Sunday, April 22, 2012

| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි |




මාධිගෙයි, මාරසිංහ සර්ගෙයි සිද්ධියෙන් පස්සෙ මං දවස් ගාණක්ම පංති ගියේ නෑ.. දවස් දෙක තුනක් ගෙදරට වෙලා හිටියත් බඩාගෙයි, ප්ලූටොගෙයි වදෙන් බේරෙන්න බැරිම තැන මං සෙවනට ගියා.. පුංචි කැලයකින් වටවුන මැටි මාලිගාවක් ඇතුලෙ තනිවෙලා ඉද්දි හිතට දැනුනෙ පුදුම නිස්කලංක ගතියක්..

උඹ දැන් අදත් පංති යන්න එනනෙ නැද්ද..? මොනවද බං.. දඩයක්කාරයගෙ බෙල්ට් එක වගේ ඒකටම ඇලි ඇලී ඉදලා මෙහෙම කරන එක හරිද..?


ප්ලූටො පංති යන්න ලෑස්ති වෙලා එළියට බහින්න හදද්දි පුරුදු අදෝනාව දැම්මා.. ඌ කියපු දඩයක්කාරයගෙ බෙල්ට් කතාවට මට හිනා.. මිනිහා කියන දඩයක්කාරයා අහසෙ තියෙන තරු රටාවක්.. ඒකෙ ඉන හරියෙ එක පෙළට තරු තුනක් තියෙනවා.. අපි තුන්දෙනත් ඒ වගේ කියලා තමයි ඌ නොකියා කිව්වෙ.. මේවා දන්න මිනිස්සු හිතයි ප්ලූටොට මෝල් කියලා..

එහෙනං ඈවරයි.. දෑවරයි.. බඩ සුද්දයි.. නිවාරණයි.. අපි ගියා..

චමිලයත් පහුගිය ටිකේ මට බැනලම කට රිදිලද කොහෙද ටටා පාරක් දාලා යන්න ගියා.. ඩබලම ගියාට පස්සෙ මං බණ්ඩයියා එක්ක කතාවට වැටුණා..

බණ්ඩයියා.. දැන් අපේ තාත්තගෙ ෆිල්ම් එකේ වැඩ එහෙම කොහොමද..?

නෙතුෂි ගැන තාත්තා කියපු කතාව ඇත්තද බලන්න මං පොඩි ට්‍රයි එකක් දීලා බැලුවා.. ඒත් හරියයිද කියන්න බෑ.. බලමුකෝ..

ඉස්සර එහෙ ඉද්දිනං ලොකු මහත්තයගෙ හැම වැඩකටම මාත් ගියා තමයි බේබි.. ඒත් මෙහෙ ආවයින් පස්සෙ හුග දොහකින් යන්න බැරි උනානෙ.. බේබිත් ඒ ගැන දන්නව නෙව..

දන්නවා.. දන්නවා.. ඒත් ඉතිං දවසක් දෙකක් ගියානෙ.. කොහොමද ඒකෙ අලුත් නළු නිලියො දෙන්නා..?

ආ.. අර පොඩි මහත්තයා නං පංකාදුයි.. ඒත් ඉතිං බේබි තරම් ලස්සන නෑ.. බේබි රගපෑවා නං ඔයිට වඩා ලස්සනට කරයි.. මට තාමත් මතකයි අර ඇඩිල්ල..

යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් වගේ උත්තරයක් තමයි බණ්ඩයියා දුන්නෙ.. එයා තාමත් මගේ ඇඩිල්ලක් ගැන කියනවා.. ඕක මං පුංචි කාලෙ ෆිල්ම් එකකට ඉද්දි වෙච්ච සිද්ධියක්..

ඒකෙ තිබුණෙ මමයි මගේ තාත්තට රගපාන නළුවයි විතරක් ගෙදර ඉන්නකොට කට්ටියක් ඇවිල්ලා මගේ තාත්තට ඉන්න නළුවට ගහන සීන් එකක්.. මට තිබුණෙ ඒ දිහා බලාගෙන හයියෙන් අඩන්න.. ඒත් ඉතිං කට්ටිය ගැහුවෙ මගේ ඇත්ත  තාත්තට නෙමෙයිනෙ.. කොහෙවත් යන මිනිහෙක්ට ගැහුවට මට මොකෝ කියලා මමත් හිනාවෙවී බලන් හිටියා.. කවුරු මොන විදියට කිව්වත් මං ඇඩුවෙ නෑ..

