Saturday, April 28, 2012

| ගිම්හාන පාරමී | ගයනා එස්. ලක්මාලි |






හවස හය පහුවෙද්දිම වගේ සන්ධනායක අන්කල්ගෙ මොන්ටෙරෝ එක අපේ වත්තට ඇතුල් උනා.. මිදුලෙ ඇවිද ඇවිද හිටිය මං වාහනේ ළගට යද්දිම වගේ ඇතුලෙ හිටපු අපේ තාත්තත් එතනට ආවා.. අන්කල්ටයි, ඇන්ටිටයි පස්සෙ ආපු පාරමීගෙ ඇස් හොදටම රතු වෙලා.. මගේ මූණ දැක්කා විතරයි එයා ආපහු අඩන්න ගත්තා..

“නංගි.. ඇයි මේ..?”


අපේ තාත්තත් පුදුම වෙලා බලන් ඉද්දි මං එයාගෙ මූණට එබුනා.. 'අනේ අයියා' කියාගෙන මගේ අත අල්ලගත්තු පාරමීගෙ ඇඩුම එක පාරටම වැඩි උනා..

“චූටි දූ..”

කවදාවත් නැතුව ඒ මහා සද්දෙට කෑ ගැහුවෙ සන්ධනායක අන්කල්.. ඒ සද්දෙට නිල්මිණි ආන්ටි උනත් බැලුවෙ බය වෙලා වගේ.. කට්ටියම ගේ ඇතුළට යද්දි අපේ තාත්තා හෙමීට අන්කල්ට කිට්ටු උනා..

“අපි පරක්කු වැඩියි ජයේ..”

මහා පරාජිත විදියට ඒක කියද්දි අන්කල්ගෙ කටේ අර කලින් තිබුණ සද්දෙ තිබුණෙ නෑ.. හැබැයි ඒ කතාවට අපේ තාත්තා සුදුමැලි වෙලා ගියේ හරියට හොල්මනක් දැකලා වගේ..

අපි කට්ටියම සාලෙට ගිහින් ඉදගත්තම අන්කල් තාත්තට කියලා අපේ මල්ලිවත් එතනට ගෙන්න ගත්තා.. අපේ අම්මා බය වෙලා වගේ මගේ මූණ දිහා බලද්දි නිල්මිණී ආන්ටි බලන් හිටියෙ පාරමී දිහා.. මෙතන මේ තරම් සීරියස් ගන්න දෙයක් වෙලාද කියලා මට හිතාගන්න බැරි උනා..

“එහෙනං ජයේ.. අපි කෙලින්ම කතාවට බහිමු නේද..?”

අන්කල්ගෙ කතාව අපේ මල්ලිට හිතා ගන්න බැරුව වගේ එයා හැමෝගෙම මූණු දිහා බලලා පුටුවට හේත්තු වෙද්දි පාරමී අසරණ විදියට අන්කල්ගෙ මූණ බලන් හිටියා..

“හිරාන් පුතා අපේ කෙල්ල ගැන ජයේ එක්ක කියපු කතාව ආපහු සැරයක් කියමුකො බලන්න..”

කවදාවත් නැති විදියට අද අන්කල්ගෙ කතාව මාර තද ගතියක් තිබුණා.. එතන තිබුණ නිශ්ශබ්දතාවය ඉදලා හිටලා හරි බිදිලා ගියේ පාරමීගෙ ඉකි  බිදුමෙන්.. ඒත් එයා අඩන්නෙ ඇයි කියලා අහගන්නවත් එයාව නළවන්නවත් පුළුවන් කමක් මට තිබුණෙ නෑ..

“මං පාරමී නංගිට කැමතියි අන්කල්..”

අපේ මලයා බොහොම අමාරුවෙන් කියලා දැම්මා..

“ඔයා දන්නවද පුතා ඔයාලා දෙන්නව එකතු කරන්න මමයි ජයෙයි තීරණය කලේ ඔයාලා පුංචි කාලෙදිමයි.. ඒ නිසා ඔයාගෙ තීරණේට අපි දෙන්නගෙම කැමැත්ත තියෙනවා..”

මං මේ අහන දේවල් හීනයක්ද කියලා හිතාගන්න බැරි වෙද්දි මම පුටුවෙන් නැගිට්ටා.. පාරමී අඩාගෙනම නිල්මිණී ආන්ටිගෙ ඔඩොක්කුවෙ ඔළුව ඔබාගත්තෙ ඒ වෙලාවෙමයි.. ඒත් ඒ ඇඩුම ගැන අන්කල් සත පහකටවත් ගණන් ගත්තෙ නෑ..

“ඒත් තාත්ති..”

“දූ.. මෙතන තීරණ ගන්නෙ ඔයා නෙමෙයි මම..”

පාරමී මොනවද කියන්න හදද්දිම අහස ගොරවනවා වගේ අන්කල් කෑ ගැහුවා..

“හිම්හාන පුතත් ඔතනින් ඉදගන්න..”

අන්කල් එහෙම කියද්දි කවදාවත් නැති විදියට මට එයා ගැන ලොකු තරහක් දැනුණා.. එයා ගහන පදේට පාරමී නැටුවට මම නටන්නෙ නෑ.. එයා කවුද මාව ඉන්දවන්න..

“අපේ දෝණිව ලේලි විදියට බාරගන්න ඔයා කැමතිනේ..”

අන්කල් ඒක ඇහුවෙ අපේ අම්මගෙන්.. එයා නං පාරමී දිහා බැලුවෙ හරිම ආදරේ හිතෙන විදියට.. එදා නුවරඑළියෙදි තමන්ගෙ කැමැත්තට විවාහයක් කරගෙන ජීවිතේ ජයගත්ත හැටි කියලා දීපු අන්කල් අද පාරමීගෙ ජීවිතේට බලපෑම් කරනවා.. තවත් මේ දේවල් අහගෙන ඉන්න බැරි නිසා මං කා එකේ යතුරත් අරගෙන එළියට ආවා..

“ගිම්හාන පුතා කොහෙද යන්නෙ..?”

අන්කල්ගෙ කතාව ඇහුණෙ නෑ වගේ මම කාර් එකට නැගලා දොර වහගන්න හදද්දිම පාරමී අඩාගෙන ඇවිත් දොරේ එල්ලුනා..

“අනේ යන තැනක මාවත් අරගෙන යන්න අයියෙ.. මට මේ දේවල් අහගෙන ඉන්න බෑ..”

