Friday, April 6, 2012

| ඒ ම‍ගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක |






පහුවෙනිදා උදේ දහයට විතර ටෙලිෆෝන් එක වදින සද්දෙට මං ඇහැරුණා.. ටිකක් වෙලා හොද ඕනෑකමෙන් අහන් හිටියත්, මෙලෝ මනුස්සයෙක් ෆෝන් එක ඉස්සුවෙ නෑ.. ඒ කියන්නෙ මේ කෝල් එක අපේ ගෙදර කාටවත් නෙමෙයි වෙන්නැති.. ඒකනේ කවුරුවත් ගන්නැත්තේ.. ඒත් හත්තිලව්වේ බන්ටි කියලා හාදයෙකුත් මේ ගෙදර ඉන්නවනේ.. සමහර විට ඌටද දන්නෑ කෝල් එක.. සමහර විට කෝල් එක කට් වෙන්න තිබ්බෙ තව තත්පර දෙකක් නැත්නම් තුනක් වෙන්නැති.. ඇදගෙන හිටපු ෂෝට පිටින්ම මං පල්ලෙහාට දිව්වා..


"හලෝ.."

තුන් මුනින් හති දාගෙන මං ෆෝන් එක ඉස්සුවත් එහා පැත්තෙ ඉන්න එකාගෙන් කිසිම සද්දයක් ආවෙ නෑ.. ඒක හින්දා මං තුන් හතර පාරක්ම කට පාඩම් කරන්න වගේ හෙලෝ කියන වචනෙ කිව්වා..

"අයි ලව් යූ ඩාලින්.. යූ.. ආ.. මයි ඩ්‍රීම් බෝයි.."

මහ ගොරෝසු සද්දෙට, රහසින් වගේ වචන එකින් එක ඇහෙද්දි මං උඩ ගිහින් බිම වැටුණා.. මේ මොකාද යකෝ මේ.. උදේ පාන්දරම ආදරයක් ගැන කතා කරන්න තරම් ප්‍රේමෙන් මච්වෙච්ච එකා.. මූ ආදරේ කලවම් කරන ගමන්ද කොහෙද කතා කරන්නේ.. 

"හලෝ.."

කතා කරපු එකා ගෑනියෙක්ද, පිරිමියෙක්ද කියලා මට හිතාගන්න බැරිවුණ හන්දා මං ආයෙත් හලෝ කිව්වා.. ඒත් එහා පැත්තෙන් ෆෝන් එක තියෙන සද්දෙ මට ලාවට වගේ ඇහුණා.. අඩේ අප්පා.. මගේ අද දවසම මුස්පේන්තු කරන්න උවමනා වෙලා තියෙන්නෙ කාටද..? වෙච්ච පටලැවිල්ලෙ හැටියට යන්නෙ කොහෙටද කියලවත් මට හිතාගන්න බැරිවුණා.. ඇත්තටම මොකාද අප්පෙ ඒ කතා කෙරුවේ..? ප්‍රේමදාසද..? නැත්නම් ප්‍රේමවතීද..? අනිත්තෙක දෙයියනේ ආදරෙයි කියලා ඔය තරම් ගොරෝසු විදියට කියන්න ඕනෙද..? මේකා මේක කිව්ව තාලෙට මගේ ඇගේ මයිලුත් කෙලින් වුණානේ..

කතන්දරේ සිද්ධ වෙලා වැඩිම උනොත් තත්පර තුනක් යන්නැති.. ආයෙත් ෆෝන් එක රින්ග් වුණා.. එහෙනම් පහුගිය දවස්වල අපේ ගෙදර තිබ්බ මල යුද්ධෙට එකම හේතුව මේකයි.. මං ගණන් ගත්තෙ නැති උනාට මේ විදියෙ තුන් හතර පාරක් කෝල්ස් ආවාම මල පනින්නැත්තෙ කාටද අප්පා.. අම්මප මොන වෙල්කකුට්ටද මේ අපේ ගෙදර මිනිස්සුන්ගෙ ජාතික සමගිය අස්ථාවර කරන්න හදන්නේ..

"හලෝ.."

"ඇති යාන්තං..! උඹේ කටහඩවත් අහන්න පුදුම සටනක්නේ බං දෙන්න ඕන.."

පිස්සු හැදෙනවා.. මෙන්න යකෝ බින්දුවා ෆෝන් එකේ.. මගේ සංතෝසෙ තියන්න තැනක් හොයාගන්න මට බැරිවුණා..