අන්තිමට මාව අඩවන්න තාත්තා බණ්ඩයියව තකහනියක් ගෙදර යවලා මගේ රේසින් කාර් එක ගෙන්නෙව්වා.. තාත්තා මට පේන්නම මගේ රේසින් කාර් එක වෙන පොඩි ළමයෙක්ට දුන්නා විතරයි මං ඇඩුවෙ බිම පෙරළි පෙරළි.. තාත්තට ගහද්දි නෙමෙයි තාත්තෙක් මැරුණමවත් ළමයෙක් ඒ තරම් අඩන්නෙ නැතුව ඇති.. අන්තිමට මගේ ඇඩිල්ල නැවතුනේ තාත්තා කට් කියලත් පැය එකහමාරකට පස්සෙ විතර..

මොකෝ බේබි තනියෙම හිනාවෙන්නෙ..?

මටත් බණ්ඩයියා කියපු ඒ ඇඩිල්ල මතක් උනා..

නලවගන්න බැරිකමට අර ළමයගෙන් ආපහු කාර් එක අරන් දුන්නා විතරයි බේබිගෙ ඇඩිල්ල නැවතුනා.. ඒ දරුවා අඩන්න ගත්තා..

මතක් කරනවා නං ඔය වගේ සීන් කොච්චර තියෙනවද.. ඒත් මං ආවෙ මෙයා එක්ක අතීතාවර්ජනයක යෙදෙන්න නෙමෙයිනෙ.. නෙතුෂි ගැන කතා කරන්න..

ඒක නෙමෙයි බණ්ඩයියෙ.. ඔය තාත්තා ෆිල්ම් එකේ අළුත් නිළිය කොහොමද..? අර උරහිස් එළියෙ දාගෙන ගවුමක් ඇදන් හිටියෙ..

ඔය අහන්නෙ අර සක්කරවට්ටම ගැන නේද..? මූණ කට හැඩට තියෙද්දි මමත් හිතුවා කාගෙ හරි සීදේවි දරුවෙක් කියලා.. හපෝ.. ගන්න දෙයක් නෑ.. කිසිම විලිසංගයක් නෑ..

ඒ මොකෝ බණ්ඩයියෙ..?

මොකෝ අහන්නෙ.. උරහිස් විතරක් නෙමෙයි හැමදාම කොහෙ හරි එළියෙ දාගෙන ඉන්නෙ.. ඒකට මොකෝ රැස්පොට් එක බලන්න එපැයි..

ගෙදර ඉන්න යසෝ අක්කගෙවත් රැස්පොට් බලන්නෙ නැති බණ්ඩයියට කොහෙවත් ඉන්න කෙල්ලෙක්ගෙ රැස්පොට් බලන්න වෙලාද කොහෙද.. පව් අප්පා අසරණ මනුස්සයා..

ඒ ළමයා නරක විදියට හැසිරෙන කෙනෙක්ද..?

සමහරුනං එයා ගැන එක එක දේවල් කතා උනාට මං වැඩිය කනකට ගත්තෙ නෑ.. ඒක නෙමෙයි.. බේබිට මොකටද ඒ දැරිවිගෙ හැසිරීම..?

ඔනන් බණ්ඩයියටත් වැඩේ මීටර් වේගෙන එන්නෙ.. ඊට කලින් ෂේප්මන්ට් එකක් දාගන්න ඕන..

නෑ.. මේ අපේ බඩාට දැන ගන්න ඕන වෙලා තියෙනවා.. ඒකයි ඇහුවෙ.. ඒත් එයා ඔය විදියනං වැඩක් වෙන්නෙ නෑ..

මං අහස පොළව උහුල්නෙ නැති මසාවාදයක් දෙසා බාලා කාමරේට රිංගගත්තා..