“මොකක්ද බබා ඔයාගෙ තාත්තට වෙලා තියෙන්නෙ..?”

“අද මේ දේවල් වෙනවා කියලා මට දැනුණා අයියෙ.. ඒ නිසා මං ගෙදරින් එන්න කලින් තාත්තට අපි ගැන කිව්වා.. එයා ඒක අහලා ජීවිතේ පළවෙනි වතාවට මට ගැහුවා අයියෙ.. හොදටම ගැහුවා..”

“ඒ කියන්නෙ අන්කල් මට කැමති නෑ..”

කෙල්ල දුක හිතෙන විදියට මගේ දිහා බලන් ඉද්දිම ගේ ඇතුලෙ හිටපු කට්ටිය එළියට ආවා..

“නගින්න නංගි වාහනේට.. අපි යමු..”

ඒත් පාරමී වාහනේට කකුල තියද්දිම පිටිපස්සෙන් ආපු අන්කල් එයාව ඇදලා ගත්තා..

“උඹ කොහෙද යන්නෙ..? මෙහෙට වරෙන්..”

කෙල්ලව ඇදලා ගත්ත පාරට එයා තණකොළ ගොඩේ ඇදගෙන වැටුණා.. හිතේ දුක තරහා උතුරලා යද්දි මං මහා සද්දෙට වාහනේ පාරට ගත්තා..

ඒත් කොහේද යන්නෙ කියලා හිතාගන්න බැරි වෙද්දි මං රොහාන්ලගෙ ගෙදර යන්න තීරණේ කලා.. පාරමීගෙ කදුළු පිරුණු මූණ මතක් වෙද්දි මට වාහනේ කොහේ හරි හප්පගෙන මැරෙන්න තරම් හිතුණා..

අන්කල්ට අපේ මල්ලිව හොද වෙන්නත් මාව නරක් වෙන්නත් තියෙන හේතුව මොකක්ද..? මං මල්ලි කරන නරක දේවල් කරන්නෙත් නැත්තං පාරමිත් මට ආදරේ නං ඊට වඩා තවත් මොනවද..?

නිලූලගෙ ගේට්ටුව ළගදි බ්‍රේක් කරන්න හැදුවත් මට වාහනේ කන්ට්‍රෝල් නැතුව ගිහින් ගේට්ටුවෙ හැප්පුනා.. ඒකෙ පළු දෙක මහා සද්දෙට දෙපැත්තට ඇරිලා යද්දි ගේ ඇතුලෙ ඉදලා මුලින්ම එළියට දුවන් ආවෙ පබසර.. ඊට පිටිපස්සෙන් නිලුයි රොහානුයි එළියට එද්දි මං ස්ටීරියන් වීල් එකට ඔළුව තියාගත්තා.. මගේ ඇස් දෙකෙන් හෝ ගාලා කදුළු ගලාගෙන එද්දි පබසර වාහනේ දොර ඇරලා මට කතා කරා..

“මචං ගිමා.. මොකද මේ..? මොකක්ද සිද්ධ උනේ..?”

ඌ හොදටම කලබල වෙලා.. නිලූගෙයි, රොහාන්ගෙයි කටහඩවල් ඇහුණත් මං ඔළුව ඉස්සුවෙ නෑ..

“ඒයි මූ බීලද මංදා බං.. වරෙන්කො මූව එළියට ගන්න..”

පබයයි රොහානුයි මාව එළියට ගද්දි මගේ කදුළු දැකලා නිලූ හොදට අප්සට් වෙලා.. ලේසියෙන් අඩන්නෙ නැති මගේ හැටි දන්න පබසරලා හිටියෙ ඊටත් වඩා අප්සට් වෙලා..

“මට පාරමී නැති වෙන්නයි යන්නෙ රොහාන්..”

“හරි හරි ගෙට යමුකො.. ගිහින් කතා කරමු..”

“මගේ පුංචි කෙල්ල මට නැතිවෙන්න යන්නෙ..”

හිතේ දුක වැඩි කමට මං එකම දේ ආපහු කිව්වා.. මාව ගෙට අරන් ගිය කට්ටිය බලෙන්ම වගේ මාව සැටිය උඩ ඉන්දවලා මගේ ළගින් ඉදගත්තා..

“දැන් කියපං මොකද උනේ කියලා..”

“සන්ධනායක අන්කල් පාරමීව අපේ හිරාන්ට දෙන්න හදන්නෙ..”

“යකෝ ඒක හරි කතාවක්නෙ.. තාත්තා උනත් කොහොමද ළමයින්ව එහෙම බලෙන් බන්දලා දෙන්නෙ..?”

කේන්ති ගිය පබසර කෑ ගහද්දිම තවත් වාහනයක් ඇවිත් නතර කරන සද්දෙ ඇහුනා.. පබයයි රොහානුයි මගේ දෙපැත්තෙන් ඉදගෙන ඉද්දි නැගිටලා දොර ළගට ගියේ නිලූ.. මං ඔළුව උස්සලා නිලූ දිහා බලද්දිම එයා බයවෙලා වගේ පස්සට ආවා.. ඒ වෙලාවෙ ගෙට ඇතුල් උනේ අපි කවුරුවත්ම හිතපු නැති කෙනෙක්.. ඒ තමයි සන්ධනායක අන්කල්..

ඒ මූණ දැකලා මගේ අතපය වෙව්ලන්න ගනිද්දි පබයා මගේ උරහිසට තට්ටුවක් දැම්මා..

“රිලැක්ස් මචං.. රිලැක්ස්..”

“මං මෙහෙන් ඉදගත්තට කමක් නැද්ද දූ..?”

මගේ මූණ දිහා හොදට බලපු අන්කල් ඒක ඇහුවෙ නිලූගෙන්..

“ඉඳගන්න අන්කල්..”

මේ වෙද්දි කට්ටිය සේරම හිටියෙ හොල්මන් වෙලා.. මහ හයියෙන් ගේට්ටුවත් කඩාගෙන අඩ අඩ ආපු මාවයි.. ඊට පස්සෙන් කලබල වෙලා ආපු අන්කල්වයි දැකලා මේ සීන් එක මොක්කද කියලා මෙයාලට හිතාගන්න බැරුව ඇති.. බැහැයි ඉතිං මාව හොයාගෙන සන්ධනායක අන්කල් මෙහෙ ආපු එක ගැන නිලූලට වඩා මම පුදුම උනා..