"දැන් ඩිංගකට කලින් උඹ ගත්තද..?"

"පිස්සුද බන්ටි.. අද දවසට මං මේ ගත්තමයි.. මං ඒත් බයෙන් බයෙන් ගත්තේ.. උඹලගෙ ගෙදර ඈයෝ කැත නැතුව බනිනවනේ.."

"මං මේ උඹට පලු පැලෙනකන් බැණ බැණ ඉන්නවා උනේ මොකක්ද කියලා දන්නැතුව.. පස්සෙ සරිගමයා ඊයෙ විස්තරේ කිව්වම තමයි හැමදේම නිරවුල් උනේ.. දැන් පුංචි අම්මට කොහොමද බින්දු..?"

"දෙයියන්ගෙ පිහිටෙන් දැන් ටිකක් හොදයි.. ඒත් දොස්තරලා කියනවා රටේ නැති විටමිනුයි, පිටින් බේතුයි අරන් දෙන්නයි කියලා.. මට මේවා කියන්න උඹ විතරයි ඉන්නෙ බන්ටි.. මං ඊයෙ සරිගමයට වත් ඒ පැත්ත ගැන කිව්වෙ නෑ.. මං අරන් ආපු සල්ලි ටිකත් ඉවරයි.. ආයෙ නුවර ඇවිත් යන්න ගියොත් ගෙදරින් රටේ ප්‍රශ්න දාවි.. දැනටමත් මට ඇතිවෙන්න බනිනවා.. මං මොනවද කරන්නෙ බන්ටි.. මට මේ මනුස්සයව දාලා එන්න පුලුවන්ද..? කාත් කවුරුවත් නැති හිගන්නෙක් විදියට මැරිලා යන්න පුංචි අම්මව මෙහේ දාලා මං කොහොමද නුවර එන්නේ..?"

"ඔය ඔක්කොම මට තේරෙනවා බින්දු.. ඒ ගැන වැඩිය උඹ හිතන්නෙපා.. මං තව ඩිංගකින් උඹේ එකවුන්ට් එකට සල්ලි දානවා.. උඹේ ATM කාඩ් එකෙන් සල්ලි ගනින්.."

"උඹ ගාවත් සල්ලි නෑනේ බන්ටි.."

"උඹට ඒ කෙහෙල්මල් වැඩක් නෑ.. මං සල්ලි එවනවා.. උඹ ගනින්.. පුළුවන් තරම් ඉක්මනට පුංචි අම්මව සනීප කරගනිං.. උඹ දන්නවනේ.. මට ගෙදරින් කොහේවත් යන්න දෙන්නෑ කියලා.. අපි අර මහියංගනේ ගියපු ගමනෙන් පස්සේ.. නැත්නම් මං මෙලහකටත් නාවලපිටියෙ ඇති.."

"මට තේරෙනවා බන්ටි.. මොනව උනත් පුංචි අම්ම සනීප උනු ගමන්ම මං නුවර එනවා.. ඒක නෙමේ මට උඹට කියන්නත් බැරිවුණා.. හෙට නැත්නම් අනිද්දා නිරෝෂි මෙහේ එනවා කිව්වා.. එයාටත් ඕනලු පුංචි අම්මව බලන්න.."

එහෙනම් ඊයෙ සරිගමයා කියපු කතන්දරේ සිද්ධ වෙන්නයි යන්නේ.. ඇත්තටම බලන් ගියාම කෙල්ලො කියන්නෙ  මහ පුදුම අමුනුස්ස ජාතියක්.. ඇයි යකඩෝ.. පණට පණ සේ එකෙකුට ආදරේ කරන ගමන් තවත් එකෙකුට කිසිම කැතක් නැතුව ආදරේ කරන්න පුදුම සමාර්ථකමක්නේ දක්වන්නේ.. හැබැයි ඉතිං කොල්ලොත් ඒ වගේ තමයි.. තකට තක කියලා අර කතාවක් තියෙන්නෙ ඕක හින්දා වෙන්නැති..

"නිරෝෂි උඹට නිතරම කතා කරනවද..?"

"ඔව් බන්ටි.. නිරෝෂියි, උඹලයි නැත්නම් මං මේ වෙනකොට කොයි තරම් අසරණ වෙලාද..? පහුගිය දවස්වල උඹව කන්ට්‍රැක්ට් කරගන්න බැරිවෙද්දි, නිරෝෂි තමයි මට සල්ලි එව්වෙත්.. පව් බන්ටි.. එයාටත් රටේ නැති ප්‍රශ්න.. හරි නම් මමයි, නිරෝෂිට උදව් කරන්න ඕන.. ඒත් දැන් මට වෙලා තියෙන්නෙ එයාගෙන් උදව් ගන්න.."

