්..

ඇයි තාත්තා මොකක්ද වෙලා තියෙන්නෙ..?

ඒ ළමයගෙ චරිතෙ මං හිතපු තරම් හොද නෑ..

මට ඒ කතාව අදහාගන්න බැරිවුණා.. අද නං පුදුම දවසක්.. උදේ සමාධි මාරසිංහ සර්ට තුරුළු වෙලා ඉන්නවා දැක්කා.. දැන් තාත්තා නෙතුෂි ගැනත් ඒ වගේම දෙයක් කියන්න හදනවා..

එයාගෙ නරක පිංතූර වගයක් ඉන්ටර්නෙට් එකේ දාලා කියලා මට ඊයෙ පෙරේදායි කෝල්ස් ආවා.. මමත් ටිකක් විපරම් කරලා බැලුවා.. කතාව ඇත්ත..

ඒත් තාත්තා ඒ ෆොටෝ ඇත්තට හදපුවද, බොවට හදපුවද කියලා හොයලා බැලුවෙ නැද්ද..? මේ කාලෙ මඩ ගහන්නත් ෆොටෝ ෂොප් වලින් ඔය වගේ ඒවා හදනවා..

ඔයා දන්නවනේ පුතා මං එහෙම ආවට ගියාට තීරණ ගන්නෑ කියලා.. මං මේ ටිකේම කලේ එයා ගැන හොයන එකම තමයි..

එදා ලුම්බිණියෙදි මං දිහා බලලා ආඩම්බර විදියට ගස්සලා ගිය කෙල්ලගෙ මූණ මට ආපහු මතකෙට ආවා.. එයා ඒ වගේ දෙයක් කලා කියලා හිතන්නවත් අමාරුයි.. ඒ ලස්සන මූණට තිබුණ ලෝභකමට මං එයාව නිර්දෝශි කරලා හිත හදාගන්න හැදුවට තාත්තා හැමදේම නූලට හොයාගෙනද කොහෙද..

ඒ ළමයගෙ සාමාන්‍ය ඇදුම් පැලදුම් උනත් හරිම අසංවරයි කියලා තමයි දන්න අය කියන්නෙ.. ඒත් මට ඒ දේවල් වැදගත් උනේ නෑ.. මට ඕන උනේ එයාගෙ ඇතුළෙ සැගවිලා හිටපු නිළියව ඉස්මතු කරගන්න..

හරි තාත්තෙ.. දැන් ඒ කතාව වැඩක් නෑනෙ.. ඒ දේවල් වෙලා ඉවරයි.. ඔය ඉන්ටර්නෙට් සීන් එකට අමතරව එයාගෙ වෙන මොනවද තියෙන ප්‍රශ්න..

එයා නළුවො කීපදෙනෙක් එක්කත් සම්බන්ධකං පවත්වනවා කියලා අපේ ආර්ට් ඩිරෙක්ටර්ට ආරංචියිලු.. ඒත් මං නං ඒවා විශ්වාස කරන්නෙ නෑ පුතා..

නෙතුෂි ඒ වගේ කෙල්ලෙක්නං සමාධි මාරසිංහ සර් එක්ක සෙට් උනා වගේ එයා අපේ තාත්තා එක්ක සෙට් වෙන්න හැදුවෙ නැද්ද දන්නෑ..

මෙයාව තව දුරටත් අපි ළග තියාගන්නවද කියලා මට ආපහු හිතන්න වෙලා.. ඒ නිසා මං ෆිල්ම් එකේ වැඩ ටිකකට කල් දැම්මා..

මේ ෆිල්ඩ් එකේ හොද අය වගේම නරක අයත් කාලෙන් කාලෙට බිහි වෙනවා කියලා තාත්තමනේ දවසක් මට කිව්වෙ..

ඔව් පුතා ඒක ඇත්ත.. ඒ විදියෙ නරක අය ඉන්නෙ කීපදෙනයි.. ඒත් සමාජය වෙලාවකට අපි දිහා බලන්නෙත් අර වපර ඇහෙන්..

තාත්තා වපර ඇහැ ගැන මතක් කරද්දි මට නයෝමිව මතක් උනා.. එයානං හැමෝම දිහා බලන්නෙ වපර ඇහෙන්.. මොකද ඉතිං එයාගෙ ඇහැ කොහොමත් වපරනේ..

තාත්තා මාරසිංහ අන්කල් එහෙම කොයි විදියෙ කෙනෙක්ද..?

අද දැක්ක සීන් එකෙන් මට එයාට සර් කියලා කියන්නත් හිතුනෙ නෑ.. ඒකයි මං ඉස්සර පුරුද්දට අන්කල් කිව්වෙ..

මාරසිංහ ඉතිං ඉස්සර ඉදලා මගේ හිතවතා.. එයා උනත් ඔය විදියෙ වැඩ වලට කවදාවත් අනුබල දෙන්නෑ.. හරි ජෙනුයින් මනුස්සයා..

මාරසිංහගෙ ජෙනුයින්කම ගැන මං නොදන්නවයෑ.. තාත්තගෙ කෙස්ස පැහුනෙ පීනසේටද මංදා..

ඇයි පුතා කවදාවත් නැතුව ඔය වගේ කතාවක් ඇහුවේ.. ඔයාට මාරසිංහ සර් ගැන මොනව හරි කිව්වද..?

ඔව් තාත්තා.. ඒ වගේ දෙයක් තමයි..

මෙච්ච දේ මොකක්ද කියලා කෙලින්ම නොකියා මං වහෙං ඔරෝ පාරක් දාලා බැලුවා..

ඇහෙන් දැකලා කණෙන් අහනකල් දෙයක් විශ්වාස කරන්නෙපා පුතා.. මාරෙව මං රෙකමන්ඩ් කරනවා..

ඉතිං දෙයියනේ.. මමත් ඇහෙන් දැක්කා නේන්නං.. මොකෝ මගේ ඇහේ හොටුද..?

ඒත්.. මට ආපහු පංති යන්න හිතෙන්නෑ තාත්තා.. මං අදත් වේලසන ආවෙ ඒකයි..

බොරු කියලා පංති කට් කරනවට වඩා ඇත්තම කියන එක ශරීර සෞඛ්‍යයට හොදයි කියලා කවුද කියලා තියෙනවනේ.. ඒ නිසා මං තාත්තට ඇත්තම කිව්වා..

මං ඔයාට දෙයක් හරියට ඉගෙනගන්න කිව්වා මිසක් පංති යන්න කියලා බල කලේ නෑනෙ.. ඔයාමයි ඒ තීරණේ ගත්තෙ.. තව මාස දෙකක් විතරනේ තියෙන්නෙ.. ඒ නිසා මං කැමතියි ඔයා ඔය පාඨමාලාව සම්පූර්ණ කරනවනං..

ඔව් ඉතිං.. තාත්තට වැඩ පෙන්නන්න හිතාගෙන ගියා තමයි.. කවුද හිතුවෙ මෙහෙම දෙයක්..

මං තව ටිකක් හිතලා බලන්නම් තාත්තා..

කතාව එතනින් ඉවර කරලා මං පුටුවෙන් නැගිට්ටා.. ඒත් තාත්තා නං තාම කල්පනා කරලා ඉවර නැද්ද කොහෙද.. එයා ආපහු පුටුවෙ දිගාවෙනවා මං දැක්කා..




No comments:

Post a Comment