“දූ ඔයත් මෙහෙන් ඉදගන්න.. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා..”

“අන්කල් ඔයා කියන්න හදන්නෙ අපේ මල්ලියි, පාරමියි ගැන නම් ඒක නොකිව්වට කමක් නෑ..”

කොහෙදෝ තිබුණ ෆිට් එකක් එක පාරටම හිතට එද්දි මං ඒක කිව්වෙ අන්කල්ගෙ මූණ දිහා තදට බලාගෙන.. ඒත් එයා අපේ ගෙදරදි සද්දෙ දාලා කතා කරාට දැන් තනියම කූල් ඩවුන් වෙලා.. ඔය ඩබල් ඇක්ටින් තමයි මට පේන්න බැරි..

“මං දන්නවා ගිම්හාන පුතා ඉන්නෙ මාත් එක්ක තරහෙන් කියලා.. ඒත් මං කියන දේත් ටිකකට අහන්න..”

“මචං පස්සෙ හම්බවෙමු.. මං යනවා..”

රතු වෙලා තිබුණ ඇස්දෙක පිහදාලා මං සැටියෙන් නැගිට්ටා.. මට මේ බයිලා අහලා වැඩක් නෑ.. පාරමී මට ආදරෙයිනෙ.. ඒ නිසා මං එයාව මගේ ළගට ගන්නවා.. ඒකට මට අන්කල්ගෙ කැමැත්ත ඕනෙ නෑ..

“මං කතා කරන්න ආවෙ ඔයා ගැන..”

දොර ළගට අඩිය තියද්දිම අන්කල් කියපු කතාවට මාව ඉබේම නතර උනා.. ඒක දැකපු අන්කල් ඇවිත් මගේ උරහිසට අත තිබ්බා..

“පුතා හිරාන් කියන්නෙ ලෙඩෙක්.. මේ වෙලාවෙ එයාගෙ කැමැත්තට ඉඩ නොදුන්නොත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙයි..”

“අන්කල් මේ.. ඔයා අනුන්ගෙ ළමයින්ගෙ කැමැත්තට ඉඩ දෙන්න කලින් තමන්ගෙ ළමයගෙ කැමැත්තට ඉඩ දෙන්න.. අනික හිරානෙ ලෙඩෙක් උනාට මම ලෙඩෙක් නෙමෙයි..”

මගේ කතාවට අන්කල් එයාගෙ නළල දෙපැත්තට ඇගිලි තියලා තද කර ගත්තා.. මට නං වෙනදට අන්කල් ගැන දැනෙන ආදරේ ගෞරවය කිසිදෙයක් දැනුනෙ නෑ..

“මොකක්ද බං මේකෙ තේරුම..? උඹලගෙ එෆෙයාර් එක ගැන අන්කල්ට කිව්වද..? හිරාන් කොහොමද මේකට එන්ටර් උනේ..?”

තවත් බලන් හිටියොත් මොලේ විකාර වෙන නිසා ඊට කලින් පබයා කතාව මැද්දට පැන්නා..

“ඒ කියන්නෙ මෙයාලගෙ සම්බන්ධෙ ඔයාලත් දැන්න හිටියද..? ඇයි කවුරුවත් මට ඒ ගැන නොකිව්වෙ..?”

“අන්කල් අපි යාළුවන්ට සපෝට් එක දෙනවා මිසක් කේලං කිය කිය ඇවිදින්නෙ නෑ..”

“ඔයාලා කොයි තරම් සපෝට් කලත් ඔය මගුල හරියන්නෙ නෑ.. පාරමී බදින්නෙ හිරාන්ව..”

අන්කල් සැරට කියද්දි නිලූ එක පාරට මැද්දට ආවා.. කවදාවත් නැතුව එයාටත් හොදටම තරහා ගිහින්..

“ආදරේ වටිනාකම ගැන එදා අපිට කියලා දීපු ඔයා ඇයි අද මේ විදියට කතා කරන්නෙ..? ඔයා දන්නවද අන්කල් පාරමී නංගි ගිම්හාන්ට පණ වගේ ආදරෙයි.. ඒ ආදරේ කඩලා බිදලා දැම්මොත් ඒ කෙල්ල මැරෙයි..”

“නිලූ දූ මගේ පුංචි කෙල්ලට මමත් පණ වගේ ආදරෙයි..”

“ඒ ආදරේ වැඩි කමටද අද පාරමීට ගැහුවෙ..?”

මගේ කටේ සද්දෙට අන්කල් ගැස්සිලා ගියා..

“මොනවා පාරමී නංගිට ගහලා..?”

මෙච්චර වෙලා කට වහගෙන හිටපු රොහාන් ඇහුවෙ පුදුම වෙලා වගේ..

“ඔව් මං මගේ කෙල්ලට ගැහුවා තමයි.. ඒත් ඒකට හේතු තියෙනවා..”

“ඒකට එකම හේතුව එයා අන්කල්ගෙ කීමට කැමති නොවුණ එකනෙ..”

“නෑ ඒකට එකම හේතුවයි තියෙන්නෙ.. ඒ තමයි.. ඒ තමයි..”

අපි කවුරුවත් හිතපු නැති විදියට අන්කල් ඉකි ගහලා අඩන්න පටන් ගත්තා.. ඒ දිහා මං පුදුම වෙලා වගේ බලන් ඉද්දි රොහාන් අන්කල්ව ආපහු පුටුවෙන් ඉන්දෙව්වා.. යෝධ ප්‍රතිරූපයක් තියෙන මේ මනුස්සයා අපි ඉස්සරහ මෙහෙම පුංචි එකෙක් වගේ අඩද්දිනං මගේ හිතේ තිබුණ තරහා නිවිලා ගියා.. මං එයාගෙ පුටුව ළගින් දණ ගහලා ඉදගෙන ඒ මූණට එබුනා..

“මට සමාවෙයං මගේ රත්තරං පුතේ.. මට සමාවෙයං.. මේ කිසිදේකට පාරමීවත්, උඹවත් වැරදි නෑ.. මමයි වැරදිකාරයා..”

අන්කල් පිස්සුවෙන් වගේ කියාගෙන ගියේ මගේ මූණ අත් දෙකටම මැදි කරගෙන..

“කොහොමද පුතේ මගේ දුවව උඹට දෙන්නෙ උඹ මගේ ලොකු පුතා වෙච්චිකොට..?”

“මොකක්..?”