"මොනවද නිරෝෂිට වෙලා තියෙන ප්‍රශ්න..?"

කතන්දරේ හරි තැනට එනවා කියලා මට තේරුණු හන්දා මං ඇහුවා.. මොකෝ, නිරෝෂිට ප්‍රශ්න කියලා කියන්නේ, ළමයෙක්වත් හම්බවෙන්න ඇවිල්ලද..? නෑනේ.. තනිකරම බොරුවනේ ඔය කෙල්ල ඔය අරගෙන යන්නේ.. ඒකිට ප්‍රශ්නයක් වෙලා ඇත්තෙ ලව් දෙකක් කොහොමද එක පාර කරන්නෙ කියලා.. අපේ එකත් ඉතිං ඉහලින්ම ඇන්දිලා ඉන්නවනේ.. අනේ කාලේ වනේ වාසේ කියන්නෙ මේවට තමා..

"ඒක ටිකක් දිග කතාවක් බන්ටි.. මෙහෙම ෆෝන් එකෙන් කියන්න කියන්න පුළුවන් දෙයක් නෙමෙයි.."

"ඒ කිව්වේ..?"

"නිරෝෂිලගෙ පවුලෙ ප්‍රශ්නයක්.. මං ඒ ගැන උඹට නුවර ආවාම කියන්නම්.. එහෙනම් මම තියන්නම් බන්ටි.."

මගේ කට ආයෙත් හැරෙන්න කලින් බින්දු ෆෝන් එක තිබ්බා.. සමහර විට උගේ සල්ලි ඉවර වෙන්නැති.. ඇයි ඉතිං විනාඩි පහලොවක් විතර කතා කලානේ.. ඒත් මගේ හිතට මහ නිකං මොකක්ද මොකක්ද වගේ.. මොනවම හරි ලොකු අඩුවක් බින්දුගෙ කතාව පුරාම තිබුණා කියලා මට තේරුණා.. ඒත් ඒ අඩුව මොකක්ද කියලා කොයි තරම් කල්පනා කරත් මට හිතාගන්න බැරිවුණා..

"බන්ටි මහත්තයෝ.. කොහෙද මේ කලබලේ දුවන්නේ..?"

මූණත් එහෙන් මෙහෙන් හෝදගෙන ෂෝටට උඩින් ඩෙනිම දාගෙන සාලෙට එද්දිම බේබි නැන්දා මූණටම හම්බවුණා.. එයා මගේ මූණෙ ඉදන් පල්ලෙහාට යනකල් හොදට බැලුවා..

"මං බැංකුවට ගිහින් එන්නම් බේබි නැන්දේ.."

"තාම උදේට කාලවත් නෑනේ.. ඔය බඩගින්නෙමද යන්න හදන්නේ.. අනික මොකද මේ හදිසියෙ බැංකු යන්නේ..?"

"බඩගින්නට වැඩිය මේක වැදගත්.. අපේ බින්දුට සල්ලි ටිකක් ඕන වෙලා.. යාලුවෙකුට උදව් කරන්න බන්ටි ඉතිං ඕන වෙලාවක සැදී පැහැදී ඉන්නවනේ.. ඉතිං මං යනවා.. ගියා ආවනේ බේබි නැන්දේ.. මොකෝ මං මහියංගනේ නෙමේනේ යන්නේ.. නුවර ටවුන් එකටනේ.."

"බන්ටි මහත්තයා ගාව සල්ලි නෑනේ.."

"සල්ලි නැති උනාට මේක තියෙනවනේ.."

මගේ බෙල්ලෙ තිබුණ මාලෙ එලියට අරගෙන බේබි නැන්දට පෙන්නුවා.. ජීවිතේට අහපු නැති කතාවක් මේ දැන් කන් දෙකට ඇහුණා වගේ බේබි නැන්දගෙ ඇස් දෙක උඩ ගියා.. මං කියපු කතාව එයාට විශ්වාස කරන්නත් බැරිවුණා වගේ..

"බන්ටි මහත්තයා හදන්නෙ ඔය මාලේ උකස් තියන්නද..?"

"ඔව්.. ඇයි ඒකෙ මුකුත් ප්‍රශ්නයක් තියෙනවද..?"

