Wednesday, April 25, 2012

| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි |






දෙපාර්ශවයේම දෙමාපියන්ගේ සැලකුම් මධ්‍යයේ සංදීප ඉක්මනින් සුව අතට පත් වෙමින් උන්නේය.. එතරම් කතා බහක් නොකලාට සිතුමිණීද අවශ්‍ය අවස්ථාවන් වලදී සංදීපට සහය විය.. සංකේත් නිවසේම නතර වී හිදීම හා අංජුලා නිතර පැමිණීමද ඔවුනට මහත් ශක්තියක් උනි..

“දැන් උඹ රඛිත එක්ක කතා කරන්නෙ නැද්ද..?”


කලකට පසුව අංජුලා, සිතුමිණීගෙන් ඇසීය..

“රඛිත මෙච්චර කල් ආදරේ කරලා තියෙන්නෙ මට නෙමෙයි අංජු.. මගේ සල්ලි වලට.. අපරාදෙ මං මෝඩ උනා..”

“මොකක්ද මෝඩ උනා කියන එකේ තේරුම..?”

“රඛිත බලාපොරොත්තු උනේ මගේ ඩව්රි එක විතරයි.. මට ඒක තේරුණේ පරක්කු වෙලා.. කලින් දැනං හිටියනං මේ දේවල් වෙනස් වෙන්න තිබ්බා..”

“මට තෙරුන්නෑ..”

අංජුලා විමසුවේ ප්‍රශ්නාර්ථ මුසු වූ දෑසිනි.. මෙතුවක් කලක් තමා අංජුලාගෙන් වසන් කල රහස ඇයට පැවසීමට සිතුමිණී තීරණය කළාය..

“උඹ දවසක් කිව්වා මතකද මං සංදීපව මැරි කරන්න කැමති උන හේතුව උඹට තෙරෙන්නෑ කියලා..”

අංජුලා නිහඩවම හිස සැළුවාය..

“මං දැන් ඒක තේරුම් කරන්න යන්නෙ..”

එසේ කී සිතුමිණී, රඛිත හා සැලසුම් කල සියල්ල අංජුලාට හෙළි කළාය..

“එතකොට උඹ සංදීප අයියව මැරි කලේ විඩෝස් වෙන්න හිතාගෙනද..? මෝඩි.. උම පළිගන්න හදලා තියෙන්නෙ අම්මලාගෙන් නෙමෙයි උඹෙන්මයි..”

“රඛිත කෙනෙක් මගේ ලෝකෙ හිටියනං මං මේ තරං ඉක්මනට කසාද බදින්නෙ නෑ අංජු..”

“උඹ නොදැනුවත්ව හරි ඉක්මනට ළංකරගත්තෙ වාසනාව.. ඒක අමතක කරන්න එපා..”

සංදීප සැබෑවටම පහන් තරුවක් වී තම ජීවන මග ජය ටැඹ කරා රැගෙන යනු ඇති බව සිතුමිණී මේ වන විටත් වටහාගෙන තිබිණි..

“ඒ උනත් මං සංදීපගෙන් අයින් වෙනවා..”

“මොනවා.. ඒ කියන්නෙ මෙච්චර දෙයක් වෙලත් උඹ අර මෝඩයා මත්තෙ නහින්නද හදන්නෙ..?”

අංජුලා විමසා සිටියේ කේන්තියෙනි.. නමුත් සිතුමිණී දෙනෙතේ කදුළු පුරවා බලා උන්නාය..

“නෑ.. මට කාවවත් ඕනෙ නෑ.. ඒත් මං සංදීපව උඹට දෙන්නයි යන්නෙ..”

“සංදීප අයියව.. මේ මට..? උඹට මොලේ හොද නැද්ද සිතු..?”