හිත ඇතුලෙ අකුණක් පුපුරලා යද්දි මං ඒ සිමෙන්ති පොළොවෙ ඉදගත්තා..

“ඔව් පුතේ මාව විශ්වාස කරපං.. මම කියන්නෙ ඇත්ත.. උඹ මට අන්කල් කියන වාරයක් වාරයක් ගානෙ මගේ පපුව පිච්චිලා යනවා..”

“අන්කල් අපි මේ දකින්නෙ හීනයක්ද..?”

මගේ ඇස් වලින් කදුළු කඩාගෙන හැලෙද්දි නිලූ හයියෙන් කෑ ගහලා ඇහුවා..

“මේ මටත් හීනයක් වගේ දූ.. ඒත් මං ඒ හීනෙ අවුරුදු විසි පහක් රහසක් විදියට තියාගෙන හිටියා.. ඒත් ඒ රහස නිසා අද මගේ දුවයි පුතයි විදවනවා..”

“එතකොට අන්කල් පාරමී මගේ නංගිද..? මේ දේවල් කොහොමද සිද්ධ උනේ..?”

වචන පැටලෙද්දි මං බොහොම ආමාරුවෙන් ඇහුවා.. එයා ඒකට ඔළුව උඩටයි පහලටයි වැනුවෙ ඇස්වල කදුළු පුරවගෙන..

දෙයියනේ මේක විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද..? මං පණ වගේ ආදරේ කරලා තියෙන්නෙ මගේම ලේ තියෙන මගේම නංගිටද..? ඇස් දෙකෙන් දුම් පිටවෙද්දි මං අත මිට මොළවලා එතන තිබුණ බිත්තියට හයියෙන් ගැහුවා..

“පිස්සුද මචං..? කූල් ඩවුන්..”

මගේ ඇගිලිකරු වලින් ලේ විසිවෙද්දි පබයා මගේ අත තදකරගත්තෙ මං ආපහු තුවාල කරගනියි කියලා වෙන්න ඇති.. ඒත් මට හිතුනෙ ආපහු පාරමීව දකින්න කලින් මේ ජීවිතේ නැති කරගන්න ඇත්නම් කියලා..

හයියෙන් ඉකි ගහන සද්දයක් ඇහිලා ඔළුව උස්සද්දි නිලූ සෙටියෙ ගුලිවෙලා හොදටම අඩනවා.. ඒ විතරක් නෙමෙයි රොහාන්ගෙයි පබසරගෙයි ඇස්වලත් කදුළු..

“මං මේ කියන දේ එක පාරක් අහලා මට සමාව දෙනවද නැද්ද කියලා තීරණේ කරපං මගෙ පුතේ..”

“ඔව් මචං.. ඉස්සර වෙලා අපි මේක අහලා ඉමු.. එතකොට අපිට එදා නුවරඑළියෙදි ඇති වෙච්ච ප්‍රශ්න වලටත් උත්තර හම්බවෙයි..”

“දැන් මට කිසිදෙයක් අහන්න ඕනෙ නෑ පබසර.. මට දැන් මගේ කෙල්ලව විතරක් නෙමෙයි මගේ අම්මයි තාතත්යිත් නැතිවෙලා ඉවරයි..”

මං අඩ අඩ කියද්දි අන්කල් මගේ ලේ ගලන අත අල්ල ගත්තා..

“එහෙම කියන්න එපා පුතේ.. උඹේ තාත්තා උඹට නැති උනේ නෑ.. මමයි උඹේ තාත්තා.. මේ අත දිගේ ගලන්නෙ මගේ ලේ..”

“හරි අන්කල් අපිට හැමදේම මුල  ඉදලා කියන්න.. දැන් මේක ගිම්හාන්ට විතරක් නෙමෙයි අපිටත් ප්‍රශ්නයක්..”

අඩලා අඩලා ගොරෝසු වෙච්ච කට හඩකින් නිලූ කිව්වා..

“මේකයි දූ සිද්ධ උනේ.. මගේ තාත්තා මාව ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්ම එයාගෙ වත්ත බලාගන්න දැම්මා.. ඒත් මට ඕන උනේ පුළුවන් තරම් නිදහසේ ඉන්න.. ඔය තේ වත්ත අස්සෙ හිරවෙලා ඉන්න මං කැමති උනේම නෑ.. ඒ නිසා තාත්තයි මගෙයි අතරෙ දිගින් දිගටම ප්‍රශ්න ඇති උනා..

මගේ ප්‍රශ්න වලට කන් දෙන්නයි මාත් එක්ක කාලෙ ගෙවන්නයි වත්තෙ හිටියෙ එක මනුස්සයයි.. ඒ තමයි වත්තෙ මැනේජර් වෙලා හිටපු ජයරත්න..”

අන්කල් තාත්තව මතක් කලා විතරයි අළුත් කදුළු වැල් දෙක්ක මගේ කම්මුල දිගේ ගලාගෙන ගියා.. මෙච්චර කල් යාළුවෙක් වගේ මාව ආශ්‍රය කරපු තාත්තා මගේ ඇත්ත තාත්තා නෙමෙයි කියලා හිත පිළිගන්න කැමති උනේම නෑ..

“මං වත්තට කොයි තරම් අකමැති උනත් තාත්තා එක්ක තිබුණ ප්‍රශ්න නිසා මං ගෙදරින් පිටවෙලා ඇවිත් වත්තෙ නතර උනා.. ළමයි නැතුව පාළුවෙන් හිටපු ජයරත්නයි එයාගෙ නෝනයි මට සැළකුවෙ එයාලගෙ සහෝදරයෙක්ට වගේ.. ඔය අතරෙදි තමයි මං ජයරත්නගෙ කීමවත් අහන්නෙ නැතුව වත්තෙ වැඩ කරපු කෙනෙක්ගෙ දුවක් එක්ක යාළු උනේ.. ඒ වෙද්දි ඒ ගෑණු ළමයා ඉස්කෝලෙ යනවා..”

“එයා කාගෙ කවුද..?”

ඕනකමින් කතාව අහන් හිටපු පබසර එක පාරටම ඇහුවෙ මට දැනගන්න ඕන වෙලා තිබුණ ප්‍රශ්නයක්..

“එයා වත්ත බලාකියාගත්තු අප්පුහාමිගෙ ඥාති දුවක්.. එයාගෙ නම සුභානි උනාට අප්පුහාමිලා හැමෝම කතා කලේ රෝසි කියලා.. එයා ඒ තරමට ලස්සනයි..”