"අනේ.. ඔය මාලෙ බන්ටි මහත්තයට අම්මා දීපු මාලෙනේ.. ඕක උකස් කරලා හරි යනවද..?"

"බේබි නැන්දත් කියන්නෙ පුදුම කතානේ.. ඇයි හත්තිලව්වේ.. රත්තරං බඩු තියෙන්නෙ නැති බැරි කාලෙකට උකස් කරන්නනේ.. පස්සෙ පුළුවන් වෙලාවක බේරගන්න පුළුවන්නේ.."

"අනේ මං ඕවා දන්නෑ.. ඒත් මං බන්ටි මහත්තයගෙන් ඉල්ලන්නෙ, ඔය මාලෙ නම් උකස් කරන්නෙපා කියලා.. බන්ටි මහත්තයට ඕන සල්ලි ටික මං දෙන්නම්.. ඒක මට ආයෙ ඕනෙත් නෑ.."

"බේබි නැන්දේ.. ඔයාට පිස්සුවක් හැදීගෙන එනවද..? මං කොහොමද ඔයාගෙන් සල්ලි ගන්නේ.. ඔයත් කොයි තරම් අමාරුවෙන්ද සල්ලි කීය කීය හරි එකතු කරන්නේ..?"

"ඒ උනාට මං කියන දේ ඩිංගක් අහන්න බන්ටි මහත්තයෝ.. දෙයියන්ගෙ නාමෙට ඔය මාලෙ උකස් කරන්නෙපා.. මං ලොකු මහත්තයට කියලා සල්ලි ඉල්ලලා දෙන්නම්.. බන්ටි මහත්තයට මගේ සල්ලි ගන්න බෑනේ.."

කරේ තිබ්බ මාලේ ඇගිල්ලෙන් එහෙට මෙහෙට අදින ගමන් මං බේබි නැන්දා දිහා බැලුවා.. මේක මහ පුදුම කතාවක්නේ.. ඒ කියන්නෙ මගේ හද්ස්සියකට වත් මේ මාලෙට මුකුත් කරන්න මට බෑ..

"ඔන්න ඕකනේ බේබි නැන්දේ කියන්නේ..? හිතේ තියෙන ෆිට් එකට මං ඔයත්තෙක්ක ඕන බඩකඩිත්තුවක් කියනවා.. අන්තිමට මේ ගෙදර අනිත් මිනිස්සු වගේ ඔයත් මට බැරියර් දානවා.. ඔයාට තේරෙන්නෙ නැද්ද.. මේක මට සල්ලි ඕනම කරන වෙලාවක් කියලා.. අනික නිකං ජොලි දාලා කාබාසිනියා කරන්න නෙමේනේ.. මනුස්සයෙක්ගෙ ජීවිතයක් බේරගන්න.."

"මට තේරෙනවා බුදු මහත්තයෝ.. ඒත් ඔය මාලෙට නම් මුකුත් කරන්නෙපා.. මහත්තයගෙ අම්මා කොයි තරම් ආදරෙන්ද ඔය මාලෙ මහත්තයගෙ කරට දැම්මේ.. පුංචිම දවස් වල ඔය මාලෙ බෙල්ලෙ තියෙද්දි මහත්තයා රත්තරං කඹයක් දාගෙන ඉන්නවා වගෙයි පෙනුණෙ.."

බේබි නැන්දගෙ මූණ මහ කලු වලාකුලකින් වැහිලා ගියා.. යකෝ.. බේබි නැන්දට මේ තරම් අවුල් වෙන්න මං මොනවද කිව්වේ.. අම්මපා.. මං කිව්ව දෙයක් නෑනේ.. මොන අවනඩුවක්ද මේ..?

"බන්ටි මහත්තයට වටින්නෙ නෑ ඒ මාලෙට ඔහොම කරන්න.. මං මහත්තයා ගැන කොයි තරම් හොද විදියටද හිතාගෙන ඉන්නේ.."

උදේ පාන්දර දහයට ආපු කෝල් එකත් එක්ක සියලුදේම අවුල්වෙන තත්වයක් මට පෙනුණා.. දවසම මූසල කෙරුවෙ ඒ කෝල් එකෙන්නේ.. මේ හොදට හිටපු බේබි නැන්දත් මරු කියවන්නෙ ඒකනේ..

"හරි.. බේබි නැන්දා කියන්නෙ මට මොනවා කරන්න කියලද..?"

බැරිම තැන මං ඇහුවා.. ඔන්න එතකොට තමයි මං දැක්කේ බේබි නැන්දගෙ මූණෙ පිපුණු ලස්සන හිනාව..