තමා මෙතරම් දවසක් සංදීපට ළංව සිටියේ සිතුමිණීගේ සිතේ ඊරිසියාවක් ජනිත කර ඇයව සංදීපට ළං කරලීමේ අරමුණින් වූවද සිතුමිණී එය වරදවා වටහාගෙන ඇති බව අංජුලාට දැනුණි.. තම උත්සාහය සාර්ථක වන ලකුණු පෙන්නුම් කිරීම ගැන සතුටකුත් සිතුමිණී ගැන අනුකම්පාවකුත් ඇගේ සිත තුල හටගත්තේය..

“මෝඩි.. උඹට වැරදිලා.. මං එහෙම කිව්වෙ මට සංදීප අයියව ඕනෙ නිසා නෙමෙයි.. සංදීප අයියා කියන්නෙ මොන තරම් වටින කෙනෙක්ද කියලා උඹට තේරුම් කරලා දෙන්න ඕන නිසා..”

“ඒ කියන්නෙ උඹ සංදීපට ආදරේ නෑ..”

සිතුමිණිගේ වදන් වලට අංජුලාගේ සිතේ තරහක් උපන්නේය..

“ආදරේ.. ආදරේ කියන්නෙ එහෙම ආවට ගියාට ඇති වෙන දෙයක් නෙමෙයි බං.. අනික මං අනුන්ගෙ මිනිහෙක්ට ආදරේ කරන්න තරම් මෝඩියෙකුත් නෙමෙයි..”

සිතුමිණීගේ සිතේ මෙතෙක් තිබූ බරක් සැහැල්ලු වූවා වැනි හැගීමක් ඇයට ඇති විනි.. ඈ අංජුලා දෙස බලා ප්‍රසන්න හිනාවක් පෑවාය..

“ඔන්න ඔහොම හද වගේ හිනාවෙලා හිටපංකො.. එතකොටනෙ අපිට උනත් තියන දෙයක් කියන්න හිතෙන්නෙ..”

“උඹ මට මොනවා හරි හංගනවා අංජු..?”

බොහෝ කාලයක් සිය මිතුරිය සමග විවෘතව කතා නොකල සිතුමිණි ඇගෙන් යමක් දැන ගැනීමට උත්සාහ කළහ..

“තාම හංගන්න තරම් දෙයක් නෑ.. ඒත් මං දැන් කෙනෙක්ට ආදරේ කරනවා.. උඹ හිතන විදියට ඒ කෙනා සංදීප අයියා නෙමෙයි..”

පාසල් සමයේදී පවා කිසිවෙකුට ආදරේ නොකල අංජුලාගේ එම කතාව සිතුමිණීට විශ්වාස කළ නොහැකි තරම් විය.. ඈ අංජුලා දෙස බැලුවේ පුදුම සහගත දෑසිනි..

“කවුද ඒ වාසනාවන්තයා..?”

“මං උඹලා වගේ හොරෙන් ලව් කරන්නෙ නෑ.. වෙලාව ආවම කියන්නම්..”

සිතුමිණීගේ නිතඹට සියුම් තට්ටුවක් දැමූ අංජුලා අයිරම්මා සොයා කුස්සියට දිව ගියේය..

“මේකිට හැදිලා තියෙන පිස්සුවක්..”

සිතුමිණී සිනා මුසුව මුමුණා ගත්තාය..

“කොහෙද නෝනෙ මේ හති දාගෙන දුවන්නෙ..?”

සාලයේ සිට සිනා සිසි දිව ආ අංජුලා දෙස බැලූ අයිරම්මා විමසීය..

“ඔන්න අයිරම්මා වැඩේ හරි..”

“වැඩේ කිව්වෙ..?”

ඇයට අංජුලා කියූ දෙය හරි හැටි වැටහුණේ නැත..

“මං අයිරම්මට පොරොන්දු උනා නේද අයිරම්මගෙ සංදීප මහත්තයවයි පුංචි නෝනවයි ළං කරනවා කියලා.. ඔන්න දැන් ඒක හරියාගෙන එන්නෙ..”

