Tuesday, April 24, 2012

| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි |






“පරිස්සමින් ගිහින් එන්න පුතේ එහෙනං..”

සම්මුඛ පරීක්ෂණයට යාමට සැරසුන සංකේත් සිය මවට වදිද්දී ඈ දයාබරව කීවාය.. සංදීප කාරය පණ ගන්වා බලා උන්නේ සොයුරා එන තෙක් වුවද ඔහුගේ දෑස් රැදී තිබුණේ සංකේත්ට අතට අත දී සුභ පතන සිතුමිණී දෙසය..

“සිතූ නංගිගෙ හිනාව හරි සිරියාවන්තයි අයියෙ.. අද නං ජොබ් එක ෂුවර්..”


එසේ කියාගෙනම සංකේත් රියට ගොඩ උනි.. දිගු හුස්මක් පිට කල සංදීප කිසිවක් නොකියාම රිය පාරට ගත්තේය..

“මොකද හලෝ..? ඊරිසියා හිතුනද..? මං කිව්වෙ ඇත්ත..”

ඒ කතාව ඇත්තක් බව සංදීපද දනී.. නමුත් ගැටළුව ඇත්තේ එතන නොවේ.. සිතුමිණී එවන් සිරියාවන්ත සිනහවකින් කිසිදා සංදීපට සංග්‍රහ කර නැත.. ඔහු එම සිනහව දැක ඇත්තේ ඇය අන් අය හා සිනාසෙන විට පමණි..

“ඇඩ්රස් එක තියෙනවද..?”

සිය සොයුරා යළිත් වරක් තමාව මග හැරි බව දැනුණ සංකේත් ලිපිනය ලියූ කොල කැබැල්ල නිහඩවම ඔහුට පෑවේය..

පාරේ වූ නාම පුවරු වලින් අංක සොයා ගත් සංදීප ග්‍රීන් පාක් රෙස්ට් වෙත වාහනය පැදවූයේ අධික වේගයෙනි.. සංකේත් සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින යුතුව ඇත්තේ දහයට වුවද නවය හමාර වන විට ඔහු එහි ලගා විය.. සංකේත් රියෙන් බැස තානායම තුළට පිය මනිද්දී සංදීප වාහනය විශාල තේකක් ගස් සෙවනක් කරා ගෙන ගියේය.. එකවරම ඔහුගේ නෙතට හසුවූයේ දැක පුරුදු මුහුණකි..

තම සොයුරාගේ වයසට සමාන වයසක් පෙන්නුම් කල ඔහු කවරෙක්දැයි සංදීපට සිහිවූයේ ඔහු බයිසිකලයට නැග නික්ම ගියාටත් පසුවය.. ඒ කවරෙකු නොව.. තම නිත්‍යානුකූල බිරිදගේ ආදරවන්තයා හෙවත් රඛිතයි.. තම මංගල දිනය දවසේද පැමිණි ඔහු සිතුමිණී හා කුලුපගුව කතා කරල අයුරු සංදීපට අද මෙන් මතක තිබේ.. ටික වේලාවක් කල්පනා කරමින් උන් සංදීප රියෙන් බැස පිළිගැනීමේ අංශය වෙත යද්දි එහි සේවකයන් ඔහුට සිනහවකින් සංග්‍රහ කළේය..

“මල්ලි.. අර දැන් බයික් එකේ ගියේ මෙහෙට ආපු කස්ටමර් කෙනෙක්ද..?”

“කස්ටමර්..?”

දබරගිල්ලෙන් නිකටට තට්ටු කරමින් මදක් කල්පනා කල සේවයාගේ මුහුණ සිනාවකින් ඔපවත් විණි..

“සර් අහන්නෙ රඛිත මහත්තයද..?”

“ඔව්.. ඔව්.. එයාව දන්නවද..?”

“මොකෝ සර් නොදන්නෙ..? ඔය අපේ මහත්තයගෙ යාළුවෙක්නෙ..”

“මහත්තයා කිව්වෙ..?”