"මහත්තයට මං සල්ලි දෙන්නම්.. ඒක අරගෙන ගිහින් ඔය වැඩේ කරගන්න.."

"හොදයි දැන් බේබි නැන්දා ගාව සල්ලි තියෙනවද..?"

මං අහපු දේට වචනයක්වත් කියන්නැතුව එයා කාමරේ ඇතුළට ගියා.. එළියෙ ඉදගෙන මං කල්පනා කෙරුවෙ මාලෙ පලහිලව්ව ගැන.. පේන හැටියට නම් මේ මාලෙ මොකක් හරි අවනඩුවක් තියෙන්න ඕන.. නැත්නම් බේබි නැන්දා ඔය තරම් මරු කියවන්නෑ..

"ආ.. මහත්තයෝ.."

දික් කරපු සල්ලි මිටිය මං කැත නැතුව ගත්තා.. එතන හරියටම රුපියල් දහදාහක් තිබුණා.. මට ඕන උනෙත් මේ ගානමයි.. බේබි නැන්දා කොහොම ඒක දැන ගත්තද මන්දා..

"ඇත්තටම බේබි නැන්දා.. ඔය මොනවදෝ හුට පට වගයක් කියවලා මූණ නරක් කරගත්තු හින්දයි මං මේක ගත්තේ.. හැබැයි ඉතිං මාලෙ උකස් තියන්නත් එපා කියනවා නම් මට මේ සල්ලි දෙන දවසක් නම් කියන්න බෑ..."

"මට සත පහක්වත් එපා මහත්තයෝ.. මහත්තයා වැඩේ කරගන්නකෝ.."

බේබි නැන්දට අතකුත් වනාගෙන මං එළියට බැස්සා.. මේ සල්ලි ටික දැම්මහම බින්දුට ඕන දේල් ටික කරගනීවිනේ.. ආයෙ එතකොට නිරෝෂිගෙනුයි, අරකගෙනුයි මේකගෙනුයි සල්ලි ඉල්ලන්න ඕන වෙන්නෑනේ.. එහෙම හිතෙද්දි නම් මගේ හිතට පුංචි සැහැල්ලුවක් දැනුණා..

සල්ලි බැංකුවට දාලා හැරෙන තැපෑලෙන් මං ගෙදර එන්න ආවා.. නුවර ටවුන් එක මොන තරම් සිරියාවන්ත උනත් කොල්ලො කවුරුවත් නැතුව ටවුමෙ රැදිලා ඉන්න හිතක් මට තිබුණෙ නෑ.. අඩු ගානෙ හිසේ කැක්කුම හැදෙනකල් කියවන්න, පයිතගරස්වත් හිටිය නම් කියලා නිකමට වගේ මට හිතුණා..

"බන්ටි මල්ලි.."

ගෙදරට හැරෙන වැලි පාර ළග හිටගෙන හිටියෙ මොරීන් අක්කා.. මෙයා මොකද මේ මද්දහනේ මෙතන කරන්නේ..? තවත් පිය විප්පයෝග කතන්දරයක්ද..? 

"ෂහ්.. මොරීන් අක්කව දකින්න තියෙන අමාරුවක්.. හැබෑට කොහෙද අප්පේ පහුගිය දවස්වල ගිහින් හිටියේ.. කොහේ හරි පිටරටකට වත් ගිහින් හිටියද..?"

මේ ඊයෙ හවසත් දැකලා, වගේ වගතුවක් නැති තාලෙට මං ඇහුවා.. ගෑනි මාව දැකලා තිබුණෙත් අනාථ මාරුතේ.. කුණාටු සාගරේ වගේ තමයි.. හැබැයි ඉතිං පස්සෙ කියනවා, දිවිය තිබෙන තුරු මගේ ඔබයි ආදරේ කියලා..

"මොන රටවල් ද බන්ටි.. මට දැන් වෙලා තියෙන්නෙ ගම් රටවල් අතෑරලා යන්න.."

"අම්මපා..?"

"ඔව් බන්ටි.. ඔයාලගෙ මහ ලොකු සුදු අයියා මට කෙරුවෙ ජරා වැඩේ හොදම එක.."

දැන් අර විවිධ ගීත දර්ශක වල එක දෙක තෝරනවා වගේ ජරා වැඩ වලත් එක දෙක තෝරනවද කොහේද..? ඒකනේ මෙයා මේ හදවත කඩාගෙන වමාරන්නේ..