අයිරම්මාගේ දෑස් කදුළින් තෙත් වීමට ගතවූයේ නිමේෂයකි.. ඒ කදුළු දෑස් දුටු අංජුලා ඇගේ දෑත තදකර අල්ලා ගත්තේය..

“ඔව් නෝනා.. පහුගිය ටිකේ පුංචි නෝනෙගෙ ලොකු වෙනසක් මම දැක්කා.. එයා දැන් සංදීප මහත්තයා ගැන හරියට හොයනවා බලනවා.. වෙලාවට බෙහෙත් ටික දෙනවා..”

තමාට මෙම අනතුර සිදුවූයේ පෙර කල පිනකට යැයි සංදීප කී කතාව අංජුලාට සිහිපත් උනි..

“අපි මේ දේවල් කරන්නෙ පවුලක් ආරක්ෂා කරන්නනෙ අයිරම්මෙ.. අනික සංදීප අයියවත් සිතුමිණීවත් නරක අය නෙමෙයිනෙ.. අයිරම්මට ළගදිම දවසක පුංචි පැටියෙක් නළවන්න පුළුවන් වෙයි..”

“කාගෙන අයිරම්මෙ පුංචි පැටියා..? අංජු නංගි ළගදි බදින්නද යන්නෙ..?”

පොඩ්ඩෙ සමග මිදුලේ උන් සංකේත් පසුපස දොරින් කුස්සියට ඇතුල් වූයේ එසේ අසාගෙනය..

“අංජු නෝනා කාව බදින්නද ඉතිං.. එයාට තාම බදින්න කෙනෙක් නෑනෙ..”

අයිරම්මා අංජුලාව ගලවා ගැනීමට ඉදිරිපත් විය..

“අපිව බන්දන්න හදන්නෙ සංකේත් අයියට බදින්න බැරියෑ.. නේද අයිරම්මෙ.. ගමේ ගෑණු ළමයි එහෙම ඇතිනේ..”

එසේ ඇසූ අංජුලා ඊට සංකේත් ලබාදෙන පිළීතුර අපේක්ෂාවෙන් ඒ මුහුණ දෙසම බලා උන්නාය..

“මගේ ගෑණු ළමයා ඉන්නෙ ගමේ නෙමෙයි.. එයා කොළඹ කෙල්ලෙක්..”

“ඈ.. සංකේත් මහත්තයට කොයින්ද ගෑණු ළමයෙක්..? අනික කොළඹ..”

අයිරම්මාගේ පුදුම වූ මුහුණත් විසල් දෑසත් දුටු සංකේත්ගේ මුහුණට දගකාරී සිනාවක් නැගුණි..

“ඔව්.. අයියගෙ උපන්දිනේ දවසෙ මං හැමදේම කියනවා.. එදාට මං අයිරම්මට මගේ ගෑණු ළමයව පෙන්නන්නම්කො..”

සංකේත්ගේ කතාවත් සමග අංජුලාගෙ මුහුණ හුළං ගිය බැලුමක් සේ හැකිලී ගියාය.. අයිරම්මා ඒ වෙනස නුදුටුවාට ඇගේ මුහුණ දෙස පරික්ෂාකාරීව බලා උන් සංකේත්ට එය මනාව වැටහුණි.. එහෙත් ඔහු සිනාව සගවා බැරෑරුම් මුහුණක් මවා පෑවේය..

“මං යනවා අයිරම්මා..”

අයිරම්මාගෙන් මිදුනු අංජුලා සාලය දෙසට පියවර තැබීය..

“කොහෙ යන්නද නෝනෙ..? කාලා යන්න ඉ්නන දැන් ගෙදර යද්දි පරක්කු වෙයි..” 

නමුත් ඈ නැවතුනා නොවේ.. සිතුමිණීගෙන් හා සංදීපගෙන් සමුගත් ඈ ඔවුන්ගේ ප්‍රශ්න වලටද පිළිතුරු නොදී ඉක්මන් ගමනින් පාරට පිවිසියාය..