දවසක් හවස ප්ලූටොයි බඩයි පංති ඇරිලා එන වෙලාව කිට්ටු වෙද්දි මං මිදුලට ඇවිත් ලී කොටයක් උඩ ඉදගෙන පාර දිහා බලාගෙන හිටියා.. ළග ඉද්දි මළ වදේ උනාට උන් දෙන්නා නැතුවමත් පාළුයි.. දැන් ගෙදර ආවා උනත් බඩා අනික් අතට ඇදුම් මාරු කරගෙන වාෂ්ප වෙයි.. ඌ දැන් සතියක දෙකක ඉදලම තනියම ටවුමෙ ජිම් එකට ගාටනවා.. රෑට කන්නෙත් වෙනදා කාපු එකෙන් බාගයයි.. කලින් පාන් රාත්තල දෙකට කපලා පෙති දෙකක් කාපු එක් දැන් කන්නෙ එක පෙත්තයි..

උගේ මේ සැබෑ වෙනසත් එක්ක පහුගිය ටිකේ රෑට ගෙනාපු පාන් ඉතුරු උනා.. දවස් දෙක තුනක් මේ විදියට ඉතුරු උන පාන් උදේට කුරුල්ලන්ට දාන්න කියලා බණ්ඩයියා කුස්සියෙ අරන් තියලා.. ඒත් වැඩේ කියන්නෙ ඒ පාන් උදේට අතුරුදහන්.. ඒ ගැන හොයද්දි නං බඩා කිව්වෙ රෑ මීයො කන්න ඇති කියලයි.. අපේ ගෙදර මීයො බෑග් එකේ ගැටේ ලිහලා ගානට පාන් පෙත්ත විතරක් කාලා නේද කියලා මං ප්ලූටොගෙන් අහද්දි බඩා නළලෙ අත ගහගන්නවා මං දැක්කා.. මීයා මොකාද කියලා ඒකෙන්ම තේරෙනවනේ..

බේබි.. අන්න අර පෙරහැර බලන්න ගිය දරුවො දෙන්නත් මෙහෙ එනවා..

කල්පනා ලෝකෙ හිර වෙලා හිටපු මාව බණ්ඩයියගෙ කතාවෙන් උඩ ගියා.. කිව්වත් වගේම චමිලලා එක්ක මතීෂයි, තාරුයි දෙන්නත් එනවා.. දැන් මොකද කරන්නෙ.. හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළිපිට කියනවනෙ.. ඉතින් නටලම බලමුකො..

මචං අද නං මගඇරගන්න විදියක් තිබුණෙම නෑ. උඹව බලන්න ඕනෙ කියලා බලෙන්ම ආවා..

සෙවනෙ වටපිටාව දැකලා තාරුලා උතුර දකුණ මාරු වෙලා කැරකෙද්දි ප්ලූටො හෙමීට මගේ කණට කෙදිරුවා..

හිරූ.. මේක තව්තිසාව වගේනෙ.. මාවලස්..

මතීෂ විනාඩි දහයක් විතර බෙල්ලෙ පොට යනකල්ම හතර වටේ කැරකිලා කිව්වෙ මරු කතාවක්.. ඌ හරියට තව්තිසාවෙ ගිහින් තියෙනව වගේ..

මචං ඇත්ත කියපං.. මේ උඹලගෙ ගේ නෙමෙයි නෙ.. උඹලා මොනවද මෙහෙ කරන්නෙ..?

තාරුක හරියට ෂර්ලොක් හෝම්ස් වගේ අපේ කටින්ම බොරුව අල්ලගන්න හදන්නෙ.. ඒවා කොහෙද.. ඌට වඩා මං ගල් ටික්කෙක්.. ඌ පරීක්ෂණ.. නිරීක්ෂණ.. නිගමන වලට එළඹිලා ඇත්ත හොයාගත්තදෙන්.. ඒ වෙනකල් මං එක වචනයක්වත් කියන්නෑ.. ඒත් මට දැනුයි මතක් උනේ.. අපේ මෝඩ බඩා දැනටමත් කතාව බාගයක්වත් කියලද දන්නෑ..