“ඉතිං..?”

“ඔය කාලෙ වෙද්දි ජයරත්නගෙ නෝනා ළමයි නැති එකට බෙහෙත් කරන්න කොළඹ ගියා.. බංගලාවෙ ඉතුරු උනේ මමයි ජයරත්නයි විතරයි.. මං ජයරත්න එපා කියද්දිම රෝසිව බංගලාවටත් ගෙන්න ගත්තා.. කොළු කමට එහෙම කළාට එයාව අතාරින්න අදහසක් මට තිබුණෙ නෑ.. තාත්තලට පේන්නම රෝසිව කසාද බදින්නයි මට ඕන උනේ.. ඒත් අපේ තාත්තා යටතෙ වැඩ කරපු අප්පුහාමි ඒකට කැමති උනේ නෑ..”

මුලදි කලබල උනාට දැන් නම් හැමෝම කතාව අහගෙන ඉන්නෙ දැහැනකට සම වැදිලා වගේ.. මං උනත් අමාරුවෙන් හරි ඒකට කන් දුන්නෙ ඒක අන්කල්ගෙ විතරක් නෙමෙයි මගෙත් කතාව වෙන නිසා..

“ජයරත්නලා දිගින් දිගටම බෙහෙත් කලාට එයාලට දරුවෙක් ලැබෙන බලාපොරොත්තුව හරි ගියේ නෑ.. ඒත් කසාද බැදලවත් නැතුව අඩු වයසෙ හිටපු මං රෝසි නිසා තාත්තා කෙනෙක් වෙන ලකුණු පහළ උනා.. ඒත් ඒක කොහොම උනාද කියලා මට තේරුම් ගන්න බෑ.. කොහොම උනත් මං ඒ ගැන ගොඩක් සතුටින් හිටියෙ.. ජයේ අපේ තාත්තට මුකුත් නොකිව්වට වත්තෙ සමහර මිනිස්සු රෝසි ගැන තාත්තට කියලා.. එයා ඊට පස්සෙ හැදුවෙ මාව එතනින් අයින් කරන්න.. ඒත් මං රෝසි නිසා දිගටම එහෙ හිටියා.. මං කොයි තරම් ආදරෙන් රැකබලා ගත්තත් ළමයා හම්බවෙද්දි රෝසි නැතිඋනා.. එයා වගේම ලස්සන රෝස මලක් වගේ සුදු පුතෙක්ව මට දීලා රෝසි යන්න ගියා..”

අත්දෙකෙන් මූණ වහගෙන හිටපු අන්කල් ටිකක් වෙලා අඩලා ආපහු කතාව කියන්න ගත්තා..

“ඒත් රෝසිගෙ නෑදෑයෙක්ට කියලා හිටියෙ ඒ වෙද්දි අප්පුහාමි විතරයි.. අපි වත්තෙ මිනිස්සුන්ට දැනගන්න ඇරියෙ අඩු වයසෙ හිටපු නිසා ළමයා ලැබෙද්දි රෝසියි ළමයයි දෙන්නම නැති උනා කියලා..”

“ඇයි අන්කල් එහෙම බොරුවක් කිව්වෙ..?”

මං අහද්දි අන්කල් දිග හුස්මක් පිට කරලා පුටුවට හේත්තු උනා..

“මගේ පුංචි පුතාව හදාගන්න ඕනෙ උනත් මට ඒක තනියම කරන්න පුළුවන් කමක් තිබුණෙ නෑ.. තනිකඩව හිටපු අප්පුහාමිට උනත් ඒක කරන්න බෑ කියලා මං දැනං හිටියා.. ඒ නිසා අපිඒ ළමයව ළමයි නැතුව ජීවිතේ එපා වෙලා හිටපු ජයරත්නට හදාගන්න දුන්නා..”

“එතකොට අන්කල් ඒ ළමයා මමද..?”

“ඔව් පුතේ.. මගේ ජීවිතේට සතුට ගෙනාපු ඒ රෝස මල ඔයයි.. ඔයාගෙ ලස්සන බලලා ඔයාගෙ හුරතල්කම් බලලා මං හරියට සතුටු උනා.. ඒත් ඔයාට දැනුම් තේරුම් තියන වසයට එද්දි මං ඔයාගෙන් ඈත් උනා.. ජයේලා ඔයාව බලාගත්තෙ පුදුම ආදරේකින්.. ඔයාගෙ වියදමට සල්ලි එහෙම දුන්නට මං නිතර ඔයාව බලන්න ගියේ නෑ.. එහෙම උනා නං මට මගේ හිත පාලනය කරගන්න බැරි වෙනවා.. එහෙම උනානං ජයේලගෙ පවුලෙ සතුටත් නැති වෙලා යනවා..”

“එතකොට තාත්තලට ළමයි නැත්තං හිරාන් කවුද..?”

“ළමයි නෑ නෙමෙයි පුතා.. බෙහෙත් කරන එකත් නතර කරලා ටික කාලෙකට පස්සෙ කවුරුවත් හිතපු නැති විදියට එයාලට ළමයෙක් ලැබුණා.. එයාලගෙම පුතෙක්.. ඒ තමයි හිරාන්.. ඒ පවුල අංග සම්පූර්ණ වෙද්දි තමයි මට නිල්මිණීව මුණ ගැහුණෙ.. එයත් හරියට රෝසි වගේමයි.. ඉතිං මං එයාට ළං වුණා.. රෝසි ගැන විස්තර ළමයා ගැන විස්තර මං සේරම නිල්මිණීට කිව්වා.. එයා කිව්වෙ ජයේලට ළමයෙක් ලැබුණ නිසා අපි බැදලා ගිම්හාන පුතාව අපේ ළගට ගමු කියලා.. ඒත් ඒ දේ කරන්න බැරි තරම් එයා ඒ පවුලට බැදිලා හිටියෙ.. අනික එයාව ආපහු දෙන්න ජයේ කැමති උනේ නෑ.. ඒ නිසා අපි බැදලා බංගලාවෙන් පිට වෙනම පදිංචි උනා..” 

මහා දිග කතාවක් කියලා අන්කල් මගේ මූණට එබුණෙ දැන් සමාව දෙනවද නැද්ද කියලා අහන්න වගේ.. ඒත් මගේ හිත තිබුණෙ උත්තර හොයාගන්න බැරි ප්‍රශ්න ගොඩකට මැදිවෙලා..