“මල්ලි.. සංකේත්..”

කාමරයේ ඇදට වී උන් සංදීප සිය සොයුරා ඇමතුවේය..

“ඇයි අයියා.. ඔයාට මොනවද ඕනෙ..?”

ඔහු අඩියට දෙකට සංදීප ළගට දිව ආවේය..

“මට මුකුත් ඕනෙ නෑ.. අන්න අර ළමයා හදිස්සියෙම යන්න ගියා.. ගිහින් එයාව ගෙදරට දාලා එන්න..”

අංජුලාව කතාවට අල්ලා ගැනීමට මාන බලමින් උන් සංකේත්ට එය ඉබ්බා දියේ දැම්මා හා සමාන කරුණක් විය.. ඔහු ඇද උන් කොට කලිසමට ටී ෂර්ට් එකක් දමා කාරයට නැගුණේ අංජුලා බස් නැවතුමට යාමට පෙර ඇයව නවතා ගැනීමේ අරමුණෙනි..

                                            ****************************

ඒ සංදීපගේ උපන් දිනයට පෙරදා රාත්‍රියයි.. එවන විට සංදීඵගේ තුවාල බොහොම සුව අතට හැරී තිබූ නිසා ඔහුට උඩ මහලට යාම වුවද අසීරු නොවුනි.. සති කිහිපයක් පහත මාලයට වී කල් ගත කල ඔහු එදින රාත්‍රියේ පඩිපෙළේ අත්වැට අල්ලා ඉහළට නැගීමට සැරසුනේය..

පඩි කිහිපයක් නැග ගත් ඔහුට සිය බද වටා යම් මෘදු දෙයක් වෙළෙනු දැණුනි.. ඔහු වහා හැරී බැලුවේය.. ඒ අනෙකෙකු නොව තම පුංචි බිරිද බව සංදීප දුටුවද ඔහුට මෙය සිහිනයක්ද සැබෑවක්ද යන්න සිතා ගැනීමට තරමක් කල් ගතවිය..

“මට නගින්න පුළුවන් බබා..”

ඔහුගේ මෘදු මොලොක් වදන් වලට සිතුමිණීගේ රෝස දෙතොල් අග සිනා ඉරක් ඇදුණි..

“ඇයි.. මං අල්ලන්න එපාද..?”

ඈ ලැජ්ජාශීලීව අසද්දී වදන් අමතකව ගිය සංදීප දිගු හුස්මක් පිට කළේය..

නිදන කාමරයට යන තෙක් සංදීපව වාරු කරගෙන ගිය සිතුමිණී ඔහුට විසල් යුගල යහනාවට බර වීමට උදව් දුන්නාය..

“තෑන්ක්ස්..”

සංදීපගේ මුවින් ඉබේම එය පිටවිය.. නමුත් එවැන්නක් බලපොරොත්තු නොවූ සිතුමිනී සංදීප දෙස බැලුවේ දුක්ගත් ඇසකිනි.. මොහොතක් එසේ උන් ඈ කාමරයෙන් පිට වීමට සැරසුනාය..

“සිතූ.. මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ..”

ඇදේ විට්ටමට කොට්ටයක් තබා හේත්තු වූ සංදීප කීවේය..

“ඉන්න.. මං එන්නං..”

ඈ කාමරයෙන් නික්මුණි.. නමුදු ඇයට රැගෙන යාමට අමතක වූ ඇගේ සුවද පොද කාමරයේ රැදී සංදීපට සිතට වද දුන්නේය.. ඔහු පැය බාගයකට ආසන්න කාලයක් ඇය එනතුරු ඇදට වී බලා උනි.. අවසානයේ ඈ පැමිණියේ ඇගපත සෝදා සැහැල්ලු රාත්‍රී ඇදුමකට මාරු වීගෙනය..

“මං මෙතනට එන්නම්..?”  