“අපේ බොස්ගෙ පුතා.. එයයි රඛිත මහත්තයයි හොද යාළුවො.. සර් එයාව අදුනනවද..?”

සේවකයා සංදීපගේ මුහුණට එබී බලද්දී සංදීප ඔහුට වෙනසක් නොහැගෙන සේ සිනාසුනේය..

“ඔව්.. මේ ටිකක් දන්නවා.. ෂිට්.. ගිය සතියෙත් මට පොරව මිස් උනා.. කොහෙද අදත් මිස් උනානෙ..”

රඛිත ගිය සතියේ මෙහි පැමිණියේ නම් එයද මොහු දන්නවා ඇතැයි අනුමාන කල සංදීප මුසාවක් කීවේය.. එයට සේවකයාගේ මුහුණේ ඇදුනේ ලැජ්ජාශීලී සිනාවකි..  

“ඇයි මල්ලි..?”

“ගිය සතියෙ රඛිත මහත්තයා ආවෙ ගෑණු ළමයත් එක්ක.. අර කොණඩෙ දිග සුදු ගර්ල්..”

“ආ.. මං එයාව දන්නවා..”

සංදීප ඇගට පතට නොදැනී කීවේ තමා රඛිත ගැන හා ඔහුගේ ගෑණු ළමයා ගැන දන්නා බව ඇගවීමටය..

“සර් කවුද..?”

නොසීතූ මොහොතක සේවකයා ඇසූ පැනයෙන් සන්දීප මදක් තැති ගැන්විය..

“මං චතුරාන්.. එයාගෙ යාළුවෙක්ගෙ අයියා කෙනෙක්..”

“රඛිත මහත්තයා නිතරම මෙහාට එනවා සර්.. සර් කෝල් එකක් දීලා එන්න..”

සේවකායට ස්තුති කල සංදීප නැවතත් කාරයට ආවේ තෝන්තු වූ මනසකිනි.. කාර්යාලය තුළට ගිය සොයුරා ඒමට තව කල් වේලා ඇති බැවින් ඔහු ආසනය පසුපසට කර මදක් ඇලවුණේය..

මෙහි සේවකයින් කියලා ලෙසට මේ තැන රඛිතට හොද හුරු පුරුදු තැනකි.. එහෙයින් ඔහු නැවත වරක් සිතුමිණීව මෙතනට රැගෙන ඒමේ ඉඩකඩ ඇත.. තම සොයුරාට මෙහි රැකියාව ලැබුණොත් එය මහා ආරවුලකට මුල බව සංදීපට වැටහුණි.. එහෙයින් කල යුතු වූයේ සංකේත්ට සුදුසු වෙනත් රැකියාවක් කඩිනමින් සොයා දීමය.. නමුත් සංකේත් මේ රැකියාවට කැමති වූවහොත්..

සංදීපගේ ඔළුව යකාගේ කම්මල මෙන් අවුල් සහගත වී තිබිණී.. ඔහු සංකේත්ට රැකියාව නොලැබේවා යන්න එක සිතින් ප්‍රාර්ථනා කළේය..

“අයියෙ.. යමු..”

පැයකට ආසන්න කාලයක් කල්පනා ලොව සැරිසරමින් උන් සංදීප, සංකේත්ගේ හඩට තිගැස්සුණි..

“මොකද උනේ මල්ලි..?”

ඔහු රිය පණ ගන්වා ගැනීමටත් පෙර විමසා සිටියේය.. සංකේත් බොහෝ සැහැල්ලුවෙන් සිනා සී අසුනට බර උනි..

“යමුකො.. යන ගමන් කියන්නම්..”

කිලෝ මීටර් බාගයකට ආසන්න දුරක් ගියද සංකේත් කතා නොකල හෙයින් සංදීප නැවතත් එම පැනයම ඇසුවේය..

“ජොබ් එක හරි අයියෙ.. ලබන සතියෙ ඉදලා එන්න කිව්වා..”