“පාරමී නුවර හෝස්ටල් වලයි ඔයාව කොළඹයි තියන්න අපි තීරණේ කලේ ඔයාලා අතරෙ ඔය වගේ සම්බන්ධයක් ඇතිවෙයි කියලා.. මං ජයේට කියලා ඔයාව රට යැව්වෙත් ඒ නිසයි.. ඒත් මට ඔයාවයි පාරමීවයි මගේ දුවයි පුතයි විදියට තියාගන්න ආස හිතුනා.. එදා මගේ උපන්දිනේට ඔය දෙන්නව අරන් මං නුවරඑළියෙ ගියේ ඒ නිසයි..

මං හිතනවා මම කරපු ලොකුම වැරැද්ද ඔය දෙන්නව මේ ටික කාලෙදි ඕනවට වඩා ළං කරපු එක කියලා.. ඒකෙන් උනේ අයියයි නංගියි වෙච්ච ඔය දෙන්නා ආදරේ කරපු එක..

මේ තාත්තා ආදරේ ගැන නොදන්න නරුමයෙක් නෙමෙයි පුතේ.. ඒත් මං කොහොමද ඔයාගෙම නංගිව ඔයාට බන්දලා දෙන්නෙ..?”

“ඇති අන්කල් ඇති.. මට කියන්න පාරමී මේ දේවල් දන්නවද කියලා..?”

මං අන්කල් කියලම කිව්වෙ එයාට තාත්තා කියන්න තරම් මගේ දිව නැමෙන්නෙ නැති නිසා..

“ඒ කෙල්ල මේ කිසිදෙයක් දන්නෙ නෑ පුතා.. ඒකනේ ඔයාවම ඕනෙ කියලා අද දවල් රණුඩු කලේ.. ඒ වෙලාවෙ ගහනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ..”

“දැන් මොකක්ද මචං අපි මේකට කරන්නෙ..? මේවා පාරමීට නොකියා අපි කොහොමද කෙල්ලව ෂේප් කරන්නෙ..?”

පබයා ඇහුවෙ බයවෙලා වගේ.. පිටතින් සන්සුන් වෙලා හිටියට මගේ හිත කොයි තරම් කෑ ගහලා අඩනවද කියලා කාටවත් තේරුණේ නෑ.. සන්ධනායක අන්කල්ගෙ පැත්තෙන් බැලුවාම එයාට කරන්න දෙයක් නොතිබුණා වෙන්න පුළුවන්.. ඒත් එයාලා සෙල්ලම් කරලා තිබුණෙ ජීවිත දෙක්ක එක්ක..

එදා නුවර එළියෙදි අප්පුහාමි අන්කල් අපි දෙන්නව ගාඩ් කෙරුවෙත් මේ නිසා වෙන්න ඇති.. ආ පස්සට හිතාගෙන යද්දි මට හිතුනෙ මං ඈත් උනොත් කෙල්ල මොන තීරණේ ගනීද කියලා.. සමහර විට එයා ජීවිතේ නැති කරගන්න පුළුවන්.. එහෙම නැත්තං හිත හදාගෙන අපේ මල්ලිව බදින්නත් පුළුවං.. ඔය දෙකෙන් එකක්වත් වෙනවා මට බලන් ඉන්න පුළුවන්කමක් නෑ.. මං කොහොමද පාරමී හිරාන්ව බදිනවා බලන් ඉන්නෙ..

“මචං හිමා.. මොනවද කල්පනා කරන්නෙ..?”

මගේ අසාමාන්‍ය නිහඩබව පබයට ප්‍රශ්නයක් වෙන්න ඇති.. ඌ තට්ටුවක් දාලා කතා කරද්දි පියවි සිහියට ආපු මගේ ඇස් වලට ආපහු කදුළු පිරුණා.. ඒ පාරනං මං ඇඩුවෙ සන්ධනායක අන්කල්ව බදාගෙන..

“මට හිත හදාගෙන මැරෙන්න එකම එක පාරක් තාත්තා කියලා කතා කරපං පුතේ..”

අන්කල් අඩන ගමන් මගෙන් ඉල්ලීමක් කලා.. ඒත් මගේ ඇඩිල්ලෙ සැර කමට කටට වචන ආවෙ නෑ..

පාරමී දාලා ගියත් මට එයා නැතුව ජීවත්වෙන්න පුළුවන්ද..? අපේ තාත්තයි අම්මයි උනත් සතුටු ඇති හිරාන් පාරමීව බදිනවට.. මොකද ඉතිං හිරාන් එයාලගෙ පුතානේ.. මං නිකම්ම නිකං හදාගන්න ගත්තු එකානෙ.. සන්ධනායක අන්කල්ට උනත් මං නැතුවට පාරමී ඉන්නවනේ.. එතකොට මටයි කියලා කියන්න තමයි කවුරුවත්ම නැත්තෙ.. මගේ කියලා  හිතං හිටපු හැමෝම එක සැරේම මට නැති උනා.. ඉතිං කවුරු කොයි විදියට හිතුවත් ජීවිතේ අතෑරලා යන එක තමයි තියෙන එකම විසදුම.. මේ තරම් වෙලා අඩපු මං කදුළු පිහදාලා එකපාරටම නැගිටලා මිදුලට ආවා.. මං මෙහෙ ආවෙ හවස උනාට දැන් හොදටම රෑ වෙලා.. ඒත් දැන් රෑ කියලා මට ඒ තරං ගානක් නෑ.. දැන් මගෙ ජීවිතේට තියෙන්නෙ රෑ විතරයි..

එදා මල්ලිට වේදනා නාශක පෙති, නිදි පෙති එහෙම ගන්න දීපු බෙහෙත් තුණ්ඩුව වාහනේ තියෙනවා. ඒක ගත්තනං මගේ ලෙඩ ටිකත් එකපාරට හොද කරගන්න පුළුවං.. මං කරුවලේම කා එකට නැග ගත්තා..

“ගිමා කොහෙද යන්නෙ..? හිටපං මමත් එනවා..”

මගේ පිටපස්සෙන් දුවගෙන ආපු පබයා වාහනේට නගින්න හැදුවෙ.. ඒත් මං ඒකට ඉඩ දුන්නෙ නෑ..

“මචං ඔහොම කුලප්පු වෙලා ප්‍රශ්න විසදන්න බෑ.. උඹ ඔය යන ගමන ඒ තරම් හොද එකක් වෙන්න බෑ..”