මුන්ගෙ තාත්තා හෙන නීතිකාරයා.. ඒ නිසා අපි මෙහෙ බෝඩ් වෙන්න පර්මිෂන් ගත්තා..

ප්ලූටො වැඩේ ෂේප් කරයිද වන කරයිද මංදා..

උඹට සනීප නෑ කියලා මේ දේනනා කිව්වා.. ඒක බොරුවක් නේද..?

ඒක බොරුවක් නෙමෙයි මතී.. මට ඇත්තටම මේ ටිකේ ටිකක් අසනීපයි.. ඒත්.. මං ආපහු පංති නොඑන්න තීරණේ කලා.. ඒකට හේතුව අසනීපෙ නෙමෙයි..

මතීෂයි, තාරුයි වගේම අපේ ඩබලත් කතා නැතුව මගේ වටේට ඉදගත්තා.. මං පංති නොයන හේතුව උන්ටත් දැනගන්න ඕන ඇති.. ඒත් මං කොහොමද ඒක කටක් ඇරලා කියන්නෙ..

සර් මේ ටිකේම උඹව ඇහුවා. උඹ නැති එකට එයා අප්සට්.. ඒ විතරක් නෙමෙයි තව දෙන්නෙක් උඹව ආදරෙන් මතක් කලා..

ඒ කවුද..?

සමාධියි, නයෝමියි.. උන් දෙන්නත් උඹට බොක්කෙන්ම ලව් වගේ..

මුගේ කට කොටියම කන්න එපැයි මේ කියන නොසන්ඩාල කතා වලට.. කෙල්ලො දෙන්නෙක්ම මට ලව් ලු.. සමාධිගෙ ලව් එක ගැන නම් මොනවට කියනවද.. එයා මට විතරයෑ සර්ටත් ලව්නෙ..

බේබිලා ගෙට ඇවිත් තේ කහට ඩිංගක් බොන ගමන් කතා කරන්න..

බණ්ඩයියා කතා කරන සැනින් චමිලයා නැගිටලත් ඉවරයි.. ඌට මොනවා ඇහුනෙ නැතත් කන බොන කතා හොදට ඇහෙනවා..

මේක මාර පොට් එකක්නෙ.. හරියට නයෙක්ගෙ හුඹහකට රිංගුවා වගේ..

අර කොහෙදෝ මන්දා තියෙනවා මේ වගේ හදපු තියටර් එකකුත්.. මං දවසක් ඒකට ගියා වගේ මතකයි..

මතීෂලව කරකවලා අතඇරියා වගේ.. මට මතක් උනේ ප්ලූටොයි, බඩයි මුලින්ම මෙහෙ ආපු දවස.. උන් දෙන්නත් මේ විදියටම උණ විකාරෙන් කියෙව්වනේ..

උඹල මෙහෙ බෝඩ් වෙලා නේද ඉන්නවා කිව්වෙ.. රෙන්ට් එක කීයද..?

මාසෙට දහ දාහයි..

මටත් කලින් චමිලයා පැනලා දුන්නා..


මෙතන ඊටත් වඩා වටිනවා බං.. කාමරම කීයක්ද බලපංකො.. අපි පස්දෙනා දෙදාහ ගානෙ ෂෙයා කරමු.. අපිත් එනවා මාසයක් විතර උඹලා එක්ක ඉන්න..

මේවා තමයි දිට්ඨධම්ම වේදනීය කම්ම කියන්නෙ.. ඇස් පනාපිට පව් පල දෙනවා... තාත්තා හැම තිස්සෙම කියන්නෙ සෙවන පූජාසනයක් වගේ තැනක්.. පරිස්සමින් පාවිච්චි කරන්න කියලා.. මුන්ට කොහොමද ඒවා කියන්නෙ..

මෙහෙ කට්ටිය වැඩි වෙනවට අයිතිකාරයො කැමති නෑ.. අපිත් මේක ගත්තෙ බොහොම අමාරුවෙන්..

මං මතීලට කිව්වෙ බොරුවක් නෙමෙයි.. ඒත් බඩල රිවස් එකට යන පාටක් නෑ..