“ඔයාට ගෙදර ඉදලා මෙහෙ එන්න දුරයිනෙ මල්ලි.. ඔයා කැමතිද..?”

“දුර නම් අවුලක් නෑ.. මට ඔයාලගෙ ගෙදර ඉදලා හරි එන්න බැරියෑ..”

සංදීපගේ හිස නැවත වරක් ගිනි ගත්තේය.. සිතුමිණීගේ වෙනසක් නොවුණානම් තව පවුලම විත් මෙහි නතර වූවද ඔහුට ප්‍රශ්නයක් නැත.. නමුත් නිවසේ වාතාවරණය අනුව සංකේත්ව නතර කර ගැනීම සැබැවින්ම ගැටළුවකි.. 

“සැලරි එක කීයද..?”

“පළවෙනි මාස හයේ දොලොස් දාහක් දෙන්නම් කිව්වා..”

“දොලොස් දාහක් කියන්නෙ පඩියක්ද ළමයො..? ඇයි ඔයා ඒ ගාණට කැමති උනේ..?”

සංදීප කීවේ හිතට එකග කතාවක් නොවේ.. පලපුරුද්දක් නැති තම සොයුරාට එම පඩිය දැනට ප්‍රමාණවත් බව ඔහු අත්දැකීමෙන් දනී.. නමුත් ඔහුට අවැසි වූයේ මොනවා හෝ කියා සංකේත්ගේ සිත මේ රැකියාවෙන් මිදීමටය..

“මට තාම අයියට වගේ එක්ස්පීරියන්ස් එකක් නෑනෙ අයියෙ.. ඒ නිසා දැනට මේ ගාන ඇති.. මාස හයෙන් පඩි වැඩි කරනවා කිව්වා.. ඒත්..”

කුමක්දෝ කියන්න තැනූ සංකේත්, සංදීප දෙස යටැසින් බලා එය ගිල ගත්තේය..

“ඇයි.. මොකක්ද ප්‍රශ්නෙ..?”

“මං හිතුවෙ අයියෙ බෝඩ් වෙන එක හොදයි කියලා.. මම එහෙ ඉන්න එක සිතු නංගිට උනත් කරදරයක් වෙයි..”

තමා හැර අන් කිසිවෙක් සිතූට කරදරයක් නොවන බව සංදීප දනී.. සංකේත් තම නිවසේ නතර වූවහොත් සිතුමිණී තමාට රිදවීමට ඔහුවද ආයුධයක් කර ගැනීමට බැරි නැත..

“දොලොස් දාහකින් බොඩින් ගාස්තු ගෙවලා කන්න බොන්න ගියාම කීයද ඉතුරු වෙන්නෙ..?”

සංදීප ඔහුට යමක් නොකියා කීවේය.. එය මනාව වැටහුණු සංකේත් නිවසට එන තෙක් කළේ කල්පනා කිරීම පමණි..

එදින සවස සංකේත් හාමව සංදීපගේ නිවසින් නික්ම ගියේ එතරම් හිත හොදකින් නොවේ.. එයට හේතුව සංදීපගේ වෙනස සංකේත් සිය මවට හෙලිදරව් කිරීමය.. නමුදු ඔවුන් දෙපල උන්නේ සිතුමිණී කෙරෙහි බොහෝ පැහැදීමකිනි.. ඔවුනට නිතර ඇවිත් යන්නයි ඈ කල ඉල්ලීම නිසා එම පැහැදීම තවත් වැඩිවිය..

මව හා සොයුරා නික්ම ගිය වෙලේ පටන් සංදීප කල්පනා කලේ සංකේත්ට වෙනත් රැකියාවක් සොයා දීම පිළිබදවය.. අවසානයේ ඔහුට සිය මිතුරු දේවක සිහිපත් විනි.. ඔහුද නම ගිය පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන අයෙකු නිසා එම කටයුත්ත එතරම් අසීරු නොවිය හැක.. එහෙයින් දේවක අමතා මේ පිළිබද කතා කර යුතු බවත් සංදීප සිතා ගත්තේය..




No comments:

Post a Comment