“නෑ බං.. නෑ.. මං ආපහු ඉක්මනට එනවා.. උඹ හිටපං..”

ඒත් පබසරවත් රොහාන්වත් මට වාහනේ ගන්න ඉඩ දුන්නෙම නැතුව ඒකෙ එල්ලිලා හිටියා..

“උඹලට තේරෙන්නෙ නෑ බං.. මෙහෙම හිටියට මගේ පපුව පිච්චෙනවා වගේ.. උඹලා දන්නවනේ මං පාරමීට කොයි තරම් ආදරේද කියලා..”

“නොතේරෙනවා නෙමෙයි බං.. අපිට උඹව හොදට තේරෙනවා.. ඒ නිසා තමයි කියන්නෙ දැන් ඔය ගමන යන්න එපා කියලා..”

“එහෙනං මට මේකට විසදුමක් දීපං..”

“පුතේ මං විසදුමක් අරගෙන ආවෙ.. වාහනෙන් බැහැලා එන්නකො..”

එක පාරටම අපේ තාත්තගෙ කටහඩ ඇහෙද්දි මාව හොල්මන් උනා.. එයා කොහොමද මෙහෙ ආවෙ.. මං පාර දිහා බැලුවෙ තව කවුද ඇවිත් ඉන්නෙ කියලා දැනගන්න.. ඒත් තාත්තා ඇවිත් තිබුණෙ තනියෙම.. තාත්තා ගේ ඇතුළට ගියාම පබසරලා මාවත් බලෙන්ම ගෙට ඇදගෙන ගියා..

“ජයේ ඔයත් ආව එක හොදයි.. මං පුතාට ඇත්ත කිව්වා..”

සන්ධනායක අන්කල් අපේ තාත්තගෙ අත් දෙකෙන්ම අල්ලගෙන කිව්වා.. ඒත් තාත්තගෙ මූණෙ ඇදුනෙ හරි අසරණ හිනාවක්..

“මට සමාවෙන්න සන්ධෙ.. මමත් ආවෙ පුතාට ඇත්ත කියන්න.. මෙච්චර කලක් හංගගෙන හිටපු ඇතත්ම ඇත්ත කියන්න..”

“දැන් පුතා ඒ හැම දෙයක්ම දන්නවා ජයේ..”

“පුතා දන්න දේ ඇත්ත නෙමෙයි..”

මේ කට්ටියගෙ කතා අහලා ඔළුව විකාර වෙනවා.. තව ටිකකින් ත්‍රී විලර් එකක් හරි අරගෙන අපේ අම්මලත් මෙතනට එයිද මංදා..

“සන්ධෙ.. ගිම්හාන කියන්නෙ ඔයාගෙ පුතා නෙමෙයි.. මගේ පුතා.. මං මෙච්චර කලක් ඒක නොකිව්වෙ අපේ යාළුකම නැති වෙයි කියන බයට..”

“තාත්තෙ..?”

“ජයේ..?”

මගෙනුයි අන්කල්ගෙනුයි කටෙන් එක පාරටම ඒ වචන පිටවෙද්දි පබසරගෙ ඇස් දෙක ජිල් බෝල දෙක්ක විතර ලොකු උනා..

“ඔයා පුතාලට සේරම විස්තර කියන්න ඇතිනේ.. මං ඒකෙ අඩුපාඩු ටික කෙටියෙන් කියන්නම්..

ඔයා එදා ඉදල නිතරම කිව්වනේ රෝසිට දරුවා ලැබුණ එක ගැන ඔයාට හිතාගන්න අමාරුයි කියලා.. ඔයාලා හැසිරුණ විදියට ඔයා එහෙම හිතපු එක සාධාරණ ඇති සන්ධෙ.. ඒත් ඒ වරද උනේ මගේ අතින්.. ළමයි නෑ කිය කිය අපේ වසන්ති අඩ අඩ ඉද්දි එයා බෙහෙත් කරන්න කියලා කොළඹ නතර වෙද්දි මගේ හිත පුදුම විදියට නොසන්සුන් උනා.. ඔයා නොහිතපු වෙලාවක ඔයාව හොයන් බංගලාවට ආපු රෝසිට ඒ දේ උනේ මගෙන්..”

“ජයේ.. මොනවද මේ කියන්නෙ..?”

මෙච්චර වෙලා අඩ අඩ හිටපු අන්කල් එක පාරට කෑ ගැහුවා..

“ඔව් සන්ධෙ.. ඒක ඇත්ත ඒ ළමයගෙ තාත්තා මමයි කියලා රෝසිත් දැනං හිටියා.. ඒත් ඊට පස්සෙ මං කවමදාවත් රෝසිට ළං උනේ නෑ.. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි.. රෝසි පණ වගේ ඔයාට ආදරේ කරපු නිසා..

එයා මැරෙන්න කලින් මේ විස්තරේ අප්පුහාමිට කියලා තියනවා.. ඔයාලා දෙන්නගෙන්ම අහලා මං ළමයව හදාගන්න ගත්තෙ ඒකයි..”

සන්ධනායක අන්කල් එක පාරමට ෆෝන් එක කණේ ගහගෙන පුටුවෙන් නැගිට්ටා.. පපුව ඩග් ඩග් ගාලා හයියෙන් කෑ ගහද්දි මං සද්ද නොකර බලන් හිටියෙ කවුරු කියන දේද පිළිගන්න ඕන කියලා හිතාගන්න බැරිව..

“ආ.. අප්පුහාමි නේද ඔය..? ඔව් මං තමයි.. මට අප්පුහාමිගෙන් කාරණයක් දැනගන්න ඕනෙ..”

එක පාරටම නුවරඑළියෙ හිටපු අප්පුහාමි අන්කල්ට කෝල් එකක් අරන් සන්ධනායක අන්කල් ස්පීකර් ඔන් කලා..

“මට කියන්න අප්පුහාමි ගිම්හාන පුතාගෙ තාත්තා කවුද කියලා..”

“අපේ මහත්තයො.. මොකෝ මේ කලබලෙන්..?”

අප්පුහාමි අන්කල්ගෙ කටහඩ වෙව්ලනවා වගේ දැනුණා.. ඒත් සන්ධනායක අන්කල් හිටියෙ ටිකක් තරහෙන්..

“අප්පුහාමි මං ඇහුවෙ ගිම්හාන පුතා කාගෙද කියලා..?”