ඒ විසල් ඇදේ හිස් වූ පෙදෙස පෙන්නා සිතුමිණි අසද්දී සංදීපට පිළිතුරු නැති විය.. මධුසමය දා තමා ඇදට නගින විට සිතුමිණී එහා ඉමෙන් බැස ගිය ආකාරය ඔහුට තවම මැවී පෙනෙන්නා සේය..

“එන්න..”

සිතුමිණී බොහෝ වේලාවක් ඇද ළගට වී බලා උන් පසු ඔහු ඇයට ආරාධනා කළේය.. නමුත් ඒ සොදුරු රුවට ඒ මෘදු සුවදට වසග නොවිය යුතු බවට ඔහු සිය සිතට පූර්ව දැනුවත් කිරීමක් කර තිබුණි..

“කියන්න.. මං අහගෙන ඉන්නෙ..”

ඇදේ හරි බරි ගැසී ඉදගත් සිතුමිණී සංදීපගේ දෑසට එබී බැලුවාය.. ඒ දිදුලන තරු නෙත් දුටු සංදීප මොහොතක ගොළු විය..

“කියන්න දේවල් ගොඩක් තියෙනවා සිතූ.. ඒත් ඒ හැම වැල් වටාරමක්ම කියලා ඔයාගෙ මනස වෙහෙසන්න මං කැමති නෑ.. මං කෙටියෙන් කියන්නම්..”

සංදීපගේ සංවේදී මුහුණ දෙස බලා උණ් සිතුමිණීට ඇසිපිය සැලීමටවත් සිහිපත් වූයේ නැත.. තමා මෙතෙක් ඔහුගේ කඩවසම් බව නොදුටුවේ මන්දැයි ඇය කල්පනා කළේය..

“මං ඔයාගෙ ජීවිතේට ලොකු වැරැද්දක් කළා නංගි.. රඛිතට ආදරෙයි කියලා අර තරම් කියද්දිත් මං ආත්මාර්ථකාමී විදියට ඔයාව ළං කර ගත්තා.. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි.. ඔයාගෙ ෆොටෝ එකක් දැකපු දවසෙ ඉදලම මං ඔයාට ආදරේ කරපු නිසා..”

නිහඩව සුසුමක් පිට කළ සිතුමිණී දිගටම එය අසා උන්නාය..

“මං කරපු වැරැද්ද මට තේරු‍ණේ කණ්ඩලමෙදි.. ඔයා රඛිතට කොයි තරම් ආදරේ කරනවද.. ඒ ආදරේ වෙනුවෙන් කොයි තරම් කැපවෙලා ඉන්නවද කියලා මට පුදුම හිතුනා.. ඒත් ඒ වෙද්දි මං පරක්කු වැඩියි..”

සිතුමිණී ප්‍රශ්නාර්ථය රැදි දෑසින් සංදීප දෙස බැලුවාය.. එහි අරුත ඔහුට හොදින් වැටහුණි..

“ඒ වෙද්දි අපි බැදලා ඉවරනෙ බබා.. ඔයාගෙ ලෝකෙට ඔයාට යන්න දෙන්න ඕනෙනං මං ඔයාව ඩිවෝස් කරන්න ඕනෙ.. ඒත් ඒකෙන් අපේ දෙමව්පියො කොයිතරම් ලැජ්ජ වෙනවද කියලා මට තෙරුණා.. විශේෂයෙන්ම ඔයාගෙ අම්මලා..”

සංදීප තම ආත්ම ගරුත්වය ගැන කොතරම් සිතා ඇත්දැයි වැටහුණ සිතුමිණීගේ දෑසට කදුළක් නැගිණි..

“මං මුලදි හිතුවා ඔයා මාව බැන්දෙ රඛිතව අමතක කරලා කියලා.. ඔයා පස්සෙ හිත හදාගනියි කියලා.. ඒත්.. ඒත් මට වැරදුනා නංගි.. ඔයා හැමදාම මං දිහා බැලුවෙ තරහාකාරයෙක් දිහා බලනවා වගේ.. ඔයාට ඕන උනේ රඛිතගෙ ආදරේ.. රඛිතගෙ උණුසුම..”