"ඔයා දන්නවනේ මොරීන් අක්කේ.. මං ඔය මුකුත්ම දන්නැති කිරි සප්පයා කියලා.. මාව නම් ඕවට අල්ල ගන්නෙපා.. මං හරි අහිංසකයි.."

"ඔයා අහිංසක උනාට ඔයාගෙ අයියා නම් බින්දුවක්වත් අහිංසක නෑ.. එයා මහ කැත සතෙක්.. ඔයා දන්නවද.. ඔයා දන්නවද බන්ටි.. ඔයාගෙ අයියට ගෑනු ළමයෙක් ඉන්නවා.."

"අම්මපා.."

මොරින් අක්කට නම් හොදටම පිස්සු.. අපේ එකා එක්ක ගෑනු ළමයි යාලුවෙන්නෙ හීනෙන් තමයි.. ඇයි අප්පා.. මුගේ මූලග්ගාය එක්ක කාටද ජීවත්වෙන්න පුළුවන්.. වැඩිම උනොත් කීර කොටුවක්  හරි කොහිල කොටුවක් හරි අයිතිකාරයෙක්ගෙ දුවෙක් තමයි..

"ඔව්.. ඔයා හිතන්නෙ බොරුවක් කියලද..? හැබැයි බන්ටි මං මේක ලේසියෙන් අතාරින්නෑ.."

"දැන් කවුද ඔය ගෑනු ළමයා..?"

"ලස්සන කෙල්ලෙක්.. මේ පැත්තෙ දවස් දෙක තුනක් කැරකැවෙනවා මට අහුවෙලත් තියෙනවා.. ඒත් ඉතිං කවුද දෙයියනේ දන්නෙ මගේ ආදරේට වින කරන්න ආපු දේවදත්තයෙක් කියලා.."

අනේ අපි නොදන්න මොණරතැන්න.. බලපල්ලකෝ ඒ කතාවෙ තිබ්බ ගැම්ම.. දවස් දෙක තුනක් මේ පැත්තෙ කරකැවිලා තියෙනවලු.. ෂුවර් එකට එහෙනම් මෙයා දකින්නැත්තේ කූරියා ගහපු සරුංගලයක් වෙන්නැති.. නැත්තං ඉතිං මේ ගෙදරට දෙනෝ දාහක් යන පාර ඉස්සරහ, ආලෙන් අන්ධ වෙන්න අපේ එකාගෙ මං දන්න තරමින් වයර් ෂෝට් එකක් නෑනේ.. ඌට තියෙන්නෙ මූලග්ගාය විතරනේ.. 

"මට නම් විශ්වාස කරන්න අමාරුයි.."

"ඔව් ඉතිං.. ඔයත් අයියගෙ පැත්ත අරන්නේ ඔය කතා කරන්නේ.."

"මම කාගෙවත් පැත්ත ගත්තෙ නෑ.. හරි.. දැන් ඔය යාලුයි කියන කෙල්ල මොරින් අක්කා අවසාන වතාවට දැක්කෙ කවදද..?"

"මේ දැන්.."

"අම්මපා මොරින් අක්කේ මේ දැන් නම් මටත් හම්බ වෙන්න එපැයි.. මොකද මාත් මේ පාර දිගේනේ ආවේ.."

"ඒවා ඉතිං මං දන්නෑ.. හැබැයි බන්ටි මං එයාලට හොදින් නම් ඉන්න ඉඩ දෙන්නෑ.. ඔයාගෙ සුදු අයියා දන්නෑ ප්‍රේමයයි, වෛරයයි අතරෙ වෙනස කෙස් ගහයි කියලා.."

දැන් නම් මොරීන් අක්කට ලව් මාන්දමේ හොදම එක හැදිලා තියෙන්නේ.. තව මෙතන බලන් හිටියොත් ඕවා බෝ වෙනවා.. මොනවා බෝ කරගත්තත් ඔය ලව් මාන්දම නම් බෝ කරගන්න හොද නෑ..

"ඒ කියන්නෙ අපේ අයියගෙ කෙල්ල මොහොතකට කලින් මේ පැත්තෙ කරකැවුණා..?"

"කරකැවුණා නෙමේ බන්ටි මල්ලි.. ඒකි කැත නැතුව ඔයාලගෙ ගෙදරටම රිංගුවා මිසක.."

"මොනවා.. අපේ ගෙදරට..?"

මොරින් අක්කා කියන්නෙ ඇත්තක්ද බොරුවක්ද කියලා මට හිතාගන්න බැරිවුණා.. මෙයා සාමාන්‍යයෙන් පච හලන කෙනෙක් නම් නෙමෙයි..