නිලූ, අන්කල්ගෙ අතේ තිබුණ ෆෝන් එක දිහා බලන් ඉද්දි රොහානුයි පබයයි බලන් හිටියෙ මගේ දිහා..

“මට සමාවෙන්න මහත්තයො.. මං මෙච්චර කාලයක් ඕක වහං කොරගෙන හිටියෙ අපේ කෙල්ල මැරෙන මොහොතෙ කරපු ඉල්ලීම නිසා..”

“අප්පුහාමි මං ආයෙත් අහන්නෑ..”

“ගිම්හාන බේබි.. ජයරත්න මහත්තයගෙ..”

මගේ පපුවෙන් ඇවිත් පිටවෙලා ගිය හුස්ම පොද මේතරම් වෙලා පපුවෙ තිබුණ ගින්දර ටික එළියට ඇදලා දැම්මා..

“අනේ මහත්තයො අපේ රෝසි කෙලී කිව්වා ඕක කවදහරි දැනගත්තොත් ඇරෙන්න මගේ කටින් එක වචනයක්වත් පිට කොරන්ඩ එපා කියලා..

මහත්තයා පුංචි බේබිවයි ගිම්හාන බේබිවයි ඈත් කරවන්න කියද්දිත් මං එහෙම කරේ මහත්තයගෙ කීම අහකදාන්න බැරි කමට මිසක් හිතකින් නෙමෙයි.. ඒ දරුවො දෙන්නා අපූරුවට ගැලපෙනවා..”

“ඇති.. ඇති..”

මගේ මූණට හිනාවක් එද්දිම අන්කල් ෆෝන් එක කට් කලා..

“ඇයි ජයේ මට මේක නොකිව්වෙ..?”

“මගේ අතින් උන වරද නිසා සන්ධෙ මගෙත් එක්ක තරහා වෙයි කියන බය මගේ හිතේ තිබුණා.. අනික අපේ වසන්ති මේක දැනගත්තානං මට විතරක් නෙමෙයි අපේ ගිම්හාන පුතාටත් වෙනස්කම් කරනවා.. ඒ නිසයි මං ඔයා කියපු විදියට ළමයි දෙන්නව ඈත් කලේ.. ඒත් අපි කොයිතරම් ඈත් කලත් එයාලා අපිට හොරෙන් ළං උනා..”

“පිස්සු හැදිලා හොද වෙලා ආයතේ හැදෙනවා මචං..”

බොහොම අමාරුවෙන් කට තදකරගෙන හිටපු පබයගෙ කටින් එක පාරට ඒක පිටවෙද්දි මට විතරක් නෙමෙයි නිලූටත් හිනා ගියා..

“මං ගිම්හානට කිසිම වෙනස්කමක් නොකර එයාව ආදරෙන් බලාගත්තා සන්ධෙ.. ඒ ආදරේම ඔයාගෙ හිතෙත් තිබුණ නිසා තමයි මට අපේ යාළුකම ගැන බයක් දැනුණෙ..”

මෙච්චර වෙලා බිම පෙරළි පෙරළි අපි ඇඩුවා.. දැන් අපේ තාත්තා අඩනවා..

“නෑ ජයේ.. ඒ යාළුකම මැරෙන තුරාවට එහෙමමයි.. ගිම්හාන ඔයාගෙ පුතා උනත්.. මගේ පුතා උනත් එයා මං ආදරේ කරපු රෝසිගෙ පුතා..”

තාත්තව බදාගත්තු අන්කල් එයාගෙ පිටට තට්ටුවක් දාලා එහෙම කිව්වෙ මාවත් ළගට ගන්න ගමන්..

“මේ බවක් දන්නවනං මං මීට කලින් අපේ කෙල්ලව මේකට දෙනවනේ..”

“අනේ මන්දා බං.. හාර්ට් ඇටෑක් තිබ්බ මිහිහෙක් නං හොදම හරිය යද්දි මැරිලා ඉවරයි.. ජයන්ත අන්කලුත් ආවෙ මාර වෙලාවට තමයි..”

පබයා ආපහු කියෝනවා..

අපි මෙච්චර වෙලා ඇඩුවද කියලා කාටවත් මතක නෑ.. හැමෝම හැක හැක ගගා හිනාවෙනවා..

“මමත් කැමතියි පාරමීව, ගිම්හාන පුතාට දෙනවනං.. එයාට හිරාන්ව කොහොමත් මැච් වෙන්නෙ නෑ.. අනික ඉතිං කාට දුන්නත් පාරමී දුව මගේ ලේලිමනේ..”

“එතකොට තාත්තෙ හිරාන්..?”

මං ඇහුවෙ මිනිහගෙ අසනීපෙත් මතක් උන නිසා.. දැන් එහෙන් එන්න කලින් කියලා ආවෙ පාරමී එයාට දෙනවා කියලනේ..

“ආ ඒක ගැන එච්චර හිතන්න එපා.. පුතා තාම හරියට මල්ලි ගැන දන්නෙ නෑ.. මිනිහා වෙන ලස්සන කෙල්ලෙක් දැකපු දවසට කියයි තාත්තෙ මට එයාව ඕනෙ කියලා..”

ඒ කතාවට සන්ධනායක අන්කල්ටත් හිනා.. කොහොමත් ඉතින් මල්ලිකාරයා එහෙම ඩයල් එක තමයි.. පාරමී නැති උනා කියාල මිනිහා අප්සට් යන්නෙ නෑ..

“පුතා හොදටම රෑ වෙලා අපි ගෙදර යමුනේද..? ඔයාගෙ ගෑණු ළමයා මග බලන් ඇති..”

මාව පුදුම කරවපු ඒ කතාව කිව්වෙ සන්ධනායක අන්කල්.. ඒ කියන්නෙ දැන් මට තාත්තලා දෙන්නගෙම ආශිර්වාදෙ මැද්දෙ පාරමීව මගේ ළගට ගන්න පුළුවන්.. නිලූලා රොහාන්ලා හෙන සන්තෝසෙන් බලාගෙන ඉද්දි තාත්තලා දෙන්නට මැදිවෙලා මං එළියට ආවා..

“අපරාදෙ මචං මෙච්චර වෙලා අඩපු කදුළු..”

පබසර කෑ ගහලා කියද්දි මං හිනාවෙලා කට්ටියට අත වැනුවා..  




No comments:

Post a Comment