“උණුසුම..”

සිතුමිණීගේ හඩ බොහෝ දුක්බර විය.. තමා රඛිතව අමතක කර දමා සංදීපට ළගට ඒමට සැරසෙන මොහොතේ ඔහු කියනා දෑ සිතුමිණීගේ සිතට මහා බරක් ගෙන ආවේය..

“මං ගොඩක් දේවල් දන්නවා සිතූ.. දැන් මට හැමදේම තේරෙනවා.. ඒ නිසා මං තවදුරටත් ඔයාව කූඩු කරලා තියාගන්නෙ නෑ..”

“සංදීප අයියා..”

“ඔව් බබා.. මෙච්චර කල් ඔයාව තේරුම් නොගත්තට මට සමාවෙන්න.. මං.. හෙට ඔයාට තෑග්ගත් දෙනවා.. මගේ උපන්දිනේ වෙනුවෙන්..”

තෑග්ගක් දිය යුතු වූයේ ඔහු නොව තමාය.. සිතුමිණීගේ මේ වන විටත් ඔහුට දියයුතු තෑග්ග කල්පනා කර තිබුණි.. නමුත්.. ඇගේ සිතට මහා අවිනිශ්චිත බියක් දැනෙන්නට විය..

“මොකක්ද තෑග්ග..?”

“ඩිවෝස් එක..”

සංදීපගේ තෑග්ග ගැන ඇසූ සිතුමිණීගේ ඇගේ හිරිගඩු මතු වී තිබිණි.. ඇගේ තරු නෙත් කදුළින් වැසී යද්දි ඈ බිම බලා ගත්තාය..

“මට හෙටම ඔයාට රඛිතට බාරදෙන්න තිබුණා.. ඒත් හෙට අපේ අම්මලා.. යාළුවො.. එහෙම එන නිසා ඒක අනිද්දා උදේට කල් දාන්න වෙනවා..”

සංදීප හිත්පිත් නැති අයකු සේ කීවද ඔහුගේ සිත ඇතුළාන්තයෙන් පැළපෙන තරම් දැන උන්නේ ඔහුම පමනි..

“හෙට අම්මලා ආවම අයියා මොනවද කියන්න හිතන් ඉන්නෙ..”

බොහොම අසීරුවෙන් වදන් එකතු කර ගත් සිතුමිණී අසා සිටියාය..

“ඔයා වැරදිකාරයෙක් කියලා ලෝකෙට කියන්න මට ශක්තියක් නෑ නංගි.. අනික ඔයා රඛිත ළගට ගියාම මට එතනින් එහා ජීවිතයක් නෑ.. ඒ නිසා මං වැරැද්ද බාරගන්නවා.. ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..”

මේ ක්‍රියාත්මක වෙන්නෙ රඛිතගේත් තමාගේත් සැලැස්මේ සාර්ථක අවසානය නොවේදැයි සිතුමිණීට සිතුණි.. තමා විවාහයට පෙර සිටම ඇගිලි ගැන්නේ මෙම දිනය උදාවන තුරුය.. නමුත් අද..

“හොද ළමයා වගේ අදත් ගිහින් එහා කාමරයෙන් නිදා ගන්න බබා..”

සංදීපගෙන් එවන් කතාවක් ඈ කිසිසේත් බලාපොරොත්තු වූයේ නැත.. තද කරගෙන උන් ඉකිබිදුම දෙගොඩතලා යද්දි සිතුමිණී කාමරයෙන් පිටතට දිව ගියාය.. ඈ පිස්සියක සේ ගොස් තම කොට්ටයේ හිස තමා ගත්තේ තමාගේ හැඩුම් හඩ පිටතට ඇසේවි යන බියෙනි..  



                                               

No comments:

Post a Comment