"ඔව්.. ඔයාලගෙ ගෙදරට තමයි.."

අම්මපා.. මේක නම් ඇස් දෙකේ හොටු ඇරලා, කබ කඩලා නිරවුල්ව බලන්න ඕන දෙයක්.. මොරින් අක්කා එතනම ඉද්දි, මං ගේ දිහාට දුවගෙන ගියා.. කවුද අප්පා මෙයා මේ තරම් විකාර කරවපු සුංගනාවි.. අනික මේ කියන තරම් ලස්සන නම් බන්ටි කොහොමද මීට කලින් ඒ ලස්සන කෙල්ලව නොදැක්කේ.. කෙල්ල මේ පැත්තෙ කරකැවෙද්දි බන්ටි කොහෙද හිටියේ..?

"බේබි නැන්දේ.. කවුද අපේ ගෙදර ඉන්නේ..?"

ගෙට ගොඩවුණ ගමන්ම මට මුණ ගැහුණෙ බේබි නැන්දා.. වටපිට බැලුවා උනත් පේන්න කිසිම කෙනෙක් හිටියෙ නෑ..

"ඇයි.. ඇයි බන්ටි මහත්තයෝ..?"

"අහපු දේට උත්තර දෙන්නකෝ.. ප්‍රශ්න අහන්නැතුව.. මට පුංචි ප්‍රශ්නයක් ඇවිත්.. ඒකයි.."

බන්ටිට පුංචි ප්‍රශ්නයක් ඇවිත් කියලා කියන්නෙ අනිත් මිනිස්සුන්ට ඔලුව සාක්කුවෙ ඔබාගන්න ඕන තරම් බොන්න ඕන දරුණු කේස් එකක්.. ඒක ගැන හොදටම දන්න හින්දා බේබි නැන්දා කලබල වුණා කියලා මට තේරුණා..

"කවුරුවත් නෑ.. මං විතරයි ඉන්නේ.."

ඒ කියන්නෙ මොරීන් අක්කා මට බබා පෙන්නුවා කියනෙකද..? ඒත් ඇයි එයා එහෙම කරේ.. එයා ඇයි මට බොරු කිව්වේ..?

"එතකොට කවුරුත් මේ ගෙදරට ආවෙ නැද්ද..?"

මං ඇයෙත් සැරයක් බේබි නැන්දගෙන් ඇහුවා..

"දැන් ටිකකට කලින් නම් සමුදිනී නෝනගෙ යාලුවෙක් නම් ආවා.. ඒත් නෝනත් එක්කම ඒ යාලුවා ආපහු ගියානේ.."

"කවුද බේබි නැන්දෙ ඒ යාලුවා..?"

"නම නම් මුතූ ද කොහෙද..? මට මතකයි පහුගිය දවසක බන්ටි මහත්තයත් ඔය මුතූ කියන ගෑනු ළමයලහ ගියා.."

මොකක්ද බං ඒ වනචාරී කතාව..? මං කොහෙද බං ගෑනු ළමයෙක්ගෙ ගෙදර ගියේ..? බේබි නැන්දා ඉන්නෙ හොද සිහියෙන්ද කියලා බලන්න මං එයා දිහා හොදට බැලුවා..

"ඇයි බන්ටි මහත්තයෝ.. අර මුරුගසන් වරුසාව වැටුණු දවසක සමුදිනී නෝනත් එක්ක සුදු හුම්පල පැත්තෙ ගියේ.. එතකොට ඒ දරුවා මෙහේ ඇවිත් ගිහින් තිබුණෙ..  ඒත් මතක නැද්ද..? ඇයි අප්පේ වෙඩින් එකකට අදින බ්ලවුස් පලහිලව්වකට නේද ඔය මහ වැස්සෙ එළියට බැස්සේ..?"

බේබි නැන්දගෙ මතකය ගැන මට පුදුම හිතුණා.. ඇයි හත්තිලව්වේ.. ඔය වගේ කඩින් කඩ විකාශනේ වෙච්චි නාට්ටි දණ්ඩක සීන්ස් මතක තියාගන්න පරිණකයක් වගේ මෙමරියක් ඕනනේ.. ඒත් ඒ වැඩකට නැති කතන්දරේ බේබි නැන්දා ඇයි මේ තරම් හොදින් මතක තියන් ඉන්නේ.. මට ලොකුම ප්‍රශ්නෙ තිබ්බෙ එතනයි..