කාමරත් ගොඩක් තියෙන එකේ අපි දවසකට දෙකකටවත් එන්නං.. අයිතිකාරයො දැනගන්නෙ නෑනෙ එතකොට..

මාව බලන්න කියලා චමිලලා එක්ක ආපු ඩබල මං දිහා හැරිලවත් බලන්නෙ නැතුව ගේ දිහා බලලා යන්න ගියා.. ඒ ගිය විදියෙන්ම කියන්න පුළුවන් අද හෙටම උන් දෙන්නා ඇදුම් පොට්ටනියත් උස්සගෙන ආපහු එන විත්තිය..

උඹලා දෙන්නා මොකක් හරි ප්ලෑන් එකක් කල්පනා කරපං.. මං ගිහින් බඩ බස්සගෙන එන්නං..

මතීලා ගිහින් පැය කාලක් යන්න කලින් චමිලයත් කැපුනා.. ඌ මතීලව එක්කගෙන ඇවිත් වැඩේ වන කරලා දැන් යනවා අපිට ප්ලෑන් කල්පනා කරන්න කියලා.. අනේ මෙහෙමත් යාළුවො..

මතීයි, තාරුයි මොනව උනත් හොද කොල්ලො දෙන්නා.. තවත් බොරු නොකර ඔන්න ඔහේ ඇත්ත කියලා දාපං..

ප්ලූටො එක්ක පැයකට වඩා කතා කරලත් ඌ අන්තිමට දුන්නෙ ඔය උත්තරේ.. ඇත්ත කියන්න ඔය තරම් ආසාවක් තියෙනවානං මං පංති ගිය මුල්ම දවසෙ ඇත්ත කියනවනෙ.. මෙච්චර තටමන්න ඕනයෑ..

දැන් මුකුත් කියන්න ඕන නෑ.. මං කොහොමත් ආපහු පංති එන්නෙ නෑනෙ..

ඔන්න.. ඔන්න.. ආපහු පටන් ගත්තා.. තව සති කීයද බං.. මේ කෝස් එක ඉවර කරන්න තියෙන්නෙ.. ඒකවත් කවර් කරපං..

ඒ ගැන හිතන්න දෙයක් නෑ.. මං මගෙ තීරණේ වෙනස් කලා.. මං අපේ තාත්තගෙ ෆිල්ම් එකකින්ම ආපහු ෆීල්ඩ් එකට එනවා.. ඒක නම්බුයි..

ඇයි උඹ කටුස්සෙක් වගේ පාට මාරු කරන්නෙ..? මාරසිංහ සර්ගෙ ෆිල්ම් එකකින් ආවොත් උඹට නම්බු නැද්ද..?

ප්ලූටො අති දක්ෂ ලෙස කණා මුට්ටිය බින්දා.. මාරසිංහ සර්ගෙ ෆිල්ම් එකක රගපාලා මගේ නම්බුවත් නැති කරගන්න මට ඕන නෑ..

උඹත් වෙලාවට අහස වගේ.. හැම දේම හිතේ හංගගෙන හදිස්සි තීරණ ගන්නවා.. ඕන මගුලක් කරගනිං..

ඌ ඕන මගුලක් කරගනිං කියලා දමල ගහලා ගියාට මං කොහෙමද ඒක කරන්නෙ.. දැක්ක ගමන් හිත ගියේ කෙල්ලො දෙන්නටයි.. එක්කෙනෙක් සමාධි.. ඒකි මට වඩා වැඩිමල් කිව්වා.. දෙවනි කෙල්ල නෙතුෂි.. එයා තනිකරම බ්ලූ ෆිල්ම් එකක් වෙලා.. මුලදි නරකයි කියලා හිතං හිටපු නයෝමි විතරයි වැදගත් කෙල්ලෙකුට ඉන්නෙ.. ඒත් ඉතිං එයත් බොම්බෙ ලුකින් කල්කටානෙ.. මේ අසරණ හිරූෂයගෙ නළලෙ මල්සරා මුකුත්ම කොටලා නැද්ද කොහෙද.. 




No comments:

Post a Comment