"දැන් නම් මතකයි.. හැබැයි මං හිතුවට වැඩිය හොද මතකයක් බේබි නැන්දට තියෙනවනේ.."

"හැමදේම ගැන නෑ බන්ටි මහත්තයෝ.. ඒත් මහත්තයා අංශු මාත්‍රයකින් හරි ගෑවිච්ච තැනක වෙච්ච දේවල් උනත්, ඒවා අවුරුදු විස්ස තිහ පරණ උනත් මේ බේබි නැන්දට අද ඊයෙ වගේ මතකයි.."

එහෙම මතක තියාගෙන ඉන්නෙ බේබි නැන්දා මට පණ වගේ ආදරේ කරන නිසා කියලා මම දැනගෙන හිටියා..

"ඒක මං දන්නවා බේබි නැන්දේ.. ඒක නෙමේ.. ඔය මුතූ කියන ගෑනු ළමයා නිතරම අපේ ගෙදර එනවද..?"

"සතියකට කොහොමත් දවසක් නැත්නම් දෙකක් එනවා.. ඇ.. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද..?"

බේබි නැන්දා ඩිංගක් විතර කලබල උනා කියලා මට තෙරුණා..

"මං බේබි නැන්දට ඇත්තම කියන්නම්කෝ.. ඔය මුතූ කියන ගෑනු ළමයා අපේ අයියත් එක්ක යාලුයි කියලා මට නිව්ස් එකක් ආවා.."

"හප්පේ ඇති යාංතන්.. දැන් තමයි මගේ පපුවට හුස්ම බිංදුවක් වැටුණේ.. මං හිතුවෙ බන්ටි මහත්තයට ඒ ළමයා පිළිබද සිතක් පහළ වෙලා කියලා.."

"බේබි නැන්දට පිස්සුද..? මගේ ඔය ගෑනු කතන්දර නෑ කියලා ඔයා දන්නවනේ.. ඒත් ඇයි බේබි නැන්දා කිව්වෙ හුස්ම බිංදුවක් වැටිච්ච කතන්දරයක්.. ඒ කියන්නෙ ඒ ගෑනු ළමයා හොද නැද්ද..? ලස්සන මදිද..?"

"ලස්සන නම් වැඩිත් එක්ක.. ඒත් කට නම් කතුර වගේ.. බන්ටි මහත්තයට එයා හරියන්නෑ.. මහත්තයට හරියන්නේ අහිංසක ගෑනු ළමයෙක්.. හරියට නිකං ඩිංගක් සැර කලොත් හරි, ඩිංගක් බොරුවට බැන්නොත් හරි ඇස් දෙකේ කදුළු පුරවගන්න තාලෙ කෙනෙක්.."

පිස්සු හැදෙනවා.. බේබි නැන්දා මාර දුරක් හිතලනේ.. යකෝ මංවත් ඔය තරම් හිතල නෑනේ..

"ආ.. පෝ.. එයා එතකොට නිතරම ඇස් දෙකේ කදුළු පුරවගෙන, හොට්ට පෙරාගෙන ඉිදියි.. මට වෙන්නෙ ලේන්සු ෆැක්ටරියක් දාන්න.."

"ෆැක්ටරියක් දැම්මත් කමක් නෑ.. මම කැමතියි ඒ වගේ ගෑනු ළමයෙකුට.. ඔන්න බන්ටි මහත්තයෝ කවුරු හරි ගැන හිතක් පහළ කරගන්නවා නම් ඒ ගැනත් හිතන්න ඕන හොදේ.."

මැදෑ අර අයියා කියන අසත් පුරුෂයගේ ප්‍රශ්නයක් අහන්න ඇවිත් අන්තිමට ජයවිරු සම්පත ඇදුනෙ මටනේ.. දැන් මේ ගෙදර ඉන්න අනිත් අයත් ඔය වගේ කන්ඩිෂන්, බන්ටිට දැම්මොත් එහෙම බන්ටිට වෙන්නෙ හැමෝම කැමති කෙනෙක්ව යාලු කරගන්න.. මොන පිස්සුද..? ඒවා නම් හදේ.. හැබැයි ඉතිං බේබි නැන්දා කියපු අර අඩන බබාගෙ කතන්දරේ නම් බන්ටිට ටිකක් වැදුනා.. ඒක නම් සලකලා බැලුවට වැරැද්දක් වෙන එකක් නෑ වගෙ..   



                                                 
                                    

No comments:

Post a Comment